Thursday, May 5, 2016

අතීතය සිහිනයක් පමණයි පෙට්‍රල් සුවඳක් නෑ... 



කාර් පිස්සෙක් හැටියට මම අත්විඳින සුන්දරම අත්දැකීමක් තමයි මගේ වාහනේ ළඟට ඇවිත් වයසක අංකල්ලා තමන් අතීතයේ පැදපු වාහන ගැන ආසාවෙන් (සහ දුකෙන්) සිහිපත් කරන එක. ඔබ ඇත්තම ක්ලැසික් කාර් පිස්සෙක් නම් සහ ඔබ ඔබේ වාහනේ නිතර එළියට අරන් යනවා නම්, මේක නිතරම අත්දකින්නට පුළුවන්. මම මගේ ප්‍රධාන වාහනේ හැටියට පාවිච්චි කරන්නේ 1973 ෆොක්ස්වැගන් එකක්. ඒ නිසා මම මේක නිතර අත්දකිනවා.

මේ අතරින් ගොඩක් දෙනෙකුට තවදුරටත් පරණ වාහන එළවන්නට හැකියාවක් නැහැ. ලංකාවේ පරණ වාහන නඩත්තු කිරීම සාමාන්‍යයෙන් දුර්වල නිසා දැන් මේවා එළවන්න විශාල වීරියක් ගන්නට වෙනවා. විශේෂයෙන්ම 1970 ට කලින් වාහන ගත්තොත්, ගියර් දාන්න සහ හරවන්න නම් ජිම් ගිහින් එන්න වෙන වෙලාවල් තියනවා. මේ නිසා දියුණු රටවල අයට වගේ මේ අයට තමන් අතීතයේ පාවිච්චි කරපු වාහන ආපහු පාවිච්චි කරලා අතීතයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ අයගේ කතා නැවත නැවත කීම නිසා එයාලටම නොදැනී මේ කතාවලට අද්භූත දේවලුත් එකතු වෙලා. උදාහරණයක් හැටියට මගේ ලොකු තාත්තා නිතර කියන දෙයක් තමයි කන්දක් අදිද්දී තමන්ගේ හිල්මන් මින්ක්ස් කාර් එකේ ක්‍රෑන්ක් එක කඩලා ගිය බව. නමුත් මොකක් හරි ක්‍රමයකට එයාට ඒක ගෙදරට එනකල් එලවන එන්න පුළුවන් වෙලා තියනවා. අපි කවුරුවත් මේකේ තාක්ෂණික පැත්ත ගැන තර්ක කරන්න යන්නේ නැහැ.

නමුත් මේ වගේ දේවල්වල සමහර වෙලාවට ඇත්තකුත් තියෙන්න පුළුවන්. එක වතාවක් මට මගදී හම්බවුණු අන්කල් කෙනෙක් කිව්වා ෆොක්ස්වැගන් ගැන කතාවක්. වතාවක් කොහෙද දුර ගමනක් යද්දී එයාගේ ෆොක්ස්වැගන් බීට්ල් එක ගිනි අරන්. නමුත් එයා ඒක ගිනිගන්න බව දැනගෙන තියෙන්නේ ගොඩක් වෙලාවකට පස්සේ. කරන්න දෙයක් නැතුව එයා ඒක ගඟක් ළඟටම එළවන් ගිහින් ගින්න තනියම නිවාගත්තලු. ඊට පස්සේ ජිල්මාට් එකක් දාලා පෙට්‍රල් ලයින් එක ආපහු හදාගෙන ගරාජ් එකක් හොයාගෙන වාහනේ එළවගෙන ගියාලු.

එදා මම මේ කතාවට හිනාවුණා. නමුත් දවසක් මගේ ෆොක්ස්වැගන්එක ගිනිගත්තාමයි මට ඇත්ත තේරුණේ. එක්තරා රෙපයාර් එකකට පස්සේ මට පෙට්‍රල් ලයින් එක චෙක් කරන්න අමතක වුණා. ලයින් එක තුවාල වෙලා තිබිලා ඩිස්ට්‍රිබියුටර් එක උඩට පෙට්‍රල් වැටිලා කාර් එක ගිනිගත්තා. කාර් එක ගිනිගන්න බව මම දැනගත්තේ ටික දුරක් ගිහින් නවත්තලා කන්නාඩියෙන් පිටිපස්ස බලපු වෙලාවේ. වටේ හිටපු අය එකතු වෙලා වහාම ගින්න නිව්වා. නමුත් වැඩේ ඒක නෙවෙයි. මගේ මිකැනික් වාහනේ ඇතුළට දැම්මේ ස්ටාට් කරලා. අපිට කරන්න වුණේ එයාර් ක්ලීනර් එකයි, පෙට්‍රල් ලයින් එකයි මාරු කරන එක විතරයි (වැඩි පරිස්සමට මම කන්ඩෙන්සර් එකයි ප්ලැටිනම් සෙට් එකයි මාරු කළා).

වැඩේ මේකයි. පරණ වාහන හදලා තියෙන්නේ දුවන්න මිසක් ගන්න එකාට පුළුවන් තරම් ඉක්මනට තව එකක් ගන්න ගේම සෙට් කරන්න නෙවෙයි. අද එන වාහන ජරාවල් කියලා අපි කියන්නේ නිකං අතීත කාමය නිසාම නෙවෙයි කියලා මට දැන් තේරෙනවා. ඒ නිසා ඉස්සර වගේ පුළුවන් තරම් ඉක්මනට කතාව නවත්තලා පනින්න බලන්නේ නැතුව මම ඒ අංකල්ලා එක්ක දිගට කතා කරනවා.

කවදාහරි දවසක අපිත් ඊළඟ පරම්පරාවකට ඔහොම කතා කියාවි. උනුත් වාහන නවත්තන් අහන් හිටියොත් මට එච්චරයි!

7 comments:

  1. niyama kathawa. matath mulinma ara kathawa penune joke ekak widihata. eth habawatama una kiyaddi hithagannath ba.

    ReplyDelete
    Replies
    1. ගිනිගනිද්දී වාහනේ අයිඩ්ල් හිටලා තිබ්බා ගැස්සිල්ලක් වත් නැතිවෙන්න. වටේ හිටපු අයත් දැක්ක හින්දම විශ්වාස කළා.

      Delete
  2. මේකට බ්ලොගර් පලෝවරය දාන්න

    ReplyDelete
    Replies
    1. මම මේ වැඩේට අලුත් නිසා ඒ ගැන එච්චර අවබෝධයක් නැහැ. මොකක්ද ඒ කියලා කියන්න පුළුවන්ද?

      Delete
  3. ඔන්න ආවා. ඇත්තට මට දැනුයි මතක් වුනේ ඩිස්ට්‍රිබියුටර් කප් එක උඩට පෙට්‍රල් වැ‍ටුනොත් තමයි ගිණිගන්නෙ කියලා. ස්පාක් එක නිසා නේද? ඕක හෙන design fault එකක් නැතිනං flaw එකක් නේද.
    ඔය උඩින් දාලා තියෙන පින්තූරෙනං ලොක්කා ෆෝඩ් ප්‍රිෆෙක්ට් ෂෙල් එකක නේද?

    ReplyDelete
    Replies
    1. ඕක ඩිසයින් ෆෝල්ට් එකක්ම නෙමෙයි. ඉස්සරම ආපු කාර්වල පෙට්‍රල් ලයින් එක යන වෙනම පාත් එකක් තිබුණා. අනික ඒ දවස්වල පාට්ස් සුපිරි නිසා ඕක ලීක් වෙන්න තිබුණු ඉඩ බොහොම අඩුයි. පස්සේ පස්සේ වැඩ මකබාස් වෙනකොට පෙට්‍රල් ලයින් ඔහේ ඩිස්ට්‍රිබියුටර් කප් එක උඩින්ම වැටුණා.

      හරියට හරි. ඒක ප්‍රිෆෙක්ට් ෂෙල් එකක්. මේකේ මම බීට්ල් ගැන විතරක් නෙමෙයි පොදුවේ නොස්ටැල්ජියාව ගැන කතා කරන හින්දා ඒක දැම්මේ. ඕක නුවර පැත්තේ තිබිච්ච හෙන ප්‍රසිද්ධ කාර් එකක්. දැන් කොහොම හරි මේ ගඟ මේ දුරු කතර ගෙවා පානදුර ඇවිත්. ළඟදී ඕක මගේ කාර් එක පේන්ට් එක කරපු ගරාජ් එකේම පේන්ට් කළා.

      Delete
  4. "පරණ වාහන හදලා තියෙන්නේ දුවන්න මිසක් ගන්න එකාට පුළුවන් තරම් ඉක්මනට තව එකක් ගන්න ගේම සෙට් කරන්න නෙවෙයි. අද එන වාහන ජරාවල් "

    සහතික ඇත්ත...

    ReplyDelete