Saturday, May 13, 2017

අවුරුදු 100 කට කලින් කාර් හදපු මිට්සුබිෂි


මිට්සුබිෂි සමාගම කාර් හදන්න පටන් අරං මේ අවුරුද්දට අවුරුදු සීයක් පිරෙනවා... ඒක සමරන්න එයාලා තමන්ගේ මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක වුණු Mitsubishi Model A එකේ ආකෘතියක් හදන්න යනවා කියලා වෙසක් දවසේ ආරංචියක් ආවා. මේක හදන්න යන්නේ Outlander PHEV platform එක බේස් කරගෙන Plug-in Hybrid එකක් විදිහට කියලයි කියන්නේ. වැඩේ කරන්නේ West Coast Customs එක ලු...

මේක අහපු ගමන් හිතෙන්නේ හතරේ පන්තියේ පොඩි එකා උගේ ගණන් පොතේ පිටිපස්සේ කොලේ ඉරලා කැන්ටිම ළඟ මඩ වලට දාන්න හදාපු කඩදාසි බෝට්ටුවට  ඇමරිකාවේ ඉන්න පච්ච කොටෙක් ස්පීඩ්බෝට් එන්ජිමක් හයිකරන්න යනවා වගේ වැඩක් කියලා...

හැබැයි ඒත් එක්කම මට හිතුණේ අවුරුදු 100 ක් ඇතුළත මිට්සුබිෂි එක කොච්චර දුරක් ඇවිල්ලද කියන එකයි. එදා හදපු Model A එකයි අන්තිමට ආපු Evo X එකයි එක ළඟ තියලා බැලුවොත් බුරම්පියගේ උන වෙඩිල්ලයි ට්‍රම්ප් ගේ GBU-43 MOAB බෝම්බෙයි අතර වගේ වෙනසක් තියනවා. ඒ නිසා මට පොඩ්ඩක් මිට්සුබිෂි එකේ ඉතිහාස වාර්තා රාක්කෙට සයිලම්බරේකින් අනින්න හිතුණා... 


ට්‍රම්ප් ලොක්කා ෆොටෝ එකක් දුන්නා. බුරම්පියා බෑ කිව්වා.


ෆොටෝ එක ගත්තේ www.drivespark.com එකෙන්
මිට්සුබිෂි නම ඇහුණු ගමන් එක එක අයට එක එක දේවල් මතක් වෙනවා. කාර් ගැන හීන දකිමින් ඉන්න අයට සහ පරම්පරාවේ සල්ලි තිබිච්චි අයට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ Evo, FTO හෝ Eclipse වගේ නම්. ජීවිතේ තාමත් ලෝඩ් කරන අන්ලෝඩ් කරන අයට ඩෙලිකා, ෆූසෝ හෝ කැන්ටර් වගේ නම් මතක් වෙනවා. එකෙක් ව පදිරි කරලා අරගෙන තව එකෙක්ව අන්දලා දෙන ජාතියේ බිස්නස් කරන එවුන්ට කියවෙන්නේ CB8, CK1, CK2 වගේ නම්.

Evo X.


ක්ලැසික් කාර් එක්ක සංසාරගත මෙවුවා එකක් තියාගෙන තාමත් මෙවුවා වෙන මං වගේ මෙවුවලාට මතක් වෙන්නේ ලාන්සර් බොක්ස්.

මම මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් එක්ක ලියුං කවරෙයි ගම් බෝතලෙයි වගේ පෙමින් බැඳුණේ මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක් නිසා. ඒක ගැන මම වෙනම ලිපියක් ලියලා තියනවා. මගේ නොසැලකිල්ල නිසා වුණු කිඹුලා බනිසක සීනි ඇටයක් තරම් පොඩි ගැටලුවක් දෙකක් ඇරෙන්න මගේ ළඟ තිබුණු අවුරුදු 6 ටම ඒ බොක්ස් එක කිසි වදයක් දුන්නේ නැහැ. 4-Forward එකක් වෙලත් ඇක්සලේටරේ පාගපු ගමන් රතිඤ්ඤා සද්දේ ඇහුණු කාක්කා වගේ තමයි කාර් එක ඉගිල්ලෙන්න ගන්නේ. මම ඒක වික්කේ මට බීට්ල් පිස්සුව ගහපු නිසා.

මගේ ලාන්සරේ- අවුරුදු 6 කට විතර කලින්

මිට්සුබිෂි සමාගම පටන් ගත්තේ 1870 අවුරුද්දේදී. ඒ කියන්නේ අවුරුදු 147 කට විතර කලින්. කට වටේට රබර් බෙල්ට් එකක් දැම්මා වගේ අමුතු මරුමුස් පෙනුමක් තියන යටාරෝ ඉවසකි (Yataro Iwasaki) කියන මහත්තයා පරණ වාෂ්ප නැව් තුනක් කුලියට අරගෙන, නැව් කොම්පැනියක් හැටියට තමයි සමාගම පටන් ගත්තේ. ඒ මහත්තයා ජපානේ ෂිකොකු කියන දූපතේ කොචි කියන ප්‍රාන්තේ කෙනෙක් ලු.


යටාරෝ ඉවසකි

මිට්සුබිෂි සමාගම බොහොම ඉක්මණින් දියුණු වෙන්න ගත්තා කියලා එයාලගේ වෙබ් සයිට් එකේ තියනවා. ඒ වගේම සැරින් සැරේ සමාගමේ නම වෙනස් වුණා. උදාහරණයක් හැටියට  Mitsukawa Shokai, Mitsubishi Shokai, Mitsubishi Jokisen Kaisha (Mitsubishi Steamship Company), Yubin Kisen Mitsubishi Kaisha (Mitsubishi Mail Steamship Company) විදිහට නම් ගොඩක් වෙනස් වෙලා තියනවා. යටාරෝ නම් 1885 දී පිළිකාවක් හැදිලා මරණයට පත්වුණා ලු. ඊට පස්සේ එතුමාගේ සහෝදරයා යනොසුකේ සභාපති වුණා.

1893 අවුරුද්දේදී යටාරෝ ගේ පුතා හිසායා සමාගමේ සභාපති තනතුරට පත්වුණා. මේ වෙද්දී ජපානේ තරුණ පරපුරට බටහිර ලෝකය විවර වෙලයි තිබුණේ. හිසායා ත් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. මෙයා සමාගම තවදුරටත් පුළුල් කරලා දියුණු කළා.

ඊට පස්සේ 1916 අවුරුද්දේදී යනොසුකේ ගේ පුතා කොයාටා ඉවසකි (Koyata Iwasaki) සභාපති විදිහට පත්වුණා. මෙයා එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි ලබාපු කෙනෙක්. අවුරුදු 30 ක් විතර කාලයක් මේ තනතුර දරපු කොයාටා ගේ කාලේ තමයි මිට්සුබිෂි සමාගම යන්ත්‍රසූත්‍ර,  විදුලි උපකරණ සහ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් පැත්තට ලොකු බරක් දුන්නේ. Mitsubishi Model A එක නිර්මාණය වුණෙත් මෙතුමා හිටපු කාලෙම තමයි. 

පවුල් ගහ
මේ කාලේ වෙද්දී කාර් එකක් හදලා දෙන්න කියලා ජපානේ හමුදාවෙන් ඉල්ලීම් එන්න ගත්තා. ඒ වෙනකල් ජපානේ සමූහ වශයෙන් කාර් නිෂ්පාදනය වෙලා තිබුණේ නැහැ. හැබැයි ජපන්නු කියන්නේ අලුත් නිර්මාණ කරන්න වගේම කොපි කරන්නත් නොදන්න ජාතියක් නෙමෙයි. ඒ නිසා Mitsubishi Shipbuilding Co., Ltd. එක වැඩේ භාරගත්තා. මෙයාලා කළේ ඉතාලියේ හදපු Fiat Tipo 3 එකක් උස්සන් ඇවිත් මස් කරලා, ඒක හදලා තිබුණු විදිහ අනුව ප්ලෑන් ගහගෙන කාර් එකක් හදපු එකයි. මේකට නම තිබ්බේ Mitsubishi Model A කියලා.

Fiat Tipo 3 එක


Mitsubishi Model A එකේ Prototype එක හැදුවේ 1917 දී. 1919 වෙද්දී කාර් එක විකුණන්න පුළුවන් තත්ත්වයට ආවා. වාහෙනේ එන්ජිම හදලා තිබ්බේ Cast iron වලින්. බොඩිය හැදුවේ අශ්ව කරත්ත හදන සෙට් එකක්. එයාලා ඉන්ටීරියර් කළේ ලැකර් කරපු සුදු සයිප්‍රස් ලී පාවිච්චි කරලා. 

කොටින්ම කිව්වොත් ඒක 'අස්සයා නැති අස්ස කරත්තයක්.'

වාහනේ විකුණන්න Ote Company කියලා වෙනම සමාගමක් හැදුවා. ඒක Mistubishi Shipbuliding සහ Mitsubishi Corporation සමාගම්වල එකතුවක්. 





Mitsubishi Model A- ෆොටෝ ගත්තේ www.fitmycar.com එකෙන්


වාහනේ විස්තර ටිකක් මේ විදිහට දක්වන්න පුළුවන්. 

නම: Mitsubishi Model A

දොරවල් ගාන: 4 

යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා ගාන: 7 

එන්ජිම: 2.8L 

බලය: 35hp 

ගියර්: 4 

වාහනේ බර: කිලෝග්‍රෑම් 1,315 


1921 වෙද්දී Prototypes එක්ක කාර් 22 ක් හදලා තිබුණා. ඒ කාලේ හැටියට ඊට වඩා මහා පරිමාණයෙන් මේක නිෂ්පාදනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මිට්සුබිෂි සමාගම ඊට පස්සේ ආපහු නැව් හදන්න සහ ට්‍රක් වගේ දේවල් හදන්න පෙළඹුණා. ආයේ අවුරුදු 40 ක් විතර යනකල් මිට්සුබිෂි ලා කාර් හැදුවෙ නෑ.

මේ කාර් 22 න් එකක් වත් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ. අර සයිබීරියාවේ කුඹුරෙන් මතුවෙච්චි ටොයෝටා එක වගේ Mitsubishi Model A එකක් තාම කිසිම නරාවලකින් මතුවෙලා නැහැ. දැනට ජපානේ Okazaki වල Mitsubishi Auto Gallery එකේ තියලා තියන කාර් එක 1972 දී හදපු ආකෘතියක්. 



දැන් මේ Model A එකේ අවුරුදු සීය සමරන්න හදන කාර් එක කොහොම වෙයිද කියන්න අපි තාම දන්නේ නෑ. මේ වැඩේ කරන්නේ Discovery Turbo එක හරහා එහෙම ලංකාවේ කාර් පිස්සොත් හොඳට අඳුරන Ryan Friedlinghaus ගේ West Coast Customs සමාගම. 

කැමති නම් මෙතනින් එයාලගේ සයිට් එකට යන්න පුළුවන්: www.westcoastcustoms.com

West Coast Customs එක මේ වගේ තිරිකිස් වැඩ වලට ශූරයෝ කියලා ඔයාලා දන්නවා ඇති. හැබැයි අනික් අතට සේවකයන්ට හරියට පඩි ගෙවුවේ නැහැ කියලා Ryan Friedlinghaus ට 2014 ලෙඩකුත් වැටුණා (www.autoblog.com/2014/05/01/west-coast-customers-wage-trouble-underpaying/). ඒ කොහොම වුණත් අපට දැනට කරන්න පුළුවන් වෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. එයාලා කාර් එක හැදුවට පස්සේ ඒක කරපු විදිහ Velocity channel එකේ යන 'Inside West Coast Customs' වැඩසටහනේ episode එකක් විදිහට පෙන්නාවි. අවධානයෙන් ඉන්න...

Ryan Friedlinghaus

ජපානේ කාර් බ්‍රෑන්ඩ් වලින් මම තාමත් වැඩියෙන්ම ආසා කරන්නේ මිට්සුබිෂි එකට. ඒක අර ලොකු වුණාට පස්සෙත් කඩේ සීනි බෝල බෝතල් දකිද්දී එන ආසාව වගේ එකක්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මිට්සුබිෂි එක සම්බන්ධ විශේෂ නිවුස් එකක් දකින වාරයක් ගානේ මාව ඒ පැත්තට ඇදිලා යනවා. 



දැන් මිට්සුබිෂි එකේ බහුතර කොටස් ප්‍රමාණයක් (34%) අයිති නිසාන් එකට. නිසාන් එකේ සභාපති Carlos Ghosn ම තමයි මිට්සුබිෂි එකෙත් සභාපති. ඒ කියන්නේ මිට්සුබිෂි මෝටර්ස් එක දැන් තියෙන්නේ නිසාන් යටතේ. 

නිසාන් එක්ක මගේ එච්චර ලොකු ඇයි හොඳයියක් නෑ. ඒ ඇයි කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ, මොකද මගේ කාර් ලෝකේ සමීප යාළුවෝ අතර තදබල නිසාන් ෆෑන්ස්ලා ඉන්න නිසා (මේ අතර සමහරු ඉන්නවා නිසාන් බැජ් එක බුලත් කොලේකින් පිහදලා ඔලිව් ඔයිල් දාපු චීනච්චට්ටි පහනක් පත්තු කරලා සාම්බ්‍රානි පාරක් අල්ලලා හෙන්දිරික්කා මලක් පූජා කරලා ජපන් ගාථාවකුත් කියන සයිස් එකේ බැතිමත්තු).  

මොනවා වුණත් මේ මට්ටමට හරි මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එක තමන්ගේ අනන්‍යතාව එක්ක ඉස්සරහට යමින් ඉන්න එක ගැන මට සතුටුයි. 

ඒක හරියට තමන්ගෙන් වෙන්වුණු, ඒත් තරහකුත් නැති පරණ පෙම්වතියක්, කියන්න තරම් අවුලක් නැති ජීවිතයක් ගතකරනවා දකිනකොට එන අර්ථ දක්වන්න බැරි, පසුතැවිල්ලයි සැනසිල්ලයි අතර දෝලනය වෙන සිතිවිල්ලක් වගේ එකක්... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
12.05.2017 
www.facebook.com/CarPissuwa

වැඩි විස්තර බලන්න කැමති අය මේ ලින්ක් වලට යන්න:
www.forbes.com/2001/04/23/0423feat.html
www.mitsubishi-motors.com/en/innovation/history/year/1950/50_1.html
www.autoblog.com/2017/04/27/mitsubishi-100-year-old-car-phev-west-coast-customs/

Saturday, May 6, 2017

ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක: හදපු හැටි, නැතිවුණු හැටි සහ හොයාගත්තු හැටි


ලංකාව ජනාවාස වීමේ ඉතිහාස කතන්දරේ කපු කැටිල්ලකින් පටන් ගන්නවා වගේ ටොයෝටා සමාගමේ කාර් හැදිල්ලේ කතාව පටන් ගන්නේ රෙදි විවිල්ලකින්.

1889 විතර එක්තරා දවසක සකීචි ටොයෝඩා කියලා කොලු  ගැටයෙකුට තමන්ගේ අම්මා රෙදි වියන්න මහන්සි වෙන එක ගැන දුක හිතෙන්න ගන්නවා. ඒ කාලේ රෙදි වියනවා කියන එක තනියම ටේබල් ටෙනිස් ගහනවා වගේ වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඒක තෙහෙට්ටු වෙන, වෙලා යන, ශ්‍රමය අපතේ යන වැඩක්.

ටොයෝඩා පවුලේ කොල්ලන්ට ඔය 'අපතේ යනවා' කියන වචන දෙක ඇහුණත් නිකං සීටීබී බස් එකක් දැක්ක ප්‍රයිවට් බස් කාරයෙකුට වගේ තද වෙනවා...

ඉතිං සකීචි ටොයෝඩා 1890 දී පළවෙනි වතාවට ලී වලින් අර්ධ ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හැදුවා. එතකොට රෙදි විවිල්ල තනියම කැරම් ගහනවා වගේ ලේසි වැඩක් වුණා.



ඒ වුණාට සකීචි මල්ලි එතනින් වැඩේ නවත්තලා හන්දි ගානේ ලෑටි ගාන්න ගියේ නෑ. ආණ්ඩුව උදවු කරන්නේ නෑ කියකිය අඬ අඬා සකුරා මල් ගහන්න ගියේ නෑ. මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෑ කියකිය පත්තරවල ෆොටෝ දාගත්තේ නෑ. මොකද එයා ජපන් නේ, ශ්‍රී ලංකන් නෙමෙයි නේ. ඒ නිසා එයා මාන්නෙයි කම්මැලිකමයි පැත්තක දාලා  මහන්සි වෙලා මේ යන්තරේ තව තව දියුණු කළා. 1896 වෙද්දී ජපානේ පළවෙති වතාවට ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හදන්න සකීචි ට පුළුවන් වුණා.

එක්දාස් නමසිය ගණන් වල මුල් කාලේ වෙනකොට සකීචි ගේ පුතා කීචිරෝ ටොයෝඩා ත් මේ වැඩේට එන්ටර් වෙලා හිටියේ. 1924 වෙද්දී දෙන්නා එකතු වෙලා පළවෙනි වතාවට අධිවේගී රෙදි වියන මැෂිමක් හැදුවා.


සකීචි ටොයෝඩා

මේ මැෂිම නිසා එක මැෂිමකට එක ඔපරේටර් කෙනෙක් ගානේ දාන්න වෙන අවශ්‍යතාව නැතුව ගියා (වෙන වචන වලින් කියනවා නම් සෑහෙන පිරිසකගේ බඩ ගෝස්තරේට කෙළ වුණා). එක ඔපරේටර් කෙනෙකුට මැෂින් 30 ක් විතර බොහොම පහසුවෙන් සුපර්වයිස් කරන්න පුළුවන් වුණා. මේක තමයි Model G මැෂිම කියලා හඳුන්වපු එක. මේ මැෂින් ඉතාම නිවැරදිව රෙදි වියනවා වගේම වැරදීමකින් හරි මොකක් හරි ගැටලුවක් ආවොත් වහාම නවතිනවා. ඒ නිසා අපතේ යාම බින්දුවට බැස්සා....

Toyoda Model G3


ඔය කාලේ වෙද්දී සකීචි ගේ පුතා කීචිරෝ තීරණය කළා Model G මැෂින් එකලස් කරන්න ඇමරිකාවේ වගේ මහාපරිමාණ එකලස් කිරීමේ ක්‍රමයක් ඇතිකරන්න. තාත්තයි පුතයි එකතු වෙලා, බටහිර රටවල ක්‍රම ගැනත් හොඳට හොයලා බලලා විධිමත් එකලස් කිරීමේ ක්‍රමයක් තියන ෆැක්ටරියක් දැම්මා. 1926 දී තමයි ඒ විදිහට Toyoda Automatic Loom Works පටන් ගත්තේ.

කීචිරෝ ටොයෝඩා

ඔය අතරේ 1929 දී කීචිරෝ ටොයෝඩා යුරෝපයේ සහ ඇමරිකාවේ සංචාරයකට නැව් නැග්ගා. එයා ගියේ තමන්ගේ ෆැක්ටරියේ භාවිතා වුණු තාක්ෂණයට අදාළ බලපත්‍ර වල වැඩකටයුතු කීපයකට.

ඒත් කේස් එක වුණේ මේකයි. මේ කාලේ වෙද්දී ෆෝඩ් Model T එකේ කාර් මිලියන 15 ක් විතර බිහිවෙලා ප්‍රඩක්ෂන් එක ඉවර වෙලත් තිබ්බේ.  ඒ කියන්නේ ඇමරිකාවේ පඳුරකට පයින් ගැහුවම කාර් දහයක් විතර විසිවෙන තත්ත්වයක් උදාවෙලා තිබ්බා. ජපානේ ඉතිං එහෙම දෙයක් පේන අහලක තිබ්බේ නෑ නේ. ඒ කාලේ ජපන් පඳුරු වලට පයින් ගැහුවම විසිවුණේ අමු මාළු, හයිකු කවි සහ කිමෝනෝ වගේ දේවල් විතරයි.

ඉතිං කීචිරෝ ට මේවා දැකලා කීචි කැවුණා.


ඒ කලේ ඇමරිකාවේ පාරක්

ජපානෙට ආපු ගමන් කීචිරෝ කළේ අර Model G මැෂින් එකලස් කරන වැඩ යන අතරේම වාහන එන්ජින් හදන්න ප්ලෑන් කරන එකයි. කොහොම කොහොම හරි නියපොතු නැති අතින් රඹුටන් ලෙලි ගහනවා වගේ එයා කටු කාලා කටු කාලා වාහනේ පළවෙනි Prototype එක 1935 දී හදාගත්තා. ඊට පස්සේ ඒක ටෙස්ට් කරලා ඊළඟ අවුරුද්ද වෙද්දී පළවෙනි ප්‍රඩක්ෂන් කාර් එක එළියට දැම්මා.

ඒ තමයි අද අපි Toyota Model AA කියලා දන්න කාර් එක.

Toyota Model AA 



ඒ කාලේ ඇඩ් එකක්
Assembly line එකේ ෆොටෝ එකක්

ටිකක් කරුණාවන්ත විදිහට කියනවා නම්, මේ කාර් එක ඒ කාලේ ඇමරිකාවේ ප්‍රචලිත වෙලා තිබුණු කාර් වලින් ආභාසය ලබලා හදපු කාර් එකක්. මාලේ කඩන්න ආපු එකාට හෑන්ඩ් බෑග් එකෙන් ගහනවා වගේ කියනවා නම් ඒ කාර් එක Chrysler (නැත්තං DeSoto) Airflow එකේ අමු කොපියක්. ඔය දෙකෙන් මොන description එකද තෝරගන්නේ කියන එක තීරණය වෙන්නේ කියවන කෙනා ටොයෝටා බ්‍රෑන්ඩ් එකට ලවු කරන ප්‍රමාණය අනුව...


Restore කරපු නැති DeSoto Airflow එකක්


Automobile Catalogue වෙබ්සයිට් එකට අනුව කාර් එකේ මූලික ලක්ෂණ මෙහෙමයි.

බොඩිය- සෙඩාන්, දොර 4
එන්ජිම- 3389 cm3 (3.4L කියලා කියන්නකෝ. ඒක ලේසියි)
ගියර්- 3 speed Manual
පවර් එක- 62hp
දිග- මිලිමීටර් 4780
වීල්බේස් එක- මිලිමීටර් 2850
ටොප් ස්පීඩ් එක- ෆැක්ටරියෙන් කියලා තිබුණු හැටියට 100kmph (එව්වා නම් මන්දා!)

මාව ෂුවර් නැත්නම් විස්තර බලන්න: www.automobile-catalog.com/make/toyota/aa/aa/1936.html

කාර් එක පොඩ්ඩ පොඩ්ඩ විකිණෙන කොට 1937 දී සමාගමට අලුත් නමක් දාන්න තරගයක් තිබ්බා. ඒකෙන් තෝරගත්තු නම තමයි Toyota Motor Co., Ltd. කියන එක. මේක ජපන් භාෂාවෙන් ලියනකොට වාසනාවන්ත විදිහට ඉරි අටකින් ලියන්න පුළුවන් නිසා මේක තෝරගත්තා කියලයි www.toyota-europe.com වෙබ් සයිට් එකේ තියෙන්නේ.  



Toyota Model AA එකේ ප්‍රඩක්ෂන් එක ඉවර වුණේ 1942 දී. ඒ වෙද්දී සමාගම මේ මොඩ්ල් එකේ කාර් 1,404 ක් හදලා තිබ්බා.

පස්සේ ඉතින් ටොයෝටා එක වෙන වෙන වාහන හදලා දියුණු වුණා. ජපානේ මුළු ලෝකෙටම දෙන්න සුපිරි වාහන හදන රටක් බවට පත්වුණා. නමුත් මේ මුල්ම Toyota Model AA කාර් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ. අවුරුදු ගාණක් රට ඉඳලා ආපු එකෙකුට ඉස්සරලාම හම්බවෙච්ච චිකන් කොත්තුව වගේ කටුවක් වත් ඉතුරු නොවෙන්න කාර් ටික වැනිෂ් වෙලා ගිහිං කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. ඉතින් පස්සේ පරම්පරා වලට බලන්න මේකෙ ආකෘති හදන්න ජපානේ කෞතුකාගාර වලට පවා සිද්ධ වුණා.

ආකෘතියක්


මේ අතරේ හරි අපූරු වැඩක් වුණා. 2008 අවුරුද්දේ ආරංචියක් ආවා රුසියාවේ Vladivostok කියන නගරේ මෙයින් ඔරිජිනල් කාර් එකක් තියනවා කියලා. රුසියාවේ පත්තරේක ඇඩ් එක ගිහින් තිබුණේ Chrysler Airflow එකක් විකුණන්න තියනවා කියල ලු. කාර් එකේ ලියාපදිංචි සහතික වල තිබිලා තියෙන්නෙත් එහෙමයි. 

නමුත් එහෙ අවුරුදු 25 ක කොල්ලෙක්ට භාණ්ඩේ ඇත්තටම මොකක්ද කියලා මීටර් වෙලා තිබ්බා. ඒ වුණාට සාමාන්‍යයෙන් ලංකාවේ වගේ ඕන පූසෙක්ගෙ කනෙන් රිංගන පූස් මැක්කෝ ලෝකේ කොහෙත් ඉන්න නිසා කවුරුවත් මේ කතාව එච්චරම ෂුවර් කළේ නැහැ. නමුත් මේක දැනගත්ත ගමන් නෙදර්ලන්තේ Louwman කෞතුකාගාරයේ කළමනාකාර අධ්‍යක්ෂ Ronald Kooyman අර කොල්ලට කියලා කාර් එකේ ෆොටෝස් එහෙම ගෙන්නගෙන බැලුවා. එතකොට තහවුරු වුණා මේක ඇත්තටම ජෙනුයින් Toyota Model AA එකක් බව...



මේක තිබිලා තියෙන්නේ සයිබීරියානු ගොවියෙක් ගාව. ලෝක යුද්ධ කාලේ ඉඳන්, අවුරුදු හැට ගාණක් තිස්සේ එයාගේ පවුලේ තමයි මේක තිබිලා තියෙන්නේ. හැබැයි මෙයා මේක පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් පළවෙනි ඇනිවර්සරි එකට දීපු මැටි පූසා වගේ පරිස්සමට තියාගෙන ඉඳලා තිබ්බේ නැහැ. ඇත්තටම කිව්වොත් මේක ට්‍රැක්ටරයක් හෝ ලොරියක් වගේ මඩ නාලා, බර ඇදලා තිබ්බා. ඒ වගේම යම් යම් වෙනස්කම් මේකේ කරලා තිබ්බා (ඒ මනුස්සයා කොහෙන් කියලා ස්පෙයා පාට්ස් හොයන්නද! ඇටවිල්ලං සරණං තමා!). 

පස්සේ කාලෙක මේක සයිබීරියාවෙන් රුසියාවේ Vladivostok නගරයට ගෙනල්ලා. ඒ නගරේ තමයි අර ගොවි මහත්තයාගේ මුණුබුරා ජීවත් වුණේ. හැබැයි කාර් එක කොයි කාලේ ආවද කියන්න එයාට වත් නිච්චියක් තිබ්බේ නැහැ (මරු මුණුබුරා!).





කොහොමෙන් කොහොම හරි කාර් එක Louwman කෞතුකාගාරයට අරගෙන යන්න අවශ්‍ය කටයුතු ටික කරගන්න රුසියානු සංස්කෘතික අමාත්‍යංශයෙන් අවසර ලැබුණා. මේ වැඩ ටිකට මාස 7 ක් විතර ගතවුණා කියලා ටොයෝටා වෙබ්සයිට් එකේ තියනවා. අන්තිමට කෝච්චි වල සහ කන්ටේනර් වල නැගලා Toyota Model AA එකේ ඉතුරු එකම එක ඔරිජිනල් කාර් එක නෙදර්ලන්තයට ආවා. මේක 1936 දී හදපු මුල්ම කාර් සීයෙන් එකක් කියනවා.

කාර් එක පටවගත්තු හැටි

මේ අපූරු කතාව ඔයාලට මෙන්න මේ ලින්ක් එකට ගිහින් කෞතුකාගාරේ වෙබ්සයිට් එකෙන්ම කියවන්න පුළුවන්: www.louwmanmuseum.nl/Ontdekken/Ontdek-de-collectie/toyoda-aa

මම ටොයෝටා ෆෑන් කෙනෙක් නෙමෙයි. ටොයෝටා වාහන එක්ක කවදාවත් මගේ ලොකු බැඳීමක් තිබ්බේ නැහැ. නමුත් ටොයෝටා කියන්නේ කිසිම කාර් පිස්සෙකුට මගහැරලා යන්න බැරි අතිදැවැන්ත බ්‍රෑන්ඩ් එකක්. කාර් ක්ෂේත්‍රයේ ටොයෝටා කියන්නේ නිකං හෝටල් ක්ෂේත්‍රයේ පරිප්පු වගේ තමා. මහ ලොකු රහකුත් නැහැ, ඒ වුණත් නැතුවත් බැහැ.

මේ කතාව ඇහුව දවසට වඩා ලිව්ව දවසේ මගේ හිතේ ටොයෝටා ප්‍රේමයක් මෝදු වුණාද මන්දා...! 


තරිඳු ශ්‍රී ලොකුගමගේ 
05.05.2017 
www.facebook.com/CarPissuwa

පසු සටහන: පරිප්පු කතාව ලිව්වේ ටොයෝටා ෆෑන්ස්ලගේ හිත් රිද්දන්න නෙමෙයි. ඒ නිසා 2000GT කියලා කෑගහන්න එපා.