Monday, September 10, 2018

පනස් අට වසරක ප්‍රේම කතාවක්





 "අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..."

ගිනිගහන මද්දහනේ, කෑගහන සතිපොළක් මැද්දේ, කෑගහන මිනිස්සු අතරේ, සන්සුන්ව, හිනාවීගෙන කතාකරන අසෝකරත්න මහත්මයාගේ කටහඬ මතක් කරද්දී මට මුලින් මතක් වෙන්නේ ඒ වචන ටික.

"අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..."

සති අන්තයේ අඩුම කුඩුම ටිකක් ගන්න කම්මැලි කමින් මිරිකී මිරිකී පානදුර පොළ ඇතුළට ගිහින් වාහනෙන් බහිනකොටම දැක්කේ මේ හතර ශ්‍රී පුංචි මී මැස්සා හෙවත් වෙස්පාව. බයික් වලට මහා ආසාවක් නැතත් ක්ලැසික් බයික් වලට ටිකක් ආසා, ඊට වඩා ටිකක් වැඩිපුර ක්ලැසික් ස්කූටර් වලට ආසා කෙනෙක් විදිහට ඉඳහිට පාරේ දකින Chetak එකක් අතගාන මට Vespa එකක් දැක්කම එන්නේ අර්ජුන කමලනාත්ලා අස්සෙන් විජය කුමාරතුංග මතුවුණා වගේ ෆීලින් එකක්... 

නැත්නම් කුසල් ජනිත් ගහනවා බලලා ඊට පස්සේ ජයසූරිය ගහනවා බැලුවා වගේ ෆීලින් එකක්...

එහෙම නැත්නම් නිව් බීට්ල් එකක් දිහා බලන් ඉන්නකොට ප්‍රේමතිලක මහත්තයාගේ කහ කිරිල්ලි එතනින් ගියා වගේ ෆීලින් එකක්...

මේවා ලියන්නේ Chetak වලට අපහාස කරන්න නෙමෙයි. හැබැයි වෙස්පා දෙනවා කිව්වොත් ඔය Chetak මල්ලිලා දුවන්නේ මාළු කාරයා මාලෝ කියන පරක්කුවට පූසෝ සේරම ඤාවෝ කියනවා වගේ ඉක්මනට...

ආපහු සතිපොළේ සීන්කෝන් එකට එනවා නම්, වාහනෙන් බහිනකොට දැක්ක 4 ශ්‍රී වෙස්පා එකට මගේ හිත හරියට මල්මල් විෂුවල් එකක කොල්ලා කෙල්ලට දැපනේ වැටෙනවා තරම් කුයික් එකේ වසී වුණා. මම වහාම ගිය වැඩේ පැත්තක දාලා සීනි ඇටේ වටේ කැරකෙන ඇඹල පුතා වගේ ඒක වටේ කැරකෙන්න පටන් ගත්තා.

ඒක දැක්කා එතන හිටපු අම්මෙකුයි දුවෙකුයි. එයාලා මන් දිහා බැලුවේ 'පිස්සෙක් ඇවිත්, අපි යමුද' වගේ භීති-පූර්වක මඤ්ඤං-මිශ්‍රිත අපහාස-ලාලිත ජංජාල-සජ්ජිත චෛතසිකයකින්...

මම එයාලගේ භී.ම.අ.ජ. තත්ත්වය එයාලට විඳගන්න ඇරලා දිගටම අර සීනි ඇටේ වටේ කැරකුණා.

ටික වෙලාවකින් වියපත් මහත්මයෙක්, හෙල්මට් එකකුත් දාගෙන, සන්සුන් ගමනින්, කෙහෙල් කඩේක ඇම්බුං යායක් අතරින් එළියට ආවා. මට තේරුණා මේ තමයි වෙස්පා ළඳගේ අතගත් හිමි සඳ කියලා.

මම සාමාන්‍යයෙන් අර අහක යන මිනිස්සුන්ගේ අතින් ඇදලා නවත්තගෙන උන් කාපු බූට්, ට්‍රිප් ගිය රූට් සහ මහගත්තු සූට් ගැන පැයක් තිස්සේ අහන ජාතියේ සමාජශීලී අපතයෙක් නෙමෙයි. ඒ නිසා එක තත්පරයක් මම කල්පනා කළා මෙතුමාට මී මැස්සා පිටේ නැගලා පියාඹන්න ඇරලා ආශාව දෙපරන්සේ ගහගෙන ගෙදර එනවද, නැත්නම් ඒ වයසක මනුස්සයව ගිනි අවුවේ හිට්ටෝලා තියලා පුරස්න අහනවද කියන එක.

අන්තිමට මම තෝරාගත්තේ පවුකාර ඔප්ෂන් එක.



සදාචාරය තකා එක්ස්කියුස් මී කියන්නත් කලින්, සංස්කෘතිය තකා නම ගම අහන්නත් කලින්, මනුස්සකම තකා ඔබතුමාට ඩිංගක් කතා කරන්න වෙලාවක් තියනවද අහන්නත් කලින්, ආගම තකා මේ මනුස්සයා අවුවේ මඩවන එක පවු නේද කියලා හිතන්නත් කලින්, කාර් පිස්සුව තකා මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

"මේක ඔබතුමාගෙද?"

මෙන්න මේ ප්‍රශ්නේ අහපු ගමන්, වාහන අයිතිකාරයාගේ මූණේ ඉරියවු වෙනස් වෙන දිශාව, වේගය, උස, දිග සහ පළල වගේ මානයන්ට අනුව, ඊළඟට තියෙන්නේ මතක සමුදායක්ද ගුටි පූජාවක්ද කියන එක සාමාන්‍යයෙන් කාර්/වෑන්/ලොරි/බයික් පිස්සන්ට තේරුම් ගන්න පුළුවන්.

වෙස්පා හිමිකරුගේ මුහුණේ තුංගා පියකරු හිනාවක් ඇඳුණා. ඒක ආඩම්බරය, සතුට, සැහැල්ලුව, හිතවත්කම සහ අත්දැකීම් බහුලත්වය වගේ බොහෝ දේවල් කැටිකරගත්තු හිනාවක්.

"ඔවු මගේ තමයි."

ඊළඟ ප්‍රශ්නය, පරණ වාහනයක් සහ වියපත් අයිතිකරුවෙක් දැක්කම නිතැතින්ම ඇහෙන ප්‍රශ්නයක්. හරියට කිඹුලා කිව්වම සතා මතක් වෙනවා වෙනුවට නිකම්ම බනිස් කියවෙනවා වගේ.

"කොච්චර කාලයක්ද ඔබතුමා ගාව?"

එතුමාගේ අර පියකරු හිනාව දෙගුණ වුණා.

"අවුරුදු පනස් අටක් විතර."

මම පුටින් බලන්න ඉන්නකොට රස්පුටින් දැක්කා වගේ හොල්මන් වුණා.

"ඒ කියන්නේ ෆස්ට් ඕනර් ඔබතුමා??"

"ඔවු. මම මේක ගත්තේ යුනිවර්සිටි යන්න. කාර් මාර්ට් එකෙන් ගත්තේ"

එතන ඉඳන් මම ප්‍රශ්න ඇහුවේ හරියට රංජන් මඩුගල්ලේ දැකපු රාජකීයයෙක් වගේ ගෞරව ඉරියවුවකින් (ඉස්සර ප්‍රින්සිපල් එනවා කිව්වත් කචකචේ නවත්තනේ නැති රාජකීය ශිෂ්‍යයෝ ඉස්කෝලෙට රංජන් මඩුගල්ලේ එනවා කෑ ගහන්නේ නැතුව ඉඳපල්ලා කිව්වම ජයමංගල ගාථා කියන්න බලාගෙන ඉන්න ගෑනු ළමයි වගේ සන්සුන් වෙනවා. දැන් නම් එහෙම නැතුව ඇති සමහරවිට). දකින මිනිස්සු හිතන්න ඇති මගේ පරණ ගුරුවරයෙක් හම්බ වෙලා කියලා.

එතන ඉඳන් ඉදිරියට එතුමා විස්තර කළා එතුමා ඔය පුංචි මී මැස්සට එච්චර ආදරේ ඇයි කියන එක. බැලින්නම් එතුමා ඉස්සර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති විදිහටත් කටයුතු කරලා තියනවා. තමන්ගේ බොහොම දීර්ඝ වෘත්තීය ජීවිතය ඇතුළේ, දවසක් දෙකක් හැර, වෙන කිසිම දවසක එතුමාට බස් එකේ ඉස්කෝලේ යන්න වෙලා නැහැ. 

අනික් අතට මේක නඩත්තු කිරීම, අද පවා, හරිම පහසුයි ලු. ඉඳහිට කොළඹ යන වෙලාවක, අවශ්‍යම නම් විතරක්, පංචිකාවත්ත පැත්තේ අර සුප්‍රකට අමතර කොටස් කඩ වලින් එතුමා අත්‍යවශ්‍ය අමතර කොටසක් දෙකක් අරගෙන තියාගන්නවාලු. ඒ ඇරෙන්න කවදාවත් වැඩ අතපසු කරගෙන බඩු හොයන්න තරමට ලෙඩ දීපු නැති වාහනයක් කියලා තමයි එතුමා කිව්වේ. මේ සියල්ල නිසා, රාජකාරි හෝ වෙනත් කටයුතු වලදී ගමනගමනය ගැන වද නොදී, කරන්න අවශ්‍ය දේ ගැන අවධානය දෙන්න එතුමාට මේ වාහනේ ජීවිත කාලෙ පුරාම උපකාරී වුණා ලු.

"මේක ඔය පොඩියට තිබුණට හරි සුවපහසුයි."

එතුමා වාහනේ අගය කිරීම අවසන් කළේ එහෙම.

"මම ෆොටෝ එකක් ගත්තට කමක් නැහැ නේද?" මම ඇහුවේ Vespa එකේ V අකුර වගේ ඇදවෙන ගමන්. එතුමාට කලින්ටත් වඩා ලොකු හිනාවක් ගියා.

"ගන්න ගන්න."

එහෙම කියලා එතුමා කැමරා කාචයට අහුවෙන සීමාවෙන් එහාට ගියා. මම බොහොම ඉක්මනට වෙස්පා එකේ ෆොටෝ එකතුනක් ගත්තා.



මට අවශ්‍ය වුණා එතුමා එක්ක සෙල්ෆි එකක් ගන්න. නැත්නම් අඩු තරමින් එතුමාගේ ෆොටෝ එකක් ගන්න. නමුත් දැනටමත් සෑහෙන වෙලාවක් එතුමාව අවුවේ තියාගෙන හිටපු නිසා ෆ්‍රන්ට් කැමරා ඔන් කරගෙන ගිනි අවුවේ ස්ක්‍රීන් එක බලන්න දඟල දඟල සෙල්ෆි ගහන නැහදිච්චි කමකට මගේ හැදිච්චි හිත නොනැවෙච්චි!

සමාවෙන්ඩ!

මම එතුමාට බොහොම ගෞරවයෙන් ස්තූති කරලා, සමු අරන් යන්න කලින් එතුමාගේ නම ඇහුවා.

"මම අසෝකරත්න..."

මට මුලින් අවශ්‍ය වුණේ මේ ෆොටෝ ටික නිකං ෆේස්බුක් එකේ දාන්න විතරයි. නමුත් දිගින් දිගට එතුමා සහ එතුමාගේ වෙස්පාව ගැන කල්පනා කරනකොට, මට හිතුණා මේක දීර්ඝව ලියන්න ඕන කියලා.

මගේ හදවතට වදින දේවල් මම ලියන්නේ බ්ලොග් එකේ. ෆේස්බුක් එක කොච්චර ජනප්‍රිය වුණත්, මගේ පොත් ප්‍රකාශන වැඩේට ඒක මට වචනයෙන් කියන්න බැරි තරම් ශක්තියක් වුණත්, හදවතේ ගැඹුරට කිඳා බහින හිනා කඳුළු අකුරු කරලා අලවන්න තරමට ෆේස්බුක් එක සංවේදී නැහැ කියලයි මට හිතෙන්නේ.

දැන් මට පුළුවනි මෙතන දීර්ඝ සංවාදයක් පටන්ගන්න, අපි ෆස්ට් ඕනර් වාහන වලට මෙච්චර ආසා ඇයි කියන එක ගැන. අවාසනාවකට ලංකාවේ බයින් ඇන්ඩ් සෙලින් කරන්න කබරගොයාලා ෆස්ට් ඕනර් වාහන කියන්නේ අසූව දශකයෙන් පස්සේ පවරා ගන්නේ නැතුව සීයකගේ විතර අතින් අතට ගිය වාහන වලට නිසා ඇත්තටම පළවෙනි අයිතිකරුවෙක් ජීවිත කාලයක් ආදරයෙන් බලාගත්තු ෆස්ට් ඕනර් කාර් එකක් හම්බවෙන්නේ හරිම කලාතුරකින්. නමුත් එහෙම සංවාදයක් පටන්ගත්තොත්, අසෝකරත්න මහත්මයාගේ ප්‍රේම කතාවට වඩා ඒ සංවාදයට අවධානය යයි කියලා මට බයයි. 

මට කතාකරන්න අවශ්‍ය මිනිස්සු සහ වාහන අතර තියන බැඳීම් ගැන විතරයි. ඒක අපේ කාලයේ මනුස්සකම් වල අපූරු පැතිකඩක්. 

මිනිහෙක් දශක හයක් තිස්සේ, තාක්ෂණය පියාඹද්දී, සංස්කෘතිය පුපුරා යද්දී, ජීවන රටාවල් සංකීර්ණ වෙද්දී, තමන්ගේ පෞද්ගලික ජීවිත ඔළුවෙන් හිටවෙද්දී පවා එක දෙයක් ළඟ තියාගෙන ආදරයෙන් රකිනවා නම්, මුල්ලක නොදා තාමත් එදා වගේම හරියට පාවිච්චි කරනවා නම්, එතන තියෙන්නේ නිකම්ම භාණ්ඩ හිමිකාරීත්වයක් නෙමෙයි. ඒක බැඳීමක්. මිනිස්සු සහ මනුස්ස නිර්මාණ අතර ඇතිවන අපූරු බැඳීමක්.




අසෝකරත්න මහත්මයට පහුගිය දශකයකදී අවශ්‍ය නම් ඕක විකුණලා තැපැල් නයින්ටියක් වගේ එකක් ගන්න තිබ්බා. නැත්නම් ටොයෝටා කොරොල්ලා එකක් ගන්න තිබ්බා. නැත්නම් ඩෙලිකා වෑන් එකක් ගන්න තිබ්බා.

ඒත් එතුමා ජීවිතේ හැත්තෑ වෙනි සැතපුම් කණුව පහුකරලා ඉද්දී පවා, දේශගුණ විපර්යාස මැද්දේ ක්‍රමයෙන් පෝරණුවක් බවට හැරෙමින් තියන පානදුර පොළේ, කොහෙන් ආපු මොකෙක්ද කියලා දන්නේ නැති මිනිහෙක් (හෙවත් මම) එක්ක, තමන් අවුරුදු පනස් අටකට කලින් ගත්තු වෙස්පා එක ගැන තමන්ගේ හිතේ තියන ආදරය වචන වලට හරවනවා.

මගේ ලිවිල්ල උපදින්නේ මේ මිනිස්සුන්ගේ හදවත් වලින්...

ඒ හදවත් වලට මම සදා ණයගැතියි...!
   
තරිඳු ශ්‍රී ලොකුගමගේ 




Monday, August 27, 2018

කාර් පිස්සුව Soi 11 වුණු හැටි සහ පොත් හතරේ කතාව


පොත් ටික ගෙදරට ගෙනත් දීපු ලේක්හවුස් එකේ ලොරිය පිටත් වෙලා ගියාට පස්සේ පළවෙනි පොත් පැකට් එක කඩලා පොතක් අතට ගන්නකම් සිහියක් තිබ්බේ නැහැ. අතට අහුවුණේ අයිස් කැට වැටෙන කාලය. ඒකෙ පිටකවරයේ ලස්සන දැක්ක ගමන් අලුතින් හිටෝපු මල් පැළ පාත්තියක පළවෙනි මල දැක්කා වගේ සතුටක් හිතට ආවා. 

පොත දැකපු ගමන් අම්මා කිව්වේ "තාත්තත් හිටියා නම්..." කියලා... 

Soi 11 සමාගම ලියාපදිංචි කරලා, ඊට පස්සේ ගෙදර ඉස්සරහා කාමරේ ඔෆිස් එකක් විදිහට හැදුවට පස්සේ මම පොත්පත් ටික පිළිවෙලට තියාගන්න අලුත් කබඩ් වගයක් ගත්තා. ඒ අලුත් කබඩ් වල පොත් ටික අහුරද්දී මට මතක් වුණේ මේ ගෘහ පුස්තකාලය හදද්දී තාත්තාගේ සල්ලි කොච්චර නම් වියදම් වෙන්න ඇතිද කියලයි. අමාරුවෙන් හම්බකරලා වියදම් කරන අද දවසේ මට තාත්තා ඒ දවස් වල මගේ දඩ සයිස් පොත් වලට වියදම් කරන්න ඇත්තේ කොච්චර අමාරුවකින් වෙන්න ඇතිද කියලා හිතෙනවා. 

සතුටුදායක දෙයක් දුක හිතෙන පැත්තකින් ආරම්භ කිරීම ගැන සමාවෙන්න. තාත්තා ගැන කතා නොකර මේ කතාව පටන්ගන්න බැහැ. 




මම කවදාවත් ව්‍යවසායකයෙක් වෙන්න කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් කාර් පිස්සුව ජනප්‍රිය වෙලා ඉස්සරහට යද්දී සහ කාර් ගැන සිංහලෙන් කතා කිරීමේ සම්ප්‍රදාය විධිමත් විදිහට ඉස්සරහට යද්දී මට මේක අන්තර්ජාල අවකාශයෙන් එහාට ගෙනයාමේ අවශ්‍යතාව තදට දැනුණා. මොකද අන්තර්ජාල අවකාශය තුළ තාමත් බොහෝ දෙනෙක් 'ක්ෂණික කික් එකකින්' සෑහීමකට පත්වෙනවා. ඒ කියන්නේ ඉන්ටනෙට් එකෙන් ගත්තු ජෝක් එකක් හරි quote එකක් හරි අමුවෙන් සිංහලට දාලා, අන්තිමට 'සහෝ' හරි 'බ්‍රෝ' හරි කියලා ලියලා දාලා, ඕක බූස්ට් කරලා හෝ නොකර ෂෙයාර් කරලා, ඊට පස්සේ ලයික් සහ ෂෙයාර්ස් ගාන දිහා බුකෝගෙන බලන් ඉන්න සීමාවෙන් එහාට මේක ගෙනියන එක මගේ වගකීමක් කියලා මට හිතුණා. මොකද කික් වලින් අපේ හෙට දවසට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඕක හරියට බඩගින්නට එනර්ජි ඩ්‍රින්ක්ස් බොනවා වගේ වැඩක්. පස්සේ හෝස් ගාලා බඩෙන් ගෑස් එන්න ගත්තම අනා ප්ලීස් කියවෙනවා. 

අනික් අතට, අලුත් දෙයක් හොයාගත්තම 'අත දෙන්න කවුරුත් නෑ' කියකියා තියන ආණ්ඩුවටයි ගිය ආණ්ඩුවටයි එන්න ඉන්න ආණ්ඩුවටයි බැන බැන දහ අතේ යනවා වෙනුවට ණයක් හරි අරගෙන තමන්ගේ වැඩේ සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට දියුණු කළ යුතුයි කියලා මම බොහොම තදට විශ්වාස කරනවා. මොකද හැම කෙනාටම අත දිදී ඉන්න පුළුවන් කමක් ලෝකේ කිසිම ආණ්ඩුවකට නැහැ. කාර් පිස්සුව සම්ප්‍රදාය අලුත් සම්ප්‍රදායක්. ඒක වඩාත් පුළුල් මට්ටමකට ගෙනයනවා නම් වාණිජ පැත්තක් තියන එක වළක්වන්න බැහැ. ඉතින් කාගෙන්වත් අත ඉල්ලන්නේ නැතුව කෞශියි මායි එකතු වෙලා අපේ ඉතුරුම් මේ වැඩේට ආයෝජනය කළා. 

අපි දෙන්නම කාර්ය බහුල රාජකාරි කරන දෙන්නෙක් නිසා මේ වැඩේ කොච්චර දුරකට ගෙනියන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ නිසා මුලින්ම තීරණය කළා වැඩේ සම්පූර්ණ වෙනකල් කාටවත් නොකියන්න. 

අමාරුම දේ වුණේ ව්‍යාපාර ලියාපදිංචියේදී රාජ්‍ය ආයතන වලට පොත් ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක කියලා දීම. මොකද ගොඩක් අය එකපාරටම අහන්නේ ප්‍රෙස් එකක්ද කියන එක, මුද්‍රණාලයක් කරගෙන යන්න විශේෂ බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රෙස් එකක් නෙමෙයි පබ්ලිෂින් එකක් කියන එක පැහැදිලි කරන්න විශේෂ වෙහෙසක් ගන්න වුණා. මේක නිලධාරීන්ගේ වරදක් නෙමෙයි. මේවා හැමදාම ලියාපදිංචියට ඉදිරිපත් වෙන ව්‍යාපාර නෙමෙයි නේ. මොනවා වුණත් දැන් ඒ කටයුතු ඉස්සරට වඩා ටිකක් පහසුවට කෙරෙනවා මම හිතන්නේ. අඩු ගානේ නිලධාරීන් දැන් හිනාවෙලා කතාකරනවා. ඒත් මදැයි. කොහොම හරි වැඩි ගැටලුවක් නැතිව අවශ්‍ය කටයුතු ටික කරගත්තා. ඒකට උදවු වුණු හැමදෙනාටම මගේ ස්තූතිය. 




දැන් වැදගත්ම කතාවට එමු. ඒ කියන්නේ පොත් හතර සහ ඒවාට පසුබිම් වුණු විෂයන්. 

පළවෙනිම එක තමයි 'ෆොක්ස්වැගන් ප්‍රශ්න සහ උත්තර - ෆොක්ස්වැගන් ගන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් ලියැවුණු අත්දැකීම් එකතුවක්' කියන පොත. මේකට තමයි මම මුලින්ම ISBN අංක සහ CIP දත්ත ඉල්ලුම් කළෙත්. 

කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක පටන් ගත්තු දවසේ ඉඳන්ම කට්ටිය නිතරම මගෙන් අහලා එවනවා ෆොක්ස්වැගන් ගැන විවිධ ප්‍රශ්න. මට ෆොක්ස්වැගන් එකක් තිබීම, මීට කලිනුත් ෆොක්ස්වැගන් ප්‍රොජෙක්ට් එකකින් නාගෙන තිබීම, 9 ශ්‍රී 5333 මේ වෙනකොට ටිකක් ජනප්‍රිය කාර් එකක් වීම සහ 5333 මාත් එක්ක රට වටේ යාම වැනි දේවල් නිසා මගෙන් වැඩියෙන්ම කට්ටිය අහන්නේ ෆොක්ස්වැගන් ගැන ප්‍රශ්න තමයි. සමහර වෙලාවට අධික වැඩ නිසා මට දිගට උත්තර ලියන්න අමාරු වෙන වෙලාවල් එනවා. ඉතින් පොදුවේ කාටත් සුළු මුදලකට මේ මූලික ප්‍රශ්න වලට උත්තර ලැබෙන පොතක් ලියන්න මට වුවමනා වුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පොත පළවුණේ.




දෙවෙනි පොත තමයි 'ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව'. මට ඉස්සර ඉඳන්ම, ලංකාවේ කාර් පිස්සුව තියන තවත් ගොඩක් අයට වගේම, ෆෝඩ් කෝටිනා මාක් 3 එක ගැන පොඩි මෙවුවා එකක් තිබ්බා. ඒක හරියට තක්කාලි ඇලජික් වෙන එකෙක් පීසා එකක් ගැන හිතනවා වගේ දුක්බර මෙවුවා එකක්, මොකද ඉඩකඩ සීමිත නිසා මගේ ගෙදර ෆොක්ස්වැගන් එකත් එක්ක කෝටිනා එකක් තියාගන්න ටිකක් අමාරු වෙන්න ඉඩ තියනවා. කෝටිනා එක ගැන මම ඉස්සර ලියපු 'කෝටිනා කොරෝනා සහ කෝක් තමා ඕනා' කියන ලිපියේ විස්තර තියනවා ඔයාලට මතක ඇති (මේ ලිපිය දැන් 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' පොතේ තියනවා). කොහොම වුණත් මේ පොත් ලිවිල්ලත් එක්ක කෝටිනා ගැන හොයන්න පෙළඹුණාම මට තේරුණා කෝටිනා එකට හරිම අලංකාර ඉතිහාස කතා දෙකක් තියන බව. මේ රස කතා දැනගෙනත් ඒවා නොලියා ඉන්නවා කියන එක අපරාධයක් කියලා හිතුණු නිසා මම තීරණය කළා දෙවෙනි පොත ඒ ගැන ලියන්න. 




තුන්වෙනි එක තමයි 'කාර් පිස්සුව සිතිවිලි එකතුව.' මේක කාර් පිස්සුව බ්ලොග් එකේ 2016 සහ 2017 අවුරුදු වල පළවුණු බ්ලොග් පෝස්ට් එකතුවක්. මේ සමහර පෝස්ට් මම මුද්‍රිත පොතකට හරියන විදිහට සංස්කරණය කළා. ඉස්සර ඉඳන්ම අපේ ආසිරි ඇල්ලගේ ඇතුළු ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා බ්ලොග් ලිපි එකතු කරලා පොතක් ලියන්න කියන එක. කාර්ය බහුලත්වය නිසා ඒ කාලේ මේක කරන්න වුණේ නැහැ. නමුත් පහුපහු වෙද්දී ගොඩක් දෙනෙක් කියන්න ගත්තා විශේෂයෙන්ම ෆෝන් එකෙන් බලද්දී පරණ පෝස්ට් හොයන්න අමාරු බව. ඉතින් ඒ නිසා, මම කැමතිම සහ කට්ටියට වැඩියෙන්ම වැදගත් වෙයි කියලා හිතුණු බ්ලොග් පෝස්ට් 26 ක් එකතු කරලා මම මේ පොතත් මුද්‍රණය කළා. 




අන්තිම සහ විශේෂම එක තමයි අයිස් කැට වැටෙන කාලය. මේක පළකරන්න මට කිසිම් අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. මේකේ තියෙන්නේ 2009 ට කලින් මම ලියපු කෙටිකතා කිහිපයක් සහ 2018 දී මම ලියපු එක කෙටිකතාවක්. මම ඉස්සර ඉඳන්ම කෙටිකතා කලාවට ආසයි. 2003 දී මම ලියපු 'නතාෂා මර්යුට්කා පිළිබඳ මතකය' කියන කෙටිකතාව ඒ අවුරුද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ විවෘත අංශයේ සම්මානය දිනුවා. කෞශි අදටත් ඒ කතාවට හරිම ආදරෙයි. නමුත් මම අද ඒ කතාව ගැන තෘප්තිමත් නැති නිසා මේ කතා එකතුවට ඒ කතාව එකතු කළේ නැහැ. මේ කතා කාර් ගැන කතා නෙමෙයි. එක කතාවක ප්‍රධාන කාර්යභාරයක් Citroen 2CV එකකට පැවරිලා තියනවා. ඒ කතාව තමයි මේ කතා අතරින් මගේ ප්‍රියතම කතාව. කොහොම වුණත් තවත් කාර් පොතක් කියලා හිතලා මේ පොත සීරියස් සංවාදයකට එකතු නොවී යටයාවි කියන බය මට තියනවා. ඒ නිසා සීරියස් සාහිත්‍යයට කැමති නම් සහ මගේ රචනා ශෛලියට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පොත අරගෙන කියවන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. 




මීට අවුරුදු 12 කට විස්තර ඉස්සර මට ඉස්සරලම රැකියාවක් දීලා මට ඔළුව උස්සන්න අතදීපු සදීපා ප්‍රකාශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර වන්නිඅච්චි මහත්මයට පොතක් දීලා තමයි මම මගේ පොතේ අලෙවි කටයුතු පටන්ගත්තේ. කැම්පස් එකේ කලා උපාධිය කරන්න පටන් ගනිද්දීම මට තේරුණා උපාධිය විතරක් කළොත් මගේ ජීවිතේ අවුරුදු කීපයක් වෘත්තීය සුදුසුකම් නැතුව අපතේ යන බව. ඒ නිසා සුළු රැකියාවකින් වෘත්තීය ජීවිතේ පටන්ගන්න මට අවශ්‍ය වුණා. ඒ වෙලාවේ මගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් නොවෙන ආකාරයට රැකියාවක් කරන්න මට අවස්ථාව දුන්නේ සදීපා එක. ඒ වෙනුවෙන් මගේ හදවතේ තියන කෘතඥතාව කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ.  




දැන් මේ පොත් ටික සදීපා, සරසවි සහ ලුමිනෙක්ස් පොත්හල් වල තියනවා. ඉදිරියේදී තවත් පොත්හල් වලට මේවා භාරදෙන්න බලාපොරොත්තු වෙනවා. 

ඊට අමතරව grantha.lk එකෙන් මේ පොත් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 




පුළුවන් කමක් තියනවා නම් අරගෙන කියවලා ප්‍රතිචාර එවන්න. ග්‍රන්ථ එකට ඉස්සරලා දාපු පොත් සෙට් එක දවසින් ඉවර වුණා. ඒ නිසා පහුවදා අලුත් පොත් ගිහින් දෙන්න වුණා. ඊට අමතරව සදීපා එක පැත්තෙන් විකිණෙන පොත් සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබෙන්නේ සදීපා එකේ කාර්ය මණ්ඩලය කොච්චර ඉක්මනට සහ හොඳට මේ පොත් ටික දෙනවාද කියන එකත් එක්කමයි. ඒ සම්බන්ධයෙන් එයාලට මගේ විශේෂ ස්තූතිය. 

මේ පොත් අරගෙන ගිය අය ඒ පොත්වල ෆොටෝ ගහලා පොත් අගය කරලා එවනකොට ඇතිවෙන හැඟීම මට වචන වලට පෙරළන්න බැහැ. ඒක හරියට මලකඩ හැලෙද්දී පටවාගෙන ආපු කාර් එකක සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා ඉස්සරලා පාරට දැම්ම ඇතිවෙන හැඟීම වගේ දෙයක්. 

කාර් පිස්සුව Soi 11 විදිහට මහපොළොවේ දෙයක් බවට පත්කරන්න  දායක වුණු ඔයාලා හැමෝටම ස්තූතියි. Soi 11 - by Tharindu Sri පේජ් එකටත් ගොඩවෙලා යන්න අමතක කරන්න එපා. 

  පොත්වල පිටු සැකසුම කළේ හරේන්ද්‍ර ගමමැදගේ 

  ලස්සනට කවර හැදුවේ ශේන් රත්නායක 


  සුපිරියට මුද්‍රණය කළේ ලේක්හවුස් වාණිජ මුද්‍රණ අංශය. සම්බන්ධීකරණය කරලා ගොඩක් උදවු කළේ සුමිත්. 



තරිඳු ශ්‍රී ලොකුගමගේ 
27.08.2018 
www.facebook.com/CarPissuwa
www.facebook.com/Soi11byTharinduSri

Saturday, July 7, 2018

හුළඟත් එක්ක ගිය හදවත්



එංගලන්තේ මහපොළොවට පය තියලා දවසක් යන්නත් කලින් ඉරාන් අයියා කළේ මට ෆෝඩ් තේම්ස් වෑන් එකක ෆොටෝ එකක් එවන එක. ඒ වෑන් එක තමයි ඔය උඩ තියෙන්නේ. 

ඉරාන් අයියා එංගලන්තේ පදිංචියට යනවා කියලා මම දැනගත්තේ බොහොම පස්සේ. මගේ රාජකාරී වැඩ සහ මුරුක්කුසඤ්ඤං සෝෂල් ස්කිල්ස් නිසා ළඟම යාළුවෝ එක්ක පවා තොරතුරු හුවමාරු වෙන්නේ අඩුවෙන්. කොටින්ම තාම බැඳලා නෑ කියලා මම හිතන යාළුවෝ එයාලගේ දුවලාගේ වෙඩින් වලදී මට මුණගැහෙන්න පවා ඉඩ තියනවා.

ඉරාන් අයියාව මම අඳුරගත්තේ ටික කාලයකට කලින් මම රැකියාව කරපු ආයතනයකදී.  පොත් ප්‍රකාශන ආයතනයක ඉතාම හොඳ මට්ටමේ රැකියාවක් කළත් ඒක ඉතාම ගතානුගතික තැනක් වීම නිසා මට මගේ හැකියාවන් හොඳට පාවිච්චි කරන්න පුළුවන් රැකියාවකට මාරුවෙන්න අවශ්‍ය වුණා. එහෙම හොයාගෙන ගිය තැන තමයි ඉරාන් අයියා හිටියේ. මාව ඉන්ටර්වීව් කළෙත් ඉරාන් අයියා. කිසිම නෑදෑකමක් නොතිබුණත් මගේ වාසගමම තිබීම නිසා, නෑදෑයෙක් වැඩට ගත්තා නේද කියලා හැමෝම අහන්න ඉඩ තියෙද්දී පවා ඉරාන් අයියා සමාගමේ ප්‍රධානියාට මාව නිර්දේශ කළා. වැඩි කාලයක් නොඉඳ මම එතනින් අස් වුණත් එතනදී අඳුරගත්තු ඉන්දිකත් ඉරාන් අයියත් මගේ ජීවිතේට බොහොම සමීප වුණු හැටි ගැන, මගේ ජීවන රටාව එක්ක බලද්දී, මටම පුදුමයි. 

ලංකාවෙන් යන්න කලින් මට කෝල් එකක් දීපු ඉරාන් අයියා කතා කළේ බොහොම හැඟීම්බරව. ලංකාවේ ජීවත් වීමෙන් කැරපොතු පිහාට්ටක ප්‍රතිලාභයක් නොලැබෙන බව දන්නා මිනිස්සු පවා උපන් රටින් යද්දී මනෝ ගහනවා. ඒ අතින් ලංකාව ගැන බරපතළ විවේචන නොතිබුණු ඉරාන් අයියාට කොහොම හිතෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන්. 

"මල්ලි අපෙන් වෙන්න දෙයක් තියනවා නං කියපන්."

එදා රෑ, මම කවදාවත් අහලා නොතිබුණු විදිහේ බර හඬකින්, ඉරාන් අයියා එහෙම කිව්වා. සාමාන්‍යයෙන් සංවාද වලදී හිස් බ්ලැක් බෝඩ් එකක් වගේ ඉඳලා, තනියම කල්පනා කරන්න ගත්තට පස්සේ විතරක් ප්‍රොෆෙසර් කැල්කියුලස්ගේ නෝට් පෑඩ් එක වගේ අවුල් යන මනසක් තියන මගේ හිත ඒ වෙලාවේ නම් නිරිතදිග මෝසමේ හුළඟක් එක්ක වහින වැස්සක් වගේ හෝස් ගාලා ගියා. 

ඉරාන් අයියා එහෙම කියලා දවස් දෙකක් යන්නත් කලින් තමයි වට්ස්ඇප් එකට තේම්ස් එකේ ෆොටෝ එක ආවේ. 

එංගලන්තයේ ෆෝඩ් සමාගම තේම්ස් වෑන් එක (Ford Thames 400E) හඳුන්වලා දුන්නේ 1957 අවුරුද්දේ. 1965 අවුරුද්ද වෙනකල් නිෂ්පාදන කටයුතු සිද්ධ වුණු බවත්, මෙයින් වෑන් 187,000 ක් නිෂ්පාදන වුණු බවත් විකිපීඩියා එකේ තියනවා. 

මේ සිද්ධියත් එක්ක මට කෞශි (මගේ බිරිඳ) ගේ හොඳම යාළුවා වුණු හර්ෂණී ඉතාලි ගිය එක මතක් වුණා. සාමාන්‍යයෙන් අපිත් එක්ක විශේෂ ගමන් බිමන් යන්න නිතර එකතු වුණු හර්ෂණී, කාර් පිස්සුවෙ පළවෙනි 'හිට් එක' වුණු පාහියන්ගල ලිපියට අදාළ ගමනට පවා අපිත් එක්ක එකතු වුණා. කොටින්ම මම, අම්මා සහ කෞශි ඇරුණම 9 ශ්‍රී 5333 එක්ක වැඩිම ගමන් ගිහින් තියෙන්නේ හර්ෂණී වෙන්න ඕනේ. 

විවාහ වෙලා ටික දවසකින් හර්ෂණීට ඉතාලි යන්න අවස්ථාව ආවා. ජීවිතේ දුකට සැපට ළඟින් හිටපු යාළුවෙකුට හොඳක් වෙන එක සතුටක් වුණත්, එහෙම කෙනෙක් අපේ ජීවිත කතා වලින් ගැලවිලා යන එක දුකක්. ඒ දුක අපේ අම්මට පවා තදට දැනුණා. අපේ අම්මා තාමත් උන්හිටි ගමන් 'දැන් හර්ෂණී කොහොමද?' කියලා අහනවා. 

හර්ෂණී එක්ක අපි අන්තිමට සංචාරයකට කියලා ගියේ බෙල්ලන්විල පාක් එකට. ලංකාවේ පරිසරවේදීන් නොහිටපු කාලෙක බෙල්ලන්විල අභයභූමිය ගොඩකරලා හදාපු ඒ පාක් එකට යන එක සතුටක් සහ දුකක් මුසුවෙන අත්දැකීමක්. 


එදා බෙල්ලන්විල පාක් එකේ 

හර්ෂණී ක්ලැසික් කාර් වලට ආසා කෙනෙක් නෙමෙයි. නමුත් 9 ශ්‍රී 5333 එක්ක එක්තරා විදිහකට අපූරු ආදරණීය යාළුකමක් හර්ෂණීගේ හිත ඇතුළේ තිබුණා. ඒ නිසා එයා විවිධ අවස්ථා වලදී 5333 එක්ක ෆොටෝ අරන් තියනවා. අන්තිම දවසේ පවා 5333 එක්ක ෆොටෝ එකක් අරන් දෙන්න කියලා හර්ෂණී කිව්වා. ඒවා තාමත් හිත බර කරන මතක. 

ඉතාලියට පය තියලා සතියක් යන්නත් කලින් වයිබර් හරහා හර්ෂණීගෙන් අපූරු ෆොටෝ දෙකතුනක් ලැබුණා. එයා එවලා තිබුණේ ඉතාලියේ තියන අපූරු කොළ පාට බීට්ල් එකක්. මගේ හිතට එදත් අර නිරිතදිග මෝසම් වැස්ස කඩාවැටුණා. එදා මම ඒ ෆොටෝ එකත් එක්ක ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් තිබ්බා. 


"හර්ෂණී...

උඹව මම අඳුරගත්තේ 2008 අවුරුද්දේ...

එදා ඉඳන් පවුලේ නොවුණත් පවුලේ කෙනෙක් විදිහට සමීප වුණු එකම එකා උඹ. මමයි කෞශියි කසාදෙ ලියාපදිංචි කරපු දවසේ එතන හිටපු හතරපස් දෙනාගෙන් එකෙක් උඹ. තාත්තා නැතිවුණු දවසේ මුලින්ම උදවු කරන්න ආපු අයගෙන් එකෙක් උඹ. අපි රට ගිය පළවෙනි වතාවේ අපිත් එක්ක එයාපෝට් ආපු එකාත් උඹ. කාර් පිස්සුව බ්ලොග් එක ඔළුවෙන් හිටෝපු පාහියන්ගල ගමන ගිය දවසේ කාර් එකේ පිටිපස්සේ හිටපු එකා උඹ. මයිනරේ බලන්න ගිය වෙලාවෙත් 'ඒක නං හොඳයි වගේ' කියලා ඉස්සරලාම කියපු එකා උඹ. ඒ ඔක්කොටම වඩා, බීට්ල් එකේ ගමන් යන්න පැනගෙන ආපු, 'උඹලගේ කාර් එකත් එක්ක ෆොටෝ එකක් ගන්න ආසයි' කියලා සැරින් සැරේ කියපු එකම කෙල්ල උඹ...

උඹ ප්‍රර්ථනා කරපු ජීවිතේ උඹට ලැබුණට කෞශිටයි මටයි බොක්කෙන්ම සතුටුයි... හැබැයි දැන් 9 ශ්‍රී 5333 එක්ක ගමනක් යන්න, ෆොටෝ එකක් ගන්න උඹ ලංකාවේ නැති එක ගැන දුකයි...

Miss you මචං...


ප.ලි. : මෙහෙම සටහනක් උඹ වෙනුවෙන් තියන්න හිටියේ උඹ අන්තිමට අපිත් එක්ක රවුමක් ගහපු දවසේ හෝ උඹ රට ගිය දවසේ. ඒ වුණාට අද වෙනකල් ඒකට හිත හදාගන්න මටයි කෞශිටයි බැරි වුණා... සමාවෙයන් ඒ ගැන.."

හර්ෂණී එදා එවපු ෆොටෝ තුනෙන් එකක් 

මේ පුංචි සටහන ලියන්න හිතුණේ අපේ සජියා (Saji D Sil) එංගලන්තේ ඉඳන් හාලි ඩේවිඩ්සන් එකක ෆොටෝ එකක් එවුව නිසයි. පුංචි ඇළක් ගාව ඒ බයික් එක තියෙන්නේ හරියට නොදන්නා භාෂාවකින් ලියවුණත් අනුමානෙට යාන්තම් සද්ද ගැටගහගෙන කියවනකොට අර්ථය නොතේරී  රිද්මයෙන් හිත කළඹවන කවියක් වගේ. 




මගේ පරම්පරාව ක්‍රමයෙන් මැදි වයසට යමින් ඉන්නේ. ඉස්කෝල කාලේ එකට හිටපු යාළුවෝ විතරක් නෙමෙයි, ඉතාම මෑතක් වෙනකල් ජීවිතේ ළඟින්ම හිටපු යාළුවෝ පවා, හරියට හවස් කාලේ එළඹෙනවත් එක්ක මූදුකරේට හමන හුළං එක්ක ගහගෙන යන වරාමල් වගේ ලෝකේ එක එක රටවලට පාවෙලා යන්න පටන් අරන්. කොච්චර වට්ස්ඇප්, වයිබර් වලින් ටච් එකේ ඉන්නවා කිව්වත්, ජීවිතේ අනන්ත කරදර කලබල එක්ක ඔළුව උස්සගෙන ඉන්න අපි දරන අනන්ත අපරිමාණ උත්සාහයන් අස්සේ, ඒ පුංචි පුංචි පොරොන්දු හෙමින් හෙමින් කාලයේ දූවිලි තට්ටු අස්සේ පොඩ්ඩ පොඩ්ඩ හැංගෙන්න පටන්ගන්නවා. 

ඒ වෙලාවට මගේ හිත ඇතුළේ අර එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ 'මේ ඉරහඳ යට හමුවී' ගීතය ඇහෙන නොඇහෙන ගානට වාදනය වෙනවා. 

කොහොම වුණත් කාලෙන් කාලෙට, දුරු රටක මහ මගක තාමත් හරියටම පුරුදු නැති සීතලෙන් හැංගි හැංගී යන අතරේ පවා, ක්ලැසික් වාහනයක් හෝ විශේෂ වාහනයක් දැක්කම, අපේ යාළුවන්ට අපි දෙන්නව මතක් වෙනවා. 

එහෙම දකින වාහන වල ෆොටෝ, මම උදේට නැගිටිද්දී සමහර දවස් වලට වට්ස්ඇප් හෝ වයිබර් මැසේජ් එකක් විදිහට ෆෝන් එකට ඇවිත් තියනවා. උන් නොදන්නවා වුණාට, කෙටි විඩාබර නින්දකින් තාමත් රිදෙන ඇස් වලින් ඒ ෆොටෝ බලද්දී, ඉඳහිටක මගේ ඇස් වලට කඳුලක් එනවා.... 

සමහර විට, උඹලා ආයේ කවදාවත් හැබැහින් දකින්න ලැබෙන එකක් නෑ... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
2018 ජූලි 07 
www.facebook.com/CarPissuwa


Wednesday, May 23, 2018

ඩම්ප් ට්‍රක් හැදුණු හැටි


Pinterest

අවුරුදු මිලියන ගාණක් තිස්සේ සතෙක් එලාගෙන, හේනක් වවාගෙන, අහස බලාගෙන ගෙවිච්චි මනුස්ස සංස්කෘතිය ඔළුවෙන් හිටගත්තේ කාර්මික විප්ලවයත් එක්ක. කාර් පිස්සුවෙ අපට වැදගත් වෙන විදිහට කියනවා නම් මනුස්ස ශ්‍රමය වෙනුවට ආදේශ කරන්න පුළුවන් යන්ත්‍රසූත්‍ර බිහිවීමත් එක්ක.

19 වන වන සියවසේ සහ 20 වන සියවසේ මුල නිර්මාණය වුණු කාර්මික යන්ත්‍රසූත්‍ර වල හරි අපූරු පෞරුෂයක් තියනවා කියල මට හිතෙනවා. තාක්ෂණය නහයට උඩින් කිලෝමීටර් සීයක් විතර ඉහළට ගිහින් තියන අද වගේ කාලෙක කාර්මික යන්ත්‍රසූත්‍ර පවා නිකං රෝස මලේ හදවත වගේ මටසිළිටි වෙලා තියෙන්නේ. මීට සාපේක්ෂව බලනකොට අර අතීතයේ මුලින්ම බිහිවුණු යන්ත්‍රසූත්‍ර මනුස්ස චින්තනයේ සහ සංස්කෘතියේ හදිස්සි වෙනසක් ගැන අපූරු කතාවක් කියනවා..

මේක බොහොම පුළුල් මාතෘකාවක් නිසා මම ඒ ගැන පොදුවේ කතා නොකර ඩම්ප් ට්‍රක්ස් (Dump Trucks) ගැන විතරක් කතා කරන්නම්.


Mike Jorgensen- Pinterest

කර්මාන්ත සාර්ථක වෙන්න නම් අමුද්‍රව්‍ය සැපයුම කාර්යක්ෂම සහ වාසිදායක වෙන්න ඕනේ. ඉස්සර ඊජිප්තුවේ පිරමීඩ හදන්න වහල්ලු ලක්ෂ ගාණක් දාලා අවුරුදු විස්සක් තිහක් උන්ව මැරෙව්වා වගේ කර්මාන්ත පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා එකපාරට අමුද්‍රව්‍ය ගොඩක් අරගෙන ඇවිල්ලා, ඒවා ඉක්මනට අන්ලෝඩ් කරන ක්‍රම අවශ්‍ය වුණා. ඒ වගේම කුණු අදිනවා වගේ වැඩ වලදී පටෝගත්තු කුණු ටික මැද්දට බැහැලා සවල් ගගහා ඉන්නවා වෙනුවට ඒවා එකපාර හලලා දාන්න ක්‍රමයක් අවශ්‍ය වුණා.


බොක්කට වැදෙන්න කියනවා නම්, ප්‍රථම ප්‍රේමය අහිමි වුණු අලුත දවස් යනවා වගේ හෙමින් නැතුව, රස්සාවල් කරන මිනිස්සුන්ගේ සෙනසුරාදා සහ ඉරිදා දවස් ගෙවෙනවා වගේ ඉක්මනට ලෝඩ් අන්ලෝඩ් කරන ක්‍රමයක් අවශ්‍ය වුණා.

මේකට විසඳුමක් හැටියට තමයි ලෝකෙට ඩම්ප් ට්‍රක් බිහිවුණේ.

ඒ දවස් වල ලෝකයේ ප්‍රධානතම ඉන්ධන වුණේ ගල් අඟුරු. ඉතින් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් විදිහට තමයි මුලින්ම මේ ඩම්ප් බොඩි නිර්මාණය වුණේ. මම ඩම්ප් බොඩි කියන යෙදුම පාවිච්චි කරන්නේ මේවා වෙනම වාහන වර්ගයකට වඩා වෙනම බොඩි වර්ගයක් විදිහට සලකන්න අවශ්‍ය නිසයි. 


Pinterest 

මුල් කාලයේ මේවා ඩම්ප් බොඩි හයිකරපු අශ්ව කරත්ත විදිහට ආපු බව ඔයාලා දැනටමත් අනුමාන කරලා ඇති. ඔවු, මේවා ඉස්සරාලම ආවේ එහෙම තමයි. හැබැයි මෙතැනදී මතුවන වැදගත්ම ප්‍රශ්නය තමයි ලෝඩ් එක ඩම්ප් කරන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියන එක. මොකද ඒ වෙනකොට මෝටර් හෝ Hydraulic තාක්ෂණ ලෝකයට බිහිවෙලා තිබුණේ නැහැ. ඉතින් මිනිස්සු තෝරාගත්තේ අපි කාගේත් නොදුටු මිතුරාගේ පිහිට තමයි. 

ඒ මොකාද ඒ? 

ඒ තමයි ගුරුත්වාකර්ෂණය... 

මේ ඩම්ප් බොඩි නිර්මාණය කරලා තිබුණේ ලෝඩ් එක ගැහුවට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය (Center of gravity) පිටිපස්සේ ඇක්සල් එකට පොඩ්ඩක් පිටිපස්සෙන් පිහිටන විදිහට. ලොක් එකකින් තමයි බොඩි එක අල්ලාගෙන හිටියේ. අන්ලෝඩ් කරන්න අවශ්‍ය තැනට ගිහිල්ලා ලොක් එක පැන්නුවාම ගුරුත්වාකර්ෂණය නිසා ලෝඩ් එක ඉබේම හැලුණා. මෙහෙම ලෝඩ් එක බෑවට පස්සේ තට්ටුව ඉබේම ආපහු වැටෙනවලු. ඊට පස්සේ ඔපරේට් කරන හාදයා තට්ටුව ලොක් එක දාලා ඊළඟ ලෝඩ් එක ගන්න යනවා. 


www.andrew.cmu.edu

මේවා මුල් කාලේ රෝද දෙකේ සහ රෝද හතරේ වර්ෂන් ඇවිත් තියනවා. මුල් කාලේ අශ්වයෝ කරපු වැඩේ පස්සේ ස්ටීම් ට්‍රක් වලට භාර වුණා. නමුත් මේ ඩම්ප් ක්‍රමේ ටික කාලයක් පැවතුණා. මේකේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බර හැමතිස්සෙම පිටිපස්සේ ඇක්සල් එකෙන් පිටිපස්සට ඒම. මේ විදිහට බර අසමාන විදිහට බෙදී ගියාම වාහනේ හසුරුවන්න අමාරු වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. 


Kenny Shackleford

Tom Woodruff- Pinterest

මීට අමතරව තව බොටම් ඩම්ප් සිස්ටම් එකකුත් තිබුණා. එතනදී බක්කිය තියෙන්නේ ඇක්සල් දෙක අතරේ. බොඩිය තියෙන්නේ කොටස් දෙකකට. චේන් එකකින් මේ කොටස් දෙක එකතු කරලා ලෝක කරලා තිබුණාලු. අන්ලෝඩ් කරන තැනට ගියාම ඔපරේටර් පැඩ්ල් එකකින් මේ ලොක් එක අරිනවා. එතකොට චේන් එක රිලීස් වෙලා බොඩියේ කෑලි දෙක දෙපැත්තට ගිහින් ලෝඩ් එක කරත්තේ පාමුල වැටෙනවා. 

දැන් සමහරුන්ගේ හිතේ මැවිලා ඇත්තේ මොකෙක් හරි සතෙක් මළපහ කරනවා වගේ දසුනක්. ඒ ගැන මට දොස් තියන්න එපා. Bottom Dump ක්‍රමේ තාමත් භාවිතා වෙනවා නේ. 


blackwood-hodge.typepad.com

1910 පන්නලා සියවසේ දෙවෙනි දශකයට එද්දී මෝටර් ට්‍රක් රථ පාවිච්චිය ජනප්‍රිය වෙමින් තිබුණේ. විශේෂ ට්‍රක් බොඩි හදන සමාගම් ඒ වෙනකොට දියුණු වෙලා තිබුණා. මෙයාලා ෆෝඩ් සහ මැක් වගේ චැසි වලට එක එක විදිහේ බොඩි නිර්මාණය කළා. මේ කාලේ ඩම්ප් බොඩි වර්ග කීපයක් දකින්න පුළුවන්. මේ අතරින් මෝටර් වලින් ක්‍රියාකරන වර්ග සහ Hydraulic පද්ධති වලින් ක්‍රියාකරන වර්ග ප්‍රධානයි. 


www.classicrefusetrucks.com- මේක 1921 අවුරුද්දේ පළවුණු, කුණු ලොරි වලට අදාළ බොඩි සම්බන්ධ දැන්වීමක් 


ඇත්තටම Hydraulic පද්ධති නිර්මාණය වීම තමයි ඩම්ප් ට්‍රක් තාක්ෂණය ඇතුළුව අද දවසේ කාර්මික රථවාහන බොහොමයක් නිර්මාණය දියුණු වෙන්න පදනම හැදුවේ. 



www.classicrefusetrucks.com


අද වෙද්දී ඩම්ප් ට්‍රක් තාක්ෂණය කොයි තරම් දුරකට දියුණු වෙලා තිබුණත් අතීතයේ ඩම්ප් ට්‍රක් වල තිබුණු තාක්ෂණයේ මූලිකාංග සහ අද දවසේ ඩම්ප් ට්‍රක් වල ප්‍රධාන අංග සමානයි කියලා 
www.hammertrucks.com වෙබ් අඩවිය පෙන්නලා දෙනවා. එතන පෙන්නලා දෙන මූලිකාංග මෙහෙමයි. 

1. ට්‍රක් ෆ්‍රේම් එක: එදා වගේම තාමත් ඩම්ප් ට්‍රක් වල පාවිච්චි වෙන්නේ තවත් බොහොමයක් දේවල් වලට පාවිච්චි කරන පොදු ට්‍රක් ෆ්‍රේම් එකක්මයි. ලොකු ලෝඩ් දරන්න පුළුවන් විදිහට මේවායේ සවිශක්තිය වැඩි කරලා තමයි ඩම්ප් ට්‍රක් විදිහට පාවිච්චි කරන්න ඩම්ප් බොඩි සහ යාන්ත්‍රික කොටස් සෙට් කරන්නේ. 

2. Hydraulic පද්ධති: ඇත්තටම කියනවා නම් ඩම්ප් ට්‍රක් වලට Hydraulic පද්ධති ඉස්සරලාම හඳුන්වලා දීපු දවස් වල ඉඳලා මේ දක්වා ඒවා භාවිතා වෙන විදිහ මහා ලොකුවට වෙනස් වෙලා නෑ ලු. අද වගේම එදත් සිද්ධ වුණේ Hydraulic පද්ධතියකින් බෙඩ් එක හෙමින් සීරුවේ ඉස්සිලා, ලෝඩ් එක බෑවට පස්සේ ආපසු හෙමින් සීරුවේ ආපහු පාත් වෙන එකයි. ඉස්සරම ට්‍රක් වල මේ පද්ධති වලට බල ලැබුණේ ස්ටීම් වලින්. පස්සේ මේවා ප්‍රධාන එන්ජිම හරහා PTO drive train එකකින් බලය ලබන ක්‍රම බවට පත්වුණා. එච්චරයි. 

3. ඩම්ප් බෙඩ් එක: ඩම්ප් බෙඩ් එකෙත් කියන්න තරම් මහලොකු වෙනසක් වෙලා නැහැ. වාහන වර්ගයේ හැටියට වෙනස් වුණත් පොදුවේ තාමත් සිද්ධ වෙන්නේ තට්ටුව ඉස්සුවාම පිටිපස්සේ දූර ඇරිලා ලෝඩ් එක බිමට වැටෙන එක තමයි. 

(වැඩි විස්තර කියවන්න කැමති අය www.hammertrucks.com වෙබ්සයිට් එකට යන්න). 

මේ වෙනකොට ඩම්ප් ට්‍රක් වල තාක්ෂණය සෑහෙන්න දියුණු වෙලා තියනවා වගේම ට්‍රක් වර්ග රාශියකුත් නිර්මාණය වෙලා තියනවා. මේ ට්‍රක් වල ෆොටෝ දැක්කම මතක් වෙන්නේ Kardashian ලගේ ෆැමිලි ෆොටෝ එක වගේ දේවල්. 


www.cherokeetruck.com/


ඩම්ප් ට්‍රක් ගැන පොඩි සටහනක් තියන්න හිතුණේ ඊයේ පෙරේදා Komatsu එකේ Haul Trucks වගයක් හම්බන්තොටින් ලංකාවට ගොඩ බැහැලා හෙමින් හෙමින් පුත්තලමේ යමින් ඉන්න බවට හතර අතින් ආරංචි ලැබෙන්න ගත්තු නිසයි. Komatsu එක මේවා නම්කරලා තියෙන්නේ Dump Trucks-Rigid විදිහට. මේ ට්‍රක්ස් විශේෂයෙන්ම පතල් වගේ දුෂ්කර තැන්වල දැවැන්ත බර කඳු අදින්නම හදාපුවා. මේ අතරින් මූලිකම මට්ටමේ ට්‍රක් එකේ payload capacity එක කිලෝග්‍රෑම් 36,500 ක්. රේන්ජ් එකේ ඉහළින්ම තියන ට්‍රක් එකේ  payload capacity එක කිලෝග්‍රෑම් 326,585 ක්!




  මේ ෆොටෝ එවුවේ ඉසුරු අමිල ජයලත්ගේ : www.facebook.com/CarPissuwa/posts/2236937902999362

එයාලගේ සයිට් එකට යන්න කම්මැලි අය වෙනුවෙන් ඒ චාට් එක මම මෙහෙම දානවා. මේවායේ සියලුම හිමිකම් එයාලා සතුයි.


Model
Engine Power (kW@rpm)
Weight (kg)
Payload Capacity (kg)
Travel Speed (kmph)
371@2000
31,600
36,500
70
371@2000
34,400
41,000
70
533@2000
43,100
55,000
70
533@2000
46,200
63,000
70
879@1900
72,000
91,000
65
1109@1900
249,478
144,100
58
1492@1900
328,401
181,436
64.5
1865@1900
385,848
221,648
64
2014@1900
454,363
254,000
64.5
2014@1900
501,974
291,790
64.5
2610@1900
505,755
291,790
64.5
2610@1900
576,072
326,585
64.5
2610@1900
576,072
326,585
64.5
2610@1900
625,277
326,585
61

මේක දැක්කම ඔයාලට වැඩේ පැහැදිලි ඇති. 




මේ ෆොටෝ ටික ලැබුණේ අරුණ දිසානායකගෙන් 

මේ ට්‍රක් වලට ලැබුණු ප්‍රතිචාරයේ දිග පළල දැක්ක නිසා, මේ ගැන උනන්දු වෙන අයට වැඩිදුර අධ්‍යයනය කරන්න දෙන මූලික ප්‍රවේශයක් විදිහට තමයි මේක ලිව්වේ. ගිය පාර ඩුකාටි ස්කූටර් එක ගැන ලිව්වට පස්සේ මීට වඩා නිර්මාණාත්මක දෙයක් ලියන්න හිතාගෙන හිටියත්, මේ මොහොතේ ඒ වගේ දේකින් මනෝ ගහනවට වඩා factual දෙයක් ලියන එක හොඳයි කියලා හිතුණා. 

මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊළඟ ලිපිය මොකක්ද කියන එය තීරණය වේවි... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
2018 මැයි 23 
www.facebook.com/CarPissuwa

(උපුටා ගන්න අවශ්‍ය අය කරුණාකරලා එක්කෝ අහන්න. නැත්නම් අදාළ තැන්වල කාර් පිස්සුවෙ නම හෝ ලින්ක් එක දාන්න)

පසු සටහන්:

1. ඩම්ප් ට්‍රක් වල ඉතිහාසය සරලව දැනගන්න කැමති අයට වැදගත් වෙන විස්තරයක් www.depaula.com වෙබ් සයිට් එකේ තියනවා. කැමති අය ගිහින් බලන්න.

2. කොමට්සු එකේ ට්‍රක් ගැන දැනගන්න ආසා අය www.komatsu.com.au වෙබ් සයිට් එකට යන්න. ඒක තොරතුරු ගබඩාවක්!

3. මේවා ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවා නං මෙතන කොමෙන්ටුවක් දාලා සංවාදයක් පටන්ගන්න. ඒක වටිනවා.