ලන්ඩනයේ හදාපු මේ දැවැන්තයා දැන් ඉන්නේ රත්මලානේ එක්තරා අඳුරු මුල්ලක. ලංකාවේ tough ම මිනිස්සු එක්ක ගනුදෙනු කරපු ඒ දැවැන්තයාට දැන් ලැබෙන්නේ 'ඔතනින් එහාට යන්න එපා පුතා' කියන විධානය තඹේකට මායිම් නොකරන පොඩි උන්ගේ පහස විතරයි.
මේ දැවැන්තයාගේ ලියාපදිංචි අංකය ගුවන් 2049.
එයා ඉන්නේ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ...
රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය කියන්නේ උපන් ලපයක් වගේ දෙයක්. අපි දන්නවා ඒක තියනවා කියලා. නමුත් අපි වැඩි දෙනෙක් ඒ ගැන සීරියස් හිතන්න පෙළඹිලා නැහැ. ඉඳල හිටලා මොකක් හරි හේතුවක් නිසා ඒක මතක් වුණත් ඒ සැණින් ගොඩක් දෙනෙකුට ඒක අමතක වෙලා යනවා. ඔය කෞතුකාගාරයේ රථවාහන අංගණය ඇතුළේ තියන වාහන වල ෆොටෝ අනන්තවත් අන්තර්ජාලයේ ඇති. හැබැයි ඒ වුණත් ඒක බලන්න ගිය කෙනෙක් හොයාගන්න එක අද දවසේ ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් එකක් නැති එකෙක් හොයාගන්නවා වගේ වැඩක්!
ඉතාම අවංකවම ඇත්තක් කියනවා නම්, අපි රත්මලානේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න ගියේ තායිලන්තයේ ගුවන් හමුදා කෞතුකාගාරය දැකලා ඇතිවෙච්චි ආසාව නිසා. බැංකොක් වලම තිබුණත් හොයාගන්න සහ ළඟාවෙන්න ටිකක් අමාරු (2020 න් පස්සේ ඒ ප්‍රශ්නය විසඳෙනවා) ඒ අපූරු ගුවන් හමුදා කෞතුකාගාරයේ ආපනශාලාවක ඉඳන්, තායිලන්තයේ රස බලාපු කෑම වර්ග අතරින් රසම කෑම දීසි දෙකක් ඉවර කරන අතරේ අපි කල්පනා කළා ගෙදර ඉඳන් උගුර පෑදුවම රත්මලානට ඇහෙන තරම් ළඟක හිටියත් කවදාවත් අපි ලංකාවේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න ගිහින් නැහැ නේද කියලා.
හැබැයි ඒ පාර ලංකාවට ඇවිල්ලත් අවුරුද්දක් විතර ගියා ලංකාවේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න යන්න.
අන්තිමට යාන්තම් වැඩ රාජකාරි අඩු වුණු දවසක මගේ Mini එකත් අරගෙන අපි ගියා රත්මලානට. නව ගුවන් තොටුපළ පාරට හැරෙව්වම, රත්මලාන ගුවන් තොටුපළේ ධාවන පථයට සමාන්තරව ඉද්ද ගැහුවා වගේ ඉස්සරහට විහිදෙන පාර දැක්කම මිනි එක ලෑල්ලට පාගන්න ආපු ආසාව මැඩගත්තේ ජාතික ආරක්ෂාව ගැන උන්කඩුපුච්ඡයෙන් පවා හිතලා...
ගුවන් තොටුපළේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන්ගෙන් පාර අහගෙන අන්තිමට නියම තැනට ගියාට පස්සේ එහෙ නිලධාරීන් කිව්වා වාහනේ පාක් කරන්න ඕනේ 'ඈත තියන ලයිට් කණුවට එහායින්' කියලා. පොඩි උන් රංචුවක් අරගෙන ආපසු බස් දෙකතුනකට නම් එතන එහා පැත්තේ පාක් කරන්න අවසර ලැබුණත් මගේ වාහනේ පොඩි එකෙකුට කියලා හිටියේ මම විතරක් නිසා මම ඒ ඈත තිබ්බ ලයිට් කණුවට එහා තිබුණු මන්දපෝෂිත ගසක් ගාව මිනි එක පාක් කරලා ආවා.
ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 120 යි. පොඩි එවුන්ගේ නිමක් නැති කෑගැහිලි ඇදිලි දැඟලිලි මැද්දේ, ගුවන් හමුදා නිලධාරියෙක් 'අනේ පුතේ ඔය මාමට ටිකට් ගන්න යන්න දෙන්න. අනේ අම්මල ඔය පොඩි අයව පොඩ්ඩක් පැත්තකට ගන්න' කියලා කීප පාරක් ආයාචනා කළාට පස්සේ ටිකට් ගන්න ලැබුණා.
එතන හිටපු අපි හැමෝම ටිකට් ගත්තට පස්සේ අර ගුවන් හමුදා නිලධාරී මහත්මයා අපිව එතන තිබුණු මැප් එකක් ගාවට එක්කගෙන ගිහින් ඉතාම සෘජු, පැහැදිලි, කෙටි වුණත් සවිස්තර හැඳින්වීමක් කළා, අපි කොහොමද ඒ දැවැන්ත භූමිය ඇතුළේ ඇවිදින්න ඕන කියන එක ගැන. අක්කර 18 කටත් වැඩි විශාල වපසරියක විහිදෙන ඒ භූමිය සැලසුම් කරලා තිබ්බ අපූරුව ගැන මට පුදුම හිතුණේ ඒ වෙලාවේදීමයි. ඒ නිලධාරී මහත්මයට ස්තූති කරලා අපි හෙමින් සීරුවේ එළිමහනේ අසිරිය පටන් ගත්තා.
තමන්ගේ ආයු කාලය පුරාම මනුස්ස වර්ගයාගේ වැඩවලට දායක වෙලා අන්තිමට විශ්‍රාම යවාපු වාහන වලින් විහිදෙන ඒ දුකක් වගේ මොකක්ද එක දැනෙන්නේ වාහන සංස්කෘතියේ මානුෂික පැත්ත විශ්වාස කරන අයට විතරයි, මම එහෙම කෙනෙක් නිසා මට ප්‍රදර්ශන භූමියේ AC-03 අංකය යටතේ තියන Mikoyan - Gurevich MIG 15 UTI එක ගැන එක්තරා විදිහක දුකක් දැනුණා. ලංකාවට දැන් කෙළවරක් නැතුව වහින වැහි, හමන හුළං සහ ගහන අකුණු වලින් පීඩාවට පත්වෙලා කහ-දුඹුරු පාට ගැහුණු cockpit වීදුරු ජීවිතේ අනියත බව ගැන එක්තරා බෞද්ධ-සංස්කෘතිකමය දුකක් හිතට ගේනවා.
හැබැයි ඒත් එක්කම ඉතාම පිළිවෙළට ලස්සනට නිර්මාණය කරලා තියන පරිසරය, දඟයන්ට සෙල්ලම් කරන්න තැන් තැන් වල හදලා තියන සෙල්ලම් අලි, ඔන්චිල්ලා සහ සෙල්ලම් ගුවන් යානා අස්සෙන් මතුවෙන පොඩි උන්ගේ හිනා හඬවල් සහ ගුවන් යානා වල ඉතිහාසය ඇතුළු වගතුග ඉතාම කෙටියෙන්, හැබැයි පැහැදිලිව භාෂා තුනෙන්ම දක්වලා තියන පුවරු වගේ දේවල් එක්ක අර දුක හිතෙන් මැකිලා ගිහින් මේ අපූරු ස්ථානය ගැන කුතුහලයක්, ඒක මෙච්චර හොඳට නඩත්තු කරන මිනිස්සු ගැන ආදරයක් සහ මෙච්චර කාලයක් මෙතනට එන්න බැරි වීම ගැන පුංචි පසුතැවිල්ලක් හිතේ ඉතුරු වුණා.
මේ කොටසේ ප්‍රදර්ශනයට තියලා තියන ගුවන් යානා බලාගෙන ඉස්සරහට ගියහම අපි එනවා Hangars තුනක් තියන තැනකට. එතන එළිමහනේ තියලා තියනවා ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ට්‍රක් රථ. මෙතන තමයි ආහාරපාන අලෙවිසැල් තියෙන්නෙත්. අවාසනාවකට මේ දවස් වල එයාලට ස්ටාෆ් ප්‍රශ්නයක් තියන නිසා කෑම බීම හැදෙන්නේ නැහැ කියල Milk Bar එකේ සේවය කරමින් හිටපු මහත්මයා කිව්වා. ඒ නිසා ගන්න තිබ්බේ නෙස්ටී, අයිස්ක්‍රීම් සහ පෙබල්ස් වගේ දේවල් විතරයි.
ඔය එළිමහනේ තියනවා simulator එකක්. ඒ කියන්නේ ගුවන් යානයක පියාසර අත්දැකීම ගුවන් යානයක් ඇතුළේ ඉඳගෙන ඩිජිටල් ක්‍රමයට කෘත්‍රිමව විඳින්න පුළුවන් තැනක්. අවාසනාවකට අපි ගිය දවසට කලින් දවසේ තිබ්බ අධික වර්ෂාව නිසා ඒකේ විදුලි කාන්දුවක් ඇවිත් ඒක අලුත්වැඩියා කරන්න වහලා දාලා තිබුණේ.
මෙතන තියනවා hangars තුනක්. එකක් තමයි vehicle hangar එක. ඒකෙ තමයි අර කාර් පිස්සෝ නිතර දැකලා තියන වාහන තියෙන්නේ. එතනම තමයි Scammel Pioneer 6x4 එක තියෙන්නෙත්. ඊට අමතරව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා පාවිච්චි කරපු Mercedes Benz 230.6 W114 එක තියෙන්නෙත්. තවත් වාහන කිහිපයක්, ඒවා ගැන විස්තර ලියාපු පුවරු එක්ක ලස්සනට එතන ප්‍රදර්ශනයට තියලා තියනවා.
දෙවෙනි එක general exhibits. මේකේ තියනවා ගුවන් හමුදාවට සම්බන්ධ විවිධ ඓතිහාසික, දුර්ලභ සහ වැදගත් දේවල්.
එක සහ දෙක අතර තියනවා engineering exhibits තියන කොටසක්. ඒ කියන්නේ ගුවන් හමුදාමට ඉංජිනේරු විද්‍යාමය වශයෙන් සම්බන්ධ විවිධ දේවල්. මෙතන තියන වැදගත්ම දේ තමයි Blackstone diesel engine driven generator එක. 1933 දී සැලසුම් කරලා, 1942 දී කටුනායක රාජකීයගුවන් හමුදාවේ ප්‍රධාන විදුලි බලාගාරයේ සවිකරපු මේ විදුලි ජනක යන්ත්‍රය 1988 දී තමයි මේ කෞතුකාගාරය තියන ස්ථානයට ගෙනත් තියෙන්නේ. විශේෂත්වය තමයි මේක අදටත් ක්‍රියාකාරී වීම! ඊට අමතරව ලිස්ටර් යාන්ත්‍රික වතුර පොම්පයක්, ගල් රෝලක් වගේ තව දේවල් මෙතන දකින්න පුළුවන්.
තුන්වෙනි Hangar එකේ තියෙන්නේ ඡායාරූප, තියටර් එකක් සහ තව simulator එකක්. මේ කොටසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, එයාලගේ නිල ඇඳුම්, ආයුධ, ඒ වගේම එයාලගේ ඉතිහාසය සම්බන්ධ විශේෂ දේවල් විවිධ ආකාර වලින් විස්තර කරලා තියනවා. ඒක ගොඩක් අයගේ හිත් දිනාගත්තු තැනක් බව එතන හිටපු සෙනග කන්දරාවෙන් තේරුණා.
එතන එළියේ ගුවන් යානා එන්ජින් වර්ග, ඉතාම පැහැදිලිව විස්තර කරලා ප්‍රදර්ශනය කරලා තියනවා. ඒවා කොච්චර ලස්සනට ප්‍රදර්ශනය කරලා තිබුණාද කියනවා නම් ආපසු ඉස්කෝල කාලෙට ගිහින් ගුවන් යානා ඉංජිනේරුවෙක් වෙන එක ඉලක්ක කරගෙන ඉගෙන ගන්න පටන් ගන්න හිතුණා.
මෙතනින් එළියට යනකොටම තියනවා ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක් වන MI 24. සන්තකේ තියන සියලුම ආභරණ පැළඳගෙන උයන් සිරි විඳින්න එළියට බැස්ස උඩරට මැණිකේ කෙනෙක් වගේ ආයුධ සේරම පිරිවරාගෙන වත්ත මැද්දට වෙලා ඉන්න මේ දැවැන්තයා, ලංකාවේ තිබුණු යුද්ධය ගැන වීර රසය සහිත හැඟීම් දරන කාගේත් හිත් කීරි ගස්සාවී.
ඔතන ඉඳන් ඉස්සරහට, කඩාවැටුණු ගුවන් යානයක සුන්බුන් වගේ හදලා තියන තැනක් ඇතුළුව තවත් ගුවන් යානා බලාගෙන ඉස්සරහට එනකොට විලක් එක්කම තියනවා log cabin එකක්. කැමති අයට එතන ඉඳලා ගිමන් හැරලා සිරි නරඹලා යන්න පුළුවන්.
එතනින් එහා පැත්තේ විලේ මැද සහ වටේ තියෙන්නේ LTTE පාලන ප්‍රදේශ වල තිබිලා විනාශ කරපු වාහන සහ කොළඹට ගහන්න ඇවිල්ලා කඩා වැටුණු ගුවන් යානයක්. ඒවා දිහාත් කෙනෙකුට තමන් කැමති කෝණයකින් බලන්න පුළුවන්. එකපැත්තකින් රටේ දශක තුනක් පුරා අහිංසක ජීවිත මහා රාශියක් විනාස කරපු යුද්ධය ඉවර වීම ගැන කෙනෙකුට සතුටක් හිතෙන්න පුළුවන් අතර, ඒ ගිනි අරන් කරවෙලා විනාස වෙලා ගිහින් තියන වාහන ඇතුළේ සමහර විට තමන් විශ්වාස කරපු හෝ නොකරපු දෙයක් වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වුණු මනුස්සයෙක් අවසන් හුස්ම හෙළන්න ඇති නේද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලංකාව තාමත් සුන්දර රටක් විදිහට තියෙන්නේ විවිධ අදහස් වලට එකට පවතින්න පුළුවන් වෙන නිසා. ඒ තත්ත්වය දිගටම පවතීවා කියලා ප්‍රර්ථනා කරමු!
මෙතනින් එළියට එනකොට පුංචි අයට සෙල්ලම් කරන්න පුළුවන් පාක් එකක් තියනවා. මහා දේවල් නැතත් ඔන්චිල්ලා, ගුවන් යානා ලිස්සන බෝට්ටුවක් වගේ දේවල් එතන දැකගන්න පුළුවන්. එතනින් ඇවිදගෙන එනකොට හමුවෙන්නේ හරිම අපූරු දෙයක්. Puzzle Garden එකක්. ඉතාම ලස්සනට ගස් වවලා ඉතාම විධිමත්ව පවත්වාගෙන යන මේකේදී කරන්න තියෙන්නේ පඳුරු අතරින් පාර හොයාගෙන අවසානය දක්වා එන එකයි. වැඩිහිටියන්ට මේකේ මහා දෙයක් නැති වුණත් පුංචි අයට මේක අපූරු විනෝදයක් ගෙනේවි. සීමිත කාර්ය මණ්ඩලයක් එක්ක මේ භූමිය මේ තරම් විශිෂ්ට මට්ටමින් නඩත්තු කරනවට ගුවන් හමුදාවට විශේෂම ස්තූතියක් හිමිවෙන්න ඕනේ.
එතනින් පිටවුණාට පස්සේ, ආපහු ඇවිදගෙන එන්න තියන මාවත දිගේ එනකොට තවත් ගුවන් යානා කීපයක් පහුවෙලා Main Hangar එක හම්බවෙනවා. මෙතන තියනවා Kfir C2 සහ MiG 23-UB වගේ යානා වගේම පැරණි ගුවන් යානා, හෙලිකොප්ටර් සහ Drones වගේ දේවල්. එක ගුවන් යානාවක් තියනවා කැමති අයට ගොඩවෙලා බලන්නත් පුළුවන් (අපි ඉන්න වෙලාවේ ඒකට නැග්ගා පොඩි දරුවෝ දෙන්නෙක්. අවුරුදු හතරක විතර පොඩි එකෙක් කොච්චර ඒකට ආසා වුණාද කිව්වා නම් උඩට නැග්ග ගමන් සිඟිති හඬින් 'අම්මත තිලි' කිව්වා. අපට ප්ලේන් එක හෙල්ලෙන තරමට හිනා ගියා).
මෙතනින් එළියට ආවම තව දේවල් දෙකක් තියනවා. එකක් තමයි Souvenir shop එක. ගුවන් යානා ආකෘති, කැප් තොප්පි, බෑග්, පැන්සල්, කුඩ, ඔරලෝසු, කී ටැග්ස් වගේ තව දේවල් ඉතාම සාධාරණ මිලගණන් වලට ගන්න පුළුවන් (කාඩ් වලින් ගෙවන්න හැකියාවක් නැහැ කිව්වා. ඒක තාවකාලික ගැටලුවක් වෙන්න පුළුවන්). ඊට එහාපැත්තෙ තියනවා craft lab එක. එතන තමයි එයාලා ගුවන් යානා ආකෘති හදන්නේ. ඇතුළට යන්න පුළුවන් වගේ පෙනුණට යන්න බැහැ. පිටත ඉඳන් වීදුරු වලින් එයාලා කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන්. ඒක සෑහෙන awkward ගතියට දැනුණු නිසා සහ අවුව එක්ක එන glare එකට ඔළුව කැක්කුම හැදෙන්න පවා ඉඩ තිබුණු නිසා අපි එතන වැඩි වෙලා රැඳුණේ නැහැ.
ඔන්න දැන් අපි ආපහු ඇතුළු වුණු තැනටම ඇවිත්. ඒ දොරටුවෙන්ම තමයි පිටතට එන්න තියෙන්නේ. එතනින් එළියට ඇවිත්, පදිකයන්ට යන්න වෙන්කරලා තියන මං තීරුවේ, ගුවන් යානා රූප වලින් පිරුණු තාප්පය ළඟින්ම ඇවිදගෙන අපි කෑම්ප් එකෙන් එළියට ආවා.
මම මේ විස්තර ලිව්වේ ඉතාම කෙටියෙන්. අක්කර දහ අටක් පුරා විහිදුණු තැනක් ගැන වචන එක්දාස් පන්සීයකින් විතර ලියනවා කියන්නේ ෆෙරාරි සමාගමේ ඉතිහාසය ගැන විනාඩි එකහමාරක යූටියුබ් ක්ලිප් එකක් හදනවා වගේ වැඩක්. ඒ වුණත් එහෙම හරි ඔයාලා වෙනුවෙන් මේ විස්තර ලියන එක මගේ යුතුකමක්.
ඔයාලට පොඩි අය ඉන්නවා නම්, අනිවාර්යෙන්ම එයාලත් එක්කගෙන මෙතන පෙන්නන්න එන්න. දැනටමත් ගොඩක් අය ඒක කරනවා වගේ පෙනුණා. හැබැයි වෙන ට්‍රිප් යන අතරේ එන්න එපා. මෙතන හොඳට වෙලාව අරන් බලන්න ඕන තැනක්. ඒ වගේම අපි ඉන්න වෙලාවේ ආපු සමහර පොඩි අය සත්තු වත්තට යමු කියල අඬනවා ඇහුණා. සත්තු වත්තේ යන්න කලින් ටක් ගලා බලාගෙන යන්න පුළුවන් තැනක් නෙමෙයි මෙතන. එහෙම කරන එක දරුවන්ට සහ ගුවන් හමුදාවට වගේම ඔයාලටත් කරගන්න අසාධාරණයක්.
අනික් අතට ඔයාලා ගුවන් යානා ගැන විතරක් නෙවෙයි පොදුවේ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍ර ගැන උනන්දුවක් දක්වනවා නම්, නිදහසේ පැය කීපයක් ගතකරන්න බලාගෙන මෙතනට එන්න. මේකේ තියන විස්තර පුවරු හොඳට කියවන්න. එන්ජින් ගැන තියන කොටස හොඳට අධ්‍යයනය කරන්න. එයාලා දාලා පෙන්නන වීඩියෝ දර්ශන බලන්න. පුළුවන් කමක් තිබ්බොත් simulator අත්දැකීම විඳින්න. වැඩි විස්තර අවශ්‍ය නම් එයාලගෙන් අහන්න. ප්‍රදර්ශන භාණ්ඩ අතපත ගාන්න යන්න එපා. විනීතව හැසිරෙන්න. නියම කරලා තියන පාරවල් වල විතරක් ඇවිදින්න.
දන්නා තරමින් සඳුදා කෞතුකාගාරය වහලා. අනික් දවස් වල උදේ 8.30 ඉඳන් හවස 4.30 වෙනකල් විවෘතයි.
මේ ගැන තව විස්තර වෙනත් කෝණ වලින් වෙනත් තැන්වලත් ලියන්න මම බලාපොරොත්තු වෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒවත් කියවන්න.
යුද්ධය ගැන වෙන අය කියවන දේවල් විශ්වාස කරගෙන යාළුවෝ එක්ක රණ්ඩු කරගන්න එක එක මොහොතකට කල්තියලා, ඒ යුද්ධයට ගුවන් හමුදාව සම්බන්ධ වුණු ගැන හරියටම දැනුවත් වෙන්න දවසක නිදහසේ ඇවිත් යන්න.
නිල වෙබ් අඩවිය: www.airforcemuseum.lk
- තරිඳු ශ්‍රී ලොකුගමගේ
(මේ සියලුම ඡායාරූප ගත්තේ අපි. මේ වගේ ගමන් වලදී ඔයාලා වෙනුවෙන් තොරතුරු එකුතුකරන්න අපි කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරනවා. ඒ නිසා මේ තොරතුරු හෝ ඡායාරූප හොරෙන ගන්න එපා. අවශ්‍ය නම් අහලා, credits දීලා උපුටාගන්න).
මගේ අලුත්ම පොත (නවකතාවක්):
සරසවි, සදීපා, දයාවංශ ජයකොඩි, සූරිය, ලුමිනෙක්ස් (මොරටුව, පානදුර), අහස (බොරලැස්ගමුව), Expographic (පැලවත්ත) පොත්සාප්පු වලින් ගන්න පුළුවන්.
අන්තර්ජාල ඇණවුම්:
grantha.lk
KBOOKS
Book Hunter
Soi 11 පොත් එකතුව:
මේ පොත් කලින් කියපු පොත්හල් වලට අමතරව ගොඩගේ සහ සමයවර්ධන පොත් හල් වලත් තියනවා. වයර් පොටක සෞන්දර්ය විතරයි මේ පොත්හල් දෙකේ නැත්තේ.
මට ඔය අතරින් වඩාත්ම ඉන්ටරෙස්ටින් වෙන්නෙ අර කඩාවැටුනු කොටි යානාවයි ඔවුන්ගෙ සුන්බුන් වෙච්චි ඒවා ටිකයි. යුද්දෙ අහවර වෙනවත් එක්කම ඒ පැතිවල යන්න බැරිවෙච්චි එක ගැන අදටත් මම දුක්වෙනවා. ත්‍රස්තවාදීකම පැත්තක තිබ්බම ඔවුන් කාර්මික අංශයෙන් ලොකු අත්හදා බැලීම් කරපු අය හැටියට කල්පනා කරන්න පුළුවන්
ReplyDeleteමේ තැනත් බලන්න යන්න තියෙන තැංවල ලැයිස්තුවට එබුවා. අර ලොරි දඬු ටික බලාගත්ත නං හොඳටම ඇති. කොහොමත් බිම යන වාහන ඇරෙන්න උඩ යන එව්වා ගැන මගේ වැඩි තැකීමක් නෑනෙවැ. කොහොම නමුත් දුන්නාවූ ඔත්තුවට බොහාම ස්තූතියි.
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. ඕකේ තියනවා ගුවන් හමුදාවේ විකාශනයේ කතාව, නිල ඇඳුම්, Ejector seats, කළු පෙට්ටි, ඉතිහාස වාර්තා, තුවක්කු, ඔය වගේ තව නහුතයක් දේවල්. ඒ නිසා ඔයා ගියාම සෑහෙන ආසා වෙයි කියල හිතෙනවා.
Delete👍🏼
ReplyDeleteස්තූතියි අසේල
Deleteහේලිකොප්ටර් තට්ටක් උඩ ඉදගෙන අයිස්ක්‍රීම් එකක් කාකා හෙලිකොප්ටර් උඩ යනවා බලන් ඉන්න එක වෙනම අතල් එකක්.අතරින් පතරින් ප්ලේනුත් යනකොට තවත් මරු.
ReplyDelete//අතරින් පතරින් ප්ලේනුත් යනකොට තවත් මරු// සහතික ඇත්ත. ඒක වෙනම අත්දැකීමක් වුණා. ප්ලේන් හෙලිකොප්ටර් එන්ජින් සද්ද සහ සෙස්නා ලෑන්ඩ් කිරිලි අහගෙන අර Puzzle Garden එක හරහා වැස්සෙන් බේරෙන්න දුවපු එක අපූරුම මතකයක්.
Delete90 දශකයෙ මුල විදේශ පුහුණුවක් හමාර කල ගමන්ම මාව අනුයුක්ත කලේ මියුසියම් එකට..ඒ මියුසියම් එක පටං ගත්තම කාලෙ..සෙබලාද කම්කරුවාද ගුවන්යානා කාර්මිකයාද යන සියලුම චරිත රඟපෑමට අපට සිඳු උනා ඒකාලෙ..දවසකට කඳවල වත්තෙන් තණ පිඩෙලි කපාගෙන ඇවිත් සියලු වල්පැළ අතින් ගලවා ඉවත් කර බොරළු දමා ගොඩ කල බිමේ සිටුවීම.. ඊලඟ දවසෙ සේවා යෝග්‍ය ගුවන් යානා ground run, taxi test & air test සඳහා සූදානම් කිරීම, තිත්ත.. මිහිරි මතකයන්...සතුටුයි දැන් සදාහරිත සැලසුම්සහගත අධ්‍යාපන කලාපයක් වීම ගැන..
ReplyDeleteබොහොම ස්තූතියි මේ ඉතාම වටිනා ප්‍රතිචාරයට. ඔබතුමාට මට වඩා අපූරු අත්දැකීමක් දාහක් හමාරක් ලියන්න පුළුවන් ඇති මේක ගැන. ඔබතුමන්ලා දරපු ඒ උත්සාහයට අපේ කොන්දේසි විරහිත කෘතඥතාව හිමිවෙනවා. මේක ඉදිරියේදී ලංකාවේ ප්‍රධානම මියුසියම් එකක් බවට පත්වෙන බව මට සහතිකයි. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා, ප්‍රචාරණය පැත්තෙන්.
DeleteFake accountsඋත් නෑ, museum එකට ගිහිල්ලත් නැ 😪. තනියෙම ගියොත් අම්මල පොලිසියෙ පැමිනිල්ලක් දායි වාහනේ අතුරුදහන් වෙලා කියල 😂. ඒනිසා තව කවුරුහරි එක්කන් යන්ඩ ඔනී ලගදීම 😁
ReplyDeleteඒක ගෑනු ළමයෙක් ගැන අහිංසක ප්‍රාර්ථනාවක් කියලා හිතුණේ මට විතරද? ;)
Delete🙂
Deleteඒ කියන්නේ ඇත්ත! හැක්...
Deleteමම පව් අප්පා. දාපු කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නෑ. මෑත කාලයේ ගුවන් හමුදා කෞතුකාගාරය ගැන මම දැකපු විස්තරාත්මක ම ලිපිය. ගුවන් හමුදා සාමාජිකයෙක් විදියටත් , ගුවන් යානා තාක්ෂණික ශිල්පියෙක් විදියටත් මේ ලිපිය දැක්කම පුංචි ආඩම්බරයක් දැනෙනවා. ස්තූතියි තරිඳු.
ReplyDeleteබොහෝම ස්තූතියි ප්‍රතිචාරයට. ගුවන් යානා තාක්ෂණ ශිල්පයට මම හරිම ආසයි. හැබැයි මට ඒ ගැන බින්දුවක වත් අවබෝධයක් නැහැ. ආඩම්බරයි ඔයා ගැන!
Deleteඅඩේ! රත්මලාන ළඟ බෝඩිමක අවුරුද්දක් විතර තැපුවත් මෙතනට ගිහිං නෑ කියන්නකෝ! :/ ඒකල තිබ්බා මේ වගේම එකක් මට මතක විදිහට. හැබැයි වාහන තිබ්බේ නෑ. එතනට ගිහිං තියෙනවා.
ReplyDeleteඒකල එක ගැන දැනගෙන හිටියේ නැහැ. හොයන්න ඕනේ. ස්තූතියි ඒ ආරංචියට. දවසක මෙතනට ගිහින් බලන්න. ඇත්තටම යන්න වටින තැනක්...
Deleteඒ කළ දැනට තියෙන්නෙ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල. ගුවන්යානා එන්ජින් , ආකෘති සහ තවත් තාක්ෂණික වැදගත් දේවල් ගොඩක් තියෙනවා නමුත් ගුවන් හමුදා නොවන අයට බලන්න යන්න දෙන්නෙ නැහැ.
Deleteඇත්තටම මේ සති අන්තයේ විවේකයක් ලැබුණු වෙලාවක ඒකල තැන ගැන හොයන්න හිටියේ. බොහොම ස්තූතියි මේ වැදගත් තොරතුරට... නැත්තන් සෑහෙන කාලවේලාවක් අපතේ යන්න ඉඩ තිබ්බා!
Delete//රත්මලාන ගුවන් තොටුපළේ ධාවන පථයට සමාන්තරව ඉද්ද ගැහුවා වගේ ඉස්සරහට විහිදෙන පාර දැක්කම මිනි එක ලෑල්ලට පාගන්න ආපු ආසාව මැඩගත්තේ ජාතික ආරක්ෂාව ගැන උන්කඩුපුච්ඡයෙන් පවා හිතලා...//
ReplyDeleteජාතික ආරක්ෂාව කෙසේවෙතත් ලොක්කාගේ ආරක්ෂාව ගැන හිතුව බවක් නම් පේනවා. අපරාදේ පෙනේරයක් වෙන්න වෙඩිකාපු මිනිමයිනරයක් කෞතුකාගාරේ ප‍්‍රදර්ශනයට තියන්න තිබුනා.
එහෙම වුනා නං මීඩියා වලට අපූරු ගොරක කෑල්ලක් හම්බෙනවා හපහප උඩපනින්න. ඒකයි ජාතික ආරක්ෂාව ගැන හිතුවා කිව්වේ. ;)
Delete//අපරාදේ පෙනේරයක් වෙන්න වෙඩිකාපු මිනිමයිනරයක් කෞතුකාගාරේ ප‍්‍රදර්ශනයට තියන්න තිබුනා.// හැක්.. හැක්..
Deleteමගේ දුකත් උගෙ ආතල් එකට හැරේවා... :D
Deleteමන් ඕකට ගියේ 2010 විතර, A/L වලට දෙන ව්‍යාපෘතියට මන් තෝරගත්‍තෙ ශ්‍රීලන්කා ගුවන් හමුදාවෙ ඉතිහාසය, ඒ ගුවන් හමුදා කතුකාගාරය බලන්න යන්න තිබ්බ ආසාව නිසාමයි. හපුතලේ ඉදන් රාගම නෑ ගෙදරක ඇවිත් දවස් දෙකක් රත්මලානට ගියා කරුනු ලියාගෙන ෆොටෝ ගහගෙන එන්න.
ReplyDeleteහපුතලේ ඉඳන් ඇවිත් ඔච්චර කැපවීමෙන් ඒ වැඩේ කරන්න නියම enthusiast කෙනෙක් වෙන්න ඕනා. ස්තූතියි ප්‍රතිචාරයට.
Deleteඔය ඩෝ්න්ට් කේයා සිස්ටම් එක අපේ බොක්කටම වැදිල තියෙන්නේ. හැතැප්ම සියා ගානක් පහුකරන් මිනිසුසු එනවා අපිට මීටර් හත් අටසියක් දුරින් තියෙන දේවල් බලන්න. අපි තාම වෙලාවක් හොයනවා. රත්මලානත් එහෙමයි. බෝඩ් එක දිහා බල බල යනවා. සිහ් වෙලාවක් නෑනේ කියලා. කොහොම උනත් කියන්න සන්තෝසයි මේ පෝස්ට් එක එන්න කලින්ම මං තීරණය කරල උන්නා පොඩි උන් සේරම අරගෙන නොවැම්බර් 3 දෙයියනේ කියල උදේ අට වෙන කොට එතනට යන්න.
ReplyDeleteඔබතුමාට නම් අපටත් වඩා වැදගත් දේවල් එතන තියේවි. 8.30 ට කෞතුකාගාරය අරින්නේ. පොඩි උන්ට කන්න බොන්න දෙයක් අරගෙන යන්න. ඇතුළේ මේ දවස් වල තියෙන්නේ අයිස් ක්‍රීම් වගේ දේවල් විතරයි.
Deleteමොකක් හරි පෙර පිනක් තිබිල මට ඕක බලන්න යන්න හම්බ උනා අපේ පොඩි එකා එක්ක මොන්ටිසෝරියෙන් ගිය අධ්‍යාපන චාරිකාවෙදි. ඇත්තටම ඒ වගේ විශාල වපසරියක් ඔයවිදියට නඩත්තු කරන්න කොච්චර කැපවීමක් කරන්න ඕනද කියන එක තමයි මටත් ඒ වෙලාවෙ හිතුනෙ. අර ප්ලේන් සිමියුලේටර් එක මට බලන්න පුලුවන් උනා. ඒ උනාට ඔය පස්ල් ගාඩන් එකනං ඒ කාලෙ තිබුණෙ නැද්ද කොහෙද (දැනට අවුරුදු 13 කට විතර කලින්). අහිංසක සත්තු කූඩු කරල තියෙන අපායක් පෙන්නනවට වැඩිය පොඩි උංට මේ වගේ දෙයක් වැඩි කාලයක් අරගෙන පෙන්නල කීප දෙනෙක්ගෙ හරි මොළේ ජෙට් එංජිමක් ඇනිල මේ දේවල් ගැන උණක් ඇති වුනොත් ඒක ලොකු වාසනාවක්.
ReplyDeleteඒ වගේම මලයගේ මේ ලිපිය ඉතාම හොඳ තත්වයෙන් විස්තර ඇතුව ලියවිලා තියෙනව කියල මට සහතික වෙන්න පුලුවනි.
බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා. මමත් හිතන්නේ puzzle garden එක අලුත් දෙයක් වෙන්න ඕනේ. මොකද කලින් ගිය අය අතරින් කීප දෙනෙක්ම පුදුම වුණා මම ඉස්සරලම ඒකේ ෆොටෝ දැම්මම.
Deleteඑළ!
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteසුභ පැතුම්!!!
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteසිරියස්ලි මරු
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් අයියා!
DeleteA world-class open air museum.
ReplyDeleteඑක පාරක් ඔතනට ගියා මං පැය 3 ක් වාතර ඉඳලත් බාගයක්වත් බලාගන්න බැරි උනා... තව පාරක් යන්න ඕන
ReplyDeleteඇත්ත. හරියට බලනව නං ෆුල් දවසක් ඕනෙ.
Deleteඅහම්බෙන් හම්බෙච්ච...බ්ලොග් එකක්.ඔක්කොම කියෙව්වම තේරුනා තවත් ඒවා කියවන්න...
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteගහපිය මට මිසයිලයක්...මේ ලිපිය බලලා පොඩි මෙන්ඩා බර බරේ එක්කරගෙන යන්න කියලා...තෝ කරන්නේම ඔය වගේ අලුගුත්තෙරු වැඩ...
ReplyDeleteමාව බ්ලොග් වලට ඇබ්බැහි කරා මදිවට පොඩි මෙන්ඩාවත් අල්ලගත්තද
ගහපිය මට මිසයිලයක්...මේ ලිපිය බලලා පොඩි මෙන්ඩා බර බරේ එක්කරගෙන යන්න කියලා...තෝ කරන්නේම ඔය වගේ අලුගුත්තෙරු වැඩ...
මාව බ්ලොග් වලට ඇබ්බැහි කරා මදිවට පොඩි මෙන්ඩාවත් අල්ලගත්තද
මීට පස්සේ හොරෙන් බලාපිය! හැක්!
Deleteවිහිළු නෙමෙයි, ඇත්තටම යන්න වටින තැනක්. පොඩි එකාව උනන්දු කරවන්න ලැබීම සතුටක්!