Monday, December 19, 2016

ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද? - Step-by-step Guide එකක්




පෙරවදන:

අතීතයේ බොහෝ දෙනෙකුට කාර් ප්‍රොජෙක්ට් කිරීම සඳහා කාර් ගැන හොඳ දැනුමක් තිබීම අවශ්‍ය විය. එහෙත් නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දැන් එය අවශ්‍ය නොවේ. අද දවසේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල නිසා (මා වැනි තවත් සුවහසක්) කාර් පිස්සන්ට ප්‍රොජෙක්ට් එකක් නාගැනීම සුළු දෙයක් බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස කාර් එකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ දමා 'යාලුවනේ මට අහවල් දේ කරගන්න උපදෙසක් ඕනේ, දන්න අය පොඩ්ඩක් කියනවද?' කියා ඇසූ ගමන් ඔබට පැය භාගයක් හෝ විනාඩි 40 ක් වැනි සුළු කාලයක් ඇතුළත ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ක්‍රම විස්සක් තිහක් අසා දැනගත හැක.

කෙසේ වුවත් මගේ පළවෙනි ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එක ආරම්භ කරන විට මට ෆේස්බුක් සමග ලොකු ගනුදෙනුවක් තිබුණේ නැත. එම නිසා ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ක්‍රම සහ විධි මටම සොයාගැනීමට සිදුවිය. එහෙත් දැන් අන්තර්ජාලයේ සැරිසරන අයට වුවද තමන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා මා නාගත් ගංගා ඇලදොළ ගැන විස්තර ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒ පිළිබඳව Step-by-step guide එකක් සැපයීමට තීරණය කළෙමි.

ඒ නිසා මේ උපදෙස් මාලාව කියවා, ඔබට අදාළ වන ආකාරයට ඒවා පිළිපැද, ප්‍රොජෙක්ට් එක නාගෙන, ඒ නාගත් ආකාරය මා වෙත ලියා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


විශේෂ ස්තූතියි: 
කාර් එක ගන්න උදවු කළ තැන පටන් ප්‍රොජෙක්ට් එකෙන් ලක්ෂ ගාණක් පාඩු වීම දක්වා මට ප්‍රොජෙක්ට් එක නා ගැනීමට උපකාරී වූ ටින්කරින් අයියාට මගේ විශේෂ ස්තූතිය හිමි වේ.

පිදුම: 
ඒකත් ඌටම තමා!

මගපෙන්වීම අංක 01: කාර් එකක් මිලදීගැනීම 




කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා ඇති හොඳම ආරම්භක පියවර වන්නේ ඉවසීම පැත්තක දමා කඩිකුලප්පුව බෝ කරගැනීමයි. එවිට ඔබ කෙරෙන් පහත සඳහන් ලක්ෂණ දිස්වනු ඇත.

1. දකින පළමු කාර් එක (මලකඩ පැටවු ගැසූ ලදරමක් වුවද, දශකයකින් පමණ ලයිසන් ඉන්ෂුවරන්ස් තියා වතුර පොදක්වත් දැක නැති වුවද, ටයර් හතර රබර් ගසටත් වඩා පරණ වුවද, බැටරියේ හෙන්දිරික්කා මල් පැළවී තිබුණද, එහෙම තියෙද්දීත් අයිතිකාරයා ඒකට කැරට් විසිහතරේ ගණන් කිව්වද) ගන්නම හිතීම

2. ගෙදර බල්ලාට, පූසාට, ගිරවා, මාළුන්ට හෝ ඔබ ඇතිකරන ඕනෑම ආකාරයේ  විෂ රහිත/සහිත සතෙකුට ඇති ආදරය වැනිෂ් වී යාම. 

3. 'ඉන්න ටිකේ තියන ආසාවල් ඉෂ්ට කරගන්න ඕනේ' වැනි කතා කියා ගෙදර අයව තක්බීර් කිරීම

4.අනාගතයේදී ප්‍රොජෙක්ට් එකට සල්ලි හෙවීම සඳහා අයිස් පැකට් හෝ තෙල් බේත් වැනි දේවල් වුවද විකුණන්නට සිතීම

5. කකා ඉන්න අතරේ පවා විකමින් සිටි බත්ටික කටේ තබාගෙන කාර් ගැන කල්පනා කිරීම

6. පාරේ පරණ කාර් යනවා දුටුවිට විලිලැජ්ජාව පසෙක තබා බස් එකේ ඉඳන්ම කෙඳිරි ගෑම

7. ළඟම ගරාජ් එක අයිති එකා සමග කටපුරා සිනාසීම සහ ඌ ළඟට ගොස් හදන කාර් ගැන විස්තර අසඅසා මුකුළු පෑම

මෙවැනි ලක්ෂණ ඔබ කෙරෙන් දිස්වන බව ඔබටම පෙනෙන්නේ නම් කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා හොඳම කාලය පැමිණ තිබේ. ඒ නිසා වහාම ඊළඟ පියවරට යන්න.

ඊළඟ පියවර වන්නේ හැකි ඉක්මනින් වාහනයක් සොයාගැනීමයි. නා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් බ්‍රෝකර් කෙනෙකු අමතා පින්සෙන්ඩු වීම ය. ඔබ පත්වී සිටින අසරණ තත්ත්වය දැනගත් වහාම බ්‍රෝකර්ගේ ඔලුවේ විශාල ප්‍රමාණයේ බලුබ් එකක් ටිං ගා පත්තු වේ. එවිට ඔබට ඔන්න කන්ඩෙම් මෙන්න කන්ඩෙම් ගානට තිබෙන වාහන ඊයේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන් එළියට ආ මිලකට මිලදීගත හැක. ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා මුදල් විශාල ප්‍රමාණයෙන් ලෝක හොරුන්ට පුදදීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර පැහැර හැරීමෙන් වළකින්න.

'ඔරිජිනල්ම තත්ත්වයේ තියන/අලුත් ටයර් බැට්රි තියන/රනින් සුපිරි/ඉස්සර ලේඩිෂ් කෙනෙකු පැද්ද' වාහනයක් තිබෙන බව බ්‍රෝකර් කියූ විට ඔබ එය බලන්නට යා යුතු ය. ඒ සඳහා මිකැනික් කෙනෙකු හෝ ටින්කරින් අයියෙකු රැගෙන යා යුතු වේ. සාමාන්‍යයෙන් පරණ කාර් වල එන්ජින් ගොඩදැමීමට වඩා අපහසු වන්නේ බොඩි කෙළින් කිරීමයි. එම නිසා පළමුවෙන්ම ටින්කරින් වැඩ නැතිව වේලෙමින් සිටින ඔබේ හිතමිත්‍ර ටින්කරින් බාස් කෙනෙකු හමුවී ඔබේ අදහස පවසන්න. එවිට ඔහු ඔබට 'ඔය ඕන එකක් ගොඩදාන්න පුළුවන් මල්ලි' හෝ 'අර කාර් එකතු කරන ලෝයර් මහත්තයාගේ පරණ බෙන්ස් එක ගොඩදැම්මෙත් මම' වගේ කතා කියනු ඇත. මෙය ඔබට සිතූ පැතූ සේ නාගැනීමට ලැබෙන බවට හොඳ පෙරනිමිත්තකි. ඒ නිසා අතේ මුදල් ටික අතුරුදන් වෙන්නට කලින් හොඳ චීස් කොත්තුවක් ගෙනත් කා සතුට සමරන්න. පසුවදා හැදෙන බඩේ අමාරුවට ආටිගල ගෙහෙත් ගුලියක් ඉඟුරු ඉස්මෙන් හෝ දෙහි ඇඹුලෙන් ගන්න.

ඔබට ඩබල් එකේ නාගැනීමට අවශ්‍ය නම් වාහනය තියන තැන ටින්කරයාට කලින් පවසන්න. එවිට ඔහු වහාම ගොස් අයිතිකරු හෝ බ්‍රෝකරයා හමුවී ඔහුටත් ගානක් ලැබෙන පරිදි වැඩේ සෙට් කරගනු ඇත. එවිට ඔබට ප්ලැටිනම් හා සමාන වටිනාකමකට මලකඩ මිලදී ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වේ.

කාර් එක බලන්නට ගිය විට ටින්කර් අයියා ජිම්නාස්ටික් පෙන්නමින් කාර් එකේ උඩ, යට, පැත්ත, අස්ස සහ මුල්ල යනාදී සෑම තැනම රිංගීමට පටන් ගනු ඇත. නිහඬව ඒ සියල්ල විඳගන්න. වැඩේ සෑහෙන්න අමාරු බවත්, හැබැයි මල්ලිට නිසා ගොඩදාලා දෙන්නට පුළුවන් බවත්, පරණ වාහන හැදීම අමාරු බවත්, නමුත් ඔහු වැනි වැඩ දන්නා අයට ඒක කරන්න පුළුවන් බවත්, තවත් පොරවරක් දහය ටෝක් සීයක් විතරත් ඔහු ඔබ ඉදිරියේ දිගහරිනු ඇත. දරාගැනීමට අපහසු ම නම් කාර් එකේ අයිතිකරුගෙන් ගෙදර වැසිකිලිය තියන තැන අසාගෙන වැසිකිලිය ඇතුළට ගොස් තනියම අසභ්‍ය වචන හතර පහක් කියා, බිත්තියට පාරවල් දෙකතුනක් ඇන, කේන්තිය නිවුණු පසු ආපසු එන්න. ජිම්නාසිටික් සංදර්ශනය අවසන් වන තුරු මෙයම නැවත නැවත කරන්න.

ඔබ මේ වාහන කෙළියට අලුත් කෙනෙකු නිසා ඔබ මොන මිලගණන් සිතේ තියාගෙන සිටියත් ඇත්තටම ඔබ වාහනය මිලදීගන්නේ බ්‍රෝකර්ට (සහ ටින්කරයා සම්බන්ධ නම් උන් දෙන්නාට සහ තවත් උන් සම්බන්ධ නම් උන් සේරටම) අවශ්‍ය මිලට මිස ඔබ බලාපොරොත්තු වූ මිලට නොවේ. එයද ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ඉතාමත් වැදගත් මූලික පියවරකි.


මගපෙන්වීම අංක 02: ප්‍රොජෙක්ට් එක පටන් ගැනීම සහ එන්ජිම හැදීම   




පළමුවෙන්ම කළ යුත්තේ එන්ජිම සෑදීමද නැතහොත් බොඩිය සෑදීමද යන්න අර කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්නයකි. එම නිසා ඔබ වාහනය ගන්න ගියේ මිකැනික් කෙනෙකු සමග නම් එන්ජිමද, ටින්කරයෙකු සමග නම් බොඩියද සෑදීමට පටන් ගන්න. කරන හැම දේම මේ පුද්ගලයාගෙන් අසා ඔහු කියන දේ අනුගමනය කරන්න. නැතිනම් නා ගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇත.

මා කාර් එක බැලුවේ, මිලදී ගත්තේ සහ නා ගත්තේ ටින්කරයෙකු සමග වුවද මම මුලින් වාහනය 'දුවලා බලන්න ඕනේ' කියා මාව නෑවීමට කැමති මිකැනික් කෙනෙකු සොයසොයා ගියෙමි. එම නිසා මිකැනික් වැඩ සම්බන්ධයෙන් නාගන්නා ආකාරය ඔබට මුලින්ම පැවසීම මාගේ බලාපොරොත්තුවයි.

ඔබ කැමති හා හා පුරා කියා ග්‍රෑන්ඩ් ස්කේල් එකේ නා ගැනීමට නම් වහාම අදාළ කාර් බ්‍රෑන්ඩ් එක සම්බන්ධ  'එක්ස්පර්ට්' කෙනෙක් සොයාගන්න. ඔහුට එන්ජිම සෑදීම භාරදෙන්න. ඔහු ඔබට එන්ජිමේ අසූ හාරදාහක් හන්දිපත් රුදා, වාත වේදනා, කැක්කුම්, උළුක්කු වීම්, බඩ පිපීම්, පීනස් රෝග, සෙම්, පිත, කැස්ස, වමනය, යාම් බඩ යාම් සහ &*^ අමාරු ගැන කියා එන්ජිම 'ඕවරෝල්' කරන්න කියනු ඇත. මේ කියන්නේ overhaul කිරීම බව කරුණාවෙන් සලකන්න. කරුණාකර ලිස්ට් එකක් ලියා දෙන ලෙස ඔහුට පවසන්න. ඔහු ලියන 'පැට්ටල් පොම්පේ', 'පිගන් බෙයාරින්' සහ 'ඩයප්පරං එක' වැනි දේවල් පංචිකාවත්තේ තුණ්ඩු කියවන නරින්ට පවා තේරුම් ගැනීමට අපහසු වීමට ඉඩ ඇති නිසා මතක ඇතිව ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගන්න.

හැකි පළවෙනි දවසේම නිවාඩුවක් දමා, ගෙදර සුරතල් සතුන් ඇතුළු සියලු දෙනාට වැඳ ආශීර්වාද සහ සමාව ලබාගෙන උදේ පාන්දර පිටත් වී පංචිකාවත්ත නමැති නියම්ගමට පැමිණෙන්න. එම නියමගමේදී ඔබේ කාර් එකේ ලාංඡනය සඳහන් බෝඩ් එක ඇති පළවෙනි කඩයට දුවගොස් ලැයිස්තුව ලබා දී එම කඩය කරගෙන යන නරින් හෝ අර්ධ නරින් කියන ගණන්වලට බඩු සියල්ල අරගන්න.

සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකිණීම සඳහා වෙනම නරි වර්ගයක් ඇත. ඇතැම් විට ඔබ බ්‍රෑන්ඩ් නිව් බඩු ගත් කඩයේ නරියෙකු ඔබට මේ බඩු ගෙන්වා දීමට ඉඩ ඇති අතර, වැරදිලා හෝ අර්ධ නරියෙකු සිටියා නම් ඔබට සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන නරියෙකුගේ නොම්මරය ලබාදෙනු ඇත. මේ කිසිදු අවස්ථාවක ඩිස්කවුන්ට් දෙනවාදැයි ඇසීමෙන් වළකින්න. ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ඔබගේ ඉතුරුම් ගිණුම්, ජංගම ගිණුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු සියල්ල චකබ්ලාස් විය යුතු බව මතක තබාගන්න.

මගපෙන්වීම අංක 03: ටින්කරින් සහ පේන්ටින් වැඩ 




මේ වනවිට ඔබේ ප්‍රොජෙක්ට් එක ඔබට කරන උදවුවක් බව ඔබට ඒත්තු ගැන්වීමට ටින්කරයා සමත් වී තිබීමට ඉඩ ඇත. ඔබත් ඒ ආකාරයටම විස්වාස කරන්නට පටන් ගන්න. ප්‍රොජෙක්ට් එක නා ගැනීමට ඇති කෙටිම සහ ප්‍රත්‍යක්ෂම ක්‍රමය මෙයයි. මාස තුනක් ඇතුළත ඔබටත් නොදැනී ඔබව නෑවෙන්නට පටන් ගනු නිසැක ය.  

කිසිදු අවස්ථාවක Tool kit හෝ WD40 වැනි යෙදුම් භාවිතා කිරීමෙන් වළකින්න. ලංකාවේ ටික්කරින් කරන අයියලා ඇන ගැලවීම, බඳ රවුම් කිරීම, පැනල් සවි කිරීම, ආහාර ගැනීම සහ පිට කැසීම ඇතුළු සියලුම දේ කරන්නේ මිටි සහ කපන කටු භාවිතයෙනි. මේ අතරවාරයේ අර ධාතුසේන රජතුමා කලා වැවේ වැවු බැම්ම මත සිටුවා පස් ගැසුවා සේ වාහනයේ බඳ මත චක චක ගා කැටලොයි දමා වසනු ලැබේ. මේවා දැකීමෙන් ඔබේ හිත ගත දයියා වන්නේ නම් වහාම පාරේ යන කෙනෙකු නවත්වා දේශපාලනය කතා කිරීමට පටන් ගන්න. කිසි විටෙකත් කැටලොයි මෙහෙයුමට විරුද්ධ වීමෙන් වළකින්න. කවදා හෝ විකුණන දවසක මේ වාහනය ගන්නට එන බූරුවා නියපොත්තෙන් වාහනයේ බඳට ඇන 'කැටලොයි නේද?' කියා අසන විට ඔබට ඒ දුර ඈත අතීතයේ නා ගත් නා ගැනිල්ලේ සුව සහනය නොමදව දැනෙනු ඇති බවට කිසිදු සැකයක් නැත.

ටින්කරින් වැඩ සඳහා සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ගතවීමට ඉඩ ඇත. කම්මැලි කමක් සිතට නැගුනු අවස්ථාවක ගොස් අසැබි වචනයක් දෙකක් කියා එනු මිස ටින්කරයා සමග දීර්ඝ රණ්ඩු ඇතිකර ගැනීමෙන් වළකින්න. Short term නෑමට වඩා Long term නෑම ඇඟට ගුණ බව වෛද්‍යවරුන්ගේ අදහසයි. මේ කාලය පුරා වරින්වර ටින්කරයා ඔබෙන් විසි තිස්දාහ බැගින් කඩාගනු ඇත. මේ හැම වාරයේම වහාම ATM යන්ත්‍රයක් වෙත හෝ ඔබේ ගමේ පොලියට දෙන චාලට් අක්කා වෙත ගොස් අදාළ මුදල රැගෙන විත් ටින්කරයා අතේ තබන්න. මෙය නා ගැනීමේ ක්‍රියාවලියේ අනිවාර්ය හා කේන්ද්‍රීය අංගයකි. 


මගපෙන්වීම අංක 04: බීඩින් දැමීම 




බීඩින් දැමීම නා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් ඇත. ඒ සඳහා පහසුම ක්‍රමය වන්නේ ටින්කරයා දෙන නොම්මරයට කතා කර බීඩින් කාරයෙක් සෙට් කර ගැනීමයි. සාමාන්‍යයෙන් බීඩින් කාරයා ටින්කරින් ගරාජයට ගෙන්වා ගැනීමට දුරකථන ඇමතුම් සීයක් පමණ ලබාදිය යුතු ය. එවිට ඔහු කුඩුකාරයෙකුගේ පෙනුම සහිත ගෝලයෙකුද සමග එක්තරා සැන්දෑවක බට්ටෙකුගේ නැගී පැමිණ, ඔබේ කරදරයෙන් බේරීමට/ඔබට උදවු කිරීමට පැමිණි බව අඟවමින් කාර් එක පරීක්ෂා කරනු ඇත. ඉන් අනතුරුව ක්ලැසි ක් කාර් වල බීඩින් දැමීම කොච්චර දුෂ්කර කාරියක්ද කියා නැවතත් නැවතත් නැවත නැවතත් නැවත නැවත නැවතත් ඔබට පවසනු ඇත. ඉන්පසුව පහත සඳහන් දේවල් තුන අතරින් එකක් සිදුවීමට ඉඩ තිබේ. 

1. නාහෙන් අඬා අඬා ඌටම ඇතිවූ පසුව ඌ බීඩින් දැමීම 
2. ඔබ බීඩින් ගෙනවිත් ඇත්නම්, ඒ බීඩින් දැමීමට නොහැකි යයි කියා වෙන බීඩින් රැගෙන එන ලෙස ඉල්ලා බට්ටා කිහිල්ලේ ගසාගෙන ඌ පිටවී යාම 
3. ඔබ ගෙනා බීඩින් කපා, ඉන්පසු දාන්නට බෑ කියා, සිලිකන් දමා වීදුරුව අලවා ඔබෙන් විශාල මුදලක් කඩාගැනීම 

මේ ක්‍රම තුනම සම්බන්ධයෙන් මට අත්දැකීම් ඇති බැවින් ඔබට ඉතාමත් විශ්වාසයෙන් යුතුව කියා සිටිනුයේ ඔබට විශිෂ්ට ලෙසම නා ගැනීමට හැකි ක්‍රමය අංක 3 යටතේ සඳහන් ක්‍රමය බවයි. 

සාමාන්‍යයෙන් ඔය තුනෙන් කුමන ක්‍රමය සිදුවූවත් ඔබ අවසානයේ නවතින්නේ ඩාලි පාරේ අර සුප්‍රසිද්ධ බීඩින් කඩය ළඟ බව කරුණාවෙන් සලකන්න (නීතිමය හේතු මත එම කඩයේ වෙළඳ නාමය සඳහන් කළ නොහැක). 


මගපෙන්වීම අංක 05: ඉලෙක්ට්‍රිකල් වැඩ 




ප්‍රොජෙක්ට් එකක් නා ගැනීමට ඇති තවත් ඉතාමත් පහසු ක්‍රමයක් වන්නේ 'ඉලැට්ටිකල් ඇස්පෝට්' කෙනෙකුට ඉලෙක්ට්‍රිකල් වැඩ භාරදීමයි. එවැනි ඇස්පෝට් කෙනෙක් ගැන මේ බ්ලොගයේ "බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" ලිපියේ දක්වා තිබේ. එය හොඳින් කියවා බැලීමෙන් ඔබට ඒ ක්‍රමයට නා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

ඔබ දන්නා අය අතරින් වැඩියෙන්ම පොර ටෝක් දෙන ඉලෙක්ට්‍රිකල් කාරයා තෝරාගැනීම මේ සඳහා ඇති තවත් ක්‍රමයකි. මෙය මා විසින් ඉතා හොඳින් අත්හදා බලා ඇති ක්‍රමයක් බව ඉතාමත් ආඩම්බරයෙන් කියමි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මගේ පළවෙනි බීට්ල් රථයේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් එක නොනිවී දැල්වී තිබූ අතර එය හදන්නට වෙන තැනකට ගෙනගොස් දැමීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඉලෙක්ට්‍රිකල් වැඩ සියල්ල තිතට හරිගොස් එන්ජිම අයිඩ්ල් හිටින්නේ නැතුව යාමයි. තව පොඩ්ඩෙන් මගේ පනස් දාහකට පමණ කෙලවී මට දුන්හිඳ ඇල්ලෙන් නාගැනීමේ වාසනාව උදාවීමට ඉඩ තිබූ අතර මගේ හිතමිත්‍ර මිකැනික් දයානන්ද අයියා මැදිහත් වී එන්ජිම ගොඩින් බේරාදීම නිසා ඒ මහා දුන්හිඳ ස්නාන චාරිකාව අහිමි වී ගියේ ය. 

මගපෙන්වීම අංක 06: නිකල් වැඩ 




නිකල් වැඩ යනු ප්‍රොජෙක්ට් එකක් නා ගැනීමට ඇති තවත් විශිෂ්ට ක්‍රමයකි. මේ සඳහා මට සාදර අනුග්‍රහය ලබාදුන්නේ පොකුණුවිට 'පුපුල් ඉලෙට්ටෝප්ලේටින්' ආයතනයේ අධිපති දේශමාන්න කලාහූරී චෞරරාජ ශ්‍රී ස්නානප්‍රසාදී පුපුල් මහතා ය. ඒ මහතා 'බාත් එකේ දානවා, අනිවාර්යෙන්' කියා ඉලෙක්ට්‍රෝප්ලේට් කරදුන් නිකල් බඩු ටික මාස 6 ක් යන්නත් කලින් සවුත්තු විය. මෙහිදී ඉදිරිපස බෆරය යළි නිකල් කර දීමට ඒ මහතා එකඟ වූ නමුත් බෆරය ඔහුට භාරදුන් පසුව ඒ මහතාගේ නැට්ට පවා සොයාගැනීම දුෂ්කර වූයේ ය. 

කිසිදු දුරකථන ඇමතුමට උත්තර නොලැබෙන විට ඔරිජිනල් ෆොක්ස්වැගන් බෆරයක් පිනට දී නාගැනීමේ පරමානන්දය මට දැනෙන්නට වූ හෙයින් මම වහාම ඒ මහතාගේ ව්‍යාපාරික ආයතනය සොයා ගියෙමි. එතනදී ඒ මහතාගේ සහෝදරයෙකැයි කියූ කෙසඟ මහතෙකු මට ප්‍රකාශ කළේ බෆරය අයියාගේ ගෙදර ඇති බවයි. වහාම එය ගෙනැවිත් තබන ලෙස කළ ඉල්ලීම පුදුමයකට මෙන් ඉටු වූ අතර පසුදා ආපසු ගෙදර ගෙනැවිත් සවිකළ බෆරයේ 'ඉලෙක්ට්‍රෝප්ලේටින්' එක සතියක් යන්නටද කලින් නැවත නොඑන්නට මට බූට් එකක් තබා යන්නට ගියේය. 

ඒ නිසා නිකල් වැඩ වලින් නා ගැනීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර හොරණට නුදුරු පොකුණුවිට ප්‍රදේශයේ පුපුල් ඉලෙට්ටෝප්ලේටින් ආයතනයේ අධිපති දේශමාන්න කලාහූරී චෞරරාජ ශ්‍රී ස්නානප්‍රසාදී පුපුල් මහතා හමුවන්න. 


මගපෙන්වීම අංක 07: ටයර්, අංක තහඩු සහ අනෙකුත් දේවල් 



ටයර් වලින් නා ගැනීමටද ඔබට වුවමනා තරම් ඉඩකඩ පවතී. කලකට ඉහත ටින්කරයෙකු මගේ මිතුරෙකුට පවසා තිබුණේ ෆොක්ස්වැගන් සඳහා විශේෂ ටයර් වර්ගයක් පමණක් යෙදිය යුතු බවයි. මෙම ටයර් තරමක් අධික මිලකින් යුක්ත වන බවත්, ඒවා සොයා ගැනීම සඳහා තමන් 'උදවුවක් හැටියට' පංචිකාවත්තේ දවසක්ම රවුම් ගැසීමට සූදානම් බවත් කියූ මේ ටින්කර ටින් මහතා මගේ මිත්‍රයාව විශාල ප්‍රමාණයේ බාල්දියකින් නාවා තිබිණි. මගේ ෆොක්ස්වැගන් රථයට සාමාන්‍ය ටයර් දමා පෙන්වූ විට මගේ මිත්‍රයාට තමන් නාගත් නා ගැනීමේ දිග පළල සිහිවී අර ටින්කර ටින් මහතාට මුව නොසෑහෙන සේ, මා ජීවිතේට නොඇසූ පුණ්‍ය කථා පවා කියමින් පින් දුන්නේ ය. 

ක්ලැසික් කාර් වලටම යොදන විශේෂ වූ, කළු පසුබිමේ නිකල් නොම්මර හා ශ්‍රී අකුර සහිත අංක තහඩු සෑදීමේදී නා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඩාලි පාරේදී ඒ සඳහා වුවමනා තරම් අවස්ථා ලැබෙනු ඇත. ඔබ ඉතා හොඳ ඇඳුමින් සැරසී, ඉහළම මිලකින් යුත් සුවඳ විලවුන් ගල්වා, අවු කන්නාඩි යුවලකුත් පැළඳගෙන ගියහොත් ඔබට අඩුම තරමින් දෙදාහකට පමණ කෙළවාගැනීමේ අවස්ථාව ලැබෙනු ඒකාන්ත ය. 


සාරාංශය 



ඉහත සඳහන් කරුණු සියල්ල ලියුවේ ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගන්නේ කෙසේදැයි සිතමින් දිවා රෑ ඇඳේ ඒ පැත්ත මේ පැත්ත පෙරළෙන ඔබට අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණිනි. මෙම උපදෙස් අකුරට පිළිපැදීමෙන් ඔබට ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා නිසැකවම අවස්ථාව ලැබෙනු ඇත. 

නමුත් මේ කරුණ හොඳින් මතකයේ තබාගන්න: ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා ඇත්තේ මෙම ක්‍රම කිහිපය පමණක් නොවේ. ඔබේ ප්‍රොජෙක්ට් එකේ සෑම පියවරක් පාසාම ඔබට ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා අලුත් මාවත් දස දහස් ගණනක් පෑදෙනු ඇත. ඒ මාවත් දිගේ කෙතරම් දුර පියනගනවාද යන්න සහ කෙතරම් උස දිය ඇල්ලකින් නා ගන්නවාද යන තීරණය ඇත්තේ ඔබ අතේ ය... 

ඔබ සැමට සුබ නා ගැනීමකට ආසිරි... 

- නිමි - 

www.facebook.com/CarPissuwa 


(සිදුවීම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 

Monday, December 5, 2016

මිනි මයිනර්/ඔස්ටින් මිනි උපන් හැටි

ෆොටෝ එක එවුවේ ශානක ලියනගේ



මම මිනි පිස්සෙක් නෙමෙයි. හැබැයි මිනි එක සැරින් සැරේ මගේ ඔළුවට එන්නේ හරියට ගෙදර ඇතිකරන්නේ නැති වුණාට බඩගිනි වුණාම ගෙදර ඇවිත් පුරුපුරු ගගා කකුලේ දැවටෙන පුංචි පූස් පැටියෙක් වගේ... (ඔවු, මම කාර් වලට තරමටම පූසන්ට ආදරෙයි).

මිනි එකක් පාරේ ගියොත් මම බීට්ල් එක ස්ලෝ කරලා ඒක දිහා බලනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. තව වෙන වෙන කාර් වලට ආසා අයත් පාරේ මිනි එකක් දැක්කම නැවතිලා බලන වෙලාවල් ඕන තරම් තියනවා. ඒ ඇයි කියන්න ඒ අය දන්නෙත් නෑ...

වෙන එකක් තියා මිනි එක ඩිසයින් කරපු ඉසිගෝනිස් මහත්තයා වත් ඒක දැනගෙන හිටියේ නැහැ...

මිනි එකේ ඉතිහාසය බොහොම දිග කතාවක්. ඒ නිසා මිනි එකේ මුළු ජීවිත කතාවම එක බ්ලොග් පෝස්ට් එකකින් කියන්න බැහැ. මිනි එක වෙළඳපොළට හඳුන්වලා දුන්නට පස්සේ වෙනස්කම් ගොඩක් සිද්ධ වුණා. මිනි එක හදපු බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් හෙවත් BMC එකට අභියෝග මහා ගොඩකට මූණදෙන්න වුණා. 

අපි අද හිතන තරම් මුල් කාලේ මිනි එක ජනප්‍රිය වුණේ නැහැ. මොකද මිනි එක ඉස්සරලාම ආවේ වියදම් අඩු සරල කාර් එකක් විදිහට මිසක් 'මං වෙනස්' කියලා පෙන්නන්න පුළුවන් කාර් එකක් විදිහට නෙමෙයි. කොටින්ම සෑහෙන කාලයක් යනකල් BMC එක මිනි වික්කේ අතින් පාඩු කරගෙන. මේක හොයන්න ෆෝඩ් සමාගම මිනි එකක් අරගෙන ගිහිං කෑල්ලෙන් කෑල්ල ඇනෙන් ඇනේ තහඩුවෙන් තහඩුවෙන් තහඩුව කෑලි කරලා පතුරු කරලා මස් කරලා  ගණන් හදලා බැලුවා (ෆෝඩ් එක මේ වගේ වැඩ වලට මාර දස්සයි). ඊට පස්සේ එයාලා කිව්වා විකුණන හැම මිනි එකකටම BMC එක පවුම් 30 ක් පාඩු විඳිනවා කියලා. ඔන්න ඔය වගේ අමාරුකම් සහ කුහකකම් රාශියක් මැද්දේ තමයි මිනි එක මේ ගමන ආවේ.



මිනි එකේ කතාව පටන් ගන්න නම් අපි මොරිස් මෝටර්ස් සමාගමෙන් කතාව පටන්ගන්න ඕනේ. දිගට කතාකරන්න කාලයක් නැති නිසා මම බොහොම කෙටියෙන් කියන්නම්. මොරිස් මෝටර්ස් සමාගම පටන් ගත්තේ 1919 අවුරුද්දේ. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කර්මාන්තය දියුණු වෙමින් තිබුණේ. එදා ඉඳන් සෑහෙන කාලයක් යනකල් මේ මොරිස් නමින් අපට මොරිස් මයිනර්, මොරිස් මිනි සහ මොරිස් ඔක්ස්ෆර්ඩ් වගේ අපූරු වාහන ගොඩක් ලැබුණා. 1984 දී තමයි මොරිස් නම භාවිතයෙන් ඉවත් වුණේ. අද වෙනකොට මොරිස් නම අයිති චීනයේ SAIC කියන සමාගමට ලු. දැනට MG බ්‍රෑන්ඩ් එකත් අයිති මෙයාලටමයි.

මොරිස් සමාගමේ ලාංඡනය


මොරිස් සමාගමේ අපට අදාළ කාලය වෙනකොට ප්‍රධානියා වෙලා හිටියේ ලෙනර්ඩ් ලෝඩ්. 1951 දී මොරිස් සහ ඔස්ටින් සමාගම් දෙක එකතු වෙලා බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් හෙවත් BMC එක හැදුණට පස්සේ එතුමා BMC එකේ ලොක්කා වුණා. මිනි එක බිහිවෙන්න පාර කැපුණේ එතුමා නිසයි.


ලෙනර්ඩ් ලෝඩ්

මිනි උපතට පින් ලබන්න ඕන අනික් කෙනා තමයි ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් (ඇලෙක්) ඉසිගෝනිස්. එතුමා තමයි මොරිස් මයිනර් එක නිර්මාණය කරන්න වැඩ කළෙත්. මම අදටත් එතුමාට මේ තරම් ගරු කරන්නේ මොරිස් මයිනර් එක නිර්මාණය කළාට මිසක් මිනි එක නිර්මාණය කළාට නෙමෙයි. මොකද මොරිස් මයිනර් එක නොතිබුණා නම් මිනි එක නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණික හෝ ආර්ථික පසුබිම BMC එකට නොලැබෙන්න ඉඩ තිබුණා.


ඇලෙක් ඉසිගෝනිස්

1950 දශකය වෙනකොට දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා තිබුණත් බ්‍රිතාන්‍යය හරියට ඔලුව උස්සලා හිටියේ නැහැ. ඉන්ධන, ටයර් වගේ බොහෝ දේවල් සීමා කරලයි තිබ්බේ. මේ වෙනකොට සාමාන්‍ය මිලගණන් යටතේ ගන්න තිබුණේ මොරිස් මයිනර්, ඔස්ටින් A30 සහ ෆෝඩ් පොපියුලර් වගේ කාර්. 1953 දී ෆෝඩ් පොපියුලර් එක හඳුන්වලා දෙනකොට ඒක එහෙ අඩුම මිලට ගන්න පුළුවන් කාර් එක වුණා කියලා කියනවා.

ඊට පස්සේ තමයි සූවස් ඇලේ ප්‍රශ්නේ ආවේ. මැද පෙරදිග රටවල ඉඳන් බටහිර රටවලට ඉන්ධන ගෙන්න තිබ්බ හොඳම ක්‍රමය තමයි සූවස් ඇල. නැත්තම් තෙල් ගේන නැව් ලෝකේ වටේ රස්තියාදු ගහලා එන්න ඕනේ. නැවක් එහෙම රස්තියාදු ගැහුවම වියදම් ඉහළ යන හැටි ගැන කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. පනස් ගණන්වල ඊජිප්තුවේ පාලකයා මේ වැඩේට කොක්ක ගැහුවා. මේක බොහොම දිග කතාවක්. කෙටියෙන් කියලා වැරදි අදහස් ඇතිකරන්න කැමති නැති නිසා මම ඒක ලියන්න යන්නේ නැහැ. කොහොම හරි අන්තිමට සූවස් ඇල හරහා බටහිරට තෙල් ගේන්න බැරි තත්ත්වයක් උදා වුණා. බ්‍රිතාන්‍යය ඇතුළේ ආයෙත් ඉන්ධන මිලදීගැනීම සීමා කරන්න වුණා.

මෙන්න මෙතනින් තමයි අර බබල් කාර් (Bubble cars) ජනප්‍රිය වෙන්න පොටක් පෑදුණේ.

අද අපි ඔය බබල් කාර් වලට හරි ආසයි, ඒවා දකින්න නැති නිසා. ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන එකතු කරන අය ගාව මේවා තියනවා ඔයාලා ප්‍රදර්ශනවලදී දැකලා ඇති. අනික් අතට ටොප් ගියර් එකේ කියන දේවල් දේව වාක්‍යය වගේ පිළිගන්න ගොඩක් දෙනෙක් බබල් කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ඒවට බනිනවා.

බබල් කාර් ජනප්‍රිය වුණේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා. බබල් කාර් අතරින් ජනප්‍රියම කාර් එකක් තමයි BMW Isetta එක. මේ ගොඩක් බබල් කාර් වර්ග වල තිබුණේ රෝද තුනක් විතරයි. ඒවා බොහොමයක් රියදුරා ඇතුළුව දෙන්නෙකුට විතරක් යන්න පුළුවන්, පොඩි මෝටර් සයිකල් එන්ජින් තිබුණු, සමහර වෙලාවට රිවස් ගියර් එකක් පවා නොතිබුණු කාර් (රිවස් එකක් නැත්නම් ඒ කාලේ මෝටර් සයිකල් ලයිසන් එකෙන් මේවා එළවන්න අවසර තිබුණලු). මේවා හැබැයි ඉතින් කාර් නම් නෙමෙයි. මේවා හුදෙක් නිකම්ම නිකං ප්‍රවාහන මාධ්‍යයක් විතරයි.



මේවා ජනප්‍රිය වෙනවා දැක්කම BMC එකේ ලොක්කා වුණු ලෙනර්ඩ් ලෝඩ් මහත්තයට අසූහාරදාහට මලපැන්නා. එතුමා මේවා හඳුන්වන්න පාවිච්චි කළේ 'God damn bloody awful Bubble cars' කියන වචන සෙට් එක. මේ පැන්න මල ඔස්සේම තමයි එතුමා කල්පනා කළේ නියම පුංචි කාර් එකක් ඩිසයින් කරලා බබල් කාර් ටික පාරෙන් එළවලා දාන්න.

මෙන්න මෙතනින් තමයි මිනි ඉස්ටෝරිය පටන් ගන්නේ...

මේ වැඩේ කරන්න භාරවුණේ මොරිස් මයිනර් එක  ඩිසයින් කරපු ඇලෙක් ඉසිගෝනිස් මහත්මයාටම තමයි. ඇත්තම මොරිස් මයිනර් එක කියන්නේ ඒක නිර්මාණය කරපු කාලයේ හැටියට ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඒ නිසා ඉසිගෝනිස් මහත්මයාට හොඳ පිළිගැනීමක් ලැබිලා තිබුණා. ඉතාම කෙටි කාලයක් ඇතුළත තමන්ට දීපු ඉලක්කය ළඟා කරගන්න එතුමාට පුළුවන් වුණා. එතුමාගේ සමීපත විශ්වාසවන්තයෝ සෙට් එකක් තමයි එතුමා එක්ක මේ වැඩේ කළේ. ඒ අය පස්සේ බොහොම ළෙන්ගතුව කිව්වා 'We were there do things his way' කියලා. ඒ කියන්නේ වැඩේ ඒකායන මොළකාරයා හෙවත් සොඳුරු ආඥාදායකයා ඉසිගෝනිස් මහත්තයා තමයි...

මිනි එකට ඇඳපු මුල්ම කටු සටහනක්


මිනි එක ඇත්තටම 'ලස්සන ඩිසයින් එකක්' බවට පත්කරන්න ඉසිගෝනිස් මහත්මයට කොහොමවත්ම ඕන කමක් තිබුණේ නැහැ. මිනි එකේ හැම අංගයක්ම නිර්මාණය වුණේ වියදම් අඩු, ඒ වුණාට හතර දෙනෙකුට යන්න පුළුවන්, ප්‍රායෝගික, පවුලේ වාහනයක් විදිහට. මිනි එක මේ තරම් ආකර්ෂණීය නිර්මාණයක් වීම ඇත්තටම අහම්බයක්.

පුංචිම පුංචි වාහනයක් වුණත් මිනි එකේ මේ තරම් ඉඩ තියෙන්න හේතු කීපයක් තියනවා. 

1. එන්ජිම හරස් අතට (transversely) සවිකිරීම 

2. එන්ජිමට යටින් ගියර් බොක්ස් එක පිහිටා තිබීම 

3. Front wheel drive වීම 

මේ වගේ හේතු ගොඩක් නිසා මෙච්චර පොඩි වාහනයක් වෙලත් හතර දෙනෙකුට නිදහසේ යන්න මිනි එක ඇතුළේ ඉඩ තියනවා. 

මාස 4 ක් තරම් කෙටි කාලයක් ඇතුළත මූලික සැලසුම් වල ඉඳලා අනුමත සැලසුම දක්වා යන්න ඉසිගෝනිස් මහත්මයාගේ ටීම් එකට පුළුවන් වුණා. විශේෂම දේ තමයි මිනි prototype සහ ප්‍රඩක්ෂන් එකට දාපු කාර් එකක් බොහෝ දුරට සමාන වීම. එකම එක කොස්ස වුණේ ඔරිජිනල් ප්ලෑන් එකේ විදිහට 948cc (37bhp) එන්ජිම පාවිච්චි කරනවා වෙනුවට 848cc (34bhp) එන්ජිම පාවිච්චි කරන්න මෙයාලා තීරණය කරපු එකයි. මේ දෙක අතරේ තියෙන්නේ 3bhp වගේ වෙනසක් වුණාට මේ තරම් සුළු බලයක් තියන කාර් එකකට අශ්ව බල තුනක් කියන්නේ ලොකු ගාණක්. මිනි අරගන්න කස්ටමර්ස්ලාට ස්පීඩ් එකට වැඩිය තෙල් වැඩකරන ප්‍රමාණය වැදගත් වෙයි කියලා ටීම් එක හිතන්න ඇති. කොහොම වුණත් ඒ කාලේ හැටියට ඒක තමයි වැදගත්ම දේ වුණේ! 

1959 අගෝස්තු 26 වෙනිදා තමයි මිනි එක නිල වශයෙන් දියත් කළේ. අද ලෝකේ පුරා අගෝස්තු 26 වෙනිදා 'මිනි ඩේ' එක විදිහට සමරන්නේ ඒකයි. මිනි එක ඔස්ටින් සහ මොරිස් බැජ් දෙකෙන්ම ආවා. මොරිස් එක ආවේ මොරිස් මිනි කියන නමින්. ඔස්ටින් එක'ඔස්ටින් 7' කියලා ආවා (ඔස්ටින් 7 එක ඔස්ටින් මිනි කියලා නම් කෙරුණේ 1961 දී). මොරිස් වාහන හැදුවේ Cowley වල තිබුණු කර්මාන්ත ශාලාවේ. ඔස්ටින් එක Longbridge වල හැදුවා. 




මිනි කූපර් කියන වර්ෂන් එක ඇත්තටම ආවේ 1961 දී. ජෝන් කූපර් කියන්නේ රේසින් වලට සම්බන්ධ සුප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්. ඒ වගේම එයා ඉසිගෝනිස් මහත්මයාගේ යාළුවෙක්. මේ දෙන්නා එකතු වෙලා රේස් වලට දාන්න පුළුවන් විදිහට මිනි එකේ එන්ජිම සහ අනෙක් උපාංග වැඩිදියුණු කළා. (මෙතනත් ලොකු පසුබිම් කතාවක් තියනවා. ඒක විස්තර කරන්නේ නැති එක ගැන කූපර් ෆෑන්ස් ලා මාත් එක්ක අමනාප වෙන්න එපා. ඒකත් සෑහෙන්න ලුණු ඇඹුල් සහිත කතාවක් කියලා ඔයාලා දන්නවා නේ. ඒ නිසා ඒක පස්සේ වෙලාවක කියමු). එන්ජින් කැපැසිටි එක 848cc ඉඳලා 997cc වෙනකල් වැඩිවෙලා bhp ගාන 34 ඉඳන් 55 දක්වා වැඩිවුණා. ඊට අමතරව ආපු මිනි කූපර් S වර්ෂන් එකේ  එන්ජිම 1077cc. ඊටත් පස්සේ අර අපි කවුරුත් ආසා කරන 1275cc එන්ජිම ආවා. 

ඇලෙක් ඉසිගෝනිස් සහ ජෝන් කූපර්


මෙතනින් එහාටත් තව කතා ගොඩාක් පටන්ගන්නවා. නමුත් ඒවා ලියන්න අපට වෙලාවක් නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය ප්‍රඩක්ෂන් එකට දාපු මිනි මාදිලි ගැන පොඩ්ඩක් කියලා අපි කතාව නවත්තමු. 

BMC එක මිනි එක මාකට් එකට දාල නිකං හිටියේ නැහැ. මුල් කාලේ එයාලා එක එක වර්ෂන් හදලා ටෙස්ට් කරලා බැලුවා. 

1. ඩිකියක් එක්ක ආපු Wolseley Hornet සහ Riley Elf කාර් 




2. මොරිස් මිනි ට්‍රැවලර් සහ ඔස්ටින් මිනි කන්ට්‍රිමන් විදිහට ආපු වැගන් වර්ෂන් එක (පස්සේ මේ වෙනුවට ක්ලබ්මන් එස්ටේට් වර්ෂන් එක හඳුන්වලා දීපු බව මේ ලිපිය මුලින්ම පළවුණාට පස්සේ රුක්ෂාන් හල්පිට මතක් කළා).



3. මිනි වෑන් එක විදිහට හඳුන්වපු වර්ෂන් එක 

4. මිනි පිකප් එක 



5. මිනි මෝක් එක හෙවත් ජීප් වර්ෂන් එක



මීට අමතරව තව වර්ෂන් ගොඩක් එන්න ඇති. ඒ වගේම එඩිෂන් ගොඩකුත් ආවා. 

ඇනිවර්සරි එඩිෂන්: Mini 20, Mini 30, Mini 35, Mini 40 

ලන්ඩන් කලෙක්ෂන්: Mini Mayfair, Mini Ritz, Mini Chelsea, Mini Piccadilly, Mini Park Lane, Mini Advantage 

මීට අමතරව තවත් එඩිෂන් ගොඩක් ආවා. ඒ සේරම ටික වගේ ඔයාලට මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්. හැබැයි මේවා ගැන එක එක අය එකිනෙකට වෙනස් මත දරන අවස්ථාවල් තියනවා. ඒ වගේම කවුරුහරි කිවුව පලියට විශ්වාස කරන්නත් එපා. ටිකක් අන්තර්ජාලයේ එහා මෙහා දියබුං ගහලා හොයලා බලන්න. මොකද ලංකාව වගේ රටවල ගස්ලබු සහ තලන බටු විකුණන්නෙත් ලිමිටඩ් එඩිෂන් කියලා.


පනහේ දශකයේ බ්‍රිතාන්‍යය හොම්බෙන් ගිය වෙලාවක දෙපයින් හිටවන්න හිතාගෙන ඩිසයින් කරපු ඇබිත්තන් කාර් එකක් මේ තරම් දුර යාවි කියලා ශ්‍රීමත් ඇලෙක් ඉසිගෝනිස් ඇතුළු කිසිම කෙනෙක් හිතන්න නැතුව ඇති. ඔරිජිනල් මිනි එක බ්‍රිටිෂ් ලේලන්ඩ් එක සහ රෝවර් ග්රූප් එක වගේ එක එක අයිතිකාරයෝ යටතේ 2000 අවුරුද්ද වෙනකල්ම නිෂ්පාදනය වුණා. ප්‍රඩක්ෂන් එක ඉවර වෙද්දී මිනි මිලියන 5.3 ක් නිෂ්පාදනය වෙලා තිබුණා ලු. ඒ අනුව මිනි එක තමයි අද දක්වා වැඩියෙන්ම නිෂ්පාදනය වුණු බ්‍රිතාන්‍ය කාර් එක. 

කොටින්ම කියනවා නම් ෆෙරාරි එකේ නිර්මාතෘ එන්සෝ ෆෙරාරි මහත්මයාටත් මිනි මිස්සුව ගැහුවා. ඒ නිසා එතුමත් මිනි එකක් ගත්තා...

ආරම්භයේ ඉඳන් අවසානය දක්වා පුංචි පුංචි වෙනස්කම් වුණාට මිනි එකේ බාහිර පෙනුමේ ලොකු වෙනසක් වුණේ නැහැ. ඒකයි අදටත් ගොඩක් දෙනෙකුට 1959 හදපු මිනි එකකුයි 2000 ට කිට්ටුව හදපු මිනි එකකුයි වෙන්කරලා අඳුනගන්න අමාරු. මිනි ඔස්තාද්ලා දන්නවා වුණාට සාමාන්‍ය අය ඔය පුංචි පුංචි දේවල් දන්නේ නැහැ.

නමුත් එදා ඉඳන් අවුරුදු 60 කට කිට්ටු වෙන්න කාලයක් ගිහිල්ලා, ඉන්දියන් සාගරය මැද්දේ හිච්චි දූපතක ඉන්න බාල තරුණ මහලු හැමෝම තාමත් උදේ හවා ලුහුඬු දැන්වීම් දිගේ දුව දුවා මලකඩ බේරෙන මිනි මයිනර් වලට කෙළ හලනවා...  

ඉසිගෝනිස් මහත්තයා අද හිටියා නම් 'කොහොමද යකඩෝ එහෙම වුණේ' කියලා කල්පනා කරලම පිස්සු හැදෙනවා... 


www.facebook.com/CarPissuwa 

පසු සටහන: කාර් පිස්සුවට කට්ටිය එවපු මිනි පින්තූර ගොඩක් තියනවා. මේ පහළින් තියෙන්නේ ඒ අතරින් තෝරගත්තු ටිකක්. නමුත් එවපු කට්ටියගේ නම් වෙන වෙනම සටහන් කරලා තියාගත්තේ නැති නිසා මට එවපු කෙනා කවුද කියලා හරියටම කියන්න බැහැ. මේ ෆොටෝ අතර ඔයා එවපු එකක් තියනවා නම් කමෙන්ට් එකක් දාලා ඒ බව කියාගෙන යන්න. 

























www.facebook.com/CarPissuwa