Saturday, September 17, 2016

1 ශ්‍රී 1 හෙවත් සර් ජෝන් ගේ කැඩිලැක් එක



පහුගිය දවස්වල බුකියේ ගොඩක් ජනප්‍රිය වුණු නිවුස් එකක් තමයි 1 ශ්‍රී 1 කාර් එකේ ප්‍රොජෙක්ට් එක අවසන් වීම. 1 ශ්‍රී 1 කියන්නේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී මුලින් තිබුණු ඉංග්‍රීසි අකුරු ක්‍රමය අවසන් කරලා මුලින්ම ශ්‍රී නොම්මර නිකුත් කරන්න ගත්තු තීරණය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී නොම්මරයක් දුන්නු පළවෙනි කාර් එක.





මේ කාර් එක දැකපු ගොඩක් දෙනෙක් කාලෙක ඉඳන් අහලා එවපු ප්‍රශ්න කීපයක්ම තියනවා. ඒවාට පුළුපුළුවන් විදිහට ෆේස්බුක් එකෙන්ම උත්තර දුන්නත් මෙහෙම බ්ලොග් පෝස්ට් එකක් දාන එක හොඳයි කියලා මට හිතුණා.

මේවා තමයි කට්ටිය නිතර අහලා එවපු ප්‍රශ්න.

1.ඔය කාර් එකේ වර්ගේ මොකක්ද?

2. ඔය කාර් එකේ ඔරිජිනල් අයිතිකාරයා කවුද?

3. ඔය කාර් එක දැන් තියෙන්නේ කොහෙද?

4. ඔය කාර් එක දැන් තියන තැන තියන්න කලින් තිබුණේ කා ගාවද?

5. කාර් එකේ ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කළේ කවුද?

6. මේ කාර් එකේ ඔරිජිනල්ම පවර් ස්ටියරින්, පවර් ෂටර් එහෙම ඇවිල්ලා තියනවා කියන්නේ ඇත්තද?

මේ ප්‍රශ්න ටිකට කෙටියෙන් උත්තර දීලා මම පොඩි විස්තරයක් දෙන්නම්.

1.
මේ කාර් එක Cadillac Series 62  කියන මොඩ්ල් එකේ 4 door වර්ෂන් එකක් (මේක මොකක්ද කියන එක තව ටිකකින් විස්තර කරන්නම්). හැබැයි චන්ද්‍ර තිලක එදිරිසූරිය කියන මහත්මයාගේ ලිපියක ලියලා තිබුණා මේක Cadillac Eldorado එකක් කියලා. ඉස්සර කාලේ කාර් වල trim levels එහෙම හඳුන්වන්න පාවිච්චි කරමු යෙදුම් සමහර වෙලාවට පැටලිලි සහගතයි. ඒ නිසා මම 62 එක ගැන වගේම Eldorado එක ගැනත් පහළ විස්තර කරලා තියනවා. මොඩ්ල් එක මොක වුණත් වාහනේ කැඩිලැක්... 

2.
මේ කාර් එකේ මුල්ම අයිතිකාරයා තමයි 1953 ඉඳන් 1956 දක්වා ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැති විදිහට කටයුතු කරපු සර් ජෝන් කොතලාවල මහත්මයා. ඒ වගේම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මයත් මේක සමහර වෙලාවට පාව්ච්චි කළා කියලා චන්ද්‍ර තිලක එදිරිසූරිය මහත්මයාගේ අර ලිපියේ තිබුණා.

3.
කාර් එක දැන් තියෙන්නේ රත්මලානේ කඳවල පාරේ තියන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ.

4.
සර් ජෝන් කොතලාවල අනුස්මරණ කෞතුකාගාරය විවෘත කරන අවස්ථාව වෙද්දී මේ කාර් එක තිබිලා තියෙන්නේ ඇතුල්කෝට්ටේ හිටපු විශ්ව වීරසූරිය කියන මහත්මයා ගාව. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉල්ලීමක් මත ඒ මහත්මයා මේ කාර් එක කෞතුකාගාරයට පරිත්‍යාග කළා ලු.

5.
ප්‍රොජෙක්ට් එක කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වර්ක්ෂොප් එකේමයි. නමුත් නිකල් කොටස් සහ සුදුයකඩ කොටස් හදන්න දුමින්ද බොඩිකිට් සමාගමට භාරදුන්නා කියලා එයාලා පෝස්ට් එකක් දාලා තිබුණා (ඒ තීරණේ ගත්තේ කවුද කියන්න නම් මම දන්නේ නැහැ).

6.
ඔවු. මේ කාර් එක අද දවසේ අපි 'නවීන තාක්ෂණය' කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් ඒ කාලේ තාක්ෂණයට අනුව ඇතුළත් වුණු කාර් එකක්. ඒ ගැන විස්තර පහළ තියනවා.

මෙන්න මේ විදිහට තමයි ප්‍රොජෙක්ට් එකට කලින් කාර් එක තිබුණේ. මේ ටික සහ අර උඩින්ම තිබුණු ෆොටෝ දෙක එවුවේ ඩෙවින් තමිඳු. 





මේ පහළ තියෙන්නේ ඕෂධ ද සිල්වා එවපු, මේ කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර කීපයක්. 







ඔරිජිනල් යතුර

දැන් අපි පොඩ්ඩක් කාර් එකේ මොඩ්ල් එක ගැන කතා කරමු. මේ කාලේ කාර් වල trim levels දිහා බැලුවම ඔළුව විකාර වෙනවා. ඒ නිසාමදෝ මේක Cadillac Eldorado කියන මොඩ්ල් එකේ එකක් කියලා චන්ද්‍ර තිලක එදිරිසූරිය මහත්මයා කියලා තිබුණා. ඒ වගේම ඒක de Ville සීරීස් එකේ එකක් කියලා කවුරුහරි කියලා තියනවත් මම දැක්කා. 

නමුත් ක්ලැසික් කාර් ලෝකේ ගැන හොඳට දන්න මගේ මිත්‍ර ක්ලයිව් ද සිල්වා ගෙන් අහපු වෙලාවේ එයා මට පැහැදිලි කරලා දුන්නා මේක Cadillac Series 62 එකක් බව. පස්සේ තමයි මම KDU (Kotelawala Defense University) එකේ පොතකත් මේක තියනවා දැක්කේ. නම මතක් කරපු නිසා මම ලාවට Cadillac Eldorado එක ගැනත් ලියන්නම්.

Cadillac Eldorado එක අයිති වෙන්නේ Personal Luxury Cars කියන කාණ්ඩයට. ඒ කියන්නේ ඉතාමත් ලස්සන, ඉතාමත් සුඛෝපභෝගී, ඉතාමත් 'පොෂ්' කාර් කාණ්ඩයක්. මේවා ගන්න පුළුවන් ලෝකේ ඉහළම සල්ලිකාරයෝ, ඉහළම දේශපාලකයෝ වගේ කට්ටියට විතරයි. 1953 ඉඳන් 2002 වෙනකල් ම Cadillac Eldorado එක විවිධ ආකාරයට නිෂ්පාදනය වුණා. 20 වන සියවසේ මැද භාගයේ ආර්ථික රටාවන්ට ගැළපෙන්න හදපු කාර් එකක් (සෑහෙන වෙනස්කම් වෙලා වුණත් නේම් ප්ලේට් එකක් විදිහට හරි) 21 වන සියවස වෙනකල් ආපු එක හරිම සුවිශේෂී දෙයක්.

තව දෙයක්. සර් ජෝන් ගේ කාර් එක Eldorado එකෙත් ඉහළම වර්ෂන් එකේ එකක් වන de Ville සීරීස් එකේ එකක් කියලා තමයි මට මතක විදිහට අදාළ ලිපියේ කියලා තිබුණේ. කැඩිලැක් කාර් වල ඉහළම ට්‍රිම් ලෙවල් හඳුන්වන්න පාවිච්චි කරපු මේ නමින් පස්සේ වෙනම කාර් එකකුත් නිෂ්පාදන වුණා. ඉස්සරලාම මේ නම පාවිච්චි වුණේ 1949 දී ආපු Cadillac Series 62 එකේ Coupe වර්ගයේ කාර් එකකට.


1956 ආපු Coupe deVille එකක්. ෆොටෝ එක විකිපීඩියා එකෙන් ගත්තේ.

කොහොම වුණත් ඇත්තටම සර් ජෝන්ගේ කාර් එක Cadillac Series 62 එකක්. මේක කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කරපු කොෆී ටේබල් පොතක තහවුරු කරලා තිබුණා. 

Cadillac Series 62 එක නිෂ්පාදන වුණේ 1940 ඉඳන් 1964 වෙනකල් කියලයි විකිපීඩියා එකේ සඳහන් වෙන්නේ. නමුත් මේ කාලසීමාව 1941 සහ 1959 විය යුතුයි කියලා සමහරු කියනවා. මේක මුලින්ම ආවේ අධි-සුඛෝපභෝගී එකක් විදිහට නෙමෙයි, මූලික මට්ටමේ Cadillac එකක් විදිහට කියලයි කියන්නේ. නමුත් පස්සේ පස්සේ විවිධ trim levels එකතු වෙලා මේකත් සෑහෙන ඉහළට ඇවිත් තියනවා. 

සර් ජෝන්ගේ කාර් එක 1956 අවුරුද්දේ එකක්. ඒකට 1 ශ්‍රී 1 නොම්මරේ නිකුත් කළේ 1956 දෙසැම්බර් 12 වෙනිදා ලු. ඒ කියන්නේ මේ කාර් එක Cadillac Series 62 එකේ 4th Generation එකේ එකක්. මේකෙදී කලින් ජෙනරේෂන් එකට වඩා බොඩි එක, ග්‍රිල් එක, බෆර් වගේ ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ වගේම පවර් ස්ටියරින්, ඔටෝමැටික් වින්ඩ්ෂීල්ඩ් වොෂර්, ඇලුමිනියම් ඇලෝයි පිස්ටන් සහ වෝල්ට් 12 ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක් වගේ දේවල් ගොඩක් මේ කාලේ ඉඳන් standard එන්න ගත්තා කියලයි කියන්නේ. ඊට අමතරව පවර් වින්ඩෝ, සීට්ස් සහ ඔටෝ හෙඩ්ලයිට් ඩිමින් වගේ දේවල් optional ලු. (සර් ජෝන්ගේ කාර් එකේ තිබුණු වැඩකෑලි ටික දිගටම වැඩ කළා කියලා කට්ටිය කියනවා. මට ඒක තහවුරු කරගන්න විදිහක් නැහැ. නමුත් එහෙම වෙන්න හොඳටම ඉඩ තියනවා). තප්පර 17.3 ක් ඇතුළත 0 ඉඳන් 60 ට යන්න පුළුවන් වුණාලු. 1956 තරම් ඈත කාලෙකදී නැවක් විතර කාර් එකක් ඒ වේගෙන් බින්දුවේ ඉඳන් හැටට යනවා කියන්නේ ඉතින් ලොවෙත් නෑ තමයි.

මේ කාර් පඳුරෙන් පඳුරට හම්බවෙන කාර් නොවන නිසා මේ ගැන හරියටම විශ්වාසදායක තොරතුරු හොයන්න ටිකක් අමාරුයි. නමුත් සර් ජෝන් ගේ කාර් එක ගැන KDU එක ඇතුළේ ඒක ප්‍රදර්ශනයට තියලා තිබුණු තැන ඒ දවස්වල පොඩි විස්තර ඵලකයක් තිබ්බා. ඒක තාම තියනවද දන්නේ නැහැ. කොහොම වුණත් ඔයාලට කියවන්න මම ඒක මෙහෙම සිංහලට පරිවර්තනය කරනවා. මේ විස්තරවල සියලු හිමිකකම් KDU එක සතුයි. මම කරන්නේ පරිවර්තනය කරන එක විතරයි. 

------------------------------------------------------------------------------------------------------------------

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාට අයත්ව පැවති 1 ශ්‍රී 1 කැඩිලැක් මෝටර් රථය 

1956 වසරේදී රු. 39,000/- ක තක්සේරු වටිනාකමකින් යුක්ත වූ මෙම මෝටර් රථය 1956 ජනවාරි 05 වනදා ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් Tuckers Autodrome සමාගමෙන් මිලදීගන්නා ලදි. මෙහි බදු රහිත මිල රු. 17,000/- ක් වූ අතර කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති දෙවෙනි වාර්ෂික Autorama උත්සවයේදී ටකර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ සිරිල් ගාඩිනර් මහතා විසින් මෙම රථය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා වෙත භාරදීම සිදුකෙරිණි. 

1956 වසරේදී මෙම මෝටර් රථය හඳුන්වා ඇත්තේ 'සුවපහසුවට ඇති හොඳම උපමාව' ලෙසිනි. කොතලාවල මහතාට නිරන්තරයෙන් සිය කාර්යාලය සමග සම්බන්ධතා පවත්වාගත හැකිවන ආකාරයට මෙහි ද්විත්ව මාර්ග රේඩියෝ දුරකථනයක්ද ඇතුළත්වූ අතර ගියර පද්ධතිය ස්වයංක්‍රීය එකක් විය. ඊට අමතරව 'Power operated steering' සහ 'Extra wide centrally locked power braking system' වැනි විශේෂාංගද මෙහි අඩංගු වී තිබිණි. 

1956 වසරේ මෙය ලියාපදිංචි කළ අවස්ථාවේදී ඊට 1 ශ්‍රී 1 ලියාපදිංචි අංකය පිරිනමන ලදි. 

කොතලාවල අනුස්මරණ කෞතුකාගාරය විවෘත කරන අවස්ථාවේදී මෙම මෝටර් රථය පැවතියේ ඇතුල්කෝට්ටේ පදිංචි විශ්ව වීරසූරිය මහතා සතුව ය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් කරන ලද ඉල්ලීමක් අනුව ඒ මහතා 1994.04.04 වන දින මෙම මෝටර් රථය කෞතුකාගාරය වෙත ත්‍යාගයක් ලෙස පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය.

-----------------------------------------------------------------------------------------------------------------


www.facebook.com/CarPissuwa



පසු සටහන්:

1. කාර් එකේ options වගේ දේවල් ඉංග්‍රීසියෙන් තියන්නේ ඒවා සිංහලට දාන එක කිසිම තේරුමක් නැති දෙයක් නිසයි. 

2. පරණ කාර් වල මොඩ්ල්ස් ටිකක් සංකීර්ණ නිසා ඒවා ගැන එකිනෙකට වෙනස් මත තියෙන්න පුළුවන්. එහෙම වෙනස් මත තියනවා සාක්ෂි එක්ක කමෙන්ට් කරන්න. ඒක කාටත් වැදගත් වේවි.  

3. කාර් එකේ මොඩ්ල් එක තහවුරු කරගන්න හොයද්දි උදවු කරන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ක්ලයිව් ද සිල්වා සහ සජීව් වීරකෝන්ට මගේ විශේෂ ස්තූතිය.  

4. ප්‍රොජෙක්ට් එකේ වැඩ කීපයක් තාමත් කෙරීගෙන යන බවත්, ඇමරිකාවෙන් ගෙන්නපු අලුත් V8 එන්ජිම නිසා කාර් එක දැන් ඉස්සරටත් වඩා අපූරුවට දුවන බවත් ඕෂධ ද සිල්වා මේ ලිපිය පළවුණාට පස්සේ මට කියලා එවුවා.  

36 comments:

  1. කාලෙක ඉදල දැනගන්න ආසාවෙන් හිටිය විස්තර ගොඩක්....මේක බලන්න යන්න නම් ලොකුම ලොකු ඕනකමක් තියෙනවා...
    කැඩිලැක් එකේ වයරින් එකත් ඒකාලේ වාහනේක ආව සන්කිර්නම වයරින් එකක් කියලත් අහල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය තියන ඉලෙක්ට්‍රිකල් වැඩකිඩ වල හැටියට ඒක ඇත්ත වෙන්න ඕනේ. ස්තූතියි පුබුදු...

      Delete
    2. ඔය බින්දුවෙ ඉඳල හැටට කියන්නෙ කිලෝමීටර් නෙමේ, හැතැප්ම. එතකොට පැයට කිලෝමීටර් සීයක් විතර. කොහොමද වේගෙ?

      Delete
    3. ඩිස්කවරි ටර්බෝ සහ ෆේස්බුක් වගේ මාධ්‍යවලට පින්සිද්ධ වෙන්න ඔය දේවල් ගැන දැන් ගොඩක් දෙනෙකුට අවබෝධයක් තියනවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. දැන් වැඩි දෙනෙක් අර හැටට නම් මරුටියත් පටස් ගාලා යයි වගේ කතා කියන්නේ නැහැ.

      Delete
  2. මගේ රස නහර වලට දැනෙන හැටියට පට්ට කැත කාර් එකක්.. ඒත් ඒ කාලේ ඔටෝ ගියර් සහ අනෙකුත් ඔප්ෂන් තිබ්බා කියන්නේ මාරම මාරයි....

    1 ශ්‍රී 1 ගන්න බලය අවභාවිතා කරලා ඇති කියලා මට හිතෙනවා.. මගේ යාලුවෙක්ගේ තාත්තා ගාව තිබුනා 8 ශ්‍රි 1 මෝටර් සයිකලේ.. හොන්ඩා සුපර් කබ් එකක්...

    ReplyDelete
    Replies
    1. ඔයා තමයි මට හම්බවුණු පළවෙනි කෙනා ක්ලැසික් කැඩිලැක් එකක් කැතයි කියපු. :) දෙවෙනි පොයින්ට් එක නම් ඇත්ත වෙන්න ඇති කියලා මටත් හිතුණා.

      Delete
    2. කොතලාවල පරාද කරල අගමැති වෙන බණ්ඩාරනායක උන්නැහෙ එවක් වෙනකල් තිබ්බ ඉ0ග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර ගේනව 56 දෙසැම්බර් මාසෙ. ඒ වෙනකොට කොතලාවල දේශපාලනයෙන් සමු අරගෙන. ඒ වෙලාවෙ තමා මේ අලුත් නොම්මර එනකොට කොතලාවල කියනව මට ඒකෙ මුල්ම අන්කය දෙන්න කියල. පරාජිතව නමුත් ගෞරවාන්විතව සමු අරගෙන ගිය මනුස්සයට උපහාරයක් හැටියට අගමැති තුමා ඔහුගෙ ඉල්ලීම පිලිගන්නව. බලය අවභාවිතාවක් වෙලාද නැද්ද කියන එක ඒ නිසා විවාදසම්පන්නයි.

      Delete
    3. බලන් යනකොට බණ්ඩාරනායක උන්නැහේ, තමන්ගේ බලය අනුන් වෙනුවෙන් අවභාවිතා කරලා නොවැ.. ඒකට අද !

      Delete
  3. 56 දි 39000 ක් කියන්නෙ ලොකු ගානක් නෙ.
    මොනව උනත් 1 ශ්‍රී 1 නෙමෙයි හරිනං 1 ශ්‍රී 0001 වෙන්නෝන නේද?

    හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. මුලට බින්දු නැතුව තමයි නොම්මර නිකුත් කරලා තියෙන්නේ මම හිතන්නේ. ඔය සෙන්නා කිව්වේ 8 ශ්‍රී 1 ගැන. මේ ළඟදී මම බීට්ල් එකක් දැක්කා 9 ශ්‍රී 22 වගේ නොම්මරයක් තියන.

      Delete
    2. ඔව් අරෙකෙත් තිබුනේ 8 ශ්‍රි 1 කියලා...බින්දු නහී...

      Delete
  4. 5sri one paugeut was in Bandarawela it was a wagon model paguoet and later it was used as a funeral vehicle by Rathna florists in bandarawela and i herd it met with an accident car was destroyed

    ReplyDelete
    Replies
    1. That is indeed an interesting piece of history. I should ask about this from the Peugeot fans. Thank you so much for commenting.

      Delete
  5. ආසාවෙන් බලපු කාර් එකක් උනාට නොදන්න දේවලුත් තිබිල කියල දැනගත්තෙ පොස්ට් එක කියෙවුවට පස්සෙ. එන්ජිම මාරුකරපු එක නම් දුක හිතෙන කතාවක්. මොන එන්ජිමක් තිබ්බත් ඔය කාර් එක දුවන වැඩිම දුර 1KM විතර වෙයි ( මේක මගේ අදහස)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ක්ලැසික් රැලි වලට දායි වගේ ඩෙවින්... ලොකු දෙයක් එහෙම දානවා නම්...

      Delete
    2. එනිවේ, පින්තූර ටික එවුවට ආයෙමත් පාරක් ස්තූතියි...

      Delete
    3. පින්තූර අරගෙන මමම බල බල ඉන්නවට වඩා තව කෙනෙකුත් රසවිදිනව දකින එක තමයි මට ඕනි උනේ. ඒ නිසා ස්තූති ඔනි නෑ අයියේ. මමයි අයියට ස්තූති කරන්නඔ ඔනි මම එවපු ෆොටෝ වලට ලස්සනට කතා ගොතල අපේ කාර් පිස්සුවට බෙහෙත් දෙනවට.

      Delete
    4. ප්‍රොජෙක්ට් එක ගැන විස්තර එන්නත් කලින් තමයි ඔයා මට ඔය කාර් එක ඉස්සර තිබුණු තැන ෆොටෝ ටිකයි, අර විස්තර තියන ෆොටෝ එකයි එවුවේ. මතකද මම ඇහුවා ඒ විස්තර ටික පරිවර්තනය කරලා දාන්නද කියලා? මේකට ලැබෙන ප්‍රතිචාර දැක්කම වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. ඔය ඔක්කොම පටන් ගත්තේ අර විස්තර තියන ෆොටෝ එක දැකපු තැනින්. නැතුව ප්‍රොජෙක්ට් එකෙන් නෙමෙයි...

      Delete
  6. හුඟ දෙනෙක් හිතන දෙයක් තමයි තාක්ෂණය මේ දෙදාස් ගනං වල එක පාරටම පහල වුනු දෙයක් කියලා. Mobile phone එක පවා ඇත්තටම හොයාගත්තෙ කොයි කාලෙද කියලා ජාලෙන් හොයලා බැලුවොත් පුදුම හිතෙයි. තාක්ෂණය පොදුජනතාව අතරට එන්න පරක්කු වෙන්න ඇති. ලංකාව වගෙ රටවල් වලට එන්න කාලයක් යන්න ඇති. ඒ නිසා තාක්ෂණය නොතිබුනා කියල තමයි හුඟ දෙනෙකුට මතක තියෙන්නෙ. ලංකාවට ටීවී ආවේ හැත්තෑ නවයෙ වගෙ වුනාට ලෝකෙයෙ සෙසු රටවල ටීවී එක දශක ගානක් පාවිච්චි කරලා තිබුනා. කාර් වල තාක්ෂණයක් ඒ වගේම තමයි. ඕක ඒ කාලෙ හොයා ගත්තෙ කිව්වාම හෑක් ගානව.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තේරෙනවා තාමත් අපි ඉන්ටනෙට් එක වත් හරියට පාවිච්චි කරන්නේ නැහැ කියලා. අපේ සර්ච් ටර්ම් එක ඉතින් ජාත්‍යන්තරයටත් ගියා නේ. ;)

      Delete
    2. ඔය වාහන තාක්ෂනේ සීන් එක මේකයි. අපි වාහන කිව්වම දන්නෙ ජපන් ඒව. කොන්ටිනෙන්ටල් කාර්ස් කියන ජාතිය අපි බහුතරයකට ආගන්තුකයි, හේතුව මිල.

      නමුත් ඒ වාහනවල ඔය අද දකින හයි ටෙක් කෑලි එන්නෙ මීට කාලෙකට කලින්. ජපන කරේ ඒව නිෂ්පාදනය වැඩි වෙලා වියදම අඩුවෙනකොට, ඒ තාක්ෂනය සුලභ වෙනකොට තමන්ගෙ ඒවටත් දාන එක. නැත්තන් සෑහෙන්න වියදම වැඩි වෙනවනෙ. ඇත්තටම කිවොත් ඉස්සර හොඳම කොපි ගැහුවෙ ජපන්නු.

      අද ලෙක්සස් වලට වගේ එන ඔටෝ පාකින් මීට අවුරුදු තුන හතරකට කලින් ෆෝඩ් ෆෝකස් කාර් වලට ආවෙ, ඊටත් කලින් ෆෝඩ් එජ් වගේ ඒවගෙ තිබ්බ.

      ඔටෝමැටික් බ්‍රේක්, ඇන්ටි ස්ලිප්, එලෙක්ට්‍රොනික් බ්‍රෙක් ඩිස්ට්‍රිබියුෂන්, හිල් ඇසිස්ට්, වගේ අද japanese වාහනවල added options 2012 ෆෝඩ් ජීප් වල ස්ටෑන්ඩඩ් ෆීචර්ස්.

      ඒව පැත්තකින් තියහන්කො. ලන්කාවෙ කී දෙනෙක් අහල ඇතිද blaupunkt කියන්නෙ මොකද්ද කියල වාහනව රේඩ්යෝ දාගෙන ගියාට.

      Delete
    3. හැබෑට මොකක්ද බං ඒ? මං හිතුවෙ පයනියර් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියල (සර්ච් කරන්න කම්මැලියි. ඒක නිසා ලින්ක් දාන්නේ නැතුව විස්තර කරපං)

      Delete
    4. හැබෑට මොකක්ද බං ඒ? මං හිතුවෙ පයනියර් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියල (සර්ච් කරන්න කම්මැලියි. ඒක නිසා ලින්ක් දාන්නේ නැතුව විස්තර කරපං)

      Delete
    5. ස්තුතියි ඉන්දික. ඇත්තෙන්ම ජපන් වාහන වලට කලින් අපිට තිබුනේ යුරපියන් වාහන තමයි. ඒවයෙ ඉඳලා ජපන් වලට අපි හු‍ටු වුනේ අමාරුවෙන්. සැකෙන්. හරියට අපි කාලෙකට ඉස්සර කොරියන් වාහන ගැන සහ ඊට පස්සෙ ඉන්දියන් වාහන දිහා බැලුව වගේ.
      දැන් අපි ආයෙම යුරපියන් වාහන සැක කරන්න පටන් අරන්. ගන්න හදන එකාවත් බය කරනවා පාට්ස් නැති වෙයි කියලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නැතිවෙයි කියලා. අපිට අමතකයි අපිට Mercedes, Opel. Volkswagen, Fiat, Ford ඒ කාලෙ ඉඳන්ම ලංකාවෙ තිබුන බ
      Blaupunkt නේද Mercedes වල හෙම ස්ටෑන්ඩඩ් සෙට් එක? German Technology.

      Delete
    6. Blaupunkt එක ජර්මනියේ ඉලෙක්ට්‍රොනික් ප්‍රඩක්ට්ස් බ්‍රෑන්ඩ් එකක්. කොම්පැනියේ ඉතිහාසය පටන් ගන්නේ 1923 න්. කාර් ඕඩියෝ සිස්ටම් තමයි එයාලගේ ජනප්‍රියම ප්‍රඩක්ට් එක. ටික කාලෙකට කලින් AMW එක ගෙන්නපු කාර් වර්ගයක (මට මතක නැහැ මරුටි සුසුකි ලයිනප් එකේ එකක්ද කියලා හරියටම)ඕවා standard එනවා කියලා කැම්පේන් එකකුත් කළා. එතනින් පස්සේ කට්ටිය ඒ ගැන දන්නවා. නමුත් Blaupunkt එක කොලිටිය හඟවන නමක් හැටියට සිංහල කාර් ලෝකේ ජනප්‍රිය නැහැ. ඊට වඩා ජනප්‍රියයි මම හිතන්නේ Pioneer..

      Delete
    7. හෙඩ්ෆෝන් කොලිටි ටෙස්ට් වලින් පාස් වුණාම ඒක හඟවන්න නිල් ඩොට් එකක් තියනවලු. Blaupunkt කියන්නේ Blue Dot කියන එක. 1938 දී කොම්පැනියේ නමත් Blaupunkt කියලා වෙනස් වුණා ලු.

      Delete
  7. එල! බලමු ඉන්දික ට මොනවා හරි එකතු කරන්න තියෙයිද කියල

    ReplyDelete
  8. අපි දන්නෙ මොනවද....

    ReplyDelete
  9. ඉස්සර මගෙත් තිබුනා ඔය වගේ පරණ කාර් එකක් අරං මට ඕනෑ විදිහට හදාගන්න සිතුවිල්ලක්. කරුමෙ ඊට වඩා ප්‍රබලයි. දැං තියෙන හීනෙ තමයි පස්ස රිදෙන්නැති සීට් එකක් තියෙන, වැස්සට නොතෙමෙන බයිසිකල් එකක් හදාගන්න එක.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පාරවල් වල තත්ත්වෙත් එක්ක කාර් එකකට ආයෝජනය කරන එක හොඳයි බයික් එකකට ආයෝජනය කරනවට වඩා. අන්තිමට කොන්දේ අමාරු වලටයි අරවටයි මේවටයි වියදම් කරන්න වුණාම තමයි කට්ටියට හිතෙන්නේ ඒ කාලේ කාර් එකකට ආයෝජනය කළා නම් හොඳයි කියලා. පරණ කාර් ගැන කවුරු මොනවා කිව්වත් අපි ළඟ දුවන්නෙත් දුර දුවන්නෙත් පරණ කාර් වලම නේ... ෆොක්ස්වැගන් එහෙම ගත්තොත් අමතර කොටස් හොයන්න අමාරුත් නැහැ...

      Delete
  10. mage site eke danna me visthara gannada?. carpissuwa site eke link ekai photo 1 gaththe oyagen bawa sadahan karala? oya kemathi nam vitharai Comment plz yalu...

    ReplyDelete
  11. cadillac eldorado 2002න් නැවතුනේ නෑ නේද????

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete