Saturday, December 23, 2017

Mighty Mini Grand Prix 2017



අන්තිමට මාත් මිනියකට දපනේ වැටුණා...!

ඒක දිග කතාවක්... ඒක පස්සේ ලියන්නම්...

මිනි එකක් අරන් සති දෙක තුනක් යන්නත් කලින් Mighty Mini Club එකෙන් පොඩි ආරාධනාවක් ආවා, Mighty Mini Grand Prix එක ගැන නෝටිස් එකක් කාර් පිස්සුවේ ෆේස්බුක් පේජ් එකේ දාන්න කියලා සහ ඉවෙන්ට් එක බලන්න එන්න කියලා. කලින් දාගත්තු වැඩ කීපයක් තිබ්බත් මේ චාන්ස් එක මගඅරින්න හිතුණේ නැහැ.

බොහොමයක් මාරාන්තික කාර් පිස්සෝ වගේ මමත් වාහන ගන්නේ සහ පාවිච්චි කරන්නේ වාහන වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන නිසා නෙමෙයි, ඒවා පාවිච්චි කරලා ඒවායේ භෞතික සහ සංස්කෘතික අත්දැකීම් ලබන්න. කොච්චර සුපිරි කොලිටියේ වාහන වුණත් අපට වැඩක් නැහැ. මොකක් හරි කාර් එකක් සම්බන්ධයෙන් සම්ප්‍රදායක්, සංස්කෘතියක් ගොඩනැගිලා තියනවා නං අපි බලන්නේ එයින් එකක් පාවිච්චි කරලා ඒ සම්ප්‍රදායේ, සංස්කෘතියේ අත්දැකීම් ලබන්නයි. 

මේක හැමෝටම තේරෙන්නේ නෑ. ඒ නිසා මිනි එක ගත්තට පස්සේ ගොඩක් දෙනෙක් ඇහුවේ ඕකේ එකසිය තිහේ පොල් ගෙනියන්න බෑ නේද, ඕකේ අමානෝ ෂීට් ගෙනියන්න බෑ නේද සහ ඕකේ හොර හරක් ගෙනියන්න බෑ නේද වගේ ප්‍රශ්න. කූඩැල්ලන්ව ලයන්කෝ එකට එක්කන් ගිහින් වැඩක් නැති නිසා මමත් මොකුත් කියන්න ගියේ නැහැ. 






බීට්ල් එක කියන්නේ සුපිරි සංස්කෘතියක් කේන්ද්‍ර කරගත්තු වාහනයක් කියන එක කාර් පිස්සුව කියවන ගොඩක් දෙනෙක් දන්නවා. දැන් අවුරුදු හය හතක ඉඳන් මම ඒ සංස්කෘතියේ ලීග විසිදහසක් විතර ගිලිලා ඉන්නේ. එහෙම ගිලිලා ඉද්දී තමයි මම අහම්බෙන් දියවැලක ගහගෙන ගිහින් මිනි සාගරේට වැටුණේ. ඉතින් නිතර Beetle Owners' Club එකේ වැඩසටහන් වලට යන මට Mighty Mini Club එකේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණු මේ අවස්ථාව අත්විඳින්න වුවමනා වුණා.

උදේම යන්න හිටියත් වෙන වෙන වැඩ කීපයකට අවධානය යොමු කරන්න වීම නිසා පිටත් වෙන්න ප්‍රමාද වීම නම් දුකක්. ඒ නිසා තරග ඉසව් ගොඩක් අපට මගහැරුණා. 

කටුකුරුන්දේ යන්න සැලසුම් කරද්දී, හැමදාම කොහෙහරි යනකොට මතුවෙන උභතෝකෝටිකය ආවා; දුර වුණාට හයිවේ එකේම යමුද කියන එක. හැබැයි තාමත් මගේ හිතවත් මිකැනික් මහත්මයාට මිනි එක පෙන්නගන්න අවස්ථාවක් ආවේ නැති නිසා අපි ගාලු පාර දිගේම යන්න තීරණය කළා.




මම රේසිං ෆෑන් කෙනෙක් නෙමෙයි. 80 ගණන් වල අගභාගයේ තහනම් වුණු Group B Rallying ඇරෙන්න මගේ හිත කවදාවත් වෙන කිසිම ධාවන තරගයකට සීරියස් විදිහට ඇදිලා නැහැ. ඒ නිසා මම කටුකුරුන්දට ආවේ පළවෙනි වතාවට. හැබැයි ගේට්ටුවෙන් ඇතුළු වෙලා ට්‍රැක් එකට කාර් එක දාලා කාර් පාක් එකට යන්න ස්පීඩ් කළා විතරයි හයිවේ එකකදී නොලබන විදිහේ අමුතු චූන් එක තුන්සිත වසාගෙන පැතිරුණා. වාසනාවකට කෞශි ඒ අවස්ථාව වාහනේ ඇතුළේ ඉඳන් වීඩියෝ කරපු නිසා මට සැරින් සැරේ ඒ අත්දැකීම අලුත් කරගන්න පුළුවන්. (මෙතනදී මම මිනි එකක් එළවීමේ අත්දැකීම ගැන කතා කරන්න ඕනේ කියලා මම දන්නවා. නමුත් ඉවෙන්ට් එකක් ගැන කරන පුංචි විස්තරයක් අස්සේ ඒක කතාකරන්න යන එක අපරාධයක් කියලයි මට හිතෙන්නේ. කම්මැලි කම සහ එපාවීම පොඩ්ඩක් අමතක කරලා ලියන්න පුළුවන් වෙන පළවෙනි වතාවෙම ඒ වෙනුවෙන් පෝස්ට් එකක් කැපකරන්නම්. Promise!).




මිනි කියන්නේ (ටියුන් කළාම) කොච්චර වේගෙන් යන්න පුළුවන් වාහනයක්ද කියන එක අන්තර්ජාලයට පින්සිද්ධ වෙන්න දැනගෙන හිටියට එහෙම යන මිනි පියවි ඇසින් දැකගන්න පුළුවන් වුණේ එදා කටුකුරුන්දේදී තමයි. බරපතළ රේස් පිස්සෝ පිරිසක් ඇරෙන්න මහා ලොකු සෙනගක් ඉවෙන්ට් එකට ඇවිත් හිටියේ නැහැ. හැබැයි අවුවෙන් බේරෙන්න ප්‍රමාණවත් තරම් ටෙන්ට්, රසවත් කෑම බීම තිබුණු ෆුඩ් ට්‍රක් එකක්, රෙඩ් බුල් එකෙන් නොමිලේ එනර්ජි ඩ්‍රින්ක්ස් බෙදීම වගේ ගොඩක් දේවල් තිබුණු නිසා අපට හිතුණේ සංවිධායක මණ්ඩලය වැඩේ සාර්ථක විදිහට කරලා තියනවා කියලයි.







අපි යනකොට ඉවෙන්ට් එක අවසාන හරියට ඇවිත් තිබුණේ. 'තාම පැදපු නැති අය ඉන්නවා නං එන්න. ආයේ කියන්නේ නෑ. පස්සේ කනුකුනු ගාන්න එපා. නොකිව්වයි කියන්න එපා' වගේ ප්‍රසිද්ධ නිවේදන යකඩ කටින් ඇහෙද්දී නම් අපට හිනා ගියා. ඒත් ඉතින් අපි නොදන්නා කොච්චර දේවල් මේවයේ ඇතිද කියන සැකය මත අපි හිනාව ලෝකෙට පෙන්නන්න ගියේ නැහැ. අනික් අතට අපට පුරුදු බීට්ල් ක්ලබ් එකේ සන්සුන් හුදෙකලාව මිසක් මේ වගේ තැන් වල විසේකාර වලිසුන්දරත්වය නොවෙන නිසා ඒක අපේ වරදක් වෙන්නත් පුළුවන්. 

(එදා තමයි අර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි එක්දින තරගය තිබුණේ. ඉන්දියාව ලකුණු 29 කටද කොහෙද විකට් 7 ක් ගිහින් තිබුණා. Announce කරමින් හිටපු කෙනා අන්තිමට මිනි රේස් එක පැත්තක දාලා මැච් එක ගැන විස්තර විචාරයක් දෙන්න පටන් ගත්තා). 




අපි දෙන්නම රේස් ෆෑන්ස් ලා නොවන නිසා අපේ කාලය වැඩියෙන් ගතවුණේ රේස් දුවලා විවේක ගනිමින් හිටපු, රේස් දුවන්න දත නියවාගෙන හිටපු සහ කාර් පාක් එකේ තමන්ගේ පාඩුවේ හිටපු මිනි සහ අනික් වාහන බලන්නයි. කොහොම වුණත් අපට බීට්ල් රැලි වලට ගිහින් බීට්ල් බලනවා තරම් ලෙංගතු හැඟීමක් මිනි රේසිං වලට ඇවිත් මිනි බලනකොට දැනුණේ නැහැ. සමහර විට තාමත් අපි මිනි එකත් එක්ක ඒ තරම් තදට කනෙක්ට් වෙලා නැති හින්දා වෙන්න ඇති. නැත්නම් අපි modify කලාවට වඩා original සම්ප්‍රදාය හොයන අසූව දශකයේ පරම්පරාවට අයිති නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔය හේතු දෙකම වෙන්න ඇති. මේක හරියටම දැනගන්න ලැබෙන්නේ මිනි එකේ කිලෝමීටර් පන් හයසීයක දුර ගමනක් ගියාට පස්සේ තමයි. 









අවසාන තරග ඉසව්ව ඉවර වුණාට පස්සේ සුපුරුදු සිංහල සම්ප්‍රදාය අනුව වලියක් ගියා. අපට තේරුණු විදිහට pole position ලැබෙන්නේ ඕනේ කෙනෙකුට ඒක දුන්නේ නෑ වගේ මොකක් හරි සිද්ධියක්. අන්තිමට බොහෝ දෙනෙක් රේස් බලනවට වඩා උනන්දුවෙන් ඒක බැලුවා. අපිත් සම්මාන ප්‍රදානෝත්සවය බලන්න හිටියත් හිත පුරා වලිය බලලා ඊට පස්සේ එන්න ආවා.

මම දන්න තරමින් මිනි ක්ලබ් එක මෙහෙම Grand Prix ඉවෙන්ට් එකක් සංවිධානය කළේ පළවෙනි වතාවට. වලි, කෙළි සහ ගුලි මොනවා තිබ්බත් මේ වගේ වැඩක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාර් පිස්සෝ Mighty Mini Club එකට ස්තූතිවන්ත වෙන්න ඕනා. විශේෂයෙන්ම රේස් පැදිල්ල පුරුදු නැති, ක්ලබ් එකේ සාමාජිකත්වය අරං තියන අයට නවකයන්ගේ තරග ඉසව්වට සහභාගී වෙන්න වගේම එහෙම පදින අයට එතනදීම පුහුණුවක් දෙන්නත් ක්ලබ් එක කටයුතු යොදලා තිබුණා කියලයි විස්තර පත්‍රිකාවේ තිබුණේ. ඒක ඇත්තටම අගය කළ යුතුයි. 





කටුකුරුන්ද ට්‍රැක් එකෙන් පිටත් වෙලා ආපහු එන්න එද්දී තමයි අපි දෙන්නාගේ හිත් ඇතුළේ තියන හයිවේ පිස්සුව කැලතුණේ. අන්තිමට වමට දාලා ගාලු පාරට එනවා වෙනුවට අපි දකුණට දාලා දොඩංගොඩ පිවිසුම සොයා ගියා.

බීට්ල් එකට ලැබෙන සිනාව වගේම සිනාවක් පිවිසුමේ ඉන්න නිලධාරීන්ගෙන් අපට ලැබුණා. ඊට පස්සේ හෙමින් හෙමින් මගේ මිනි පොඩ්ඩා එයාගේ පළවෙනි හයිවේ අත්දැකීම විඳින්න ලෑස්ති වුණා.

කලින් අයිතිකරු කියපු විදිහට එයා කවදාවත් මේ වාහනේ පැයට කිලෝමීටර් 60 පන්නලා තිබුණේ නැහැ. වාහනේ ඉතිහාසය බැලුවම දශක දෙකකට වත් 100 පැන්නුවා කියලා හිතන්න බැහැ. අනික් අතට මම තාමත් වාහනේ මගේ මිකැනික්ට පෙන්නලා තිබුණෙත් නැති නිසා මම ස්පීඩ් එක වැඩි කළේ බයෙන්.


දකුණට හරවන්න මොහොතකට කලින් නෑදෑයෙක් මුණගැහුණා 

නමුත් වේගමානය හිතනවාට වඩා වේගෙන් උඩට යද්දී, හයිවේ එක දෙපැත්තේ කුඹුරු යායවල් හිතනවාට වඩා ඉක්මනට පහුවෙන්න ගනිද්දී, ඉස්සරහින් ගිය වාහනයක් දෙකක් නොදැනීම වගේ පහුවෙද්දී, අවුරුදු ගාණක් තිස්සේ එන්ජිමේ හඬ පිටිපස්සෙන් අහලා පුරුදු අපට එන්ජිමේ හඬ ඉස්සරහින් ඇහෙද්දී, බීට්ල් එකේ සිරියමේසාරා විසිල් එක වෙනුවට අමරසිරි පීරිස් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ගයන ගීතයක් වගේ ගීතයක් ඒ.සී. එක බේරගන්න තදට වැහුණු වීදුරු අතරින් පෙරිලා එද්දී අපි දෙන්නට දැනුණු සතුට සිංහල යුනිකෝඩ් වලට හරවන්න බැහැ. 




ඒත් මිනි එකක් ගන්න පෙළඹුණු විදිහ ගැන කවදාහරි බ්ලොග් පෝස්ට් එකක් ලිව්වොත් සහ මෙතනින් එහාට මිනි එකේ විශේෂ ගමනක් යන වාරයක් ගානේ අමරසිරි පීරිස් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ගයන ඒ අපූරු ගීතයේ පදවැල කාර් පිස්සුවෙ සටහන් කරන්න මම උත්සාහ කරනවා.

- තරිඳු ශ්‍රී ලොකුගමගේ
www.facebook.com/CarPissuwa 
2017.12.23  

(කොපිරයිට් ස්ටේට්මන්ට් එක: මේ සේරම ෆොටෝ ගත්තේ මමයි කෞශියි. මේ වගේ ඉවෙන්ට්ස් වලට යන්න, ෆොටෝ ගන්න, ලියන්න සහ එඩිට් කරන්න අපි කාලය කැප කරනවා. ඒ වගේම මේවයින් අපට සත පහක ආදායමක් හෝ වෙනත් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ; මේවා හිතු මනාපේ උස්සන්න එපා! මොනවා හරි දෙයක් උපුටා ගන්න ඕනේ නම් අහන්න. නැත්නම් ගත්තේ කාර් පිස්සුවෙන් කියලා කියන්න.) 

Saturday, November 11, 2017

Mitsubishi Silver Pigeon - කාලයේ හැංගුණු රිදී පරෙවියා

https://plaza.rakuten.co.jp/r1100rs/diary/201511130000/

පරෙවියෝ කිව්වම මට හැම වෙලාවෙම මතකයට එන අපූරු දසුනක් තියනවා.

2008 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසේ එක්තරා දවසක තායිලන්තයේ බැංකොක් නුවර චතුචක් පාක් එකේ මහා දවාලේ මම තට්ට තනියම ඔහේ ඇවිදිමින් හිටියා. බැංකොක් නුවර අධි නාගරික අංජබජල් ජංජාල පුංජය මැද්දේ හරියට අර රෝමන් කාරයන්ට යටත් නොවුණු පප්පලාගේ ගම වගේ තියන පොඩි බිම්කඩක් තමයි චතුචක් පාක් එක. බොහොම කාර්ය බහුල මාකට් එකකට කඩදාසි රොකට් එකක් යවන තරම් ළඟින් තියන පාක් එකක් නිසා මේක හැමතිස්සෙම ජනාකීර්ණ වුණත් ටිකක් ඇතුළට ගියාම නිවීසැනසිල්ලේ පරෙවියෙකුට දියබරියෙකුට සියම් කොකෙකුට ළංවෙන්න පුළුවන් තැනක් හොයාගන්න අපහසු නැහැ.  

ඉතිං ඔය කියාපු දවසේ මම ඔහේ ඇවිදගෙන යමින් ඉන්දෙද්දී පාක් එකේ තියන ඇල අයිනේ ඉන්න තායි ජෝඩුවක් දැක්කා. ගෑනු ළමයා ගඟ දිහා බලාගෙන මොකක්දෝ හයිකුවක් ගැටගහන අතරේ එයාගේ පෙම්වතා බොහොම කඩිසරව වෙන වැඩක. එයාව වටකරගෙන හිටියේ රිදී පාට සුදු පාට තව නානාප්‍රකාර පාට පරවියෝ රෑනක්. කොල්ලා රැස් විහිදෙන සතුටකින් අර පරවියන්ට කෑම දෙනවා. මම ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා හිනාවක් පාපු ඒ හාදයා දිගටම පරවියන්ට කෑම දෙන එක කරගෙන ගියා. පරවියෝ අපූරු තාල වලට එහා මෙහා යමින් ඒ කෑම තලු මරාපු හැටි මට තාම ඊයේ බලපු චිත්‍රපටියක් වගේ මතකයි.


මේ තියෙන්නේ ඇත්තටම මම ඒ වෙලාවේ ගත්තු ෆොටෝ එක 

මේ සිද්ධිය අහම්බෙන් මතක් වුණේ සචින් රුමේෂ් ද සිල්වා කියලා කෙනෙක් ජපානේ නගෝයා වල තියන ටොයෝටා කෞතුකාගාරයේ ෆොටෝ වගයක් කාර් පිස්සුවට එවලා තියනවා දැක්කහමයි. ටොයෝටා කෞතුකාගාරයේ ටොයෝටා වාහන වලට අමතරව අනික් හැම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකටම වගේ අයිති වාහන තියනවා. කොටින්ම මස්ටෑං එකක්, බීට්ල් එකක්, ගොල්ෆ් එකක් සහ තවත් නම නොදන්නා සොඳුරු යකඩ මාලාවක් එතන තිබුණා.


වෙන එකක් තියා මෙයත් එතන ඉඳලා 

මේ අතරේ තිබුණු අපූරු දෙසක් රියකට මගේ ඇහැ ගියා. වාසනාවකට ඒ ඇබිත්තං වාහනේ ගැන විස්තර දාලා තිබුණු පුවරුව සචින්ගේ කැමරාවට අහුවෙලා තිබ්බා. ඒකෙ ගහලා තිබුණේ Mitsubishi Silver Pigeon කියලයි. කාර් පිස්සුවට සමීප හිතවත්තු අතර ස්කූටර් පිස්සෝ සෑහෙන්න හිටියත් Vespa, Lambretta, Chetak වගේ නම් ඇරෙන්න මම රිදී පරෙවියෙක් ගැන අහලා තිබ්බේ නැහැ. ඒ නිසා මගේ ඇහැ එකපාරට එතන නතර වුණා.




ඒ විතරක් නෙමෙයි. මේ පුංචි පරවියාගේ හුරුබුහුටි පෙනුම මගේ හිතට සෑහෙන්න වැදුණා. ඒක ඇත්තටම පුංචි කුරුල්ලෙක් සහ පරණ රේඩියෝ එකක එකමුතුවක් වගේ. ස්කූටර් එකේ නම නොකියා කෙනෙක් මේක පෙන්නුවොත් ඕනෑම කෙනෙකුට හිතේවි මේක රෝද තියන රේඩියෝ එකක් කියලා.

මේ කුකුස්-ඇතිකරන්නා කොයිතරම් මගේ හිත ඇවිස්සුවද කියනවා නං ඒ මොහොතේම මම රිදී පරෙයි පැටිකිරිය හොයන්න ගත්තා.

බලාගෙන යද්දී කතාව පටන් ගන්නේ 1946 අවුරුද්දෙන්...


www.jsae.or.jp

මේ අවුරුද්ද වෙද්දී දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ලෝකේ රටවල් බොහොමයක් නන්නත්තාර වෙලා හිටියේ. ජපානේට මේක කොහොම බලපාන්න ඇතිද කියලා අමුතුවෙන් කියන අවශ්‍ය නැහැ නේ. මේ තත්ත්වය උඩ ජපානයට ප්‍රවාහන අවශ්‍යතා වලට හොඳ විසඳුම් වුවමනා වෙලා තිබ්බා. ඉතිං මිට්සුබිෂි සමාගමත් හිතුවා ඒ තරගෙට බහින්න. 

ඒ වෙනකොට මිට්සුබිෂි සමාගම තිබුණේ Mitsubishi Heavy Industries Ltd. නමින්. ජපානයේ නගෝයා ප්‍රදේශයේ ඉස්සර බොහොම සරුසාරෙට බිස්නස් කරමින් හිටපු මිට්සුබිෂි සමගම මේ දවස් වල ආපහු ඔලුව උස්සන්න උත්සහ කරමිනුයි හිටියේ. මේ අතරේ එයාලා දැනගත්තා ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරපු Kojiro Maruyama මහත්මයා ආපහු ජපානෙට එද්දී ස්කූටරයක් අරගෙන ඇවිත් තියන බව. 

ජපන්නු කියන්නේ ඇමරිකාවෙන් එන ඕනෑම ලූනු බිකක් පලු කරලා, ඒක ඇමරිකන් කාරයට වඩා හොඳට වැඩිදියුණු කරලා, පස්සේ කාලෙක ඇමරිකන් කාරයාටම ඒවා විකුණන්න හපන්නු. 

ස්කූටරේ ආරංචිය කනට ගියාට පස්සේ තකහනියක් ටියුබ් ලයිට් එකක් දැකපු මෙරුවෝ වගේ Maruyama මහත්මයා හොයාගෙන ගිය මිට්සුබිෂි සමාගමේ කට්ටිය එතුමාට සමාගම එක්ක එකතු වෙන්න කියල ආරාධනා කළා. ඊට පස්සේ එතුමාගේ ස්කූටරේ ලද සැණින් එසැණින් මස් කළා. 

ඊට පස්සේ කොපි කළා.... 


www.mitsubishi-motors.com

පරෙවියාගේ පළවෙනි Prototype එක ලෑස්ති වුණේ 1946 අවුරුද්දේ අගෝස්තු මාසේ. මේක නම්කරන්න මුලින්ම පාවිච්චි කරපු code එක තමයි C-10. සිල්වර් පිජන් වුණේ ඊට පස්සේ. 1947 දී මාකට් එකට ආපු මේ අපූරු හුරුබුහුට්ටා 1948 වෙද්දී වැඩිදියුණු වුණා (ෆේස්ලිෆ්ට් මොඩ්ල් එකේ කෝඩ් එක C-11). මෙයින් එක පරෙවියෙක් ජපානේ ඒ කාලේ ඔටුන්න හිමි කුමාරයාට පිරිනමන්නත් සමාගම කටයුතු කළා ලු. 

1946 අවුරුද්දේ මුලින්ම තටු විහිදපු රිදී පරෙවියාගේ විස්තර සරලව මෙහෙම කියන්න පුළුවන්: 

එන්ජිම : 112cc 
බලය: 1.5 PS 
දිග: මිලිමීටර 1550 
පළල: මිලිමීටර් 560 
උස: මිලිමීටර් 1010 
ස්ටාර්ට් කරන විදිහ: තල්ලු ස්ටාර්ට් 

ඊට පස්සේ පරෙවියා ලොකුමහත් වෙච්චි හැටි ගැන විස්තරයක් මෙන්න මේ විකිපීඩියා ලින්ක් එකේ තියනවා.


Pinterest

අවුරුදු 18 ක් තිස්සේ පරෙවියා මාකට් එකේ හිටියා. 1963 දී ප්‍රඩක්ෂන් එක නවතිද්දී රිදී පරෙවියෝ 463,000 ක් විතර ලෝකෙ පුරා පියාඹලා තිබුණා ලු. 

ඇත්තටම රිදී පරෙවියා බොහොම සාර්ථක නිෂ්පාදනයක් වුණා. මිට්සුබිෂි සමාගමට දෙපයින් හිටගන්න මෙයාගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඒ වගේම 1950 දශකයේදී Motor Cyclist සඟරාව පිටපිට තුන් පාරක් 'Best in Styling' ස්කූටර් එක විදිහට මේක නම් කළා ලු. 












1959 අවුරුද්දේ රිදී පරෙවියෙකුගේ හැඩ රටා. ඡායාරූප වල සියලු හිමිකම් www.brightonmotorsports.com

රිදී පරෙවියා ඇමරිකාවටත් පියාඹලා ගිය බව මතක් කරන්න ඕනේ. මෙයාලව ඇමරිකාවට ගෙන්නුවේ Rockford Scooter Company කියලා සමාගමක් බවයි www.silverpigeons.com වෙබ් අඩවියේ තියෙන්නේ. මේ සමාගමේ සභාපති වුණු C. Lewis Emery මහත්මයා මේවා මිනිස්සුන්ට විකුණන්න කියලා ඒ කාලේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ retail chain එකක් වුණු Montgomery Ward ලට අලෙවි කළා කියලා ඒ වෙබ් අඩවියේ සියනවා. 


www.bike-urious.com

රිදී පරෙවියෝ අලුතින් ලෝකෙට බිහිවෙන එක නැවතිලා දැන් අවුරුදු 50 විතර ගිහින් තිබුණට ඒ ගැන තාමත් සමහරු හරිම ආදරයෙන් කතා කරනවා. අද වෙස්පා වලට තියන තරම් ආදරයක් හෝ ආකර්ෂණයක් රිදී පරෙවියා නොලබන බව ඇත්ත. නමුත් www.silverpigeons.com වගේ වෙබ් අඩවි තාමත් මේ අපූරු සත්ත්වයා ගැන ආදරය ලෝකෙට බෙදමින් ඉන්නවා. ඇත්තටම ඒකෙ තියන සමහර ඉතිහාස කතා හරිම ආකර්ෂණීයයි. කොටින්ම කොහේ හරි කාටත් අමතක වී ගිය මුල්ලක ඉඳලා රිදී පරෙවියෙක් හම්බවුණොත් එයාට ආපහු අලුත් පණක් දෙන්න අවශ්‍ය තොරතුරු පවා මේ වෙබ් අඩවියේ තියෙනවා. 

මම මෝටර් සයිකල් හෝ ස්කූටර් පිස්සෙක් නොවන බව කාර් පිස්සුව නිතර කියවන අය දන්නවා. නමුත් මෙහෙම ආදරණීය පුංචි සත්තු දකිනකොට මගේ හිත ගැස්සෙනවා. 

හරියට චතුචක් පාක් එකේ ප්‍රේමවන්තයෙකුගේ අතින් වැටෙන කෑම ඩිංගිත්තක් ඩැහැගන්න පියාඹන නොපියාඹන ගානට දුවන පුංචි පරෙවියෙක් වගේ.... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
11.11.2017 
www.facebook.com/CarPissuwa

(මූලික විස්තර ගත්තේ www.mitsubishi-motors.com, www.silverpigeons.com සහ විකිපීඩියා වෙබ් අඩවි වලින්) 

Monday, November 6, 2017

ඇංජිං පිස්සුව


අභ්‍යන්තර දහන එන්ජිම ගැනයි ඒකෙ තාක්ෂණික ක්‍රියාවලිය ගැනයි මාලු පාන් ගෙඩියක තියන පරණ සැමන් කෑල්ලක් තරම් වත් හැඟීමක් නැති එකෙකුට බොනට් එකක් අරින හැම වෙලාවකමඋණු උණු එළවලු රොටියක් කාලා ප්ලේන්ටියක් බොනවා වගේ හැඟීමක් එන්න පුළුවන්ද?

මම හැම තිස්සෙම කියනවා වගේ මම කාර්මික කාර් පිස්සෙක් නෙමෙයි. කාර් වල තාක්ෂණය ගැන ලොකු අවබෝධයක් මට නැහැ. මම නිවාඩු දවසට ගරාජ් එකට වෙලා මජං අතගාන ඔයිල් කාවයියෙක් නෙමෙයි. මට ඒකෙ මහා ලොකු මැජික් එකෙක් දැනෙන්නෙත් නැහැ. බත් කන්න කුඹුරු කොටන්න ඕන නෑ වගේම කාර් පිස්සුව විඳින්න එන්ජින් පලු කරන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ තර්කය. කාර් පිස්සුව බ්ලොග් එකේ පදනමත් ඒකයි. තාක්ෂණය ගැන අවබෝධයක් නැති, ඒත් කාර් වලට ඇත්තම ආසා කරන අයටත් මේක කරන්න පුළුවන් කියන එකයි මට හැම තිස්සෙම කියන්න අවශ්‍ය.

හැබැයි මොනවා වුණත් විශේෂ එන්ජිමක් දකින හැම වතාවකම අර ටියුෂන් පන්තියට සුදු කෙල්ලෙක් ආවම ඇතිවෙන හැඟීම මට ඇතිවෙනවා.

අර ඉන්ස්ටන්ට් ශෘංගාරය වගේ ෆීලින් එක...




පහුගිය කාලය ඇතුළත කාර් වර්ග බොහොමයක් අතපත ගාන්න මට අවස්ථාව ආවා. ඒ ඇයි කියන එක ළඟදීම කියන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒ හැම වෙලාවකම මම කාර් එක දිහා තප්පර කීපයක් බලාගෙන ඉඳලා අයිතිකාරයට කිව්වේ 'එන්ජිම පොඩ්ඩක් පෙන්නන්න' කියලයි. ස්ටාර්ට් කරන්නත් කලින්. සමහරු ඒ වෙලාවට ළත වෙවී ඇවිත් බොනට් එක අරින්නේ හරියට අලුත් ලයිට් බිල් කාරයා මන්ද මාරුතේ බලු ගඳ ඉව කරකර ගේට්ටු අරිනවා වගේ ශැක ශංකාවකින්.

සාමාන්‍යයෙන් කාර් එක අවුරුදු දහයක් පාවිච්චි කරපු අයිතිකාරයත් බොනට් එක අරින්නේ දෙකේ හතරේ පූසෙක් ලියුම් පෙට්ටි කටකින් රිංගනවා වගේ අමාරුවකින්. අවුරුදු හය හතක් තිස්සේ බීට්ල් වල එන්ජින්ම ඇරලා පුරුදු මට ඩෑෂ් බෝඩ් එක යට ඇඟිලි ගහලා, ඊට පස්සේ කාර් එකේ ඉස්සරහ පැදකුණු කරලා, ආයේ ග්‍රිල් එක උඩින් අස්සෙන් යටින් පැත්තෙන් ඇඟිලි ගහලා සාංසාරික දුකක් විඳලා ඕක අරින එක ජෝක් එකක් වගේ දැනෙන්නේ.




හැබැයි බොනට් එක උඩට ඉස්සුණාට පස්සේ, එන්ජින් බේ එකේ තියෙන්නේ යාන්තමට හරි විශේෂත්වයක් තියන එන්ජිමක් නම්, ජෝක් එක දියවෙලා අර ඉන්ස්ටන්ට් ශෘංගාරය හදවතේ කුටීර හතරට ජොබොස් ගාලා පිරෙනවා.

මට මේක ඉස්සරලා වුණේ Honda එකක තිබුණු B series එන්ජිමක් දැක්ක වෙලාවේ.

සංසාරේ ඈත කොදෙව්වක කරපු පඩත්තර වැඩක් නිසාද කොහේදෝ ඒ කාර් එක මගේ ඇඟිලි තුඩු අතරින් ලිස්සලා ගියා. අයිතිකාරයන්ට බබා පාට් දාලා ඒක අරගෙන ගිය පසික්කාට්ටුවා ඒක මුහුදබඩ මාර්ගයේ කාර්යාලයීය දුම්රිය වගේ දිග ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන අනික් පැත්තට විකුණන්න දාලා පෝසත් වෙන්න ෂෝට් කට් එකක් හොයමින් ඉන්න නිසා මම ඒ කාර් එක මොකද්ද කියලා කියන්නේ නැහැ.

නමුත් මට ඒ වෙලාවේ දැනුණු හැඟීම නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මට ඒ ආසන්නයට හරි දෙයක් දැනුණේ ඉස්සරලාම BMW M20 එන්ජිමක් දැකපු දවසේ. ඒත් ඒ ෆීලින් එක B series ෆීලින් එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. 

මට ඇත්තටම ඉස්සරලාම එන්ජින් ගැන මෙව්වා එකක් ආවේ මීට අවුරුදු 7 කට විතර කලින් සුවාරපොළ මහේෂ්ගේ බීට්ල් එකේ එන්ජිම දැකපු වෙලාවේ තමයි. අවුරුදු 5 ක් විතර ලාන්සරේ එන්ජිම විතරක් දැකලා පුරුද්ද තිබුණු මට ඒක දැක්කම ශිෂ්ටාචාරේ පළවෙනි තාරහොට ප්ලැටිපසා දැක්කා වගේ අන්ධභූත සිතිවිලි මාලාවක් ආවා. ඒ අන්ධභූතත්වය නතර වුණේ 3 ශ්‍රී 5661 කරගහගැනීමෙන්. ඒ කාර් එකේ එන්ජින් එක පලු කරලා තියනවා ඉස්සරලාම දැක්ක දවසේ වත් මට හිතාගන්න බැරිවුණා මේ වගේ අමුතු කෑලි බෑලි ටිකකින් මේ වගේ අමුතු කාර් එකක් දුවවන්නේ කොහොමද කියන එක.




අන්තිමට ඔස්තාද්ලා කීප දෙනෙක්ගෙන් කෝප්-සිටි පරිප්පු කාලා ඉවර වුණාට පස්සේ තමයි නිවී සැනසිල්ලේ ඉඳගෙන ෆොක්ස්වැගන් එන්ජිමක් රස විඳින්න මට පුළුවන් කම ලැබුණේ. කොහොම වුණත් අදටත් මම ෆොක්ස්වැගන් එයා-කූල්ඩ් එන්ජිමක් දිහා බලනවට වඩා ඒකෙ සද්දේ අහන් ඉන්න ආසයි. එක පාරක් තුම්මුල්ල පැත්තේ තියන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානේ පොත් සාප්පුවේ උඩ තට්ටුවේ ඉන්නකොට පහළින් ෆොක්ස්වැගන් එකක් ස්ටාට් කරනවා ඇහිලා මම නයා වගේ පොත් රාක්ක අස්සෙන් රිංගලා ජනේලයක් හොයාගෙන දිව්වා මට තාමත් එතන පහු කරන් යන හැම වෙලාවකම මතක් වෙනවා.



ෆොක්ස්වැගන් එන්ජිම තරමටම මයිනර් එන්ජිමට බැඳෙන්න මට බැරුව ගියා. හැබැයි මයිනර් එන්ජිමෙත් ඒකට ආවේණික අමුතු රහක් තියනවා. මේ ගැන කලින් ලිපියක ලිව්වා මතකයි. පෙනුමෙන් මේ එන්ජින් දෙක අතර තියන ලොකුම විශේෂත්වය තමයි ෆොක්ස්වැගන් engine bay එකේ කළු කූඹියෙකුට අඩි දෙකක් යන්න ඉඩ නොතිබීම සහ මයිනර් එකේ engine bay එක ඇතුළේ එළුවෝ දෙන්නෙකුට දාම් අදින්න ඉඩ තිබීම. මේක හොඳක් හෝ නරකක් කීමක් නෙමෙයි. ඒ දෙකේ layouts දෙක වෙනස්.



අනික් අතට මිනි මයිනර්, ඔස්ටින් මිනි, රෝවර් මිනි මෙකී නොකී මිනි වල බොනට් එක ඇරියම පේන්නේ බේකරියෙන් පිටත් වෙන චූන් පාන් වීල් එක වගේ එක එක දේවල් එක පිට එක ගොඩගහපු layout එකක්. ඒ තරම් පොඩි ප්‍රමාණයක කාර් එකක් ඇතුළේ මේ තරම් වැඩ ගොඩක් දාන්න ඒක ඉස්සරලාම සැලසුම් කරපු ඇලෙක් ඉසිගෝනිස් මහත්තයට පර්චස් තුනේ ඉඩමක සුපර් මාර්කට් එකක් දානවා වගේ ගේමක් දෙන්න වුණා. ඒ අතින් අපි මෙහෙම ජෝක් එකක් කරන එක පවා පවක්. කොහොම වුණත් ලංකාවේ තියන හැම මිනි එකක්ම වගේ ඩොල්ෆින් කොත්තු වෙලා තියන නිසා බොනට් එක ඇරියම එන්නේ කුණු ඔයිල් ගඳ, කැරපොතු මකුළු මී ගඳ, කැටලොයි කුඩු ගඳ, රිවට් ඇන ගඳ සහ පාස්සපු එවුන්ගේ ගඳ වගේ දේවල් විතරයි. මේ නිසා මිනි එක කියන්නේ මම කොච්චර ආසා වාහනයක් වුණත් බොනට් එකක් අරින වාරයක් ගානේ මට මිනි අරහංච සදාතානං ගාථාව කියවෙනවා.




ක්ලැසික් කාර් වල එන්ජින් අතරින් මම දැකපු අමුතුම එන්ජින් එකක් තමයි ඉසබෙලාගේ හෙවත් Borgward Isabella කාර් එකේ එන්ජින් එක. ඉසබෙලා එක්ක මට සදාතනික ඒකපාර්ශ්වීය පලහිලව්වක් තියන බව කාර් පිස්සුවට සමීප අය දන්නවා. මහේන්ද්‍රගේ ගරාජ් එකේ ඉඳලා ඉසබෙලාව අතපත ගන්න පටන් ගත්තු වෙලාවේ මගෙ රාගී මන කැළඹෙනවා දැකලා මහේන්ද්‍ර මට බොනට් එක ඇරලා පෙන්නුවා. ඒ විසාල කාර් එකට තියෙන්නේ පුංචි එන්ජිමක්. ඒ වුණාට එන්ජිම පේන්නේ නැති වෙන තරමට එයාර් ෆිල්ටර් එක තියනවා. ඒක හරියට අර චිත්‍රපටි වල සහ කාටුන් වල තියන පිට සක්වළ යානයක 1:32 ස්කේල් එකක් වගේ... මම දකිද්දී ඉසබෙලා හිටියේ ලෙඩවෙලා නිසා මට එයාගේ එන්ජිමේ සද්දේ අහන්න බැරුව ගියා. නමුත් කවුරුහරි මට කිව්වොත් මම දැකපු ආකර්ෂණීයම එන්ජින් නම් කරන්න කියලා, මම ඉසබෙලාගේ එන්ජිම අනිවාර්යයෙන්ම ඒ ලැයිස්තුවට දානවා.




දැන් මේ කතාව වෙනම මානයකට ගෙනිච්චොත්, මොඩර්න් ක්ලැසික් කියලා කියන්න පුළුවන් සහ ලංකාවේ නිතර හමුවන කාර් වල එන්ජින් අතරින් මගේ හිත ගත්තු එන්ජිමක් තමයි Honda D series එන්ජින් එක. මේ SOHC එන්ජින් වලට මහා ලොකු දෙයක් කරන්න පුළුවන් කියල බැලු බැල්මට හිතෙන්නේ නැහැ. නමුත් මේකත් එක්ක VTEC තාක්ෂණය පෑහුණාම වෙන මැජික් එක ගැන අහන්න නම් හොඳ  හොන්ඩා ෆෑන් කෙනෙක් එක්ක කදයක් දාගන්නම වෙනවා. (බොන වෙලාවක එහෙම ඕක අහනවා නං ඊළඟ දවස් හතේම බොන්න බලාගෙන අහන්න). ජීවිතේ කොයියම් කාලෙක හරි Honda EG8 VTEC එකක් පාවිච්චි කරපු එකෙක් ගෙන් මේක ඇහුවොත් තේරේවි...




පුදුමේ කියන්නේ හොන්ඩා SOHC එන්ජින් එකකින් දැනෙන චූන් එක ටොයෝටා DOHC එකකින් නොදැනෙන එකයි. සාමාන්‍යයෙන් ටොයෝටා AE100 එකේ එන 4AE එන්ජින් එක දැක්කම ඒ රේන්ජ් එකේ වාහන හොයන කෙනෙකුගේ හිතට මෙවුවා එකක් එන්න ඕනේ. ඒක බොරු සෝබන නැති, හරිම පිළිවෙළ DOHC එන්ජින් එකක්. නමුත් ඒක දැක්කම 'යමං ළඳේ පැලට මගේ' ෆීලින් එක එන්නේ නැහැ. ඒක සමහර විට ටොයෝටා එක පොදු වෙළඳපොළට හදන වාහන කොහොමත් බෝරින් කියලා අපේ හිත ඇතුළේ තියන සංස්කෘතික අදහස ඔස්සේ ආපු දෙයක් වෙන්න පුළුවන්. අවස්ථාවක් ආවොත් මේ වර්ගයේ හෝ මීට සමාන ටොයෝටා එකක් පාවිච්චි කරලා බලන්න අදහසක් තියෙනවා. ටොයෝටා වාහන අතරින් ස්ටාර්ලට් GT සහ Glanza වලට පොඩි සෙනෙහසක් තිබ්බත් කන්වර්ෂන් කරලා 'දයියා බයිට්' වගේ අච්චාරු කරලා ගානත් ආහස උසට උස්සලා තියන මේ වාහන දැන් මිනි වලටත් හපන්. 




ඔය සියල්ල පැත්තකින් තියමු. Honda B series එකත් අමතක කරමු. මම දැකපු එන්ජින් වලින් ලස්සන, වැදගත්කම, පිළිවෙළ, බලය සහ කල්පැවැත්ම වගේ දේවල් සේරම එකපාරට මගේ ඔළුවට අතඇරපු එකම එන්ජිම තමයි BMW M20 එන්ජිම. ඔය එන්ජිම ඉස්සරලාම ලෝකෙට පය තිබ්බේ 1977 දී. එදා ඉඳන් 1993 වෙනකල් මේ එන්ජිම ආවා. මේක Straight 6 SOHC එන්ජිමක්. ධාරිතා පරාසය තියෙන්නේ 2.0 ඉඳන් 2.7l වෙනකල්. විකිපීඩියා එකේ තියන චාට් එකේ හැටියට මෙයින් වැඩිම බලයක් දීපු එන්ජිම 325i සහ 525i වාහන වලට ආපු M20B25  එක. මේකේ දත්ත ටික විකිපීඩියා එකේ තියෙන්නේ මෙහෙමයි. 


2,494 cc (152.2 cu in)
130 kW (174 bhp)
@ 5,800 rpm
226 N·m (167 lb·ft)
@ 4,000 rpm
1985-1987
Motronic 1.1

මෙතනදී මම කතා කරන්නේ Performance ගැන නොවන බව ආයෙත් මතක් කරන්න කැමැතියි. මොකද performance අතින් බැලුවොත් M20 එන්ජිම විශේෂ එන්ජිමක් නෙමෙයි. කොටින්ම BMW විශේෂඥයන්ගෙන් කාර් එකක් ගැන අහද්දී 'ඒකෙ තියෙන්නේ M20 එන්ජිමක් නේද?' කියලා අහන්නේ නිකං 'අරූව ඇඩ්මිට් කළේ බීලා වැටිලා ඉඳල නේද?' කියලා අහනවා වගේ. 

ඒ වුණාට BMW 520i එකක බොනට් එක අරිද්දී, ඒ ගඩාෆි ක්‍රීඩාංගණේ විතර දිග එන්ජින් බේ එක මැද්දේ අර්ජුන රණතුංග වගේ ඉඳගෙන ඉන්න M20 එන්ජිමක් දැක්කම අමාරුවෙන් මැද පන්තියට නැගගත්තු nobody කෙනෙකුට දැනෙන සතුට 96 වර්ල්ඩ් කප් ෆයිනල් එක ආයේ බලලවත් ගන්න බෑ මහත්තයෝ... 





---------------------------------------------------------------------
මීට අමතරව මම උනන්දුවෙන් බලපු වෙන එන්ජින් වර්ග කීපයක් සහ ඒවා දැක්කම මට හිතුණු දේවල්, කෙටියෙන් :

Honda Z එන්ජිම - මොන *&^%? 

Mazda B එන්ජිම- අනේ මන්දා... 

Subaru EJ20 එන්ජිම - අඩෝ! 

Daihatsu CB Turbo එන්ජිම - කවුද යකෝ උපන්දින කේක් අයිසින් කරන එවුන්ට කියලා එන්ජින් පේන්ට් කොරෝපු මෝඩයා? (මෙය පොදුවේ CB එන්ජිමට අදාළ දෙයක් නොව මා බැලූ කාර් එකේ අයිතිකාරයා හෝ පේන්ට් බාස් කෙනෙකු කෙළිය ගොන් පාට් එකක් බව කරුණාවෙන් සලකන්න). 

Peugeot PSA XU එන්ජිම- මේකේ ඉතින් මොන මගුලක් බලන්නද? 

Alfa Romeo 1.6 flat-four එන්ජිම - Mamma Mia!!! 






(සැලකිය යුතුයි: M20 එන්ජින් හෝ මෙතන සඳහන් කරලා තියන වෙනත් කිසිම එන්ජිමක් හොඳයි හෝ නරකයි කියලා කීමක් මේකෙන් අදහස් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට M20 එන්ජින් තිබුණු සමහර කාර් වල ඉතිහාසය ගැන අහපු සමහර කතා අර මහා සියඹලා ගහ එහාපැත්තෙ තියන කනත්ත ගැන ත්‍රීවීල් කාරයෝ කියන කතා වලටත් වැඩිය භයානකයි. ඒ නිසා කාර් එකක් හෝ වෙනත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නං හොඳට හොයලා බලලා මිසක් දැක්ක වෙලාවේ ආපු චූන් එකට ගන්න එපා). 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
03.11.2017 
www.facebook.com/CarPissuwa
(3 ශ්‍රී 5661 එකේ එන්ජිමේ ෆොටෝ එක ඇර අනික් සේරම ෆොටෝ ගත්තේ මම).