බීට්ල් එක නවත්තලා බහිද්දී ඉස්සරලාම ඇහුණේ වේලිච්චි කොළ සරසර ගාලා කකුලට පොඩිවෙන සද්දේ. ඒ කියන්නේ කවුරුවත් දැන් මේ ගෙදර මිදුල අතුගන්න කරදර වෙන්නේ නෑ කියන එකයි.
මේ අපේ ලොකු තාත්තලාගේ මහගෙදර. ඒ ගෙදර දශක ගාණකින් අලුත්වැඩියා කරලා නැහැ. ආයේ කවදාවත් අලුත්වැඩියා කරන එකකුත් නැහැ.
අපේ තාත්තලා මම ඉතාම පුංචි කාලේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ පදිංචියට ආපු නිසා මමත් අක්කර දරුවෙක් නොවී පර්චස් දරුවෙක් වුණා. ඒ කියන්නේ අපි ඉඩම් වල ප්‍රමාණය කියන්නේ අක්කර වලින් නෙමෙයි, පර්චස් වලින්.
කොහොම හරි ජීවිතේ ලට්ට පට්ට පෙට්ටි පෙට්ටගම් වලට අඩිය තියලා අමාරුවෙන් මැද පන්තියේ අයිනකට නැගගත්තු තාත්තට ඒ දවස්වල ගන්න පුළුවන් වුණේ පර්චස් දහයයි. ඒ පර්චස් දහය ගත්තු දවසේ තමයි දයාරත්න අංකල් අපිව එයාගේ මොරිස් මයිනරෙන් අලුත් ගෙදරට ගෙනත් බැස්සුවේ.
මේ පර්චස් දහය ඇතුළේ හිරවෙලා හිටපු මගේ පුංචි හිතට තිබුණු ලොකුම සතුට තමයි ඉඳහිට ලොකු අම්මලාගේ ගෙදර යන එක. ඒක ඇත්තටම අපේ ලොකු තාත්තලාගේ මහ ගෙදර. සෑහෙන විසාල ගෙයක්. අක්කර දෙකකට වැඩි වත්තක්.
ලොකු අම්මගේ පුත්තු දෙන්නා මට වැඩිය අවුරුදු හතරක් සහ හයක් වැඩිමල්. ඕක මහා ලොකු පරතරයක් නෙමෙයි නිසා මේ ඩබල එක්ක තමයි මම ඒ දවස්වල ගමේ ගියාම සෙල්ලම් කළේ. මගේ ඉස්කෝලෙත් ග්‍රවුන්ඩ් එකක් කියලා දෙයක් නොතිබ්බ නිසා (එතකොට මම ගියේ පානදුර ශාන්ත ජෝන් එකට. ඒ දවස්වලත් ඒකෙ සෙල්ලම් කරන්න කියලා මහා ඉඩක් තිබ්බේ නැහැ. දැන් නම් ඒ තිබිච්චි ඉඩෙත් බිල්ඩින් දහයක් විස්තර ගහලා. දැන් මට ඒක දැක්කාම බංගලිදේසේ වගේ රටක අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියක් මතක් වෙනවා) අත දිගඇරලා හයේ එකක් ගහන්න තිබුණේ ලොකු අම්මලාගේ ගෙදර වත්ත විතරයි. ඒ දවස් වල IPL නොතිබ්බ නිසා ක්‍රිකට් ෂොට්ස් ලස්සනයි. ලස්සන පුල් එකක් එහෙම ගැහුවම හිතට මාර ආතල් එකක් තිබ්බේ. දැන් වගේ ක්‍රීස් එකට එන්නත් කලින් ඉඳන් රිවස් ස්වීප් සහ ඩිල් ස්කූප් ගහන ඇම්මක් ඒ දවස්වල තිබ්බේ නැහැ.
අපි ගමේ ගියේ පාන්දරින් කෝච්චියේ නැගලා. වේයන්ගොඩ කියන්නේ මහා දුරක් නොවන බව ඇත්ත. නමුත් එහෙම ගියාම කාර් වල යනවා වගේ ගිය දවසෙම එන්න බැහැ. ඉතින් දවසක් දෙකක් ලැගලා තමයි එන්නේ. ටිකෙන් ටික තාත්තටත් රාජකාරි වැඩි වුණු නිසා නිතර ගමේ යන එක අඩු වුණා. නමුත් ඉඳලා හිටලා හරි ගියේ නම් ඉතින් එහෙ තමයි.
පස්සේ කාලෙක ලොකු අම්මලා ඉඩමෙන් කොටසක් විකුණලා වෑන් එකක් ගත්තා. ඔන්න එතකොට තමයි සංචාර සිස්ටම් එකක් පටන් ගත්තේ. අපි කවුරුවත් සල්ලිකාරයෝ නෙවේ නිසා නෑදෑ පරපුරට එහෙම වෑන් එකක් ලැබුණු එක ඒ දවස්වල මහා ලොකු දෙයක් වුණා. ඉතිං ඔන්න අපි හිටු කියලා ට්‍රිප් යන්න පටන් ගත්තා.
ඔහොම ට්‍රිප් එකක් ගිහින් එනගමන් අපි දවසක් කොහේ හරි ගෙදරකට ගියා. මට මතක නැහැ කාගේ කවුද කියලා. එහෙ ගියාට පස්සේ ටික වෙලාවකින් අයියලා ඩබල මට එළියට එන්න කිවුවා. මමත් ගියා. එතකොට මට අවුරුදු දාසයක් විතර ඇති මගේ හිතේ.
මුන් දෙන්නා මට කිවුවා වෑන් එකේ ඩ්‍රයිවින් සීට් එකට නගින්න කියලා.
මට මතක හැටියට මම ගිහිං කොහේ හරි හැංගුණා... ඒ දවස් වලත් මම අනුන්ගේ ලබුගෙඩිවලට අතගහන්න බයයි.
ඒත් උන් දෙන්නගෙන් ගැලවෙන්න හම්බුණේ නැහැ. මම පන ගැහිගැහී වාහනේ ස්ටාට් කළා.
එතනින් එහාට මට මතක අයියලා සැරින් සැරේ 'මල්ලි පාරට ගන්ඩෝ' කියලා කෑ ගහන එක විතරයි. ඒ කියන්නේ වාහනේ සැරින් සැරේ පාරෙන් පිටපනින්න ගියා කියන එකයි. හැබැයි එක සීන් එකක් මට හොඳට මතකයි.
ඒ දවස් වල මට ක්ලැසික් කාර් පිස්සුව තිබ්බේ නැහැ. හැබැයි ඉඳහිට ක්ලැසික් කාර් එකක් දකිද්දී නිකං සංසාරගත මෙව්වා එකක් මෙව්වා වෙනවා වගේ මෙව්වා එකක් මට තිබ්බා.
මම නිකං හාවාව මාරි පෙට්ටියේ දාලා අරන් යනවා වගේ වෑන් එක අරගෙන යද්දී ඒ පාර හදන්න ගල් ගෙනත් දාලා තිබුණා. ඒ කියන්නේ ඉතින් යන එවුන්ට ඕන මගුලක් කියලා පාරෙන් තුන්කාලක් වැහෙන්න ගල් බානවා කියන එක නේ. ඉතින් මම වාහනේ ගෙනිච්චේ ඉස්සරලාම වීල් එකක් අතට ගත්ත දවසෙම ගෙනිහින් කටුකුරුන්ද ට්‍රැක් එකට දැම්මා වගේ හැඟීමකින්.
ඔහොම ටිකක් දුර යනකොට ඉස්සරහින් මිට්සුබිෂි ජීප් එකක් ආවා (ඒ දවස් වල දන්නේ නැහැ ඒක මිට්සුබිෂි කියලා. හැබැයි මේ ලියන වෙලාවේ මට ඒ වාහනේ නිකං මගේ මේසේ උඩ තියනවා වගේ පේනවා. ඒ තරමට ඒ රූපේ මගේ හිතේ කා වැදිලා). අච්චර පන බයේ යමින් හිටපු මට මොකක්ද උනා. ගල් ගොඩක් ගාවට ළං කරලා මම සිග්නල් දාලා, දෙපැත්තේ කන්නාඩි දෙකෙන් බලලා, රියර් වීව් මිරර් එකෙනුත් බලලා, ගානකට අයින් කරලා ෂේප් එකේ වෑන් එක ස්ලෝ කළා. ඊට පස්සේ ඉතාමත් සන්සුන්ව, ගැස්සෙන්නේ නැතිවෙන්න වෑන් එක නැවැත්තුවා. ඉස්සරහින් ආපු ජීප් එකට යන්න දීලා, ඒ ජීප් එක හොඳට බලාගෙන, සිග්නල් එහෙමත් දාලා, ආපහු පාරට ගත්තා.
අයියලා දෙන්නා ලාවට මූණෙන් මූණ බලාගන්නවා මට මතකයි.
එතනින් එහාට දෙමළ චිත්‍රපටියක වගේ මට හොඳට වාහන එළවන්න පුළුවන් වුණේ නම් නැහැ. හැබැයි එදා ඉඳන් මම 4DR5 එකක් දැක්කම වෙනදට වඩා උනන්දුවෙන් බැලුවා.
මට මේ සේරම ආපහු මතක් වුණේ ඊයේ පෙරේදා ආයේ ලොකු අම්මලාගේ ගෙදර ගිහින් එන්න තීරණය කරපු නිසා. මට හරියට ඩ්‍රයිවින් පුළුවන් වුණේ අර 'මල්ලි පාරට ගන්ඩෝ' සීන් එකට කල්ප ගාණකට පස්සේ. ලයිසන් එහෙම අරන් මම ලාන්සරේ දෙතුන් පාරක් වේයන්ගොඩ ගිහින් එන්න ඇති. ලාන්සරේ කියන්නේ, මම හැමදාමත් කියනවා වගේ, අම්මෙක් අප්පෙක් වගේ විශ්වාස කාර් එකක්. හැබැයි ලාන්සරේ කියන්නේ ගමනක් යන්න එළියට බැස්සාම හැතැම්මෙන් හැතැම්මට හදවතට එයා ෆිල්ටරෙන් ඇන ඇන ජීවන කතන්දර කොඳුරන කාර් එකක් නෙමෙයි. මාලදිවයිනේ යන්න ඕනේ කිව්වොත් ලාන්සරේ මූදෙත් යයි. හැබැයි ගිහින් ඇවිල්ලා කියන්න කතාවක් ඉතුරු වෙන්නේ නැහැ.
හැබැයි මේ පාර යන්න ඕනේ කියලා හිතද්දී මා ගාව තිබුණේ 9 ශ්‍රී 5333. ඒ කියන්නේ මගේ දෙවෙනි බීට්ල් එක (පළවෙනි බීට්ල් එකේ මට වේයන්ගොඩ යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ).
පහුගිය අවුරුද්දේ මම වේයන්ගොඩ ගිහින් ආවේ ත්‍රීවීල් එකක. ඒ ලොකු තාත්තාගෙ මරණෙට. ලොකු තාත්තා මගේ ළමා කාලේ නොමැකෙන චරිතයක් වුණත් අන්තිම කාලේ එයත් එක්ක සමීප සම්බන්ධතා තියාගන්න මට බැරි වුණා. ලොකු තාත්තා බීපු ඇල්කොහොල් පාන වර්ග නොබී එකතු කළා නං අපට රටේ සිඳී යන වාරි මාර්ග නැවත ප්‍රකෘතිමත් කරන්න තිබ්බා. මම ඇල්කොහොල් එක්ක 'ආ කොහොමද?, ගිහින් එන්නම්' වර්ගයේ සම්බන්ධයක් විතරක් පවත්වන කෙනෙක් හින්දා ලොකු තාත්තාගේ ජීවිතේට සමීප වෙන්න මට බැරිවුණා.
තව ටිකක් වයසට ගිහින් මමත් ඇල්කොහොල් වලට ජැක් එකක් ගහන්න කලින් ලොකු තාත්තා යන්න ගියා.
ඔය අතරේ මෑතක ඉඳන් අපි අතර කතාබහක් ඇතිවුණා, කොයි වෙලේ හරි මහ ගෙදර කඩලා දාන්න වේවි කියලා. ඒක දැන් ඒ තරමට අබලන්. මම ඒ කතාව මතුවෙන හැම වෙලාවකම ඒක හිත ඇතුළට යන්නේ නැතිවෙන්න හිත මැද්දෙන් මොකක් හරි බැරියර් එකක් එබුවා. ඒත් ගිය සතියේ මට ඒක වළක්වගන්න බැරුව ගියා.
ගෙදර දැන්ම කඩලා දාන එකක් නැති එක ඇත්ත. නමුත් අපට අනාගතය ගැන කියන්න බැහැ. අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ගේ මොකක් රිවස් ස්වීප් එකක් හරිගියොත් ඒ හරිගිය එකා ඕකට ගේම දෙනවා සත්තයි කියලා මම දන්නවා.
අනික් අතට හදිසියේ ගමේ යන්න ඕන වුණු අනික් හේතුව තමයි දැන් එගොඩඋයනේ ඉඳන් ගාලු පාරට දාලා පානදුරට ගිහින් රත්නපුර පාරේ බණ්ඩාරගම පහුකරගෙන ගැලනිගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට දාලා කොළඹ පැත්තට කොට්ටාව පහුකරගෙන පිටත වටරවුම් මාර්ගයට පිවිසිලා කඩවත පිටවුමෙන් එළියට ඇවිත් නුවර පාරට දාලා කලගෙඩිහේන පාරෙන් හරවලා වේයන්ගොඩ ටවුම හරහා ගිහින් වෙල පාරකින් ගොඩවෙලා දෙවැටක් මැද්දෙන් ගිහින් මහ ගෙදරට යන්න පුළුවන් කම තිබීම... ඕන නං අර පන්සල ගාවින් ෂෝට් කට් එකකුත් තියනවා...
දවසක් ඉරිදාවක නිකමට බීට්ල් එක හයිවේ එකට දැම්මට පස්සේ මම හයිවේ එකට ඇබ්බැහි වුණා. දැන් හයිවේ දාන්න ඕන නිසා මම කිලෝමීටර් විස්ස තිහ වැඩිපුර ඩ්‍රයිව් කරන වෙලාවල් තියනවා. ක්ලැසික් එකක් හයිවේ දැමීමේ ආතල් එක ගැන මම වෙන ලිපියකින් කතා කරන්නම්.
ගමේ යන්න කලින්ම මම කට්ටියට කිව්වා මට පරණ ගෙදර මිදුලට දාලා කාර් එක නවත්තන්න ඕනේ කියලා. අයියලා දැන් ඒ ඉඩමේම වෙන තැනක ගෙයක් හදලා. ඒ නිසා වාහන තියා මිනිස්සු වත් පරණ ගෙදර මිදුලට ඇදෙන්නේ කලාතුරකින්.
මගේ මඤ්ඤං වැඩ ගැන දශක තුනක අත්දැකීම් තියන නිසා ඒ මිනිස්සු ඒ ඇයි කියලා ඇහුවේ නැහැ. පාර වැහෙන්න දාලා තිබුණු දර කෑලි ටිකක් එහෙම එහා මෙහා කරලා 9 ශ්‍රී 5333 ට යන්න එයාලා පාර පාදලා දීලා තිබ්බා. මමත් පෑදුණු පාර දිගේ ටේල් පයිප්ප දෙකෙන් විසිල් ගගහා ඇදී ගියා...
වාහනේ වත්තට දාලා පරණ ගෙදර පැත්තට අරගෙන යද්දී මගේ හිත ටයර් පොලිෂ් ගෑවුණා වගේ කළුවෙලා ගියා. මම වාහනේ ගෙනිහින් නැවැත්තුවේ අයියලා දෙන්නා මට ඩ්‍රයිවින් පුරුදු කරන්න හදපු දෙවෙනි දවසේ මම අමාරුවෙන් වෑන් එක ගෙනල්ලා නතර කරපු, එලොවටත් නැති මෙලොවටත් නැති තැනමයි. මට එතන හොඳට මතකයි.
මං වාහනෙන් බැස්සා...
ඊට පස්සේ කෞශිත් අම්මත් වාහෙනන් බැස්සා...
එදා ඒ දුර ඈත අතීතයේ වෑන් එකෙන් අමාරුවෙන් බැහැලා මේ ආදරණීය ගේ ඇතුළට ගිය දවසේ ඉඳන් දැන් අවුරුදු 15 ක් විතර ගිහිල්ලා ඉවරයි.
තාත්තා නැතිවෙලා අවුරුදු දෙකයි. ලොකු තාත්තා නැතිවෙලා අවුරුද්දයි. ලොකු අයියට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වෑන් එක අහක යන කේස් එකකට අහුවෙලා නැතිවෙලා ගියා. අක්කර ගාණක් තිබුණු ඉඩම කෑලි වෙලා. පර්චස් ගණන්වල ඉඩම් කෑලි ගොඩක් හැදිලා. නිකං සිමෙන්ති ගල් ගෙවල් වගේම ලොවෙත් නැති ප්ලෑන් වලට හදන ගෙවල් එකින් එක, ගලින් ගල, කම්බියෙන් කම්බිය, ටයිල් එකෙන් ටයිල් එක මතුවේගෙන එනවා. හැම තැනම තාප්ප සහ කටුකම්බි. මහගෙදර මිදුල පුරාම නිස්සාර තණකොළ වැවිලා. ගෙදර බිත්ති පුපුරලා ගිහින්. ජනෙල් අතර පැලුම් අස්සෙන් වැහි වතුර දූවිලිත් එක්ක ගලාගෙන ගිය පාරවල් මතුවෙලා තියෙන්නේ හරියට වේලෙන්නේ නැති කඳුළු වගේ. ලොකු තාත්තාගේ තරුණ කාලේ ෆොටෝ එකක් ගේ ඇතුලේ ඔහේ තියනවා. පවුලේ කට්ටිය ඔක්කොම ඉන්නේ දැන් අලුත් ගෙයි. නිකං සදාචාරය තකා වගේ දවසකට පාරක් කවුරුහරි පරණ ගෙට ඇවිත් යනවා. ලොකු අයියගේ ලොකු පුතා මහ ගෙදරට කියන්නේ බූත බංගලාව කියලා.
සල්ලි තිබ්බා නම් මම මේ වත්ත ලොකු අම්මලාගෙන් සල්ලිවලට අරන් මේ ගෙදර මුල ඉඳන් හදාවිද? මම දන්නේ නැහැ. අද මං හම්බ කරන ගොඩක් දේවල් යටවෙන්නේ කාර් වලට. ඒ නිසා ගෙවල් හැදීම හෝ ගෙවල් අලුත්වැඩියා කිරීම ගැන නිකං බලු රැවුලක අදහසක් වත් මට නැහැ.
පරණ ගේ ඉස්සරහා තියලා ෆොටෝ ගන්නකොට බීට්ල් එක කැමරාවට හිනාවෙන ලස්සන දැක්කම මට කාර් වලට සල්ලි වියදම් කරන එක ගැන දුකක් හිතෙන්නේ නැහැ. හයිවේ එක දිගේ විසිල් එකක් ගහගෙන එක හුස්මට බීට්ල් එක එහෙ මෙහෙ දුවද්දී මගේ හිතට තව තව ආසාව මිසක් පසුතැවිල්ලක් එන්නේ නැහැ.
එදා වාහනේට නගින්න කිව්වම බයේ හැංගිච්චි පොඩි එකාමද මේ කියලා මහගෙදරට සමහර විට හිතෙනවා ඇති.
මහගෙදර සමහර විට අපට නොපෙනෙන්න අඬනවා ඇති. අර ජනෙල් වලින් ගලලා තියෙන්නේ ඇත්තටම කඳුළු වෙන්නැති.
ඒත් ඇඬුවා කියලා කාලය ආපස්සට හරවන්න බැහැ....
ආපහු අවුටර් සර්කියුලර් එකට දාලා හයිවේ එකේ එනකොට තියන ආතල් එක මතක් කරගත්තු නිසා මට මහ ගෙදරින් සමුඅරන් ආපහු එන්න වෙන එකේ දුක ටිකක් දුරකට අමතක කරන්න පුළුවන් වුණා.
ක්ලැසික් කාර් එකක් තියන එකේ එක වාසියක් තමයි මේක. කොරොල්ලා එකක් අරගෙන ඔහේ මොකාද වගේ ගිහින් ආවා නම් මට ලියන්න කතාවකුත් නෑ. තුරුල් කරගන්න මතකයකුත් නෑ.... එහෙනම් හිතේ ඉතුරුවෙන්නේ මහගෙදර ගැන වේදනාව විතරයි...
ගියර් එකක් මාරු කරද්දී සහ ටික ටික වේගේ වැඩිකරද්දී බීට්ල් එක මුමුණන එක එක රාග තාල වල සතුට මල්ටිෆන්ෂන් ස්ටියරින් වීල් වල ප්ලාස්ටික් බොත්තං ඔබලා ගන්න බෑ...
කාගෙ හරි හිත රිදුණා නම් සමාවෙන්න. මගෙත් හිත රිදිලා තියෙන්නේ....
www.facebook.com/CarPissuwa
ක්ලැසික් කාර් ගැන ලොකු උනන්දුවක් තියනවා වගේ. බිට්ල් විතරද ගන්නේ
ReplyDeleteබීට්ල් තමයි ප්‍රධාන ලවු එක. නමුත් මගේ ගාව 1955 මොරිස් මයිනරේකුත් තියනවා... :)
Deleteah aiye, oyath isselama drive kare van ekak ehenam.. ela ela. math ehemai. math issellama drive kare ape van eka .toyota noah kr42 2001 ekak. ethakota mn 8 wasare. (den grade 9 hode)))horen drive kare... waththa athule.. (passe thathata mattu wela eyama driving purudu kara. den auto manual dekama gemak na) ithin oyath mn wagema isselama drive kare van ekak .... sathutui aiye!!!
DeleteThis comment has been removed by the author.
Deleteමේ විදිහට හැමෝගෙම පුංචි පුංචි අතීත කතා මතුවෙනවා දකින එක පුදුමාකාර සතුටක්!
Deleteෆෝර්ඩ් ඇන්ග්ලියා කෑලි විකුණන තැන එහෙම දන්නවද ?
ReplyDeleteඋත්සාහ කරලා බලමු. ඇන්ග්ලියා එක ජනප්‍රියයි දැන්...
Deleteමචන් අජිය , පංචිකාවත්තේ සුමන මෝටර්ස් එකෙන් ගන්න පුළුවන්. පරණ ඉන්ග්ලිෂ් වාහන පාට්ස් උන් කරනවා. කඩෙත් නිකන් ෆෝඩ් ඇන්ග්ලියා එකක් වගේමයි
Deleteතෑන්ක්ස් මචන්. සමහර කෑලි ලන්ඩන් වල හෙන ගණන්. අර සයිඩ් බැජ් එක (දෙපැත්තේ තියන) පවුම් 40 (රුපියල් 7900 විතර එකක්)
Deleteboom
ReplyDeleteකාර් නම් කාර්, පරන කාර්
ReplyDeleteඇත්ත...
Deleteමේ කියන්නෙ පාරමුල්ලද,වටද්දරද
Deleteබීටල් එකයි හයිවේ එකයි ගැන මටත් අත්දැකීම් නම් එමටයි...මාස ගානක්ම මම හැම සති අන්තෙකම කොට්ටාවේ ඉදලා මාතර ආවෙත් ගියෙත් බීටල් එකේ...ඒ ආව ගිය කාලේ "කාර් පිස්සුව" තිබ්බා නම් මාවත් පැපරාසින්ට අහුවෙනවා... :)
ReplyDeleteඑන්ටරන්ස් එකෙන් දාල ගියර් එකෙන් එක මාරු වෙලා ඒ එක්කම වේගයත් වැඩි වෙද්දී හිතට දැනෙන්නේ කියලා තේරුම් කරන්න බැරි තරමේ හැඟීමක්..80 න් එහා පැත්තට මීටර් එකේ කටුව යද්දී එන්ජීමේ සද්දේ යටපත් කරගෙන එන විසිල් එක අහන් ඉන්න ආසම සද්දයක්....කොච්චරක් ද කියනවානම් 110 ට වගේ යද්දී ඒ සද්දේ අහන්නම රෙකොර්ඩ් කරගත්ත වීඩියෝ පවා අදටත් ලැප් එකේ ඩෙස්ක්ටොප් එකේම තියන් ඉන්නවා..
ඉස්සරහ ෂටර්ස් ඇරගෙන යද්දී ඇතුලට එන හුළඟ හන්දා ලොකු ප්‍රතිරෝධයක් කාර් එකට දැනෙනවා..ඒවා වහලා ක්වාටර් ග්ලාස් එක විතරක් ඇරගත්තහම ලොකු වෙනසක් දැනෙනවා..මම කලිනුත් මේක කිව්වා..අත්හදා බලලා මටත් කියන්නකෝ.. :)
දිගට හයිවේ ගිය හන්දා මම බ්ලොවර් යුනිට් එකක් සෙට් කරලා තිබ්බේ..එතකොට ෂටර්ස් වහගෙන යන්න පුළුවන්.. ;)
අපේ ෆේස්බුක් පේජ් එක මේ තරම් ජනප්‍රිය වෙන්න කලින් ඔයාගේ කතාව පේජ් එකේ ගියේ. මට හොඳට මතකයි. ඒ වගේම ඔවු, ඔයා කියන නිසාම මම ෂටර්ස් වහලා බැලුවා. විද්‍යාත්මකව ඇත්ත. ඒ වුණාට සොබනේට අත තියාගන්න නැති වුණාම අමාරුයි... :)
Deleteඒකත් ඇත්ත..ක්ලැසික් එකක් ඩ්‍රයිව් කරන්න දොර කිහිල්ලේ ස්ටයිල් එකත් මරු.
Deleteඅනේ..4dr5 එක ගැනත් ලිපියක් ඔනේ..
ReplyDeleteඅනේ..4dr5 එක ගැනත් ලිපියක් ඔනේ..
ReplyDeleteලියමු ලියමු. එතකන් ලෑන්ඩ් රෝවර් එක ගැන ලිපියත් කියවන්න. ඒක තියනවා අලුත් කාර් බ්ලොග් එකේ. ලින්ක් එක ඇති මේ පේජ් එකේ උඩ දකුණු පැත්තේ... උනන්දුවට බොහොම ස්තූතියි...
Deletepuluwannam isuzu trooper eka ganath dannako plz
Deleteමගේ අත්දැකීම් වල විදියටනම් ක්ලැසික් කාර් පිස්සුව මතුවෙන්නෙ 20 විතර පනිනකොට.15-16 දි තියෙන ලොකුම ආසාව අලුත් වන්ඩියක් අරගන්න එක ඒ දවස්වල මගේ ආසාව උනේ ඒක. මට ක්ලැසික් උන හැදුන කාලෙ මට අද වගේ මතකයි. ඒ අපේ ගෙදර මුල්ලක තිබුන ආච්චිගෙ පරණ කලුවර කැටයම් තියෙන අල්මාරිය පොලිශ් කරන්න පටන්න ගත්ත දවස්.
ReplyDeleteඋඩ ෆොටෝ එකේ තියෙන කන්නාඩි කැබිනට් එක දකිනකොට මට අපේ අල්මාරිය කලින් තිබුන විදිය මතක් උනා.කාර් ගැන දෙයක් නොඋනත් මේක මට කියන්නම හිතෙනව.ආච්චිගෙ අල්මාරිය අපේ ගෙදරට ගෙනාවෙ මම පොඩි කාලෙ අපේ තාත්ත. එයා ඒකට ගොඩක් ආදරය කලා ඒත් මමනම් ඉස්සර එහෙම නෑ. අපේ අල්මාරියත් තිබුනෙ ඔය විදියමයි ඔය පාටමයි.සමහර කෑලි මීයො කාල. සමහර කෑලි ගැලවිලා, නැතිවෙලා.පස්සෙ කාලෙක මට ඒක පොලිශ් කරන්න හිතුන.
මම ඒකට අතගහනකොට අම්ම කිවුවෙ ඕක බාස් කෙනෙක්ට දීල පේන්ට් කරමු කියල. ඒත් මම වැලිකඩදාසි අරගෙන පරන පේන්ට් එක කපන්න පටන් ගත්ත. අන්තිමට කපල ඉවර වෙනකොට අත් දෙකත් ඇගිලි සලකුනු මොනවත් නැති තත්වෙටම කැපිල තිබුන. අද අපේ ගෙදරට එන අය ``ශහ්.... මරු බාන්ඩෙ කොහෙන්ද හොයාගත්තෙ`` කියල අහනකොට දැනෙන සන්තෝසෙ වචන වලින් විස්තර කරන්න බෑ.
#ලීබඩුපිස්සුව ;) ස්තූතියි ඩෙවින්...
Deleteඔහොම අත්තම්ම භවිතා කරපු කළුවර පෙට්ටගමක් තිබුන. ඒක විසික් කරලා. ඇත්තටම ඒ පරණ ගෘහ භාණ්ඩ ලස්සනයි.
Deleteවිසික් කරල තියෙන්නෙ නිදානයක් නේ...
Deleteමමත් කාලෙකට කලින් කියෙව්ව තෝමස් චිපන්ඩේල්ගෙ ඔරිජිනල් කබඩ් එකක් දරට කපාපු දුප්පත් ගොවියෙක් ගැන.
Deleteකාර් විතරක් නෙවේ.. ක්ලැසික් හුගක් දේවල් එක්ක අපිට තියෙන්නෙ සංසාරගත බැඳීමක්...
ReplyDeleteඇත්ත. ඒ හැම දෙයක් වෙතටම කාර් අපිව අරගෙන යනවා...
Deleteදැන් තරිඳුලා ගම අතෑරලා කොළඹ පදිංචියට ආපු නිසා අක්කර දරුවෙක් නොවී පර්චස් දරුවෙක් වුනාට, අපි ගම්පහ දිස්ත්‍රික්කයේ අපේම අම්මගෙ ගමේ ඉඳං පර්චස් දරුවො තමයි කොහොමත්.
ReplyDeleteදුක හිතෙන කතාවක්. ඇත්තෙන්ම සල්ලි තිබුනත් ඔය වගේ ගෙයක් හදන්න අමාරුවෙන්න පුලුවන් මොකද ඕකට අයිතිකාරයෝ වැඩි නිසා. නැතිනම් ආස හිතෙන ගෙයක්. ඒ කියන්නෙ ඒවත් ක්ලැසික් ගෙවල්. ක්ලැසික් වාහන වගේම ඕවටත් මැරීගෙන ආදරේ කරන මිනිස්සු ඇති. දැන් තරිඳු ඇතුලු පිරිස හිටපු ගමන් පරණ වාහන දැකලා පින්තූර අරන් එෆ්බී එකේ දාලා කියන්නෙ අපරාදේ මේක දිරලා යන්න හැරලා තියෙන්නෙ කියලා. ඔය ගේ දකින කෙනෙකුටත් ඒකම හිතෙයි.
සහතික ඇත්ත ඩූඩ් අයියා. මේ දැන් ටිකකට කලින් අපේ තිළිණ දීප්ති මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කළා, ඔය ගේ කොහොමහරි හදන්න කියලා මාව පොළඹවන්න. මිනිහා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මිනිහගේ තර්ක වලට දෙන්න මට උත්තරත් නෑ, සල්ලිත් නෑ...
Deleteසල්ලි ප්‍රශ්ණෙ අපි කාටත් උරුම සදාතනික ප්‍රශ්ණයක්නෙ. ගේ හැදුවෙ නැතත් කමක් නෑ. වහලෙ අලුත් වැඩියාකලොත් හරි බිත්ති නොතෙමෙන්න. ගේ බේරෙයි. නමුත් මේක හවුල් දේපළක් නම් ඒක නැති කරදරයක් ඔලුවෙ දා ගැනීමක් වෙයිද දන්නෙ නෑ
Deleteඇත්ත. හදලා ඉවර වුණාම කට්ටියට ගේ තිබිච්ච හැටි අමතක වෙන්නත් පුළුවන්... දේපළ නිසා මිනිස්සුන්ට වෙන දේවල් ඇහුවම කාර් එක්ක නෑදෑකම් පවත්තන එක හොඳයි කියලා හිතෙනවා...
Deleteමේ ගේ ඇත්තට ම හොඳයි. දැන් ගොඩක් අය වෙන රටවල් ඉඳන් සංචාර වලට ආවහම පුරාණ අගයක් තියන තැන්වල නතර වෙනවා. ඒ බඩු භාණ්ඩ එක්කම. එහෙම සංචාරකයන්ට කුලියට දෙන්න පුළුවන්.
Deleteමචෝ.. අර පරන ගේ ඉස්සරහා බීටලේ තියන අන්තිම පොටෝ එක Black & White කරපන්..
ReplyDeleteමුළු පෝස්ට් එකම එතන තියෙයි..
දුටු සැණින් එසැණින් කළෙමි...
Deleteහම්මේ තියන ගතිය... ටොපටම ඇවිල්ල බං.
Deleteස්තූතියි. :)
Deleteඅයියා....මෙන්න...
ReplyDeletehttp://riyasewana.com/buy/other-hillman-minx-sale-gampaha-450872
ස්තූතියි අසංක...
Deleteනියමයි නියමයි
ReplyDeleteස්තූතියි සමන්...
Deleteඔයවගේ පරන ගෙයක් අපේ ගමේ වෙද මහත්තයෙකුට තිබුනා,ඒක සොල්දර ගෙයක්.ඔය වහලේ බාල්ක පවා යතු ගාලා මට්ටම් කරලයි තිබුනේ මොකද ඒ කාලේ සිවිලිම් නෑ නමුත් දැන් ඔය අලුතෙන් කරන උලු වලට යටින් ලෑලි ගහන ක්‍රම්යේ සිවිලිමක් තිබුන නිසා.වඩිම්බු ලෑලි සේරම කැටයම් කපලා.දොරවල් ජනේල් සේරම එලියට ලස්සන පනේල තියන පියනක් සහ ඇතුලට වීදුරු දාපු පියනක් සහිත ඒවා.දැන් වගේ ජනෙල් වලට ග්‍රිල් නෑ පිත්තල පොලු දාලා පොලිශ් කරලා.දරුවෝ කසාද බැඳලා ගියාට පස්සේ ගේ පාලුවට ගියා.එකම පුතත් ගම්පහ පැත්තෙන් බැඳලා එහෙටම වුනා.පස්සේ ගේ සහ ඉඩම වික්කා.ගමේම මුදලාලි කෙනෙක් අරගත්ත එයාට බිඩිමක් ගහන්න.මිනිහා මුලු ගේම බොහොම පරිස්සමින් කෑලි ගලවලා බිත්ති බැඳලා තිබුන කබොක් ගලේ ඉඳලා විකුනුවා.
ReplyDeleteපළවෙනිවාක්‍යය දකිනකොටම මට හිතුණා දුක හිතෙන කතාවක් තමයි කියලා. බොහොම ස්තූතියි...
Deleteමමත් මේ ළඟදි බෝතලේ ගියා තාත්තගේ මහ ගෙවල් බලන්න.. උඹලෑ මහ ගේ හොඳයි.. අරක දැකලා මට ඇඩුන්නැති ටික විතරයි....මුලු ගේම කැලෑවෙන් වැහිලා...මොනතරම් සුන්දර ළමා මතකයන් තිබුන තැනක්ද කියලා මතක් වෙද්දි පපුවා හෝස් ගාලා යනවා.. ෆොටෝ කෑලී දෙක තුනක් අරන් ආවා.. ඒත් ඒවා බලන්නවත් හිතෙන්නෑ.. අවාසනාවකට උඹට වගේ මට හිහ හදාගන්න බීටල් එකක් නෑ... කාලය මැවු වෙනසක අරුමේ !
ReplyDeleteබ්ලොග් එකෙන් වගේම ෆේස්බුක් එකෙනුත් එන ප්‍රතිචාර දැක්කම මට හිතෙන්නේ මම සෑහෙන සංවේදී කතා ගොඩක් ඇවිස්සුවා කියලයි සෙන්නා...!
Deleteගියර් එකක් මාරු කරද්දී සහ ටික ටික වේගේ වැඩිකරද්දී බීට්ල් එක මුමුණන එක එක රාග තාල වල සතුට මල්ටිෆන්ෂන් ස්ටියරින් වීල් වල ප්ලාස්ටික් බොත්තං ඔබලා ගන්න බෑ...
ReplyDeleteමුල්ම ෆොටෝ එකයි, පෝස්ට් එකේ මුල්ම වචන කීපයයි දැක්ක හැටිය මට මතක් උනෙ එලිපන්ට් හවුස් ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක.
ReplyDeletehttps://www.youtube.com/watch?v=b19px-0QBtE
ඔය වගේ ගෙවල් රෙපෙයාර් කරන්න ගියොත් ලොකු ගානක් වියදම් කරන්න වෙනව. කරනවනං නියම විදියටම කරන්න ඕන. බාගෙට කරල හරියන්නෙ නෑ. ඒ හින්ද ගොඩ දෙනෙක් කරන්නෙ කඩල දාන එක තමයි.
ප්‍රසන්න අයියගේ කමෙන්ට් එක නැතුවම නිකං පෝස්ට් එක සම්පූර්ණ නෑ වගේ.. :)
Deleteමටත් ඔය ඇඩ් එක කොහෙට හරි ගාවන අදහසක් තිබ්බා, නමුත් ඔයා කියනකල්ම මේකට ඒක ගාවන්න තිබුණා නේද කියන එක මතක් වුණේ නැහැ...
ප.ම හරි. ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එක මාර ගති.
ReplyDeleteමගේ ගාව 4DR5 එකක් හදල හැඩට තිබ්බ. කොහෙද, අවුරුද්දක් පැද්දෙ නෑ, රට ආව. දැන් ඒ සේරම හීන. ආයි නාකිවෙලා මොන ජීප්ද?
බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකේ අදහස සම්බන්ධ සම්පූර්ණ ගෞරවේ යන්න ඕනේ පත්තර මල්ලිට. එයා තමයි මට කිව්වේ අන්තිම ෆොටෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් කළොත් හොඳයි කියලා...
Delete4DR5 එක ගැන ඇහුවම නම් දුක හිතුණා...
බොහොම අපූරු ලිපියක්....හිත කම්පාවෙන විදිහට වචන පෙළගස්වා තියෙනවා..ස්තූතියි තරිඳු!
ReplyDeleteස්තූතියි රවී...
Deleteඅපූරුවට ලියල තියනවා.ගොඩක් දුක හිතුනා. අපි පොඩි කාලෙ සෙල්ලම් කරපු විදියට දැන් ඉන්න දරුවන්ට එහෙම කරන්න හිතන්නවත් වෙලාවක් නෑ. කතාව කියෙව්වම නිකම්ම අතීතෙට ගිය කියල හිතුන. නරකද කතා ටික එකතු කරල පොතක් ලිව්වොත්? එක හුස්මට කියවන්න පුලුව්න් නෙ. ජය වේවා!
ReplyDeleteස්තූතියි හසිත. ඇත්තටම ඒ පොතක් කරන්න කියලා ගොඩක් යෝජනා එමින් තියනවා. තව ටිකක් ලිපි එකතු වුණාම වැඩක් කරන්න පොඩි අදහසක් තියනවා. ස්තූතියි...
Deleteකාර් පිස්සුව ගැන ලියුවට ඇත්තටම මේ බ්ලොගය නං ලියලා තියෙන්නෙ මහ ගෙදර ගැන. මමත් පුද්ගලිකව මේ වගේ පරණ ගෙවල්වලට කැමතියි. (බූත බංගලාවලට) මේ වගේම නොවුනත් 60 දශකයෙ හදපු අපේ මහ ගෙදර අපි විකුණලා දැම්මා. දැන් ඒක කඩලා අලුත් ගෙවල් හදනවා. එතන අතහැර එන්න වුනු අන්තිම දවස් කීපයෙදි හිතට දැනුනු දුක වචනවලින් කියන්න බැහැ. මට හිතුනෙ ගේ අතහැරලා යන්න කලින් මැරෙන එක හොදයි කියලා. ඒක නිසා මට තරිදුගෙ හිතේ අමාරුව තේරුම් ගන්න පුලුවන්.
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි ප්‍රදීප්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට මතක් උනේ මගේ තාත්තාව. තාත්තා CTB එකේ හිටපු මිකැනික් කෙනෙක්. දවසක් තාත්තා යාලුවෙකුගේ FORD ESCORT එකක කාර්බ් එකක වැඩක් කලා. මටත් පුංචි කාලේ ඉදලම රථගාය ඉහටත් උඩින් තිබ්බ හින්ද මාත් ඉතින් තාත්තගේ පස්සේ යනවා. එතකොට මට යන්තම් 14 ක් , කොහොම හරි ඉතින් driving seat එකේ ඉදගෙන හිටියත් ඇති. වැඩේ ඉවරවෙලා තාත්ත මට කිව්වා හා එහෙනම් ස්ටාර්ට් කරන්න කියල. CTB බස් එකේ දවසට පැය එකහමාරක් දෙකක් ඉදගෙන ගිහින්ම මට driver කරන දේ කටපාඩම්. කොහොම හරි ඒ දවස්වල නියුට්‍රල් ගැන දන්නේ නෑ. කියපු ගමන් මමත් යතුර කැරකුවේ නිකන් රේස් පදින්න කාර් එකට නගපු ඩිලන්ත මල්ලි වගේ .. ඒ තරම් සතුටුයි, හැබැයි තත්පරයයි. මෙන්න යකෝ escort එක ඉස්සරහ තියෙන මල් පෝච්චි බිදගෙන ඉස්සරහට යනවා. කොහෙන්දෝ හිතිලා මැද එක පෑගුවා, ඒක brake කියල අර බැටරි පෙට්ටි අත්දැකීමෙන් දැනන් හිටිය. යන්තම් ලොකු අවුලක් නැතුව බේරුනා. අපේ පුංචි කාලේ හරි සුන්දරයි මල්ලි, සල්ලි නොතිබුනාට අපි ජිවිතේ ඇති පදම් වින්දා. උබට ස්තුතියි, අමගේ අතීතයට ආයෙම අරන් ගියාට.
ReplyDeleteඅයියගේ බ්ලොග් එක මුල ඉදන්ම කියවගෙන එන ගමන් මේ! ඔය කියන්නෙ දඩගමුව හරියෙද? වේයන්ගොඩ පැත්තෙ ආයෙ ආවොත් කතා කරන්න, මගෙ ලේසර් එකත් එක්ක ෂූට් එකක් කරන්න.
ReplyDeleteMachan, Lassanata Liyala thiyennawa... Great
ReplyDelete