Sunday, May 15, 2016

9 ශ්‍රී බීට්ල් එකේ එන්ජිම හදපු හැටි



මගේ 9 ශ්‍රී බීට්ල් ප්‍රොජෙක්ට් එකේ බොඩි වර්ක් පින්තූර ටිකක් මම කලින් පෝස්ට් එකේ දැම්මා. එන්ජිම ගැනත් කට්ටිය ටිකක් උනන්දු වෙන බවක් පෙනුණු නිසා දැන් එන්ජිමේ ෆොටෝ ටිකකුත් දාන්න හිතුවා.

ආයෙත් කියනවා. මේක standard single manifold single carb 1600 එන්ජිමක්. අනික තමයි මේකේ තියෙන්නේ ජපන් ඕල්ටනේටරයක්. ඒක ළඟදීම ඔරිජිනල් එකකට මාරු වේවි. ඒ වගේම මම දැනට මෂ්රූම් එයා ෆිල්ටර් එකක් තියලා තියෙන්නේ. ළඟදීම ක්‍රෝම් එකක් ගෙනත් තියන්න හිතන් ඉන්නවා.එන්ජින් එක හැදුවේ බොඩි වර්ක්වලට කලින්. ඒ නිසා පාට තියෙන්නේ කලින් තිබුණු, තනි කහපාට. පස්සේ තමයිමම Two Tone එකකට ගියේ.

එන්ජිම හදන්න හිතුවේ ඔයිල් ලීක් එකක් ආපු හින්දා. පරණ වාහනවල ඔයිල් ලීක් එන එක බොහොම සාමාන්‍ය දෙයක් වුණත් මේක VW Beetle Owners' Club එකේ වැඩසටහන්වලට ගෙනියන්න බලාපොරොත්තු වුණ නිසා හොඳට හදන්න මට වුවමනා වුණා. ගැලෙව්වට පස්සේ සිලින්ඩර් ටිකක් ගෙවිලා වගේ දැනුණා. නමුත් බෝර් කරනවා වෙනුවට සම්පූර්ණයෙන්ම අලුත් පිස්ටන් සිලින්ඩර් සෙට් එකක් තියන්න මම තීරණය කළා.






මම පිස්ටන් සිලින්ඩර් සෙට් එක ගත්තේ පංචිකාවත්තේ ගොල්ෆ් මෝටර්ස් එකෙන්. මට හොඳම ඩීල් එක දුන්නේ ඒ ගොල්ලෝ. ඒ වගේම බෙයාරින් ඇතුළු තවත් බඩු ගොඩකුත් මම එයාලගෙන් ගත්තා.









වැඩේ කරගෙන යද්දී අලුත් කාබ් එකක් තියන්නත් මට හිතුණා. මුලින් මගේ අතට ආවේ රීකන්ඩිෂන් කරපු Bocar 34 PICT එකක්. නමුත් ඒක මට එච්චරම ඇල්ලුවේ නැති නිසා මම Brand New Chinese කාබ් එකක් ගත්තා. (හැබැයි පස්සේ මට හිතුණා තිබිච්ච් Solex එකට ගහන්න වෙන එකක් නැහැ කියලා. එක 28 PICT II. ඇත්තටම ඒක එන්ජිමට මදි. ඒත් දැන් එන 34 එකටයි 31 එකටයි වඩා එදා ආපු 28 එක හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම ආපහු Solex එකම තිබ්බා).









මේ පල්ලෙහා තියෙන්නේ මම ගත්තු චයිනීස් කාබ් එක. ඒක 31 PICT.






බෙයාරින් ටිකත් සේරම අලුතින් ගැහුවා. ඒ ටික ඔක්කොම කළේ මගේ විශ්වාසවන්ත මිකැනික් දයානන්ද අයියා. ඉන්නේ පානදුරේ කිට්ටුව එගොඩඋයනේ...











අලුත් කොයිල් එකකුත් තිබ්බා.ඒක ගත්තේ තායිලන්තයෙන්. CM Performance කියන බ්‍රෑන්ඩ් එකේ. නමුත් ඒකට වඩා දැනට ලංකාවේ තියන ජැපනීස් කොයිල් එක හොඳයි කියලා පස්සේ හිතුණා. ඒ නිසා මම ජැපනීස් කොයිල් එකක් තිබ්බා.මේ තියෙන්නේ ඒ අලුත් කොයිල් එක.





මේ ටිකට අමතරව මම ප්ලග් වයර් සෙට් එකකුයි, අලුත් එයා ෆිල්ටර් එකකුයි, අලුත් කන්ඩෙන්සර් එකකුයි, ප්ලැටිනම් සෙට් එකකුයි තිබ්බා. පෙට්‍රල් ලයින් එක අලුතින් දැම්මා. මෂ්රූම් ෆිල්ටර් එකක් තිබ්බේ අත්හදා බැලීමක් විදිහට. ඒක ලස්සන වුණාට සාර්ථක නැහැ. ඒ නිසා ළඟදීම ක්‍රෝම් එකක් තියනවා.






මේ සේරම කරලා අපි එන්ජිම හයි කළා. එන්ජිම හයි කරපු එකේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ පරණ කොයිල් එකයි ෆිල්ටරෙයි. ඒවා මම මාරු කළේ ස්ටාර්ට් කළාට පස්සේ.






මේ තියෙන්නේ ස්ටාට් කරපු දවසේ පොඩි වීඩියෝ එකක්.


පාට්ස් ගත්තේ ගොල්ෆ් මෝටර්ස්, සුබසිංහ මෝටර්ස්, දර්ශන මෝටර්ස් සහ ගම්ලත් මෝටර්ස් කියන තැන්වලින්. ජේසන් මෝටර්ස් එකෙත් හොඳ පාට්ස් තියන බව නිකමට වගේ මතක් කරනවා. වැඩේ අවසන් අදියර වලදී සුබසිංහ මෝටර්ස් එක ගොඩක් උදවු කරපු බව කියන්නම ඕනේ.ඒ වගේම මොරටුව සින්දු මෝටර්ස් එකෙන් මට සුපිරි Bosh rotor එකක් දුන්නා.

මේ ඔක්කොම දැම්මේ ඔයාලට ෆොක්ස්වැගන් එන්ජින් එකක් හදනවා නම්, බඩු තියනවා, බයවෙන්න එපා කියන්නයි. වියදම් නම් ටිකක් යනවා තමයි. හැබැයි කරනවා නම් බඩු තියනවා. හරියට හැදුවොත් ජීවිතේ එන්ජෝයි කරන්න මේ වගේ දෙයක් තවත් නැහැ!




Monday, May 9, 2016

මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක


ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.

මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. මම මේක ගත්තේ මීට කලින් මේක අවුරුදු 6 ක් තමන්ගේ ප්‍රධාන වාහනය හැටියට පාවිච්චි කරපු කෙනෙක්ගෙන්. වාහනේ තියෙන්නේ ඔරිජිනල් එන්ජිම සහ චැසිය. ගන්නකොට ගැටලුවකට තිබුණේ පේන්ට් එක සැලකිය යුතු දුරකට අප්සට් වෙලා තිබීම විතරයි. නමුත් ටිකක් කල් දුවනකොට වාහනේ තෙල් ලීක් එකක් ආවා. එතකොටත් අපි වාහනේට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණු නිසා අපි එන්ජිම overhaul කරන්න තීරණය කළා. එන්ජිමට අවශ්‍ය සියලුම කොටස් ගත්තේ ලංකාවෙන්. හොයාගන්න කිසිම ගැටලුවක් වුණේ නැහැ. අලුත්ම අලුත් 1600 පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් එක්ක සියලුම දේවල් අලුතින් දාලා අපි එන්ජිම හැදුවා. ඊට පස්සේ වෙනස් විදිහේ two tone පේන්ට් එකකට ගියා.

පල්ලෙහා තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර කීපයක්. එන්ජිම හදන ඒවා ගැන කවුරුවත් එච්චරම උනන්දුවක් නැති නිසා පේන්ට් එකේ පින්තූර විතරයි දාන්නේ.















































Thursday, May 5, 2016

අතීතය සිහිනයක් පමණයි පෙට්‍රල් සුවඳක් නෑ... 



කාර් පිස්සෙක් හැටියට මම අත්විඳින සුන්දරම අත්දැකීමක් තමයි මගේ වාහනේ ළඟට ඇවිත් වයසක අංකල්ලා තමන් අතීතයේ පැදපු වාහන ගැන ආසාවෙන් (සහ දුකෙන්) සිහිපත් කරන එක. ඔබ ඇත්තම ක්ලැසික් කාර් පිස්සෙක් නම් සහ ඔබ ඔබේ වාහනේ නිතර එළියට අරන් යනවා නම්, මේක නිතරම අත්දකින්නට පුළුවන්. මම මගේ ප්‍රධාන වාහනේ හැටියට පාවිච්චි කරන්නේ 1973 ෆොක්ස්වැගන් එකක්. ඒ නිසා මම මේක නිතර අත්දකිනවා.

මේ අතරින් ගොඩක් දෙනෙකුට තවදුරටත් පරණ වාහන එළවන්නට හැකියාවක් නැහැ. ලංකාවේ පරණ වාහන නඩත්තු කිරීම සාමාන්‍යයෙන් දුර්වල නිසා දැන් මේවා එළවන්න විශාල වීරියක් ගන්නට වෙනවා. විශේෂයෙන්ම 1970 ට කලින් වාහන ගත්තොත්, ගියර් දාන්න සහ හරවන්න නම් ජිම් ගිහින් එන්න වෙන වෙලාවල් තියනවා. මේ නිසා දියුණු රටවල අයට වගේ මේ අයට තමන් අතීතයේ පාවිච්චි කරපු වාහන ආපහු පාවිච්චි කරලා අතීතයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ අයගේ කතා නැවත නැවත කීම නිසා එයාලටම නොදැනී මේ කතාවලට අද්භූත දේවලුත් එකතු වෙලා. උදාහරණයක් හැටියට මගේ ලොකු තාත්තා නිතර කියන දෙයක් තමයි කන්දක් අදිද්දී තමන්ගේ හිල්මන් මින්ක්ස් කාර් එකේ ක්‍රෑන්ක් එක කඩලා ගිය බව. නමුත් මොකක් හරි ක්‍රමයකට එයාට ඒක ගෙදරට එනකල් එලවන එන්න පුළුවන් වෙලා තියනවා. අපි කවුරුවත් මේකේ තාක්ෂණික පැත්ත ගැන තර්ක කරන්න යන්නේ නැහැ.

නමුත් මේ වගේ දේවල්වල සමහර වෙලාවට ඇත්තකුත් තියෙන්න පුළුවන්. එක වතාවක් මට මගදී හම්බවුණු අන්කල් කෙනෙක් කිව්වා ෆොක්ස්වැගන් ගැන කතාවක්. වතාවක් කොහෙද දුර ගමනක් යද්දී එයාගේ ෆොක්ස්වැගන් බීට්ල් එක ගිනි අරන්. නමුත් එයා ඒක ගිනිගන්න බව දැනගෙන තියෙන්නේ ගොඩක් වෙලාවකට පස්සේ. කරන්න දෙයක් නැතුව එයා ඒක ගඟක් ළඟටම එළවන් ගිහින් ගින්න තනියම නිවාගත්තලු. ඊට පස්සේ ජිල්මාට් එකක් දාලා පෙට්‍රල් ලයින් එක ආපහු හදාගෙන ගරාජ් එකක් හොයාගෙන වාහනේ එළවගෙන ගියාලු.

එදා මම මේ කතාවට හිනාවුණා. නමුත් දවසක් මගේ ෆොක්ස්වැගන්එක ගිනිගත්තාමයි මට ඇත්ත තේරුණේ. එක්තරා රෙපයාර් එකකට පස්සේ මට පෙට්‍රල් ලයින් එක චෙක් කරන්න අමතක වුණා. ලයින් එක තුවාල වෙලා තිබිලා ඩිස්ට්‍රිබියුටර් එක උඩට පෙට්‍රල් වැටිලා කාර් එක ගිනිගත්තා. කාර් එක ගිනිගන්න බව මම දැනගත්තේ ටික දුරක් ගිහින් නවත්තලා කන්නාඩියෙන් පිටිපස්ස බලපු වෙලාවේ. වටේ හිටපු අය එකතු වෙලා වහාම ගින්න නිව්වා. නමුත් වැඩේ ඒක නෙවෙයි. මගේ මිකැනික් වාහනේ ඇතුළට දැම්මේ ස්ටාට් කරලා. අපිට කරන්න වුණේ එයාර් ක්ලීනර් එකයි, පෙට්‍රල් ලයින් එකයි මාරු කරන එක විතරයි (වැඩි පරිස්සමට මම කන්ඩෙන්සර් එකයි ප්ලැටිනම් සෙට් එකයි මාරු කළා).

වැඩේ මේකයි. පරණ වාහන හදලා තියෙන්නේ දුවන්න මිසක් ගන්න එකාට පුළුවන් තරම් ඉක්මනට තව එකක් ගන්න ගේම සෙට් කරන්න නෙවෙයි. අද එන වාහන ජරාවල් කියලා අපි කියන්නේ නිකං අතීත කාමය නිසාම නෙවෙයි කියලා මට දැන් තේරෙනවා. ඒ නිසා ඉස්සර වගේ පුළුවන් තරම් ඉක්මනට කතාව නවත්තලා පනින්න බලන්නේ නැතුව මම ඒ අංකල්ලා එක්ක දිගට කතා කරනවා.

කවදාහරි දවසක අපිත් ඊළඟ පරම්පරාවකට ඔහොම කතා කියාවි. උනුත් වාහන නවත්තන් අහන් හිටියොත් මට එච්චරයි!

Sunday, May 1, 2016

ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් 10 කරන්න         එපා....

 

මම නිතර පරණ වාහන එළවන කෙනෙක් නිසා ඇත්තටම ක්ලැසික් කාර් ගැන උනන්දු අය මගෙන් නිතර අහන දෙයක් තමයි ඉස්සරලාම පරණ වාහනයක් ගත්තම කරන්න ඕනේ මොනවාද කියන එක. මම මොන උපදෙස දුන්නත් සාමාන්‍යයෙන් වෙන්නේ එයාලා ඒවා බල්ලට දාලා වාහනේ පාරට දාන එකයි. ඒ නිසා මම කරන්න ඕනේ මොනවාද කියන එක වෙනුවට නොකර ඉන්න ඕනේ මොනවාද කියන එක හිතලා දේවල් 10 ක ලැයිස්තුවක් හැදුවා මීට ටික කාලෙකට කලින්. මේක මගේ යාලුවෝ අතර ටිකක් ජනප්‍රිය වුණු නිසා බ්ලොග් එකටත් දාන්න හිතුවා.
මගේ අනික් පෝස්ට් වගේම මේවත් සයන්ටිෆික් හරි ටෙක්නිකල් හරි දේවල් නෙමෙයි. මේක අවුරුදු 10 ක් විතර ක්ලැසික් කාර් පැදලා පත්තියන් වෙච්චි කෙනෙක්ගේ ෆීලින්ස්.  

1. ක්ලච් බැලන්ස් එක ගැන ඕනාවට වඩා හිතන්න                                                                 එපා.
2. ස්ටියරින් ඇඟට වදිනකල් හාඩ් කෝනරින් කරන්න යන්න                                                 එපා.
3. රිම් ටික දිරලා නෑ කියලා විස්වාස නැත්තං වාහනේ පාරට දාන්න                                        එපා.
4. ඉස්සරහ යන වාහනේට මූණ හේත්තු කරන්න                                                                   එපා.
5. බ්‍රේක් ඕනාවට වඩා විස්වාස කරන්න                                                                                 එපා.  
6. ස්පීඩෝ එක සත පහකට විස්වාස කරන්න                                                                         එපා.
7. පෙට්‍රල් සුවඳ ගණන් නොගෙන ඉන්න                                                                               එපා.
8. රිංගන්න යන්න                                                                                                               එපා.
9. බැටරි, ටයර් ෂුවර් නැත්නම් දුවන්න                                                                                  එපා.
10. වාහනේ ගැන හරියටම දන්නේ නැත්නම් නිවාඩු දවස්වල පාරට දාන්න                            එපා.

මම කියන දේවල් ෂුවර් නැත්නම් ක්ලැසික් කාර් එකක් තියන යාළුවෙක්ගෙන් අහන්න. ඌට නිකන් Déjà vu වගේ දැනෙයි.