Saturday, May 15, 2021

පන්දාස් තුන්සිය තිස් තුනට මොකද වුණේ?

 

පස්යාලේ ෂෙඩ් එකේ ඉඳලා වාහනේ පාරට ගත්තම තමයි ඇත්තටම තේරුණේ, කොරෝනාව ලෝකේ කොච්චර දුරකට වෙනස් කරලද කියන එක!

දවස දෙදාස් විස්සේ නොවැම්බර් විසි තුන. වෙනදට මාරි පැකට් එකේ මාරි ඇහිරුවා වගේ හොම්බට පු* වාහන පැක් වෙන නුවර පාර එදා ඇඳිරි නීතිය දාන්න කලින් දවසේ රෑ කීල්ස් එකේ රාක්කයක් වගේ හිස්. බස් හෝල්ට් වල, අනාගතේ අඳුරින් සරුවාංගේ වැහිලා ගිය, කෙට්ටු වෙමින් තියෙන මූණු වලින් වැඩකට නැති රෙදි මාස්ක් පහළට රූටමින් තියන, මීටරේක දුරකින් ඒත් කිලෝමීටරේක බයකින් ඉන්න මිනිස්සු. ඒ බස් හෝල්ට් වලට නොදුරු-නොළං දුරවල් වල නවත්තගෙන, මඳ මඳ රූං රූං හඬින් හඬන ලේලන්ඩ් බස්. විස්සට තිබ්බ විට පනහට ගිය එක ගැන විස්සෝප වෙන කොන්දොස්තරලා. උන්ට සැනසිල්ලට වචනයක් කියන, ලොතරැයි කඩවල ඉඳන් තමන්ට වඩා වේගෙන් ලෝකය වයසට යනවා බලං ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. පරණ කඩවල් වැහිලා ගියාට පස්සේ ඇරිච්චි අලුත් කඩවල් පාලුවට යන්න කලින් ආයාසෙන් පාලු කපන නේක වර්ණ බල්ලෝ. 

මට එකපාරටම ගිල්ටි හැඟීමක් දැනෙන්න ගත්තා. 

"ඇයි අපි මේ වගේ ලෝකෙකට තව එකෙක්ව ගේන්නේ?"

ඒත්, වෙනස් වුණු පන්දාස් තුන්සිය තිස් තුනේ එන්ජිමෙන් ආපු විසිල් එකත් එක්ක, ඒ ගිල්ටි හැඟීම හුළඟෙ ගහගෙන ගියා. ඒත් එක්ක මම හිතන්න ගත්තා පන්දාස් තුන්සිය තිස් තුන සහ මම එකිනෙකා එක්කක ගනුදෙනු කරපු හැටි ගැන. අපි කීයක් අත්හදා බැලීම් කළාද! කොච්චර දුරක් ගියාද! කීයක් දේවල් වෙනස් කළාද! කීයක් දේවල් අපිව වෙනස් කළාද!

කාර් එකක් කියන්නේ හරි කෙනා අතට ගියොත් දෛවයක්. වැරදි කෙනා අතට ගියොත් ඉරණමක්!




හයිවේ එකේ toll booth එකට ආවම මට ආයෙත් ජීවිතේ වෙනස් වීම ගැන දැනෙන්න ගත්තා. වෙනදට ටිකට් අරං කෙළින්ම පර්ස් එකේ ඔබාගෙන, exit එක එනකොට පන්සීයේ කොළයක් එක්ක එළියට ගන්නේ කෞශි. අද මම තනියම. කෞශි හිටපු තත්වේ අනුව එයාට මේ ගමන එන්න ලැබුණේ නෑ. මම ඉතින් කාටුන් පූසෙක් කාටුන් මීයෙක් අල්ලන්න දඟලන තරම් කාටුන් අමාරුවකින් ටිකට් එක පොකට් එකේ ඔබාගෙන වාහනේ හයිවේ එකට දැම්මා.

වෙනස තේරුණේ පැඩ්ල් එකට හායි මචං කියන ඉක්මනට වාහනේ පැයට කිලෝමීටර් සීයට ආවම. මම හෝව් මචං කියල පොඩ්ඩක් ස්ලෝ කළා. සාමාන්‍යයෙන් මම කැමති අනූවයි සීයයි අතර යන්න. සීය ටාගට් කළොත් අපි දන්නෙම නැතුව එකසිය විස්සට යනවා. ලංකාව වගේ රටක, වැඩිය දියුණු තාක්ෂණයක් නැති වාහනේක එකසිය විස්සට යනවා කියන්නේ අන්නාසි වත්තක බල්ටි ගැහිල්ලක් කියල තේරුම් ගන්න තරමට මම දැන් වයසයි. අනික මම මේ පන්දාස් තුන්සිය තිස් තුන ඩ්‍රයිව් කරන්නේ මාස ගාණකට පස්සේ. 

පළවෙනි කොරෝනා වටයේ ලොක්ඩවුන් එක්ක අපට මුලින් ටාගට් කරපු කාලේ වාහනේ වැඩ ඉවර කරන්න බැරි වුණා. ඒ මාස කීපයේ අපේ ගමන් සගයා වුණේ අපේ ඔස්ටින් මිනි එක. ඒත් මිනි එකේ දඟකාරකම් විඳින අතරම, බීට්ල් එකේ තැන්පත් පරිණතකම නැති අඩුව අපට නොසෑහෙන්න දැනුණු වෙලාවල් තිබුණා.





අපි පන්දාස් තුන්සිය තිස් තුන තව හැඩ කරලා ගන්න තීරණය කළේ ලංකාව පුරා යන සංචාර කීපයක් හිතේ තියාගෙන. ඒත් ඒ ප්ලෑන් ඔක්කොම වසංගතේ නිසා වහංගත වෙලා ගියේ, බෙංගාල බොක්කට මලපැන්න වෙලාවක අතමානේ හිටපු සරුංගල් ගැන්සියක් ගාණට. ප්ලෑන් ෆ්ලකෑෂ් වෙන සමහර වෙලාවට ජීවිතේ ඇතුළේ ඇතිවෙන හිස්තැන් දරාගන්න අමාරුයි. 

එහෙම දරාගන්න අමාරු වෙලා හිටපු වෙලාවක තමයි අපේ ජීවිතේට අලුත් අමුත්තෙක් එකතු වෙන්න එනවා කියල දැනගන්න ලැබුණේ. ඉතින් අපි තීරණය කළා එයාගේ පැමිණීම වෙනුවෙන් පන්දාස් තුන්සිය තිස්තුනේ අලුත් වෙනස කැපකරන්න.

අපි කරපු වෙනස්කම් වලින් කීපයක් මෙහෙම ලියන්නම්. 

1. පාට වෙනස් කළා. ටූ-ටෝන් පේන්ට් එක වෙනුවට මේ පාර තනි පාටකට යන්න හිතුවා. අපි අන්තිමට තෝරගත්තේ බැංකොක් වල කාර් එකක තිබ්බ කොළ පාටකට සමාන කොළ පාටක්. තරිඳු මල්ලි ඒ පාට මැච් කළා. 

2. ඉන්ටීරියර් සම්පූර්ණයෙන්ම අලුත් කළා. 

3. වීල් සෙට් එක තිබුණේ ස්පේසර් ගහලා දාපු ජපන් සෙට් එකක්. ඒ වෙනුවට ඔරිජිනල් VW ඇලෝයි වීල් සෙට් එකක් දැම්මා. 

4. අලුත්ම ටයර් සෙට් එකක් දැම්මා. 

5. ස්ටියරින් බොක්ස් එක අලුතින් තිබ්බා. 

6. එන්ජින් එක සම්පූර්ණයෙන්ම චෙක් කළා. පැත්තකින් එල්ලලා තිබුණු ජපන් ඕල්ටනේටර් එක වෙනුවට ඔරිජිනල් එකක් තිබ්බා. අලුත්ම බැටරියකුත් දැම්මා. 

7. බීඩින් සෙට් එකක් අලුතින් දැම්මා. 

8. බඳේ නිකල් පටි සෙට් එක අලුතින් දැම්මා. 

9. බ්රේක් සිස්ටම් එක හැදුවා. 

10. සයිලන්සර් එකේ සීරුමාරු වැඩ ටික කරලා, අලුත් Exhaust fittings kit එකක් එක්ක සයිලන්සර් බට අලුතින් දැම්මා. සයිලන්සර් එක කොහොමත් මම මාස කීපයකට කලින් අලුතින් තියල තිබ්බේ. 

ඔන්න ඔහොම තව වැඩ ගොඩක් කළා. 



මට හොඳට මතකයි, road trips සහ Beetle Owners' Club එකේ events වලට වඩා හාත්පසින්ම වෙනස් අරමුණක් ටාගට් කරන්න වෙලා තියනවා කියන්න මම පස්යාල VW Repair Center එකේ තරිඳු මල්ලිට ගත්තු කෝල් එක.

"මල්ලි. ප්ලෑන් ටික වෙනස් වෙනවා. කෞශි ප්‍රෙග්නන්ට්."

තරිඳුවා එක මොහොතක් ගත්තා උත්තර දෙන්න.

"අම්මට සිරි!" ඌ කිව්වා. "අයියේ අපි බීට්ල් එක හදලා පොඩි එක්කෙනාව ඒකෙ ගෙදර ගේමු!"

මම කියන්න හදපු එක මට කලින් තරිඳු කියල දැම්මේ එහෙමයි. කාර් පිස්සන්ගේ ඔළුගෙඩි වල කරන්ට් එක දුවන්නේ එකම රිද්මයකට! 

(පස්යාලේ සෙන්ටර් එක සහ තරිඳු ගැන දවසක වෙනම ලියන්නම්). 






ඒ මොහොතේ ඉඳන් අපි අපේ වැඩ කටයුතු ටික වේගවත් කළා. තරිඳු මල්ලි එයාගේ ෆුල් අවධානය පන්දාස් තුන්සිය තිස් තුනට යොමුකළා. කවදත් අපට හැකි උපරිමයෙන් සප් එක දෙන Lanka Automobiles එකේ ජයකුමාර් අවශ්‍ය පාට්ස් ටික ටක් ටක් ගාලා සැපයුවා. තරිඳුගේ පැත්තෙන් සපයාගන්න අවශ්‍ය වුණු පාට්ස් ටික වෙලාවට කලාවට ආවා. ඉන්ටීරියර් ටික මට ෆොටෝ බලං උඩ පනින්න පුළුවන් වෙන තත්වෙට කෙරුණා. 

මේ ක්‍රියාවලිය පුරාම මට මැදිහත් වෙන්න වුණේ සීමිතව. මොකද කෞශි ඇතුළුව පවුලේ හැමෝගෙම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න වෙලා තිබුණු නිසා. ඒ තත්වය තේරුම් අරගෙන, පස්යාලේ තරිඳු ඇතුළුව, පන්දාස් තුන්සිය තිස් තුනේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු හැමෝම තමන්ගේ උපරිමය ඒකට කැපකළා.


පස්යාලේ තරිඳු සහ එයාගේ VW Repair Center එක


අන්තිමට නොවැම්බර් විසි තුන්වෙනිදා පස්යාලේ ගිහින්, වෙනස් වෙච්චි කාර් එක ඉස්සරලාම හැබැහින් දැකපු වෙලාවේ මට දැනුණේ, මෙච්චර කල් ෆොටෝ වලින් විතරක් දැක්ක Gal Gadot ව ඇත්තටම දැක්කා වගේ. ඒ හැඟීම ඩබල් වුණේ, කාර් එක ගෙදර ගෙනැල්ලා නවත්තපු වෙලාවේ කෞශි කියපු දේත් එක්ක.

"මට දැන් ඉවසිල්ලක් නෑ පොඩි එක්කෙනාව මේකේ එක්කං එනකල්!"

අපි දෙන්නා ඒ වෙලාවේ ඉඳන් පැයක් විතර කතා කළා අපේ කාර් ඉතිහාසය ගැන. ලාන්සර් බොක්ස් එකකින් පටන් අරං, හැටේ බීට්ල් එකක්, පනස් හතරේ මයිනර් එකක්, හැත්තෑ තුනේ බීට්ල් එකක් සහ හැට එකේ ඔස්ටින් මිනි එකක් හරහා අපි ගෙවපු ජීවිතේ ගැන. ඉස්සරහට කොච්චර දේවල් වෙනස් වේවිද කියන එක. සමහර විට කිසි දෙයක් වෙනස් නොවෙන්නත් ඉඩ තියනවා කියන එක. ඒත් වැඩි ඉඩක් තියෙන්නේ බොහොමයක් දේවල් හිත රිද්දන තරමට වෙනස් වෙන්න කියන එක. 

අපේ තාත්තා ජීවතුන් අතර හිටියා නං කොච්චර සතුටු වෙයිද කියන එක.

අවුරුදු අටකට කලින් පන්දාස් තුන්සිය තිස් තුන ගන්න සල්ලි දුන්නේ තාත්තා. පොඩි එකෙක්ගේ මූණ බලන්න අපි කාටත් වඩා ආසාවෙන් හිටියේ තාත්තා. මගේ ක්ලැසික් කාර් කෙළියට සැරින් සැරේ මුක්කු ගැහුවෙත්, ඒ මුක්කු වලට උදලු පාර දුන්නෙත්, උදැල්ලට කැඩුණු මුක්කු ආයේ සෙට් කළෙත්, එහෙම සෙට් කරලා ආයෙත් උදලු පාර ගැහුවෙත් තාත්තා. ඒ කතාව මම වෙන තැනක ලියල තියනවා.


ගෙදර ගෙනාපු දවසට පහුවෙනිදා 





අන්තිමට අපි කතාව වෙනස් කළා. මොකද මනුස්ස සොබාවේ ගැන වැඩිදුර හිතන එක කඹයක් නැතුව ලෝකාන්තෙට බහිනවා වගේ වැඩක් නිසා. අපි ආයේ කාර් ගැන කතා කරන්න ගත්තා. අපි හැමදාමත් ගන්න ආසාවෙන් හිටපු, ඒත් ගන්න බැරිවුණු කාර් ගැන. සමහර විට කවදාවත් ගන්න බැරි වේවි කියල හිතෙන කාර් ගැන. ඒ වගේම, අද බැරි වේවි කියල හිතුණත්, හෙට ගන්න ලැබෙන්න ඉඩ තියන කාර් ගැන.  




එදා රෑ නිදාගන්න කලින් මම ආයෙත් පාරක් ගරාජ් එකට ඇවිත් පන්දාස් තුන්සිය තිස් තුන දිහා බලාගෙන කල්පනා කළා. පාරේ ලයිට් කණුවෙන් විහිදිච්චි සුදු පාට එළිය මේ අලුත් බැංකොක් කොළ පාට පුරා ඉහිරිලා යමින් තිබුණා, හරියට කොළ පාට ඇපල් කේක් එකක් උඩට හිතුමනාපෙට දාපු සුදු පාට අයිසිං පාරක් වගේ.

අර සිතිවිල්ල ආයෙත් මගේ ඔළුවට ආවා.

"කාර් එකක් කියන්නේ හරි කෙනා අතට ගියොත් දෛවයක්. වැරදි කෙනා අතට ගියොත් ඉරණමක්!"  

 

- තරිඳු ශ්‍රී ලොකුගමගේ

15/05/2021 

(මේකේ දෙවෙනි කොටස ඉක්මනට ලියන්න බලන්නම්. මට ඒක හරියට ෆෝකස් කරලා ලියන්න ඕනේ.)


මගේ නවකතා දෙක. ඔයිල් පැල්ලම තනිකරම කාර් කතාවක්. 






40 comments:

  1. පාළුවට තිබ්බ බ්ලොග් එකට ආයෙත් කතාවක් ඇවිල්ලා. සතුටුයි. බ්ලොග් එකක් කියවන එක වෙනම ආතල් එකක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි! ❤

      Delete
  2. ආස හිතෙනවා. ලස්සන කතාවක් ♥️

    ReplyDelete
  3. වාව් වාව්! කියන්න වචන නැත

    ReplyDelete
  4. අයියේ සතුටුයි ඉතිං..��������

    ReplyDelete
  5. රැට ඉස්තොප්පුවෙ බිම ඉදන් වාහනෙ දිහා බලන් මනොපාරක් ගහන එකට ගැලපෙන උපමාවක් මම තවම දන්නැ ❤️

    ReplyDelete
    Replies
    1. ඒ ආතල් එක අනුපමේයයි අනුක!

      Delete
  6. මේක කියෙව්වෙ දැං. මේ හුවාවි ගූගල් හබේ හින්දා ඇත්ත ප්‍රොපයිල් එකෙන් මේ කොමෙන්ට් එක වැටෙන එකක් නැහැ.
    ඇත්තෙන්ම පුතා නොහිටි කාලෙක නම් මේ තමයි උඹලට නිදහසේ රවුමක් යන්න තිබ්බ නියම කාලෙ මචං. මේක එක අතකින් මහා ආත්මාර්ථකාමී කියමනක්. නමුත් අපි දෙන්නා මේ මාරයො සහ යක්කු අඩු නිදහස් පාරවල්වලට කැමතියි. ඔයාටත් ඒ නිදහස ඇතුලෙ බීටල් එන්ජිම පිටිපස්සෙ ඉඳන් දෙන තල්ලුව හොඳට දැනෙයි කියල හිතෙනවා. මේ තියෙන අකර්මණ්‍ය කරපු ලංකාව ඇතුලෙ මොකක්දෝ නිස්කලංක බවක් තියෙනවා. ඒක A9 දිගේ kks පාර කෙලවර තල් ගස් අස්සෙ වැලි පාරවල්වල්, කයිට්ස් පාරෙ, ඌර්හාවත්තුරෙ, කුරිකඩ්ඩුවාන් රැලි පාරෙ, දකුණෙ ලුණුගම්වෙහෙරෙ, තිස්සමහාරාමෙ විතරක් නෙවෙයි නැගෙනහිර වාකරේ, පුනානි ඉඳං පොලොන්නරුවෙ ගිරිතලේ වැව් ඉවුරදිගේ ජාති බේද ආගම් බේද නැතුව පැතිරිලා ගිහිං. අපි දෙන්නා මේ අවුරුද්දේ මුල් මාස පහේ ට්‍රිප් තුනක් ගියා. විශේෂයෙන් උතුරෙ ගං අස්සෙ වැලි පාරවල්වල වගෙම කාපට් පාරෙත් යත්දි උඹව මතක්වුනා මචං. ඒ පාරවල්වලට ඔය ටයර් කට්ට හොඳට බදලා අල්ලයි කියලා හිතෙනවා.
    පහට දාලා ගෑස් ඩිංගක් පිම්බ ගමං සද්ද නොකර කට්ට අනූවට තියල හොරෙම්ම මාරුවෙන චීන සොටියට වඩා පොලව බදල අල්ලගෙන වටපිට බලාගෙන ලාවට විසිල් එකක් ගහගෙන යන ඉබ්බත් ඇරගෙන පාරට බහින්න ඉක්මනටම අවස්ථාව ලැබේවා, එදාටත් මේ තියෙන මාර්ග නිදහසම තිබේවා කියල ප්‍රාර්ථනා කරනවා මචං.
    මං යාංහෑල්ලෙ සුරංගෙයා....

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් තමන් ලියන ශෛලිය වෙනස් කරලා ප්‍රතිචාරයක් දානවා නං, ඒ කියන්නේ ඒ ප්‍රතිචාරය එන්නේ බොක්කේ පතුලෙන්ම කියන එක. ස්තූතියි සුරංග. දවසක මේවා ගැන උඹත් එක්ක දීර්ඝ කතාවක් දාන්න ආසාවක් තියනවා.

      Delete
  7. අනර්ගයි,ඔයිල් පැල්ලමට පස්සෙ කියවන්න කතාවක් නැතුව හිටියෙ..ඔයාගෙ කතාවල් කියවන එක වෙනම ආතල් එකක්.

    ReplyDelete
  8. ගොඩක් දවසකින් කතාවක් දාලා.දැක්ක ගමන් කියවගෙන ගියා ඉතින්😍 සන්තෝසයි

    ReplyDelete
  9. තාමත් සැබැ නොවුන හීනයක්..ඔයා ලියන රසට ඒ හීනෙට ආයේ අවදි වෙනවා... ජයවේවා ..හීන එලිවෙන දවසට උදව් කරන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි. ඉක්මනට හීනය හැබෑ වේවා! හැකි උපරිමයෙන් සහයෝගය දෙන්නම්.

      Delete
  10. තාමත් සැබැ නොවුන හීනයක්..ඔයා ලියන විදිහට ඒ හීනෙට අලුත් වෙනවා.ජයවේවා...හීන හැබැවෙන දවසට උදව් කරන්න

    ReplyDelete
  11. එළ..පොඩි හාදයටත් ආව ගමන්ම වාව් කියවෙන්ඩ භාණ්ඩෙ හදල තියනව..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි!

      Delete
  12. එකඟයි , මගේ කාරෙක මේ පාරත් හදා ගන්න බැරිවුනා. ලබන සැරේ තමයි. ඉතින් කෞශි ත් මේකටම හැඩ ගැහිලා කාර් පිස්සුව් ඇතිනේ හින්ද හොඳයි. පොඩ්ඩත් යයි ඒ පැත්තටම. සමහරවිට අලුත්ම වර්ගයේ කාර් හදන්න

    ReplyDelete
    Replies
    1. කොරෝනාවෙන් පස්සේ කාලෙක හොඳට සැලසුම් කරලා අයියගේ කාර් එක ගොඩදාන්න බලමු. මට ආසයි ඒක හොඳටම හැදෙනවා බලන්න.

      Delete
  13. නියමයි අයියේ නියමයි කාලෙකට පස්සේ ලියන්න හිතුන එක ලොකු දෙයක් ❤️

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි මල්ලි.

      Delete
  14. 9 ශ්‍රී කාණ්ඩයේ ආවේ මේ පැඩඩ් ස්ටියරින් වීල් එකද? මගේ පෞද්ගලික මතය බීට්ල් එකට රතු හෝ තැඹිලි පාටවල් අතර එකක් ගැළපෙනවා කියන එක. අවුරුදු තිහකට ඉස්සර එකක් රතු හා තැඹිලි අතර පාටකින් පේන්ට් කලා. හොඳට පොලිෂ් කරලා අව්වෙ තිබ්බහම ඒ දිහා බලන්නත් ටිකක් අමාරුයි. ූූූ

    ReplyDelete
    Replies
    1. 1. මගේ කාර් එක 1973. 73 ට ආවේ මේ ස්ටියරින් වීල් එක තමයි. 2. මට රතු බීට්ල් එකක් තිබ්බා. තැඹිලි පාට මට flashy වැඩියි. ඊට අමතරව මේ කාර් එකට කහ, කහ/කළු, සහ කොළ/සුදු සංයෝග අපි අත්හදා බලල තියනවා. වාහනයේ ලියාපදිංචි සහතිකයේ තියෙන්නේ කොළ පාට. ඕක වෙනස් කරන එක දුෂ්කර ක්‍රියාවක්. ඔරිජිනල්ම ආපු කොළ පාට turquois වලට හුරුයි. මට ඒකට ආසා හිතුණේ නෑ. ඒ වෙනුවට තමයි විශේෂයෙන් මේ පාට හැදුවේ.

      Delete
    2. ආයිමත් ෆොටෝ ටික බලනකොට දැක්ක දෙයක් නිසා අහන්නේ. පිටිපස්සේ නම්බර් ප්ලේට් එක ලීගල්ද? මට මතක හැටියට 1980 ගනන් වලදී පිටිපස්සේ නම්බර් ප්ලේට් එක කහපාට බැංකු ග්‍රවුන්ඩ් එකක් වෙන්න ඕනේ කියලා නීති වෙනස් කලා.

      Delete
  15. දෙවෙනි කොටසින් වියදම ගැනත් සඳහනක් කරන්න අයියේ...මගේ බීට්ල් එක මේ ටිකේ කොන් වෙලා ඉන්නේ...මේ කරදර ඉවර වෙද්දි වත් ඒක කලඑලි කරල ගන්න ඕනෙ...බ්ලොග් එකෙත් වල් උදුරලා සුද්ද කරල ගන්න.😊

    ReplyDelete
  16. අපි පොඩි කාලෙත් තිබුනෙ ෆෝක්ස්වාගන් බීට්ල් එකක්.
    EN 536 වගෙයි මතක

    ReplyDelete
    Replies
    1. Pra,

      අපේ පොදු මිතුරාගෙ (I mean the P.C.) පියාණන් සතුව තිබුනා වෝක්ස්වාගන් එකක් ඒ කාලෙ..4 ශ්‍රී වගේ මට මතක..පාට Milk white හෝ Off white...

      Delete
  17. Mage weel eketh watinakama wedi unada manda

    ReplyDelete
  18. අඩේ! මේක මරු!

    පහුගිය අගෝස්තුවේ අප්පච්චිගෙයි මගෙයි බීටල් පිස්සුව හොඳටම වැඩි වෙලා EN මහත්තයා කෙනෙක් ගෙදර ගෙනාවා. මේ කොරෝනා කරදරත් එක්ක තාම මගේ ඇස් දෙකෙන් දකින්න හම්බුනේ නෑ (මං මේ රටකට වෙලා කොටු වෙලා). මේ කරදර ඉවර වෙච්චි ගමං මටත් හදා කියා ගන්න ඕනි. අනිවා අයියාව කොන්ටෑක්ට් කරන්නං.

    ReplyDelete
  19. කාර් ගැන ගෙදර වෙන කථා, පස්යාලේ තරිඳුවා, ලංකා ඔටෝ මොබයිල් එක මේ ඔක්කොම කාර් එක පදින්න ආස කරන දේවල්. බීට්ල් එකක් කියන්නේ කාර් එකක් නෙවෙයි කියන්න මේ ලියැවිල්ල අපූරුයි.

    ඇත්තටම කාර් පිස්සෙක්ගේ හදවතේ රිද්ම රටා ගොඩ නගන්න පුළුවන් පරණ කාර් එහෙකට විතරයි.

    උබේ බ්ලොග් එක ආයේ පාරක් කියවනවා හැම පෝස්ට් එකක්ම. ඒක හරියට මුලින්ම ලව් කරපු කෙල්ලත් එක්ක පැයක් හමාරක් ආයේ කථා කරන්න ලැබුණා වගේ සුන්දරයි.එහෙම සුන්දරත්වයක් දෙන උඹේ ලියැවිලිවලට මං කවදත් ලෙංගතුයි.

    ReplyDelete
  20. පොතේ තියන පාට වෙන්ස් කර්න්න බැහැ කියලා අහලා තියනවා...දැන ගැනිම පිනිස ඇහැව්වේ...
    ලියවිල්ල නම් එල ද බ්‍රා

    ReplyDelete
  21. ++++++++++++++++++++++++++++++
    ++++++++++
    +++++++++++
    ++++++++++++++++++++++++

    ReplyDelete
  22. කාලෙකින් ආවෙ.... හම්මෝ කාර් පිස්සුව ඒක නම් හොද කරන්න අමාරුයි ❤️🤗

    ReplyDelete
  23. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "9. සංචාරේ සහ විනෝදාංශ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete