Tuesday, January 10, 2017

එපාවීම සහ බදාගැනීම (පළවෙනි ක්ලැසික් කාර් එක ගන්න කලින් කියවන්න)




මට හොඳට මතකයි ඉස්සරලාම බීට්ල් එකක් ඩ්‍රයිව් කරපු දවස... හොඳට කියන්නේ හොඳටම මතකයි... ප්‍රථම ප්‍රේමය අවසන් වුණු දවස වගේ මතකයි... ඉස්සරලාම රුවන්වැලි සෑය පාමුල ඉඳගත්තු ඒ දුර ඈත හැන්දෑව වගේ මතකයි... කොටින්ම ගියර් පැටලිලා දඟලද්දී අතටයි හිතටයි දැනුණු වේදනාව දැනුත් දැනෙන තරමට මතකයි.

හැබැයි ඉතාම අවංකව කිවුවොත්, ක්ලැසික් කාර් එකක් එක්ක ජීවත් වෙන්න ගත්තු මුල්ම දවස් කීපය එච්චර සුන්දර අත්දැකීමක් වුණේ නැහැ. දැන් හැරිලා බලනකොට ඒක පුදුමාකාර මිහිරක් වුණාට, එදා ඒක දැනුණේ පවුලේ හැමෝගෙන්ම සල්ලි එකතු කරලා ඒ සල්ලි ටික පානදුරේ අලුත් පාලම උඩ බිලීපිත්තෙන් මාළු අල්ලන එකෙකුගේ ඔළුවට උඩින් ගඟට ඌසික්කා කළා වගේ...

මම මේ කතාව ලියන්න පටන් ගන්නේ එක ප්‍රධාන හේතුවක් නිසා. පහුගිය කාලේ ඇතුළත කාර් පිස්සුව කියවපු සෑහෙන පිරිසක් හිත යට හැංගිලා තිබුණු කාර් පිස්සුව ඇවිස්සිලා ක්ලැසික් කාර් ගත්තා. මේ අය අතරින් බහුතරයක් අර මුල්කාලේ දැනෙන හැඟීම තාවකාලිකයි කියලා දැනගෙන සති දෙක තුනක් අල්ලං හිටියා. ඊට පස්සේ තමයි එයාලට තේරුණේ මම කියන මේ කාර් පිස්සුවෙ අනන්තාපරිමාණ විශ්වය කොච්චර සුන්දර තැනක්ද කියලා.

හැබැයි ඔය අතරින් එක්කෙනෙක් දෙනෙක් කාර් එක අරං අනික් පැත්තට දුන්නා. 'අනේ මං කරගත්තු දෙයක්' කියන එක නොකියා කිවුවා. කාර් එක දීගත්තට පස්සේ කාර් පිස්සුවෙනුත් අයින් වෙලා යන්න ගියා.

එයාලා කොහේ හරි ඇල්ටෝ එකක් හරි ස්විෆ්ට් එකක් හරි එක්ක ජීවත් වෙනවා ඇති. ඔහේ යන්නං වාලේ ගමන් ගිහිං එන්නං වාලේ එනවා ඇති. ඇල්ටෝ ස්විෆ්ට් පිරිච්චි පාරවල් වල එයාලගේ කාර් එක තවත් එක කාර් එකක් විතරයි. ඒ නිසා එයාලා යන එන ගමන්වල කතා බිහිවෙන්නේ නැතුව ඇති. මතක බිහිවෙන්නේ නැතුව ඇති.

එයාලා ඔහේ ඉන්නවා ඇති.....!

ඔයාලා තවත් 'ඔහේ ඉන්න' පිරිසක් බවට පත්වෙනවට මම කැමති නැහැ. මම කාර් පිස්සුව පටන් ගත්තේ ඒකයි. මම මේ කියන දේවල් අර මිකැනිකල් වැඩ දන්න අයට අදාළ නැතුව ඇති. නමුත් අපි අතරින් බහුතරයක් එහෙම මිකැනිකල් වැඩ දන්න අය නෙමෙයි. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. හැමෝටම හැමදේම දැනගන්න බැහැ නේ. ඒකට තමයි ලෝකේ සේවා කියලා සංකල්පයක් හැදිලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ වාහනේ තමන්ට හදාගන්න බැරි නම් ප්‍රොජෙක්ට් කරන්න එපා කියන කතාව ගණන් ගන්න එපා. කුඹුරු කොටන්න බෑ කියලා බත් නොකා ඉන්න අවශ්‍ය නෑ නේ. ඒකට තමයි ගොවියෝ ඉන්නේ; කඩ තියෙන්නේ; කඩේ හාල් තියෙන්නේ...  

ඉතිං ඉස්සරලාම ක්ලැසික් කාර් එකක් ගත්තම මට දැනුණු දේවල් ටික මම ඔයාලට මෙහෙම කියනවා. මේක අපි බොහෝ දෙනකුට පොදුයි.

මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක්. මම හැමදාම කියනවා වගේ ඒක අම්මෙක් අප්පෙක් වගේ විස්වාසය තියන්න පුළුවන් කාර් එකක්. හැබැයි මම ඒක ක්ලැසික් කාර් එකක් විදිහට සලකන්නේ නැහැ. මේක කියන්නේ හොඳක් විදිහට. මොකද මට ලාන්සර් බොක්ස් එක දැනෙන්නේ ඉතාම නවීන කාර් එකක් විදිහට. කොටින්ම අද එන ඉකොනොමි කාර් වලට වඩා ලාන්සර් බොක්ස් එක හැම අතින්ම දියුණුයි කියලයි මම හිතන්නේ. ඒ නිසා ලාන්සර් බොක්ස් එක ක්ලැසික් ගොඩට දාන්න මම සූදානම් නෑ.

ක්ලැසික් කාර් එකක් විදිහට මම ඉස්සරලාම ගත්තේ 1960 හදපු 3 ශ්‍රී බීට්ල් එකක්. මේ කතාව මම 'ගරාජ් වල තිබී දුක්ඛ සත්‍යය හමුවීම' කියන ලිපියේ විස්තර ඇතුව ලියලා තියනවා. ඒ නිසා ඒ කතාව ආපහු මෙතන ලියන්නේ නැහැ.

මට මතකයි ඉස්සරලාම බලන්න ගිය දවසේ ඒ කාර් එකේ එන්ජිම ස්ටාට් වුණු හැටි. එතකොටත් කාර් එක තිබුණේ වෝල්ට් 6. කම්මැලි පොඩි එකෙක් ඉස්කෝලේ යන්න ඇහැරෙව්වම 'බෑ මත බෑ ඉක්කෝලේ යන්න බෑ' කියනවා තමයි වෝල්ට් 6 ට එන්ජිම ස්ටාට් වෙන්නේ. පුලිය එක රවුමක් කැරකෙනකොට පෘථිවිය චුයිංගම් එකක් හපහපා සූර්යයා වටේ රවුම් එකහමාරක් යනවා. ඒකෙ ලයිට්වලට වඩා බුරම්පි සීයගේ හන්ටර් බයිසිකලේ ඩයිනමෝ එකෙන් පත්තු වෙන ලයිට් එක එළියයි. වයිපර් මෝටරේ කැරකෙන වේගෙට වඩා වේගෙන් අර්ජුන රණතුංග අනූ හයේ විකට් අතර දිවුවා...

ඒ දවස්වල මම ෆොක්ස්වැගන් ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දැන් නම් වෝල්ට් 6 එන්ජිමෙන් දුවන බීට්ල් එකක් දැක්කම මට Big Bang Theory එකේ පෙනී ව දැක්කා වගේ කිතියක් වගේ මෙව්වා එකක් එනවා...  (ඔය වගේම එකක් දැනුණා ඉස්සර දූ දරුවෝ යන කාලේ යශෝධා විමලධර්මව දැක්කම. එහෙම හිතෙනකොට තමයි මීටර් වෙන්නේ මාත් දැන් වයසට ගිහිං කියලා).




කොහොම කොහොම හරි අන්තිමට 3 ශ්‍රී 5661 මගේ ගෙදරට නාලිය ගමනින් ආවා කියමුකෝ. පහුවෙනිදා උදේ වෙනකල් මට ඉතිං ඉවසුමක් නෑ, මේක ස්ටාට් කරන්න සහ මේකේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න විදිහ ගැන ගරාජ් එකේ කට්ටිය එක්ක කතා කරන්න. වෙනදා උදේ වෙද්දී Snooze බට්න් එක බදාගෙන තව විනාඩි 5 ක් වැඩිපුර නිදාගන්න දඟලන මම එලාම් එකටත් කලින් නැගිට්ටා. මූණකට හෝදගෙන යතුරත් අරං කාර් එකට දිව්වා. යතුර දැම්මා, කැරකෙව්වා...

මට ගවු ගානක් පිටිපස්සෙන් 'රුං................................. රුං...................................... රුං.........................." ගාලා අලස නාදයක් ඇහෙනවා. හැබැයි එන්ජිමක් ස්ටාට් වෙන බවක් නම් දැනුණේ නැහැ.

දැන් මෙතන දේවල් දෙකක් තියනවා. එකක් තමයි මේ තාක් කල් ඉස්සරහ එන්ජින් තිබුණු කාර් එළවලා පිටිපස්සේ එන්ජිම තියන කාර් එකක් ස්ටාට් කළාම එන්ජිමේ සද්දේ පිටිපස්සෙන් එන එක අහෝමඤ්ඤං අත්දැකීමක් වීම (ඕකේ අනික් පැත්ත තමයි සෑහෙන කාලයක් බීට්ල් විතරක් එළවලා මයිනර් එක ගෙනාවට පස්සේ මම අපේ මිකැනික්ට එන්ජිම පෙන්නන්න කියලා ගිහිං මයිනරේ ඩිකිය අරින්න හදපු එක). දෙවෙනි එක තමයි වෝල්ට් 12 තියන 80 දශකයේ ජපන් කාර් එකක් ස්ටාට් වෙනවා අහලා පුරුදු කෙනෙකුට වෝල්ට් 6 තියන 50 දශකයේ ජර්මන් කාර් එකක් ස්ටාට් වෙනවා ඇහීම අහෝමඤ්ඤං අත්දැකීමක් වීම.

අහෝමඤ්ඤං කතා පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ... එන්ජිම ස්ටාට් වුණේ නැහැ.

මට වාවන්නේ නැති තරම් දුකයි. බොහොම ආර්ථික දුෂ්කරතා තියන කාලෙක තමයි මම මේ කාර් එක ගෙනාවේ. සෙනසුරාදා දවසක කාර් එක ගත්තු නිසා බැංකු යන්න විදිහක් තිබ්බෙත් නෑ (ඒ දවස්වල ATM භාවිතය දැන් තරම්ම ජනප්‍රිය නැහැ, මට මතක හැටියට). කොටින්ම අම්මා අතේ තිබුණු සල්ලි පවා අරගෙන ගිහිං තමයි කාර් එක ගත්තේ.

ඉතිං, මම කලිනුත් කිව්වා වගේ, ඒ මෙහොතේදී මට දැනුණේ ඒ සල්ලි ටික පානදුරේ අලුත් පාලම උඩ බිලීපිත්තෙන් මාළු අල්ලන එකෙකුගේ ඔළුවට උඩින් ගඟට ඌසික්කා කළා වගේ...




මගේ මුස්පේන්තු මූඩ් එක ඉව වැටිලද කොහෙද භද්‍ර කල්පයකට පස්සේ එන්ජිම අමාරුවෙන් ස්ටාට් වුණා. ඒත් එක්කම මට මතක් වුණා, ලාංසරේ ගෙනාවට පහුවදාත් ඕක වුණා නේද කියලා. එදාත් ඔය විදිහටම තාත්තාගේ සල්ලි නිකං නාස්ති කළා නේද කියලා හදවත චාං චූං ගානකොටම තමයි ලාංසරේ ස්ටාර්ට් වුණේ.

පාඩම අංක 1: පරණ කාර් අලුත් අයිතිකාරයට හිතේසි වෙන්න ටිකක් කල් යනවා. 

කාර් එක ගේනකොටත් තෙල් ලීක් එකක් තිබ්බා. පරණ කාර් වලින් පොඩ්ඩක් තෙල් ලීක් වෙන එක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි කියන එක එතකොට මම දැනගෙන හිටියේ නෑ.  මගේ ඊළඟ ඉලක්කය වුණේ එන්ජිමෙන් තෙල් ලීක් වෙන්නේ කොහෙන්ද කියලා හරියටම හොයාගන්න එක. බීට්ල් එක විකුණන්න මැදිහත් වුණු බ්‍රෝකර් හාදයා මට කිවුවේ ටොප් ගියර් ඔයිල් සීල් එක දාගත්තම ඔය ඔක්කොම හරි කියලා. නමුත් මගේ මිකැනික් එන්ජිම යටට රිංගුවට පස්සේ එළියට ආවේ සුනිල් ටී. ප්‍රනාන්දුගේ චිත්‍රපටියක් බලන්න ගිය එකෙක් වැරදිලා අශෝක හඳගමගේ චිත්‍රපටියක් බලලා හෝල් එකෙන් එළියට එනවා වගේ මූණක් හදාගෙන. වාහනේ අරං ගිහිං එන්ජිම හෝදගෙන එන්න කියලා එයා කිවුවා. ඉතිං මම කාර් එකට නැගලා පළවෙනි වතාවට ඇත්තටම කාර් එක එළවන්න ගත්තා (කාර් එක කලින් අයිතිකාරයාගෙන් ගත්තට පස්සේ ගෙදරට ගෙනත් දුන්නේ අපේ කාබාසිනියා ටින්කර් අයියා. ඒ නිසා මට වාහනේ එළවන්න ලැබුණේ නැහැ. මම වාහන හදන ගරාජ් එක තියෙන්නේ ගෙදරට ළඟින් නිසා ගෙදර ඉඳන් එතනට ගේන එකටත් සෙකන්ඩ් ගියර් එකෙන් එහාට යන්න වුණේ නෑ).

වාහනේ පාරට ගත්තා විතරයි අර පාලමට උඩින් ඌසික්කා ෆීලිං එක ආයෙත් තුන්සිත වසාගෙන පැතිරුණා. අසූවේ ලාංසරේ එළවලා පුරුදු මට හැටේ බීට්ල් එක දැනුණේ තිහේ කරත්තයක් වගේ. අහම්බෙන් උදලු පාරක් එක්ක පොළව උඩට විසිවෙච්ච පත්තෑයෙක් වගේ ස්ටියරින් වීල් එක එහෙමෙහෙ දුවන්න හදනවා. වලක වැටෙන වාරයක් ගානේ වහලේ අස්සෙන් මලකඩ වැටුණේ හරියට උදේ පාන්දර සේපාලිකා ගහක් හෙල්ලුවා වගේ. ඩ්‍රයිවින් පොසිෂන් එක කොච්චර පහළද කියනවා නම් ඒක බංකු හිරමනේ අරං ගිහිං කෑම මේසෙට ඉඳගත්තා වගේ අත්දැකීමක්. ගියර් පැටලෙන්නේ නිකං ට්‍රයි කරන කෙල්ලෙක් මූණට මුලිච්චි වුණාම මොකක් කියන්නද කියලා හිතාගන්න බැරුව සිතිවිලි පැටලෙනවා වගේ. සිග්නල් ස්විච් එක ඩෑෂ් බෝඩ් එකට හයි කරලා තිබ්බ නිසා සිග්නල් දාන්න ඕන වුණාම පත්තරේ කියෝන ගමන් ගෙදර බල්ලගේ ඔලුව අතගානවා වගේ පාර බලාගෙන ඩෑෂ් බෝඩ් එක අතගාන්න වුණා.

මේ ඔක්කොමත් එක්ක මට වාහනේ එළවන අතරේ අනෙක් අය වාහනේ දිහා බලන්නේ කොයි විදිහටද කියලා දකින්න බැරිවුණා.

පාඩම අංක 2: පරණ කාර් එකක් ආම්බාන් කරන එක පුරුදු වෙන්න චුට්ටක් කල් යනවා. ක්ලච් බැලන්ස් එක, ස්ටියරින් ප්ලේ එක, බ්‍රේක් කළ යුතු දුර, කාර් එකේ හොම්බේ දිග හෙවත් ඉස්සරහ වාහනේ සහ අපේ වාහනේ අතර තබාගත යුතු පරතරය, ටර්නින් සර්කල් එක හෙවත් යූ ටර්න් එකක් ගහන්න අවශ්‍ය වන දුර සහ කන්නාඩි වලින් පේන හැටි වගේ දේවල් හෙමින් ඉගෙනගන්න ඕනේ. 

මගේ ගෙවල් ළඟ මිකැනික් ඒ දවස්වල එච්චර ෆොක්ස්වැගන් හදලා තිබ්බේ නැහැ. ඒ නිසා එයා ඒ වැඩේ භාරගන්න එච්චරම කැමැත්තක් දැක්වුවේ නැහැ. ඉතිං අර කලිනුත් කිව්වා වගේ මගේ ග්‍රහයා ඔරොප්පු වෙලා මම ෆොක්ස්වැගන් එක්ස්පර්ට් කෙනෙක් කියලා කෙනෙක් හොයාගෙන යන්න තීරණය කළා. මෙතන ඉඳන් එහාට වුණු දේවල් විස්තර ඇතුව ලියනවා නම් 3 ශ්‍රී 5661 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ කතාව ලියන්න වෙනවා. ඒක වෙන දවසක ලියන්නම්. මොකද ඒක ලියන්න ගියොත් මේ පෝස්ට් එක කුරුණෑගල යුගයේ වෙස්සන්තර ජාතකේ වගේ දික් වෙනවා.




හැබැයි එක දෙයක් ගැන අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒ තමයි මම අර ෆොක්ස්වැගන් එක්ස්පර්ට් හොයාගෙන යන්න පිටත් වුණු ගමන.

ඒ දවස්වල මම පූර්ණකාලීන රැකියාවක් කරනවා. මගේ ගෙදරට කිලෝමීටර් පහ හයක දුරින් පරණ කාර් හදන එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියා. දවසක් වැඩ ඇරිලා එන ගමන් මම මිනිහව හම්බවෙලා කතා කළා.

එදා තමයි මම කාර් ලෝකේ පොර ටෝක් අහන්න අත්පොත් තිබ්බේ. මිනිහා කියන තරම් ෆොක්ස්වැගන් සම්බන්ධ දැනුමක් මිනිහට තියනවා නම්, ෆොක්ස්වැගන් බීට්ල් එකේ නිර්මාතෘ Ferdinand Porsche මහත්තයා අද හිටියා නම් බුලත් අතකුයි බටර් කේක් එකකුයි අරගෙන මිනිහව බලන්න එනවා. මිනිහා ඩෙලිකා හදන හැදිල්ලට ඩෙලිකා එක පෙට්‍රල් දහනය කරලා දුම් පිටකරනවා නෙමෙයි දුම් දහනය කරලා පෙට්‍රල් පිටකරනවා වෙන ඕනේ. මිනිහා දිරච්ච මයිනර් ගොඩගන්නේ නිකං අනුරාධපුරේ වෑල්ඩින් වෙදමහත්තයා කැඩිච්ච දණිස් පොල්කට්ටක් හදනවා වගේ. ඔය වගේ ලස්සන වසීලිස්සා ටයිප් එකේ සුරංගනා කතා පොතක් අහං ඉඳලා මම ගෙදර එන්න ආවේ පහුවෙනිදා උදේ කාර් එක ගේනවා කියලා පොරොන්දු වෙලා.



උදෙන්ම කාර් එක ගෙනත් දාන්න කියපු නිසා මට ෂෝට් ලීව් දාන්න අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. කොහොම හරි කාර් එක ගරාජ් එකට දාලා ඔෆිස් යනවා කියලා මම කාර් එකට නැග්ගා. පුදුමෙකට වගේ එන්ජිම එකපාරටම ස්ටාට් වුණා. වාහනේ හත් අවුරුද්දකින් හෝදලා නෑ. කොටින්ම තඩි ඉබ්බෙක් උඩ මලකඩ අලවලා ඊට උඩින් ලාවට කහපාට ගාලා ඊටත් උඩින් දූවිලි තට්ටුවක් ස්ප්‍රේ කළා වගේ තමයි කාර් එක තිබුණේ.

ගාලු පාරට කාර් එක දාන වෙලාව වෙනකොට පාර පුරාම සෙනග. උදේට ඔෆිස් යන කට්ටිය නිසා පාර නිකං වැහි කාලෙට කළු කූඹි ඇවිස්සුණා වගේ. මීටර් සීයක් හමාරක් ඉස්සරහට යනකොට මට දැනෙන්න ගත්තා නිකං ඇස් දාහක් මගේ දිහාට යොමු වෙලා වගේ. ඒ දවස්වල අපේ පැත්තේ එච්චර බීට්ල් තිබ්බේ නෑ. ඒ වගේම අද තරමට ඉබ්බා කාර් පිස්සුව කට්ටියට වැළඳිලා තිබ්බෙත් නෑ. ෆොක්ස්වැගන් එන්ජිමටම ආවේණික අර අපූරු රූං නාදේ පතුරුවාගෙන කාර් එක ඉස්සරහට යද්දී එකින් එක, දහයෙන් දහය, සීයෙන් සීය ඇස් 3 ශ්‍රී 5661 එක දිහාට ඇදෙනවා මට තේරුණා.

ඒත් එක්කම මට මීටර් වුණා තවදුරටත් මට ගියර් පැටලෙන්නේ නැති බව. මහා දුරක් දිවුවේ නැති වුණාට දැන් අහක බලාගෙන ටීවී එකේ රිමෝට් එක ඔබනවා වගේ විස්වාසෙන් ගියර් දාන්න මට පුළුවන් වෙලා. මුලින් වගේ ස්ටියරින් වීල් එක මාත් එක්ක ඔරොප්පු වෙලා 'පලයන් අහකට' කියලා මගේ අතෙන් බේරිලා පැනලා යන්න හදනවා වගේ දැනුණේ නෑ. ආයාසයක් නැතුව වාහනේ කෙළින් යනවා. කොටින්ම ලාංසරේට වඩා ස්ටියරින් එක සැහැල්ලුයි සහ පහසුයි නේද කියලා මට පළවෙනි වතාවට හිතුණා. මුලින් නිකං වීල්බැරෝ එකක යනවා වගේ දැනුණට දැන් මට තේරෙන්න ගත්තා සීට් වල කොලිටිය නිසා ගමන මාර පහසුයි නේද කියලා (මේවා හොඳට ස්ප්‍රින් එහෙම දාලා හදපු සීට්. දැන් එන සමහර කාර් වල වගේ ටියුෂන් පන්තියක බැංකුවක් උඩ ඉඳගත්තා වගේ අමාරුවක් දැනෙන්නේ නෑ) . කලින් අයිතිකාරයා වැඩිපුර දිවුවේ නැති නිසා නොවැටී එල්ලි එල්ලි තිබුණු මලකඩ ටික වැටිලා ඉවර නිසා තවදුරටත් අර මලකඩ මෝසම් වරුසාව වැස්සේ නෑ.

ඒ වෙනුවට මම කාගේත් ඇස්වල කුතුහලය දල්වන, කන්වල මිහිර ගල්වන, හිත්වල ආදරය කූද්දන කාර් එකක් දෙනෝ දාහක් මැද්දෙන් එළවගෙන යනවා කියලා මට මුල්ම වතාවට තේරුණා...

ඊට පස්සේ කවදාවත් අර පාලම උඩින් ඌසික්කා ෆීලින් එක ආවේ නෑ. ඒ වෙනුවට මම පස්සේ කාලෙක 9 ශ්‍රී ෆොක්ස්වැගන් එකක් සහ EN මයිනර් එකක් ගත්තා. දැන් මං දුර යන්නේ 9 ශ්‍රී 5333 එක්ක. ළඟට යන්නේ EN 3457 එක්ක.





පාඩම අංක 3: ක්ලැසික් කාර් එකක් පාවිච්චි කරන එක මොන වගේ සතුටක්ද කියලා තේරුම් ගන්න ටිකක් කල් යනවා. ඒකට වාහනේ දෙතුන් පාරක් වත් පාරට දාන්නම ඕනේ. ගරාජ් එකේ හිරකරලා තියලා හවසට හවසට හොරෙන් හොරෙන් ඇවිත් ත්‍රීවීල් මල්ලිලා පට්ට ගහන සින්දුවක් හිතින් කියකියා කඳුළු පුරෝගෙන බලාගෙන හිටියට ඒ සතුට දැනෙන්නේ නෑ. ඒ නිසා මුලින් එපා වෙන ටිකේ ගේම අතඅරින්න එපා... 

3 ශ්‍රී එකේ සම්පූර්ණ කතාව තාම මම කාර් පිස්සුව බ්ලොග් එකේ ලියලා නෑ. ඒක ලියන්න කලින් මේ කතාව ලියන්න හිතුවේ දවස් කීපයකට උඩදී කෙනෙක් 3 ශ්‍රී බීට්ල් එකක් අරං ඒක අනික් පැත්තට විකුණපු නිසා. එයා ගත්තේ නොදුවා එකතැනම තිබුණු, ස්ටාට් නොවෙන කාර් එකක්. ගෙනාවට පස්සේ එන්ජිම ස්ටාට් කරලා බැලුවම මිකැනික් එයාට කියලා තිබුණා එන්ජිම හොඳටම ගෙවිලා, ඒ නිසා එක්කෝ ෆුල් හදන්න වෙයි, නැත්තං අලුත් එන්ජිමක් තියන්න වේවි කියලා. එයා වෙන මිකැනික් කෙනෙක්ගෙන් අහන්න හිතුවෙත් නෑ. අන්තිමට එයා වාහනේ ගත්තු ගානටම වෙන කෙනෙකුට දීලා දාලා නිකං හිටියා.

ක්ලැසික් කාර් එකක් ගන්න යනකොට බලන්න ඕන දේවල් කියලා පොදුවේ කියන්න පුළුවන් දේකට තියෙන්නේ වාහනේ ලියකියවිලි ටික සහ බොඩියේ තත්ත්වය විතරයි. එන්ජිමේ තත්ත්වය කොහොමද කියලා බලන්න නම් මිකැනික් කෙනෙක් එක්ක යන්න. මම හොඳටම දන්නේ ෆොක්ස්වැගන් ගැන නිසයි මම ඒ ගැන විශේෂයෙන් කියන්නේ. ෆොක්ස්වැගන් එන්ජිමක් මුල ඉඳන් හදන්න ඕනේ නම් අවශ්‍ය බඩු සේරම ලංකාවේ තියනවා. ඔයාට මුදල් සහ කාලය කැපකරන්න පුළුවන් නම් සහ හොඳ මිකැනික් කෙනෙක් ඉන්නවා නම් එහෙම කරන එක සුළු දෙයක්. ඒ වගේම මිකැනික් කෙනෙක් එක්කන් ගිහිං බලලා ගත්තොත් ඔයාලට හොඳ දුවන කන්ඩිෂන් එකේ කාර් එකක් ගන්න පුළුවන් (මිකැනික් හොඳ විස්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන එක ඇත්ත. පන දෙන්න වගේ ඉඳලා ගාන කඩාගන්න දෙපැත්ත කන එවුන් අනන්තයි).

මේක අනික් ක්ලැසික් කාර් බොහොමයකටත් පොදු දෙයක්. පරණ වාහන වල එන්ජින් ගොඩගන්න ඕන තරම් ක්‍රම තියනවා. පාට්ස් නැත්තනම් ගොඩක් වෙලාවට පාට්ස් ලියවලා හරි දාන්න පුළුවන්. හැබැයි සමහර වාහන වල බොඩි පාට්ස් හොයන්න අමාරුයි. ඒත් ෆොක්ස්වැගන් වල නම් ඒ ප්‍රශ්නෙත් නෑ. ලංකාවේ ඕන තරම් බඩු තියනවා. පොදුවේ කියනවා නම් ක්ලැසික් කාර් එක්ක ජීවත් වෙන එක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි කාර් එකට ඔයාගේ ජීවිතේට සමීප වෙන්න පොඩ්ඩක් කල් දෙන්න.

ඊට පස්සේ තමයි කාර් පිස්සුව හැබෑම අරුත දෙසැම්බර් මාසේ උදේ හමන හුළඟක් වගේ කියාගන්න බැරි සතුටක් සීතලක් හදවතට මුහු කරන්න ගන්නේ...

අන්න එතන තමයි එපා වීම සහ බදාගැනීම අතර කෙස් ගහක වෙනස තියෙන්නේ...


www.facebook.com/CarPissuwa

67 comments:

  1. Matath oya tikamai aragannakan sihiyak na. Gattata passe baasala kiyana katha ahapuwama apahu wikunala daanda hitenawa a wunath apahu pinthura tikak bala bala innakota apahu car eka ona wenawa e hindama gama atha arin nathuwa tawamath hadagena yanawa

    ReplyDelete
    Replies
    1. නියමයි. ඔහොම යමු. ඔය වේදනාවල් සියල්ල අවසන් වෙන දවසක් ඒවි!

      Delete
  2. අඩේ උඹත් Big Bang Theory රසිකයෙක්ද? මම ඕක ගැන කලින් කියපු ගානෙ ඕට තේරුනේ ඒක වෙන කවුරුවත් බලන එකක් නොවන බවයි. ඒ මොකද නම කිව්ව ගමන් ඒකට ප්‍රතිචාර හැටියට එන්නෙ ඇත්තම තියරිය ගැන මිස ටෙලි සීරීස් එක නොවන බවයි. උඹට පෙනීව දැක්කම එහෙම මෙව්ව එකක් දැනෙනවද? උඹ ෂෙල්ඩන් ගැන මොකද හිතන්නෙ?

    දැන් අදාල නොවන කමෙන්ට් එකක් දැම්ම කියලා උඹ ඔරොප්පු වෙයිද දන්නෙත් නෑ.

    ක්ලැසික් කාර් ගැන මට කියන්න තියෙන්නෙ, මම ඒවට කැමතියි. එහෙම කැමතියි කියලා එහෙම එකක් ගන්න ඕනෙ කමක් නෑ. ඒවට වහ වැටිච්ච උඹ වගෙ එවුන් ඒව අරන් පාරෙ යනව දැකලා සතු‍ටු වෙනවා. හරියට උඹ පෙනීව දැකලා සතු‍ටු වෙනවා වගේ. අයිති කර ගැනීමේ ආසාවක් නෑ. Having an eyeful is enough. But you keep it up buddy.

    ReplyDelete
    Replies
    1. FRIENDS වලට පස්සේ මට ඇත්තටම ෆුල් ටයිම් හිනා යන එකම සීරීස් එක තමයි Big Bang Theory. ඒ වගේම රේචල්ට පස්සේ මට වැඩියෙන්ම මෙවුවා එකක් හිතවපු කෙල්ලෙක් තමයි පෙනී. ෂෙල්ඩන් ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ. ස්ක්‍රිප්ට් ඒකයි ඇක්ටරුයි පුදුමාකාර විදිහට කොමඩි විශ්වයක් ඇතුළේ මුහුවෙන තැනක් තමයි ඒක. ප්‍රතිචාරයට ස්තූතියි ඩූඩ් අයියා. ඇන්ඩ් වෙල්කම් බැක් ටූ කාර් පිස්සුව :)

      Delete
  3. කතාව කියවන් යද්දී නිකන්ම කටත් ඇරිලා... සීට් වල ස්ප්‍රින් කෑල්ල කියවද්දී මදුරුවෙක් කටට ගියා කියහංකො...

    ReplyDelete
    Replies
    1. මදුරුවටත් කාර් පිස්සුවට සබ්ස්ක්‍රයිබ් කරන්න කියපං මලේ... :)

      Delete
  4. ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට...

    ReplyDelete
    Replies
    1. ගත්තොත් කතා ලියවෙයි, නොගත්තොත් පසුතැවිලි ඉතුරු වෙයි :)

      Delete
  5. ලොක්ක හොටු පෙරාගෙන අඬන යශෝධාට සුන්දර "පෙනී" සමාන කිරීම පිළිබඳ බළවත් විරෝධය ! 😡

    ReplyDelete
    Replies
    1. මග‍ෙත් ඒකට චන්ද‍ෙ

      Delete
    2. තුනු සපුව තරමට උණු කඳුළුත් ශෘංගාරාත්මක වෙන වෙලාවල් තියනවා මහත්තයෝ! ;)

      Delete
    3. මේක හරියන වැඩක් නෙමෙයි... ඔය හැමදාම තෙල් ලීක් වෙන වාහන සහ හැමදාම ටැප් එක ඇරගත්ත යශෝධයි දෙන්නටම තරිඳූ කැමැති දෙකම ලීක් කරන්න දක්ෂ හන්දද ?

      යකඩෝ ශෘංගාරේ කියලත් ඔච්චර මර ලතෝනි අහං ඉන්න පුළුවනෑ !

      Delete
    4. මොකක්ද බං කන්ඩෝ උඹට යශෝධත් එක්ක ඔච්චර තියන ගේම. එහෙනම් මම ඕක දිල්හානි අශෝකමාලා කියලා මාරු කරන්නද? දිල්හානි ගැනත් ඔහොමම මෙවුවා එකක් තියනවා...

      Delete
    5. ඔව් බං මට ඕකිව පේන්න බෑ ... කාලයක් තිබ්බා මේකී නාහෙන් අඬනවා බලන්නැතුව ටෙලි නාට්ටියක් දාණ්ඩ බැරුව !

      දිල්හානි නෙමෙයි මට සුමනත් හොඳා මේකට වඩා !

      බලහං උඹ මේ කරපු නොහොබිනා වැඩේ හන්ද කාර් පැත්තක තියල අපි අයාලේ යන හැටි ! 😂

      Delete
    6. ඒ පාර අටමත් අයාලේ ගිහිං... :(

      Delete
  6. Math gatta ekak.den masayai aragena.ma kathawa wagema thamai.deb car eka hadanna dala tiyenne pasyale.matanam epa wenne ne kawadawath.

    ReplyDelete
    Replies
    1. වැඩේ හරියටම හරියන්න කියලා සුබ පතනවා!

      Delete
  7. Math gatta ekak.den masayai aragena.ma kathawa wagema thamai.deb car eka hadanna dala tiyenne pasyale.matanam epa wenne ne kawadawath.

    ReplyDelete
  8. බබා නිදි කරල ලැප ඔන් කරල කම‍ෙන්ට් එක දාන්නං. ද‍ෙකක් අමතන්න හිත‍ෙන ද‍ේවල් ලියල
    ..

    ReplyDelete
    Replies
    1. හා... වරෙන්කො බලන්න, මොකක්ද දෙක කියල බලන්න...

      Delete
    2. කිඹුල් මනමාලි ගෙම්බො එක්ක යාලු උනාට පස්සෙ අැහැරුනේ නෝන කතා කළාම. දැන් ලියන්නං

      උඹ කියපු එකකට මම විරුද්ධයි. අැල්ටො වගේ ඉන්දියන් ජරාවෙන් උනත් අමතක නොවන මතක තියෙන්න පුලුවං. මම මුලින් ගත්ත මරුටි 800 එකයි පස්සෙ ගත්ත අැල්ටො එකයි දෙකම අලුත් එකෙක්ට විකුණල උෟ පැදන් යනකොට එ්වයින් පවුලෙ අය එක්ක ගිය ගමන්, බබාල හම්බෙලා ගෙදර මුලින් ගෙනාපුව මතක් උනා. ක්ලැසික් එකක් නොගන්න මගේ ප්‍රධානම හේතුව reliability එක. අපේ ගෙදර මුලින් තිබ්බා 504 එකක්. එ්ක එක්ක කාපු කට්ට මට හොඳට මතකයි.
      යන එන ගමන් වල බිහි වෙච්ච කතා ලියන්න මෙතන බෑ. අැල්ටො එකට අලි පවා තට්ටු දාල තියනව. මතක තියා ගනින් සමහර අැල්ටෝ හයිබ්‍රිඩ් පදින උන්ගෙ හිතේ යට ක්ලැසික් කාර් තියනවා. ගන්න බැරි ඔ්ක එක්ක ඔට්ටු වෙන්න වෙලාවක් නැති නිසා සහ වෙනත් නානාප්‍රකාර හේතු. (බිට්ල් එකක් පාරෙ යනකොට මම එ්කට දාන බැල්ම අයිතිකාරය දැක්කොත් අයින් කරල නවත්තල මට යන්න දීල උෟ හෙමින් එනව)

      Delete
    3. එකඟයි. මම මේ නැවත නැවත කියන්නේ අපි මේ වාද කරන්නේ වාද කරන්න බැරි මාතෘකාවක් ගැන කියන එක. පුළුවන් නම් හොයලා බලපන් කොරොල්ලා එකක ගමනක් ගිහිං ඇවිත් සංචාරක සටහනක් ලියපු තැනක්, ලෝකේ ඕනෑම රටක. නෝප්. හැබැයි බීට්ල් එකක්, ලෑන්ඩ් රෝවර් එකක් එක්ක ගිය ගමනක් ගැන සර්ච් කරලා බලපන්. මැරෙනකල් කියවන්න කතා තියනවා. ජීවිත කතා බිහිවෙන්නේ ලොජික් ෆේල් වෙන තැන්වල...

      Delete
  9. //එයාලා කොහේ හරි ඇල්ටෝ එකක් හරි ස්විෆ්ට් එකක් හරි එක්ක ජීවත් වෙනවා ඇති. ඔහේ යන්නං වාලේ ගමන් ගිහිං එන්නං වාලේ එනවා ඇති. ඇල්ටෝ ස්විෆ්ට් පිරිච්චි පාරවල් වල එයාලගේ කාර් එක තවත් එක කාර් එකක් විතරයි. ඒ නිසා එයාලා යන එන ගමන්වල කතා බිහිවෙන්නේ නැතුව ඇති. මතක බිහිවෙන්නේ නැතුව ඇති.// මමනම් හිතන්නෙ ඇත්තටම කාර් පිස්සුව තියෙන කෙනෙකුට නම් (Petrolhead) යන එන ගමන්වල මතක බිහිවෙන්න තමන්ගෙ කාර් එක ක්ලැසික් කාර් එකක්ද ස්මාට් කාර් එකක්ද කියන එක බලපාන්නෙ නෑ කියල - Point A ඉඳන් point B එකට යන්න විතරක් වාහන පාවිච්චි කරන කෙනෙකුට නම් ක්ලැසික් කාර් එකක් තිබුණත් කතාත් නෑ - මතකත් නෑ, බස් එකෙන් ගිහිං බැස්ස වගේ තියෙයි

    ReplyDelete
    Replies
    1. ඔයා කතාකරන්නේ වියුක්තව. වියුක්ත සන්දර්භයක් ඇතුළේ ඔයාගේ තර්කයට මම එකඟයි. නමුත් මම කතාකරන්නේ ලංකාවේ කාර් සංස්කෘතිය ගැන. එතකොට ඇල්ටෝ එක හෝ ස්විෆ්ට් එක කියන සංකේතය භාවිතා වෙන්නේ කාර් එක්ක ආත්මීය බැඳීමක් නැති කම අඟවන්න. උදාහරණයක් හැටියට මට මෙතනට ඇල්ටෝ වෙනුවට සුබාරු wrx එක භාවිතා කරන්න බැහැ, මොකද ඊයේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන් ආවත් ඒ කාර් එකත් එක්ක බොහොම සමීප ඇයිහොඳයියක් ඇතිකරගන්න පුළුවන්. (මේකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නෑ ඇල්ටෝ නරකයි කියලා. මම අදටත් කියන්නේ ලංකාවට හොඳටම ගැළපෙන කාර් ගහන්නේ මරුටි සුසුකි එක කියලා). ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි :)

      Delete
    2. මම කියන්නෙ කාර් එකක් එක්ක ආත්මීය බැඳීමක් ඇතිවෙන්න ඒකෙ වර්ගය, අළුත් පරණ කම, ලංකාවේ හංවඩු ගැහිලා තියෙන හැටි, ලංකාවේ ඒ ජාතියේ වාහන කීයක් යනවද, මිනිස්සු ඒක දිහා බලනවද නැද්ද කියන එක බලපාන්නෙ නැහැ කියන එක. තාරක දේවින්දගේ කමෙන්ට් එක බලන්නකො. ඔයා කිව්වෙ සුබාරු WRX එකක් එක්ක සමීප ඇයිහොඳයියක් ඇතිකරගන්න පුළුවන් කියල. නමුත් අවුරුද්දක් ගෙදර තිබ්බ ඇල්ටෝ,ස්විෆ්ට්,කොරොල්ලා එකත් එක්ක ඒ ඊයේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන් ආපු සුබාරු WRX එකට වඩා කොච්චර බැඳීමක් තියෙනවද? මට නම් තේරෙන්නෙ නෑ කොරොල්ලා එකකට වඩා සුබාරු WRX එකක් එක්ක බැඳීමක් ඇතිකරගන්න ලේසි ඇයි කියලා.

      Delete
    3. මේක තමයි කාර් පිස්සුව ගැන විවාද හැම තැනම හිරවෙන තැන. ඇයි ගෙදර තිබ්බ කොරොල්ලා එකට වඩා සුබාරු WRX එක ගැන බැඳීමක් ඇතිවෙන්නේ කියන එක. මෙතැනදී තමයි ලොජික් ෆේල් වෙන්නේ. ඒකයි Top Gear මෙච්චර ජනප්‍රිය වුණේ. අනික් අය ලොජික් ෆේල් වුණාම ජෙරමි ක්ලාක්සන් &*^( කියලා කතාව ඉස්සරහට ගෙනිච්චා. කාර් පිස්සුව කියන්නේ brand loyalty, performance, Handling, braking, ඉතිහාසය, පැටිකිරිය, කාර් එකේ 'කැරැක්ටර් එක' වගේ හැම දෙයින්ම උපදින එකක්. මෙතැනදී කොරොල්ල එක ෆේල් වෙනවා. හැබැයි කෙනෙක් තමන්ගේ කොරොල්ලා එකට පන ඇරලා ලවු කරනවා නම්, ඒක එයාගේ වැඩක්. මම කියන්නේ මම ඉන්නේ පොදු වේදිකාවක නිසා මට ඒ හුදෙකලා ලවු එක වැඩක් නෑ... :)

      Delete
    4. performance, Handling, ඉතිහාසය, පැටිකිරිය, කාර් එකේ 'කැරැක්ටර් එක' කියන ඒවලින් කොරොල්ලා, ඇල්ටෝ, ස්විෆ්ට් ෆේල් කියමු. නමුත් "ඔහේ යන්නං වාලේ ගමන් ගිහිං එන්නං වාලේ එන්න, යන එන ගමන්වල කතා බිහි නොවෙන්න, මතක බිහි නොවෙන්න" ඒක හේතුවක් වෙන්නේ කොහොමද? මොකද කාර් පිස්සුව කියන එක ඇතිවෙන්න ලෝකේ බහුතරයකට හේතු වෙන්නේ "brand loyalty, performance, Handling, braking, ඉතිහාසය, පැටිකිරිය, කාර් එකේ 'කැරැක්ටර් එක'" කියන දේවල් කියල කාටවත් කියන්න බැහැ නේ. එතකොට ඇල්ටෝ, ස්විෆ්ට් පදින බහුතරය ඔහේ පොයින්ට් A ඉඳන් පොයින්ට් B එකට යන්න වාහන පදින අය කියල generalize කරන එක අසාධාරණයි කියල හිතෙන්නැද්ද?

      Delete
    5. නැහැ, මේක සාධාරණය බලල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ලියන්නේ මගේ අත්දැකීම්, පොදු කාර් සංස්කෘතියක් ඇතුළේ තියලා. මේක කාර් වමේ ව්‍යාපාරයක් නෙමෙයි. මේක අන්ත දක්ෂිණාංශිකයි. ඇල්ටෝ ස්විෆ්ට් ඉතාම ප්‍රායෝගික කාර් කියල අවධාරණය කරන අතරම ඇල්ටෝ, ස්විෆ්ට් පදින බහුතරය ඔහේ පොයින්ට් A ඉඳන් පොයින්ට් B එකට යන්න වාහන පදින අය කියල මම අදත් කියනවා, හෙටත් කියනවා අනිද්දාත් කියනවා. මම කවදාහරි ඇල්ටෝ එකක් ගත්තත් මම ඒක කියනවා. මම ඇල්ටෝ එකේ අනුරාධපුරේ නෙමෙයි ඇමරිකාවේ ගිහිං ආවත් ඒක හිල්මන් මින්ක්ස් එකක ටවුමට ගියා වගේ රසවත් කතාවක් වෙන්නේ නෑ කියලත් මම දන්නවා. මේක ලොජික් වලට අහුවෙන්නේ නැති දෙයක් කියද්දී කියද්දී ඔයා මේකේ ලොජික් එක හොයනවා නම්, good luck with that... ;)

      Delete
    6. ඔව් ඔයාට " ඇල්ටෝ එකේ අනුරාධපුරේ නෙමෙයි ඇමරිකාවේ ගිහිං ආවත් ඒක හිල්මන් මින්ක්ස් එකක ටවුමට ගියා වගේ රසවත් කතාවක් වෙන්නේ නෑ" කියන එකේ ලොජික් එක කාටවත් පැහැදිලි කරන්න බෑ කියල මං දන්නව. නමුත් "ඇල්ටෝ ස්විෆ්ට් වල යන එන ගමන්වල කතා බිහිවෙන්නේ නැතුව ඇති. මතක බිහිවෙන්නේ නැතුව ඇති" කියන එකට මම එකඟ නැති එකත් ලොජික් වලින් පහදන්න බෑ... මං කොමෙන්ට් එක දැම්මේ ඒක ලොජික් වලින් පහදන්න හිතාගෙන නෙමේ "මම ඒ කතාවට එකඟ නෑ" කියන එක කියන්න :)

      Delete
    7. ක්ලැසික් කේස් ඔෆ් 'ලෙට්ස් ජස්ට් අග්‍රී ටු ඩිසග්‍රී...' :)

      Delete
  10. මේ ලගදි උදේ පාන්දරම ගල්කිස්සේ ටෙම්පල්ස් පාරේදි දැක්කා සුපිරියටම තියාගෙන ඉන්න නිල්පාට පර්ජෝ එකක්. මට වැඩට යන්නත් අමතකවුනා එක දැකලා. ඒක 3 ශ‍්‍රී ද කොහොද. මට නොම්බරේ බලාගන්නත් අමතක වුනා එකේ ලස්සන දැකලා. ඒ එක්කම කාර් පිස්සුවේ ඔබවත් මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. ඔවු, ගල්කිස්ස පැත්තේ තියනවා මම ජීවිතේට දැකපු සුපිරිම 203 එක. මාව මතක් වුණාටත් බොහොම ස්තූතියි :)

      Delete
  11. Maru.. Godak ayata one anith ayata wada ihalin innawa kiyala pennanna wahana pawichchi karanna.. parana car ekak padina eka madikamak widiyatai hithanne.. Mey tika ada kale kollonnta kellonta therum karanna puluwan nam loku jayak..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි නදුන්.

      Delete
  12. මොන වාහනේ උනත් තමුං එක වාහනයක් පුරුදු වෙලා හිටපු එකා වෙන එකක් අතට ගත්ත ගමං මඤ්ඤං වෙනව තමයි. ටවුන් ඒස් එලෝල පුරුදු මම දාහතර හමාරෙ එල්ෆ් ලොරි දණ්ඩක් වෑන් එක වගේ එලෝල ඒකෙ ඩ්‍රැයිවරයගෙන් හොඳ පාඩං ටිකක් ඉගෙන ගත්ත. හැබැයි ඉතිං උෟත් වෑන් එක ගත්තම හිතන්නෙ ඒකෙ ඉස්සර බෆර් එක තියෙන්නෙත් එල්ෆ් එකේ ගානටම කියල.

    3 ශ්‍රී එකේ සම්පූර්ණ කතාවත් ඉස්සරහට එයිනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියට ටවුන් ඒස් එකත් එක්ක බැඳුණු කතා ගොඩක් ඇතියි කියලා හිතෙනවා...

      3 ශ්‍රී එක කතා සාගරයක්. කොහෙන් පටන්ගන්න්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ... :)

      Delete
  13. මේක දාපු ගමන් මං ආවට.. ප්‍රැටල් ගහපු බල්ලෙක් වගේ පෝස්ට් එක යන්න ගිහිල්ලා. ඕං අදයි ඒ පාර බල්ල හොයාගත්තේ..

    උඹට මං කියල තියෙනවා.. මාව පරණ කාර් පිස්සෙක් කරන්න එපාය කියලා..

    ආයි ආයි කියන්න ඕන නෑනේ.. උඹගේ ලිව්ල්ල මසුරං..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඕක ඉස්සරලා වැරදිලා පබ්ලිෂ් වුණා මගේ අතින්, එඩිට් කරන්න කලින්. බොහොම ස්තූතියි දේශකයාණෙනි. ඔබත් ඉබි හිමිකරුවෙකු වනු දැකීම මගේ පරම පැතුමයි... :)

      Delete
  14. අද තමා කියමුකෝ බ්ලොග් එක ඇහැ ගැටුනේ.. කාර් පිස්සුව තදින්ම තිබුන සහ තදින්ම තවමත් තියෙන මට මේක කියවල තිබ්බ පිස්සුව උත්සන්න උනා බං... මමත් කාර් නිසා කාපු කටු ගැන වෙනම පෝස්ට් බර ගානක් ලියල තියෙනවා වෙනත් වෙබ් අඩවියක. මටත් හීනි ආසාවක් තියෙනවා ඔයින් එකක් අරන් සුපිරියට හදන්න. ඔයාගේ ඔක්කොම පොස්ට් ටික කියවගෙන එන්නම්කෝ.. මසුරං පහට ලියල තියෙනවා විස්තරේ.. කාර් නිසා කාපු පරිප්පු ලියනවනම් ඉතිං පොස්ට් තව පනහක් සීයක් ලියන්න පුළුවන් වෙයි මටත්.. ඒ කාලේ ඉතින් සතියකට දවසක්වත් අතේ මජන් ටිකක් ගාගත්තේ නැති උනොත් නිකං කෑවේ නෑ වගේ බං..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි... නිතර මේ පැත්තේ ඇවිත් යන්න :)

      Delete
  15. උබගේ උපමා එල ද බ්‍රා ....
    උබගේ බ්ලොග් එකට එන්න මෙචර පරක්කු උනේ ඇයි මම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ... වෙලාව ආවම තමයි අදාළ තැනට යැවෙන්නේ :)

      Delete
  16. මේ ගත්තා මේ දුන්නා නෙමෙයි.. අවුරුදු දහයක් එකතැන තියාගෙන ඉඳලයි දුන්නේ දුකේ බෑ....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු කාර් පිස්සුව

      Delete
    2. පිස්සු කොර ....
      බ්‍රා එකයි කප් එකයි වගේ
      හුක් එකයි අයි එකයි වගේ

      Delete
  17. හැමදාම බලනවා නමුත් ඇනෝ බැරි නිසා කමෙන්ට් නැත. බැරිම තැන අද ප්‍රොෆයිල් එක හැදුවා.

    ReplyDelete
    Replies
    1. නියමයි... උනන්දුවට බොහොම ස්තූතියි...

      Delete
  18. මේ වගේ උපමා ගැලපීමක් නම් මම කොහෙවත් දැකල නෑ. අති විශිෂ්ටයි. කියන්න දෙයක් නෑ ඉතින්. ජෙයින් ජෙයම වීවා! 😂😂👍🏻🙏🏼🇱🇰

    ReplyDelete
    Replies
    1. බොහොම තුතී හසිත පුතී... :)

      Delete
  19. සුපිරි කතාව අයියේ....
    කෑල්ලෙන් කෑල්ල ගියත් අතාරින්නෙ නෑ ප්රොජෙක්ට් එක :) ..
    මගේ අනාගත ගරාජ් එකේ තියෙන වන්ඩි තුනෙන් එකක් බීටල් එක..
    බිටල් එකයි,මගේ ජීප් රාජයයි,රෝද දෙකේ ;) යමහා ට්‍රේලෙකුයි ...

    ReplyDelete
    Replies
    1. හීන ගරාජ් එක හැබෑවක්ම වේවා!

      Delete
  20. මචන් මම ඔයාගේ බ්ලොග් එක මුල ඉඳලම කියවන කෙනෙක්. උන වැඩි වෙලා තියෙන නිසා මේ කියන්නේ. තරහ නැතිව උඹගේ morris minor එකේ photos ටිකක් දාපන්කෝ. මේ පොස්ට් එකේ ෆොටෝ එක දැක්කම මට පිස්සු වගේ. car pissuwa fb page එකේ උනත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලින්ක් දෙකේ ෆොටෝස් ටිකක් තියනවා.
      http://carpissuwa.blogspot.com/2016/05/en.html
      http://carpissuwa.blogspot.com/2016/07/blog-post_23.html
      ප්‍රොජෙක්ට් එකේ කතාව ලියන්න හිතාගෙන ඉන්නේ. එතකොට ෆොටෝ ඔක්කොම දාන්නම්. :)

      Delete
  21. එල අයියේ ඔයා නම් දෙයියෙක් වගේ . දැන්නම් මට ජීවත් වෙන්ඩ ඔයාගෙ පෝස්ට් එකත් ඇති . මං ගෙනවෙත් 3ශ්‍රී 1st bettle එකක් මම mechenic engineer කෙනෙක් උනත් මට මට මේ වෙනකන් මෙ ඉබ්බව එපා වෙලා තිබ්බේ
    දැන්නම් මලත් මෙක අත අරින්නෙ නෑ . . . ඔයාගෙ ටෝක් ටික බොක්කෙත් අගටම වැදුනා . ජය වේවා

    ReplyDelete
    Replies
    1. පමාවී දෙන පිළිතුරට සමා වුව මැනවි. දුටුවේ අද ය... බොහොම ස්තූතියි ළහිරු...

      Delete
  22. "අහම්බෙන් උදලු පාරක් එක්ක පොළව උඩට විසිවෙච්ච පත්තෑයෙක් වගේ ස්ටියරින් වීල් එක එහෙමෙහෙ දුවන්න හදනවා. වලක වැටෙන වාරයක් ගානේ වහලේ අස්සෙන් මලකඩ වැටුණේ හරියට උදේ පාන්දර සේපාලිකා ගහක් හෙල්ලුවා වගේ. ඩ්‍රයිවින් පොසිෂන් එක කොච්චර පහළද කියනවා නම් ඒක බංකු හිරමනේ අරං ගිහිං කෑම මේසෙට ඉඳගත්තා වගේ අත්දැකීමක්. ගියර් පැටලෙන්නේ නිකං ට්‍රයි කරන කෙල්ලෙක් මූණට මුලිච්චි වුණාම මොකක් කියන්නද කියලා හිතාගන්න බැරුව සිතිවිලි පැටලෙනවා වගේ. සිග්නල් ස්විච් එක ඩෑෂ් බෝඩ් එකට හයි කරලා තිබ්බ නිසා සිග්නල් දාන්න ඕන වුණාම පත්තරේ කියෝන ගමන් ගෙදර බල්ලගේ ඔලුව අතගානවා වගේ පාර බලාගෙන ඩෑෂ් බෝඩ් එක අතගාන්න වුණා"

    සිංහල Blog වල කාලෙකින් දැකපු සුපිරි උදාහරණ ටිකක්.

    අද තමයි ඉස්සෙල්ලාම අදහසක් ලියල දාන්නෙ ගොඩක් කල් ඉඳල කියෙව්වට.

    මේ උදාහරණෙ දැකලා ලිපිය, comments කියවන එක නවත්තල මේ comment කරන්නෙ.

    හැමදාම රහට ලියල, දෙයක් ඉගෙනගන්න දෙනවට ගොඩාක් පිං මචෝ.

    උඹට ජයෙන් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. දිගටම කාර් පිස්සුව එක්ක ඉන්නවට බොහොම ස්තූතියි සානුවා...

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete