Monday, December 19, 2016

ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද? - Step-by-step Guide එකක්




පෙරවදන:

අතීතයේ බොහෝ දෙනෙකුට කාර් ප්‍රොජෙක්ට් කිරීම සඳහා කාර් ගැන හොඳ දැනුමක් තිබීම අවශ්‍ය විය. එහෙත් නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දැන් එය අවශ්‍ය නොවේ. අද දවසේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල නිසා (මා වැනි තවත් සුවහසක්) කාර් පිස්සන්ට ප්‍රොජෙක්ට් එකක් නාගැනීම සුළු දෙයක් බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස කාර් එකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ දමා 'යාලුවනේ මට අහවල් දේ කරගන්න උපදෙසක් ඕනේ, දන්න අය පොඩ්ඩක් කියනවද?' කියා ඇසූ ගමන් ඔබට පැය භාගයක් හෝ විනාඩි 40 ක් වැනි සුළු කාලයක් ඇතුළත ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ක්‍රම විස්සක් තිහක් අසා දැනගත හැක.

කෙසේ වුවත් මගේ පළවෙනි ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එක ආරම්භ කරන විට මට ෆේස්බුක් සමග ලොකු ගනුදෙනුවක් තිබුණේ නැත. එම නිසා ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ක්‍රම සහ විධි මටම සොයාගැනීමට සිදුවිය. එහෙත් දැන් අන්තර්ජාලයේ සැරිසරන අයට වුවද තමන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා මා නාගත් ගංගා ඇලදොළ ගැන විස්තර ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒ පිළිබඳව Step-by-step guide එකක් සැපයීමට තීරණය කළෙමි.

ඒ නිසා මේ උපදෙස් මාලාව කියවා, ඔබට අදාළ වන ආකාරයට ඒවා පිළිපැද, ප්‍රොජෙක්ට් එක නාගෙන, ඒ නාගත් ආකාරය මා වෙත ලියා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


විශේෂ ස්තූතියි: 
කාර් එක ගන්න උදවු කළ තැන පටන් ප්‍රොජෙක්ට් එකෙන් ලක්ෂ ගාණක් පාඩු වීම දක්වා මට ප්‍රොජෙක්ට් එක නා ගැනීමට උපකාරී වූ ටින්කරින් අයියාට මගේ විශේෂ ස්තූතිය හිමි වේ.

පිදුම: 
ඒකත් ඌටම තමා!

මගපෙන්වීම අංක 01: කාර් එකක් මිලදීගැනීම 




කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා ඇති හොඳම ආරම්භක පියවර වන්නේ ඉවසීම පැත්තක දමා කඩිකුලප්පුව බෝ කරගැනීමයි. එවිට ඔබ කෙරෙන් පහත සඳහන් ලක්ෂණ දිස්වනු ඇත.

1. දකින පළමු කාර් එක (මලකඩ පැටවු ගැසූ ලදරමක් වුවද, දශකයකින් පමණ ලයිසන් ඉන්ෂුවරන්ස් තියා වතුර පොදක්වත් දැක නැති වුවද, ටයර් හතර රබර් ගසටත් වඩා පරණ වුවද, බැටරියේ හෙන්දිරික්කා මල් පැළවී තිබුණද, එහෙම තියෙද්දීත් අයිතිකාරයා ඒකට කැරට් විසිහතරේ ගණන් කිව්වද) ගන්නම හිතීම

2. ගෙදර බල්ලාට, පූසාට, ගිරවා, මාළුන්ට හෝ ඔබ ඇතිකරන ඕනෑම ආකාරයේ  විෂ රහිත/සහිත සතෙකුට ඇති ආදරය වැනිෂ් වී යාම. 

3. 'ඉන්න ටිකේ තියන ආසාවල් ඉෂ්ට කරගන්න ඕනේ' වැනි කතා කියා ගෙදර අයව තක්බීර් කිරීම

4.අනාගතයේදී ප්‍රොජෙක්ට් එකට සල්ලි හෙවීම සඳහා අයිස් පැකට් හෝ තෙල් බේත් වැනි දේවල් වුවද විකුණන්නට සිතීම

5. කකා ඉන්න අතරේ පවා විකමින් සිටි බත්ටික කටේ තබාගෙන කාර් ගැන කල්පනා කිරීම

6. පාරේ පරණ කාර් යනවා දුටුවිට විලිලැජ්ජාව පසෙක තබා බස් එකේ ඉඳන්ම කෙඳිරි ගෑම

7. ළඟම ගරාජ් එක අයිති එකා සමග කටපුරා සිනාසීම සහ ඌ ළඟට ගොස් හදන කාර් ගැන විස්තර අසඅසා මුකුළු පෑම

මෙවැනි ලක්ෂණ ඔබ කෙරෙන් දිස්වන බව ඔබටම පෙනෙන්නේ නම් කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා හොඳම කාලය පැමිණ තිබේ. ඒ නිසා වහාම ඊළඟ පියවරට යන්න.

ඊළඟ පියවර වන්නේ හැකි ඉක්මනින් වාහනයක් සොයාගැනීමයි. නා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් බ්‍රෝකර් කෙනෙකු අමතා පින්සෙන්ඩු වීම ය. ඔබ පත්වී සිටින අසරණ තත්ත්වය දැනගත් වහාම බ්‍රෝකර්ගේ ඔලුවේ විශාල ප්‍රමාණයේ බලුබ් එකක් ටිං ගා පත්තු වේ. එවිට ඔබට ඔන්න කන්ඩෙම් මෙන්න කන්ඩෙම් ගානට තිබෙන වාහන ඊයේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන් එළියට ආ මිලකට මිලදීගත හැක. ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා මුදල් විශාල ප්‍රමාණයෙන් ලෝක හොරුන්ට පුදදීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර පැහැර හැරීමෙන් වළකින්න.

'ඔරිජිනල්ම තත්ත්වයේ තියන/අලුත් ටයර් බැට්රි තියන/රනින් සුපිරි/ඉස්සර ලේඩිෂ් කෙනෙකු පැද්ද' වාහනයක් තිබෙන බව බ්‍රෝකර් කියූ විට ඔබ එය බලන්නට යා යුතු ය. ඒ සඳහා මිකැනික් කෙනෙකු හෝ ටින්කරින් අයියෙකු රැගෙන යා යුතු වේ. සාමාන්‍යයෙන් පරණ කාර් වල එන්ජින් ගොඩදැමීමට වඩා අපහසු වන්නේ බොඩි කෙළින් කිරීමයි. එම නිසා පළමුවෙන්ම ටින්කරින් වැඩ නැතිව වේලෙමින් සිටින ඔබේ හිතමිත්‍ර ටින්කරින් බාස් කෙනෙකු හමුවී ඔබේ අදහස පවසන්න. එවිට ඔහු ඔබට 'ඔය ඕන එකක් ගොඩදාන්න පුළුවන් මල්ලි' හෝ 'අර කාර් එකතු කරන ලෝයර් මහත්තයාගේ පරණ බෙන්ස් එක ගොඩදැම්මෙත් මම' වගේ කතා කියනු ඇත. මෙය ඔබට සිතූ පැතූ සේ නාගැනීමට ලැබෙන බවට හොඳ පෙරනිමිත්තකි. ඒ නිසා අතේ මුදල් ටික අතුරුදන් වෙන්නට කලින් හොඳ චීස් කොත්තුවක් ගෙනත් කා සතුට සමරන්න. පසුවදා හැදෙන බඩේ අමාරුවට ආටිගල ගෙහෙත් ගුලියක් ඉඟුරු ඉස්මෙන් හෝ දෙහි ඇඹුලෙන් ගන්න.

ඔබට ඩබල් එකේ නාගැනීමට අවශ්‍ය නම් වාහනය තියන තැන ටින්කරයාට කලින් පවසන්න. එවිට ඔහු වහාම ගොස් අයිතිකරු හෝ බ්‍රෝකරයා හමුවී ඔහුටත් ගානක් ලැබෙන පරිදි වැඩේ සෙට් කරගනු ඇත. එවිට ඔබට ප්ලැටිනම් හා සමාන වටිනාකමකට මලකඩ මිලදී ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වේ.

කාර් එක බලන්නට ගිය විට ටින්කර් අයියා ජිම්නාස්ටික් පෙන්නමින් කාර් එකේ උඩ, යට, පැත්ත, අස්ස සහ මුල්ල යනාදී සෑම තැනම රිංගීමට පටන් ගනු ඇත. නිහඬව ඒ සියල්ල විඳගන්න. වැඩේ සෑහෙන්න අමාරු බවත්, හැබැයි මල්ලිට නිසා ගොඩදාලා දෙන්නට පුළුවන් බවත්, පරණ වාහන හැදීම අමාරු බවත්, නමුත් ඔහු වැනි වැඩ දන්නා අයට ඒක කරන්න පුළුවන් බවත්, තවත් පොරවරක් දහය ටෝක් සීයක් විතරත් ඔහු ඔබ ඉදිරියේ දිගහරිනු ඇත. දරාගැනීමට අපහසු ම නම් කාර් එකේ අයිතිකරුගෙන් ගෙදර වැසිකිලිය තියන තැන අසාගෙන වැසිකිලිය ඇතුළට ගොස් තනියම අසභ්‍ය වචන හතර පහක් කියා, බිත්තියට පාරවල් දෙකතුනක් ඇන, කේන්තිය නිවුණු පසු ආපසු එන්න. ජිම්නාසිටික් සංදර්ශනය අවසන් වන තුරු මෙයම නැවත නැවත කරන්න.

ඔබ මේ වාහන කෙළියට අලුත් කෙනෙකු නිසා ඔබ මොන මිලගණන් සිතේ තියාගෙන සිටියත් ඇත්තටම ඔබ වාහනය මිලදීගන්නේ බ්‍රෝකර්ට (සහ ටින්කරයා සම්බන්ධ නම් උන් දෙන්නාට සහ තවත් උන් සම්බන්ධ නම් උන් සේරටම) අවශ්‍ය මිලට මිස ඔබ බලාපොරොත්තු වූ මිලට නොවේ. එයද ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ඉතාමත් වැදගත් මූලික පියවරකි.


මගපෙන්වීම අංක 02: ප්‍රොජෙක්ට් එක පටන් ගැනීම සහ එන්ජිම හැදීම   




පළමුවෙන්ම කළ යුත්තේ එන්ජිම සෑදීමද නැතහොත් බොඩිය සෑදීමද යන්න අර කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්නයකි. එම නිසා ඔබ වාහනය ගන්න ගියේ මිකැනික් කෙනෙකු සමග නම් එන්ජිමද, ටින්කරයෙකු සමග නම් බොඩියද සෑදීමට පටන් ගන්න. කරන හැම දේම මේ පුද්ගලයාගෙන් අසා ඔහු කියන දේ අනුගමනය කරන්න. නැතිනම් නා ගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇත.

මා කාර් එක බැලුවේ, මිලදී ගත්තේ සහ නා ගත්තේ ටින්කරයෙකු සමග වුවද මම මුලින් වාහනය 'දුවලා බලන්න ඕනේ' කියා මාව නෑවීමට කැමති මිකැනික් කෙනෙකු සොයසොයා ගියෙමි. එම නිසා මිකැනික් වැඩ සම්බන්ධයෙන් නාගන්නා ආකාරය ඔබට මුලින්ම පැවසීම මාගේ බලාපොරොත්තුවයි.

ඔබ කැමති හා හා පුරා කියා ග්‍රෑන්ඩ් ස්කේල් එකේ නා ගැනීමට නම් වහාම අදාළ කාර් බ්‍රෑන්ඩ් එක සම්බන්ධ  'එක්ස්පර්ට්' කෙනෙක් සොයාගන්න. ඔහුට එන්ජිම සෑදීම භාරදෙන්න. ඔහු ඔබට එන්ජිමේ අසූ හාරදාහක් හන්දිපත් රුදා, වාත වේදනා, කැක්කුම්, උළුක්කු වීම්, බඩ පිපීම්, පීනස් රෝග, සෙම්, පිත, කැස්ස, වමනය, යාම් බඩ යාම් සහ &*^ අමාරු ගැන කියා එන්ජිම 'ඕවරෝල්' කරන්න කියනු ඇත. මේ කියන්නේ overhaul කිරීම බව කරුණාවෙන් සලකන්න. කරුණාකර ලිස්ට් එකක් ලියා දෙන ලෙස ඔහුට පවසන්න. ඔහු ලියන 'පැට්ටල් පොම්පේ', 'පිගන් බෙයාරින්' සහ 'ඩයප්පරං එක' වැනි දේවල් පංචිකාවත්තේ තුණ්ඩු කියවන නරින්ට පවා තේරුම් ගැනීමට අපහසු වීමට ඉඩ ඇති නිසා මතක ඇතිව ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගන්න.

හැකි පළවෙනි දවසේම නිවාඩුවක් දමා, ගෙදර සුරතල් සතුන් ඇතුළු සියලු දෙනාට වැඳ ආශීර්වාද සහ සමාව ලබාගෙන උදේ පාන්දර පිටත් වී පංචිකාවත්ත නමැති නියම්ගමට පැමිණෙන්න. එම නියමගමේදී ඔබේ කාර් එකේ ලාංඡනය සඳහන් බෝඩ් එක ඇති පළවෙනි කඩයට දුවගොස් ලැයිස්තුව ලබා දී එම කඩය කරගෙන යන නරින් හෝ අර්ධ නරින් කියන ගණන්වලට බඩු සියල්ල අරගන්න.

සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකිණීම සඳහා වෙනම නරි වර්ගයක් ඇත. ඇතැම් විට ඔබ බ්‍රෑන්ඩ් නිව් බඩු ගත් කඩයේ නරියෙකු ඔබට මේ බඩු ගෙන්වා දීමට ඉඩ ඇති අතර, වැරදිලා හෝ අර්ධ නරියෙකු සිටියා නම් ඔබට සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන නරියෙකුගේ නොම්මරය ලබාදෙනු ඇත. මේ කිසිදු අවස්ථාවක ඩිස්කවුන්ට් දෙනවාදැයි ඇසීමෙන් වළකින්න. ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ඔබගේ ඉතුරුම් ගිණුම්, ජංගම ගිණුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු සියල්ල චකබ්ලාස් විය යුතු බව මතක තබාගන්න.

මගපෙන්වීම අංක 03: ටින්කරින් සහ පේන්ටින් වැඩ 




මේ වනවිට ඔබේ ප්‍රොජෙක්ට් එක ඔබට කරන උදවුවක් බව ඔබට ඒත්තු ගැන්වීමට ටින්කරයා සමත් වී තිබීමට ඉඩ ඇත. ඔබත් ඒ ආකාරයටම විස්වාස කරන්නට පටන් ගන්න. ප්‍රොජෙක්ට් එක නා ගැනීමට ඇති කෙටිම සහ ප්‍රත්‍යක්ෂම ක්‍රමය මෙයයි. මාස තුනක් ඇතුළත ඔබටත් නොදැනී ඔබව නෑවෙන්නට පටන් ගනු නිසැක ය.  

කිසිදු අවස්ථාවක Tool kit හෝ WD40 වැනි යෙදුම් භාවිතා කිරීමෙන් වළකින්න. ලංකාවේ ටික්කරින් කරන අයියලා ඇන ගැලවීම, බඳ රවුම් කිරීම, පැනල් සවි කිරීම, ආහාර ගැනීම සහ පිට කැසීම ඇතුළු සියලුම දේ කරන්නේ මිටි සහ කපන කටු භාවිතයෙනි. මේ අතරවාරයේ අර ධාතුසේන රජතුමා කලා වැවේ වැවු බැම්ම මත සිටුවා පස් ගැසුවා සේ වාහනයේ බඳ මත චක චක ගා කැටලොයි දමා වසනු ලැබේ. මේවා දැකීමෙන් ඔබේ හිත ගත දයියා වන්නේ නම් වහාම පාරේ යන කෙනෙකු නවත්වා දේශපාලනය කතා කිරීමට පටන් ගන්න. කිසි විටෙකත් කැටලොයි මෙහෙයුමට විරුද්ධ වීමෙන් වළකින්න. කවදා හෝ විකුණන දවසක මේ වාහනය ගන්නට එන බූරුවා නියපොත්තෙන් වාහනයේ බඳට ඇන 'කැටලොයි නේද?' කියා අසන විට ඔබට ඒ දුර ඈත අතීතයේ නා ගත් නා ගැනිල්ලේ සුව සහනය නොමදව දැනෙනු ඇති බවට කිසිදු සැකයක් නැත.

ටින්කරින් වැඩ සඳහා සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ගතවීමට ඉඩ ඇත. කම්මැලි කමක් සිතට නැගුනු අවස්ථාවක ගොස් අසැබි වචනයක් දෙකක් කියා එනු මිස ටින්කරයා සමග දීර්ඝ රණ්ඩු ඇතිකර ගැනීමෙන් වළකින්න. Short term නෑමට වඩා Long term නෑම ඇඟට ගුණ බව වෛද්‍යවරුන්ගේ අදහසයි. මේ කාලය පුරා වරින්වර ටින්කරයා ඔබෙන් විසි තිස්දාහ බැගින් කඩාගනු ඇත. මේ හැම වාරයේම වහාම ATM යන්ත්‍රයක් වෙත හෝ ඔබේ ගමේ පොලියට දෙන චාලට් අක්කා වෙත ගොස් අදාළ මුදල රැගෙන විත් ටින්කරයා අතේ තබන්න. මෙය නා ගැනීමේ ක්‍රියාවලියේ අනිවාර්ය හා කේන්ද්‍රීය අංගයකි. 


මගපෙන්වීම අංක 04: බීඩින් දැමීම 




බීඩින් දැමීම නා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් ඇත. ඒ සඳහා පහසුම ක්‍රමය වන්නේ ටින්කරයා දෙන නොම්මරයට කතා කර බීඩින් කාරයෙක් සෙට් කර ගැනීමයි. සාමාන්‍යයෙන් බීඩින් කාරයා ටින්කරින් ගරාජයට ගෙන්වා ගැනීමට දුරකථන ඇමතුම් සීයක් පමණ ලබාදිය යුතු ය. එවිට ඔහු කුඩුකාරයෙකුගේ පෙනුම සහිත ගෝලයෙකුද සමග එක්තරා සැන්දෑවක බට්ටෙකුගේ නැගී පැමිණ, ඔබේ කරදරයෙන් බේරීමට/ඔබට උදවු කිරීමට පැමිණි බව අඟවමින් කාර් එක පරීක්ෂා කරනු ඇත. ඉන් අනතුරුව ක්ලැසි ක් කාර් වල බීඩින් දැමීම කොච්චර දුෂ්කර කාරියක්ද කියා නැවතත් නැවතත් නැවත නැවතත් නැවත නැවත නැවතත් ඔබට පවසනු ඇත. ඉන්පසුව පහත සඳහන් දේවල් තුන අතරින් එකක් සිදුවීමට ඉඩ තිබේ. 

1. නාහෙන් අඬා අඬා ඌටම ඇතිවූ පසුව ඌ බීඩින් දැමීම 
2. ඔබ බීඩින් ගෙනවිත් ඇත්නම්, ඒ බීඩින් දැමීමට නොහැකි යයි කියා වෙන බීඩින් රැගෙන එන ලෙස ඉල්ලා බට්ටා කිහිල්ලේ ගසාගෙන ඌ පිටවී යාම 
3. ඔබ ගෙනා බීඩින් කපා, ඉන්පසු දාන්නට බෑ කියා, සිලිකන් දමා වීදුරුව අලවා ඔබෙන් විශාල මුදලක් කඩාගැනීම 

මේ ක්‍රම තුනම සම්බන්ධයෙන් මට අත්දැකීම් ඇති බැවින් ඔබට ඉතාමත් විශ්වාසයෙන් යුතුව කියා සිටිනුයේ ඔබට විශිෂ්ට ලෙසම නා ගැනීමට හැකි ක්‍රමය අංක 3 යටතේ සඳහන් ක්‍රමය බවයි. 

සාමාන්‍යයෙන් ඔය තුනෙන් කුමන ක්‍රමය සිදුවූවත් ඔබ අවසානයේ නවතින්නේ ඩාලි පාරේ අර සුප්‍රසිද්ධ බීඩින් කඩය ළඟ බව කරුණාවෙන් සලකන්න (නීතිමය හේතු මත එම කඩයේ වෙළඳ නාමය සඳහන් කළ නොහැක). 


මගපෙන්වීම අංක 05: ඉලෙක්ට්‍රිකල් වැඩ 




ප්‍රොජෙක්ට් එකක් නා ගැනීමට ඇති තවත් ඉතාමත් පහසු ක්‍රමයක් වන්නේ 'ඉලැට්ටිකල් ඇස්පෝට්' කෙනෙකුට ඉලෙක්ට්‍රිකල් වැඩ භාරදීමයි. එවැනි ඇස්පෝට් කෙනෙක් ගැන මේ බ්ලොගයේ "බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" ලිපියේ දක්වා තිබේ. එය හොඳින් කියවා බැලීමෙන් ඔබට ඒ ක්‍රමයට නා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

ඔබ දන්නා අය අතරින් වැඩියෙන්ම පොර ටෝක් දෙන ඉලෙක්ට්‍රිකල් කාරයා තෝරාගැනීම මේ සඳහා ඇති තවත් ක්‍රමයකි. මෙය මා විසින් ඉතා හොඳින් අත්හදා බලා ඇති ක්‍රමයක් බව ඉතාමත් ආඩම්බරයෙන් කියමි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මගේ පළවෙනි බීට්ල් රථයේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් එක නොනිවී දැල්වී තිබූ අතර එය හදන්නට වෙන තැනකට ගෙනගොස් දැමීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඉලෙක්ට්‍රිකල් වැඩ සියල්ල තිතට හරිගොස් එන්ජිම අයිඩ්ල් හිටින්නේ නැතුව යාමයි. තව පොඩ්ඩෙන් මගේ පනස් දාහකට පමණ කෙලවී මට දුන්හිඳ ඇල්ලෙන් නාගැනීමේ වාසනාව උදාවීමට ඉඩ තිබූ අතර මගේ හිතමිත්‍ර මිකැනික් දයානන්ද අයියා මැදිහත් වී එන්ජිම ගොඩින් බේරාදීම නිසා ඒ මහා දුන්හිඳ ස්නාන චාරිකාව අහිමි වී ගියේ ය. 

මගපෙන්වීම අංක 06: නිකල් වැඩ 




නිකල් වැඩ යනු ප්‍රොජෙක්ට් එකක් නා ගැනීමට ඇති තවත් විශිෂ්ට ක්‍රමයකි. මේ සඳහා මට සාදර අනුග්‍රහය ලබාදුන්නේ පොකුණුවිට 'පුපුල් ඉලෙට්ටෝප්ලේටින්' ආයතනයේ අධිපති දේශමාන්න කලාහූරී චෞරරාජ ශ්‍රී ස්නානප්‍රසාදී පුපුල් මහතා ය. ඒ මහතා 'බාත් එකේ දානවා, අනිවාර්යෙන්' කියා ඉලෙක්ට්‍රෝප්ලේට් කරදුන් නිකල් බඩු ටික මාස 6 ක් යන්නත් කලින් සවුත්තු විය. මෙහිදී ඉදිරිපස බෆරය යළි නිකල් කර දීමට ඒ මහතා එකඟ වූ නමුත් බෆරය ඔහුට භාරදුන් පසුව ඒ මහතාගේ නැට්ට පවා සොයාගැනීම දුෂ්කර වූයේ ය. 

කිසිදු දුරකථන ඇමතුමට උත්තර නොලැබෙන විට ඔරිජිනල් ෆොක්ස්වැගන් බෆරයක් පිනට දී නාගැනීමේ පරමානන්දය මට දැනෙන්නට වූ හෙයින් මම වහාම ඒ මහතාගේ ව්‍යාපාරික ආයතනය සොයා ගියෙමි. එතනදී ඒ මහතාගේ සහෝදරයෙකැයි කියූ කෙසඟ මහතෙකු මට ප්‍රකාශ කළේ බෆරය අයියාගේ ගෙදර ඇති බවයි. වහාම එය ගෙනැවිත් තබන ලෙස කළ ඉල්ලීම පුදුමයකට මෙන් ඉටු වූ අතර පසුදා ආපසු ගෙදර ගෙනැවිත් සවිකළ බෆරයේ 'ඉලෙක්ට්‍රෝප්ලේටින්' එක සතියක් යන්නටද කලින් නැවත නොඑන්නට මට බූට් එකක් තබා යන්නට ගියේය. 

ඒ නිසා නිකල් වැඩ වලින් නා ගැනීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර හොරණට නුදුරු පොකුණුවිට ප්‍රදේශයේ පුපුල් ඉලෙට්ටෝප්ලේටින් ආයතනයේ අධිපති දේශමාන්න කලාහූරී චෞරරාජ ශ්‍රී ස්නානප්‍රසාදී පුපුල් මහතා හමුවන්න. 


මගපෙන්වීම අංක 07: ටයර්, අංක තහඩු සහ අනෙකුත් දේවල් 



ටයර් වලින් නා ගැනීමටද ඔබට වුවමනා තරම් ඉඩකඩ පවතී. කලකට ඉහත ටින්කරයෙකු මගේ මිතුරෙකුට පවසා තිබුණේ ෆොක්ස්වැගන් සඳහා විශේෂ ටයර් වර්ගයක් පමණක් යෙදිය යුතු බවයි. මෙම ටයර් තරමක් අධික මිලකින් යුක්ත වන බවත්, ඒවා සොයා ගැනීම සඳහා තමන් 'උදවුවක් හැටියට' පංචිකාවත්තේ දවසක්ම රවුම් ගැසීමට සූදානම් බවත් කියූ මේ ටින්කර ටින් මහතා මගේ මිත්‍රයාව විශාල ප්‍රමාණයේ බාල්දියකින් නාවා තිබිණි. මගේ ෆොක්ස්වැගන් රථයට සාමාන්‍ය ටයර් දමා පෙන්වූ විට මගේ මිත්‍රයාට තමන් නාගත් නා ගැනීමේ දිග පළල සිහිවී අර ටින්කර ටින් මහතාට මුව නොසෑහෙන සේ, මා ජීවිතේට නොඇසූ පුණ්‍ය කථා පවා කියමින් පින් දුන්නේ ය. 

ක්ලැසික් කාර් වලටම යොදන විශේෂ වූ, කළු පසුබිමේ නිකල් නොම්මර හා ශ්‍රී අකුර සහිත අංක තහඩු සෑදීමේදී නා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඩාලි පාරේදී ඒ සඳහා වුවමනා තරම් අවස්ථා ලැබෙනු ඇත. ඔබ ඉතා හොඳ ඇඳුමින් සැරසී, ඉහළම මිලකින් යුත් සුවඳ විලවුන් ගල්වා, අවු කන්නාඩි යුවලකුත් පැළඳගෙන ගියහොත් ඔබට අඩුම තරමින් දෙදාහකට පමණ කෙළවාගැනීමේ අවස්ථාව ලැබෙනු ඒකාන්ත ය. 


සාරාංශය 



ඉහත සඳහන් කරුණු සියල්ල ලියුවේ ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගන්නේ කෙසේදැයි සිතමින් දිවා රෑ ඇඳේ ඒ පැත්ත මේ පැත්ත පෙරළෙන ඔබට අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණිනි. මෙම උපදෙස් අකුරට පිළිපැදීමෙන් ඔබට ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා නිසැකවම අවස්ථාව ලැබෙනු ඇත. 

නමුත් මේ කරුණ හොඳින් මතකයේ තබාගන්න: ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා ඇත්තේ මෙම ක්‍රම කිහිපය පමණක් නොවේ. ඔබේ ප්‍රොජෙක්ට් එකේ සෑම පියවරක් පාසාම ඔබට ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා අලුත් මාවත් දස දහස් ගණනක් පෑදෙනු ඇත. ඒ මාවත් දිගේ කෙතරම් දුර පියනගනවාද යන්න සහ කෙතරම් උස දිය ඇල්ලකින් නා ගන්නවාද යන තීරණය ඇත්තේ ඔබ අතේ ය... 

ඔබ සැමට සුබ නා ගැනීමකට ආසිරි... 

- නිමි - 

www.facebook.com/CarPissuwa 


(සිදුවීම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 

69 comments:

  1. Adenava yakoo matata oya tikama tamai bola deyio baluva vage hoda vaddek set unaa

    ReplyDelete
    Replies
    1. පව පින අතර දෝලනය වීම තමා :)

      Delete
  2. පිං අයිතිවේවා...වැඩි වැඩියෙන් ලැබේවා... මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න...ඒ සිහිනෙන් මා මිදන්න ලන් නොවන්න යකෝ...

    ReplyDelete
    Replies
    1. දුරින් සිට ඔබ දෙස බලන්නං - හිතේ හැටියට නාගනිං බං...

      Delete
  3. හීනෙන් ගැස්සිලා ඇහැරෙනවා... ගොරවන්නෙත් ඉබ්බා කාර් එකක් වගේලු.. නෑමක් ලඟයි වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මජං ගාලා නාලා ගැස්කට් කෑලි වලින් පිහදාන අපේ ලෝකයට සාදරයෙන් පිළිගනිමු... :)

      Delete
  4. ඉබ්බට.තිබ්බ පොඩි ආසාවටත් අති සාර්ථකව කෙළවූ ඔබට මාගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. පළවෙනි ප්‍රොජෙක්ට් එකෙන් විතරයි නෑවේ බං... දෙවෙනි ප්‍රොජෙක්ට් එකෙන් නාගන්න බැරිවුණා. ඒකයි නාන්න කැමති අයට නාන්න අමතක නොවෙන්න මේක ලිවුවේ... නාගන්න අකමැති නම් ඉතිං හරි විදිහට කරහන්... ඔන්න පස්සේ කියන්න එපා 'වැඩේ හරිගියා, ඒ වුණාට අත්දැකීම් නෑ' කියලා... ;)

      Delete
    2. මාත් නොම්මර තහඩු අලුමිනියම් අකුරින් හදා ගන්න ගියා. පන්චිකාවත්තේ 6500යි. ඩාලි පාරේ 3500 යි. මගෙ ප්‍රොජෙක්ට් එක නම් දැන් ඉවරයි. නා ගන්න වුනේ ඉලෙක්ට්‍රිකලුයි කුශනුයි වලින් තමා. ඒත් ඉතිං ඒ තරම් උස දිය ඇල්ලකින් නෙවෙයි

      Delete
    3. නොම්මර තහඩු ගණන් හරියටම හරි. මම පළවෙනි පාර 4,000 ක් දීලා කරලා දෙවෙනි පාර 3,000 කට කරගත්තා.

      Delete
    4. මට බෞද්ධාලෝක මාවතේදි හම්බවෙච්ච පොලිස් කාරයෙක් කිව්වා, කලු පසුබිමේ සුදු අකුරෙන් තියෙන පරණ අංක තහඩු නීති විරෝධීලු. ඒවා සුදු පසුබිමේ කලු අකුරෙන් එන විදියට අලුතෙන් හදාගන්නලු. මම කියන්නෙ ඉස්සරහ ඒවා ගැන.

      Delete
    5. ඔහොම කට්ටිය උන්නු ගමන් අපටත් අහුවෙනවා ඩූඩ් අයියා. ඔරිජිනල් ආවේ එහෙම කිව්වම තමයි ඔය කතාව ෂේප් වෙන්නේ.

      Delete
  5. Replies
    1. බොහොම ස්තූතියි ජීවන්...

      Delete
  6. Replies
    1. හොඳට නාලා පුරුදු කොල්ලෙක් නේ මේ... :D

      Delete
  7. ප්‍රොජෙක්ට් වලට ආසාවුනත් නාන්න කම්මැලි හින්දා නිකං ඉන්නවා. තාත්තා ඔස්ටින් ප්‍රොජෙක්ට් එකකට අත ගහලා තරමකට නාගත්තා. එක දැකපු දා ඉදලා මම නාන්න පොඩ්ඩක් බයයි.

    ReplyDelete
    Replies
    1. පුළුවන් කාලේ නා ගන්න... එතකොට බැරි කාලේ ඒ ගැන හිතලා සතුටුවෙන්න පුළුවන්...

      Delete
  8. හැක්... හැක්.. හොඳ නෑමක් නාල තියෙන හැඩයි. මක්වෙයිද ඉතිං අතේ තියෙන සේසතම.... සොරි ඇඟේ තියෙන ඔක්කොම කුණු ටික හෝදගන්න අවස්ථාවක් ලැබුන එක ගැන හිතල සතුටුවෙන්න බැරියැ.

    මාත් මේ ටවුන්ඒස් නා ගැනීමක් ගැන සිහින දකිමින් අතට කීයක්හරි හම්බවෙනකල් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔයා නෑමක් අපේක්ෂාවෙන් ඉන්න බව... මම මෝටර් කාර්මික දැනුම එකෙත් දැක්කා... ඒ සිතිවිලි කොමෙන්ටුවකට කැටි වේවි කියලත් හිතුණා... :)

      Delete
  9. ප්‍රෝජේක්ට් එකක් නා ගන්න හොදම ක්ලැසික් වාහනය මොකක්ද

    ReplyDelete
    Replies
    1. පරණ ලාඩා එකක්, ඕපල් එකක් වගේ ජපන් නොවන, ඔය ලහිපිටේ 'වෙනත් වාහන' කොටසේ දාන ඒවායින් එකක් තෝරගන්න. හොඳට නාගන්න පුළුවන්...

      Delete
    2. Meka thamaa pattana comment Eka.

      Delete
    3. ඔය වෙනත් වාහන කෑල්ල නිකං 'මෙය උගුලකි' කියලා ගහලා තියන උගුලක් වගේ. ඒත් අපි දැන දැන යනවා ඒක අස්සට,... :D

      Delete
  10. ඇයි බන් අයියේ අන්තිමට AC කරන්න ගියාම.. ඒක නිකන් ලිදෙන් ඇද ගෙන නානවා වගේ..

    ReplyDelete
    Replies
    1. අපරාදේ! ක්ලැසික් කාර් එකකට ඒ.සී හයිකරන්න ගිහිං නාගන්න බැරිවුණා තාම!

      Delete
  11. ටින්කෙරින් එක හොදටම නගන්න බෑරුව හිටිය, ගොඩාක් හොද ටින්කරින් අය්ය කෙනෙක් මව බාගෙට නාවනකොට මන් ප්‍රොජෙක්ට් එක ගෙදර ගෙනව, හොදටම නාගන්න විදීයක් නතුව හිට්යෙ, ගොඩාක් තෑන්කු

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික නොනා ඉන්නවාද, නැතහොත් කලින් ටිකටත් වැඩිය හොඳට නානවාද කියා ඉක්මනින් තීරණයක් ගන්න ;)

      Delete
  12. Hilarious!!!!!!!!! Haw about an English translation?????????��

    ReplyDelete
  13. දෙයියනේ හිනාවෙලාම බඩ රිදෙනවා! නියමෙටම ලියල තියනවා. අපේ බොසාට වුනා ඔහොම සීන් එකක්. එයාගෙ ටවුන්ඒස් එක උදේට උදේට ස්ටාට් නොවෙන්න පටන්අරගෙන දාලා තිබුණ ඉලෙක්ට්‍රීෂන් කෙනෙක් ගාවට, මිනිහ කිව්වලු
    ඕල්ටනේටරේ බ්‍රෂ් සවුත්තුයි බ්‍රෂ් සෙට් එක දාන්න වෙයි කියල, ඉතිං දාල බැටරියටත් චාජ්පාරක් දාල වාහනේ ගෙනල්ල.
    හැබැයි ලෙඩේ ඒසේමයිලු. ඊට පස්සේ ආයිත් ගිහින් දැම්මම පොර කියනවලු එහෙනං මහත්තය ඕල්ටනේටරේ දාන්න වෙයි කියල. ඒකත් කරල ඒත් හරිගිහින් නෑ, අන්තිමට බැටරිය දාල තමයි නැවතිලා තියෙන්නෙ. ලෙඩේ තිබිල තියෙන්න බැටරියෙ( සවුත්තු වෙලා).( අන්තිමට බැලුවම මුළු චාජින් ඒරියා එකම දාල ) ඕක මතක් කලාම ලස්සණ කතා කීපයක් අහගන්න පුළුවන් බොසාගෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හසිත. ඔවු ඔය බ්‍රෂ් පරිප්පුව අපි ගොඩක් දෙනෙක් කාලා තියනවා. 3 ශ්‍රී එකේ තිබ්බ බැටරිය සවුත්තු වෙලා තියෙද්දී ඇස්පෝට් කෙනෙක් මාව හොඳට නෑව්වා කාලෙකට උඩදී... :)

      Delete
  14. magea adahasa thama..thaman wada dan nathan project car hadan 1k..thanikaram naganilak kiyala..anika dan parana car ganta ba mara ganam ape esara 10000.20000,,ta geanapu car dan 200000 lks,,300000....project seen hinda dan aithai carayooo..thanie marran ganam usanava .....yalluva nea

    ReplyDelete
    Replies
    1. 'ප්‍රොජෙක්ට් සීන් හින්දා' 'අපි ඉස්සර ගෙනාපු'... :) කාර් කියන්නේ බිස්නස් එකකට එහා ගිය දෙයක් යාළුවා... නා ගැනීම කියන්නේ ඔහේ ජීවත් වීමට එහා ගිය දෙයක්... :D

      Delete
  15. ඇත්තම කියනවා නම් මගේ අදහස ක්ලැසික් කාර් එකක් තියෙනවා නම් මුලින්ම නාගෙන ඉන්නම ඕනේ..මොකද කිව්වොතින් නාගත්තම ඊට පස්සේ තනියම වැඩක් කරගන්න ඉගෙන ගන්න හිතෙනවා..මට කරන රස්සාවත් එක්ක මජං නාගන්න වෙලාවක් නැති වුනත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම ගත කරන්න කැමති මජං ගාගන්න වෙන වැඩක් එක්කම තමයි.
    මටත් බීට්ල් එකත් එක්ක හොඳට නාගත්ත අත්දැකීම් තියෙනවා..
    * මුලින්ම මාව කෙලින්ම නයගරා ඇල්ලෙන්ම නාවල ගත්තේ බීට්ල්ම හදන්න ගෙවල් පැත්තේ ප්‍රසිද්ද ගරාජ් එකක මකබාස් කෙනෙක්.මිනිහත් ඔක්කොම වැඩ කටුවෙන්,මිටියෙන් තමයි.දෙවියනේ කියල මිනිහ ගලවපු හැම කෑල්ලක්ම හොයන් එන්න මට ගාලු යන්න සිද්ද වුනා.සිටියරින් බොක්ස් එක කුරුමිණිය මොඩෙල් එකක් තිබ්බේ.ඒකට හරියනම එකක් ගෙනත් දුන්නම එකේ ග්‍රීස් දාන්න ගැලෙව්වේ ආයෙම වැඩක් ගන්න බැරි වෙන්නම තමයි.මම එකේ කඩපු කෑලි හොයන්න කඩ ගණනාවක ඇවිද්දා.
    ඊළගට පෙට්‍රල් පම්ප් එක ගැලෙව්වා..ඒක ඉවරයි.
    ඊටත් පස්සේ කාර්බ් එකේ ඩයප්‍රම් එක ගලවලා එකත් ඉවර කලා.එතනින් පස්සේ තවත් නාවන්න කලින් මම බේරුනා..එකටත් මම කාර්බ් එකක් ගෙනත් දාගත්තා..
    * ඊටත් පස්සේ හෙනම පොර ටෝක් බාස් කෙනෙක් ඇවිත් පේන්ට් එකෙන් පස්සේ වයරින් එක බැලුවා..මට හෙඩ් ලයිට්ස් වයර් උනුවෙලා ගිහින් අවුලක් වෙලයි එන්න කිව්වේ..ඒ වෙද්දී මම සිග්නල්,හෝන් සෙට් කරලත් තිබ්බේ නෑ..මිනිහ මට පොර ටෝක්ස් දීගෙන සෙට් කරලා ගියා මම කලෝතින් ආයෙම බලන්න දෙයක් නෑ පුතා කියල..කියන්න සන්තෝසයි...හෝන් එක ගැහුවම එක හෝන් එකක් එක්ක වම් පැත්තේ ඉස්සරහ සිග්නල් ලයිට් එකත් වැඩ...මේ යකා හෝන් එකේ වයර් එකක් මැදින් කපල එක සිග්නල් එකට අමුණලා.ඉතිං හෝන් දෙකෙන් එකක් එක්ක ලස්සනට සිග්නල් බල්බ් එකත් වැඩ.
    අන්තිමේ මම කාර් එක යට රිංගල යන්තම් කපලා දමපු වයර් එකත් සොයාගෙන මම ම වැඩේ කරගත්තා..
    ඒ හන්දයි කියන්නේ මුලින්ම ක්ලැසික් එකක් ගන්න කෙනෙකුට පොඩ්ඩක් නාගත්තා කියල පාඩුවක් නෑ..ඉගෙන ගන්න දේවල් ගොඩක් ලැබෙයි.....

    ReplyDelete
    Replies
    1. මෙන්න සුපිරි කමෙන්ට් එකක්... ස්තූතියි පුබුදු... ඔයා කියන එක සහතික ඇත්ත. නාන්නේ නැතුව නියම කාර් පිස්සෙක් වෙන්න බෑ...

      Delete
  16. සුපිරියට නාන්න කියල දීල තියනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... දැන් කට්ටියට පුළුවන් පීල්ලෙන් නානවද ඇල්ලෙන් නානවද කියලා තීරණය කරන්න :)

      Delete
  17. මෙව්වා තමයි යකෝ ලියවිලි.....මං කවදහරි ගන්නවනං ගන්නේ උඹ පාවිච්චි කරපු එකක් විතරයි

    ReplyDelete
    Replies
    1. අඩේ තැන්කූ ෆෝ ද ෆීඩ්බැක් අටම්ස්...

      Delete
  18. සුපිරි කතාව අයියේ...මරු ඇඩ්වයිස් ටික..

    අපේ රෝද 4ම කැරකෙන එකත් ඔය කිව්ව ඇල දොල ගන්ගා වලින් නානවා මේ දවස් වල සුපිරියටම..

    ReplyDelete
    Replies
    1. ප්‍රහිචාරයට බොහොම ස්තූතියි රොෂේන්... ඔයාගේ ප්‍රොජෙක්ට් එකෙත් කතා තියනවා නම් පේජ් එකට ලියලා එවන්න.

      Delete
  19. සුපිරියටම ලියලා තියනවා.කාලෙකින් ලේ ටික පිරිසිදු කරගත්තා.

    ReplyDelete
  20. හිනා කාලාරෙනව මමත් nagena යනව.තාම ඉවර නෑ.ඉවර උනාම කතාව දාන්න inne.e unata me naama iwara wenne nane ekai aula.kawada nala iwara weida manda

    ReplyDelete
    Replies
    1. ඔහොම නාගෙන යනකොට නානවට වඩා නොනාන කාලේ දීර්ඝ වෙන්න ගන්නවා... එතකන් කාගෙන ඉඳීම තමයි සීක්‍රට් එකට්...

      Delete
  21. හොඳ නෑමකට පියවරින් පියවර විස්තර කිරීමක්...

    ඔය කොච්චර කිව්වත් නාන යෝගය ආපුවම ඇදගෙනම නානවා

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... මටත් දැන් අලුත් නාගැනීමකට කාලේ හරි කියලා හිතිලා තියෙන්නේ...

      Delete
  22. බඩත් රිදෙනවා යකු හිනා වෙලා ..
    මමත් මේ දවස් වල නඟන්න ඉන්නේ කියලා උබට දැනිලා ඇති නේද ..
    මම ගුටි කනවා වෙලාවක පාරේ තියන වාහන වලට එබෙන්නේ ගිහින් ..

    ReplyDelete
    Replies
    1. නෑම whole new level එකකට ගෙනයාමට ඔබට අවශ්‍ය නම් ඔබ කවදා හෝ නා ගැනීමට තෝරාගන්නා වාහනයේ පසුපස 'එල ද බ්‍රා මෙන්ඩා' කියා ස්ටිකරයක් ගසාගන්න. ;)

      Delete
    2. බ්‍රා එකකුත් එල්ලනවා

      Delete
  23. මම නාන්නෙ නැතුව කාර් එකක් නම් ගත්තා . දැන් පේන විදිහට නම් මට දෙයියනේ කියලා මුහුදෙන්ම නාගන්ඩ ලැබෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට නායි කියලා හිතෙන වෙලාවට වතුර පොදක්වත් නොපේන වෙලාවලුත් තියනවා :)

      Delete
  24. අම්මෝ මේ ලිපිය කියෙනව්වාම තමයි තේරුනේ මම කොච්චර නෑවද? තව කොච්චර නාන්න තියෙනවද කියලත්. මාත් ගත්තා 1980 හොන්ඩා සිවික් එකක්. මේ වෙනකොට බරටම නාලා ඉන්නේ. තව නාන්න තියනවා. බාස්ලා කීදෙනෙක් ලගට ගිහින් සති ගානක් ගරාජ් වලට වෙලා කට්ට කාලා තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඔහොම නාලා නාලා ඉවර වුණාම තමයි නාවන්නේ නැති පොරවල් හම්බවෙන්නේ. රට වටේම ගිහින් තමයි මමත් දැන් යන කෙනා ගාවට සෙට්ල් වුණේ...

      Delete
  25. සුපිරි නෑමක්.....

    ReplyDelete
  26. සුපිරි නෑමක්.....

    ReplyDelete
    Replies
    1. නෑම යනු විමුක්තියට මගයි...

      Delete
  27. කාබියුලේටර්,ඉලෙක්ට්‍රිකල් වැඩවලින් තමා සුපිරියටම නෑවෙ...අනිත් ඒවලින් නං එච්චරම නාගන්න බැරි උනා...

    ReplyDelete
  28. අගනා ලිපියක් සහෝ... අදයි ඉස්සල්ලම මේ බ්ලොග් එකට ආවෙ.. අනිත් ලිපිත් කියවන්නයි අදහස... මම ඔහොම නෑව මගේ පලවෙනි මරුති කාර් එකත් එක්ක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට... දිගටම එන්න...

      අපේ යාන් හෑල්ල කරන සුරංගයටත් මරුටියකින් නාලා අත්දැකීම් තියනවා...

      Delete
  29. අඩේ සුපිරි ඉබ්බෙකුට ආසාවෙ ඉන්නේ

    ReplyDelete
  30. meka dakkata passe wathuratath bayai...Naganna unoth saban ganna udawuwak karanna puluwanda mini miner ekak wage ninden gorawanne ekai...

    ReplyDelete
    Replies
    1. නෑම සහ නොනෑම අතර බෙදුම් ඉර අඳින්නේ අපම ය... :)

      පරිස්සමෙන් අඩිය තියා ඉදිරියට යමු :)

      Delete
  31. Replies
    1. බොහොම ස්තූතියි ආචාර්යතුමා...

      Delete
  32. මමත් වැඩකට අතගහහන්න ඉන්නේ.. Ford Escort MK3 එකකට පාර්ට්ස් විකක් අඩු ගානට ගන්න තැනක් කියන්නකෝ...
    මස් කරන තැන් වල ගණන් අඩුයිද.. නාගන්නේ නැතුව ගොඩ යන්න විදිහක් තමයි ඔනේ..

    ReplyDelete