Saturday, June 11, 2016

ගරාජ් වල තිබී දුක්ඛ සත්‍යය හමුවීම...



ජීවිතේ අපි හීනෙන්වත් නොහිතන මිනිස්සු සහ දේවල් පැණි කුරුල්ලෙක් තටු ගහන වේගෙන් අපේ ජීවිත වල ලේ නහර බවට පත්වෙන හැටි පුදුමාකාරයි. කාර් පිස්සෝ වෙන අපිට මේ වගේ බහුබූත දේවල් සඳහා වෙනම විශ්වයක් තියනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දවස පටන්ගන්න කොට මොරිස් ඔක්ස්ෆර්ඩ් ගැන ගූගල් ඉමේජස් බලන්න ගන්න අපි හවස ගිහිල්ලා හම්බර් හෝක් එකක් ෆ්ලැට් බෙඩ් එකක දාගෙන ඇවිත් ඉතුරු කරගත්ත හැම සතේම ඒකට වියදම් කරන්න ඉඩ තියනවා. දවස ගානේ කඳු පල්ලම් වල බඩගගා ජීවිතේ අනතුරේ දාගත්තේ නැති වුණාට අපිත් ඇඩ්රිනලින් වලට ආසයි නංගි... 

මට බරපතළ විදිහට කාර් පිස්සුව ගැහුවේ 2010 අවුරුද්දෙදී. ඒ දවස්වල ලංකාවේ ikman.lk තිබුණේ නැහැ මම හිතන්නේ. රියසෙවණ නම් තිබුණා. නමුත් ඒ දවස්වල මගේ ඒ තරම්ම ඉන්ටර්නෙට් භාවිතයක් තිබුණේ නැහැ. මට කාර් පිස්සුව ගැහුවේ මම ළිඳකට වැටිලා ළිං කටින්ම ගොඩ එන්න සිද්ධ වුණු නිසා. 

මට එතකොට තිබුණේ 1980 ලාන්සර් බොක්ස් එකක්. උකුස්සෙක් වගේ ඇඟට නොදැනෙන්න පාවෙලා යන, අම්මෙක් අප්පෙක් වගේ විශ්වාසය තියන්න පුළුවන් කාර් එකක්. ඕකේ පිටිපස්සේ දිරුමක් ඇවිල්ලා මම ඒක හදාගන්න ටින්කරින් වැඩ කරන 'අයියා' කෙනෙකුට කිව්වා. 'අයියා' වාහනේ කෑලි වලට ගලෝලා මගෙන් එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවා. එදා බොහොම සාමාන්‍ය පඩියක් එක්ක රස්සාවක් කර කර හිටපු මම අන්ත අසරණ වුණා මට මතකයි. ඒ කතාව පස්සේ දවසක කියන්නම්. 

ඉතිං වැටිච්ච ළිඳේ ළිං පතුලේ සිසිල් දියේ දියබුං ගහන අතරේ මම බීට්ල් එකක් ගන්න තීරණය කළා (ඒක බහුබූත තීරණයක් තමයි. ඒත් මේක කාර් පිස්සන්ගේ විශ්වය. අපි මේ විශ්වයේදී කරන්නේ සල්ලි නැතිවුණාම වියදම් කරන්න අලුත් දෙයක් හොයාගන්න එකයි). සෑහෙන කාලෙකට පස්සේ තමයි මට සුවාරපොළ මහේෂ්ව සෙට් වුණේ. මිනිහා මට ඔප්ෂන් ටික එවුවේ 2010 ජූලි 29 වෙනිදා. මේ ඔප්ෂන් අතරින් තමයි මම 3 ශ්‍රී 5661 තෝරාගත්තේ.







මහේෂ් එක්ක ගිහින් ඉස්සරලාම කාර් එක බලපු මොහොත මට හොඳට මතකයි. මේක අවුරුදු 80 ක් විතර වයස බොහොම grumpy අන්කල් කෙනෙක් බොහොම ආදරෙන් අවුරුදු 15 ක් විතර පාවිච්චි කරපු කාර් එකක්. සෑහෙන්න දිරලා තිබුණේ. නමුත් මේක දෙන්න අන්කල්ගේ කිසි කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අන්තිමට වාහනේ විකුණන්න එයාව පොළඹවා ගන්න මහේෂ්ට පුළුවන් වෙලා තිබුණා. 

ලියකියවිලි වැඩ ඉවර කරලා වාහනේ එළියට ගත්තේ මාත් එක්ක ආපු මගේ යාලුවා. මිනිහා වාහනේ එළියට අරගෙන පාරට අරන් යනකොට මමයි මහේෂුයි හිටියේ අංකල් ගාව. මහේෂ් අංකල් දිහා බලලා මෙහෙම කිව්වා. 

"අන්න අංකල්ගේ කාර් එක යනවා... " 

මම අංකල්ගේ මූණ දිහා බැලුවේ එතකොටයි. ගෙදර මිනිස්සුන්ටත් නිකරුණේ කෑ ගහන මනුස්සයෙක් වගේ කලින් පෙනුණු අංකල්ගේ මූණේ කියාගන්න බැරි දාහක් දේවල් ඇඳිලා තියනවා මම දැක්කා. ඒක හුදෙක් තමන්ගේ වාහනේ වෙන එකෙක් අරන් යාම ගැන දුකක් නෙමෙයි. මිනිහෙක් අවුරුදු 15 තිස්සේ වාහනයක් තියන් ඉන්නවා කියන්නේ ඒ මනුස්සයා ඒ වාහනේ එක්ක ලොකු බැඳීමක් තියනවා කියන එකයි. ඒ මනුස්සයට දැන් වයස 80 ක් නම්, ඒ කියන්නේ කොහෙහරි තැනක දුක හිතෙන කතාවක් තියනවා. ප්‍රායෝගික පැත්ත හිතුවොත්, අංකල්ට ආයේ බීට්ල් එකක් හරි වෙන පරණ වාහනයක් හරි අරන් හදන්න හෝ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අනික් අතට අලුත් වාහනයක් එළවන්න වත් දරුවෝ ඉඩ දෙන එකක් නැහැ. ජීවිත කාලයක් වාහන පිස්සෙක් වෙලා හිටපු මිනිහෙකුට මේ වගේ මොහොතක අන්තිම පිදුරු ගහත් ගංගාවේ ගහගෙන ගියා වගේ දැනෙනවා ඇති. 

මිනිස්සු පුනරුප්පත්තිය විස්වාස කරන්න ගන්නේ මේ වගේ වෙලාවල්වල තමයි... 

මම එදා ගෙදර ආවේ ලොකු බරක් හිතේ තියාගෙන. කවදා හරි වාහනේ restore කරලා ඉවර වුණාට පස්සේ ඒකත් අරන් අංකල්ව බලන්න යනවා කියලා මම හිතාගත්තා. ඒත් මම මටම වුණු ඒ පොරොන්දුව මට කවදාවත් ඉෂ්ට කරන්න බැරිවුණා. ජීවිතේ වැඩ රාජකාරිත් එක්ක සමහර පුංචි පුංචි පොරොන්දු අපේ ඇඟිලි තුඩුවලින් ලිස්සලා යනවා. අංකල් හිටපු පාර පහුකරගෙන ඩ්‍රයිව් කරපු සමහර වෙලාවල් වල එන ගමන් එහෙ ගිහින් එනවා කියලා හිතපු වාර අනන්තයි. ඒත් ආපහු එනකොට හිතේ මනුස්සකම් තැලෙන්න මොකක් හරි කරදරයක් කලබලයක් බරට පැටවිලා තිබුණා. 
 
අවුරුදු තුන හතරකට පස්සේ මම 3 ශ්‍රී 5661 තියෙද්දීම 9 ශ්‍රී 5333 ගත්තා. 9 ශ්‍රී 5333 දවස ගානෙම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික වාහනයක් කියලා දැනුණට පස්සේ 3 ශ්‍රී 5661 මගේ හිතට බරක් වුණා. ඒ නිසා මම ඒක විකුණුවා. 

අලුත් අයිතිකාරයා 3 ශ්‍රී 5661 අරන් යනකොට මට එච්චරම දුකක් හිතෙයි කියලා මම හිතුවේ නැහැ. ඒත් කාර් එකේ එන්ජින් බේ එකේ තිබුණු පුංචි රතුපාට තීන්ත පතුරක් බිම වැටිලා තියනවා දැකලා මම ඒක අතට ගත්තා. 

ඒක මගේ මේසේ උඩ අවුරුද්දක් විතර තිබුණා. 

දැන් මගේ මෙසේ උඩ තියෙන්නේ 9 ශ්‍රී 5333 එකෙන් ගලෝපු VW Badge එකක්. 

ජීවිතේ වෙනස් වෙනවා... 


( https://www.facebook.com/CarPissuwa/ )

24 comments:

  1. lokka , mara lassanai me kathawa, mata welawaka umbe car 1k balanna enna asai

    ReplyDelete
  2. 'අයියා' වාහනේ කෑලි වලට ගලෝලා මගෙන් එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවා.

    උඹට ඒකාලේ බාබකිව් ග්‍රීල් එකක් තිබුනේ නැද්ද ....හෙහ් හෙහහ් හේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් අනිවා ලියහං .....කාර් වලින් එලියට ගියහම ...වෙන රසක් උඹ ලියන එව්වායේ තියනවා ....( මං කාර් පිස්සෙක් නෙමයි )

      Delete
    2. කාර් පිස්සෙක් නොවීත් මේක follow කරන එක රටක් වටිනවා. ඒ වගේම මේක පටන් ගත්තු දවසේ ඉඳන් අටම් දීපු උදවු මට අමතක නැහැ...

      Delete
  3. හැක්.. හැක්.. උඩ එකානං අයියෙක්ම තමයි.

    යකඩ ගොඩක් උනත් කාලයක් එකට බැඳිල තිබිල ගැලවිලා යනකොට දුකක් ඇතිවෙන එක සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි.

      Delete
  4. ලිපිය හරි ලස්සණයි. තමන් ආදරයෙන් තියා හිටපු දෙයක් වික්කට පස්සේ ඒ කණගාටුදායක හැඟීම ඕනෙම කෙනෙකුට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට බොහොම ස්තුතියි!

      Delete
  5. නියමෙට ලියල තියනවා. එක හුස්මට කියවන්න පුලුවන්. අද තමයි මුලින්ම බ්ලොග් එක දැක්කෙ. පහුවෙලා හරි එන්න ලැබුණු එක ගැන සතුටුයි ගොඩක්. දිගටම ලියන්න. ජයෙන් ජය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත!

      Delete
  6. ඔන්න ඔය හන්දා තමා මම හා හා පුරා කියල ගත්තු බයික් එක මම විකුණන්නෙ නැත්තේ. :D

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. බයික් එකත් එක්ක බැඳුණු කතා තියනවා නම් ෆේස්බුක් පේජ් එකට ඇවිල්ලා ලියන්න. ලින්ක් එක තියනවා ලිපියේ අග.

      Delete
  7. මම 4dr5 පිස්සෙක්.ගෙදර තියනව පන වගෙ 4dr5 ජීප් එකක්...දැන් නම් බීට්ල් එකටත් වහ වැටුනා ....

    ReplyDelete
  8. මම 4dr5 පිස්සෙක්.ගෙදර තියනව පන වගෙ 4dr5 ජීප් එකක්...දැන් නම් බීට්ල් එකටත් වහ වැටුනා ....

    ReplyDelete
    Replies
    1. නියමයි. බීට්ල් පිස්සුවත් හැදුණු එක ලොකු සතුටක්...

      Delete