Thursday, November 24, 2016

බසවක්කුලමේ වැව් බැම්ම සිහිකර ලියමි...




බසවක්කුලම ඉන්නේ දුකෙන්...

අනුරාධපුරේ ජන කෞතුකාගාරයෙන් එළියට ඇවිත් 9 ශ්‍රී 5333 ත් එක්ක හෙමින් හෙමින් බසවක්කුලම පැත්තට ඇදෙද්දී ඒ පුංචි වැව ගැන මගේ හිතේ ඇඳිලා තිබුණු චිත්ත රූප එක එක බිඳිලා යන්න පටන් ගත්තා.

අනුරාධපුර සංචාරය යන්නත් කලින් අපි හීන දැකපු දෙයක් තමයි බසවක්කුලමේ වැව් බැම්ම පාරේ බීට්ල් එක අරන් යන එක. මොකද බීට්ල් එකක් කියන්නේ සුන්දර පරිසරයක් මැදින් වැටුණු පාරක් තවත් සුන්දර කරන්න පුළුවන් අපූරු මිනිස් නිර්මාණයක් නිසා. සැහැල්ලුවෙන් අන්තර්ජාලය උඩින් පියාඹන වෙලාවක ගූගල් ඉමේජස් උඩ වහලා පියාපත් විහිදලා බලන්න, ඔයා ඕන තරම් දකීවී නෙත ඇලවෙන හද සෙලවෙන හිත නවතින ඉබි රූප... 






ෆොක්ස්වැගන් එයාර්-කූල්ඩ් එන්ජින් වලින් එන්නේ සාමාන්‍ය එන්ජින් වලින් එන, කාර්මික විප්ලය හමුවේ ඊට කලින් තිබ්බ සමාජ සංස්කෘතික ආර්ථික පදනම් කැඩිලා ගිය බව හඟවන යාන්ත්‍රික සද්දේ නෙමෙයි. ස්වාභාවික පරිසරයට මුසුවෙලා ඒ සුළං රැලි, කුරුලු කූජන, පොළවේ සුවඳ සහ තුරුලතා වල නැළවිල්ල එක්ක අනන්තාපරිමාණ විශ්වයේම කොටසක් බවට පත්වීමේ හැකියාව ෆොක්ස්වැගන් එන්ජිමට තියනවා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අර බීට් සයිලන්සර් කරපු කාර් දිහා 'තෝ අපාගත වෙය' බැල්මෙන් බලන වියපත් මිනිස්සු පවා ෆොක්ස්වැගන් එන්ජිමේ සද්දේ ඇහුණාම බලන්නේ අතීත මතක ඇවිස්සුණු නොස්ටැල්ජික සෙනෙහසකින්.

මේක මම එදා සහ පහුවෙනිදා ථූපාරාම පාරෙදි, ඉසුරුමුණිය ගාවදි වගේම පූජා භූමියේ අනික් හැම තැනදීම හොඳට දැක්කා. මට ඕන වුණේ මේ අපූරු අත්දැකීම බසවක්කුලම ගාවදිත් විඳින්න.

බසවක්කුලම කියන්නේ ශ්‍රී ලංකාවේ වාරි සංස්කෘතියේ ආරම්භය. ඒක හැදුවා කියන්නේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ. රජතුමාට මේකට නම තිබ්බේ අභය වාපී කියලා බව ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මම ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ 90 දශකයේ මේක පෙළපොත්වල තිබුණා. දැන් තියනවද කියන්න මම දන්නේ නැහැ.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ බසවක්කුලම ගැන ලස්සන විස්තරයක් තියනවා. (මටත් පුදුම හිතුණා. සාමාන්‍යයෙන් රජයේ ආයතන වල මේ වගේ දේවල් විධිමත් සිංහල භාෂාවකින් දක්වලා තියෙන්නේ හරිම කලාතුරකින්.  ඒ නිසා මේක ලියපු කෙනාට ගෞරවය යා යුතුයි). ඒ විස්තරයට අනුව අක්කර 265 ක වපසරියක් පුරා පැතිරුණු බසවක්කුලම වැවේ ජල ධාරිතාව අක්කර අඩි 1910 ක්. වැව් බැම්ම අඩි 3900 ක් දුරට විහිදෙනවා. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15.5 යි ලු. නමුත් මුළු වැවටම තියෙන්නේ එක සොරොවුවයි.

wikimapia.org


අවංකවම කිව්වොත් බසවක්කුලම කියන්නේ ශ්‍රී ලංකාවේ වැව් සංස්කෘතියේ අග්‍ර ඵලයක් නෙමෙයි. දැනට තියෙන ඓතිහාසික සාක්ෂි අනුව බැලුවොත් ඉතිං ඒක පළවෙනි වැව නේ. පළවෙනි වැව හොඳම වැව වෙන්න කොහොමටවත් විදිහක් නැහැ. නමුත් ආරම්භක ලක්ෂය විදිහට බසවක්කුලම ආදරයට ගෞරවයට ලක්විය යුතුයි කියලා මම හිතනවා. හරියට අපි අර ප්‍රඩක්ෂන් කාර් වල ප්‍රොටෝටයිප් වලට කෙළ හලනවා වගේ. ෆොක්ස්වැගන් එකේ ප්‍රොටෝටයිප් එකක් දැක්කම ෆොක්ස්වැගන් පිස්සෝ බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අමතක වෙනවා. ඒ ප්‍රොටෝටයිප් වල අඩු තරමින් පිටිපස්සේ වීදුරුවක් වත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ vents ටිකක් විතරයි. ඒත් ඒ vents වල අමුතු aggressive ගතියක් තියනවා. 



නමුත් අවාසනාවට ප්‍රඩක්ෂන් එකට යද්දී ඒ vents ටික වෙනුවට කඳුළු බින්දු දෙකක් වගේ වීදුරු දෙකක් දාන්න සිද්ධ වුණා. ඒ විදිහට තමයි අපි ගොඩක් දෙනෙක් කොන්දේසි විරහිතව පෙම් කරන, ඒත් අපි ගොඩක් දෙනෙකුට කිසිදාක ලබන්න බැරි ස්ප්ලිට් ටයිප් බීට්ල් එක බිහිවුණේ.



කොහොම වුණත් ප්‍රොටෝටයිප් වලට ස්ප්ලිට් ටයිප් වලට ලැබෙන ආදරේ බසවක්කුලමට ලැබෙන්නේ නැහැ. 

ලංකාවේ වැව් ගැන බොහොම ආවේගශීලී පොතක් ලියලා තියනවා උදුල බණ්ඩාර අවුසදහාමි කියලා කෙනෙක්. මෑත කාලීනව වැව් ගැන ලියැවුණු එකම පොත ඒක වෙන්න පුළුවන් (මම වැරදි නම් මාව නිවැරදි කරන්න. මම හිතන්නේ ජේ. බී. දිසානායක මහත්මයා මොකක් හරි ඉංග්‍රීසියෙන් ලිව්වා. එතුමා ඉතින් විශේෂ ව්‍යාපෘති වලට පොත් ලියන කෙනෙක් නිසා ඒ පොත් හුදී ජනයා අතට පත් වෙනවා අඩුයි නේ).

අවුසදහාමි මහත්මයා කරලා තියෙන්නේ ලොකු සේවයක්. නමුත් පොතෙන් පේන හැටියට එතුමාට තියන ලොකුම ගැටලුව තමයි වරින් වර තලමල් සයිස් එකට දෙකේ හතරේ මට්ටමට මල පැනීම. හැම පරිච්ඡේදෙකම වගේ එතුමා ඉස්සරලාම යටත් විජිත කාලේ විද්වතෙක් ලියපු දෙයක් උපුටලා දක්වනවා. ඊට පස්සේ වැවේ සැකැස්ම ගැන බොහොම සාරගර්භ විස්තරයක් කරනවා. වැඩේ පල දරාගෙන එනකොට 'යකෝ සුද්දෝ අපේ රට කෑවා යකෝ' කියල එතුමාට තනියම හිතලා මල පනිනවා. ඊට පස්සේ 'ආණ්ඩු මේකට මොකුත් කළේ නෑ යකෝ' කියලා තනියම හිතලා මල පනිනවා. අන්තිමට ශාස්ත්‍රීය දෙයක් ඉගෙන ගන්න කියලා පොත අතට ගන්න අපි එතුමාගේ කේන්තියෙ මඩ වතුරින් නැහැවිලා තෙමිච්ච සැවුලෝ වගේ පොත පැත්තකින් තියලා 'මොකද්ද බං ඒ වුණේ' කියලා තොන්තුවාවෙන් ඉන්නවා. කොහොම වුණත් ලංකාවේ වැව් සංස්කෘතිය ගැන වැදගත් දේවල් කීපයක් මම එතුමාගේ පොතෙන් ඉගෙනගත්තා. ඒකට එතුමාට ගෞරවය ලැබෙන්න ඕනේ.

මේ දැනුම් ඩිංගිත්ත තුරුල් කරගෙන මම 9 ශ්‍රී 5333 ත් අරන් බසවක්කුලම පැත්තට ගියේ කාර් එක වැව් බැම්ම පාරට දාලා ඒක දිගේ ඩ්‍රයිව් කරන එකේ ආනන්දය විඳින්න. වැව් තලාව ඉඹගෙන එන හීල් හුළඟ මුමුනන මිමිනිල්ලයි නාඳුනන කුරුළු සංධ්වනි වල අනන්ත ස්වර රටා පෙළයි බීට්ල් එකේ හදවතින්ම එන විසිල්මය ගීත නාදයි මුහුවෙන අපූරුව අහන්න.

අපි යනකොට වෑන් මහ ගොඩක් එතන පාක් කරලා තිබ්බා. කොහේ හරි වෑන් මහ ගොඩක් තියනවා කියන්නේ සාමාන්‍යයෙන් එතන කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඔහේ ඕන එකක් කියලා මම එහාට කපලා වැව් බැම්ම පාරට කාර් එක දාන්න තැනක් හෙවුවා.

වැව් බැම්ම වහලා කොන්ක්‍රීට් කනු දාලා...

වැව් බැම්ම පාර පටු කරලා ඒක ජොගින් ට්‍රැක් එකක් වගේ ගල් අතුරලා හදලා...

මම කුණුහබ්බ නොකිව්වේ පූජා භූමිය නිසා...

ඔන්න ඔහේ ආපු එකනේ කියලා කෞශියි මායි අපේ යාළුවයි තුන්දෙනා ඉඩක් ලැබුණු තැනක කාර් එක පාක් කරලා වැව් බැම්මේ ඇවිදින්න ගියා. සාමාන්‍යයෙන් කොල්ලෝ කුරුට්ටෝ ගැවසෙන තැන්වල කාර් එක පාක් කරන්න මම බයයි. ආසාවට බලන එවුන්ට අමතරව ලබාගන්න බැරි දේවල් වලට කෙළවිලාම පල කියලා හූරන එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා. ඒ වගේම අනුන්ට කෙළවීම තමන් සතු අයිතිවාසිකමක් කියලා ලාංකිකයෝ හිතන බව තේරුම් ගන්න සමාජ විද්‍යා පර්යේෂණ කරන්න ඕනේ නැහැ, ෆේස් බුක් එකට විනාඩියකට ගොඩවෙලා ආවා නම් ඇති. ඒ නිසා කාර් එක දිහා හැරිහැරී බලබලා මම වැව් බැම්ම දිගට ටික දුරක් ඇවිදන් ගියා. 




අපි ගියේ ටිකක් වැස්ස අඩු කාලෙක. ඒ නිසා වැව හිඳිලා. රළපනාවේ වතුර ගෑවෙන්නේ වත් නැති තරමට වතුර අඩුවෙලා. ඒ වුණාට නාන්න තරම් වතුර ඩිංගක් ඉතුරුවෙලා තිබ්බා. ඉතින් ඉතුරු ටික කියන්න අවශ්‍ය නැහැ නේ. අර වෑන් වලින් ආපු ගෑනු මිනිස්සු ළමයි කෑ ගගහා, හූ තියතියා නානවා. තව කට්ටියක් හිඳුණු වැව් පතුලේ ඉඳන් වතුර තියන වලකට බාල්දි ඔබලා වැල්ලේ ඉඳන් නානවා. පොඩි එවුන් යටි ගිරියෙන් මර හඬ දෙනවා. ඒවා බලබලා උන්ගේ අම්මලා අර 'මේවා බලබල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි' වගේ හෙන ආඩම්බරෙන් කැකිරි පලනවා. ඒ අතරේ තව පිරිමි ටිකක් වැව් බැම්මේ ලගින්න පුළුවන් අස්සකට රිංගලා ලැගගෙන ඒ කැකිරි පලන අම්මලා දිහා බලාගෙන හිතෙන මොනවද පලනවා... 

මට එතනින් එහාට ඉන්න හිත දුන්නේ නැහැ. කෞශි තව ටිකක් දුර ඇවිදලා එමුයි කියද්දීත් මම හැරිලා එන්න ආවා.  9 ශ්‍රී 5333 මගේ හිත හදන්න වගේ හීනියට විසිල් එකක් ගහලා අපිව රුවන්වැලි සෑයට එක්කන් ගියා. ඒ යන මීටර් සීයේ දෙසීයේදී තමයි මම කෙල්ලෙක් දඩ ටිපර් එකක් එළවනවා දැක්කේ. ඒ කෙල්ල මට යන්න නොදී පාර හරස් කරගෙන හිනාවෙවී බීට්ල් එක දිහා බලාගෙන හිටියා. පූජා භූමිය පැත්තට වැඩිය ක්ලැසික් කාර් එන්නේ නැති නිසා කෙල්ලට බීට්ල් එක මැජික්. කෙල්ලෝ කොළඹ පැත්තේ ටිපර් එළවන්නේ නැති නිසා කෙල්ලව මට මැජික්. අන්තිමට ඒ බැල්මේ සන්තෝසෙට මට එක මොහොතකට බසවක්කුලම අමතක වෙලා ගියා...

ඒ වුණාට මගේ හිතෙන් බසවක්කුලම යන්නේ නැහැ. ඔය අම්මලා තාත්තලාගේ සල්ලි වලින් පරාටා කකා සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් මරාගන්න ෆේස්බුක් එන කාටවත් රටේ වාරි සංස්කෘතිය ගැන තඹ දොයිතුවක ගානක් නෑ. අනික් අතට අතීතය එක්ක බොහොම ගානේ-මිම්මේ ඇයි-හොඳයියක් තියන මම ලංකාවේ පැරණි වාරි සංස්කෘතියට පුදුම විදිහට ආදරෙයි. මේ රටේ අපි දන්න ඓතිහාසික සංස්කෘතිය අවුරුදු දෙදාස් ගාණක් පැවතුණේ ඇල දොල වැව් ගංගා මහමූදු හින්දා. අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාර බිහිවෙච්ච වියළි කලාපයේ මිනිස්සුන්ට වැව් නොබැන්දා නම් ගොවිතැන් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වුණා නම් ශක්තිමත් ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. එහෙම ශක්තිමත් ආර්ථිකයක් නොතිබ්බා නම් ශක්තිමත් සංස්කෘතියක් හැදෙන්නේ නැහැ. එහෙම වුණා නං අද කට්ටියට බෙදිලා මරාගන්න ඉතිහාසයක් බිහිවෙන්නෙත් නැහැ. මං සමාජවාදියෙක් නෙමෙයි. මං අමු ධනවාදියෙක්. ඒ වුණාට ඔළුවක් තියෙන ඕනෑම හෝතඹුවෙකුට මේ ටික තේරෙන්න ඕනේ.

කොහොම වුණත් මම ඔය අනං මනං ගැන හිතනවට බීට්ල් එක කැමති නැහැ. ඒ නිසා එතනින් එහාට මම බසවක්කුලම ගැන හිතන වාරයක් ගානේ බීට්ල් එක මොකක් හරි ශිල්පයක් දක්වලා මගේ හිත ආපහු එයාගේ පැත්තට ඇදගත්තා. ඒ ගැන විස්තර සේරම අනුරාධපුර සංචාරය ගැන මම කලින් ලියපු ලිපියේ තියනවා. නමුත් බසවක්කුලම ගැන හිතේ ඇඳුණු සහේතුක හෝ අහේතුක වේදනාව එහෙම ලේසියෙන් මගේ හිතෙන් යන්නේ නැහැ. කවදාහරි දවසක කවුරු හරි කෙනෙක් රටේ වාරි සංස්කෘතිය ගැන අධ්‍යයනයක් කරලා, ඒවා රටේ මිනිස්සුන්ගේ භාවාතිශය හැඟීම් අවුස්සන දේශපාලන ව්‍යාපාරවලට ඉන්ධන විදිහට යූස් කරන්න දෙන්නේ නැතුව, මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් ජනගත කරලා රටේ ආර්ථික උරුමය ගැන කතිකාවක් ඇතිකරනවා නම් මට එච්චරයි.

එදාට මා ගාව බීට්ල් එකක් නොතිබ්බොත් බීට්ල් එකක් අලුතින් අරගෙන හරි මම ඔය වැව් ටික සේරම බලන්න යනවා. මොකද වැව් කියන්නේ රටේ සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වෙනවා වගේම බීට්ල් කියන්නේ මගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් නිසා... 


www.facebook.com/CarPissuwa 


Tuesday, November 15, 2016

වෑන් ඩෑම්



මම දැන් රේඩියෝ අහන්නෙම නැහැ. ඉස්සර උදේ හවා කොළඹ ආපු ගිය කාලේ නම් උදේට බස් එකේ රේඩියෝ එක ඇහුණා. හවසට මම හෑන්ඩ්ස්-ෆ්‍රී සෙට් එක කනේ ගහගෙන එනවා. 

දවසක දවාලක කොළඹ යන්න සෙට් වෙච්චි වෙලාවක බස් එකේ මොකක් හරි එෆ්. එම්. චැනල් එකක් දාලා තිබ්බා. සුපුරුදු විදිහට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොන් පාට් දදා කෝල් කර එවුන්ගෙන් අරවා මේවා අහනවා. 

එක මනුස්සයෙක් කතා කරපු වෙලාවක මුන් දෙන්නා ඇහුවා රස්සාව මොකක්ද කියලා. අර මනුස්සයා ඩ්‍රයිවර් කෙනෙක් ලු. කෙල්ල එක පාරටම ඇහුවා වැඩිය එළවන්න කැමති කාර්ද වෑන්ද කියලා. අර මනුස්සයා ගත් කටටම වෑන් කියලා කිවුවා. 

ඔය සංවාදේ මට හොඳට මතක හිටියා. මොකද කාර් එළවනවට වඩා මිනිස්සු වෑන් එළවන්න කැමති ඇයි කියන එක මට කවදාවත් තේරුණේ නැහැ. මේක වෑන් එළවන අයට හරි, වෑන් වලට කැමති අයට හරි කරන අපහාසයක් නෙමෙයි. සමහර විට මට මෙහෙම හිතෙන්නේ මම කවදාවත් වෑන් පාවිච්චි කරලා නැති නිසා වෙන්න ඇති. 

හැබැයි ටිකක් තාර්කිකව බැලුවොත් කාර් වලින් ගන්න පුළුවන් තෘප්තිය වෑන් වලින් ගන්න බැහැ කියන එක තමයි මගේ අදහස. වෑන් වල වේගෙන් යන එක භයානකයි. ලෝඩ් එකක් දාගෙන වේගෙන් යන එක තව ගොඩක් අයගේ ජීවිත අනතුරේ දැමීමක්. වෑන් වල වංගු ගන්න එක කාර් වල වගේ කරන්න බැහැ. වෑන් වල crumple zone මට සත පහකට ෂුවර් නැහැ. මම දන්න තරමින් 90 ගණන් වගේ කාලයක් එනකල් ආපු වෑන් සේෆ්ටි එක පැත්තෙත් හිතුවොත් බිංදුවයි. 


මම අවදානම් ගන්න කැමති නැති ඩ්‍රයිවර් කෙනෙක්. තමන්ගෙයි අනුන්ගෙයි ආරක්ෂාව තහවුරු වෙන සීමාව ඇතුළේ කාර් වලින් ෆන් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි මම හිතන විදිහට කාර් වල ෆන් එකේ සීමාව අපට ටිකක් දුරට ඇදගෙන යන්න පුළුවන්. වෑන් එහෙම බැහැ. අනික අපි වෑන් එකක් අරගෙන තනියම එළියට බහින්නේත් ගොඩක් කලාතුරකින්. මිනිස්සු කීපදෙනෙක්ගෙම ඉරණම තමන්ගේ අතේ තියෙනවා කියලා දැනගෙනත් මිනිස්සු ඉරි කපාගෙන ඉස්සර කරන්නේ කොහොමද කියන එක මට තේරුම් ගන්න බැහැ. 

මම ආයෙත් කියනවා. මම මේ උත්සාහ කරන්නේ වෑන් නරකයි කියන්න නෙමෙයි. මම මේ ට්‍රයි එක දෙන්නේ වෑන් වලින් මෙච්චර driving pleasure එකක් විඳින්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න. 

මගේ උද්දච්ච කම කොච්චරද කියනවා නම් මම ෆොක්ස්වැගන් එකේ T2 එකටවත් එච්චර ආසා නැහැ (ස්ප්ලිට් එකක් ලැබෙනවා නම් ගෙදර මිනිස්සුයි පූසෝ දෙන්නයි ඇර අනික් සේරම විකුණන්න ඉඩ තියන එක වෙනම කතාවක්). ෆොක්ස්වැගන් කොම්පැනිය Type 2 එක හැදුවේ බඩු ගෙනියන්න හොඳ ක්‍රමයක් හදන්න ඕනේ නිසයි. 

මේක නම් එවුවේ රුචිර අරවින්ද වෙන්න ඕනේ. මේ මාලදිවයිනේ.


ඔය අදහස ඉස්සරලාම පහළ වුණා කියන්නේ  නෙදර්ලන්තයට ෆොක්ස්වැගන් ආනයනය කරපු බෙන් පොන් (Ben Pon) කියන මනුස්සයට. එයා 1946 දී ෆොක්ස්වැගන් ෆැක්ටරියට ආපු වෙලාවේ ඒක ඇතුළේ බඩු එහාමෙහා ගෙනියන්න හදපු වාහන දැකලා, මේ වගේ එකක් හදලා විකුණන්න පුළුවන් නම් ඒක මිනිස්සු අතර ජනප්‍රිය වෙයි කියලා හිතුවාලු. මනුස්සයා 1947 අප්‍රේල් 23 වෙනිදා ඒ අදහස කටු සටහනක් බවට හැරෙව්වා කියලා කියනවා. 

බෙන් පොන් ඇඳපු කටු සටහන

ෆොක්ස්වැගන් පිස්සුව ගහපු අලුත මම ෆොක්ස්වැගන් වෑන් එකක් බලන්න ගියා. ලංකාදීපේ දාලා තිබුණා 'දිරුම් ස්වල්පයක් ඇත' කියලා. වැඩි දුරක නොවුණු නිසා මමයි කෞශියි තාත්තයි තුන් දෙනාම ඒක බලන්න ගියා. 

එදා තමයි මම දැනගත්තේ ස්වල්පය කියන්නේ අම්බානක/නැති නන්නත්තාර වෙන්න/ සොරි වෙන්න/ කෑලි හැලෙන්න වගේ යෙදුම් වලට සමාන පදයක් කියලා. 

වාහනේ නැචුරල් සන්රූෆ්. ඒ කියන්නේ දිරුම් අස්සෙන් අහස බලාගෙන කවි ලියන්නත් පුළුවන්. පෙට්‍රල් ටැංකිය තිබ්බේ නැහැ. බෝතලෙකින් පෙට්‍රල් එන්න සෙට් කරලා තිබ්බේ. වැඩි පරිස්සමට පෙට්‍රල් ටැංකිය ගලවලා තිබ්බා කියලා ඩීලර් කිව්වා. ඒක කෝ කියලා ඇහුවම වෙන ගෙදරක කිව්වා. ස්ටාට් කරන්න පුළුවන්ද ඇහුවම පුළුවන් කිව්වා. එහෙනම් ස්ටාට් කරමු කිව්වම මස්සිනා ස්ටාටර් මොටරේ ගලවන් ගියා කිව්වා. ඒ ඇයි කියලා ඇහුවම 'පොඩ්ඩක් ටියුන් කරන්න' කිවුවා. පොත්පත් නිරවුල් කිව්වා. බලන්න පුළුවන්ද ඇහුවම පොත්පත් ටික වෙන ගෙදරක කිව්වා. 

ඔය විදිහට වටිනා දේවල් ගොඩාක් අපි තුන්දෙනා එදා ඉගෙනගත්තා. 

මේ ඒ වෑන් එක නෙමෙයි


හැබැයි මොනවා වුණත් මම ඉස්සරලාම ඩ්‍රයිවින් පුරුදු වුණේ හයිඒස් වෑන් එකකින්. වර්ගේ, අවුරුද්ද මේ කිසිදෙයක් මට මතක නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඩ්‍රයිවින් සීට් එකට නැග්ග පළවෙනි වතාවෙම මට හිතුණා මේක හරියන කෙළියක් නෙමෙයි කියලා. අපේ අයියලා දෙන්නෙක් 'මල්ලි පාරට ගන්ඩෝ' කියා කියා මට ඩ්‍රයිවින් පුරුදු කරපු හැටි මම හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි!  කියන ලිපියේ කතා කරලා තියනවා. ඒ නිසා මම ඒක මෙතන ලියන්නේ නැහැ. 

දෙවෙනි පාර මම වෑන් එකක් එලෙව්වේ මගේ පළවෙනි බීට්ල් එක ගන්න ගිය දවසේ. එදා මම පෙරුම් පුරාගෙන අපේ ටින්කරින් බුවාවයි ගෙදර අයවයි ඇදගෙන කාර් එක ගන්න ගියා. ටින්කරින් බුවාට වෑන් එකක් තියන නිසා කට්ටියව එක්ක යන්න තමයි මිනිහාව ඇදගෙන ගියේ. අනික මිනිහා එක්ක ගිහින් තමයි මම ඉස්සරලාම වාහනේ බලලා ආවේ. ලියකියවිලි කටයුතු ටික ඉවර වෙනකල් මට ඉවසිල්ලක් නැහැ කාර් එක පදින්න. ඔක්කොම ඉවර වෙලා වාහනේ එළියට ගත්තට පස්සේ ටින්කරින් බුවා හෙන සීරියස් මූණක් දාගෙන මට මෙහෙම කිව්වා. 

"මල්ලි, ඔයාට මේක එළවන්න බැහැ. අඩු ගානේ සයිඩ් කන්නාඩි දෙක වත් නැහැ නේ. මම මේක අරගෙන එන්නම්. ඔයා වෑන් එක අරගෙන කට්ටියත් එක්ක යන්න." 

මට දැන් ඌරු ජුවල්. අහන්න එක එක දේවල් කටට එනවා. එහෙන් වෑන් එකක් එළවන්නේ කොහොමද කියන එකත් මගේ ඔළුවට ආවා. 'තෝම නේද මේ කාර් එක හොඳයි, ගන්න' කියල මට කිව්වේ කියලත් අහන්න හිතුණා. ඒ වුණාට ඒ අවස්ථාව කොච්චර සංකීර්ණද කියනවා නම් මට ඒ කිසි දෙයක් අහන්න ගටක් ආවේ නැහැ. ඒ වෙනුවට මම බොහොම අහිංසක විදිහට මෙහෙම ඇහුවා. 

"මට කොහොමටවත්ම බැරි වෙයිද?" 

ටින්කරින් අයියා හිනාවෙලා පොරගේ වෑන් එකේ යතුර මගේ අතට දීලා බීට්ල් එක පැත්තට ගියා. මම මූණත් එල්ලගෙන, ගෙදර කට්ටියවත් ඇදගෙන වෑන් එකට ගියා. 

මගේ පරණ බීට්ල් එක ගන්නකොට තිබුණු විදිහ. මේ ෆොටෝ එක මහේෂ් වීරසිංහ ගත්තු එකක්.


ඒ කාලේ පොරට තිබ්බේ මැස්ඩා බොන්ගෝ එකක්. පොර ඕක අරන් අමු කට්ටක් කෑවා මට මතකයි. ඉස්සරලාම මොකද්දෝ මගුලක් කරන්න යද්දී එන්ජින් නොම්මරේ පොතට වඩා වෙනස් කියලා මාට්ටු වුණා. ඊට පස්සේ බොඩියේ දිරුම් මතුවුණා. දෙතුන් පාරක් එහෙ මෙහෙ ගෑවුණා. ඊට පස්සේ එන්ජිමට කෙළවුණා. අන්තිමට කෙළියා තාප්පෙට කියලා මිනිහා දුර හයර් එකක් යද්දී නින්ද ගිහින් වාහනේ ගහක වැදුණා. පොර මාස තුන හතරක් බේත් ගත්තා. වාහනේට මූණක් තියන්න වුණා. ඊටත් පස්සේ පොර ස්කූල් සර්විස් එකක් පටන් අරන් නන්නත්තාර වුණා. අන්තිමට ළමයි ටික පිටින්ම වාහනේ විකුණලයි නැවතුණේ. 

ආපහු අර බීට්ල් එක ගත්තු දවස ගැන කතාකරමු. වෑන් එකට නැග්ග වෙලාවෙම මට දැනුණේ අර ඉස්සරලාම ඩ්‍රයිවින් පුරුදු වෙන්න වෑන් එකකට නැග්ග වෙලේ දැනුණු හැඟීමමයි. එදා නම් අයියලා දෙන්නා වත් ළඟින් හිටියා. මෙදා පාර හිටියේ කෞශියි තාත්තායි. ඒ කියන්නේ වාහනේ එළවන්න ඉන්නේ මම විතරයි. ගැළවෙන්න පොටක් නැහැ. මම හෙමින් හෙමින් වාහනේ පාරට අරගත්තා. 

අවුරුදු ගාණක් ලාන්සර් බොක්ස් එකක් එලවලා පුරුද්ද තිබුණු මට දැනුනේ නිකං බැරල් එකක් උඩ ඉඳගෙන ඉන්නකොට මොකෙක් හරි බැරල් එක වීල්බැරෝ එකක තියලා තල්ලු කරගෙන යනවා වගේ හැඟීමක්. 

සිග්නල් ආම් එකක් තිබ්බේ නැහැ. ස්විච් එක හොයාගන්න බැරිවුණා. අන්තිමට වමට සිග්නල් දාගෙන ගෙදරට එනකල්ම ආවේ. ගියර් පැටලෙනවා. පැඩ්ල් පොසිෂන් එක අපහසුයි. මූණ හේත්තු කරන්න පුළුවන් කියලා අමතක වෙන නිසා ඉස්සරහ වාහනෙයි වෑන් එකයි අතර හැම තිස්සෙම හෙන ගැප් එකක් හිටිනවා. ස්ටියරින් එක ලාන්සර් එකේ වගේ responsive නැහැ. හරියට පොඩි එකෙක් නෙට් එකක රෝදයක් උකුලේ තියාගෙන බ්රූම් බ්රූම් ගගා කරකවනවා වගේ මට හිතුණේ. වංගු ගන්නකොට කාර් එකේදී දැනෙන ජොලිය වෙනුවට මට දැනුණේ පාන් ගෙඩියක් පෝරණුවක් ඇතුළට විසික් කරනවා වගේ ෆීලින් එකක්. ඩීසල් එන්ජිමේ සද්දේ හරියට උගුර බැරැන්ඩි වෙච්චි ඕපදූප කාරයෙක්ගේ වගේ... 

ජීවිතේට අහලා නොතිබ්බ පරුෂ වචන මගේ හිතට නැගුණා... 

එළවන්න පුරුදු කෙනාට වෑන් එක එහෙම දැනෙන්නේ නැතුව ඇති. මගේ බීට්ල් එක මම වෙන කාටහරි එළවන්න දුන්නොත් (වරෙල්ලකෝ බලන්න ඉල්ලගෙන!) ඒ එළවන කෙනාත් මේ වගේ දේවල් කියාවි. ඒ නිසා වෑන් එක එක්ක මට ගැටලුවක් නැහැ. 

ඒත් වෑන් නම් එපාමයි කියලා හිතුණා. 

ටින්කරයාගේ ගෙදර ගාවට ගෙනත් වාහනේ අයීනටම කරලා පාක් කරලා මම වාහනෙන් බැස්සා. බීට්ල් එක එළවගෙන අර මනුස්සයා එනකල් ආයේ වෑන් එක දිහා බැලුවේවත් නැහැ. 

ඉස්සරලාම බීට්ල් එක අතට ගත්තු වෙලාවේ මට හිතුණා අර මනුස්සයා කියපු දේ ඇත්ත තමයි කියලා. ඒක 1959 අන්තිම හදපු බීට්ල් එකක්. හොඳට දිරලා තිබ්බේ. 1980 ලාන්සර් බොක්ස් එකක් එළවලා ඊට පස්සේ 1959 restore නොකරපු  බීට්ල් එකක් අතට ගන්නවා කියන්නේ පෞද්ගලික ආයතනයක ඉඳලා රජයේ ආයතනයකට ගියා වගේ වැඩක්. අපිට ඕන විදිහට නටන්න තියා හැරෙන්න වත් බැහැ. කාර් එක අපිව තඹේකට මායිම් කරන්නේ නැහැ. අඩු ගානේ පුරුදු වෙනකල් කාර් එකට ඕන විදිහට ඕනේ අපි නටන්න. 

හැබැයි එහෙම වෙලත් මට හිතුණේ නැහැ මීට හොඳයි වෑන් එකක් එලෙව්වා නම් කියලා. වාහනේ පේන්ට් එක කරලා ඉලෙක්ට්‍රිකල් ටික චෙක් කරගන්න කියලා ඉස්සරලාම පාරට ගත්තු පළවෙනි දවසෙත් මට හිතුණා වෑන් එකක් නොගත්තු එක කොච්චර හොඳද කියලා. 

ඊට පස්සේ දවසක් ඔය ටින්කරයා අසනීප වෙලා මම මිනිහගේ වෑන් එක එලෝගෙන මිනිහව දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගියා. එතකොට තිබුණේ අර වෑන් එක නෙමෙයි, මට මතක විදිහට නිසාන් එකක්. ඒකෙත් නම, වර්ගේ, පැටිකිරිය මොකුත් මට මතක නැහැ. වෑන් එක වෙනස් නිසා මේක වෙනස් අත්දැකීමක් වේවි කියල මට වාහනේට නගිනකොට හිතුණා. 

Nope...! 

එදා මම හිතාගත්තා ජීවිතේ කවදාවත් කිසිම හේතුවක් උඩ වෑන් එකක් ගන්නේ නැහැ කියලා. තාත්තා අසනීප වෙලා හිටපු දවස් වල නම් මට එයාව ඉස්පිරිතාලේ එක්ක යන්න වෑන් එකක් ගන්න හිතිලා තිබ්බා. නමුත් ඒක හරියන වැඩක් නෙමෙයි කියලා පස්සේ තේරුණා. 



ඒ නිසා කවදාවත් මම වෑන් එකක් ගන්න එකක් නැහැ. ඒ වෑන් එක්ක තියන තරහකට නම් නෙමෙයි. දැන් වෑන් හරි දියුණුයි කියලා මම දන්නවා. ඉඳලා හිටලා තායිලන්තේ බැංකොක්වල ඇවිදින්න යනකොට මම දකිනවා ඒ මිනිස්සු වෑන් ලස්සනට මොඩිෆයි කරලා තියන හැටි. ෆයිබර් පොල්කටු බොඩිකිට් නෙමෙයි, ගානට මිම්මට කරපු මොඩිෆිකේෂන්. එතකොට මම ඒ වෑන් දිහා හැරිලා බලන අවස්ථාවලුත් තියනවා. ඒත් ඕවා අර ඇසිල්ලකින් නැගී අතුරුදන් වී යන චූන් තමයි. 

ජපානේ වෑන් අයිතිකරයෙකුට පිස්සු තදවුණු අවස්ථාවක්

 

මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ වෑන්. මට බ්ලොග් ලෝකෙට පාර පෙන්නපු අමිල ලියනාරච්චි පදින්නේ වෑන් එකක්. මගේ හොඳ යාලුවෙක් වෙන රුචිර අරවින්ද ලංකාවේ ඉන්නකොට ගමන් බිමන් යන්නේ වෑන් එකක. මම හිතන්නේ සජිත් සමරවීරත් වෑන් එකක් ගන්න හිතන් ඉන්නවා. කාර් පිස්සුවට නිතර සපෝට් එක දෙන අපේ පොඩි මල්ලියා කලිඳු ඩිලංක නිදාගන්නෙත් වෑන් එක තුරුල් කරගෙන. මිනිහා හැම තිස්සෙම මගේ වෑන් විරෝධයට නක්කලේ දාන නිසා තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ... 

මම වෑන් වලට ආසා නැහැ. නමුත් වෑන් කියන්නේ හරි අපූරු නිර්මාණයක්. වෑන් වලින් ලැබෙන ප්‍රයෝජන වලින් සීයෙන් පංගුවක් කාර් වලින් ලැබෙන්නේ නැහැ කියලා මම පිළිගන්නවා. 

හැබැයි වාහන පිස්සුව කියන්නේ වාහන වලින් ප්‍රයෝජන ගන්න එකට නෙමෙයි.... 


www.facebook.com/CarPissuwa 


පසු සටහන: 

1. ලිපියේ කීප තැනකදීම කිව්වා වගේ මේක වෑන් වලට හරි වෑන් වලට ආසා කරන අයට හරි අපහාස කරන්න ලියපු එකක් නෙමෙයි. නමුත් දවස් දෙකතුනකට පාරක් කවුරුහරි මගෙන් අහනවා, මම වෑන් වලට කැමති නැද්ද කියලා. අදින් පස්සේ අන්තර්ජාලය හරහා මගෙන් ඔය ප්‍රශ්නේ අහන ඕනෑම කෙනෙකුට මම කරන්නේ මේ ලින්ක් එකක් යවන එකයි. 

2. මේ ෆොටෝ එක්කෝ කාර් පිස්සුවට ලැබුණු ඒවා. නැත්නම් මම ගත්තුවා. කට්ටිය එවපු ෆොටෝ සැලකිය යුතු කාලෙකට කලින් එවපු ඒවා නිසා ෆොටෝ එවපු අයගේ නම් මතක නැහැ. ඒ ගැන සමාවෙන්න. පුළුවන් නම් ෆොටෝ එවපු අය තමන් එවපු ෆොටෝ එක ගැන කියලා පොඩි කමෙන්ට් එකක් දාලා යන්න.

Tuesday, November 8, 2016

"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?"



ප්‍රොජෙක්ට් එකක ගොඩයාම සහ කෙලවීම එකිනෙක මුණගැහෙන භයංකාර තුංමං හන්දියක් තමයි ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කියන්නේ. ඔතනින් හරි පැත්තට වැටුණොත් ඉතිං සසරින් එතෙර වුණා වගේ තමයි.

වැරදි පැත්තට වැටුණොත් සාත්තර කාරයෝ පස්සේ දුවන්න වෙන්නත් ඉඩ තියනවා.

මේකට එක ප්‍රධාන හේතුවක් තමයි ඉලෙක්ට්‍රික් වැඩ කරන බාස්ලා කියන්නේ සාමාන්‍යයෙන් මහා අමුතු ජීවී විශේෂයක් වීම. ඩාවින් මේ කාලේ හිටියා නම් ඇවිල්ලා හපුටු සූට් එකකුත් ඇඳන් ඉලෙක්ට්‍රිකල් වැඩ කරන තැනක බංකුවකට වෙලා බවුත් එකකුත් කටේ ගහගෙන බලාගෙන ඉන්නවා.

හැමෝම මෙහෙම නැති එක ඇත්ත. සමහර අය ඇති හොඳට වැඩ කරන. ඒත් මගේ ජීවිතේ මට ඕන තරම් පරිණාමය නොවූ වානර බාෂ් ලා හම්බවෙලා තියනවා. දැන් මේ කියන්න යන්නේ එහෙම කතාවක්.

මගේ 9 ශ්‍රී බීට්ල් එක ගන්නකොට ඒකෙ සිග්නල් ආම් එකක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට ස්විච් එකක් ඩෑෂ් බෝඩ් එකට හයි කරලා තිබ්බේ. 3 ශ්‍රී බීට්ල් එකෙත් ඔය ප්‍රශ්නේ තිබ්බ නිසා මට ඒක එච්චරම ගැටලුවක් වුණේ නැහැ. නමුත් අර නපුරු කලට හැදෙන overhaul නුහුගුණේ වැළඳුණාට පස්සේ 9 ශ්‍රී එකේ එන්ජිම ෆුල් හදලා ඊට පස්සේ අහුකොන් තියාගන්න මගේ හිත යාදුන්නේ නැහැ.

ඉතිං මගේ ග්‍රහයා පීචං වෙලා මට බ්‍රෑන්ඩ් නිව් සිග්නල් ආම් එකක්  තියලා වයරින් එකත් ෆුල්ම හදාගන්න ආසාවක් ආවා.



මේ ටික කියවනකොට මේවා කාලා තියන එවුන්ට උගුරට තිත්ත දැනෙන්න ගන්නවා ඇති. 

ඉතිං ඔන්න දුක් විඳලා නිදි මරලා කොම්පියුටරේ කොටලා හම්බ කරන පිච්චියෙන් කොටහක් ඇන්න මම පංචිකාවත්ත කියන මහ ගන වනන්තරේ දුර ඈත කෙළවරේ හඩු හපුටු පජාති කපුටු රෑනක් අතරේ යන්තං ඔලු කට්ට බේරගෙන එහා මෙහා යන්න පටන්ගත්තා.

මේ ගන වනන්තරෙත් මනුස්සකං හම්බවෙන තැන් නැතුවා නෙවෙයි. ඉඳලා හිටලා දාර විසැති වග වලසුන් මැද්දේ හාවෙක් මුවෙක් මතුවෙලා 'ඔහේ ගියොත් කොටියා කාවි අයියා' කියන අවස්ථාවල් තියෙනවා. ඒත් අවාසනාවකට ඒ එක හාවෙක් මුවෙක් ගාවවත් සිග්නල් ආම් තිබ්බේ නැහැ.

සිග්නල් ආම් තිබ්බේ කොටියෙක් ගාව...

මුළු කැලේම හොයලා හොයාගන්න බැරි බඩු තමන් ගාව තියනවා නම් කොටියා ඒ බව හොඳට දන්නවා. එහෙම වෙලාවට කොටියා ගේම දෙන්නේ නරියා වන්නම නටලා.

මම හෙමින් හෙමින් කොටි ගාලට බඩගෑවා. කොටියා සහ මිත්‍රයෝ හිනාවෙලා මාව පිළිගත්තා. මට අවශ්‍ය දේ කිව්වාම කොටින්ට ලාවට හිනාවකුත් ගියා.

සිග්නල් ආම් එකේ ප්‍රයිස් එක කිව්වම මාව හබස් වුණේ නැහැ. මොකද මේ ගමන යන්න කලින් මම වෙන කොටියෙකුට කෝල් කරලා ගාන අහලා තිබ්බේ. කොටි දෙන්නගේ ගාන මැචින්.

ගාන අඩුකරන්න හැකියාවක් නැති බව කොටියා කිව්වේ නිකං එහෙම කළොත් උගේ සනුහරෙටම සහගහලා භද්‍ර කල්පය ගෙවෙන තාක් කල් නිරයේ වැටිලා ඇල්කොහොල් රහිත ලෝදිය බොන්න වේවි වගේ මූණක් හදාගෙන. ඉතිං එතනින් එහාට මම මොකුත් කියන්න ගියේ නැහැ. අනුන්ගේ අපා දුක් වලට මම කරගහන්නේ මොකටෙයි?

සිග්නල් ආම් එකත්  අරන් වනන්තරෙන් පිටවෙලා ගේ පොජ්ජට මංගැච්චුවාට පස්සේ ඉතිං මම මේක හයිකරන වැඩේ සහ ඉතුරු ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කාටද භාරදෙන්නේ කියලා දහ අතේ කල්පනා කළා. මට තිබුණු විසඳුම් ටික මෙන්න මෙහෙමයි.

1. මගේ ඉස්සර කාර් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරපු ඉලෙක්ට්‍රීෂියන් යාළුවා- ඌ වයරින් ටික කරලා ගියාට පස්සේ සිග්නල් ලයිට් එකක් නිවෙන්න නැතුව පත්තු වෙලා තිබ්බා.  ඇතුලේ ලයිට් එක පත්තු වුණේම නැහැ. ඉස්සරහ ලයිට් දෙකෙන් එක ලයිට් එකයි පත්තු වුණේ. තව මොකක්දෝ මගුලක් නිවිනිවී පත්තු වුණා.

2. මගේ යාළුවා කාර් එක කෑවට පස්සේ ඒක හදලා දීපු එකා- ඌත් දැන් යාළුවෙක් තමයි. ඌ හදලා දුන්නට පස්සේ කාර් එකේ අවුලක් නම් වුණේ නැහැ. හැබැයි උගෙන් වෙලාවක් ගන්න නං නිකං අර ප්‍රසිද්ධ වෙද මහත්තුරු හම්බවෙන්න මහා රාත්තිරියේ ඉඳන් පෝලිමේ ඉන්න ඕනේ වගේ පෝලිමේ ඉන්න ඕනේ. කොහොම හරි වෙලාවක් ගත්තා කියමු. වැඩේ කළාට පස්සේ වැඩේට ගෙවන්න කාර් එක විකුණන්න ඕනේ.

3. ලාංසරේ ඉලෙක්ට්‍රිකල් ටික කරපු අයියා- 'මල්ලි මම ඔය පැත්තේ එනවා, එතකොට ඇවිත් බලන්නං කෝ' කියනවා. ඒත් මිනිහව හොයාගන්න තාම ඉන්ටර්පොල් එකටවත් බැරිවුණා...

4. ගරාජ් එකෙන් නොම්මරේ දීපු ඉලෙක්ට්‍රික් කාරයා අංක 1 - 'මං පොස්සගන් නං කරන්න දන්නේ නෑ අයියා... ඕන නං බලන්න පුළුවන්.  ඒත් මං දැන් මේ රිකිල්ලගස්කඩවල ඉන්නේ. අපේ වයිෆ්ගේ නංගිගේ මහත්තයගේ අක්කගේ දුවගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ගේ සීයගේ නංගි කෙනෙක් අසනීප වෙලා එහෙ ආවා..."

5. ගරාජ් එකෙන් නොම්මරේ දීපු ඉලෙක්ට්‍රික් කාරයා අංක 2 - "මට හතහමාරට විතර කෝල් එකක් දෙනවද? මම වාහනේක ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ..." (හතහමාරට ගත්තු කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ වෙනුවට පත බූට් එකක් කාපු එකෙක් සංසාරේ ගැන මොනවද කියෝ කියෝ දෙවැට පාරක බොරළු පස් කන සින්දුවක් අහගෙන ඉන්න වුණා මට...!)

6. අහවල් අයියා- "මේ පැත්තේ හැමෝම වැඩ ඉගෙනගෙන තියෙන්නේ පොරගෙන් ලු. හෙනම සීනියර් පොරක් ලු. දැන් පුත්තුත් වැඩේට බැහැල ලු ඉන්නේ. පරණ වාහන ගැන හොඳට දන්නවලු."

සෑහෙන වෙලාවක් මේ ගැටලුව කල්පනා කරලා, සංකල්පනා කරලා, පරිකල්පනා කරලා, මියුරු කල්පනා කරලා, කල්පනා ලොව මල් වනෙත් කරලා මම අන්තිමට අහවල් අයියා ගාවට යන්න තීරණය කළා.

ඉතින් දවස් දෙකකට විතර පස්සේ යාන්තං වෙලාවක් පාදගෙන මම ඉබ්බවත් පණ ගන්නගෙන අහවල් අයියා හොයන්න ගියා.

වාහනේ නවත්තලා වටපිට බලනකොට බඩි වෑන් එකක් යට ඉඳලා ලෝඩ් ඔෆ් ද රිංස් එකේ චරිතයක් වගේ පොරක් මතුවුණා.

"මොනවද මහත්තයා වෙන්න ඕනේ?"

"මේ බීට්ල් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ වගයක් තියනවා..."

"මොනවද කරන්න තියෙන්නේ?"

මම වැඩේ සැකෙවින් විස්තර කළා. පොර දැන් තට්ට ගෙඩිය අල්ලගෙන නිකං රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට මැදිවුණා වගේ දත විකාගෙන අත නවාගෙන ගත දවාගෙන හිත මෙහෙයවනවා. පොරගේ සිතිවිලි එහා මෙහා යනවා තට්ට ගෙඩිය විනිවිද මට පේනවා වගේ.

"මං කියන්නං... මහත්තයා අනිද්දා උදේ එන්න. අපේ පුතත් ඉන්නවා. එතකොට වැඩේ කරන්න පුළුවන්. කෝල් එකක් දීලා එන්න..."

පොර මට නොම්මරේ දුන්නා. මම ඉබ්බත් කුදලන් ආපහු ආවා.

ඔන්න අනිද්දා උදේ ඉඳන් මම කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා...

ම්හු...

බුදුගුණ ගීතයක් ෆෝන් එක අස්සෙන් ඇහෙනවා... සංසාරේ හෙන දුකයිලු... තණ්හාව අතඅරින්න ඕනෙ ලු...

අන්තිමට රස්සාව ගැන තියන තණ්හාව අතඇරලා වැඩ සේරම පැත්තක දාලා මම ආපහු ගියා පොරව හම්බවෙන්න. වර්ක්ෂොප් එක පාළුයි. අහවල් අයියා මොකක්දෝ හබරල ගාලක් අස්සෙන් මතුවුණා.

"බලන්නකෝ මහත්තයා... අපේ පුතා ඊයේ පාටියකට ගිහිං තාම බුදි නේ... දවල් වෙලා කෝල් එකක් ගන්නවද...?"

අර පුතා බීලා වැටිලා බව තේරිලා මම ගෙදර ගියා.



බීපු එකාගේ hangover එක යන්න මම හිතන්නේ සතියක් විතර යන්න ඇති. මොකද කෝල් එකට ආන්සර් කළේ සතියකට විතර පස්සේ. තව දවස් දෙකකින් කාර් එක ගේන්න කිව්වා. 

මම යනකොට පුතණ්ඩියා හයිබ්‍රිඩ් එකක් ගලෝගෙන වැඩ. මම විස්තරේ කිව්වම පොර ටිකක් අදිමදි මූණක් දැම්මා. 

"මම මේ ටිකක් අසනීප වෙලත් හිටියේ පහුගිය දවස්වල..."පොර කිව්වා. 

"මටත් පාටිවලට ගිහින් ආවම ඔය අසනීපෙ හැදෙනවා..." මම කිව්වා. 

දෙන්න උත්තරයක් නැතුව තප්පර දෙක තුනක් බලාගෙන හිටපු පොර මට කාර් එකේ වෙන්න ඕනේ දේවල් කියන්න කිව්වා. කාර් එකේ එතකොට චාජින් වල පොඩි ප්‍රශ්නෙකුත් ඇවිල්ලා තිබුණේ. ඒ පාර මිනිහා මට ගේන්න බඩු ලිස්ට් එකකුත් ලියලා දීලා, ඕල්ටනේටරේ ගලවලා බලන්නම් කිව්වා. 

අන්තිමට එදා දවසම ගියාට පස්සේ මිනිහා කිව්වා ඕල්ටනේටරේ අවුල්, හදලා දෙන්නම් කියලා. සිග්නල් ආම් එක හයි කරලා අනික් වැඩ ටිකත් බලලා තියන්න දවස් තුනක් විතර යයි කිව්වා. 

එදා ඉඳන් තුනේ ඒවා තුන්වරක් තුනක් විතර ගතවුණාට පස්සේ තමයි යන්තං සිග්නල් ආම් එක ෆික්ස් වුණේ. ඒ දවස් ටිකේ වර්ක්ෂොප් එකට ගිය වාරයක් ගානේ අහවල් අයියාගෙන් මට අහන්න ලැබුණු දේවල් නිකමට වගේ මෙතන ලියනවා. 

1. වාහනේ කලින් ඉලෙක්ට්‍රිකල් වැඩ කරලා තියන බාස් ලා කරලා තියන වැරදි 

2. අහවල් අයියා ඉස්සර ෆොක්ස්වැගන් සහ තවත් පරණ කාර්වල ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න මැජික් බලෙන් වගේ විසඳලා මහත්තුරුන්ව පුදුම කරපු හැටි

3. රට වටේ මිනිස්සු අහවල් අයියා නැතුව වෙන කාටවත් වාහනේ අල්ලන්න දෙන්නේ නැහැ කියලා ලක්ෂ ගණන් කෝටි ගණන් වටින වාහන දිරන්න දාලා තියන හැටි 

4. රට ගැන තියන කැක්කුම නිසා රට යන්න සෙට්වුණු චාන්ස් අතඇරලා දාපු හැටි 

5. දැන් ඉන්න මිකැනික්ලා/ටින්කරින් කාරයෝ/ පේන්ටර්ලා ගේ වැරදි 

6. තමන්ගේ ගෝලයෝ තාමත් තමන්ට දෙමව්පියන්ටත් වඩා ගරු කරන හැටි 

7. තමන්ගේ පුත්තු 'හයිබ්‍රිඩ් ගන්න තරමට වැඩකාරයෝ' වුණු හැටි 

8. 'මේ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපට' 

9. දැන් එන අමතර කොටස් වල ප්‍රමිතිය බාල නිසා තමන්ට නරක නාමේ එන හැටි 

10. "මං මට කරගත්තේ නෑ මහත්තයෝ, අනුන්ටම තමා කොළේ..." 

යාන්තං දවස් ගානකට පස්සේ බයිලා වෙන්දේසිය නතර වුණා. කාර් එක අරගෙන යන්න පුළුවන් කිව්වම මට දැනුණේ පුදුමාකාර මෙව්වා එකක්. අහවල් අයියා ගහන කැසට් පීස් මට තියා වාහනේටවත් අහං ඉන්න පුළුවන් ඒවා නෙමේ. ඉතිං මම ටක් ගාලා ගාන කීයද ඇහුවා. මම බලාපොරොත්තු වුණේ කොහොමත් ලොකු ගාණක් කියාවි කියලා. 

මිනිහා මම බලාපොරොත්තු වුණාට වඩා දෙදාහක් විතර අඩුවෙන් තමා ගාන කිව්වේ. 

මට දැන් හෙන හැපී. හිතපු තරං සල්ලි ගියෙත් නැහැ, වැඩෙත් 'එක්ස්පර්ට්' කෙනෙකුට කියලා කරගත්තා. සිග්නල් ආම් එකත් හරි. චාජ් වෙන ප්‍රශ්නෙත් හරි. ඔක්කොම හරි. 

දවස් ගාණක් වර්ක්ෂොප් එකේ තිබිලා වාහනේ දූවිලි කන්දයි. 'මහත්තයා, වතුර බාල්දියක් ගහමුද?' කියලා අහවල් අයියා ඇහුවා. තව මොහොතක් වත් පරක්කු කරන්න මට වුවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම එපා කියලා වාහනේ අතට ගත්තා. 

ඔන්න දැන් මම ගෙදර යන්න කියලා ඇරලා දාලා යනවා. මට ගෙදරට යන්න යූ ටර්න් දෙකක් ගහන්න තියනවා. පළවෙනි යූ ටර්න් එක ගහද්දී මට අමුත්තක් තේරුණා ස්ටියරින් වීල් එකේ. මම ටිකක් ස්ලෝ කළා. ඔන්න ඔහේ මගේ හිතට දැනෙන හැටි වෙන්න ඇති කියලා මම ආයේ ස්පීඩ් කළා. කෙළින් යනකොට කිසි අමුත්තක් නැහැ. ඔන්න දෙවෙනි යූ ටර්න් එක ආවා. එතකොට වීල් කාරයෙක් උගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ අස්සෙන් රිංගපු නිසා මට පොඩි සෙල්ලමක් දාන්න වුණා. ඒත් එක්කම මට තේරුණා 'මස්සිනා සම්තින් ඉස් නොට් රයිට්' කියලා... 

ස්ටියරින් වීල් එක ගැලවිලා අතට ආවා.... 

ඔවු යකෝ...! ස්ටියරින් වීල් එක ගැලවිලා අතට ආවා....!

දැන් මොන දෙයියන්ට කියන්නද? ආපහු අර අහවල් අයියා ළඟට ගිහින් මොන අහවල් ... ද කළේ කියලා අහන්න තමයි තියෙන්නේ. මෙහෙම තියෙද්දී යන්නත් බයයි. ඒත් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම වම් පැත්තට අයින් කරගෙන, බට්ටෙක්ගේ පිටිපස්සේ තියාගෙන හෙමින් හෙමින් ආපහු අර මනුස්සයා ගාවට ගියා. 



වාහනේ නැවැත්තුවාම අහවල් අයියා සෙසමි ස්ට්‍රීට් එකේ චරිතයක් වගේ මොකක්දෝ මුල්ලක් අස්සෙන් හොම්බ දැම්මා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි එතන සංවාදේ ගියේ. 

"බාසුන්නැහේ, ස්ටියරින් වීල් එක අතට ආවා...!" 

"මොනවා, වෙන්න බැහැ නේ...!" 

(මම වාහනේ ඇතුළට හොම්බ දාලා ස්ටියරින් වීල් එක අතට ගත්තා) 

"නැත්තං මෙහෙම ගලවන්න මං මැජික් කාරයෙක්ද?" 

(ඔන්න අහවල් අයියා කල්පනා කරනවා) 

"මොකද අප්පා ඒ?" 

"බාසුන්නැහේ නට් එක කොහෙද දැම්මේ?" 

(අහවල් අයියා කල්පනා කරනවා) 

"නට් එක නේද? (තවත් කල්පනා කරනවා) ආ... දැන් නේ මතක් වුණේ මහත්තයා... ඕකෙ නට් එකක් තිබ්බේ නෑ නේ...!" 

"නට් එකක් තිබ්බේ නැත්තං මෙච්චර කල් මම දිවුවේ කොහොමද?" 

(අහවල් අයියට ඒක ඇහෙන්නේ නෑ වගේ) 

"මම දන්නවා වෙච්ච වැඩේ. ෂුවර් එකටම පේන්ට් එක කරපු එවුන් නට් එක  නැතිකරන්න ඇති..." 

"දෙයි හාමුදුරුවනේ නට් එක නොතිබ්බ නං මෙච්චර දවස් මට නොදැනුණේ කොහොමද?" 

(අහවල් අයියට ඒකත් ඇහෙන්නේ නැහැ වගේ) 

"මම කිව්වේ මහත්තයට... දැන් ඉන්න ටින්කරින් බාස් ලා මහා වැඩකට නැති එවුවෝ..." 

අර මහත්තුරු මූ නැහැයි කියලා දිරන්න දාලා තියන වාහන ටික කොච්චර පින්වන්තද කියලා හිත හිතා මම ආපහු ආවා. ආපහු ඇවිත් ලේත් එකට ගිහින් නට් එකක් ලියවලා ටින්කරින් කරපු ගරාජ් එකට දීලා ඒක හයිකර ගත්තා. 

දවස් තුනක් යද්දී ආපහු ඇතුළේ ලයිට් එක වැඩකරන්නේ නැතුව ගියා. ඊට පස්සේ හෝන් එක නැතුව ගියා. ඊට පස්සේ එක ලයිට් එකක් පත්තු වෙන්නේ නැතුව ගියා. ඊටත් පස්සේ ආයේ වාහනේ චාජ් වෙන්නේ නැතුව ගියා. 

අන්තිමට ගෙවල් ළඟම ඉන්න, විවේක වෙලාවට ඉලෙක්ට්‍රිකල් වැඩ කරන කොල්ලෙක් මට අහම්බෙන් හම්බවුණා. වයස අවුරුදු 25 ක් විතර ඇති. ඌ දවස් දෙකෙන් ඔක්කොම ටික හදලා දුන්නා. අද වෙනකල් බල්බ් එකක් පිච්චෙනවා ඇරෙන්න වෙන කිසිම ගැටලුවක් වෙලා නැහැ. 

අදටත් අර අහවල් අයියා ගේ ප්ලේස් එක ඉස්සරහින් ඩ්‍රයිව් කරන් යනකොට මට පේනවා එතනට ක්ලැසික් කාර් ඇවිත් තියනවා. සමහර ඒවා සති ගණන්, මාස ගණන් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි ඔහේ තියනවා. ඒ වෙලාවට මට කාර් එක නතර කරලා අහවල් අයියා ළඟට ගිහිං එයාගේ දෙමව්පියන් වත් ආදරෙන් සිහිපත් කරලා මෙහෙම අහන්න හිතෙනවා. 

"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" 


www.facebook.com/CarPissuwa


පසු සටහන: එක ෆොටෝ එකක ඇර අනික් ඒවායේ තියෙන්නේ මගේ කාර් එක නෙමෙයි.අර කළුයි කහයි කාර් එක මගේ.

Monday, October 24, 2016

9 ශ්‍රී 5333 අනුරාධපුරේ ගිය කතාව...



උපන්දිනේ දවසේ උදේ නැගිටිද්දී මට මුලින්ම ඇහුණේ මතක ඇති කාලෙකින් අහපු නැති තරම් මිහිරි කුරුළු හඬවල් ගොන්නක්... මට එකපාරට ලොකු තාත්තලාගේ මහගෙදර මතක් වුණා. පදම වැරදිච්චි පුඩිමක් වගේ ඒ වත්ත අංගපුලාවකට නැති කෑලි කෑලි වලට කැඩිලා අතින් අත යන්න කලින්, ඉස්කෝලේ නිවාඩු කාලවල පෙරුම් පුරලා එහෙ ගියාම පහුවෙනිදා උදේ නැගිටිද්දී, වැට මායිමෙන් එහා තිබුණු කුඹුරු යායේ මඩ සුවඳයි සීතලයි එක්ක මුහුවෙලා එන නමක් ගමක් නොදන්න අනන්ත අප්‍රමාණ කුරුළු ගීත වලට ආදරෙන් හිත විකසිත වෙච්ච හැටි මට අද වගේ මතකයි...

හැබැයි මෙදා පාර මම හිටියේ එහෙ නෙමෙයි. එහෙ දැන් කුරුලු ගීත නැහැ...

මෙදා පාර මම හිටියේ අනුරාධපුරේ... මෛත්‍රීපාල සේනානායක මාවතේ තියන අපූරු පුංචි හෝටලයක...

කුරුළු ගීත මැද්දෙන් මට මතක් වුණා, පානදුරේ ඉඳන් අපිව අරන් ඇවිත් පූජා නගරෙත් වට කීපයක්ම ගිය 9 ශ්‍රී 5333 බීට්ල් එක හෝටලේ මිදුලේ නිදාගෙන ඉන්නවා නේද කියලා...

ඒත් එක්ක මගේ හිතට දැනුණු ළෙන්ගතුකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජීවිතේ එක පාරක් හරි කාර් එකකට ආදරේ කරලා තියෙන කෙනෙකුට විතරයි...

ගමන යන්න කලින්, බීට්ල් එකේ අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නවා කිවුවම අපට ලැබුණේ අපූරු මිශ්‍ර ප්‍රතිචාර. හිත රිදෙනවට කැමති නැති යාළුවෝ ටික වෙලාවක් මූණ දිහා බලන් ඉඳලා, ඊට පස්සේ බීට්ල් එක දිහා බලලා, ඊට පස්සේ ආයෙත් මූණ බලලා කිව්වා, 'ඔක්කොම හොඳට චෙක් කරලා බලලා ගිහින් එන්න' කියලා.

යාලුවොත් නොවෙන අහිතකුත් නොහිතන අය ඇහුවා 'වෑන් එකක් අරගෙන ගියොත් නරකද?' කියලා.

තමන්ගේ කොරොල්ලා එක දිහා මිනිස්සු නොබලන නිසා අපිත් එක්ක තරහෙන් ඉන්න සමහර අය කිව්වා 'අන්න අහවලා මේ ළඟට ගිහිල්ලත් ප්‍රශ්නයක් වෙලා කාර් එක පටවන් එන්න වුණා, ඒ නිසා ඕකෙ යන්න එපා' කියලා.

ඔය ඔක්කොම මැද්දේ බීට්ල් එක පෙන්නලා 'මෙයාව මට විස්වාසයි' කියකිය මාව දිරිමත් කළේ කෞශි. ජීවිතේට පාරක් තොටක් මතක නොහිටින මට ගමන යන්න දැනුම දුන්නේ Google Maps. සෑහෙන සාකච්ඡා ගොඩකට පස්සේ අපි නුවර පාර/කුරුණෑගල පාර පැත්තෙන් නොගිහින් පුත්තලම පාර පැත්තෙන් යන්න තීරණය කළා. ජීවිතේ වැඩි හරියක් මූදු හුළඟ දැනෙන මානේ ජීවත් වෙච්චි මට රට මැද පාරවල්වලට වඩා මූදට ළඟ පාරවල් වල මොකක්දෝ හිතේසි ගතියක් දැනෙනවා. පුත්තලමේ Colombo Face බීච් එකේ ටිකක් නැවතිලා යන්න ඕනේ කියලා මම ගමන යන්න කලින්ම හිතාගත්තේ ඒ නිසයි.

අපි දෙන්නගේ ගමන් සගයා වුණු ශ්‍රීලාල් වත් රත්මලානෙන් නග්ගගෙන වැල්ලවත්ත පැත්තෙන් හයිලෙවල් පාරට දාලා හරවලා ජාවත්ත පාර දිගේ ගිහින් බෞද්ධාලෝක මාවතට දාලා අන්තිමට බොරැල්ලට ගිහින් බේස්ලයින්  පාර පහුකරලා කටුනායක හයිවේ එකට දැම්මට පස්සේ තමයි ඔන්න මට ට්‍රිප් එක පටන්ගත්තා කියලා දැනුණේ. මගේ හයිවේ ඇබ්බැහිය ගැන මම මේ බ්ලොග් එකේ කලින් කතා කරලා තියනවා. මෙච්චර කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ පිටත වටරවුම් මාර්ගයේ එහා මෙහා ගියා මිසක් මට කටුනායක අධිවේගී මාර්ගයේ බීට්ල් එක එළවන්න ලැබිලා තිබ්බේ නැහැ. ඒ නිසා කටුනායක හයිවේ එකට දැම්ම ගමන් මගේ හිතට ආවේ පුදුමාකාර සතුටක්.

ඒ සතුට ආයේ බින්දුවක් හරි අඩුවුණේ පහුවදා ආපහු එන ගමනේ කටුනායක හයිවේ එක පහුකරලා ආපහු බේස්ලයින් පාර පැත්තට වැටිලා අර හැමදාමත් මට ජීවිතේ තිත්ත කරවන බොරැල්ල ට්‍රැෆික් එකට සෙට් වුණාමයි.



පුත්තලම පාර නුවර පාරට වඩා නිදහස් කියලා මට හිතුණා. නුවර පාරේ තියනවා වගේ කිසි ෆන් එකක් නොදෙන, ඒත් බ්‍රේක් එකට වද දෙන්න වෙන ඇල්මැරුණු වංගු පුත්තලම් පාරේ නැහැ. දෙපැත්තේ බලන්න කියලා මහා දෙයක් නැති එක ඇත්ත. ඒ වුණාට පුත්තලම් පාර හරියට පොඩි මල්ලි කෙනෙක් පවු කියලා කියව කියව හිටපු පොත පැත්තක දාලා ක්‍රිකට් ගහන්න එන ලොකු අයියා කෙනෙක් වගේ. ෆන් එකට බර නැහැ, හැබැයි ෆන් ගන්න ඕනේ කියනවා නම් ඒකට සපෝට් එකක් දෙන්න පස්ස ගහන්නෙත් නැහැ.

අපිට ට්‍රැෆික් එකක් කියලා සෙට් වුණේ හලාවත ඉස්කෝල තියන තැන්වල වගේ තැනකදී දෙකකදී විතරයි. අනික් හැම තැනකදීම වගේ බීට්ල් එකක් ඩ්‍රයිව් කිරීමේ සතුට නිදහසේ විඳින්න මට පුළුවන් වුණා. මගදී එක තැනකදී උදේට කන්න නැවැත්තුවට පස්සේ අපි කෙළින්ම ගිහින් නැවතුණේ පුත්තලමේ Colombo Face බීච් එකේ...

ජීවිතේ හැම දාම රැලි නගන මූදු තීර පේන මානේ ජීවත් වුණු මට ගඟක් වගේ මූදක් තියන Colombo Face බීච් එකේ අමුතු සන්සුන් සුන්දරත්වයක් දැනෙනවා. පුත්තලම පැත්තෙන් වගේම කල්පිටිය පැත්තෙන් පේන Wind Mills ටික ඒකට එකතු කරන්නේ අමුතු 'විදේශික' බවක්. ඒවා දැක්කම මට හිතෙන්නේ මම පිටරටක ඉන්නවා වගේ.

පුත්තලම් කලපුව අපිරිසිදු තැනක් නෙමෙයි. හැබැයි ප්ලාස්ටික් බෝතල් සහ බෑග් කෑලි වගේ දේවල් අනන්ත තියනවා. අවුව අඩු වෙලාවක ආවොත් කතාවක් දාගෙන ඉන්න බැංකු එහෙමත් හදලා තියන නිසා දවසක හැන්දෑ වෙලාවක මෙතනට එන්න මට පොඩි ආසාවක් තියනවා. ඊට කලින් පොඩ්ඩක් කල්පිටිය පැත්තට ගිහින් එන්නත් ඕන. බලමු....





බීච් එක ඉස්සරහා කඩේකින් බීම එකක් ගහලා අපි අනුරාධපුර යන්න පිටත් වුණා. පුත්තලම ටවුම කියන්නේ මිනිස්සු කිසි සැලකිල්ලක් නැතුව ත්‍රීවීල් සහ බයිසිකල් පාර හරහා දාන තැනක් කියලා මට එකපාරටම හිතුණත් අනුරාධපුර හයිවේ එකට වැටෙන්න ටවුම හරහා යන්න තියෙන්නේ බොහොම පොඩ්ඩ දුරයි.

අනුරාධපුර පාර ගැන මගේ ඔළුවේ තිබුණේ 'ඔය කියන තරම් හොඳ පාරක් නම් නෙමෙයි වෙන්නැති' වගේ අදහසක්. නමුත් පළවෙනි මීටර් 500 ඉවර වෙන්නත් කලින් මට හිතුණා මේක පුත්තලම පාරටත් වඩා ෂෝක් නේද කියලා...

අනුරාධපුර සහ පුත්තලම අතර පාර 'බලන්න දේවල් තියන පාරක්' නෙමෙයි කියලා මම පිළිගන්නවා. විශේෂ දේකට කියලා පහුවෙන්නේ තබ්බෝව අභයභූමිය විතරයි. අපි යන වෙලාවේ ඒකත් නැට්ටටම හිඳිලා. අලි පාර මාරුවෙනවා කියලා ගහලා තියන බෝඩ් යටින් වඳුරෝ පාර මාරුවෙමින් හිටියා. හිඳිලා ගිය ජලාශ වල පතුලේ ඉඳහිට ජීප් එකක් හරි ලොරියක් හරි යනවා දැක්කම මට හිතුණා අනුරාධපුර ගමන පොඩ්ඩක් නවත්තලා මේ වගේ තැනක ඩ්‍රයිව් කරන්න විදිහක් නැද්ද කියලා. ඒත් තව දෙන්නෙක් වාහනේ හිටපු නිසා මම පිස්සු නටන්න ගියේ නැහැ. අනික මම වන සත්තුන්ට එච්චර මනාපත් නැහැ.

පාරේ ටික දුරක් ගියා විතරයි පාලමක් පහුවෙනවත් එක්කම පොලීසියෙන් අතදාලා වාහනේ නැවැත්තුවා. මගේ රියදුරු හැඳුනුම්පත පොඩ්ඩක් පැහැදිලි මදි නිසා මම හිතුවා හුටා පරිජාලං තමයි කියලා. ලිපිලේඛන ටික අරං බැහැලා යද්දී රාළහාමිලා දෙන්නගෙන් එක්කෙනක් කටපුරා හිනාවුණා. මම හිතුවා වාහනේ නිසා වෙන්න ඇති කියලා. නමුත් එතුමාට වාහනේ ගැන බින්දුවක උනන්දුවක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට බොහොම හිනාවෙන් මගේ ලිපිලේඛන ටික පරීක්ෂා කරලා, ඉක්මනට ලයිසන් එක අලුත් කරගන්න කියලා එතුමා අපට යන්න දුන්නා. මේ ටික කියන්නේ අර දැක්ක තැන ඉඳන් සල්ලි කඩාගන්න දඟලන බාප්පලා අතරේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියන්න.

පුත්තලමයි අනුරාධපුරයි අතර තියන 'නාගරික ප්‍රදේශ' බොහොම පුංචියි. කොළඹ දිස්ත්‍රික්කේ ඇතුළේ ගාලු පාර අයිනේ ගෙදරක ජීවත් වෙන මට ටවුමක් ඉවර වෙනවා කියන එක හුරුපුරුදු සංකල්පයක් නෙමෙයි. කොළඹින් පටන් ගත්තම දෙපැත්තේ නාගරික ගතිය ටිකක් හරි අඩුවෙන්නේ මොරටුව බස් ස්ටෑන්ඩ් එක පැනලා කොරවැල්ලට පිවිසෙනකොට විතරයි. ඒකත් ආපහු අලුත් පාලම ගාවින් ඉවරයි. ඒත් අනුරාධපුර පාරේ 'ටවුමක ගතියක් දැනෙනවා' කියලා හිතලා වේගේ අඩු කරන්න හිතනකොට ටවුම පහුවෙලා ඉවරයි.

කරුවලගස්වැව, සාලියවැව, කලාඔය වගේ නම් මම නිතර වාහනේ වීදුරුවෙන් දකින නම් නොවෙන නිසා ඒක හරි අපූරු හැඟීමක් ගෙනාවා. මම මේ පැතිවල ජන ජීවිතය ගැන පුළුල් විදිහට දන්නේ නැති නිසා ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය driving experience එක ගැන කතාකරන්න විතරයි. පාරක් විදිහට ගත්තාම, ඒ පාරේ මට දිනපතා උදේ හවා එළවන්න පුළුවන් කමක් තිබ්බා නම් මම එළවනවා.






පුත්තලම සහ අනුරාධපුර අතර කිලෝමීටර 76 ක් විතර තියනවා. හිතන්නත් කලින් අපි අනුරාධපුරේට ආවා. Google Maps වලට පින්සිද්ධ වෙන්න පාර හොයාගන්න අමාරුවක් වුණේ නැහැ. අපි නවාතැන් ගන්න වෙන්කරලා තිබුණේ අනුරාධපුරේ මෛත්‍රීපාල සේනානායක මාවතේ තියන  French Garden Tourist Hotel කියන පුංචි හෝටලේ. ඒක ඇත්තටම ඒ පැත්තේ අනෙක් හෝටල් ගොඩක් වගේම මධ්‍යම ප්‍රමාණයේ ගෙයක්. නමුත් ඒක බොහොම නිදහස්, පිරිසිදු, පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්, සුහදශීලී තැනක්.

කාර් එක ඇතුළට දාලා පාක් කළාම මට හිතුණා සමහර විට එයාලට ක්ලැසික් කාර් එකක ට්‍රැවල් කරන අමුත්තෝ ටිකක් ආපු පළවෙනි වතාව ඒක වෙන්න ඇති කියලා.

හෝටලේට වෙලා පැයක් විතර ගිමන් ඇරලා කෑම ටිකකුත් එහෙන්ම කාලා අපි ටිකකින් පූජා නගරෙට යන්න පිටත් වුණා.

ඉස්සරලාම යන්න අවශ්‍ය වෙලා තිබුණේ අනුරාධපුර කෞතුකාගාරයට. මම කවදත් කෞතුකාගාර බලන්න කැමති කෙනෙක්. මට අතීතය එක්ක තියෙන්නේ ශෘංගාර සම්බන්ධයක් නෙමෙයි. ඔක්කොම බිම දාලා අතීතයට දුවලා යන්න ඕනේ කියන මානසික රෝගය මට නැහැ. නමුත් අතීතයේ තිබුණු සරල බවට මම ආසයි. මම ක්ලැසික් කාර් වලට ආසත් ඒවායේ තියන සරල බව නිසා. අලුත් කාර්වල තාක්ෂණය දැක්කම මට හිතෙනවා මේ තරම් සෙන්සර් යායක් දාලත් සමහර වෙලාවට ක්ලැසික් කාර් එකක් තරමට මිනිස්සුන්ගේ ගමන් බිමන් වලට උදවුවක් වෙන්න බැරි නම් දශක ගානක් තිස්සේ ඔය තාක්ෂණය දියුණු කරේ මොන බම්බු කොටේටද කියලා. හැත්තෑ ගණන් වල ආපු සාමාන්‍ය ක්ලැසික් කාර් එකකට වඩා සියයට පහක් විතර ගැස්සිල්ල අඩුයි වෙන්න පුළුවන්. නමුත් අපේ වාහන වල සස්පෙන්ෂන් තව ටිකක් අප්ග්‍රේඩ් කළා නම් අපිට ඊට වඩා හොඳ සනීපෙට යන්න පුළුවන්.

ථූපාරාම මාවතට දාලා ටික දුරක් ගිහිල්ලා කෞතුකාගාරය ඉස්සරහා නවත්තලා බලනකොට හිච්චි බෝඩ් එකක් ගහලා තියනවා, 'අලුත්වැඩියා කටයුතු සඳහා වසා ඇත' කියලා. සවාරිය පටන් ගත්තු ගමන් ම එහෙම වෙනවා කියන්නේ දුක හිතෙන දෙයක්. නමුත් ඊට ටිකක් එහායින් තියන ජන කෞතුකාගාරය ඇරලා කිව්ව නිසා සහ ඒක බලන්නත් තදබල වුවමනාවක් තිබ්බ නිසා අපි එතනට ගියා.

ජන කෞතුකාගාර තියෙන්නේ හරි අපූරු තැනක. ථූපාරාම පාර ගිහිල්ලා අභය වැව හෙවත් බසවක්කුලම ගාවට වැටෙන්නේ එතනින්. එතන ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් දකුණට හැරිලා ගියාම රුවන්වැලි සෑයට යන්න පුළුවන්. හැරෙන්නේ නැතුව කෙළින්ම ගියොත් ථූපාරාමයට යන්න පුළුවන්. 

කෞතුකාගාරය අලුත් ගොඩනැගිල්ලක් කියලා බැලු බැල්මට පෙනුණත් ඒක ලස්සන ගෙවත්තක් තියන තැනක්. ඒ වගේම කාර් එක පාක් කරන්න තියෙන්නේ දැවැන්ත ගහක හෙවන ලබන කාර් පාක් එකක්. මම බොහොම ආසා කරන මේ ෆොටෝ ටික මම ගත්තේ එතැනදී. කාර් වලට ආදරේ කරන මින්ස්සු කාර් එකෙන් බැස්සට පස්සේ ආපහු හැරිලා බලනවා කියන කතාව කවුරුත් දන්නවා. ඒ වගේම අපි කාර් එකෙන් බැහැලා බලන තව දෙයක් තමයි ෆොටෝ එකක් ගත්තම කොච්චර ලස්සනට පෙනේවිද කියන එක. ඒ නිසා කෞතුකාගාරේ පැත්තට හැරෙන්නවත් කලින් තමයි මම මේ ෆොටෝ එක ගත්තේ.



ජන කෞතුකාගාරය කියන්නේ ලංකාවේ පැරණි ගැමි ජීවිතය ගැන ඒ හැටි අවබෝධයක් නැති හැමෝම බලන්න ඕන තැනක්. ලංකාවේ කෞතුකාගාරවල ෆොටෝ ගැනීම තහනම් නිසා මතක හිටින හෝ ලියාගන්න තරමක් තමයි. හැබැයි ඔය දේශීයත්වය ගැන කියකිය මරාගන්න එන හැමෝම අනුරාධපුර ආපු වෙලාවක මේක බලන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ අතීත ගැමි ජීවිතය ගැන පොත්පත් වලින් ඉගනගන්න බැරි ගොඩාක් දේවල් මෙතනදී ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්. කෞතුකාගාරය ලොකු නැහැ. නමුත් දැනගත යුතු සියල්ල වගේ මෙතන තියනවා. මේක නිවාඩු දවස් වල වහන නිසා අනුරාධපුර ආපු වෙලාවක, සතියේ දවසක, දරුමල්ලොත් අරගෙන පැයක් එකහමාරක් ගතකරන්න බලාගෙන මෙතනට එන්න. පුළුවන් නම් පූජා නගර සංචාරය මේ කෞතුකාගාරයෙන්  (ප්‍රධාන කෞතුකාගාරය ඇරලා තිබ්බොත් කෞතුකාගාර දෙකෙන්) පටන්ගන්න.

ජන කෞතුකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි හිතුවා බසවක්කුලමේ වැව් බැම්ම දිගේ වාහනේ එළවගෙන යන්න. මේක කලින් ඉඳන් හිතේ තිබ්බ දෙයක්. නමුත් ඒ පැත්තට ගිහින් බලද්දී වැව් බැම්ම පාර අවහිර කරලා කණු දාලා ඒක ඇවිදින්න විතරක් පුළුවන් විදිහට හදලා. වැවේ වතුර සෑහෙන්න හිඳිලා. ඉතුරු වතුර පොඩ්ඩේ බස්වලින් වෑන් වලින් ආපු බොහෝ දෙනෙක් කෑ ගගහා නානවා. ඒ නිසා ටිකක් වෙලා එතන ඉඳලා අපි රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා.

මම මේ රුවන්වැලි සෑයට ආවේ අවුරුදු 18 කට විතර පස්සේ. පුංචි කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිය වෙලාවක රුවන්වැලි සෑය ඉස්සරහ බිම ඉඳගෙන ඒක කොයිතරම් දැවැන්ත නිර්මාණයක්ද කියලා බලාගෙන හිටපු හැටි මට මතකයි. ඒ විදිහට ආපහු රුවන්වැලි සෑය ඉස්සරහපිට ඉඳගන්න ආසාවක් ආවත් මට එදා තරම් සන්සුන් බවක් දැනුණේ නැහැ. නඩත්තු අංශයේ කට්ටිය බල්බ් එල්ලන්න ඉනිමං තියනවා, කෑ ගහනවා, පලංචි බඳිනවා, අරවා කරනවා, මේවා කරනවා. අනික් පැත්තෙන් බැතිමත්තු එක එක ආකාරයට දන්න ගාථා, නොදන්න ගාථා, කවි, හෑලි, යාදිනි කියනවා. ඒ නිසා බැතිමතුන්ට සහ කාර්ය මණ්ඩලයට තියන ඉඩකඩ අහුරන්නේ මොකටද කියලා අපි ඉක්මනට එළියට ආවා. රුවන්වැලි සෑයට ලංකාවේ බෞද්ධයෝ අසීමිත ශ්‍රද්ධාවක් දක්වනවා. ඉතින් එහෙම තැනක සන්සුන් බව බිඳෙන එක වළක්වන්න බැහැ.



රුවන්වැලි සෑයේ මල්වලට ගෙවලා, පාක් එකට ගෙවලා, හිඟන්නන්ට ගෙවලා එළියට එනකොට වාහනෙන් ටිකක් අමුතු සද්දයක් ආවා. අයිනකට කරලා නවත්තලා බලද්දී වැඩි හොඳට කියල දාගෙන ආපු අලුත් ෆෑන් බෙල්ට් එක පොඩ්ඩක් කැපිලා. ත්‍රිකුණාමලයේ ඉඳන් රුවන්වැලි සෑයට කරෝල වගයක් අරගෙන ආපු ත්‍රීවීල් එකක මල්ලි කෙනෙක් වහාම අපේ උදවුවට ආවා. නමුත් බෙල්ට් එක මාරු කරන එක වඩා හොඳ නිසා සහ ඒක පරිස්සමෙන් කරන්න ඕන දෙයක් නිසා එයා අපට යාපනේ හන්දියට ගිහින් ගරාජ් එකකට යන්න කියලා පාර කිවුවා. 

යාපනේ හන්දියේ පාර අයිනේම තිබුණා ගරාජ් එකක්. පොඩ්ඩක් වත් පරක්කු කරන්නේ නැතුව, බොහෝම සුළු මුදලක් අරගෙන එයාල අපට වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ තමයි අපි ථූපාරාමේ ගියේ. එහෙත් මල් වලට ගෙවලා, පාක් වලට ගෙවලා එහෙම ඉවර වෙලා ඇතුළට ගියාම එහෙත් කප්රුක් පූජාවක්. හම්බවුණු පුංචි ඉඩකඩකදී මල් ටික පූජා කරලා එළියේ නටඹුන් ටිකත් බලලා අපි එළියට ආවා.



තවත් තැන් දෙකක් තුනක් බැලුවට පස්සේ තමයි අපි අභයගිරිය බලන්න තීරණය කළේ. කතාව වෙනස් වෙන්න ගන්නේ මෙතනින්.

අභයගිරියට යන පාරේ වාහනයක් කියලා නාමයක් නැහැ. මී හරක් නම් හිටියා. ඉතින් අපි ටිකක් සැක සංකාවෙන් ගියේ. ටික දුරක් යද්දී ඈතින් අභයගිරි කෞතුකාගාරය පෙනුණා. කලිනුත් කිව්වා වගේ මම කෞතුකාගාර වලට බොහොම ආසා නිසා වහාම ඒකට යන්න තීරණය කළා.

අභයගිරියේ කෞතුකාගාරයේ කාර් පාක් එක හරිම සුන්දරයි. අර අමුතු ගුරුපාට පස, ලස්සන කෞතුකාගාර ගොඩනැගිල්ල සහ හැන්දෑ අඳුර එකතු වුණාම තිබුණේ අමුතුම ලස්සනක්. මෙතනදී ගත්තු ෆොටෝ ටික මට සදාකල් මතක තියේවි. 



අභයගිරිය කියන්නේ හරිම අපූරු තැනක්. නමුත් එතන ලංකාවේ ථෙරවාදී බුද්ධාගමත් එක්ක මහා ලොකු ඇයිහොඳයියක් නැති නිසා කවුරුවත් එතනට වැඩි මනාපයක් නැහැ වගේ. කෞතුකාගාරය වගේම අභයගිරි විහාර සංකීර්ණයත් අමු පාළුයි. මම හිතන්නේ අභයගිරි සංකීර්ණය තාමත් සම්පූර්ණයෙන්ම කැණීම් කරලා නැහැ. නමුත් ඒක කොයිතරම් දැවැන්ත පරිමාණයේ නිර්මාණයක්ද කියලා බැලු බැල්මට තේරෙනවා.

අර දශක දෙකකට විතර කලින් රුවන්වැලි සෑය ඉස්සරහ මළුවේ ඉඳගත්තාම මට දැනුණු දැවැන්ත බව මෙදා මට අභයගිරිය මළුවේ බිම ඉඳගත්තාම දැනුණා.

මුළු අභයගිරි භූමියම බොහෝ දුරට හිස්. නඩත්තු කාර්ය මණ්ඩලය වෙනුවට වඳුරෝ නිදහසේ චෛත්‍යය දිගේ උඩටම උඩටම උඩටම නගිනවා අපි බලාගෙන හිටියා. ඒක හරිම සුන්දර දර්ශනයක්.



ආපහු එනකොට අපි ආවේ රුවන්වැලි සෑය ඉස්සරහින්. එතකොට තමයි මට එරංග වික්‍රමව හම්බවුණේ. එරංග කියන්නේ මම කාර් පිස්සුව පටන් ගත්තු කාලේ ඉඳලම මට ප්‍රතිචාර දක්වපු කෙනෙක්. මම ගමන එළියට බැස්සෙත් කාර් පිස්සුව නිසා අඳුරගත්ත කවුරුහරි දැක්කොත් කොච්චර හොඳඳ කියලා හිතාගෙනමයි. ඉතින් රුවන්වැලි සෑය ඉස්සරහදී ගලමින් තිබුණු ජන ගංගාවට පාර හරහා ගලායන්න ඉඩ දීලා නවත්තපු ඇසිල්ලකදී කවුරුහරි මගේ නම කියනවා ඇහුණාම සහ අර කන්නාඩි දෙක පෙනුණාම මට මීටර් වුණා මේ එරංග වෙන්නැති කියලා. නමුත් වෙන කෙනෙක් නම් හිත රිදෙන නිසා මම මොකුත් කිව්වේ නැහැ. වාහනේ නවත්තලා කතාකරන්න පුළුවන් තැනක හෝ වෙලාවක නෙමෙයි අපි හිටියේ. නමුත් රුවන්වැලි සෑය වගේ පින්බිමක් ඉස්සරහා කාර් පිස්සුවෙ දැනහැඳුනුම්කමක් එහෙම මතුවෙච්චි එක මට පුදුමාකාර සතුටක්. ආපහු  ඇවිත් මම අපේ සංචාරයේ ෆොටෝ ෆේස්බුක් එකේ දැම්මට පස්සේ එරංග මෙහෙම සටහනක් කමෙන්ට් එකක් විදිහට දැම්මා. 


"වෙලාව හවස 6.15 ට විතර ඇති....අනුරාධපුර ගමන් ගමන පුරාවටම ශෝටක් ඇඳන් හිටපු මම... මල්කඩේකින් මල් අරන්....එතනදිම සරමකුත් ඇඳන්.... පාර පැන්නා... තවත් යාලුවෙක් .. එන්න පරක්කු හින්දා මං පස්ස බැලුවේ...ඒ එක්කම .. මිනිස්සුන්ට පාර පනින්න ඉඩ දීලා....කහ ඉර ගාව කාර් එකක් නැවතුනා....ලයිට් වල වෙනසක් දැනුන නිසා... හොඳට බලද්දි තෙරුණේ ඒ බීට්ල් එකක් කියල.... තව හොට බැලුව... බෆරය හරහා කහපාට පටි අලවල. ..... හොඳට මතකයි ..ම් ඒ කාර් එක ... කාගෙද...?? ඒ එක්කම.... බීට්ල් කාර් එක්කම මක් උනේ.. මේ තරිඳු වෙන්න ඇති....තරිඳුගෙ ඉබ්බා ලඟට එනකම් පාර අයිනේ හිටියෙ .. යාලුවොත් නවත්තගෙන ... ඈ තරිඳු බීට්ල් සංචාර වගේ නේ ද කියල ඇහුවහම ... ලෙන්ගතු හිනාවකින් .. ඇහුවෙ. ... කව්ද මචන්...කියල ...මං එරංග අහවල් තැන වැඩ කරන්නේ කීවහම .. පටාස් මව අඳුන ගත්ත කියල මන් දැනගත්ත... කතා කර කර ඉන්න වෙලාවක් .. තැනක් නෙමේ අපි සෙට් උනේ... තරිඳු ගෙ නෝනත් පිටිපස්සෙ හිටපු මල්ලී කෙනෙකුත්.... හොඳ හිනාවක් දාල ...ඒ තප්පර ගානක සීන් එකෙන් අපි මිදුනා... මගෙ යාලුවන් ට ෆුල් හොල්මන් ... බුකියෙ කෙනෙක් .. ජීවිතේවෙනි පාරට මෙහෙම දැකලා... සෙට් උනාට. .. අනික ... කාර් එක නිසා අඳුන ගත්ත එකට... මෙහෙම රසවත් සිද්දි වෙන්නෙ ... කාර් පිස්සුව නිසාම තමා... එක ලේසි පහසු පිස්සුවක් නෙමේ .. ජීවිතේම මතක් කර කර සතුටු වෙන්න...දුක් වෙන්න .. හූල්ලන්න .. පුලුවන් දෙයක්.... කාර් පිස්සුවට ජය ....තරිඳු එක්ක කතා කරපු මුල්ම වචන වලින්ම කොමෙන්ටුව අවසාන කරමි... මම එරංග ...... එකේ වැඩකරන..." 

මේවා තමයි ජීවිතේට එකතු වෙන අපූරු කාර් පිස්සුව මතක...

ආපහු හෝටලේට යනකොටත් මට කිසිම වෙහෙසක් දැනුණේ නැහැ. ක්ලැසික් කාර් එකක් එළවන් ආවා කියලා කිසිම තෙහෙට්ටුවක් මට තිබුණේ නැහැ. මම හිතන්නේ අලුත් ජපන් කාර් එළවපුවම මට මීට වඩා තෙහෙට්ටුව දැනිලා තියනවා. ටික වෙලාවක් ඉඳලා අනුරාධපුර ටවුමට ගිහින් කොත්තු කාලා ඇවිත් අපි පොඩි ඕපාදූප සැසියකට පස්සේ නින්දට වැටුණා. 

පහුවදා මගේ උපන්දිනේ. එදා උදේ තමයි මට අර අපූරු කුරුලු ගීත ටික ඇහුණේ. 

උදේම හෝටලෙන් පිටත් වෙලා ටවුමට ගිහින් තේකක් ගහලා අපි ඉස්සරලාම ගියේ ඉසුරුමුණියට. අධික වැඩ රාජකාරිත් එක්ක තවත් සම්පූර්ණ දවසක් පූජා භූමියේ ගතකරන්න හෝ වෙන දිහාක යන්න අපට කාලය තිබ්බේ නැහැ. 

ඉසුරුමුණිය හරිම සුන්දර තැනක්. අර ඉසුරුමුණි පෙම් යුවල නිසා අපට ඉසුරුමුණිය විහාරයක් කියලා හිතෙන්නේ නැහැ වගේ. පෙම් යුවල ඉසුරුමුණි විහාරයට අයිති දෙයක් නෙමෙයි. ඒකමුලින් රාජකීය පොකුණේ තිබිලා පස්සේ ගෙනාවා කියලා තමයි කියන්නේ. ඉසුරුමුණි කැටයම් දැක්කම ලංකාවේ ඉස්සර තිබුණු කලා ශිල්ප ගැන ආඩම්බර හිතෙනවා. නමුත් කැටයම් ගැන විස්තර තියන පුවරු වලට වඩා වියදම් කරලා ෆොටෝ ගන්න එපා කියලා බෝඩ් ගහලා තිබ්බ නිසා ඒවා ෆොටෝ ගන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ. 



ඉසුරුමුණියෙන් පිටත් වෙලා ජේතවනාරාමය පැත්තට ගිහින් තවත් මොනවා හරි බලාගෙන යනවා කියලා තමයි අපි හිතුවේ. නමුත් ජේතවනාරාමයේ කෞතුකාගාරයේ  කාර් පාක් එකට දානකොටම අපිට තේරුණා මෙතන පැය බාගෙන් පැයෙන් සමුගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා. 

අභයගිරිය කෞතුකාගාරයේ වගේම ජේතවනාරාමයේ කෞතුකාගාරයේත් ඒ භූමියේ කැණීම් වලින් ලැබුණු හරිම අපූරු දේවල් තැන්පත් කරලා තියනවා. ආභරණ, කාසි, මැටිභාණ්ඩ, ප්‍රතිමා සහ ගොඩනැගිලිවල කොටස් මේ තැන්වලදී දැකගන්න පුළුවන්. කිසිම දවසක කෞතුකාගාර නොබලා පිට පාරේ යන්න එපා. 

ජේතවනාරාම කෞතුකාගාරයේත් අනික් හැම තැනම වගේ ෆොටෝ ගන්න තහනම්. ඒ නිසා දැකපු දෙයක් විතරයි. නමුත් එතන තිබුණු දේවල් දැක්කම මට හිතුණේ කැම්පස් වල අවුරුදු තුනක් හතරක් උගන්නනවට වඩා දෙයක් මේ කෞතුකාගාරයේ දවසක් ගතකළොත් ඉගෙනගන්න පුළුවන් නේද කියලා. ඔය මල්ලිලා නංගිලා නැති ප්‍රශ්නවලට විරුද්ධව උද්ඝෝෂණ කරන එක, රැග්‍ කරන එක, පිරිත් මණ්ඩප්ප ගහන එක, සහ අහුමුලු අස්සේ රිංගන එක මදකට නතර කරලා එක දවසක් ශිෂ්ටාචාරගත මිනිස්සු වගේ ඇවිල්ලා මේ වගේ තැනකින් දෙයක් ඉගෙනගත්තා නම් ඔය අසහනේ නිකම්ම හොඳ වෙනවා. ගිරවා දාලා ස්ටාෆ් එකට පනින, නැත්තං ආණ්ඩුවේ ජොබකට/ටීචින් වලට පනින සංස්කෘතිය බිඳලා දාලා දැනුවත් ශිෂ්‍ය පරපුරක් හදන්න ඔයාලාම මැදිහත් වුණොත් (එහෙම කරන්න ගියොත් අන්තරේ උණ්ඩුකපුච්ඡ ටික පුපුරන බව මම නොදන්නවා නෙමෙයි) ඔය කලා පීඨවල සහ සමස්ත රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළේ තියන ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන්.

කෞතුකාගාරෙන් පිටවෙලා ජේතවනාරාම සංකීර්ණයට ආවම තේරුණා මේක ඒ කාලේ කොයිතරම් දියුණු තැනක් වෙලා තියෙන්න ඇතිද කියලා. බලන බලන පැත්තේ එක එක විදිහේ ගොඩනැගිලිවල නටඹුන්. බලනවා නම් සතියක් විතර බලන්න දේවල් ජේතවනය විහාරාරාම සංකීර්ණය ඇතුළේ තියනවා. අභයගිරිය වගේම මෙහෙත් වැඩි දෙනෙක්ගේ ඇල්ම බැල්ම ලබන්නේ නැහැ. ඒ නිසා නිදහසේ ඇවිදින්න පුළුවන්. අභයගිරිය සහ ජේතවනය ගැන දවසක වෙනම කතාකරන්න අදහසක් තියනවා, මොකද එතනදී දැනෙන දේවල් මෙහෙම බ්ලොග් පෝස්ට් එකකින් කියලා ඉවර කරන්න බැහැ. වෙලාව ආවොත් බලමු. 


මම ජේතවනාරාම කෞතුකාගාරයේ පොත් අලෙවිසලේ රාක්ක අතර අතරමං වෙලා ඉන්නකොට එතන හිටපු නිලධාරී මහත්මයෙක් අපේ වාහනේ දිහා බොහොම ආසාවෙන් බලලා ඊට පස්සේ කෞශිගෙන් අහලා තිබුණා කොහේ ඉඳන්ද ආවේ කියල. කෞශි 'පානදුරේ ඉඳන්' කියලා කිව්වාම එතුමාගේ ඇස් ලොකු වුණාලු. 

"පානදුරේ ඉඳන්ම මේකෙද ආවේ???" 

ඒක සතුට, විස්මය, කාර් පිස්සුව වගේ බොහෝ දේවල් කැටිවෙච්චි හැඟීම් ප්‍රකාශනයක් කියලා කෞශි මට පස්සේ කිව්වා.
  
ජේතවනාරාමේ සෑහෙන වෙලාවක් ගතකළාට පස්සේ අපි ආපහු එන්න පිටත් වුණා. හෝටලෙන් අපට දීපු මැප් එකට සහ ගූගල් මැප්ස් මතකයට ස්තූති වෙන්න විනාඩියක් යන්න කලින් අපි ආපහු අනුරාධපුර පුත්තලම පාරේ. මගින් එළවලු ටිකක්, දිවුල් ටිකක් එහෙමත් අරන් තමයි ආවේ. දොදොල් මස්කට් සහ අනික් රසකැවිලි ගත්තෙත්, බෙලිමල් බිවුවෙත් රුවන්වැලි සෑය ගාවින්. 

එන්න පිටත් වුණේ දවාලේ. හලාවත හරිය පන්නලා කෑම කන්න නතර කළා. ඊට පස්සේ කෙළින්ම ගෙදර. 

මොරටුව හරියේදී හරි අපූරු දෙයක් සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ට්‍රැෆික් ලයිට් වල එහෙම නතර වුණාම වටේ තියන වාහන වල ඉන්න ගොඩක් අය අපේ කාර් එක දිහා බලනවා. මේක ක්ලැසික් කාර් පදින අයට හොඳට හුරුපුරුදු අත්දැකීමක්. මට එහාපැත්තෙ තිබුණු කොරොල්ලා වැගන් එක හිටපු මහත්මයෙක් වාහනේ දිහා බලනවා මම දැක්කා. මම ඉතින් ඒ මහත්මයට හිනාවකින් සංග්‍රහ කරලා, ට්‍රැෆික් ලයිට් එක කොළ පාට වුණාම ඉස්සර කරලා යන්න ගියා. කොහොම හරි ආපහු කුරුස හන්දියේ ට්‍රැෆික් ලයිට් ගාව ඉඳන් ඉස්සරහට යද්දී මේ මහත්මයාගේ කාර් එක දකුණු පැත්තෙන් ඉස්සර කරන්න එනවා දැකලා මම ඉඩ දුන්නා. එතකොට තමයි මට තේරුණේ ඒ මහත්මයා මොකක් හරි දෙයක් කියන්න හදනවා කියලා. එයාගේ අතේ  ලස්සන ෆොක්ස්වැගන් කී ටැග් එකක් තිබුණා. 'මේක ඔයාට දෙන්න ඕනේ' එයා කාර් එක ඇතුළේ ඉඳන් කියලා ඉස්සරහට ගිහින් නතර කළා. අහෝ හොල්මං වෙලා හිටපු මම වහාම වාහනේ නතර කරලා එයාගේ කාර් එක ළඟට දිවුවා. 

"මම මේ මේක දෙන්න කෙනෙක් හොය හොයා හිටියේ. ඉස්සරම මං ගාව ෆොක්ස්වැගන් එකක් තිබුණා. පස්සේ මම පසාට් එකක් ගත්තා. ඔහොම වාහන මාරු වුණා. හැබැයි මේ කී ටැග් එක මගේ ගාව තිබුණා. මේක ඔරිජිනල් කී ටැග් එකක්. මම මේ වාහනයක් හොඳට පාවිච්චි කරන කෙනෙක් හම්බ වෙනකල් හිටියේ. ඔයාගේ කාර් එක දැක්ක ගමන් මට තේරුණා ඔයා මේක හොඳට පාවිච්චි කරනවා කියලා." 

එහෙම කියල ඒ මහත්මයා මට අපූරු කී ටැග් එකක් දුන්නා. ඒ සිද්ධ වෙච්ච දේ බොහොම අනපේක්ෂිත දෙයක් නිසා මට එතුමාගේ නම අහන්න වත් මතක් වුණේ නැහැ. නමුත් එතුමා ගියාට පස්සේ මම පිටිපස්සෙන් එළවලා ගිහින් වාහනේ ෆොටෝ එකක් ගත්තා. මෙතුමා ව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට එතුමාට ආයේ පාරක් ස්තූති කරන්න ඕනේ. 


කාර් වලට සෘජුවම අදාළ නැතත් මම මෙච්චර විස්තර ලිවුවේ එක ප්‍රධාන හේතුවක් නිසා. කාර් පිස්සුව කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඉස්සරලාම ක්ලැසික් කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙන අය. නැත්නම් ක්ලැසික් කාර් එකක් අරගෙන දාහක් වැඩ අස්සේ ඒක නඩත්තු කරන අය. ඉතින් මම වගේ කාර් මත්තෙම නැහෙන කෙනෙක් දැක්කම එයාලා නිතර අහන දෙයක් තමයි ක්ලැසික් කාර් එකක දුර යන්න පුළුවන්ද කියන එක. 


ඔන්න උත්තරේ! 

මම බීට්ල් එක පාවිච්චි කරන්නේ මගේ ප්‍රධාන කාර් එක හැටියට. මම කඩේ යන්නේ මේකේ; ගමේ යන්නේ මේකේ; හයිවේ යන්නේ මේකේ; අනුරාධපුර ගියේ මේකේ; බීට්ල් ක්ලබ් එකේ රැලි වලට යන්නේ මේකේ; මගේ ලොකුම අධ්‍යාපන ජයග්‍රහණය දවසේ BMICH ගියෙත් මේකේ. ත මෙකී නොකී බොහෝ දේවල් වලට මම බීට්ල් එක පාවිච්චි කරනවා. මම විතරක් නෙමෙයි, සජිත් සමරවීර වගේ බොහෝ දෙනෙක් දුර යන්න බීට්ල් පාවිච්චි කරනවා. 

මම බීට්ල් ගැනම මෙහෙම කතා කරන්නේ ඒක මම හොඳටම දන්න කාර් එක නිසා. තව මොරිස් මයිනර් ඇතුළු බොහෝ කාර් වල දුර යන අය ඕන තරම් ඇති. ක්ලැසික් කාර් කියන්නේ සමහරු හිතනවාට වඩා ගොඩක් ප්‍රායෝගික විසඳුමක්. අර සමහරු කියනවා වගේ 'ජීවිතේ අරමුණ බැංකු පෝසත් කරන එක නෙවෙයි නම් ක්ලැසික් කාර් එකක් අරන් හරියට නඩත්තු කරන්න'.  අනික් අතට අර අලුත් කාර් වගේ හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් දොස්තර ගාවට දුවන්න ඕනේ ළාමක ටින්ටින්ලා නෙවෙයි ක්ලැසික් කාර් කියන්නේ. ඒ නිසා හිතේ කරදර වැඩියි කියලා සමහරු හිතුවට ඇත්තටම හිතේ කරදර අඩු වෙන්න පුළුවන්. හැබැයි ඉතිං කාර් එකේ කාර්මික තත්වේ හැටියට තමයි. මේක අලුත් කාර් වලටත් පොදුයි. ගත්තු ගමන්ම මොකද්ද කියලා හොයාගන්න බැරි ලෙඩ හැදුණු අලුත්ම කාර් දෙකක් ගැන ඇත්තම ඇත්ත කතා මම දැනටමත් අහලා තියනවා. 



දැනටමත් මම ලිවුවා දිග වැඩියි. මට කියන්න ඕන දේ මේකයි. ක්ලැසික් කාර් එකක් ගන්න. අරගෙන හිතට විශ්වාස වෙනකල් ළඟ පදින්න. ටිකක් කල් ගියාම කාර් එක ඔයාට හුරු වෙනවා. ඔයා කාර් එකට හුරුවෙනවා. නඩත්තුව හරියට කරන්න. ඊට පස්සේ (යන තැන මූකලානක් නෙමෙයි නම් සහ ගැළපෙන විදිහට ඩ්‍රයිවින් හැකියාව තියනවා නම්) යන්න අවශ්‍ය ඕනෑම දිල්ලියක යන්න. 

ඔයත් අපි වගේ ලස්සනම ලස්සන, දිගම දිග, ආදරණීයම ආදරණීය කතා ගොන්නක් තුරුල් කරගෙන ආපහු ගෙදර ඒවි... 


www.facebook.com/CarPissuwa 

(මේ ලිපියේ තියන සියලුම ෆොටෝ මගේ සහ කෞශිගේ)

පසු සටහන: ඊළඟ කාර් පිස්සුව සංචාරයත් මේ බීට්ල් එකේම යනවද, නැත්නම් මීටත් වඩා පරණ බීට්ල් එකක/මයිනර් එකක යනවද, එහෙමත් නැත්නම් වෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවද කියන එක ගැන කෞශියි මායි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. බීට්ල් ගැන ගොඩක් දේවල් මම මේකේ ලියලා තියනවා. ඒ නිසා වෙනස්ම තාලේ ප්‍රොජෙක්ට් එකකට යන්න මූලික සැලසුමක් අපි දෙන්නා දැනටමත් සකස් කරලා තියනවා. ඒ වගේම මම බොහොම ආසාවෙන් හිටපු, මගේ යාළුවෙක් ළඟ තියෙන මොඩර්න් ක්ලැසික් එකක් විකුණන්න අදහසක් තියනවා කියල එයා මේ ලියන මොහොතට ටිකකට කලින් මට කිව්වා. මේ ඔක්කොම සලකලා බලලා අපේ අවසන් තීරණයත් ළඟදීම කට්ටියට කියන්නම්.