Monday, October 24, 2016

9 ශ්‍රී 5333 අනුරාධපුරේ ගිය කතාව...



උපන්දිනේ දවසේ උදේ නැගිටිද්දී මට මුලින්ම ඇහුණේ මතක ඇති කාලෙකින් අහපු නැති තරම් මිහිරි කුරුළු හඬවල් ගොන්නක්... මට එකපාරට ලොකු තාත්තලාගේ මහගෙදර මතක් වුණා. පදම වැරදිච්චි පුඩිමක් වගේ ඒ වත්ත අංගපුලාවකට නැති කෑලි කෑලි වලට කැඩිලා අතින් අත යන්න කලින්, ඉස්කෝලේ නිවාඩු කාලවල පෙරුම් පුරලා එහෙ ගියාම පහුවෙනිදා උදේ නැගිටිද්දී, වැට මායිමෙන් එහා තිබුණු කුඹුරු යායේ මඩ සුවඳයි සීතලයි එක්ක මුහුවෙලා එන නමක් ගමක් නොදන්න අනන්ත අප්‍රමාණ කුරුළු ගීත වලට ආදරෙන් හිත විකසිත වෙච්ච හැටි මට අද වගේ මතකයි...

හැබැයි මෙදා පාර මම හිටියේ එහෙ නෙමෙයි. එහෙ දැන් කුරුලු ගීත නැහැ...

මෙදා පාර මම හිටියේ අනුරාධපුරේ... මෛත්‍රීපාල සේනානායක මාවතේ තියන අපූරු පුංචි හෝටලයක...

කුරුළු ගීත මැද්දෙන් මට මතක් වුණා, පානදුරේ ඉඳන් අපිව අරන් ඇවිත් පූජා නගරෙත් වට කීපයක්ම ගිය 9 ශ්‍රී 5333 බීට්ල් එක හෝටලේ මිදුලේ නිදාගෙන ඉන්නවා නේද කියලා...

ඒත් එක්ක මගේ හිතට දැනුණු ළෙන්ගතුකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජීවිතේ එක පාරක් හරි කාර් එකකට ආදරේ කරලා තියෙන කෙනෙකුට විතරයි...

ගමන යන්න කලින්, බීට්ල් එකේ අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නවා කිවුවම අපට ලැබුණේ අපූරු මිශ්‍ර ප්‍රතිචාර. හිත රිදෙනවට කැමති නැති යාළුවෝ ටික වෙලාවක් මූණ දිහා බලන් ඉඳලා, ඊට පස්සේ බීට්ල් එක දිහා බලලා, ඊට පස්සේ ආයෙත් මූණ බලලා කිව්වා, 'ඔක්කොම හොඳට චෙක් කරලා බලලා ගිහින් එන්න' කියලා.

යාලුවොත් නොවෙන අහිතකුත් නොහිතන අය ඇහුවා 'වෑන් එකක් අරගෙන ගියොත් නරකද?' කියලා.

තමන්ගේ කොරොල්ලා එක දිහා මිනිස්සු නොබලන නිසා අපිත් එක්ක තරහෙන් ඉන්න සමහර අය කිව්වා 'අන්න අහවලා මේ ළඟට ගිහිල්ලත් ප්‍රශ්නයක් වෙලා කාර් එක පටවන් එන්න වුණා, ඒ නිසා ඕකෙ යන්න එපා' කියලා.

ඔය ඔක්කොම මැද්දේ බීට්ල් එක පෙන්නලා 'මෙයාව මට විස්වාසයි' කියකිය මාව දිරිමත් කළේ කෞශි. ජීවිතේට පාරක් තොටක් මතක නොහිටින මට ගමන යන්න දැනුම දුන්නේ Google Maps. සෑහෙන සාකච්ඡා ගොඩකට පස්සේ අපි නුවර පාර/කුරුණෑගල පාර පැත්තෙන් නොගිහින් පුත්තලම පාර පැත්තෙන් යන්න තීරණය කළා. ජීවිතේ වැඩි හරියක් මූදු හුළඟ දැනෙන මානේ ජීවත් වෙච්චි මට රට මැද පාරවල්වලට වඩා මූදට ළඟ පාරවල් වල මොකක්දෝ හිතේසි ගතියක් දැනෙනවා. පුත්තලමේ Colombo Face බීච් එකේ ටිකක් නැවතිලා යන්න ඕනේ කියලා මම ගමන යන්න කලින්ම හිතාගත්තේ ඒ නිසයි.

අපි දෙන්නගේ ගමන් සගයා වුණු ශ්‍රීලාල් වත් රත්මලානෙන් නග්ගගෙන වැල්ලවත්ත පැත්තෙන් හයිලෙවල් පාරට දාලා හරවලා ජාවත්ත පාර දිගේ ගිහින් බෞද්ධාලෝක මාවතට දාලා අන්තිමට බොරැල්ලට ගිහින් බේස්ලයින්  පාර පහුකරලා කටුනායක හයිවේ එකට දැම්මට පස්සේ තමයි ඔන්න මට ට්‍රිප් එක පටන්ගත්තා කියලා දැනුණේ. මගේ හයිවේ ඇබ්බැහිය ගැන මම මේ බ්ලොග් එකේ කලින් කතා කරලා තියනවා. මෙච්චර කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ පිටත වටරවුම් මාර්ගයේ එහා මෙහා ගියා මිසක් මට කටුනායක අධිවේගී මාර්ගයේ බීට්ල් එක එළවන්න ලැබිලා තිබ්බේ නැහැ. ඒ නිසා කටුනායක හයිවේ එකට දැම්ම ගමන් මගේ හිතට ආවේ පුදුමාකාර සතුටක්.

ඒ සතුට ආයේ බින්දුවක් හරි අඩුවුණේ පහුවදා ආපහු එන ගමනේ කටුනායක හයිවේ එක පහුකරලා ආපහු බේස්ලයින් පාර පැත්තට වැටිලා අර හැමදාමත් මට ජීවිතේ තිත්ත කරවන බොරැල්ල ට්‍රැෆික් එකට සෙට් වුණාමයි.



පුත්තලම පාර නුවර පාරට වඩා නිදහස් කියලා මට හිතුණා. නුවර පාරේ තියනවා වගේ කිසි ෆන් එකක් නොදෙන, ඒත් බ්‍රේක් එකට වද දෙන්න වෙන ඇල්මැරුණු වංගු පුත්තලම් පාරේ නැහැ. දෙපැත්තේ බලන්න කියලා මහා දෙයක් නැති එක ඇත්ත. ඒ වුණාට පුත්තලම් පාර හරියට පොඩි මල්ලි කෙනෙක් පවු කියලා කියව කියව හිටපු පොත පැත්තක දාලා ක්‍රිකට් ගහන්න එන ලොකු අයියා කෙනෙක් වගේ. ෆන් එකට බර නැහැ, හැබැයි ෆන් ගන්න ඕනේ කියනවා නම් ඒකට සපෝට් එකක් දෙන්න පස්ස ගහන්නෙත් නැහැ.

අපිට ට්‍රැෆික් එකක් කියලා සෙට් වුණේ හලාවත ඉස්කෝල තියන තැන්වල වගේ තැනකදී දෙකකදී විතරයි. අනික් හැම තැනකදීම වගේ බීට්ල් එකක් ඩ්‍රයිව් කිරීමේ සතුට නිදහසේ විඳින්න මට පුළුවන් වුණා. මගදී එක තැනකදී උදේට කන්න නැවැත්තුවට පස්සේ අපි කෙළින්ම ගිහින් නැවතුණේ පුත්තලමේ Colombo Face බීච් එකේ...

ජීවිතේ හැම දාම රැලි නගන මූදු තීර පේන මානේ ජීවත් වුණු මට ගඟක් වගේ මූදක් තියන Colombo Face බීච් එකේ අමුතු සන්සුන් සුන්දරත්වයක් දැනෙනවා. පුත්තලම පැත්තෙන් වගේම කල්පිටිය පැත්තෙන් පේන Wind Mills ටික ඒකට එකතු කරන්නේ අමුතු 'විදේශික' බවක්. ඒවා දැක්කම මට හිතෙන්නේ මම පිටරටක ඉන්නවා වගේ.

පුත්තලම් කලපුව අපිරිසිදු තැනක් නෙමෙයි. හැබැයි ප්ලාස්ටික් බෝතල් සහ බෑග් කෑලි වගේ දේවල් අනන්ත තියනවා. අවුව අඩු වෙලාවක ආවොත් කතාවක් දාගෙන ඉන්න බැංකු එහෙමත් හදලා තියන නිසා දවසක හැන්දෑ වෙලාවක මෙතනට එන්න මට පොඩි ආසාවක් තියනවා. ඊට කලින් පොඩ්ඩක් කල්පිටිය පැත්තට ගිහින් එන්නත් ඕන. බලමු....





බීච් එක ඉස්සරහා කඩේකින් බීම එකක් ගහලා අපි අනුරාධපුර යන්න පිටත් වුණා. පුත්තලම ටවුම කියන්නේ මිනිස්සු කිසි සැලකිල්ලක් නැතුව ත්‍රීවීල් සහ බයිසිකල් පාර හරහා දාන තැනක් කියලා මට එකපාරටම හිතුණත් අනුරාධපුර හයිවේ එකට වැටෙන්න ටවුම හරහා යන්න තියෙන්නේ බොහොම පොඩ්ඩ දුරයි.

අනුරාධපුර පාර ගැන මගේ ඔළුවේ තිබුණේ 'ඔය කියන තරම් හොඳ පාරක් නම් නෙමෙයි වෙන්නැති' වගේ අදහසක්. නමුත් පළවෙනි මීටර් 500 ඉවර වෙන්නත් කලින් මට හිතුණා මේක පුත්තලම පාරටත් වඩා ෂෝක් නේද කියලා...

අනුරාධපුර සහ පුත්තලම අතර පාර 'බලන්න දේවල් තියන පාරක්' නෙමෙයි කියලා මම පිළිගන්නවා. විශේෂ දේකට කියලා පහුවෙන්නේ තබ්බෝව අභයභූමිය විතරයි. අපි යන වෙලාවේ ඒකත් නැට්ටටම හිඳිලා. අලි පාර මාරුවෙනවා කියලා ගහලා තියන බෝඩ් යටින් වඳුරෝ පාර මාරුවෙමින් හිටියා. හිඳිලා ගිය ජලාශ වල පතුලේ ඉඳහිට ජීප් එකක් හරි ලොරියක් හරි යනවා දැක්කම මට හිතුණා අනුරාධපුර ගමන පොඩ්ඩක් නවත්තලා මේ වගේ තැනක ඩ්‍රයිව් කරන්න විදිහක් නැද්ද කියලා. ඒත් තව දෙන්නෙක් වාහනේ හිටපු නිසා මම පිස්සු නටන්න ගියේ නැහැ. අනික මම වන සත්තුන්ට එච්චර මනාපත් නැහැ.

පාරේ ටික දුරක් ගියා විතරයි පාලමක් පහුවෙනවත් එක්කම පොලීසියෙන් අතදාලා වාහනේ නැවැත්තුවා. මගේ රියදුරු හැඳුනුම්පත පොඩ්ඩක් පැහැදිලි මදි නිසා මම හිතුවා හුටා පරිජාලං තමයි කියලා. ලිපිලේඛන ටික අරං බැහැලා යද්දී රාළහාමිලා දෙන්නගෙන් එක්කෙනක් කටපුරා හිනාවුණා. මම හිතුවා වාහනේ නිසා වෙන්න ඇති කියලා. නමුත් එතුමාට වාහනේ ගැන බින්දුවක උනන්දුවක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට බොහොම හිනාවෙන් මගේ ලිපිලේඛන ටික පරීක්ෂා කරලා, ඉක්මනට ලයිසන් එක අලුත් කරගන්න කියලා එතුමා අපට යන්න දුන්නා. මේ ටික කියන්නේ අර දැක්ක තැන ඉඳන් සල්ලි කඩාගන්න දඟලන බාප්පලා අතරේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියන්න.

පුත්තලමයි අනුරාධපුරයි අතර තියන 'නාගරික ප්‍රදේශ' බොහොම පුංචියි. කොළඹ දිස්ත්‍රික්කේ ඇතුළේ ගාලු පාර අයිනේ ගෙදරක ජීවත් වෙන මට ටවුමක් ඉවර වෙනවා කියන එක හුරුපුරුදු සංකල්පයක් නෙමෙයි. කොළඹින් පටන් ගත්තම දෙපැත්තේ නාගරික ගතිය ටිකක් හරි අඩුවෙන්නේ මොරටුව බස් ස්ටෑන්ඩ් එක පැනලා කොරවැල්ලට පිවිසෙනකොට විතරයි. ඒකත් ආපහු අලුත් පාලම ගාවින් ඉවරයි. ඒත් අනුරාධපුර පාරේ 'ටවුමක ගතියක් දැනෙනවා' කියලා හිතලා වේගේ අඩු කරන්න හිතනකොට ටවුම පහුවෙලා ඉවරයි.

කරුවලගස්වැව, සාලියවැව, කලාඔය වගේ නම් මම නිතර වාහනේ වීදුරුවෙන් දකින නම් නොවෙන නිසා ඒක හරි අපූරු හැඟීමක් ගෙනාවා. මම මේ පැතිවල ජන ජීවිතය ගැන පුළුල් විදිහට දන්නේ නැති නිසා ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය driving experience එක ගැන කතාකරන්න විතරයි. පාරක් විදිහට ගත්තාම, ඒ පාරේ මට දිනපතා උදේ හවා එළවන්න පුළුවන් කමක් තිබ්බා නම් මම එළවනවා.






පුත්තලම සහ අනුරාධපුර අතර කිලෝමීටර 76 ක් විතර තියනවා. හිතන්නත් කලින් අපි අනුරාධපුරේට ආවා. Google Maps වලට පින්සිද්ධ වෙන්න පාර හොයාගන්න අමාරුවක් වුණේ නැහැ. අපි නවාතැන් ගන්න වෙන්කරලා තිබුණේ අනුරාධපුරේ මෛත්‍රීපාල සේනානායක මාවතේ තියන  French Garden Tourist Hotel කියන පුංචි හෝටලේ. ඒක ඇත්තටම ඒ පැත්තේ අනෙක් හෝටල් ගොඩක් වගේම මධ්‍යම ප්‍රමාණයේ ගෙයක්. නමුත් ඒක බොහොම නිදහස්, පිරිසිදු, පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්, සුහදශීලී තැනක්.

කාර් එක ඇතුළට දාලා පාක් කළාම මට හිතුණා සමහර විට එයාලට ක්ලැසික් කාර් එකක ට්‍රැවල් කරන අමුත්තෝ ටිකක් ආපු පළවෙනි වතාව ඒක වෙන්න ඇති කියලා.

හෝටලේට වෙලා පැයක් විතර ගිමන් ඇරලා කෑම ටිකකුත් එහෙන්ම කාලා අපි ටිකකින් පූජා නගරෙට යන්න පිටත් වුණා.

ඉස්සරලාම යන්න අවශ්‍ය වෙලා තිබුණේ අනුරාධපුර කෞතුකාගාරයට. මම කවදත් කෞතුකාගාර බලන්න කැමති කෙනෙක්. මට අතීතය එක්ක තියෙන්නේ ශෘංගාර සම්බන්ධයක් නෙමෙයි. ඔක්කොම බිම දාලා අතීතයට දුවලා යන්න ඕනේ කියන මානසික රෝගය මට නැහැ. නමුත් අතීතයේ තිබුණු සරල බවට මම ආසයි. මම ක්ලැසික් කාර් වලට ආසත් ඒවායේ තියන සරල බව නිසා. අලුත් කාර්වල තාක්ෂණය දැක්කම මට හිතෙනවා මේ තරම් සෙන්සර් යායක් දාලත් සමහර වෙලාවට ක්ලැසික් කාර් එකක් තරමට මිනිස්සුන්ගේ ගමන් බිමන් වලට උදවුවක් වෙන්න බැරි නම් දශක ගානක් තිස්සේ ඔය තාක්ෂණය දියුණු කරේ මොන බම්බු කොටේටද කියලා. හැත්තෑ ගණන් වල ආපු සාමාන්‍ය ක්ලැසික් කාර් එකකට වඩා සියයට පහක් විතර ගැස්සිල්ල අඩුයි වෙන්න පුළුවන්. නමුත් අපේ වාහන වල සස්පෙන්ෂන් තව ටිකක් අප්ග්‍රේඩ් කළා නම් අපිට ඊට වඩා හොඳ සනීපෙට යන්න පුළුවන්.

ථූපාරාම මාවතට දාලා ටික දුරක් ගිහිල්ලා කෞතුකාගාරය ඉස්සරහා නවත්තලා බලනකොට හිච්චි බෝඩ් එකක් ගහලා තියනවා, 'අලුත්වැඩියා කටයුතු සඳහා වසා ඇත' කියලා. සවාරිය පටන් ගත්තු ගමන් ම එහෙම වෙනවා කියන්නේ දුක හිතෙන දෙයක්. නමුත් ඊට ටිකක් එහායින් තියන ජන කෞතුකාගාරය ඇරලා කිව්ව නිසා සහ ඒක බලන්නත් තදබල වුවමනාවක් තිබ්බ නිසා අපි එතනට ගියා.

ජන කෞතුකාගාර තියෙන්නේ හරි අපූරු තැනක. ථූපාරාම පාර ගිහිල්ලා අභය වැව හෙවත් බසවක්කුලම ගාවට වැටෙන්නේ එතනින්. එතන ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් දකුණට හැරිලා ගියාම රුවන්වැලි සෑයට යන්න පුළුවන්. හැරෙන්නේ නැතුව කෙළින්ම ගියොත් ථූපාරාමයට යන්න පුළුවන්. 

කෞතුකාගාරය අලුත් ගොඩනැගිල්ලක් කියලා බැලු බැල්මට පෙනුණත් ඒක ලස්සන ගෙවත්තක් තියන තැනක්. ඒ වගේම කාර් එක පාක් කරන්න තියෙන්නේ දැවැන්ත ගහක හෙවන ලබන කාර් පාක් එකක්. මම බොහොම ආසා කරන මේ ෆොටෝ ටික මම ගත්තේ එතැනදී. කාර් වලට ආදරේ කරන මින්ස්සු කාර් එකෙන් බැස්සට පස්සේ ආපහු හැරිලා බලනවා කියන කතාව කවුරුත් දන්නවා. ඒ වගේම අපි කාර් එකෙන් බැහැලා බලන තව දෙයක් තමයි ෆොටෝ එකක් ගත්තම කොච්චර ලස්සනට පෙනේවිද කියන එක. ඒ නිසා කෞතුකාගාරේ පැත්තට හැරෙන්නවත් කලින් තමයි මම මේ ෆොටෝ එක ගත්තේ.



ජන කෞතුකාගාරය කියන්නේ ලංකාවේ පැරණි ගැමි ජීවිතය ගැන ඒ හැටි අවබෝධයක් නැති හැමෝම බලන්න ඕන තැනක්. ලංකාවේ කෞතුකාගාරවල ෆොටෝ ගැනීම තහනම් නිසා මතක හිටින හෝ ලියාගන්න තරමක් තමයි. හැබැයි ඔය දේශීයත්වය ගැන කියකිය මරාගන්න එන හැමෝම අනුරාධපුර ආපු වෙලාවක මේක බලන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ අතීත ගැමි ජීවිතය ගැන පොත්පත් වලින් ඉගනගන්න බැරි ගොඩාක් දේවල් මෙතනදී ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්. කෞතුකාගාරය ලොකු නැහැ. නමුත් දැනගත යුතු සියල්ල වගේ මෙතන තියනවා. මේක නිවාඩු දවස් වල වහන නිසා අනුරාධපුර ආපු වෙලාවක, සතියේ දවසක, දරුමල්ලොත් අරගෙන පැයක් එකහමාරක් ගතකරන්න බලාගෙන මෙතනට එන්න. පුළුවන් නම් පූජා නගර සංචාරය මේ කෞතුකාගාරයෙන්  (ප්‍රධාන කෞතුකාගාරය ඇරලා තිබ්බොත් කෞතුකාගාර දෙකෙන්) පටන්ගන්න.

ජන කෞතුකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි හිතුවා බසවක්කුලමේ වැව් බැම්ම දිගේ වාහනේ එළවගෙන යන්න. මේක කලින් ඉඳන් හිතේ තිබ්බ දෙයක්. නමුත් ඒ පැත්තට ගිහින් බලද්දී වැව් බැම්ම පාර අවහිර කරලා කණු දාලා ඒක ඇවිදින්න විතරක් පුළුවන් විදිහට හදලා. වැවේ වතුර සෑහෙන්න හිඳිලා. ඉතුරු වතුර පොඩ්ඩේ බස්වලින් වෑන් වලින් ආපු බොහෝ දෙනෙක් කෑ ගගහා නානවා. ඒ නිසා ටිකක් වෙලා එතන ඉඳලා අපි රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා.

මම මේ රුවන්වැලි සෑයට ආවේ අවුරුදු 18 කට විතර පස්සේ. පුංචි කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිය වෙලාවක රුවන්වැලි සෑය ඉස්සරහ බිම ඉඳගෙන ඒක කොයිතරම් දැවැන්ත නිර්මාණයක්ද කියලා බලාගෙන හිටපු හැටි මට මතකයි. ඒ විදිහට ආපහු රුවන්වැලි සෑය ඉස්සරහපිට ඉඳගන්න ආසාවක් ආවත් මට එදා තරම් සන්සුන් බවක් දැනුණේ නැහැ. නඩත්තු අංශයේ කට්ටිය බල්බ් එල්ලන්න ඉනිමං තියනවා, කෑ ගහනවා, පලංචි බඳිනවා, අරවා කරනවා, මේවා කරනවා. අනික් පැත්තෙන් බැතිමත්තු එක එක ආකාරයට දන්න ගාථා, නොදන්න ගාථා, කවි, හෑලි, යාදිනි කියනවා. ඒ නිසා බැතිමතුන්ට සහ කාර්ය මණ්ඩලයට තියන ඉඩකඩ අහුරන්නේ මොකටද කියලා අපි ඉක්මනට එළියට ආවා. රුවන්වැලි සෑයට ලංකාවේ බෞද්ධයෝ අසීමිත ශ්‍රද්ධාවක් දක්වනවා. ඉතින් එහෙම තැනක සන්සුන් බව බිඳෙන එක වළක්වන්න බැහැ.



රුවන්වැලි සෑයේ මල්වලට ගෙවලා, පාක් එකට ගෙවලා, හිඟන්නන්ට ගෙවලා එළියට එනකොට වාහනෙන් ටිකක් අමුතු සද්දයක් ආවා. අයිනකට කරලා නවත්තලා බලද්දී වැඩි හොඳට කියල දාගෙන ආපු අලුත් ෆෑන් බෙල්ට් එක පොඩ්ඩක් කැපිලා. ත්‍රිකුණාමලයේ ඉඳන් රුවන්වැලි සෑයට කරෝල වගයක් අරගෙන ආපු ත්‍රීවීල් එකක මල්ලි කෙනෙක් වහාම අපේ උදවුවට ආවා. නමුත් බෙල්ට් එක මාරු කරන එක වඩා හොඳ නිසා සහ ඒක පරිස්සමෙන් කරන්න ඕන දෙයක් නිසා එයා අපට යාපනේ හන්දියට ගිහින් ගරාජ් එකකට යන්න කියලා පාර කිවුවා. 

යාපනේ හන්දියේ පාර අයිනේම තිබුණා ගරාජ් එකක්. පොඩ්ඩක් වත් පරක්කු කරන්නේ නැතුව, බොහෝම සුළු මුදලක් අරගෙන එයාල අපට වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ තමයි අපි ථූපාරාමේ ගියේ. එහෙත් මල් වලට ගෙවලා, පාක් වලට ගෙවලා එහෙම ඉවර වෙලා ඇතුළට ගියාම එහෙත් කප්රුක් පූජාවක්. හම්බවුණු පුංචි ඉඩකඩකදී මල් ටික පූජා කරලා එළියේ නටඹුන් ටිකත් බලලා අපි එළියට ආවා.



තවත් තැන් දෙකක් තුනක් බැලුවට පස්සේ තමයි අපි අභයගිරිය බලන්න තීරණය කළේ. කතාව වෙනස් වෙන්න ගන්නේ මෙතනින්.

අභයගිරියට යන පාරේ වාහනයක් කියලා නාමයක් නැහැ. මී හරක් නම් හිටියා. ඉතින් අපි ටිකක් සැක සංකාවෙන් ගියේ. ටික දුරක් යද්දී ඈතින් අභයගිරි කෞතුකාගාරය පෙනුණා. කලිනුත් කිව්වා වගේ මම කෞතුකාගාර වලට බොහොම ආසා නිසා වහාම ඒකට යන්න තීරණය කළා.

අභයගිරියේ කෞතුකාගාරයේ කාර් පාක් එක හරිම සුන්දරයි. අර අමුතු ගුරුපාට පස, ලස්සන කෞතුකාගාර ගොඩනැගිල්ල සහ හැන්දෑ අඳුර එකතු වුණාම තිබුණේ අමුතුම ලස්සනක්. මෙතනදී ගත්තු ෆොටෝ ටික මට සදාකල් මතක තියේවි. 



අභයගිරිය කියන්නේ හරිම අපූරු තැනක්. නමුත් එතන ලංකාවේ ථෙරවාදී බුද්ධාගමත් එක්ක මහා ලොකු ඇයිහොඳයියක් නැති නිසා කවුරුවත් එතනට වැඩි මනාපයක් නැහැ වගේ. කෞතුකාගාරය වගේම අභයගිරි විහාර සංකීර්ණයත් අමු පාළුයි. මම හිතන්නේ අභයගිරි සංකීර්ණය තාමත් සම්පූර්ණයෙන්ම කැණීම් කරලා නැහැ. නමුත් ඒක කොයිතරම් දැවැන්ත පරිමාණයේ නිර්මාණයක්ද කියලා බැලු බැල්මට තේරෙනවා.

අර දශක දෙකකට විතර කලින් රුවන්වැලි සෑය ඉස්සරහ මළුවේ ඉඳගත්තාම මට දැනුණු දැවැන්ත බව මෙදා මට අභයගිරිය මළුවේ බිම ඉඳගත්තාම දැනුණා.

මුළු අභයගිරි භූමියම බොහෝ දුරට හිස්. නඩත්තු කාර්ය මණ්ඩලය වෙනුවට වඳුරෝ නිදහසේ චෛත්‍යය දිගේ උඩටම උඩටම උඩටම නගිනවා අපි බලාගෙන හිටියා. ඒක හරිම සුන්දර දර්ශනයක්.



ආපහු එනකොට අපි ආවේ රුවන්වැලි සෑය ඉස්සරහින්. එතකොට තමයි මට එරංග වික්‍රමව හම්බවුණේ. එරංග කියන්නේ මම කාර් පිස්සුව පටන් ගත්තු කාලේ ඉඳලම මට ප්‍රතිචාර දක්වපු කෙනෙක්. මම ගමන එළියට බැස්සෙත් කාර් පිස්සුව නිසා අඳුරගත්ත කවුරුහරි දැක්කොත් කොච්චර හොඳඳ කියලා හිතාගෙනමයි. ඉතින් රුවන්වැලි සෑය ඉස්සරහදී ගලමින් තිබුණු ජන ගංගාවට පාර හරහා ගලායන්න ඉඩ දීලා නවත්තපු ඇසිල්ලකදී කවුරුහරි මගේ නම කියනවා ඇහුණාම සහ අර කන්නාඩි දෙක පෙනුණාම මට මීටර් වුණා මේ එරංග වෙන්නැති කියලා. නමුත් වෙන කෙනෙක් නම් හිත රිදෙන නිසා මම මොකුත් කිව්වේ නැහැ. වාහනේ නවත්තලා කතාකරන්න පුළුවන් තැනක හෝ වෙලාවක නෙමෙයි අපි හිටියේ. නමුත් රුවන්වැලි සෑය වගේ පින්බිමක් ඉස්සරහා කාර් පිස්සුවෙ දැනහැඳුනුම්කමක් එහෙම මතුවෙච්චි එක මට පුදුමාකාර සතුටක්. ආපහු  ඇවිත් මම අපේ සංචාරයේ ෆොටෝ ෆේස්බුක් එකේ දැම්මට පස්සේ එරංග මෙහෙම සටහනක් කමෙන්ට් එකක් විදිහට දැම්මා. 


"වෙලාව හවස 6.15 ට විතර ඇති....අනුරාධපුර ගමන් ගමන පුරාවටම ශෝටක් ඇඳන් හිටපු මම... මල්කඩේකින් මල් අරන්....එතනදිම සරමකුත් ඇඳන්.... පාර පැන්නා... තවත් යාලුවෙක් .. එන්න පරක්කු හින්දා මං පස්ස බැලුවේ...ඒ එක්කම .. මිනිස්සුන්ට පාර පනින්න ඉඩ දීලා....කහ ඉර ගාව කාර් එකක් නැවතුනා....ලයිට් වල වෙනසක් දැනුන නිසා... හොඳට බලද්දි තෙරුණේ ඒ බීට්ල් එකක් කියල.... තව හොට බැලුව... බෆරය හරහා කහපාට පටි අලවල. ..... හොඳට මතකයි ..ම් ඒ කාර් එක ... කාගෙද...?? ඒ එක්කම.... බීට්ල් කාර් එක්කම මක් උනේ.. මේ තරිඳු වෙන්න ඇති....තරිඳුගෙ ඉබ්බා ලඟට එනකම් පාර අයිනේ හිටියෙ .. යාලුවොත් නවත්තගෙන ... ඈ තරිඳු බීට්ල් සංචාර වගේ නේ ද කියල ඇහුවහම ... ලෙන්ගතු හිනාවකින් .. ඇහුවෙ. ... කව්ද මචන්...කියල ...මං එරංග අහවල් තැන වැඩ කරන්නේ කීවහම .. පටාස් මව අඳුන ගත්ත කියල මන් දැනගත්ත... කතා කර කර ඉන්න වෙලාවක් .. තැනක් නෙමේ අපි සෙට් උනේ... තරිඳු ගෙ නෝනත් පිටිපස්සෙ හිටපු මල්ලී කෙනෙකුත්.... හොඳ හිනාවක් දාල ...ඒ තප්පර ගානක සීන් එකෙන් අපි මිදුනා... මගෙ යාලුවන් ට ෆුල් හොල්මන් ... බුකියෙ කෙනෙක් .. ජීවිතේවෙනි පාරට මෙහෙම දැකලා... සෙට් උනාට. .. අනික ... කාර් එක නිසා අඳුන ගත්ත එකට... මෙහෙම රසවත් සිද්දි වෙන්නෙ ... කාර් පිස්සුව නිසාම තමා... එක ලේසි පහසු පිස්සුවක් නෙමේ .. ජීවිතේම මතක් කර කර සතුටු වෙන්න...දුක් වෙන්න .. හූල්ලන්න .. පුලුවන් දෙයක්.... කාර් පිස්සුවට ජය ....තරිඳු එක්ක කතා කරපු මුල්ම වචන වලින්ම කොමෙන්ටුව අවසාන කරමි... මම එරංග ...... එකේ වැඩකරන..." 

මේවා තමයි ජීවිතේට එකතු වෙන අපූරු කාර් පිස්සුව මතක...

ආපහු හෝටලේට යනකොටත් මට කිසිම වෙහෙසක් දැනුණේ නැහැ. ක්ලැසික් කාර් එකක් එළවන් ආවා කියලා කිසිම තෙහෙට්ටුවක් මට තිබුණේ නැහැ. මම හිතන්නේ අලුත් ජපන් කාර් එළවපුවම මට මීට වඩා තෙහෙට්ටුව දැනිලා තියනවා. ටික වෙලාවක් ඉඳලා අනුරාධපුර ටවුමට ගිහින් කොත්තු කාලා ඇවිත් අපි පොඩි ඕපාදූප සැසියකට පස්සේ නින්දට වැටුණා. 

පහුවදා මගේ උපන්දිනේ. එදා උදේ තමයි මට අර අපූරු කුරුලු ගීත ටික ඇහුණේ. 

උදේම හෝටලෙන් පිටත් වෙලා ටවුමට ගිහින් තේකක් ගහලා අපි ඉස්සරලාම ගියේ ඉසුරුමුණියට. අධික වැඩ රාජකාරිත් එක්ක තවත් සම්පූර්ණ දවසක් පූජා භූමියේ ගතකරන්න හෝ වෙන දිහාක යන්න අපට කාලය තිබ්බේ නැහැ. 

ඉසුරුමුණිය හරිම සුන්දර තැනක්. අර ඉසුරුමුණි පෙම් යුවල නිසා අපට ඉසුරුමුණිය විහාරයක් කියලා හිතෙන්නේ නැහැ වගේ. පෙම් යුවල ඉසුරුමුණි විහාරයට අයිති දෙයක් නෙමෙයි. ඒකමුලින් රාජකීය පොකුණේ තිබිලා පස්සේ ගෙනාවා කියලා තමයි කියන්නේ. ඉසුරුමුණි කැටයම් දැක්කම ලංකාවේ ඉස්සර තිබුණු කලා ශිල්ප ගැන ආඩම්බර හිතෙනවා. නමුත් කැටයම් ගැන විස්තර තියන පුවරු වලට වඩා වියදම් කරලා ෆොටෝ ගන්න එපා කියලා බෝඩ් ගහලා තිබ්බ නිසා ඒවා ෆොටෝ ගන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ. 



ඉසුරුමුණියෙන් පිටත් වෙලා ජේතවනාරාමය පැත්තට ගිහින් තවත් මොනවා හරි බලාගෙන යනවා කියලා තමයි අපි හිතුවේ. නමුත් ජේතවනාරාමයේ කෞතුකාගාරයේ  කාර් පාක් එකට දානකොටම අපිට තේරුණා මෙතන පැය බාගෙන් පැයෙන් සමුගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා. 

අභයගිරිය කෞතුකාගාරයේ වගේම ජේතවනාරාමයේ කෞතුකාගාරයේත් ඒ භූමියේ කැණීම් වලින් ලැබුණු හරිම අපූරු දේවල් තැන්පත් කරලා තියනවා. ආභරණ, කාසි, මැටිභාණ්ඩ, ප්‍රතිමා සහ ගොඩනැගිලිවල කොටස් මේ තැන්වලදී දැකගන්න පුළුවන්. කිසිම දවසක කෞතුකාගාර නොබලා පිට පාරේ යන්න එපා. 

ජේතවනාරාම කෞතුකාගාරයේත් අනික් හැම තැනම වගේ ෆොටෝ ගන්න තහනම්. ඒ නිසා දැකපු දෙයක් විතරයි. නමුත් එතන තිබුණු දේවල් දැක්කම මට හිතුණේ කැම්පස් වල අවුරුදු තුනක් හතරක් උගන්නනවට වඩා දෙයක් මේ කෞතුකාගාරයේ දවසක් ගතකළොත් ඉගෙනගන්න පුළුවන් නේද කියලා. ඔය මල්ලිලා නංගිලා නැති ප්‍රශ්නවලට විරුද්ධව උද්ඝෝෂණ කරන එක, රැග්‍ කරන එක, පිරිත් මණ්ඩප්ප ගහන එක, සහ අහුමුලු අස්සේ රිංගන එක මදකට නතර කරලා එක දවසක් ශිෂ්ටාචාරගත මිනිස්සු වගේ ඇවිල්ලා මේ වගේ තැනකින් දෙයක් ඉගෙනගත්තා නම් ඔය අසහනේ නිකම්ම හොඳ වෙනවා. ගිරවා දාලා ස්ටාෆ් එකට පනින, නැත්තං ආණ්ඩුවේ ජොබකට/ටීචින් වලට පනින සංස්කෘතිය බිඳලා දාලා දැනුවත් ශිෂ්‍ය පරපුරක් හදන්න ඔයාලාම මැදිහත් වුණොත් (එහෙම කරන්න ගියොත් අන්තරේ උණ්ඩුකපුච්ඡ ටික පුපුරන බව මම නොදන්නවා නෙමෙයි) ඔය කලා පීඨවල සහ සමස්ත රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළේ තියන ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන්.

කෞතුකාගාරෙන් පිටවෙලා ජේතවනාරාම සංකීර්ණයට ආවම තේරුණා මේක ඒ කාලේ කොයිතරම් දියුණු තැනක් වෙලා තියෙන්න ඇතිද කියලා. බලන බලන පැත්තේ එක එක විදිහේ ගොඩනැගිලිවල නටඹුන්. බලනවා නම් සතියක් විතර බලන්න දේවල් ජේතවනය විහාරාරාම සංකීර්ණය ඇතුළේ තියනවා. අභයගිරිය වගේම මෙහෙත් වැඩි දෙනෙක්ගේ ඇල්ම බැල්ම ලබන්නේ නැහැ. ඒ නිසා නිදහසේ ඇවිදින්න පුළුවන්. අභයගිරිය සහ ජේතවනය ගැන දවසක වෙනම කතාකරන්න අදහසක් තියනවා, මොකද එතනදී දැනෙන දේවල් මෙහෙම බ්ලොග් පෝස්ට් එකකින් කියලා ඉවර කරන්න බැහැ. වෙලාව ආවොත් බලමු. 


මම ජේතවනාරාම කෞතුකාගාරයේ පොත් අලෙවිසලේ රාක්ක අතර අතරමං වෙලා ඉන්නකොට එතන හිටපු නිලධාරී මහත්මයෙක් අපේ වාහනේ දිහා බොහොම ආසාවෙන් බලලා ඊට පස්සේ කෞශිගෙන් අහලා තිබුණා කොහේ ඉඳන්ද ආවේ කියල. කෞශි 'පානදුරේ ඉඳන්' කියලා කිව්වාම එතුමාගේ ඇස් ලොකු වුණාලු. 

"පානදුරේ ඉඳන්ම මේකෙද ආවේ???" 

ඒක සතුට, විස්මය, කාර් පිස්සුව වගේ බොහෝ දේවල් කැටිවෙච්චි හැඟීම් ප්‍රකාශනයක් කියලා කෞශි මට පස්සේ කිව්වා.
  
ජේතවනාරාමේ සෑහෙන වෙලාවක් ගතකළාට පස්සේ අපි ආපහු එන්න පිටත් වුණා. හෝටලෙන් අපට දීපු මැප් එකට සහ ගූගල් මැප්ස් මතකයට ස්තූති වෙන්න විනාඩියක් යන්න කලින් අපි ආපහු අනුරාධපුර පුත්තලම පාරේ. මගින් එළවලු ටිකක්, දිවුල් ටිකක් එහෙමත් අරන් තමයි ආවේ. දොදොල් මස්කට් සහ අනික් රසකැවිලි ගත්තෙත්, බෙලිමල් බිවුවෙත් රුවන්වැලි සෑය ගාවින්. 

එන්න පිටත් වුණේ දවාලේ. හලාවත හරිය පන්නලා කෑම කන්න නතර කළා. ඊට පස්සේ කෙළින්ම ගෙදර. 

මොරටුව හරියේදී හරි අපූරු දෙයක් සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ට්‍රැෆික් ලයිට් වල එහෙම නතර වුණාම වටේ තියන වාහන වල ඉන්න ගොඩක් අය අපේ කාර් එක දිහා බලනවා. මේක ක්ලැසික් කාර් පදින අයට හොඳට හුරුපුරුදු අත්දැකීමක්. මට එහාපැත්තෙ තිබුණු කොරොල්ලා වැගන් එක හිටපු මහත්මයෙක් වාහනේ දිහා බලනවා මම දැක්කා. මම ඉතින් ඒ මහත්මයට හිනාවකින් සංග්‍රහ කරලා, ට්‍රැෆික් ලයිට් එක කොළ පාට වුණාම ඉස්සර කරලා යන්න ගියා. කොහොම හරි ආපහු කුරුස හන්දියේ ට්‍රැෆික් ලයිට් ගාව ඉඳන් ඉස්සරහට යද්දී මේ මහත්මයාගේ කාර් එක දකුණු පැත්තෙන් ඉස්සර කරන්න එනවා දැකලා මම ඉඩ දුන්නා. එතකොට තමයි මට තේරුණේ ඒ මහත්මයා මොකක් හරි දෙයක් කියන්න හදනවා කියලා. එයාගේ අතේ  ලස්සන ෆොක්ස්වැගන් කී ටැග් එකක් තිබුණා. 'මේක ඔයාට දෙන්න ඕනේ' එයා කාර් එක ඇතුළේ ඉඳන් කියලා ඉස්සරහට ගිහින් නතර කළා. අහෝ හොල්මං වෙලා හිටපු මම වහාම වාහනේ නතර කරලා එයාගේ කාර් එක ළඟට දිවුවා. 

"මම මේ මේක දෙන්න කෙනෙක් හොය හොයා හිටියේ. ඉස්සරම මං ගාව ෆොක්ස්වැගන් එකක් තිබුණා. පස්සේ මම පසාට් එකක් ගත්තා. ඔහොම වාහන මාරු වුණා. හැබැයි මේ කී ටැග් එක මගේ ගාව තිබුණා. මේක ඔරිජිනල් කී ටැග් එකක්. මම මේ වාහනයක් හොඳට පාවිච්චි කරන කෙනෙක් හම්බ වෙනකල් හිටියේ. ඔයාගේ කාර් එක දැක්ක ගමන් මට තේරුණා ඔයා මේක හොඳට පාවිච්චි කරනවා කියලා." 

එහෙම කියල ඒ මහත්මයා මට අපූරු කී ටැග් එකක් දුන්නා. ඒ සිද්ධ වෙච්ච දේ බොහොම අනපේක්ෂිත දෙයක් නිසා මට එතුමාගේ නම අහන්න වත් මතක් වුණේ නැහැ. නමුත් එතුමා ගියාට පස්සේ මම පිටිපස්සෙන් එළවලා ගිහින් වාහනේ ෆොටෝ එකක් ගත්තා. මෙතුමා ව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට එතුමාට ආයේ පාරක් ස්තූති කරන්න ඕනේ. 


කාර් වලට සෘජුවම අදාළ නැතත් මම මෙච්චර විස්තර ලිවුවේ එක ප්‍රධාන හේතුවක් නිසා. කාර් පිස්සුව කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඉස්සරලාම ක්ලැසික් කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙන අය. නැත්නම් ක්ලැසික් කාර් එකක් අරගෙන දාහක් වැඩ අස්සේ ඒක නඩත්තු කරන අය. ඉතින් මම වගේ කාර් මත්තෙම නැහෙන කෙනෙක් දැක්කම එයාලා නිතර අහන දෙයක් තමයි ක්ලැසික් කාර් එකක දුර යන්න පුළුවන්ද කියන එක. 


ඔන්න උත්තරේ! 

මම බීට්ල් එක පාවිච්චි කරන්නේ මගේ ප්‍රධාන කාර් එක හැටියට. මම කඩේ යන්නේ මේකේ; ගමේ යන්නේ මේකේ; හයිවේ යන්නේ මේකේ; අනුරාධපුර ගියේ මේකේ; බීට්ල් ක්ලබ් එකේ රැලි වලට යන්නේ මේකේ; මගේ ලොකුම අධ්‍යාපන ජයග්‍රහණය දවසේ BMICH ගියෙත් මේකේ. ත මෙකී නොකී බොහෝ දේවල් වලට මම බීට්ල් එක පාවිච්චි කරනවා. මම විතරක් නෙමෙයි, සජිත් සමරවීර වගේ බොහෝ දෙනෙක් දුර යන්න බීට්ල් පාවිච්චි කරනවා. 

මම බීට්ල් ගැනම මෙහෙම කතා කරන්නේ ඒක මම හොඳටම දන්න කාර් එක නිසා. තව මොරිස් මයිනර් ඇතුළු බොහෝ කාර් වල දුර යන අය ඕන තරම් ඇති. ක්ලැසික් කාර් කියන්නේ සමහරු හිතනවාට වඩා ගොඩක් ප්‍රායෝගික විසඳුමක්. අර සමහරු කියනවා වගේ 'ජීවිතේ අරමුණ බැංකු පෝසත් කරන එක නෙවෙයි නම් ක්ලැසික් කාර් එකක් අරන් හරියට නඩත්තු කරන්න'.  අනික් අතට අර අලුත් කාර් වගේ හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් දොස්තර ගාවට දුවන්න ඕනේ ළාමක ටින්ටින්ලා නෙවෙයි ක්ලැසික් කාර් කියන්නේ. ඒ නිසා හිතේ කරදර වැඩියි කියලා සමහරු හිතුවට ඇත්තටම හිතේ කරදර අඩු වෙන්න පුළුවන්. හැබැයි ඉතිං කාර් එකේ කාර්මික තත්වේ හැටියට තමයි. මේක අලුත් කාර් වලටත් පොදුයි. ගත්තු ගමන්ම මොකද්ද කියලා හොයාගන්න බැරි ලෙඩ හැදුණු අලුත්ම කාර් දෙකක් ගැන ඇත්තම ඇත්ත කතා මම දැනටමත් අහලා තියනවා. 



දැනටමත් මම ලිවුවා දිග වැඩියි. මට කියන්න ඕන දේ මේකයි. ක්ලැසික් කාර් එකක් ගන්න. අරගෙන හිතට විශ්වාස වෙනකල් ළඟ පදින්න. ටිකක් කල් ගියාම කාර් එක ඔයාට හුරු වෙනවා. ඔයා කාර් එකට හුරුවෙනවා. නඩත්තුව හරියට කරන්න. ඊට පස්සේ (යන තැන මූකලානක් නෙමෙයි නම් සහ ගැළපෙන විදිහට ඩ්‍රයිවින් හැකියාව තියනවා නම්) යන්න අවශ්‍ය ඕනෑම දිල්ලියක යන්න. 

ඔයත් අපි වගේ ලස්සනම ලස්සන, දිගම දිග, ආදරණීයම ආදරණීය කතා ගොන්නක් තුරුල් කරගෙන ආපහු ගෙදර ඒවි... 


www.facebook.com/CarPissuwa 

(මේ ලිපියේ තියන සියලුම ෆොටෝ මගේ සහ කෞශිගේ)

පසු සටහන: ඊළඟ කාර් පිස්සුව සංචාරයත් මේ බීට්ල් එකේම යනවද, නැත්නම් මීටත් වඩා පරණ බීට්ල් එකක/මයිනර් එකක යනවද, එහෙමත් නැත්නම් වෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවද කියන එක ගැන කෞශියි මායි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. බීට්ල් ගැන ගොඩක් දේවල් මම මේකේ ලියලා තියනවා. ඒ නිසා වෙනස්ම තාලේ ප්‍රොජෙක්ට් එකකට යන්න මූලික සැලසුමක් අපි දෙන්නා දැනටමත් සකස් කරලා තියනවා. ඒ වගේම මම බොහොම ආසාවෙන් හිටපු, මගේ යාළුවෙක් ළඟ තියෙන මොඩර්න් ක්ලැසික් එකක් විකුණන්න අදහසක් තියනවා කියල එයා මේ ලියන මොහොතට ටිකකට කලින් මට කිව්වා. මේ ඔක්කොම සලකලා බලලා අපේ අවසන් තීරණයත් ළඟදීම කට්ටියට කියන්නම්.  



98 comments:

  1. හරිම සංතෝසයෙන් කියෙව්වේ.විස්තරයට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ගොඩක් වටිනවා නන්දන...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කොරොල්ලා එකක,ඇලියොන් එකක ගියා නං මේ වගේ කතාවක් ඔයාට ලියන්න ලැබෙන්නෙ නෑනේද?...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි කතාවේ වැදගත්ම පොයින්ට් එක... ස්තූතියි :)

      Delete
  4. Niyamai machan. All the best you,kaushi& your beetle baby

    ReplyDelete
  5. බ්ලොග් වසන්තේ කරක් ගහනකොට අහම්බෙන් ලිපිය දැක්කේ. ඇත්තෙන්ම හරිම සතුටුයි සංචාරක සටහන කියෙව්වම. ඒ වගේම බීටල් එක හොඳට තියාගෙන ඉන්නවා දකින එකත් සතුටක් (මමත් ඔක්තෝම්බර් මැද සතියෙ අනුරාධපුරේ කරක් ගැහුවා. හැබැයි ඉතින් මෙලෝ රහක් නැති ජපන් හැච්බැක් එකක..... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... දවසක ක්ලැසික් එකක යන්න ලැබේවා!

      Delete
  6. එක හුස්මට කියේවු වා..... බොහෝම සතුටුයි අපිත් එක්ක විස්තර බෙදාගත්තාට.....

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි...

      Delete
  7. කියවා රස වින්ඳා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය ගොඩක් වටිනවා ඉයන්...

      Delete
  8. ඔය කියන දවසෙ උදේම තමුන්නැහැට මං කෝල් එකක් ගත්තා උපන්දිනේට සුභ පතන්න. එවෙලේ මැසේජ් එකක් ලැබුනා ඔන්න කොහෙද මංදා ගියා කියලා. හැබැයි මං හිතුවෙ නෑ මේ තරං දුරක් යන්නැති කියලා. මේක දැක්කං මාව ඇවිස්සිලා යනවා.

    මගෙත් හිතේ තිබුනෙ පරණ මයිනරයක් හරි වෙන පරණ වාහනයක් හරි ගන්න. බොහෝ විට බටු සනියක්. නමුත් මොකද්දෝ අපිත් නොදන්නා හේතුවකට අපි ගත්තෙ මේක. වාහනයක් ටික කලක් යනකොට අපේ ඇඟේම කොටහක් වෙනවා. එතකොට වාහනේ වැඩිපුර රත්වුනොත් මට උණ හැදෙනවා. ටැංකියෙ තෙල් නැතොත් බඩගිනි වෙනවා. ඒ තරං අපි සමීප වෙනවා. මගෙ බයිසිකලේ මට ඒ වගෙයි. නමුත් මගෙ මරුටිය මට තාම සමීප නෑ, දැන් සති දෙකක් තුනකිං ඇල්ලුවෙවත් නෑ. සමහර විට මට කීප විටක්ම ලෙඩ දුන්න හින්දා වෙන්නැති. මොනයම් හෝ හේතුවක් මත ඒක ෆිට් නෑ. කට්ටිය කියනව කාගෙ හරි ඇඟේ ගහපංලු. මට එහෙම කරන්නත් හිතෙන් නෑ. අඩුපාඩු තියෙන දෙයක් රවට්ටල කාගෙවත් ඇඟේ ගහන්න නරකයි. ඒක පවක්. නමුත් මේ පෝස්ට් එක දැක්කට පස්සෙ එක අදහසක් හිතට ආවා. මං මේක හදනවා. 'මරුටි උද‍්යෝග්' සමාගමට පුලුවන් වැඩේ අපිටත් පුලුවන් වෙන්ට එපැයි. ඉං පස්සේ මාත් යනවා ඔය විදිහෙම ගමං. මං හිතනව එතකොට මරුටිය මට හිතවත් වෙයි කියලා.

    අලුතින් සෙන්සර් දාලා දහඅට වන්නං සේරම දාලා හදන වාහන ගැන කියපු කතාව. මට නං බයයි ඒ තරං උසස් තාක්ෂණයක් තියෙන වාහනයක් පදින්න. කැඩුනොත් හදාගන්න බැරිවෙයි කියලා. නමුත් එදා මරුටියෙ බැලන්ස් බාර් එක කැඩුන දවසෙ මං තනියම හිතලා කෑලි දෙක ජොයින්ට් වෙන්න ලීයක් තියල කම්බියකින් බැඳල කිලෝමීටර් දහයක් විතර ගියා. ගැරේජ් එකකට ගිහිං ඒක පාස්සගත්තා. නමුත් අලුත් කාර් එකක් එහෙම හිට්ටොත් ලෙඩේ හොයන්නත් බෑ. මිකැනික් කෙනෙක් ගේන්නම වෙනවා. කොහොමත් මං කැමතියි සරල තාක්ෂණේට. ඒක සමහර විට මගෙ අවුලක් වෙන්නත් ඇති. හැබැයි ඒසී එකක්, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එහෙම තිබුනට වරදක් නෑ. ඔයා කිව්ව වගේම අලුත්ම අලුත් මැක්සිමෝ එකක් ඔය විදිහට කෑල්ලෙං කෑල්ල රීප්ලේස් කරලත් ලෙඩේ හොයාගන්න බැරුව අතෑරලා දානව මං දැක්කා.

    ඔයාට තියෙන ලොකුම වාසනාව ඒක නෙවෙයි. ඔය දෙන්නම හිතන්නෙ එක විදිහට. කාන්තාවො කැමතිි ගොඩක්ම අලුත් ලස්සන කාර් වලට. නමුත් ඔබේ බිරිඳ කැමති ක්ලැසික් කාර් වලටලු නේද? ඒ අතින් ඔබ ගොඩක් වාසනාවන්තයි. කොහොම නමුත් පඩියෙං බාගයක් ලීසිං ගෙවලා තව කාලක් බන්ෂුවරන්ස් ගෙවලා හිත හදාගන්න, මාන්නෙ පුම්බගන්න කාර් ගන්නවට වඩා අතේ තියෙන ගානට ගන්න පුළුවන් කාර් එකක් අරං ඇති තරම් දුවන එක හිතට නිදහසක්. ඒ අතිං ඔබ පිංකාරයි.

    ReplyDelete
    Replies
    1. මරුටියත් ෆොක්ස්වැගන් එක වගේම ජනතාවගේ වාහනයක් නිසා ඒක අපට ඕන විදිහට හිතවත් කරගන්න අමාරුවක් නැහැ. මම කලිනුත් තැනක කියලා තියනවා වගේ මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා සදාකල් මරුටිම පාවිච්චි කරන්න තරමට මරුටි වලට හිතවත් වෙච්ච.
      මේ තරම් දිග ප්‍රතිචාරයක් ගොනු කරන්න කාලය වැය කළාට ස්තූතියි සුරංග. ඔයා කෝල් කරද්දී මම ඉසුරුමුණියේ කෞතුකාගාරය ඇතුළේ හිටියේ... උපන්දිනේට සුබ පතන්න අනික් බොහෝ දෙනෙකුටත් කලින් කතා කළාටත් බොහොම ස්තූතියි...

      Delete
    2. මසුරං කොමෙන්ට් එක සුරං.

      Delete
    3. සුරං ට මරුටිය එක්ක රස කතා නහුතයක් තියනවා...

      Delete
    4. සුරං මම ලංකාවෙ රැකියාව කරන කාලෙ අපේ කොම්පැණියෙ මරූටි දෙකක් තිබ්බ .... ඒවත් රොකට් වගේ පදින්න දන්න වැඩකාරයොත් හිටිය... ඒවයේ අපේ මගමරුවොත් එක්ක ගමන් යන දවසට වෙනද වගේ නෙමෙයි මමත් හරි ආගමට දහමට ලැදියි , බිමට අඩිය තියනකං ඉතිපිසෝ ගාථාව කියනව... මොකද අසුවට එහා මරුටියකින් ගිහින් උදේ බ්රේක් ගැහුවම දවල් කෑම වෙලාවට නවතිනව 😁 හැබැයි එහෙමයි කියල ලංකාවට ආවහම ගමන් බිමන් යන්නෙ මගේ බොහොම හිතවත් බජට් මාතලී සම්පත් එක්ක මිනිහා දරුවෙකුට වගෙයි වාහනයට සලකන්නෙ... වාහයත් අපිට එහෙමමයි !

      Delete
  9. ඇත්තටම පිටිපස්සෙ වීදුරුවෙ "කාර් පිස්සුව" කියලා සිංහලෙන් ගහන්නෙ හිතෙන්නෙ නැද්ද අර පින්තූරෙ වගෙ?
    ඔය ගමනට කිලෝමීටර් කීයක් විතර ගියාද? පෙට්‍රල් කොච්චර විතර ගැහුවද? උඹ ගමන යන්න කලිනුයි ගෙදර ආවට පස්සෙයි මීටරේ ෆෝටෝස් දෙකක් ගන්නෙ නැද්ද කීයක් දිව්වද බලන්න?
    එතකොට ඕකට දාන්නෙත් ඔය බැන්ඩෝ, මිට්සුබොෂි වගේ බ්‍රෑන්ඩ් එකක කොමන් බෙල්ට්ද, නැතිනම් වෙනම ජර්මන් වාහන වලට ගේන ඒවද? මම නම් හිතන්නෙ අඟල් ගානෙන් ගන්න පුලුවන්.

    වාහනේ ෆෝටෝස් මම ගාවත් බර ගානක් තියෙනවා. එක එක තැන් වල ගිහින් ගත්තුවා.

    කෞතුකාගාරවල පින්තූර ගන්න දෙන්නෙ නෑයි කිව්වා? සිරාවටම?

    කී ටැග් එකේ කතාව හරිම රසවත්.

    ඉස්සර අපි ගම්පහ දිස්ත්‍රික්කෙ ඉඳන් අම්පාර දිස්ත්‍රික්කෙට නුවර වංගු දහාට හරහා අපේ පුංචි යමහා බයික් එකේ ඉනවා කියලා දැක්කාම සමහරු අහන්නෙත් ඔය ප්‍රශ්ණෙමයි. මොනවා? අපි ඒ ගමන අවුරුද්දට හය පාරක් යනවා නිවාඩු කාල තුනට.

    කෙනෙක් වාහනයකට ආදරය කරන්න බැඳීමක් ඇති කරගන්න වාහනේ ක්ලැසික් එකක්ම වෙන්න ඕනෙ නෑයි කියලත් මම කියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්ටිකර් එකේ වැඩේ මට තාම කරගන්න බැරිවුණා වැඩ අධික නිසා. නැත්නම් ගමන යන්න කලින් කරගන්න හිටියේ. ලීටරේට කිලෝමීටර් 13 ක් වැඩකළා. ජපන් ඔල්ටනෙටර් එකක් තියලා තියන නිසා (කලින් අයිතිකාරයෙක් බ්‍රසීල් බඩු ෂුවර් නැහැ කියලා ජපන් ඔල්ටනේටර් එකක් තියලා)අපි දාන්නේ ජපන් බෙල්ට් තමයි.
      ඇත්තටම කෞතුකාගාර කිසිම එකක ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. අපි අඳින හැටියි තාක්ෂණය පාවිච්චි කරන හැටියි ගැන එයාලා මාර වදවිල්ලක් වදවෙන්නේ...
      ඔය යමහා බයික් සංචාරේ කතාවත් ලියමුකො වෙලාවක...

      Delete
  10. පරන වාහනයක් අරන් හැමදේම හදල ටොප් කන්ඩිශන් එකට ගත්තම අලුත් වාහන කැලේ. ඒ විතරක් නෙවේ. තමන් මහන්සිවෙලා කරපු වැඩක් නිසා ඇතිවෙන ආත්ම තෘප්තිය වෙන දේකින් ගන්න බෑ. මූනෙ හිනාවක් තියාගෙන ආඩම්බරෙන් එලවන්න පුලුවන් ඒ වගේ වාහනයක් තියන කෙනෙක්ට විතරයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි නිශාන්...

      Delete
  11. Literally,❤ love dis post. මම කාර් පිස්සුවට ඕනාවටත් වඩා ආදරය කරන තවත් එක පිස්සෙක්මි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔයාලගේ ප්‍රතිචාර නිසා තමයි මෙහෙම ආසාවෙන් මේක කරගෙන යන්නේ...

      Delete
  12. Literally,❤ love dis post. මම කාර් පිස්සුවට ඕනාවටත් වඩා ආදරය කරන තවත් එක පිස්සෙක්මි.

    ReplyDelete
  13. meka kiyawaddi mata mathak wenne mamai thawa ekkenekui Bandarawela idala bageta galawapu car ekak Colombo aran apu hati... car eka dan mama kali kali walata galawala thiyenne.. ikmanata hadagena mathat lankawa wate raumak yanna assa hithuna...

    ReplyDelete
    Replies
    1. නියමයි. කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකට ගොඩවෙලා ඔයාගේ කතාවත් අපිත් එක්ක බෙදාගන්න... :)

      Delete
    2. welawak hambunama man e kathawa liyala ewannan... :)

      Delete
    3. බොහොම ස්තූතියි...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. kathawa vetharak neme comment okkomath keyewwa mage geevethetath badda wechcha honda chaly ekak thiyanawa.

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකට ගොඩවෙලා චැලිය ගැන සටහනක් එක්ක ෆොටෝ එකක් දාමුද?

      Delete
  16. matath parana car tiyenawa corolla ke50 ekakui lancer wagon ekakui. Eth oyatharam dura duwaganna tharam condition ekak na maye hithe.hadagena duwanna kochchara aasa unath dhanapaala haras wenawa.monawaa karannada labaa upan hati.mage wade me wage katha hoya hoya ewain aathma trupthiyak labana eka.oyata hungaaak sthuuthie mehema apiwa parana yakada ekka awussanawata... jaya.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි පසිඳු...

      Delete
  17. අර කීටැග් එකේ පොටෝ එකක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. මේක ලියන වෙලාවේ ඒක ලියන තැන තිබ්බේ නැහැ. නමුත් පස්සේ මම ඒකෙ ෆොටෝ එකක් කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකට දැම්මා :)

      Delete
  18. ෂහ්.. ඒක ස්වාභාවික ආසාවක්. හොදට මේන්ටේන් කරන පරණ කාර් එකක් දැක්කම අලුත් ඉවෝක් එකක් බලනවට වඩා දෙතුන් පාර බලන්න හිතෙනවා.. ඇත්තටම කියවන්න පිරිය ඇතිව ලියල තියෙනවා.. නියමයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශක යාණෙනි... :)

      Delete
  19. අපිත් එක්ක විස්තර බෙදාගත්තාට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය ගොඩක් වටිනවා මහේෂ්...

      Delete
  20. ස්තූතියි තරිඳු, බොහොම ආසාවෙන් කියෙව්වා. ඒ අනුරාධපුරේ මටත් ඉතාම සමීප නිසාත් වෙන්න ඇති.

    පුත්තලම-අනුරාධපුරේ පාරෙ අනන්ත වාරයක් මමත් ගිහිල්ල ඇති. එතකොට මගේ පළවෙනි රස්සාව කලේ අභයගිරි පුරාවිද්‍යා සංරක්ෂණ ව්‍යාපෘතියෙ. ඒ කාලෙ ඔය අභයගිරි කෞතුකාගාරය තිබ්බෙ ඩ්‍රෝයිං බෝඩ්වල...හෙහ්.හෙහ්, මම මේ කියන්නෙ අවුරුදු තිහකටත් එහා අතීතයක් ගැන...:)

    කී ටැග් එකේ ෆොටෝ එකක් නැති අඩුව මටත් දැනුනා. ඊලඟ පෝස්ට් එකට මතක ඇතුව දාන්න.

    ReplyDelete
    Replies
    1. පුරාවිද්‍යා සංරක්ෂණ ව්‍යාපෘතියක වැඩකරන්න මට ඉස්සර ලොකු ආසාවක් තිබ්බා. නමුත් ඒක අධ්‍යාපනය පැත්තෙන් ටිකක් හරි පුළුවන් කාලේ එනකොට වෙන රාජකාරී ගොඩකට කැපවෙලා තිබුණු නිසා මට ඒ පැත්ත වෙනුවට වෙන දෙයක් තෝරාගන්න වුණා. ඒ වුණාට අදටත් ඔයා වගේ කෙනෙක් හම්බුණාම මට සේරම විස්තර ටික අහන්න හිතෙනවා...

      මේක ලියන වෙලාවේ අර කී ටැග් එක මේක ලියන තැන තිබ්බේ නැහැ. නමුත් පස්සේ මම ඒකෙ ෆොටෝ එකක් කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකට දැම්මා :)

      Delete
  21. හැමදේටම වඩා රසවත්ම සහ සංවේදිම දේ තමා අර කී ටැග් එක ලැබුන එක.ඒක ඔයාලව මෙචර දුරක් පරිස්සමින් ගිහින් ආපහු එක්කගෙන ආව බීටල් එකට තෑග්ගක්,උපහාරයක් වගෙ.එ කී ටැග් එක ඇස් දෙක වගේ පරිස්සම්කරගන්න.දෑස අඳුරු වෙවී ඇස් පුන්චි කරගෙන ඔබ වාහනය එලවන කාලෙක,ඔබ වැනිම කාර් පිස්සෙක්ට ඒක තිලිණ කරන්න.ඒක පාරම්පරික තිලිණයක් වෙයි තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... කෙළින්ම ඒක මගේ කී ටැග් එක කරගන්න හිතුණත් මම ඉක්මනට ඒ අදහස වෙනස් කරලා ඒක පරිස්සම් කරලා අරන් තිබ්බා. මේක කවදාහරි දවසක මම වගේම කෙනක් අතට යන්න ඕනේ... බොහොම ස්තූතියි මනෝෂ්...

      Delete
  22. ආ... මගේ ආසාව තිබුනෙ බටු සනියකට හරි ඊටපස්සෙ ආව b310කට හරි.ඒත් දැන්නම් ඒ ගානට සෙට් කරගන්න පුලුවන් කමක් තිබුනොත් බීටල් එකක්ම ගන්නවා...

    ReplyDelete
    Replies
    1. වාසනාවන්...! ඔයාට ගොඩක් වටින මතක කන්දරාවක් තෑගි ලැබෙයි...

      Delete
  23. නියමයි. ස්තූතියි අපිව අනුරාධපුරෙත් එක්කන් ගියාට.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි...

      Delete
  24. Grate !!! and grate writings !!!Congratulation !!!!

    ReplyDelete
  25. ලින්ක් එකත් සේව් කරන් හිටියේ නිදහස් වෙලාවක කියවන්න,අද සහලෝල උන නිසා නිවාඩුවේ ගෙදර ඉන්නගමන් කියවල බැලුවේ.ගමන පුරාවට මමත් ආවා වගේ දැනුනා.පට්ටයි ....උනත් සනීපයි වගේ මේක කියවලා...

    ReplyDelete
    Replies
    1. 'කාර් පිස්සුව ඩිස්පැන්සරිය' කියලා නම වෙනස් කළා නම් හරි... බොහොම ස්තූතියි. ඉක්මනට සනීප වෙය කොල්ලෝ!

      Delete
    2. පෝස්ට් එක දැකල ගෙදර ගිහින් කියවනව කියල හිතුවත් වැඩිවෙලා ඉන්න බැරිවුනා. වැඩත් නවත්තල එක හුස්මට කියෙව්වා. හැමදේම මැවිල පෙනුන වගේ. මමත් පොඩි කාලේ අපේ ගෙදර යාලුවෙක් හිටියා 6 ශ්‍රී 7472 දැන් නම් කොහෙද දන්නැ....

      Delete
    3. උනන්දුවට බොහොම ස්තූතියි... 6 ශ්‍රී 7472 ගැන හොයලා බලන්න හිතුණා.. :)

      Delete
    4. එයා අපෙන් සමුගත්තෙ 1995 දී, මාත් පුලුවන් තැන්වල හොයල බැලුව. තාම නම් හෝඩුවාවක් නැ. කොහේහරි හොඳින් ඉන්නවද කියලවත් දැනගන්න ආසයි.මගේම කරගන්න නම් තාම ශක්තියක් නෑ....

      Delete
    5. මාත් හොයලා බලන්නං. මොකක් හරි හේතුවක් නිසා මට හිතුණා කොහේ හරි හොඳින් ඇති කියලා...

      Delete
  26. පෝස්ට් එක දැම්ම දවසෙම යන්තම් නිදාගන්න ගිහින් හරි කියව ගත්තත් අදයි කොමෙන්ටුවක් කොටන්න ඉඩක් ලැබුනේ..
    බීටල් එකක දුර ගමනක් යන එක කියන්නේ මම කවදාවත්ම පස්ස ගහන්නේ නැති වැඩක්. 2014දි මම තව යාලුවෝ තුන් දෙනෙකුත් දාගෙන මහරගමින් පටන් අරන් ඇඹිලිපිටියට ගියා බීටල් එකෙන්.එකේදී එකම මොහොතකවත් මග අතරමං කරන්නේ නැතිව වාහනේ අපිව පරිස්සමට එක්කන් ගියා..කොළඹ ඉඳලා රත්නපුර පැත්තෙන් ඇඹිලිපිටියට යන පාර කඳු,වංගු එහෙමත් අඩුවක් නැති පාරක්නේ.ඉතිං මුළු ඩ්‍රයිවින් ටයිම් එක පැය 8කට කිට්ටුයි.ඒ දවස් වල තැන තැන පාරත් අවුල්.ඉතිං ස්පීඩ් කරන්නත් අමාරුයි.ගමනේදී මීටර් එක උපරිම 110 ට වගේ තමයි ගියේ.ඒත් පාර පැහැදිලි තැන්වලම විතරයි.මොකද නොදන්නා පලාතක කොහොම අතුරු පාරවල් තියෙනවද කියල දන්නේ නැති හන්දා..
    කොහොමහරි ගිය වැඩෙත් කරන් අනිත් අයවත් යවලා මම මාතර ආවා පැය දෙකක් යන්නත් කලින්.ඒ ඉතිං මගින් යාලුවෝ දෙන්නෙක්ව ගෙදරටමත් එක්ක ගිහින් එහෙන් තේ එහෙමත් බීලත්.(ගෙදර ඉඳලා ඇඹිලිපිටියට ගිය අඩුම කාලය ගැන අහන්න ඔට්ටු නෑ.ඒ බීටල් එකේ නම් නෙවි.1991 කොරොල්ලා වැගන් එකක)
    කොහොම හරි එක දවසට පැය 10ක් විතර ඩ්‍රයිව් කරලත් ඇඟට පුංචි මහන්සියක් වත් දැනුනේ නෑ.මගේ බීටල් එක 1971 එකක්.1300cc එන්ජිම.මුළු ගමනේදී ලීටරයට කිලෝමීටර 15ක් වගේ කරලා තිබ්බා..4 දෙනෙකුගේ බරත් එක්ක හන්දා ඒ තරම ඕනෙවටත් වැඩි.
    අලුත් වුනත් පරණ වුනත් තමන්ගේ ජිවිතේ වගේම අනිත් මිනිස්සුන්ගේ ජිවතත් රකින වාහනේ අටවාගෙන දුවන්න එපා.සල්ලි ටිකක් අතට ආවම නියම අමතර කොටස් දාල හරි විදිහට හදාගන්න..ආයේ කාලෙකට ප්‍රශ්න එන්නේ නෑ...කොයිතරම් පරණ වුනත් හරියට නඩත්තු කරන බීටල් එකක් අපිව මග අතරමන් කරන්නේ නෑ.මම වගේම තරිඳු අයියත් කාර් පිස්සුවෙ ඉන්න ගොඩක් අයත් මේකට එකඟ වෙයි..මේ කතාව බීටල් ඒකට වගේම අනිත් ඕනෙම පරණ වාහනයකටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. විස්තර ඇතුව ලිව්වට ස්තූතියි පුබුදු. දැන් දැන් ගොඩක් අයගේ මෙහෙම කතා එළියට එනවා දැකීම ලොකු සතුටක්...

      Delete
  27. ආසාවෙන් කියෙව්වා. මම මගේ voksvaagan ඒකෙන් අනුරාධ පුරයේ ගිය කලේ මතක් උනා.හැබැයි පැත්තකින් එල්ලලා තොයෙන ජපන් olternater ඒකෙන් නම් කාර් එකේ කොලිටිය බහිනවා. ඇයි orginal alternater එකක් දාන්නේ නැත්තෙ. මගේ ළඟ vokvagan අලුත් ව්දියා කරන අන්දම විස්තර කරන පොතක් තියෙනවා. ඒ පොත් ඔයාට දෙන්න නම් බැහැ. ඕනෑ නම් photo copy ගහගන්න දෙන්න පුළුවන්. මමත් කලේ පොතකින් photo copy ගහගත්තා එක .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔරිජිනල් ඔල්ටනෙටර් එකක් දාන්නේ නැත්තේ ආෆ්ටර්-මාකට් ඉලෙක්ට්‍රිකල් පාට්ස් ගැන තියන බරපතළ සැකය නිසා. ඔරිජිනල් බොෂ් එකක් ගන්නකල් හොඳම විසඳුම තමයි ජපන් බඩු වලට යන එක. අපි අර අකමැති වෙන්නන් වාලේ ඒවාට අකමැති වුණාට ජපන් බඩු වල කල් පැවැත්ම හොඳයි. පොත පිටපත් කරගන්න අවස්ථාව දෙන්නම් කිව්වට ස්තූතියි. මා ගාව මැනුවල් කීපයක් තියනවා.

      ඔබතුමාත් ෆොක්ස්වැගන් එකේ අනුරාධපුර ගිය කාලේ ගැන ලිව්වනම් හොඳ කතාවක් වේවි නේද?

      Delete
  28. මරු කතාව...මමත් ඕගොල්ලො එක්ක ගියා වගෙ දැනුනෙ....අපේ ජීප් එකේ පලවෙනියෙන්ම ලොකු දුරක් ගියේ අනුරාධපුරේ හරහා මඩු පල්ලියට ගිය එක..ඒකත් මේ වගෙමයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොෂේන්. කට්ටියගේ මතක ගබඩාවල් ටික මෙහෙම අවුස්සන්න ලැබීම ලොකු සතුටක්...

      Delete
  29. පුලුවන්නම් කී ටැග් එකේ පින්තූරෙකුත් දාන්න

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට්ස් අතරට කී ටැග් එකේ ෆොටෝ එකක් දැම්මා. බ්ලොග් පෝස්ට් එක එඩිට් කරන්න ලෝබයි වගේ :D

      Delete
  30. me tike patta busy.ada tama car pissuwata godaune dawas ganakin.re 11.30i meka dekiddi.eka husmata kiyawan giya.supiri.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි චන්දිම...

      Delete
  31. අැත්තටම මේක ගොඩක් වටිනව Beetle එක ගැන දන් නැති අපි වගේ අයට, Thanks!!!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහෝම ස්තූතියි...

      Delete
  32. කාතාව බ්ලොග් එකට වැටුනා කියලා ආරංචිය කලින් ම ලැබුනත් රහට කියවන්න ඕනි නිසා පොඩ්ඩක් පහුවෙලා කතාව කියෙව්වෙ.
    ඇත්තටම රස කතාවක්.....
    ‍මේ වගේ ගමනක තියෙන රස දන්නෙ මේ වගේම කාර් පාවිච්චි කරන අයම තමයි. ඉතින් පහලින් වැටුන කොමෙන්ට් ටිකත් අකුරක් නැර ම කියෙව්වා.
    මේ කතාවෙ මට දැනුන එක තැනක් තමයි සස්පෙන්ෂන් ගැන අදහස. හැත්තැ ගනන් වල ආපු සාමාන්‍ය ක්ලැසික් කාර් එකකට වඩා සියයට පහක් විතර ගැස්සිල්ල අඩුයි කියන දේ. ඒත් 1973 පර්ජෝ 404 එකක් පදින මට නම් 2016 ප්‍රිමිරෝ සුපිරියර් ගැස්සෙනවා 404ට වඩා.. මගෙ පොඩි අත්දැකිමක් කියන්නම්. දැනට අවුරුදු කිහිපයකට කලින් දවසක පොඩි ගමනකට යන්න එන්න කාර් දෙකක්. යන්න 1998 කොරොල්ල 110 එකකත් ආපහු එන්න 1960 ford prifect 100E එකකත්. වල ගොඩැලි තිබුන පාර. මට දැනුනෙ එක වෙනසයි. කොරොල්ලා එකේ AC එකට පොඩ්ඩක් සිතල විතරක්. ගැස්සිලි පැද්දිලි දෙකම එක වගේ.
    ඊලඟට සෙන්සර්. ඇත්තටම සෙන්සර් ගාලකින් වහගෙන ඉන්න විසි එක්වෙනි සියවසේ කාර් වල දුර ගමන් ගිහින් එක සෙන්සර් එකක් පිච්චිලා කාර් එක මග හිටලා කර ගන්න කිසිම දෙයක් නැති වුනා ම කැරියර් එකක පටවලා කාර් එක කොළඹ එවලා ගමන පැත්තක දාලා Ac බස් එකක නැගලා අපිත් කොළඹ ආවා කියලා උජාරුවෙන් කියන මගෙ යාලුවොත් ඉන්නවා. ඒ වෙලාවට මගේත් කහන කට "උඹ AC බස් එකක ම ආවෙ උඹ මදි කමක් නිසාද නැත්නම් කාර් එකට මදිකමක් නිසාද" කියලත් අහලා තියෙනවා. මෙලෝ රහක් නැති ඒ කතාවට වඩා කොමෙන්ට් එකක ලියලා තිබුන කැඩුන බැලන්ස් බාර් එකට ලි පොල්ලක් ගැට ගහගෙන කිලොමිටර් ගිහින් ගැරේජ් එකට දාගත්තු එකත් මම කාර් පිස්සුවට ලියපු "යැන්කියයි මමයි" කතාවෙ මම විඳපු ඒ අත්දැකිම් වලයි කොයි තරම් නම් රහක් එකතු වෙලා තියෙද......?
    මානයෙන් බඳ පුම්බ ගත් ලක්ස හැට හැත්තැවේ කාර් එකකින් ගිහින් බහිනවට වඩා සමහර විට හැට හැත්තදාහක් දිලා ගත්තු හැබැයි මිලියන ගනනින් හිතේ සතුට පුරවපු පරණ කාර් එකකින් ගිහින් බැස්සම වට පිටාවෙ ඉන්න අයගෙ දිලිසෙන ඇස් දැක්කම ඇස් වහ වදියිදෝ කියලා හිතුනත් ඊට පස්සෙ එන අව්‍යාජ හිනාවත් එකක සමහර අය ලඟට ඇවිත් අත ගාලා "මේවා මරු කාර් නේද.." කියලා අහද්දි දැනෙන හැඟිම වචන වලින් කියන්න බැ. කියන්න තියෙන්න‍ෙ දන්නෝ දනිති කියලා ම තමයි.

    ReplyDelete
    Replies
    1. //මානයෙන් බඳ පුම්බ ගත් ලක්ස හැට හැත්තැවේ කාර් එකකින් ගිහින් බහිනවට වඩා සමහර විට හැට හැත්තදාහක් දිලා ගත්තු හැබැයි මිලියන ගනනින් හිතේ සතුට පුරවපු පරණ කාර් එකකින් ගිහින් බැස්සම //

      :D :D

      Delete
    2. මට තියන ලොකුම සතුට තමයි පෝස්ට් එකකට යටින් මේ වගේ කතා/ අත්දැකීම්/මතක මතුවෙන එක...

      Delete
  33. පුරේ හුළඟත් සැපයි මචං !!

    ReplyDelete
  34. ඇඬුන බං මේ පෝස්ට් එක කියෝල. මොනව උනත් තරිඳු කාර් එකට සලකල තියෙන විදියට කාර් එකත් තරිඳුලව අමාරුවෙ දාන්නැතුව ලොකු ප්‍රති උපකාරයක් කරල තියෙනව.

    ඔය පුරාවිද්‍යා හරි මොන මගුල් හරි ෆොටෝ ගන්න එපා කියන එකනං මල විකාරයක්. අනික පිටරට මිනිස්සුන්ට කොහොම වෙතත් ලංකාවෙ මිනිහෙකුට ලංකාවෙ පොදු තැනක් නිදහසේ ෆොටෝ එකක් ගන්න අයිතිවාසිකමක් තියෙන්න ඕන. මම අන්තිම වතාවට අනුරාධපුරේ ගියේ දැනට අවුරුදු 10 කට විතර කලින්. ඒ කාලෙනං ඔහොම තහනමක් තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. වෙබ් සයිට් එකේ තියෙන්නේ වාණිජ මට්ටමින් ෆොටෝ ගන්න එක තහනම් කියලා. නමුත් කෞතුකාගාරේට ගියාම කියන්නේ/බෝඩ් ගහලා තියෙන්නේ නිකං මතක තබාගැනීමත් තහනම් ගානට... මට අනේ සංසාරේ කියලා හිතුණා ප්‍රසන්න අයියා...

      Delete
  35. ලස්සනට ලියලා තියනවා 😊

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඉසුරු... :)

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. හරියටම මාත් අනුරාදපුරේ ගියා වගේ කියල හිතුණ කියවල ඉවර වෙනකොට. ලස්සන මතක ගොඩක් එකතු කරගෙන තියෙන්නෙ. කාර් පිස්සුව තියන කෙල්ලෙක්ම ලැබිලා තියන එක නම් වාසනාවක්ම තමයි. තව තවත් මේ වගේ ගමන් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කොහොමහරි කී ටැග් එක දුන්නු මහත්මයා හොයාගෙන ආපහු ස්තුති කරන්න වටිනව.
    මගෙත් අදහසක් තියනව ක්ලැසික් මිනි කූපර් එකක ඔය වගේ ගමනක් යන්න. බලමුකො ඉස්සරහට.
    එත් මට මේ විදියට කතා ලියන්න නම් බෑ. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හීනය හැබෑ කරගන්න අවස්ථාව ඉක්මනින්ම උදාවේවා කියලා ප්‍රර්ථනා කරනවා. එතකොට නිකම්ම කතා ලියවෙයි අපූරුවට... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි හසිත...

      Delete
  38. මං හිතුව මියුසියම් අමාරුව තියෙන්නෙ මටයි මගෙ හාමිනේටයි විතරයි කියල, බල්ලෙක්වත් නැති මියුසියම් වල ෆෝටෝ ගන්න එපා කිව්වම තමයි සනුහරයම මතක් කරන්න හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. එක ලෙඩේ තියන එවුන් කාර් පිස්සුවෙන් හම්බෙන එක තමයි ලොකුම සතුට :)

      Delete
  39. අනේ ලොක්ක තරහ නැතිව කී ටැග් එකේ ෆොටෝ එකක් මේකට අමුණනවද? පැයක් විතර හොයලත් තාම හම්බ උනේ නෑ... නැත්තං දෙන්න ඔය කී ටැග් එක ළමයෙකුට ! 😂😂😂

    ReplyDelete
  40. ආසාවෙන් කියෙව්ව. මටත් කාලෙකට ඉස්සර beetle ආසාවක් තිබ්බ. නමුත් මටම අරගෙන පදින්න ආසාවක් තිබ්බෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ආයේ ආසාව ඇතිවේවා!

      Delete
  41. පට්ටයි මචං... ආසාවෙන් කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහන්...

      Delete
  42. "කාර් වලට ආදරේ කරන මින්ස්සු කාර් එකෙන් බැස්සට පස්සේ ආපහු හැරිලා බලනවා කියන කතාව කවුරුත් දන්නවා."

    ආයිත් අහල :D

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි චන්දික...

      Delete
  43. අද තමයි කාර් පිස්සුවට ගොඩවුනෙ.

    සෙන්සර් ගැන කියන කොට මගෙ හිතවතෙක් කියපු කතාවක් මතක් වෙනවා.
    More electronics more problems no electronics no problems.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට... අපූරු කතාව... :)

      Delete
  44. Hi Tharindu,

    Very interesting way of writing. This makes me more and more tempted in buying a VW beetle. Please keep it up. We are looking forward to reading your next article.
    Many thanks
    Nalaka

    ReplyDelete
    Replies
    1. Thank you so much, and hope to see you soon as a Beetle owner..

      Delete