අන්තිම
කලර් ලයිට් එක...
සමුගන්න
කලින් දකින අන්තිම හැන්දෑව, අන්තිම තරුව, අන්තිම බස් හෝල්ට් එක සහ තවත් අන්තිම
ගොඩක් දේවල් ගැන ගොඩක් කවි ගීත ලියවිලා ඇති. නමුත් අන්තිම කලර් ලයිට් එක ගැන
කවුරුවත් තාමත් ලියලා නැහැ.
අහිමි
වෙන්න නියමිත ආදරයක අවසාන දවසේ, සමුගන්න නියමිත මොහොත එන්න මොහොතකට කලින් අන්තිම
කලර් ලයිට් එක ගාවදී ක්ලච් බැලන්ස් එක ගන්නකොට ඇඟිලි තුඩු වලින් පටන් අරන් කකුල
දිගේ ඇඟට ඇතුළු වෙලා හදවත පාරගෙන පාරගෙන යන වේදනාව දන්නේ ආදරයෙන් පැරදිච්ච කාර්
පිස්සෝ විතරයි.
ඒ
කලර් ලයිට් එකෙන් සංකේතවත් වෙන්නේ බදාගෙන අල්ලගන්න දඟලන, ඒ වුණාට අත්හැරිලා
සදාකාලිකව මතක ගොන්නක් අස්සට වැදිලා නොපෙනී ගිහින්, හීනෙන් වත් නොහිතන වෙලාවල ආපහු
ඔළුව උස්සලා ජීවිතය හීනෙන් වත් නොහිතන අගාධ වලට තල්ලු කරන නිමේශයක් එන්න කලින් එන
තාවකාලික ඇබිත්තන් ප්‍රමාදයක්!
හිත්පිත්
නැති වැස්ස සහ ලුණුම ලුණු රස හුළඟ එක්ක අඩෝව් ගාගෙන කඩාවදින මහා මෝසමකට කලින්
පිපිච්ච අන්තිම කහමල් කිනිත්ත වගේ...
අහසේ
ඉර එළිය මුවා කරන තරමට රෑන් රෑන් පියාඹලා ඇවිත් අස්වැන්න වහගන්න කෘමි සත්තු
වසංගතේකට කලින් හුළඟට ප්‍රතිචාර දක්වන නොදක්වන ගාණට පීදුණු එකම එක ලා රන්වන් කරලක්
වගේ...
ජීවිත
කාලයක් තිස්සේ කොහොම කොහොම හරි ආරක්ෂා කරගත්තු ආත්ම ගරුත්වය එක මිලිතප්පරේකින්
හෝදලා යවන මහා කඳුළු වැස්සක් හංගගන්න මූණේ මවාගන්න දඟලන අසාර්ථක හීනි හිනා රැල්ලක්
වගේ...
දැන්
මෙහෙම ලියනකොට කෙනෙක් කියාවි, ඕක ලංකාවට අදාළ දෙයක් නෙමෙයි, ඕක ඇමරිකාව වගේ රටවලට
අදාළ දෙයක් කියල. එයාලගේ තර්කය තමයි ලංකාවේ තරුණ පරපුර ඇමරිකාවේ තරුණ පරපුර
තරමට මහා පරිමාණයෙන් වාහන එක්ක
ගනුදෙනුවක් නැහැ කියන එක. අපි බොහෝ දෙනෙක්
තාමත් ලංකාවේ තරුණ පරපුර, ආදරය, විරහව වගේ දේවල් කතා කරදී ඔළුවෙන් මවාගන්නේ පොදු
ප්‍රවාහන සේවාවල්, මුහුදු වෙරළවල්, පරණ ඩෙනිම්, කඩල කරත්ත සහ සරුවත් වගේ දේවල්.
ඒත්
ඇත්තටම, අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත්, තත්ත්වය වෙනස් වීගෙන එන්නේ.
ඇමරිකාවේ තරුණ තරුණියෝ මීට සියවසකට විතර කලින් ඉඳන් තමන්ගේ නිදහස, ස්වාධීනත්වය වගේ
දේවල් එක්ක මෝටර් රථය කියන එක අනන්‍ය කරගත්තා වගේම, ලංකාවේ තරුණ පරපුර වේගයෙන්
තමන්ගේ ස්වාධීනත්වය එක්ක මෝටර් රථ අනන්‍ය කරගනිමින් ඉන්නවා. මේවා දියුණු රටවල වගේ
බ්‍රෑන්ඩ් නිව් කාර් නොවෙන්න පුළුවන්. අනික් අතට අපට දියුණු රටවල වගේ යම් යම්
සීමාවන් වලට යටත්ව හෝ අපේ රසිකත්වයට අනුව වාහන වෙනස් කරගන්න අයිතිය නැතුවා වෙන්න
පුළුවන්. නමුත් අපි කාර් එක්ක ඇතිකරගෙන යන මේ සුන්දර බැඳීම අපේ සීමාවන් ඇතුළේ අපි
අර්ථ දක්වමින් ඉන්නවා.
අද
නිකමට සෝෂල් මීඩියා වල එහාමෙහා ගිහින් බලන්න. කාර් ක්ලබ්ස් වැහි වැහැලා. වාහන ගැන
කතාකරන ෆේස්බුක් පිටු වැහි වැහැලා. බ්ලොග් ලියවෙනවා. වෙබ් සයිට් එක දෙක හැදෙනවා.
වාහන සම්බන්ධ උත්සව දැන් දැන් ඉස්සරට වඩා විශාල පිරිසකට විවෘත වෙලා. මේ සියල්ල
අස්සේ මතවාද, මතභේද නැතුවා නෙමෙයි. නමුත් අපි වේගයෙන් කාර් සංස්කෘතියක් වැළඳ
ගනිමින් ඉන්නවා. අනික් අතට මෝටර් සයිකල් සම්බන්ධයෙන් ඒ වගේම විශාල රසික පිරිසක්
බිහිවෙලා ඉන්නවා. මම 'කාර් සංස්කෘතිය' කියන යෙදුම පාවිච්චි කරන්නේ ඒ හැමෝටම පොදු
දෙයක් විදිහට.
අද
අපේ මිතුරු මිතුරියෝ තමන් ආදරය කරන අය එක්ක කාර් වල, බයික් වල නැගලා සංචාර වල
යනවා. ක්ලබ් වල අය එකතු වෙලා කරන ඉවෙන්ට්ස් වලට යනවා. මේ අතරේ ආදරයන් උපදිනවා,
මියයනවා, ආයේ අලුතින් උපදිනවා.
පළවෙනි
කලර් ලයිට් එක සහ අන්තිම කලර් ලයිට් එක මතකයක් වෙන්න පටන් ගන්නේ මෙතනින්.
අපි
තාමත් ඒ ගැන කතාකරන්න පටන් අරගෙන නැහැ. සමහරු හිතනවා ආදරය අස්සට කාර් ගැන මතක ගේන
එක අභව්‍යයි කියලා. සමහරු හිතනවා එහෙම කිව්වම අර තමන්ට දරාගන්න බැරි දේවල් වලට
දමලා ගහන්න පාවිච්චි කරන 'පොෂ්' කියන පදයෙන් දමලා ගහාවී කියල.
නැහැ.
දැන්
අපට තරුණ පරපුර ගැන, ආදරය ගැන, අහිමිවීම ගැන කතා කරද්දී කාර් ගැනත් කතා කරන්න වෙන
කාලය ඇවිත් තියෙන්නේ. කාර් දැන් අපේ සංස්කෘතියේ කොටසක්. ඒක තාක්ෂණයක් නෙවෙයි
කලාවක්. සජීවී කලාවක්.
සජීවී
කලාවක් ඇතුළේ තමයි නියම ආදරේ හැමතිස්සෙම හමුවෙන්නේ.
-
තරිඳු ශ්‍රී ලොකුගමගේ
Soi 11 පොත්:
වයර් පොටක සෞන්දර්ය සැප්තැම්බර් වන්නට පෙර එළිදකී |
ප්‍රධාන පෙළේ පොත්හල් වලින් සහ අන්තර්ජාල පොත්හල් වලින්
නියමයි අයියෙ ❤️ විදල තිබ්බත් ඔහොම විදපු නැති පැත්තක්
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteකතාව ඇත්ත ඔයා කොහොමත් කලින්ම දකිනවනේ
ReplyDeleteස්තූතියි!
Deleteකාර් කියන්නෙ සජීවී කලාවක්.. අපි ඒක ඇතුළෙ ජීවිතේ විඳින රසිකයෝ..��
ReplyDeleteඇත්ත!
Deleteකාර් කියන්නෙ සජීවී කලාවක්.. අපි ඒක ඇතුළෙ ජීවිතේ විඳින රසිකයෝ..��
ReplyDeleteඇත්ත!
Deleteයකඩ ගොඩකට ආදරේ කරන්න හැමෝටම බෑ තරිදු.. යකඩ ගොඩකට ආදරේ කරන එවුන් ලංකාවේ සාමාන්‍ය සමාජය බහුතරයක් වෙලාවට හදුන්වන්නේ පිස්සෝ හැටියට.. ලම්බෝගිනි හීන දකින ෆුට් බයිසිකලයක්වත් නැති එවුන් කරන සමච්චල්, අපහාස ඉවසගෙන යකඩ ගොඩක් එක්ක ජිවිතේ ගතකරන එක සමහර වෙලාවට ටිකක් අමාරුයි.. ඒත් යකඩ හිත් එව්වයින් සැලෙන්නේ නෑ..
ReplyDeleteඑකඟයි. ඒ සාම්ප්‍රදායික 'පිස්සෝ' අපහාසයට එරෙහි වෙන්න පුළුවන් සමාජ සවිඤ්ඤානිකත්වයක් හෙමින් හෙමින් ගොඩනැගෙමින් තියනවා කියලා හිතෙනවා. බොහොම ස්තූතියි අදහස් එකතු කළාට!
Deleteොඩක් දවස් බලං හිටිය පෙ ා්ස්ට් එකක් එනකං.මට කාර් එක්ක එහෙම මතකයක් නෑ අයියෙ.මට කාර් එකක් නෑ.ඒත් මට ඔය අත්දෑකීම් පරණ බයික් එකක් එක්ක තිබ්බා.දැන් ඒක මං ගාව නෑ.කෙ ාහෙ තියනවද දන්නෙත් නෑ.හැබැයි තාම ඇස් ොයනව යන යන හැම තැනම ඒ බයික් එක.අතඇරෙනකන් තෙරුන් නෑ මං ඒකට එච්චරට බැදිල කියල.විකුණනකං පුදුම අමාරුවක් තිබ්බෙ.දැන්නං හිතෙනව ඒක හැමදාටම තියාගත්තනං කියල
ReplyDeleteතියන තැන හොයාගත්තු දවසට ඔය මුළු මතකයම අලුත් කතාවක් බවට හැරේවි. ස්තූතියි ප්‍රතිචාරයට මල්ලි!
Delete++++++++++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteහිතුවොත් තමං වැඩියෙන්ම ආදරය කරන දෙය කලාවක් කරගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.
ReplyDeleteකලාවක් කිව්වම නිකං 'ආර්ට් එක' කියනව වගේ ගතියක් නෑ නේද?
තව ටික දවසකින් සමහර විට ආර්ට් එක කියන එක රස්තියාදුකාරයන්ගේ යෙදුමක් විදිහට ලඝු වේවි. භාෂාව අධික වේගයෙන් වෙනස් වෙනවා.
Deleteස්තූතියි ප්‍රසන්න අයියා.
අන්තිම කලර් ලයිට් එකේ නැවත්තුව කාර් එක කොළ පාට එලීයට ආයෙ පණ ආවෙ නෑ. පිටිපස්සෙන් හෝ ගාලා හෝන් වදිද්දි, සදහටම මාව දාලා යන්න හිටිය එයා බැහැලා කාර් එක තල්ලු කළා. කාර් එක පාර අයිනට ආවට පස්සෙ අපි දෙන්නා හොඳටම හිනා වුනා. එයාට තේරුනා මට මේ කබල් කාර් එකත් එක්ක තනියම ඉහ ගහන්න අමාරු බව. ඒ අදින් අවුරුදු හතලිහකට කලින්.. තාම එයත්, කාර් එකත් මාත් එක්ක. මම දෙන්නටම ආදරෙයි.. ඒ දෙවිදිහක ආදරයක්.. ඒ ගොල්ලො කවදාවත් එකිනෙකාට ඊරිසියා කළේ නෑ..
ReplyDeleteදිගට දිගට ලියවෙන්න ඕන කතා හෙමින් හෙමින් මතුවෙන් අපූරුව!
Deleteපිස්ටන් සිලින්ඩර් ඇතුලෙ කරන ලප් ඩප් ගනුදෙණුව…...වෑල් ස්ටෙම් වල ටිකි ටිකියට හූමිටි තියන රේඩියේටර් ෆෑන් එක.. දෙයියනේ ඒක සජීවී කලාවක් නේන්නම්...අනේ ඉලෙක්ට්‍රික් කාර් එකකට කොහොම ආදරේ කරන්නද මන්ද...
ReplyDeleteමම හිතන්නේ, පට විකල්පයක් නැතිම උනොත්, අපි ඉලෙක්ට්‍රික් මෝටර් තියපු ක්ලැසික් කාර් එක්ක අලුත් පලහිලව්වක් පටන්ගනීවි.
Deleteප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි!