Tuesday, July 4, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන - අවසාන කොටස (කිරිවෙහෙර, කතරගම, රන්මිණිතැන්න)



කතරගම දේවාලය කියන්නේ මගේ හිත සන්සුන් කරන තැනක්...

ලංකාවේ අනික් කිසි තැනක දකින්න නැති සංහිඳියාවක් කතරගම තියනවා. මම හැමතිස්සෙම කියන්නේ කතරගම තමයි ලංකාවේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු දිහා ගෞරවයෙන් බලන එකම තැන කියලා. මම ඉස්සරලම කතරගම ගියේ 2008 අවුරුද්දේ. එදා මම හිටියේ කතරගම පෙරහැර සංවිධානය කිරීමේ වගකීම බාර අරන් හිටපු සමාගමක රචකයෙක් විදිහට. ඒත් ඒ දවස් වල මම අතඇරලා දාපු කාර් එකක වීල් නට් එකක් තරම් තද භෞතිකවාදියෙක් වෙලා හිටපු නිසා කතරගම දේවාලේ අභ්‍යන්තරය සහ පරිපාලනය දිහා සමීපව බලන්න ලැබුණු ඒ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මට බැරි වුණා.

ජීවිතේ හරහා කුණාටු දෙකතුනක් හමාගෙන ගිහින් ඔළුවේ නරකෙසක් දෙකක් කරළියට එනකොට මගේ භෞතිකවාදේ ටිකෙන් ටික ලීක් වෙන එන්ජිමක ඔයිල් වගේ සැලකිය යුතු දුරකට අඩුවෙලා ගියා. තාමත් මම ආගමේ නාමෙන් කරන කුණු වැඩ වලින් ඈත් වෙලා ඉන්න අතරේ ඉඩක් ලැබුණු වෙලාවට කතරගම ගිහින් එනවා. ඒ වගේම ලයිට් කණු වල යකඩ කටවල් බැඳගෙන දවස පුරා කාලීන බණ, කයි බණ, රජ බණ, වැදි බණ ඇතුළුව බුදු බණ ඇර අනික් සේරම කියන පන්සල් නැතුව ඉඳහිටක දුර ඈත හෝ ළඟ මෑත යන වෙලාවක ඔය යටාල හෝ පතහවත්ත වගේ පන්සලක් දැක්කොත් පොඩ්ඩක් ගොඩවැදිලා මලක් පහනක් පූජා කරලා එන්නත් මම අමතක කරන්නේ නැහැ.

පතහවත්ත
2008 අවුරුද්දෙන් පස්සෙන් මම කතරගම ගියේ 2016 අවුරුද්දේ. ඒ ගියේ අපේ මාමණ්ඩිගේ ජපන් ඇල්ටෝ එකේ. යනකොට පිටිපස්සේ සීට් එකේ ගිය මම එනකොට කතරගම ඉඳන් වාහනේ එළවගෙන ආවා. ඒ ගමනේදී ජපන් ඇල්ටෝ (සහ මම හිතන්නේ පොදුවේ ජපානෙන් එන Kei කාර් වර්ගයේ වාහන) ගැන ඉගෙනගත්තු කාරණා කීපයක් තියනවා.

1. පිටිපස්සේ සීට් එක හරියට වසන්ත සර්ගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ක්ලාස් එකේ පොල් කීරි ඇනෙන බංකුවක් වගේ. ඒ සීට් වල ඉඳගෙන කිලෝමීටර් දෙතුන් සීයක් ගියාම පශ්චාත් භාගෙට වින්ටජිනෝ ගාන්න වෙනවා.

2. ඉස්සරහ සීට් දෙක නම් ටිකක් විතර සැප පහසුයි. හැබැයි පනස් ගණන් වල හැට ගණන් වල ආපු කාර් වල සීට් අහලකින් තියන්න බැහැ. ඒ අතින් මගේ පනස් පහේ මයිනරේ සීට් එක සක්කරයාගේ non-heated, non-පඬුපුල්, ෆුල් ලක්ෂරි ආසන වලින් එකක් වගේ.

3. වාහනේ තියෙන්නේ මූලික පහසුකම් විතරයි. බීට්ල් එකට හෝ මයිනරේට හෝ වෙනත් ඕනෑම ක්ලැසික් කාර් එකකට වඩා විශේෂ feature එකකට කියලා තියෙන්නේ ඒ.සී. විතරයි (මම හිතුවේ පවර් මිරර් වත් ඇතියි කියලා. සයිඩ් කන්නාඩි ඇජස් කරන්නේ කොහොමද කියලා ඇහුවම මම ඒ ඇහුවේ මොකද්ද කියලා තේරුම් ගන්න මාමණ්ඩිට විනාඩි 5 ක් විතර ගියා).

4. හැබැයි එළවන්න ගත්තම ඒ පුංචි හයසිය පනහ සීසී එන්ජිම අපිව පුදුම කරවනවා. කොටින්ම පාර මැද තියාගෙන කොටන අත් ට්‍රැක්ටරයක් හෝ ප්‍රියස් එකක් හෝ ඕවර්ටෙක් කරන්න ඕනේ නම් යටිපතුලින් ෆ්ලෝ බෝඩ් එක ඉඹින්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ගෑස් දීපු ගමන් වාහනේ ඕවර්ටේක් කරන්න අවශ්‍ය පිකප් එක එනවා. ස්ටියරින් වීල් එක නම් බීට්ල් එකට වඩා සෑහෙන්න බරයි සහ dull, හැබැයි වාහනේ පුංචි නිසා හැන්ඩ්ල් කරන්න පහසුයි (මෙතන මම හැන්ඩ්ල් කරන්න කියන යෙදුම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් car reviews වලදී පාවිච්චි කරන handling කියන යෙදුමේ අර්ථයෙන් නෙමෙයි).

5. රැට්ස් අයිස් පල්ලා ජීවිතේට ජපන් ඇල්ටෝ එකක් ගන්නේ නෑ!

ජපන් ඇල්ටෝ එකක්
ආපහු අපේ මූලික කතාවට එමුකො. යටාලෙන් පිටත් වෙලා අපි කෙළින්ම ආවේ එදා රෑ ගතකරන්න නියමිත නවාතැනට. සණස නිවාඩු නිකේතනය තමයි අපි නවාතැන් ගන්න තෝරගෙන තිබුණේ. අපේ ගමන් සගයා ඉන්දික කලින් එහෙ කීප වතාවක් නතර වෙලා තිබුණු නිසාත්, එහෙන් දෙන තේ එකක රස වචන වලට නගන්න විදිහක් නැතුව ටෙලිෆෝන් සංවාද ගණනාවකදී ගොළු වුණු නිසාත් අපි එතන නවතින්න එක පයින් කැමති වුණා.

සෙල්ල පාරේ අතුරු පාරකට හැරිලා සණස නිවාඩු නිකේතනයට යන්න තියන පාර දැක්කම මට ඉලක්කම් දෙකක් සහ ඉංග්‍රීසි අකුරු දෙකක් මතක් වුණා.

4DR5...



කවුරුහරි ක්ලැසික් මිනි එකක හෝ බොඩි කිට් ගහපු/පාත් කරපු කාර් එකක ආවා නම් කාර් එක මග දාලා තමයි නවාතැනට යන්න වෙන්නේ. පාරේ ඇතුළට මහා දුරක් යන්න නැති වුණාට අර පරණ වීර කතාවල නැව මුහුදුබත් වෙන්න කලින් කුණාටුවට අහුවෙලා හතර අතට පැද්දෙනවා විසික් වෙනවා උඩ යනවා යට යනවා වගේ තමයි කාර් එක ඒ පාරේ යන්න වෙන්නේ. තමන්ගේ වාහනේට හදවතේ අක්කර පාළොස්දාහක් වෙන්කරලා තියන අපි වගේ මිනිස්සුන්ට ඒ පොඩි දුර පවා මහා දුකක්. ඒ නිසා ඉදිරියේ ඉඩක් ලැබුණු දවසක ඉන්දිකට වීල් බ්‍රෂ් එකකින් සහ ස්පෙයා වීල් එකකින් ඔළුවට ගහන්න දිවුරා පොරොන්දු වෙමින් මම හෙමින් හෙමින් නැව හසුරුවාගෙන සණස නිවාඩු නිකේතනය කියන දූපතට ගොඩබැස්සා.

පාර මීටර් පනහක් හැටක් කචල් වුණාට සණස නිවාඩු නිකේතනය බොහොම නිදහස් තැනක්. කාමර හොඳට ඉඩ පහසුයි. ආහාරපාන ප්‍රණීතයි. කාර්ය මණ්ඩලය සුහදයි. ඒ නිසා ආයේ දවසක බීට්ල් එකේ හෝ වෙන හොඳට ground clearance තියන වාහනේක ආවොත් මම ආපහු එතන නවතිනවා.

එදා රෑ කිරිවෙහෙරට ගිහිල්ලා පහුවදා උදේ කතරගම දේවාලයට යන එක තමයි අපේ සැලැස්ම වුණේ. කිරිවෙහෙර හරිම අපූරු තැනක්. නමුත් හැම තිස්සෙම මහා ජන ගංගාවක් එතන තෙමා ගලන නිසා ඒ අපූර්වත්වය නිදහසේ විඳින්න හරි අමාරුයි. පෙරහැර කාලේ නොවුණත් එදා පවා සෑහෙන සෙනගක් හිටියා. ඒ වගේම නඩත්තු කාර්ය මණ්ඩලය තාප්ප කඩකඩා මොනවදෝ විදුලි රැහැන් වගයක් අදිනවා. ඒ නිසා හිත එකඟ කරගන්න එක අමාරු වැඩක්. අනික් අතට හැම තිස්සෙම මගේ මතකයට එන්නේ මේ පසුකාලීන ගොඩනැගිලි, තාප්ප, ඇවිදීමේ මාවත් නැතුව තිබුණා නං සහ පිළිම වහලා තියන වීදුරු කුටි නොතිබුණා නං කතරගම දේවාලයට ඇසට අසුවන මායිමේ තියන මේ පින්වත්ත පුදබිම කොච්චර සිත් පහන් කරාවිද කියලයි. මේ ලියන මොහොතේ පවා මම දුර ඈත අතීතයේ දවසක හඳ එළියෙන් මෙතනට ආපු බුදල් කෙනෙකුගේ හෝ ගමණි කෙනෙකුගේ දෑස බුද්ධාලම්බන ප්‍රීතියෙන් තෙත් වෙලා යන හැටි සත්‍යජිත් රායිගේ චිත්‍රපටියක් වගේ මනසින් දකිනවා. 


පහුවදා උදේ හයහමාරට විතර කතරගම දේවාලයට යද්දී මම අපේක්ෂා කරපු තරම් සෙනගක් හිටියේ නැහැ. මීට කලින් ආපු දෙපාරම රාත්‍රියේ දේවාලයට ආපු මට මේ විදිහට උදේ කතරගම දේවාලයට එන එක වෙනස් අත්දැකීමක් වුණා. කතරගම දේවාල පරිශ්‍රය හරිම පිරිසිදුයි. ඒ විදිහට ඒ භූමිය පවත්වාගෙන යන්න කාර්ය මණ්ඩලය සෑහෙන්න කැපවෙලා වැඩ කරනවා. 2008 දී මේ කාර්ය මණ්ඩලය එක්ක ටිකක් සමීපව ගනුදෙනු කරන්න ලැබුණු නිසා මේ අයගේ භක්ති පූර්වක  කැපවීම මට මතකයි.

දේවාල පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ස්ථාපිත කරපු කෞතුකාගාරයක් තියනවා. අපි ගියේ උදේම නිසා ඒක විවෘත කරලා තිබ්බේ නැහැ. අරින වහන වෙලාවල් දක්වලා තියනවද කියලා බලන්න ගියත් ඒ මොකවත් දාලා තිබ්බේ නැහැ. දේවාලේ පරිපාලන කාර්යාලයෙන් ඇහුවම එයාලටත් කිසි දෙයක් දැනුම් දීලා නෑ කිව්වා. කොටින්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියකවත් ඒ ගැන තොරතුරක් නැහැ. කවදා කීයට දොරටු අරිනවද කියලවත් දන්නේ නැති කෞතුකාගාරයක් වෙනුවෙන් බලන් ඉඳලා වැඩක් නැති නිසා අපි මහා දේවාලයයි වල්ලි අම්මා දේවාලයයි වැඳපුදාගෙන ආපහු ආවා.



සණස නිවාඩු නිකේතනයෙන් උදේට කටට රසට බත් කාලා අපි ආපහු එන්න පිටත් වුණා. එන ගමනේ සැලැස්ම තිබුණේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සහ මිරිජ්ජවිල වියළි කලාප උද්භිද උද්‍යානය. මේ තැන් දෙකම සෑහෙන වෙලාවක් ගතවෙන්න ඉඩ තිබුණු තැන් නිසා සහ වීරවිල NLDB එකෙන් කිරි නිෂ්පාදන ගැනීම, වීරවිල ගුවන් හමුදා ආපනශාලාවෙන් දවල් කෑම ගැනීම, මිරිජ්ජවිල පැත්තෙන් දොදොල් ගැනීම සහ තවත් මගදී හම්බවෙන කඩ වලින් කාටවත් වැඩක් නැති, ඒ වුණාට ට්‍රිප් එකක් යනකොට දැක්ක නිසා නොගෙනත් බැරි දේවල් ගැනීම වගේ ගොඩක් දේවල් කරන්න තිබුණු නිසා මිරිජ්ජවිල ගැන කොහොමටත් විශ්වාසයක් තිබ්බේ නැහැ.

රන්මිණිතැන්නට හැරෙන තැනත් ගූගල් මැප් එකේ පෙන්නන්නේ වැරදියට. ඒ නිසා කාර් පිස්සුවෙ හිතමිතුරෙක් වන ධනුක ගුණසේකර තමයි මට හැරෙන තැන ගැන හරියට මග ලකුණු කිව්වේ. කතරගම යන ගමන් මම පුංචි පාලමක් එක්කම වගේ තියන, පැත්තක් කැඩුණු පිගානක තියන නෙළුම් මලක් ගිලින්න හදන මාළුවෙක් වගේ ඉන්න ස්ථම්භ රාජයාව මතක තියාගෙන ගියේ. ඒ නිසා එන ගමනේ කාගෙන්වත් තැන අහන්න අවශ්‍ය වුණේ නැහැ.



රන්මිණිතැන්න කියන්නේ චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය හදන්න indoor සහ outdoor studio එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් තැනක්. ඒක අපට ගිහිල්ලා බලන්න තරම් දෙයක් බවට පත්වෙලා තියෙන්නේ Bombay Velvet චිත්‍රපටියට ගහපු බොම්බේ නගරයේ සෙට් එක එහෙමම තියෙද්දී ඒ crew එක වැඩ ඉවර කරලා යන්න ගිය නිසා. ඒ ඇරෙන්න ඔය මුවන්පැලැස්සට ගහපු ගෙවල් දෙකතුනක් සහ රජ මාලිගේක දොරටුවක් වගේ සෙට් දෙකතුනක් තියනවා. එච්චරයි. බොම්බේ නගරයේ සෙට් එක වේගයෙන් විනාස වෙමින් යන්නේ. මේවා ඉතින් කල් පවතින්න ගහපුවා නෙමෙයි නේ. ඒවා ආරක්ෂා කරගෙන ඇති වැඩකුත් නැහැ. තව වැහි හත අටකට සහ හුළං හත අටකට අහුවුණාට පස්සේ රන්මිණිතැන්නේ ගිහින් බලන්න වෙන්නේ මඩවගුරක් සහ අතුපැලවල් කීපයක් විතරයි.








කොහොම වෙතත් පළවෙනි පාරට ගියාම එතන වෙලාව ගතවෙන එක දැනෙන්නේ නැතුව යනවා. මොකද බොම්බේ නගරයේ ඉඳන් හිතේ හැටියට ෆොටෝ ගන්න පුළුවන්. අපි ඉතිං සෙල්ෆි යුගයේ අපතයෝ නිසා බැටරි බහිනකල් ෆොටෝ ගහනවා.

රන්මිණිතැන්න ඇතුළට කාර් එක ගෙනියලා ෆොටෝ ටිකක් ගන්න පුදුම ආසාවක් තිබ්බත් ආරක්ෂක නිලධාරීන් බොහොම දුකින් කිව්වා ඒකට අවසර නැහැ කියලා. ඊට පස්සේ එයාලා බීට්ල් එකේ ලස්සන සහ පරණ කාර් වල අගය ගැන කරපු වර්ණනාවකුත් අහලා තමයි අපි ඇතුළට ගියේ.

 රන්මිණිතැන්නේ කාර් පාක් එක

මම වැඩි හරියක්ම රන්මිණිතැන්නට දිව්වේ එහෙ තියන අසරණ ඔස්ටින් එක බලන්න. එතැනදී ගත්තු මෙන්න මේ ෆොටෝ එකත් එක්ක මෙහෙම සටහනක් මම කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකේ ලිවුවා. මේක සත්‍ය සිදුවීමක්.





"මේ සිදුවීම මගේ කැමරාවට අහුවුණේ රන්මිණිතැන්නේදී...

මේ තියෙන්නේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ තියන පරණ ඔස්ටින් එක... 

වාහනයක් ගිනිගන්න සීන් එකක් ගන්න ඕන වුණාම ටෙලිනාට්‍ය/චිත්‍රපටි අධ්‍යක්ෂවරු ගිනි තියන්නේ මේකට... 

මේක දැන් දෙතුන් පාරක්ම ගිනි අරන්...

හැබැයි තාමත් සෑහෙන දුරකට කෙළින් කටින් තියනවා...

මේ අංකල් තව කට්ටියක් එක්ක රන්මිණිතැන්න බලන්න ආපු කෙනෙක්... අපි වගේම... 

එයා මේ කාර් එක ගාවට දුවගෙන ඇවිත් මේ කියන්නේ, 

"පේනවා නේද යකඩ? මෙච්චර වෙලත් තාම හොඳ හයියයි. ඒ කාලේ ආපු වාහන මේ..." කියලා... 

මම ආවේ හැත්තෑ තුනේ බීට්ල් එකක කියලා අංකල් දන්නේ නෑ. මම කියන්න ගියෙත් නෑ. 

නමුත් අංකල් කියපු කතාව ඇත්ත කියලා පරණ වාහන කීපයක් එක්ක ඔට්ටු වුණු මම දන්නවා... 

කාර් පිස්සුවත් එක්ක ඉන්න ඔයාලත් ඒක දන්නවා... 

මෙන්න මේකයි අලුත් වාහන මොන තාක්ෂණය එක්ක කොච්චර අඩුවට ආවත් 

අපි පරණ වාහන මත්තෙම නහින්නේ... 

අපි තමයි කාර් වලට සිංහලෙන් ආදරය කරන පරපුර...

- කාර් පිස්සුව"


රන්මිණිතැන්නේ හිතුවට වැඩිය වෙලාවක් ගතවුණා. එතනින් එළියට ඇවිත්, වීරවිල NLDB ගොවිපළෙන් මීකිරි සහ කිරිටොෆි අරගෙන, ගුවන් හමුදා ආපනශාලාවෙන් බොහොම රසවත් ආහාර වේලක් රස බලලා, මිරිජ්ජවිලට කිට්ටු කරලා දොදොල් එහෙමත් අරගෙන ඉවර වෙනකොට හවස් වෙලා. මිරිජ්ජවිල උද්‍යානය පැයකින් දෙකකින් බලලා ඉවර කරන්න බැරි නිසා ඒක ඊළඟ සවාරිය තෙක් කල් දාන්න අපි තීරණය කළා.


ගුවන් හමුදා ආපනශාලාවේ ප්ලේන් එක

හම්බන්තොට සුපිරියට හදාපු, බල්ලෙකුට වැඩක් නැති පාරවල් දිගේ ඇවිත් ආපහු තංගල්ල පාරට දාලා මාතරට ඇවිත් අපි මාතරින් හයිවේ එකට දාලා, වැලිපැන්නේ ජරාව ආයෙමත් කාලා කොට්ටාවෙන් එළියට දැම්මා. එතනදී තමයි මට තට්ටයාගේ කොලම ලියන මංජුල පෙරේරා හම්බවුණේ. 9 ශ්‍රී 5333 පිටිපස්සෙන් ඇවිත් මට සංඥා කරලා නවත්තගෙන ළඟට ඇවිත් කතා කරලා යන්න තරම් මංජුල නිහතමානී වුණා. අනුරාධපුර ගමනේදී එරංග හම්බවුණා වගේ මේ ගමනේදීත් කාර් පිස්සුව නිසා මාව නාමිකව දැන හඳුනාගෙන හිටපු කෙනෙක් ඇත්තටම හමුවීම පුදුම සතුටක්.


හම්බන්තොට පැත්තට දුවන පාරවල්

මහරගමින් ඉන්දිකව බස්සලා, ටවුමට දන්සැල් වන්දනාවේ සපැමිණි ජන ගංගාව අස්සෙන් දුක සේ පාවෙලා ගෙදර එනකොට රෑ වෙලා. එදා රෑ ඉවර කරන්න පොඩි පහේ පරිවර්තන වැඩක් ඇවිත් තිබුණු නිසා ඒකත් ඉවර කරලයි මම නින්දට ගියේ. දවස් දෙකකදී කිලෝමීටර හයසීයක් විතර එළෙව්වා කියලා මට කිසිම වෙහෙසක් දැනුණේ නැහැ. මේක කියන්නේ බීට්ල් එක බොරුවට පුම්බන්න නෙමෙයි. බීට්ල් ගැන හොඳ කියනවා නම් මට වෙන දේවල් ඕන තරම් තියනවා කියන්න. 

9 ශ්‍රී 5333 කියන්නේ පවර් ස්ටියරින්, ඒ.සී අනං මනං මොකුත් නැති කාර් එකක්. එහෙම තියෙද්දී ඔච්චර දුරක් එළවද්දී මට වෙහෙසක් කියලා දෙයක් නොදැනුණා කියන්නේ බීට්ල් එළවන එක ඔය සමහරු කියනව වගේ ටිකක් හෝ අමාරු දෙයක් නෙමෙයි කියන එකයි. මේක අනුරාධපුර ගමනේදී වගේම බීට්ල් එකත් අරගෙන දුර යන හැම ගමනෙදීම මට දැනුණු දෙයක්. ගිනිගහන අවුවේ ට්‍රැෆික් එකේ කොළඹ යන එක අමාරුයි කියල මම පිළිගන්නවා. ඒ වුණාට අපට ගිනිගහන අවුවේ කොළඹ යන්න වෙන්නේ කොච්චර කලාතුරකින්ද! අනික අවශ්‍ය නම් බීට්ල් ඒ.සී. කරන්න බැරිකමකුත් නැහැ.


බීට්ල් එක කියන්නේ නිකම්ම නිකම් වාහනයක් නෙමෙයි. බීට්ල් එක කියන්නේ lifestyle එකක්. ඒක හුදෙක් ප්‍රවාහනය කියන සීමාවෙන් ඔබ්බට ගිය දෙයක්. මේක ඇත්තටම දැනෙන්න ගන්නේ ගමේ/ටවුමේ හතරමායිමෙන් එහාට ගිහින් දුර ඈතක ගිහින් අවට පස්සේ. 

ඒ නිසා අනාගතේ දවසක ක්ලැසික් කාර් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම්, හොඳ බීට්ල් එකක් ලැබුණොත් අතඅරින්න එපා... හැබැයි හොඳ එකක් ගන්න. වාහනේට කිසි ආදරයක් නැතුව පිටිපස්සේ සීට් එකත් ගලෝලා පොල් පටෝගෙන බිස්නස් කරලා බංකොළොත් වෙච්චි හාල්පාරුවෙක් තෙබුකොරටුවේ ගෙදර වසන්ති අක්කගෙන් ගත්තු පොලී සල්ලි ටික ගෙවන්න 'අලුත් ටයර් බැටරි සුපර් රනින් මුදල් හදිසියකට දෙමි' කියලා දාන ඒවා දැක්ක ගමන් පොඩි එකා අයිස්ක්‍රීම් දන්සැලට දුවලා ගිහින් අයියා උදුරයි කියලා කෝන් එක ලොටොස් ගාලා කටේ ඔබාගත්තා වගේ ඔක්කෙ ගහගෙන ඇවිත් ඊට පස්සේ ඇද්ද පොල් වික්ක පොල් බින්ද පොල් වල අකුසල් පලදෙද්දී මට දෙහි දොඩම් නාරං ජම්බෝල කපන්න එපා... 

(9 ශ්‍රී 5333 කතරගම ගමනේ කතාව සමාප්තයි)

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
04.07.2017 
www.facebook.com/CarPissuwa

65 comments:

  1. ලස්සනයි තරිදු, දැන් නම් මට පිස්සුව තවත් තද වෙනවා. තාම සල්ලි ගහ පීදිලා නැති නිසා පිස්සුව තද කරගෙන ඉන්නෙ. වෙලාවක මාව පුපුරලා යනවා මේ කතා බලලම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සංජීව. ඉක්මනට එකක් ගන්න ලැබේවි ඔයාටත්!

      Delete
  2. කොමෙන්ටෙක හෙට දාන්නං. දැං බාදයි.

    ReplyDelete
  3. අයියෝ ... මේ ලිපි කියවලා මාව දැන් බීට්ල් පිස්සෙක් වෙලා. පාරේ බිට්ල් එකක් දැක්කොත් එලවගෙන ගිහින් බලන්නේ.
    අර ජපන් ඇල්ටෝ කාර් එකේ ඩෑෂ් බෝඩ් එක තමයි මම ගත්ත 1980 හොන්ඩා සිවික් එකට හයිකරලා තියෙන්නේ. මට ඕක හයිකරපු එකාව හම්බවුනානම් ඕකට හොදවයින් දෙකක් කියනවා. කාර් එක සම්පූර්ණයෙන්ම කාලා.
    මාත් ඉක්මණට මගේ කාර් එක විකුණලා බ්ට්ල් එකක් ගන්නවා. දැනටමත් එකක් බලලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේද කියන්නේ... යසට උන්නු මමත් බීට්ල් පිස්සියක් උනානේ... අලේ..............

      Delete
    3. එහෙනං ඉතිං ටිකක් හොයලා බලලා 1965 න් පස්සේ වගේ හදාපු බීට්ල් එකක් ගන්නයි තියෙන්නේ. ;) (65 න් පස්සේ කතාව කිව්වේ ඒවා කලින් ඒවට වඩා තාක්ෂණය දියුණු සහ එළවන්න ලේසි වාහන නිසා).

      Delete
    4. @Tyronne මිකැනික් කෙනෙක් එක්ක ගිහිල්ලා එන්ජිම බලලා, ටින්කරින් තියනවද කියලා බොඩිය ගැනත් සෝදිසි කරලා ගන්න. එතකොට වරදින්නේ නෑ!

      Delete
    5. ඩොට් ඩොට් ගවුමක් ඇඳගෙන, කොන්ඩේ උඩට කරලා ලොකු මලක් ගහගෙන, බෙල්ලේ ස්කාෆ් එකක් ගැටගහලා... මූනට වඩා ලොකු කන්නාඩි දෙකක් දාගෙන...........

      බීටලයක් පැදගෙන යනවාමයි දවසක , අම්මප!

      අපි වගේ අය බිට්ල් හොයනවා කිව්වහම අහපු උන්ට කැස්ස ඉස්මොල්ලේ ගියානේ.. කූර ලෝකේ!!!! මට උදව් කුරාන්ට අප්පා!!!

      Delete
    6. ගව්මට වඩා කලිසම තමා හොද .ආ තව තොල් දෙකත් උපරිම රතු පාට කරන්න ඕනේ .බිටල් එකක් නම් ගන්න පුළුවන්නේ.ලොක්කාගෙන් හෙලුපක් ගමු

      Delete
    7. නියමයි නියමයි....... ඔක්කොම ලෑස්තියි ! කාර් එකක් තමයි නැත්තේ.... :-(

      Delete
    8. මගදී මට හෝන් එකක් ගහන් පලයන් අක්කණ්ඩි

      Delete
  4. කතරගම දේවාලේ පුජාභූමියේ තියෙන මුස්ලිම් පල්ලියට ගොඩවෙන්නයි තිබුනේ. කතරගම දෙවියන්ගේ මුස්ලිම් යාලුවා ලංකාවට ආපු කතරගම දෙවියන්ව හොයාගෙන ඉංදියාවේ ඉදන් ලංකාවට ආවා. එයාගේ සොහොනත් එතැන තියේනවා කියනවා. එක බලන්නත් වටිනා තැනක්. එතැන ඉන්න අය ඒ පල්ලියේ විස්තර කියලා දෙනවා.

    ReplyDelete
    Replies
    1. මම 2008 දී ඔතනට ගියා. ඊළඟ පාර මගේ මුස්ලිම් යාළුවෙක්වත් ඇදගෙන ඔතනට යන්න ඉන්නේ. ඒක වඩාත් අපූරු අත්දැකීමක් වේවි. බොහොම ස්තූතියි අදහසට...

      Delete
  5. බීට්ල් වල දුර යන්න බෑ කියල කවුරුහරි කියනවා නම් එකකෝ ඒ කෙනා ජීවිතේට බීට්ල් එකක ගිහින් නෑ..නැත්නම් අර උඩින් කිව්වා වගේ 'සුපර් රනින් කොන්ඩිසොන්' එකකට අහුවෙලා.මම අපි 4ක් එක්ක බීට්ල් එකේ මහරගම ඉදන් රත්නපුර පැත්තෙන් ඇඹිලිපිටියට ගියා.උදේ 5ත පටන් අරන් එහෙට යද්දී දවල් 1යි.පැය 8ක ඩ්‍රයිව් එකක්.වංගු සහ කඳු වගේම පාර අබලන් වුන තැන් කිහිපයකුත් තිබ්බා.එහෙමයි කියල ඉතිං පාර හොදට තිබ්බ හරියේදී ඉතිං 100 පන්නලා පොලිස් මාමල අත දැම්මෙත් නැහැලු..හොඳ වෙලාවට ලයිසන් බලල යන්න කිව්වා.
    ඒ තරම් වෙලාවක් එක දිගට ඩ්‍රයිව් කරලත් ඇඟට දැනුනෙත් නෑ..එද්දී මම මිද්දෙනිය හරහා බෙලිඅත්ත පැත්තෙන් ආවේ යාලුවෝ දෙන්නෙක්ව ගෙවල් වලටම ඇරලවල.ඒ මදිවට අහුවෙන පොඩි කඩ වලින් වට්ටක්කා,රටකජු වගේ දේවලුත් අරන්.එන ගමන් මාතරට එන්න ගියේ පැය 2 ටත් අඩු කාලයක්.එක දවසේ පැය 10ක් විතර ඩ්‍රයිව් කලත් පුංචි අමාරුවක් වත් දැනුනේ නෑ..
    ඊළගට වැදගත්ම හරිය.ඊට මාස ගානකට පස්සේ මාතර ඉදන් ඇඹිලිපිටියට ගිහින් ආයෙම ආවා ඉන්දියන් ඇල්ටෝ එකක.පස්සේ සීට් එකේ යන්න බැරි හන්දා බෙලිඅත්ත හරියේ ඉදන් ආයේ එනකල්ම ඩ්‍රයිව් කලේ මම.80න් එහා යන ගමන් ස්ටියරින් එක කැපුවාම ඇඟේ ලේ ටික වතුර වෙන්න ඔන්න මෙන්න වෙද්දී තමයි වාහනේ හැරෙන්නේ.මහා භාරතයේ තාක්ෂණය(ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින්) ඒ තරමට දියුණුයි.ගමන ගිහින් ඇවිත් දවස් දෙකක් යනකල්ම කොන්ද රිදුණා කියල නම් මම කිව්වේ නෑ ඔන්න.
    ප.ලි. : මේ ටික කිව්වේ ඇල්ටෝ ගත්ත අයට සවුත්තුවට නෙමෙයි.එත් මිනිස්සු ලක්ෂ 20ක් දීලා බ්‍රෑන්ඩ් නිව් කියල ඉන්දියන් මරණයක් ගන්නේ ඇයි කියන කාරණේ මට අදටත් තේරුම් ගන්න බැරි හන්දා..

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම ඔය වගේ දුරක් ඉන්දියන් ඇල්ටෝ එකක් එළවලා බලන්න ලොකු ආසාවක් තියනවා. එතකොට මටත් මේ තුනම සංසන්දනය කරන්න පුළුවන්. කවුරුහරි යාළුවෙකුට බටර් පාරක් ගාලා බලන්න ඕනා. හොඳ අදහසක් ලැබුණා ඔයාගේ කමෙන්ට් එකෙන් :)

      Delete
    2. හොඳට වංගු තියෙන ටිකක් ගැස්සෙන පාරක ගියා නම් වඩාත් හොඳ ප්‍රතිපල අත් කරගන්න පුළුවන්.. :)
      මොනවා වුනත් දැන් එන ඇල්ටෝ එකට කලින් ආව මොඩෙල් එක නම් ටිකක් හොඳයි.මම එයින් එකකුත් දුර ඩ්‍රයිව් කරලා තියෙනවා.සීට් ගැන නම් කතා කරලා වැඩක් නෑ.එත් ඇඟට අමාරුව අඩුයි.ජපන් ඇල්ටෝ එකට එන්නේ ටර්බෝ 650 සීසී එන්ජින් එකක්.ඉන්දියන් ඇල්ටෝ එක එපා වෙන්නේ 4ක් හෝ 5ක් දාගෙන යද්දී බස් එකකට වගේ ඉස්සර කරන්න ගියාම.ඒ වගේ වෙලාවක ඒසී එක ඕෆ් කරන එක තමයි එකම විසඳුම.කාර් එක ඉස්සරහට පැනල යන්නේ එතකොට.

      Delete
    3. ///මම අපි 4ක් එක්ක බීට්ල් එකේ මහරගම ඉදන් රත්නපුර පැත්තෙන් ඇඹිලිපිටියට ගියා.උදේ 5ත පටන් අරන් එහෙට යද්දී දවල් 1යි.පැය 8ක ඩ්‍රයිව් එකක්.වංගු සහ කඳු වගේම පාර අබලන් වුන තැන් කිහිපයකුත් තිබ්බා.එහෙමයි කියල ඉතිං පාර හොදට තිබ්බ හරියේදී ඉතිං 100 පන්නලා පොලිස් මාමල අත දැම්මෙත් නැහැලු..හොඳ වෙලාවට ලයිසන් බලල යන්න කිව්වා.///

      පැය 8 ක් ඇඹිලිපිටියට කියන්නේ ගොඩක් වැඩි කාලයක් නේද...
      මොකද මම නාවල ඉඳල ඔය පාරේම ගිහින් උඩවලව හරහා වීරවිලට යනවා පැය 5, 6 අතර වගේ කාලෙකදී. වැඩි ඈතකදී නෙමෙයි, දැනට අවුරුදු දෙක තුනකට කළින්. හැබැයි මම ඒ ගමන මාස දෙක තුනකට වතාවක් වගේ ගියපු නිසා පාරේ ලොකු හුරුවක් තිබුනා...
      වාහනේ හෑල්ලූ කරන්න නෙමෙයි, ඇහුවේ. මම ගියපු වාහනත් දැන් තියෙන වාහන තරම් අලුත් ඒවා නෙමෙයි, 2000 වසරේ එකක් සහ 2002 වසරේ එකක්...
      ඒ වගේම ඒ ගමනම මගේ යාලුවෙක් එක්ක ප්‍රියුස් එකක ගිහින් පැය 8 ක් විතර ගියා...

      Delete
    4. වැඩියි තමයි. මහරගම ඉඳල ඇඹිලිපිටියට මග නවතින්නැතුව ගියොත් වැඩිම වෙලාව යන්නෙ පැය 3 ක් විතර.

      Delete
    5. ඔය ගමන් වලදී ප්‍රධාන ගමනට අමතරව අතිරේක ගමන් සෙට් වෙනවා නෙව... ඒක වෙන්න ඕනි...

      Delete
    6. අන්න තරිඳු අයියට වැඩේ තේරුණා.. :)
      උදේට කන්න,අපේ අයට වටේ සිරි නරඹන්න..මගින් නගින්න හිටිය අයව ගන්න,ඊළගට ඉතිං කෑමෙන් පස්සේ වෙන අවශ්‍යතා එක පාරට ඇතිවෙන අයට යන එන තැන් හොයන්නත් එක්ක තමයි වෙලාව.අනික අපි කාර් 3ක් ගියේ.නිසාන් මාර්ච් එකයි,ඇලියොන් එකයි,මගේ ඉබ්බයි.ඇලියොන් එක 50-60න් එහා ගිය වෙලාවල් නැතිම තරම් කියල හිතාගන්නකො.කට්ටියම එකට යන්න ඕනේ හන්දා මාර්ච් එකයි මමයි දෙන්නටත් ටිකක් ඇරලා ගිහින් බලන් ඉන්න සෙට් වුණා.

      Delete
  6. අගෙයි.
    මම කීප වතාවක් කතරගම ගිහිල්ල තිබුණට ඔය මහ දේවාලෙට පූජාවකට ගිහිල්ල තියෙන්නෙ එක පාරක් විතරයි. ඒ සුනාමියෙන් පස්සෙ ගිය ගමන. අඩුම ගානෙ එදා දේවාලෙ සීනු ටික ගහන්නවත් තරං මිනිස්සු හිටියෙ නෑ. මම යන්නෙ වැඩිහිටි කන්දට තමයි.

    හම්බන්තොට පැත්තෙ පාරවල්වල සුපිරි බව ගැනනං කියල වැඩක් නෑ. එකපාරක් වැරදි ලේන් එකක ගිහිල්ල වන්වේ එකේ කිලෝමීටරයක් විතර අනික් පැත්තට ආව. ඒ ටිකට බස් එකක් ඇරෙන්න වෙන කිසිම වාහනයක් ඉස්සරහට ආවෙ නෑ. අනික ඒ පාරෙ වාහනයක් හම්බවෙන්නෙ කිලෝමීටර් දෙක තුනකට එකක් විතරයි. ඒවත් ගොඩක්ම බස්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. වැඩිහිටි කන්දේ 4x4 සංචාර ගැන අපේ ගමන් සගයා දිගින් දිගටම වර්ණනා කරකර ගියේ. ඒකත් ඉක්මනටම අත්හදා බලන්න ඕනේ...

      Delete
  7. සමාවෙන්න ඕනෙ... දෙවියන්ට කරන අගෞරවයක් නෙමෙයි....මේක කියෙව්වොත් කතරගම දෙවියන්ටත් මොණර විසික් කොරල හිටන් බීට්ල් එකක් ගන්ට හිතෙයි.........

    ReplyDelete
    Replies
    1. මේතාක් ලැබුණු විශාලතම ප්‍රතිචාරය මේක වෙන්ඩ ඕනා... හදවතින්ම ස්තූතියි!

      Delete
  8. උබ ඉතින් පන පිහිටවලා ලියනවනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ...

      Delete
  9. අපුරු ලිපියක් මචං...
    මම බීට්ල් එකක ගිහින් තියෙන්නේ එක වතාවයි. එදා අපි හිරවෙලා හය හත් දෙනෙක් ඒකෙ ආවා...
    වාහනේ ගැන අදහසක් ගන්න එකක් පැදලම බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු පුතේ...

      බීට්ල් එක එක පාරක් පැදලා බලලා නම් මදි වෙයි. පැඩ්ල් ටිකට හුරු වෙන්නත් ටික කාලයක් යනවා...

      Delete
  10. කතාව නම් ටොප්.....සොරි වේවා කිව්වට.. අර ජීප් එක විලීස් එකක්...4DR5 නෙමේ...බීටල් එකක් ගැන අදහස උපරිම උනේ මෙ ලගදි අම්ම කිව්ව කතාව අහල...අම්මගෙ තාත්ත, ඒ කිව්වෙ මගෙ ලොකු තාත්තගෙ පලවෙනි වාහනෙත් බීටල් එකක් ලු....මුනුපුරාත් ගනීද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැරැද්ද නිවැරදි කළාට... අපි 4DR5 කිව්වට ඇත්තටම 4DR5 කියන්නේ එන්ජිම මිසක් මොඩ්ල් එක නෙවෙයි නිසා සහ ඒකත් විලිස් එකෙන් ලයිසන් අරන් හදාපු එකක් නිසා මම ඒ ගැන එච්චර හිතුවේ නැහැ... :)

      මුනුපුරාටත් ඉක්මනට බීටලයක් ගන්න ලැබේවා!

      Delete
  11. මද්ද නම් ෙද්වාල වලට යන්ෙන නෑ නමුත් කතරගම පැත්තෙපඑිසරයට ආසයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, තෙත් කලාපේ හැම තිස්සෙම ගැවසිලා වියළි කලාපයක් පැත්තට ආවම ඒ වෙනස තේරෙනවා.

      Delete
  12. ඇල්ටො, මරුටි ආදී kei කාර් වලට ඇදෙන මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව තෙල් ටිකක් - මහ දුරක්. ඒ වගේම කෑල්ලට කෑල්ලක් කඩේ ගන්න තියෙනවා. කොටිම්ම ඇල්ටො, මරුටි කියන්නේ වැඩට ගන්න වාහන. බීටල්, මයිනර්, ඔස්ටින් ගේම්බිච්, හිල්මන් ආදී ක්ලැසික් කාර් ගන්න අයගෙ අරමුණ වෙන්නෙ විනෝදෙ. ට්‍රැෆික් අස්සෙං තප්පරේට පිකප් වෙන කලබල වාහන වගේම නිවාඩුපාඩුවෙ ගමං යන ක්ලැසික් එව්වා තෝරන්නෙත් මිනිස්සුන්ගෙ ඕනකම අනුව.

    මයිනර් එකක් අරගෙන ඒක දවස ගානෙ වැඩට යන්න එන්න පාවිච්චි කරන්න අපිට පුළුවං. හැබැයි ඒක කවුරුවත් ට්‍රයි කරන එකක් නෑ. මගෙත් ආසාව තියෙන්නෙ ලක්ස දෙකක් තුනක විතර වටිනා කාරෙකක් අරං ඒක දුවන තත්වෙං හදලා තියාගන්න. මට ඒකට අවස්ථාව ඊයෙ පෙරේදා උදාවුනා. එත් මොකද්දෝ නොදන්න හේතුවකට මරුටිය දෙන්න බෑ කියල හිතුනා. ඒක තියාගෙනම තව ක්ලැසික් එකක් ගේන්න හිතුනත් ගෙනැත් මිදුලෙ දාලා අව්වට වැස්සට අහුවෙන්න දාලා තියන්න දුක හිතුනා. මොකද්ද මන්දා. හැබැයි ගත්ත වාහනේ විකුණන්න හිත හදාගන්න බැරි ගතියක් මට තියෙනව. වාහන කියන්නෙ ඔලුවට දාගත්තොත් ගෙදර හදන සත්තුන්ට එහා. තනිකරම ඔලුවට අල්ලලා වැල්ඩිං වෙනවා.

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක. උඹේ යූෂුවල් සාකෑස්ටික් ටෝන් එක නැතුව මෙහෙම ලිව්වම වෙනද නැති ළෙන්ගතු බවක් දැනෙනවා කොමෙන්ටුවේ...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. හැබෑට AC නැති පවර් ස්ටියරින් නැති බීටල් එකේ ගිහිල්ලත් වෙහෙසක් නොදැණුනා නම් AC කරපු EPS ජපන් කාර් එහෙක ගියා නම් නිදාගෙන ඇහැරුණා වගේ තියෙයි නෙහ්

    ReplyDelete
    Replies
    1. ඔය මොන පීඑස් තිබ්බත් වැඩක් නෑ ටචෝ, එන්ජිම පිටිපස්සේ තිබිලා rear wheel drive වෙනවා වගේ සනීපයක් තවත් නෑ ;)

      Delete
    2. මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා නෙහ් :D

      Delete
    3. "සුදුද්දසං සුනිපුනං – යත්ථකාමනිපාතිනං
      චිත්තං රක්ඛේථ මේධාවී – චිත්තං ගුත්තං සුඛාවහං" කියල කේස් එකකුත් තියනවා නෙව...

      Delete
  15. Ghost town මූවී එකකට හොඳ සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... කැඩිච්ච ජනෙල් වලට හුළඟ වදිනකොට ඇත්තටම අර ස්පූකි කිරිකිරි හඬ එනවා...

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අනේ මන්දා මේ කාර් පිස්සුවක් හින්දා මටත් දැන් ඉබි උන්මාදය හැදිලා වගේ.
    ඒත් අතේ ඉන්න කුරුල්ලා (110 f/o auto ) දෙන්න හිත හදා ගන්න අමාරුයි. කුරුල්ලත් එක්ක jaffna විතරයි නොගියෙ.
    එක අතකින් & එක කකුලකින් drive කරද්දී මම කල්පනා කරන්නේ කොහොමද ඉබ්බගේ ඇග උඩ නැගල break ගහලා clutch පාගල gear මාරු කරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය ලෝක දෙකේ වෙනස ඔය කොමෙන්ටුවට අපූරුවට ගොනු කරලා තියනවා :)

      Delete
  18. උඹට රට වටේ ගිහින් මැප් එකේ අැද කියන්න එඩිටින් නවත්තනකංම ඉන්න උනේ කාගෙ කරුමෙටද මංද.. එවපං මේකෙ විස්තරෙත්. හදමු

    ReplyDelete
    Replies
    1. මම ලියනකොටම හිතුවා උඹ මේ පෝස්ට් එක කියවන එක මැප් එකේ කේස් එක ගාවින් නතර වේවි කියලා :) මම උඹට ෆේස්බුක් එකෙන් ලින්ක් එක දාන්නම්...

      Delete
  19. මගේ කසින් අයිය කෙනෙක් ඉන්නව. ගෙදර ගෑනිට, ළමයින්ට වැඩිය කාර් එකට ආදරෙයි.
    කොටින්ම වහිනකොට වාහනේ තෙමෙයි කියල, වාහනේ ගෙදර තියල, බයික් එකේ යන ජාතියෙ.

    ළමයින්ට අසනීප උනාට වැඩිය හිත කරදර කරගන්නේ වාහනේට මොනවහරි උනාම.
    හැබැයි මිනිහ අවුරුද්දකට පාරක් වාහනෙන් කතරගම යනව කොහොමහරි.

    මනුස්සයට රෙකමන්ඩ් කරන්න ඕන ඊළඟ පාර සණස නිවාඩු නිකේතනයට යන්න කියල.

    ReplyDelete
    Replies
    1. එයාගේ කාර් එක මොකක්ද කියලා දැනගන්න ආසයි :)

      Delete
    2. මම වැඩිය වාහන ගැන දන්නේ නෑ. ටොයෝටා කියල මතකයි. මට මතක හැටියට මේ වගේ එකක්. කොහොමත් අපි ඔය වාහනේ කිට්ටුවට වැඩිය යන්නෑ :)

      https://en.wikipedia.org/wiki/Toyota_Corolla_(E120)#/media/File:05-08_Toyota_Corolla_S.jpg

      Delete
  20. මට නම් කතරගම සීන් එක පෙන්නන්න බෑ, අපේ හාමිනේගේ පවුලෙ උදවියත් ** උඩ තියාගෙන පළතුරු මැස්සට වඳින්න යනව. එක පාරක් බලෙන්ම මාවත් එක්ක ගියා, මගේ කට හොඳ නැති හින්ද ආපහු පාරක් ඒ මෝඩකම කරන එකක් නැහැ :-D

    හැබැයි කතරගම වගේම සෙල්ල කතරගම පාන්දරම තියන නිස්කලංක බවට මමත් හරි කැමතියි !

    මේ හොඳින් කියන්නේ බෝලාගේ නාට්සි යකඩ ගොඩ ගැන පාරම් බෑව හොඳටෝම ඇති !!!

    ලංකාවෙ තව ඕන තරම් කාර් තියනව, වඳින්නම් දැන් තව වෙන මොනවා හරි ගැන ලියනවද ?

    ප.ලි. :

    අම්මප එහෙමෙ කිව්වට පුළුවන් වෙච්චි දවසක හැරමිටියෙන් යනකොට හරි මාත් ඔය ජාතියේම යකඩ ගොඩක් අර ගන්නවා හික් ... හික් ... :-)

    ReplyDelete
    Replies
    1. කතරගම නම් මමත් වැඩිය ආස නැති ගමනක් .ගිහින් එන්න නම් හොදයි.එත් මේ ගැනිගෙන් බේරෙන්නම බැ .මන් අකමැතිම වැඩේ තමයි .
      පුජා වට්ටිය උස්සන් ඉන්න එකයි .ගද ගහන කාමර වල නැවතිලා ඉන්න එකයි.ඊට වඩා හොදයි කාර් එකේ නිදාගන්නවා .

      Delete
    2. මද්දත් යනව ඒත් ෙද්වාල අස්සෙනම් රිංගන්නෙ නෑ ජරා දුමයි සීනු වල සද්දෙටයි ඒව අැතුලෙ ෙදයියො තියා ෙපරේතෙයක් වත් ඉන්න එකක් නෑ

      Delete
  21. තරිඳු, ඔයාගේ ලිපි ආසාවෙන් කියවනවා. පහත ලිපිය දැක්කහම හිතුන ඔබත් කියවන්න කැමතිවෙයි කියල.

    https://www.racv.com.au/membership/member-benefits/royalauto/motoring/motor-collections/me-and-my-car/my-unbeatable-vw-bug.html

    ReplyDelete
    Replies
    1. හරිම අපූරු ලිපියක්. බොහොම ස්තූතියි. ප්‍රතිචාරයටත් ගොඩක් ස්තූතියි!

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. බීට්ල් කියන්නේ මමත් ගොඩාක් ආස වාහනයක්. මගේ ලග තියෙන්නේ 4DR5 ජීප් එකක්. ඒකෙන් දැනට මම ලංකාවේ හුගක් තැන්වල ගිහින් තියනවා. 700-800km විතර ට්‍රිප් කීපයක්ම ගිහින් තියනවා. ඔයා කියන මිනිස්සුන්ගේ ප්‍රතිචාරත් අඩු නැතුව ලැබිලා තියනවා. බොහොම ස්තුතියි මේ සුන්දර අත්දැකීම් අකුරු කිරීම ගැන

    ReplyDelete
    Replies
    1. 4DR5 එක මගෙත් ආසාවක්. පුංචි කාලේ ඉඳන්ම ඒවාට පොඩි මෙව්වා එකක් තිබුණා. නමුත් බීට්ල් මගේ ජීවිතේ හැම අහුමුල්ලකම පැතිරිලා තියන නිසා තමයි තාම එකක් ගන්න බැරි වුණේ. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි!

      Delete
  24. බ්ලොගයේ අවසන් ඡේදය දහපාරක් කියෙව්වා. මට හිනාව නවත්තගන්න බෑ හලෝ.පට්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නිතර කාර් පිස්සුවට ඇවිත් යන්න එන්න :)

      Delete