කුරුණෑගල පහු කරගෙන ගිහින් ඉබ්බාගමුවෙන් වමට හැරෙව්වම ලංකාවේ ලස්සනම පාරවල් වලින් එකක් හමුවෙනවා. ඒ පාරම හරිම සුන්දර, හරිම රසවත් පාරක්. ඒ පාර අයිනේ පලතුරු විකුණන මිනිස්සුන්ගේ හිනාව තරම් සුන්දර, එයාලා හදලා දෙන ගම්මිරිස් දාපු ඇත් දොඩම් වීදුරුව තරම් රසවත් පාරක්...
ඒ තමයි ඉබ්බාගමුව පාර. ගූගල් මැප්ස් වල තියන විදිහට ඉබ්බාගමුව-කුඹුක්ගැටේ-මඩගල්ල පාර...
ඉබ්බාගමුව පැත්තෙන් මඩගල්ල පාර පටන් ගන්න/අවසන් වන තැන. මේක ගත්තේ ආපහු යද්දී |
මේ පාර විහිදෙන්නේ ඓතිහාසික භූමියක් මැද්දෙන්. අරන්කැලේ ඇතුළුව පුරා විද්‍යා වටිනාකමක් තියන, ඒ වුණාට වැඩි දෙනෙක් නොදන්නා අපූරු ස්ථාන මහා ගොඩක් මේ පාර දෙපැත්තෙන් ඇතුළට විහිදෙන පාරවල් වල ඉහිරිලා විසිරිලා තියනවා. පාරේ කෙළින්ම ගියාම යාපහුවට යන්න පුළුවන්...
මේ පාරේ ගිය අපූරු සංචාරයක් (සංචාරයක් කිව්වට ඒක ගවේෂණයක්) ගැන විස්තරයක් ලක්දසුන් වෙබ් අඩවියේ තියනවා. ඒ විස්තරේට අනුව මඩගල්ල පාර මූලික කරගෙන යන සංචාරයකදී අරන්කැලේ සංඝාරාමය, රන්ගිරිමඩ ලෙන් විහාරය, කෝම්බුව රජමහා විහාරය, කසාගල ලෙන් විහාරය, එගොඩගම කබල්ලෑ ලෙන් විහාරය, රාවා ඇල මාලිගාතැන්න පුරාවිද්‍යා පරිශ්‍රය, නයින්දනාව රජමහා විහාරය, හක්වටුනා ඔය ජලාශය වගේ තැන් නරඹන්න පුළුවන්.
නමුත් මෙදාපාර අපි ගියේ එහෙම සංචාරයක් නෙමෙයි. අපට පෞද්ගලික අවශ්‍යතාවකට දොරවේරුව පැත්තට යන්න ඕන වෙලා තිබුණා. මටත් කෞශිටත් නිවාඩු ගැනීමේ දුෂ්කරතා තිබුණු නිසා මේ සංචාරයට දින දෙකක් වෙන්කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අනික් අතට කුරුණෑගලට කිට්ටුව බොහොම දුර්ලභ මාදිලියකට අයත් කාර් එකක් කියල විකුණන්න දාලා තිබ්බ කාර් එකක් සඳ නිල්වෙන ඇත්තක්ද තරු ගල්වෙන බොරුවක්ද කියල දැනගන්න සහ විනාඩි පහකට හරි කාර් පිස්සුවෙ හිතවතුන් පිරිසක් වෙන කලිඳු ඩිලංක සහ උගේ නඩේ මුණගැහිලා යන්නත් අවශ්‍ය වෙලා තිබ්බ නිසා මඩගල්ල පාරේ වැඩිවෙලා ගැවසෙන්න සැලැස්මක් තිබ්බේ නැහැ...
අපි කවදත් පානදුරේ ඉඳන් කඩවතට යන්නේ හයිවේ එකේ. හයිවේ එක ගැන ඕන තරම් ලියලා තියන නිසා දැන් ඒ ගැන අලුතින් ලියන්න දෙයක් නැහැ. කඩවත ඉඳන් අඹේපුස්ස වෙනකල් යන්නේ නුවර පාරේ. නුවර පාර දැන් කලගෙඩිහේන හරියට එනකල් හොඳට හදලා තියෙන්නේ. ඒකෙත් එහෙමට කියලා විශේෂ දෙයක් නැහැ.
අඹේපුස්සෙන් කුරුණෑගල පැත්තට හැරෙව්වම ත්‍රිකුණාමලය හයිවේ එකට වැටෙනවා. යන්න කලින් ගමන ගැන කරපු පුංචි කතාබහකදී කලිඳු කිව්වා 'ඔය පාරට දැම්මම ඉබ්බාගමුවෙන් හැරෙන්නේ නැතුව ත්‍රිකුණාමලේ යන්න හිතෙයි' කියලා. ඒක ඇත්ත. පාර දැන් ඒ තරමට හොඳයි. කුරුණෑගල ටවුම කිට්ටුව නම් තාමත් ඇතුගලට කිබුහුම් ගියා වගේ තඩි වලවල් සහ, වටරවුම් වෙනුවට 'වැඩබලන වටරවුම්' වුණු තාර බැරල් කේස් තාම තියනවා. ඒ වුණාට ඒ ඇරෙන්න පාර ගොඩක් දුරට සුපිරි.
මේ ගමන ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න අදහසක් නොතිබුණු නිසා අපි ඉබ්බාගමුවට එනකල් ෆොටෝ එකක් ගන්න වත් උනන්දු වුණේ නැහැ. ඉබ්බාගමුවේදී වතුර බෝතලයක් ගන්න නවත්තපු වෙලාවේ 'ඉබ්බාගමුවට ආ ඉබ්බා' කියලා කැප්ෂන් එකක් දාන්න හිතාගෙන බීට්ල් එකේ ෆොටෝ එකක් දෙකක් ගත්තා. ඊට පස්සේ එතනින් වමට දාලා මඩගල්ල පාරට හැරෙව්වා.
ඉබ්බාගමුවට ආ ඉබ්බා :) |
මඩගල්ල පාර ඉද්ද ගැහුවා වගේ කෙළින් විහිදෙනවා දැක්කම මට මතක් වුණේ අනුරාධපුර හයිවේ එක. තර්ඩ් එකෙන් ෆෝත් එකට ඇවිල්ලා විනාඩි දෙකතුනක් යද්දී අර වෙල් යායවල් පිසගෙන එන පවන් රැලි අවුරුද්දට ටාටා බස් කොට වල නැගලා 'සත්තලං කොල්ලෝ' කියාගෙන බලෙන් ගෙවල්වලට කඩාවැදිලා උම්මා දෙන හද්දා ඩොටේ නෑයෝ වගේ ක්වාටර් ග්ලාස් වලින්, සයිඩ් ග්ලාස් වලින් විතරක් නෙමෙයි කනේ මයිල් වලින් පවා රිංගන්න ගත්තා. තවත් මීටර් සීයක් යන්න කලින් අපි දෙන්නටම එකම වෙලාවට වගේ මවු බාසාවත් අමතක වෙලා මෙහෙම කියවුණා.
"What a road...! What a &*^% awesome road...!"
පාර දෙපැත්ත එකම හරිත සදාහරිත රිඹහරිත ටොම්බහරිත යායක්. බලන බලන තැන පෙන්නේ ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන්. කුඹුරු යායවල්, පලතුරු වගාවල්, කීර වගාවල්, වන වගාවල් සහ නම නොදන්නා වගාවල් වලින් පාර දෙපැත්තේ ඇසට අසුවන මායිමේ හැම හිච්චි අඟලක්ම වැහිලා ගිහින්. මේ හරිත බ්ලැන්කට්ටුව දෙපැත්තෙන් සීමා වෙන්නේ අයිසින් මල් ගලෝලා කාපු අයිසින් කේක් එකක උඩ වගේ ඉඳ හිටක පිහිටි ගල මතුවුණු, ඒ වුණාට වැඩි හරියක් වන ගහනයට යටවුණු හිත හීල් කරන, ඇහැ කූල් කරන, හද කෝල් කරන මනෝරම්‍ය කඳුගැට. ඒ අතරින් පතර පුරාණ රජමහා විහාර වලට යන පාරවල් කියලා ඊතල ඇඳපු බෝඩ් තියන හීන් පටු පාරවල් තැනින් තැනින් මතුවෙනවා. ඊට පස්සේ පොඩිපහේ ගෙවල් දෙකතුනක්, කඩ දෙකතුනක් සහ හදාගෙන යන ප්‍රජා ශාලාවක් වගේ එකක් පේන්න ගන්නවා. ඊට පස්සේ ආයෙමත් අර ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන් සිත්තම් පටේ නවත්තපු තැනින් පටන් අරගෙන තිරගත වෙනවා.
ගිය වැඩේ කරගෙන ආපහු එද්දී අපි මුලින්ම මගදී හම්බුණු කඩ පොඩ්ඩකින් ගම්මිරිස් දාපු ඇත් දොඩම් වීදුරුවක් බොන්න අමතක කළේ නැහැ. ඒ මිනිස්සුත් එක්ක ඇදගත්තු කතාබහ නතර වුණේ අපි ගස්ලබු, අලිපේර, ඇත් දොඩම් විතරක් නෙමෙයි සීනි බෝලත් අරගත්තට පස්සෙයි (ඒ ගෙනාපු පලතුරු හැම එකක්ම කොළඹ පලතුරු වලට වඩා ජෙනුයින් රසට තිබ්බා. විනෝදාංශයක් විදිහට කෑම ටෙස්ට් කරන අපට රහ වෙනස් වීම් හොඳට හුරුයි. ඒ නිසා 'ගමනේ ආතල් එකට හිතෙන දේවල්' කියලා ඒක බැහැර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ). ඊට පස්සේ තව පොඩි දුරකින් තිබ්බ ලස්සන පහේ කඩේකින් හොඳ කෑම වේලකුත් කාලා අපි එන්න පිටත් වුණා.
ඒ වුණාට මෙච්චර ලස්සන පාරකදී බීට්ල් එකත් එක්ක ෆොටෝ අරගන්නේ නැතුව එන්න පුළුවන්ද? මම හැමදාම කියනවා වගේ, බීට්ල් එක කියන්නේ හරියට උදේට සේපාලිකා මල දවල්ට ඕකිඩ් මල හැන්දෑවට හෙන්දිරික්කා මල වගේ පරිසයට අපූරුවට මුහුවෙන වාහනයක්. සමහර විට එහෙම වෙන්නේ බීට්ල් එක ඩිසයින් කරද්දී පරිසරයෙන් ආදර්ශ ගන්න කියලා හිට්ලර් ලොක්කා Ferdinand Porsche මහත්මයට කියාපු නිසා වෙන්න ඇති (මේක ඔරිජිනල් පේන්ට් එක තිබ්බා නං මීට වඩා ලස්සන වේවි කියන එක මං පිළිගන්නවා. ඒත් 9 ශ්‍රී 5333 එක්ක අනවශ්‍ය අවදානමක් ගන්න මම කැමති නැති නිසා පේන්ට් කරද්දී ඔරිජිනල් පේන්ට් එක හදවන්න ගියේ නැහැ).
අපි ගෙදර ආවේ අර කුරුණෑගල හරියේදී බලන්න ගිය කාර් එක බොරුවක් බව තහවුරු කරගැනීමෙන් (ඔරිජිනල් ෆැක්ටරි බොඩිකිට් එක කියලා advertise කරලා තියෙද්දී 'අපේ පුතා තමා බොඩි කිට් එක ගැහුවේ' කියලා කියපු අයිතිකාරයාගේ මවුතුමීට අපේ උත්තමාචාරය!) සහ කලිඳු ඇතුළු බීට්ල් පිස්සෝ රැල හමුවීමෙන් පස්සෙයි. මගදී වේවැල්දෙණියේ නවත්තලා ගෙදරට කිසිම අවශ්‍යතාවක් නොතිබුණු බඩු ටිකක් අරගන්නත් අපි අමතක කළේ නැහැ.
එන ගමනේදී අපි දෙන්නා කතා කළේ අපි බලන්න කියලා විශේෂ තැනකට නොගියට අපට ගමන කොච්චර තෘප්තිමත් වුණාද කියන එකයි. කොටින්ම 9 ශ්‍රී 5333 එක්ක ගිය අනුරාධපුර ගමනෙන්, කතරගම ගමනෙන්, පාහියංගල ගමනෙන් සහ තවත් අටෝරාසියක් ගමන් වලින් ලැබුණු තෘප්තියම අපට මඩගල්ල පාරේ ඩ්‍රයිව් කිරීමෙන් ලැබුණා.
ඇත්තටම සංචාරයක් කියන්නේ ගමනාන්තය නෙමෙයි ගමනමයි කියන එක අපට හරියට වැටහුණේ එදා. කුඹුක්ගැටේ, හතරේ ඇල, නෙල්ලිය වගේ ග්‍රාම නාම තියන පුවරු පහුකරගෙන, අර කඳුගැට දෝතින් තුරුළු කරගත්තු සදාහරිත පුණ්‍යභූමි පිසගෙන මඩ සුවඳ, කොළ සුවඳ, හරක් ගඳ සහ නෑඹුල් මහ පොළොවේ සුගන්ධය ඉඹගෙන පියාඹලා එන දේවදූත හුළං රැළි වල පහසින් නිවී සැනසිලා බීට්ල් එකේ විසිල් රාවය අතොරක් නැතුව දෙකන් වල රඟතවර කරගෙන ඉදිරියට ඇදෙද්දී කාර් පිස්සෙක් සහ පිස්සියක් වීමේ හැබෑම අරුත් කන්දරාව අපි දෙන්නට දෙපිටින් යන්න දැනුණා.
බ්ලොග් පෝස්ට් එකක් ලියන්න නොහිටියට මේ මනෝ පාර අකුරු වලට හැරවුණේ ඒ හන්දයි...
ක්ලැසික් කාර් එකක් නැතත් දැනට තියන වාහනේ නැගලා හරි වෙලාවක මඩගල්ල පාර පැත්තේ ගිහිං එන්න. අඩු ගානේ යාපහුවේ යන වෙලාවක දෙපැත්ත බලාගෙන ගැඹුරු හුස්මක් අරගෙන ඒ නැවුම් ඔක්සිජන් සැපයුම පෙනහළු පුරා විඳගන්න.
හැබැයි ප්ලීස්... ටොපි කොළයක් වත් හළලා එන්න එපා වස්තුවේ... ඒ පොළොව තාමත් ගෙදර හුරතලේට හැදෙන කෙලි පැටික්කියෙක් වගේ...!
තරිඳු ශ්‍රී ලොකුගමගේ
21.07.2017
www.facebook.com/CarPissuwa