(Ceylon Motor Show 2017 මේ සති අන්තයේ, ඒ කියන්නේ සිකුරාදා හවස ඉඳන් ඉරිදා රෑ වෙනකල් BMICH එකේදී පැවැත්වෙනවා. මේ සටහන තියන්නේ ඒ වෙනුවෙන්.)
BMICH එක කියන්නේ මගේ ජීවිතේ හීන අවුරුද්දකට පාරක් දෙපාරක් 'මේං බලහං, බොට නෑ, හූ හූ' කියලා ඇදලා පෙන්නලා ඊට පස්සේ අකුලගන්න හිතුවක්කාර ලාම්පු භූතයෙක් වගේ තැනක්.
කාර් පිස්සුව හැදෙන්න කලින් මගේ ජීවිතේ වුණේ පොත්. මම විනෝදයට කරේ පොත් කියවන එක. ජොලියක් ගියාම කළේ පොත් ලියන එක ගැන හීන දකින එක. සල්ලි ඕන වුණාම කළේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ වැඩට යන එක. ඉතිං BMICH එකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගත්තම මම අවුරුද්දකට පාරක් ඕකට දිව්වේ ඉස්කෝලේ ඇරෙන්න ගහන බෙල් එකේ පළවෙනි 'ටිලින්' සද්දේ ඉවර වෙන්නත් කලින් ගේට්ටුව ගාව ඉන්න පලතුරු අංකල්ගෙන් අඹ අච්චාරු ගන්න දුවන පොඩි එකෙක් වගේ.
ෆීල්ඩ් එකේ වැඩ කරන කාලේ ප්‍රදර්ශනේ ඩියුටි කරන්නත් සිද්ධ වෙලා තියනවා. පොත් ප්‍රදර්ශනේ තියන හිච්චි ප්‍රදර්ශන කුටි ඇතුළේ දවස පුරා ඉන්නවා කියන එක හරියට ගාලු පාරේ දෙහිවල ගුවන් පාලමයි විලියම්ස් එකයි අතර තීරුවේ ට්‍රැෆික් පොලිස් ඩියුටි කරනවා වගේ වැඩක් වුණාට ඒක මට සමහර වෙලාවට හරි අපූරු අත්දැකීමක් වුණා. ලංකාවට පෘතුගීසි කාරයෝ එන්නත් කලින් තිවක්ක බමුණුගම පැත්තේ මහපු වස්තර තරම් පරණ ඇඳුම් ඇඳගෙන ඇවිත් දාස් ගණන් වල පොත් මීක් කියන්නේ නැතුව අරගෙන යන මිනිස්සු වගේම එංගලන්තේ නිවාඩුවකට ගිහිං ලන්ඩන් වලින් අරං ආපු ෂර්ට් කලිසන් ගවුම් ඇඳගෙන ඇවිත් සීයට පනහේ ඩිස්කවුන්ට් දාලා තියන පොතට සීයට හැත්තෑවක් වත් දෙන්න බැරිද කියලා අහන මිනිස්සුත් දැකගන්න පුළුවන් අපූරු තැනක් තමයි ඔය පොත් ප්‍රදර්ශනේ.
කාර් පිස්සුව හැදුණට පස්සේ මට පොත් කෙරුවාව එපා වෙලා ගියා. මට කාර් පිස්සුව හැදුණේ මගේ පළවෙනි කාර් එක වුණු ලාන්සර් බොක්ස් එක මුල ඉඳන් හදන්න වුණු නිසා. ලාන්සර් එක හදලා ආපහු අතට එනකොටම තමයි BMICH එකේ මෝටර් ෂෝ එකක් තියනවා කියලා දැනගත්තේ. ඒ අවුරුදු හයකට හෝ හතකට විතර කලින් මම හිතන්නේ. ඉස්ඉස්සරලාම කාර් එකක් මෙහෙම හදල අතට ගත්තම මට දැනුණේ නිකං ඔරිජිනල් යාපනේ අඹයක් ලැබුණු කොළඹ ටවුන් ගිරවෙකුට දැනෙනවා වගේ ආතල් එකක්.
එදා BMICH එකේ ගේට්ටුවෙන් ඇතුළට දාලා පාක් එකට එනකල් ඩ්‍රයිව් කරද්දී මම හිටියේ කිට් එක්ක ෆිට් වෙච්ච මයිකල් නයිට් වගේ චූන් එකේ. ඒක සිලෝන් මෝටර් ෂෝ එක නෙවෙයි වෙන මෝටර් ෂෝ එකක් වුණු නිසා මගේ චූන් බැලුමට නටරාජ් කවකට්ටකින් අනින්න ඇමරිකන් කාර් හෝ බ්‍රිටිෂ් ස්පෝට්ස් කාර් වගේ මොකවත් තිබ්බේ නැහැ. හැබැයි එතන තිබ්බා පුදුම හිතෙන තරම් ලස්සනට හදපු 3 ශ්‍රී බීට්ල් එකක්. අර X-Files එකේ අහිංසකයන්ගේ ඇඟට පිටසක්වල විෂබීජ සුරුස් ගාලා රිංගනවා වගේ මගේ ඇඟට සීරියස් බීට්ල් උණ රිංගුවේ එදා...
මේ ෆොටෝ තුන අයිති ළහිරු වීරසිංහට |
සිලෝන් මෝටර් ෂෝ එක සංවිධානය කරන්නේ Classic Car Club of Ceylon සහ Ceylon Motor Traders Association දෙක එකතු වෙලා. මේක නිල මට්ටමින් දාන පෝස්ට් එකක් නොවන නිසා මම අනුග්‍රාහකයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ.
ක්ලැසික් කාර් ක්ලබ් එක පටන් ගත්තේ 1992 දී. දැනට එයාලට සාමාජිකයෝ 250 කට වැඩිය ඉන්නවා කියලා තමයි එයාලගේ වෙබ් සයිට් එකේ කියන්නේ. මම දන්න තරමින් මේ ක්ලබ් එක බොහොම විධිමත් ව කරගෙන යන ක්ලබ් එකක්. එයාලගේ සාමාජිකයන්ට තියන කාර් දිහා සහ ඒවා පවත්වගෙන යන මට්ටම බැලුවම මේක අමුත්තක් නෙවෙයි කියලා තේරෙනවා.
මෙදා පාරත් සිලෝන් මෝටර් ෂෝ එකට ක්ලැසික් කාර් ක්ලබ් එකේ සාමාජිකයන්ගේ හොඳම කාර් ටිකක් එනවා. මම සාමාන්‍යයෙන් ඇමරිකන් කාර් ගැන ගොඩක් උනන්දු නිසා මගේ හිත මිත්‍ර ක්ලයිව් ද සිල්වාට කියලා ෂෝ එකට එන ඇමරිකන් කාර් ගැන විස්තර ටිකක් ඉල්ලගත්තා. ක්ලයිව් බොහොම කාරුණිකව වැඩ රාජකාරි මැද්දේ මේ විස්තර ටික මට දුන්නා. මේ පහළ තියෙන්නේ ෂෝ එකට එන කාර් වලින් කීපයක් විතරයි.
Buick Super 8 (මේකේ මුල්ම අයිතිකාරයා රටේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක් ලු. ඒ නිසා ඉග්නිෂන් කී එක රත්තරන් වලින් හදලා තිබ්බා ලු!)
Plymouth Baracuda Convertible (මේකේ රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් කාර් බොහොම දුර්ලභයි. ඉස්සර ලංකා පොලීසියේ පාවිච්චි කළා කියලයි ක්ලයිව් කිව්වේ)
Ford Mustang 302 (1969) (ලංකාවේ තියන මේ වර්ගයේ එකම කාර් එක ලු)
ඊට අමතරව මෙන්න මේ ඇමරිකන් කාරුත් ඔයාලට ෂෝ එකේදී දැකගන්න පුළුවන්.
Ford Model T
Chevrolet Recovery Truck
Chevrolet Biscayne
Chevrolet Camaro
Chevrolet Bel Air
Pontiac Strato Cheif
Pontiac Bonneville
මේ වගේ ලැයිස්තුවක් දකිද්දී මගේ ඇහැ සාමාන්‍යයෙන් නවතින්නේ Mustang එක ගාව. නමුත් මේ පාර එහෙම වුණේ නෑ. මේ පාර මගේ ඇහැ නැවතුණේ Chevrolet Bel Air එක ගාව.
මේ පාර සිලෝන් මෝටර් ෂෝ එකට එන Bel Air එක අයිති ෆ්‍රෙඩී අලස් මහත්මයට කියලා තමයි ක්ලයිව් මට කිව්වේ. මේ කාර් එක මම මීට දවස් කීපයකට කලින් ෆේස්බුක් එකේ තැනකදී දැක්කා. එදා මට දැනුණේ හරියට ටියුෂන් පන්තියේ ක්‍රෂ් එක මගේ බංකුවට ඉස්සරහ බංකුවේ වාඩිවෙලා ඉන්නවා කියලා ඉස්සරලාම දැක්කම දැනෙනවා වගේ හැඟීමක්. ලැබෙන්නේ නෑ කියලා බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ තරමට ෂුවර්; හැබැයි සිතිවිල්ලක දෙකක සුවඳ දැනෙන මානයේ ඉන්නවා කියලත් ඒ චන්ද්‍රයෝ තරමටම ෂුවර්....
මීට කලිනුත් මගේ ෆේස්බුක් යාළුවෙක් කොහේදෝ තිබිලා බෙල් එයාර් එකක් හොයාගෙන ෆ්ලැට් බෙඩ් එකක පටවන් යන ෆොටෝ එකක් මම දැක්කා. එදත් මම ෆ්‍රී වයිෆයි කනෙක්ෂන් එකක් අහුවුණු අවුරුදු දාසයේ කොල්ලෙක් වගේ දඩස් ගාලා දුවලා ගිහිං එයාගේ ප්‍රොෆයිල් එකට රිංගලා මැසේජ් එකක් දාලා කිව්වා හදපු දවසක මට පොඩ්ඩක් බලන්න දෙන්න කියලා...
එයා එහෙම බලන්න දෙන එකක් නෑ...
ඒ වුණාට මට කමකුත් නෑ... බංකුව ඉස්සරහින් සිතිවිල්ලක සුවඳ දැනෙන මානයේ 'ඇයත් ඉන්නවා කියා මම දන්නවා...'
ඉතිං ෆ්‍රෙඩී අලස් මහත්මයාගේ බෙල් එයාර් එක එනවා කියලා දැනගත්තු දවසෙම මම තීරණය කළා වැඩ රාජකාරි දාහක් තිබ්බත් සිලෝන් මෝටර් ෂෝ 2017 එකට එනවා එනවා එනවාමයි කියලා...
ඔයාලටත් එහෙම හිතෙනවා නම් මෙන්න විස්තර...
තැන: BMICH
දවස් සහ වෙලාවල් : ජනවාරි 27 සිකුරාදා හවස 5.30 ඉඳන් රෑ 11.00 වෙනකල් සහ ජනවාරි 28 සෙනසුරාදා සහ 29 ඉරිදා උදේ 9.30 ඉඳන් රෑ 11.00 වෙනකල්
ටිකට්: රු. 150/- යි. හැබැයි අවුරුදු 10 ට අඩු පොඩි අයට නොමිලේ ඇතුල් වෙන්න පුළුවන් කියලා කිව්වා.
ක්ලැසික් කාර් විතරක් නෙමෙයි, අලුත් කාර් සහ අලුත් කාර් එළිදක්වීම් වගේ වැඩ ගොඩකුත් සංවිධානය කරලා තියනවා කියලා ආරංචියි. ඒ නිසා පොඩි වෙලාවක් වෙන් කරගෙන ගිහිං බලන්න.
මේ පහළ තියෙන්නේ එතන තියන කාර් වලින් කීපයක්. මේ ෆොටෝ ඔක්කොම එවුවේ ක්ලයිව් ද සිල්වා. ඒ වෙනුවෙන් මගේ විශේෂ ස්තූතිය...
(ලිපියේ මුලින්ම තියන ෆොටෝ එකේ සහ අග තියන ෆොටෝ වල සියලු හිමිකම්- Classic Car Club of Ceylon සහ ක්ලයිව් ද සිල්වා)