Tuesday, November 8, 2016

"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?"



ප්‍රොජෙක්ට් එකක ගොඩයාම සහ කෙලවීම එකිනෙක මුණගැහෙන භයංකාර තුංමං හන්දියක් තමයි ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කියන්නේ. ඔතනින් හරි පැත්තට වැටුණොත් ඉතිං සසරින් එතෙර වුණා වගේ තමයි.

වැරදි පැත්තට වැටුණොත් සාත්තර කාරයෝ පස්සේ දුවන්න වෙන්නත් ඉඩ තියනවා.

මේකට එක ප්‍රධාන හේතුවක් තමයි ඉලෙක්ට්‍රික් වැඩ කරන බාස්ලා කියන්නේ සාමාන්‍යයෙන් මහා අමුතු ජීවී විශේෂයක් වීම. ඩාවින් මේ කාලේ හිටියා නම් ඇවිල්ලා හපුටු සූට් එකකුත් ඇඳන් ඉලෙක්ට්‍රිකල් වැඩ කරන තැනක බංකුවකට වෙලා බවුත් එකකුත් කටේ ගහගෙන බලාගෙන ඉන්නවා.

හැමෝම මෙහෙම නැති එක ඇත්ත. සමහර අය ඇති හොඳට වැඩ කරන. ඒත් මගේ ජීවිතේ මට ඕන තරම් පරිණාමය නොවූ වානර බාෂ් ලා හම්බවෙලා තියනවා. දැන් මේ කියන්න යන්නේ එහෙම කතාවක්.

මගේ 9 ශ්‍රී බීට්ල් එක ගන්නකොට ඒකෙ සිග්නල් ආම් එකක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට ස්විච් එකක් ඩෑෂ් බෝඩ් එකට හයි කරලා තිබ්බේ. 3 ශ්‍රී බීට්ල් එකෙත් ඔය ප්‍රශ්නේ තිබ්බ නිසා මට ඒක එච්චරම ගැටලුවක් වුණේ නැහැ. නමුත් අර නපුරු කලට හැදෙන overhaul නුහුගුණේ වැළඳුණාට පස්සේ 9 ශ්‍රී එකේ එන්ජිම ෆුල් හදලා ඊට පස්සේ අහුකොන් තියාගන්න මගේ හිත යාදුන්නේ නැහැ.

ඉතිං මගේ ග්‍රහයා පීචං වෙලා මට බ්‍රෑන්ඩ් නිව් සිග්නල් ආම් එකක්  තියලා වයරින් එකත් ෆුල්ම හදාගන්න ආසාවක් ආවා.



මේ ටික කියවනකොට මේවා කාලා තියන එවුන්ට උගුරට තිත්ත දැනෙන්න ගන්නවා ඇති. 

ඉතිං ඔන්න දුක් විඳලා නිදි මරලා කොම්පියුටරේ කොටලා හම්බ කරන පිච්චියෙන් කොටහක් ඇන්න මම පංචිකාවත්ත කියන මහ ගන වනන්තරේ දුර ඈත කෙළවරේ හඩු හපුටු පජාති කපුටු රෑනක් අතරේ යන්තං ඔලු කට්ට බේරගෙන එහා මෙහා යන්න පටන්ගත්තා.

මේ ගන වනන්තරෙත් මනුස්සකං හම්බවෙන තැන් නැතුවා නෙවෙයි. ඉඳලා හිටලා දාර විසැති වග වලසුන් මැද්දේ හාවෙක් මුවෙක් මතුවෙලා 'ඔහේ ගියොත් කොටියා කාවි අයියා' කියන අවස්ථාවල් තියෙනවා. ඒත් අවාසනාවකට ඒ එක හාවෙක් මුවෙක් ගාවවත් සිග්නල් ආම් තිබ්බේ නැහැ.

සිග්නල් ආම් තිබ්බේ කොටියෙක් ගාව...

මුළු කැලේම හොයලා හොයාගන්න බැරි බඩු තමන් ගාව තියනවා නම් කොටියා ඒ බව හොඳට දන්නවා. එහෙම වෙලාවට කොටියා ගේම දෙන්නේ නරියා වන්නම නටලා.

මම හෙමින් හෙමින් කොටි ගාලට බඩගෑවා. කොටියා සහ මිත්‍රයෝ හිනාවෙලා මාව පිළිගත්තා. මට අවශ්‍ය දේ කිව්වාම කොටින්ට ලාවට හිනාවකුත් ගියා.

සිග්නල් ආම් එකේ ප්‍රයිස් එක කිව්වම මාව හබස් වුණේ නැහැ. මොකද මේ ගමන යන්න කලින් මම වෙන කොටියෙකුට කෝල් කරලා ගාන අහලා තිබ්බේ. කොටි දෙන්නගේ ගාන මැචින්.

ගාන අඩුකරන්න හැකියාවක් නැති බව කොටියා කිව්වේ නිකං එහෙම කළොත් උගේ සනුහරෙටම සහගහලා භද්‍ර කල්පය ගෙවෙන තාක් කල් නිරයේ වැටිලා ඇල්කොහොල් රහිත ලෝදිය බොන්න වේවි වගේ මූණක් හදාගෙන. ඉතිං එතනින් එහාට මම මොකුත් කියන්න ගියේ නැහැ. අනුන්ගේ අපා දුක් වලට මම කරගහන්නේ මොකටෙයි?

සිග්නල් ආම් එකත්  අරන් වනන්තරෙන් පිටවෙලා ගේ පොජ්ජට මංගැච්චුවාට පස්සේ ඉතිං මම මේක හයිකරන වැඩේ සහ ඉතුරු ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කාටද භාරදෙන්නේ කියලා දහ අතේ කල්පනා කළා. මට තිබුණු විසඳුම් ටික මෙන්න මෙහෙමයි.

1. මගේ ඉස්සර කාර් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරපු ඉලෙක්ට්‍රීෂියන් යාළුවා- ඌ වයරින් ටික කරලා ගියාට පස්සේ සිග්නල් ලයිට් එකක් නිවෙන්න නැතුව පත්තු වෙලා තිබ්බා.  ඇතුලේ ලයිට් එක පත්තු වුණේම නැහැ. ඉස්සරහ ලයිට් දෙකෙන් එක ලයිට් එකයි පත්තු වුණේ. තව මොකක්දෝ මගුලක් නිවිනිවී පත්තු වුණා.

2. මගේ යාළුවා කාර් එක කෑවට පස්සේ ඒක හදලා දීපු එකා- ඌත් දැන් යාළුවෙක් තමයි. ඌ හදලා දුන්නට පස්සේ කාර් එකේ අවුලක් නම් වුණේ නැහැ. හැබැයි උගෙන් වෙලාවක් ගන්න නං නිකං අර ප්‍රසිද්ධ වෙද මහත්තුරු හම්බවෙන්න මහා රාත්තිරියේ ඉඳන් පෝලිමේ ඉන්න ඕනේ වගේ පෝලිමේ ඉන්න ඕනේ. කොහොම හරි වෙලාවක් ගත්තා කියමු. වැඩේ කළාට පස්සේ වැඩේට ගෙවන්න කාර් එක විකුණන්න ඕනේ.

3. ලාංසරේ ඉලෙක්ට්‍රිකල් ටික කරපු අයියා- 'මල්ලි මම ඔය පැත්තේ එනවා, එතකොට ඇවිත් බලන්නං කෝ' කියනවා. ඒත් මිනිහව හොයාගන්න තාම ඉන්ටර්පොල් එකටවත් බැරිවුණා...

4. ගරාජ් එකෙන් නොම්මරේ දීපු ඉලෙක්ට්‍රික් කාරයා අංක 1 - 'මං පොස්සගන් නං කරන්න දන්නේ නෑ අයියා... ඕන නං බලන්න පුළුවන්.  ඒත් මං දැන් මේ රිකිල්ලගස්කඩවල ඉන්නේ. අපේ වයිෆ්ගේ නංගිගේ මහත්තයගේ අක්කගේ දුවගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ගේ සීයගේ නංගි කෙනෙක් අසනීප වෙලා එහෙ ආවා..."

5. ගරාජ් එකෙන් නොම්මරේ දීපු ඉලෙක්ට්‍රික් කාරයා අංක 2 - "මට හතහමාරට විතර කෝල් එකක් දෙනවද? මම වාහනේක ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ..." (හතහමාරට ගත්තු කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ වෙනුවට පත බූට් එකක් කාපු එකෙක් සංසාරේ ගැන මොනවද කියෝ කියෝ දෙවැට පාරක බොරළු පස් කන සින්දුවක් අහගෙන ඉන්න වුණා මට...!)

6. අහවල් අයියා- "මේ පැත්තේ හැමෝම වැඩ ඉගෙනගෙන තියෙන්නේ පොරගෙන් ලු. හෙනම සීනියර් පොරක් ලු. දැන් පුත්තුත් වැඩේට බැහැල ලු ඉන්නේ. පරණ වාහන ගැන හොඳට දන්නවලු."

සෑහෙන වෙලාවක් මේ ගැටලුව කල්පනා කරලා, සංකල්පනා කරලා, පරිකල්පනා කරලා, මියුරු කල්පනා කරලා, කල්පනා ලොව මල් වනෙත් කරලා මම අන්තිමට අහවල් අයියා ගාවට යන්න තීරණය කළා.

ඉතින් දවස් දෙකකට විතර පස්සේ යාන්තං වෙලාවක් පාදගෙන මම ඉබ්බවත් පණ ගන්නගෙන අහවල් අයියා හොයන්න ගියා.

වාහනේ නවත්තලා වටපිට බලනකොට බඩි වෑන් එකක් යට ඉඳලා ලෝඩ් ඔෆ් ද රිංස් එකේ චරිතයක් වගේ පොරක් මතුවුණා.

"මොනවද මහත්තයා වෙන්න ඕනේ?"

"මේ බීට්ල් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ වගයක් තියනවා..."

"මොනවද කරන්න තියෙන්නේ?"

මම වැඩේ සැකෙවින් විස්තර කළා. පොර දැන් තට්ට ගෙඩිය අල්ලගෙන නිකං රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට මැදිවුණා වගේ දත විකාගෙන අත නවාගෙන ගත දවාගෙන හිත මෙහෙයවනවා. පොරගේ සිතිවිලි එහා මෙහා යනවා තට්ට ගෙඩිය විනිවිද මට පේනවා වගේ.

"මං කියන්නං... මහත්තයා අනිද්දා උදේ එන්න. අපේ පුතත් ඉන්නවා. එතකොට වැඩේ කරන්න පුළුවන්. කෝල් එකක් දීලා එන්න..."

පොර මට නොම්මරේ දුන්නා. මම ඉබ්බත් කුදලන් ආපහු ආවා.

ඔන්න අනිද්දා උදේ ඉඳන් මම කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා...

ම්හු...

බුදුගුණ ගීතයක් ෆෝන් එක අස්සෙන් ඇහෙනවා... සංසාරේ හෙන දුකයිලු... තණ්හාව අතඅරින්න ඕනෙ ලු...

අන්තිමට රස්සාව ගැන තියන තණ්හාව අතඇරලා වැඩ සේරම පැත්තක දාලා මම ආපහු ගියා පොරව හම්බවෙන්න. වර්ක්ෂොප් එක පාළුයි. අහවල් අයියා මොකක්දෝ හබරල ගාලක් අස්සෙන් මතුවුණා.

"බලන්නකෝ මහත්තයා... අපේ පුතා ඊයේ පාටියකට ගිහිං තාම බුදි නේ... දවල් වෙලා කෝල් එකක් ගන්නවද...?"

අර පුතා බීලා වැටිලා බව තේරිලා මම ගෙදර ගියා.



බීපු එකාගේ hangover එක යන්න මම හිතන්නේ සතියක් විතර යන්න ඇති. මොකද කෝල් එකට ආන්සර් කළේ සතියකට විතර පස්සේ. තව දවස් දෙකකින් කාර් එක ගේන්න කිව්වා. 

මම යනකොට පුතණ්ඩියා හයිබ්‍රිඩ් එකක් ගලෝගෙන වැඩ. මම විස්තරේ කිව්වම පොර ටිකක් අදිමදි මූණක් දැම්මා. 

"මම මේ ටිකක් අසනීප වෙලත් හිටියේ පහුගිය දවස්වල..."පොර කිව්වා. 

"මටත් පාටිවලට ගිහින් ආවම ඔය අසනීපෙ හැදෙනවා..." මම කිව්වා. 

දෙන්න උත්තරයක් නැතුව තප්පර දෙක තුනක් බලාගෙන හිටපු පොර මට කාර් එකේ වෙන්න ඕනේ දේවල් කියන්න කිව්වා. කාර් එකේ එතකොට චාජින් වල පොඩි ප්‍රශ්නෙකුත් ඇවිල්ලා තිබුණේ. ඒ පාර මිනිහා මට ගේන්න බඩු ලිස්ට් එකකුත් ලියලා දීලා, ඕල්ටනේටරේ ගලවලා බලන්නම් කිව්වා. 

අන්තිමට එදා දවසම ගියාට පස්සේ මිනිහා කිව්වා ඕල්ටනේටරේ අවුල්, හදලා දෙන්නම් කියලා. සිග්නල් ආම් එක හයි කරලා අනික් වැඩ ටිකත් බලලා තියන්න දවස් තුනක් විතර යයි කිව්වා. 

එදා ඉඳන් තුනේ ඒවා තුන්වරක් තුනක් විතර ගතවුණාට පස්සේ තමයි යන්තං සිග්නල් ආම් එක ෆික්ස් වුණේ. ඒ දවස් ටිකේ වර්ක්ෂොප් එකට ගිය වාරයක් ගානේ අහවල් අයියාගෙන් මට අහන්න ලැබුණු දේවල් නිකමට වගේ මෙතන ලියනවා. 

1. වාහනේ කලින් ඉලෙක්ට්‍රිකල් වැඩ කරලා තියන බාස් ලා කරලා තියන වැරදි 

2. අහවල් අයියා ඉස්සර ෆොක්ස්වැගන් සහ තවත් පරණ කාර්වල ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න මැජික් බලෙන් වගේ විසඳලා මහත්තුරුන්ව පුදුම කරපු හැටි

3. රට වටේ මිනිස්සු අහවල් අයියා නැතුව වෙන කාටවත් වාහනේ අල්ලන්න දෙන්නේ නැහැ කියලා ලක්ෂ ගණන් කෝටි ගණන් වටින වාහන දිරන්න දාලා තියන හැටි 

4. රට ගැන තියන කැක්කුම නිසා රට යන්න සෙට්වුණු චාන්ස් අතඇරලා දාපු හැටි 

5. දැන් ඉන්න මිකැනික්ලා/ටින්කරින් කාරයෝ/ පේන්ටර්ලා ගේ වැරදි 

6. තමන්ගේ ගෝලයෝ තාමත් තමන්ට දෙමව්පියන්ටත් වඩා ගරු කරන හැටි 

7. තමන්ගේ පුත්තු 'හයිබ්‍රිඩ් ගන්න තරමට වැඩකාරයෝ' වුණු හැටි 

8. 'මේ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපට' 

9. දැන් එන අමතර කොටස් වල ප්‍රමිතිය බාල නිසා තමන්ට නරක නාමේ එන හැටි 

10. "මං මට කරගත්තේ නෑ මහත්තයෝ, අනුන්ටම තමා කොළේ..." 

යාන්තං දවස් ගානකට පස්සේ බයිලා වෙන්දේසිය නතර වුණා. කාර් එක අරගෙන යන්න පුළුවන් කිව්වම මට දැනුණේ පුදුමාකාර මෙව්වා එකක්. අහවල් අයියා ගහන කැසට් පීස් මට තියා වාහනේටවත් අහං ඉන්න පුළුවන් ඒවා නෙමේ. ඉතිං මම ටක් ගාලා ගාන කීයද ඇහුවා. මම බලාපොරොත්තු වුණේ කොහොමත් ලොකු ගාණක් කියාවි කියලා. 

මිනිහා මම බලාපොරොත්තු වුණාට වඩා දෙදාහක් විතර අඩුවෙන් තමා ගාන කිව්වේ. 

මට දැන් හෙන හැපී. හිතපු තරං සල්ලි ගියෙත් නැහැ, වැඩෙත් 'එක්ස්පර්ට්' කෙනෙකුට කියලා කරගත්තා. සිග්නල් ආම් එකත් හරි. චාජ් වෙන ප්‍රශ්නෙත් හරි. ඔක්කොම හරි. 

දවස් ගාණක් වර්ක්ෂොප් එකේ තිබිලා වාහනේ දූවිලි කන්දයි. 'මහත්තයා, වතුර බාල්දියක් ගහමුද?' කියලා අහවල් අයියා ඇහුවා. තව මොහොතක් වත් පරක්කු කරන්න මට වුවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම එපා කියලා වාහනේ අතට ගත්තා. 

ඔන්න දැන් මම ගෙදර යන්න කියලා ඇරලා දාලා යනවා. මට ගෙදරට යන්න යූ ටර්න් දෙකක් ගහන්න තියනවා. පළවෙනි යූ ටර්න් එක ගහද්දී මට අමුත්තක් තේරුණා ස්ටියරින් වීල් එකේ. මම ටිකක් ස්ලෝ කළා. ඔන්න ඔහේ මගේ හිතට දැනෙන හැටි වෙන්න ඇති කියලා මම ආයේ ස්පීඩ් කළා. කෙළින් යනකොට කිසි අමුත්තක් නැහැ. ඔන්න දෙවෙනි යූ ටර්න් එක ආවා. එතකොට වීල් කාරයෙක් උගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ අස්සෙන් රිංගපු නිසා මට පොඩි සෙල්ලමක් දාන්න වුණා. ඒත් එක්කම මට තේරුණා 'මස්සිනා සම්තින් ඉස් නොට් රයිට්' කියලා... 

ස්ටියරින් වීල් එක ගැලවිලා අතට ආවා.... 

ඔවු යකෝ...! ස්ටියරින් වීල් එක ගැලවිලා අතට ආවා....!

දැන් මොන දෙයියන්ට කියන්නද? ආපහු අර අහවල් අයියා ළඟට ගිහින් මොන අහවල් ... ද කළේ කියලා අහන්න තමයි තියෙන්නේ. මෙහෙම තියෙද්දී යන්නත් බයයි. ඒත් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම වම් පැත්තට අයින් කරගෙන, බට්ටෙක්ගේ පිටිපස්සේ තියාගෙන හෙමින් හෙමින් ආපහු අර මනුස්සයා ගාවට ගියා. 



වාහනේ නැවැත්තුවාම අහවල් අයියා සෙසමි ස්ට්‍රීට් එකේ චරිතයක් වගේ මොකක්දෝ මුල්ලක් අස්සෙන් හොම්බ දැම්මා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි එතන සංවාදේ ගියේ. 

"බාසුන්නැහේ, ස්ටියරින් වීල් එක අතට ආවා...!" 

"මොනවා, වෙන්න බැහැ නේ...!" 

(මම වාහනේ ඇතුළට හොම්බ දාලා ස්ටියරින් වීල් එක අතට ගත්තා) 

"නැත්තං මෙහෙම ගලවන්න මං මැජික් කාරයෙක්ද?" 

(ඔන්න අහවල් අයියා කල්පනා කරනවා) 

"මොකද අප්පා ඒ?" 

"බාසුන්නැහේ නට් එක කොහෙද දැම්මේ?" 

(අහවල් අයියා කල්පනා කරනවා) 

"නට් එක නේද? (තවත් කල්පනා කරනවා) ආ... දැන් නේ මතක් වුණේ මහත්තයා... ඕකෙ නට් එකක් තිබ්බේ නෑ නේ...!" 

"නට් එකක් තිබ්බේ නැත්තං මෙච්චර කල් මම දිවුවේ කොහොමද?" 

(අහවල් අයියට ඒක ඇහෙන්නේ නෑ වගේ) 

"මම දන්නවා වෙච්ච වැඩේ. ෂුවර් එකටම පේන්ට් එක කරපු එවුන් නට් එක  නැතිකරන්න ඇති..." 

"දෙයි හාමුදුරුවනේ නට් එක නොතිබ්බ නං මෙච්චර දවස් මට නොදැනුණේ කොහොමද?" 

(අහවල් අයියට ඒකත් ඇහෙන්නේ නැහැ වගේ) 

"මම කිව්වේ මහත්තයට... දැන් ඉන්න ටින්කරින් බාස් ලා මහා වැඩකට නැති එවුවෝ..." 

අර මහත්තුරු මූ නැහැයි කියලා දිරන්න දාලා තියන වාහන ටික කොච්චර පින්වන්තද කියලා හිත හිතා මම ආපහු ආවා. ආපහු ඇවිත් ලේත් එකට ගිහින් නට් එකක් ලියවලා ටින්කරින් කරපු ගරාජ් එකට දීලා ඒක හයිකර ගත්තා. 

දවස් තුනක් යද්දී ආපහු ඇතුළේ ලයිට් එක වැඩකරන්නේ නැතුව ගියා. ඊට පස්සේ හෝන් එක නැතුව ගියා. ඊට පස්සේ එක ලයිට් එකක් පත්තු වෙන්නේ නැතුව ගියා. ඊටත් පස්සේ ආයේ වාහනේ චාජ් වෙන්නේ නැතුව ගියා. 

අන්තිමට ගෙවල් ළඟම ඉන්න, විවේක වෙලාවට ඉලෙක්ට්‍රිකල් වැඩ කරන කොල්ලෙක් මට අහම්බෙන් හම්බවුණා. වයස අවුරුදු 25 ක් විතර ඇති. ඌ දවස් දෙකෙන් ඔක්කොම ටික හදලා දුන්නා. අද වෙනකල් බල්බ් එකක් පිච්චෙනවා ඇරෙන්න වෙන කිසිම ගැටලුවක් වෙලා නැහැ. 

අදටත් අර අහවල් අයියා ගේ ප්ලේස් එක ඉස්සරහින් ඩ්‍රයිව් කරන් යනකොට මට පේනවා එතනට ක්ලැසික් කාර් ඇවිත් තියනවා. සමහර ඒවා සති ගණන්, මාස ගණන් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි ඔහේ තියනවා. ඒ වෙලාවට මට කාර් එක නතර කරලා අහවල් අයියා ළඟට ගිහිං එයාගේ දෙමව්පියන් වත් ආදරෙන් සිහිපත් කරලා මෙහෙම අහන්න හිතෙනවා. 

"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" 


www.facebook.com/CarPissuwa


පසු සටහන: එක ෆොටෝ එකක ඇර අනික් ඒවායේ තියෙන්නේ මගේ කාර් එක නෙමෙයි.අර කළුයි කහයි කාර් එක මගේ.

65 comments:

  1. උම්බලගෙ ගෙවල් ගාවින් මම හොද ඔප්ශ්න් එකක් දෙන්නම්.කොල් එකක් දිපන් වෙලවක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සමහර වෙලාවට අරූගේ ෆෝන් එක වැඩකරන්නේ නැහැ. ඕකා ෆෝන් එක ගෙදර බල්ලට දීලා ක්‍රිකට් ගහන්න යනවා...

      Delete
  2. මගේ Nissan B12 Project එක අතෑරලා දාලා මං ඒක විකුණලා දාලා වෙන එකකට ගියෙත් මකබාසෙක් හින්දා තමයි.මට මහලොකු දැනීමක් තිබ්බෙ නෑ ඒ කාලේ. කාර් එක යද්දි ගහන ගතිය ආවට පස්සේ හබ්රේසර්, ෂොක්ඇබ්සෝබර් අනන් මනන් සේරම දැම්මට පස්සෙ බැලින්නම් ටයර් එකක කම්බි කැඩිල තිබිල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ටයර් ගැන ඔය අත්දැකීමට ආසන්න අත්දැකීමක් මටත් තියනවා. හොඳ වෙලාවට මගේ මිකැනික් හොඳ නිසා මට කිව්වා පිස්සු කෙළින්නේ නැතුව ටයර් ටික බලෝගෙන එන්න කියලා...

      Delete
    2. හැක්.. හැක්.. මටත් ඔය වැඩේ දෙපාරක් විතර වෙලා තියෙනව. ඔය වගේ කේස් එකක් එනකොට මුලින්ම ටයර් එක බලන්න ඕනය කියන තියරි එක මම දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නෙ.

      Delete
    3. අනික තමයි රීම් ඇද වීම... පරණ වාහන වල නිතර වෙන දෙයක්...

      Delete
  3. Deyyane kiyala Mata colt ekata hamba wechcha electrician Nam bohoma hoda manussayek...

    ReplyDelete
    Replies
    1. Ara eda math ekka oyalage gedara awa uncle ge putha

      Delete
    2. මට මතක විදිහට ඔයාට 190E එකේ ඉලෙක්ට්‍රිකල් පැත්ත සම්බන්ධයෙන් නම් කටු කන්න වුණා නේද?

      Delete
  4. Ane ammo kathwanam patta athhat math me tike beetle ekak hadanawa mula idan hadapu nisa alutin wiring karanna ahapuwa patta ganak kiwwe antimata google deiyage pihiten wiring diagram ekak balan crimping tool ekak aran manma hemita wiring eka kala awalak un na tawa tika kalekin project eke ful story eka ewannamko.........

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. මොනවා කළත් තමන්ම වැඩේ ගොඩදාගත්තම අගේ වැඩියි නේ... කතාව එවනකල් අපි බලන් ඉන්නවා :)

      Delete
    2. aniwaryen kohoma hari tamanma wade karan labana athma truptiyak tawat na bohoma ikmanin kathwa ewanna porondu wenawa

      Delete
    3. බොහොම ස්තූතියි අමිල...

      Delete
  5. කල්දෙමුල්ලෙ 4 වෙනි පටුමගේ ඉන්නව කන්ථක කියල පොරක්. උගෙ ගාව පරණ මයිනර් එකකුත් තිබ්බ පට්ටෙට හදල මිනිහගෙ පාවිච්චියට. තව කල්දෙමුල්ලෙම ඉන්නව 3වෙනි පටුමගේ ගයන්ත කියල එකෙක්. ඌත් දක්ස වැඩ කරු.

    ඉස්සෙල්ල පොඩි දෙයක් හදාගෙන උඹම තීරණය කරහන්.

    ReplyDelete
    Replies
    1. Kanthaka kiyanne supiri wadda thamayi. Eth dan manwa alla ganna hena amaruyi. Wada karanawath aduyi. Kanthakage hodama golaya Sanjeewa dan workshop ekak karanawa Daham mawathe.

      Delete
    2. කල්දෙමුල්ල ඉලෙක්ට්‍රිකල් තව්තිසාවක්නේ බලාගෙන යනකොට...! ස්තූතියි.

      Delete
    3. @ ඉන්දික,
      ඔය කන්ථක කියන පොරට අර චන්න කියන බුවාගෙ වාහනේ රෙපෙයාර් එක කරගන්න බැරි උනා කියන්නෙ ඇත්ත ද? හැක්..

      Delete
    4. දොස්තර පෙමන දක්ෂ උනත් ප්‍රතිකාර වලදි ලෙඩුන් මියයන අවස්ථා තියෙනවනෙ ඒ නිසා මම හිතනව සමහර විට යම් අඩුපාඩු කාගෙනුත් විය හැකියි.

      Delete
  6. ඇයි බා‍ෙල ඕක මැජික් න‍ෙමයි න්‍ෙ. ඉග‍ෙන ගනින්. තා‍ෙග‍ෙ තියන කම්මැලි කම

    ReplyDelete
    Replies
    1. තව ටිකකින් කියපන් බත් කන එකේ කුඹුරු කොටන්න ඉගෙන ගනින් කියලා :D

      Delete
  7. ඔව්ව මොනවද අයියා.. මේං බලන්න මගේ වාහනේ. සිග්නල් ලයිට් දාපුවම හීට් එකේ කටුව අගට යනවා මැදට එනවා... අගට යනවා මැදට එනවා... අමුතු නැටුමක්. හෙඩ් ලයිට් දාපු ගමං අගටම ගිහිං හේත්තු වෙනවා. වාහනේ එලයිමන්ට් හදාගෙන අතට ගානක් ආපු ගමං එන්නං ඉලෙක්ට්‍රිකල් වැඩ ටික ඉවර කරගන්න. එතනිම්ම ඒසී එකත් ගොඩ දාගෙන. අර කලිං මකබාස් කාපු කාබියුරේටරේ නං හදවගත්තා. දැං නං දුං නෑ. කලිං ලීටරේට අටයිනෙ දිව්වෙ. මං කලින්ම කිව්ව වගේ බාස්ල තමයි වාහන කන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹේ වාහනේ නම් කොයි වෙලේ හරි මරුටි කොම්පැනියෙන් ආපහු ගන්නවා. ජීවිතේට මරුටියක අහපු නැති ලෙඩ ඒකෙ තියෙන්නේ...

      Delete
    2. ශ්‍රංග. බොලාට හොඳටම ශුවර්ද ඒ හීට් මීටරේ කියල. ඔය මරුටි වල ලිමිටඩ් ඔප්ෂන් ආව සිග්නල් එක දාපුවහම හරවන්න ඕන පැත්ත කටුවෙන් පෙන්නන මීටර් එකක්. උඹට හම්බවෙලා තියෙන්නෙ ඒ ජාතියෙ කාර් එකක් වෙන්න ඇති.

      Delete
    3. ලිමිටඩ් ඔප්ෂන් නෙමෙයි ලිමිටඩ් එඩිෂන්

      Delete
  8. බාස් කියන තනතුර නැවත වෙනස් කල නොහැකි ලෙස මකබාස් ලෙස වෙනස් විය යුතුයි.

    ReplyDelete
  9. අර රත්තනපිටියෙද කොහොද පරණ බාස් කෙනෙක් ගැන කියල තිබුණෙ පරණ පෝස්ට් වගේක. එයා නැද්ද දැං?

    ReplyDelete
    Replies
    1. රත්මලානේ... ප්‍රේමතිලක මහත්තයා වෙන්න ඇති. එතුමා ළඟට ගිහින් වැඩේ කරගන්න වෙලාව කැපකරන්න පුළුවන් තත්වෙක නෙමෙයි මම හිටියේ... අනික වාහනේ හැම දේම එතුමාට තිතට තියෙන්න ඕනේ... එතුමාගේ ඩිමාන්ඩ් මීට් කරන්න මට රස්සාවෙන් අයින් වෙන්න වෙනවා...

      Delete
  10. ඔය වාහන හදන පොරවල් මාරයි බං , මට කාර් නැනේ මගේ බයික් එකේ වැඩ ඉතින් මම ම තමා කරගන්නේ , ඔය යන එනගමං දානවා ගැරිජ් එකට මට වෙලාව නැතුව හරි කම්මැලි හරි උනහම , ඌ ඉතිං පලාතටම වැඩ්ඩා , වැඩ ගන්ඩ අමාරුයි අම්බානට වැඩ , මං කරන්නේ බයික් එක දාල ....අහවල් එක කරල දීපං ...හැබැයි කොල්ලන්ට දෙන්ඩ එපා කියනවා ....මු කනුකුනු ගගා කියවනවා අරදවසට එන්ඩයි රැට එන්ඩයි අරකයි මේකයි , මං ඉතින් හොද කුනුහරප දෙකක් තුනක් කියල ...ඔය හදන්ඩ එන බයිසිකල් වල බල්බ් මාරු කරල දෙනවා , කේබල් දාල දෙනවා ....දැං ඔන්න පැයක් දෙකක් යනවා ...ඒත මගේ වැඩේ කරන්නේ නැ , ඊලගට ඌව බයිට් එකට ඇරං ඇණයක් වෙනවා... එතකොට ඌ මගේ වැඩේට අතගහනවා....

    දවසක් මම ඉන්නකොට මු කොයිල් එකක් චෙක් කරනවා වයර් එකක් බැට්රියට අමුනගන , පස්සේ මං බයික් එකේ පෙට්ටියෙං මගේ මල්ටි මීටරය අරගන ඒකෙං චෙක්කරන හැටි පෙන්නලා ... රීඩිංග් මතක තියාගනින් අහවල් ජාතියේ මෙහෙමයි ....අර බයික් එකේ කොයිල් එක ඕමස් මෙච්චරයි කියල ටික දවසක් ගියහම උඹට ලේසියි කියල

    අඩෙ ්මේක ලේසියි තමා කියපු හන්දා

    මට තව එකක් තියනවා උඹ මේක තියාගනිං කියල දීලා ආවා

    ටික දවසකින් මම ආයෙත් යනකොට මු වයර් එකක් අරං පරන වැඩේම කරනවා

    ඇ %කෝ කෝ මල්ටි මීටරේ

    මෝඩ හිනාවක් දාපු මු ෂෝකේස් එක දිහාට ඔලුව හැරෙව්වා

    තව හොද දෙකක් කියල මං මල්ටි මීටරය අරගන ආවා

    ReplyDelete
    Replies
    1. කාලෙකින් අටම් වෘත්තාන්තයක් කාර් පිස්සුවෙ දැකීම සතුටක්. ඇත්තටම මම හැමදාම හිතනවා ඇයි මේ යක්කුන්ට මල්ටි මීටරයක් ගන්න බැරි කියලා. දැන් තේරෙනවා උන් නිකං ලැබුණත් ඕක පාවිච්චි කරන එකක් නෑ කියලා...

      Delete
  11. Hane amme mage latu car wala wiring ekanam manma thama hadaganne, apema un karana repair aithikaarayo dakkoth ehema u, malli umbama wahane tiyaganin kiyala pothath genath dei... hitapu gaman waahana athule maru wel adhinawa..

    ReplyDelete
    Replies
    1. "මල්ලි උඹම වාහනේ තියාගනින් කියලා පොතත් ගෙනත් දෙයි"... මරු කතාව :D

      Delete
  12. මගෙ බයික් එක වයරින් කරමු අයියා (සුපිරි වැඩ්ඩෙන් හින්ද කට පුරා අයිය කියනව) මුුලු එකටම ගත්තෙ අඩියක විතර වයර් කෑල්ලක් විතරයි. ගානත් හෙනම අඩුයි. ඊට කලින් බයික් එක වයරින් කරපු කාලකන්නිය ඒවගේ තුන්ගුනයක් විතර ගත්තා වැඩේ කලෙත් කාලකන්නි විදියට.

    ReplyDelete
    Replies
    1. වැඩ්ඩා සහ කාලකන්නියා අතරින් මොකාද හම්බවෙන්නේ කියන එක තීරණය වෙන්නේ කර්ම ශක්තිය අනුව වෙන්න ඕනා... :)

      Delete
    2. කොහොමත් වැඩ්ඩ හම්බවෙන්න ඕනි එකට ලැබුනා. අර කාල කන්නිය china bike එකට එච්චර ගත්තනම් මේ Japan එකකට කොච්චර කියයිද?

      Delete
    3. එහෙනම් බයික් එකේ ඉලෙක්ට්‍රිකල් ටික හදලා බයික් එක විකුණලා බයික් එක හැදුවට ගාස්තුව ගෙවන්න තිබ්බා...

      Delete
  13. වැඩි දෙනෙක් කටින් තමයි බාස්. වැඩ ඔක්කම ඇටවිලි තියෙන්නෙ.මොනා හරි කරල අටවල දෙනව. හරියටම වැඩෙ දන්න කීයෙන් කීදෙනාද ඉන්නෙ.

    ReplyDelete
  14. ඔය ගැරෙජ් බාස්ලට ඉලෙක්ට්‍රික් වැඩ කරන්න දුන්නමත් ඔහොම තමයි. මගේ ස්ටාටර් මෝටරේ වදින්නෙ නැතුව ගැරේජ් බාස ඒක ගලෝල සොලනොයිඩ් අරව මේව හෙන කෑලි ටිකක් අලුතෙන්ම දැම්මත් ලෙඩේ එහෙමමයි. අන්තිමට ඉලෙක්ට්‍රික් වැඩ කරන තැනකට දුන්නම මිනිහ වයර් කෑල්ලක් අමුණල වැඩේ ගොඩ දාල දුන්න. අද වෙනකල් කිසිම ලෙඩක් නෑ.

    ඔය ලොකු ලොකු කියන මක බාස්ලට වැඩිය වැඩ දන්න පොඩි කොල්ලො අහල පහල රස්තියාදු ගහ ගහ ඉන්නකොට හොයාගන්න පුලුවන්. හැබැයි ඉතිං වෙලාව හොඳනං විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම කල්පනා කළේ ඔය රස්තියාදු ගහන එවුවෝ ඇත්තටම තමන්ගේ ජීවිතේ හදාගන්න උනන්දු වුණා නම් උනුත් ගොඩ අපිත් ගොඩ නේද කියලා...

      Delete
  15. hinawe pana yanawa saho. pissu katawa. nawakatawak kiyewwath me tharam gathiyak ne. thankuuuuu. heee.

    ReplyDelete
  16. තරිඳු ඉන්නේ මොර‍ටුව පැත්තෙද? පරන කතාවක් මතක් වුනා.පරන පෝස්ට් එක්ක මම කමෙන්ට් එකක් දැම්මා මගේ ඥාතියෙකෙ ‍ෆියට් 124 එකක් ගැන.ඒ කාර් එකේ තිබුනා ප්‍රශ්නයක් රෑට ගියොත් බැටරිය බහින ගතියක්. එයා ඒක වැඩ කාරයෝ කීප දෙනෙකුටම පෙන්නුවත් කිසිම කෙනෙකුට ලෙඩේ හදන්න බැරිවුනා..අපේ පැත්තේ හිටපු සුපිරිම ඔටෝ ඉලෙක්ට්‍රිෂියන් වන චන්ද්‍රපාල අයියා කිව්වා මහත්තයා මෙන්න මේ ඕල්ටර්නේටර් එක ගලවලා ඩයිනමෝ එකක් හයි කරමු කියලා. කොහොම හරි කාර් මාට් එකේ වැඩ කරපු කෙනෙක්ගෙන් දැනගන්න ලැබුනා එගොඩ උයනේ ඉන්න කෙනෙක් ගැන. එයා පරන ටෙක්නිකල් කොලේජ් වල ඉගෙන ගත්ත කෙනෙක්. පුත්තු දෙන්නෙක් එක්ක තමයි ගෙදර වැඩ කලේ.කොහොම හරි කාර් එක චෙක් කරපු ගමන් එයා කිව්වා මේකේ රෙගියුලේටරය ටිකක් ගැලපෙනවා මදි වෙන එකක් දාමු කියලා. ඒක කලා .ඊට පස්සේ ලෙඩේ සනීපයි. ටිකක් හොයලා බලන්න. නම නම් මට දැන් මතක නෑ.මොර‍ටුවේ ඉඳලා පානදුර පරන පාරේ යනකොට දකුනු අත පැත්තේ ගෙදරක් අඹගහක් මිදුලේ තිබුනා මතකයි.ඉලෙක්ට්‍රිකල් වැඩ කරව ගන්න අපි එයා ලඟට යවපු හැමෝම හොඳ තමයි කිව්වේ. හැබැයි දැන්නම් ඉන්නවද දන්නෑ මේ 1982 ව්තර කතාවක්.

    ReplyDelete
    Replies
    1. මම කියන කෙනා නම් පරණ පාරේ නෙමෙයි ඉන්නේ.
      පරණ බාසුන්නැහැලා ගොඩක් අය තාම ඕල්ටනේටර් එක්ක තරහයි. ඩයිනමෝම තමයි ඉල්ලන්නේ :)

      Delete
  17. සුපිරි අත්දැකීමක්,සුපිරි රසයකින් ලියලා! නියමයි. ජයෙන් ජය. ඉදිරියට නම් හොද විදුලි කාර්මිකයෙක් හොයා ගන්න ලැබේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හසිත...

      Delete
  18. හෆොයි...අපේ කකුල් හතරෙන්ම යන්න පුලුවන් ලමයගෙත් ඊලගට තියෙන්නෙ wiring තමා..ඔය කියනව වගේ මොනවයින් මොනා වෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
  19. හෆොයි...අපේ කකුල් හතරෙන්ම යන්න පුලුවන් ලමයගෙත් ඊලගට තියෙන්නෙ wiring තමා..ඔය කියනව වගේ මොනවයින් මොනා වෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. හොඳට බලලා හොඳ තැනකින් කරගන්න. නැත්නම් ප්‍රශ්න ගොඩයි. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න නිසා මගදී අමාරුවේ වැටීමේ ඉඩකඩ වැඩියි...

      Delete
  20. මටත් වොක්ස්වැගන් බිට්ල් අලුත් කාර් එකකට නම් පට්ට ආසාවක් තියෙන්නේ. හැබැයි ඉතින් ගෙවල් දොරවල් උගස් කලත් ගන්න බැරි තරම් ගණන් හෙහ් හෙහ්.. පරණ කාර් පදින එක ආතල් වැඩේ හැබැයි දිගින් දිගට කටු කන්න ගියාම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා ඔය සිද්ධියත් වුණාට පස්සේ සියල්ල සම්පූර්ණ වුණා. එදා ඉඳන් මම කාර් එකේ රට වටේ යනවා. කිසිම අවුලක් නැහැ. මේ ලිපියට කලින් ලියපු ලිපියේ මම ලිවුවා වගේ අපි අනුරාධපුරෙත් ගිහින් ආවා මේකේ. පරණ කාර් වලට දිගින් දිගටම කටු කන්න වෙනවා කියන කතාව සම්පූර්ණ ඇත්තක් නෙමෙයි. ඔය බොරුවට එක්ස්පර්ට් ලා කියන අය ගාවට යන්නේ නැතුව හරි කෙනා හොයාගන්න පුළුවන් නම් එච්චරයි.

      Delete
  21. මගෙත් ලාන්සර් ප්‍රොජෙක්ට් එක දැන් සෑහෙන දුරට ඉවරයි. ඉලෙක්ට්‍රික් වැඩ තියෙනවා. මේක දැක්කම බය වුණා කියහංකො.... මට නම් ඉලෙක්ට්‍රික් වලට හොඳබාස් කෙනෙක් ඉන්නවා.. හැබැයි ඉතින් මිනිහව අල්ල ගන්න ලේසි නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔතන තමයි කේස් එක එන්නේ. හොඳ බාස් ව අල්ලගන්න බැරි වෙලා අපි යන විකල්ප තමයි අපේ ජීවිතේට මාරක කතා එකතු කරන්නේ :D

      ලාන්සර් ප්‍රොජෙක්ට් එක කිව්වේ බොක්ස් එකක්ද? නැත්නම් වෙන මොකක්හරිද?

      Delete
  22. ඔය තියෙන්නෙ ලස්සනට! වාහන කෙරුවාවෙ තියෙන ලොකුම අවුල බාස්ල එක්ක ඩීල් කරන්න වෙන එක. උඹලා ඔය ක්ලැසික් වාහන ගොඩ දැමිල්ල ගැන කතා කරනකොටම මට මතක් වෙන්නේ බාස්ල එක්ක ඔය වැඩ කරන හැටි. මේ කමෙන්ට් එක දාන මොහොතෙත් මගෙ කොල්ලා වාහනෙත් එක්ක ගරාජ් එකක ටයිරොඩ් එන්ඩ් බුෂ් දානවා. කොල්ල උදේ ඉඳං එතන. ඊට පස්සෙ යන්න ඕනෙ අලයින්මන්ට් තියන්න. මම මෙතන ඉඳං කොල්ලත් එක්ක කතාව. මම හිතුවෙ මේක පැයක දෙකක වැඩක් කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් මේ දැන් අලුත් සයිලන්සරයක් දාන්න ගිහින් වරුවක් ගරාජ් එකේ ඉඳලා ගෙදරට ගොඩවුණා විතරයි. :D

      Delete
  23. somewhere I have heard that the car 'BEETLE" is so enchanting with guys because it's shaped like a woman's hip front elevation . Don't know whether it is true or not

    ReplyDelete
    Replies
    1. Not true Kumara. We have many other reasons to love Beetles. :)

      Delete
  24. මොනවා උනත් ලංකාවේ බාස්ලා සහ garage වල කොල්ලන්ගේ දනුම හොඳයි . මගේ peugeot 307 එකේ engine එක respond කරන්න සමහර වෙලාවට ටිකක් වෙලා ගන්නවා. Service එකේදී කිව්වාම OK we will check it for you sir ...කියල ගන්න ගියාම කියනවා system එකේ පෙන්නන්නේ නෑ . error message එකක් ආවාම scan කරලා බලන්න එන්නලු. මේ UK වල. ලංකාවේ මගේ corsa එක හදපු ගොඩක් තැන්වල හිටපු කොල්ලෝ කියපු ගමන් ලෙඩේ අඳුන ගන්න දස්සයි.

    ReplyDelete
  25. එක බාසෙක් මගේ බයික් එකේ වයර් හනස්සම දාන්න ඕනි කීවෙ මීට අවුරුදු 5කට කලින්. අනිත් බාස් මට වැඩේ කරල දුන්නෙ වයර් මීටරේකින්.තාම අවුලක් නෑ..

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මං ඉස්සිස්සෙල්ලා ම කියල ගත්තෙ KE74 වැගන් එකක්. තට්ටුව විතරයි දිරල තිබ්බෙ. දවසක් ගේට්ටුවක පැටලිලා බෆර් එක ඩැමේජ් වුණාට පස්සෙ බෆර් එක හදන්න කියල දැම්ම ටිංකරිං බුවෙක් ගාවට. විනාඩි 10 ක් යන්න කලිං ‘පුතා, මේකෙ මෙතැන දිරල, අතන දිරල’ කියල බීඩිං අස්සට නියනක් ගහල හූරන්න පටන් ගත්ත. මාත් ඒ දවස්වල මෙලෝ හසරක් දන්නෙ නෑ නෙ. අන්තිමට අතේ තිබ්බ විසිදාහ ගලවගත්ත ඇඩ්වාන්ස් කියල. ඊළග දවසෙ යද්දි මේකා වාහනේ හමගහලා. අසූවක් විතර යයි පුතා, හෙමීට දෙන්න, අපරාදෙනෙ එකවැරම දිරුම් ටික හදාගමු කියල දෙවැනි පාරටත් ඇන්දුවා. මාත් ඇදගෙන ඇවිත් මාස 8 ක් තිස්සෙ ලක්ෂ එකහමාරක් වෙනකල් ගෙවුවා. මාස නවයකට පස්සෙ වාහනේ වැඩ ඉවරයි. අගේට තිබ්බ Dash Board එක පොල් අත්ත වගේ. මීටර් එකක්වත් වැඩ නෑ. ඔරිජිනල් අපොස්ටින් අළුතින් දාන්න තැනක් තියෙනව කියල පන්දාහක් ගත්තා. අන්තිමට තිබ්බ එකත් නෑ. තව එකෙක්ට පන්දාහක් ආපහු දීලා බාල අපොස්ටින් ගහගත්තා. පිටිපස්සෙ දොරේ ෂොකට් දෙක බහින හින්දා අලූතින් දෙකක් දාන්න කියල තව දහයක් ඉල්ලුවා. මං කිවුවා පස්සෙ දෙනකම් දාලා දෙන්න කියල. මිනිහ දවස් දෙකකට පස්සෙ ෂොකට් දෙක දාලා දුන්නා. මාසෙකින් දහයක් දීපන් මල්ලි කියලා. වාහනේ ඇරන් ඇවිත් දවස් දෙකෙන් ෂොකට් දෙක බැස්සා. බලද්දී තිබ්බ දෙක ම අටවලා දීලා. උගෙ අම්මව මතක් කරගෙන වයරින් කරන්න ගියා ම මීටර් බෝට් එකේ පිටිපස්සෙ එක වයර් එකක්වත් නෑ. හම ගහලා. ආපහු අලුතින් මීටර් බෝඞ් එකක් හොයාන ගියා. බ‍්‍රෑන්ඩ් නිව් එකක් ගෙන්නලා දෙන්නම් කියල මුස්ලිම් කඬේකින් කිවුවා. කියපු දවසෙ යද්දි බඩු ගෙනැත්. මුදලාලි නෑ. ගෝලයා කිවුවා දෙදාහක් දෙන්න මහත්තයා කියල. දහයක් කියපු බඩුව දෙදාහට අරන් ඇවිත් හයි කරා. මාස දෙකක් යද්දි පේන්ට් එක බුබුලූ නගින බෙලි කටු. කැට්ලොයි පුරවල. බාසාට හෙණ ගහපන් කියලා හොදට පේන තැනක ලියලා අවුරුදු එකහමාරක් උදේ හවස වන්දනා කළා. අන්තිමට ලක්ෂ තුනක් පාඩු කරගෙන වාහනේ දුන්නා. මේ ළගදි රත්නපුරේ ගිය වෙලාවක එහෙ ගැරේජ් එකක ආපහු වාහනේ මස් කරලා තියෙනවා දැක්කා.

    ReplyDelete