Saturday, May 15, 2021

පන්දාස් තුන්සිය තිස් තුනට මොකද වුණේ?

 

පස්යාලේ ෂෙඩ් එකේ ඉඳලා වාහනේ පාරට ගත්තම තමයි ඇත්තටම තේරුණේ, කොරෝනාව ලෝකේ කොච්චර දුරකට වෙනස් කරලද කියන එක!

දවස දෙදාස් විස්සේ නොවැම්බර් විසි තුන. වෙනදට මාරි පැකට් එකේ මාරි ඇහිරුවා වගේ හොම්බට පු* වාහන පැක් වෙන නුවර පාර එදා ඇඳිරි නීතිය දාන්න කලින් දවසේ රෑ කීල්ස් එකේ රාක්කයක් වගේ හිස්. බස් හෝල්ට් වල, අනාගතේ අඳුරින් සරුවාංගේ වැහිලා ගිය, කෙට්ටු වෙමින් තියෙන මූණු වලින් වැඩකට නැති රෙදි මාස්ක් පහළට රූටමින් තියන, මීටරේක දුරකින් ඒත් කිලෝමීටරේක බයකින් ඉන්න මිනිස්සු. ඒ බස් හෝල්ට් වලට නොදුරු-නොළං දුරවල් වල නවත්තගෙන, මඳ මඳ රූං රූං හඬින් හඬන ලේලන්ඩ් බස්. විස්සට තිබ්බ විට පනහට ගිය එක ගැන විස්සෝප වෙන කොන්දොස්තරලා. උන්ට සැනසිල්ලට වචනයක් කියන, ලොතරැයි කඩවල ඉඳන් තමන්ට වඩා වේගෙන් ලෝකය වයසට යනවා බලං ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. පරණ කඩවල් වැහිලා ගියාට පස්සේ ඇරිච්චි අලුත් කඩවල් පාලුවට යන්න කලින් ආයාසෙන් පාලු කපන නේක වර්ණ බල්ලෝ. 

මට එකපාරටම ගිල්ටි හැඟීමක් දැනෙන්න ගත්තා. 

"ඇයි අපි මේ වගේ ලෝකෙකට තව එකෙක්ව ගේන්නේ?"

ඒත්, වෙනස් වුණු පන්දාස් තුන්සිය තිස් තුනේ එන්ජිමෙන් ආපු විසිල් එකත් එක්ක, ඒ ගිල්ටි හැඟීම හුළඟෙ ගහගෙන ගියා. ඒත් එක්ක මම හිතන්න ගත්තා පන්දාස් තුන්සිය තිස් තුන සහ මම එකිනෙකා එක්කක ගනුදෙනු කරපු හැටි ගැන. අපි කීයක් අත්හදා බැලීම් කළාද! කොච්චර දුරක් ගියාද! කීයක් දේවල් වෙනස් කළාද! කීයක් දේවල් අපිව වෙනස් කළාද!

කාර් එකක් කියන්නේ හරි කෙනා අතට ගියොත් දෛවයක්. වැරදි කෙනා අතට ගියොත් ඉරණමක්!




හයිවේ එකේ toll booth එකට ආවම මට ආයෙත් ජීවිතේ වෙනස් වීම ගැන දැනෙන්න ගත්තා. වෙනදට ටිකට් අරං කෙළින්ම පර්ස් එකේ ඔබාගෙන, exit එක එනකොට පන්සීයේ කොළයක් එක්ක එළියට ගන්නේ කෞශි. අද මම තනියම. කෞශි හිටපු තත්වේ අනුව එයාට මේ ගමන එන්න ලැබුණේ නෑ. මම ඉතින් කාටුන් පූසෙක් කාටුන් මීයෙක් අල්ලන්න දඟලන තරම් කාටුන් අමාරුවකින් ටිකට් එක පොකට් එකේ ඔබාගෙන වාහනේ හයිවේ එකට දැම්මා.

වෙනස තේරුණේ පැඩ්ල් එකට හායි මචං කියන ඉක්මනට වාහනේ පැයට කිලෝමීටර් සීයට ආවම. මම හෝව් මචං කියල පොඩ්ඩක් ස්ලෝ කළා. සාමාන්‍යයෙන් මම කැමති අනූවයි සීයයි අතර යන්න. සීය ටාගට් කළොත් අපි දන්නෙම නැතුව එකසිය විස්සට යනවා. ලංකාව වගේ රටක, වැඩිය දියුණු තාක්ෂණයක් නැති වාහනේක එකසිය විස්සට යනවා කියන්නේ අන්නාසි වත්තක බල්ටි ගැහිල්ලක් කියල තේරුම් ගන්න තරමට මම දැන් වයසයි. අනික මම මේ පන්දාස් තුන්සිය තිස් තුන ඩ්‍රයිව් කරන්නේ මාස ගාණකට පස්සේ. 

පළවෙනි කොරෝනා වටයේ ලොක්ඩවුන් එක්ක අපට මුලින් ටාගට් කරපු කාලේ වාහනේ වැඩ ඉවර කරන්න බැරි වුණා. ඒ මාස කීපයේ අපේ ගමන් සගයා වුණේ අපේ ඔස්ටින් මිනි එක. ඒත් මිනි එකේ දඟකාරකම් විඳින අතරම, බීට්ල් එකේ තැන්පත් පරිණතකම නැති අඩුව අපට නොසෑහෙන්න දැනුණු වෙලාවල් තිබුණා.





අපි පන්දාස් තුන්සිය තිස් තුන තව හැඩ කරලා ගන්න තීරණය කළේ ලංකාව පුරා යන සංචාර කීපයක් හිතේ තියාගෙන. ඒත් ඒ ප්ලෑන් ඔක්කොම වසංගතේ නිසා වහංගත වෙලා ගියේ, බෙංගාල බොක්කට මලපැන්න වෙලාවක අතමානේ හිටපු සරුංගල් ගැන්සියක් ගාණට. ප්ලෑන් ෆ්ලකෑෂ් වෙන සමහර වෙලාවට ජීවිතේ ඇතුළේ ඇතිවෙන හිස්තැන් දරාගන්න අමාරුයි. 

එහෙම දරාගන්න අමාරු වෙලා හිටපු වෙලාවක තමයි අපේ ජීවිතේට අලුත් අමුත්තෙක් එකතු වෙන්න එනවා කියල දැනගන්න ලැබුණේ. ඉතින් අපි තීරණය කළා එයාගේ පැමිණීම වෙනුවෙන් පන්දාස් තුන්සිය තිස්තුනේ අලුත් වෙනස කැපකරන්න.

අපි කරපු වෙනස්කම් වලින් කීපයක් මෙහෙම ලියන්නම්. 

1. පාට වෙනස් කළා. ටූ-ටෝන් පේන්ට් එක වෙනුවට මේ පාර තනි පාටකට යන්න හිතුවා. අපි අන්තිමට තෝරගත්තේ බැංකොක් වල කාර් එකක තිබ්බ කොළ පාටකට සමාන කොළ පාටක්. තරිඳු මල්ලි ඒ පාට මැච් කළා. 

2. ඉන්ටීරියර් සම්පූර්ණයෙන්ම අලුත් කළා. 

3. වීල් සෙට් එක තිබුණේ ස්පේසර් ගහලා දාපු ජපන් සෙට් එකක්. ඒ වෙනුවට ඔරිජිනල් VW ඇලෝයි වීල් සෙට් එකක් දැම්මා. 

4. අලුත්ම ටයර් සෙට් එකක් දැම්මා. 

5. ස්ටියරින් බොක්ස් එක අලුතින් තිබ්බා. 

6. එන්ජින් එක සම්පූර්ණයෙන්ම චෙක් කළා. පැත්තකින් එල්ලලා තිබුණු ජපන් ඕල්ටනේටර් එක වෙනුවට ඔරිජිනල් එකක් තිබ්බා. අලුත්ම බැටරියකුත් දැම්මා. 

7. බීඩින් සෙට් එකක් අලුතින් දැම්මා. 

8. බඳේ නිකල් පටි සෙට් එක අලුතින් දැම්මා. 

9. බ්රේක් සිස්ටම් එක හැදුවා. 

10. සයිලන්සර් එකේ සීරුමාරු වැඩ ටික කරලා, අලුත් Exhaust fittings kit එකක් එක්ක සයිලන්සර් බට අලුතින් දැම්මා. සයිලන්සර් එක කොහොමත් මම මාස කීපයකට කලින් අලුතින් තියල තිබ්බේ. 

ඔන්න ඔහොම තව වැඩ ගොඩක් කළා. 



මට හොඳට මතකයි, road trips සහ Beetle Owners' Club එකේ events වලට වඩා හාත්පසින්ම වෙනස් අරමුණක් ටාගට් කරන්න වෙලා තියනවා කියන්න මම පස්යාල VW Repair Center එකේ තරිඳු මල්ලිට ගත්තු කෝල් එක.

"මල්ලි. ප්ලෑන් ටික වෙනස් වෙනවා. කෞශි ප්‍රෙග්නන්ට්."

තරිඳුවා එක මොහොතක් ගත්තා උත්තර දෙන්න.

"අම්මට සිරි!" ඌ කිව්වා. "අයියේ අපි බීට්ල් එක හදලා පොඩි එක්කෙනාව ඒකෙ ගෙදර ගේමු!"

මම කියන්න හදපු එක මට කලින් තරිඳු කියල දැම්මේ එහෙමයි. කාර් පිස්සන්ගේ ඔළුගෙඩි වල කරන්ට් එක දුවන්නේ එකම රිද්මයකට! 

(පස්යාලේ සෙන්ටර් එක සහ තරිඳු ගැන දවසක වෙනම ලියන්නම්). 






ඒ මොහොතේ ඉඳන් අපි අපේ වැඩ කටයුතු ටික වේගවත් කළා. තරිඳු මල්ලි එයාගේ ෆුල් අවධානය පන්දාස් තුන්සිය තිස් තුනට යොමුකළා. කවදත් අපට හැකි උපරිමයෙන් සප් එක දෙන Lanka Automobiles එකේ ජයකුමාර් අවශ්‍ය පාට්ස් ටික ටක් ටක් ගාලා සැපයුවා. තරිඳුගේ පැත්තෙන් සපයාගන්න අවශ්‍ය වුණු පාට්ස් ටික වෙලාවට කලාවට ආවා. ඉන්ටීරියර් ටික මට ෆොටෝ බලං උඩ පනින්න පුළුවන් වෙන තත්වෙට කෙරුණා. 

මේ ක්‍රියාවලිය පුරාම මට මැදිහත් වෙන්න වුණේ සීමිතව. මොකද කෞශි ඇතුළුව පවුලේ හැමෝගෙම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න වෙලා තිබුණු නිසා. ඒ තත්වය තේරුම් අරගෙන, පස්යාලේ තරිඳු ඇතුළුව, පන්දාස් තුන්සිය තිස් තුනේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු හැමෝම තමන්ගේ උපරිමය ඒකට කැපකළා.


පස්යාලේ තරිඳු සහ එයාගේ VW Repair Center එක


අන්තිමට නොවැම්බර් විසි තුන්වෙනිදා පස්යාලේ ගිහින්, වෙනස් වෙච්චි කාර් එක ඉස්සරලාම හැබැහින් දැකපු වෙලාවේ මට දැනුණේ, මෙච්චර කල් ෆොටෝ වලින් විතරක් දැක්ක Gal Gadot ව ඇත්තටම දැක්කා වගේ. ඒ හැඟීම ඩබල් වුණේ, කාර් එක ගෙදර ගෙනැල්ලා නවත්තපු වෙලාවේ කෞශි කියපු දේත් එක්ක.

"මට දැන් ඉවසිල්ලක් නෑ පොඩි එක්කෙනාව මේකේ එක්කං එනකල්!"

අපි දෙන්නා ඒ වෙලාවේ ඉඳන් පැයක් විතර කතා කළා අපේ කාර් ඉතිහාසය ගැන. ලාන්සර් බොක්ස් එකකින් පටන් අරං, හැටේ බීට්ල් එකක්, පනස් හතරේ මයිනර් එකක්, හැත්තෑ තුනේ බීට්ල් එකක් සහ හැට එකේ ඔස්ටින් මිනි එකක් හරහා අපි ගෙවපු ජීවිතේ ගැන. ඉස්සරහට කොච්චර දේවල් වෙනස් වේවිද කියන එක. සමහර විට කිසි දෙයක් වෙනස් නොවෙන්නත් ඉඩ තියනවා කියන එක. ඒත් වැඩි ඉඩක් තියෙන්නේ බොහොමයක් දේවල් හිත රිද්දන තරමට වෙනස් වෙන්න කියන එක. 

අපේ තාත්තා ජීවතුන් අතර හිටියා නං කොච්චර සතුටු වෙයිද කියන එක.

අවුරුදු අටකට කලින් පන්දාස් තුන්සිය තිස් තුන ගන්න සල්ලි දුන්නේ තාත්තා. පොඩි එකෙක්ගේ මූණ බලන්න අපි කාටත් වඩා ආසාවෙන් හිටියේ තාත්තා. මගේ ක්ලැසික් කාර් කෙළියට සැරින් සැරේ මුක්කු ගැහුවෙත්, ඒ මුක්කු වලට උදලු පාර දුන්නෙත්, උදැල්ලට කැඩුණු මුක්කු ආයේ සෙට් කළෙත්, එහෙම සෙට් කරලා ආයෙත් උදලු පාර ගැහුවෙත් තාත්තා. ඒ කතාව මම වෙන තැනක ලියල තියනවා.


ගෙදර ගෙනාපු දවසට පහුවෙනිදා 





අන්තිමට අපි කතාව වෙනස් කළා. මොකද මනුස්ස සොබාවේ ගැන වැඩිදුර හිතන එක කඹයක් නැතුව ලෝකාන්තෙට බහිනවා වගේ වැඩක් නිසා. අපි ආයේ කාර් ගැන කතා කරන්න ගත්තා. අපි හැමදාමත් ගන්න ආසාවෙන් හිටපු, ඒත් ගන්න බැරිවුණු කාර් ගැන. සමහර විට කවදාවත් ගන්න බැරි වේවි කියල හිතෙන කාර් ගැන. ඒ වගේම, අද බැරි වේවි කියල හිතුණත්, හෙට ගන්න ලැබෙන්න ඉඩ තියන කාර් ගැන.  




එදා රෑ නිදාගන්න කලින් මම ආයෙත් පාරක් ගරාජ් එකට ඇවිත් පන්දාස් තුන්සිය තිස් තුන දිහා බලාගෙන කල්පනා කළා. පාරේ ලයිට් කණුවෙන් විහිදිච්චි සුදු පාට එළිය මේ අලුත් බැංකොක් කොළ පාට පුරා ඉහිරිලා යමින් තිබුණා, හරියට කොළ පාට ඇපල් කේක් එකක් උඩට හිතුමනාපෙට දාපු සුදු පාට අයිසිං පාරක් වගේ.

අර සිතිවිල්ල ආයෙත් මගේ ඔළුවට ආවා.

"කාර් එකක් කියන්නේ හරි කෙනා අතට ගියොත් දෛවයක්. වැරදි කෙනා අතට ගියොත් ඉරණමක්!"  

 

- තරිඳු ශ්‍රී ලොකුගමගේ

15/05/2021 

(මේකේ දෙවෙනි කොටස ඉක්මනට ලියන්න බලන්නම්. මට ඒක හරියට ෆෝකස් කරලා ලියන්න ඕනේ.)


මගේ නවකතා දෙක. ඔයිල් පැල්ලම තනිකරම කාර් කතාවක්. 






Thursday, May 14, 2020

Vespa 400 - ඉතිහාසයේ ප්ලාස්ටික් අකුරින් වත් නොලියැවුණු ඒ පුංචි පැංචා

www.motor1.com

ඔබට ඉස්සරලාම ඇහෙන්නේ, සුරුට්ටු උරන සියාතු සීයාගේ කට වගේ පොහ් පොහ් ගාන සයිලන්සරයක් තියන 80 දශකයේ ත්‍රීවීලර් එකක්, කොහේ හරි ස්ටාර්ට් එකේ තියාගෙන ලොටනවා වගේ හඬක්. සමහර විට ඩ්‍රයිවර්ට කෝල් එකක් ඇවිත් අයිනකට කරලා නවත්තලා කෝල් එක ගන්නවා ඇති, ඔබ එහෙම හිතාවි. ඒත් එක්කම ඔබට හිතෙන්න ගන්නවා, නෑ මේක ත්‍රීවීලර් එකක් වෙන්න බැහැ, මොකද මේකේ සද්දේ ඊට වඩා පොඩි අමරදේවීය ගැඹුරක් තියනවා කියලා. 

මම මේ කියන්නේ වීඩියෝ එකක් ගැන. අවදානම් දිස්ත්‍රික්කයක හෝ සෙසු දිස්ත්‍රික්කයක, ඔබ මෙතෙක් හිටියාද කියලවත් නොදන්නා පවුලේ සාමාජිකයන් අතර හිරවෙලා ඉන්න කාලයක, මොහොතක ගැලවීමක් පතා ෆෝන් එක කියන කන්දේ ඉඳන් අන්තර්ජාලය කියන පල්ලමට පැන්න වෙලාවක ඔබේ ඉල ඇට චටබට ගා කඩා දමන ගල් කුළක් වගේ වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ඔබ අහන්නේ ඇස් වහගෙන කියල හිතන්න. සමහර විට ඔබට නිදිමත ඇති. නැත්නම් ඔබට පික්ෂු ඇති. මොක වුණත්, ඔබ මේක අහන්නේ ඇස් පියාගෙන.

"යකෝ කාර් එකක් වත්ද? ෂුවර් එකටම පරණ මොඩ්ල් එකක මයිනර් එකක් වෙන්නැති. නැත්තං ෂුවර් එකටම ඔස්ටින් A30 එකක්."

ඔබට එහෙම හිතේවි. තවදුරටත් කුතුහලයෙ කිමිදෙනවට වඩා, මෙච්චර වෙලා ඔබ ඔබේ නිදිමත හෝ පික්ෂුව නිසා ඇස් වහගෙන සද්දේ විතරක් අහපු වීඩියෝව දිහා, ඇස් ඇරලා බලන එක හොඳයි. මොකද හරියටම ඒ මොහොතේදී වීඩියෝව මෙහෙයවන කෙනා, එන්ජින් ලිඩ් එකක් ඇරලා අපට එන්ජිම පෙන්නවා. එන්ජිම තියෙන්නේ වාහනේ ඉස්සරහ නෙමෙයි, පිටිපස්සේ. 

ඒක එන්ජිමක් නෙමෙයි, පුංචි හදවතක්! 

සමහර විට වෛද්‍ය විද්‍යාලවල ඉඳන් සත්තුන්ගේ හදවත් පහුරු ගගා මිනිස්න ආත්මය කියන ව්‍යාධියට බේතක් හොයන වෛද්‍ය පැංචලාට මේ වගේ අත්දැකීම් ලැබෙනවා ඇති. එහෙම නැත්තං, කවදාහරි පිටසක්වළ යානයක් ලංකාවට කඩා වැටුණු දවසක ඒ යානයේ ඇතුළේ ඉඳලා එළියට ගන්න, පණ තියන ජීවියෙක් වෙනුවට ඉන්න ඒජන්ත රොබෝවෙකුගේ පපුවේ තහඩු කැබැල්ල ගලවලා බලද්දී ඇතුළේ මිකැනිකල් හදවත ගැහෙන විදිහ ගැන හිතමින් ඉන්න ප්‍රබන්ධකරුවෙකුගේ ඔළුවේ මේ වගේ දේවල් මැවෙනවා ඇති. 

owlshead.org

ඊට පස්සේ, වීඩියෝව හසුරුවන කෙනා එන්ජින් ලිඩ් එක වහලා අපට වාහනේ ටිකක් හොඳට පෙන්නනවා. ඇත්තටම ඒක චූටි ගෙඹි පැටියෙක් වගේ වාහනයක්. ඇත්තටම පාර දිගේ තඩි ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගියොත් ඒ කාර් එක කටින් උස්සලා දෙපැත්ත ගහයි කියලා හිතෙනවා. ඒත් ඒ ගෙම්බාත්මක බව ලස්සනයි. අහිංසකයි. අතීතකාමය අවුස්සනසුලුයි. 

classiccarsbay.com

ඊට පස්සේ අපේ වීඩියෝකරුවා වාහනයට නැගලා ඒක පදවන්න සූදානම් වෙනවා. ඔබට පැහැදිලියි ඒක කළුතර කොළඹ කසිකබල් ඒ.සී. බස් එකක ජම්පින් සීට් එකක ඉඳගත්තා වගේ අත්දැකීමක් බව. ඩෑෂ් බෝඩ් එක හරියට මහමෙව්නාව ඉස්මොල්ලේ ගිය තරුණ උපාසිකාවක් වගේ ඛේදනීය මට්ටමකට චාම්. ගියර් ලීවර් එක හරියට හූනෙකුට කන්න දෙන්න බත් ඇටයක් ගහලා බිත්තියට උස්සන ඉරට්ටක් වගේ. 

Flickr

ඒත් එක්කම වීඩියෝකරුවා වාහනේ පණ ගන්වලා ඉස්සරහට ගන්නවා. ඔබ පනහේ දශකයේ වාහන, විශේෂයෙන්ම ඔස්ටින් මොරිස් වාහන හදාපු එංගලන්තයේ BMC එකේ වාහන එළවලා තියන කෙනෙක් නම්, ඔබ එකපාරට අහෝමඥ්ඥං වී යනවා. 


"අම්මටසිරි. ඒ සද්දේ පුරුදුයි නේ. යකෝ මුන් මේක වෙස්පා කිව්වට තියල තියෙන්නේ BMC එන්ජිමක් වත්ද?"

නෑ. ඔබ වැරදියි. වැරදියි කියන්නේ, ඉස්සරලාම කොරෝනා ගැන අහලා, අපෝ ඕක චීනෙන් පිට යන එකක් නැහැ නේ කියලා හිතලා, 2020 අප්‍රේල් වල බක්මහ අකුණු අස්සේ නෑනා කැන්දගෙන එන්න හෝටලේ බුක් කරපු මස්සිනෙක් තරමට වැරදියි. 

මොකද මේකේ තියෙන්නේ BMC එන්ජිමක් නෙමෙයි. මේකේ මොඩ්ල් නේම් එක Vespa 400. මේකේ එන්ජිම ඉතාලියේ Piaggio එක ඩිසයින් කරපු එකක්, හැබැයි කාර් එක හදලා තියෙන්නේ ප්‍රංශයේ. 

"ප්‍රංශයේ? එතකොට පර්ජෝ එක ඇෆ්ගනිස්ථානයේද?" කියලා ඔබ අසාවි (ඒක ගිහිං අහන්න උන්ගෙන්). 

Piaggio එක මේ කාර් එක සැලසුම් කළේ ප්‍රංශයේ ACMA (Ateliers de Construction de Motocycles et Automobiles) එක්ක එකතු වෙලා. ACMA එක 1957 ඉඳන් 1961 දක්වා මේ කාර් එක හැදුවා. කාර් එක ඉස්සරලාම එළිදැක්වුවේ 1957 අවුරුද්දේ පැරිස් මෝටර් ෂෝ එකේදී. ඊට කලින් ඒ අවුරුද්දේ සැප්තැම්බර් 26 වෙනිදා Monaco වලදී තඩි අඬබෙරයක් වගේ මාධ්‍ය හමුවක් තිබ්බා. ඒ මාධ්‍ය හමුවට ලෝකේ ඒ වෙද්දී ප්‍රසිද්ධ වෙලා හිටපු ධාවන ශූරයෝ තුන් දෙනෙකුත් සහභාගී වුණා.  

Pinterest


ඒ වෙනකොටත් Piaggio එකේ Vespa එක, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තමන්ගේම කියල අනන්‍යතාවක්, නිදහසක් සහ සංස්කෘතියක් හොයමින් හිටපු දහස් ගණනක තරුණ තරුණියන් පිරිසකගේ ආදරය දිනාගෙන තිබ්බේ. ඉතිං එහෙව් නමක් මුලට ඈඳීලා, කලාතුරකින් හෝ ස්කූටරේ පෙරළිලා හොම්බ සූරාගැනීමේ අවදානම අවම වෙන විදිහට තවත් රෝද දෙකකුත් එක්ක, කවදාහරි නිදහස ඉස්මොල්ලේ ගිහිං පෙළවහක් කරගෙන දෙක දෙගුණ කරගත්තට පස්සේ දෙයියනේ  කියල ගෙදරින් එළියට බැහැලා යන්න හදනකොට 'අනී මටත් ආච්චි බලන්න ඕනෑහෑහෑහෑ' කියල අඬන පොඩි එකෙක් දෙන්නෙක්ගේ කරදරෙන් ගැලවෙන්න උන්වත් සාඩින් කරලා පටෝගෙන යන්න පුළුවන් වෙන්න, ඉඩක් කිව්වට ඉඩක්ම නොවෙන ඉඩක් එක්ක දොරට වැඩපු මේ වාහනේ දැක්කම සමස්ත ප්‍රංශුවන්ට සහ වෙනත් ශුවන්ට ශරීරයේ යම්කිසි ස්ථානයක සියුම් ආර්ද්‍රතාවක් දැනෙන්න ඇති. ඒ නිසාම නිෂ්පදකයොත් ලොකු බලාපොරොත්තු තියාගන්න ඇති. 

මුල් අවුරුද්දේ, ඒ බලාපොරොත්තු සිරා ඕයි කරමින් කාර් 12,000 කට වැඩි ගාණක් අලෙවි වුණා. 

allinvespa.blogspot.com/


ඒත් හැබැයි ඒ අවුරුද්දේ ප්‍රොෆිට් එකෙන් මික්ස් රයිස් එකක් ගන්න පරක්කුවට, මේ පුංචි ගෙඹි පැංචාට වැඩේ කෙළවෙන බව දැනෙන්න ගත්තා. කාර් එක හිච්චි වුණාට ඇඳිරිනීතියට පස්සේ පළවෙනි වතාවට බාර් පෝලිමකදී තමන්ගේ සිහිනය සැබෑ කරගත්තු අවංක බේබද්දෙක් වගේ තෙල් බොන්න ගත්ත නිසාත් (මේක නං පස්සේ කාබරේටර් එක පොඩ්ඩක් සීරුමාරු කළාම හරි ගියා ලු), විවිධ මාදිලි හඳුන්වලා දුන්නත් හොඳම මාදිලියටත් අසූවට එහා යන්න අමාරු වුණු නිසාත්, ටූ ස්ට්‍රෝක් එන්ජිමක් එක්ක ජීවත් වෙන එක පර්චස් පහේ ඉඩමක නරියෙක් හදනවා වගේ වැඩක් නිසාත්, ලෑල්ලට පාගනකොට මොරටුවේ ලොකුම ලී මඩුවේ ටොකන් ගහගෙන ඉන්නවා වගේ දැනෙන නිසාත් වැඩේ හිතපු මට්ටමට ගොඩදාගන්න පුළුවන් වුණේ නැහැ. අන්තිමට 1961 දී Vespa 400 එක සමුගැනීමේ තරගයක් නැතුවම සමුගත්තා. 

දුකක් වගේ හිතුණා නං, ඒ දුක වැනිෂ් කරන ජෝක් එකක් විදිහට හිතාගෙන, මේ මූලික විස්තර ටික කියවන්න. 

එන්ජිම: 394cc two stroke, 2 cylinder, air cooled 

ගියර් බොක්ස් එක: 3 speed manual 

බලය: 14bhp 

උපරිම torque එක:  27Nm 

උපරිම වේගය: පැ. කි. 80 ක් වගේ. එච්චරම හිතන්න එපා ඒ ගැන.

0 ඉඳන් උපරිම වේගයට යන්න යන කාලය: තත්පර 58 ක් දාලා දෙන්නම් ඔයාට නිසා. 

සේෆ්ටි: පිස්සුද ඕයි තමුසෙට?  

Vespa 400 කියන්නේ ඉතිහාසයේ රන් අකුරින් තියා ප්ලාස්ටික් අකුරින් වත් ලියවිච්චි කාර් එකක් නෙමෙයි. ඒත්, 'Vespa' කියන නමත් එක්ක අපේ තියන සදාකාලික 'දූදරුවෝ යශෝධා/තණමල්විල යශෝධා' මෙව්වා එක නිසා, කවදාහරි පිටරටකදී හරි අවස්ථාවක් ආවොත් එයින් එකක් ගෙනත් වත්තේ දාලා, වෙනම මඩු කෑල්ලකුත් ගහලා, අහන උන්ට 'දෙන්නේ නෑ හදන්න ඉන්නේ' කිය කියා, උන්ගේ හිත්වලින් නැගෙන කුණුහරුප වල උණුසුම විඳ විඳ ඉන්න වුණත් හිතෙන්න ඉඩ තියනවා. 


- තරිඳු ශ්‍රී ලොකුගමගේ 

පොත් එකතුව - Soi 11 ප්‍රකාශන
www.facebook.com/Soi11byTharinduSri



Monday, April 6, 2020

අමීර්, මහීමා, ඓශ්වර්යා, හැරී, මේගන් හරහා එංගලන්තයේ සිට ජිනීවා බලා ලෑල්ලට පෑගීම

www.jaguar.gi

Jaguar E Type එකේ කතාව ගැන කල්පනා කරන හැම වෙලාවකම මට 1994 වගේ කාලේ ආපු පෙප්සි දැන්වීමක් මතක් වෙනවා. ඒකේ හිටියේ අමීර් ඛාන්, මහීමා චෞද්රි සමග ඓශ්වර්යා රායි. මහීමා ඇවිත් අමීර් ඛාන් ගෙන් පෙප්සි එකක් ඉල්ලනවා. බලනකොට පෙප්සි නෑ. ඒත් මේ ස්වර්ණමය අවස්ථාව කානුවට හලාගන්න ඕනේ නැති නිසා කොල්ලා ජනේලෙන් පැනලා, බොම්බයි ලූනු තරම් බරට වහින වැස්සක් අස්සේ, කාර් වල හැප්පි හැප්පි සහ කාර් උඩින් දුව දුවා ගිහින්, කඩයක් වහන්න හදනකොට රෝලර් ඩෝ එකක් යටිනුත් රිංගලා ගිහින්, කොරෝනා කාලේ කරන්න වැඩක් නැති නිසා තුන්වෙනි පාරටත් නාවපු බල්ලෙක් වගේ තෙමීගෙන ආපහු ඇවිත් මහීමා අතට පෙප්සි එක දෙනවා. එතකොටම තමයි ඓශ්වර්යා මතුවෙලා තව පෙප්සි එකක් ඉල්ලන්නේ. ඓශ්වර්යා ඒක ඉල්ලන හැටි දැක්කම අමීර් ඛාන්ට විතරක් නෙමෙයි, ලංකාවේ හිටපු අපිටත් හන්දියට දුවල ගිහින් සයිමාගේ කඩේ කඩලා හරි පෙප්සි ගේන්න හිතුණා.   


                                           
ඔන්න ඔය වගේ වැඩක් තමයි 1961 අවුරුද්දේ 
Jaguar E Type එක ලෝන්ච් කරද්දීත් වුණේ. Jaguar සමාගම මේ කාර් එක ඩිසයින් කරලා ලෝන්ච් කරන්න කිට්ටු වෙද්දී, පත්තර වල රථවාහන පැත්ත ගැන ලියන සෙට් එකට හොර රහසේම මේක දුන්නා, පැදලා බලලා ලියලා තියාගනිල්ලා කියලා. මෙහෙම එකක් මුන්ට දෙනවා කියන එක මාළු කිලෝ එකක් හෝදලා තියන්න කියල පූසා අතට දෙනවා වගේ වැඩක් නිසා, අන්තිමට Geneva වල ලෝන්ච් කරන දවසට කාර් එක ගෙනියන්න බැරි වෙන තත්ත්වයක් තමයි ආවේ. අන්තිමට Jaguar සමාගමේ විධායක නිලධාරියෙක් වුණු Bob Berry ට සිද්ධ වුණා කෙල්ලගේ අයියා පස්සෙන් එලෝනවා වගේ ලෑල්ලට පාගලා වාහනේ එංගලන්තේ Coventry වල ඉඳන් Geneva වල Parc des Eaux-Vives ගේන්න. යාන්තම් ඉවෙන්ට් එකට විනාඩි 20 ක් තියෙද්දී එතනට එන්න Bob Berry ට පුළුවන් වුණා. වාහනේ වෙලාවට එන එකක් නැහැ කියලා හිතලා ජිනීවා වල හිටපු Jaguar ටීම් එකේ කට්ටියගේ ඇඟේ ලේ ලෙමනේඩ් වෙලා තිබ්බේ. වාහනේ දැක්කම ආපහු ලෙමනේඩ් ලේ වුණා.

www.jaguar.gi


වාහනේ ලෝන්ච් කළා විතරයි මුළු කාර් ලෝකෙම මේකට පිස්සු වැටුණා. අද පවා කාර් ෂෝ වලදී 
E type එකක් දැක්කම අපි ඒක වටේට හිටි පිනුම් බඩ පිනුම් අර පිනුම් මේ පිනුම් විතරක් නෙමෙයි ගොඩ ඉඳන් දියබුං ගහන මට්ටමකට වැටෙනවා නං, ඕක ඉස්සරලාම දැක්ක දවසේ සමස්ත ලෝකයාට කොච්චර හර්දේ සෝකයා වෙන්න ඇතිද කියල අපට හිතාගන්න පුළුවන්.

කොහොමෙන් කොහොම හරි ලෝන්ච් එකට පස්සේ ලෝකේ වටෙන්ම ආපු ජනමාධ්‍යවේදියෝ ටික ඇඳිරිනීතිය අයින් කරන දවසට සතොස ඉස්සරහ පෝලිම හැදෙනවා වගේ කිලෝමීටර් ගාණක් දුරට පෝලිම හැදිලා බලාගෙන ඉන්නවලු මේක ටෙස්ට් කරන්න.  
Jaguar එකේ කට්ටියට තේරුණා එක කාර් එකෙන් මේ ඔක්කොම සන්තර්පණය කරනවා කියන එක වෙරළු ගෙඩිය හරි අටකට කපලා දෙගුරුන්ටත් කෑල්ලක් තියනවා වගේ සීන් එකක් කියලා. ඒ නිසා එයාලා එංගලන්තෙට පණිවිඩයක් යැව්වා, අනේ කොහොම හරි තව එකක් අරං වරෝ කියලා.

මේ කරුමෙට කරගහන්න වුණේ එංගලන්තේ 
Jaguar එකේ ටෙස්ට් ඩ්‍රයිවර් කෙනෙක් වුණු Norman Dewis ට. ඒ වෙනකොටත් ට්‍රැක් එකට වෙලා කාර් එක ටෙස්ට් කරමින් හිටපු මේ මනුස්සයා කිව්වා ‘අඩු ගානේ මට ටිකක් නිදාගෙන නැගිටලා යන්න දියව්’ කියලා. උත්තරේ වුණේ ‘පිස්සුද බං වගේ එකක්. ‘හෙනං මට ඇඳුම් බෑග් එකක් ගන්න දියව් කිව්වම ‘අපි ඒකත් ලැස්ති කරලා තියෙන්නේ බං වගේ උත්තරයක් ලැබුණා.

අන්තිමට එදා රෑ 7.45 ට ජිනීවා බලා පිටත් වෙන්න Norman Dewis සිද්ධ වුණා. බෝට්ටුව අල්ලගන්න Dover වලට කොච්චර වේගෙන් ගියත් ඒ වෙද්දී බෝට්ටුව පිටත් වෙලා ඉවරයි. ආයේ බෝට්ටු තියෙන්නේ හෙට උදේ. වාසනාවට එතන වැඩේ මෙහෙයවමින් හිටපු හාදයා කට්ට කරුවල කැපෙන්න වාහනේට ටෝච් එක ගහලා බැලුවා. කන්න හිතෙන කොළ පාටක් ටෝච් එළියට දිලිහෙද්දී මිනිහට තේරුණා මේ තියෙන්නේ එසේ මෙසේ වන්ඩියක් නොවන බව.

“බෝට්ටුව හරවාගෙන වරෙව්. මෙතන ජැග් එකක් තියනෝ.” මිනිහා වෝකිටෝකි එක අරගෙන කිව්වා. 
Norman Dewis යාන්තම් හුස්මක් අරං සැන්ඩ්විච් දෙපෙත්තකට දත ගැහුවා විතරයි බෝට්ටුව ආපහු ආවා.

අන්තිමට පහුවදා, සැතපුම් 600 ක ගමනක් පැය 11 කින් නිමා කරමින්, Norman Dewis සහ අලුත් Jag එක ජිනීවා වලට ආවා. ධාවන කාලය අනුව බැලුවම කාර් එකේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 68 ක්! කිලෝමීටර් නෙවෙයි ඈ. සැතපුම්! 1961 දී, තාම මාකට් එකට වත් නොආපු කිරි ටොයියා කාර් එකක්, එක දිගට හැතැම්ම 600 ක් පැයට කිලෝමීටර් 100 කට වැඩි වේගයකින් දුවනවා කියන්නේ, හිතාගන්න පුළුවන් නේද කාර් එකට තියලා තිබ්බ 3.8 එන්ජිමේ බල පරාක්‍රමය? ඒ වගේම ඒ කාලේ බ්‍රිතාන්‍යයේ වාහන තාක්ෂණයේ විශිෂ්ටත්වය?

www.jaguar.gi


Jaguar E Type
 එක කියන්නේ ලෝකේ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු අලංකාරම සහ විශිෂ්ටම කාර් එකක්. වෙන එකක් තියා, Ferrari සමාගමේ නිර්මාතෘ Enzo Ferrari පවා වතාවක් කිව්වා, මේක ලෝකේ තියන ලස්සනම කාර් එක කියලා. 250 Testa Rossa Spider වගේ කාර් එකක් හදපු සමාගමක නිර්මාතෘ කෙනෙක් මෙහෙම කතාවක් කිව්වා නං, ආයේ තව ඔප්පු කිරිලි මොකටද!

Jaguar E Type එක අදටත් බ්‍රිතාන්‍යයට කොච්චර වැදගත්ද කියනවා නම්, Harry සහ Meghan ඩබල පවා මගුල් දා ඩ්‍රයිව් කළේ Jaguar E Type Concept Zero එකක්. මේක Jaguar සමාගමෙන්ම නිර්මාණය කරපු ඉලෙක්ට්‍රික් කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ ක්ලැසික් E type කාර් විදුලියෙන් ධාවනය කරන්න පරිවර්තනය කිරීමක්. මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ 1968 Series 1.5 Jaguar E-type මාදිලියට. මේ වනවිට අලුත්වැඩියා කරන්න බැරි මට්ටමේ තියන කාර් වලට මේකෙන් අලුත් ජීවිතයක් ලැබෙන්න ඉඩ තියන බවයි Jaguar සමාගම මේක හඳුන්වලා දෙන ගමන් කිව්වේ.


media.jlrms.com


මේ පහළ ෆොටෝ එකේ තියන පොත ලැබුණේ ගියපාර 
BLICH පොත් ප්‍රදර්ශනයේදී පැරණි පොත් අලෙවි කරන තැනක තිබිලා. අවසන් දවසේ වැහි පොදක් අස්සේ මේක දැක්කම, ටෙනිස් බෝලයක් අහුවෙච්චි බලු කුක්කෙක් වගේ මම මේක බදාගත්තා. Jaguar E Type එක මගෙත් හීනයක්. නමුත් ඒක කවදාවත් ලංකාවේදී හැබෑ කරගන්න වෙන්නේ නැහැ. ලංකාවේ මේවා තියෙන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්. ඉතිං අත්‍යවශ්‍ය භාණ්ඩ ලොරිය එනකල් හීන දකිනවා වගේ ඕකට හීන දැකලා වැඩක් නැහැ. ඒ නිසා විදේශ රටකදී හෝ එකක් එළවලා බලන්න තමයි ආසාවෙන් ඉන්නේ.



මේ වෙනකොට නවසීලන්තයේ ජීවත් වෙන, මගේ කාර් පිස්සු මිත්‍ර ඉසුරු පතිරගේ 
E Type එකක් මිලදී අරගෙන තියනවා. එයා ඒක restore කරමිනුයි යන්නේ. 2019 මාර්තු 11 වෙනිදා ඉසුරුගේ කතාව ඉසුරුගේම වචන වලින් කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එකේ පළවුණා. මේ ඒකෙන් උපුටාගත්තු කොටසක්:

Jaguar E Type යනු පරණ වාහන වලට තදින් ම ආදරය කරන මම එකල සිට ඉතාමත් ආදරය කරපු වාහනයකි. මහා බ්‍රිතාන්‍යයේ ජගුවර් සමගම විසින් 1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කරපු මෙම රථය 1975 වන තෙක් මාදිලි තුනකින් (Series 1, Series 2 & Series 3) නිෂ්පාදනය වුණා.

එහි අලංකාරය, high performance සහ තරඟකාරි මිල කරණය නිසා එකල මෝටර වාහන ලෝකයේ සුපිරි රියක් බවට පත්වුණා. 3800CC එන්ජිම E-Type රථය තත්පර 7කට අඩු කාලයකදී පැයට සැතපුම් 0-60 දක්වා වේගයක් අත්කර ගන්න පුළුවන් වුනා වගේම උපරිම වේගය ලෙස පැයට සැතපුම් 150 ක් වුණා. මෙම නිසා මෙය හැටේ දශකයේ තිබුණ වාහන වලින් high performance වාහනයක් ලෙස සැලකෙනවා. එකල සිටි වාහන නිෂ්පාදන ලෝකයේ දැවැන්තයෙක් වන එන්සෝ ෆෙරාරි එය හැඳින්වූවේ "වඩාත් ම ලස්සන මෝටර රථය" විදිහටයි.

මේ වර්ගයේ රථයක් ගැනීමට මම වසර ගණනාවක් බලා සිටි අතර හදිසියේ අඩු මිලට නමුත් වැඩ ගොඩක් කිරීමට අවශ්‍ය රථයක් ඕක්ලන්ඩ් නගරයෙන් හමුවුණා. මම මිලදී ගත් රථය 1969 වර්ෂයේ නිපදවූ 
Series 2 (2+2) මාදිලියේ රථයක්. වසර 50 ක් වයස මෙම රථය 4200cc එන්ජිමක් සහ ගියර් 3 automatic රථයක් වන මෙය මම ගන්නා විට ඇතුළ මුළුමනින් වාගේ දිරා ගොස් තිබුණ. එන්ජිමවිද්‍යුත් පද්ධතිය (electrical system) සහ පිට යකඩ ටිකක් හොද තත්වයෙන් පැවතුණ අතර ටිකක් මහන්සි වුනොත් හොදට හදා ගැනිමට හැකියාවක් ඇති නිසා මම එය මිල දී ගත්තා.

වාහනයේ විස්තර:
Make and Model Jaguar E-Type Series 
2 (2+2)
Manufacturer Jaguar Cars Limited, Coventry, United Kingdom
Body Type Fastback Coupé
Production 
5326 units (2+2 Fastback Coupé)
Engine & Transmission 
4235cc six Cylinder coupled with 3 speed Automatic transmission
Double overhead camshaft (DOHC) 
2 valves per cylinder
12 valves in total
3 SU carbs
Engine Power 
265 Brake Horse Power (198 Kw) @ 5400 rpm
Top Speed 
150 mph (241km/h) Acceleration 0 – 60 mph (7.0 Seconds)
Fuel System 
95 Octane Petrol
Fuel Consumption 
17.0 Miles per Imperial Galloon (6.01 km/l)
Year of Production / Year of First Registration in New Zealand 
1969/1970
Production Years 
1968-1971 Length 184.0 inches (4673.6 mm) Wheelbase 105.0 inches (2667mm)"






ඉසුරුගේ ජැග් එකේ ෆොටෝ දැකපු වෙලාවේ තරම්, ශ්‍රී ලාංකිකයෙක් ගැන ආඩම්බරයක් හිතුණු වෙන වෙලාවක් නැද්ද කොහෙද. නවසීලන්තයේ ලස්සන පාරවල් හරහා එයාලා යනවා දැක්කම හරියට නුවර එළියේ ස්ට්‍රෝබෙරි යායක් දැක්කා වගේ මොකක්දෝ ප්‍රසන්න හැඟීමක් එනවා. ඉසුරු මේක restore කරද්දී සෑහෙන කට්ටක් කාපු බව ඇත්ත. මේ වසංගත භීතිය ඉක්මනට ඉවර වෙලා, ජැග් එකක් වෙනුවෙන් කන කට්ට අනික් හැම කට්ටටම වඩා රහ බව ඉසුරුට දැනේවා.   

කවදාහරි මේ ඔරෝනා කොරෝනා ඉවර වුණු දවසක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් අහවල් අංකය දරන යානයකින් පියාඹලා ගිහින්, කාර් එක පොඩ්ඩක් ඉල්ලලා ඉසුරුට වාතයක් වෙන්න ඕනා.

මේ වගේ බලාපොරොත්තු තමයි මේ දවස් වල අපිව ජීවත් කරවන්නේ.

 
තරිඳු ශ්‍රී ලොකුගමගේ

06.04.2020 
 

 


Monday, October 21, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි)



ලංකාවේ සෑහෙන පිරිසක් Scammel Scarab ගැන කතා කරමින් ඉන්න මොහොතක මගේ හිත Scammel Pioneer 6x4 එකක් ගාව නැවතුණා.

ලන්ඩනයේ හදාපු මේ දැවැන්තයා දැන් ඉන්නේ රත්මලානේ එක්තරා අඳුරු මුල්ලක. ලංකාවේ tough ම මිනිස්සු එක්ක ගනුදෙනු කරපු ඒ දැවැන්තයාට දැන් ලැබෙන්නේ 'ඔතනින් එහාට යන්න එපා පුතා' කියන විධානය තඹේකට මායිම් නොකරන පොඩි උන්ගේ පහස විතරයි. 

මේ දැවැන්තයාගේ ලියාපදිංචි අංකය ගුවන් 2049.

එයා ඉන්නේ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ...




රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය කියන්නේ උපන් ලපයක් වගේ දෙයක්. අපි දන්නවා ඒක තියනවා කියලා. නමුත් අපි වැඩි දෙනෙක් ඒ ගැන සීරියස් හිතන්න පෙළඹිලා නැහැ. ඉඳල හිටලා මොකක් හරි හේතුවක් නිසා ඒක මතක් වුණත් ඒ සැණින් ගොඩක් දෙනෙකුට ඒක අමතක වෙලා යනවා. ඔය කෞතුකාගාරයේ රථවාහන අංගණය ඇතුළේ තියන වාහන වල ෆොටෝ අනන්තවත් අන්තර්ජාලයේ ඇති. හැබැයි ඒ වුණත් ඒක බලන්න ගිය කෙනෙක් හොයාගන්න එක අද දවසේ ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් එකක් නැති එකෙක් හොයාගන්නවා වගේ වැඩක්!

ඉතාම අවංකවම ඇත්තක් කියනවා නම්, අපි රත්මලානේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න ගියේ තායිලන්තයේ ගුවන් හමුදා කෞතුකාගාරය දැකලා ඇතිවෙච්චි ආසාව නිසා. බැංකොක් වලම තිබුණත් හොයාගන්න සහ ළඟාවෙන්න ටිකක් අමාරු (2020 න් පස්සේ ඒ ප්‍රශ්නය විසඳෙනවා) ඒ අපූරු ගුවන් හමුදා කෞතුකාගාරයේ ආපනශාලාවක ඉඳන්, තායිලන්තයේ රස බලාපු කෑම වර්ග අතරින් රසම කෑම දීසි දෙකක් ඉවර කරන අතරේ අපි කල්පනා කළා ගෙදර ඉඳන් උගුර පෑදුවම රත්මලානට ඇහෙන තරම් ළඟක හිටියත් කවදාවත් අපි ලංකාවේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න ගිහින් නැහැ නේද කියලා.

හැබැයි ඒ පාර ලංකාවට ඇවිල්ලත් අවුරුද්දක් විතර ගියා ලංකාවේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න යන්න.

අන්තිමට යාන්තම් වැඩ රාජකාරි අඩු වුණු දවසක මගේ Mini එකත් අරගෙන අපි ගියා රත්මලානට. නව ගුවන් තොටුපළ පාරට හැරෙව්වම, රත්මලාන ගුවන් තොටුපළේ ධාවන පථයට සමාන්තරව ඉද්ද ගැහුවා වගේ ඉස්සරහට විහිදෙන පාර දැක්කම මිනි එක ලෑල්ලට පාගන්න ආපු ආසාව මැඩගත්තේ ජාතික ආරක්ෂාව ගැන උන්කඩුපුච්ඡයෙන් පවා හිතලා...

ගුවන් තොටුපළේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන්ගෙන් පාර අහගෙන අන්තිමට නියම තැනට ගියාට පස්සේ එහෙ නිලධාරීන් කිව්වා වාහනේ පාක් කරන්න ඕනේ 'ඈත තියන ලයිට් කණුවට එහායින්' කියලා. පොඩි උන් රංචුවක් අරගෙන ආපසු බස් දෙකතුනකට නම් එතන එහා පැත්තේ පාක් කරන්න අවසර ලැබුණත් මගේ වාහනේ පොඩි එකෙකුට කියලා හිටියේ මම විතරක් නිසා මම ඒ ඈත තිබ්බ ලයිට් කණුවට එහා තිබුණු මන්දපෝෂිත ගසක් ගාව මිනි එක පාක් කරලා ආවා.




ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 120 යි. පොඩි එවුන්ගේ නිමක් නැති කෑගැහිලි ඇදිලි දැඟලිලි මැද්දේ, ගුවන් හමුදා නිලධාරියෙක් 'අනේ පුතේ ඔය මාමට ටිකට් ගන්න යන්න දෙන්න. අනේ අම්මල ඔය පොඩි අයව පොඩ්ඩක් පැත්තකට ගන්න' කියලා කීප පාරක් ආයාචනා කළාට පස්සේ ටිකට් ගන්න ලැබුණා.

එතන හිටපු අපි හැමෝම ටිකට් ගත්තට පස්සේ අර ගුවන් හමුදා නිලධාරී මහත්මයා අපිව එතන තිබුණු මැප් එකක් ගාවට එක්කගෙන ගිහින් ඉතාම සෘජු, පැහැදිලි, කෙටි වුණත් සවිස්තර හැඳින්වීමක් කළා, අපි කොහොමද ඒ දැවැන්ත භූමිය ඇතුළේ ඇවිදින්න ඕන කියන එක ගැන. අක්කර 18 කටත් වැඩි විශාල වපසරියක විහිදෙන ඒ භූමිය සැලසුම් කරලා තිබ්බ අපූරුව ගැන මට පුදුම හිතුණේ ඒ වෙලාවේදීමයි. ඒ නිලධාරී මහත්මයට ස්තූති කරලා අපි හෙමින් සීරුවේ එළිමහනේ අසිරිය පටන් ගත්තා.




තමන්ගේ ආයු කාලය පුරාම මනුස්ස වර්ගයාගේ වැඩවලට දායක වෙලා අන්තිමට විශ්‍රාම යවාපු වාහන වලින් විහිදෙන ඒ දුකක් වගේ මොකක්ද එක දැනෙන්නේ වාහන සංස්කෘතියේ මානුෂික පැත්ත විශ්වාස කරන අයට විතරයි, මම එහෙම කෙනෙක් නිසා මට ප්‍රදර්ශන භූමියේ AC-03 අංකය යටතේ තියන Mikoyan - Gurevich MIG 15 UTI එක ගැන එක්තරා විදිහක දුකක් දැනුණා. ලංකාවට දැන් කෙළවරක් නැතුව වහින වැහි, හමන හුළං සහ ගහන අකුණු වලින් පීඩාවට පත්වෙලා කහ-දුඹුරු පාට ගැහුණු cockpit වීදුරු ජීවිතේ අනියත බව ගැන එක්තරා බෞද්ධ-සංස්කෘතිකමය දුකක් හිතට ගේනවා.

හැබැයි ඒත් එක්කම ඉතාම පිළිවෙළට ලස්සනට නිර්මාණය කරලා තියන පරිසරය, දඟයන්ට සෙල්ලම් කරන්න තැන් තැන් වල හදලා තියන සෙල්ලම් අලි, ඔන්චිල්ලා සහ සෙල්ලම් ගුවන් යානා අස්සෙන් මතුවෙන පොඩි උන්ගේ හිනා හඬවල් සහ ගුවන් යානා වල ඉතිහාසය ඇතුළු වගතුග ඉතාම කෙටියෙන්, හැබැයි පැහැදිලිව භාෂා තුනෙන්ම දක්වලා තියන පුවරු වගේ දේවල් එක්ක අර දුක හිතෙන් මැකිලා ගිහින් මේ අපූරු ස්ථානය ගැන කුතුහලයක්, ඒක මෙච්චර හොඳට නඩත්තු කරන මිනිස්සු ගැන ආදරයක් සහ මෙච්චර කාලයක් මෙතනට එන්න බැරි වීම ගැන පුංචි පසුතැවිල්ලක් හිතේ ඉතුරු වුණා.







මේ කොටසේ ප්‍රදර්ශනයට තියලා තියන ගුවන් යානා බලාගෙන ඉස්සරහට ගියහම අපි එනවා Hangars තුනක් තියන තැනකට. එතන එළිමහනේ තියලා තියනවා ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ට්‍රක් රථ. මෙතන තමයි ආහාරපාන අලෙවිසැල් තියෙන්නෙත්. අවාසනාවකට මේ දවස් වල එයාලට ස්ටාෆ් ප්‍රශ්නයක් තියන නිසා කෑම බීම හැදෙන්නේ නැහැ කියල Milk Bar එකේ සේවය කරමින් හිටපු මහත්මයා කිව්වා. ඒ නිසා ගන්න තිබ්බේ නෙස්ටී, අයිස්ක්‍රීම් සහ පෙබල්ස් වගේ දේවල් විතරයි.

ඔය එළිමහනේ තියනවා simulator එකක්. ඒ කියන්නේ ගුවන් යානයක පියාසර අත්දැකීම ගුවන් යානයක් ඇතුළේ ඉඳගෙන ඩිජිටල් ක්‍රමයට කෘත්‍රිමව විඳින්න පුළුවන් තැනක්. අවාසනාවකට අපි ගිය දවසට කලින් දවසේ තිබ්බ අධික වර්ෂාව නිසා ඒකේ විදුලි කාන්දුවක් ඇවිත් ඒක අලුත්වැඩියා කරන්න වහලා දාලා තිබුණේ.







මෙතන තියනවා hangars තුනක්. එකක් තමයි vehicle hangar එක. ඒකෙ තමයි අර කාර් පිස්සෝ නිතර දැකලා තියන වාහන තියෙන්නේ. එතනම තමයි Scammel Pioneer 6x4 එක තියෙන්නෙත්. ඊට අමතරව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා පාවිච්චි කරපු Mercedes Benz 230.6 W114 එක තියෙන්නෙත්. තවත් වාහන කිහිපයක්, ඒවා ගැන විස්තර ලියාපු පුවරු එක්ක ලස්සනට එතන ප්‍රදර්ශනයට තියලා තියනවා. 










දෙවෙනි එක general exhibits. මේකේ තියනවා ගුවන් හමුදාවට සම්බන්ධ විවිධ ඓතිහාසික, දුර්ලභ සහ වැදගත් දේවල්.

එක සහ දෙක අතර තියනවා engineering exhibits තියන කොටසක්. ඒ කියන්නේ ගුවන් හමුදාමට ඉංජිනේරු විද්‍යාමය වශයෙන් සම්බන්ධ විවිධ දේවල්. මෙතන තියන වැදගත්ම දේ තමයි Blackstone diesel engine driven generator එක. 1933 දී සැලසුම් කරලා, 1942 දී කටුනායක රාජකීයගුවන් හමුදාවේ ප්‍රධාන විදුලි බලාගාරයේ සවිකරපු මේ විදුලි ජනක යන්ත්‍රය  1988 දී තමයි මේ කෞතුකාගාරය තියන ස්ථානයට ගෙනත් තියෙන්නේ. විශේෂත්වය තමයි මේක අදටත් ක්‍රියාකාරී වීම! ඊට අමතරව ලිස්ටර් යාන්ත්‍රික වතුර පොම්පයක්, ගල් රෝලක් වගේ තව දේවල් මෙතන දකින්න පුළුවන්. 






තුන්වෙනි Hangar එකේ තියෙන්නේ ඡායාරූප, තියටර් එකක් සහ තව simulator එකක්. මේ කොටසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, එයාලගේ නිල ඇඳුම්, ආයුධ, ඒ වගේම එයාලගේ ඉතිහාසය සම්බන්ධ විශේෂ දේවල් විවිධ ආකාර වලින් විස්තර කරලා තියනවා. ඒක ගොඩක් අයගේ හිත් දිනාගත්තු තැනක් බව එතන හිටපු සෙනග කන්දරාවෙන් තේරුණා. 

එතන එළියේ ගුවන් යානා එන්ජින් වර්ග, ඉතාම පැහැදිලිව විස්තර කරලා ප්‍රදර්ශනය කරලා තියනවා. ඒවා කොච්චර ලස්සනට ප්‍රදර්ශනය කරලා තිබුණාද කියනවා නම් ආපසු ඉස්කෝල කාලෙට ගිහින් ගුවන් යානා ඉංජිනේරුවෙක් වෙන එක ඉලක්ක කරගෙන ඉගෙන ගන්න පටන් ගන්න හිතුණා.







මෙතනින් එළියට යනකොටම තියනවා ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක් වන MI 24. සන්තකේ තියන සියලුම ආභරණ පැළඳගෙන උයන් සිරි විඳින්න එළියට බැස්ස උඩරට මැණිකේ කෙනෙක් වගේ ආයුධ සේරම පිරිවරාගෙන වත්ත මැද්දට වෙලා ඉන්න මේ දැවැන්තයා, ලංකාවේ තිබුණු යුද්ධය ගැන වීර රසය සහිත හැඟීම් දරන කාගේත් හිත් කීරි ගස්සාවී. 




ඔතන ඉඳන් ඉස්සරහට, කඩාවැටුණු ගුවන් යානයක සුන්බුන් වගේ හදලා තියන තැනක් ඇතුළුව තවත් ගුවන් යානා බලාගෙන ඉස්සරහට එනකොට විලක් එක්කම තියනවා log cabin එකක්. කැමති අයට එතන ඉඳලා ගිමන් හැරලා සිරි නරඹලා යන්න පුළුවන්. 

එතනින් එහා පැත්තේ විලේ මැද සහ වටේ තියෙන්නේ LTTE පාලන ප්‍රදේශ වල තිබිලා විනාශ කරපු වාහන සහ කොළඹට ගහන්න ඇවිල්ලා කඩා වැටුණු ගුවන් යානයක්. ඒවා දිහාත් කෙනෙකුට තමන් කැමති කෝණයකින් බලන්න පුළුවන්. එකපැත්තකින් රටේ දශක තුනක් පුරා අහිංසක ජීවිත මහා රාශියක් විනාස කරපු යුද්ධය ඉවර වීම ගැන කෙනෙකුට සතුටක් හිතෙන්න පුළුවන් අතර, ඒ ගිනි අරන් කරවෙලා විනාස වෙලා ගිහින් තියන වාහන ඇතුළේ සමහර විට තමන් විශ්වාස කරපු හෝ නොකරපු දෙයක් වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වුණු මනුස්සයෙක් අවසන් හුස්ම හෙළන්න ඇති නේද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලංකාව තාමත් සුන්දර රටක් විදිහට තියෙන්නේ විවිධ අදහස් වලට එකට පවතින්න පුළුවන් වෙන නිසා. ඒ තත්ත්වය දිගටම පවතීවා කියලා ප්‍රර්ථනා කරමු! 







මෙතනින් එළියට එනකොට පුංචි අයට සෙල්ලම් කරන්න පුළුවන් පාක් එකක් තියනවා. මහා දේවල් නැතත් ඔන්චිල්ලා, ගුවන් යානා ලිස්සන බෝට්ටුවක් වගේ දේවල් එතන දැකගන්න පුළුවන්. එතනින් ඇවිදගෙන එනකොට හමුවෙන්නේ හරිම අපූරු දෙයක්.  Puzzle Garden එකක්. ඉතාම ලස්සනට ගස් වවලා ඉතාම විධිමත්ව පවත්වාගෙන යන මේකේදී කරන්න තියෙන්නේ පඳුරු අතරින් පාර හොයාගෙන අවසානය දක්වා එන එකයි. වැඩිහිටියන්ට මේකේ මහා දෙයක් නැති වුණත් පුංචි අයට මේක අපූරු විනෝදයක් ගෙනේවි. සීමිත කාර්ය මණ්ඩලයක් එක්ක මේ භූමිය මේ තරම් විශිෂ්ට මට්ටමින් නඩත්තු කරනවට ගුවන් හමුදාවට විශේෂම ස්තූතියක් හිමිවෙන්න ඕනේ. 





එතනින් පිටවුණාට පස්සේ, ආපහු ඇවිදගෙන එන්න තියන මාවත දිගේ එනකොට තවත් ගුවන් යානා කීපයක් පහුවෙලා Main Hangar එක හම්බවෙනවා. මෙතන තියනවා Kfir C2 සහ MiG 23-UB වගේ යානා වගේම පැරණි ගුවන් යානා, හෙලිකොප්ටර් සහ Drones වගේ දේවල්. එක ගුවන් යානාවක් තියනවා කැමති අයට ගොඩවෙලා බලන්නත් පුළුවන් (අපි ඉන්න වෙලාවේ ඒකට නැග්ගා පොඩි දරුවෝ දෙන්නෙක්. අවුරුදු හතරක විතර පොඩි එකෙක් කොච්චර ඒකට ආසා වුණාද කිව්වා නම් උඩට නැග්ග ගමන් සිඟිති හඬින් 'අම්මත තිලි' කිව්වා. අපට ප්ලේන් එක හෙල්ලෙන තරමට හිනා ගියා). 








මෙතනින් එළියට ආවම තව දේවල් දෙකක් තියනවා. එකක් තමයි Souvenir shop එක. ගුවන් යානා ආකෘති, කැප් තොප්පි, බෑග්, පැන්සල්, කුඩ, ඔරලෝසු, කී ටැග්ස් වගේ තව දේවල් ඉතාම සාධාරණ මිලගණන් වලට ගන්න පුළුවන් (කාඩ් වලින් ගෙවන්න හැකියාවක් නැහැ කිව්වා. ඒක තාවකාලික ගැටලුවක් වෙන්න පුළුවන්). ඊට එහාපැත්තෙ තියනවා craft lab එක. එතන තමයි එයාලා ගුවන් යානා ආකෘති හදන්නේ. ඇතුළට යන්න පුළුවන් වගේ පෙනුණට යන්න බැහැ. පිටත ඉඳන් වීදුරු වලින් එයාලා කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන්. ඒක සෑහෙන awkward ගතියට දැනුණු නිසා සහ අවුව එක්ක එන  glare එකට ඔළුව කැක්කුම හැදෙන්න පවා ඉඩ තිබුණු නිසා අපි එතන වැඩි වෙලා රැඳුණේ නැහැ. 

ඔන්න දැන් අපි ආපහු ඇතුළු වුණු තැනටම ඇවිත්. ඒ දොරටුවෙන්ම තමයි පිටතට එන්න තියෙන්නේ. එතනින් එළියට ඇවිත්, පදිකයන්ට යන්න වෙන්කරලා තියන මං තීරුවේ, ගුවන් යානා රූප වලින් පිරුණු තාප්පය ළඟින්ම ඇවිදගෙන අපි කෑම්ප් එකෙන් එළියට ආවා. 





මම මේ විස්තර ලිව්වේ ඉතාම කෙටියෙන්. අක්කර දහ අටක් පුරා විහිදුණු තැනක් ගැන වචන එක්දාස් පන්සීයකින් විතර ලියනවා කියන්නේ ෆෙරාරි සමාගමේ ඉතිහාසය ගැන විනාඩි එකහමාරක යූටියුබ් ක්ලිප් එකක් හදනවා වගේ වැඩක්. ඒ වුණත් එහෙම හරි ඔයාලා වෙනුවෙන් මේ විස්තර ලියන එක මගේ යුතුකමක්. 

ඔයාලට පොඩි අය ඉන්නවා නම්, අනිවාර්යෙන්ම එයාලත් එක්කගෙන මෙතන පෙන්නන්න එන්න. දැනටමත් ගොඩක් අය ඒක කරනවා වගේ පෙනුණා. හැබැයි වෙන ට්‍රිප් යන අතරේ එන්න එපා. මෙතන හොඳට වෙලාව අරන් බලන්න ඕන තැනක්. ඒ වගේම අපි ඉන්න වෙලාවේ ආපු සමහර පොඩි අය සත්තු වත්තට යමු කියල අඬනවා ඇහුණා. සත්තු වත්තේ යන්න කලින් ටක් ගලා බලාගෙන යන්න පුළුවන් තැනක් නෙමෙයි මෙතන. එහෙම කරන එක දරුවන්ට සහ ගුවන් හමුදාවට වගේම ඔයාලටත් කරගන්න අසාධාරණයක්. 

අනික් අතට ඔයාලා ගුවන් යානා ගැන විතරක් නෙවෙයි පොදුවේ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍ර ගැන උනන්දුවක් දක්වනවා නම්, නිදහසේ පැය කීපයක් ගතකරන්න බලාගෙන මෙතනට එන්න. මේකේ තියන විස්තර පුවරු හොඳට කියවන්න. එන්ජින් ගැන තියන කොටස හොඳට අධ්‍යයනය කරන්න. එයාලා දාලා පෙන්නන වීඩියෝ දර්ශන බලන්න. පුළුවන් කමක් තිබ්බොත් simulator අත්දැකීම විඳින්න. වැඩි විස්තර අවශ්‍ය නම් එයාලගෙන් අහන්න. ප්‍රදර්ශන භාණ්ඩ අතපත ගාන්න යන්න එපා. විනීතව හැසිරෙන්න. නියම කරලා තියන පාරවල් වල විතරක් ඇවිදින්න. 




දන්නා තරමින් සඳුදා කෞතුකාගාරය වහලා. අනික් දවස් වල උදේ 8.30 ඉඳන් හවස 4.30 වෙනකල් විවෘතයි. 

මේ ගැන තව විස්තර වෙනත් කෝණ වලින් වෙනත් තැන්වලත් ලියන්න මම බලාපොරොත්තු වෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒවත් කියවන්න. 

යුද්ධය ගැන වෙන අය කියවන දේවල් විශ්වාස කරගෙන යාළුවෝ එක්ක රණ්ඩු කරගන්න එක එක මොහොතකට කල්තියලා, ඒ යුද්ධයට ගුවන් හමුදාව සම්බන්ධ වුණු ගැන හරියටම දැනුවත් වෙන්න දවසක නිදහසේ ඇවිත් යන්න. 

නිල වෙබ් අඩවිය: www.airforcemuseum.lk


- තරිඳු ශ්‍රී ලොකුගමගේ 

(මේ සියලුම ඡායාරූප ගත්තේ අපි. මේ වගේ ගමන් වලදී ඔයාලා වෙනුවෙන් තොරතුරු එකුතුකරන්න අපි කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරනවා. ඒ නිසා මේ තොරතුරු හෝ ඡායාරූප හොරෙන ගන්න එපා. අවශ්‍ය නම් අහලා, credits දීලා උපුටාගන්න). 

මගේ අලුත්ම පොත (නවකතාවක්):





සරසවි, සදීපා, දයාවංශ ජයකොඩි, සූරිය, ලුමිනෙක්ස් (මොරටුව, පානදුර), අහස (බොරලැස්ගමුව), Expographic (පැලවත්ත) පොත්සාප්පු වලින් ගන්න පුළුවන්. 

අන්තර්ජාල ඇණවුම්:
grantha.lk 
KBOOKS 
Book Hunter 

Soi 11 පොත් එකතුව:

මේ පොත් කලින් කියපු පොත්හල් වලට අමතරව ගොඩගේ සහ සමයවර්ධන පොත් හල් වලත් තියනවා. වයර් පොටක සෞන්දර්ය විතරයි මේ පොත්හල් දෙකේ නැත්තේ.