Monday, February 4, 2019

ටුක් ටුක් ටුක් ටුක් කර්තී චල්තී


ටුක් ටුක් ටුක් ටුක් කර්තී චල්තී තාරී මාරී සින්දගී 
රේ බෝලේ, රේ බෝලේ ඩෝලා ඩෝල ධඩක් ධින් 

කාර් පිස්සුවෙ සුපුරුදු පාඨකයෝ සමග මගේ පෞද්ගලික ජීවිතේ ගැන දන්නා මිත්‍රයෝ දැන් බලන්න ගන්නවා මූට අටවකපයිත්තියන්ද කියලා. 

මොකද මමයි හින්දි සිනමාවයි කියන්නේ හරියට කුරක්කන් පිටියි KFC එකයි වගේ දුරස්ථ දේවල් දෙකක්. 

අසෝකරත්න මහත්මයාගේ ස්කූටර් එක ගැන කතාවට පස්සේ  මකුළු දැල් බැඳිලා තිබුණු බ්ලොග් එකක් සුද්ද බුද්ද කරන්න ආපහු ස්කූටර් කතාවක්ම අරගෙන ආවම අනිවාර්යයෙන්ම පාඨක ප්‍රජාවට මතුවෙන ප්‍රශ්නයක් තියනවා. 

'තරිඳු අයියා ස්කූටරයක් ගන්නම වගේ නේ යන්නේ?'

හැමදාමත් දෙන උත්තරේ තමයි මට දෙන්න තියෙන්නේ. 

'වෙස්පා එකකට නම් මනාපයි. ඒ වුණාට දැන්ම ගන්න අදහසක් නැහැ.' 

ස්කූටර් ගැන කිව්වම මට එකපාරට මතක් වෙන දේවල් කීපයක් තියනවා. පොඩි කාලේ දැකලා පුරුදු මහින්ද මහප්පාගේ ස්කූටර් එක, කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන 'අජානේය ඉස්කූටර' ගීතය (ඔය ලොකු ලොකු sound effects පොරවල් මෙලොව එළිය දකින්නත් කලින් රේඩියෝ එකෙන් ඇත්තටම ස්කූටරයක් අපේ හිතේ මවාපු, රෝහණ වීරසිංහ මහත්මයාගේ ඒ අපූරු තනුව), ගියපාර ලිපියේ මම ලියපු අසෝකරත්න මහත්මයාගේ ස්කූටර් එක, අපේ ධනුකලා රුචිරලාගේ ස්කූටර්, ඔන්න ඔය වගේ දේවල්. ලංකාවේ මෑතකාලීනව එකපාරට පුළුල් වුණු ස්කූටර් සංස්කෘතියේ ආකර්ෂණීය අංග වගේම තොරොම්බල් අංගත් මගේ හිත සිතිවිලි වලින් පුරෝනවා, හරියටම ඉස්සරලාම සත්තු වත්ත දකින පොඩි එකෙකුගේ හිතට නැගෙන මින් මැදුරු හැලි වඳුරු අලි වසුරු සිතිවිලි වගේ... 

ස්කූටරේ කියන්නෙත් ෆොක්ස්වැගන් වගේම අකාලික දෙයක්. පරණ පරපුරත් අලුත් පරපුරත් කිසිම භේදයකින් තොරව යා කරන දෙයක්. ස්කූටර් ගැන කතා කරද්දී එක පරපුරකට තමන්ගේ රුචිකත්වය සාධාරණීකරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

ආයේ ස්කූටර් ගැන ලියන්න හිතුණේ අලුතින් ඇතිවුණු දීර්ඝ ආදරයක මැදකට අහුවුණු එක පුරුකක් නිසා. 

අලුත් ආදරය තමයි නූරන් සහෝදරියෝ දෙන්නා. මැද පුරුක තමන් සුල්තාන් කියන හින්දි චිත්‍රපටයට එයාලා ගායනා කරපු 'ටුක් ටුක්' කියන ගීතය. 

නූරන් සහෝදරියන් කියන්නේ ජ්‍යෝති නූරන් සහ සුල්තානා නූරන්. මේ දෙන්නා 70 දශකයේ සුප්‍රකට සුෆි ගායිකාවක් වුණු ස්වර්ණ් නූරන්ගේ මිණිබිරියෝ. එයාලට අවුරුදු දහය කාලේ ඉඳන් එයාලගේ තාත්තා වුණු උස්තාද් ගුල්ශාන් මිර් එයාලට සංගීතය පුරුදු පුහුණු කළා ලු. යූ ටියුබ් එකේ එළවලු රොටියක් කාලා ප්ලේන්ටියක් ගහලා රස්තියාදුවක් දානකොට නූරන් සහෝදරියන්ගේ ජීවිතේ මතක කෑලි එහෙන් මෙහෙන් අහුලගන්න පුළුවනි. 




නූරන් සහෝදරියන්ගේ මධුර ස්වර ඉස්සරලාම මගේ සවනේ වෙළුණේ සෝනා මොහාපත්‍රගේ සින්දුවක් හොයන්න ගිහින් යූ ටියුබ් එකේ පාර වැරදුණු වෙලාවක. ඉතින් මම මංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යනකොට මේ සමනලියෝ දෙන්නාගෙන් පාර ඇහුවා. අන්තිමට මේ සමනලියෝ එක්ක ස්වර සක්වළේ පියාසැරියක් ගැහුවේ නැත්නම් නින්ද යන්නේ නැති තැනට වැඩේ දුරදිග ගියා. 

ඔහොම යනකොට තමයි මට එයාලා සුල්තාන් චිත්‍රපටයට ගායනා කරපු 'ටුක් ටුක්' ගීතය හම්බුණේ. විෂුවල් එකේ තියෙන්නේ සම්පූර්ණ ගීතය නොවුණත් මට විෂුවල් එකෙන් තොරව සම්පූර්ණ ගීතය අහන්න හිතෙන්නේ නැහැ. 

හේතුව තමයි සල්මන් ඛාන් ඒකෙ පදින ස්කූටර් එක. 

කලිනුත් කිව්වා වගේ මම හින්දි සිනමාවේ රසිකයෙක් නෙමෙයි. ඒ නිසා මට සුල්තාන් චිත්‍රපටිය ගැන විස්තර හොයන්න වුණා. මේකේ තියෙන්නේ ජීවිතේ ඛේදාන්තයක් කරගෙන විශ්‍රාම ගිය මල්ලව පොර ශූරයෙක් තමන්ගේ ජීවිතේ ආපහු අල්ලාගැනීමේ වෑයමක් විදිහට ආයෙත්  තරගාවලියකට එක්වෙන කතාවක්. ප්‍රධාන චරිත රඟපාන්නේ සල්මාන් ඛාන් සහ අනුෂ්කා ෂර්මා (ඔවු කෝලිගේ අරයා තමයි). මේක වාණිජ වශයෙන් අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වුණත් මට මේ වගේ කතා කොච්චර අප්පිරියද කියනවා නං කතාවේ සාරාංශය ලියන්න වත් කාලය මිඩංගු කරන්න හිතෙන්නේ නැහැ. 

සින්දුවේ විෂුවල් එකේ ජීවය පටන් ගන්නේ සල්මාන් හෙවත් චිත්‍රපටියේ හැටියට සුල්තාන් උදේක ස්කූටර් එක ස්ටාර්ට් කරන්න උත්සාහ කරන තැනින්. ස්කූටර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. එතකොට සුල්තාන් ස්කූටර් එක ඇල කරලා ගස්සලා ස්කූටර් එක ආයේ ස්ටාර්ට් කරනවා. 

සුදුපාට දුම් රොටුවක් දාලා ස්කූටර් එක ඇහැරෙනවා! 

යකඩ එක්ක ජීවිත් වෙන අපට ඔන්න දුම් සුවඳ (ගඳ නෙමෙයි, සුවඳ) දැනෙන්න ගන්නවා! 




එතනින් එහාට තියෙන්නේ සුල්තාන් ස්කූටර් එකේ යන දර්ශන සහ අතරමගදී සිද්ධ වෙන සිද්ධි ඇතුළත් දර්ශන පෙළක්.  එක තැනකදී සුල්තාන් ඉස්කෝලේ ඇරිලා එන කොලු පැංචෝ තුන්දෙකෙන් ස්කූටර් එකේ නග්ගගෙන ඇවිත්, පාර අයිනේ බීම විකුණන පුංචි කඩයක් ගාවට ඇරලවලා, එයා එතන ඉඳන් බීම එකක් බීලා යන දර්ශන පෙළකුත් ඒකෙ තියනවා.  




ජ්‍යෝති නූරන් 'ටුක් ටුක් ටුක් ටුක් කර්තී චල්තී තාරී මාරී සින්දගී' කියනකොට මම ඈත අතීතයක භාත්කණ්ඩේ විභාග කරන්න ගත්තු අසාර්ථක උත්සාහය මතක් වෙනවා. මට සංගීතය දිගේ ඉහළ යන්න හැකියාවක් නොලැබුණත් භාරතීය ශාස්ත්‍රීය සංගීතය රස විඳින්න අවශ්‍ය ශික්ෂණය මට ලැබුණේ ඒ පුංචි අවුරුද්දක කාලය ඇතුළේ. ජ්‍යෝතිගේ සහ සුල්තානාගේ සුපුහුණු හඬවල් වල මිහිරියාව හරියටම විඳගන්න නම් ඒ ශික්ෂණය අවශ්‍යයි. නැත්නම් සමහර වෙලාවට ජ්‍යෝතිගේ හිනාව ළඟ හිත නවතිනවා. ඒ හිනාව අමතක කරලා හඬේ සුපුහුණු සුලලිත බව දිගේ දුරට දුරට දුරට යන්න නම් ඒ ශික්ෂණය අවදි කරගන්නම ඕනේ. 




'ටුක් ටුක් ටුක් ටුක් කර්තී චල්තී තාරී මාරී සින්දගී' කියන්නේ, සරලව කියනවා නම්, ජීවිතේ ඒකටම ආවේණික රිද්මයකට අනුව ඉදිරියට ඇදෙනවා කියනවා වගේ දෙයක්. මම හින්දි දන්නේ නැහැ. මම මේක කියන්නේ වෙබ් සයිට් තුනක තිබ්බ තේරුම් සහ, ඉන්දියන් කාරයෝ එක්ක සාමාන්‍ය මට්ටමින් කතා කරන්න පුළුවන් මට්ටමට හින්දි දන්න කෞශිගේ අර්ථකථනයත් සංසන්දනය කරලා. ටුක් ටුක් කොටසින් ජීවිතේ වේගය වගේම සුල්තාන්ගේ ස්කූටරයේ හඬ හැඟවෙනවා කියලා dohaz.com වෙබ් අඩවිය කියනවා. 

බ්ලොග් එක ලියන්න තරම් විවේකයක් මට පහුගිය දවස් වල තිබුණේ නැහැ. මේකත් ලියන්නේ මට නූරන් සහෝදරියෝ ගැන සහ මේ ගීතය ගැන ලියන්න මීට වඩා හොඳ පදනමක් නැහැයි කියලා හිතුණු නිසා. 

www.filmyquotes.com වෙබ් අඩවියේ මේ ගීතය සහ ඒකෙ තේරුම දාලා තියෙන්නේ මෙහෙම. මේකට යටින් මම වීඩියෝ එකේ ලින්ක් එක දානවා. 


LyricsTranslation
Doori dard hai, milan hai mastiDistance is painful, union is fun
Duniya mujhko dekh ke hastiThe world looks at me and laughs
Ishq mera badnaam ho gayaMy love has been defamed
Karke teri husn parasatiAfter staring at your beautiful body


Koi jogi, koi kalanderSome saint, some spiritual leader
Rehta hai apne meinResides within us
Koi bhoola hua sikanderSome lost magician
Rehta hai apne meinResides within us
Koi jogi, koi kalanderSome saint, some spiritual leader
Rehta hai apne meinResides within us
Koi bhoola hua sikanderSome lost magician
Rehta hai apne meinResides within us


Ho sajke dikhayegiIt will adorn itself
Ho haske bulayegiIt will smile and call you
Ho rajke nachayegiIt will make you dance
Tuk tuk, tuk tuk karti chalti thari mhari zindagiOur lives are dancing and moving foward
Re bole, re bole dola dhol dhadak dhinThe drums are beating
Dhadak dhin, dhadak dhinThe drums are beating
Tuk tuk, tuk tuk karti chalti meethi thari zindagiYour sweet life is dancing and moving foward
Re bole, re bole dola dhol dhadak dhinThe drums are beating
Dhadak dhin, dhadak dhin, dhadak dhinThe drums are beating


Apni marzi se banti bigadtiIt becomes upset and happy by itself
Banti bigadti, banti bigadtiUpset and happy, upset and happy
Dhuaan nahin, aag nahin, phir bhi hai jaltiIt doesn't have smoke and fire, but still it burns
Oye hoye, oye hoye, oye hoye, oyeOye hoye, oye hoye, oye hoye, oye
Apni marzi se banti bigadtiIt becomes upset and happy by itself
Banti bigadti, banti bigadtiUpset and happy, upset and happy
Dhuaan nahin, aag nahin, phir bhi hai jaltiIt doesn't have smoke and fire, but still it burns
Oye hoye, oye hoye, oye hoye, oyeOye hoye, oye hoye, oye hoye, oye


It's a take downIt's a take down
You gonna hit the ground hardYou gonna hit the ground hard
When life gets you hard and dhobi pachaadWhen life gets you hard and smashes you
What loving fighting ain't far apartWhat loving fighting ain't far apart
You can love the fightYou can love the fight
But you can't fight your heartBut you can't fight your heart


Apni marzi se banti bigadtiIt becomes upset and happy by itself
Banti bigadti, banti bigadtiUpset and happy, upset and happy
Dhuaan nahin, aag nahin, phir bhi hai jaltiIt doesn't have smoke and fire, but still it burns
Oye hoye, oye hoye, oye hoye, oyeOye hoye, oye hoye, oye hoye, oye


God of the one and the ground start shakingGod of the one and the ground start shaking
Making sounds that you shouldn't be makingMaking sounds that you shouldn't be making
Taking steps out of your comfort zoneTaking steps out of your comfort zone
And you're fine to fight most of your battles aloneAnd you're fine to fight most of your battles alone


Ho thaare jaisi chanchal haiIs it calm like you
Resham hai ya malmal haiIs it soft like velvet
Ya phir gehri daldal haiOr is it a deep bog
Zindagi yaara ra ra raHow is life, my friend
Ho din din ghatti jaati haiEveryday it gets smaller
Fasal yeh katti jaati haiIt chops off like crops
Nazar se hatti jaati haiIt disappears from our eyes
Zindagi yaara ra ra raThis is life, my friend


Dil samjhe nahin patandarThis foolish heart doesn't understand
Rehta hai apne meinIt stays within itself
Bas banta phire dhurandharIt just roams around being brave
Rehta hai apne meinIt stays within itself
Dil samjhe nahin patandarThis foolish heart doesn't understand
Rehta hai apne meinIt stays within itself
Bas banta phire dhurandharIt just roams around being brave
Rehta hai apne meinIt stays within itself


Ho sajke dikhayegiIt will adorn itself
Ho haske bulayegiIt will smile and call you
Ho rajke nachayegiIt will make you dance
Tuk tuk, tuk tuk karti chalti thari mhari zindagiOur lives are dancing and moving foward
Re bole, re bole dola dhol dhadak dhinThe drums are beating
Dhadak dhin, dhadak dhinThe drums are beating
Tuk tuk, tuk tuk karti chalti meethi thari zindagiYour sweet life is dancing and moving foward
Re bole, re bole dola dhol dhadak dhinThe drums are beating
Dhadak dhin, dhadak dhin, dhadak dhinThe drums are beating
Tuk tuk, tuk tuk karti chalti meethi thari zindagiYour sweet life is dancing and moving foward
Re bole, re bole dola dhol dhadak dhinThe drums are beating
Dhadak dhin, dhadak dhin, dhadak dhinThe drums are beating


මේ පහළින් තියෙන්නේ යූ ටියුබ් එකේ තියන වීඩියෝ එක 




මේක කාර් පිස්සුවෙ සාමාන්‍ය ලිපි වලට වඩා වෙනස් බව ඇත්ත. නමුත් මේක නොලියා බැරි දෙයක් වුණා. ළඟදීම සාමාන්‍ය විදිහට ලිපි ලියන්න ආපහු පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. 

හැබැයි ආපහු කියෝනකොට හිතුණා පාන් නැතිවුණු දාට හදාගන්න ඉමර්ජන්සි පොල් රොටියේ ඒකටම ආවේණික රහක් තියනවා වගේ මේ ලිපියෙත් වෙනම රහක් තියනවා කියලා. ඒකට එකඟ වෙන නොවෙන එක ඔයාලගේ වැඩක්.  

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
03.02.2018 
www.facebook.com/CarPissuwa
www.facebook.com/Soi11byTharinduSri

















පොත් ටික සදීපා, සරසවි, සමයවර්ධන, විජිත යාපා, සුරස, එක්ස්පෝග්‍රැෆික්, ලුමිනෙක්ස්, අහස, ප්‍රසාද් පොත්හල වගේ තැන්වලින් වගේම grantha.lk සහ booksbay.lk වෙබ් අඩවි වලින් ගන්න පුළුවන්.

Monday, September 10, 2018

පනස් අට වසරක ප්‍රේම කතාවක්





 "අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..."

ගිනිගහන මද්දහනේ, කෑගහන සතිපොළක් මැද්දේ, කෑගහන මිනිස්සු අතරේ, සන්සුන්ව, හිනාවීගෙන කතාකරන අසෝකරත්න මහත්මයාගේ කටහඬ මතක් කරද්දී මට මුලින් මතක් වෙන්නේ ඒ වචන ටික.

"අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..."

සති අන්තයේ අඩුම කුඩුම ටිකක් ගන්න කම්මැලි කමින් මිරිකී මිරිකී පානදුර පොළ ඇතුළට ගිහින් වාහනෙන් බහිනකොටම දැක්කේ මේ හතර ශ්‍රී පුංචි මී මැස්සා හෙවත් වෙස්පාව. බයික් වලට මහා ආසාවක් නැතත් ක්ලැසික් බයික් වලට ටිකක් ආසා, ඊට වඩා ටිකක් වැඩිපුර ක්ලැසික් ස්කූටර් වලට ආසා කෙනෙක් විදිහට ඉඳහිට පාරේ දකින Chetak එකක් අතගාන මට Vespa එකක් දැක්කම එන්නේ අර්ජුන කමලනාත්ලා අස්සෙන් විජය කුමාරතුංග මතුවුණා වගේ ෆීලින් එකක්... 

නැත්නම් කුසල් ජනිත් ගහනවා බලලා ඊට පස්සේ ජයසූරිය ගහනවා බැලුවා වගේ ෆීලින් එකක්...

එහෙම නැත්නම් නිව් බීට්ල් එකක් දිහා බලන් ඉන්නකොට ප්‍රේමතිලක මහත්තයාගේ කහ කිරිල්ලි එතනින් ගියා වගේ ෆීලින් එකක්...

මේවා ලියන්නේ Chetak වලට අපහාස කරන්න නෙමෙයි. හැබැයි වෙස්පා දෙනවා කිව්වොත් ඔය Chetak මල්ලිලා දුවන්නේ මාළු කාරයා මාලෝ කියන පරක්කුවට පූසෝ සේරම ඤාවෝ කියනවා වගේ ඉක්මනට...

ආපහු සතිපොළේ සීන්කෝන් එකට එනවා නම්, වාහනෙන් බහිනකොට දැක්ක 4 ශ්‍රී වෙස්පා එකට මගේ හිත හරියට මල්මල් විෂුවල් එකක කොල්ලා කෙල්ලට දැපනේ වැටෙනවා තරම් කුයික් එකේ වසී වුණා. මම වහාම ගිය වැඩේ පැත්තක දාලා සීනි ඇටේ වටේ කැරකෙන ඇඹල පුතා වගේ ඒක වටේ කැරකෙන්න පටන් ගත්තා.

ඒක දැක්කා එතන හිටපු අම්මෙකුයි දුවෙකුයි. එයාලා මන් දිහා බැලුවේ 'පිස්සෙක් ඇවිත්, අපි යමුද' වගේ භීති-පූර්වක මඤ්ඤං-මිශ්‍රිත අපහාස-ලාලිත ජංජාල-සජ්ජිත චෛතසිකයකින්...

මම එයාලගේ භී.ම.අ.ජ. තත්ත්වය එයාලට විඳගන්න ඇරලා දිගටම අර සීනි ඇටේ වටේ කැරකුණා.

ටික වෙලාවකින් වියපත් මහත්මයෙක්, හෙල්මට් එකකුත් දාගෙන, සන්සුන් ගමනින්, කෙහෙල් කඩේක ඇම්බුං යායක් අතරින් එළියට ආවා. මට තේරුණා මේ තමයි වෙස්පා ළඳගේ අතගත් හිමි සඳ කියලා.

මම සාමාන්‍යයෙන් අර අහක යන මිනිස්සුන්ගේ අතින් ඇදලා නවත්තගෙන උන් කාපු බූට්, ට්‍රිප් ගිය රූට් සහ මහගත්තු සූට් ගැන පැයක් තිස්සේ අහන ජාතියේ සමාජශීලී අපතයෙක් නෙමෙයි. ඒ නිසා එක තත්පරයක් මම කල්පනා කළා මෙතුමාට මී මැස්සා පිටේ නැගලා පියාඹන්න ඇරලා ආශාව දෙපරන්සේ ගහගෙන ගෙදර එනවද, නැත්නම් ඒ වයසක මනුස්සයව ගිනි අවුවේ හිට්ටෝලා තියලා පුරස්න අහනවද කියන එක.

අන්තිමට මම තෝරාගත්තේ පවුකාර ඔප්ෂන් එක.



සදාචාරය තකා එක්ස්කියුස් මී කියන්නත් කලින්, සංස්කෘතිය තකා නම ගම අහන්නත් කලින්, මනුස්සකම තකා ඔබතුමාට ඩිංගක් කතා කරන්න වෙලාවක් තියනවද අහන්නත් කලින්, ආගම තකා මේ මනුස්සයා අවුවේ මඩවන එක පවු නේද කියලා හිතන්නත් කලින්, කාර් පිස්සුව තකා මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

"මේක ඔබතුමාගෙද?"

මෙන්න මේ ප්‍රශ්නේ අහපු ගමන්, වාහන අයිතිකාරයාගේ මූණේ ඉරියවු වෙනස් වෙන දිශාව, වේගය, උස, දිග සහ පළල වගේ මානයන්ට අනුව, ඊළඟට තියෙන්නේ මතක සමුදායක්ද ගුටි පූජාවක්ද කියන එක සාමාන්‍යයෙන් කාර්/වෑන්/ලොරි/බයික් පිස්සන්ට තේරුම් ගන්න පුළුවන්.

වෙස්පා හිමිකරුගේ මුහුණේ තුංගා පියකරු හිනාවක් ඇඳුණා. ඒක ආඩම්බරය, සතුට, සැහැල්ලුව, හිතවත්කම සහ අත්දැකීම් බහුලත්වය වගේ බොහෝ දේවල් කැටිකරගත්තු හිනාවක්.

"ඔවු මගේ තමයි."

ඊළඟ ප්‍රශ්නය, පරණ වාහනයක් සහ වියපත් අයිතිකරුවෙක් දැක්කම නිතැතින්ම ඇහෙන ප්‍රශ්නයක්. හරියට කිඹුලා කිව්වම සතා මතක් වෙනවා වෙනුවට නිකම්ම බනිස් කියවෙනවා වගේ.

"කොච්චර කාලයක්ද ඔබතුමා ගාව?"

එතුමාගේ අර පියකරු හිනාව දෙගුණ වුණා.

"අවුරුදු පනස් අටක් විතර."

මම පුටින් බලන්න ඉන්නකොට රස්පුටින් දැක්කා වගේ හොල්මන් වුණා.

"ඒ කියන්නේ ෆස්ට් ඕනර් ඔබතුමා??"

"ඔවු. මම මේක ගත්තේ යුනිවර්සිටි යන්න. කාර් මාර්ට් එකෙන් ගත්තේ"

එතන ඉඳන් මම ප්‍රශ්න ඇහුවේ හරියට රංජන් මඩුගල්ලේ දැකපු රාජකීයයෙක් වගේ ගෞරව ඉරියවුවකින් (ඉස්සර ප්‍රින්සිපල් එනවා කිව්වත් කචකචේ නවත්තනේ නැති රාජකීය ශිෂ්‍යයෝ ඉස්කෝලෙට රංජන් මඩුගල්ලේ එනවා කෑ ගහන්නේ නැතුව ඉඳපල්ලා කිව්වම ජයමංගල ගාථා කියන්න බලාගෙන ඉන්න ගෑනු ළමයි වගේ සන්සුන් වෙනවා. දැන් නම් එහෙම නැතුව ඇති සමහරවිට). දකින මිනිස්සු හිතන්න ඇති මගේ පරණ ගුරුවරයෙක් හම්බ වෙලා කියලා.

එතන ඉඳන් ඉදිරියට එතුමා විස්තර කළා එතුමා ඔය පුංචි මී මැස්සට එච්චර ආදරේ ඇයි කියන එක. බැලින්නම් එතුමා ඉස්සර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති විදිහටත් කටයුතු කරලා තියනවා. තමන්ගේ බොහොම දීර්ඝ වෘත්තීය ජීවිතය ඇතුළේ, දවසක් දෙකක් හැර, වෙන කිසිම දවසක එතුමාට බස් එකේ ඉස්කෝලේ යන්න වෙලා නැහැ. 

අනික් අතට මේක නඩත්තු කිරීම, අද පවා, හරිම පහසුයි ලු. ඉඳහිට කොළඹ යන වෙලාවක, අවශ්‍යම නම් විතරක්, පංචිකාවත්ත පැත්තේ අර සුප්‍රකට අමතර කොටස් කඩ වලින් එතුමා අත්‍යවශ්‍ය අමතර කොටසක් දෙකක් අරගෙන තියාගන්නවාලු. ඒ ඇරෙන්න කවදාවත් වැඩ අතපසු කරගෙන බඩු හොයන්න තරමට ලෙඩ දීපු නැති වාහනයක් කියලා තමයි එතුමා කිව්වේ. මේ සියල්ල නිසා, රාජකාරි හෝ වෙනත් කටයුතු වලදී ගමනගමනය ගැන වද නොදී, කරන්න අවශ්‍ය දේ ගැන අවධානය දෙන්න එතුමාට මේ වාහනේ ජීවිත කාලෙ පුරාම උපකාරී වුණා ලු.

"මේක ඔය පොඩියට තිබුණට හරි සුවපහසුයි."

එතුමා වාහනේ අගය කිරීම අවසන් කළේ එහෙම.

"මම ෆොටෝ එකක් ගත්තට කමක් නැහැ නේද?" මම ඇහුවේ Vespa එකේ V අකුර වගේ ඇදවෙන ගමන්. එතුමාට කලින්ටත් වඩා ලොකු හිනාවක් ගියා.

"ගන්න ගන්න."

එහෙම කියලා එතුමා කැමරා කාචයට අහුවෙන සීමාවෙන් එහාට ගියා. මම බොහොම ඉක්මනට වෙස්පා එකේ ෆොටෝ එකතුනක් ගත්තා.



මට අවශ්‍ය වුණා එතුමා එක්ක සෙල්ෆි එකක් ගන්න. නැත්නම් අඩු තරමින් එතුමාගේ ෆොටෝ එකක් ගන්න. නමුත් දැනටමත් සෑහෙන වෙලාවක් එතුමාව අවුවේ තියාගෙන හිටපු නිසා ෆ්‍රන්ට් කැමරා ඔන් කරගෙන ගිනි අවුවේ ස්ක්‍රීන් එක බලන්න දඟල දඟල සෙල්ෆි ගහන නැහදිච්චි කමකට මගේ හැදිච්චි හිත නොනැවෙච්චි!

සමාවෙන්ඩ!

මම එතුමාට බොහොම ගෞරවයෙන් ස්තූති කරලා, සමු අරන් යන්න කලින් එතුමාගේ නම ඇහුවා.

"මම අසෝකරත්න..."

මට මුලින් අවශ්‍ය වුණේ මේ ෆොටෝ ටික නිකං ෆේස්බුක් එකේ දාන්න විතරයි. නමුත් දිගින් දිගට එතුමා සහ එතුමාගේ වෙස්පාව ගැන කල්පනා කරනකොට, මට හිතුණා මේක දීර්ඝව ලියන්න ඕන කියලා.

මගේ හදවතට වදින දේවල් මම ලියන්නේ බ්ලොග් එකේ. ෆේස්බුක් එක කොච්චර ජනප්‍රිය වුණත්, මගේ පොත් ප්‍රකාශන වැඩේට ඒක මට වචනයෙන් කියන්න බැරි තරම් ශක්තියක් වුණත්, හදවතේ ගැඹුරට කිඳා බහින හිනා කඳුළු අකුරු කරලා අලවන්න තරමට ෆේස්බුක් එක සංවේදී නැහැ කියලයි මට හිතෙන්නේ.

දැන් මට පුළුවනි මෙතන දීර්ඝ සංවාදයක් පටන්ගන්න, අපි ෆස්ට් ඕනර් වාහන වලට මෙච්චර ආසා ඇයි කියන එක ගැන. අවාසනාවකට ලංකාවේ බයින් ඇන්ඩ් සෙලින් කරන්න කබරගොයාලා ෆස්ට් ඕනර් වාහන කියන්නේ අසූව දශකයෙන් පස්සේ පවරා ගන්නේ නැතුව සීයකගේ විතර අතින් අතට ගිය වාහන වලට නිසා ඇත්තටම පළවෙනි අයිතිකරුවෙක් ජීවිත කාලයක් ආදරයෙන් බලාගත්තු ෆස්ට් ඕනර් කාර් එකක් හම්බවෙන්නේ හරිම කලාතුරකින්. නමුත් එහෙම සංවාදයක් පටන්ගත්තොත්, අසෝකරත්න මහත්මයාගේ ප්‍රේම කතාවට වඩා ඒ සංවාදයට අවධානය යයි කියලා මට බයයි. 

මට කතාකරන්න අවශ්‍ය මිනිස්සු සහ වාහන අතර තියන බැඳීම් ගැන විතරයි. ඒක අපේ කාලයේ මනුස්සකම් වල අපූරු පැතිකඩක්. 

මිනිහෙක් දශක හයක් තිස්සේ, තාක්ෂණය පියාඹද්දී, සංස්කෘතිය පුපුරා යද්දී, ජීවන රටාවල් සංකීර්ණ වෙද්දී, තමන්ගේ පෞද්ගලික ජීවිත ඔළුවෙන් හිටවෙද්දී පවා එක දෙයක් ළඟ තියාගෙන ආදරයෙන් රකිනවා නම්, මුල්ලක නොදා තාමත් එදා වගේම හරියට පාවිච්චි කරනවා නම්, එතන තියෙන්නේ නිකම්ම භාණ්ඩ හිමිකාරීත්වයක් නෙමෙයි. ඒක බැඳීමක්. මිනිස්සු සහ මනුස්ස නිර්මාණ අතර ඇතිවන අපූරු බැඳීමක්.




අසෝකරත්න මහත්මයට පහුගිය දශකයකදී අවශ්‍ය නම් ඕක විකුණලා තැපැල් නයින්ටියක් වගේ එකක් ගන්න තිබ්බා. නැත්නම් ටොයෝටා කොරොල්ලා එකක් ගන්න තිබ්බා. නැත්නම් ඩෙලිකා වෑන් එකක් ගන්න තිබ්බා.

ඒත් එතුමා ජීවිතේ හැත්තෑ වෙනි සැතපුම් කණුව පහුකරලා ඉද්දී පවා, දේශගුණ විපර්යාස මැද්දේ ක්‍රමයෙන් පෝරණුවක් බවට හැරෙමින් තියන පානදුර පොළේ, කොහෙන් ආපු මොකෙක්ද කියලා දන්නේ නැති මිනිහෙක් (හෙවත් මම) එක්ක, තමන් අවුරුදු පනස් අටකට කලින් ගත්තු වෙස්පා එක ගැන තමන්ගේ හිතේ තියන ආදරය වචන වලට හරවනවා.

මගේ ලිවිල්ල උපදින්නේ මේ මිනිස්සුන්ගේ හදවත් වලින්...

ඒ හදවත් වලට මම සදා ණයගැතියි...!
   
තරිඳු ශ්‍රී ලොකුගමගේ 




Monday, August 27, 2018

කාර් පිස්සුව Soi 11 වුණු හැටි සහ පොත් හතරේ කතාව


පොත් ටික ගෙදරට ගෙනත් දීපු ලේක්හවුස් එකේ ලොරිය පිටත් වෙලා ගියාට පස්සේ පළවෙනි පොත් පැකට් එක කඩලා පොතක් අතට ගන්නකම් සිහියක් තිබ්බේ නැහැ. අතට අහුවුණේ අයිස් කැට වැටෙන කාලය. ඒකෙ පිටකවරයේ ලස්සන දැක්ක ගමන් අලුතින් හිටෝපු මල් පැළ පාත්තියක පළවෙනි මල දැක්කා වගේ සතුටක් හිතට ආවා. 

පොත දැකපු ගමන් අම්මා කිව්වේ "තාත්තත් හිටියා නම්..." කියලා... 

Soi 11 සමාගම ලියාපදිංචි කරලා, ඊට පස්සේ ගෙදර ඉස්සරහා කාමරේ ඔෆිස් එකක් විදිහට හැදුවට පස්සේ මම පොත්පත් ටික පිළිවෙලට තියාගන්න අලුත් කබඩ් වගයක් ගත්තා. ඒ අලුත් කබඩ් වල පොත් ටික අහුරද්දී මට මතක් වුණේ මේ ගෘහ පුස්තකාලය හදද්දී තාත්තාගේ සල්ලි කොච්චර නම් වියදම් වෙන්න ඇතිද කියලයි. අමාරුවෙන් හම්බකරලා වියදම් කරන අද දවසේ මට තාත්තා ඒ දවස් වල මගේ දඩ සයිස් පොත් වලට වියදම් කරන්න ඇත්තේ කොච්චර අමාරුවකින් වෙන්න ඇතිද කියලා හිතෙනවා. 

සතුටුදායක දෙයක් දුක හිතෙන පැත්තකින් ආරම්භ කිරීම ගැන සමාවෙන්න. තාත්තා ගැන කතා නොකර මේ කතාව පටන්ගන්න බැහැ. 




මම කවදාවත් ව්‍යවසායකයෙක් වෙන්න කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් කාර් පිස්සුව ජනප්‍රිය වෙලා ඉස්සරහට යද්දී සහ කාර් ගැන සිංහලෙන් කතා කිරීමේ සම්ප්‍රදාය විධිමත් විදිහට ඉස්සරහට යද්දී මට මේක අන්තර්ජාල අවකාශයෙන් එහාට ගෙනයාමේ අවශ්‍යතාව තදට දැනුණා. මොකද අන්තර්ජාල අවකාශය තුළ තාමත් බොහෝ දෙනෙක් 'ක්ෂණික කික් එකකින්' සෑහීමකට පත්වෙනවා. ඒ කියන්නේ ඉන්ටනෙට් එකෙන් ගත්තු ජෝක් එකක් හරි quote එකක් හරි අමුවෙන් සිංහලට දාලා, අන්තිමට 'සහෝ' හරි 'බ්‍රෝ' හරි කියලා ලියලා දාලා, ඕක බූස්ට් කරලා හෝ නොකර ෂෙයාර් කරලා, ඊට පස්සේ ලයික් සහ ෂෙයාර්ස් ගාන දිහා බුකෝගෙන බලන් ඉන්න සීමාවෙන් එහාට මේක ගෙනියන එක මගේ වගකීමක් කියලා මට හිතුණා. මොකද කික් වලින් අපේ හෙට දවසට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඕක හරියට බඩගින්නට එනර්ජි ඩ්‍රින්ක්ස් බොනවා වගේ වැඩක්. පස්සේ හෝස් ගාලා බඩෙන් ගෑස් එන්න ගත්තම අනා ප්ලීස් කියවෙනවා. 

අනික් අතට, අලුත් දෙයක් හොයාගත්තම 'අත දෙන්න කවුරුත් නෑ' කියකියා තියන ආණ්ඩුවටයි ගිය ආණ්ඩුවටයි එන්න ඉන්න ආණ්ඩුවටයි බැන බැන දහ අතේ යනවා වෙනුවට ණයක් හරි අරගෙන තමන්ගේ වැඩේ සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට දියුණු කළ යුතුයි කියලා මම බොහොම තදට විශ්වාස කරනවා. මොකද හැම කෙනාටම අත දිදී ඉන්න පුළුවන් කමක් ලෝකේ කිසිම ආණ්ඩුවකට නැහැ. කාර් පිස්සුව සම්ප්‍රදාය අලුත් සම්ප්‍රදායක්. ඒක වඩාත් පුළුල් මට්ටමකට ගෙනයනවා නම් වාණිජ පැත්තක් තියන එක වළක්වන්න බැහැ. ඉතින් කාගෙන්වත් අත ඉල්ලන්නේ නැතුව කෞශියි මායි එකතු වෙලා අපේ ඉතුරුම් මේ වැඩේට ආයෝජනය කළා. 

අපි දෙන්නම කාර්ය බහුල රාජකාරි කරන දෙන්නෙක් නිසා මේ වැඩේ කොච්චර දුරකට ගෙනියන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ නිසා මුලින්ම තීරණය කළා වැඩේ සම්පූර්ණ වෙනකල් කාටවත් නොකියන්න. 

අමාරුම දේ වුණේ ව්‍යාපාර ලියාපදිංචියේදී රාජ්‍ය ආයතන වලට පොත් ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක කියලා දීම. මොකද ගොඩක් අය එකපාරටම අහන්නේ ප්‍රෙස් එකක්ද කියන එක, මුද්‍රණාලයක් කරගෙන යන්න විශේෂ බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රෙස් එකක් නෙමෙයි පබ්ලිෂින් එකක් කියන එක පැහැදිලි කරන්න විශේෂ වෙහෙසක් ගන්න වුණා. මේක නිලධාරීන්ගේ වරදක් නෙමෙයි. මේවා හැමදාම ලියාපදිංචියට ඉදිරිපත් වෙන ව්‍යාපාර නෙමෙයි නේ. මොනවා වුණත් දැන් ඒ කටයුතු ඉස්සරට වඩා ටිකක් පහසුවට කෙරෙනවා මම හිතන්නේ. අඩු ගානේ නිලධාරීන් දැන් හිනාවෙලා කතාකරනවා. ඒත් මදැයි. කොහොම හරි වැඩි ගැටලුවක් නැතිව අවශ්‍ය කටයුතු ටික කරගත්තා. ඒකට උදවු වුණු හැමදෙනාටම මගේ ස්තූතිය. 




දැන් වැදගත්ම කතාවට එමු. ඒ කියන්නේ පොත් හතර සහ ඒවාට පසුබිම් වුණු විෂයන්. 

පළවෙනිම එක තමයි 'ෆොක්ස්වැගන් ප්‍රශ්න සහ උත්තර - ෆොක්ස්වැගන් ගන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් ලියැවුණු අත්දැකීම් එකතුවක්' කියන පොත. මේකට තමයි මම මුලින්ම ISBN අංක සහ CIP දත්ත ඉල්ලුම් කළෙත්. 

කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක පටන් ගත්තු දවසේ ඉඳන්ම කට්ටිය නිතරම මගෙන් අහලා එවනවා ෆොක්ස්වැගන් ගැන විවිධ ප්‍රශ්න. මට ෆොක්ස්වැගන් එකක් තිබීම, මීට කලිනුත් ෆොක්ස්වැගන් ප්‍රොජෙක්ට් එකකින් නාගෙන තිබීම, 9 ශ්‍රී 5333 මේ වෙනකොට ටිකක් ජනප්‍රිය කාර් එකක් වීම සහ 5333 මාත් එක්ක රට වටේ යාම වැනි දේවල් නිසා මගෙන් වැඩියෙන්ම කට්ටිය අහන්නේ ෆොක්ස්වැගන් ගැන ප්‍රශ්න තමයි. සමහර වෙලාවට අධික වැඩ නිසා මට දිගට උත්තර ලියන්න අමාරු වෙන වෙලාවල් එනවා. ඉතින් පොදුවේ කාටත් සුළු මුදලකට මේ මූලික ප්‍රශ්න වලට උත්තර ලැබෙන පොතක් ලියන්න මට වුවමනා වුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පොත පළවුණේ.




දෙවෙනි පොත තමයි 'ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව'. මට ඉස්සර ඉඳන්ම, ලංකාවේ කාර් පිස්සුව තියන තවත් ගොඩක් අයට වගේම, ෆෝඩ් කෝටිනා මාක් 3 එක ගැන පොඩි මෙවුවා එකක් තිබ්බා. ඒක හරියට තක්කාලි ඇලජික් වෙන එකෙක් පීසා එකක් ගැන හිතනවා වගේ දුක්බර මෙවුවා එකක්, මොකද ඉඩකඩ සීමිත නිසා මගේ ගෙදර ෆොක්ස්වැගන් එකත් එක්ක කෝටිනා එකක් තියාගන්න ටිකක් අමාරු වෙන්න ඉඩ තියනවා. කෝටිනා එක ගැන මම ඉස්සර ලියපු 'කෝටිනා කොරෝනා සහ කෝක් තමා ඕනා' කියන ලිපියේ විස්තර තියනවා ඔයාලට මතක ඇති (මේ ලිපිය දැන් 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' පොතේ තියනවා). කොහොම වුණත් මේ පොත් ලිවිල්ලත් එක්ක කෝටිනා ගැන හොයන්න පෙළඹුණාම මට තේරුණා කෝටිනා එකට හරිම අලංකාර ඉතිහාස කතා දෙකක් තියන බව. මේ රස කතා දැනගෙනත් ඒවා නොලියා ඉන්නවා කියන එක අපරාධයක් කියලා හිතුණු නිසා මම තීරණය කළා දෙවෙනි පොත ඒ ගැන ලියන්න. 




තුන්වෙනි එක තමයි 'කාර් පිස්සුව සිතිවිලි එකතුව.' මේක කාර් පිස්සුව බ්ලොග් එකේ 2016 සහ 2017 අවුරුදු වල පළවුණු බ්ලොග් පෝස්ට් එකතුවක්. මේ සමහර පෝස්ට් මම මුද්‍රිත පොතකට හරියන විදිහට සංස්කරණය කළා. ඉස්සර ඉඳන්ම අපේ ආසිරි ඇල්ලගේ ඇතුළු ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා බ්ලොග් ලිපි එකතු කරලා පොතක් ලියන්න කියන එක. කාර්ය බහුලත්වය නිසා ඒ කාලේ මේක කරන්න වුණේ නැහැ. නමුත් පහුපහු වෙද්දී ගොඩක් දෙනෙක් කියන්න ගත්තා විශේෂයෙන්ම ෆෝන් එකෙන් බලද්දී පරණ පෝස්ට් හොයන්න අමාරු බව. ඉතින් ඒ නිසා, මම කැමතිම සහ කට්ටියට වැඩියෙන්ම වැදගත් වෙයි කියලා හිතුණු බ්ලොග් පෝස්ට් 26 ක් එකතු කරලා මම මේ පොතත් මුද්‍රණය කළා. 




අන්තිම සහ විශේෂම එක තමයි අයිස් කැට වැටෙන කාලය. මේක පළකරන්න මට කිසිම් අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. මේකේ තියෙන්නේ 2009 ට කලින් මම ලියපු කෙටිකතා කිහිපයක් සහ 2018 දී මම ලියපු එක කෙටිකතාවක්. මම ඉස්සර ඉඳන්ම කෙටිකතා කලාවට ආසයි. 2003 දී මම ලියපු 'නතාෂා මර්යුට්කා පිළිබඳ මතකය' කියන කෙටිකතාව ඒ අවුරුද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ විවෘත අංශයේ සම්මානය දිනුවා. කෞශි අදටත් ඒ කතාවට හරිම ආදරෙයි. නමුත් මම අද ඒ කතාව ගැන තෘප්තිමත් නැති නිසා මේ කතා එකතුවට ඒ කතාව එකතු කළේ නැහැ. මේ කතා කාර් ගැන කතා නෙමෙයි. එක කතාවක ප්‍රධාන කාර්යභාරයක් Citroen 2CV එකකට පැවරිලා තියනවා. ඒ කතාව තමයි මේ කතා අතරින් මගේ ප්‍රියතම කතාව. කොහොම වුණත් තවත් කාර් පොතක් කියලා හිතලා මේ පොත සීරියස් සංවාදයකට එකතු නොවී යටයාවි කියන බය මට තියනවා. ඒ නිසා සීරියස් සාහිත්‍යයට කැමති නම් සහ මගේ රචනා ශෛලියට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පොත අරගෙන කියවන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. 




මීට අවුරුදු 12 කට විස්තර ඉස්සර මට ඉස්සරලම රැකියාවක් දීලා මට ඔළුව උස්සන්න අතදීපු සදීපා ප්‍රකාශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර වන්නිඅච්චි මහත්මයට පොතක් දීලා තමයි මම මගේ පොතේ අලෙවි කටයුතු පටන්ගත්තේ. කැම්පස් එකේ කලා උපාධිය කරන්න පටන් ගනිද්දීම මට තේරුණා උපාධිය විතරක් කළොත් මගේ ජීවිතේ අවුරුදු කීපයක් වෘත්තීය සුදුසුකම් නැතුව අපතේ යන බව. ඒ නිසා සුළු රැකියාවකින් වෘත්තීය ජීවිතේ පටන්ගන්න මට අවශ්‍ය වුණා. ඒ වෙලාවේ මගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් නොවෙන ආකාරයට රැකියාවක් කරන්න මට අවස්ථාව දුන්නේ සදීපා එක. ඒ වෙනුවෙන් මගේ හදවතේ තියන කෘතඥතාව කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ.  




දැන් මේ පොත් ටික සදීපා, සරසවි සහ ලුමිනෙක්ස් පොත්හල් වල තියනවා. ඉදිරියේදී තවත් පොත්හල් වලට මේවා භාරදෙන්න බලාපොරොත්තු වෙනවා. 

ඊට අමතරව grantha.lk එකෙන් මේ පොත් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 




පුළුවන් කමක් තියනවා නම් අරගෙන කියවලා ප්‍රතිචාර එවන්න. ග්‍රන්ථ එකට ඉස්සරලා දාපු පොත් සෙට් එක දවසින් ඉවර වුණා. ඒ නිසා පහුවදා අලුත් පොත් ගිහින් දෙන්න වුණා. ඊට අමතරව සදීපා එක පැත්තෙන් විකිණෙන පොත් සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබෙන්නේ සදීපා එකේ කාර්ය මණ්ඩලය කොච්චර ඉක්මනට සහ හොඳට මේ පොත් ටික දෙනවාද කියන එකත් එක්කමයි. ඒ සම්බන්ධයෙන් එයාලට මගේ විශේෂ ස්තූතිය. 

මේ පොත් අරගෙන ගිය අය ඒ පොත්වල ෆොටෝ ගහලා පොත් අගය කරලා එවනකොට ඇතිවෙන හැඟීම මට වචන වලට පෙරළන්න බැහැ. ඒක හරියට මලකඩ හැලෙද්දී පටවාගෙන ආපු කාර් එකක සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා ඉස්සරලා පාරට දැම්ම ඇතිවෙන හැඟීම වගේ දෙයක්. 

කාර් පිස්සුව Soi 11 විදිහට මහපොළොවේ දෙයක් බවට පත්කරන්න  දායක වුණු ඔයාලා හැමෝටම ස්තූතියි. Soi 11 - by Tharindu Sri පේජ් එකටත් ගොඩවෙලා යන්න අමතක කරන්න එපා. 

  පොත්වල පිටු සැකසුම කළේ හරේන්ද්‍ර ගමමැදගේ 

  ලස්සනට කවර හැදුවේ ශේන් රත්නායක 


  සුපිරියට මුද්‍රණය කළේ ලේක්හවුස් වාණිජ මුද්‍රණ අංශය. සම්බන්ධීකරණය කරලා ගොඩක් උදවු කළේ සුමිත්. 



තරිඳු ශ්‍රී ලොකුගමගේ 
27.08.2018 
www.facebook.com/CarPissuwa
www.facebook.com/Soi11byTharinduSri