Monday, October 21, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි)



ලංකාවේ සෑහෙන පිරිසක් Scammel Scarab ගැන කතා කරමින් ඉන්න මොහොතක මගේ හිත Scammel Pioneer 6x4 එකක් ගාව නැවතුණා.

ලන්ඩනයේ හදාපු මේ දැවැන්තයා දැන් ඉන්නේ රත්මලානේ එක්තරා අඳුරු මුල්ලක. ලංකාවේ tough ම මිනිස්සු එක්ක ගනුදෙනු කරපු ඒ දැවැන්තයාට දැන් ලැබෙන්නේ 'ඔතනින් එහාට යන්න එපා පුතා' කියන විධානය තඹේකට මායිම් නොකරන පොඩි උන්ගේ පහස විතරයි. 

මේ දැවැන්තයාගේ ලියාපදිංචි අංකය ගුවන් 2049.

එයා ඉන්නේ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ...




රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය කියන්නේ උපන් ලපයක් වගේ දෙයක්. අපි දන්නවා ඒක තියනවා කියලා. නමුත් අපි වැඩි දෙනෙක් ඒ ගැන සීරියස් හිතන්න පෙළඹිලා නැහැ. ඉඳල හිටලා මොකක් හරි හේතුවක් නිසා ඒක මතක් වුණත් ඒ සැණින් ගොඩක් දෙනෙකුට ඒක අමතක වෙලා යනවා. ඔය කෞතුකාගාරයේ රථවාහන අංගණය ඇතුළේ තියන වාහන වල ෆොටෝ අනන්තවත් අන්තර්ජාලයේ ඇති. හැබැයි ඒ වුණත් ඒක බලන්න ගිය කෙනෙක් හොයාගන්න එක අද දවසේ ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් එකක් නැති එකෙක් හොයාගන්නවා වගේ වැඩක්!

ඉතාම අවංකවම ඇත්තක් කියනවා නම්, අපි රත්මලානේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න ගියේ තායිලන්තයේ ගුවන් හමුදා කෞතුකාගාරය දැකලා ඇතිවෙච්චි ආසාව නිසා. බැංකොක් වලම තිබුණත් හොයාගන්න සහ ළඟාවෙන්න ටිකක් අමාරු (2020 න් පස්සේ ඒ ප්‍රශ්නය විසඳෙනවා) ඒ අපූරු ගුවන් හමුදා කෞතුකාගාරයේ ආපනශාලාවක ඉඳන්, තායිලන්තයේ රස බලාපු කෑම වර්ග අතරින් රසම කෑම දීසි දෙකක් ඉවර කරන අතරේ අපි කල්පනා කළා ගෙදර ඉඳන් උගුර පෑදුවම රත්මලානට ඇහෙන තරම් ළඟක හිටියත් කවදාවත් අපි ලංකාවේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න ගිහින් නැහැ නේද කියලා.

හැබැයි ඒ පාර ලංකාවට ඇවිල්ලත් අවුරුද්දක් විතර ගියා ලංකාවේ ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න යන්න.

අන්තිමට යාන්තම් වැඩ රාජකාරි අඩු වුණු දවසක මගේ Mini එකත් අරගෙන අපි ගියා රත්මලානට. නව ගුවන් තොටුපළ පාරට හැරෙව්වම, රත්මලාන ගුවන් තොටුපළේ ධාවන පථයට සමාන්තරව ඉද්ද ගැහුවා වගේ ඉස්සරහට විහිදෙන පාර දැක්කම මිනි එක ලෑල්ලට පාගන්න ආපු ආසාව මැඩගත්තේ ජාතික ආරක්ෂාව ගැන උන්කඩුපුච්ඡයෙන් පවා හිතලා...

ගුවන් තොටුපළේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන්ගෙන් පාර අහගෙන අන්තිමට නියම තැනට ගියාට පස්සේ එහෙ නිලධාරීන් කිව්වා වාහනේ පාක් කරන්න ඕනේ 'ඈත තියන ලයිට් කණුවට එහායින්' කියලා. පොඩි උන් රංචුවක් අරගෙන ආපසු බස් දෙකතුනකට නම් එතන එහා පැත්තේ පාක් කරන්න අවසර ලැබුණත් මගේ වාහනේ පොඩි එකෙකුට කියලා හිටියේ මම විතරක් නිසා මම ඒ ඈත තිබ්බ ලයිට් කණුවට එහා තිබුණු මන්දපෝෂිත ගසක් ගාව මිනි එක පාක් කරලා ආවා.




ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 120 යි. පොඩි එවුන්ගේ නිමක් නැති කෑගැහිලි ඇදිලි දැඟලිලි මැද්දේ, ගුවන් හමුදා නිලධාරියෙක් 'අනේ පුතේ ඔය මාමට ටිකට් ගන්න යන්න දෙන්න. අනේ අම්මල ඔය පොඩි අයව පොඩ්ඩක් පැත්තකට ගන්න' කියලා කීප පාරක් ආයාචනා කළාට පස්සේ ටිකට් ගන්න ලැබුණා.

එතන හිටපු අපි හැමෝම ටිකට් ගත්තට පස්සේ අර ගුවන් හමුදා නිලධාරී මහත්මයා අපිව එතන තිබුණු මැප් එකක් ගාවට එක්කගෙන ගිහින් ඉතාම සෘජු, පැහැදිලි, කෙටි වුණත් සවිස්තර හැඳින්වීමක් කළා, අපි කොහොමද ඒ දැවැන්ත භූමිය ඇතුළේ ඇවිදින්න ඕන කියන එක ගැන. අක්කර 18 කටත් වැඩි විශාල වපසරියක විහිදෙන ඒ භූමිය සැලසුම් කරලා තිබ්බ අපූරුව ගැන මට පුදුම හිතුණේ ඒ වෙලාවේදීමයි. ඒ නිලධාරී මහත්මයට ස්තූති කරලා අපි හෙමින් සීරුවේ එළිමහනේ අසිරිය පටන් ගත්තා.




තමන්ගේ ආයු කාලය පුරාම මනුස්ස වර්ගයාගේ වැඩවලට දායක වෙලා අන්තිමට විශ්‍රාම යවාපු වාහන වලින් විහිදෙන ඒ දුකක් වගේ මොකක්ද එක දැනෙන්නේ වාහන සංස්කෘතියේ මානුෂික පැත්ත විශ්වාස කරන අයට විතරයි, මම එහෙම කෙනෙක් නිසා මට ප්‍රදර්ශන භූමියේ AC-03 අංකය යටතේ තියන Mikoyan - Gurevich MIG 15 UTI එක ගැන එක්තරා විදිහක දුකක් දැනුණා. ලංකාවට දැන් කෙළවරක් නැතුව වහින වැහි, හමන හුළං සහ ගහන අකුණු වලින් පීඩාවට පත්වෙලා කහ-දුඹුරු පාට ගැහුණු cockpit වීදුරු ජීවිතේ අනියත බව ගැන එක්තරා බෞද්ධ-සංස්කෘතිකමය දුකක් හිතට ගේනවා.

හැබැයි ඒත් එක්කම ඉතාම පිළිවෙළට ලස්සනට නිර්මාණය කරලා තියන පරිසරය, දඟයන්ට සෙල්ලම් කරන්න තැන් තැන් වල හදලා තියන සෙල්ලම් අලි, ඔන්චිල්ලා සහ සෙල්ලම් ගුවන් යානා අස්සෙන් මතුවෙන පොඩි උන්ගේ හිනා හඬවල් සහ ගුවන් යානා වල ඉතිහාසය ඇතුළු වගතුග ඉතාම කෙටියෙන්, හැබැයි පැහැදිලිව භාෂා තුනෙන්ම දක්වලා තියන පුවරු වගේ දේවල් එක්ක අර දුක හිතෙන් මැකිලා ගිහින් මේ අපූරු ස්ථානය ගැන කුතුහලයක්, ඒක මෙච්චර හොඳට නඩත්තු කරන මිනිස්සු ගැන ආදරයක් සහ මෙච්චර කාලයක් මෙතනට එන්න බැරි වීම ගැන පුංචි පසුතැවිල්ලක් හිතේ ඉතුරු වුණා.







මේ කොටසේ ප්‍රදර්ශනයට තියලා තියන ගුවන් යානා බලාගෙන ඉස්සරහට ගියහම අපි එනවා Hangars තුනක් තියන තැනකට. එතන එළිමහනේ තියලා තියනවා ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ට්‍රක් රථ. මෙතන තමයි ආහාරපාන අලෙවිසැල් තියෙන්නෙත්. අවාසනාවකට මේ දවස් වල එයාලට ස්ටාෆ් ප්‍රශ්නයක් තියන නිසා කෑම බීම හැදෙන්නේ නැහැ කියල Milk Bar එකේ සේවය කරමින් හිටපු මහත්මයා කිව්වා. ඒ නිසා ගන්න තිබ්බේ නෙස්ටී, අයිස්ක්‍රීම් සහ පෙබල්ස් වගේ දේවල් විතරයි.

ඔය එළිමහනේ තියනවා simulator එකක්. ඒ කියන්නේ ගුවන් යානයක පියාසර අත්දැකීම ගුවන් යානයක් ඇතුළේ ඉඳගෙන ඩිජිටල් ක්‍රමයට කෘත්‍රිමව විඳින්න පුළුවන් තැනක්. අවාසනාවකට අපි ගිය දවසට කලින් දවසේ තිබ්බ අධික වර්ෂාව නිසා ඒකේ විදුලි කාන්දුවක් ඇවිත් ඒක අලුත්වැඩියා කරන්න වහලා දාලා තිබුණේ.







මෙතන තියනවා hangars තුනක්. එකක් තමයි vehicle hangar එක. ඒකෙ තමයි අර කාර් පිස්සෝ නිතර දැකලා තියන වාහන තියෙන්නේ. එතනම තමයි Scammel Pioneer 6x4 එක තියෙන්නෙත්. ඊට අමතරව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්මයා පාවිච්චි කරපු Mercedes Benz 230.6 W114 එක තියෙන්නෙත්. තවත් වාහන කිහිපයක්, ඒවා ගැන විස්තර ලියාපු පුවරු එක්ක ලස්සනට එතන ප්‍රදර්ශනයට තියලා තියනවා. 










දෙවෙනි එක general exhibits. මේකේ තියනවා ගුවන් හමුදාවට සම්බන්ධ විවිධ ඓතිහාසික, දුර්ලභ සහ වැදගත් දේවල්.

එක සහ දෙක අතර තියනවා engineering exhibits තියන කොටසක්. ඒ කියන්නේ ගුවන් හමුදාමට ඉංජිනේරු විද්‍යාමය වශයෙන් සම්බන්ධ විවිධ දේවල්. මෙතන තියන වැදගත්ම දේ තමයි Blackstone diesel engine driven generator එක. 1933 දී සැලසුම් කරලා, 1942 දී කටුනායක රාජකීයගුවන් හමුදාවේ ප්‍රධාන විදුලි බලාගාරයේ සවිකරපු මේ විදුලි ජනක යන්ත්‍රය  1988 දී තමයි මේ කෞතුකාගාරය තියන ස්ථානයට ගෙනත් තියෙන්නේ. විශේෂත්වය තමයි මේක අදටත් ක්‍රියාකාරී වීම! ඊට අමතරව ලිස්ටර් යාන්ත්‍රික වතුර පොම්පයක්, ගල් රෝලක් වගේ තව දේවල් මෙතන දකින්න පුළුවන්. 






තුන්වෙනි Hangar එකේ තියෙන්නේ ඡායාරූප, තියටර් එකක් සහ තව simulator එකක්. මේ කොටසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, එයාලගේ නිල ඇඳුම්, ආයුධ, ඒ වගේම එයාලගේ ඉතිහාසය සම්බන්ධ විශේෂ දේවල් විවිධ ආකාර වලින් විස්තර කරලා තියනවා. ඒක ගොඩක් අයගේ හිත් දිනාගත්තු තැනක් බව එතන හිටපු සෙනග කන්දරාවෙන් තේරුණා. 

එතන එළියේ ගුවන් යානා එන්ජින් වර්ග, ඉතාම පැහැදිලිව විස්තර කරලා ප්‍රදර්ශනය කරලා තියනවා. ඒවා කොච්චර ලස්සනට ප්‍රදර්ශනය කරලා තිබුණාද කියනවා නම් ආපසු ඉස්කෝල කාලෙට ගිහින් ගුවන් යානා ඉංජිනේරුවෙක් වෙන එක ඉලක්ක කරගෙන ඉගෙන ගන්න පටන් ගන්න හිතුණා.







මෙතනින් එළියට යනකොටම තියනවා ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ හෙලිකොප්ටරයක් වන MI 24. සන්තකේ තියන සියලුම ආභරණ පැළඳගෙන උයන් සිරි විඳින්න එළියට බැස්ස උඩරට මැණිකේ කෙනෙක් වගේ ආයුධ සේරම පිරිවරාගෙන වත්ත මැද්දට වෙලා ඉන්න මේ දැවැන්තයා, ලංකාවේ තිබුණු යුද්ධය ගැන වීර රසය සහිත හැඟීම් දරන කාගේත් හිත් කීරි ගස්සාවී. 




ඔතන ඉඳන් ඉස්සරහට, කඩාවැටුණු ගුවන් යානයක සුන්බුන් වගේ හදලා තියන තැනක් ඇතුළුව තවත් ගුවන් යානා බලාගෙන ඉස්සරහට එනකොට විලක් එක්කම තියනවා log cabin එකක්. කැමති අයට එතන ඉඳලා ගිමන් හැරලා සිරි නරඹලා යන්න පුළුවන්. 

එතනින් එහා පැත්තේ විලේ මැද සහ වටේ තියෙන්නේ LTTE පාලන ප්‍රදේශ වල තිබිලා විනාශ කරපු වාහන සහ කොළඹට ගහන්න ඇවිල්ලා කඩා වැටුණු ගුවන් යානයක්. ඒවා දිහාත් කෙනෙකුට තමන් කැමති කෝණයකින් බලන්න පුළුවන්. එකපැත්තකින් රටේ දශක තුනක් පුරා අහිංසක ජීවිත මහා රාශියක් විනාස කරපු යුද්ධය ඉවර වීම ගැන කෙනෙකුට සතුටක් හිතෙන්න පුළුවන් අතර, ඒ ගිනි අරන් කරවෙලා විනාස වෙලා ගිහින් තියන වාහන ඇතුළේ සමහර විට තමන් විශ්වාස කරපු හෝ නොකරපු දෙයක් වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වුණු මනුස්සයෙක් අවසන් හුස්ම හෙළන්න ඇති නේද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලංකාව තාමත් සුන්දර රටක් විදිහට තියෙන්නේ විවිධ අදහස් වලට එකට පවතින්න පුළුවන් වෙන නිසා. ඒ තත්ත්වය දිගටම පවතීවා කියලා ප්‍රර්ථනා කරමු! 







මෙතනින් එළියට එනකොට පුංචි අයට සෙල්ලම් කරන්න පුළුවන් පාක් එකක් තියනවා. මහා දේවල් නැතත් ඔන්චිල්ලා, ගුවන් යානා ලිස්සන බෝට්ටුවක් වගේ දේවල් එතන දැකගන්න පුළුවන්. එතනින් ඇවිදගෙන එනකොට හමුවෙන්නේ හරිම අපූරු දෙයක්.  Puzzle Garden එකක්. ඉතාම ලස්සනට ගස් වවලා ඉතාම විධිමත්ව පවත්වාගෙන යන මේකේදී කරන්න තියෙන්නේ පඳුරු අතරින් පාර හොයාගෙන අවසානය දක්වා එන එකයි. වැඩිහිටියන්ට මේකේ මහා දෙයක් නැති වුණත් පුංචි අයට මේක අපූරු විනෝදයක් ගෙනේවි. සීමිත කාර්ය මණ්ඩලයක් එක්ක මේ භූමිය මේ තරම් විශිෂ්ට මට්ටමින් නඩත්තු කරනවට ගුවන් හමුදාවට විශේෂම ස්තූතියක් හිමිවෙන්න ඕනේ. 





එතනින් පිටවුණාට පස්සේ, ආපහු ඇවිදගෙන එන්න තියන මාවත දිගේ එනකොට තවත් ගුවන් යානා කීපයක් පහුවෙලා Main Hangar එක හම්බවෙනවා. මෙතන තියනවා Kfir C2 සහ MiG 23-UB වගේ යානා වගේම පැරණි ගුවන් යානා, හෙලිකොප්ටර් සහ Drones වගේ දේවල්. එක ගුවන් යානාවක් තියනවා කැමති අයට ගොඩවෙලා බලන්නත් පුළුවන් (අපි ඉන්න වෙලාවේ ඒකට නැග්ගා පොඩි දරුවෝ දෙන්නෙක්. අවුරුදු හතරක විතර පොඩි එකෙක් කොච්චර ඒකට ආසා වුණාද කිව්වා නම් උඩට නැග්ග ගමන් සිඟිති හඬින් 'අම්මත තිලි' කිව්වා. අපට ප්ලේන් එක හෙල්ලෙන තරමට හිනා ගියා). 








මෙතනින් එළියට ආවම තව දේවල් දෙකක් තියනවා. එකක් තමයි Souvenir shop එක. ගුවන් යානා ආකෘති, කැප් තොප්පි, බෑග්, පැන්සල්, කුඩ, ඔරලෝසු, කී ටැග්ස් වගේ තව දේවල් ඉතාම සාධාරණ මිලගණන් වලට ගන්න පුළුවන් (කාඩ් වලින් ගෙවන්න හැකියාවක් නැහැ කිව්වා. ඒක තාවකාලික ගැටලුවක් වෙන්න පුළුවන්). ඊට එහාපැත්තෙ තියනවා craft lab එක. එතන තමයි එයාලා ගුවන් යානා ආකෘති හදන්නේ. ඇතුළට යන්න පුළුවන් වගේ පෙනුණට යන්න බැහැ. පිටත ඉඳන් වීදුරු වලින් එයාලා කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන්. ඒක සෑහෙන awkward ගතියට දැනුණු නිසා සහ අවුව එක්ක එන  glare එකට ඔළුව කැක්කුම හැදෙන්න පවා ඉඩ තිබුණු නිසා අපි එතන වැඩි වෙලා රැඳුණේ නැහැ. 

ඔන්න දැන් අපි ආපහු ඇතුළු වුණු තැනටම ඇවිත්. ඒ දොරටුවෙන්ම තමයි පිටතට එන්න තියෙන්නේ. එතනින් එළියට ඇවිත්, පදිකයන්ට යන්න වෙන්කරලා තියන මං තීරුවේ, ගුවන් යානා රූප වලින් පිරුණු තාප්පය ළඟින්ම ඇවිදගෙන අපි කෑම්ප් එකෙන් එළියට ආවා. 





මම මේ විස්තර ලිව්වේ ඉතාම කෙටියෙන්. අක්කර දහ අටක් පුරා විහිදුණු තැනක් ගැන වචන එක්දාස් පන්සීයකින් විතර ලියනවා කියන්නේ ෆෙරාරි සමාගමේ ඉතිහාසය ගැන විනාඩි එකහමාරක යූටියුබ් ක්ලිප් එකක් හදනවා වගේ වැඩක්. ඒ වුණත් එහෙම හරි ඔයාලා වෙනුවෙන් මේ විස්තර ලියන එක මගේ යුතුකමක්. 

ඔයාලට පොඩි අය ඉන්නවා නම්, අනිවාර්යෙන්ම එයාලත් එක්කගෙන මෙතන පෙන්නන්න එන්න. දැනටමත් ගොඩක් අය ඒක කරනවා වගේ පෙනුණා. හැබැයි වෙන ට්‍රිප් යන අතරේ එන්න එපා. මෙතන හොඳට වෙලාව අරන් බලන්න ඕන තැනක්. ඒ වගේම අපි ඉන්න වෙලාවේ ආපු සමහර පොඩි අය සත්තු වත්තට යමු කියල අඬනවා ඇහුණා. සත්තු වත්තේ යන්න කලින් ටක් ගලා බලාගෙන යන්න පුළුවන් තැනක් නෙමෙයි මෙතන. එහෙම කරන එක දරුවන්ට සහ ගුවන් හමුදාවට වගේම ඔයාලටත් කරගන්න අසාධාරණයක්. 

අනික් අතට ඔයාලා ගුවන් යානා ගැන විතරක් නෙවෙයි පොදුවේ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍ර ගැන උනන්දුවක් දක්වනවා නම්, නිදහසේ පැය කීපයක් ගතකරන්න බලාගෙන මෙතනට එන්න. මේකේ තියන විස්තර පුවරු හොඳට කියවන්න. එන්ජින් ගැන තියන කොටස හොඳට අධ්‍යයනය කරන්න. එයාලා දාලා පෙන්නන වීඩියෝ දර්ශන බලන්න. පුළුවන් කමක් තිබ්බොත් simulator අත්දැකීම විඳින්න. වැඩි විස්තර අවශ්‍ය නම් එයාලගෙන් අහන්න. ප්‍රදර්ශන භාණ්ඩ අතපත ගාන්න යන්න එපා. විනීතව හැසිරෙන්න. නියම කරලා තියන පාරවල් වල විතරක් ඇවිදින්න. 




දන්නා තරමින් සඳුදා කෞතුකාගාරය වහලා. අනික් දවස් වල උදේ 8.30 ඉඳන් හවස 4.30 වෙනකල් විවෘතයි. 

මේ ගැන තව විස්තර වෙනත් කෝණ වලින් වෙනත් තැන්වලත් ලියන්න මම බලාපොරොත්තු වෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒවත් කියවන්න. 

යුද්ධය ගැන වෙන අය කියවන දේවල් විශ්වාස කරගෙන යාළුවෝ එක්ක රණ්ඩු කරගන්න එක එක මොහොතකට කල්තියලා, ඒ යුද්ධයට ගුවන් හමුදාව සම්බන්ධ වුණු ගැන හරියටම දැනුවත් වෙන්න දවසක නිදහසේ ඇවිත් යන්න. 

නිල වෙබ් අඩවිය: www.airforcemuseum.lk


- තරිඳු ශ්‍රී ලොකුගමගේ 

(මේ සියලුම ඡායාරූප ගත්තේ අපි. මේ වගේ ගමන් වලදී ඔයාලා වෙනුවෙන් තොරතුරු එකුතුකරන්න අපි කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරනවා. ඒ නිසා මේ තොරතුරු හෝ ඡායාරූප හොරෙන ගන්න එපා. අවශ්‍ය නම් අහලා, credits දීලා උපුටාගන්න). 

මගේ අලුත්ම පොත (නවකතාවක්):





සරසවි, සදීපා, දයාවංශ ජයකොඩි, සූරිය, ලුමිනෙක්ස් (මොරටුව, පානදුර), අහස (බොරලැස්ගමුව), Expographic (පැලවත්ත) පොත්සාප්පු වලින් ගන්න පුළුවන්. 

අන්තර්ජාල ඇණවුම්:
grantha.lk 
KBOOKS 
Book Hunter 

Soi 11 පොත් එකතුව:

මේ පොත් කලින් කියපු පොත්හල් වලට අමතරව ගොඩගේ සහ සමයවර්ධන පොත් හල් වලත් තියනවා. වයර් පොටක සෞන්දර්ය විතරයි මේ පොත්හල් දෙකේ නැත්තේ.

Monday, September 9, 2019

ගුණේ අංකල් මගුල් ගෙදර ගිය හැටි




ගුණේ අංකල්ට කාර් පිස්සුව හැදුනේ පැන්ෂන් ගියාටත් පස්සේ. ඉස්සර ගුණේ අංකල් රස්සාව කරන කාලේ ඩ්‍රයිවර් එක්ක තමයි හැම තැනම ගියේ. ඒ කලේ ගුණේ අංකල් ඉඳහිටක නොකර බැරිකමට ඩ්‍රයිව් කළා ඇරෙන්න මහා ආසාවකින් වාහන පදින්න ගියේ නැහැ. ගුණේ අංකල්ගේ තියරිය උනේ වාහන තියෙන්නේ ගමන් කරන්න මිසක් ජොලි කරන්න නෙමෙයි කියන එකයි.

පැන්ෂන් යන්න කලින් ගුණේ අංකල් පැන්ෂන් ජීවිතේ ගැන මාර සැලසුම් ගැහුවා. මාදු ගඟේ ඔරු පදින්න, යාපනේ ගිහින් නාගදීපේ බලන්න, චීනේ ගිහින් බඩු ගේන්න, ඉස්කෝලයක් ළඟින් ස්ටේෂනරි කඩ කෑල්ලක් දාගන්න; ඔන්න ඔය වගේ හැට හුටහමාරක් දේවල්.  ඔය ලිස්ට් එකේ කවදාවත් ඩ්‍රයිවින් සම්බන්ධ දේවල් තිබ්බේ නැහැ.

වයසට යද්දී ගුණේ අංකල්ට පොඩි පොඩි අමතකවීම් එහෙම වෙන්න ගත්තා. වැඩට ගෙනියන බ්‍රීෆ්කේස් එක අමතක වීමෙන් පටන් අරගෙන ගෙදරට දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පිටින්ම ගුණේ ඇන්ටිට යන්නං කියලා යන්න පිටත් වීම වගේ දේවල් වෙන්න ගත්තම ඇන්ටි ටිකක් කලබල වුණා. කොටින්ම ලංකාවේ මිනිස්සු හැම අමතකවීමක් සම්බන්ධයෙන්ම කියන 'දවසක කලිසම නැතුව වැඩට යයි' කියන එක පවා ගුණේ ඇන්ටි කිව්වා. ඒ වුණාට ගුණේ අංකල් සැලුණේ නැහැ.

"වයසට ගියාම මිනිහෙකුට අමතක වීම වෙන්න ඕනා. නැත්තං ඒක පට්ටි දාපු එළදෙනක් වෙලත් කිරි එරුණේ නැහැ වගේ වැඩක්."

ගුණේ අංකල් කිව්වේ එහෙමයි.

"අනේ මේ කුණුහබ්බ කියන්නේ නැතුව ඉන්න අනේ!"

ඇන්ටි උත්තර දුන්නේ එහෙමයි.

ඔහොම තත්ත්වයක් තියෙද්දී පවා ගුණේ අංකල් පැන්ෂන් ගියාම ගුණේ අංකල්ගේ පුත්තරයා අංකල්ට කොරොල්ලා කට්ටක් අරගෙන දුන්නා.

"තාත්තව මරාගන්නද හදන්නේ උඹ?"

ගුණේ ඇන්ටි පුතණ්ඩියාගෙන් ඇහුවේ එහෙමයි.

"නැහැ ජීවත් කරවන්න. ජීවිත කාලෙම රස්සාව කරපු මනුස්සයෙක් ගෙදරට සීමා උනොත් බෙල්ලේ වැල දාගන්නවා. ඔය ඔරු පදින චීනේ යන කඩ දාන වැඩ අපේ තාත්තා කරන්නේ නැහැ. අඩු ගානේ මාකට් එකට හරි යන්නේ නැතැයි."

පුතණ්ඩියා හිනාවෙලා උත්තර දුන්නා.

ගුණේ අංකල්ට තෑග්ගට මාර සතුටුයි. මොකද පෙන්ෂන් ගියාම තමයි ගුණේ අන්කල් දැනගත්තේ තමන් චීනේ තියා තූත්තුකුඩියේ වත් යන එකක් නැහැ කියලා. මිනිස්සු කවද්ද ප්ලෑන් කරපු දේවල් කළේ? ඉතිං ගෙදරටම වෙලා ඉන්නවට වඩා කාර් එක අරන් මාකට් එකට වත් යන්න ලැබෙන එක කොච්චර හොඳද කියලා ගුණේ අංකල්ට මීටර් උනා. ඒ සන්තෝසෙට අංකල් අවුරුදු පහළවකට විතර පස්සේ පළවෙනි වතාවට පුතණ්ඩියා බදාගෙන ඉම්බා. පුතණ්ඩියා ලැජ්ජාවෙන් පස්සට උනා.

ගුණේ අංකල් ඉතිං තමන්ගේ පාඩුවේ මාකට් එකට ගිහින් කෙහෙල්ගෙඩි සහ පොල්තෙල් ගේනවා වගේ වැඩ කරගෙන ඉන්නකොට දවසක් අංකල්ගේ පැත්තේ ඥාතියෙක් බඳිනවා කියලා වෙඩින් එකකට ආරාධනාවක් ආපි. ඒක අහලා ගුණේ ඇන්ටි ගස්සලා අහක බලාගත්තා.

"ඕකුං අපේ මගුල් තුලා වලට ආවද? අපි යන්නේ මොකටද?"

ගුණේ ඇන්ටි රවලා බලලා එහෙම ඇහුවා.

"මේ නහින දෙහින වයසට තරහ මරහ තියාගන්නේ මොකටද නෝනේ? අපි ගිහින් එමු. මට කාර් එක දුර එළවන්නත් පුළුවන්."

ගුණේ අංකල් හිනාවෙලා කිව්වා.

ඒ වුණාට ඇන්ටි ගමන යන්න ආවේ නැහැ. තනියම යන්න එපා කියලා කිව්වට ගුණේ අංකල් ඇහුවෙත් නැහැ. ඇන්ටි කාමරේට වෙලා ඔරෝගෙන ඉද්දීම 'මම ගිහිං එන්නං' කියලා ගුණේ අංකල් කාර් එකේ මගුල් ගෙදර යන්න පිටත් වුණා.

ගුණේ අංකල්ට සාමාන්‍යයෙන් පාරේදී නම් කේන්ති යනවා. ඉතින් ටික දුරක් යනකොට පාරේ නීති කඩන වාහන කාරයෝ ගැන ගුණේ අංකල්ට මාර තරහයි. තනියම හබ්බ කිය කියා ගුණේ අංකල් වාහනේ ගෙනියනවා.

ටික වෙලාවක් යද්දී මෙන්න ගුණේ අංකල්ගේ ෆෝන් එක රිං වෙනවා. ස්ක්‍රීන් එක බැලින්නම් ගුණේ ඇන්ටි. අනික් මිනිස්සුන්ට බැන්නට ඒවා ගුණේ අංකල්ට අදාළ නැති නිසා ගුණේ අංකල් එළවන ගමන්ම ෆෝන් එක ආන්සර් කළා.

"හෙලෝ?"

මෙන්න බොලේ ඇන්ටි එහා පැත්තේ ඉඳන් තරහා අමතක කරලා හෙන කලබල හඬකින් කතා කරනවා.

"අනේ ගුණේ. ඔයා යන පාරේ කවුදෝ කාර් කාරයෙක් රෝං සයිඩ් යනවලු පිඹගෙන. දැන් වාහන කීපයකම හැප්පෙන්න ගියා ලු. පොලීසියට තාම කාර් එක හොයාගන්න හම්බෙලත් නැහැ ලු. මේ දැන් ටීවී එකේ කිව්වේ. අනේ ගුණේ ඔයා පරිස්සමින්."

ගුණේ අංකල් වීදුරුවෙන් ඉස්සරහයි වටපිටයි හොඳට බලලා, බොහොම සීරියස් හඬකින් මෙහෙම කිව්වා.

"එකෙක් නෙමෙයි නෝනේ. අද නම් ලංකාවටම අමු කැවිලද කොහෙද. මගේ ඉස්සරහින් එන හැම එකාම එන්නේ රෝං සයිඩ්!"

(ප්‍රසිද්ධ විහිළු කතාවක සිංහල අනුවාදයකි)

තරිඳු ශ්‍රී ලොකුගමගේ 



කාර් පිස්සුව/ Soi 11 පොත් 

Online orders: grantha.lk 
සරසවි, සදීපා, ගොඩගේ, දයාවංශ ජයකොඩි, සූරිය, සමයවර්ධන, අහස, ලුමිනෙක්ස්, Expograpchic ඇතුළු පොත්හල් වලින්.  

Sunday, August 25, 2019

අන්තිම කලර් ලයිට් එක හෙවත් ලංකාවේ කාර් සංස්කෘතිය මගහැර යා නොහැකි මොහොත




අන්තිම කලර් ලයිට් එක...

සමුගන්න කලින් දකින අන්තිම හැන්දෑව, අන්තිම තරුව, අන්තිම බස් හෝල්ට් එක සහ තවත් අන්තිම ගොඩක් දේවල් ගැන ගොඩක් කවි ගීත ලියවිලා ඇති. නමුත් අන්තිම කලර් ලයිට් එක ගැන කවුරුවත් තාමත් ලියලා නැහැ.

අහිමි වෙන්න නියමිත ආදරයක අවසාන දවසේ, සමුගන්න නියමිත මොහොත එන්න මොහොතකට කලින් අන්තිම කලර් ලයිට් එක ගාවදී ක්ලච් බැලන්ස් එක ගන්නකොට ඇඟිලි තුඩු වලින් පටන් අරන් කකුල දිගේ ඇඟට ඇතුළු වෙලා හදවත පාරගෙන පාරගෙන යන වේදනාව දන්නේ ආදරයෙන් පැරදිච්ච කාර් පිස්සෝ විතරයි.

ඒ කලර් ලයිට් එකෙන් සංකේතවත් වෙන්නේ බදාගෙන අල්ලගන්න දඟලන, ඒ වුණාට අත්හැරිලා සදාකාලිකව මතක ගොන්නක් අස්සට වැදිලා නොපෙනී ගිහින්, හීනෙන් වත් නොහිතන වෙලාවල ආපහු ඔළුව උස්සලා ජීවිතය හීනෙන් වත් නොහිතන අගාධ වලට තල්ලු කරන නිමේශයක් එන්න කලින් එන තාවකාලික ඇබිත්තන් ප්‍රමාදයක්!

හිත්පිත් නැති වැස්ස සහ ලුණුම ලුණු රස හුළඟ එක්ක අඩෝව් ගාගෙන කඩාවදින මහා මෝසමකට කලින් පිපිච්ච අන්තිම කහමල් කිනිත්ත වගේ...

අහසේ ඉර එළිය මුවා කරන තරමට රෑන් රෑන් පියාඹලා ඇවිත් අස්වැන්න වහගන්න කෘමි සත්තු වසංගතේකට කලින් හුළඟට ප්‍රතිචාර දක්වන නොදක්වන ගාණට පීදුණු එකම එක ලා රන්වන් කරලක් වගේ...

ජීවිත කාලයක් තිස්සේ කොහොම කොහොම හරි ආරක්ෂා කරගත්තු ආත්ම ගරුත්වය එක මිලිතප්පරේකින් හෝදලා යවන මහා කඳුළු වැස්සක් හංගගන්න මූණේ මවාගන්න දඟලන අසාර්ථක හීනි හිනා රැල්ලක් වගේ...



දැන් මෙහෙම ලියනකොට කෙනෙක් කියාවි, ඕක ලංකාවට අදාළ දෙයක් නෙමෙයි, ඕක ඇමරිකාව වගේ රටවලට අදාළ දෙයක් කියල. එයාලගේ තර්කය තමයි ලංකාවේ තරුණ පරපුර ඇමරිකාවේ තරුණ පරපුර තරමට මහා පරිමාණයෙන්  වාහන එක්ක ගනුදෙනුවක්  නැහැ කියන එක. අපි බොහෝ දෙනෙක් තාමත් ලංකාවේ තරුණ පරපුර, ආදරය, විරහව වගේ දේවල් කතා කරදී ඔළුවෙන් මවාගන්නේ පොදු ප්‍රවාහන සේවාවල්, මුහුදු වෙරළවල්, පරණ ඩෙනිම්, කඩල කරත්ත සහ සරුවත් වගේ දේවල්.

ඒත් ඇත්තටම, අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත්, තත්ත්වය වෙනස් වීගෙන එන්නේ. ඇමරිකාවේ තරුණ තරුණියෝ මීට සියවසකට විතර කලින් ඉඳන් තමන්ගේ නිදහස, ස්වාධීනත්වය වගේ දේවල් එක්ක මෝටර් රථය කියන එක අනන්‍ය කරගත්තා වගේම, ලංකාවේ තරුණ පරපුර වේගයෙන් තමන්ගේ ස්වාධීනත්වය එක්ක මෝටර් රථ අනන්‍ය කරගනිමින් ඉන්නවා. මේවා දියුණු රටවල වගේ බ්‍රෑන්ඩ් නිව් කාර් නොවෙන්න පුළුවන්. අනික් අතට අපට දියුණු රටවල වගේ යම් යම් සීමාවන් වලට යටත්ව හෝ අපේ රසිකත්වයට අනුව වාහන වෙනස් කරගන්න අයිතිය නැතුවා වෙන්න පුළුවන්. නමුත් අපි කාර් එක්ක ඇතිකරගෙන යන මේ සුන්දර බැඳීම අපේ සීමාවන් ඇතුළේ අපි අර්ථ දක්වමින් ඉන්නවා.



අද නිකමට සෝෂල් මීඩියා වල එහාමෙහා ගිහින් බලන්න. කාර් ක්ලබ්ස් වැහි වැහැලා. වාහන ගැන කතාකරන ෆේස්බුක් පිටු වැහි වැහැලා. බ්ලොග් ලියවෙනවා. වෙබ් සයිට් එක දෙක හැදෙනවා. වාහන සම්බන්ධ උත්සව දැන් දැන් ඉස්සරට වඩා විශාල පිරිසකට විවෘත වෙලා. මේ සියල්ල අස්සේ මතවාද, මතභේද නැතුවා නෙමෙයි. නමුත් අපි වේගයෙන් කාර් සංස්කෘතියක් වැළඳ ගනිමින් ඉන්නවා. අනික් අතට මෝටර් සයිකල් සම්බන්ධයෙන් ඒ වගේම විශාල රසික පිරිසක් බිහිවෙලා ඉන්නවා. මම 'කාර් සංස්කෘතිය' කියන යෙදුම පාවිච්චි කරන්නේ ඒ හැමෝටම පොදු දෙයක් විදිහට.

අද අපේ මිතුරු මිතුරියෝ තමන් ආදරය කරන අය එක්ක කාර් වල, බයික් වල නැගලා සංචාර වල යනවා. ක්ලබ් වල අය එකතු වෙලා කරන ඉවෙන්ට්ස් වලට යනවා. මේ අතරේ ආදරයන් උපදිනවා, මියයනවා, ආයේ අලුතින් උපදිනවා.

පළවෙනි කලර් ලයිට් එක සහ අන්තිම කලර් ලයිට් එක මතකයක් වෙන්න පටන් ගන්නේ මෙතනින්.



අපි තාමත් ඒ ගැන කතාකරන්න පටන් අරගෙන නැහැ. සමහරු හිතනවා ආදරය අස්සට කාර් ගැන මතක ගේන එක අභව්‍යයි කියලා. සමහරු හිතනවා එහෙම කිව්වම අර තමන්ට දරාගන්න බැරි දේවල් වලට දමලා ගහන්න පාවිච්චි කරන 'පොෂ්' කියන පදයෙන් දමලා ගහාවී කියල.

නැහැ.

දැන් අපට තරුණ පරපුර ගැන, ආදරය ගැන, අහිමිවීම ගැන කතා කරද්දී කාර් ගැනත් කතා කරන්න වෙන කාලය ඇවිත් තියෙන්නේ. කාර් දැන් අපේ සංස්කෘතියේ කොටසක්. ඒක තාක්ෂණයක් නෙවෙයි කලාවක්. සජීවී කලාවක්.

සජීවී කලාවක් ඇතුළේ තමයි නියම ආදරේ හැමතිස්සෙම හමුවෙන්නේ.


- තරිඳු ශ්‍රී ලොකුගමගේ

Soi 11 පොත්:
වයර් පොටක සෞන්දර්ය
සැප්තැම්බර් වන්නට පෙර එළිදකී 



















ප්‍රධාන පෙළේ පොත්හල් වලින් සහ අන්තර්ජාල පොත්හල් වලින්