Sunday, April 9, 2017

ඔස්ටින් 'කළු' ආනන්ද වන මම...



බල්ලෙක් වුණාම තියන ලොකුම වාසිය තමයි 'අවුරුද්දට කලින්', 'වෙසක් එකට කලින්', 'පොසොන් එකට කලින්', 'ඡන්දෙට කලින්', 'කෙල්ල පැනලා යන්න කලින්', 'කොල්ලා හිරේ යන්න කලින්' වගේ දේවල් කියන්න අවශ්‍ය නැති එක...

මේක මට පහළ වුණු එක්තරා විදිහක ගැඹුරු සිතිවිල්ලක්...

මේ දවස් වල හැම එකාම ආනන්ද අයියගෙන් අහන්නේ

'කාර් එක අවුරුද්දට කලින් ගන්න පුළුවන් වෙයි නේද?' කියලා.

ආනන්ද අයියා හැමෝටම කියන්නේ

'අවුරුද්දට කලින් නම් ගන්න බැරි වෙයි' කියලා.

එතකොට ඒ හැමෝම පේන්ටින් කරන්න මහින්ද අයියා ගාවට ගිහින් බල්ලෙකුටවත් ඇහෙන්නේ නැති ගානට  අහන්නේ

'ආනන්ද කිව්වට කාර් එක අවුරුද්දට කලින් ගන්න බැරිවෙයිද?' කියලා.

එතකොට මහින්ද අයියා කියන්නේ

"එයා නේ බොස්...' කියලා.

එතනින් එහාට කාටවත් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මගේ 'ගැඹුරු' සිතිවිලි වලට ඉඩක් එන නිශ්ශබ්දතාවක් පැතිරෙනවා, අර මගුල් ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි කච්කචේ නැත්තං... 



ඔස්ටින් එකක් ළඟට වෙලා ඉන්නකොට, එහා පැත්තෙන් අලුත් කාර් එකක් නැවැත්තුවාම මට අනිච්චේ දුක්කේ කියලා ගැඹුරු සිතිවිලි පහළ වෙන්න ගන්නවා. ඔස්ටින් එකේ එන්ජින් බේ එක ඇතුළට බල්ලෙකුට නෙමෙයි වස්සෙකුට වුණත් නගින්න පුළුවන්. ඒ තරම් ඉඩ තියනවා. අලුත් වාහනේක එන්ජිමක් ඇතුළට රිංගන කළු කූඹියෙකුට ඒකෙන් එළියට එන්න පාර හොයාගන්න යන කාලෙට වඩා ඉක්මනට අධ්‍යාපනයේ නිදහසට පක්ෂ දොස්තර කෙනෙක් හොයාගන්න පුළුවන්...

ඔය වගේ කතා කියවෙන්නේ ආනන්ද අයියා මට කන්න දෙන්නේ පත්තර කොළවල දාලා නිසා...

පේන්ටින් කරන මහින්ද අයියාගේ රනින් ජෝක් එකක් තියනවා. මිනිහා කියන්නේ මම පත්තර කොළවල තියන නිව්ස් බලලා කොයිවෙලේ හරි පළාත් සභා ඡන්දෙට ඉල්ලයි කියලා. නැවෙන්න පෙරළෙන්න ලෙවකන්න වගේම බුරන්න හපන්න හූරන්න දන්න ඕන බල්ලෙකුට පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න පුළුවන් කියලා කියන්න මට හිතෙනවා. ඒ වුණාට ඉස්සර බල්ලෝ වගේ හිටපු සමහරු දැන් උන්නු ගමන් අලුත් ලෑන්ඩ් කෲසර් අරං ගමේ උන්ට පෙන්න පෙන්න යන අතරේ ආනන්ද අයියගේ ගරාජ් එකට ගොඩවදින නිසා මට බුහ් භාෂිතයෙන් වත් ඕක කියන්න බයයි.

බලු බල්ලෝ වගේ නෙමෙයි මිනිස් බල්ලෝ. ඔය වගේ කතාවක් විහිළුවට වත් ඇහුණාම පළිගන්නවා කියලා පත්තරේ දැන්වීමුත් දාලා පළිගන්නේ.



ආපහු වාහන ගැන කතාවට එමු. නිකං මොකටද බලු කතා කියන්නේ! ඉස්සර ආනන්ද අයියගේ ගරාජ් එකට ආවේ අලුත් වාහන විතරයි. ඊට පස්සේ අර කාර් පිස්සුවද මොකක්ද ලබ්බක් කරනවා කියන හිපාටුවා පොස්සගන් එකක් ගෙනත් දැම්මා. ඊට පස්සේ මයිනරයක් ගෙනත් දැම්මා. ඊට පස්සේ ආයෙමත් අර පොස්සගන් එකද කොහෙද දැම්මා. TVS ත්‍රීවීලර් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ කියලා බජාජ් ත්‍රීවීලර් ගන්න සණසෙන් ලෝන් ගහපු උන්ට මේවා දැකලා 'දිරුම් තිබ්බට කමක් නෑ; ටිකෙන් ටික හදාගෙන යන්න අඩුවට එකක් ගන්න' ඇම්ම ආවා. එහෙම එකෙක් දෙන්නෙක් චැසි බොල් වෙච්ච් ඒවා දෙකක් තුනක් ගෙනත් දැම්මට පස්සේ අර අක්කර පහේ හයේ ටෙන්ට් ගහගෙන යුරෝපියන් ඉටැලියන් බ්‍රිටිෂ් කාර් ඒවායේ දාගෙන ඉංග්‍රීසියෙන් කාර් රිස්ටෝර් කරන කීප දෙනෙකුටත් මෙතනට බාලගෝලයෙක් එවලා බලන්න හිතුණා.

අන්තිමට ගරාජ් එක ක්ලැසික් වුණා. ආනන්ද අයියා ඇන්ටික් වුණා. සුනිල් අංකල් වැනිෂ් වුණා.



සුනිල් අංකල් හිටියේ ටින්කරින් වලට. මම සුනිල් කාරයා ගේ නම ලිව්වේ වැනිෂ් වෙච්ච ඔක්කොම ටින්කරින් කාරයින්ගේ නම් ලියන්න ගත්තොත් මේක ආත්ම කථනයක් (බල්ලොත් බර වචන දන්නවා... ඇයි අවුල්ද?) නෙමෙයි ලංකාවේ විශ්ව විද්‍යාල වල කලා පීඨවල මහපොළ නම් ලැයිස්තුවක් වගේ වෙන නිසා (බල්ලොත් කැම්පස් ගැන දන්නවා. ගරාජ් එකේ ටීවී එක දවසට පැය 20 ක් විතර වැඩ. අර අන්තරේද ජල්තරේද බිත්තරේද මොකද්ද කියන උන් හැමදාම මිනිස්සු වැඩ ඇරිලා එන වෙලාවල උන්වත් නොදන්න හේතුවලට පාරට බහිනවා නේ). ටින්කරින් කාරයෝ වැනිෂ් වෙන්නේ හරියට කොත්තු බාස් ලා 'ගමේ ගිහින් ආවේ නෑ' වෙනවා වගේ (ලංකාවේ ජාතික ආහාරය නිසා මම කොත්තු ගැනත් යමක් කමක් දන්නවා. හැබැයි මම ඔය ජරාව කන්නේ නෑ).

මගේ නම ඔස්ටින් 'කළු' ආනන්ද... මෙහෙම තමයි නම ලියන හරි විදිහ. කියනකොට කියවෙන්නේ ඔස්ටින් කළුවානන්ද කියලා... ඒත් අර  යාං හෑල්ල ද මොකක්ද කරනවා කියන සුරංගම්ල්ර් වගේ 'වීල්ලෙක්කැපෙන්නෑ' වගේ කතා කියන්න මට හිත දෙන්නේ නෑ (යාං හෑල්ල ගැන දැනගත්තේ අර පොස්සගන් කාරයා දවසක් ගරාජ් එකේ ඉඳන් ඒකෙ ලිපියක් කියෙව්ව නිසා. කාර් පිස්සුවා වගේ යාං හෑල්ලත් පූසෝ කරේ තියං ඉන්න නිසා මට ඕකුන් දෙන්නම ෂුවර් නෑ).

ඉස්සර මගේ නම කළු විතරයි. ඒත් එක නමක් විතරක් තියනවා කියන එක ටික කාලයක් යද්දී මට මදිකමක් වගේ දැනෙන්න ගත්තා. මිනිස්සුන්ට වගේ ඉතිං 'නම් වෙනස් කිරීම' කෑල්ල ට දාලා 'පීචංගෙදර හඩු අපුල්ලන කුපාඩියලාගේ ෂවුත්තු පියදාස වන මම මෙතැන් සිට ධීරසිංහ මහාමුදලි අභීත රාජාධිරාජලාගේ උෂ්ලීශ් පුෂ්ධීර් රාජාධිරාජ ලෙස මාගේ නම සියලු කටයුතු සඳහා භාවිතා කරන බව මෙයින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත් රජයටත් මගේ අනාගත මාමණ්ඩිය හා නැන්දම්මාටත් දැනුම් දී සිටිමි' වගේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න ඕනේ නැති නිසා මම හිතුමනාපෙට සම්පූර්ණ නමක් දාගන්න හිතුවා. දැන් ඉන්න කොල්ලන්ගේ නම් බල්ලන්ට වත් උහුලන්න බැරි නිසා මම ගරාජ් එකේ වැඩියෙන්ම තියන කාර් ජාතියේ නම මුලටයි, මට කන්න දෙන එකාගේ නම අගටයි දාගත්තා. කන්න දෙන එකා මට දාපු නම මැදින් තියාගත්තා.

දැන් මම ඔස්ටින් 'කළු' ආනන්ද... 



නමකුත් දාගෙන කතාවක් ලියන්න පටන්ගත්තේ ඇත්තටම මම ගැන කතා කරනවට වඩා මම දකින දේවල් කියන්න හිතාගෙන. 'කළුවට කතා කරන්න පුළුවන් නම්' කියලා කාර් පිස්සුවා දෙතුන් පාරක් මහින්ද අයියට කියනවා මම අහගෙන. කළුවට ලියන්න පුළුවන් කියලා ඌ දන්නේ නෑ. දැන් මේක දැක්කම පොරට පුංචි කාලේ වටද්දර වෙලේ දැකපු කොක්කුත් සිහිවෙයි...

ගරාජ් එක කියන්නේ කතා ලෝකයක්. ෆේස්බුක් එකේ දරණ ගහගෙන ඉඳලා හරි බ්ලොග් ලෝකේ නෙළුම් විලේ මඩ නාලා හරි අහගන්න බැරි රස කතා සිය ගාණක් ගරාජ් එකකදී ඇස් පනාපිටම බලාගන්න පුළුවන් වෙනවා.

උදාහරණයක් හැටියට මට ඕනනං ගරාජ් එකට ආපු ඔස්ටින් සමර්සෙට් එක ගැන කතාකරන්න පුළුවන්. ඕකේ කතාව කොටස් කීපයකට බෙදලා මෙන්න මෙහෙම ලිව්වැකි.

1. ඔන්න ළඟදීම මෙහාට සමර්සෙට් එකක් එනවා හදන්න. 

සමර්සෙට් එක එනවා කියලා දැනගත්තු අලුත ආනන්ද අයියා කාර් පිස්සුවාට එහෙම කිව්වේ අලුත ගාපු කැටලොයි තලියක් වගේ ආඩම්බරෙන්. ඕක කියන වෙලාවේ තව දෙතුන් දෙනෙක් එතන හිටියා. පැය බාගයක් විතර යනකල් ගරාජ් එකේ වැඩ නැවතුණේ හරියට මිනිස්සුයි සත්තුයි කන්න නැතුව වේලෙන රටේ අඩි දාහක් විතර උස පිළිමයක් හදන්න ආධාර ඉල්ලගෙන පරණ ඩෙලිකා එකක් ආවම ගෙවල්වල ඉන්න ගෑනු පාන් ගන්න තිබ්බ රුපියල් හැට අරගෙන නම කියෝගන්න දුවනවා වගේ. අසූවට පස්සේ ඉපදිච්චි එවුන් දැන් කාලේ සමර්සෙට් සහ පොදුවේ ක්ලැසික් කාර් ජනප්‍රිය වෙලා තියන හැටි කතා කරනකොට අසූවට කලින් ඉපදිච්චි අය තමන්ගේ පොඩි කාලේ ඔස්ටින් මොරිස් පර්ජෝ හිල්මන් ඕපල් වාහන එක්ක බැඳුණු මතක ආවර්ජනය කරන්න ගත්තා.



සමහර වෙලාවට පිට බල්ලෝ මගෙන් අහනවා, උන් බල්ලෝ වගේ මං බල්ලත් අහුවෙන දෙයක් කාලා බෙට්ටක් ගහගෙන ඉන්නේ නැතුව මිනිස්සුන්ගේ පුස් කතා අහගෙන ඉන්නේ ඇයි කියලා. රබර් රවුම් හතරක් උඩ එහා මෙහා යන යකඩ ගොඩවල් මත්තේ මිනිස්සු මෙච්චර නහින්නේ ඇයි කියලා සමහර බල්ලන්ට තේරෙන්නේ නෑ. මාත් ඒ බල්ලන්ට ඕක පැහැදිලි කරන්න යන්නෙත් නෑ.

අනික් අතට ඕක පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නෑ...


2. කොහොමද භාණ්ඩේ? යාපනෙන් ලු ගෙනාවේ...

මට තේරෙන හැටියට ඕනම ආප්ප තාච්චියක් යාපනෙන් ගෙනාවා කිව්වම කොට්ට කිලංගු අෆෙක්ට් එක වැදිලා 'වාව්' වෙනවා. එක පාරක් හොරණ ගුබ්බෑයමක් අස්සේ තිබිලා ගෙනාපු ඔස්ටින් A35 එකක් යාපනේ තිබිලා ගෙනාව කියලා එක තෙම්පරාදු මිස්ටර් ෆොක්ස් කෙනෙක් අලුතින් නාගන්න අත්පොත් තියන්න ගිය කොල්ලෙකුට විකුණන්න හැදුවා. මම අර කොල්ලගේ ඇඟට පැනල ඌව එලෝගත්තා. වෙලාවට මට ඉඦු ටෝක් දාලා මේච්චල් කරන්න ආනන්ද අයියා ගරාජ් එකේ හිටියේ නෑ. අර කොල්ලා පස්සේ එන්නං කියලා මාරු වුණා. නරියයි හාවයි දෙන්නම මට තාම බනිනනවා ඇති. ඒ වුණාට මම කරගත්තේ ලොකු පිනක් (හන්දියේ පන්සලේ හැමදාම ඒරියා එක දෙවනත් වෙන්න පිරිත්/කවි බණ/බෝධි පූජා/ධර්ම දේශනා/දේශපාලන දේශනා දාන නිසා මමත් දැන් පින් පවු සහ කරුම ගැන ටිකක් දන්නවා). 

සමර්සෙට් එකත් යාපනෙන් ගෙනාව කියලා තමයි කිව්වේ. ඒක වෘෂණ කෝෂ උගස් තියන්න වෙන ප්‍රොජෙක්ට් එකක් කියලා මාත් ඇතුළුව ඕන බල්ලෙකුට තේරෙනවා. ඒත් හැමෝම හැසිරුණේ ඒක නොදන්නවා වගේ. යාපනෙන් නේ ගෙනල්ලා තියෙන්නේ!




3. අදත් ඉතිං වැඩක් කෙරුණේ නෑ. ටින්කර් ආවේ නෑ නේ...

සතියක් වැඩකරන ටින්කර් කාරයා ඊට පස්සේ පොල්ලෙලිගංකඩවලතැන්නේ ඉන්න පුංචි අම්මා ගේ දුවගේ දුව ලොකු ළමයෙක් වෙලා ඒකට ගිහිං එන්නං කියලා යන්න යනවා. ඊට පස්සේ උගේ පුංචි අම්මගේ දුවගේ දුව ඇවිත් ටින්කරින් කළොත් මිසක් ඌව නම් ආයේ කල්ප නහුතෙකට හොයන්න වෙන්නේ නෑ. අන්තිමට එලෝලු තෙල් නැති දාට චාරුනී අක්කගේ කඩෙන් ගන්න මුඩු පොල්තෙල් කාල වගේ ඉතුරු වෙන්නේ චන්දරේ විතරයි.

මිනිස්සු අනික් මිනිස්සුන්ට බනින්නේ සල්ලි පස්සේ දුවනවා කියලා. ඒ වුණාට හොඳට සල්ලි පස්සේ දුවන්න පුළුවන් ටින්කරින් කාරයෝ හොඳට වැඩ කරගෙන ඉන්න තැන දාලා යන්න යන්නේ ඇයි කියලා මගේ බලු මොළේට තේරෙන්නේ නෑ. මම මුලින් හිතුවා උන් ඊට වඩා හොඳ තැනකට යනවා ඇති කියලා. ඒ වුණාට මාස හත අටකින් පස්සේ සමහර එවුන් ගරාජ් එකෙන් ඇඳන් යද්දී ඇඳන් ගිය ටී ෂර්ට් එකම ඇඳගෙන ආපහු වැඩ කරන්න චාන්ස් එකක් ඉල්ලගෙන ආනන්ද අයියා ගාවට එනවා. ආනන්ද අයියත් චන්දරේගේ මිටි පාරවල් උහුලන්න බැරුව 'හා ඇවිත් වැඩ කරපං හැබැයි ආයේ කොටහළු මගුල් වල යන්න බෑ' කියලා වැඩ කරන්න දෙනවා. ඒ වුණාට ආයේ මාස දෙක තුනකින් කොහේ හරි ඩොටක ඉන්න කවුරු හරි දැරිවියෙක් මල්වර වෙනවා... 




4. හූරලා බලද්දී පැත්තම ගිහිල්ලා. මේක නම් ඉවර කරන්න තව මාස තුනක් විතර යයි... 

දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ ඌරුමීයාට බ්ලොක් ගලෙන් ගැහුවා වගේ යථාර්ථය කියන එක චොකොස් ගාලා ඔළුවට කඩාවැටෙන අදියරට. වාහනේ ටික ටික තහඩුවට හූරගෙන යනකොට දශක ගාණක් තිස්සේ එක එක වල් බල්ලෝ, බලු බල්ලෝ, දඩ බල්ලෝ, නරි බල්ලෝ සහ %* බල්ලෝ කරපු ටින්කරින් වැඩවල බලුකම් එළිවෙන්න ගන්නවා. කන්ද උඩ ගෙදර හාරපු ලිඳ වගේ තියන වළවල් වලට කන්ද උඩ ගෙදර ළමිස්සී දාන මේකප් ගොඩ වගේ කැටලොයි දාලා වහලා තියන එව්වා, සුද්දා වියතෙන් වියතට ඇන තියලා සෙට් කරලා එවන පැනල් වලට ලංකාවේ එවුන් කිලෝමීටරෙන් කිලෝමීටරේට යකඩ කෑලි පාස්සලා තියන එව්වා, කළු පාට උඩින් කහ පාට උඩින් දුඹුරු පාට උඩින් නිල් පාට උඩින් කොළ පාට උඩින් රතු පාට උඩින් දම් පාට උඩින් රෝස පාට උඩින් ආපහු නිල් පාට ගාපු එවුවා වගේ සීන් ගොඩක් ඔය වෙලාවට එළිවෙන්න ගන්නවා. එතකොට තමයි ටින්කර් කාරයා වගේම ආනන්ද අයියත් බල්ලෙකුට අහං ඉන්න බැරි වංග දේසේ බාසාවකින් අතීත ටින්කරින් ප්‍රජාවේ සාමාජිකයන්ගේ මවුවරු ගැන කතාකරන්න ගන්නේ. 

ඊට පස්සේ අර මාස තුනේ ඩෙඩ් ලයින් එක මේ ලේන් එකේ බලු ගැන්සියට මුලිච්චි වෙච්චි පිට ලේන් එකේ බල්ලෙක් වගේ නොදන්න ගානට නැට්ට අසවල් ස්ථානයේ ගහගෙන ඈතට ඈතට ඈතට ඈතට යන්න ගන්නවා.




5. ටින්කරින් ටික නම් යාන්තං ඉවරයි. කෝ මේ පේන්ටර් කාරයා හරියකට එන්නේ නෑ නේ...

හතරවෙනි අදියරෙන් අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි ලැකර් ගඳ මිශ්‍ර සැනසුම් සුසුමක් එක්ක කතාවේ මේ පරිච්ඡේදේ පටන්ගන්නේ. 

පේන්ට් කරන සැට් එක සාමාන්‍යයෙන් ටින්කරින් කරන එවුන්ට වඩා ඔලුව පාවිච්චි කරනවා. පේන්ට් කරන වැඩේ සාපේක්ෂව ඉක්මන් නිසා පිට වැඩ ටක් ගාලා අරන් ටක් ගාලා කරන එක අමාරු නැහැ. ඒ නිසා පේන්ටර් පිටින් බාරගත්තු ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා එනකල් ඉන්න සිද්ධ වෙනවා. මේ දවස් වල සමර්සෙට් එකේ යන්නේ ඒ ස්ටේජ් එක. 



මොනවා වුණත් දැන් නම් සමර්සෙට් එක දකිනකොට මට හිතෙනවා ඒක කාලයක් ඔළුව උස්සන් ඉන්න වාසනාව ලැබෙන කාර් එකක් වේවි කියලා. හැබැයි මොන බල්ලෙකුට වත් අනාගතේ ගැන කියන්න බෑ. මේ දවස් වල මම පුළුවන් වෙලාවට සමර්සෙට් එක යටට වෙලා ගැඹුරු සිතිවිලි වල කිමිදෙනවා. පරණ පේන්ට් හීරිලා, ඔරිජිනල් කාපට් රෙදි අයින් වෙලා, වෙල්ඩින් පුපුරු වලට පිච්චිලා, අලුත් තහඩු ෂීට් වැදිලා සහ කැළණි ටයර් පුපුරලා තියන නිසා දැන් සමර්සෙට් එක යට ඒක ගෙනාපු දවස් වල තිබ්බ පරණ කාර් සුවඳ නෑ. දැන් ඒකෙන් එන්නේ නිකං වැස්සට ගේ අස්සේ ගුලිවුණු ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගාවින් එනවා වගේ ගඳක්.

ඔය විදිහට තව ගොඩක් දේවල් මම දකිනවා. සමහර ඒවාට බලු සංසාරෙත් එපා වෙනවා. මේ ලඟදී කොල්ලෙක් මරු හැච්බැක් එකක් එළවන් ආවා. රෝද දෙකේ පොඩි ඇදයක් තිබිලා බලාගන්න තමයි ගෙනාවේ. ළඟදී ගත්තේ කිවුවා. පණ්ඩිත කමට තනියම ගිහිං හොඳ ගානක් ගෙවලා අරගෙන ඇවිත්. ඇදේ අරින්න බලද්දී චැසියෙන්ම ඇදේ තිබ්බේ. බැලින්නං වාහනේ ඉස්සර කවදාක හරි රිඹ යන්න ඇක්සිඩන්ට් වෙලා තිබිලා. හදන එවුන් හදලා තියෙන්නේ බල්ලෝ බත් කන්නේ නැති වෙන්න. 

ඔය කතාව ආනන්ද අයියගේ කටින් අහපු වෙලාවේ අර කොල්ලගේ මූණ කළු වුණේ හරියට කළුතර කොළඹ ඒසී බස් එකක සයිලන්සරේ ගාවට සෙට් වෙච්චි පුස් බයිසිකල් කාරයෙක් වගේ. ඒක දරාගන්න බැරුව මම අර ලොරියක පටවන් එන්නේ නැතුව හිතක් පපුවක් නැතුව පාර දිගේ ඇදගෙන ඇවිත් ගරාජ් එකට දාපු බේබි ඔස්ටින් එක යටට ගිහින් පැය එකහමාරක් නිදා ගත්තා. 



ඊට පස්සේ මේ ළඟදී එකෙක් ආවා, අර 'මහත්තයෝ සල්ලි එපා, කෑම එකක් අරං දෙන්න' කියලා රුපියල් පහ දහය වෙනුවෙනට සීය හමාර කොටාගන්න එන්න ටයිප් එකේ වෘත්තීය හිඟන්නෙක් වගේ එකෙක්. මම ඕකුන්ගේ බලුකම් දන්න නිසා බුරාගෙන පැන්නා. ආනන්ද අයියා කෑගහලා මාව නැවැත්තුවා. තොට ඉල්ලං කන්න ඕන නම් මට මොකද කියලා මාත් නිකා හිටියා. 

ඊට පස්සේ වෙච්චි දේ නාට්ටියක් වගේ මෙහෙම ලියන්නං. (ලංකාවේ නාට්ටි ලියන එවුන්ට වඩා මේ බල්ලෙක් වෙච්චි මට හොඳට ලියන්න පුළුවන්).

හිඟන්නා: "අනේ මහත්තයෝ, මට පොඩි ආධාරයක් කරන්න පුළුවන්ද?"

ආනන්ද අයියා: "ඔය අතපය හතර හොඳට තියෙන්නේ. රස්සාවක් කරලා කනවකෝ"

(මඳ නිහැඬියාවක්. හිඟන්නා වාහන දෙස බලා හිඳී) 

හිඟන්නා: "පරණ වාහන ගොඩක් තියනවා නේද?" 

ආනන්ද අයියා: "ගරාජ් එකක් නේ ඕයි මේක..." 

හිඟන්නා: "මේ තියෙන්නේ ඔස්ටින් එකක් නේද?" 

ආනන්ද අයියා: "තමුසේ වාහන ගැන දන්නවද?" 

හිඟන්නා: "මේවට පාට්ස් ඕන නම් කියන්න. අහවල් පැත්තේ කෙනෙක් ඉන්නවා. එයා ගාව පාට්ස් තියනවා. මම අරං දෙන්නං අඩුවට." 

ආනන්ද අයියා: "ඔය කියන හාදය ගාව බඩු ගිනි ගණන් නේ.." 

හිඟන්නා: "මට එහෙම ගණන් කියන්නේ නෑ. මම ඉස්සර ටින්කරින් වැඩ තමා කළේ. ඒ නිසා එයා හිතවත්." 

ආනන්ද අයියා: "තමුසේ ඉස්සර ටින්කරින් වැඩ කළා නම් දැන් කරන්නේ නැත්තේ ඇයි?" 

හිඟන්නා: "කවුරුවත් වැඩ දෙන්නේ නෑ මහත්තයා..." 

ආනන්ද අයියා: "තමුසේ බොනවා ඇති..."

හිඟන්නා: "බොනවා නම් කන්න සල්ලි ඉල්ලන්නේ නෑ මහත්තයා. බලන්න මගේ ඇඟේ හැටි..." 

ආනන්ද අයියා: "මං කියන්නං... තමුසේ හෙට එනවා ගරාජ් එක පැත්තේ. මෙන්න මේ රුපියල් සීය අරං ගිහිං බත් එකක් ගන්නවා. අර හන්දියේ කඩයක් තියනවා සීයට බත් තියන. කාලා හෙට උදෙන්ම එනවා, තමුසෙට වැඩ පුළුවන්ද කියලා බලන්න..." 

හිඟන්නා: "හොඳමයි මහත්තයා..." 

'හිටපු-ටින්කර්' හිඟන්නා මහතා සල්ලි අරගෙන යන්න ගියා. මම නැට්ටෙනුත් හිනා වෙවී බලං හිටියා... 

දැන් මේ සිද්ධිය වෙලා සති හතරක් විතර ඇති... 

ආනන්ද අයියා තාමත් ටින්කරින් කාරයෙක් නැතුව වේලෙනවා...




මේවා දකිනකොට මට බල්ලෙක් වෙච්චි එක ගැන සතුටුයි. හැබැයි සමහර වෙලාවට නම් වාහන ගොඩ යනවා දැකලා මිනිස්සු සතුටු වෙන හැටි දකිනකොට මට ආසත් හිතෙනවා. හොඳ උදාහරණෙ තමයි ආනන්ද අයියා ගෙනාපු පර්ජෝ 504 එක. ඒක ගේනකොට හැළුණු මලකඩ දැකලා වැයික්කියේ බල්ලොත් ගිහිං හැංගුණා, පිටගැස්ම හැදෙයි කියලා. කාර් පිස්සුවා පවා ඇවිත් ඕකට දෙතුන් පාරක් දබරැඟිල්ලෙන් කොටලා කිව්වා 'වඩුවගේ ගෙදර පුටුව නෑ කියලා අහලා තියනවා, ඒ වුණාට ගරාජ් කාරයාගේ කඳ උඩ මොළේ නෑ කියලා අහලා නෑ' කියලා. 


ඒ වුණාට ආනන්ද අයියා නිකං කාර්මික අපද්‍රව්‍ය එකතු කරලා කූඩුවක් හදන නාගරික කපුටෙක් වගේ හොටෙන් ඇන ඇන ඕක හැදුවා. තව ටික දවසකින් ඕක පාරට දාවි. සමහර වෙලාවට කවුරුත් නැති වෙලාවල්වලට පොර ඕක දිහා බලාගෙන තනියම කල්පනා ලෝකෙකට වැටෙනවා. ඒ වෙලාවට පොරගේ මූණයි තට්ටෙයි රින්සෝ දාලා හෝදලා උදේ අවුවේ වේළලා ස්මාර්ට්ෆෝන් එකක ෆ්ලෑෂ් ලයිට් එකක් ගැහුවා වගේ සුදෝ සුදුවට එළිය වැටෙනවා (ස්මාර්ට්ෆෝන් ගැන දන්නේ කාර් පිස්සුවා උන්නු ගමන් උගේ කබල් ෆෝන් එක මගේ දිහාටත් අල්ලන නිසා. මං දවසක් පොරගේ පූස් පැටියා පස්සේ පැන්නුව කියල පොර මා එක්ක තරහ වෙලා හිටියේ. ඒ වුණාට පොර දවසක් මයිනරේ ඉඳන් බෙන්ස් එකක් ෆොටෝ ගහද්දී මම කාර් එකට අත්දෙක තියලා ජනේලෙන් එබිලා කූක් කූක් පාරක් දාලා පොරව ෂේප් කරගත්තා. මොකද මොනවා වුණත් මගේ ඇඟේ තුවාලයක් එහෙම දැක්කොත් පොර ආනන්ද අයියට කන්කෙඳිරි ගානවා, කළුවට බේත් ටිකක් අරන් දීපන් කියලා). 



'ඉන්නේ වැඩපොළේ ඔස්ටින් එකක් යට- කන්නේ කුකුල් කටු හඩු සම්බා බතට' වගේ කවි කෑල්ලක් දාලා පොඩි එකාගේ රචනාව වගේ මට මේක ඉවර කරන්න පුළුවන්. ඒ වුණාට මම දැකලා තියන අහලා තියන සමහර දේවල් කල්පනා වෙනකොට මට ඔය වගේ පහේ සිස්සත්ත පාට් දාන්න හිතෙන්නේ නෑ... 

කාර් පිස්සුවා දවසක් එකෙකුට ඇනෙන්න වගේ කිව්වා 'කාර් වල යන්න ඕන බල්ලෙකුට පුළුවන්, ඒ වුණාට කාර් වලට ආදරේ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි' කියලා. 

ඒක ඇත්ත. මම බල්ලෙක් නිසා මට කාර් වලට ආදරේ හිතෙන්නේ නැහැ. ඒත් කාර් වලට බොක්කෙන් ආදරේ කරන මිනිස්සුන්ගේ හිත්වල කාර් වලට ආදරේ නොකරන මිනිස්සුන්ට වඩා තෙතක් තියනවා කියලා මට හිතෙනවා. 

කවදාහරි මිනිස් ආත්මයක් ලැබුණොත් මම ඔස්ටින් කේම්බ්‍රිජ් එකකුයි, ෆොක්ස්වැගන් බීට්ල් එකකුයි, පර්ජෝ 504 එකකුයි ගන්නවා.

හැබැයි එක බල්ලෙකුට ඒවා අල්ලන්න දෙන්නේ නෑ. මොකද ගරාජ් එකේදී දැකපුවා අහපුවා මට ආත්ම හතක් විතර යනකල් මතක තියේවි... 

මීට හිතවත්, 
ඔස්ටින් 'කළු' ආනන්ද 


 














සැ.යු.: මේ ඇතැම් කතා මගේ බලු මොළයෙන් මවාගත් මනස්ගාත (සොරි... මනඃකල්පිත) කතා විය හැක.
www.facebook.com/CarPissuwa


50 comments:

  1. හම්මට. ඒ ගමන සුනඛල්පිත ආනන්ද කතා ලියන්නත් ගත්තද. දැන්නම් ආයි 504 එකක් ගන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. //සුනඛල්පිත// හැක්... ගම්මු ගම්මු එකක්... හොඳ පෙට්‍රල් එකක්... 2000cc එකක්...

      Delete
  2. ඔස්ටින් කළු ආනන්ද මරු...
    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමුදු...

      Delete
  3. කලුවානන්දයාගෙ බලුහ්කල්පිතේ ශෝක්....හෙටානිද්දට ආනන්දය ටින්කරින් වැඩටික බාරදෙයි කලුවට...

    ReplyDelete
    Replies
    1. හෙටානිද්දා ආනන්ද අයියට කළුවා ළඟ පඩියට වැඩකරන්න වුණොත් මම පුදුම වෙන්නේ නෑ...

      Delete
  4. ටින්කරින් බාස්ලා, මේස්න් බාස්ලා, ටයිල් බාස්ලා, වඩු බාස්ලා.... ලංකාවේ ඉන්න ඔය ජාතියේ තාක්ෂණ ශිල්පීන් මහ කම්මැලි කලකණ්නි හැත්ත.. ඉතින් හැදෙයි ද රටක්.. !

    මටනම් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ තියන වාහන ගැන සත පහකට විශ්වාස නෑ.. ඇසිඩන්ට් ‍ෆ්‍රී, ජෙනුයින් මීටර් කියලා හද්ද කබල් කාගෙ හරි ඇඟේ ගහන්න තමා හැම බල්ලම හදන්නේ.. පහුනු ටිකේ කාර් හොයපු නිසා කාර් සේල් කාරයෝ කියන්නේ ලංකාවේ ඉන්න නොම්මර එකේ කපටි හැත්ත කියලා අත්දැකීමෙන්ම තහවුරු කර ගත්තා..

    ඉතින් ඔය විදිහට කාරෙකක් ගොඩ දාන්න ආනන්ද අයියට කොච්චර විතර කල් යනවද් බන් කළුවෝඅ... ?

    ReplyDelete
    Replies
    1. ආනන්ද අයියා කාර් පිස්සුවාගේ බීටලේ සති දෙකෙන් තුනෙන් ගොඩ දැම්මා, මයිනරේට අවුරුද්දක් විතර ගියා... ඕවා ඉතින් ටින්කරයාගේ කොටහළු අනුව තමා ;) - මීට ඒ.කේ. ආනන්ද...

      Delete
    2. ඈහ් අවුරුද්දක් ! ඇයි බන් කාර් එකක් අරන් අවුරුද්දක් ගරාජ් කාරයට දීලා තිබ්බම මොකක් ද ඇති පලේ.. කාර් තියන් පයින් යන්න වෙනවානේ එතකොට...

      Delete
    3. ඕක මොකක්ද... අර සමර්සෙට් එක දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. සමහර එවුන් අවුරුදු තුනක් විතර තියාගෙන ඉන්නවා. පරණ වාහන වල හැඩතල වැඩි නිසා කොහොමත් කල් යනවා. ටින්කරින් කාරයෝ මිසින් වෙන එක තමා ප්‍රධාන අවුල. බීට්ල් එක කරනකොට කට්ටියම හිටියා, ඒ නිසා පටස් ගාලා වැඩේ වුණා. මයිනරේට පොඩ්ඩක් මහන්සි වෙන්න වුණා, ඒ අතරේ කට්ටිය මිසින් වුණා.

      Delete
  5. Raees ෆිලුම බලන්න සෙට් වෙලා බුකියට පොඩ්ඩක් ඔලුව දැම්ම. දාපුගමන් දැක්කේ ආර්ටිකල් එක. සාරුක්ට බම්බු ගහගන්න කියල එක හුස්මට කියෝලා ඉවර කලා.
    එකෙන්ම සුපිරි කතාව.

    ReplyDelete
    Replies
    1. හම්මට සිරි... සාරුක්ට වඩා කළුවගේ එන්ටටේන්මන්ට් වැලියු එක අප් වුණා කියාන්කෝ... තැන්කූ තැන්කූ...

      Delete
  6. Niyami 👌👌👌👌👏👏

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉසුරු :)

      Delete
  7. කලුවෝ,
    අපේ මාමා මේක දිහා බලං කල්පනා කොරනව. ඔය පළවෙනි පිංතූරෙ උඹ ඉඹින බෙන්සෙක වගේ කාර් වල්ට අපෙ මාමා හරි පෙරේතයි. සමහර දවස්වලට ඔව්වෑං එකක් විකුණන්න දාල තිවුණහම පෝන්නෙක අරං ගිහිං නැංදට පෙන්නලා කියනව "මේං බලන්න බෙන්සෙකක් තියෙනව හයයි හැටයිලු." පහුගිය දවසක සමුළු බෙන්ස් එකක් විකුණන්න තියෙනව දැකල "මේං බලන්න අටයි අසූ පහලු. අටාමාරකට ඉල්ලුවොත් දෙයි. අර බොනට්ටෙක අරින්න තියෙන්නෙත් සවල් මිටක් තරං ලොකු එකක් අදින්න" කියල ඕක ගිනිහං නැංදට පෙන්නුව. ඒ වුනාට නැංද කැමති වොල්වෝ කියන ජාතියටලු. නැංද රස්සාවක් කරන කාලෙක එව්ව එකක් අරං පදිනවමලු.

    මේ දෙන්නගෙ කතා අහල මට හිනා කලුවො. බෙන්ස්, වොල්වෝ පදින්න කතා කලාට මේ ගෙදර තියෙන කාර්රෙකත් ගැරෙජ්ජෙක ඇතුලෙ හරි කෙලිං පාක් කරගන්න මාමට බෑ. සමහර දවස්වලට කාර්රෙක ගැරෙජ්ජෙකට දාල බැලුවං දකුණු පැත්තෙ දොර අරින්න බෑ. බිත්තියෙ වදිනව. මාම එතකොට ගියර්රෙකට උඩිං පැනල වම් පැත්තෙ දොරිං එලියට එන්නෙ. මේ ගොල්ලො බෙන්ස්, වොල්වො ගෙනාපු දවසට අපේ මාමා ඩිකියෙං හරි බොනට්ටෙක අස්සෙං හරි තමයි එලියට එන්නෙ.

    කාර්වලට මාත් ඒ හැටි ආසාවක් නෑ. හැබැයි ගමනක් ගිහිං ආවට පස්සෙ කාර් එක යට රස්නෙට ගුලිවෙන්න නං මං ආසයි. ඒ ඇරෙන්න ඉතිං අපි ලෙඩ උනහම බෙහෙත් ගේන්න යන්නෙත් ඕකෙ තමයි. ඉස්සර මායි මගෙ මලෙයයි පුංචි සන්දියෙ පෙට්ටියක නැගල බයිසිකලේ නං ගමං ගිහිං තියෙනව. ඔය මාමයි නැංදයි කියන්නෙ ඒක කිලෝ මීටර් තුන්සිය හැටක ගමනක් කියල.

    අපේ මාමත් කවද හරි සමුලු බෙන්ස් එකක් ගෙනා දවසට ඒකත් ඇදගෙන ආනන්ද මාමාගෙ ගැරිජ්ජෙකට මාත් එන්නං. ඒ එනකොට කලුවටයි, කාර් පිස්සෑ ගෙදර කලුවටයි කුප්පමේනියා මුල් අරං එන්නං.

    මං
    කාලා නිදි
    -ටිකිරී සඳමාලි-

    ප.ලි :- අපි නං සැමන් බෝල්ලු අතෑරලා බල මාළු වලට මාරු උනා. නරකද කුකුල් කටු අතෑරලා සාලයො, හුරුල්ලන්ටවත් මාරු උනොත්.

    ReplyDelete
    Replies
    1. ඕන් බලහන් ඉතින්... ඉඳලා ඉඳලා බලු කල්පයක් පෙරුම් පුරලා බලු කතාවක් ලිව්වම පූසෝ ඇවිත් එව්වට කමෙන්ට් දානවා... හැබැයි ටිකිරි, අර පාකින් කතාව නම් සහතික ඇත්ත. බෙන්ස් වලට ආසා ගොඩක් එවුන් කියන්නේ ඕවා පාක් කරන්න ඉගෙනගන්න නම් නැව් එළවන එක පුහුණු කරන ආයතනේකට බැඳෙන්න ඕනේ කියලා. ඒක නෙමෙයි කෙල්ලේ, වෙලාවක අර කිලෝමීටර් තුන්සිය හැටේ ගමන ගැන ලියහන්කෝ... ආසයි දැනගන්න... මාත් ඔය රැලේ යනකොට වැයික්කිය පුරා නකුටු රෝන්දේ ගියාට ඔච්චර දුරක් නම් ගිහිල්ලම නෑ...

      - ඒ. කේ. ආනන්ද

      Delete
    2. දැන් බල්ලො බලල්ලු බ්ලොග් ලියන්න අරන් අපිටත් කමෙන්ට් කරන්න වෙන්නේ බුහ් බුහ් ඤාව්ඤාව් භාෂාවෙන් තමා...

      එහෙන් රයිලි, මෙහෙන් ඒකේ ආනන්ද මදිවට ටිකිරි සඳමාලියෙකුත් ඇවිල්ලා... මුන් බ්ලොග් වලට විතරක්නම් මදෑ අපේ නම් ටිකටත් කෙලලානේ..

      Delete
    3. ග්ර්ර්ර්ර්ර්... රොබෝලා ලෝකේ අල්ලන්න කලින් බල්ලො බළල්ලු ලෝකේ අල්ලන්න ඉඩ තියනවා... බුහ්...

      Delete
    4. එහෙනම් හි‍ටු.. මම අපේ "මෝඩ්ස්" ටත් කියනවා පෝස්ට් එකක් දාන්න කියලා..වෙන බල්ලෙක් අල්ල ගන්න කලියෙන් ගෙදර බලා බ්ලොග් එක අල්ල ගන්න එක වඩා හොඳයි... :D

      Delete
    5. පොරට කියමු 'මෝඩ්ස්, මූඩ්ස් සහ මෝඩස්' වගේ එකක් ලියන්න කියලා... කිව්වත් වගේ අන්තිමට බ්ලොග් අවකාශය බල්ලට ගිහින්... ;)

      Delete
    6. ටිකිරි සඳමාලිට විතරක් කොමෙන්ට් දැමීමට ඉඩ දීම හෙලා දකිමු.
      -තල් සූකිරි-

      Delete
  8. එල ද බ්‍රා මචෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ...

      Delete
  9. අපිට ටින්කරින් ඉගෙන ගන්න ගමන් කරන්න බැරිද බං?

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තමයි මම කියන්නේ. මම එකපාරක් ඇත්තටම කල්පනා කළා මොකෙකුට හරි ගෙවලා ටින්කරින් ඉගෙනගන්න...

      Delete
  10. යකෝ දැං බලාගෙන ගියාම බල්ලන්ගෙ පරිගණක සාක්ෂරතාවය කොල්ලන්ට වඩා දියුණුයිනෙ. ඒ.කේ. ආනන්දය තරිඳුවගෙ බ්ලොග් එක හැක් කරල තියෙන්නෙ.
    ඔය වගේ පරිකල්පන ශක්තියක් බල්ලට තියෙන හින්ද තමයි 'කම්මලේ බල්ලට හෙන ගැහුවත් ගානක් නෑ' කියල ප්‍රස්ථා මොකක්ද එකක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ සරුව පිත්තල කොච්චර දිලිසුණත් නියම රත්තරං ඩිංග තියෙන්නේ බ්ලොග් ලෝකේ කියලා කළුවා දන්නවා...

      Delete
    2. // ' කම්මලේ බල්ලට //
      ප්‍රසන්න මාමෙ මේ ඔහේ දන්නවැයි , හෙන ගහන වෙලාවට මම මර බයයි...
      ඒක නෙමේ අපේ කම්මලේ මාමත් කාර් පිස්සුවක් බලල බීටලයක් අරං එන්න හදන්නෙ.

      Delete
    3. කම්මලේ මාමට කියන්න මචං පළවෙනි වතාවට නම් බීට්ල් එකක් ගන්නේ 1200 එකක් නැතුව 1300 එකක් ගන්න කියලා. ඒක තමයි පටන් ගන්න හොඳම තැන...

      Delete
    4. ‍එහෙනං මේ බල්ල ඉන්න කම්මල ඒසී කරපු එකක් වෙන්ටැ.

      Delete
    5. ගන්ඩ ඉස්සර අනිවා කතාකරන්න ඔනෙ. දවසක් මම කාර් පිස්සුව FB පේජ් එකට බීට්ල් විස්තර තියන photo ටිකක් එවුව.
      මට දවස ගානෙ 45 km යන්න තරම් හොදට එකක් හදාගන්න ඕනෙ.

      Delete
    6. කම්මල් අනන්‍යතාව හෙළි කරලා ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම පුළුවන් උදවුවක් කරනවා.

      Delete
  11. උඹ කියන නිසා මේව පිලි නොගෙනත් බෑනෙ කලුවෝ. ඔය එක එකා වගේ බොරුව කපටිකම වගේ දේවල් නැතුව උඹෙන් විතරනෙ හරි දෙයක් දැනගන්න පුලුවන්. හැබෑට කලුවෝ අර කාර් පිස්සට කියහං මං මතක් කලා කියලා!

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සට ලාවට විවේකයක් හම්බවෙලා අන්න අර බේබි ඔස්ටින් එක අස්සේ රිංගලා ඉන්නවා මං දැක්කා... ඉන්ඩ මං කියන්නං... බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට... :)

      Delete
  12. සුනඃඛල්පිත මෙව්ව එක මරු. ලස්සන ලියවිල්ල. ඔස්ටිං කළුවානන්දට මාගේ ප්‍රණාමය!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කොල්ලෝ...

      Delete
  13. සත්‍ය වාහන කෙරුවාව බලුසන් කෙනෙක්ගේ ඇසින්....ඒකත් මරු අයිඩියා පාර..සුපිරියටම ලියල තියෙන්නෙ ඔය...බල්ලෙක් උනාට බලන්න එපෑ කතා ස්ටයිල් එක.. ඔස්ටින් කළු ආනන්දට ජයින් ජයම වේවා... !!

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් වුණාට මොකද මටත් ආඩම්බරයක් හිතීගෙන එන්නේ හොඳේ... :)

      Delete
    2. අනිවා ,,,,,,,, ආඩම්බර නොවී කොහොමද...

      Delete
    3. වස්තර ඇන්දා නම් කොලර් එකක් වත් උස්සන්න තිබ්බා... කොහෙද ඉතිං, කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් නෙව... :)

      Delete
  14. මල් හතයි බං බල්ලගෙ බ්ලොග් පෝස්ටුව... හොඳ බ්ලොග් ඉල්ලන උන්ට මම මුලින්ම දෙන්නේ උඹේ බ්ලොග් එක...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතේ... අටමගෙයි උඹෙයි endorsements මට සම්මාන ඇගයුම් වලට වඩා වටිනවා...

      Delete
  15. පට්ට බං ...
    උඹේ බ්ලොග බලල පුට්සයිකලයක් වත් නැති මටත් වාහන ගැන ආස හිතෙනව ...

    ReplyDelete
    Replies
    1. වාසනාවන්...! බල්ලො ලියනව, බළල්ලු කමෙන්ට් කරනව, මදුරුවෝ වාහන වාහන වලට ලවු කරන්න ගන්නව...

      Delete
  16. අම්මට හුඩු. දැන් සුනඛාවලෝකනත් මේකෙ යනවනෙ. බ්ලොග් එක බල්ලට ගියා කියන කතාවට මං එකඟ වෙන්නෙ නෑ. මොකද මම කොහොමත් මිනිස්සුන්ට වඩා බල්ලන්ට සලකන නිසා. ඒ එක්කම සමහර බල්ලොත් මට මිනිස්සුන්ට වඩා හොඳට සලකනවා.

    උඹ මොනතරම් කාලයක් ගරාජ් එකේ වේලිලාද කියන එක මේ body snatching episode එකෙන්ම හිතාගන්න පුලුවන්.

    එල!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අයියා... කාර් පිස්සුවෙ යටිතලේ ගත්තම ඒක ලෝදිය වගේ යථාර්ථය බුබුළු දාන තැනක්. ඕක සමහර් වෙලාවට පේන්නේ ගරාජ් එකේම සදාකල් ලගින කළුවලාට විතරයි...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. සමර්සෙට් ට මොකද වුනේ කියලත් පස්සේ කියන්න.
    මම කල්පනා කලේ කලූ මේ වෙනකොට සතුටු කතා දුක් කතා කොච්චර දැකලා ඇත්ද කියලා. මිනිස්සුන්ගේ ජීවිත කුටුම්භ වලම එක වටිනා කොටසක් වුන සමහරු ඔතනින් අලුත් ජීවිතයක් ලබලා තව අවුරුදු දහයකට එකතු වෙන්න ඇති. සමහරු අලුත් කුටුම්භ වලට යන්න ඇති, සමහරු උත්සාහ කරල අතරමග අතෑරෙන්න ඇති.... කොච්චර කතා හැංගිලා ඇත්ද.

    බයි ද වේ මම මූනුපොතෙන් ප්‍රතිභානු :-)

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. 9 Facts You Never Knew About the VW Beetle - ZergNet
    www.zergnet.com/news/993419/9-facts-you-never-knew-about-the-vw-beetle

    ReplyDelete