Wednesday, March 1, 2017

තායිලන්තය කාර් පිස්සුවෙන් දකින්න....




ස්වර්ණභූමි එයාපෝට් එකේ ආගමන වැඩ ටික ඉවර කරලා පල්ලෙහාට බැහැලා ටැක්සි චිට් මැෂින් එකෙන් චිට් එකක් අරං ඒකට අදාළ ටැක්සිය හොයාගන්න එක එක්තරා විදිහක සුන්දර අත්දැකීමක්. ඒ ටැක්සි කාර් වල විශේෂ දෙයක් නැහැ. සීයට අනූවක් තියෙන්නේ කොළ පාටයි කහපාටයි හරි රෝස පාටයි හරි ගාපු අලුත් ටොයෝටා කොරොල්ලා. ඒ නිසා එතන 'අම්මට සිරි' මූමන්ට් එකක් නැහැ. නමුත් හයිවේ එක දිගේ බැංකොක් පැත්තට හුළඟ වගේ ඇදෙන Porsche, Louts, BMW සහ Benz කාර් වගේම මාරම වීල් සෙට් දාපු හොන්ඩා කාර් දකින්න, පාරේ දෙපැත්තේ තියන කෑම කඩවලින් එන ෆිෂ් සෝස්, දෙහි, සේර සහ පෝක් මුසුවුණු සුවඳ නැහැ පුඩු පුරා විඳින්න සහ BTS Sky Train එක ඇතුළේ ඊළඟ ස්ටේෂන් එක මොකක්ද කියලා කියන රෙකෝඩින් එක අහඅහා අපි බැංකොක් වලට කොච්චර නම් ආදරේද කියලා හිතන්න තව තියෙන්නේ පැය භාගයයි වගේ නේද කියල දැනෙනකොට හිතට එන හැඟීම වචනයෙන් තියා interpretive dance වලින් වත් විස්තර කරන්න බෑ.



සාමාන්‍යයෙන් අපි land කරනකොට එහෙ වෙලාව 6.30 යි වගේ. ආගමන කටයුතු ඉවර වෙලා එද්දී කොහොමත් හතයි කාලට විතර ඇති. එතකොට දවසේ පළවෙනි අවු රැල්ල තායිලන්තෙට වැටිලා. ටැක්සි ටර්මිනල් එකෙන් පිටවෙලා බැංකොක් යන පාරට ටැක්සිය හැරවෙද්දී ඒ පළවෙනි අවු රැල්ලේ ලා උණුහුම එක්ක ඈතින් බැංකොක් වල අහස සූරන මැදුරු එකින් එක පේන්න ගන්නවා. ඒ වෙලාවට කෞශියි මායි මූණෙන් මූණ බලාගෙන කියන දෙයක් තියනවා.

"ඔන්න අපි ගමේ යනවා...!"

සල්ලි ටිකක් එකතු කරගෙන අවුරුද්දකට පාරක් බැංකොක් යන එක අපි වතාවතක් වගේ කරන දෙයක්. මම ඉස්සරලාම බැංකොක් ගියේ 2008 දී. මට ෆේස්බුක් එක හරහා කෞශිව මුණගැහුනේ මම එහෙ හිටපු මාස තුන ඇතුළේ. කසාද බැන්දට පස්සේ දෙසැම්බර් තිස් එක් වෙනිදාවක් අල්ලලා එහෙ යමු කිව්වෙත් කෞශි. මගේ ජීවිතේ සුන්දරම මතක තියෙන්නේ බැංකොක් එක්ක බැඳිලා. නමුත් මට කාර් පිස්සුව ඇතුළේ ඒවා ගැන කතාකරන්න වෙලාවක් හෝ ඉඩක් නැහැ, මොකද බැංකොක් වල කාර් පිස්සුව ගැන කතාකරන්න මට ඊට වඩා දේවල් තියනවා.




2008 අවුරුද්දේ මම තනියම බැංකොක් ඉන්නකොට මට මෙච්චර තදට කාර් පිස්සුව තිබුණේ නැහැ. මොකද එතකොට මම මගේ පළවෙනි බීට්ල් එක අරගෙන තිබ්බේ නෑ. එතකොට මට තිබුණේ මගේ ලාන්සරේ දාලා එන්න වුණු එක ගැන සාංකාවක් විතරයි. ඕක ගැන මම කියෝනවා අහගෙන ඉන්න බැරිම තැන මගේ පෘතුගීසි ජාතික යාළුවා ජෝ කිව්වා ඔන්න ඕක මෙහාට ගෙන්න ගනිං කියලා.

සීමිත මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙන survive වෙන්න දඟලපු ඒ කාලේ මට කාර් බලන්න ඒ හැටි නිවනක් තිබ්බේ නෑ. නමුත් මම ඒ දවස් වලත් නිකමට හරි සියම් පැරගන් එක පැත්තේ ගිය වෙලාවට ෂෝ රූම් ඇතුළේ තියන ලැම්බෝගිනි, ලෝටස්, රෝල්ස් රොයිස් සහ බී.එම්. ඩබ්ලිව් කාර් බලන්න යනවා. ඒක අද පවා මම පුරුද්දක් හැටියට කරන දෙයක්. වෙන ගමනක් අස්සේ හරි BTS Sky Train එකේ යන ගමන් සියම් ස්ටේෂන් එකෙන් බැහැලා මමයි කෞශියි අනිවාර්යයෙන් සියම් පැරගන් එක ඇතුළට දුවලා අලුතින්ම ඇවිල්ලා තියන කාර් ටික බලලා එනවා.








තායිලන්තේ කාර් පිස්සුවෙ සීරියස් කම මට දැනුණේ වතාවක් චැරොන් කෘන් පාර පැත්තේ ඉඳන් සෆාන් තක්සින් පැත්තට ගිය ක්ලැසික් බෙන්ස් එකක් දැක්ක වෙලාවෙයි. ඒ කාර් එක restore කරන්න කරලා තිබ්බ වියදම සහ දරලා තිබ්බ මහන්සිය මම හොඳට දැක්කා. එදා ඉඳන් තමයි මම ඇත්තටම තායිලන්තේ කාර් පිස්සුව ගැන සැලකිලිමත් වෙන්න ගත්තේ.



තායිලන්තේ ටැක්සි විදිහට තියෙන්නේ බොහෝ විට අලුත්ම අලුත්, හොඳට ඒසී කරපු, පිරිසිදු ටොයෝටා කොරොල්ලා කාර්. දැන් දැන් ගොඩක් ටැක්සි ඩ්‍රයිවර් ලා මීටර් දාලා දුවන්න අදිමදි කළත් තාමත් බොහෝ දෙනෙක් මීටරේට දුවනවා. ඒ නිසා බැංකොක් වල ගමන් යන එක දුෂ්කර නැහැ. නමුත් බැංකොක් වල තියන අධික වාහන තදබදය නිසා BTS එක හෙවත් නගරය මැද්දෙන් කනු උඩ දුවන කෝච්චියේ හෝ MRT එක හෙවත් පොළොව යටින් යන කෝච්චියේ යන එක ඇඟට ගුණයි. BTS සහ MRT රෑ 12 යි උදේ 6 යි අතර ක්‍රියාත්මක නැහැ, නමුත් මොන රෑක එළියට බැස්සත් බැංකොක් වල ටැක්සි හොයාගන්න අපහසු නැහැ. ඒ වගේම බරපතළ විෂමාචාර සිදුවෙන සීමිත පැත්තක දෙකක ඇරෙන්න බැංකොක් වල මහ රෑ ඇවිදින එකේ අවදානමකුත් නැහැ. අපි දෙන්නා ගොඩක් වෙලාවට MBK Center එකේ ෆිල්ම් බලලා එළියට බහින්නේ රෑ එකට විතර. ටැක්සියක් හොයාගන්න පාරට එනකොට රෑ එකහමාර විතර වෙනවා, නමුත් කවදාවත් විනාඩියකට වඩා ටැක්සියක් එනකල් බලා ඉන්න වෙලා නෑ. 




ටැක්සි වලට තියන අනික් විකල්පේ තමයි ටුක් ටුක් එක. මේවා මුලින් හැදුවේ ජපානේ ඩයිහට්සු එක, නමුත් දැන් නම් තායිලන්තේ සමාගම් කීපයක් මේවා හදනවා. මම දන්න තරමින් තාම තියෙන්නේ ඩයිහට්සු හෝ සුසුකි එන්ජින්. ඉස්සර 350cc වගේ වුණු මේ එන්ජින් දැන් 660cc විතර වෙනවා. මේ නිසා සමහරු හිතන තරමට ඒක කරච්චලයක් නෙමෙයි. ඒ වගේම එච්චර ගැස්සෙන්නෙත් නෑ. ගොඩක් අය තාමත් මේවා දිහා බලන්නේ 350cc ආකල්පයෙන්. ඒකයි ගොඩක් වෙබ්සයිට් වල තියෙන්නේ ළඟ යන්න විතරක් මේවා පාවිච්චි කරන්න කියලා. අපි නම් දුර ගමන් වලට බොහොම ආසාවෙන් තෝරාගන්නේ ටුක්-ටුක්. අලුත් පැත්තක් පහුකරගෙන යනකොට පාර දෙපැත්තේ තියන දේවල් ඇස් පුරා දැකගන්න පුළුවන් වෙන්නේ ටුක් ටුක් වල යනකොට තමයි. සිටි එක ඇතුලෙ ගියත් සාමාන්‍යයෙන් කාර් ටැක්සි කාරයෝ ට්‍රැෆික් එකක් අහුවෙච්චි ගමන් චක් චුක් ගාන්නේ හරියට අපේ වැරැද්දට ඌට ඒ පාරෙන් එන්න වුණා වගේ. ටුක් ටුක් කාරයෝ එහෙම නෑ. යන්න පුළුවන් නම් රිංගුවා, යන්න බැරි නම් සින්දුවක් මුමුණ මුමුණ හිටියා. එකම ගැටලුව තියෙන්නේ උන් ටුවරිස්ට් ලා දැක්කම ගිනි ගණන් කියන්න පෙළඹෙන එකයි. ටුක් ටුක් දෙකතුනක් යන්න ඇරලා සාධාරණ එකෙක් සෙට් වුණාම ගානක් කතා කරගෙන නැග්ගා නම් වැඩේ අවුලක් නෑ.







බැංකොක් වල තියන හොඳම ප්‍රවාහන ක්‍රමය තමයි BTS එක සහ MRT එක. BTS එක කියන්නේ පාරට උඩින් යන කෝච්චිය. MRT කියන්නේ පොළොව යටින් යන එක. ඔය අනික් රටවල ඉන්න කට්ටියට තේරෙන්න කියනවා නම් මේවා තමයි එහෙ සබ්වේ/ටියුබ්/මෙට්‍රෝ සිස්ටම්.  1999 දෙසැම්බර් මාසේ තමයි BTS එක මුලින්ම පටන් ගත්තේ. මේක පිටිපස්සේ තිබ්බ දේශපාලන කඹ ඇදිලි ගැන මම කතාකරන්නේ නැහැ. ඒවා මෙහෙ වගේම තායිලන්තෙත් හැම ප්‍රොජෙක්ට් එකකටම පොදුයි. මේක දුවන්න ගත්තු මුල් කාලේ බැංකොක් වල මිනිස්සු මේකට එච්චර උනන්දු වුණේ නෑ කියලා මම කොහෙන් හරි කියෙව්වා. නමුත් ට්‍රැෆික් එකේ පැයක් යන ගමන මේකෙන් විනාඩි දහයෙන් යන්න පුළුවන් කියලා අවබෝධ වුණාට පස්සේ කට්ටිය මේකට බොහොම ආකර්ෂණය වුණා. දැන් උදේට, දවල්ට, වැඩ ඇරෙන වෙලාවට මේවායේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරම්. නමුත් විනාඩි දෙකෙන් දෙකට වගේ කොච්චි එන නිසා ප්‍රශ්නයක් නෑ. ඒ වගේම කෝච්චි පාරත් අවුරුද්දෙන් අවුරුද්ද දික් වෙනවා; ස්ටේෂන් ගාන වැඩිවෙනවා. දැනට සිලොම් ලයින් සහ සුකුම්විත් ලයින් කියලා ලයින් දෙකක කෝච්චි යනවා. මේවායෙන් එකකින් එකකට මාරුවෙන්න තියෙන්නේ සියම් ස්ටේෂන් එකෙන්.







බස් කෙරුවාව නම් මම 2008 න් පස්සේ  අත්විඳලම නෑ. තායිලන්තේ අනික් බොහෝ දේවල් වගේම බස් නාමපුවරුත් තියෙන්නේ තායි වලින් විතරයි. අනික තායිලන්තේ බස් යන්නේ අපේ වගේ කෙළින් පාරවල් වල නෙමෙයි. ඒවා යන්නේ ගාල්ලේ නයා විස්කි ගහලා නුවර ගියා වගේ අඟර දඟර පාරවල් වල. 2008 දී එහෙ හිටපු සීක් ජාතිකයෙක් රස කරලා කිවුවා පැය භාගයක ගමනකින් පස්සේ ආපහු එයා බස් එකට නැගපු තැනට එහා පාරෙන් මතුවුණු හැටි. ඒ නිසා අත්හදා බලන්න හෝල්ට් එකක් දෙකක් යනවා ඇරෙන්න බැංකොක් සිටි එක ඇතුළේ දුවන බස් වල ගිහිල්ලා වැඩක් නැහැ. හැබැයි බැංකොක් වලින් පිටට යනවා නම් වෙනම සුඛෝපභෝගී බස් ක්‍රමයක් තියනවා. ඒවා නම් නියමයි.




සිටි එක ඇතුළේ ට්‍රැෆික් වෙලාවට කෙටි දුරක් යන්න තියන තව ක්‍රමයක් තමයි මෝටර් සයිකල් ටැක්සි. ඔය ස්කයි ට්‍රේන් ස්ටේෂන් ගාව සහ ගොඩක් ඇතුළට විහිදෙන පාරවල් ගාව තැඹිලි පාට වෙස්ට් ඇඳපු බයික් කාරයෝ ඉන්නවා. බැංකොක් වල ට්‍රැෆික් එකේ හැටියට අඩි දෙකක් වාහනේ ඉස්සරහට ගියාට පස්සේ ඊළඟ අඩි දෙක යන්න කලින් වත්තක් අරගෙන තේ වවලා මුරයක් දෙකක් දළු නෙළලා තේ කොළ process කරලා පැකට් කරලා ආපහු පැකට් එක කඩලා වතුර රත්කරලා තේ හදාගෙන බීලා කෝප්පේ හෝදලා තියන්නත් පුළුවන්. ඒ නිසා ඒ රටේ මිනිස්සු සහ තනියම රෝන්දේ ගහන සංචාරකයෝ මෝටර් සයිකල් ටැක්සි පාවිච්චි කරනවා. මම 2008 දී එකපාරක් රාචතේවී වල ඉඳන් ඉන්ද්‍රා එක පැත්තට යන්න මේක පාවිච්චි කළා. බැංකොක් වල බයික් කාරයෝ යන්න පුළුවන් හැම තැනදීම පේමන්ට් එකෙත් යනවා, ඒ නිසා බෙල්ල ගියත් වුවමනා තැනට වෙලාවට යන්න පුළුවන්. හැබැයි මගේ බෙල්ල මට වටින නිසා සහ 2008 න් පස්සේ මම ආවේ කෞශි එක්ක නිසා ඊට පස්සේ මම මෝටර් සයිකල් ටැක්සි පාවිච්චි කරලා නෑ.

බැංකොක් වල ඉඳන් පතායා පැත්තේ එහෙම යනවා නම් ක්‍රම දෙකක් තියනවා. වෑන් සහ බස්. සාමාන්‍ය කෝච්චියේ යන්න හිතන්න වත් එපා. ඒක නිකං ඩිමෝ බට්ටෙක්ගේ නැගලා වටවන්දනාවේ යනවා වගේ අත්දැකීමක් වේවි. කෝච්චි ස්ලෝ. පහසුකම් බින්දුවයි. ඒ නිසා හොඳම ක්‍රමේ බස් හෝ වෑන්.

පතායා වල ට්‍රැෆික් පොලීසිය
බැංකොක් ඉඳන් පතායා යන්න වෑන් එකක් ගන්න හොඳම තැන තමයි Ekkamai BTS Station එක. ක්‍රම දෙකම අත්හදා බලන්න ඕන හින්දා වෑන් එකක ගිහින් බස් එකක එනවා කියලා අපි දෙන්නා හිතාගත්තා. බස් ටර්මිනල් එක තියෙන්නේ Ekkamai BTS ස්ටේෂන් එකේ ඉඳන් අඩි දෙකතුනක් ඉස්සරහට යනකොට පාර අයිනේ මයි. ටිකට් කවුළු පේළියේ ඇතුළට වෙන්න පතායා යන වෑන් වල ටිකට් කවුළුව තියනවා. ටිකට් එකක් බාත් 130 ක් වගේ. ටිකට් නිකුත් කරන කෙනා හැම කෙනාටම 'වේට් ෆයිව් මිනිට්ස්' කියලා කියනවා. ටෙන් මිනිට්ස් විතර යනකොට වෑන් එකක දාන්න තරම් සෙනග එකතුවුණු ගමන් එයා ඊළඟට එන්න ඉන්න ඩ්‍රයිවර්ට පණිවිඩේ දෙනවා. අඩි හතේ අටේ සුද්දන්ට මේ වෑන් වල යන එක අපහසු වෙන්න පුළුවන්, නමුත් ආසියාවේ හිච්චි අපට ඒකෙ ලෙග් රූම් හොඳටම ඇති. සුකුම්විත් පාර දිගේ චුට්ටක් දුර ගිහිල්ලා හයිවේ එක පැත්තට හැරෙව්වට පස්සේ ආයේ පතායා යනකල් ට්‍රැෆික් එකක් ඇත්තේ නෑ. පෙට්‍රල් ගහන්න එක තැනක නවත්තලා අපට එළියට බැහැලා විනාඩි දහයක් ඉන්න කියනවා. ඒ වෙලාවට එතනින් මොනවා හරි අරං බොන්න පුළුවන්. මේවා ලංකාවේ දුර ගමන් බස්රථ තේ බොන්න නවත්තන තැන් වගේ ඉතුරු දහයට ටොපි දීලා ගහගන්න එන තැන් නෙමෙයි. අපට විනාඩි 10 ක් ඉන්න කිවුවට විනාඩි පහෙන් විතර වෑන් එක ආපහු යන්නත් පිටත් වුණා. මුළු ගමනටම යන්නේ පැය දෙකක් වගේ. වටපිට බලබල යනකොට ඒ පැය දෙක යනවා දැනෙන්නේ වත් නෑ.




මුල් ෆොටෝ දෙකේ තියෙන්නේ අපි පතායා ගිය වෑන් එක. ඊළඟ ෆොටෝ දෙකේ තියෙන්නේ Victory Monument එක ගාවින් පටන් ගන්න වෑන්. ආරංචි හැටියට Victory Monument එක ගාවින් යන වෑන් දැන් අයුතයා පැත්තට එහෙම යන්නේ නෑ.

පතායා ඇතුළේ නම් සාධාරණ ටැක්සි නැහැ. ඒක තනිකර සංචාරක ලෝකයක් නිසා ටැක්සි කාරයෝ මීටර් දාන්නේ නෑ. මීටර් හයිකරන එක අනිවාර්ය වුණත් ඒවා ලේන්සු දාලා වහලා තියෙන්නේ. හැබැයි සිටි එක ඇතුළේ යන්න නම් බාත් බස් කියලා ජාතියක් තියනවා. මේවා ඇවිල්ලා මිනිස්සුන්ට පිටිපස්සේ යන්න පුළුවන් වෙන විදිහට හදපු සිංගල් කැබ්. මේවායෙන් සිටි එක ඇතුළේ යන්න යන්නේ බාත් දහයක් හෝ විස්සක් වගේ ගානක්. හැබැයි යන දිහා තමුන් දැනගෙන ඉන්න ඕනේ. මොකද සමහර වෙලාවට එයාලා වෙන පාරවල් වලට හරවනවා. ඒ එයාලගේ හැටි. ඒ නිසා හරි පාර හොයාගෙන, ඒ පාර දිගේ ඉස්සරහට යන්න තියන දුර යන්න විතරක් මේවා පාවිච්චි කරන එක නුවණට හුරුයි. එක බීච් එකකින් අනික් බීච් එකට යන බාත් බස් වල නම් යන දිහා ගහලා තියනවා දැක්කා. නමුත් පතායා බීච් සීමාව ඇතුළේ එහාමෙහා යන බාත් බස් වල එහෙම නම් ගහලා නැහැ.

පතායා වල ඉඳන් අපහු එන්න අපි තෝරගත්තේ ඒසී බස් එක. මේවා නවත්තන්නේ Air Conditioned Bus Terminal එකේ. සාමාන්‍යයෙන් පැය භාගයකට හෝ විනාඩි හතළිහකට එකක් පිටත් වෙනවා කියලා තමයි කියන්නේ. අපි නැගලා විනාඩි දහයක් යන්න කලින් බස් එක ඇද්දුවා. බස් එක ප්ලේන් එක වගේ සනීපයි. ලෙග් රූම් තියනවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්ක ෆුට් බෝල් ගහන්න පුළුවන් තරමට. රෑ හතහමාරට විතර තමයි බස් එකේ නැග්ගේ. නවය හමාර විතර වෙද්දී ආපහු බැංකොක් වල. 





බැංකොක් ඇතුළේ එහා මෙහා යන්න තියන තව ක්‍රමයක් තමයි බෝට්ටු. මේ බෝට්ටු Chao Phraya ගංගාව දිගේ වගේම බැංකොක් ඇතුළේ හතර අතට විහිදෙන ඇල මාර්ග දිගේත් යනවා. මම හිතන්නේ එහෙ සංචාරකයෝ වැඩිම දෙනෙක් බෝට්ටුව පාවිච්චි කරන්නේ 'වත් අරුන්' කියන පන්සලට යන්න. BTS එකේ සෆාන් තක්සින් එකට ගිහිල්ලා එතනින් බැහැලා පිටිපස්සට ඇවිදන් ගියාම සතෝර්න් තොටුපළට යන්න පුළුවන්. එතනින් බෝට්ටුවේ නැගලා තොටුපළවල් කීපයක් ගියාම වත් අරුන් යන්න පුළුවන් තොටුපළ හම්බවෙනවා. මෙතින් බැහැලා ගඟ හරහා යන පුංචි බෝට්ටුවක නගින්න ඕනේ, මොකද පන්සල තියෙන පැත්තේ නෙමෙයි ප්‍රධාන බෝට්ටු නවත්තන තොටුපළ තියෙන්නේ. ඇල මාර්ග දිගේත් ඔය වගේම බෝට්ටු සේවාවක් තියනවා. ගඟ දිගේ යන බෝට්ටු තරම් ලොකු බෝට්ටු නෙවෙයි, ඒ නිසා නුපුරුදු අයට මේවට නගින්න කරන්න අපහසුයි. තායිලන්තේ ගොඩක් අය වැඩට යන්න එන්න පවා මේ බෝට්ටු පාවිච්චි කරනවා. 





Chao Phraya ගංගාවට මම පුදුම විදිහට ආදරෙයි. ඒ ගඟ තමයි බැංකොක් වල ජීවනාලිය. බඩුභාණ්ඩ ගොඩක් දුර පළාත් වල ඉඳලා බැංකොක් වලට එන්නේ මේ ගංගාව දිගේ. ගංගාවේ ළඟින් හරි යන ඕනම කෙනෙකුට ඕනම වෙලාවක දරන්න බැරි තරම් බර බත්තල් අදින බෝට්ටු එන්ජින් දකින්න පුළුවන්. දවසක කාර් පිස්සුවට Chao Phraya ගංගාව සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමයක් ආවොත් මගේ අතින් ඒ ගැන බොහොම ආදරණීය ලිපියක් ලියවේවි. 



අපි බැංකොක් යන්න තව ප්‍රධාන හේතුවක් තමයි Siam VW Festival එක. මේකට ගියාම තමයි ලංකාවේ තියන බීට්ල්/කොම්බි/කාමන් ගියා මොනවද කියලා හිතෙන්නේ. බැංකොක් වල වගේම බැංකොක් වලට එන්න පුළුවන් දුරින් තියන ෆොක්ස්වැගන් කාර් වෑන් ගොඩක් මේකට සහභාගී වෙනවා. ඉතිං මමයි කෞශියි කරන්නේ අපි එනකොටත් ඇවිල්ලා පාක් කරලා තියන සහ රෑ වෙනකල් සැරින් සැරේ එන්ජිමෙන් ජර්මන් රාගතාල මුමුණ මුමුණ එකින් එක එන ෆොක්ස්වැගන් දිහා බලබලා, අපිට හැබෑ කරගන්න බැරි හීන වලට හූල්ල හූල්ලා, ලංකාවේ ජීවිතේට හොයන්න බැරි රසයක් තියන අයිස් ක්‍රීමක් දෙකක් තොලගගා, 'ජීවිතේ සුන්දරද මෙතරම් [පෙට්‍රල්/එන්ජින් ඔයිල්] සුවඳ දැනී දැනී දැනෙනවා' කියලා හිතහිතා රෑ වෙනකල් ඕක ඇතුළේ ඇවිදින එකයි. අවස්ථාවක් ලැබුණු ගමන් ඒ ගැන වෙනම ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. 





ඒ වගේම මේ වතාවේ අපි වාහන කෞතුකාගාරයක් බලන්නත් ගියා. බැංකොක් වලින් පිට නිසා හොයාගන්න සෑහෙන්න අමාරුයි. මේක තියෙන්නේ නඛෝන් පතෝම් කියන පැත්තේ. Jesada Deshsakulrith කියලා ව්‍යාපාරික මහත්මයෙකුට තමයි මේ එකතුව අයිතිය. කාර් බලන්න කියලා ගිය අපි ඉස්සරලාම ගිහින් වැටුණේ බයික්/ස්කූටර් සිය ගාණක් මැද්දට. වෙනම hanger එකක් ඇතුළේ තව කාර් සහ බයික් සිය ගාණක් දාලා තිබුණා. මෙතෙන්ට එන්න වෙච්ච මහන්සිය සහ දරපු වියදම අන්තිම සතේටම වටිනවා කියලා හිතුණේ එතකොටයි. ඒක ඇත්තටම මගේම ලොකුම කාර් හීන වලින් එකක් සැබෑ ලෝකෙට ප්‍රක්ෂේපණය වුණා වගේ අත්දැකීමක්. Siam VW Festival එක ගැන, මේ කෞතුකාගාරය ගැන සහ සමස්තයක් විදිහට තායිලන්තේ කාර් සංස්කෘතිය ගැන වෙනම ලිපි දෙක තුනකින් කතා කරන එක තමයි මගේ බලාපොරොත්තුව. 





මට තායිලන්තය ගැන කතාකරන්න ගොඩක් දේවල් තියනවා. තායිලන්තේ යනවා කිව්වම වැඩි දෙනෙක් අහන්නේ අසභ්‍ය ප්‍රශ්න. සිරිමයුර හෝටලේ තැඹිලි පාට චිකන් කරිය වැටිලා පඬු පාටවුණු සරමක් දැක්කත් 'චීවරේට ගරු කරපන් යකෝ' කියලා කෑගහන මිලිටරි බෞද්ධයෝ පවා තායිලන්තේ යනවා කිව්වම අහන්නේ ලේඩි බෝයිස්ලා සහ පිංපොං ෂෝ ගැන මිසක් ථෙරවාදී බුද්ධාගම ගැන නෙමෙයි. 'එහෙත් ථෙරවාදී රටක් නේ ඉතිං' කියලා ධම්මානුස්සති හිනාවක් පැළඳගන්නේ අවුරුදු හැට පැන්න ලොකු හාමුදුරුවරු විතරයි. 

මම මේ කියන්න හදන්නේ දුරාචාරයෙන් තායිලන්තය දකින එක ඔහේ රැල්ලට හිතන ජනප්‍රියවාදී දෙයක් කියන එකයි. අනික් අතට අපේ මිනිස්සු තවත් කොටසක් තායිලන්තය දකින්නේ හෝල් සේල් රෙදි අරං ඇවිල්ලා කඩවල්වලට දාන්න අවස්ථාවක් විදිහට විතරයි (අපේ පාරේ ඉන්න බූරුවෙක් එක පාරක් මගෙන් ඇහුවා රට ගිහිං එනකොට විකුණන්න බඩු අරං එන්නේ නැත්තන් රට යන්නේ ඇයි කියලා).  මම ඔය හැමෝගෙන්ම ඉල්ලන්නේ මෙච්චරයි. තායිලන්තය ගැන ස්වාධීනව හිතන්න පුරුදු වෙන්න. හැමෝම යන බෝබේ මාකට් එකටයි, සුකුම්විත් පාරටයි, ග්‍රෑන්ඩ් පැලස් එකටයි, ප්‍රතුනාම් මාකට් එකටයි දුවන්නේ නැතුව බැංකොක් වල හැමෝම නොයන තැන් බලන්න යන්න. ප්ලේන් එකේ ලෑන්ඩින් ගියර් සෙට් එක ස්වර්ණභූමි එයාපෝට් එකේ රන්වේ එකේ ස්රූස් ගාලා ගෑවිච්චි වෙලාවේ ඉඳන් අල හොදියි බතුයි කන්න ලංකාවේ කෑම තියන කඩවල් හොයන්නේ නැතුව එහෙ පාර දෙපැත්තේ තියන කෑම කඩවලින් කෑමක් බීමක් ට්‍රයි කරලා බලන්න. තායි මිනිස්සුන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණයට ඇද කරන්නේ නැතුව ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය තේරුම් ගන්න උත්සාහ කරන්න. 



 


ඔයා කාර් පිස්සෙක් නම්, පාර දිහා පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න... ප්‍රවාහන මාධ්‍යයක් දෙකක් ටෙස්ට් කරලා බලන්න. ලංකාවට සාපේක්ෂව ඒවායේ වාසි අවාසි ගැන පොඩ්ඩක් හිතන්න. ඒ මිනිස්සු දෙයක් කරනකොට හරියට කරන්න ගන්න උත්සාහය දිහා අවධානයෙන් බලන්න. ඒවායින් අපට ගන්න පුළුවන් දෙයක් තියනවද කියලා හිතන්න... 

කොටින්ම කිව්වොත්... කාර් පිස්සුවෙන් තායිලන්තය දකින්න... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
2017 මාර්තු 01 

www.facebook.com/CarPissuwa


44 comments:

  1. ඔය මොටර් බයිසිකල් ටැක්සි කාරයෝ ඉන්දුනිසියාවේ ජකර්තා වලත් ඉන්නවා. මමත් 2008දි විතර ජකර්තාවලට ගියාම මොටර් බයික් ටැක්සියක් අරගත්තා. මේකා මම ගිය රෙස්ටුරන්ට් එකේදි මගේ පස්සෙන්ම ඇවිත් මගේ මේසෙම වාඩිවෙලා මගෙන්ම කාලා මගෙන්ම බිලා මාව ආපහු ගෙනත් දාලා ටැක්සි සල්ලිත් ඉල්ලාගත්තා. ඊට පස්සේ කියටවත් රෙස්ටුරන්ට් එකකට ගියාම උන්ව කියාගන්නේ නෑ. සල්ලි දිලා පිටත් කරනවා. බැංකොක් නම් ගිහිල්ලා නෑ. යන දවසක උපකාරි වෙවි විස්තර වලට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඉන්දුනීසියාව පැත්තෙත් රවුමක් ගහන්න ලොකු ආසාවක් තියනවා. හැමදාම ප්ලෑන් කරන්න පටන් අරං අන්තිමට තායිලන්තෙම ගිහිං එනවා... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි අසංග...

      Delete
    2. අම්මෝ මම ගිහින් තියනවා එක පාරක්. එහෙ බයික් වලට වෙනම ලේන් තියනව පාරවල් සයිස්. හැබැයි ලංකාවම තමා. බයික් කාරයො යන හැටි දැක්කම අැඟ හීතල වෙනවා

      Delete
    3. ඉන්දුනීසියාවේ බයික් කල්චර් එක ගැන ටොප් ගියර් එකෙන් සහ ක්ලාක්සන් ගේ වෙන documentary එකකින් දැකලා මට එහෙ යන්න ටිකක් බය හිතුණා...

      Delete
  2. පෝන් එකෙන් කියෝල කොමෙන්ටෙක දාන්න කොම්පිවුටරේ ඔන් කෙරුවා. නියම සංචාරක විස්තරයක්. මට පේන විදිහට තරිඳු-කෞෂි යුවලගෙ සිතුම් පැතුම් මේ සුරංග-අනෝමා දෙන්නගෙ සිතුම්පැතුම්වලට ලඟින් යනව වගේ. අපෙත් හිතේ තියෙනවා විදේස සංචාරෙක යෙදෙන්න. හැබැයි ඉංදියාවට. සිද්ධස්ථාන වඳින්න නෙමෙයි. ඉන්දියාව මැදින් කෝච්චියෙං යන්න. කල්කා-ෂිම්ලා මීටරේ කෝච්චියෙ යන්න, මනාලි ෂිම්ලා අවට ඇවිදින්න. හැබැයි ඒ හීනෙ අපිට දුර ටිකක් වැඩියි. ඉන්න හිටින්න තැනක් හදාගත්ත දවසක අපිත් ඔය ගමන් යයි. අපේ හීනෙම තියෙන බොල දෙන්නා ගිය ගමන ගැන සංතෝසයි.

    ඔය විදිහටම දඹදිව ගිය කෙනෙක් තමයි අපේ හින්නිමහත්තය ආතා. සති දෙහෙකට කලින් පැයක් විතර පෝන් එකෙන් කතා කෙරුවා. අනික් උපාසක උපාසිකාවො වන්දනාවෙ යන්නයි සාරි බාරි ගන්නයි යද්දි හින්නිමහත්තයා ආතා ඉන්දියාවෙ ප්‍රවාහනය, ජන ජීවිතය ගැන අගනා සමීක්‍ෂණයක් කරල තිබුනා. ළඟදිම දවසක යන්න ඕනි ඒ විස්තර අහං ඉන්න. හින්නි මහත්තයා ආතා බ්ලොග් එකක් ලිව්වනං අපි කැලේ.

    සම්පූර්ණ සංචාරක විස්තරයක් ගනං හිලව් එක්කම ලියාං අයියා. මෙව්වා කා අතිං හරි වෙන්න ඕනි ජාතික මෙහෙවරවල්. නැත්තං තව කාලෙකිං අපේ රටේ කොල්ලෙක්ට කසාදයක් බඳින්න කලිනුත් පාස්පෝට් එක පෙන්නන්න වෙයි තායිලන්තෙ ගිහිං නෑ කියලා ඔප්පු කරන්න.

    ReplyDelete
    Replies
    1. හැමදාම මෙහෙම අපූරු කතාවක් එක්ක කමෙන්ට් එකක් දාලා යනවට බොහොම ස්තූතියි සුරංග...! මටත් ශිම්ලා පැත්තට මාර ආසාවක් තියනවා. මට මතක හැටියට ඔය පැත්තට internal flight service එකක් තියනවා prop planes තියන. Prop planes ගැනත් ලොකු ආසාවක්/බයක් මුසුවුණු හැඟීමක් මට තියන නිසා ශිම්ලා වලට එහෙම එහෙක යන එක මගේ හීනයක්...

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි අනූප...

      Delete
  4. කතාව ලස්සනයි අයියේ.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රොෂේන්...

      Delete
  5. එළකිරි කියන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුමුදු...

      Delete
  6. කාර් පිස්සා
    කාර් පිස්සුවෙ හැම ලිපියක්ම ඉතා රසවත් හා අද්යාපනිකව වටිනවා.කියවන්නට ලැබීම සතුටක්. දිගටම ලියන්න.
    ලැබුනොත් ඉදිරියටත් කොමෙන්ට් කරන්නම්. මාත් පරණ කාර් පිස්සෙක්

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටක්... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි...

      Delete
  7. මේක මරු. තායිලන්තය ගැන තියෙන ආසාව තව වැඩි වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් :)

      Delete
  8. ///ලංකාවේ කෑම තියන කඩවල් හොයන්නේ නැතුව එහෙ පාර දෙපැත්තේ තියන කෑම කඩවලින් කෑමක් බීමක් ට්‍රයි කරලා බලන්න.///

    මං ආසම දෙයක් තමයි ලෝකල් රීජනල් කෑම ට්‍රයි කරන එක.

    ReplyDelete
    Replies
    1. රටක සංස්කෘතියට ලංවෙන්න තියන පහසු මගක් තමයි ඒක... බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  9. මම හිතාන උන්නේ උඹ එහේ පදිංචියට ගියාය කියලා...

    ReplyDelete
    Replies
    1. සිංහල රචකයෙක් විදිහට රස්සාව කරන මට මොන රට පදිංචිද මාතලන් අයියා...

      Delete
  10. මෙකනං මරු තරිඳු. අපි ගියා වගේම හිතෙන්න ලියල තියෙන්නෙ.
    ඔය සංචාර සංවිධානය කරන ගොඩ දෙනෙක් එක්ක යන හැමෝම හැමදාම එකම තැන් වලට ගිහිල්ල ඇවිල්ල අපෝ ඒ රට කියනව වගේ නෙමෙයි මේ වගේ තනියෙන් ඇවිදල, කට්ට කාල, පේමන්ට් එකේ තියෙන ඒව කාල ආතල් එකක් ගන්න එක තමයි නියම සංචාරයක් කියන්නෙ. බලමු ඉතිං අපිටත් කවදහරි යන්න පුලුවං උන දවසක.

    ReplyDelete
    Replies
    1. අනිවා... හැමදාම මෙහෙම දිරිමත් කරනවට ස්තූතියි ප්‍රසන්න අයියා...

      Delete
  11. අප්‍රේල් වල යන්න හිතන් ඉන්නේ.. සැහෙන වැදගත් උනා මට.. මැසේජයකින් තව විස්තර ටිකක් අහන්නම්කෝ.. ජය වේවා අයියේ..

    ReplyDelete
    Replies
    1. මේ කලිනුත් මගෙන් අප්‍රේල් වල යන්න අහලා, මම කිව්ව එක අහන්නේ නැතුව අප්‍රේල් වල යන්නම දාගත්තු කෙනාමද? :)

      Delete
  12. උඹට ඔහෙ යන උන්ට මග පෙන්නලම එපා වෙලා අැති දැන්..
    අර අසභ්‍ය සීන් ගැන මටනං කිසිම අත්දැකීමක් නෑ. මම හිටපු දවස් 4න් එකක වත් මම එහෙම එ්ව දැක්කෙ නෑ. එ්වා අදාල එ්රියා වලට ගානට කොටු වෙලා. අපි පවුල් පිටින් කිසි අවුලක් නැතුව BKK ගිහින් අාවා

    ---ටැක්සි වලට තියන අනික් විකල්පේ තමයි ටුක් ටුක් එක---
    යකඩෝ ඔ්ව එලවන උන් ගහන්නෙ ටැංකියට ගංජාද මන්දා. අපි එකක ගියා... නෑ නෑ... ගියා නෙමේ පියෑඹුවා පියෑඹුවා... කිලෝමීටර් දෙකතුනක්.

    උඹ මට 2012 උපදෙස් දුන්නෙ ගඟ පැත්ත පළාතෙ යන්න එපා කියල නිසා මම එ්ක දැක්කෙත් යන්තං. අපි කිසිම අවුලක් නැතුව පලවෙනි පවුලේ රට සවාරිය යන්න දුන්න සප් එක නං පට්ට..

    ReplyDelete
    Replies
    1. සවිස්තර ප්‍රතිචාරයක් දුන්නට ස්තූතියි මචං... මට මතක විදිහට උඹ ගිය අවුරුද්දේ තමයි ගංවතුර සීන් එක ආවේ...

      කාර්, පූසෝ සහ තායිලන්තේ තමයි ඉතිං මගේ ජීවිතේ... :)

      Delete
    2. මමත් යනවනම් උබට call එකක් දෙන්නම්. මටත් Tharindu කියපුවා ටික කියපන් මචන්

      Delete
  13. මමත් එන අව්රුද්දේ වත් පළමු පව්ලේ පිට රට සවාරිය යන්න ඉනනේ ( දැනට අවරුදු ගානක ඉඳන් ඊලග අව්ව්රුද්දේ යන්න plan කෙරනවා). Plan කලේ Singa හරි Malaysia හරි යන්න. මේක කියෙව්වට පස්සේ Thailand ගැනත් බල්ලන්න හිතෙනවා. පොඩි උන්ට උනත් අව්ලක් නෑ වගේ google කරලා බැලුවම නම්. And Thanks for the detailed description.

    ReplyDelete
    Replies
    1. තායිලන්තේ ගැන මවල තියන්න බිල්ලෝ සීයට අනූ නවයයි දශම නමයක් බොරු. පවුලේ සවාරියක් ගිහිල්ලා අතපය දිග ඇරලා බඩුත් අරන් පවුලේ අය එක්ක විනෝද වෙලා එන්න හොඳම රටක් තාමයි තායිලන්තේ...

      Delete
  14. එල ද බ්‍රා ..
    කියන්න වදන් නැහැ ...පොටෝ ටික විස්තරය එලටම ලියලා ...
    මේක කියවපු වෙලාවේ ඉදලා මම හිතින් එහෙ ගියා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා... දෙදාස් අටේ එහෙ ගිය මුල් දවස් දෙකේ තුනේ පාර වරදී ගියලා නවාතැන් ගත්තු ගෙදරින් තනියම එළියට බහින්න බයේ හිටපු මට අද මෙහෙම තායිලන්තේ ගැන ලියන්න පුළුවන් වෙච්චි එක ගැන පුදුම තෘප්තියක් තියෙන්නේ...

      Delete
  15. හෙහ් හෙහ්. තායිලන්තෙ අගනුවරටත් තියෙන්නෙ එච්චර සිල්වත් නමක් නෙවෙයිනෙ පුතා. Bank Cock. ඉතින් යන්න ඉස්සෙල්ලම ... හෙහ් හෙහ්.

    මරු විස්තරේ තරිඳු. වැඩක් ඇති එකෙක් තැනකට ගියාම තමයි අහක ඉන්න අපිටත් මෙහෙම හරි වැඩක් ඇති විස්තරයක් අහන්න ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය බෑන්ග් කොක් කතාව ඉස්සරලාම මට කිව්වේ මගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හොඳම යාලුවා. සාමාන්‍යයෙන් මාත් එක්ක වචන තෝරාබේරාගෙන කතා කරපු එයා ඕක කිව්වම මම මොනවා කියාගන්නද කියලා හිතාගන්න බැරුව තක්බීර් වුණා මට හොඳට මතකයි...

      ප්‍රතිචාරෙට සහ අගය කිරීමට බොහොම ස්තූතියි ඩූඩ් අයියා...

      Delete
  16. ක්ලැසික් කාර් වලට ආදරය කරන භාරියාවක් හොයාගන්න එක ෆස්ට් ඕනර් ක්ලැසික් එකක් හොයාගන්නවට වඩා අමාරු වැඩක්..ඒත් කොහොමහරි තරිඳු අයියා අක්කව හොයාගත්ත එකෙන් වැඩි ප්‍රයෝජන අපි වගේ කාර් පිස්සන්ට..... :)

    ReplyDelete
    Replies
    1. lol... හොඳ පොයින්ට් එකක්... ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි පුබුදු...

      Delete
  17. උබ මිනිස්සුන්ව ඇබ්බැහි කරනවා ....
    ඉස්සලාම කැල්සික් කාර් වලට දැන් රට රටවල්වල රවුං ගහන්න ...
    මට අහුවෙයන්කෝ උබ ....
    තව කෙමෙන්ට් එකක් තියනවා එකත් කොටන්නම්කො

    ReplyDelete
    Replies
    1. හිහ් හී... ඊළඟට පූසෝ ඇතිකරන එක ගැන ලිවුවා නම් හරි... එතකොට මට ඔප්පු කරන්න පුළුවන් පූසෝ හදන එක කොච්චර ආදරණීය/ආතතිජනක අත්දැකීමක්ද කියන එක...

      ස්තූතියි මෙන්ඩා...

      Delete
  18. වෙනද වගේම වැදගත් තොරතුරු රාශියක්. දැනට අවුරුදු කීපෙකට කලින් ඔය ටුක්-ටුක් දෙකක් දිර දිර තිබුණ පුවක්පිටිය හරියෙ අතුරු පාරක, මට හරියටම තැන මතක නෑ හැබැයි එකක් ඩයිහට්සු.අපරාදෙ දැන් මොනවවෙලාද දන්නෙ නෑ.
    තව ඔය කොරොල්ලා එකට මම කියන්නෙ Judge මොඩල් කියල, ඕක වැඩිපුරම තියෙන්නෙ ඒගොල්ල ගාවනෙ. මේකට අදාල නැතත් මෙන්න පිස්සුව උග්‍ර කරන්න ලින්ක් දෙකක්,Classic මෙන්න දෙක
    Bristol restore .

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට වගේම links වලටත් බොහොම ස්තූතියි හසිත...

      Delete
  19. අලුත් කාර් බ්ලොග් එකටත් ලිපියක් ලියන්න

    ReplyDelete
  20. https://www.youtube.com/watch?v=rgc_LRjlbTU

    ReplyDelete
  21. me wage wena blogs nadda bn danna ewwa??? Wahana gana...

    ReplyDelete