Wednesday, March 22, 2017

හල්ගස්හේනට යන පාරේ දෑහින් ක්ලැසික් කාර් ඇහින්ද අපේ තාත්තා



මේ ලිපිය ලියන  රෑ 9 ශ්‍රී 5333 කොළ සහ සුදු මිශ්‍ර අලුත් පෙනුමක් ලබා මගේ ගරාජයේ නිවී සැනසිල්ලේ නිදා සිටී. මට, අම්මාට සහ කෞශිට සේම 9 ශ්‍රී 5333 ටද සමහර විට තාත්තා ගැන මතක තිබෙන්නට පිළිවන. අලුත් කාර් වලට මෙන් නොව පරණ කාර් වලට 'ආත්මයක්' ඇතැයි කාර් පිස්සුවෙන්ම වියපත් වූවෝ නිතර කියති. එවැනි භාවාතිශය හැඟීම් දිගේ වුවමනාවට වඩා දුර ඇදී යන්නට මට වුවමනාවක් නැත. එහෙත් බක්මහේ මූදුකරයෙන් හිතුමතේ කඩාවැදී වරු දෙකතුනක් අහස අඬවන මහා කුණාටුවක් සේ තාත්තා ගැන අනන්ත මතක සමුදායක් මා නොහිතන අඳුරු වේලාවල්වල මගේ හිතට කඩා වදී. ඒ හැම වේලාවකදීම ඒ මතක චණ්ඩ ප්‍රවාහයෙන්ම සේදී ජීවිතයෙන් කෑල්ලක් ගැලවී තෙරක් නොපෙනන අගාධයකට වැටී සදහටම නොපෙනී යයි.

තාත්තා අන්තිම වතාවට 9 ශ්‍රී 5333 ට නැග්ගේ මීට අවුරුදු තුනකට පමණ කලිනි. කවදාවත් තමන්ගේ ලෙඩ ගැන අප කියනා කිසිම දෙයක් කනකට නොගත් තාත්තා හුස්ම ගන්නට බැරි තරම් කැස්ස තිබියදී පවා බේත් ගැනීමට යාම එකහෙළාම ප්‍රතික්ෂේප කළේ ය. අන්තිමේදී බලා ඉන්නට බැරිම තැන මා ගෙදර බඩුමුට්ටු පොළොවේ ගහන තරමට රණ්ඩුවක් ඇදගත් පසුව මටත් හොරෙන් පයින්ම දොස්තර ගාවට ගියේ ය.

අන්තිමට දොස්තර ළඟින් මට දුරකථන ඇමතුම ආවේ තාත්තාට පපුවේ අමාරුවක් හැදෙන්නට එන බවත් වහාම වාහනය රැගෙන එන ලෙසත් කියමිනි.

එදා ගිලන් රථයක් එළවන්නාක් මෙන් බස්, ලොරි, ත්‍රිරෝද රථ පමණක් නොව කන්ටේනරයක් ඉස්සරහින් ද දමා  පානදුර රෝහලේ පැත්තකින් 9 ශ්‍රී 5333 නවත්වා අපි තාත්තා රෝහලට ඇතුළත් කළෙමු. රජයේ සෞඛ්‍ය සේවය ගැන මට එදත් සතපහක විශ්වාසයක් නොතිබූ නමුත් හොඳම පහසුකම් ඇති ළඟම තැන එතැන බව කියා දොස්තර තාත්තාට තුණ්ඩු කෑල්ලක් ලියා දී තිබිණි. අනෙක් අතට තදබල පපුවේ අමාරුවක් හැදෙමින් සිටින රෝගියෙකු ගාලු පාරේ රථවාහන තදබදය දිගේ කොළඹ ගෙනයාම අනුවණ ක්‍රියාවකැයි අප කාටත් සිතිණි.

කෙසේ නමුත් තාත්තාට පපුවේ අමාරුවක් තිබෙන බවක් පානදුර රෝහලේ වෛද්‍යවරුන්ට පෙනුණේ නැත. පානදුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබූ තාත්තා ඉන් අනතුරුව පැය 5 කට පමණ පසුව වාට්ටුවකට ඇතුළත් කරන ලදි.

දවස් තුනක් පමණ රෝහලේ සිටින්නට තාත්තාට සිදුවිය. ඒ සිටින කාලය තුළ පරීක්ෂණ කිහිපයක් කළද වෛද්‍යවරුන් ඒ කිසිවක ප්‍රතිඵල ගැන මට කිසිවක් කීවේ නැත. ඔවුන් කළේ තාත්තාට පිරිටන් දිදී නිදි කරවීම පමණි. අන්තිමේදී තාත්තාට මහා ලෙඩක් නොමැති බව කියා, පස්සේ ක්ලිනික් එන්නැයි කියා ටිකට් කපා ඔවුහු තාත්තා ගෙදර එවුවෝ ය. ගෙදර එක්කාගෙන එන්නට පෙර තාත්තාට දිය යුතු කෑම ගැන උපදෙසක් ගන්නට දොස්තර කොහේදැයි සෙවූ විට ඇටෙන්ඩන් කෙනෙකු මගේ ඇඟට කඩාපැන්නේ 'දොස්තර මහත්තයා කොච්චර වෙලාවක් ඉස්පිරිතාලේ හිටියද? ඒ මනුස්සයට කියලා ඉස්පාසුවක් නැද්ද?' කියමිනි.

ඉන් මාස දෙකක් යන්නටත් පෙර, මැයි මාසයේ කාලකන්නි රාත්‍රියක මහ රෑ දොළහට පමණ රාජගිරියේ පිහිටි පෞද්ගලික රෝහලක සිට ඒ භයංකර දුරකථන ඇමතුම ආවේ ය.

ඉන් පසු ජීවිතය කවදාවත් කලින් තිබූ තැනට පැමිණියේ නැත.  තෙරපි සැසි ගණනාවක් සහ සෙට්‍රලින් පෙති සිය ගාණකට පසු යාන්තම් එදිනෙදා ජීවිතය ගතකරන්නට හැකි මට්ටමට Depression තත්ත්වය පාලනය කරගැනීමට මම සමත් වීමි.

නොසිතු ලෙස කාර් පිස්සුව තරමක් දුරට ජනප්‍රිය වී යාමෙන් පසුව මට තාත්තා ගැන ලියන්නට දැඩි වුවමනාවක් තිබුණද ලියන්නට හදන හැම වතාවක අර depression හැඟීම සරුපයෙකු සේම ඔළුව උස්සා මට තර්ජනය කළේ ය. අන්තිමේදී දවසක් අහම්බෙන් Professor Green සහ Tory Kelly ගයන 'Lullaby' ගීතය ඇසීමෙන් පසුව, මොන තර්ජනය මැද වුවද මේ ලිපිය නොලියා ඉන්නට බැරි තත්ත්වයක් උද්ගත විණි. 'Lullaby' ගීතයේ රූප රචනයෙන් කියවන්නේ තාත්තා නැති දරුවන් ලොකු මහත් කළ සීයෙකු ගැන වුවද, ඒ කොතැනත් ඇත්තේ එකම සෙනෙහස බව කියන්නට අමුතුවෙන් තඹ සන්නස් ලියවන්නට අවශ්‍ය නැත.



All the times I have laid in your light
When your love kept me safe through the night
All the time I was sure you were mine
And before time demands our goodbye
Can you sing me a last lullaby?




තාත්තා කවදාවත් මගේ කාර් පිස්සුවට පැන පැන පෝර දැම්මේ නැත. මා ඉංජිනේරුවෙකු කරන්නට හීන දුටු තාත්තා මියෙන තුරුම මා නිදහස් රචකයෙකු වීම ගැන හිතින් වේදනා වින්දේ ය. කාර්මික කටයුතු ගැන මෙලෝ හසරක් නොදැන සිටි මම කාර් පසුපස හඹා යනවිට තාත්තා බය වූයේ මා 'කාගේ හරි අල්ලේ නැටවේවි' කියා ය. එහෙත් කාර් සම්බන්ධ මොකක් හෝ දෙයක් ගැන මාත් සමග නැව් කොක්කක් පමණ කොක්කක් ඇදගෙන දවස් දෙකක් යන්නට මත්තෙන් තාත්තා මටත් නොකියා ඒ කාර් එකට අමතර කොටස් හොයන්නට කොහේ හෝ ඉන්නා අපතයෙකු සොයා ගියේ ය.



මොරිස් මයිනර් ගැන ආසාවක් මිස මෙලෝ අවබෝධයක් නොතිබූ කාලයක එක්තරා සැන්දෑවක තාත්තා වැඩ ඇරී ගෙදර පැමිණ මෙසේ කී අයුරු ඊයේ බැලූ චිත්‍රපටයක දර්ශනයක් සේම මට මතක ඇත.

"කොට්ටාව පැත්තේ ගෙදරක ඉස්සරහ වීදුරු දෙක තියන මයිනරයක් තියනවලු..."

වීදුරු දෙක කියන විට මට මතක් වූයේ  පසුපස වීදුරුව දෙකට බෙදී තිබූ පැරණිම මාදිලියේ ෆොක්ස්වැගන්  කාර් සහ ඉදිරිපස වීදුරුව දෙකට බෙදී තිබු පැරණිම ෆොක්ස්වැගන් වෑන් පමණි. මයිනර් වල Series MM සහ Series 2 රථවල ඉදිරිපස වීදුරුව දෙකට බෙදී පැමිණි බව මගේ මීටරයට වැටුණේ එදා දවස තුළ ය.



ඉන් පසු දවසක තාත්තා මගේ පෙළඹවීමක් නොමැතිවම ඒ මයිනරය බලන්නට ගියේ ය. එදා තාත්තා ගෙදර ආවේ සිනාසෙමිනි.

"යට බලන්න බොඩියට අත තියලා නැමෙන්න බයයි, වාහනේ සරාස් ගාලා කඩාගෙන වැටෙයි කියලා. ඒ තරමට මලකඩ...!"

ඒ වාහනය යකඩ වලට හෝ දෙන්නට නම් පරණ යකඩ කාරයෙකු ගස් බැඳ උගේ සනුහරේටම ගේම දෙන බවට තර්ජනය කළ යුතු බව තාත්තා එදා මට පෙන්වා දුන්නේ ය. කෙසේ වුවද පසු කාලයක මා ඩබල් ග්ලාස් මයිනරයක් ගන්නට පෙළඹෙන්නට ඇත්තේ එදා තාත්තා මගේ හිත තුළට දැමූ ඒ මලකඩ ගෝදාව බව මම විශ්වාස කරමි. EN 3457 හොරණින් මිලදීගෙන පානදුර ගෙනෙන්නට ලොරියට පටවන මොහොතේ මට තාත්තා මතක් විය. එදා තාත්තා හිටියා නම් කාර් එකේ ආරක්ෂාවට කියා ලොරි තට්ටුවේ නැග පානදුරයට එනතුරු එන්නට ඉඩ තිබිණි. 



මගේ පළවෙනි ක්ලැසික් කාර් එක වූ 3 ශ්‍රී 5661 බීට්ල් එක ගන්නට වගේම එය හදන්නටත්, එපා වන්නටත් දායක වුයේද තත්තාම ය. 'තව කට්ටියක් කාර් එක බලන්න ඇවිත් ඉන්නේ. එයාලගේ ඔෆර් එක හොඳයි' කියා බ්‍රෝකර් අපට නැව් කඹයක් බන්දේසියක තබා පිරිනැමූ විට මම එය දෝතින්ම බදා සුරුබුරු ගා ගිල්ලෙමි. ඒ දුර ඈත සෙනසුරාදාවේ මුදල් ගන්නට විදිහක් නොවූ තැන තාත්තා අතේ තිබුණු මුදල් සියල්ල එකතු කර මට දුන්නේ ය. කාර් එක අරගෙන එන්නටද මා සමග ආවේ ය.

අන්තිමේදී එන්ජිම ගලවා බලා සංසාරයේ කොහේදෝ ඩොටක කළ කරුමයක් පිළිසන් දීම ගැන චෑස් චූස් ගාමින් සිටියදී එන්ජිම හදාගන්නැයි කියා හතළිස් දාහක් දුන්නේද තාත්තාම ය.

ඒ දවස් වල ෆොක්ස්වැගන් හදාගැනීමේ 'ආර්ට් එක' ගැන අන්දෝ සංසාරයක් මා දැන සිටියේ නැත. 3 ශ්‍රී 5661 ලෙඩ දෙන වාරයක් ගානේ තාත්තා මාත් සමග රණ්ඩු කළේ මා මිකැනික් ලා ටින්කර් ලා ගේ ලණු ගිලින බව කියමිනි. එහෙත් අනික් අතට ඒ ලණු වලට ගෙවන්නට සල්ලි දෙන්නට ඉදිරිපත් වන්නටද තාත්තා පැකිලුණේ නැත. පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ රස්සාවක් කරමින්, සීමිත පඩියක් ලබමින් සිටි ඒ කාලයේ මගේ ප්‍රොජෙක්ට් වල තිබූ හිඟන බව අද මගේ හිත කීරි ගස්වයි. තාත්තා ගේ උදවු උපකාර නොවන්නට මට ඒ තරමට වත් කාර් පිස්සුව සංසිදුවා ගන්නට අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබිණි. නිවාඩු ගැනීම දුෂ්කර වී ඇඹරෙමින් සිටි කාලයක තාත්තා 3 ශ්‍රී බීට්ල් එකේ වයින්ඩර් පවා ගලවාගෙන ගොස් දෝෂ නිවැරදි කරගෙන මට ගෙනැවිත් දුන්නේ ය.



3 ශ්‍රී 5661 අන්තිමේදී දුර දුවන්නට හැකි ලෙස පත්තියන් වූ විට කාර් එකේ ගමේ යන්නට මා දිරිමත් කළේද තාත්තා ම මිස වෙන කවුරුවත් නොවේ. ඒ දවස් වල අධිවේගී මාර්ගය හෝ පිටත වටරවුම් මාර්ගය නොතිබූ බැවින් අප වේයන්ගොඩ ගියේ කොට්ටාවට ගොස් අතුරුගිරිය හරහා කඩුවෙලට පිවිසී එතනින් නුවර පාර දිගේ යාමෙනි. 13 ශ්‍රී 7133 ලාන්සරයේ කී වතාවක් ගමේ ගොස් තිබුණද තාත්තාගෙන් පාර අසමින් යාම මගේ පුරුද්ද විය. කලගෙඩිහේන පැත්තෙන් වේයන්ගොඩ පාරට හැරෙන තෙක්ම නුවර පාරේ එහෙමට ලස්සනක් නැතද 3 ශ්‍රී 5661 එළවාගෙන ගමේ ගිය පළවෙනි වතාව මට කිසිම දාක අමතක නොවේ.  බීට්ල් යනු දුර දුවන්නට පුළුවන් වාහන බව මට ඉන්තේරුවෙන්ම පසක් වූයේ එදා ය. ඊට සෑහෙන කාලයකට පසු 9 ශ්‍රී 5333 සමග අනුරාධපුරයේ ගිහින් එනවිට කටුනායක අධිවේගී මාර්ගයට දමා බොරැල්ලට එනතුරු ආවද ඒ එන මග දිගටම මගේ මතකයේ හොල්මන් කළේ ඒ නොදුරු නොළං අතීතයක තාත්තා සහ පවුලේ අනික් අය සමග 3 ශ්‍රී 5661 රථයේ වේයන්ගොඩ ගොස් ආ ගමනයි.

අවාසනාවකට ඒ ගමන ගැන කඳුලක් සමග මෙතැන අලවා තබා යන්නට එහි එකදු ඡායාරූපයකුදු අද මා ළඟ නැත.



It's been a while since I last dreamt
Barely remember what it's like to dream
Finding it hard to get to sleep, too stressed
And there ain't anyone to sing a lullaby to me
Pretend shit doesn't get to me
And I suffer in silence when I'm hurting
A man's problems are his own
And it's my burden
Tossing and turning, trying to get to sleep
But I find it hard to switch off when my mind's working



කාර් පිස්සුව දෙගුණ තෙගුණ වී ඉස්පාසුවක් නැතුව කාර් සොයන්නට ගත් කාලයේදී තාත්තා මට තවත් කාර් එකක් ගන්නට මුදල් දීමට ඉදිරිපත් වුණේ ය. ඒ දිනවලද අහක ඇති මූකලාන් වලට විසිකර ඉගිල්ලී නොපෙනී යනවා බලා සිටින්නට තරම් මොනරුන් මා අතේ වසා නොසිටි නිසා එය මට අසමාන සහනයක් විය. අන්තිමේදී වැල්ලවත්තේ තිබී 9 ශ්‍රී 5333 මතුවූ විට අපි එය ගෙදර ගෙන එන්නට තීරණය කළෙමු. මුදලුත් රැගෙන සාක්කියට අත්සන් කරන්නට පැමිණි තාත්තාගේ මුහුණ 9 ශ්‍රී 5333 බීටලයේ කහපාට දැක එළිය වූ ආකාරය ගැන මගේ බිරිඳ කෞශි පවා අදත් සිහිපත් කරයි. එවකට 9 ශ්‍රී 5333 රථයේ අයිතිකරු වූ සරත් කුමාර මහතා එය අපට පෙන්වීමට රෝලර් ඩෝ එක විවර කළ මොහොතේ, ඇතුළට වී නිවීසැනසිල්ලේ කුමාරියක සේ නිදා සිටි කහම කහපාට බීට්ල් එක දුටු විට, මුදල් ගැන බින්දුවක හෝ සිත් තැවුලක් තිබුණේ නම් එයද තාත්තාගේ සිතින් පහ වී ගියා විය යුතු ය.

මොරටුව හා පානදුර අතර අලුත් පාරේ එගොඩඋයන හරියට පැමිණි විට නිදහසේ ඇක්සලේටරය පාගා 9 ශ්‍රී බීටලයේ වේගයේ පරීක්ෂා කිරීමට මට අවස්ථාවක් උදා විය. එතෙක් 1960 අවුරුද්දේ හැදූ, අසාර්ථක restoration project එකකට ගොදුරු වී දුක් විඳිමින් සිටි 3 ශ්‍රී 1200 බීටලයක් පදවා තිබූ මගේ බීට්ල් ප්‍රේමය සදහටම විසිතිස් ගුණයකින් වැඩි වී ගිය මොහොත එයයි. ඇක්සලේටරය පාගනවාත් සමාගම මූදුකරය දෙවනත් වෙන්නට විසිල් කරමින්, ඇඟට පතට නොදැනී එක ඇසිල්ලකින් කාරය පැයට කිලෝමීටර අසූවේ වේගය පසුකර යන විට මම ආතල් එක දරාගන්න බැරිව ඉංගිරීසි හරුපයක්ද කියා කෑ ගැසුවෙමි.

පුතෙකුගේ සීමාන්තික සතුට දැක, ඒ සතුටට උල්පන්දන් දුන් පියෙකු නිහඬව මට එහා පැත්තෙන් සිට මඳ සිනා පානු මම ඇස් කොනින් දුටිමි.



එදා පටන් මා 9 ශ්‍රී 5333 රැගෙන තාත්තාද දමාගෙන බොහෝ ගමන් යන්නට ඇත. මගේ ජීවිතයේ ලොකුම අධ්‍යාපන ජයග්‍රහණයේදී පවා මම තාත්තා සහ කෞශිද රැගෙන BMICH ගියේ මේ රියෙනි. මා සිතන හැටියට, ක්ලැසික් කාර් ගැන තාත්තාගේ සිතේ තිබූ අවිශ්වාසය දුරු කළේ 9 ශ්‍රී 5333 යි. සුවපහසු ගමන, ඕනෑම තැනක කැපී පෙනෙන අලංකාරය පමණක් නොව, වරින් වර ළඟට පැමිණ 'ඉස්සර මගේ ළඟත් ඔයින් එකක් තිබුණා' කියන වියපත් මහත්වරුන් හෝ 'මාත් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ අයියේ' කියන කොලු ගැටවුන් නිසා තාත්තාටද ටිකක් හෝ ආඩම්බරයක් දැනෙන්නට ඇත.

මා ඉංජිනේරුවෙකු කරන්නට බැරි වූ නමුත් තාත්තා මා 9 ශ්‍රී 5333 බීටලයේ අයිතිකාරයා කළේ ය.



I've gotta take responsibility for the things I do
Find something other than negativity for my fuel
But I feed off it, even when I don't seem bothered
I hide everything that's going on inside
Guess it's been a while since I've been honest, I need help
But I deny it and even lie to myself like I'm fine


මගේ ක්ලැසික් කාර් පිස්සුව සහ අසීමිත මුදල් නාස්තිය ගැන කෙතරම් නොහොඳ සිතිවිලි තිබුණද තාත්තා හැමදාම හල්ගස්හේනට යන එන පාරේ ක්ලැසික් කාර් හෙවුවේ ය. තාත්තා වැඩකළ ෆැක්ටරිය හල්ගස්හේන නම් ගමේ පිහිටා තිබුණු අතර, එය රටේ ජනප්‍රිය වෙළඳ නාමයකට අයත් ෆැක්ටරියකි (තාත්තා අසනීප වූ විට මේ ෆැක්ටරියේ කළමකාරීත්වය සහ එහි සේවය කළ බොහෝ දෙනාත්, බාහිර සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කළ එක්තරා මහත්මයෙකුත් අපට උදවු උපකාර කිරීමට ඇසුරු සැණින් ඉදිරිපත් වූ බව මෙහි ලියා තබන්නේ තෙරක් නොමැති කෘතඥතාවෙනි). ඒ දවස් වල තාත්තා මෝටර් සයිකලයෙන් වැඩට ගියේ ගල්කිස්ස - කොට්ටාව බසය දුවනා පාර දිගේ ය. ඒ යන එන හැම වතාවකදීම සුවාරපොළ පසුකර යන විට තාත්තා ගෙදර ඇවිත් සුවාරපොළ මහේෂ්ගේ ගෙදර මිදුලේ නවත්වා තිබූ ෆොක්ස්වැගන් ගැන විස්තර මට රසකර කීවේ ය. ඊට අමතරව පාරේ 404 එකක් හෝ ඔක්ස්ෆර්ඩ් එකක් හෝ මයිනරයක් හෝ ෆියට් එකක් හෝ පරණ බෙන්ස් එකක් හෝ දුටු විට තාත්තා ඒ ගැන මතකයේ රැඳුණු හැම දේම මට කියන්නට අමතක කළේ නැත.

කොටින්ම කිවහොත් නොදැනුවත්ව හෝ මගේ හිත තුළ සදා නොනිවෙන දොළොස් මහේ පහනක් සේ කාර් පිස්සුව අවුළුවාලූයේ තාත්තා ය....



අද මඳ පමණින් අතපය දිගහැර ප්‍රොජෙක්ට් කරන විට, 9 ශ්‍රී 5333 ත් සමග දුරු කතරක යන විට, ඩබල් ග්ලාස් මයිනර් ගෙදර ගෙනෙන විට හෝ කාර් පිස්සුවේ පළවෙන ලිපි දහස් ගණනක් දෙනා කියවන විට ඒ ගැන අසන්නට හෝ බලන්නට, එදා 9 ශ්‍රී 5333 ගෙනා දවසේ එගොඩඋයනේදී මා වින්ද අමන්දානන්දය දැක  නිවී සැනසුණා සේ සිත ඇතුළෙන් මඳ සිනා පාන්නට අද තාත්තා නැත. තාත්තාට වකුගඩුවක් බද්ධ කරන්නට බැරිදැයි ඇසූ විට එක්තරා දොස්තර කෙනෙකු මගේ මූණටම කියා දැම්මේ 'තව ඕනනං අවුරුදු දෙකක් ඉඳියි. ඉතිං මොන බද්ධ කිරිලිද?' කියා ය. එක එක ඉස්පිරිතාල වල එක එක කාමර ගානේ තාත්තාගේ තනියට ඉඳිමින්, සෙල්සියස් අංශක දාහට විතර රත්වන පරණ ලැප්ටොප් එකක් තබාගෙන එන එන හිඟන වැඩය කරමින් සල්ලි හොයන්නට වේදනා වින්ද ඒ දුක්ඛ සාගර සමය මගේ හදවත සදහටම අබලන් කර දැමුවේ ය. තාත්තා බේරාගන්නට මට කළ හැකි ලබු ගෙඩියක් නොතිබූ බව ඉන්තේරුවෙන්ම දන්නා නමුත් ඉස්පිරිතාලවල ඩෙටෝල් ගඳින් තැම්බී ගිය මගේ ආත්මය එය පිළිගන්නේම නැත. ඒ නිසා අදටත් මම කොහේ ගියද තාත්තා අවසන් හුස්ම හෙලූ ඒ කුඩා කොළ පැහැති වකුගඩු රෝහල පිහිටා ඇති බොරැල්ලේ කොටා පාර මගහැර යමි.

එහෙත් අදටද 9 ශ්‍රී 5333 සමග එගොඩ උයන පසුකරන විට, සයිලන්සරයෙන් එන විසිල් හඬ සමගින් මට තාත්තාගේ මඳ සිනාව මැවී පෙනේ. ඒත් සමග, ස්පීකර වලින් මොන ගීතය ගලා එමින් තිබුණද, ඒ සියලු ස්වර යටකරගෙන ටෝරි කෙලීගේ දුක්බර හඬ මගේ තුන්සිත වසාගෙන පැතිරෙයි.

ඒ වෙලාවට ඇසට හැමදාමත් එන කඳුළෙන් ඇස් දෙක බොඳ නොවන්නට මම රේල් පාර පැත්තේ අවසර අනවසර ගොඩනැගිලි මැදින් වරින් වර අමාරුවෙන් එබෙන මහ මුහුද දෙස බලා ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරන්නට කමටහනක් සොයා නිකරුණේ වෙහෙසෙමි....



All the times I have laid in your light
When your love kept me safe through the night
All the time I was sure you were mine
And before time demands our goodbye
Can you sing me a last lullaby?




තරිඳු ශ්‍රී ලොකුගමගේ
2017.03.21





In loving memory of Don Anuruddha Lokugamage
1956 - 2014


පසු සටහන: වෙනදා කාර් පිස්සුව ලියන්නට භාවිතා කරන 'ඩිජිටල් භාෂාවෙන්' තාත්තා ගැන ලියන්නට මට හිත දුන්නේ නැත. ආසියානු කලාපයේ රටක ඉපිද, සිංහල භාෂාව ප්‍රමුඛව කලා විෂයන් හැදෑරූ මම තාමත් ගෞරවය උදෙසා ඉහළ භාෂා පන්තියක් භාවිතා කිරීමේ සම්ප්‍රදාය නොදැනුවත්ව හෝ අනුගමනය කරමි. තාත්තා ගැන ලියූ මේ ලිපිය උක්ත ආඛ්‍යාත සම්බන්ධය හැකි උපරිමයට රැකෙන ලිඛිත භාෂාවෙන් ලියවුණේ එහෙයිනි. ඒ ගැන ඔබ අහිතක් නොසිතනු ඇතැයි සිතමි.

www.facebook.com/CarPissuwa

Thursday, March 9, 2017

'බොනට් අරින් ඩෝන් පුතා'



සාමාන්‍යයෙන් අපි කාර් එකක් හොයන්න ගන්නකොට අපේ හිතවත්තු/නෑදෑයෝ/ඔෆිස් එකේ උන්/බස් හෝල්ට් එකේදී අපිව බලෙන් කතාවට ඇදගන්න උන්/වෙන්ඩ තරහකාරයෝ/සංසාරයේ කොතැනක හරි අපෙන් සූදුරු ඇටේක විතර වැරැද්දක් වෙලා ආත්මයක් ආත්මයක් ගානේ අපට ගේම දෙන්ඩ පතාගෙන ආපු එවුන් ඇතුළු හැම දෙනාම වගේ කියන දෙයක් තියනවා.

"අන්න අර අහවල් පැත්තේ ඔය ජාතියේ කාර් එකක් ගියා මෙන්න මේ ගානට... අපරාදේ... දැනගත්තා නම් කලින් කියනවා... කොහෙද ඉතිං...අපට කෝල් එකක් වත් දෙනවය..."

ඔන්න ඔය වෙලාවට අපේ හිතට එන්නේ මෙරුවෙක් දැක්ක පූසෙකුට දැනෙන හැඟීම වගේ හැඟීමක්. අවුරුදු දාස් ගාණක් ගෙවල්වල හැදිලා මට්ටම් වෙච්චි ජාන තියන පූසා හොඳට දන්නවා ඔය මෙරුවා අල්ලගත්තා කියලා හූනු නැට්ටක තරම් වත් වැඩක් නෑ කියලා. ඒ වගේම අවුරුදු ලක්ෂ ගාණකට කලින් කාන්තාරේ අහුවෙන අහුවෙන මැස්සා කකා යන්තං බඩ පුරෝගෙන හිටපු කාලෙන් ඉතුරු වෙච්චි ජාන මංචාඩියක් විතරත් උගේ ඇඟේ තියනවා. ඒ නිසා ඔන්න ඔහේ ඕන හූනු නැට්ටක් කියලා පූසා මෙරුවට පනිනවා.

අන්න ඒ වගේ තමා අපිත්... ඔහොම කාර් එකක් තිබ්බේ නෑ, ඕක ඔය යක්කු එක්කෝ කියන්නන් වාලේ, එක්කෝ තව ටිකක් කතාව දිග්ගස්ස ගන්න, එහෙමත් නැත්තං අර සාංසාරික රිටර්න් එකේ මේ ආත්මේ වාරිකේ පොලිය එක්ක දුන්නා කියලා හිත යටින් සන්තෝස වෙන්න කරන වැඩක් කියලා අපි දන්නවා. ඒත් එදාට අපි බස් එකේ ගෙදර යන්නේ හිටගෙන යන ගමන් හරි අර කාර් එක අරගෙන මලකඩ සූරසූර 'අපේ ජීවිතේම යකඩ බ්‍රෝ' වගේ මොකක් හරි පොර ටෝක් එකක් එක්ක ෆේස්බුක් එකේ  ෆොටෝ දාන හැටි හිතිං මවාගෙන.

මටත් වුණේ ඕකම තමා...


දවසක් නෑදෑ කෙනෙකුගේ ගෙදර ගිහින් කතා කරකර ඉන්න වෙලාවක මම මේ මනුස්සයට නිකමට කිව්වා, මම බීට්ල් එකක් ගන්න හොයනවා කියලා. ඒක කිව්වා විතරයි අර හාදයා ඉන්දිකා උපමාලි ඔපෙරා සින්දු කියනවා වගේ වොයිස් එකක් හදාගෙන මෙන්න මෙහෙම කියාපි.

"හායියූ...අපරාආආආආආදේ... මේන්න මේන්න මේන්න මේ ළඟ තැනක ඔන්න ඔයින් කාර් එකක් තිබිලා හෙන අඩුවට ගියා. මට කියලා තිබ්බා නං මම කෝල් එකක් දෙනවා නේ..."

ඔන්න මගේ හිත යට පුරු පුරු ගගා නිදියන් හිටපු අර ප්‍රාග් ඓතිහාසික පූසා අවදි වුණා.

"වෙන දන්න ඒවා එහෙම මොකවත් නැතෙයි?" මම පෙට්‍රල් සුවඳට උඩු හුළඟ ඉව කරන ගමන් ඇහුවා.

"තියෙයි තියෙයි... මම කෝල් එකක් දෙන්නම් කෝ..."

ගෙදර ගියාට පස්සේ මම සති දෙකකට පාරක් විතර අර හාදයාට කතා කර කර බීට්ල් ගැන ඇහුවා. මම හිතන්නේ මගේ කරදරෙන් බේරෙන්න බැරුව මිනිසා දවසක් බත් මුලකුත් බැඳගෙන 'බීට්ල් තියනවදෝ බීට්ල් තියනවදෝ!' කියකිය බෙරිහන් දිදී අහල ගම් හතේ ඇවිදලාද කොහෙද. අන්තිමට මිනිහගේ ගෙදර ඉඳන් කිලෝමීටර් දහයක විතර දුරින් බීට්ල් එකක් දෙකක් විකුණන්න තිබිලා හොයාගත්තා කියලා මිනිහා මම කතාකරපු වෙලාවක කිව්වා.

පූසා හිතුවා මෙරුවා කාලා ඩෙසර්ටුත් කන්න පුළුවන් වෙයි කියලා...

ඉතිං මම තාත්තයි කෞශියි දෙන්නවම ඇදගෙන දවසක් පාන්දර බස් එකක නැගලා මගේ දෛවය හා ඉරණම  සොයා පිටත් වුණා. 



නෑදෑ ගෙදර මිනිස්සු අපට උදේට කන්න කිරිබත් හදලා තිබුණා. මම හිටියේ කිරිබත් කෑල්ල බීට්ල් එකේ හැඩේට කපලා රෝද වෙනුවට ලුණුමිරිස් තියලා කටින් විසිල් ගගහා පිඟාන වටේ තල්ලු කරන තරම් බීට්ල් ඇම්මෙන්. ඒ නිසා උදේ කෑමට ගිය විනාඩි විස්ස මට දැනුණේ දොස්තරලා දුප්පත් මිනිස්සු මැරෙන්න ඇරලා පඩි වැඩිකරගන්න කියලා උද්ඝෝෂණයක් කරන වෙලාවක ටවුන් හෝල් එක පැත්තේ ගිහිං හිරවුණා වගේ.

කාලා ඉවරවෙලා කටේ ලුණුමිරිස් ඌෂ්නේ යන්න කිරිටොපි කෑල්ලක් කටට දාගන්න පරක්කුවට මම කට්ටියට යමු කියලා බලකළා. අපේ නෑදෑයා ළඟ ගෙදරකින් ඉල්ලගත්තු ත්‍රීවීල් එකක නැගලා අපි ගමන පිටත් වුණා.

ඉස්සරලාම ගියේ අපේ නෑදෑ ගෙදරට ළඟින් තිබුණු තැනකට. ඒක ඇත්තටම අරං විකුණන තැනක්. ඒ දවස් වල මට ඕවා මීටර් නෑ. තව කාර් දෙකතුනක් මැද්දේ 1 ශ්‍රී බීට්ල් එකක් දාලා තිබ්බා. ගෙදර ගාවට ගිහිං අපේ නෑදෑයා විසිතිස් පාරක් එක එක සෘති වලට මල්ලියේ මල්ලියේ ගෑවට පස්සේ සීසර් ගේ කාලේ රෝමේ තිබ්බ වයින් පීප්පයක් වගේ පොරක් සරමක් විතරක් ඇඳගෙන පෙරලි පෙරලි වගේ මිදුලට ආවා, 'ආ අයියේ' කියාගෙන.

"මල්ලි මේකයි පොස්සගන් එක?"

"ඔවුඔවු ඕක තමා. ඔරිජිනල්. ගහපු ගමන් ඉස්ටාට්. හොඳ කන්ඩිසන්. ඉස්කෝලෙක පින්සිපල් කෙනෙක් ගේ එකක්."

"පොත්පත්, ලයිසන් ඉන්ෂුවරන්ස් හරිද?"අපේ තාත්තා ඇහුවා.

"පොත තියෙන්නේ ගම්පහට. ලයිසන් නෑ අවුරුදු දෙකකින් මයේ හිතේ..." පීප්පේ ඕනාවට එපාවට කිව්වා.

"ඉස්ටාට් කරලා බලන්ඩද මල්ලි?"

"බලන්ඩ..."

පීප්පේ පෙරලි පෙරලි ගිහින් යතුර ගෙනාවා. වාහනේ නම් ගහපු ගමන් ස්ටාට් වුණා.

බීට්ල් එකක් ස්ටාර්ට් වෙනවා, අයිඩ්ල් වෙනවා, රේස් වෙනවා ඇහුණාම අර කවදත් හිතට දැනෙන සංසාරගත චූන් එක තුන් සිත වසාගෙන පැතිරුණේ හරියට ඩෙංගු කාලෙට මදුරුවෝ එළවන්න පාර පුරා ගහන ගහන දුම වගේ. දෙයියම්පා ඒ වෙලාවට හුස්ම හිරවෙනවා!

කාර් ගැන ඒ හැටි දෙයක් දන්නේ නැති වුණාට ජීවිත කාලෙම බොයිලර් සහ වෙන මැෂින් එක්ක ඔට්ටු වෙලා පත්තියන් වෙලා හිටපු තාත්තා ඒ වාහනේ ගැන එච්චර සතුටු මූණක් පෙන්නුවේ නෑ.

"මේකේ දිරුම් එහෙම තියනවද?" තාත්තා පීප්පේ ගෙන් ඇහුවා.

"මොන පිස්සුද මහත්තයා... ටින්කරින් පොදක් නෑ..." පීප්පේ කිව්වා.

තාත්තා වීල් ආච් එකක් අස්සට අත දාලා පොඩ්ඩක් තට්ටු කළා. කොන්ක්‍රීට් ගල් ගොඩක් ගෙන්නල්ලා බෑවා වගේ මලකඩ තට්ටුවක් කඩා හැලුණා. තව ටිකක් යටට හොම්බ දාලා බැලුවම අපිට ෆ්ලෝ බෝඩ් එක අස්සෙන් ජර්මනියත් පෙනුණා මම හිතන්නේ.



අපි වීල් එකේ නැගලා ඊළඟ තැනට යන්න පිටත් වුණා. ඒත් එක්කම පීප්පේ කොහෙද එක්කන් යන්න සෙට් එකක් ආවා. එයාලගේ දෙබසින් මට ඇහුණේ මෙච්චරයි.

"විස්සක් කියනවා. එපා කරවලා දහ අටකට ගත්තැකි. අනික් පැත්තට විසි එකහමාරකට දෙන්න පුළුවන්."


ඊළඟ තැන හොයාගන්න සෑහෙන අමාරු වුණා. පාරේ තිබුණු වලවල් දැක්කම මට මතක් වුණේ අඟහරුගේ ඡායාරූපයක්. අරාබිකාරයෝ දැක්කා නං ඩෙසර්ට් සෆාරි නවත්තලා සහරා ජීප් ටික පටෝගෙන මෙහෙ එනවා. ඒ මදිවට පාරේ මොකක්ද උත්සවයක්. ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පාරවල් තියෙන්නේ ගෙවල්වල ඉඩ මදි වුණාම ටෙන්ට් ගහන්න කියලා. ඉතිං ගමන තවත් අමාරු වුණා. කොහොම හරි ටික දුරක් යනකොට පොරක් තැපැල් නයින්ටියක නැගල වලවල් බේර බේර මිරිස් පාත්තියේ යන හකරැල්ලා වගේ එනවා. පොරව දැක්ක ගමන් අපේ නෑදෑයා අඳුර ගත්තා.

"මේන් මේ එන්නේ අර මල්ලි තමා..."

මල්ලි ඇවිත් ත්‍රීවීල් එක ඉස්සරහා නවත්තලා කතාව පටන් ගත්තා. 

"ඔය බීට්ල් එක මම ගත්තේ ආසාවට පදින්න. මට හරි ආසාවක් තිබ්බා බීට්ල් එකක් අරන් මොඩිෆයි කරන්න. ඒ වුණාට යාළුවෝ කිව්වා ඔරිජිනල් තියපන් කියලා. ඒ නිසා ඔරිජිනල්ම තමයි වාහනේ තියෙන්නේ, ආයේ කිසි දෙයක් වෙනස් කරලා නෑ. කොටින්ම ටයර් සෙට් එක පවා ඔරිජිනල්. මම සම්පූර්ණයෙන්ම හැදුවා. හොඳට වියදම් කළා. ලක්ෂ දෙකහමාරක් විතර ගියා මට හදන්න. කොළඹ ගිහිල්ල තමා බඩු ගෙනාවේ. වාහනේ ආයේ නෑ හොඳටම රනින්. ටින්කරින් පොදක් නෑ. අපේ තාත්තා කොරොල්ලා එකක් අරං ඉල්ලනවා. එයා ඔය පරණ වාහන වලට එච්චර කැමති නෑ. ඒකයි දෙන්න හිතුවේ..."

මේ ටික ඇහුවම මට ඉතිං මාළුකාරයා 'මාලෝ' කියනවා ඇහුණු ටොමියට වගේ ආතල් එකක් ගියා. මට ඕන වුණේ කොහොම හරි මේ මනුස්සයාගේ කටේ පාන්කඩයක් ඔබලා හරි ඉක්මනට කාර් එක බලන්න ඇදගෙන යන්නයි. භද්‍ර කල්ප හතහමාරකට විතර පස්සේ මේ යකා යාන්තං කතාව නවත්තලා තැපැල් නයින්ටියට නැගලා පිටත් වුණා. අපිත් ඒ හකරැල්ලා පස්සෙන් කන්කුන්ඩා වගේ වලවල් බේරබේර ගියා. අන්තිමට කෙහෙල් හේනක්, අන්නාසි යායක් සහ ගඳපාන ගාලක් එහෙම පහුකරගෙන අපි තැපැල් නයින්ටියාගේ ගෙදරට ගියා.



ඈත තියා බීට්ල් එක දකිද්දී මට හිතෙන්න ගත්තා මූ සමහර විට බීට්ල් එක කියලා හිතාගෙන වෙන මොකක් හරි කාර් එකක් හදන්න ඇති කියලා. මොකද පේන්ට් කරනවා කියලා වෙලා තිබ්බේ සමර ගානවා වගේ මොකක් හරි දෙයක් කියලා මට ගඳපාන ගාල් අස්සෙන් පවා පෙනුණා.

අපි වීල් එක නැවැත්තුවේ හරියටම බීට්ල් එක පිටිපස්සේ. කාර් ලෝකේ ඒ හැටි කාලයක් සැරිසරලා තිබ්බේ නැති නිසා විකුණන එකා/බ්‍රෝකර් ගේ ප්‍රේමකාව්‍ය සහ යථාර්ථය අතර වික්ටර් රත්නායකගේ සහ එයාගේ අලුත් බිරිඳගේ වයස් පරතරේ විතර පරතරයක් තියනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඉතිං වික්ටර් ආපහු බැන්දා කියලා දැනගත්තු දවසේ තමුන්ගේ අම්මලා වෙන කසාදයක් කරගත්තා වගේ අපේ එවුන් අඬන්න ගත්තු විදිහටම අපිත් තක්බීර් වුණා.

මම ආරම්භයක් විදිහට, කාර් එකේ තත්ත්වේ වටහාගන්න මෙන්න මෙහෙම කියන්නම්...

අර හැම දෙයක්ම ඔරිජිනල්ම ඔරිජිනල් කියපු කාර් එකේ පිටිපස්සේ ලයිට් දෙක මයිනර් තවුසන්ඩ් එකක ලයිට් දෙකක්... ඒවා බැරි බැරි ගාතේ පූට්ටු කරලා. (හැබැයි එදා අපි ඒක දැනගෙන හිටියේ නැහැ. ඒක මීටර් වුණේ පස්සේ කාලෙක ආපහු ෆොටෝ බලබල හිනාවෙද්දී). වාහනේ දැල් බැඳලා හිටපු මකුළුවෝ මිනිහා ඊබේ එක හරහා ඇමසෝන් වනන්තරෙන් ගෙන්නලා වෙන්න ඕනේ, මොකද ඒ ජාතියේ මකුළුවෝ මම ලංකාවේ වෙන කිසිම තැනක දැකලා නෑ. උන්ගේ දැල්වලට ගහන්න අත්කම් ලක්සලේ වත් නැතුව ඇති. බෆර් දෙක නිකං කැප්ටන් ටින්මාළු ටින් වල ලේබල් ගලෝලා සුපර්ග්ලූ දාලා අලෝලා අරියාදුවට මිටියෙනුත් කෙළියා වගේ. පරණ දිග එන්ජින් ලිඩ් එක වෙනුවට අලුත් කොට එන්ජින් ලිඩ් එකක් අටෝලා තිබ්බ විදිහ දැක්කම මට බුදුන්ගේ කාලේ ඉන්දියාවේ හිටපු බාගෙට විලි වසාගත්තු තාපසයෙක් මතක් වුණා. බැජ් එකේ VW කෑල්ල අබිමානා කාලා, ඉතුරු වෙලා තිබ්බේ 1300 කෑල්ල විතරයි. බීඩින් හරියට බබී ආච්චි දීග ආපු කාලේ ඉඳන් උන්දෑ ගාව තිබ්බ දැති කැඩිච්චි පනාව වගේ. සීට් කවර ටික දැක්කම මට හන්දියට ගිහිං හාල් ගෝනි ටිකක් ඉල්ලන් ඇවිත් සීට් වලට මගේ ගානේ දාලා දෙන්න හිතුණා. තට්ටුවක් දෙකක් දැම්මම හැලුණු මලකඩ ටික එකතු කළා නම් පෝට් සිටිය හදන්න පාවිච්චි කරන්න තිබ්බා. 





අපි වැඩි කතාවක් නැතුව මේ සේරම බැලුවා. සාමාන්‍යයෙන් බීට්ල් එකක් බලනවා නම් ස්පෙයා වීල් එක තියන තැන යට සහ බොනට් එකේ යට බලන්න කියලා කවුරුහරි කියලා තිබුණා. ඒ නිසා මම තැපැල් නයින්ටියාට කිව්වා බොනට් එක ඇරලා පෙන්නන්න කියලා. මේ මනුස්සයා වාහනේ ඇතුළට නැගලා අලියෙක් අපයෝජනය කරනවා වගේ අඹපයිත්තියන් ලීලාවෙන් ඇඹරි ඇඹරි මොකක්ද වැඩක් කරන්න ගත්තා. 

"මොනවද අයියේ හොයන්නේ...?" මම මේ සොකරි නාටකේ බලන් ඉන්න බැරිම තැන ඇහුවා.

"මේ... ම්... මේ... අ... මේ... බොනට් එක අරින කේබල් එක..." 

ලක්ෂ දෙකහමාරක් වියදම් කරලා, ඔරිජිනල්ම විදිහට හැදුවයි කියපු වාහනේ බොනට් එක අරින කේබල් එක තියන තැන මේ ටෞකණ්ඩ අප්පුහාමිලාගේ එච්. යූ. ජී. කොල්ලා මහතා දන්නේ නෑ...

කොහොම හරි භද්‍ර කල්පයක් විතර කේබල් පාරමී පුරලා පුරලා මේ හාදයා ලිප්බොක්කට ටොකං බම්බුවක් දාලා අඟුරු කෑල්ලක් අදිනවා වගේ මොකද්දෝ කුණු මුල්ලකට අතදාලා මොකද්දෝ හින්නිපුවකක් ඇද්දා. 

හැබැයි බොනට් එක හෙලවුණේ වත් නෑ... 

"දැන් අදින්ඩ බලන්ඩ.." පොර ඇතුළේ ඉඳන්ම මිමිනුවා... මම එතෙක් මෙතෙක් කාපු එළවලු රොටි කොත්තු ගෝදම්බා වල හයිය හත්තිය බයිසෙප් වලට ට්‍රයිසෙප් වලට සම්ප්‍රේෂණය කරලා මෝදර සෝමේ මාදැල ඇද්දාහේ ඇද්දා. 

හැබැයි බොනට් එක හෙලවුණේ වත් නෑ...

අයිතිකාර හිපාටුවා ඊට පස්සේ පොරගේ තාත්තාට අඬගහලා චිරාත් කාලයක් පැවති පිය පුතු සෙනහසේ බැඳීම බොනට් එකේ හැන්ඩ්ල් එක මත රඟතවර කරලා 'බොනට් අරින් ඩෝන් පුතා' කියලා දෙන්නත් එක්ක ඇද්දා... 

හැබැයි බොනට් එක හෙලවුණේ වත් නෑ...

"මම අලුත්ම කේබල් එකක්  පංචිකාවත්තෙන්ම හොයන් ඇවිත් දැම්මා... ඒක තාම හිර ඇති..." පොර දාඩිය බින්දුවක් නළලින් අරං බිත්තියට දමලා ගහන ගමන් කිවුවා... 

"දැන් මේක අන්තිම කීයද කියන්නේ?" අපේ තාත්තා ඇහුවේ බ්‍රේක් නැති මයිනරයක් ට්‍රැෆික් එකේ ගෙනියන තරම් අමාරුවකින් කේන්තිය පාලනය කරගෙන. 

"මේ කන්ඩිෂන් එකේ වාහනයක් ඉතින් තුනකට වැඩිය අඩුවෙන් හොයන්න අමාරුයි අයියා. මම සෑහෙන මහන්සි වුණා මේකට. සල්ලිත් ලක්ෂ දෙකහමාරකට වැඩිය යටවුණා. බොරුනම් අපේ තාත්තාගෙන් අහන්න. ඒ නිසා මට තුනකට වැඩිය අඩුකරන්න අමාරුයි." 

පොරගේ තාත්තා පුතාගේ කතාව අනුමත කරන්න වගේ කටේ ඉතිරි දත් කීපය පෙන්නලා හිනා වුණා. වාහනේ හදන්න කෙසේ වෙතත් පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුළත ඒ මනුස්සයා කාපු බුලත් විට වලට නම් ලක්ෂ දෙකහමාරක් විතර යන්න ඇති කියලයි මට හිතුණේ.

අපි ඒ තාත්තාටයි පුතාටයි ආත්මයක් ආත්මයක් ගානේ මේ වගේ බීට්ල්ම ලැබෙන්න හේතු වාසනා වේවා කියලා සාදූ කියලා ප්‍රර්ථනා කරගෙන වීල් එකේ නැගලා ආපහු ආවා. 

ඊට ටික දවසකට පස්සේ ආරංචි වුණා අර පීප්පයාගේ යාළුවෙක් මේක හොයාගෙන ඇවිත් පනස් දාහකට අරගෙන ගියා කියලා... 



අපි මේක බලන්න ගියේ පෝය දවසක. ඒ නිසා එදා බස් අඩුයි. ත්‍රීවීල් කාරයෝ ප්‍රධාන ටවුමට යන්න ඉල්ලපු ගණන් වල හැටියට අපිට බෝල රෝසා එකක් අරං ඒක ඇතුළේ බෝල ගහන්න තිබ්බා. ඕන බීලූනු ගෙඩියක් කියලා වීල් වල නැගලා නාස්ති කරන්න සල්ලි අපට තිබ්බේ නෑ. ඉතිං අපි පැය ගාණක් රස්තියාදු වෙලා බස් එකක් එනකල් ඉඳලා ඒකෙ එල්ලිලා ප්‍රධාන ටවුමට ආවා. ඊට පස්සේ තව පැය ගානක් ලැගලා කොළඹට ආවා. 

ගෙදර එනකල් අපි තුන්දෙනාගෙන් කවුරුවත් වැඩිය කතා කළේ නෑ. මම කරන පිස්සු වැඩ වලට කොච්චර හිත් අමනාපකම් තිබ්බත් මොකක් හරි දේකට යමු කියලා කිව්වම ඒ වැඩේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් වාත නොවී ගිහිං ඒමේ හැකියාව සහ පස්ස නොගහා ඕන දෙකට ඉදිරිපත් වීමේ හැකියාව අපේ තාත්තාට තිබ්බා. මේ ගතිගුණ නිසා තාත්තා අඩුගානේ දවස නාස්ති වුණාට වත් අමනාපයක් පෙන්නුවේ නෑ. 

ගෙදර ආවට පස්සේ මම හිතුවේ මම ආයේ නම් මේ වගේ ගොන් වැඩ කරන්නේ නෑ කියලා. 

ඊළඟ දවසේ වැඩට ගිහිල්ලා පැයක් ඇතුළත මම ආපහු ගූගල් එක ඇතුළට රිංගලා බීට්ල් හොයන්න ගත්තා... 

කාර් පිස්සුව කියන්නේ ඉන්ෂුවරන්ස් වලින් කවර් වෙන්නේ නැති බරපතළ රෝගයක්. හැබැයි ඒකෙන් ඇඟ පුරා කැළැල් ගොඩගැහෙනවා වෙනුවට ජීවිතේ පුරා කතා ගොඩගැහෙනවා. මට වඩා අපූරු කතා තියන කාර් පිස්සෝ ලක්ෂ ගාණක් ලංකාවේ ඇති. හැබැයි අපි හැමෝම වගේ  ඒ තිත්ත සහ පැණිරස අතර දෝලනය වෙන අමුතුම මිහිරක් තියන කතාවලට අපට ගැළපෙන විදිහට මිරිස් කුඩු ලුණු දෙහිඇඹුල් දාලා සැරින් සැරේ නැවත නැවත හපහපා රස විඳිනවා.... 



අද 9 ශ්‍රී 5333 එක්ක දුර ගමනක් ගිහින් වාහනේ නවත්තලා බැහැලා අඩියක් දෙකක් ගිහින් ආපහු හැරිලා බලන වෙලාවට මට මේ පළවෙනි බීට්ල් හන්ටිං සැසිය ආපහු මතක් වෙනවා. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තුනකට කිට්ටුයි. ලාන්සර් එක විකුණලා අවුරුදු පහකට කිට්ටුයි. පළවෙනි බීට්ල් එක විකුණලා අවුරුදු හතරකට කිට්ටුයි. මයිනරේ අරං අවුරුදු දෙකකට කිට්ටුයි. 9 ශ්‍රී 5333 ට තවත් අලුත් පෙනුමක් ලැබෙන්නත් ආසන්නයි.... 

කාලය හරියට බීට්ල් එකක් වගේම නොනැවතී ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යනවා...! 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
08.03.2017

www.facebook.com/CarPissuwa