Monday, October 24, 2016

9 ශ්‍රී 5333 අනුරාධපුරේ ගිය කතාව...



උපන්දිනේ දවසේ උදේ නැගිටිද්දී මට මුලින්ම ඇහුණේ මතක ඇති කාලෙකින් අහපු නැති තරම් මිහිරි කුරුළු හඬවල් ගොන්නක්... මට එකපාරට ලොකු තාත්තලාගේ මහගෙදර මතක් වුණා. පදම වැරදිච්චි පුඩිමක් වගේ ඒ වත්ත අංගපුලාවකට නැති කෑලි කෑලි වලට කැඩිලා අතින් අත යන්න කලින්, ඉස්කෝලේ නිවාඩු කාලවල පෙරුම් පුරලා එහෙ ගියාම පහුවෙනිදා උදේ නැගිටිද්දී, වැට මායිමෙන් එහා තිබුණු කුඹුරු යායේ මඩ සුවඳයි සීතලයි එක්ක මුහුවෙලා එන නමක් ගමක් නොදන්න අනන්ත අප්‍රමාණ කුරුළු ගීත වලට ආදරෙන් හිත විකසිත වෙච්ච හැටි මට අද වගේ මතකයි...

හැබැයි මෙදා පාර මම හිටියේ එහෙ නෙමෙයි. එහෙ දැන් කුරුලු ගීත නැහැ...

මෙදා පාර මම හිටියේ අනුරාධපුරේ... මෛත්‍රීපාල සේනානායක මාවතේ තියන අපූරු පුංචි හෝටලයක...

කුරුළු ගීත මැද්දෙන් මට මතක් වුණා, පානදුරේ ඉඳන් අපිව අරන් ඇවිත් පූජා නගරෙත් වට කීපයක්ම ගිය 9 ශ්‍රී 5333 බීට්ල් එක හෝටලේ මිදුලේ නිදාගෙන ඉන්නවා නේද කියලා...

ඒත් එක්ක මගේ හිතට දැනුණු ළෙන්ගතුකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජීවිතේ එක පාරක් හරි කාර් එකකට ආදරේ කරලා තියෙන කෙනෙකුට විතරයි...

ගමන යන්න කලින්, බීට්ල් එකේ අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නවා කිවුවම අපට ලැබුණේ අපූරු මිශ්‍ර ප්‍රතිචාර. හිත රිදෙනවට කැමති නැති යාළුවෝ ටික වෙලාවක් මූණ දිහා බලන් ඉඳලා, ඊට පස්සේ බීට්ල් එක දිහා බලලා, ඊට පස්සේ ආයෙත් මූණ බලලා කිව්වා, 'ඔක්කොම හොඳට චෙක් කරලා බලලා ගිහින් එන්න' කියලා.

යාලුවොත් නොවෙන අහිතකුත් නොහිතන අය ඇහුවා 'වෑන් එකක් අරගෙන ගියොත් නරකද?' කියලා.

තමන්ගේ කොරොල්ලා එක දිහා මිනිස්සු නොබලන නිසා අපිත් එක්ක තරහෙන් ඉන්න සමහර අය කිව්වා 'අන්න අහවලා මේ ළඟට ගිහිල්ලත් ප්‍රශ්නයක් වෙලා කාර් එක පටවන් එන්න වුණා, ඒ නිසා ඕකෙ යන්න එපා' කියලා.

ඔය ඔක්කොම මැද්දේ බීට්ල් එක පෙන්නලා 'මෙයාව මට විස්වාසයි' කියකිය මාව දිරිමත් කළේ කෞශි. ජීවිතේට පාරක් තොටක් මතක නොහිටින මට ගමන යන්න දැනුම දුන්නේ Google Maps. සෑහෙන සාකච්ඡා ගොඩකට පස්සේ අපි නුවර පාර/කුරුණෑගල පාර පැත්තෙන් නොගිහින් පුත්තලම පාර පැත්තෙන් යන්න තීරණය කළා. ජීවිතේ වැඩි හරියක් මූදු හුළඟ දැනෙන මානේ ජීවත් වෙච්චි මට රට මැද පාරවල්වලට වඩා මූදට ළඟ පාරවල් වල මොකක්දෝ හිතේසි ගතියක් දැනෙනවා. පුත්තලමේ Colombo Face බීච් එකේ ටිකක් නැවතිලා යන්න ඕනේ කියලා මම ගමන යන්න කලින්ම හිතාගත්තේ ඒ නිසයි.

අපි දෙන්නගේ ගමන් සගයා වුණු ශ්‍රීලාල් වත් රත්මලානෙන් නග්ගගෙන වැල්ලවත්ත පැත්තෙන් හයිලෙවල් පාරට දාලා හරවලා ජාවත්ත පාර දිගේ ගිහින් බෞද්ධාලෝක මාවතට දාලා අන්තිමට බොරැල්ලට ගිහින් බේස්ලයින්  පාර පහුකරලා කටුනායක හයිවේ එකට දැම්මට පස්සේ තමයි ඔන්න මට ට්‍රිප් එක පටන්ගත්තා කියලා දැනුණේ. මගේ හයිවේ ඇබ්බැහිය ගැන මම මේ බ්ලොග් එකේ කලින් කතා කරලා තියනවා. මෙච්චර කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ පිටත වටරවුම් මාර්ගයේ එහා මෙහා ගියා මිසක් මට කටුනායක අධිවේගී මාර්ගයේ බීට්ල් එක එළවන්න ලැබිලා තිබ්බේ නැහැ. ඒ නිසා කටුනායක හයිවේ එකට දැම්ම ගමන් මගේ හිතට ආවේ පුදුමාකාර සතුටක්.

ඒ සතුට ආයේ බින්දුවක් හරි අඩුවුණේ පහුවදා ආපහු එන ගමනේ කටුනායක හයිවේ එක පහුකරලා ආපහු බේස්ලයින් පාර පැත්තට වැටිලා අර හැමදාමත් මට ජීවිතේ තිත්ත කරවන බොරැල්ල ට්‍රැෆික් එකට සෙට් වුණාමයි.



පුත්තලම පාර නුවර පාරට වඩා නිදහස් කියලා මට හිතුණා. නුවර පාරේ තියනවා වගේ කිසි ෆන් එකක් නොදෙන, ඒත් බ්‍රේක් එකට වද දෙන්න වෙන ඇල්මැරුණු වංගු පුත්තලම් පාරේ නැහැ. දෙපැත්තේ බලන්න කියලා මහා දෙයක් නැති එක ඇත්ත. ඒ වුණාට පුත්තලම් පාර හරියට පොඩි මල්ලි කෙනෙක් පවු කියලා කියව කියව හිටපු පොත පැත්තක දාලා ක්‍රිකට් ගහන්න එන ලොකු අයියා කෙනෙක් වගේ. ෆන් එකට බර නැහැ, හැබැයි ෆන් ගන්න ඕනේ කියනවා නම් ඒකට සපෝට් එකක් දෙන්න පස්ස ගහන්නෙත් නැහැ.

අපිට ට්‍රැෆික් එකක් කියලා සෙට් වුණේ හලාවත ඉස්කෝල තියන තැන්වල වගේ තැනකදී දෙකකදී විතරයි. අනික් හැම තැනකදීම වගේ බීට්ල් එකක් ඩ්‍රයිව් කිරීමේ සතුට නිදහසේ විඳින්න මට පුළුවන් වුණා. මගදී එක තැනකදී උදේට කන්න නැවැත්තුවට පස්සේ අපි කෙළින්ම ගිහින් නැවතුණේ පුත්තලමේ Colombo Face බීච් එකේ...

ජීවිතේ හැම දාම රැලි නගන මූදු තීර පේන මානේ ජීවත් වුණු මට ගඟක් වගේ මූදක් තියන Colombo Face බීච් එකේ අමුතු සන්සුන් සුන්දරත්වයක් දැනෙනවා. පුත්තලම පැත්තෙන් වගේම කල්පිටිය පැත්තෙන් පේන Wind Mills ටික ඒකට එකතු කරන්නේ අමුතු 'විදේශික' බවක්. ඒවා දැක්කම මට හිතෙන්නේ මම පිටරටක ඉන්නවා වගේ.

පුත්තලම් කලපුව අපිරිසිදු තැනක් නෙමෙයි. හැබැයි ප්ලාස්ටික් බෝතල් සහ බෑග් කෑලි වගේ දේවල් අනන්ත තියනවා. අවුව අඩු වෙලාවක ආවොත් කතාවක් දාගෙන ඉන්න බැංකු එහෙමත් හදලා තියන නිසා දවසක හැන්දෑ වෙලාවක මෙතනට එන්න මට පොඩි ආසාවක් තියනවා. ඊට කලින් පොඩ්ඩක් කල්පිටිය පැත්තට ගිහින් එන්නත් ඕන. බලමු....





බීච් එක ඉස්සරහා කඩේකින් බීම එකක් ගහලා අපි අනුරාධපුර යන්න පිටත් වුණා. පුත්තලම ටවුම කියන්නේ මිනිස්සු කිසි සැලකිල්ලක් නැතුව ත්‍රීවීල් සහ බයිසිකල් පාර හරහා දාන තැනක් කියලා මට එකපාරටම හිතුණත් අනුරාධපුර හයිවේ එකට වැටෙන්න ටවුම හරහා යන්න තියෙන්නේ බොහොම පොඩ්ඩ දුරයි.

අනුරාධපුර පාර ගැන මගේ ඔළුවේ තිබුණේ 'ඔය කියන තරම් හොඳ පාරක් නම් නෙමෙයි වෙන්නැති' වගේ අදහසක්. නමුත් පළවෙනි මීටර් 500 ඉවර වෙන්නත් කලින් මට හිතුණා මේක පුත්තලම පාරටත් වඩා ෂෝක් නේද කියලා...

අනුරාධපුර සහ පුත්තලම අතර පාර 'බලන්න දේවල් තියන පාරක්' නෙමෙයි කියලා මම පිළිගන්නවා. විශේෂ දේකට කියලා පහුවෙන්නේ තබ්බෝව අභයභූමිය විතරයි. අපි යන වෙලාවේ ඒකත් නැට්ටටම හිඳිලා. අලි පාර මාරුවෙනවා කියලා ගහලා තියන බෝඩ් යටින් වඳුරෝ පාර මාරුවෙමින් හිටියා. හිඳිලා ගිය ජලාශ වල පතුලේ ඉඳහිට ජීප් එකක් හරි ලොරියක් හරි යනවා දැක්කම මට හිතුණා අනුරාධපුර ගමන පොඩ්ඩක් නවත්තලා මේ වගේ තැනක ඩ්‍රයිව් කරන්න විදිහක් නැද්ද කියලා. ඒත් තව දෙන්නෙක් වාහනේ හිටපු නිසා මම පිස්සු නටන්න ගියේ නැහැ. අනික මම වන සත්තුන්ට එච්චර මනාපත් නැහැ.

පාරේ ටික දුරක් ගියා විතරයි පාලමක් පහුවෙනවත් එක්කම පොලීසියෙන් අතදාලා වාහනේ නැවැත්තුවා. මගේ රියදුරු හැඳුනුම්පත පොඩ්ඩක් පැහැදිලි මදි නිසා මම හිතුවා හුටා පරිජාලං තමයි කියලා. ලිපිලේඛන ටික අරං බැහැලා යද්දී රාළහාමිලා දෙන්නගෙන් එක්කෙනක් කටපුරා හිනාවුණා. මම හිතුවා වාහනේ නිසා වෙන්න ඇති කියලා. නමුත් එතුමාට වාහනේ ගැන බින්දුවක උනන්දුවක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට බොහොම හිනාවෙන් මගේ ලිපිලේඛන ටික පරීක්ෂා කරලා, ඉක්මනට ලයිසන් එක අලුත් කරගන්න කියලා එතුමා අපට යන්න දුන්නා. මේ ටික කියන්නේ අර දැක්ක තැන ඉඳන් සල්ලි කඩාගන්න දඟලන බාප්පලා අතරේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියන්න.

පුත්තලමයි අනුරාධපුරයි අතර තියන 'නාගරික ප්‍රදේශ' බොහොම පුංචියි. කොළඹ දිස්ත්‍රික්කේ ඇතුළේ ගාලු පාර අයිනේ ගෙදරක ජීවත් වෙන මට ටවුමක් ඉවර වෙනවා කියන එක හුරුපුරුදු සංකල්පයක් නෙමෙයි. කොළඹින් පටන් ගත්තම දෙපැත්තේ නාගරික ගතිය ටිකක් හරි අඩුවෙන්නේ මොරටුව බස් ස්ටෑන්ඩ් එක පැනලා කොරවැල්ලට පිවිසෙනකොට විතරයි. ඒකත් ආපහු අලුත් පාලම ගාවින් ඉවරයි. ඒත් අනුරාධපුර පාරේ 'ටවුමක ගතියක් දැනෙනවා' කියලා හිතලා වේගේ අඩු කරන්න හිතනකොට ටවුම පහුවෙලා ඉවරයි.

කරුවලගස්වැව, සාලියවැව, කලාඔය වගේ නම් මම නිතර වාහනේ වීදුරුවෙන් දකින නම් නොවෙන නිසා ඒක හරි අපූරු හැඟීමක් ගෙනාවා. මම මේ පැතිවල ජන ජීවිතය ගැන පුළුල් විදිහට දන්නේ නැති නිසා ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය driving experience එක ගැන කතාකරන්න විතරයි. පාරක් විදිහට ගත්තාම, ඒ පාරේ මට දිනපතා උදේ හවා එළවන්න පුළුවන් කමක් තිබ්බා නම් මම එළවනවා.






පුත්තලම සහ අනුරාධපුර අතර කිලෝමීටර 76 ක් විතර තියනවා. හිතන්නත් කලින් අපි අනුරාධපුරේට ආවා. Google Maps වලට පින්සිද්ධ වෙන්න පාර හොයාගන්න අමාරුවක් වුණේ නැහැ. අපි නවාතැන් ගන්න වෙන්කරලා තිබුණේ අනුරාධපුරේ මෛත්‍රීපාල සේනානායක මාවතේ තියන  French Garden Tourist Hotel කියන පුංචි හෝටලේ. ඒක ඇත්තටම ඒ පැත්තේ අනෙක් හෝටල් ගොඩක් වගේම මධ්‍යම ප්‍රමාණයේ ගෙයක්. නමුත් ඒක බොහොම නිදහස්, පිරිසිදු, පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්, සුහදශීලී තැනක්.

කාර් එක ඇතුළට දාලා පාක් කළාම මට හිතුණා සමහර විට එයාලට ක්ලැසික් කාර් එකක ට්‍රැවල් කරන අමුත්තෝ ටිකක් ආපු පළවෙනි වතාව ඒක වෙන්න ඇති කියලා.

හෝටලේට වෙලා පැයක් විතර ගිමන් ඇරලා කෑම ටිකකුත් එහෙන්ම කාලා අපි ටිකකින් පූජා නගරෙට යන්න පිටත් වුණා.

ඉස්සරලාම යන්න අවශ්‍ය වෙලා තිබුණේ අනුරාධපුර කෞතුකාගාරයට. මම කවදත් කෞතුකාගාර බලන්න කැමති කෙනෙක්. මට අතීතය එක්ක තියෙන්නේ ශෘංගාර සම්බන්ධයක් නෙමෙයි. ඔක්කොම බිම දාලා අතීතයට දුවලා යන්න ඕනේ කියන මානසික රෝගය මට නැහැ. නමුත් අතීතයේ තිබුණු සරල බවට මම ආසයි. මම ක්ලැසික් කාර් වලට ආසත් ඒවායේ තියන සරල බව නිසා. අලුත් කාර්වල තාක්ෂණය දැක්කම මට හිතෙනවා මේ තරම් සෙන්සර් යායක් දාලත් සමහර වෙලාවට ක්ලැසික් කාර් එකක් තරමට මිනිස්සුන්ගේ ගමන් බිමන් වලට උදවුවක් වෙන්න බැරි නම් දශක ගානක් තිස්සේ ඔය තාක්ෂණය දියුණු කරේ මොන බම්බු කොටේටද කියලා. හැත්තෑ ගණන් වල ආපු සාමාන්‍ය ක්ලැසික් කාර් එකකට වඩා සියයට පහක් විතර ගැස්සිල්ල අඩුයි වෙන්න පුළුවන්. නමුත් අපේ වාහන වල සස්පෙන්ෂන් තව ටිකක් අප්ග්‍රේඩ් කළා නම් අපිට ඊට වඩා හොඳ සනීපෙට යන්න පුළුවන්.

ථූපාරාම මාවතට දාලා ටික දුරක් ගිහිල්ලා කෞතුකාගාරය ඉස්සරහා නවත්තලා බලනකොට හිච්චි බෝඩ් එකක් ගහලා තියනවා, 'අලුත්වැඩියා කටයුතු සඳහා වසා ඇත' කියලා. සවාරිය පටන් ගත්තු ගමන් ම එහෙම වෙනවා කියන්නේ දුක හිතෙන දෙයක්. නමුත් ඊට ටිකක් එහායින් තියන ජන කෞතුකාගාරය ඇරලා කිව්ව නිසා සහ ඒක බලන්නත් තදබල වුවමනාවක් තිබ්බ නිසා අපි එතනට ගියා.

ජන කෞතුකාගාර තියෙන්නේ හරි අපූරු තැනක. ථූපාරාම පාර ගිහිල්ලා අභය වැව හෙවත් බසවක්කුලම ගාවට වැටෙන්නේ එතනින්. එතන ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් දකුණට හැරිලා ගියාම රුවන්වැලි සෑයට යන්න පුළුවන්. හැරෙන්නේ නැතුව කෙළින්ම ගියොත් ථූපාරාමයට යන්න පුළුවන්. 

කෞතුකාගාරය අලුත් ගොඩනැගිල්ලක් කියලා බැලු බැල්මට පෙනුණත් ඒක ලස්සන ගෙවත්තක් තියන තැනක්. ඒ වගේම කාර් එක පාක් කරන්න තියෙන්නේ දැවැන්ත ගහක හෙවන ලබන කාර් පාක් එකක්. මම බොහොම ආසා කරන මේ ෆොටෝ ටික මම ගත්තේ එතැනදී. කාර් වලට ආදරේ කරන මින්ස්සු කාර් එකෙන් බැස්සට පස්සේ ආපහු හැරිලා බලනවා කියන කතාව කවුරුත් දන්නවා. ඒ වගේම අපි කාර් එකෙන් බැහැලා බලන තව දෙයක් තමයි ෆොටෝ එකක් ගත්තම කොච්චර ලස්සනට පෙනේවිද කියන එක. ඒ නිසා කෞතුකාගාරේ පැත්තට හැරෙන්නවත් කලින් තමයි මම මේ ෆොටෝ එක ගත්තේ.



ජන කෞතුකාගාරය කියන්නේ ලංකාවේ පැරණි ගැමි ජීවිතය ගැන ඒ හැටි අවබෝධයක් නැති හැමෝම බලන්න ඕන තැනක්. ලංකාවේ කෞතුකාගාරවල ෆොටෝ ගැනීම තහනම් නිසා මතක හිටින හෝ ලියාගන්න තරමක් තමයි. හැබැයි ඔය දේශීයත්වය ගැන කියකිය මරාගන්න එන හැමෝම අනුරාධපුර ආපු වෙලාවක මේක බලන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ අතීත ගැමි ජීවිතය ගැන පොත්පත් වලින් ඉගනගන්න බැරි ගොඩාක් දේවල් මෙතනදී ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්. කෞතුකාගාරය ලොකු නැහැ. නමුත් දැනගත යුතු සියල්ල වගේ මෙතන තියනවා. මේක නිවාඩු දවස් වල වහන නිසා අනුරාධපුර ආපු වෙලාවක, සතියේ දවසක, දරුමල්ලොත් අරගෙන පැයක් එකහමාරක් ගතකරන්න බලාගෙන මෙතනට එන්න. පුළුවන් නම් පූජා නගර සංචාරය මේ කෞතුකාගාරයෙන්  (ප්‍රධාන කෞතුකාගාරය ඇරලා තිබ්බොත් කෞතුකාගාර දෙකෙන්) පටන්ගන්න.

ජන කෞතුකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි හිතුවා බසවක්කුලමේ වැව් බැම්ම දිගේ වාහනේ එළවගෙන යන්න. මේක කලින් ඉඳන් හිතේ තිබ්බ දෙයක්. නමුත් ඒ පැත්තට ගිහින් බලද්දී වැව් බැම්ම පාර අවහිර කරලා කණු දාලා ඒක ඇවිදින්න විතරක් පුළුවන් විදිහට හදලා. වැවේ වතුර සෑහෙන්න හිඳිලා. ඉතුරු වතුර පොඩ්ඩේ බස්වලින් වෑන් වලින් ආපු බොහෝ දෙනෙක් කෑ ගගහා නානවා. ඒ නිසා ටිකක් වෙලා එතන ඉඳලා අපි රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා.

මම මේ රුවන්වැලි සෑයට ආවේ අවුරුදු 18 කට විතර පස්සේ. පුංචි කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිය වෙලාවක රුවන්වැලි සෑය ඉස්සරහ බිම ඉඳගෙන ඒක කොයිතරම් දැවැන්ත නිර්මාණයක්ද කියලා බලාගෙන හිටපු හැටි මට මතකයි. ඒ විදිහට ආපහු රුවන්වැලි සෑය ඉස්සරහපිට ඉඳගන්න ආසාවක් ආවත් මට එදා තරම් සන්සුන් බවක් දැනුණේ නැහැ. නඩත්තු අංශයේ කට්ටිය බල්බ් එල්ලන්න ඉනිමං තියනවා, කෑ ගහනවා, පලංචි බඳිනවා, අරවා කරනවා, මේවා කරනවා. අනික් පැත්තෙන් බැතිමත්තු එක එක ආකාරයට දන්න ගාථා, නොදන්න ගාථා, කවි, හෑලි, යාදිනි කියනවා. ඒ නිසා බැතිමතුන්ට සහ කාර්ය මණ්ඩලයට තියන ඉඩකඩ අහුරන්නේ මොකටද කියලා අපි ඉක්මනට එළියට ආවා. රුවන්වැලි සෑයට ලංකාවේ බෞද්ධයෝ අසීමිත ශ්‍රද්ධාවක් දක්වනවා. ඉතින් එහෙම තැනක සන්සුන් බව බිඳෙන එක වළක්වන්න බැහැ.



රුවන්වැලි සෑයේ මල්වලට ගෙවලා, පාක් එකට ගෙවලා, හිඟන්නන්ට ගෙවලා එළියට එනකොට වාහනෙන් ටිකක් අමුතු සද්දයක් ආවා. අයිනකට කරලා නවත්තලා බලද්දී වැඩි හොඳට කියල දාගෙන ආපු අලුත් ෆෑන් බෙල්ට් එක පොඩ්ඩක් කැපිලා. ත්‍රිකුණාමලයේ ඉඳන් රුවන්වැලි සෑයට කරෝල වගයක් අරගෙන ආපු ත්‍රීවීල් එකක මල්ලි කෙනෙක් වහාම අපේ උදවුවට ආවා. නමුත් බෙල්ට් එක මාරු කරන එක වඩා හොඳ නිසා සහ ඒක පරිස්සමෙන් කරන්න ඕන දෙයක් නිසා එයා අපට යාපනේ හන්දියට ගිහින් ගරාජ් එකකට යන්න කියලා පාර කිවුවා. 

යාපනේ හන්දියේ පාර අයිනේම තිබුණා ගරාජ් එකක්. පොඩ්ඩක් වත් පරක්කු කරන්නේ නැතුව, බොහෝම සුළු මුදලක් අරගෙන එයාල අපට වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ තමයි අපි ථූපාරාමේ ගියේ. එහෙත් මල් වලට ගෙවලා, පාක් වලට ගෙවලා එහෙම ඉවර වෙලා ඇතුළට ගියාම එහෙත් කප්රුක් පූජාවක්. හම්බවුණු පුංචි ඉඩකඩකදී මල් ටික පූජා කරලා එළියේ නටඹුන් ටිකත් බලලා අපි එළියට ආවා.



තවත් තැන් දෙකක් තුනක් බැලුවට පස්සේ තමයි අපි අභයගිරිය බලන්න තීරණය කළේ. කතාව වෙනස් වෙන්න ගන්නේ මෙතනින්.

අභයගිරියට යන පාරේ වාහනයක් කියලා නාමයක් නැහැ. මී හරක් නම් හිටියා. ඉතින් අපි ටිකක් සැක සංකාවෙන් ගියේ. ටික දුරක් යද්දී ඈතින් අභයගිරි කෞතුකාගාරය පෙනුණා. කලිනුත් කිව්වා වගේ මම කෞතුකාගාර වලට බොහොම ආසා නිසා වහාම ඒකට යන්න තීරණය කළා.

අභයගිරියේ කෞතුකාගාරයේ කාර් පාක් එක හරිම සුන්දරයි. අර අමුතු ගුරුපාට පස, ලස්සන කෞතුකාගාර ගොඩනැගිල්ල සහ හැන්දෑ අඳුර එකතු වුණාම තිබුණේ අමුතුම ලස්සනක්. මෙතනදී ගත්තු ෆොටෝ ටික මට සදාකල් මතක තියේවි. 



අභයගිරිය කියන්නේ හරිම අපූරු තැනක්. නමුත් එතන ලංකාවේ ථෙරවාදී බුද්ධාගමත් එක්ක මහා ලොකු ඇයිහොඳයියක් නැති නිසා කවුරුවත් එතනට වැඩි මනාපයක් නැහැ වගේ. කෞතුකාගාරය වගේම අභයගිරි විහාර සංකීර්ණයත් අමු පාළුයි. මම හිතන්නේ අභයගිරි සංකීර්ණය තාමත් සම්පූර්ණයෙන්ම කැණීම් කරලා නැහැ. නමුත් ඒක කොයිතරම් දැවැන්ත පරිමාණයේ නිර්මාණයක්ද කියලා බැලු බැල්මට තේරෙනවා.

අර දශක දෙකකට විතර කලින් රුවන්වැලි සෑය ඉස්සරහ මළුවේ ඉඳගත්තාම මට දැනුණු දැවැන්ත බව මෙදා මට අභයගිරිය මළුවේ බිම ඉඳගත්තාම දැනුණා.

මුළු අභයගිරි භූමියම බොහෝ දුරට හිස්. නඩත්තු කාර්ය මණ්ඩලය වෙනුවට වඳුරෝ නිදහසේ චෛත්‍යය දිගේ උඩටම උඩටම උඩටම නගිනවා අපි බලාගෙන හිටියා. ඒක හරිම සුන්දර දර්ශනයක්.



ආපහු එනකොට අපි ආවේ රුවන්වැලි සෑය ඉස්සරහින්. එතකොට තමයි මට එරංග වික්‍රමව හම්බවුණේ. එරංග කියන්නේ මම කාර් පිස්සුව පටන් ගත්තු කාලේ ඉඳලම මට ප්‍රතිචාර දක්වපු කෙනෙක්. මම ගමන එළියට බැස්සෙත් කාර් පිස්සුව නිසා අඳුරගත්ත කවුරුහරි දැක්කොත් කොච්චර හොඳඳ කියලා හිතාගෙනමයි. ඉතින් රුවන්වැලි සෑය ඉස්සරහදී ගලමින් තිබුණු ජන ගංගාවට පාර හරහා ගලායන්න ඉඩ දීලා නවත්තපු ඇසිල්ලකදී කවුරුහරි මගේ නම කියනවා ඇහුණාම සහ අර කන්නාඩි දෙක පෙනුණාම මට මීටර් වුණා මේ එරංග වෙන්නැති කියලා. නමුත් වෙන කෙනෙක් නම් හිත රිදෙන නිසා මම මොකුත් කිව්වේ නැහැ. වාහනේ නවත්තලා කතාකරන්න පුළුවන් තැනක හෝ වෙලාවක නෙමෙයි අපි හිටියේ. නමුත් රුවන්වැලි සෑය වගේ පින්බිමක් ඉස්සරහා කාර් පිස්සුවෙ දැනහැඳුනුම්කමක් එහෙම මතුවෙච්චි එක මට පුදුමාකාර සතුටක්. ආපහු  ඇවිත් මම අපේ සංචාරයේ ෆොටෝ ෆේස්බුක් එකේ දැම්මට පස්සේ එරංග මෙහෙම සටහනක් කමෙන්ට් එකක් විදිහට දැම්මා. 


"වෙලාව හවස 6.15 ට විතර ඇති....අනුරාධපුර ගමන් ගමන පුරාවටම ශෝටක් ඇඳන් හිටපු මම... මල්කඩේකින් මල් අරන්....එතනදිම සරමකුත් ඇඳන්.... පාර පැන්නා... තවත් යාලුවෙක් .. එන්න පරක්කු හින්දා මං පස්ස බැලුවේ...ඒ එක්කම .. මිනිස්සුන්ට පාර පනින්න ඉඩ දීලා....කහ ඉර ගාව කාර් එකක් නැවතුනා....ලයිට් වල වෙනසක් දැනුන නිසා... හොඳට බලද්දි තෙරුණේ ඒ බීට්ල් එකක් කියල.... තව හොට බැලුව... බෆරය හරහා කහපාට පටි අලවල. ..... හොඳට මතකයි ..ම් ඒ කාර් එක ... කාගෙද...?? ඒ එක්කම.... බීට්ල් කාර් එක්කම මක් උනේ.. මේ තරිඳු වෙන්න ඇති....තරිඳුගෙ ඉබ්බා ලඟට එනකම් පාර අයිනේ හිටියෙ .. යාලුවොත් නවත්තගෙන ... ඈ තරිඳු බීට්ල් සංචාර වගේ නේ ද කියල ඇහුවහම ... ලෙන්ගතු හිනාවකින් .. ඇහුවෙ. ... කව්ද මචන්...කියල ...මං එරංග අහවල් තැන වැඩ කරන්නේ කීවහම .. පටාස් මව අඳුන ගත්ත කියල මන් දැනගත්ත... කතා කර කර ඉන්න වෙලාවක් .. තැනක් නෙමේ අපි සෙට් උනේ... තරිඳු ගෙ නෝනත් පිටිපස්සෙ හිටපු මල්ලී කෙනෙකුත්.... හොඳ හිනාවක් දාල ...ඒ තප්පර ගානක සීන් එකෙන් අපි මිදුනා... මගෙ යාලුවන් ට ෆුල් හොල්මන් ... බුකියෙ කෙනෙක් .. ජීවිතේවෙනි පාරට මෙහෙම දැකලා... සෙට් උනාට. .. අනික ... කාර් එක නිසා අඳුන ගත්ත එකට... මෙහෙම රසවත් සිද්දි වෙන්නෙ ... කාර් පිස්සුව නිසාම තමා... එක ලේසි පහසු පිස්සුවක් නෙමේ .. ජීවිතේම මතක් කර කර සතුටු වෙන්න...දුක් වෙන්න .. හූල්ලන්න .. පුලුවන් දෙයක්.... කාර් පිස්සුවට ජය ....තරිඳු එක්ක කතා කරපු මුල්ම වචන වලින්ම කොමෙන්ටුව අවසාන කරමි... මම එරංග ...... එකේ වැඩකරන..." 

මේවා තමයි ජීවිතේට එකතු වෙන අපූරු කාර් පිස්සුව මතක...

ආපහු හෝටලේට යනකොටත් මට කිසිම වෙහෙසක් දැනුණේ නැහැ. ක්ලැසික් කාර් එකක් එළවන් ආවා කියලා කිසිම තෙහෙට්ටුවක් මට තිබුණේ නැහැ. මම හිතන්නේ අලුත් ජපන් කාර් එළවපුවම මට මීට වඩා තෙහෙට්ටුව දැනිලා තියනවා. ටික වෙලාවක් ඉඳලා අනුරාධපුර ටවුමට ගිහින් කොත්තු කාලා ඇවිත් අපි පොඩි ඕපාදූප සැසියකට පස්සේ නින්දට වැටුණා. 

පහුවදා මගේ උපන්දිනේ. එදා උදේ තමයි මට අර අපූරු කුරුලු ගීත ටික ඇහුණේ. 

උදේම හෝටලෙන් පිටත් වෙලා ටවුමට ගිහින් තේකක් ගහලා අපි ඉස්සරලාම ගියේ ඉසුරුමුණියට. අධික වැඩ රාජකාරිත් එක්ක තවත් සම්පූර්ණ දවසක් පූජා භූමියේ ගතකරන්න හෝ වෙන දිහාක යන්න අපට කාලය තිබ්බේ නැහැ. 

ඉසුරුමුණිය හරිම සුන්දර තැනක්. අර ඉසුරුමුණි පෙම් යුවල නිසා අපට ඉසුරුමුණිය විහාරයක් කියලා හිතෙන්නේ නැහැ වගේ. පෙම් යුවල ඉසුරුමුණි විහාරයට අයිති දෙයක් නෙමෙයි. ඒකමුලින් රාජකීය පොකුණේ තිබිලා පස්සේ ගෙනාවා කියලා තමයි කියන්නේ. ඉසුරුමුණි කැටයම් දැක්කම ලංකාවේ ඉස්සර තිබුණු කලා ශිල්ප ගැන ආඩම්බර හිතෙනවා. නමුත් කැටයම් ගැන විස්තර තියන පුවරු වලට වඩා වියදම් කරලා ෆොටෝ ගන්න එපා කියලා බෝඩ් ගහලා තිබ්බ නිසා ඒවා ෆොටෝ ගන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ. 



ඉසුරුමුණියෙන් පිටත් වෙලා ජේතවනාරාමය පැත්තට ගිහින් තවත් මොනවා හරි බලාගෙන යනවා කියලා තමයි අපි හිතුවේ. නමුත් ජේතවනාරාමයේ කෞතුකාගාරයේ  කාර් පාක් එකට දානකොටම අපිට තේරුණා මෙතන පැය බාගෙන් පැයෙන් සමුගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා. 

අභයගිරිය කෞතුකාගාරයේ වගේම ජේතවනාරාමයේ කෞතුකාගාරයේත් ඒ භූමියේ කැණීම් වලින් ලැබුණු හරිම අපූරු දේවල් තැන්පත් කරලා තියනවා. ආභරණ, කාසි, මැටිභාණ්ඩ, ප්‍රතිමා සහ ගොඩනැගිලිවල කොටස් මේ තැන්වලදී දැකගන්න පුළුවන්. කිසිම දවසක කෞතුකාගාර නොබලා පිට පාරේ යන්න එපා. 

ජේතවනාරාම කෞතුකාගාරයේත් අනික් හැම තැනම වගේ ෆොටෝ ගන්න තහනම්. ඒ නිසා දැකපු දෙයක් විතරයි. නමුත් එතන තිබුණු දේවල් දැක්කම මට හිතුණේ කැම්පස් වල අවුරුදු තුනක් හතරක් උගන්නනවට වඩා දෙයක් මේ කෞතුකාගාරයේ දවසක් ගතකළොත් ඉගෙනගන්න පුළුවන් නේද කියලා. ඔය මල්ලිලා නංගිලා නැති ප්‍රශ්නවලට විරුද්ධව උද්ඝෝෂණ කරන එක, රැග්‍ කරන එක, පිරිත් මණ්ඩප්ප ගහන එක, සහ අහුමුලු අස්සේ රිංගන එක මදකට නතර කරලා එක දවසක් ශිෂ්ටාචාරගත මිනිස්සු වගේ ඇවිල්ලා මේ වගේ තැනකින් දෙයක් ඉගෙනගත්තා නම් ඔය අසහනේ නිකම්ම හොඳ වෙනවා. ගිරවා දාලා ස්ටාෆ් එකට පනින, නැත්තං ආණ්ඩුවේ ජොබකට/ටීචින් වලට පනින සංස්කෘතිය බිඳලා දාලා දැනුවත් ශිෂ්‍ය පරපුරක් හදන්න ඔයාලාම මැදිහත් වුණොත් (එහෙම කරන්න ගියොත් අන්තරේ උණ්ඩුකපුච්ඡ ටික පුපුරන බව මම නොදන්නවා නෙමෙයි) ඔය කලා පීඨවල සහ සමස්ත රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළේ තියන ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන්.

කෞතුකාගාරෙන් පිටවෙලා ජේතවනාරාම සංකීර්ණයට ආවම තේරුණා මේක ඒ කාලේ කොයිතරම් දියුණු තැනක් වෙලා තියෙන්න ඇතිද කියලා. බලන බලන පැත්තේ එක එක විදිහේ ගොඩනැගිලිවල නටඹුන්. බලනවා නම් සතියක් විතර බලන්න දේවල් ජේතවනය විහාරාරාම සංකීර්ණය ඇතුළේ තියනවා. අභයගිරිය වගේම මෙහෙත් වැඩි දෙනෙක්ගේ ඇල්ම බැල්ම ලබන්නේ නැහැ. ඒ නිසා නිදහසේ ඇවිදින්න පුළුවන්. අභයගිරිය සහ ජේතවනය ගැන දවසක වෙනම කතාකරන්න අදහසක් තියනවා, මොකද එතනදී දැනෙන දේවල් මෙහෙම බ්ලොග් පෝස්ට් එකකින් කියලා ඉවර කරන්න බැහැ. වෙලාව ආවොත් බලමු. 


මම ජේතවනාරාම කෞතුකාගාරයේ පොත් අලෙවිසලේ රාක්ක අතර අතරමං වෙලා ඉන්නකොට එතන හිටපු නිලධාරී මහත්මයෙක් අපේ වාහනේ දිහා බොහොම ආසාවෙන් බලලා ඊට පස්සේ කෞශිගෙන් අහලා තිබුණා කොහේ ඉඳන්ද ආවේ කියල. කෞශි 'පානදුරේ ඉඳන්' කියලා කිව්වාම එතුමාගේ ඇස් ලොකු වුණාලු. 

"පානදුරේ ඉඳන්ම මේකෙද ආවේ???" 

ඒක සතුට, විස්මය, කාර් පිස්සුව වගේ බොහෝ දේවල් කැටිවෙච්චි හැඟීම් ප්‍රකාශනයක් කියලා කෞශි මට පස්සේ කිව්වා.
  
ජේතවනාරාමේ සෑහෙන වෙලාවක් ගතකළාට පස්සේ අපි ආපහු එන්න පිටත් වුණා. හෝටලෙන් අපට දීපු මැප් එකට සහ ගූගල් මැප්ස් මතකයට ස්තූති වෙන්න විනාඩියක් යන්න කලින් අපි ආපහු අනුරාධපුර පුත්තලම පාරේ. මගින් එළවලු ටිකක්, දිවුල් ටිකක් එහෙමත් අරන් තමයි ආවේ. දොදොල් මස්කට් සහ අනික් රසකැවිලි ගත්තෙත්, බෙලිමල් බිවුවෙත් රුවන්වැලි සෑය ගාවින්. 

එන්න පිටත් වුණේ දවාලේ. හලාවත හරිය පන්නලා කෑම කන්න නතර කළා. ඊට පස්සේ කෙළින්ම ගෙදර. 

මොරටුව හරියේදී හරි අපූරු දෙයක් සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ට්‍රැෆික් ලයිට් වල එහෙම නතර වුණාම වටේ තියන වාහන වල ඉන්න ගොඩක් අය අපේ කාර් එක දිහා බලනවා. මේක ක්ලැසික් කාර් පදින අයට හොඳට හුරුපුරුදු අත්දැකීමක්. මට එහාපැත්තෙ තිබුණු කොරොල්ලා වැගන් එක හිටපු මහත්මයෙක් වාහනේ දිහා බලනවා මම දැක්කා. මම ඉතින් ඒ මහත්මයට හිනාවකින් සංග්‍රහ කරලා, ට්‍රැෆික් ලයිට් එක කොළ පාට වුණාම ඉස්සර කරලා යන්න ගියා. කොහොම හරි ආපහු කුරුස හන්දියේ ට්‍රැෆික් ලයිට් ගාව ඉඳන් ඉස්සරහට යද්දී මේ මහත්මයාගේ කාර් එක දකුණු පැත්තෙන් ඉස්සර කරන්න එනවා දැකලා මම ඉඩ දුන්නා. එතකොට තමයි මට තේරුණේ ඒ මහත්මයා මොකක් හරි දෙයක් කියන්න හදනවා කියලා. එයාගේ අතේ  ලස්සන ෆොක්ස්වැගන් කී ටැග් එකක් තිබුණා. 'මේක ඔයාට දෙන්න ඕනේ' එයා කාර් එක ඇතුළේ ඉඳන් කියලා ඉස්සරහට ගිහින් නතර කළා. අහෝ හොල්මං වෙලා හිටපු මම වහාම වාහනේ නතර කරලා එයාගේ කාර් එක ළඟට දිවුවා. 

"මම මේ මේක දෙන්න කෙනෙක් හොය හොයා හිටියේ. ඉස්සරම මං ගාව ෆොක්ස්වැගන් එකක් තිබුණා. පස්සේ මම පසාට් එකක් ගත්තා. ඔහොම වාහන මාරු වුණා. හැබැයි මේ කී ටැග් එක මගේ ගාව තිබුණා. මේක ඔරිජිනල් කී ටැග් එකක්. මම මේ වාහනයක් හොඳට පාවිච්චි කරන කෙනෙක් හම්බ වෙනකල් හිටියේ. ඔයාගේ කාර් එක දැක්ක ගමන් මට තේරුණා ඔයා මේක හොඳට පාවිච්චි කරනවා කියලා." 

එහෙම කියල ඒ මහත්මයා මට අපූරු කී ටැග් එකක් දුන්නා. ඒ සිද්ධ වෙච්ච දේ බොහොම අනපේක්ෂිත දෙයක් නිසා මට එතුමාගේ නම අහන්න වත් මතක් වුණේ නැහැ. නමුත් එතුමා ගියාට පස්සේ මම පිටිපස්සෙන් එළවලා ගිහින් වාහනේ ෆොටෝ එකක් ගත්තා. මෙතුමා ව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට එතුමාට ආයේ පාරක් ස්තූති කරන්න ඕනේ. 


කාර් වලට සෘජුවම අදාළ නැතත් මම මෙච්චර විස්තර ලිවුවේ එක ප්‍රධාන හේතුවක් නිසා. කාර් පිස්සුව කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඉස්සරලාම ක්ලැසික් කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙන අය. නැත්නම් ක්ලැසික් කාර් එකක් අරගෙන දාහක් වැඩ අස්සේ ඒක නඩත්තු කරන අය. ඉතින් මම වගේ කාර් මත්තෙම නැහෙන කෙනෙක් දැක්කම එයාලා නිතර අහන දෙයක් තමයි ක්ලැසික් කාර් එකක දුර යන්න පුළුවන්ද කියන එක. 


ඔන්න උත්තරේ! 

මම බීට්ල් එක පාවිච්චි කරන්නේ මගේ ප්‍රධාන කාර් එක හැටියට. මම කඩේ යන්නේ මේකේ; ගමේ යන්නේ මේකේ; හයිවේ යන්නේ මේකේ; අනුරාධපුර ගියේ මේකේ; බීට්ල් ක්ලබ් එකේ රැලි වලට යන්නේ මේකේ; මගේ ලොකුම අධ්‍යාපන ජයග්‍රහණය දවසේ BMICH ගියෙත් මේකේ. ත මෙකී නොකී බොහෝ දේවල් වලට මම බීට්ල් එක පාවිච්චි කරනවා. මම විතරක් නෙමෙයි, සජිත් සමරවීර වගේ බොහෝ දෙනෙක් දුර යන්න බීට්ල් පාවිච්චි කරනවා. 

මම බීට්ල් ගැනම මෙහෙම කතා කරන්නේ ඒක මම හොඳටම දන්න කාර් එක නිසා. තව මොරිස් මයිනර් ඇතුළු බොහෝ කාර් වල දුර යන අය ඕන තරම් ඇති. ක්ලැසික් කාර් කියන්නේ සමහරු හිතනවාට වඩා ගොඩක් ප්‍රායෝගික විසඳුමක්. අර සමහරු කියනවා වගේ 'ජීවිතේ අරමුණ බැංකු පෝසත් කරන එක නෙවෙයි නම් ක්ලැසික් කාර් එකක් අරන් හරියට නඩත්තු කරන්න'.  අනික් අතට අර අලුත් කාර් වගේ හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් දොස්තර ගාවට දුවන්න ඕනේ ළාමක ටින්ටින්ලා නෙවෙයි ක්ලැසික් කාර් කියන්නේ. ඒ නිසා හිතේ කරදර වැඩියි කියලා සමහරු හිතුවට ඇත්තටම හිතේ කරදර අඩු වෙන්න පුළුවන්. හැබැයි ඉතිං කාර් එකේ කාර්මික තත්වේ හැටියට තමයි. මේක අලුත් කාර් වලටත් පොදුයි. ගත්තු ගමන්ම මොකද්ද කියලා හොයාගන්න බැරි ලෙඩ හැදුණු අලුත්ම කාර් දෙකක් ගැන ඇත්තම ඇත්ත කතා මම දැනටමත් අහලා තියනවා. 



දැනටමත් මම ලිවුවා දිග වැඩියි. මට කියන්න ඕන දේ මේකයි. ක්ලැසික් කාර් එකක් ගන්න. අරගෙන හිතට විශ්වාස වෙනකල් ළඟ පදින්න. ටිකක් කල් ගියාම කාර් එක ඔයාට හුරු වෙනවා. ඔයා කාර් එකට හුරුවෙනවා. නඩත්තුව හරියට කරන්න. ඊට පස්සේ (යන තැන මූකලානක් නෙමෙයි නම් සහ ගැළපෙන විදිහට ඩ්‍රයිවින් හැකියාව තියනවා නම්) යන්න අවශ්‍ය ඕනෑම දිල්ලියක යන්න. 

ඔයත් අපි වගේ ලස්සනම ලස්සන, දිගම දිග, ආදරණීයම ආදරණීය කතා ගොන්නක් තුරුල් කරගෙන ආපහු ගෙදර ඒවි... 


www.facebook.com/CarPissuwa 

(මේ ලිපියේ තියන සියලුම ෆොටෝ මගේ සහ කෞශිගේ)

පසු සටහන: ඊළඟ කාර් පිස්සුව සංචාරයත් මේ බීට්ල් එකේම යනවද, නැත්නම් මීටත් වඩා පරණ බීට්ල් එකක/මයිනර් එකක යනවද, එහෙමත් නැත්නම් වෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවද කියන එක ගැන කෞශියි මායි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. බීට්ල් ගැන ගොඩක් දේවල් මම මේකේ ලියලා තියනවා. ඒ නිසා වෙනස්ම තාලේ ප්‍රොජෙක්ට් එකකට යන්න මූලික සැලසුමක් අපි දෙන්නා දැනටමත් සකස් කරලා තියනවා. ඒ වගේම මම බොහොම ආසාවෙන් හිටපු, මගේ යාළුවෙක් ළඟ තියෙන මොඩර්න් ක්ලැසික් එකක් විකුණන්න අදහසක් තියනවා කියල එයා මේ ලියන මොහොතට ටිකකට කලින් මට කිව්වා. මේ ඔක්කොම සලකලා බලලා අපේ අවසන් තීරණයත් ළඟදීම කට්ටියට කියන්නම්.  



Friday, October 7, 2016

මයිනර් වලට මේජර් විදිහට පෙම් කිරීම



මොරිස් මයිනර් එක කියන්නේ හැමතිස්සෙම මාව ප්‍රශ්න කරන කාර් එකක්...

මොරිස් මයිනර් සැරින් සැරේ ඉන්ටනෙට් එකෙන්, ගාලු පාරෙන් සහ මගේම ගෙදර ගරාජ් එකෙන් හොම්බ දාලා 'උඹ තාම උඹව හරියට තේරුම් අරගෙන නෑ' කියලා ආපහු නිහඬ වෙනවා.

මම, මගේ පවුලේ අය, නෑදෑ හිතවත්තු, තරහකාරයෝ, ගෙවල් පැත්තේ ඉන්න යාලුත් නැති තරහත් නැති පොරවල්, ගමනක් ගියාම මාව දකින අය ඇතුළු සියලු දෙනා හිතන විදිහට මම කොන්දේසි විරහිත ෆොක්ස්වැගන් පිස්සෙක්. මම අවුරුදු 6 ක ඉඳන් ෆොක්ස්වැගන් බීට්ල් පාවිච්චි කරනවා. බීට්ල් දෙකක ප්‍රොජෙක්ට් කරලා තියනවා. බීට්ල් ගැන අම්බානක කතා කරලා, ලියලා තියනවා. මම හිතන්නේ දෙතුන් දෙනෙක් ඒ නිසාම ෆේස්බුක් එකෙන් මාව අන්ෆ්‍රෙන්ඩ් කරලත් තියනවා. අර ළමයා ඇඳේ චූ කළාමත් ගූගල් ස්ට්‍රීට් වීව් වගේ වටේ ගිහින් ෆොටෝ ගහලා දාන මිනිස්සු!

මොරිස් මයිනර් ගැන මගේ හිත ඇතුළේ මෙව්වා එකක් ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. එකක් තමයි දයාරත්න අන්කල්ගේ මොරිස් මයිනර් එක.  අනික තමයි වසන්ත සමරසිංහ මහත්මයාගේ කාර් ටික ඉන්ටනෙට් එකේ නිතර දැකීම. විශේෂයෙන්ම අර මයිනර් ටයිම්ස් එකේ පළවුණු ලිපිය. සමරසිංහ මහත්මයගේ නමේ අගට එතුමා පාවිච්චි කරන අර MV කෑල්ලේ තේරුම 'මොරිස් වසන්ත' කියන එක කියලා මම දැනගත්තෙත් මේ ලිපියෙන්. තමන්ගේ පියාගෙන් මේ මොරිස් පිස්සුව බෝ වුණු හැටි සහ ඒ පිස්සුව සුව වෙනවා වෙනුවට වැඩි වෙමින් පවතින හැටි එතුමා මේ ලිපියෙදි කතා කරනවා.

සමරසිංහ මහත්මයාගේ මයිනර් එකතුවෙන් වැඩියෙන්ම ජනප්‍රිය අර සුදුපාට convertible එක කියලයි මම හිතන්නේ.



















මේ ෆොටෝ ටිකේ සම්පූර්ණ හිමිකම් වසන්ත සමරසිංහ මහත්මයා සතුයි.

හැබැයි  මම නම් කවදත් ආසා කළේ එතුමා ගාව තියන කොළ පාට මයිනර් එකට. එතුමා මේ ළඟදී ඔය උඩ තියන ෆොටෝ ටික මට එවුවා. නමුත් කොළ පාට මයිනර් එකේ ෆොටෝ එතන තිබ්බේ නැහැ. සමහර විට ඒක විකුණලාද දන්නෙත් නැහැ. දුක හිතෙන්නේ ඉඩ තියන නිසා මම අහන්න ගියෙත් නැහැ.

මම මගේ පළවෙනි (සහ මේ දක්වා එකම) මොරිස් මයිනරේ ගෙනාවේ හොරණින්. ඒකත් මම බලන්න ගියේ බීට්ල් එකේ පාහියංගල යන අතරේ. ඒක දැක්ක ගමන් මට බයක් ආවා, ඒක මම ගත්තේ නැත්නම් කවුරුහරි පාට්ස් වලට ගලවයි කියලා. ඒ නිසා හැකි ඉක්මනින් ඒක අරගන්න මම තීරණය කළා. මිලගණන් වලට එකඟ වුණාට පස්සේ මට ඕන වුණේ ඕක එළවගෙන එන්න. නමුත් අයිතිකාරයා මට බොහොම කාරුණිකව දැනුම් දුන්නා ඕක එළවන් යන්න ගියොත් ගෙදර නෙමෙයි යන්න වෙන්නේ, පොලීසිය හෝ ඉස්පිරිතාලේ යන දෙකෙන් එකකට කියලා.

හැමෝම කියන කතාව තමයි. මයිනරේ බ්‍රේක් අඩුයි...

ජීවිතේට එකපාරක් හරි කාර් එකක් ෆ්ලැට් බෙඩ් එකක දාලා ගේන්න ආසාව තිබුණු නිසා (සහ පොලීසියට හෝ ඉස්පිරිතාලෙට මගේ විශේෂ කැමැත්තක් නැති නිසා) මමත් අයිතිකාරයාගේ කීමට වහාම එකඟ වුණා. එයා බොහොම කාරුණිකව මට සාධාරණ ගාණකට ලොරියකුත් කතා කරලා දුන්නා.

ගෙදර ගෙනාවට මම මයිනරේ ස්ටාට් කරන්නවත් හරියට දැනගෙන හිටියේ නැහැ. යතුර දාලා නොබ් එකක්  අදින්න ඕනේ කියලා මට මතකයක් තිබ්බේ නැහැ.  ඉතින් ෆ්ලැට් බෙඩ් එකේ කොල්ලෝ දෙන්නා මට කාර් එක වත්ත ඇතුළට තල්ලු කරලා දීලා යන්න ගියා.

අපේ ගෙදර තට්ටු එකහමාරක් තියනවා. අපි ඉන්නේ උඩ තට්ටුවේ. උඩ තට්ටුවේ පඩිපෙළේ මුදුනේ හිටගත්තම වත්තේ තියන දෙවෙනි කාර් එක ලාවට පේනවා.

මට මතක හැටියට මයිනර් එක ගෙනාපු දවසේ සැලකිය යුතු හඳ එළියක් තිබ්බා. එදා රෑ එකොළහමාරට විතර මම හෙමින් සීරුවේ උඩ තට්ටුවේ දොර අරගෙන පඩිපෙළේ උඩම පඩියට ආවා.  ලා හඳ එළියකින් නෑවිලා මයිනරේ බොහොම නිස්සද්දව බීට්ල් එකට පිටිපස්සෙන් නිදාගෙන ඉන්නවා. එයා තාම මාව අඳුරන්නේ නැහැ, මම එයාව තාම අඳුරන්නේ නැහැ. හරියට කොහේ හරි ගෙදරක හැදිච්චි බලු පැටියෙක් ඉස්සරලාම වෙන ගෙදරකට අරගෙන ගියා වගේ. බලු පැටියා තෝන්තුවාවෙන් හොම්බ බිම ඇනගෙන ඉන්නවා. අලුත් අයිතිකාරයා දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. හැබැයි එයා බලු පැටියට දැනටමත් ගොඩක් ආදරේ කරන්න පටන් අරං...

මගෙයි මයිනරෙයි සම්බන්ධෙ පටන් ගත්තේ ඒ විදිහට...




කාර් සම්බන්ධයෙන් හොම්බ සූරාගන්න සහ සමතලා කරගන්න හැම අවස්ථාවකදීම මගේ පිහිටට එන දයානන්ද අයියා පහුවෙනිදා ඇවිත් මට කියලා දුන්නා මේක යතුරෙන් නෙමෙයි නොබ් එකෙන් ස්ටාට් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කාර් එක ස්ටාට් කරගෙන එයා ගාවට අරන් ගියා අවශ්‍ය මූලික රෙපයාර් ටික කරගන්න.

හැත්තෑ තුනේ 1600 බීට්ල් එකක් එළවලා පනස් පහේ සීරීස් ටූ මොරිස් මයිනරයක් අතට ගන්නවා කියන්නේ ක්‍රිකට් ගගහා ඉඳලා කඳු නැගීමට මාරු වුණා වගේ වැඩක්. ක්ලච් එකයි බ්‍රේක් එකයි තියෙන්නේ එක ළඟ. එකතැන හරවද්දී ස්ටියරින් වීල් එක මාර තදයි. සයිඩ් කන්නාඩිවලින් මෙලෝ මලදානයක් පේන්නේ නැහැ. එන්ජිම තියෙන්නේ ඉස්සරහා නිසා ඉස්සරහින් සද්දේ එන්නේ කොහොමද කියලා ඔලුව විකාර වෙනවා (මේක තේරෙන්නේ ෆොක්ස්වැගන්ම පැදලා ජීවිතේ එයාකූල්ඩ් වෙච්චි එවුන්ට විතරයි). පිටිපස්සේ රෝද ගලක් වලක් උඩින් යනකොට ඔන්න ගලක් මෙන්න වලක් කියලා හොඳට දැනෙනවා. 

හැබැයි මේ සේරම දවසක් දෙකක් යනකල් විතරයි...

දයානන්ද අයියා මට අවශ්‍ය මූලික කටයුතු ටික කරලා දුන්නා. වෝටර් පම්ප් එක තන්තිරිමලේ උඩින් කම්බි රෝලක් ඇදන් යනවා වගේ සද්දයක් දෙමින් තිබ්බ නිසා මම අලුතින් වෝටර් පම්ප් එකක් ගෙනත් දැම්මා. බ්‍රේක් බඩු ටික දැම්මා. එච්චරයි.

දවසක් දෙකක් පැද්ද ගමන් පැඩ්ල් ටික කකුලට හුරු වුණා. ඩිස්ක් බ්රේක් තරම් හොඳට වාහනේ නවතින්නේ නැති වුණාට මයිනර් වල කොහොමත් බ්‍රේක් නෑ කියන කතාව මයිනර් හදන්න දන්නේ නැති බූරුවෝ සහ මයිනර් හදාගන්න පින් නැති අවාසනාවන්තයෝ කියන කතාවක් බව මට බොහොම ඉක්මනට ඔප්පු වුණා.

මයිනර් එකේ මම ආසම දෙයක් තමයි එන්ජිමෙන් එන මිහිරි සද්දේ. බීට්ල් එකේ වගේ විසිල් නැති වුණාට මොරිස්/BMC එන්ජින් වල අමුතු පැණි රසක් එක්ක ගම්මිරිස් රසක් වගේ දෙයක් මට දැනෙනවා. ඊට සාපේක්ෂව බීට්ල් එක නිකං අමු මිරිස් කරලක් හපනවා වගේ. සමහර වැඩ අධික වෙලාවල්වලට හිතේ සැහැල්ලුවක් ඕන වුණාම, ඒත් ඩ්‍රයිව් එකකට යන්න වෙලාවක් නැති වුණාම මම මයිනර් එකට නැගලා ස්ටාට් කරලා එන්ජිමේ සද්දේ අහන් ඉන්නවා.



අනික් එක තමයි ස්ටියරින් එක කොච්චර stable ද කියන එක. බීට්ල් එක එළවද්දී ස්ටියරින් එක යන දිහාව ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. ඒක බීට්ල් එකට ආවේණික ලක්ෂණයක්. සමහරු මේක පිළිගන්න කැමති නැහැ. නමුත් බීට්ල් එකක් ස්ටියරින් වීල් එක අතඇරලා පදින්න ගියොත් මීගමුවේ යන්න ගිය එකා නවතින්නේ හම්බන්තොට. නමුත් මයිනර් එක එහෙම නැහැ. මයිනර් එකේ ස්ටියරින් එක ඊට වඩා විස්වාසයි. ඒ වගේම turning circle එකත් බීට්ල් එකට වඩා හොඳයි. ඒ නිසා ටවුම ඇතුළේ යූ-ටර්න් ගහන්න ලේසියි.

(මේ වාහන දෙක සංසන්දනය කරන එක තනි බ්ලොග් පෝස්ට් එකකින් කරන්න අමාරුයි. නමුත් අනාගතයේ දවසක ඒකට උත්සහයක් ගන්නම්. අනික එහෙම සංසන්දය කරන්න ඕනේ 50 ගණන්වල බීට්ල් එකක් එක්ක මිසක් මගේ හැත්තෑ තුනේ බීට්ල් එක එක්ක නෙමෙයි. මගේ කලින් බීට්ල් එක පනස් නමයෙ හදපු එකක්. ඒ නිසා දවසක මම ඒකත් එක්ක සංසන්දනය කරන්නම්).

මගේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තු දවස

මොරිස් මයිනර් ගැන කාලෙකද ඉඳන් ලියන්න හිටියත් වෙලාවක් ආවේ නැහැ. මගේ මයිනර් එකේ ප්‍රොජෙක්ට් එකේ කතාවත් එහෙන් මෙහෙන් ගහලා දාලා ලියන්න මට හිත දෙන්නේ නැහැ. ඒ නිසා මම වැඩේ පස්සට දදා හිටියා. නමුත් ඔන්න ඔහේ අඩු තරමින් නාමිකව හෝ ලිපියක් ලියපන් කියලා මගේ හිත මගෙන් ඉල්ලුවේ අර මේ පෝස්ට් එකේ මුලින්ම දාලා තියන, නවින්ද නිර්මාල් වික්‍රමසිංහ එවපු ෆොටෝ එක දැකලා.

අද බීට්ල් වලට තියන සුපර් ස්ටාර් පිළිගැනීම මොරිස් මයිනර් වලට නැහැ. ගොඩක් අය තාමත් මොරිස් මයිනර් දිහා බලන්නේ එක්කෝ පප්පා කාර් එකක් විදිහට. නැත්නම් ඉස්සර ටැක්සි දුවපු එකක් විදිහට. එහෙමත් නැත්නම් මිනි කූපර් එකකට ගන්න පුළුවන් පොතක් විදිහට විතරයි. අද 2 ශ්‍රී වලින් එහා හොඳ තත්ත්වේ මයිනර් එකක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනේ.

මට කියන්න ඕන දේ මෙන්න මේකයි. මයිනර් එක කියන්නේ අපූරු වාහනයක්. හොඳට නඩත්තු කරගෙන යනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව රට වටේ යන්න පුළුවන් වාහනයක්. මයිනර් වලින් කඳු පාරවල් වල එහෙම ගිහින් ආපු අය දාපු ෆොටෝ පහුගිය දවස් වල බුකියේ එහෙම ඕන තරම් ෂෙයා වුණා.

ප්‍රොජෙක්ට් එකට පස්සේ. තව වැඩ ටිකක් ඉතුරුයි.

ඒ වගේම තමයි මයිනර් එකේ තවුසන් එන්ජිම හොඳට තියනවා නම් ඕක හයිවේ දුවන එකත් මහා කජ්ජක් නෙමෙයි. එහෙම හයිවේ ගිය අයත් දැන් දැන් ටික ටික මතුවෙනවා. ළඟදී 8 ශ්‍රී මොරිස් මයිනර් එකක් බලන්න ගිය මගේ යාලුවෙක් කිව්වා එයාගේ චෙරි කාර් එකට වඩා හොඳට ඒකෙ ගියර් මාරු වෙනවා කියලා.

ඒ වගේම මයිනර් එක ඇතුළේ ගොඩක් ඉඩ තියනවා. ඒ නිසා කට්ටියක් එක්ක ගමන් යන්නත්, බඩු ගේන්නත් ඒක ඉස්තරම්. තවමත් කොළඹ පැත්තේ හාඩ්වෙයාර් එකක බඩු අදින්න 9 ශ්‍රී වගේ මොරිස් මයිනර් එකක් පාවිච්චි වෙනවා (මේකේ පින්තූරේ හොයාගන්න ෆේස්බුක් පේජ් එක පීරුවත් බැරිවුණා). අර දොර දෙකේ පිස්සුව තියන අයට ටිකක් හෙවුවොත් දොර දෙකේ එකක් හොයාගන්න පුළුවන්. නැත්නම් දොර හතරේ ඒවා නම් ඕන තරම් තියනවා.


මේක ලසිත මාරසිංහ කාලෙකට උඩදී දැකපු එකක්

මයිනර් එක කියන්නේ ටින්කරින් කරන්න අමාරු කාර් එකකුත් නෙමෙයි. හැබැයි අමතර කොටස් හොයාගන්න එක ෆොක්ස්වැගන් වල අමතර කොටස් හොයන තරම්ම ලේසි නැහැ. මොරිස් අමතර කොටස් විකුණන පංචිකාවත්තේ කඩවල් අර ෆොක්ස්වැගන් කඩවල් වගේ එච්චර උද්යෝගයක් පේන තැනුත් නෙමෙයි. ඒවට ගියාම සමහර වෙලාවට දැනෙන්නේ ආණ්ඩුවේ කන්තෝරු වලට ගියා වගේ. මිනිස්සු හොඳයි, ඒ වුණාට නිකං අර නිවිච්ච් තේකක් වගේ මොකද්දෝ ඇල් රහක් ඒ කඩවල තියෙනවා. මේක ඉතින් මට හිතෙන හැටි. හැබැයි ඉතින් අවශ්‍ය අයට මේ අමතර කොටස් ඕන එකක් රටින් ගෙන්නන්න පුළුවන්. (එක්තරා කරුණාවන්ත මහත්මයෙක් මට සයිඩ් ලයිට් දෙකකුත් දුන්නා. එතුමා ප්‍රසිද්ධියට අකමැති නිසා නම සඳහන් කරන්න විදිහක් නැහැ). 

මයිනර් හොයන දවස්වල මම බලන්න ගිය එකක්

කොච්චර මොනවා ලිව්වත් අදටත් මම ප්‍රධාන කාර් එක හැටියට පාවිච්චි කරන්නේ ෆොක්ස්වැගන් එක. මගුල් ගේක යන්න වුණත් මම යන්නේ ෆොක්ස්වැගන් එකේ. නමුත් හදිසියකට ගෙදර කෙනෙකුට බේතක් හේතක් ගන්න ඕන වුණාම හරි, බඩු ටිකක් ගේන්න ඕන වුණාම හරි ඒකට කරගහන්නේ මයිනර් එක. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මම අර හාඩ්වෙයාර් එකේ වගේ බඩු අදින්න මයිනර් එක පාවිච්චි කරනවා කියලා. ඒවට තමයි ත්‍රීවීල් සහ අත්ට්‍රැක්ටර් තියෙන්නේ. නමුත් සති අන්තේ බඩු ටික ගේන්න ඕන වුණාම හරි, එහෙමත් නැත්තං ඔය ඉලෙක්ට්‍රොනික් බඩුවක්, ප්ලාස්ටික් බඩුවක් ගන්න ඕන වෙලාවක හරි යමු මචං කියලා ඉස්සරහට පනින්නේ මයිනර් එක මිසක් බීට්ල් එක නෙමෙයි. බීට්ල් එක කැමති වටේට ලයින් දදා විසිල් ගගහා නිවාඩුවට ආපු සුද්දා වගේ යන්න විතරයි. 

මයිනර් ගැන මට තියන ලොකුම වේදනාව තමයි ඒවා තාත්තලා පාවිච්චි කරලා පුත්තු දිරන්න අරින කාර් එකක් බවට සීමා වීම. අද ගොඩක් වෙලාවට කවුරුහරි 'අන්න අහවල් තැන වාහනයක් දිරනවා' කියලා කිව්වොත්, එතනට ගිහින් බැලුවම තියෙන්නේ එක්කෝ මොරිස් මයිනර් එකක්, නැත්නම් ඔස්ටින් A35 වගේ එකක්. සමහරු මම ඉස්සලාම ගත්තු කාර් එක/අපේ තාත්තා මාව ලැබිලා ගෙදර අරන් ආපු කාර් එක/අපේ සීයා එළවද්දී මැරිච්ච කාර් එක/විජේවීරව අත්අඩංගුවට ගත්තු දවසේ අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර තිබුණු කාර් එක වගේ හේතු කියකියා ඕවා ඔහේ දිරන්න අරිනවා. බලන්න යන අයත් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ කූඹි කාපු ලොසින්ජරයක්වත් ගන්න බැරි ගණන් වලට නිසා අර මිනිස්සුන්ට යකා නැගලා බැනලා එළවගන්නවා. අන්තිමට වාහනේ කාටවත් නැහැ. 

මේක එවුවේ නුවන් විජේතුංග කියලා කෙනෙක්

මටත් ළඟදීම මයිනර් එක දෙන්න වෙන්න ඉඩ තියනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එකට යන්න මට හිතේ අමාරුවෙන් වුණත් සමහර දේවල් වෙනස් කරන්න වේවි. එහෙම කියලා මයිනර් වලට මගේ හිතේ තියන ආදරේ අඩුවෙන්නේ නැහැ. ඒ වගේම උන් හිටි ගමන් එකපාරට මම 8 ශ්‍රී 9 ශ්‍රී වගේ මොරිස් මයිනර් එකක් ගෙනත් දාගන්නත් ඉඩ තියනවා. 

මම කාර් පිස්සෝ හැමෝගෙන්ම ඉල්ලන්නේ මෙච්චරයි. මයිනර් එක 'ගතියක් නැති කාර් එකක්' කියලා හිතන්න එපා. එක එක රැලි එනවා යනවා. ඔය රැලි ඔක්කොම හදන්නේ මිනිස්සු. ඔයාලා මයිනර් වලට ආදරේ කරන්න ඉගෙන ගත්තොත්, මයිනර් වලටත් ෆොක්ස්වැගන් වලට වගේම රැල්ලක් හැදෙයි. පුළුවන් නම් පළවෙනි ක්ලැසික් කාර් එක ගන්න දවසට, මයිනර් එකක් ගැනත් හිතන්න. සති අන්තෙක වගේ විතරක් පදින්න හිතනවා නම් බස්සෙක් හරි සීරීස් 2 එකක් හරි ගන්න. දුර දුවන්න හිතනවා නම් පස්සේ ආපු තවුසන්ඩ් සීරීස් එකේ එකක් ගන්න. පාට්ස් ඕනේ නම් සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් විකුණන තැනකින් හරි හොයාගන්න. ඔය පංචිකාවත්තේ අහවල් මෝටර්ස් එක වගේ තැන්වලින් ඉඳහිට දාන ලොකු පාට් කට වහගෙන දරාගෙන අවශ්‍ය දේ අරගෙන එන්න. හොඳට හදාගෙන, වාහනේ අතට හුරුවුණාට පස්සේ සහ ටිකක් ටෙස්ට් කළාට පස්සේ පොඩි දුර ගමනක් දුවලා එන්න. 

ඔයා මයිනර් වලට මේජර් විදිහට පෙම් කරන්න ගන්නවා සත්තයි...! 


www.facebook.com/CarPissuwa