Monday, August 1, 2016

බොන්ෆයර් හාට්

 

ඔබේ මුව රිවෝල්වරයකි 
අහසට උණ්ඩ විදින 
ඔබේ ආදරය සොල්දාදුවෙකි 
මියෙන තුරා ළැදිව සිටින 

ජේම්ස් බ්ලන්ට් ගේ ගිනිමැල හදවත ඇවිලෙන්න ගන්නේ එහෙමයි. 

People like us—we don’t
Need that much, just some-
One that starts,
Starts the spark in our bonfire hearts


සින්දුවේ මේ කොටසට එනකොට, ඒ වෙද්දී නිදිමතින් ලාවට පියවෙමින් තිබුණු මගේ ඇස් ආපහු පොඩි කික් එකක් එක්ක දැල්වෙන්න ගන්නවා.  (මේ කොටස පරිවර්තනය නොකර තියන්නේ මේක සිංහලේට කෙළින්ම දාන්න බැරි නිසා. එහෙම වුණොත් ඒක ජේම්ස් බ්ලන්ට් ට වගේම සින්දුව ලියන්න දායක වුණු අනික් කෙනා වෙන රයන් ටෙඩර් ටත් කරන අසාධාරණයක්). අන්තිමට ඊට පස්සේ තුන හතර වෙනකල් නින්ද යන්නේ නැතුව මම ජේම්ස් බ්ලන්ට් ටයි, මිනිහගේ හත්මුතු පරම්පරාවටයි, පාරේ පූසෙක් ගියත් මැරිච්චි බින් ලාඩන්ව දැක්කා වගේ බුරන ආනන්ද අයියගේ ගරාජ් එකේ කළුවටයි බැන බැන ඇඳේ පෙරළි පෙරළි ඉන්නවා...



මම සාමාන්‍යයෙන් සින්දු අහන්නේ රාත්‍රියේ මධ්‍යම යාමය පැන්නට පස්සේ. දවසේ මෙහෙවර ඉවර කරලා මම ටිකක් වෙලා යනකල් කාර් වීඩියෝස් මොනවා හරි බලනවා. ඊට පස්සේ ඒ වෙනකොට ඔළුවේ කැරකෙමින් තියන සින්දු ටිකක් අහලා නිදාගන්නවා. මේක දැන් නවත්තගන්න අමාරු පුරුද්දක් වෙලා. පහුගිය දවසක කතරගම ගිහින් කාමර නැතුව කට්ටියටම එක කාමරේ ඉන්න වුණු වෙලාවේ පවා මම නිදාගත්තේ පගානි සොන්ඩා එක ගැන හෝ ලෝටස් එලීස් එකක් ගැන වීඩියෝ එකක් බලලා. මගේ බහුබූතත්වය ගැන දන්නා නිසා කවුරුවත් මගෙන් මොකුත් ඇහුවේ නැහැ. ආපහු එන ගමනේදී මම ජපන් ඇල්ටෝ කටුවක් පානදුරේට එනකල් එළවන් ආවා. Kei Car ගැන මගේ තිබුණු මාරාන්තික විරෝධය ටිකක් අඩුවුණේ ඊට පස්සේ. ඒ කතාව පස්සේ කියඤ්ඤං, බැණුම් අහන්න බලාගෙන...

මට ජේම්ස් බ්ලන්ට් ගේ 'බොන්ෆයර් හාට්' එක කනට වැටුණට පස්සේ ඒක සෑහෙන කාලයක් මගේ ඔළුවේ ප්ලේ වෙවී තිබුණා. ඒ හැම වෙලාවකම බයික් ගැන පුංචි ආසාවක් නිකං අර ලයිට් ගිය වෙලාවක විතරක් දැල්විලා අනික් වෙලාවට කාටත් අමතක වෙලා කොහෙහරි මුල්ලකට තල්ලු වෙන හිච්චි ඉටිපන්දමක් වගේ ලාවට දැල්වුණා. 

මම බයික් පිස්සෙක් නෙමෙයි. බයික් ගැන කියෝනකොට මගේ යාළු බයික් පිස්සෝ හැමතිස්සෙම පාවිච්චි කරන quote එකක් තමයි Half the wheels, twice the fun කියන එක. ඒ කියන්නේ කාර් එකකට සාපේක්ෂව රෝග ගාන දෙකෙන් පංගුවයි, ආතල් එක දෙගුණයයි කියන එක. නමුත් මම ඒකට කියන්නේ Half the responsibility, double the stupidity කියලා. ඒ කියන්නේ වගකීම භාගයයි, ගොන්කම දෙගුණයයි කියන එකයි. එහෙම කියන්නේ පාරේ යනකොට බයික් කාරයෝ කරන අනන්ත ගොන් වැඩ දකින නිසා. උන් වමෙන් ඉස්සර කරනවා, පේමන්ට් එක දිගේ යනවා, ටැෆික් ලයිට් වලදී සිග්සැග් ක්‍රමේට යනවා, නවනවා, ගස්සනවා, පද්දනවා, කෙල්ලෝ දැක්කම ඉස්සරහ රෝදේ උස්සනවා, ඊට පස්සේ වැටිලා පීචං වෙනවා, වටේ ඉන්න කොල්ලෝ බයික් එක උස්සලා කෑලි ටික අහුලලා කණට කොඳුරලා චාටර් නොවී පලයන් කියලා යවනවා (මේක ජපුර කැම්පස් එක ගාවදිද කොහෙද ඇත්තටම වුණු දෙයක්), ඒ වුණාට ලජ්ජා නැතුව ආයෙත් ඒ දේ ම කරනවා. 


නමුත් මේ පල්සර් අරන් ඩර්ට් බයික් කියලා හිතාගෙන පදින, ට්‍රේලර් බයික් අරන් බටකොළ ආච්චිගේ කොස්ස කියලා හිතාගෙන වනන මානසිකත්වෙට එහා ගිය බයික් සංස්කෘතියක් තියනවා කියලා මම නොදන්නවා නෙමෙයි. බොන්ෆයර් හාට් වගේ දේවල් දකිද්දී මට ඒවා මතක් වෙනවා. අභියෝගය තියෙන්නේ Hells Angels වගේ කෙහෙල් ලෙලි පෑගිලා වැටෙන්නේ නැතුව සැබෑ බයික් සංස්කෘතිය ඇතුළට යන එකයි. Biker Gangs කියන්නේ මාර සංකීර්ණ සංස්කෘතියක්, ඒක දිහා පිටින් බලන්න එපා කියලා අනන්තවත් කට්ටිය මට කියලා තියනවා. නමුත් ඕක පොතු ගහගෙන පොතු ගහගෙන ගියාම අහුවෙන ඇටේ තමයි තමන්ගේ ආරක්ෂාවට ගැන්සියක් හදාගැනීම හෝ ගැන්සියකට සෙට් වීම කියන සරල paranoid reaction එක කියලයි මට නම් හිතෙන්නේ. ඌරෝ එන්නේ රංචු පිටින්, සිංහයා එන්නේ තනියම කියලා (දෙමළ චිත්‍රපටියක දෙබසක්) අපේ නසාර් ඉස්සර නිතර කියනවා මට මතකයි. හැබැයි ඉතින් ඒක මගේ පුද්ගලික අදහස.


බයික් සංස්කෘතිය ගැන කිව්වාම කාටත් එකපාරටම මතක් වෙන නමක් තමයි හාලි ඩේවිඩ්සන්. බොන්ෆයර් හාට් එකේ මියුසික් වීඩියෝ එකේදී ජේම්ස් බ්ලන්ට් පදින්නේත් හාලි ඩේවිඩ්සන් ස්පෝට්ස්ටර් එකක් ලු (පරණ එකක් නෙවෙයි, අලුත් එකක්). එතකොට බයිකර් ගැන්සි කිව්වත් මතක් වෙන්නේ හාලි ඩේවිඩ්සන්. හාලි ඩේවිඩ්සන් කියන්නේ බයික් පිස්සන්ගේ සනී ලියෝන්!



නමුත් ඇත්තටම මගේ හිතේ බයික් ගැන ආසාව දල්වපු මුල්ම බ්‍රෑන්ඩ්ස් දෙක ඇවිල්ලා Indian සහ Royal Enfield. ඉන්ඩියන් කියන්නේ ඇමරිකානු බයික් කොම්පැනියක නමක්. Indian Chief එක තරම් මගේ සැඟවුණු බයික් ආසාව දල්වන වෙන බයික් එකක් නැති තරම්! 2012 දී BMICH එකේ තිබුණු මෝටර් ෂෝ එකේදී ඉන්දියන් චීෆ් එකක් මතුවෙලා තිබුණා. එදා ජගුවර් E-Type එකක්, ස්ප්ලිට් බීට් දෙකතුනක් සහ ඔස්ටින් හීලි දෙකෙතුනක් තිබුණු නිසා මට මේක ෆොටෝ ගන්නවා වත් මතකයක් නැහැ. නමුත් ෆොටෝ ටික ෆේස්බුක් එකේ දාපු ගමන් අපේ බයික් පිස්සා වන තිළිණ අන්තර්ජාලයේ ඉඳන් ගෝත්‍රික විලාපයක් දාගෙන කොමෙන්ටු අංශයට කඩා පැන්නා. එතකොට තමයි මට තේරුණේ මට රත්තරන් බිස්කට් එකක් මිස් වෙලා කියලා. 


1901 ඇමරිකාවේ මැසචුසෙට්ස් වල පටන් ගත්තු මේ ඔරිජිනල් කොම්පැනිය දැන් නැහැ. ඒ වගේම සමාගමේ නම අතින් අතට ගිහින් ඉවරයි. දැනට මේකේ අයිතිය තියෙන්නේ Polaris Industries කියන සමාගමට. එයාල මේක ගත්තේ 2011 දී. දැන් එයාලා Indian නම යටතේ බයික් වර්ග කීපයක්ම මාකට් එකට දාලා තියනවා. මේ බයික් ලස්සන බව ඇත්ත. අනික් අතට බයික් වල සෞන්දර්ය ආශ්වාදන මනෝභාවයන් මට නැතිවෙන්න පුළුවන් (සරලව කියනවා නම් බයික් එකක් දැක්ක ගමන් ඒක පට්ටද චාද කියලා කියන්න මම දන්නේ නැහැ). නමුත් මගේ හිත මේ පහළින් තියන බයික් එකට ඇදුණා. හැබැයි ඔරිජිනල් ඉන්දියන් චීෆ් එකක් දෙනවා කිව්වොත් මම මේක පෙරළලා දාලා දුවගෙන යනවා!


අනික් අතට බැලුවොත් රෝයල් එන්ෆීල්ඩ් එක මේ වෙද්දී ඉන්දියානු කොම්පැනියක්. අලුත් පරම්පරාවේ බයික් පිස්සන්ට කිව්වම මම රෝයල් එන්ෆීල්ඩ් වලට ආසයි කියලා, උන් මට බනිනවා මම ඉන්දියානු ජරාවල් උඩදානවා කියලා. උන්ගේ half the brain නිසා මම කතාකරන්න යන්නේ නැහැ (සමහර ඔරිජිනල් රෝයල් එන්ෆීල්ඩ් මෝටර් සයිකල් 1955 ඉඳන් 1960 දක්වා ඇමරිකාවේදී Indian කියලා rebadge කරලා විකිණුවාලු). 




මොනවා කළත් ඉන්දියන් චීෆ් එක ගැන මගේ හිතේ තියන ආසාව සැරින් සැරේ මතුවෙන්නේ හරියට පන්සල් වත්තට බලු පැටවු පහළ වෙනවා වගේ. ඉන්දියන් චීෆ් එකක් දැක්කම මට හොඳ සැර කොච්චි කරලක් මතක් වෙනවා. ඉන්දියන් චීෆ් එක ගැන මේ තියන තණ්හා ආශා ඔලොගුව නිසා ඔන්න 1946 චීෆ් එකක specs list එකකුත් දානවා. (දවසක හිතුණොත් Indian එකේ මෝටර් සයිකල් ගැන වෙනම ලිපියක් ලියනවා).

Engine: 1205cc (73.62 cu in; 3.25x4.4375in) sidevalve 42-degree V-twin
Power Rating: 40 hp
Transmission: 3 speed gearbox; 4-speed optional
Chassis: single tube
Wheels: wire 4.50x18in; 5.00x16 optional
Suspension: (front) girder forks; (rear) coil compression
Weight: 550lb
Maximum Speed: 85 mph 





අපේ තාත්තා බයික්වලට සෑහෙන ආසාවෙන් හිටියා. එයා බයික් එකක් දෙනවා කියපු නිසාම රස්සාවල් වලට ගියපු අවස්ථාවල් තිබුණා මට මතකයි. ඒ නිසා දවසක මට පුළුවන් කාලෙක එයාට බොහොම ගාම්භීර පෙනුමක් තියන, 1960 ගණන්වල වගේ ආපු, සයිලන්සරෙන් මූණ බලන්න පුළුවන් සහ ලයිසන්ස් ප්ලේට් එකෙන් පොල් බිඳින්න පුළුවන් ජාතියේ පරණ BMW බයික් එකක් අරන් දෙන්න මට ආසාවක් තිබුණා. මට ඕන වුණේ එයා වෙනුවෙන් ඒක සම්පූර්ණයෙන්ම restore කරන්නයි. අලුත් බයික් එකක් ගෙනාවම එයාගේ මූණේ තිබුණු සන්තෝසේ මගේ මතකයෙන් කවදාවත් යන්නේ නැහැ. එයා එතකොට ඒ බයික් එකට නගින්නේ කවදාවත් වචනෙකින් නොකීව සතුටකින්. හැබැයි එයා කවදාවත් බයික් වල විස්තර කතා කළේ නෑ. බයික් පදින්න හෝ බයික් හදන්න කාලය ගතකළේ නෑ. හැබැයි වැඩට යන එන අතරේ බයික් එක පදින එක එයාට ඉස්සර ලොකු සතුටක් වුණා. එයා ටිකක් හරි අමාරුයි කියන්න ගත්තේ අන්තිම අවුරුද්දේ වගේ.





කොහොම වුණත් ලංකාවේ පරණ බයික් එකක් restore කරනවා කියන්නේ මම දන්නා තරමින් බීට්ල් එකක් හදනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. බීට්ල් එකකට අඩු තරමින් අමතර කොටස් හොයන්න අමාරුවක් නැහැ. 1300 සහ ඊට ඉහළ බීට්ල් හදන එක (සාපේක්ෂව ගත්තොත්) මාළු පාන් කනවා වගේ ලේසි වැඩක්. හැබැයි බයික් එහෙම නැහැ. සමහර කෑලි ගෙන්නන්න වෙනවා. සමහර කෑලි විශේෂයෙන් හදන්න වෙනවා. බයික් ගැන මළපොතේ අකුරක් නොදන්න මට ඕක හෙන ගේමක් වෙන බව මම නොදැන හිටියා නෙමෙයි. අතේ මිටේ මුදල් ටිකක් ගැවසෙනකල් මම කල්යල් බලබලා හිටියේ ඒකයි. 

2013 ජූලි මාසේ මෝටර් මැගසින් එකේ ලිපියක් ගියා 1947 Triumph Speed Twin බයික් එකක ෆුල් ප්‍රොජෙක්ට් එකක් ගැන. නොම්මරේ CN. අයිතිකාරයා අජිත් ප්‍රනාන්දු. Restore කරලා තිබුණේ ලාල් සහ ඉසුරු ජයසූරිය. මේකේ තියෙන්නේ Vertical twin cylinder, air cooled, 4 stroke, overhead valve, dry sump, pre-unit construction, 498cc එන්ජින් එකක්. ගියර් බොක්ස් එක dry clutch, 4 speed, chain final drive. මේක දැක්කම මට කොහොම හරි වැඩේ ඉක්මන් කරන්න ඕනේ කියලා හිතුණා. 

නමුත් 2014 දී තාත්තා ඇස්දෙක පියාගත්තා. අමාරුවෙන් හිත හදාගෙන හිටපු අම්මා, තාත්තාගේ ඔෆිස් බයික් එක ආපහු ගෙනියන්න ආපු දෙන්නා බයික් එක ස්ටාට් කරනවා ඇහිලා කෑගහලා ඇඬුවා. 

එදා ඉඳන් බයික් ගැන හිතෙන් අමතක කරන්න උත්සාහ කළත් මොනවා හරි දෙයක් නිසා ඕක ආපහු මතුවෙනවා. මගේ හොඳ යාලුවෙක් තමයි අර කලින් කියපු, බයික් දැක්කාම නිකං කුප්පමේනිය දැකපු පූසෙක් වගේ හැසිරෙන තිළිණ. ඌ බඩගිනි වුණාම ගරාජ් එකට ඇවිත් බයික් එක ලෙවකාලා පෙට්‍රල් ටිකක් බීලා ආපහු ගෙට යන එකෙක්. ඒ නිසා උගේ ෆේස්බුක් එකවුන්ට් එකේ මොකක් හරි ලබුගෙඩියක් දැක්කම ආපහු මාව බයික් ලෝකෙට ටිකක් හරි ඇදෙනවා. හැබැයි ඉතින් ටිකක් දුර ඇදිලා යද්දී මට පියවි සිහිය එනවා. එතකොට මම බීට්ල් එක හරි මයිනර් එක හරි අරන් කොහෙ හරි වටයක් ගහලා එනවා. බයික් පිස්සුව පැනඩෝල් ගැහුවා වගේ නැතුව යනවා. 



හැබැයි තව එකෙක් ඉන්නවා, කේ.සී. කියලා. පොරගේ නම කසුන් චාමර. අපි කිව්වේ කේ. සී. කියලා. ඉස්කොලෙ යාලුවෙක්. මම ඌට කිව්වේ කුණ්ඩල කේසී කියලා. පොර දැන් බයික් පිස්සෙක්. හැබැයි තිළිණ වගේ බයික් එක්ක අහවල් එක කරන්නේ නැහැ. ඒ නිසා ජේම්ස් බ්ලන්ට් ගේ ගිනිමැල හදවතේ රස්නේ ටිකක් තදට වැදිච්චි දවසක කේසීගෙන් මැදහත් උත්තරයක් ගන්න බලාගෙන මම ඌත් එක්ක ෆේස්බුක් චැට් එකක් ඇදගත්තා. 

අන්තිමට චැට් එක අවසන් වෙද්දී මම දැනගත්ත ප්‍රධාන කරුණ තමයි බයික් නිසා දැනටමත් මේ අවුරුද්දේ 600 කට වැඩි පිරිසක් එලෝ ගිහින් කියන එක. ඉතිං ඕක වැරදිලා වෙන කතාවක් අස්සේ කෞශිට කියවුණා කියහන්කෝ........!

කොහොම වුණත් පරණ බයික් එකක් සම්පූර්ණයෙන්ම restore කරන්න තියන ආසාව මගේ හිතෙන් යන්නේ නැහැ. BMW R68 කියන්නේ මට එහෙම ශෘංගාර මධුලෝල ජීවන ආසාවක් තියන බයික් එකක්. මේකේ තියෙන්නේ BMW 268/1 OHV air-cooled flat twin එන්ජිමක්. පවර් එක 35 hp. 1955 ඉඳන් 1960 වෙනකල් ආපු මේ බයික් එකේ ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 169ක්. 




එහෙම තවත් එකක් තමයි Ariel Huntmaster එක. 1954 ආපු මේකේ එන්ජිම ඇත්තටම BSA A10  එන්ජිම. ඒක 646cc overhead valve verticle twin එන්ජිමක්. ගියර් බොක්ස් එක positive stop foot control තියන 4 speed එකක්. මේකේ රතු පාටින් ආපු බයික් එකට මට පුදුම ආසාවක් තියනවා. මම දන්නේ නෑ හේතුව. ඊට අමතරව Ariel Cyclone එකටත් මම හරිම ආසයි. 






මම ඇවිල්ලා 1950 ගණන්වල ස්ටයිල් එකේ කිට් එකක් ගහලා, සයිමන් නවගත්තේගම තොප්පියක් දාලා, බෙටන්ස් සපත්තු දෙකකට බැහැලා, සිල්වර් පටි තියන ඩුප්ලිකේට් ඔරලෝසුවක් බැඳලා, දාහට අඩුවෙන් ගත්තු සන්ග්ලාස් දෙකක් හරි, නැත්තං ඇස් දොස්තරට වැඳලා ඉල්ලගත්තු සෝබන කන්නාඩි දෙක හරි දාගෙන, බයික් එක පාරේ වම් පැත්තේ අයිනට කරගෙන, මාව පහුකරගෙන යන හැමෝගෙම මූණු බලබල බයික් පදින්න කැමති කෙනෙක්. 

ඒත් මට ලයිසන් නෑ. බයික් පදින්නත් බෑ... 

හැබැයි මගේ හදවතෙත් ගිනිමැලයක් ඇවිලෙනවා. 

This world is getting colder.
Strangers passing by
No one offers you a shoulder.
No one looks you in the eye... 






පසු සටහන: 
1. තාත්තා ජීවතුන් අතර හිටියා නම් අදට (2016 අගෝස්තු 01) එයාට අවුරුදු 60 ක්. අද එයාගේ උපන් දිනේ. එයාට බයික් ගැන සංකීර්ණ ආසාවක් තිබුණු නිසා සහ එයාට බයික් එකක් හදලා දෙන ආසාව ඉෂ්ට කරගන්න මට බැරිවුණු නිසා, මේ ලිපිය අද දවසේ පළකරන්න මම හිතාගත්තා. 

2. බයික් ගැන ආසාව ටිකක් හරි තිබ්බට බයික් ගැන මෙහෙමවත් ලියන්න අදහසක් තිබ්බේ නැහැ. මේ වක්කඩට මාව ඇදලා දැම්මේ පත්තර මල්ලි සහ ඩූඩ් අයියා. උන් දෙන්නා නිසා තමයි මම ආපහු ඉඳහිට හරි බයික් ගැන හොයන්න ගත්තේ. කෞශි මට ගෙනත් දීලා තිබුණු පරණ බයික් මැගසින් එකකුත් මේ ළඟදී මම මුල ඉඳන් අගටම කියෙව්වා. එම්බා ඩූඩ සහ පත්තරය, තොපේ පැරණි යතුරු පැදි උන්මාදය දෙගුණ තෙගුණ සිවුගුණ පංචගුණ වේවායි මම ප්‍රාර්ථනා කරන්නෙමි! 

www.facebook.com/CarPissuwa 





59 comments:

  1. මම ඉස්සර බත් කනකොට බිත්තරේ අන්තිමට කන්නෙ. බත්, කරවිල බ‍ටු වගේ දේවල් ඉක්මනට කනවා. අන්තිමට බිත්තරේ (හෝ සමාන දෙයක්) අන්තිමට කනවා ලෝබ කමෙන්. මටෙ මේ පෝස්ට් එක කියවන්න ලෝබයි. තව ටිකකින් කියවනවා. පින්තූර බැලුවා. කෝපි එකක් බිබීම කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු විශ්වයට සුපිරි ආරම්භයක්. ස්තුතියි ඩූඩයියා...!

      Delete
    2. BMW R90S බයික් එකක් සහ BMW 3.3 Li කා එකක් පසුබිම් කරගත්ත Roald Dahl ලිව්ව මම මට පුලුවන් හැටියට පරිවර්තනය කරපු මේ කතාව The Hitchhiker තරිඳු කියෙව්වද. නැතිනම් කියවලා මට කියන්නකො මොකද හිතන්නෙ කියලා

      Delete
    3. The Hitchhiker කාලෙකට උඩදී තායිලන්තයේ හිටපු කාලෙක මම කියෙව්වා මට මතකයි. ඒ 2008 අවුරුද්දේ. 2008 අවුරුද්ද කියන්නේ මගේ ජීවිතය ඔලුවෙන් හිටවුණු අවුරුද්දක්. ඒ නිසා කතාව මාව කොච්චර දුරකට ඇදබැඳගත්තද කියන එක විතරක් මට මතකයි. මට මතක විදිහට ඕක ගොඩගේ එකෙන් හරි කොහෙන් හරි කරපු විදේශ කෙටිකතා එකතුවකත් ආවා. ලැමිනේටින් වත් නොකරපු පිටකවරයක් එක්ක ඩිමයි දාලද කොහෙද ගහලා තිබුණේ. මම කියවලා බලන්නම්. ඔයාගේ භාෂා ශෛලියත් එක්ක ඕක තවත් රහ වෙයි. චාන්ස් එකක් ආපු ගමන් ඕකට රිංගලා බලන්නම්!

      Delete
  2. මට ඉස්සර තිබුනා DT පිස්සුවක් හොඳම එකෙන්..ඒත් කවදාවත් DT එකක් පදින්නවත් ලැබිලා නෑ මේ වෙනකම්.. මට ආයෙත් ඒ පරණ ලව් එක මතක් වුනා මේක කියවලා... බලන්න ඕනා DT කට්ටක් හොයාගන්න....

    ReplyDelete
    Replies
    1. හොඳ භාණ්ඩයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ලැබුණොත් විස්තර කියන්න අමතක කරන්න එපා!

      Delete
    2. DT R පවර්වෑල් මොඩ්ල් එක ලස්සනයි නේ සෙන්නයියෙ ඩීටියට වඩා..

      Delete
  3. නොකර බැරි කමට බයික් පදිනවා විනා බයිසිකල් ගැන මෙලෝ ආසාවක් නැති නිසා කිසිවක් නොකියමි.
    ඇමෙරිකන් බයික් ගැන්ග්ස්ටර්ස්ල ගැන රසකතාවක් මුතුහර සඟරාවක යට වාටියක තිබුණා.
    කාන්තාරබද අවන්හලක ට්‍රක් රියදුරෙක් ආහාර ගනිමින් ඉන්න කොට විසාල බයිසිකල් දහයකින් හයයි හතරෙ මිනිස්සු ටිකක් එනවා. උං ටික බයිසිකල් පේළියට නවත්තලා ඇතුළට ආපු ගමන් එකෙක් අර ට්‍රක් ඩ්‍රයිවර්ගෙ සැන්ඩ්විච් එක උදුර ගන්නවා. අනිකෙක් බියර් එක අරං කටේ හලා ගන්නවා. වචනයක් වත් නොකියන රියදුරා මුදල් ගෙවල පිටවී යනවා. අරුං ටික රෙස්ටුරන්ට් එක දෙවනත් වෙන්න හිනා වෙනවා. "බලනව අයිෂේ.. අරූ මහ නිවට‍යෙක්....."
    "ඒ විතරක් නං මදැයි උෟ මහ අදක්ෂ රියදුරෙක්.." රෙස්ටුරන්ට් එකේ අයිතික‍ාරයත් කිණ්ඩියට හිනා වෙලා කියනවා. "ඌ ට්‍රක් එක පාරට ගත්තෙ මෙතන තිබිච්ච බයිසිකල් දහයක්ම යට කරගෙන.."

    ReplyDelete
    Replies
    1. LOL. බොහොම ස්තුතියි ඩිල්ෂාන්...

      Delete
  4. ඒත් මට ලයිසන් නෑ. බයික් පදින්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. බයික් එකක් අල්ලන වාරයක් ගානේ ගෙදර මිනිස්සු දුවගෙන එන්නේ මං නයෙක් ඇල්ලුවා වගේ :D

      Delete
  5. ඔබේ ලිපිය මගේ පාසැල් දිවිය මත කළා. ඒකාලයේ අපේ වීරයා වුනු commerce සර් ළඟ තිබුනේ dkw වාගේ නමක් තියෙන මොටර් බයිසිකලයක්. මා ඒ බයිසිකලය හොඳට මතක ඒකාලේ තිබුන ට්‍රම්ප් වාගේ අනෙක් බයිසිකල් චේන් ඒකෙන් දුවද්දී මේකට තිබුනේ ඩිපරන්ෂල් එකක් නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමරසේකර මහත්මයා. ඔවු, DKW එක ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. එයාලා වඩා ප්‍රසිද්ධ එයාලගේ 2 stroke එන්ජින් එකක් එක්ක ආපු කාර් නිසා. එයාලා මෝටර් සයිකල් වර්ග 30 ක් විතරත් හදලා තියනවා මම හිතන්නේ. 1966 දී බ්‍රෑන්ඩ් එක නිල වශයෙන් මාකට් එකෙන් අයින් වුණා. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
  6. මටත් පදින්න බෑ. දචසක්,මාමා මග‍ෙ කාර් එක අරන් පා‍ෙඩි බබයි නා්‍ෙනයි එක්ක ආච්චිලයි ග‍ෙදර. මට එයාග‍ෙ බයික් එක දාල. මම නිදන් හිටිය‍ෙ නයිටක් කරල ඇවිල්ල
    මූන කට හා්‍ෙදං නැගල පැදන් ගියා. කිලා්‍ෙමීටර් එකහමාරක් විතර ඇති එහ‍ෙට. දාපු ගියර් ඔක්කා‍ෙම දැම්ම‍ෙ මුලින් ගියර් එක දාල පස්ස‍ෙ ක්ලච් එක අල්ලල. ඇයි බං අපිට පුරුදු මුලින් කකුල පස්ස‍ෙ අත න‍ෙ.
    චැලියකින් වැටිච්ච කතාවකුත් තියනව ඒක ටිකක් ටූ එම්බැරසින් සීන් එකක්..ම‍ෙතන බෑ...

    ReplyDelete
    Replies
    1. බාගෙට කියලා යන්න එපා බං. ඔය වගේ කතා වලට හොඳ ඉඩක් තියනවා කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එකේ. ඒ පැත්තේ ඇවිල්ලා කියලා පලයන්...

      Delete
    2. මාර රසයක් වින්දා තාරක බයික් එක පැදපු හැටි කියවලා. කිව්වත් වගේ අතයි කකුලයි මාරුවෙනවා නේන්නම් රෝද ගාන වෙනස් වෙනකොට!:D

      Delete
    3. මිනිහට හොඳට ලියන්න පුළුවන්. ඕක කොහොම හරි ලියවගන්න ඕනේ...

      Delete
  7. නියමයි. උඹ මට එක පෙලට පෝස්ට් දෙකක් දුන්නා. බයිසිකල් ගැන කියතොත් මං පුරුදු වුනේ තැපැල් නයින්ටියෙං. ආං හරි පාං අදින එක. ගියර් තුනයි ඕන කන්දක්, ඕන බරක්. හැබැයි මගෙ පළමු සහ එකම බයික් එක ඉන්දියන්.බජාජ් ඩිස්කවරි 125 මෝල නැති පයිං අනින ස්පෝක් මොඩල් එක. දැන් ලක්සෙ පැනලා දුවලා. අපි දෙන්නා බැඳලා හෝම් කමින් ආවෙත් මේ බයිසිකලෙන්. ඔව් ඊයෙ වෙඩින් එක. අද පාන්දරම දෙන්න එක්ක බයිසිකලේ බදුලු ආවා කිලෝමීටර් 180ක්. ඒකෙං කරපු වැඩ කියන්න වෙනම බ්ලොග් පෝස්ට් එකක් මදි.

    ඒ වගෙම තමයි මගෙ ආසාව ටිකක් පළල තියෙන සීට් එකක් ඇතුව නොතෙමෙන්න වහලක් ගහලා බයික් එකක් හදන්න. දැනට මං කරන්නේ වැස්සෙ ගමනක් යන්න වුනොත් ඉටිකොල යාර දෙකක් අරං රේන් කෝට් එකක් කපාගෙන හැක්සෝ බ්ලේඩ් එකක් තියලා ඉටිපන්දමෙන් පුච්චලා 100%ක් නොතෙමෙන රේන් කෝට් එකක් හදාගන්න එක. ඒ වුනාට මගෙ හීනෙ තමයි නොතෙමි යන්න පුලුවන් සැප පහසු මෝටර් සයිකලයක් හදන එක. අදටත් වැස්සෙ තෙමීගෙන යන බයික් පදින අයට අවහිර නොවෙන්න මං පාර අයිනෙං යන්නෙ.

    හැබැයි මගෙ බයික් පැදිල්ල අනික් උන්ට වඩා වෙනස්. මට පාර පේන්නෙ නැත්තං ඉස්සර කරන්න වෙට්ටු දාන්න, වැඩ දාන්න යන්නෑ. පාර ෂුවර් නැත්තං හැට පන්නන්නෙ නෑ. ඉස්සරහිං යන වාහනේට හේත්තුකරගෙනම යන්නෑ. මං එහෙම කරන්නෙ මං සුපිරි වැඩ්ඩෙක් නොවන හිංදා. අනික මං මැරෙන්න බයයි.

    බයිසිකලේ චයිනීස්, ඉන්දියන් නෙවෙයි කෑලි හැලෙන ලදරමක් උණත් ඒකට අවංක වුනොත් වෙලාවට සර්විස් ටික කලොත්, විගඩං නොකලොත් අපිටත් ඌ බොක්කෙංම සලකනවා. තව ලියන්න ජාති බොහොයි. එව්වා පෝස්ට් එහෙකින්ම ලියන්නං.

    ReplyDelete
    Replies
    1. නියමයි. ඔන්න ඔහොම මතක ඉස්ටෝරු වලට පැනලා පරණ බෝතල් පත්තර කෑලි උඩ විසික්කා කොරන එක තරං සතුටක් මට තවත් නෑ. දාමු කොල්ලෝ හොඳ පෝස්ට් එකක්! ඒ වගේම මරු කොමෙන්ටුව ඈ! බොහොම ඉස්තූතියි!

      Delete
  8. තාත්තා ගැන කොච්චර මග අරින්න හැදුවත් අමාරුයි. මටත් තාත්ත ගැන තියෙන්නෙ ඔය වගේම දුක්බර මතකයක්. මමත් අද තාත්තා හිටියනම් වයස කීයක් වෙයිද කියලා ගනන් හදලා බලනවා. ඒ එක්කම මගෙ වයසට තාත්තා ඉන්න කාලෙ එය මොකද කලේ කියලා හිතලා බලනවා. තරිඳු තාත්තට හුඟක් කිට්‍ටුවෙන් හිටපු බව මට පේනවා. මේ පෝස්ට් එක තරිඳුගේ ආදරණීය තාත්තට උපහාරයක්ම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩූඩ් අයියා. මම පවුලේ එකම එකා. මගේ සතුට වෙනුවෙන් තාත්තා සෑහෙන දේවල් කැපකළා. මට ඒ වෙනුවෙන් එයාට සලකන්න පුළුවන් වෙන්න කලිනුයි එයා නැතිවුණේ. ඒ වේදනාවට කවදාවත් විසඳුමක් නැහැ නේ. මට කරන්න පුළුවන් එකම දේ තමයි තව කෙනෙකුටත් මේක නොවෙන්න උපදෙස් දෙන එක. ඒ නිසා ඒ දවස්වල පාරේදී කවුරු හම්බවුණත් මම කිව්වා ෂුගර් ප්‍රෙෂර් චෙක් කරගන්න කියලා. තාත්තා නැතිවුණේ දීර්ඝ කාලයක් ෂුගර් සහ ප්‍රෙෂර් තිබිලා වකුගඩු අක්‍රීය වීමෙන්. එයා කවදාවත් එයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් අපි කියන දෙයක් කනකට ගත්තේ නැහැ. අන්තිමට අමාරු වෙද්දීත් මම දොස්තර ගාවට එක්කන් ගියේ බැනලා. ඒ නිසා මම හැමෝටම කියන්නේ අවුරුදු 40 පැනලා නම් අවුරුද්දකට දෙකකට වතාවක් වත් චෙක් කරගන්න කියලා. මයිනර් ප්‍රොජෙක්ට් එකේ ඇර අනික් හැම ප්‍රොජෙක්ට් එකකදීම එයාගේ දායකත්වයත් අඩු නැතුව ලැබුණා. ඒ නිසා මේවා ලියන හැම වාරෙකදිම මට එයාව මතක් වෙනවා... දවසක මේ ගැන මීට වඩා සීරියස් ලිපියක් ලියන්න මට ඕනේ. ඒත් ඒක perfect වෙන්න ඕන නිසා මම ඒක කල් දදා ඉන්නවා...

      Delete
  9. https://www.facebook.com/photo.php?fbid=2058793283122&set=a.1530723401705.2074611.1643358338&type=3&theater

    ReplyDelete
    Replies
    1. 2011 දී. උඹයි මායි අඳුරගෙනත් නැහැ එතකොට. ස්තූතියි බං...!

      Delete
  10. පත්තර මල්ලි,
    Where the hell are you?
    Dove diavolo sei?
    කෝ බං උඹ කොහේ මකබෑවිලාද?

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි දැන් 'අතුරුදන් වූ මාධ්‍යවේදියෙක්'. :D

      Delete
    2. ඊයෙ රෑ පොඩ්ඩක් වැඩිවෙලා අද ගෙදරින් එළියට බහින්න දෙන්නෑ කියල තමයි ආරංචිය. හැක්..

      Delete
    3. Bonfire වෙනුවට Hangover :D

      Delete
    4. හුරේ ... කොල්ල ආවා.ස්ටාෆ් එකේ බාගයක් වැකේෂන් ගියානෙ ඩූඩයියෙ.

      ප්‍රසන්න අයියට මං ගානෙ ලියාගන්ඩ තවුසන්ඩ්ටූ ඩුකාතියක් :D ගාන අවුලක් නෑ .හැක්

      Delete
    5. ඩූඩයියෙ.. ඕක සුද්ද ඉතාලියෙන් අහන්නෙ මේං මේම.. dove cazzo stai ??

      ඕං මං ඉගැන්නුවෙ නෑ :D

      Delete
  11. මටත් බයික් පදින්න බෑ, ලයිසන් නෑ බයික් පදින්න. ඒත් කාලයක් යාලුවෙක්ගෙ චැලියක් අරගෙන උඩවලව පැත්තෙ හිටං රවුං ගැහුව.

    ඒ උනාට පෝස්ට් එක රසවිඳින්න ඒක බාධාවක් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මටත් මාර ආසාවක් තියනවා චැලියක් පදින්න. ඔන්න ඒක ආයේ මතක් වුණා!

      Delete
  12. Site ගිහින් අපු ගමන් දැක්කේ , ගෙදර ගිහින් හරියට කියවන්න ඕනේ, තේකක් බොනගමන් , පිස්සු හැදෙනවා බන් ,මාර satutui. උඹට RIDING කියලදෙන්නම් , ඊට පස්සේ , අලුත්ම indian scout එකක් හරි Cheif කෙනෙක් හරි ගේමු, harley , iron 883, හරි 48 මොඩෙල් නම් මෙහෙන් ගන්නපුළුවන් , registration තම ඉතින් . මේක කියවල comment කරන්නම් ,

    ReplyDelete
    Replies
    1. හරි. බයික් එක ලෙවකාලා පෙට්‍රල් ටිකක් බීලා වරෙන්...

      Delete
  13. අන්තර්ජාලයේ සැරිසරද්දී දැකපු පැරණි මෝටර් බයිසිකල් තොරතුරු රැසක් සහ 1960 දශකයේ සිට මතකයේ තිබෙන තොරතුරු (මේ ලිපියේ සඳහන් කරුණු අනුව මා ඔබේ පියාටත් වඩා වැඩිමල්) අනුව ලිපියක් ලියන්න හිතාගෙන හිටියත්, අහම්බෙන් මේ ලිපිය දැකීමෙන් පසු ඒ අදහස අත්හැරියා. ඒ තොරතුරු ඔබවෙත එවන්නම් තවත් ලිපි ලියන්නට. wmjgslsr@gmail.com ලිපිනයට ඊ මේල් එකක් එව්වොත්, මට පුළුවන් ඒ තොරතුරු ඔබට දෙන්නට.

    ReplyDelete
    Replies
    1. කලකට ඉහතදී මම කාර් ගැන ලිපි පෙළක් ලිව්වා.

      මේ තියෙන්නේ ඒ ලිපි පෙළේ පළමුවැනි ලිපිය

      Delete
    2. විචාරක, තරිඳුගෙ ලිපිය ඒ ලියන්න හිතාගෙන හිටි ලිපියට බාදාවක් කරගන්න එපා. මමත් එහෙම කීපයක්ම ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා. නමුත් අපි එක එක්කෙනාට එකම දේ ගැන වුනත් කියන්න ඇති දේ එකම වෙන්න බැරි නිසා මම ඒක ලියනවා. ඉතිං විචාරකගෙ ලිපියත් ලියන්න. කියවන්න පාඨකයෝ ඉන්නවා.

      Delete
    3. ඩූඩ් ගේ කතාව හරි. කොහොමත් අනිවාර්යයෙන් අපේ styles දෙක වෙනස් වේවි. මේවා ගැන සිංහලෙන් ලිපි ලියවෙලා තියනවා ඉතාමත් අඩු නිසා පුළුවන් තරමක් අලුතින් ලියන එක හොඳ දෙයක්. අනික් අතට නාමමාත්‍රිකව බයික් ගැන දැනගෙන හිතේ ආසාවට මේවා ලියන මට වඩා කොහොමත් ඔබතුමාට අත්දැකීම් ඇති. ඒ නිසා ඒ ලිපි ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔබතුමාත් ලියන්න. අපි ආසයි කියවන්න...

      Delete
    4. ලියන්ඩ සෑර් ලියන්ඩ..

      Delete
    5. ඔබ සැමදෙනාටම ස්තුතියි. හොඳයි, ළඟදීම ලියන්නම්.

      Delete
  14. උබේ article 1ක් නම් අනර්ගයි. දෙපාරක්ම කියෙව්වා. හැබයි උඹ ඒකාලේ ආපු bike වලින් හොඳම දෙක හලලා. මම නම් ආසම 1949 VINCENT black shadow. එකට තිබ්බේ 998 cc (60.9 cu in) 50 degree OHV V-twin එන්ගිමක්. ඊටත් වැඩිය , 1949 mono-shock වගේ system 1ක් මේකට තිබ්බේ. දැන් ඉන්න උන් mono-shock කිය කියා , පදින්නේ දැන් උනත් . බලහන් ඒකාලේ technology. front telescopic forks, ඒ මදිවට 55 bhp (41 kW) @ 5,500 rpm. දුවනවා ඇති රිදෙන්න 1949 ත් . ආසම දේ තමයි bike 1ක් proportion , පුදුම balance design 1ක් , මටනම් මමකරන DESIGN වලට inspire වෙන්න පුළුවන් masterpeice 1ක් , මෙකෙ දිහා දවසක් උනත් එකදිගට බලහිටිය හැකි.

    නො 2. තම්යි ARIEL RED HUNTER එකට තිබ්බේ 250cc, 350cc and 500cc OHV two valve singles එන්ගිමක්, ඉතුරු විස්තර හොයාගන්නින් . මේවා තම real bikes. අලුත් ROYAL එන්ෆිඑල්ඩ් මොන ජරාවක්ද. අනික අලුත් bike ගැනත්, Harley ගැනත් ලයන්න කියල මම ඉල්ලනවා . ඊට කලිං මාත් එක්ක BUELL 1ක් වටයක් යමන් .

    ReplyDelete
    Replies
    1. සිරා ප්‍රතිචාරේ. අන්න ඔහොම වරෙන්! හැබැයි කරුණු දෙකක්. 1. 'ඒ කාලේ ආපු හොඳම බයික් දෙක' කියන එක උඹේ රීඩින් එක. ඒක අනික් එවුන්ට අදාළ නොවෙන්න පුළුවන්. මට අනුව ඒ කාලේ ආපු හොඳම කාර් එක ඔස්ටින් හීලි. ඕක කිව්වම සමහරු හිනාවෙනවා. ඉතිං, depends. 2. මම කතා කරන්නේ පොදුවේ Red Hunter රේන්ජ් එක ගැන නෙවි, Hunt Master එක ගැන. විකි එකෙන් එළියට ඇවිත් www.motorcyclespecs.co.za එකට දුවලා බලපන්. මම විස්තර ඩබල් චෙක් කළේ වින්ටේජ් මෝටර් සයිකල් මැග් එකකින්.

      Buell එකට සෙට් වෙන්න නම් මට ලොකු ඕන කමක් තියනවා. ඒ ගැන කතාකරන්න ඕන කමක් තිබ්බත් සදාචාරාත්මක හේතුවක් මත මට ඒක කතාකරන්න විදිහක් නැහැ. විස්තර අහන්න එපා!

      Delete
  15. හෙල්මට් එක අතේ එල්ලං සෙකන්ඩ් එකේ හ්ම්ම්ම්ම් ගාගෙන කොන්වන්ට් එකේ ගේට්ටුව ළඟිං යන සැප කාර් වල ගන්ඩ බෑ යකුනේ :D

    ReplyDelete
    Replies
    1. කොන්වන්ට් එකේ ගේට්ටුව පහුවුණාට පස්සේ දූවිල්ල, අවුව, ටිපර් කාරයේ, හරක් වගේ යථාර්ථයන් දිගින් දිගට මුලිච්චි වෙන එකනේ බං අවුල... :D

      Delete
    2. පත්තර මල්ලි, උඹ දැක්කද 1951 ඉන්ඩියන් චීෆ් බයික් එකේ පින්තූරෙ? ඒකෙ සිලින්ඩර් හෙඩ් දෙක දැක්කාම උඹට මොකක්ද හිතෙන්නෙ? මම ඉස්සර ඉඳන්ම 2stroke සහ 4stroke අඳුනගන්නෙ ඔය සිලින්ඩර් හෙඩ් එක දිහා බලලා. ඒක මගෙ ෂෝර්ට් කට් එකක්. මේ විදියට ‍ෆින්ස් තියෙන්නෙ 2 sroke වල සාමාන්‍යයෙන්. ඒ මොකද මේක ඇතුලෙ වෑල්ව් ටැපට් මොකුත් නැති නිසා. දැන් මේ පින්තූරෙ තියෙන එකෙන් ඒ තියරිය ඔක්කොම අවුල්. මේක 4 stroke ලු. මට තරිඳුවා කියන එක විස්වාස නැති හන්දා මම ජාලෙත් බැලුවා. 4stroke තමයි.
      උඹ මොකද කියන්නෙ. මට නම් හිතෙන්නෙ මේක සයිඩ් වෑල්ව් නිසා වෙන්න ඇති. ඔලුවෙ මොකුත් වැඩි යමක් නෑ.

      Delete
    3. 'තරිඳුවා ෂුවර් නැති නිසා'?. යකෝ ඩූඩ් අයියේ ළඟක හිටියනං අල්ලලා බ්ලීචින් දාලා සුදු කරනවා උඹව :D

      Delete
    4. සිලින්ඩර් හෙඩ් එක මෙහෙම හෙළුවෙං තියෙද්දි ෆෝ ස්ට්‍රොක් උනේ කොහොමදෑ ඩූඩයියෙ.එතකොට වෑල් ටැපට් කොයි ?? ඒකනෙ බං මාර සීන් එක කියන්නෙ..එක්කො බොරු කියල ටූ ස්ට්‍රොක් එකක් විකුනලද ?? :D

      Delete
    5. කොන්වන්ට් ගේට්ටුව පහු උනාම හෙණ ගැහුවත් මොකෑ තරිඳුවො :D අයිටම් එක නැමිලනේ.. හැක්

      Delete
    6. හෙන්රි හිතන හැටි හරි.ඔය බයිසිකලය 4 ස්ට්‍රෝක්. නමුත් සයිඩ් වෑල්ව්.එතකොට වෑල්ව් තියෙන්නේ එන්ජින් බ්ලොක් එකේම පැත්තක.කාර්යක්ෂමතාවය අඩුයි. ඔවර්හෙඩ් වෑල්ව් එන්ජින් වල විතරයි වෑල්ව් හෙඩ් එකේ සවිවෙන්නේ.
      https://en.wikipedia.org/wiki/File:Side-valve_engine_with_Ricardo%27s_turbulent_head_01.png

      Delete
  16. Awww…. My bonfire heart.

    Men and women with bonfire hearts and the two wheels, life under stars, no boundaries, long rides in fresh corn scent mean life is a journey. Liberty on two wheels proves life is no destination in a big big world. When there is the road leading you to unknown wonders, when you have nothing to lose, nothing to gain, so you live your life a quarter mile at a time. Custom made bikes and Harleys mean no ownership but companionship. Blissful unity of man and the machine on endless roads through mystery moors singing the songs of cowboys’ sad sad songs. Nice...

    ReplyDelete
    Replies
    1. You edited this! I need the full version. Your reply was way better than my post, so I need the full version of the reply...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Awww…. My bonfire heart.

      Men and women with bonfire hearts and the two wheels, life under stars, no boundaries, long rides in fresh corn scent mean life is a journey. Liberty on two wheels proves life is no destination in a big big world. When there is the road leading you to unknown wonders, when you have nothing to lose, nothing to gain, so you live your life a quarter mile at a time. Custom made bikes and Harleys mean no ownership but companionship. Blissful unity of man and the machine on endless roads through mystery moors singing the songs of cowboys’ sad sad songs. Nice...

      It was as though a piece of my heart torn apart burning in Texas isolation.
      Long

      time

      back...

      If only you knew how my heart laments secretly for the lost piece of my bonfire heart.

      One day if I gain all my might in one handful, I might pack what little I own in a suitcase and fly away. Because-
      People like us—we don’t
      Need that much, just some-
      One that starts,
      Starts the spark in our bonfire hearts



      Your blog post and the song reminisced something of long ago. It’s nice…

      Delete