Monday, August 29, 2016

ඒත් මොකෝ? මස්ටෑං නේ...


මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්... 

මස්ටෑං එක ගැන ලියන ලිපියක් මාලදිවයින කියන වචනයෙන් පටන් ගැනීම හරියට භාවනාව ගැන ලිපියක් සනී ලියෝන් කියන එකෙන් පටන් ගන්නවා වගේ වැඩක්. ඒ වුණාට කමක් නැහැ. ඇත්තම සිද්ධියක් මේ කියන්නේ. 

මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්... 

මාලදිවයිනේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක් වෙන චාමර දික්මාදුගොඩ වැඩ ඉවර වෙලා පාර දිගේ ඇවිදගෙන එනවා. චාමර කියන්නෙත් හොඳ කාර් පිස්සෙක්. එයා මෙහෙම එනකොට දකිනවා පාරේ රෙද්දකින් වහලා තියන කාර් එකක්. 

රෙදිවලින් වහලා දූවිලි වලින් බේරගත්තට කාර් පිස්සන්ගෙන් කාර් බේරගන්න ලැබෙන්නේ නැහැ. කාර් එකේ හැඩතල අර මොකෙන්ද බේරිලා පෙනුණා වගේ පේනකොට කාර් පිස්සන්ට ඉහිලුම් නැතුව යනවා (මම මේ භෝම පරිස්සමෙන් වචන තෝරාබේරාගෙන ලියන්නේ). ඉතිං අපේ චාමරටත් එහෙම ඉහිලුම් නැතුව ගියා. 

දැන් ඉතිං හිත කියන්නේ රෙද්ද උස්සන්න කියලමයි... 

ඒ වුණාට පිටරටකදී ගුටිකාලා නිවුස් එකක් වෙන්න බැරි නිසා චාමර හිත පාලනය කරගන්න උත්සාහ කරනවා. ඒ වුණාට හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි... 

කියන්නේ රෙද්ද උස්සන්න කියලමයි... 

ඉතිං ඔන්න ඔහේ ඕන &$ක් කියලා චාමර රෙද්ද පැත්තකින් උස්සනවා. චාමර හිතුවා හරියටම හරි. ඉදිච්චි ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රුවයි රහයි බේරෙන මස්ටෑං එකක්... 

ඉතිං ඕක එක මොහොතක් දෑහින් දැකලා ඊට පස්සේ රෙද්ද පහළ දාලා ස්ටාෆ් ක්වාටස් වලට ගිහිං ඕක මනසින් මවමවා ඉන්නවට වඩා ඕකේ ෆොටෝ එකක් ගන්න එක හොඳයි නේ. ඒ නිසා රෙද්ද කොනකින් උස්සගෙනම චාමර ෆොටෝ එකක් ගහනවා. මේ තියෙන්නේ ඒ ෆොටෝ එක. 


කාර් එකේ අයිතිකාරයා නොදනී. ෆොටෝ එකේ හිමිකම්- චාමර දික්මාදුගොඩ

ඉතිං ඕක තනියම රහ විඳලත් වැඩක් නැති නිසා චාමර ඒක කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකට එවුවා. ඒ පේජ් එකේ වැඩියෙන්ම ජනප්‍රිය ක්ලැසික් කාර්. ඒ නිසා ඕක මම ෂෙයා කළේ 'කාර් එක නම් අලුත්, මාලදිවයිනේ ඕක එලවන්න දිහාකුත් නැතුව ඇති, ඒත් මොකෝ, මස්ටෑං නේ!' කියලා. 

මේ 'ඒත් මොකෝ, මස්ටෑං නේ!' කතාව පටන්ගත්තේ ඊට කලින් මම ෂෙයා කරපු ක්ලැසික් මස්ටෑං එකක ෆොටෝ එකකින්. ලංකාවේ කාර් ෂෝ වල නිතර මතුවෙන ක්ලැසික් මස්ටෑං GT එකක් තියනවා. ඕක එක්තරා මාධ්‍ය ආයතනයක අයිතිකාරයෙක්ගේ කියලා තමයි කට්ටිය කිව්වේ. එක දවසක් එක්කෙනෙක් ඒ කාර් එකේ අවුරුදු 3 කට විතර කලින් ගත්තු ෆොටෝ එකක් එවුවා. ඒක මම ෂෙයා කළේ 'අවුරුදු 3 කට කලින් ගත්තු එකක්, ඒත් මොකෝ මස්ටෑං නේ!' කියලා. එතනින් එහාට පේජ් එකේ මස්ටෑං එකක් මතක් කරද්දී ඒක 'ඒත් මොකෝ මස්ටෑං නේ!' වුණා. 

මේ විදිහට කාලය දීපය දේශය කොලිටිය සහ එවපු එකා යන පස්මහ බැලුම් බලන්නේ නැතුව මස්ටෑං එකක් දැකපු ගමන් ඒත් මොකෝ මස්ටෑං නේ කියලා අපට කියවෙන්න ඇයි? 

ඒක දැනගන්න නම් අපි බලන්න ඕනේ පළවෙනි ජෙනරේෂන් එකේ මස්ටෑං එක දිහා... 

1960 දශකය වෙද්දී දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ඉපදුණු පරම්පරාව හෙමින් හෙමින් කාර් මිලදීගන්න වයසට එමින් තිබුණා. මේ පරම්පරාවට තමයි Baby Boomers ලා කියලා කියන්නේ. ලෝක යුද්ධයෙන් පස්සේ ළමයි ඉපදීම එක්තරා කාලයක් තුළ වේගයෙන් ඉහළ ගිය නිසා (මේකට පසුබිම සමාජ ආර්ථික තත්ත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි. අනං මනං එහෙම හිතන්න එපා ඔන්න) තමයි මේ පරම්පරාව ඒ නමින් හඳුන්වන්නේ. 

1930-1980 කාලයේ ඇමරිකාවේ උපත් අනුපාතය. මේක ගත්තේ mike guadini සයිට් එකෙන්. හයිලයිට් වෙලා තියෙන්නේ Baby Boomer පරම්පරාව.

දෙවෙනි ලෝක යුද්ධය කියන්නේ ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරපු දෙයක්. ඒක බොහොම දිග කතාවක් නිසා සහ ඒ ගැන ඕන තරම් විස්තර ලියවිලා තියන නිසා ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ. කොහොම වුණත් මේ පරම්පරාව අලුත් ලෝකයක උපන්න නිසා මේ අය ටිකක් වෙනස් දේවල් බලාපොරොත්තු වුණා. ඒ නිසා මේ මාකට් එකට හරියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න ෆෝඩ් සමාගම රීසර්ච් එකක් කළා. 

මස්ටෑං එක කියන්නේ ෆෝඩ් සමාගමට අහසින් පහළ වුණු අදහසක් නෙමෙයි. Chevrolet Corvair Monza වගේ වගේ සැහැල්ලු ස්පෝට් කාර් ඒ වෙනකොටත් මාකට් එකේ තිබ්බා. 1959 දී තමයි Monza මාකට් එකට ආවේ. මේකට තරගයක් දෙන්න සහ මේවගේ කාර් බලාපොරොත්තු වෙන මාකට් එක කොයි වගේද කියලා හරියට තේරුම් ගන්න තමයි ෆෝඩ් එක සමීක්ෂණයක් කළේ. 


ෆොටෝ එක ගත්තේ periodpaper වෙබ් සයිට් එකෙන්

මේ අලුතින් එන car buyers ලා ගතානුගතික කාර් වලට වඩා sporty පෙනුමක් තියන කාර් ගැන වැඩි උනන්දුවක් තියන බව මේ සමීක්ෂණයෙන් ෆෝඩ් එකට පෙනුණා. අද වගේම එදත් සාමාන්‍ය අදායමක් තිබුණු මිනිස්සුන්ට ෆෙරාරි වගේ සුපර් කාර් ගන්න වත්කමක් තිබුණේ නැහැ. ඉතිං එයාලට අඩුවට ගන්න 'දුප්පතාගේ ෆෙරාරියක්' හඳුන්වලා දෙන්න තමයි ෆෝඩ් එක කල්පනා කළේ. 

ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ අලුත් කස්ටමර්ස්ලා පරම්පරාව ඊට කලින් පරම්පරාවලට වඩා විධිමත් අධ්‍යාපනයක් ලබපු පරම්පරාවක් වීම. ඒ වෙනකොට ඇමරිකාවේ බොහෝ පිරිසක් උසස් අධ්‍යාපනය පැත්තට යොමුවෙලා හිටියා. ඒ නිසා ෆෝඩ් එකට කාර් විකුණන්න වෙලා තිබුණේ ලේසියෙන් අහුවෙන්නේ නැති පිරිසකට. 

අනික් කාරණාව තමයි මේ වෙද්දී ඇමරිකාවේ ආදායම ඉහළ යමින් තිබීම නිසා පවුල්වලට කාර් එකකට වඩා තිබීම. මේ අතරින් දෙවෙනි කාර් එක පාවිච්චි කරපු සෑහෙන පිරිසක් කාන්තාවෝ. ඒ නිසා අලුත් කාර් එකක් හඳුන්වලා දෙද්දී එයාල ගැනත් විශේෂ අවධානයක් යොමුකරන්න ෆෝඩ් එක තීරණය කළා. 

කොහොම වුණත් අති විශාල මාකට් එකක් පස්සේ එළවන්න ෆෝඩ් එකට අවශ්‍ය වුණේ නැහැ. ඒ දවස්වල මාකට් එක කියන්නේ හැමදේම නෙමෙයි. ඩිසයිනර්ස්ලට තමන්ට අවශ්‍ය දේ කරන්න සැලකිය යුතු නිදහසකුත් ඒ කාලේ තිබුණා. ෆෝඩ් එක කල්පනා කළේ ප්‍රමාණයෙන් පොඩි, ස්පෝර්ට්ස් ලුක් එකක් තියන, සාධාරණ ගානකට ගන්න පුළුවන් කාර් එකක් නිර්මාණය කරන එකයි. අවුරුද්දකට 100,000 ක් විකුණන එක තමයි එයාලගේ ටාගට් එක වුණේ. ඇමරිකාවේ හැටියට මේක ඉතාම පොඩි ගාණක්. 

ඒ වෙනකොට ෆෝඩ් එකේ සාමාන්‍යාධිකාරී වෙලා හිටියේ සුප්‍රසිද්ධ Lee Iacocca. එයා ෆෝඩ් එකේ ඩිසයින් ස්ටුඩියෝස් තුනට - ඒ කියන්නේ Ford, Lincoln-Mercury සහ Advanced Design - කිව්වා මේ කාරණා හිතේ තියාගෙන ඩිසයින් එකක් හදන්න කියලා. මේ තරගයෙන් දිනුවේ Lincoln-Mercury ස්ටුඩියෝ එක. කාර් එක කාන්තාවන්ට ආකර්ෂණීය වෙන්න, හැබැයි පිරිමින්ටත් ආසා හිතෙන්න නිර්මාණය කරපු බවත්, ෆෙරාරි සහ මසරාටි කාර් වල පෙනුමෙන් ආභාෂය ලබපු බවත් මේ ටීම් එකේ ප්‍රධානියා වුණු Joe Oros 2004 අවුරුද්දේදී දීපු ඉන්ටවිව් එකකදී කිව්වා. ඒ වගේම Lee Iacocca 2014 දී දීපු ඉන්ටර්විව් එකකදී කියලා තියනවා, Chevrolet Corvair Monza එකට තරගයක් දෙන්න කාර් එකක් ෆෝඩ් එකට නොතිබුණු එක ගැටලුවක් වුණා, ඒකත් මස්ටෑං එක සැලසුම් කරන්න එක හේතුවක් වුණා කියලා. 

1964 වෙනිදා පටන්ගත්තු New York World's Fair එකේදී තමයි මස්ටෑං එක මුලින්ම නිල වශයෙන් ප්‍රදර්ශනය කෙරුණේ. 1964 අප්‍රේල් 17වෙනිදා ඉඳන් සේල්ස් පටන්ගත්තා. මිල තීරණය කරලා තිබුණේ ඩොලර් 2,500 ටත් අඩුවෙන්. 

Lee Iacocca 1964 දී මස්ටෑං එක හඳුන්වලා දීපු අවස්ථාව. ෆොටෝ එක්ක ගත්තේ ඔටෝනිවුස් සයිට් එකෙන්.

කලිනුත් කිව්වා වගේ ෆෝඩ් එක හිතුවේ අවුරුද්දකට 100,000 ක් විතර විකුණන්න. හැබැයි මුල්ම දවසේ විතරක් ඕඩර්ස් 22,000 ක් විතර ආවලු. එතකොට තමයි ෆෝඩ් එකට තේරුණේ ඩබල් එකේ වැඩට නොබැස්සොත් අනාතයි කියලා... 

1965/66 කාලේ ආපු මස්ටෑං එකේ විස්තර මෙහෙමයි. මේ විස්තර ගත්තේ auto.howstuffworks වෙබ් සයිට් එකෙන්. 



1965/66 Ford Mustang එක:

මූලික විස්තර:
Wheelbase, inches: 108.0
Length, inches: 181.6
Curb-weight range, pounds: 2,445-2,800 (1965); 2,488-2,800 (1966)
Width, inches: 68.2

එන්ජින්::
I-6: 170 cubic inches; 101 horsepower
I-6: 200 cubic inches; 120 horsepower
V-8: 260 cubic inches; 164 horsepower
V-8: 289 cubic inches; 200-306 horsepower

ට්‍රාන්ස්මිෂන්:
Automatic: 3-speed
Manual: 3-speed, 4-speed


මිල:
මොඩ්ල් එක
1965
1966
Coupe, I-6
$2,372
$2,416
Coupe, V-8
$2,480
--
Convertible, I-6
$2,614
$2,653
Convertible, V-8
$2,722
--
Fastback, I-6
$2,589
$2,607
Fastback, V-8
$2,697
--
GT-350 fastback
$4,547
$4,428



ඉස්සරලාම මස්ටෑං එකක් ගත්තා කියලා වාර්තා වෙලා තියෙන්නේ ගේල් බ්‍රවුන් කියලා ස්කූල් ටීචර් කෙනෙක්. වැඩේ කියන්නේ සේල්ස් නිල වශයෙන් පටන් ගන්න දවස් දෙකකට කලින්, dealership එකකට කාර් එක ඇවිල්ලා තියෙද්දී, කොහොමහරි අප්‍රේල් 15 වෙනිදා මේ කාර් එක අරගන්න එයාට පුළුවන් වෙලා තියනවා. ඊට අවුරුදු 50 කට විතර පස්සේ එයා එයාගේ සැමියා එක්ක එකතු වෙලා මේ කාර් එක මුල ඉඳන්ම අපහු හැදුවා. මේ ගැන ලස්සන වාර්තා වැඩසටහනකුත් මම බලලා තියනවා. මම හිතන්නේ Nat Geo එකේ. ගේල් සහ එයාගේ මස්ටෑං එක ගැන පොඩි පොඩි විස්තර ටිකක් නම් YouTube එකෙන් හොයාගන්න පුළුවන්.


ගේල් බ්‍රවුන් restore කරපු මස්ටෑං එකත් එක්ක. ෆොටෝ එක claasiccarlabs සයිට් එකෙන්.
ඉස්සරලම මාකට් එකට ආවේ Hardtop සහ Convertible කියන බොඩි ස්ටයිල්ස් දෙක. ජූනි මාසේ වෙද්දී Fastback එක ආවා. 


ෆොටෝ එක ගත්තේ timetoast සයිට් එකෙන්.

1964 අවුරුද්දේ ආපු Goldfinger කියන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියෙත් මස්ටෑං එකක් තියනවා. එතනින් තමයි චිත්‍රපටිවලට මස්ටෑං එන්න ගත්තේ. ඒ වගේම අනික් අතට ඒක මස්ටෑං එක ජනප්‍රිය වෙන්නත් ප්‍රධාන හේතුවක් වුණා. හැබැයි මස්ටෑං චිත්‍රපටි අතරින් වැඩියෙන්ම ජනප්‍රිය චිත්‍රපටිය වුණේ සුප්‍රසිද්ධ Steve McQueen රඟපාපු Bullitt කියන ෆිල්ම් එක. Steve McQueen කියන්නේ සුපිරි තරු අතර සුපිරිම තරුවක් නිසා සහ කාර් එක්කම ජීවත් වුණු කෙනෙක් නිසා, එයාට ජැක් එක ගහපු එකෙන් මස්ටෑං එකටත් පාඩුවක් වුණේ නැහැ. අදටත් සීරියස් මස්ටෑං ලෝලීන්ට Steve McQueen වත්, සීරියස් Steve McQueen ලෝලීන්ට මස්ටෑං එකත් නිතර දෙවේලේ මතක් වෙනවා.

1965 අප්‍රේල් 7 වෙනිදා වෙද්දී මස්ටෑං කාර් 418,812 ක් විකිණිලා තිබුණා. ඒ වෙද්දී කිසිම අලුත් කාර් මොඩ්ල් එකක් අවුරුද්දක් ඇතුළත ඒ තරම් විකිණිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒක වාර්තාවක් වුණා. 1966 වෙද්දී විකිණිලා තිබුණු මස්ටෑං ගාන මිලියනයකටත් වැඩියි



- මතු සම්බන්ධයි- 

(දෙවෙනි කොටසින් අපි ෂෙල්බි මස්ටෑං එක ඇතුළුව මස්ටෑං පළවෙනි ජෙනරේෂන් එකේ විශේෂ මොඩ්ල්ස්, ඉන්ධන අර්බුදය වගේ ගැටලු නිසා පළවෙනි ජෙනරේෂන් එකේ මස්ටෑං එක පෙන්ෂන් යවන්න සිද්ධ වීම සහ මස්ටෑං එක නිසා ඇතිවුණු සමාජ සංස්කෘතික රැලි ගැන කතාකරමු).

Thursday, August 11, 2016

මින්ක්ස් එක රනිං වුණාට මීයා මළේ අනූපහේ




හිල්මන් ගැන ආපහු මතක් වුණේ අපේ ඉන්දික සිරිමාන්න හෙවත් මරිසිපාලයා නිසා...

ඉන්දික කියන්නේ කාර් පිස්සුව බ්ලොග් එක පටන්ගන්න කලින් විතරක් නෙමෙයි, මට කාර් පිස්සුව තදට හැදෙන්නත් කලින් ඉඳන් මට උදවු පදවු කරපු හොඳ යාළුවෙක්. මට මතක හැටියට කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක මුලින්ම ලයික් කරපු හතර පස් දෙනාගෙන් එකෙක් තමා ඌ. දවසක් උදේ ඌ මට කාර් එකක ෆොටෝ එකක් ඉන්බොක්ස් කරලා ඒක මොකක්ද කියලා ඇහුවා. මගේ ඇස් දෙක ගිහිං ස්ක්‍රීන් එකේ ඇලුණා.

"හිල්මන් ඇවෙන්ජර් එකක් *&%##" (අන්තිම වචනේ ලාංකිකයෝ 'අම්මෝ' සහ 'ඌයි' කියන තරමට පාවිච්චි කරන වචනයක්. ඒ වුණාට ඒක මෙතන ලියන්න විදිහක් නැහැ).



හිල්මන් ඇවෙන්ජර් එකටවත් හිල්මන් හන්ටර් එකටවත් ලංකාව ඇතුළේ එහෙමට ලොකු මාකට් එකක් නැති බව රහසක් නෙමෙයි. කවුරුත් 'ටහිකේ හිල්මන් ඇවෙන්ජර් එකක් නේද?' කියලා ක්ලැසික් කාර් සර්ච් පේජ් එක ඇතුළේ හෝ කාර් පිස්සුව පේජ් එක ඇතුළේ කමෙන්ට් එකක් දාන්නේ නැහැ. ඒවා ඇතුළේ පළවෙන හිල්මන් හන්ටර්/ඇවෙන්ජර් පින්තූර යන්තම් ලයික් තිහක් තිස්පහක් ඇවිල්ලා ෆේස්බුක් එකේ සර්වර් ඇතුළේ තියන කළු කුහරයකට ඇදිලා ගිහින් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියන චක්‍රාවාටයකට විසිවෙලා ගිහින් අතුරුදන් වෙනවා.

හැබැයි හිල්මන් මින්ක්ස් එක එහෙමම නෙමෙයි.

මම අනිත් අය මේකට කැමතිද, නැද්ද, මේකට පාට්ස් තියනවද නැද්ද වගේ දේවල් කතා නොකර ඉන්නං. මොකද දවස පුරා කට්ටිය මේවා ගැන කතාවෙනවා මම දකිනවා. මේකට ලැබෙන සරල ප්‍රතිචාර තමයි 'මින්ක්ස් එකට පාට්ස් නෑ සහෝ', 'ඔයින් එකක් තිබුණා අපේ එහා ගෙදර, හැමදාම තල්ලු කරනවා', 'අපේ බාප්පාගේ පුතාට එකක් තියනවා, තෙල් වැඩකරන්නේ හතරයි' වගේ දේවල්. මට ඕවා ඇහෙනකොට කොමෙන්ටුවක් මුවහත් තියාගෙන ගිහින් පෝස්ට් එක පාමුලට පැනලා අඩෝ කියලා වනන්න හිතෙනවා. ඒත් ඊට පස්සේ අනුන්ගේ කජුවල පුහුලන් හයිකරන්න යන්නේ මක්කටෙයි කියලා අමාරුවෙන් වේරලියද්ද වගේ දුක තද කරන් මහමෙර තරම් වෝල් එකේ පහළට රූටනවා.

හිල්මන් මින්ක්ස් එකත් එක්ක මගේ තියන on again off again ලවු එක ෆ්‍රෙන්ඩ්ස් එකේ රොස් ගෙයි රේචල් ගෙයි ලවු එකට හපන්.

හැබැයි තාමත් මින්ක්ස් එක ප්ලේන් එකෙන් බැස්සේ නෑ (මේ කොටස ෆ්‍රෙන්ඩ්ස් ලෝලීන්ට විතරයි තේරෙන්නේ. අනික් අයට තේරෙන බාසාවෙන් කියනවා නම් මට තාම හිල්මන් මින්ක්ස් එකක් ගන්න හේතු වාසනා පොජ්ජක් මන්දෝ වුණේ නෑ).



කාලෙකට කලින් මට ආරංචියක් ආවා ගාලු පාර අසබඩ ගාල්ල මාතර තංගල්ල බස්වල අජිත් මුතුකුමාරණගේ බෙලෙක් කටහඬ ඇහෙන මානේ මින්ක්ස් එකක් ඔහේ නිදිකුම්බා යායක් මැද්දෑවේ අකලට මහලු වෙමින් තියනවා කියලා. ඉතිං මං තකහනියක් ගියා බලන්න.

බැලින්නං ඒක ෆෝඩ් කොන්සල් එකක්.

කාර් එක පුරාම නෑනාගේ කරේ ගෝමර ඉහිලා වගේ පෙතිපෙති රටාවට මලකඩ. ස්ටියරින් වීල් එකේ මකුළුවෝ ආර්ට් එක්සිබිෂන් තියලා. ගියර් නොබ් එක මොකෙක් හරි එකෙක් මොකක් හරි එකකට ගලවන් ගිහිං. ෆ්ලෝබෝඩ් එක ගාවට ඔලුව නමලා හයියෙන් 'ෆ්ලෝබෝඩ්' කිව්වා නං ෆ්ලෝබෝඩ් එක ක්‍රැක් සිරිසිරි ගාලා බිමට වැටෙනවා. වහලෙට සුලැඟිල්ලෙන් ඇන්නා නම් හාඩ් ටොප් කාර් එක කන්වර්ටිබල් වෙනවා. දොරවල් හතර මූ හවසට ගලෝලා රෑ එළිවෙනකල් මූදේ දාලා තියලා උදේට හයිකරනවද කොහෙද. කැළණි ටයර් හතර කැලණියටත් වඩා පරණ පාටයි. ඉස්සරහ ග්‍රිල් එක අස්සෙන් බැලුවම එන්ජින් බේ එක පෙනුණේ විශේෂ ජෛව විවිධත්ව කලාපයක් වගේ. 



ඒ දවස්වල අපේ ටින්කරින් බුවාට වැඩ අඩුයි. ඉතිං ඌ මගේ ඔළුවට දාලා තිබුණේ ඕන මලකඩ ගොඩක් ඊයේ නැවෙන් බෑවා වගේ හදන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මළගෙවල් අරන් විකුණන බිරන්තට්ටුවාගේ ගෙදර මිදුලට ගිහින් බෙල් ගහලා, කෑ ගහලා, ටක ගහලා, අලිවෙඩි ගහලා, හූත් කියලා කොහොම හරි ඌව ගෙයින් එළියට ගත්තා (මම දන්නේ නෑ උඹ මොනවා කරකර හිටියද කියන්න. මොනවා හරි මැදින් නවත්තලා එන්න වුණා නං සමාවෙයන්). මම උගෙන් කොන්සල් එක ගැන ඇහුවා.

ඌ කියපු ගානට මට කොන්සල් එකක් නෙමෙයි කොන්සල් කෙනෙක් සල්ලිවලට ගන්න තිබ්බා.

මම ඉතිං ඌට කොන්සල් එකත් අරං කාමරේට පලයන් කියලා හිතින් කියලා බස් එකක එල්ලිලා ආපහු ආවා.

ඒත් මින්ක්ස් ගැන තිබුණු මෙව්වා එක මගේ හිතෙන් ගියේ නැහැ. එකපාරක් මෝටර් මැගසින් එකක මොකක් හරි ට්‍රැක් ඩේ එකක් ගැන හරි මෝටර් ස්පෝට් ඉවෙන්ට් එකක් ගැන හරි පොඩි ලිපියක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම ක්ලැසික් කාර් ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ. තව ක්ලැසික් කාර් කීපයක් එක්ක ඒකෙ මින්ක්ස් එකක ෆොටෝ එකකුත් දාලා තිබුණා. අනික් කාර් ගැන හොට් කැප්ෂන්ස් දාලා තිබුණට මට මතක හැටියට මින්ක්ස් එකට දාලා තිබුණේ නිකං 'මේන් මේකත් තිබ්බලු' කියලා වහෙන් ඔරෝ කියනවා වගේ කැප්ෂන් එකක්. අනික් ඒවා එක්ක සංසන්දනය කරනකොට ඒක මහලොකු වටිනාකමක් තියන කාර් එකක් නෙමෙයි කියලා කියන්න බැරි කමට ඔහොම දෙලොවක් අතර කැප්ෂන් කට්ටක් දැම්මා කියලා තමයි මට හිතුණේ. හැබැයි ඒකෙන් වුණේ මින්ක්ස් එක ගැන මගේ හිතේ තිබුණු අර 'කෙදිනද කූඩු හදන්නට එන්නේ' ලවු එක ආපහු ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් වෙනවා වගේ කැරකිලා ස්ටාට් වෙච්චි එක විතරයි.


ඔහොම සැලකිය යුතු කාලෙකට පස්සේ මට ළඟ ගමන් බිමන් වලට ත්‍රීවීල් එකක් තියන හාදයෙක් සෙට් වුණා. මිනිහා මම උපන් දා ඉඳන් මේ දක්වා අඳුරන මිනිස්සු අතරින් හොඳම හදවතක් තියන මිනිහෙක්. පොරගේ නම කපිල. මම මෙහෙම 'මින්ක්සියාව' කියලා රෝගෙකින් වරින්වර පෙළෙනවා කියලා දැනගත්තම මිනිහා ටිකක් වටපිට රටතොට කොටකොට මින්ක්ස් හොයන්න පටන් ගත්තා.

දවසක් පොර මට කෝල් එකක් දීලා කිවුවා අපේ ගෙදර ඉඳන් වීල් එකේ වෙට්ටු දෙකක් දාන දුරකින් මින්ක්ස් එකක් විකුණන්න දාලා තියනවා කියලා.

ඉඩක් පෑදුණු ගමන් මම කපිලට එන්න කියලා මින්ක්ස් එක බලන්න ගියා. ඒක ටිකක් පරණ ගෙයක්. ඇන්ටික් බඩු බිස්නස් එක තමයි එයාලා කරන්නේ. වටේ තිබුණු පරණ උළුවහු මිරිස්ගල් පඩික්කම් කරත්ත රෝද සේසත් නිලමේ හැට්ට සබුක්කු පඤ්ඤං ටික දැක්ක ගමන් මට තේරුණා මින්ක්ස් එකට මුන් රාජසිංහ රජ්ජුරුවන්ගේ රොලෙක්ස් ඔරලෝසුව තරං ගාණක් ඉල්ලයි කියලා.


සේල් එකේ අයිතිකාරයා ඒ වෙලාවේ හිටියේ නැහැ. ඒ වෙනුවට හොඳ සීසන් කරුපයියලා දෙන්නෙක් හිටියා. හැබැයි උන් අපට නිදහසේ කාර් එක බලන්න දුන්නා. අර කොන්සල් එක වගේ නළලේ කුරුසයක් ඇඳගෙන බිම බලාගෙන ආපහු හැරෙන්න ඕන මට්ටමට නං කාර් එක දිරලා තිබ්බේ නැහැ. හැබැයි ඒක කතා දෙකක් නැතුව අවුරුද්දක හමාරක ප්‍රොජෙක්ට් එකක් දාන්න සිද්ධ වෙන බව බැලු බැල්මට මට තේරුණා. ඉස්සරලා නිකමට වාහනේ ඇතුළේ ඉඳගෙන බලන්න හිතුවත් සීට් එක අතගාල බැලුවම අර ක්‍රිස්තු වර්ෂ හැත්තෑ නමයේ පොම්පෙයි ගිනි කන්ද පුපුරපු දවසේ ඇවිල්ලා තැම්පත් වුණු අළු දූවිලි කිලෝ එකයි ග්‍රෑම් හත්සිය පනහක් විතර මගේ අතේ ගෑවුණා. ඒ නිසා මම වාහනේට නගින්නේ නැතුව ගිහිං විස්තර අහන්න පටන්ගත්තා.

"ස්ටාට් කරාන්න නං මාතියා එනකල් ඉන්ඩ ඕනා. යතුර අපි ගාව නේ.." (නේ කිවුවේ නෑ කියන එක). එකෙක් කිව්වා.

මගේ මූණ අඳුරු වුණු බව අනික් එකාට තේරුණා. ඌ වහාම රැජිනි කාන්ත් වගේ කතාව මැද්දට පැන්නා.

"ඒ වුණාට සුපර් රනින්. මාතියා ඊයෙත් රවුමක් දුවලා තමා ආවේ..." පොර කිව්වා.

ඒක ඇහුවම මට බොනට් එක ඇරලා බලන්න හිතුණා. කපිලටත් එහෙම හිතෙන්න ඇති. පොර ගිහින් බොනට් එක යට අතගාලා බැලුවා.බොකොස් ගාගෙන බොනට් එක අරුණා. කූර තියලා බොනට් එක හිටෙව්වට පස්සේ අපිට පෙනුණා එයාර් ෆිල්ටර් එක උඩ සහ තවත් ඒ ආසන්නයේ තැනක දෙකක සුදුපාට මොනවද දෙයක් තියන බව. මම අල්ලන්න එපා කියද්දී කපිල එයින් කෑල්ලක් අතට ගත්තා. අරගෙන හිනාවෙලා එක කරුපයියෙක් දිහාට හැරුණා.

"මින්ක්ස් එක රනිං වුණාට මල්ලි මීයා මැරිලා තියෙන්නේ අනූපහේ විතර..."

බැලින්නං ඒ තිබිලා තියෙන්නේ මීයෙකුගේ ඇටසැකිල්ලක කෑලි. ඒවා  තිබුණු හැටියට වාහනේ දුවද්දීත් ඒවා එහෙමම තියෙන්න නම් කවුරුහරි සුපර්ග්ලූ දාලා අලවලා තියෙන්න ඕනා. නැත්නම් මීයගේ හොල්මන වාහනේ එලෝන එකාට මී හොල්මන් බාසාවෙන් බැනබැන ඕක අල්ලගෙන ඉන්න ඕනා. එහෙමත් නැත්තං කරුපයියලාට හොරෙන් එදා වවුලොත් නිදන හිමිදිරියේ කවුරු හරි සුප්පයියෙක් තාප්පෙන් පැනලා ඇවිත් ඒවා බොනට් එක ඇතුළට දාලා යන්න ඕනා...

කපිලයි මායි ආපහු එන ගමන් සංසාරය, අනිත්‍යය සහ කරුපයියලාගේ දෙමව්පියෝ මෙනෙහි කරකර ආවා.

ඔය සිද්ධිය වෙලා දැන් අවුරුද්දක් විතර ඇති...

ඊට පස්සේ මට යන්න පුළුවන් දුරකින් තියන මින්ක්ස් එකක් ගැන ආරංචියක් ආවේ නැහැ. මයිනර් එක ගත්තු නිසා මම ඒ ගැන එච්චර උනන්දු වුණෙත් නෑ. හැබැයි තව ටික දවසකින් සමහර විට ආයෙත් මං මින්ක්ස් හොයන්න යාවි. එදාට මට අර අතුරුදන් වෙච්චි MH370 මැලේසියන් ප්ලේන් එක බොනට් එක යට තිබිලා හම්බවුණොත් මම පුදුම වෙන්නේ නෑ...


www.facebook.com/CarPissuwa



Saturday, August 6, 2016

දයාබර සඳු... ලාන්සරේ දුන්නා...



2016.08.05

දයාබර සඳු...

ලාන්සරේ දෙන්න වුණා...

අද ඊයේ නෙවෙයි. දැන් ටිකක් කල්. ඒත් හැරිලා බලද්දී හිතාගන්න බැහැ මම ඒක දෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා.

අපේ සම්බන්ධෙ කැඩිලා ගිහින් මේ අවුරුද්දට අවුරුදු 8 ක්. අපි යාළුවෙලා හිටියා අවුරුදු 8 ක්. එතකොට අපේ කතාවට අවුරුදු 16 යි. ඒ කියන්නේ අපේ ජීවිතවලින් හරියටම භාගයයි.

අපි ඔය ලාන්සරේ ලංකාව වටේ ගියේ නැති එක ඇත්ත. ඒත් ඔයයි මමයි ඕකෙ කී තැනක යන්න ඇද්ද! දන්න කෙනෙක් ගේ මූණත්තහඩුව වගේ මූණත්තහඩුවක් තියන කෙනෙක් දැක්කත් ඔයා කී පාරක් දොර බෝඩ් අස්සේ ඔලුව හංගගන්න ඇද්ද! දන්න කෙනෙක්ගේ කාර් එකක් වගේ එකක් පිටිපස්සෙන් එනව කියල ඔයා කිව්වම මම ටොයෝටා කීයක් එක්ක රේස් යන්න ඇද්ද! අතුරු පාරවල් කීයක හැංගෙන්න ඇද්ද! පොල් ගස් කීයක් මගඇරලා සල් ගස් කීයක් යට පාක් කරන්න ඇද්ද!

අපි යාලු වෙනකොට දාසයයි නිසා මට ලයිසන් තිබුණේ නෑ. අඩුගානේ මට කාර් පිස්සුව තිබුණෙත් නෑ. එතකොට මම හිතුවේ කවදාහරි රස්සාවක් කරන කාලෙක පර්ජෝ එකක් ගන්න පුළුවන් වුණොත් කොච්චර දෙයක්ද කියලා. පරණ ඒවා නෙමෙයි. එතකොට 406. මට මතකයි මම හීන දැක්කා, කවදාහරි දවසක කාර් මාර්ට් එකේ ෂෝරූම් එකටම ගිහිල්ලා නිල් පාට 406 එකක් අතගාලා බලලා එක්සෙකටිව් මොඩ්ල් එකක්ම ඕඩර් කරන්න. ඒත් එතකොට මට ලෝකේ ගැන එච්චර අවබෝධයක් තිබ්බේ නෑ නේ සඳු. ඕ ලෙවල් පාස් වෙලා ගෙදරින් මැත්ස් කරන්න කියද්දී ගෙදරත් එක්ක වලි දාගෙන ආර්ට්ස් කරන්න ගියපු එකෙකුට කොහෙද ලෝකේ ගැන තේරෙන්නේ.

(ඒ කාලේ ඔයා මට කෙමිස්ට්‍රි පන්තිත් හෙවුවා වගේ මතකයි. එක්කෝ ෆිසික්ස් වෙන්න ඇති. ඔයාගේ පන්තියටම මාව ගෙන්නගන්නත් හැදුවා. මට අද ඒ ගැන තියෙන්නේ mixed feelings. නමුත් මාව හදන්න බෑ කියලා දැනගත්තම ඔයා ගේම අතඇරියා. ඒකට ස්තූතියි).

අන්තිමට මං අර කෝස් කළා, මේ කෝස් කළා, සංගීතේ කළා, ජිම් ගියා, අරවා කළා, මේවා කළා. මාව හොයාගන්න බැරුව මම හතර අතේ ගියා.

සමහර විට මට තාමත් මාව හම්බවෙලා නැතුව ඇති...

ලාන්සරේ ගත්තෙත් තාත්තගේ සල්ලි වලින්. ඒක 1980 හදපු ලාන්සර් එකක් නේ. ඔයා ඒක දැක්කේ සෑහෙන කාලෙකට පස්සේ. මොකද මට ඕක හරියට පුරුදුවෙන්න සෑහෙන කාලයක් ගියා. මයුර ලර්නර්ස් එකේ මරුටියෙන් අත හුරුකරගත්තු මට ලාන්සරේ ගත්තම දැනුණේ නිකං බොල්ගොඩ වැවේ හිච්චි ඔරු පැදලා බේරුවලින් බහුදින ධීවර යාත්‍රාවක් එළවන්න ගත්තා වගේ. මට මතකයි මම ඉස්සරලාම ඕක ටවුමට අරන් ගිය දවස. මම ගියේ ගැහි ගැහි. මට මතක හැටියට මම ගියේ බැංකුවෙන් සල්ලි වගයක් ගන්නද කොහෙද. බැංකුවට එහායින් අතුරු පාරක වාහනේ නවත්තලා මම මැෂින් එක ගාවට ගියා. වාහනේ නතර කරලා තිබුණේ කාණුවේ ඉඳන් බල්ලෝ තුන් දෙනෙකුට නිදහසේ පොරකන්න තරම් දුරකින්. ඇති මිනිස්සු බැන්නේ නැතුවා!

ඒ දවස්වල අපේ ගෙදර එහාපැත්තෙ තාප්පේ තිබුණේ නැහැ. ඒක සුනාමියට කැඩිලා ගියා නේ. මම ඉස්සරලාම වාහනේ තනියම ගෙනියන්න කියලා වාහනේට නැග්ග දවසේ එහා වත්තේ මොකක් හරි උත්සවයක් තිබුණා. නැත්තං නෑදෑයෝ ඇවිල්ලා ඉන්න ඇති. මම වාහනේට නගින්න එද්දී ඒ වත්තේ හිටපු ලස්සන කෙල්ලෙක් ලා හිනාවක් එක්ක මගේ දිහා බලං හිටියා. මම මගේ ලාන්සර් කට්ටට නැග්ගේ නිකන් රිචඩ් හැමන්ඩ් (ඔයා දන්නේ නෑ ඌව. ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන, කොට සුද්දෙක්) පගානි එකකට (ඒකත් දන්නේ නෑ ඔයා. ඉතාලි මනුස්සයෙක්ගේ ෆැක්ටරියක හදන කාර් එකක්) නගිනවා වගේ. සමහර විට මගේ හිතේ ඩ්‍රයිවින් සම්බන්ධයෙන් ඇතිවුණු පළවෙනි පොරත්ව හැඟීම ඒක වෙන්න ඇති.

ඔය කතාව මම ඔයාට කිව්වේ නැහැ. ඔයා එච්චර ඊරිසියා ටයිප් නොවුණු එක ඇත්ත. ඒ වුණාට ඒක මහා සිඟිති ආතල් එකක් කියලා ඕන කෙනෙකුට හිතෙන දෙයක්. දැන් ලියපු එකත් මට නිකං බොළඳයි බොළඳයි වගේ හිතෙනවා. ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒක ඩිලීට් කරන්න හිත දෙන්නේ නැහැ. 

අන්තිමට කොහොම කොහම හරි වාහනේ නිකං තිබිලා දිරුම් ටිකක් එහෙම එන්න ගත්තා. එතකොට තමයි මම අර හේමචන්ද්‍ර කියන බූරුවා ගාවට වාහනේ අරං ගියේ. අන්තිමට වාහනේ ආපහු ගන්න මාස ගාණක් ගියා.  එතකොට තමයි මම ගරාජ් රස්සාවේ ඉන්න හාදයෝ එක්ක බජනෙට වැටුණේ. එතනින් තමයි මම මලකඩ රහ වැටුණේ. ඔයා දැන් උන්ට සාප කරයි. ඒත් ඔයාට ඒ කරුමෙට කරගහන්න වුණේ නැහැ ඔයාගේ වාසනාවට. ඔයා රට ගියේ මගේ ලෝකෙට රජ ඉබ්බෝ එන්න කලින්.

වාහනේ හදලා ගත්තට පස්සේ භාණ්ඩේ මට හොඳට හුරු වුණා. ඒ දවස් වල ඔයා මම කරන බහුබූත වැඩ ගැන ටිකක් ලැජ්ජයි නේ ඉතිං. 'මමත් පොරක් තමා' කියන්න ගත්තු වාහනේට අන්තිමට මම ටික ටික ආදරේ කරන්න පටන් ගත්තා. එතකොට තමයි අපි දෙන්නා ඕකෙ රවුම් ගහන්න ගත්තේ. මතකද ඔයා කිව්වා ඔයාට ඒ.සී නැතුව යන්න බෑ ඕකෙ කියලා? අන්තිමට මම ඒ.සී හැදුවා. ඒ දවස්වල ඒකට දහදාහක් ගියා. ඒ කාලේ මාස තුනකටවත් මගේ අතට එච්චර ගාණක් ආවේ නැද්ද කොහෙද. අන්තිමට මූණ අයිස් පලම වගේ අතපය චිකන් පාට්ස් වගේ සීතල වෙන්න පුළුවන් වෙන්න මම ඒකෙ ඒ.සී එකත් හදාගත්තා නන්දන අයියට කියලා.

ඔයා දන්නේ නෑ. පස්සේ කාලෙක ඕකෙ පිටිපස්සේ දිරුමක් ආවා.  (ඔයා කියයි ඔයාට මතක ඕකෙ හැමතැනම දිරුම් තිබුණා වගේ කියලා. ඔයා හිතුවේ මට ලාන්සරේ විකුණලා අලුත් ටොයෝටා කාර් එකකට යන්න ඕන කමක් නෑ කියලා. හරියට අර මම ගේ හදාගන්න උනන්දු නෑ කියලා කිව්වා වගේ. ටොයෝටා නෙමෙයි සඳු, මම පුළුවන් වුණා නම් පර්ජෝ එකක් ගන්නවා. ඒත් සල්ලි තිබ්බේ නෑ. ඒ දවස් වලත් අද වගේම වාහන හරි ගණන්). එතකොටත් ඔයා රට ගිහින්. ඕක හදන්න කියලා තමයි මම අර මගේ යාලු පිට් එකට හිටපු 'අයියව' අරන් ආවේ. ඌ උගේ ගෝලයව එක්කං ආවා එස්ටිමෙට් එකක් දෙන්නන් කියලා. අන්තිමට ඩිකියේ දිරුමක් හදන්න අපොල්ස්ට්‍රි ගලවන්නේ ඇයි කියලා අහද්දී නෑහුණා වගේ ඉඳන් ඌ මුළු වාහනේම ගැලෙව්වා. අන්තිමට ඌ වාහනේ හදන්න එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවා. මට මතකයි ඉස්සර ඔයා කිව්වා වගේ, ඌට වාහන හදන්න දෙන්න එපා කියලා. මම ඇහුවේ නෑ සඳු. අනික් හැමදේම වගේ ඕකත් මම කනකට ගත්තේ නෑ.

ඔය පස්සේ වෙච්චි දේවල් වැඩක් නැහැ. මට මතකයි ඔයත් එක්ක ඕකේ ගිය අන්තිම රවුම. ඔයාගේ යාලුවෝ දෙන්නෙකුත් දාගෙන අපි මීගමුව පැත්තේ බීච් එකකට ගියේ. ඔයාට රට යන්න සෙට් වෙලා කියපු දවසේ ඉඳන් මම හෝන්දු මාන්දු වෙලා හිටියේ. ඔය ට්‍රිප් එක මට මතක නිකං හරියට කොළ ගැලවිච්චි රුසියන් කෙටිකතා ගොඩක් වගේ. සංකීර්ණ සිදුවීම් ගොඩක් පටන්ගන්නවා. අන්තිමට ඒ සිදුවීම් වලට කිසිම සම්බන්ධයක් නැති සිදුවීම් ගොඩක් සිද්ධ වෙනවා. තේරුම් ගන්න බැරි අවසානයක් එක්ක හැම සිද්ධියක්ම ලෙර්මන්තව් ගේ කවියක් වගේ අවසන් වෙනවා. ආපහු එනකොට මහා වැස්සක් වැටුණා වත්තල හරියෙදි. වීදුරුවෙන් මොකුත්ම පෙන්නේ නැතුව ගිය නිසා මම කාර් එක අයිනකට කරලා නැවැත්තුවා. ඔයාට මතකද? අපි හතර දෙනාගෙන් කවුරුවත් අනාගතය ගැන කතා කළේ නෑ. අතීතය ගැන කතා කළෙත් නෑ.

ගමන යද්දී එද්දී සචින්තයා මගෙන් දෙතුන් පාරක් ඇහුවා 'කාර් එක මම ඩ්‍රයිව් කරන්නද?' කියලා. මම නෑ මචං, ඕනේ නෑ කියලා නිකං හිටියා. එතකොට මම කාර් වලට ආදරේ කරනවා කියන එක ගැන මෙච්චර සීරියස් නැහැ. හැබැයි මගේ හිතේ ලාන්සරේ ගැන ආදරේ ටිකක් තදට ඇතිවෙලා තිබුණා. ඒ නිසා ඔයත් එක්ක ලංකාවේ රවුමක් යන අන්තිම වතාව වුණත්, ඌට වීල් එක දීලා ඔයත් එක්ක පිටිපස්සේ සීට් එකට යන්න මට හිත හදාගන්න බැරිවෙන්න ඇති. අනික් අතට 'අවසානයි' කියලා වැටෙන්න නියමිත කතාවල් වලට 'මතු සම්බන්ධයි' කියලා උඩින් ටයිප් කරන්න මට හැකියාවක් නැති බව මම දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ආයෙ ආයෙ අන්තිම පරිච්ඡේදේ කියවලා හිත රිද්දගන්නේ මොකටද කියලත් මට හිතෙන්න ඇති.  මම දන්නේ නෑ...!

අන්තිමට අර දෙන්නව බස්සල ආපහු එද්දී කලර් ලයිට් සෙට් එකක් ගාව නවත්තගෙන ඉන්නකොට ඔයා එක පාරටම අත දිහා බැලුවා. ඔයාගේ මූණ වහගෙන ලා වැහි වලාකුලක් පොකුරු ගැහුණා මම ඇස් කොණින් දැක්කා.

"බ්‍රේස්ලට් එක වැටිලා..."

ඒක වටින බ්‍රේස්ලට් එකක් නෙමෙයි. නමුත් රට යන්න ලැස්ති වෙලා ගොඩක් දේවල් අනික් කට්ටියට දීලත් ඔයා ඔය බ්‍රේස්ලට් එක තියාගෙන හිටියා ආසාවට. මට කඳුළු ආවා ලාවට...

තාමත් ඉඳහිට මීගමුව පැත්තෙන් යද්දී මට වාහනේ නතර කරලා බීච් එකට දුවලා ගිහින් ඒ ලී පාට පුංචි වළල්ල හොයන්න හිතෙනවා.

අන්තිමට මම එපා කියද්දී ඔයා ගියා. මම ඔයාව හොයන්න එන්න හිතාගෙන එක එක දේවල් කරලා අන්තිමට වෙන රටකට විසිවෙලා ගිහින් නතර වුණා. 2008 වෙද්දී අපේ කතාවේ අතීත කාල වාක්‍ය එකින් එක බිහිවෙන්න පටන් ගත්තා.

ආපහු ලංකාවට ආවට පස්සේ ටික කාලෙකින් තමයි අරූ මගෙන් ලාන්සරේ හදන්න එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවේ. ඌ වැඩිහරියක් කළේ කාර් එක හදන එක නෙමෙයි, කාර් එකේ බඩු නැතිකරන එක. අන්තිමට කාර් එකක් කෑල්ලෙන් කෑල්ල ගැලවිලා ආපහු හයිවෙන හැටි දැක්කම මගේ හිත ඇතුළේ හැංගිලා තිබ්බ කාර් පිස්සුව නම නොදන්න තාරකාවක් වගේ නිවි නිවී දැල්වෙන්න පටන් ගත්තා. ටික දවසකින් බීට්ල් එකක් සෙට් වුණා. අර දුර ඈත අතීතයේ දවසක අම්මලා එක්ක කුලී ගෙදරක හිටපු කාලේ එහා ගෙදර තිබුණු ෆොක්ස්වැගන් එකක් නිසාද කොහේදෝ හිතේ පැලවෙච්ච ආදර පැල පොඩිත්තේ කහපාටයි මලකඩ පාටයි මිශ්‍ර මලක් පිපුණා. මම 3 ශ්‍රී 5661 ගෙදර ගෙනාවා. ඒ නිසා අකමැත්තෙන් වුණත්13 ශ්‍රී 7133 ට යන්න දෙන්න වුණා.

වසන්ත කාලය ඉවර වෙලා පරමල්වල දූවිලි වැස්සකට දෙකකට හේදුණාටත් පස්සේ දවසක ඔයා මට කිලෝමීටර් දසදාස් ගාණක් ඈත ඉඳන් කිව්වා, ඒ කාලේ සැරින් සැරේ මම බීට්ල් එකක් ගන්න ඕනේ කියලා කිව්වා කියලා. සත්තයි මට මතක නෑ.

ලාන්සරේ දීලා ටික දවසකින් මට කල්පනා වුණා, ඒ යන්න ගියේ මගේ ජීවිතේ කොටසක් නේද කියලා. ඒක හුදෙක් ඔයයි මායි ගැන කතාවේ කොටසක් විතරක් නෙමෙයි. මම කසාද බැඳලා ආවෙත් ඒ කාර් එකේ. ඔයා ඒවා දන්නේ නෑ. ඔයාට ඒවා කියන එකේ තේරුමක් ඇත්තෙත් නෑ...

දැන් වෙලාව රෑ එකටත් කිට්ටුයි. මම දන්නේ නෑ හදිස්ස්යේම ඔයාට ලියන්න මට හිතුණේ ඇයි කියලා. හැබැයි ලාන්සරේ දුන්නට පස්සේ මම සැරින් සැරේ ඒක තියෙන්නේ කොහෙද කිය කියා හෙවුවා. ගන්නම නෙමෙයි. නමුත් අර කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් වගේ හැඟීමක් එතන තිබ්බා. ඔහොම ඉද්දී දවසක් ඕක විකුණන්න දාලා තිබුණා. ආපහු ගන්න කියලා සීරියස්ලි හිතුවත් මම ටිකකින් හිතට බැනලා ඒ සිතිවිල්ල රීසයිකල් කළා.

ඒ දුර ඈත කඳුලට හේදුණු වෙසක් මහේ ඉඳන් දැන් අවුරුදු අටකුත් ගිහින් ඉවරයි... 

මම දන්නේ නෑ අපිට closure එක ලැබුණද කියලා. සමහර විට නැතුව ඇති. මම හැමතිස්සෙම ඒ ලාන්සරේ පස්සේ දුවන්නේ ඒ නිසා වෙන්න ඇති. මට දැන් තියෙන්නේ හැත්තෑ තුනේ බීට්ල් එකකුයි පනස් හතරේ මොරිස් මයිනරේකුයි. කොල්ලෝ ඕවා දැක්කම හුඩ් එකයි බී පිලර් එකයි එම්බ්ලම් එකයි සේරම අතගානවා. ඒ වුණාට තාමත් හිතවත් ගෑනු ළමයි එහෙම මේවා දැක්කම කියනවා 'තරිඳු දැන්වත් ඕක විකුණලා හොඳ කාර් එකක් ගන්නකො' කියලා.

මං ආසයි Porsche 911 එකකට. ඒක ගන්න මට සල්ලි නෑ. ඔයා හැමදාම වගේම අදත් කියාවි මම ප්‍රශ්නෙන් පැනලා යනවා කියලා.

මම ප්‍රශ්නෙන් පැනලා යනවා නෙමෙයි සඳු. ප්‍රශ්නේ මගෙන් පැනලා යනවා...

ආයේ මම ලියන එකක් නෑ ඔයාට. දැන් අපේ කතාවේ ඔක්කොම දේවල් අතීත කාල වාක්‍ය වෙලා ඉවරයි.

හැබැයි ලාන්සරේ කාගෙ හරි ජීවිතේක අනාගත කාල වාක්‍යයක් වෙලා කියලා මම දැක්කොත්, එදාට මට යම් තරමක closure එකක් ලැබෙයි.

බ්ලොග් එක කියවන අය හිතයි මට පිස්සු කියලා. ඒ නිසා මම නවතින්නම්.

ආයේ මම ලියන්නේ නෑ.... ප්‍රොමිස්...!


තරිඳු


Monday, August 1, 2016

බොන්ෆයර් හාට්

 

ඔබේ මුව රිවෝල්වරයකි 
අහසට උණ්ඩ විදින 
ඔබේ ආදරය සොල්දාදුවෙකි 
මියෙන තුරා ළැදිව සිටින 

ජේම්ස් බ්ලන්ට් ගේ ගිනිමැල හදවත ඇවිලෙන්න ගන්නේ එහෙමයි. 

People like us—we don’t
Need that much, just some-
One that starts,
Starts the spark in our bonfire hearts


සින්දුවේ මේ කොටසට එනකොට, ඒ වෙද්දී නිදිමතින් ලාවට පියවෙමින් තිබුණු මගේ ඇස් ආපහු පොඩි කික් එකක් එක්ක දැල්වෙන්න ගන්නවා.  (මේ කොටස පරිවර්තනය නොකර තියන්නේ මේක සිංහලේට කෙළින්ම දාන්න බැරි නිසා. එහෙම වුණොත් ඒක ජේම්ස් බ්ලන්ට් ට වගේම සින්දුව ලියන්න දායක වුණු අනික් කෙනා වෙන රයන් ටෙඩර් ටත් කරන අසාධාරණයක්). අන්තිමට ඊට පස්සේ තුන හතර වෙනකල් නින්ද යන්නේ නැතුව මම ජේම්ස් බ්ලන්ට් ටයි, මිනිහගේ හත්මුතු පරම්පරාවටයි, පාරේ පූසෙක් ගියත් මැරිච්චි බින් ලාඩන්ව දැක්කා වගේ බුරන ආනන්ද අයියගේ ගරාජ් එකේ කළුවටයි බැන බැන ඇඳේ පෙරළි පෙරළි ඉන්නවා...



මම සාමාන්‍යයෙන් සින්දු අහන්නේ රාත්‍රියේ මධ්‍යම යාමය පැන්නට පස්සේ. දවසේ මෙහෙවර ඉවර කරලා මම ටිකක් වෙලා යනකල් කාර් වීඩියෝස් මොනවා හරි බලනවා. ඊට පස්සේ ඒ වෙනකොට ඔළුවේ කැරකෙමින් තියන සින්දු ටිකක් අහලා නිදාගන්නවා. මේක දැන් නවත්තගන්න අමාරු පුරුද්දක් වෙලා. පහුගිය දවසක කතරගම ගිහින් කාමර නැතුව කට්ටියටම එක කාමරේ ඉන්න වුණු වෙලාවේ පවා මම නිදාගත්තේ පගානි සොන්ඩා එක ගැන හෝ ලෝටස් එලීස් එකක් ගැන වීඩියෝ එකක් බලලා. මගේ බහුබූතත්වය ගැන දන්නා නිසා කවුරුවත් මගෙන් මොකුත් ඇහුවේ නැහැ. ආපහු එන ගමනේදී මම ජපන් ඇල්ටෝ කටුවක් පානදුරේට එනකල් එළවන් ආවා. Kei Car ගැන මගේ තිබුණු මාරාන්තික විරෝධය ටිකක් අඩුවුණේ ඊට පස්සේ. ඒ කතාව පස්සේ කියඤ්ඤං, බැණුම් අහන්න බලාගෙන...

මට ජේම්ස් බ්ලන්ට් ගේ 'බොන්ෆයර් හාට්' එක කනට වැටුණට පස්සේ ඒක සෑහෙන කාලයක් මගේ ඔළුවේ ප්ලේ වෙවී තිබුණා. ඒ හැම වෙලාවකම බයික් ගැන පුංචි ආසාවක් නිකං අර ලයිට් ගිය වෙලාවක විතරක් දැල්විලා අනික් වෙලාවට කාටත් අමතක වෙලා කොහෙහරි මුල්ලකට තල්ලු වෙන හිච්චි ඉටිපන්දමක් වගේ ලාවට දැල්වුණා. 

මම බයික් පිස්සෙක් නෙමෙයි. බයික් ගැන කියෝනකොට මගේ යාළු බයික් පිස්සෝ හැමතිස්සෙම පාවිච්චි කරන quote එකක් තමයි Half the wheels, twice the fun කියන එක. ඒ කියන්නේ කාර් එකකට සාපේක්ෂව රෝග ගාන දෙකෙන් පංගුවයි, ආතල් එක දෙගුණයයි කියන එක. නමුත් මම ඒකට කියන්නේ Half the responsibility, double the stupidity කියලා. ඒ කියන්නේ වගකීම භාගයයි, ගොන්කම දෙගුණයයි කියන එකයි. එහෙම කියන්නේ පාරේ යනකොට බයික් කාරයෝ කරන අනන්ත ගොන් වැඩ දකින නිසා. උන් වමෙන් ඉස්සර කරනවා, පේමන්ට් එක දිගේ යනවා, ටැෆික් ලයිට් වලදී සිග්සැග් ක්‍රමේට යනවා, නවනවා, ගස්සනවා, පද්දනවා, කෙල්ලෝ දැක්කම ඉස්සරහ රෝදේ උස්සනවා, ඊට පස්සේ වැටිලා පීචං වෙනවා, වටේ ඉන්න කොල්ලෝ බයික් එක උස්සලා කෑලි ටික අහුලලා කණට කොඳුරලා චාටර් නොවී පලයන් කියලා යවනවා (මේක ජපුර කැම්පස් එක ගාවදිද කොහෙද ඇත්තටම වුණු දෙයක්), ඒ වුණාට ලජ්ජා නැතුව ආයෙත් ඒ දේ ම කරනවා. 


නමුත් මේ පල්සර් අරන් ඩර්ට් බයික් කියලා හිතාගෙන පදින, ට්‍රේලර් බයික් අරන් බටකොළ ආච්චිගේ කොස්ස කියලා හිතාගෙන වනන මානසිකත්වෙට එහා ගිය බයික් සංස්කෘතියක් තියනවා කියලා මම නොදන්නවා නෙමෙයි. බොන්ෆයර් හාට් වගේ දේවල් දකිද්දී මට ඒවා මතක් වෙනවා. අභියෝගය තියෙන්නේ Hells Angels වගේ කෙහෙල් ලෙලි පෑගිලා වැටෙන්නේ නැතුව සැබෑ බයික් සංස්කෘතිය ඇතුළට යන එකයි. Biker Gangs කියන්නේ මාර සංකීර්ණ සංස්කෘතියක්, ඒක දිහා පිටින් බලන්න එපා කියලා අනන්තවත් කට්ටිය මට කියලා තියනවා. නමුත් ඕක පොතු ගහගෙන පොතු ගහගෙන ගියාම අහුවෙන ඇටේ තමයි තමන්ගේ ආරක්ෂාවට ගැන්සියක් හදාගැනීම හෝ ගැන්සියකට සෙට් වීම කියන සරල paranoid reaction එක කියලයි මට නම් හිතෙන්නේ. ඌරෝ එන්නේ රංචු පිටින්, සිංහයා එන්නේ තනියම කියලා (දෙමළ චිත්‍රපටියක දෙබසක්) අපේ නසාර් ඉස්සර නිතර කියනවා මට මතකයි. හැබැයි ඉතින් ඒක මගේ පුද්ගලික අදහස.


බයික් සංස්කෘතිය ගැන කිව්වාම කාටත් එකපාරටම මතක් වෙන නමක් තමයි හාලි ඩේවිඩ්සන්. බොන්ෆයර් හාට් එකේ මියුසික් වීඩියෝ එකේදී ජේම්ස් බ්ලන්ට් පදින්නේත් හාලි ඩේවිඩ්සන් ස්පෝට්ස්ටර් එකක් ලු (පරණ එකක් නෙවෙයි, අලුත් එකක්). එතකොට බයිකර් ගැන්සි කිව්වත් මතක් වෙන්නේ හාලි ඩේවිඩ්සන්. හාලි ඩේවිඩ්සන් කියන්නේ බයික් පිස්සන්ගේ සනී ලියෝන්!



නමුත් ඇත්තටම මගේ හිතේ බයික් ගැන ආසාව දල්වපු මුල්ම බ්‍රෑන්ඩ්ස් දෙක ඇවිල්ලා Indian සහ Royal Enfield. ඉන්ඩියන් කියන්නේ ඇමරිකානු බයික් කොම්පැනියක නමක්. Indian Chief එක තරම් මගේ සැඟවුණු බයික් ආසාව දල්වන වෙන බයික් එකක් නැති තරම්! 2012 දී BMICH එකේ තිබුණු මෝටර් ෂෝ එකේදී ඉන්දියන් චීෆ් එකක් මතුවෙලා තිබුණා. එදා ජගුවර් E-Type එකක්, ස්ප්ලිට් බීට් දෙකතුනක් සහ ඔස්ටින් හීලි දෙකෙතුනක් තිබුණු නිසා මට මේක ෆොටෝ ගන්නවා වත් මතකයක් නැහැ. නමුත් ෆොටෝ ටික ෆේස්බුක් එකේ දාපු ගමන් අපේ බයික් පිස්සා වන තිළිණ අන්තර්ජාලයේ ඉඳන් ගෝත්‍රික විලාපයක් දාගෙන කොමෙන්ටු අංශයට කඩා පැන්නා. එතකොට තමයි මට තේරුණේ මට රත්තරන් බිස්කට් එකක් මිස් වෙලා කියලා. 


1901 ඇමරිකාවේ මැසචුසෙට්ස් වල පටන් ගත්තු මේ ඔරිජිනල් කොම්පැනිය දැන් නැහැ. ඒ වගේම සමාගමේ නම අතින් අතට ගිහින් ඉවරයි. දැනට මේකේ අයිතිය තියෙන්නේ Polaris Industries කියන සමාගමට. එයාල මේක ගත්තේ 2011 දී. දැන් එයාලා Indian නම යටතේ බයික් වර්ග කීපයක්ම මාකට් එකට දාලා තියනවා. මේ බයික් ලස්සන බව ඇත්ත. අනික් අතට බයික් වල සෞන්දර්ය ආශ්වාදන මනෝභාවයන් මට නැතිවෙන්න පුළුවන් (සරලව කියනවා නම් බයික් එකක් දැක්ක ගමන් ඒක පට්ටද චාද කියලා කියන්න මම දන්නේ නැහැ). නමුත් මගේ හිත මේ පහළින් තියන බයික් එකට ඇදුණා. හැබැයි ඔරිජිනල් ඉන්දියන් චීෆ් එකක් දෙනවා කිව්වොත් මම මේක පෙරළලා දාලා දුවගෙන යනවා!


අනික් අතට බැලුවොත් රෝයල් එන්ෆීල්ඩ් එක මේ වෙද්දී ඉන්දියානු කොම්පැනියක්. අලුත් පරම්පරාවේ බයික් පිස්සන්ට කිව්වම මම රෝයල් එන්ෆීල්ඩ් වලට ආසයි කියලා, උන් මට බනිනවා මම ඉන්දියානු ජරාවල් උඩදානවා කියලා. උන්ගේ half the brain නිසා මම කතාකරන්න යන්නේ නැහැ (සමහර ඔරිජිනල් රෝයල් එන්ෆීල්ඩ් මෝටර් සයිකල් 1955 ඉඳන් 1960 දක්වා ඇමරිකාවේදී Indian කියලා rebadge කරලා විකිණුවාලු). 




මොනවා කළත් ඉන්දියන් චීෆ් එක ගැන මගේ හිතේ තියන ආසාව සැරින් සැරේ මතුවෙන්නේ හරියට පන්සල් වත්තට බලු පැටවු පහළ වෙනවා වගේ. ඉන්දියන් චීෆ් එකක් දැක්කම මට හොඳ සැර කොච්චි කරලක් මතක් වෙනවා. ඉන්දියන් චීෆ් එක ගැන මේ තියන තණ්හා ආශා ඔලොගුව නිසා ඔන්න 1946 චීෆ් එකක specs list එකකුත් දානවා. (දවසක හිතුණොත් Indian එකේ මෝටර් සයිකල් ගැන වෙනම ලිපියක් ලියනවා).

Engine: 1205cc (73.62 cu in; 3.25x4.4375in) sidevalve 42-degree V-twin
Power Rating: 40 hp
Transmission: 3 speed gearbox; 4-speed optional
Chassis: single tube
Wheels: wire 4.50x18in; 5.00x16 optional
Suspension: (front) girder forks; (rear) coil compression
Weight: 550lb
Maximum Speed: 85 mph 





අපේ තාත්තා බයික්වලට සෑහෙන ආසාවෙන් හිටියා. එයා බයික් එකක් දෙනවා කියපු නිසාම රස්සාවල් වලට ගියපු අවස්ථාවල් තිබුණා මට මතකයි. ඒ නිසා දවසක මට පුළුවන් කාලෙක එයාට බොහොම ගාම්භීර පෙනුමක් තියන, 1960 ගණන්වල වගේ ආපු, සයිලන්සරෙන් මූණ බලන්න පුළුවන් සහ ලයිසන්ස් ප්ලේට් එකෙන් පොල් බිඳින්න පුළුවන් ජාතියේ පරණ BMW බයික් එකක් අරන් දෙන්න මට ආසාවක් තිබුණා. මට ඕන වුණේ එයා වෙනුවෙන් ඒක සම්පූර්ණයෙන්ම restore කරන්නයි. අලුත් බයික් එකක් ගෙනාවම එයාගේ මූණේ තිබුණු සන්තෝසේ මගේ මතකයෙන් කවදාවත් යන්නේ නැහැ. එයා එතකොට ඒ බයික් එකට නගින්නේ කවදාවත් වචනෙකින් නොකීව සතුටකින්. හැබැයි එයා කවදාවත් බයික් වල විස්තර කතා කළේ නෑ. බයික් පදින්න හෝ බයික් හදන්න කාලය ගතකළේ නෑ. හැබැයි වැඩට යන එන අතරේ බයික් එක පදින එක එයාට ඉස්සර ලොකු සතුටක් වුණා. එයා ටිකක් හරි අමාරුයි කියන්න ගත්තේ අන්තිම අවුරුද්දේ වගේ.





කොහොම වුණත් ලංකාවේ පරණ බයික් එකක් restore කරනවා කියන්නේ මම දන්නා තරමින් බීට්ල් එකක් හදනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. බීට්ල් එකකට අඩු තරමින් අමතර කොටස් හොයන්න අමාරුවක් නැහැ. 1300 සහ ඊට ඉහළ බීට්ල් හදන එක (සාපේක්ෂව ගත්තොත්) මාළු පාන් කනවා වගේ ලේසි වැඩක්. හැබැයි බයික් එහෙම නැහැ. සමහර කෑලි ගෙන්නන්න වෙනවා. සමහර කෑලි විශේෂයෙන් හදන්න වෙනවා. බයික් ගැන මළපොතේ අකුරක් නොදන්න මට ඕක හෙන ගේමක් වෙන බව මම නොදැන හිටියා නෙමෙයි. අතේ මිටේ මුදල් ටිකක් ගැවසෙනකල් මම කල්යල් බලබලා හිටියේ ඒකයි. 

2013 ජූලි මාසේ මෝටර් මැගසින් එකේ ලිපියක් ගියා 1947 Triumph Speed Twin බයික් එකක ෆුල් ප්‍රොජෙක්ට් එකක් ගැන. නොම්මරේ CN. අයිතිකාරයා අජිත් ප්‍රනාන්දු. Restore කරලා තිබුණේ ලාල් සහ ඉසුරු ජයසූරිය. මේකේ තියෙන්නේ Vertical twin cylinder, air cooled, 4 stroke, overhead valve, dry sump, pre-unit construction, 498cc එන්ජින් එකක්. ගියර් බොක්ස් එක dry clutch, 4 speed, chain final drive. මේක දැක්කම මට කොහොම හරි වැඩේ ඉක්මන් කරන්න ඕනේ කියලා හිතුණා. 

නමුත් 2014 දී තාත්තා ඇස්දෙක පියාගත්තා. අමාරුවෙන් හිත හදාගෙන හිටපු අම්මා, තාත්තාගේ ඔෆිස් බයික් එක ආපහු ගෙනියන්න ආපු දෙන්නා බයික් එක ස්ටාට් කරනවා ඇහිලා කෑගහලා ඇඬුවා. 

එදා ඉඳන් බයික් ගැන හිතෙන් අමතක කරන්න උත්සාහ කළත් මොනවා හරි දෙයක් නිසා ඕක ආපහු මතුවෙනවා. මගේ හොඳ යාලුවෙක් තමයි අර කලින් කියපු, බයික් දැක්කාම නිකං කුප්පමේනිය දැකපු පූසෙක් වගේ හැසිරෙන තිළිණ. ඌ බඩගිනි වුණාම ගරාජ් එකට ඇවිත් බයික් එක ලෙවකාලා පෙට්‍රල් ටිකක් බීලා ආපහු ගෙට යන එකෙක්. ඒ නිසා උගේ ෆේස්බුක් එකවුන්ට් එකේ මොකක් හරි ලබුගෙඩියක් දැක්කම ආපහු මාව බයික් ලෝකෙට ටිකක් හරි ඇදෙනවා. හැබැයි ඉතින් ටිකක් දුර ඇදිලා යද්දී මට පියවි සිහිය එනවා. එතකොට මම බීට්ල් එක හරි මයිනර් එක හරි අරන් කොහෙ හරි වටයක් ගහලා එනවා. බයික් පිස්සුව පැනඩෝල් ගැහුවා වගේ නැතුව යනවා. 



හැබැයි තව එකෙක් ඉන්නවා, කේ.සී. කියලා. පොරගේ නම කසුන් චාමර. අපි කිව්වේ කේ. සී. කියලා. ඉස්කොලෙ යාලුවෙක්. මම ඌට කිව්වේ කුණ්ඩල කේසී කියලා. පොර දැන් බයික් පිස්සෙක්. හැබැයි තිළිණ වගේ බයික් එක්ක අහවල් එක කරන්නේ නැහැ. ඒ නිසා ජේම්ස් බ්ලන්ට් ගේ ගිනිමැල හදවතේ රස්නේ ටිකක් තදට වැදිච්චි දවසක කේසීගෙන් මැදහත් උත්තරයක් ගන්න බලාගෙන මම ඌත් එක්ක ෆේස්බුක් චැට් එකක් ඇදගත්තා. 

අන්තිමට චැට් එක අවසන් වෙද්දී මම දැනගත්ත ප්‍රධාන කරුණ තමයි බයික් නිසා දැනටමත් මේ අවුරුද්දේ 600 කට වැඩි පිරිසක් එලෝ ගිහින් කියන එක. ඉතිං ඕක වැරදිලා වෙන කතාවක් අස්සේ කෞශිට කියවුණා කියහන්කෝ........!

කොහොම වුණත් පරණ බයික් එකක් සම්පූර්ණයෙන්ම restore කරන්න තියන ආසාව මගේ හිතෙන් යන්නේ නැහැ. BMW R68 කියන්නේ මට එහෙම ශෘංගාර මධුලෝල ජීවන ආසාවක් තියන බයික් එකක්. මේකේ තියෙන්නේ BMW 268/1 OHV air-cooled flat twin එන්ජිමක්. පවර් එක 35 hp. 1955 ඉඳන් 1960 වෙනකල් ආපු මේ බයික් එකේ ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 169ක්. 




එහෙම තවත් එකක් තමයි Ariel Huntmaster එක. 1954 ආපු මේකේ එන්ජිම ඇත්තටම BSA A10  එන්ජිම. ඒක 646cc overhead valve verticle twin එන්ජිමක්. ගියර් බොක්ස් එක positive stop foot control තියන 4 speed එකක්. මේකේ රතු පාටින් ආපු බයික් එකට මට පුදුම ආසාවක් තියනවා. මම දන්නේ නෑ හේතුව. ඊට අමතරව Ariel Cyclone එකටත් මම හරිම ආසයි. 






මම ඇවිල්ලා 1950 ගණන්වල ස්ටයිල් එකේ කිට් එකක් ගහලා, සයිමන් නවගත්තේගම තොප්පියක් දාලා, බෙටන්ස් සපත්තු දෙකකට බැහැලා, සිල්වර් පටි තියන ඩුප්ලිකේට් ඔරලෝසුවක් බැඳලා, දාහට අඩුවෙන් ගත්තු සන්ග්ලාස් දෙකක් හරි, නැත්තං ඇස් දොස්තරට වැඳලා ඉල්ලගත්තු සෝබන කන්නාඩි දෙක හරි දාගෙන, බයික් එක පාරේ වම් පැත්තේ අයිනට කරගෙන, මාව පහුකරගෙන යන හැමෝගෙම මූණු බලබල බයික් පදින්න කැමති කෙනෙක්. 

ඒත් මට ලයිසන් නෑ. බයික් පදින්නත් බෑ... 

හැබැයි මගේ හදවතෙත් ගිනිමැලයක් ඇවිලෙනවා. 

This world is getting colder.
Strangers passing by
No one offers you a shoulder.
No one looks you in the eye... 






පසු සටහන: 
1. තාත්තා ජීවතුන් අතර හිටියා නම් අදට (2016 අගෝස්තු 01) එයාට අවුරුදු 60 ක්. අද එයාගේ උපන් දිනේ. එයාට බයික් ගැන සංකීර්ණ ආසාවක් තිබුණු නිසා සහ එයාට බයික් එකක් හදලා දෙන ආසාව ඉෂ්ට කරගන්න මට බැරිවුණු නිසා, මේ ලිපිය අද දවසේ පළකරන්න මම හිතාගත්තා. 

2. බයික් ගැන ආසාව ටිකක් හරි තිබ්බට බයික් ගැන මෙහෙමවත් ලියන්න අදහසක් තිබ්බේ නැහැ. මේ වක්කඩට මාව ඇදලා දැම්මේ පත්තර මල්ලි සහ ඩූඩ් අයියා. උන් දෙන්නා නිසා තමයි මම ආපහු ඉඳහිට හරි බයික් ගැන හොයන්න ගත්තේ. කෞශි මට ගෙනත් දීලා තිබුණු පරණ බයික් මැගසින් එකකුත් මේ ළඟදී මම මුල ඉඳන් අගටම කියෙව්වා. එම්බා ඩූඩ සහ පත්තරය, තොපේ පැරණි යතුරු පැදි උන්මාදය දෙගුණ තෙගුණ සිවුගුණ පංචගුණ වේවායි මම ප්‍රාර්ථනා කරන්නෙමි! 

www.facebook.com/CarPissuwa