Friday, June 17, 2016

දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ...




1989 ත් 1991 ත් අතර කාලේ මගේ ජීවිත කතාව උඩ කරුණාවන්ත මොරිස් මයිනරේක හෙවනැල්ලක් වැටිලා තියනවා. තාමත් සමහර වෙලාවට, ජීවිතේ කරදර කලබල උඩට රතුපාට අවු රැල්ලක් වැටෙන හැන්දෑවක, ජනේලේ ග්‍රිල් අතරින් මගේ මොරිස් මයිනරේ පේනකොට මට ඒ වචනෙට නගන්න බැරි අතීතය මතක් වෙනවා.

1989 කියන්නේ මගේ අම්මා මාව මොන්ටිසෝරි එක්කන් ගිය කාලේ. ඒ කාලේ අඟුලාන සහ පානදුර අතර රේල් පාර මට බොහොම සමීපයි. කෝච්චියේ යන එක තරම් සතුටක් මට වෙන කිසිම දේකින් ලැබුණේ නැහැ. ඒත් මම සෙල්ලම් කාර්වලට හරියට ආසා කළා. අම්මයි තාත්තයි මගේ පස්වෙනි හෝ හයවෙනි උපන්දිනේට ට්‍රක් සෙට් එකකුයි පොලිස් කාර් එකකුයි තෑගි දුන්නා මට මතකයි. මම ඒ දෙක ගන්න ආවේ උදේ පාන්දර පිනුමකුත් ගහලා ඇඳෙන් පැනලා. ඒ දවස්වල මගේ ප්‍රියතම සෙල්ලම් කාර් එක වුණේ කොහෙන් හරි හම්බෙච්ච Mercedes-Benz W124 Convertible එකක්. ලස්සන නිල්පාට Convertible එකක්. ඒක අතේ තියාගෙන ගත්තු ෆොටෝ එකකුත් මගේ ගාව තියනවා. මම ඒකට කොච්චර ආසාද කියනවා නම් ෆොටෝ එක ගන්නකොට මම ඉන්නේ කාර් එක දිහා බලාගෙන මිසක් කැමරාව දිහා බලාගෙන නෙමෙයි.




ඒ දවස්වල තාත්තා වැඩකරපු තැන ප්‍රධානියා වුණේ දයාරත්න අංකල්. මගේ ජීවිතේ මට හම්බවුණු කරුණාවන්තම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. ඒ තරම් පුංචි කාලෙක වෙලත් මට ඒ මනුස්සයාගේ හොඳකම හිතට දැනුණා හොඳට මතකයි.

දයාරත්න අංකල්ට තිබුණේ කළුපාට 1 ශ්‍රී හෝ 2 ශ්‍රී මොරිස් මයිනර් එකක්. දැන් හිතද්දී තමයි මට කල්පනා වෙන්නේ එයා දරපු තනතුරේ හැටියට එයාට 80 දශකයේ අන්තිම ආපු කාර් එකක් ගන්න තිබුණා, නමුත් එයා ගත්තේ නෑ කියලා. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ.

අඟුලානේදී කෝච්චියෙන් බැහැපු සමහර වෙලාවල්වල සහ මගදී කොහෙහරි ගිහින් එන ගමන් අපිව හම්බවුණු වෙලාවල්වල දයාරත්න අංකල් අපිව එයාගේ කාර් එකෙන් එක්කන් ගිහින් ගෙදරට බස්සලා තියනවා. ඒ අතරින් එක සිද්ධියක් මට හීනයක් වගේ මතකයි. අංකල්ගේ මයිනරේ පෙට්‍රල් ෂෙඩ් එකක නවත්තලා තියනවා. අම්මයි තාත්තයි පැත්තකින් ඉන්නවා. මගේ අතේ කැන්ඩොස් චෝකෝනට් එකක් තියනවා. ඒ කැන්ඩොස් චෝකෝනට් එක දයාරත්න අංකල් හිනාවෙවී මගේ අතට දෙනවා මට මතකයි.

මම දන්න තරමින් ඒ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ ඒ කාලේවත් කඩයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ සිද්ධිය හරියටම කොහොම වුණාද කියන එක මට කියන්න බැහැ. නමුත් මම එදා ඉඳන් කැන්ඩොස් චෝකෝනට් කන්න ආසා වුණා කියලා මට ලාවට මතකයි.

සමහර විට මම මොරිස් මයිනර්වලට ආසා වෙන්න ඇත්තෙත් එදා ඉඳන් වෙන්න ඇති.

අපි අඟුලානේ ගෙවල් ඇතඇරලා අපේම කියලා ගෙයක් අරන් මොරටුවට ආවේ 1991 දී. බඩු ටික ලොරියේ පටවලා ඇරියට පස්සේ අපිව අලුත් ගෙදරට එක්කන් යන්න මොරිස් මයිනරේ අරන් ආවේ දයාරත්න අංකල්. අම්මා එක්ක කාර් එකේ පිටිපස්සේ සීට් එකේ හිටපු මං මොරටුව සහ පානදුර අතරෙදී ඉස්සරහට එන්න ඕනේ කියලා කන්කෙඳිරි ගෑවා. අංකල් හිනාවෙලා වාහනේ නැවැත්තුවා. වාහනේ ඉස්සරහ සීට් එකට ගිහිං තාත්තාගේ උකුලේ ඉඳගත්තු වෙලාවෙත් කාර් එක ඇතුලේ හොඳට ඉඩ තියන බවක් දැනුණා මට මතකයි.

මේ සිද්ධියට අවුරුදු 25 කට පස්සේ මම ඉස්සරලාම මොරිස් මයිනර් එකක් ගෙදරට ගෙනාපු දවසෙත් මට හිතුනෙ මේ කාර් එකේ කොච්චර නම් ඉඩ තියනවද කියන එකමයි!




අලුත් ගෙදරට ගිහින් බැස්ස ගමන් මට අලුත් ලෝකයක සතුට තදට දැනුණා. අපි එනකොට මෙතන තිබුණේ පුංචි ගෙයක්. රත්න ශ්‍රී විජේසිංහගේ භාෂාවෙන් කියනවා නම් මේ පුංචි ඉඩමේ ඇහැ ඩිංගක් නතර වෙන හැම පැත්තේම නම නොදන්නා මල් වවලා තිබුණා. ගම නොදන්නා කුරුල්ලෝ සින්දු කියකියා හිටියා. ඉම නොදන්නා වැස්සක සුවඳක් පොළොවෙන් හැමුවා. එදා අලුත් ගෙදර දොරකොඩ ඉඳන් එළිය බලද්දී වතුසුද්ද ගහකුයි අරලිය ගහකුයි මැද්දෙන් වැට අස්සෙන් පාරේ දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ බොහොම ගාම්භීර විදිහට විවේක ගන්නවා දක්කා මට මතකයි.

අලුත් ගෙදරට ඇවිත් ටික දවසකින් තාත්තා පරණ තැනින් අස්වුණා. ඊට පස්සේ මට කවදාවත් දයාරත්න අංකල්ව හම්බවුණේ නැහැ. නමුත් අංකල්ගේ මොරිස් මයිනරේ ගැන මතකය මගේ හදවතින් මැකිලා ගියෙත් නැහැ. දශක දෙකකට විතර පස්සේ කාර් පිස්සුව ගැහුවාම මට මේ කාර් එක හොයාගෙන යන්න ආසාවක් ආවා. තාත්තා එක්ක නිවාඩු දවසක දයාරත්න අංකල්ලාගේ ගෙදර යන්න මම කතාකරගත්තා.

ඒත් ඒ නිවාඩුව එන්න කලින්, එකමත් එක හැන්දෑවක තාත්තා ලෙඩ වුණා...

තාත්තාගේ මරණයත් එක්ක මගේ ලෝකේ තරුවක් නෙමෙයි මුළුමහත් සෞරග්‍රහ මණ්ඩලයක් කැඩිලා විනාස වෙලා ගියා. ඉඳහිටක වැටෙන උල්කාපාත කෑල්ලක් දෙකක් ඇරෙන්න තාත්තාගේ විශ්වයේ කිසිම සලකුණක් මට ඉතුරු වුණේ නැහැ. ඒ නිසා දයාරත්න අංකල්ගේ මයිනරේ locate කරගන්න කිසිම ක්‍රමයක් මට නැතුව ගියා. නමුත් මට තාමත් ඒක අමතක නැහැ. ඒක මැරෙනකම්ම මගේ හිතින් යන එකකුත් නෑ.

අදටත් හැන්දෑවක මගේ ගරාජ් එක ඇතුළේ විවේක ගන්න මගේ මොරිස් මයිනරේ දකිනකොට මට දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ මතක් වෙනවා. ඒ වෙලාවට අර අවුරුදු දෙක තුනකට කලින් පුපුරලා ඇස් පනාපිට සුන්නදූලි වෙලා ගිය විශ්වයකින් ඉතුරු උල්කාපාත කෑල්ලක් මගේ ලෝකේ ආකාසේ රතු පාටට ඉරක් ඇඳගෙන ඇදීගෙන ගිහින් මළ මතක සාගරේකට වැටිලා නිවිලා අතුරුදහන් වෙලා යනවා.

ඒත් මම හෙටත් දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ ගැන හිතනවා...

www.facebook.com/CarPissuwa/


26 comments:

  1. Hey Dude. I saw this on FB today. I don't have a Morris Minor. But I thought this is a good deal.
    මගේ ලග මොරිස් මයිනර් 1000 එන්ජිම, ගියර් පෙට්ටිය, ස්ටාටර් මෝටරය, ඕල්ටනේටරය සමග විකිනීමට තියෙනව. මේ සියල්ල එන්ජිමෙන් ගලවා වෙන්කර නැහැ. සියල්ල හොදම තත්වයේ ඇත. අලුත් වැඩියාවන් කිසිවක් අවශ්‍ය නැත. සියල්ල 25000/= . තවත් බ්‍රෑන්ඩ් නිවු මයිනර් ස්ටාටර් මෝටරයක් ඇත, මෙතෙක් වාහනයකට සවිකර නැත ( අලුත්ම) 12000/=.
    මොරොන්තුඩුව, වාද්දුව. 071-6347684.

    ReplyDelete
    Replies
    1. Thank you very much Dude. It is indeed a good deal.

      Delete
  2. දැන් පෝස්ට් එකට අදාල කමෙන්ට් එක. ඔය වගේ හිතේ ‍රැඳුනු කොටස් මගෙ හිතෙත් දීර්ග කාලීනව තියෙනවා. මටත් තරිඳුගෙ තරම්ම උග්‍ර එකක් නොවුනත් යකඩ ගොඩවල් එක්ක පුදුමාකාර බැඳීමක් තියෙනවා. ඒක තේරුම් ගන්න පුලුවන් ටික දෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. සමහර යහළු යෙහෙළියෝ මේ වගේ ජීවිත කතා අහලා අන්දභූත දෑසින් මං දිහා බලන් ඉන්නවා, දැන් මුගේ හිත රිද්දන්නේ නැතුව කතාවේ සබ්ජෙක්ට් එක මාරු කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ වගේ බැඳීම් තේරුම් ගන්න පුළුවන් බොහොම ක්ෂුද්‍ර ප්‍රතිශතයකට විතරයි.

      Delete
    2. ඔන්න මම කොල්ලා කාලෙ මාර ආසාවෙන් හිටියා Harley Davidson එකකට. නමුත් ඒ වගේ හැඬල් එක උස, සීට් එක පාත, කෙලින් ඉඳගෙන යන්න පුලුවන් බයික් එකකට ලංකාවෙ තිබුනෙ CM 125 එක විතරයි. මම ඉස්සර ඕකක් ගන්න මාර ආසයි. මගෙ යාලුවගෙ අයියට ඔය එකක් වැඩකරපු ප්‍රොජෙක්ට් එකෙන් දීලා තිබුනා. මම ඕක පැදපු පළවෙනි දවසෙම මම ඒ බයික් එකත් එක්ක ප්‍රේමයෙන් වෙලුනා. මම ඉස්සර මිණුවන්ගොඩ හෙම Bike Sales වලට ගිහින් කෙල ගිලලා එනවා හිත බර කරගෙන, මොකද ඒකෙ ගාන රුපියල් 17500-18000 වගෙ වෙන නිසා.

      දැන් මම කියන්න යන්නෙ මගෙ හිතේ ‍රැඳිලා තියෙන අරවගෙ image එකක් ගැන. මම ඊට අවුරුදු පහ හයකට පස්සේ වයිෆුයි බබයි එක්ක රන්දෙනිගල පාරෙ බස් එකක පිටිපස්සෙ යනවා. මම හිටගෙන ගියේ ඒ දෙන්න ගාවින්. අපි අර ඩෑම් එක උඩින් යනකොට කොණ්ඩෙ දිගට වවාගත්ත අර Renegade එකේ ඉන්න එකාවගෙ සුද්දෙක් හෙල්මට් ෂර්ට් නැතුව CM එකකින් බස් එක පස්සෙන් එනවා වෙට්‍ටු දම දම. මාර ගති. ඕක කවදාවත් මගෙ හිතෙන් මැකෙන්නෙ නෑ.

      ඊට දශක එකහමාරකට විතර පස්සෙ මම CM 125T Custom එකක් ගත්තා. :D

      Delete
    3. නියම comment එක. මගේ පෝස්ට් වලින් කට්ටියගේ නොස්ටැල්ජියාව ඇවිස්සෙනවා දකින එක මට මාර සතුටක්!

      Delete
    4. ඒ උනාට ලොක්ක දැන්නං යන්නෙ CR27 එකකලු. හැක්..

      Delete
    5. ඒත් බයික් එකේ ඕනෙම වෙලාවක යන්න ආසයි ප්‍රසන්න මලයා.

      Delete
    6. ඒ වගෙම, රෝද හතරේ ප්‍රේමය ගැන කිව්වොත් මට මාරම දොළදුකක් තිබ්බා VW Golf Mk diesel එකකට හැමදාටම. නමුත් දැන් තියෙන එව්වට වෙන වෙන එන්ජින් තියලා තියෙන්නේ. ඒ නිසා වෙන වෙන ඒවට ආසා වෙලා ඉන්නවා. ඒ එක්කම දැන් රෝද දෙකේ ආසාව යමහා විරාගෝ එකක් වෙලා තියෙන්නේ

      Delete
    7. මම වතාවක් Golf MK1 ඩීසල් එකක් බලන්න ගියා බණ්ඩාරගම පාරේ. 2.50 ක් කිව්වා. නමුත් වැඩ ගොඩක් කරන්න තිබුණු නිසා මම ගත්තේ නැහැ. ඊට ටික දවසකට පස්සේ එකෙක් ඒ කාර් එකම 'සුපිරි තත්ත්වයේ තියනවා' කියලා 5.50 කට විකුණන්න හැදුවා. මම 'ඔය අර අහවලාගෙන් ගත්තු කාර් එක නේද' කියලා ඇහුවට පස්සේ මිනිහා මගේ ලෝකෙන් එහාට පාවෙලා ගියා :D

      Delete
    8. This is my latest bike story. I mean in Sinhala. This was written a few years back in English in HeyDude. I translated it recently after all those years.
      මගේ ඩෙනිම / අසිහිය / Pitstops on the Highway
      මගේ ඩෙනිම / අසිහිය / Pitstops on the Highway
      https://bluejeansntshirts.blogspot.com/2016/06/151-pit-stops-on-highway.html

      Delete
    9. Thank you so much for sharing this beautiful story with us... It took my mind through several memories of my father as well. He had a life long affection for bikes...

      Delete
  3. තාත්තලා ඔහොම්මමයි - ඉස්සර අපේ තාත්තට CB 350 cc බයික් එකක් තිබ්බා. ඒකෙ ටැංකිය විතරක් අද ස්කූටියක් විතර ඇති මට මතක විදියට. තාත්තා කියන්නෙ හුළං ගියොත් රෝදෙ ගලවං යනව මිසක් තල්ලු කරනව බොරුලු. එතකොට මටත් වයස පහක් හයක් ඇති. ලොක්කා (තාත්තා) මාව ටැංකිය උඩ තියාගෙන එයා නැගිටලා බයික් එක පදිනවා පාරෙ. මම ඔළුව කරකෝලා එයා දිහා බලං ඉන්නවා.
    අපි උපාලිගෙ චොකලටුයි ටින් එකේ එන ටිපි ටිපුයි එක පාර කාපු ඇන්කර් ටින් එකත් දැක්ක පරපුරේ උන්නෙ.

    ReplyDelete
    Replies
    1. නියමයි. අතීත කාමය සදාකල් දිනේවා!

      Delete
  4. දුක හිතෙන අවසානයක්. මොනව උනත් පොඩි කාලෙ ඉඳල තිබ්බ ආසාව කොහොම හරි ඉෂ්ට කරගෙන තියෙනවනෙ. ඒ වගෙම දයාරත්න අංකල්ගෙ කාර් එකත් ඉක්මනින් දැකගන්න ලැබෙයි.

    කැන්ඩොස් චොකෝනට් වලටනං කවුද ආස නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි ප්‍රසන්න...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හීන මිනිස්සු ජීවත් කරවනව මතකයන් හිතේ කොනක කාසිපන්ම් නොමැති කමෙන් දුක් විදිනව එහෙත් මොන කරදර ආවත් මිනිස්සු මතයන් තුල හීන දකිමින් ජීවිතේ ජීවත් කරවනවා තාත්තගේ ලොකේ අපි දකින්නෙ අපිට පැටියෙක් ලැබුනු දාට එහෙත් දරැවෙකුට තාත්තගෙ ලොකේ හදවතට දැනෙන්නෙ තාත්ත නැතිවුන දාට

      Delete
    4. සහතික ඇත්ත. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි.

      Delete
  5. මොරිස් මයිනර් එක ගැන කියනකොට මට මේ කතාව මතක් වුනා.මගෙ ඥාති සහෝදරයෙක් හිටියා කස්ටම් ඔ‍ෆිසරයෙක්. එයාගේ හොඳම යාලුවත් එයින් එකෙක්මයි.නම ගාමිනී කියමුකො.1980 ගනන්වල සෙකන්ඩ් හෑන්ඩ් මයිනර් ගෙනාවා ලංකාවට 8 ශ්‍රී කාන්ඩෙ.මේ ගාමිනී අයියත් එකක් අරගත්තා එයාගෙ පලමුවෙනි වාහනේ.අවුරුදු තුනක් විතර ඕක දුවලා ඊට පස්සේ ගත්තා B 310 සනියක් .මේක අරගෙන සතියකට විතර පස්සේ මිනිහා අපේ ගෙදර එනවා මල්ලි හරි වැඩේනෙ කාර් එක් ස්ටාට් කරගන්න බෑ කියල.බලනකොට මිනිහා කිරුලපනට ගිහින් එහෙදි තමයි මේක වෙලා තියන්නේ.දන්න කෙනෙකුට වාහනේ බලාගන්න කියල ඇවිත්. ඉතින් ගිහිල්ලා බැලුවහම වෙලා තිබුනෙ කාර් එකේ ස්ටියරින් ලොක් එක වැටිලා.යතුර දාල කරකවන්න බෑනෙ වීල් එක ටිකක් දෙපැත්තට හොලවන්නෙ නැත්ව.මෙයා ඒව දන්නෙ නෑ මොකද මයිනර් එකේ එහෙම දෙයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මරු කතාව... බොහොම ස්තුතියි!

      Delete
  6. ලියන්නේ යකඩ ගොඩවල් උනාට , ලියවිල්ල ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...!

      Delete
  7. යකඩ ගොඩවල් ගැන කතා කළත් ඇත්තටම මේ හැම පෝස්ට් එකක ඇතුළෙම මහා මනුස්සකමක් ගැබ්වුණු කතාවක් තියෙනවා. අනිත් අතට මේ හැම කතාවකම ගැබ්වුණු අපේකමකුත් තියෙනවා. ඒ දෙකටම වගේම තරිඳු ගැනත් ලොකු ඇල්මක් ඇති වෙනවා. මේ කතා පොතකට ගොනු කළොත් ඒකත් අලුත් දෙයක් වේවි.

    ReplyDelete
    Replies
    1. හර්දයාංගම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. පොතක් කරන්න කියලා ඉල්ලීමක් ගොඩක් එනවා. තව ටිකක් ලිපි එකතු වුණාම ඒ ගැනත් හිතන්න ඕනේ...

      Delete
  8. මචං මමත් එදා ඉඳන් යකඩ ලවර්. මටත් තියෙනව ඔය වගේම සුන්දර කතාවක් මගේ තාත්ත වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ.. ඒකාලෙ තාත්තට දීල තිබුනා මරු ජීප් එකක්(ජීප් කිව්වට ඒක "ජීප්" එකක් නෙවෙයි ලැන්ඩ් කෲසර් බීජේ60 එකක්). තාත්තා නැති උනත් මට ඒ වාහනයේ නොම්මරෙ පවා යාන්ත්ම් මතකයි 8881 හරි 8889 හරි.ඊට අවුරුදු 30-40 කට පස්සේ මම ඒ වාහනේ දැක්කා. අනේ ඒකට වෙන බොඩියක් තියලා. හැබැයි වෙනස මම දැක්ක විදියට අලුත් බොඩිය හ්යි රූෆ් එකක්. නමුත් කාලෙකට පස්සෙ මට ගන්න ලැබුනා ඒ මොඩ්ල් එකේම සික්ස්ටියක්. මචං හිනා වෙන්න එපා මම කොහේ හරි ගිහිල්ල වාහනේ ගේ ඉස්සරහ නවත්වලා ගේ ඇතුලට ගියත් , වාහනේ නගින්න එලියට අවත් "එයාට" පොඩි තට්ටුවක් දානවා ආදරේට!(මචං හොඳට හෝදල කරලා පාක් කලාම පොර මං දිහා බලාන ඉන්නවා වගේ. ) හුඟක් එවුන් මට යෝජනා කලා මේකෙ නොම්මරේට අලුත්80 ය කට ගහමු කියල. මොන හිතකින්ද මචන් මෙච්චර කාලයක් රැයක් දාවාලක්, වැස්සක් අව්වක් නොබලා මාවයි මගේ අඹු සිඟිත්තවයි දරුවොඅ දෙන්නවයි පරිස්සමට ගෙදර අරන් ආපු "උගේ" උප්පැන්නේ අරන් මස් කඩේට දෙන්නෙ? ඩවසක් තව එක පිස්සෙක් මට කියනවා ෆුල් ඉන්සුඅරන්ස් එකක් තියෙන එකේ ඉස්සරහ කනුවක වද්දන්නලු අලුත් ෂෙල් එකක්(ග්‍රිල්) දා ගන්න! මම හොඳ සුපිරිම කුනු හරුප දෙකක් කියලා එලවා ගත්තා....!
    තට්ටයා....

    ReplyDelete