එක්දාස් නමසිය තිස් ගණන් වලදී ජර්මන් ඒකාධිපතියෙකුගේ ශෘංගාර සිහිනයක් වෙච්චි කාර් එකක් දශක කීපයක් ඇතුළත අර 'පොළොව බෙදූ තාප්ප හා කටුකම්බි අතුරුදන් කරන' හඳ එළිය කදම්බයක් වගේ ලෝකය තනි යායක් කරයි කියලා කවුද හිතුවේ!
ඒත් එහෙම වුණා බ්‍රෝ!
මීට අවුරුදු හයකට කලින් මම ෆොක්ස්වැගන් එකක් ගත්තේ බීට්ල් සංස්කෘතියක් ගැන මෙලෝ සංසාරෙක අවබෝධයක් නැතුව. ඒත් මේ පුංචි ඉබ්බාට හරිම ආනන්දනීය ඉතිහාසයකුයි සාඩම්බර සංස්කෘතියකුයි තියන විත්තිය මට බොහොම ඉක්මනට තේරුණා. ඒත් ලංකාව වගේ හිච්චි රටක් ඇතුළේ උප සංස්කෘතියක් (අනේ වඳින්නං! මම උප සංස්කෘතිය කියන වචනේ භාවිතා කරන්නේ අන්තරේ ඒක භාවිතා කරන අර්ථයෙන් නම් නෙමෙයි) විධිමත්ව පවත්වාගෙන යන එක සෑහෙන අමාරු කටයුත්තක්.
සාමාන්‍යයෙන් සමිති සමාගම් සංවිධාන ගැන එච්චර තැකීමක් නොකරන මම ශ්‍රී ලංකා බීට්ල් හිමිකරුවන්ගේ සංගමයට ගරු කරන්නේ සහ ඒකෙ සාමාජිකත්වය ලබාගෙන ඉන්නේ ඒ නිසයි.
එගොඩඋයනේ පරණ කාර් හදන මහේන්ද්‍ර නිතර කියන දෙයක් තමයි රටේ පරණ කාර් ටික මෙහෙම තියෙන්නේ කාර් ක්ලබ් ටික නිසා කියලා. අනික් කාර් ක්ලබ් ගැන කියන්න මම දන්නේ නැහැ. නමුත් රටේ ෆොක්ස්වැගන් සංස්කෘතියට බීට්ල් ක්ලබ් එකෙන් ඉටුවෙන මෙහෙවර ගොඩක් වටිනවා.
ෆොක්ස්වැගන් බීට්ල් සංස්කෘතිය ලෝකයේ බොහෝ රටවල්වලට පොදු දෙයක්. බීට්ල් එක කියන්නේ තනි මොඩ්ල් එකක් විදිහට ලෝකේ වැඩියෙන්ම අලෙවි වුණු කාර් එක. ටොයෝටා කොරොල්ලා වගේ models ගණන් හිලවු අතින් මේ වාර්තාව පහුකරලා තිබුණත් 1st Generation එකේ කොරොල්ලා එකකුයි අද කොරොල්ලා එකයි ගත්තොත් ඒ දෙක අහසට පොළොව වගේ (මේක මෙහෙම කියන්නේ කොරොල්ලා එක හොඳ නෑ කියන්න නෙමෙයි. මේ කාරණාව පැහැදිලි කරද්දී ලෝකයේ ගොඩක් දෙනෙක් මේ උදාහරණය පාවිච්චි කරනවා. ඒ නිසා කේන්ති ගියා නම් හිතෙන් දහයට ගණන් කරන්න). නමුත් බීට්ල් එක ගත්තොත් 1938 දී ඉස්සරලාම ආපු එකයි 2003 අන්තිමට ආපු එකයි එකම පවුලේ කියලා හරියටම අඳුනගන්න පුළුවන්. බීට්ල් මිලියන 21 ක් විතර රටවල් සෑහෙන්න ගාණක අලෙවි වුණු නිසා ලෝකේ පුරා බීට්ල් ගොඩක් ඉතුරු වෙලා තියනවා. නියම enthusiasts ලා මේක සංස්කෘතියක් විදිහට පවත්වාගෙන යනවා. ඒ නිසා අමතර කොටස් ලේසියෙන් හොයාගන්නත් පුළුවන්.
ලෝකේ පුරා බොහොමයක් රටවල හැම අවුරුද්දකම ජූනි 22 වෙනිදට ආසන්නයේම යෙදෙන ඉරිදා දවසේ ලෝක ෆොක්ස්වැගන් දිනය සමරනවා. එදාට අපි ජාති ආගම් දේශසීමා භේදයකින් තොරව ෆොක්ස්වැගන් විශ්වයේ පුරවැසියන් බවට පත්වෙනවා. සමහර රටවල Drive your VW to work day කියලා එකකුත් තියනවා. එදාට කට්ටියට වැඩට යන්නේ තමන්ගේ ෆොක්ස්වැගන් එකේ...
මේ දවස සමරන එක ලංකාවේ බීට්ල් ක්ලබ් එකත් කාලෙක ඉඳලා කරගෙන එන දෙයක්. මම ඉස්සරලාම මේ වැඩසටහනට සහභාගී වුණේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දෙත් අපි ඒකට සහභාගී වුණා.
වාහන ටික (මේක බීට්ල් වලට විතරක් නෙමෙයි, ඕනම VW model එකකට විවෘත event එකක්) එක්රැස් වුණේ ගෝල්ෆේස් හෝටලයට. එතන ඉඳන් අපි ගල්කිස්ස හෝටලයට වාහන ටික එළවගෙන ගියා. සංවාදය සහ සහතික බෙදාදීම වගේ දේවල් සිද්ධ වුණේ ගල්කිස්ස හෝටලයේදී. ඒ වගේම තමන්ගේ අවුරුදු 79 ක ජීවිතය පුරා බීට්ල් පාවිච්චි කරපු, 1990 දී ගත්තු තමන්ගේ තුන්වෙනි බීට්ල් එක තාමත් පාවිච්චි කරන ලාල් හේවාපතිරණ මහත්මයා බීට්ල් මේනියාව ගැන බොහොම අපූරු කතාවක් කළා. ඒ කතාවෙන් වැඩියෙන්ම මගේ හිත ගත්තේ ලෝකාන්තෙට ෆොක්ස්වැගන් එකේ ගිය කතාවයි. සමහර අලුත් වාහනත් බොයිල් කරද්දී වතුර නැතුව දුවන ෆොක්ස්වැගන් බීට්ල් එක කඳු නගින හැටි අපේ පරම්පරාවටත් තාමත් මැජික් තමයි.
ඉවෙන්ට් එකේ ෆොටෝස් ටිකක් මම මෙතන දානවා ඔයාලට බලන්න. ආසා හිතුණොත් ඉබ්බෙක් අරං ඊළඟ පාර ඔයත් එන්න...
ශ්‍රී ලංකා බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ ගැන විස්තර දැනගන්න මෙන්න මේ links වලට යන්න.
https://www.facebook.com/VWBOC/
http://www.vwbeetles.lk/
ඒ වගේම අපේ පේජ් එකටත් ගොඩවෙන්න අමතක කරන්න එපා.
https://www.facebook.com/CarPissuwa/
පසු සටහන්:
- සංගමේ සභාපති පීටර් ජාසිංහ මහත්මයාගේ පින්තූරයක් ගන්න හිටියත් එතුමා ස්පීකරෙත් අරන් රට වටේ දුවන නිසා ගන්න බැරි වුණා.
- මට හැම තිස්සෙම තොරතුරු ලබාදෙමින් උදවු කරන ඩේවිඩ් ජැන්සේ වත් බොහොම ළෙන්ගතුව මතක් කරනවා.
- වැඩසටහනට Würth, Senok, Wow.lk, Galle Face Hotel සහ Mount Lavinia Hotel වගේ අනුග්‍රාහකයෝ ලොකු දායකත්වයක් ලබාදීලා තිබුණා. ඒකත් මතක් කළ යුතුයි.
- ගෝල්ෆේස් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටනි පේටන් මහත්මයා බොහොම උනන්දුවෙන් වැඩේ ගැන හොයා බලමින් ඉන්නවා මම දැක්කා. කාර් පාක් එකේ පැය දෙකක් විතර තිබුණු වැඩක් වෙනුවෙන් එහෙම උනන්දුවක් පෙන්වීම වටිනවා කියලා මට හිතුණා.
1989 ත් 1991 ත් අතර කාලේ මගේ ජීවිත කතාව උඩ කරුණාවන්ත මොරිස් මයිනරේක හෙවනැල්ලක් වැටිලා තියනවා. තාමත් සමහර වෙලාවට, ජීවිතේ කරදර කලබල උඩට රතුපාට අවු රැල්ලක් වැටෙන හැන්දෑවක, ජනේලේ ග්‍රිල් අතරින් මගේ මොරිස් මයිනරේ පේනකොට මට ඒ වචනෙට නගන්න බැරි අතීතය මතක් වෙනවා.
1989 කියන්නේ මගේ අම්මා මාව මොන්ටිසෝරි එක්කන් ගිය කාලේ. ඒ කාලේ අඟුලාන සහ පානදුර අතර රේල් පාර මට බොහොම සමීපයි. කෝච්චියේ යන එක තරම් සතුටක් මට වෙන කිසිම දේකින් ලැබුණේ නැහැ. ඒත් මම සෙල්ලම් කාර්වලට හරියට ආසා කළා. අම්මයි තාත්තයි මගේ පස්වෙනි හෝ හයවෙනි උපන්දිනේට ට්‍රක් සෙට් එකකුයි පොලිස් කාර් එකකුයි තෑගි දුන්නා මට මතකයි. මම ඒ දෙක ගන්න ආවේ උදේ පාන්දර පිනුමකුත් ගහලා ඇඳෙන් පැනලා. ඒ දවස්වල මගේ ප්‍රියතම සෙල්ලම් කාර් එක වුණේ කොහෙන් හරි හම්බෙච්ච Mercedes-Benz W124 Convertible එකක්. ලස්සන නිල්පාට Convertible එකක්. ඒක අතේ තියාගෙන ගත්තු ෆොටෝ එකකුත් මගේ ගාව තියනවා. මම ඒකට කොච්චර ආසාද කියනවා නම් ෆොටෝ එක ගන්නකොට මම ඉන්නේ කාර් එක දිහා බලාගෙන මිසක් කැමරාව දිහා බලාගෙන නෙමෙයි.
ඒ දවස්වල තාත්තා වැඩකරපු තැන ප්‍රධානියා වුණේ දයාරත්න අංකල්. මගේ ජීවිතේ මට හම්බවුණු කරුණාවන්තම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. ඒ තරම් පුංචි කාලෙක වෙලත් මට ඒ මනුස්සයාගේ හොඳකම හිතට දැනුණා හොඳට මතකයි.
දයාරත්න අංකල්ට තිබුණේ කළුපාට 1 ශ්‍රී හෝ 2 ශ්‍රී මොරිස් මයිනර් එකක්. දැන් හිතද්දී තමයි මට කල්පනා වෙන්නේ එයා දරපු තනතුරේ හැටියට එයාට 80 දශකයේ අන්තිම ආපු කාර් එකක් ගන්න තිබුණා, නමුත් එයා ගත්තේ නෑ කියලා. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ.
අඟුලානේදී කෝච්චියෙන් බැහැපු සමහර වෙලාවල්වල සහ මගදී කොහෙහරි ගිහින් එන ගමන් අපිව හම්බවුණු වෙලාවල්වල දයාරත්න අංකල් අපිව එයාගේ කාර් එකෙන් එක්කන් ගිහින් ගෙදරට බස්සලා තියනවා. ඒ අතරින් එක සිද්ධියක් මට හීනයක් වගේ මතකයි. අංකල්ගේ මයිනරේ පෙට්‍රල් ෂෙඩ් එකක නවත්තලා තියනවා. අම්මයි තාත්තයි පැත්තකින් ඉන්නවා. මගේ අතේ කැන්ඩොස් චෝකෝනට් එකක් තියනවා. ඒ කැන්ඩොස් චෝකෝනට් එක දයාරත්න අංකල් හිනාවෙවී මගේ අතට දෙනවා මට මතකයි.
මම දන්න තරමින් ඒ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ ඒ කාලේවත් කඩයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ සිද්ධිය හරියටම කොහොම වුණාද කියන එක මට කියන්න බැහැ. නමුත් මම එදා ඉඳන් කැන්ඩොස් චෝකෝනට් කන්න ආසා වුණා කියලා මට ලාවට මතකයි.
සමහර විට මම මොරිස් මයිනර්වලට ආසා වෙන්න ඇත්තෙත් එදා ඉඳන් වෙන්න ඇති.
අපි අඟුලානේ ගෙවල් ඇතඇරලා අපේම කියලා ගෙයක් අරන් මොරටුවට ආවේ 1991 දී. බඩු ටික ලොරියේ පටවලා ඇරියට පස්සේ අපිව අලුත් ගෙදරට එක්කන් යන්න මොරිස් මයිනරේ අරන් ආවේ දයාරත්න අංකල්. අම්මා එක්ක කාර් එකේ පිටිපස්සේ සීට් එකේ හිටපු මං මොරටුව සහ පානදුර අතරෙදී ඉස්සරහට එන්න ඕනේ කියලා කන්කෙඳිරි ගෑවා. අංකල් හිනාවෙලා වාහනේ නැවැත්තුවා. වාහනේ ඉස්සරහ සීට් එකට ගිහිං තාත්තාගේ උකුලේ ඉඳගත්තු වෙලාවෙත් කාර් එක ඇතුලේ හොඳට ඉඩ තියන බවක් දැනුණා මට මතකයි.
මේ සිද්ධියට අවුරුදු 25 කට පස්සේ මම ඉස්සරලාම මොරිස් මයිනර් එකක් ගෙදරට ගෙනාපු දවසෙත් මට හිතුනෙ මේ කාර් එකේ කොච්චර නම් ඉඩ තියනවද කියන එකමයි!
අලුත් ගෙදරට ගිහින් බැස්ස ගමන් මට අලුත් ලෝකයක සතුට තදට දැනුණා. අපි එනකොට මෙතන තිබුණේ පුංචි ගෙයක්. රත්න ශ්‍රී විජේසිංහගේ භාෂාවෙන් කියනවා නම් මේ පුංචි ඉඩමේ ඇහැ ඩිංගක් නතර වෙන හැම පැත්තේම නම නොදන්නා මල් වවලා තිබුණා. ගම නොදන්නා කුරුල්ලෝ සින්දු කියකියා හිටියා. ඉම නොදන්නා වැස්සක සුවඳක් පොළොවෙන් හැමුවා. එදා අලුත් ගෙදර දොරකොඩ ඉඳන් එළිය බලද්දී වතුසුද්ද ගහකුයි අරලිය ගහකුයි මැද්දෙන් වැට අස්සෙන් පාරේ දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ බොහොම ගාම්භීර විදිහට විවේක ගන්නවා දක්කා මට මතකයි.
අලුත් ගෙදරට ඇවිත් ටික දවසකින් තාත්තා පරණ තැනින් අස්වුණා. ඊට පස්සේ මට කවදාවත් දයාරත්න අංකල්ව හම්බවුණේ නැහැ. නමුත් අංකල්ගේ මොරිස් මයිනරේ ගැන මතකය මගේ හදවතින් මැකිලා ගියෙත් නැහැ. දශක දෙකකට විතර පස්සේ කාර් පිස්සුව ගැහුවාම මට මේ කාර් එක හොයාගෙන යන්න ආසාවක් ආවා. තාත්තා එක්ක නිවාඩු දවසක දයාරත්න අංකල්ලාගේ ගෙදර යන්න මම කතාකරගත්තා.
ඒත් ඒ නිවාඩුව එන්න කලින්, එකමත් එක හැන්දෑවක තාත්තා ලෙඩ වුණා...
තාත්තාගේ මරණයත් එක්ක මගේ ලෝකේ තරුවක් නෙමෙයි මුළුමහත් සෞරග්‍රහ මණ්ඩලයක් කැඩිලා විනාස වෙලා ගියා. ඉඳහිටක වැටෙන උල්කාපාත කෑල්ලක් දෙකක් ඇරෙන්න තාත්තාගේ විශ්වයේ කිසිම සලකුණක් මට ඉතුරු වුණේ නැහැ. ඒ නිසා දයාරත්න අංකල්ගේ මයිනරේ locate කරගන්න කිසිම ක්‍රමයක් මට නැතුව ගියා. නමුත් මට තාමත් ඒක අමතක නැහැ. ඒක මැරෙනකම්ම මගේ හිතින් යන එකකුත් නෑ.
අදටත් හැන්දෑවක මගේ ගරාජ් එක ඇතුළේ විවේක ගන්න මගේ මොරිස් මයිනරේ දකිනකොට මට දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ මතක් වෙනවා. ඒ වෙලාවට අර අවුරුදු දෙක තුනකට කලින් පුපුරලා ඇස් පනාපිට සුන්නදූලි වෙලා ගිය විශ්වයකින් ඉතුරු උල්කාපාත කෑල්ලක් මගේ ලෝකේ ආකාසේ රතු පාටට ඉරක් ඇඳගෙන ඇදීගෙන ගිහින් මළ මතක සාගරේකට වැටිලා නිවිලා අතුරුදහන් වෙලා යනවා.
ඒත් මම හෙටත් දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ ගැන හිතනවා...
www.facebook.com/CarPissuwa/
ජීවිතේ අපි හීනෙන්වත් නොහිතන මිනිස්සු සහ දේවල් පැණි කුරුල්ලෙක් තටු ගහන වේගෙන් අපේ ජීවිත වල ලේ නහර බවට පත්වෙන හැටි පුදුමාකාරයි. කාර් පිස්සෝ වෙන අපිට මේ වගේ බහුබූත දේවල් සඳහා වෙනම විශ්වයක් තියනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දවස පටන්ගන්න කොට මොරිස් ඔක්ස්ෆර්ඩ් ගැන ගූගල් ඉමේජස් බලන්න ගන්න අපි හවස ගිහිල්ලා හම්බර් හෝක් එකක් ෆ්ලැට් බෙඩ් එකක දාගෙන ඇවිත් ඉතුරු කරගත්ත හැම සතේම ඒකට වියදම් කරන්න ඉඩ තියනවා. දවස ගානේ කඳු පල්ලම් වල බඩගගා ජීවිතේ අනතුරේ දාගත්තේ නැති වුණාට අපිත් ඇඩ්රිනලින් වලට ආසයි නංගි...
මට බරපතළ විදිහට කාර් පිස්සුව ගැහුවේ 2010 අවුරුද්දෙදී. ඒ දවස්වල ලංකාවේ ikman.lk තිබුණේ නැහැ මම හිතන්නේ. රියසෙවණ නම් තිබුණා. නමුත් ඒ දවස්වල මගේ ඒ තරම්ම ඉන්ටර්නෙට් භාවිතයක් තිබුණේ නැහැ. මට කාර් පිස්සුව ගැහුවේ මම ළිඳකට වැටිලා ළිං කටින්ම ගොඩ එන්න සිද්ධ වුණු නිසා.
මට එතකොට තිබුණේ 1980 ලාන්සර් බොක්ස් එකක්. උකුස්සෙක් වගේ ඇඟට නොදැනෙන්න පාවෙලා යන, අම්මෙක් අප්පෙක් වගේ විශ්වාසය තියන්න පුළුවන් කාර් එකක්. ඕකේ පිටිපස්සේ දිරුමක් ඇවිල්ලා මම ඒක හදාගන්න ටින්කරින් වැඩ කරන 'අයියා' කෙනෙකුට කිව්වා. 'අයියා' වාහනේ කෑලි වලට ගලෝලා මගෙන් එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවා. එදා බොහොම සාමාන්‍ය පඩියක් එක්ක රස්සාවක් කර කර හිටපු මම අන්ත අසරණ වුණා මට මතකයි. ඒ කතාව පස්සේ දවසක කියන්නම්.
ඉතිං වැටිච්ච ළිඳේ ළිං පතුලේ සිසිල් දියේ දියබුං ගහන අතරේ මම බීට්ල් එකක් ගන්න තීරණය කළා (ඒක බහුබූත තීරණයක් තමයි. ඒත් මේක කාර් පිස්සන්ගේ විශ්වය. අපි මේ විශ්වයේදී කරන්නේ සල්ලි නැතිවුණාම වියදම් කරන්න අලුත් දෙයක් හොයාගන්න එකයි). සෑහෙන කාලෙකට පස්සේ තමයි මට සුවාරපොළ මහේෂ්ව සෙට් වුණේ. මිනිහා මට ඔප්ෂන් ටික එවුවේ 2010 ජූලි 29 වෙනිදා. මේ ඔප්ෂන් අතරින් තමයි මම 3 ශ්‍රී 5661 තෝරාගත්තේ.
මහේෂ් එක්ක ගිහින් ඉස්සරලාම කාර් එක බලපු මොහොත මට හොඳට මතකයි. මේක අවුරුදු 80 ක් විතර වයස බොහොම grumpy අන්කල් කෙනෙක් බොහොම ආදරෙන් අවුරුදු 15 ක් විතර පාවිච්චි කරපු කාර් එකක්. සෑහෙන්න දිරලා තිබුණේ. නමුත් මේක දෙන්න අන්කල්ගේ කිසි කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අන්තිමට වාහනේ විකුණන්න එයාව පොළඹවා ගන්න මහේෂ්ට පුළුවන් වෙලා තිබුණා.
ලියකියවිලි වැඩ ඉවර කරලා වාහනේ එළියට ගත්තේ මාත් එක්ක ආපු මගේ යාලුවා. මිනිහා වාහනේ එළියට අරගෙන පාරට අරන් යනකොට මමයි මහේෂුයි හිටියේ අංකල් ගාව. මහේෂ් අංකල් දිහා බලලා මෙහෙම කිව්වා.
"අන්න අංකල්ගේ කාර් එක යනවා... "
මම අංකල්ගේ මූණ දිහා බැලුවේ එතකොටයි. ගෙදර මිනිස්සුන්ටත් නිකරුණේ කෑ ගහන මනුස්සයෙක් වගේ කලින් පෙනුණු අංකල්ගේ මූණේ කියාගන්න බැරි දාහක් දේවල් ඇඳිලා තියනවා මම දැක්කා. ඒක හුදෙක් තමන්ගේ වාහනේ වෙන එකෙක් අරන් යාම ගැන දුකක් නෙමෙයි. මිනිහෙක් අවුරුදු 15 තිස්සේ වාහනයක් තියන් ඉන්නවා කියන්නේ ඒ මනුස්සයා ඒ වාහනේ එක්ක ලොකු බැඳීමක් තියනවා කියන එකයි. ඒ මනුස්සයට දැන් වයස 80 ක් නම්, ඒ කියන්නේ කොහෙහරි තැනක දුක හිතෙන කතාවක් තියනවා. ප්‍රායෝගික පැත්ත හිතුවොත්, අංකල්ට ආයේ බීට්ල් එකක් හරි වෙන පරණ වාහනයක් හරි අරන් හදන්න හෝ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අනික් අතට අලුත් වාහනයක් එළවන්න වත් දරුවෝ ඉඩ දෙන එකක් නැහැ. ජීවිත කාලයක් වාහන පිස්සෙක් වෙලා හිටපු මිනිහෙකුට මේ වගේ මොහොතක අන්තිම පිදුරු ගහත් ගංගාවේ ගහගෙන ගියා වගේ දැනෙනවා ඇති.
මිනිස්සු පුනරුප්පත්තිය විස්වාස කරන්න ගන්නේ මේ වගේ වෙලාවල්වල තමයි...
මම එදා ගෙදර ආවේ ලොකු බරක් හිතේ තියාගෙන. කවදා හරි වාහනේ restore කරලා ඉවර වුණාට පස්සේ ඒකත් අරන් අංකල්ව බලන්න යනවා කියලා මම හිතාගත්තා. ඒත් මම මටම වුණු ඒ පොරොන්දුව මට කවදාවත් ඉෂ්ට කරන්න බැරිවුණා. ජීවිතේ වැඩ රාජකාරිත් එක්ක සමහර පුංචි පුංචි පොරොන්දු අපේ ඇඟිලි තුඩුවලින් ලිස්සලා යනවා. අංකල් හිටපු පාර පහුකරගෙන ඩ්‍රයිව් කරපු සමහර වෙලාවල් වල එන ගමන් එහෙ ගිහින් එනවා කියලා හිතපු වාර අනන්තයි. ඒත් ආපහු එනකොට හිතේ මනුස්සකම් තැලෙන්න මොකක් හරි කරදරයක් කලබලයක් බරට පැටවිලා තිබුණා.
අවුරුදු තුන හතරකට පස්සේ මම 3 ශ්‍රී 5661 තියෙද්දීම 9 ශ්‍රී 5333 ගත්තා. 9 ශ්‍රී 5333 දවස ගානෙම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික වාහනයක් කියලා දැනුණට පස්සේ 3 ශ්‍රී 5661 මගේ හිතට බරක් වුණා. ඒ නිසා මම ඒක විකුණුවා.
අලුත් අයිතිකාරයා 3 ශ්‍රී 5661 අරන් යනකොට මට එච්චරම දුකක් හිතෙයි කියලා මම හිතුවේ නැහැ. ඒත් කාර් එකේ එන්ජින් බේ එකේ තිබුණු පුංචි රතුපාට තීන්ත පතුරක් බිම වැටිලා තියනවා දැකලා මම ඒක අතට ගත්තා.
ඒක මගේ මේසේ උඩ අවුරුද්දක් විතර තිබුණා.
දැන් මගේ මෙසේ උඩ තියෙන්නේ 9 ශ්‍රී 5333 එකෙන් ගලෝපු VW Badge එකක්.
ජීවිතේ වෙනස් වෙනවා...
( https://www.facebook.com/CarPissuwa/ )
මේ පෝස්ට් එක වෙනදා වගේ උපදෙස් දෙන පෝස්ට් එකක් නෙමෙයි. මේක ක්ලැසික් කාර් ලෝකයේ ටිකක් සංවේදී සටහනක්.
මම ටිකක් කාර්ය බහුල කෙනෙක් නිසා මට එකපාර කිලෝමීටර විස්සකට වඩා දුර එළවන්න හම්බවෙන්නේ කලාතුරකින්. මාස කීපයකට උඩදී මට පුංචි විවේකයක් ඇවිල්ලා ගෙදර කට්ටිය සහ මිතුරියක් එක්ක පාහියංගල ගියා. ඒ ගමනේ අතර මගදී ගත්තු පින්තූරයක් තමයි මේ උඩින් තියෙන්නේ. මේක ෆේස්බුක් එකේ ක්ලැසික් කාර් පේජ් එකේ දැම්ම වෙලාවේ නොහිතපු තරම් විශාල ප්‍රතිචාරයක් ආවා. ඒ වගේම විදේශ ෆේස්බුක් පිටුවකුත් මේක ෂෙයා කරලා එහෙනුත් මට ප්‍රතිචාර ගොඩක් ලැබුණා.
පාහියංගල යන්න මම ප්ලෑන් කළේ එක ප්‍රධාන හේතුවක් නිසා. ඒ තමයි පානදුර රත්නපුර පාරේ මගේ බීට්ල් එක එළවන්න මට තියන ආසාව. පානදුර රත්නපුර පාර කියන්නේ හොඳට හදපු, හැබැයි බොහොම tricky පාරක්. වංගු, පොලීසිය, ඩබල් ඉරි (සහ හයිබ්‍රිඩ්) හැමතැනම. මම සාමාන්‍යයෙන් බොහෝ දුරට නීති ගරුකව, හැබැයි ටිකක් වේගෙන් එළවන කෙනෙක්. ඒ වගේම ජපන් හයිබ්‍රිඩ් ඕවර්ටේක් කරලා ඒවා එළවන මිනිස්සුන්ව හොල්මන් කරන්නත් මම ආසයි.
පාහියංගල දක්වා ගිය ඩ්‍රයිව් එක මම බොහොම එන්ජෝයි කළා. පරණ බීට්ල් කියන්නේ අලුත් Golf GTI වගේ සුපිරියට වංගු ගන්න පුළුවන් වාහන නෙමෙයි. මේවායේ ට්‍රැක්ෂන් බින්දුවයි. ඒ නිසා ක්‍රමේ දැනගෙන වංගු ගන්න ඕනේ. හැබැයි විශ්වාස කරන්න, ඔයා ඩ්‍රයිව් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ ත්‍රිල් එක කිසිම දවසක ප්‍රියස් එකකින් හරි කොරොල්ලා එකකින් හරි ගන්න බැහැ. මේ ඇඩ්රිනලින් රෂ් එක Subaru Impreza WRX STI වලින් හරි Lancer Evo වලින් හරි ගන්නත් බැහැ.
පාහියංගල හරිම ලස්සන තැනක්. ඒක ලංකාවේ මානව ජනාවාස පිළිබඳව සාක්ෂි ලැබුණු තැන්වලින් පැරණිම තැනක් කියලා ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. පාහියන් හාමුදුරුවෝ එක්ක තියන සම්බන්ධය නම් නිකන් ජනශ්රුතියක් විතරක් වෙන්න ඕනේ.කොහොම වෙතත් තැන නම් හරිම ලස්සනයි. බලන්න මහා දෙයක් නැති එක ඇත්ත. ඒත් එතන mainstream tourist attraction එකක් නොවන නිසා අමුතු underdog factor එකක් තියනවා. හැබැයි ඇත්තටම මට පාහියංගල ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. මගේ ඔලුවේ තිබුණේ ඩ්‍රයිව් එක.
පාහියංගල අවට පරිසරය බොහොම හරිතවත්. මේවායේ සංචාරය කරන එකේ ආතල් එක කතාකරන්න ඕනෑතරම් කට්ටිය හිටියත් මේ වගේ පාරක් දිගේ ඩ්‍රයිව් කරන එකේ ආතල් එක ගැන කතාකරන්න ඉන්නේ බොහොම ටික දෙනයි. මම ඒ ටික දෙනා අතරින් කෙනෙක් වීම මට ආඩම්බරයක්. ඔබත් ඒ ටික දෙනා අතරින් කෙනක් බව මම දන්නවා.
පාහියංගල ගිහින් ආපහු එනකොට හොරණ බුලත්සිංහල පාරෙදි තමයි මම මේ ලිපියේ මුලින්ම දාපු ඡායාරූපය ගත්තේ. පාහියන්ගල යද්දී මේ අතඇරලා දාපු බීට්ල් එක දකිනකොට මගේ වේගේ අධිකයි. ඒ නිසා එනගමන් නවත්තනවා කියලා හිතාගෙන ආවා.
මේ වගේ අතඇරලා දාපු වාහන දැක්කාම ඒවා ගොඩගන්න පුළුවන්ද කියලා බලන එක කාර් පිස්සන්ගේ සිරිතක්. මමත් එහෙම හිතාගෙන නැවැත්තුවා මිසක් ෆොටෝ එකක් ගන්න අදහසක් මට තිබුණේ නැහැ. ඒත් එතනට ගිහින් හැරිලා බලද්දී මට තේරුණා ලෝක දෙකක පරතරය. අර කාර් එක දැක්කම තේරෙනවා ඒක සොලිඩ් කාර් එකක් විදිහට තිබිලා තියනවා කියලා. නමුත් මොකක් හරි හේතුවක් නිසා අයිතිකාරයා ඒක අතඇරලා දාලා. ඒක restore කරන්නත් කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.
සමහරුන්ට මේවා යකඩ ගොඩවල් විතරක් වෙන්න පුළුවන්. ඒත් අපිට මේවා අපේ ජීවිතේ. මේවාට හිත යටින් ආසා කරන, ඒත් කාර් පිස්සුවට ජීවිතේ ඇතුළේ ඉඩක් දෙන්න විදිහක් නැති කී දෙනෙක් ලෝකේ ඉන්නවද! රැකියාවේ කාර්ය බහුලකම, අධ්‍යාපනය සහ පවුල් ප්‍රශ්න වගේ තවත් දාහක් ප්‍රශ්න එක්ක මිනිස්සුන්ට මේ වගේ දේකට කාලය, ශ්‍රමය, මුදල් වැයකරන්න අමාරුයි. කී දෙනක් මේ පාරේ යද්දී මේ කාර් එක දිහා බලලා හූල්ලනවා ඇත්ද? කී දෙනෙකුට restoration project එකක් පටන් ගන්න හිතෙනවා ඇත්ද? ඒත් එක්කම තමන්ගේ ජීවිතේ අටෝරාසියක් දුක් කම්කටොලු මතක් වෙලා, ඒ වගේ දෙයක් කරන්න කවදාවත් ඉඩක් ලැබෙන එකක් නෑ කියලා සුසුමක් පිටවෙනවා ඇත්ද?
මම මගේම කියලා පොඩි දෙයක් කරලා හම්බ කරලා ඒ සල්ලි වලින් කාර් පිස්සුවට ජීවිතේ ඉඩක් දීලා ඉන්න මිනිහෙක්. මේවා බලලා තවත් කෙනෙක්ගේ ජීවිතේ කාර් පිස්සුවට ඉඩ පෑදෙනවා නම්, ඒ ඔස්සේ අකලට දිරලා අතීතයට එකතුවෙන්න තිබුණු කාර් දහයක් පහළවක් ඊළඟ පරම්පරාවට දායාද වෙනවා නම්, මට එච්චරයි. පාරේ අයිනේ පොළොවට පස් වෙලා යමින් ඉන්න මේ කාර් එක දැක්කාම සහ, ඒ කාර් එක එක්ක හොඳට restore කරපු මගේ කාර් එක තියනවා දැකලා හැඟීම්බර වුණු බොහෝ දෙනා කියපු දේවල් දැක්කම, අනාගතයේදී කළ යුතු දේවල් ගොඩක් මගේ හිතට ආවා. මේ බ්ලොග් එකත් ඒකෙ එක දීර්ඝකාලීන ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. කාර් පිස්සුව ගැන තියන සාම්ප්‍රදායික භයංකර ආකල්ප වෙනස් කරලා, මේක පොඩි කැපකිරීමත් කළොත් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා පෙන්නන එක තමයි මගේ මූලික අරමුණ.
මාත් එක්ක දිගටම මේ ගමන එන්න... අනිත් හැමෝම ගතානුගතික දේවල් කරද්දී අපි වෙනස් දෙයක් අනාගත පරපුරට ඉතිරි කරලා යන්න යමු...