Tuesday, April 26, 2016

ලාන්සර් බොක්ස් එකක් ගන්නවා නම් මේ දේවල් 5 ගැන හිතන්න

 




ලාන්සර් බොක්ස් කියන්නේ ලංකාවේ සෑහෙන පිරිසක් තමන්ගේ පළවෙනි වාහනේ විදිහට ගන්න, සෑහෙන දෙනෙක් ආසා කරන වාහනයක්. ක්ලැසික් වලට ආසාව තියන, ඒත් පාට්ස් අඩුයි කියලා යුරෝපියන් වාහන ගන්න බය අයට හොඳ විකල්පයක් තමයි ලාන්සර් බොක්ස් එක. මේක ඉස්සර මැණික් මුදලාලිලා ගාව තිබුණු වාහනයක් බව අපේ රටේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසා රත්නපුරේ ලාන්සර් බොක්ස් ගොඩක් තියනවා කියන එක අපි නිකම්ම පිළිගන්න දෙයක් වෙලා. ලාන්සර් බොක්ස් එක හරිම විශ්වාසදායක වාහනයක්. මගේ පළවෙනි වාහනයත් ලාන්සර් බොක්ස්. මම මේ දෙන්නේ අත්දැකීමෙන් දෙන පුංචි උපදෙස් පහක්. මේවා රටේ සාමාන්‍ය කාර් සංස්කෘතියට සම්බන්ධ දේවල් මිසක් ටෙක්නිකල් දේවල් නෙමෙයි. අනික් අතට ගත්තොත්, වාහන ගන්න හරි විකුණන්න හරි යන වෙලාවට ටෙක්නිකල් දේවල් වලට වඩා කල්චරල් දේවල් වැදගත් වෙන වෙලාවල් තියනවා. ඒ නිසා පොඩ්ඩක් කියවලා බලන්න.

1. දුර යනවා නම් ගියර් 5 ට යන්න, ගියර් 4 ගන්න එපා.
ලාන්සර් බොක්ස් කාර් වල ගියර් 4 සහ 5 වශයෙන් ගියර් බොක්ස් වර්ග දෙකක් ආවා. මම ඒ කාලේ කාර් ගැන මොන බම්බුවක් වත් දන්නේ නැති නිසා ගත්තේ ගියර් 4 කාර් එකක්. ඒකෙ කිසිම වරදක් නැහැ. හැබැයි මගේ මිත්‍රයෙක් ගේ තාත්තා කෙනෙක්ගේ භාෂාවෙන් කියනවා නම් ‘රත්නපුර පාරට දැම්මම කාර් එක පස්වෙනි ගියර් එක ඉල්ලලා අඬනවා.” මේ ඔබේ පළවෙනි කාර් එක නම් මේ වෙනස ඔබට එච්චර දැනෙන එකක් නැහැ. ඒ වුණාට ගියර් 5 එකට යන එක ඇඟට ගුණයි.

2. රෙඩ් බීඩින් මාකට්
ලාන්සර් බොක්ස් එකේ බඳේ එන, කැපිලා පේන බීඩින් වගයක් තියනවා. මේක සාමාන්‍යයෙන් කළුයි. නමුත් මේකේ සීමිත රතු බීඩින් මොඩ්ල් එකක් ඇවිල්ලා තියනවා. ඒ නිසා ‘රෙඩ් බීඩින්’ කියලා විකුණන කාර් ලහිපිටේ එහෙම දකින්න පුළුවන්. හැබැයි අවංකව කියනවා නම් මම මේ රෙඩ් බීඩින් තාමත් ළඟට නම් දැකලා නෑ.

3. ‘ඔරියන්ට් එන්ජිම’
කට්ටිය මේ ඔරියන්ට් කියන්නේ ඉංග්‍රීසියෙන් Orion කියන එකට. 70 දශකයේ ඉඳන් මිට්සුබිෂි සමාගම නිෂ්පාදනය් කරපු එන්ජින් පෙළකට එයාලා Orion කියන නම දීලා තියනවා. (විකිපීඩියා බලන්න - https://en.wikipedia.org/wiki/Mitsubishi_Orion_engine). මොකක් හරි හේතුවක් නිසා මේක මාකටින් ටර්ම් එකක් විදිහට අපේ අය පාවිච්චි කරනවා. මේක සාමාන්‍යයෙන් 1400cc එන්ජිමක්. හැබැයි ටිකක් වැඩිපුර බලය තියනවට කැමති අයට ලාන්සර් බොක්ස් වල  ‘සිරියස්’ (Sirius) කියන, 1800cc එන්ජින් එක එක්ක ආපු වර්ෂන් එක ගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් හොයන්න අමාරුයි. හිතුණොත් මාත් එකක් අරන් බලන්න ඉන්නේ.

4. ‘ඩෑෂ් බෝඩ් කැඩී නැත’
ලාන්සර් බොක්ස් එකේ ඩෑෂ් බෝඩ් එක කාලයත් එක්ක කැඩිලා යන්න පුළුවන් ඩෑෂ් බෝඩ් එකක්. ඒකෙ තියන වෙන්ටිලේටර් ග්‍රිල් ළඟින් එහෙම කෑලි ලේසියෙන් කැඩිලා යනවා. වාහන අරන් විකුණන පොරවල් මේවා පෙන්නලා ගාන අඩුකරන්න හොඳට දන්නවා. ඒ නිසා බලලා ගත්තේ නැත්නම් ආයේ විකුණන දවසක බ්‍රෝකර් කෙනෙක්ගේ හොම්බ තලන්න හිතෙයි.

5. ‘ඒ.සී. තියනවා. ගෑස් කරන්න විතරයි ඕනේ’
බයිලා!  ඕකේ ඒ.සී නැත්නම් හදන එක ෆුල් ජොබ් එකක්. සමහර විට හැදුවත් හරියන්නෙත් නෑ. මගේ කාර් එකේ ඒ.සී. එක ෆුල් හදන්න වුණා. ඒක පස්සේ ගත්තු කෙනාට නම් ගෑස් කරන්න විතරයි ඕනේ වෙන්න ඇත්තේ. ඒත් සාමාන්‍යයෙන් බහුතරයක් එහෙම හදන්න මහන්සි වෙන්නේ නෑ. අනික ඒක වියදම් යන වැඩක්. ඒ නිසා ඒ.සී තියනවා කියනවා නම් බලලා ගන්න. ‘ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස කරන්න එපා.

13 comments:

  1. ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස කරන්න එපා.:D

    ReplyDelete
  2. ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස කරන්න එපා.:D

    ReplyDelete
  3. වැඩිම මාකට් එක තියෙන්නේ MMC බැජ් වර්ෂන් එකට.

    ReplyDelete
  4. ඔරියන්ට් එංජිම ගැන කියනවා නං ඒක ලාන්සර් බොක්ස් එකට විතරක් නෙවේ ලාන්සර් වැගන් එකටත් අදාල දෙයක්...වැගන් එකක් ගන්නවා නං අනිවා ඔරියන්ට් එංජිමක් තියන එකක් ගන්න බලන්න...මාකට් එක වගේම ක්‍රියාකාරීත්වයත් හොදටම තියෙන්නෙ ඔරියන්ට් එංජිමේ...බොහෝ විට ඔරියන්ට් එංජිමක් ආවෙ 1980න් වගේ පස්සෙ ආපු ලාන්සර් වැගන් වල...

    ReplyDelete
    Replies
    1. ඔරියන්ට් ඇන්ජිම ලාන්සර් බොක්ස් එකට හා වැගන් එකට සීමා වෙලා නෑ......
      ලාන්සර් ටියුබ් ලයිට්
      ඒ වගේම l 300 වෑන් එකටටත් ආවා..තව ඇවිත් ඇති මොනව උනත් start කරහම සද්දේ කනට ඇහෙන්නේ නැති ඇන්ජිමක්.....


      ප.ලි..
      පරන කතාවක් උනාට කියෙව්වේ අද

      Delete
  5. Puluwan nm Toyota Corolla KE 20 ekak ganath dannako aiye

    ReplyDelete
  6. ටින්කරින් තිබෙන බොක්ස් 1980 මොනවගේ ක්‍රමයකින්ද ගොඩ දාගන්න පුඵවන්
    මගේ ගත්ත එක රනින් හොද උනත් පේන්ට් එකේ බුබුලු දැමීමක් වරින් වර තියෙනවා

    ReplyDelete
    Replies
    1. හොඳ පේන්ට් බූත් එකක් තියන තැනක තමයි පේන්ට් කරන්න ඕන. කොච්චර තහඩුවටම හීරුවත් වැඩක් නැහැ ඊට පස්සේ දවසක් හරි වාහනේ දූවිලි වැදුණොත් කොච්චර හොඳ පේන්ට් එකක් ගැහුවත් වැඩක් නැහැ, ආයේ බුබුළු දානවා.

      Delete
  7. මම අදහස් කලේ වාහනය පරණ වීමත් සමඟ එන දිරුම් බුබුලු ගැන
    ඒකට මම හිතන විදිහයට අඩු වියදම් ක්‍රමයක් නෑ. ටිංකරින් කරන්නම වෙනවා.
    නමුත් දැන් මම වාහනය ගත්ත දින වලට වැඩිය මේක හොද මට්ටකින් තියාගෙන පාවිච්චි කරන්න
    කැමතියි.ඒකට හේතුව උනේ පළමු වරට මිලදී ගත් සහ පළමු වරට පදවපු වාහනය වීමත්
    පැදවීමෙන් ලැබෙන වින්දනයත් නිසා

    ReplyDelete
  8. ලාන්සර් බොක්ස් වල GSR engine කියලා එංජිම තියන වාහන වගයක් මම ෆේස්බුක් එකේ දැම්මා...ඒකද අර serious 1800cc කියන්නේ?

    ReplyDelete
  9. lancer eke tinkering krn thiynwah podk kiyana normal cataloy use kranthuwa wena hoda body filler rkk thiynwah da

    ReplyDelete
  10. තව හුඟක් දේවල් තියෙනවා බලන්න

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් ඉස්සර ලියපු එකක්. මේක ලියනකොට පාහියංගල ලිපිය ලියවිලා තිබ්බේ නැහැ. මම මේක අයින් කරන්නත් හිටියේ, දැන් බ්ලොග් එකේ ස්ටයිල් එකට ගැලපෙන්නේ නැති නිසා. ලඟදි මේ ක්ලබ් එකේ ෂෙයා කරලා තියෙන්නේ වෙන කෙනෙක්.

      Delete