Wednesday, April 27, 2016

'Operation Lancer 1980'


ලාන්සර් බොක්ස් ගැන මගේ පහුගිය පෝස්ට් එක දැකපු යාලුවෙක් මට කිව්වා ලාන්සර් එකේ restoration project එකේ ෆොටෝ දෙක තුනක් දාන්න කියලා. මේක පහුගිය පොස්ට් එකේම දිගුවක් නිසා වැඩිපුර ලියන්න යන්නේ නැහැ.

මේක 1980 හදපු, 1983 ලංකාවට ගෙනාපු, 1400cc ලාන්සර් බොක්ස් එකක්. මේක තමයි මගේ පළවෙනි කාර් එක. බොහොම විශ්වාසනීය කාර් එකක්. මේ නිසා අදටත් ලාන්සර් බොක්ස් ගැන පුදුම ළැදියාවක් මට තියනවා.

මේ ඔක්කොම ඡායාරූප 2010 වසරේ මම ගත්තුවා...මේ ඡායාරූප දැකලා ලාන්සර් බොක්ස් එකක් ගන්න හිතුණොත්, පහුගිය පෝස්ට් එකේ මම ලියපු උපදෙස් 5 කියවන්න අමතක කරන්න එපා...

















Tuesday, April 26, 2016

ලාන්සර් බොක්ස් එකක් ගන්නවා නම් මේ දේවල් 5 ගැන හිතන්න

 




ලාන්සර් බොක්ස් කියන්නේ ලංකාවේ සෑහෙන පිරිසක් තමන්ගේ පළවෙනි වාහනේ විදිහට ගන්න, සෑහෙන දෙනෙක් ආසා කරන වාහනයක්. ක්ලැසික් වලට ආසාව තියන, ඒත් පාට්ස් අඩුයි කියලා යුරෝපියන් වාහන ගන්න බය අයට හොඳ විකල්පයක් තමයි ලාන්සර් බොක්ස් එක. මේක ඉස්සර මැණික් මුදලාලිලා ගාව තිබුණු වාහනයක් බව අපේ රටේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසා රත්නපුරේ ලාන්සර් බොක්ස් ගොඩක් තියනවා කියන එක අපි නිකම්ම පිළිගන්න දෙයක් වෙලා. ලාන්සර් බොක්ස් එක හරිම විශ්වාසදායක වාහනයක්. මගේ පළවෙනි වාහනයත් ලාන්සර් බොක්ස්. මම මේ දෙන්නේ අත්දැකීමෙන් දෙන පුංචි උපදෙස් පහක්. මේවා රටේ සාමාන්‍ය කාර් සංස්කෘතියට සම්බන්ධ දේවල් මිසක් ටෙක්නිකල් දේවල් නෙමෙයි. අනික් අතට ගත්තොත්, වාහන ගන්න හරි විකුණන්න හරි යන වෙලාවට ටෙක්නිකල් දේවල් වලට වඩා කල්චරල් දේවල් වැදගත් වෙන වෙලාවල් තියනවා. ඒ නිසා පොඩ්ඩක් කියවලා බලන්න.

1. දුර යනවා නම් ගියර් 5 ට යන්න, ගියර් 4 ගන්න එපා.
ලාන්සර් බොක්ස් කාර් වල ගියර් 4 සහ 5 වශයෙන් ගියර් බොක්ස් වර්ග දෙකක් ආවා. මම ඒ කාලේ කාර් ගැන මොන බම්බුවක් වත් දන්නේ නැති නිසා ගත්තේ ගියර් 4 කාර් එකක්. ඒකෙ කිසිම වරදක් නැහැ. හැබැයි මගේ මිත්‍රයෙක් ගේ තාත්තා කෙනෙක්ගේ භාෂාවෙන් කියනවා නම් ‘රත්නපුර පාරට දැම්මම කාර් එක පස්වෙනි ගියර් එක ඉල්ලලා අඬනවා.” මේ ඔබේ පළවෙනි කාර් එක නම් මේ වෙනස ඔබට එච්චර දැනෙන එකක් නැහැ. ඒ වුණාට ගියර් 5 එකට යන එක ඇඟට ගුණයි.

2. රෙඩ් බීඩින් මාකට්
ලාන්සර් බොක්ස් එකේ බඳේ එන, කැපිලා පේන බීඩින් වගයක් තියනවා. මේක සාමාන්‍යයෙන් කළුයි. නමුත් මේකේ සීමිත රතු බීඩින් මොඩ්ල් එකක් ඇවිල්ලා තියනවා. ඒ නිසා ‘රෙඩ් බීඩින්’ කියලා විකුණන කාර් ලහිපිටේ එහෙම දකින්න පුළුවන්. හැබැයි අවංකව කියනවා නම් මම මේ රෙඩ් බීඩින් තාමත් ළඟට නම් දැකලා නෑ.

3. ‘ඔරියන්ට් එන්ජිම’
කට්ටිය මේ ඔරියන්ට් කියන්නේ ඉංග්‍රීසියෙන් Orion කියන එකට. 70 දශකයේ ඉඳන් මිට්සුබිෂි සමාගම නිෂ්පාදනය් කරපු එන්ජින් පෙළකට එයාලා Orion කියන නම දීලා තියනවා. (විකිපීඩියා බලන්න - https://en.wikipedia.org/wiki/Mitsubishi_Orion_engine). මොකක් හරි හේතුවක් නිසා මේක මාකටින් ටර්ම් එකක් විදිහට අපේ අය පාවිච්චි කරනවා. මේක සාමාන්‍යයෙන් 1400cc එන්ජිමක්. හැබැයි ටිකක් වැඩිපුර බලය තියනවට කැමති අයට ලාන්සර් බොක්ස් වල  ‘සිරියස්’ (Sirius) කියන, 1800cc එන්ජින් එක එක්ක ආපු වර්ෂන් එක ගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් හොයන්න අමාරුයි. හිතුණොත් මාත් එකක් අරන් බලන්න ඉන්නේ.

4. ‘ඩෑෂ් බෝඩ් කැඩී නැත’
ලාන්සර් බොක්ස් එකේ ඩෑෂ් බෝඩ් එක කාලයත් එක්ක කැඩිලා යන්න පුළුවන් ඩෑෂ් බෝඩ් එකක්. ඒකෙ තියන වෙන්ටිලේටර් ග්‍රිල් ළඟින් එහෙම කෑලි ලේසියෙන් කැඩිලා යනවා. වාහන අරන් විකුණන පොරවල් මේවා පෙන්නලා ගාන අඩුකරන්න හොඳට දන්නවා. ඒ නිසා බලලා ගත්තේ නැත්නම් ආයේ විකුණන දවසක බ්‍රෝකර් කෙනෙක්ගේ හොම්බ තලන්න හිතෙයි.

5. ‘ඒ.සී. තියනවා. ගෑස් කරන්න විතරයි ඕනේ’
බයිලා!  ඕකේ ඒ.සී නැත්නම් හදන එක ෆුල් ජොබ් එකක්. සමහර විට හැදුවත් හරියන්නෙත් නෑ. මගේ කාර් එකේ ඒ.සී. එක ෆුල් හදන්න වුණා. ඒක පස්සේ ගත්තු කෙනාට නම් ගෑස් කරන්න විතරයි ඕනේ වෙන්න ඇත්තේ. ඒත් සාමාන්‍යයෙන් බහුතරයක් එහෙම හදන්න මහන්සි වෙන්නේ නෑ. අනික ඒක වියදම් යන වැඩක්. ඒ නිසා ඒ.සී තියනවා කියනවා නම් බලලා ගන්න. ‘ගෑස් කරන්න විතරයි තියෙන්නේ’ කතාව සත පහකට විශ්වාස කරන්න එපා.

Monday, April 25, 2016

තායිලන්තයේ 'වෙළඳ ෆොක්ස්වැගන්'

 

තායිලන්තය කියන්නේ බොහොම සජීවී ෆොක්ස්වැගන් සංස්කෘතියක් තියන රටක්. එහෙ මිනිස්සු තමන්ගේ ෆොක්ස්වැගන් වලට හරිම ආදරෙයි. ඒ වගේම එයාලා තමන්ගේ වෙළඳාම් කටයුතු වලටත් ෆොක්ස්වැගන් කාර් සහ වෑන් බොහොම සක්‍රීය යොදාගන්නවා. ඒවා සාමාන්‍යයෙන් බොහොම ආකර්ෂණීය විදිහට පාට කරලා, සරසලා එහෙම තියෙන්නේ. මේ වෙළඳ ෆොක්ස්වැගන් වල පින්තූර ටිකක් පළකරන්න කියලා යාලුවෝ දෙතුන් දෙනෙක් මගෙන් ඉල්ලුවා. මේ පින්තූර ඔක්කොම මේ අවුරුද්දේ (2016) පෙබරවාරි මාසයේ මම ගත්තුවා.











බැහැලා වැඩකරන්න බලාගෙන ෆොක්ස්වැගන් ලෝකෙට එන්න.





(මේකේ සඳහන් තොරතුරු මම අවුරුදු දෙක තුනකට කලින් කරපු අධ්‍යයනයක කොටසක්. බ්ලොග් එකට හරියන්න එඩිට් කළා). 

ෆොක්ස්වැගන් රථය සංකල්පයක් විදිහට බිහිවුණේ 1938 වසරේ ජර්මනියේදී. ෆොක්ස්වැගන් බීට්ල් රථ නිෂ්පාදනය අවසන් වූයේ 2003 දී මෙක්සිකෝවේ දී. එදා මෙදා තුර ෆොක්ස්වැගන් බීට්ල් රථ 21, 529, 464 ක් නිෂ්පාදනය වී තිබෙනවා. පෙනුමේ බරපතළ වෙනසක් සිදු නොවී එක් මෝටර් රථ මාදිලියක් වැඩිම සංඛ්‍යාවක් නිෂ්පාදනය වීමේ වාර්තාව දරන්නේ බීට්ල් රථයයි. ටොයෝටා කොරොල්ලා සහ ෆොක්ස්වැගන් ගොල්ෆ් ඇතුළු ඇතැම් රථ මාදිලි  සංඛ්‍යාත්මකව මේ වාර්තාව ඉක්මවා ගොස් තිබුණත් ඒවා වරින්වර බාහිර පෙනුම හා වෙනත් අංග විශාල වශයෙන් වෙනස් කොට තිබෙනවා. ඒවා එකම නාමයක් පාවිච්චි කරන වෙනස් රථවාහන ගොඩක්. 

එදා සිට අද දක්වාම, ෆොක්ස්වැගන් බීට්ල් රථය හුදෙක් මෝටර් රථයක් පමණක් නොවෙයි. එය හැමවිටම ‘ආදරණීය’ රථයක් වුණා. මෙම ආදරණීය හා විශ්වසනීය ගුණාංග හැමවිටම ෆොක්ස්වැගන් බීට්ල් රථයට ආදේශ කොට දක්වා තිබෙනවා. වරක් ෆොක්ස්වැගන් බීට්ල් දැන්වීමක එම රථය හැඳින්වීමට යොදන ලද්දේ, ආදරණීය ජීවන සහකාරියක (හෝ සහකරුවෙකු) හැඳින්වීමට යොදන ‘His better half’ යන යෙදුමයි. මේක අද දක්වාම ෆොක්ස්වැගන් රථවල හිමිකරුවෝ ඉතා තදින් විස්වාස කරන දෙයක්. 

දැවැන්ත අන්තර්ජාතික සාර්ථකත්වයක් අත්පත් කරගත් ෆොක්ස්වැගන් බීට්ල් (නිල නාමය Type 1) සහ කෑම්පර්වෑන් (නිල නාමය Type 2) රථ ඒවා නිෂ්පාදනය කෙරුණු හෝ අපනයනය කෙරුණු බොහෝ රටවල සුවිශේෂ වූ සංස්කෘති (හෝ උපසංස්කෘති) බිහිකිරීමට සමත් වුණා. මේ අතුරින් වඩාත් ප්‍රකටම දෙයක් නම් ෆොක්ස්වැගන් බීට්ල් හා කෑම්පර්වෑන් රථ සමග හිපි සංස්කෘතියේ ඇති සම්බන්ධයයි (වෙන අටුවා ටීකා ඕනේ නැහැ. Woodstock 1969 කිව්වම ඇති)

ශ්‍රී ලංකාව ද ෆොක්ස්වැගන් සංස්කෘතියක් බිහිකරන්නට සමත් වූ රටක්. ලංකාවේ ෆොක්ස්වැගන් බීට්ල් රථය හැඳින්වීමට යොදන ‘ඉබ්බා’ නාමය අන්තර්ජාතික රචකයන් විසින් ද සටහන් කර තිබෙනවා.

Wikipedia අන්තර්ජාල විශ්වකෝෂයේ ද ‘ඉබ්බා’ නාමයත් ‘ගෙම්බා’ නාමයකුත් දක්වා තිබෙනවා. (http://en.wikipedia.org/wiki/List_of_names_for_the_Volkswagen_Type_1 වෙබ් පිටුව බලන්න). මෙරට ෆොක්ස්වැගන් බීට්ල් රථ හිමිකරුවන්ගේ සංගමයක් ද පවතින අතර එහි සාමාජිකයන් නොවන ස්වාධීන හිමිකරුවෝ රැසක් ද ඉන්නවා. ඊට අමතරව විධිමත් අමතර කොටස් අලෙවි ජාලයක් ද නඩත්තු සේවා සැපයුම් ජාලයක් ද පවතී. Facebook බඳු social network වෙබ් අඩවි හරහාත් ‘රිය සෙවන’ (www.riyasevana.com), ‘ඉක්මන්’ (www.ikman.lk) බඳු සාමාන්‍ය අලෙවි වෙබ් අඩවි හරහාත්, ‘ලහිපිට’ (ඉරිදා ලංකාදීප පුවත්පත සමග නිකුත් කෙරේ) බඳු මුද්‍රිත මාධ්‍ය මගිනුත් මේ පිළිබඳ තොරතුරු විධිමත්ව හුවමාරු වෙනවා. 

පොයින්ට් එක මේකයි. ෆොක්ස්වැගන් කියන්නේ (අඩුතරමින් air-cooled ඒවා) හුදෙක් වාහන විතරක් නෙමෙයි. ෆොක්ස්වැගන් බ්‍රෑන්ඩ් එක අති දැවැන්ත සංස්කෘතියක් බිහිකරපු, බිහිකරමින් පවතින බ්‍රෑන්ඩ් එකක්. ෆොක්ස්වැගන් සීන් එකේ බැහැලා වැඩකරන අයට තමන් විශාල සමාජයක සාමාජිකයෙක් බව දැනෙන්නේ එකයි. ඒ නිසා නිකන් සල්ලි ටිකක් තිබුණු පලියට ෆොක්ස්වැගන් එකක් අරගෙන පිස්සු නටන්න එපා. බැහැලා වැඩේ කරන්න කැමති නම් විතරක් මේ පාරෙන් එන්න.

Saturday, April 23, 2016

ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්...





සාමාන්‍යයෙන් ලංකාවේ බහුලවම හම්බෙන ක්ලැසික් කාර් වර්ග දෙක තමයි ෆොක්ස්වැගන් සහ මොරිස් මයිනර්. ගොඩක් අය තමන්ගේ පළවෙනි ක්ලැසික් කාර් එක විදිහට තෝරාගන්නේ මේ දෙකෙන් එකක්.

ක්ලැසික් කාර් එකක් එළවන එක ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අලුත් වාහනවලට අත හුරුවෙලා නම් මේක කොහොමත් අමාරුයි.

ෆොක්ස්වැගන් වල එන්ජිම තියෙන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ rear engine, rear wheel drive ක්‍රමයට. නමුත් මොරිස් මයිනර් ඇතුළුව ගොඩක් වාහනවල එන්ජිම තියෙන්නේ ඉස්සරහා. ඒ කියන්නේ front engine, rear wheel drive.

මේ වෙනස සුක්කානමට හොඳට දැනෙනවා. මේවායේ පවර් ස්ටියරින් නැහැනේ. මොරිස් එකක වීල් එක අතට ගොඩක් බරට දැනෙනවා. නමුත් ෆොක්ස්වැගන් එකක වීල් එක ගොඩක් සැහැල්ලුයි.

හැබැයි එකක් මතක තියාගන්න! ෆොක්ස්වැගන් වල කොහොමත් ගොඩක් ලොකු ස්ටියරින් ප්ලේ එකක් තියනවා. ඒ නිසා සමහර විට කාර් එක මාර විදිහට under steer වෙනවා. සමහර පරණ ෆොක්ස්වැගන් වලක වැටුණාම කැලේ යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දවසක අතට හුරුවෙනකල් ෆොක්ස්වැගන් එකක් ස්පීඩ් කරන්න එපා.

මොරිස් වල නම් එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මොරිස් එකක් ළඟ කපනවට වඩා ලේසියි ජිම් ගිහින් කිලෝ හැට හැත්තෑවක් දාලා බෙන්ච් එක ගහන එක...

වරදවා තේරුම් ගන්න එපා. මේ වාහන දෙකම එළවන එක ඒ තරම් අමාරු නැහැ. හැබැයි පුරුදු වෙනකල් කිසිම වාහනේකින් වැඩ දාන්න යන්න එපා. පරිස්සමෙන් එළවන්න. ඒක කවදත් කොහොමටත් ඇඟට ගුණයි.

2016 The Pride of Ownership Drive එක ගැන විස්තර Daily News (22.04.2016) සහ Daily FT (20.04.2016) පත්තරවල පළවෙලා තිබුණා. රටේ කාර් සංස්කෘතිය ගැන උනන්දු අයට දැනගන්න ඒ ලිපි මෙතනට උපුටා ගන්නවා.



Wednesday, April 20, 2016

කාර් පිස්සන්ගේ තියන එක සුවිශේෂී ලක්ෂණයක් තමයි ආත්මාර්ථකාමී හැඟීම් පැත්තකට කරලා අනික් කෙනෙකුගේ ප්‍රොජෙක්ට් එකක් අගය කරන්නට පුළුවන් වීම. මම දන්නා තරමින් ජෙනුයින් කාර් පිස්සෝ කවදාවත් තව කාර් පිස්සෙකුගේ ප්‍රොජෙක්ට් එකකට හරි වෙන වැඩකට හරි අකුල් හෙළලා නැහැ.

ගරාජ් එකට යන වාරයක් ගානේ අපි බලන්නේ අපේ ප්‍රොජෙක්ට් එක වගේම අනිත් එකාගේ ප්‍රොජෙක්ට් එකත් ඉවර වෙන්නේ කවදද කියලා. ඒ වගේම අනිත් එකාට උදවු අවශ්‍ය වෙලාවට උදවුවක් කරන්නත් අපි පස්ස ගහන්නේ නෑ. ඒ අතින් ඔය ලොකු ලොකු CSR ප්‍රොජෙක්ට් වලට වඩා අපේ ක්‍රමේ සාර්ථකයි.

වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් හැම එකාටම කාර් පිස්සුව බෝ කරමු! :D


Thursday, April 14, 2016

The Pride of Ownership Drive 2016


ෆෝක්ස්වාගන් (සාමාන්‍ය උච්ඡාරණයේ හැටියට ෆොක්ස්වැගන් හෝ වොක්ස්වැගන්) බීට්ල් හිමිකරුවන්ගේ සංගමය 17 වෙනි වතාවටත් සංවිධානය කරපු The Pride of Ownership Drive එකේ පින්තූර ටිකක්. ඡායාරූපවල හිමිකම් මගේ සහ මගේ බිරිඳගේ. අපේ කාර් එක 9 ශ්‍රී 5333.








Friday, April 8, 2016

කාර් එකක් හදලා ඉවර වෙලා ගරාජ් එකෙන් එළියට ගත්තට පස්සේ ටිකක් වෙලා (හරි ටික දවසක් හරි) යනකල් ඔළුව යකාගේ කම්මල වගේ. වාහනේ සමහර දේවල් ටින්කරින් වැඩවලදී මිකැනිකල් වැඩවලදී වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් වාහනේ ගැන අලුතින් ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා.

ඒ වෙලාවට අපිට වැඩියෙන්ම ඕනේ කරන්න මොකක්ද?

හිස් පාරක්... අපිටම වෙන්වෙච්චි පාරක්...වල ගොඩැලි නැති කිලෝමීටර දෙක තුනක් වත් විහිදෙන පාරක්...

ජීවිතේ සතුට දක්වා විහිදෙන පාරක්...!


Thursday, April 7, 2016

ප්‍රොජෙක්ට් එකක් ඉවර කරලා කාර් එකක් ගෙදර ගේන සතුට වචනවලින් කියන්න බැහැ. හැදුවට පස්සේ ඉස්සරලාම පාරට දාන එක වගේම ගෙදර ගෙනල්ලා නවත්තලා හැඩ බලන එකත් හරි අපූරු දෙයක්. මේ තියෙන්නේ මගේ පළවෙනි මොරිස් මයිනර් ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා කාර් එක ගෙදරට ගෙනාපු දවස...

අපි ජීවත් වෙන්නේ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට. ඒ අතර තියෙන්නේ ඕන වීමයි එපා වීමයි අතර අමුතුම කාල සීමාවල් ගොඩක්!


ක්ලැසික් කාර් එක්ක ජීවත් වෙන එක සතුටක් වගේම දුකක්...

ක්ලැසික් කාර් එක්ක ජීවත් වෙන එක සතුටක් වගේම දුකක්. මේක අමාරුවෙන් හම්බ කරලා ආසාවෙන් කාර් එකක් අරන් දුකෙන් නඩත්තු කරන අයට වගේම අතමිට යහමින් තිබිලා කැමති විදිහට රටින් අමතර කොටස් ගෙන්නන අයටත් අදාළයි.
'දැන් නම් මේ වැඩේ තිත්ත වෙලා' කියලා අපි කීදෙනෙක් ක්ලැසික් කාර් ගැන කියලා ඇද්ද? ඒත් ආයෙත් අටෝගෙන එක පාරක් පාරට දැම්මට පස්සේ, ඒ තප්පර ගානට අපට ආයෙමත් ඒ තිත්ත පැණි රහක් වෙනවා නේද?


ඒ තිත්ත සහ පැණිරහ අතර බහුබූත සම්බන්ධේ තේරුම් ගන්න පුළුවන් කාර් පිස්සුව තියන අයට විතරයි. කාර් පිස්සන්ට පරිබාහිරව කාර් පිස්සුව තේරුම් ගන්න පුළුවන් ඒක සංස්කෘතියක් කියලා පිළිගන්න ලැස්ති අයට විතරයි.

කාර් කියන්නේ සංස්කෘතියක්!

කාර් කියන්නේ සංස්කෘතියක්. ඔබ කාර් ගැන හිතන්නේ හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් විදිහට විතර නං, කරුණාකරලා මෙතනින් යන්න. නමුත් කාර් එකක් කිව්වහම ඔබට හුදෙක් ගමනකින් එහා ගිය දෙයක් දැනෙනවා නම්, අපිට සෙට් වෙලා කතාකරන්න පුළුවන්.