ගුණේ
අංකල්ට කාර් පිස්සුව හැදුනේ පැන්ෂන් ගියාටත් පස්සේ. ඉස්සර ගුණේ අංකල් රස්සාව කරන
කාලේ ඩ්‍රයිවර් එක්ක තමයි හැම තැනම ගියේ. ඒ කලේ ගුණේ අංකල් ඉඳහිටක නොකර බැරිකමට ඩ්‍රයිව්
කළා ඇරෙන්න මහා ආසාවකින් වාහන පදින්න ගියේ නැහැ. ගුණේ අංකල්ගේ තියරිය උනේ වාහන
තියෙන්නේ ගමන් කරන්න මිසක් ජොලි කරන්න නෙමෙයි කියන එකයි.
පැන්ෂන්
යන්න කලින් ගුණේ අංකල් පැන්ෂන් ජීවිතේ ගැන මාර සැලසුම් ගැහුවා. මාදු ගඟේ ඔරු
පදින්න, යාපනේ ගිහින් නාගදීපේ බලන්න, චීනේ ගිහින් බඩු ගේන්න, ඉස්කෝලයක් ළඟින්
ස්ටේෂනරි කඩ කෑල්ලක් දාගන්න; ඔන්න ඔය වගේ හැට හුටහමාරක් දේවල්. ඔය ලිස්ට් එකේ කවදාවත් ඩ්‍රයිවින් සම්බන්ධ දේවල්
තිබ්බේ නැහැ.
වයසට
යද්දී ගුණේ අංකල්ට පොඩි පොඩි අමතකවීම් එහෙම වෙන්න ගත්තා. වැඩට ගෙනියන බ්‍රීෆ්කේස්
එක අමතක වීමෙන් පටන් අරගෙන ගෙදරට දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පිටින්ම ගුණේ
ඇන්ටිට යන්නං කියලා යන්න පිටත් වීම වගේ දේවල් වෙන්න ගත්තම ඇන්ටි ටිකක් කලබල වුණා.
කොටින්ම ලංකාවේ මිනිස්සු හැම අමතකවීමක් සම්බන්ධයෙන්ම කියන 'දවසක කලිසම නැතුව වැඩට
යයි' කියන එක පවා ගුණේ ඇන්ටි කිව්වා. ඒ වුණාට ගුණේ අංකල් සැලුණේ නැහැ.
"වයසට
ගියාම මිනිහෙකුට අමතක වීම වෙන්න ඕනා. නැත්තං ඒක පට්ටි දාපු එළදෙනක් වෙලත් කිරි
එරුණේ නැහැ වගේ වැඩක්."
ගුණේ
අංකල් කිව්වේ එහෙමයි.
"අනේ
මේ කුණුහබ්බ කියන්නේ නැතුව ඉන්න අනේ!"
ඇන්ටි
උත්තර දුන්නේ එහෙමයි.
ඔහොම
තත්ත්වයක් තියෙද්දී පවා ගුණේ අංකල් පැන්ෂන් ගියාම ගුණේ අංකල්ගේ පුත්තරයා අංකල්ට
කොරොල්ලා කට්ටක් අරගෙන දුන්නා.
"තාත්තව
මරාගන්නද හදන්නේ උඹ?"
ගුණේ
ඇන්ටි පුතණ්ඩියාගෙන් ඇහුවේ එහෙමයි.
"නැහැ
ජීවත් කරවන්න. ජීවිත කාලෙම රස්සාව කරපු මනුස්සයෙක් ගෙදරට සීමා උනොත් බෙල්ලේ වැල
දාගන්නවා. ඔය ඔරු පදින චීනේ යන කඩ දාන වැඩ අපේ තාත්තා කරන්නේ නැහැ. අඩු ගානේ මාකට්
එකට හරි යන්නේ නැතැයි."
පුතණ්ඩියා
හිනාවෙලා උත්තර දුන්නා.
ගුණේ
අංකල්ට තෑග්ගට මාර සතුටුයි. මොකද පෙන්ෂන් ගියාම තමයි ගුණේ අන්කල් දැනගත්තේ තමන්
චීනේ තියා තූත්තුකුඩියේ වත් යන එකක් නැහැ කියලා. මිනිස්සු කවද්ද ප්ලෑන් කරපු දේවල්
කළේ? ඉතිං ගෙදරටම වෙලා ඉන්නවට වඩා කාර් එක අරන් මාකට් එකට වත් යන්න ලැබෙන එක
කොච්චර හොඳද කියලා ගුණේ අංකල්ට මීටර් උනා. ඒ සන්තෝසෙට අංකල් අවුරුදු පහළවකට විතර
පස්සේ පළවෙනි වතාවට පුතණ්ඩියා බදාගෙන ඉම්බා. පුතණ්ඩියා ලැජ්ජාවෙන් පස්සට උනා.
ගුණේ
අංකල් ඉතිං තමන්ගේ පාඩුවේ මාකට් එකට ගිහින් කෙහෙල්ගෙඩි සහ පොල්තෙල් ගේනවා වගේ වැඩ
කරගෙන ඉන්නකොට දවසක් අංකල්ගේ පැත්තේ ඥාතියෙක් බඳිනවා කියලා වෙඩින් එකකට ආරාධනාවක්
ආපි. ඒක අහලා ගුණේ ඇන්ටි ගස්සලා අහක බලාගත්තා.
"ඕකුං
අපේ මගුල් තුලා වලට ආවද? අපි යන්නේ මොකටද?"
ගුණේ
ඇන්ටි රවලා බලලා එහෙම ඇහුවා.
"මේ
නහින දෙහින වයසට තරහ මරහ තියාගන්නේ මොකටද නෝනේ? අපි ගිහින් එමු. මට කාර් එක දුර
එළවන්නත් පුළුවන්."
ගුණේ
අංකල් හිනාවෙලා කිව්වා.
ඒ
වුණාට ඇන්ටි ගමන යන්න ආවේ නැහැ. තනියම යන්න එපා කියලා කිව්වට ගුණේ අංකල් ඇහුවෙත්
නැහැ. ඇන්ටි කාමරේට වෙලා ඔරෝගෙන ඉද්දීම 'මම ගිහිං එන්නං' කියලා ගුණේ අංකල් කාර්
එකේ මගුල් ගෙදර යන්න පිටත් වුණා.
ගුණේ
අංකල්ට සාමාන්‍යයෙන් පාරේදී නම් කේන්ති යනවා. ඉතින් ටික දුරක් යනකොට පාරේ නීති කඩන
වාහන කාරයෝ ගැන ගුණේ අංකල්ට මාර තරහයි. තනියම හබ්බ කිය කියා ගුණේ අංකල් වාහනේ
ගෙනියනවා.
ටික
වෙලාවක් යද්දී මෙන්න ගුණේ අංකල්ගේ ෆෝන් එක රිං වෙනවා. ස්ක්‍රීන් එක බැලින්නම් ගුණේ
ඇන්ටි. අනික් මිනිස්සුන්ට බැන්නට ඒවා ගුණේ අංකල්ට අදාළ නැති නිසා ගුණේ අංකල් එළවන
ගමන්ම ෆෝන් එක ආන්සර් කළා.
"හෙලෝ?"
මෙන්න
බොලේ ඇන්ටි එහා පැත්තේ ඉඳන් තරහා අමතක කරලා හෙන කලබල හඬකින් කතා කරනවා.
"අනේ
ගුණේ. ඔයා යන පාරේ කවුදෝ කාර් කාරයෙක් රෝං සයිඩ් යනවලු පිඹගෙන. දැන් වාහන කීපයකම
හැප්පෙන්න ගියා ලු. පොලීසියට තාම කාර් එක හොයාගන්න හම්බෙලත් නැහැ ලු. මේ දැන් ටීවී
එකේ කිව්වේ. අනේ ගුණේ ඔයා පරිස්සමින්."
ගුණේ
අංකල් වීදුරුවෙන් ඉස්සරහයි වටපිටයි හොඳට බලලා, බොහොම සීරියස් හඬකින් මෙහෙම කිව්වා.
"එකෙක්
නෙමෙයි නෝනේ. අද නම් ලංකාවටම අමු කැවිලද කොහෙද. මගේ ඉස්සරහින් එන හැම එකාම එන්නේ රෝං
සයිඩ්!"
(ප්‍රසිද්ධ
විහිළු කතාවක සිංහල අනුවාදයකි)
තරිඳු ශ්‍රී ලොකුගමගේ
කාර් පිස්සුව/ Soi 11 පොත්
Online orders: grantha.lk
සරසවි, සදීපා, ගොඩගේ, දයාවංශ ජයකොඩි, සූරිය, සමයවර්ධන, අහස, ලුමිනෙක්ස්, Expograpchic ඇතුළු පොත්හල් වලින්.