ගිනිගහන මද්දහනේ, කෑගහන
සතිපොළක් මැද්දේ, කෑගහන මිනිස්සු අතරේ, සන්සුන්ව, හිනාවීගෙන කතාකරන අසෝකරත්න
මහත්මයාගේ කටහඬ මතක් කරද්දී මට මුලින් මතක් වෙන්නේ ඒ වචන ටික.
"අවුරුදු පනස් අටක
ඉඳන් මගේ ගාව..."
සති අන්තයේ අඩුම කුඩුම
ටිකක් ගන්න කම්මැලි කමින් මිරිකී මිරිකී පානදුර පොළ ඇතුළට ගිහින් වාහනෙන් බහිනකොටම
දැක්කේ මේ හතර ශ්‍රී පුංචි මී මැස්සා හෙවත් වෙස්පාව. බයික් වලට මහා ආසාවක් නැතත්
ක්ලැසික් බයික් වලට ටිකක් ආසා, ඊට වඩා ටිකක් වැඩිපුර ක්ලැසික් ස්කූටර් වලට ආසා කෙනෙක්
විදිහට ඉඳහිට පාරේ දකින Chetak එකක් අතගාන මට Vespa එකක් දැක්කම එන්නේ අර්ජුන කමලනාත්ලා අස්සෙන් විජය කුමාරතුංග මතුවුණා වගේ ෆීලින්
එකක්...
නැත්නම් කුසල්
ජනිත් ගහනවා බලලා ඊට පස්සේ ජයසූරිය ගහනවා බැලුවා වගේ ෆීලින් එකක්...
එහෙම නැත්නම් නිව්
බීට්ල් එකක් දිහා බලන් ඉන්නකොට ප්‍රේමතිලක මහත්තයාගේ කහ කිරිල්ලි එතනින් ගියා වගේ
ෆීලින් එකක්...
මේවා ලියන්නේ Chetak වලට අපහාස කරන්න නෙමෙයි. හැබැයි වෙස්පා දෙනවා කිව්වොත් ඔය Chetak මල්ලිලා දුවන්නේ මාළු කාරයා මාලෝ කියන පරක්කුවට පූසෝ සේරම ඤාවෝ කියනවා වගේ
ඉක්මනට...
ආපහු සතිපොළේ සීන්කෝන්
එකට එනවා නම්, වාහනෙන් බහිනකොට දැක්ක 4 ශ්‍රී වෙස්පා එකට මගේ හිත හරියට මල්මල් විෂුවල්
එකක කොල්ලා කෙල්ලට දැපනේ වැටෙනවා තරම් කුයික් එකේ වසී වුණා. මම වහාම ගිය වැඩේ
පැත්තක දාලා සීනි ඇටේ වටේ කැරකෙන ඇඹල පුතා වගේ ඒක වටේ කැරකෙන්න පටන් ගත්තා.
ඒක දැක්කා එතන හිටපු
අම්මෙකුයි දුවෙකුයි. එයාලා මන් දිහා බැලුවේ 'පිස්සෙක් ඇවිත්, අපි යමුද' වගේ
භීති-පූර්වක මඤ්ඤං-මිශ්‍රිත අපහාස-ලාලිත ජංජාල-සජ්ජිත චෛතසිකයකින්...
මම එයාලගේ භී.ම.අ.ජ.
තත්ත්වය එයාලට විඳගන්න ඇරලා දිගටම අර සීනි ඇටේ වටේ කැරකුණා.
ටික වෙලාවකින් වියපත්
මහත්මයෙක්, හෙල්මට් එකකුත් දාගෙන, සන්සුන් ගමනින්, කෙහෙල් කඩේක ඇම්බුං යායක් අතරින් එළියට
ආවා. මට තේරුණා මේ තමයි වෙස්පා ළඳගේ අතගත් හිමි සඳ කියලා.
මම සාමාන්‍යයෙන් අර අහක
යන මිනිස්සුන්ගේ අතින් ඇදලා නවත්තගෙන උන් කාපු බූට්, ට්‍රිප් ගිය රූට් සහ මහගත්තු
සූට් ගැන පැයක් තිස්සේ අහන ජාතියේ සමාජශීලී අපතයෙක් නෙමෙයි. ඒ නිසා එක තත්පරයක් මම
කල්පනා කළා මෙතුමාට මී මැස්සා පිටේ නැගලා පියාඹන්න ඇරලා ආශාව දෙපරන්සේ ගහගෙන ගෙදර
එනවද, නැත්නම් ඒ වයසක මනුස්සයව ගිනි අවුවේ හිට්ටෝලා තියලා පුරස්න අහනවද කියන එක.
අන්තිමට මම තෝරාගත්තේ පවුකාර
ඔප්ෂන් එක.
සදාචාරය තකා එක්ස්කියුස්
මී කියන්නත් කලින්, සංස්කෘතිය තකා නම ගම අහන්නත් කලින්, මනුස්සකම තකා ඔබතුමාට
ඩිංගක් කතා කරන්න වෙලාවක් තියනවද අහන්නත් කලින්, ආගම තකා මේ මනුස්සයා අවුවේ මඩවන
එක පවු නේද කියලා හිතන්නත් කලින්, කාර් පිස්සුව තකා මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
"මේක
ඔබතුමාගෙද?"
මෙන්න මේ ප්‍රශ්නේ අහපු
ගමන්, වාහන අයිතිකාරයාගේ මූණේ ඉරියවු වෙනස් වෙන දිශාව, වේගය, උස, දිග සහ පළල වගේ
මානයන්ට අනුව, ඊළඟට තියෙන්නේ මතක සමුදායක්ද ගුටි පූජාවක්ද කියන එක සාමාන්‍යයෙන්
කාර්/වෑන්/ලොරි/බයික් පිස්සන්ට තේරුම් ගන්න පුළුවන්.
වෙස්පා හිමිකරුගේ මුහුණේ
තුංගා පියකරු හිනාවක් ඇඳුණා. ඒක ආඩම්බරය, සතුට, සැහැල්ලුව, හිතවත්කම සහ අත්දැකීම්
බහුලත්වය වගේ බොහෝ දේවල් කැටිකරගත්තු හිනාවක්.
"ඔවු මගේ
තමයි."
ඊළඟ ප්‍රශ්නය, පරණ
වාහනයක් සහ වියපත් අයිතිකරුවෙක් දැක්කම නිතැතින්ම ඇහෙන ප්‍රශ්නයක්. හරියට කිඹුලා
කිව්වම සතා මතක් වෙනවා වෙනුවට නිකම්ම බනිස් කියවෙනවා වගේ.
"කොච්චර කාලයක්ද
ඔබතුමා ගාව?"
එතුමාගේ අර පියකරු හිනාව
දෙගුණ වුණා.
"අවුරුදු පනස් අටක්
විතර."
මම පුටින් බලන්න ඉන්නකොට
රස්පුටින් දැක්කා වගේ හොල්මන් වුණා.
"ඒ කියන්නේ ෆස්ට්
ඕනර් ඔබතුමා??"
"ඔවු. මම මේක ගත්තේ
යුනිවර්සිටි යන්න. කාර් මාර්ට් එකෙන් ගත්තේ"
එතන ඉඳන් මම ප්‍රශ්න ඇහුවේ හරියට රංජන් මඩුගල්ලේ දැකපු රාජකීයයෙක් වගේ ගෞරව ඉරියවුවකින් (ඉස්සර ප්‍රින්සිපල් එනවා කිව්වත් කචකචේ නවත්තනේ නැති රාජකීය ශිෂ්‍යයෝ ඉස්කෝලෙට රංජන් මඩුගල්ලේ එනවා කෑ ගහන්නේ නැතුව ඉඳපල්ලා කිව්වම ජයමංගල ගාථා කියන්න බලාගෙන ඉන්න ගෑනු ළමයි වගේ සන්සුන් වෙනවා. දැන් නම් එහෙම නැතුව ඇති සමහරවිට). දකින මිනිස්සු හිතන්න ඇති මගේ පරණ ගුරුවරයෙක් හම්බ වෙලා
කියලා.
එතන ඉඳන් ඉදිරියට එතුමා
විස්තර කළා එතුමා ඔය පුංචි මී මැස්සට එච්චර ආදරේ ඇයි කියන එක. බැලින්නම් එතුමා
ඉස්සර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති විදිහටත් කටයුතු කරලා තියනවා.
තමන්ගේ බොහොම දීර්ඝ වෘත්තීය ජීවිතය ඇතුළේ, දවසක් දෙකක් හැර, වෙන කිසිම දවසක එතුමාට
බස් එකේ ඉස්කෝලේ යන්න වෙලා නැහැ.
අනික් අතට මේක නඩත්තු කිරීම, අද පවා, හරිම පහසුයි
ලු. ඉඳහිට කොළඹ යන වෙලාවක, අවශ්‍යම නම් විතරක්, පංචිකාවත්ත පැත්තේ අර සුප්‍රකට
අමතර කොටස් කඩ වලින් එතුමා අත්‍යවශ්‍ය අමතර කොටසක් දෙකක් අරගෙන තියාගන්නවාලු. ඒ
ඇරෙන්න කවදාවත් වැඩ අතපසු කරගෙන බඩු හොයන්න තරමට ලෙඩ දීපු නැති වාහනයක් කියලා තමයි
එතුමා කිව්වේ. මේ සියල්ල නිසා, රාජකාරි හෝ වෙනත් කටයුතු වලදී ගමනගමනය ගැන වද
නොදී, කරන්න අවශ්‍ය දේ ගැන අවධානය දෙන්න එතුමාට මේ වාහනේ ජීවිත කාලෙ පුරාම උපකාරී
වුණා ලු.
"මේක ඔය පොඩියට
තිබුණට හරි සුවපහසුයි."
එතුමා වාහනේ අගය කිරීම
අවසන් කළේ එහෙම.
"මම ෆොටෝ එකක්
ගත්තට කමක් නැහැ නේද?" මම ඇහුවේ Vespa එකේ V අකුර වගේ ඇදවෙන ගමන්. එතුමාට
කලින්ටත් වඩා ලොකු හිනාවක් ගියා.
"ගන්න ගන්න."
එහෙම කියලා එතුමා කැමරා කාචයට අහුවෙන සීමාවෙන් එහාට ගියා. මම බොහොම ඉක්මනට වෙස්පා එකේ ෆොටෝ එකතුනක් ගත්තා.
මට අවශ්‍ය වුණා එතුමා
එක්ක සෙල්ෆි එකක් ගන්න. නැත්නම් අඩු තරමින් එතුමාගේ ෆොටෝ එකක් ගන්න. නමුත් දැනටමත්
සෑහෙන වෙලාවක් එතුමාව අවුවේ තියාගෙන හිටපු නිසා ෆ්‍රන්ට් කැමරා ඔන් කරගෙන ගිනි
අවුවේ ස්ක්‍රීන් එක බලන්න දඟල දඟල සෙල්ෆි ගහන නැහදිච්චි කමකට මගේ හැදිච්චි හිත නොනැවෙච්චි!
සමාවෙන්ඩ!
මම එතුමාට බොහොම
ගෞරවයෙන් ස්තූති කරලා, සමු අරන් යන්න කලින් එතුමාගේ නම ඇහුවා.
"මම අසෝකරත්න..."
මට මුලින් අවශ්‍ය වුණේ
මේ ෆොටෝ ටික නිකං ෆේස්බුක් එකේ දාන්න විතරයි. නමුත් දිගින් දිගට එතුමා සහ එතුමාගේ වෙස්පාව ගැන කල්පනා කරනකොට,
මට හිතුණා මේක දීර්ඝව ලියන්න ඕන කියලා.
මගේ හදවතට වදින දේවල් මම
ලියන්නේ බ්ලොග් එකේ. ෆේස්බුක් එක කොච්චර ජනප්‍රිය වුණත්, මගේ පොත් ප්‍රකාශන වැඩේට
ඒක මට වචනයෙන් කියන්න බැරි තරම් ශක්තියක් වුණත්, හදවතේ ගැඹුරට කිඳා බහින හිනා
කඳුළු අකුරු කරලා අලවන්න තරමට ෆේස්බුක් එක සංවේදී නැහැ කියලයි මට හිතෙන්නේ.
දැන් මට පුළුවනි මෙතන
දීර්ඝ සංවාදයක් පටන්ගන්න, අපි ෆස්ට් ඕනර් වාහන වලට මෙච්චර ආසා ඇයි කියන එක ගැන.
අවාසනාවකට ලංකාවේ බයින් ඇන්ඩ් සෙලින් කරන්න කබරගොයාලා ෆස්ට් ඕනර් වාහන කියන්නේ
අසූව දශකයෙන් පස්සේ පවරා ගන්නේ නැතුව සීයකගේ විතර අතින් අතට ගිය වාහන වලට නිසා
ඇත්තටම පළවෙනි අයිතිකරුවෙක් ජීවිත කාලයක් ආදරයෙන් බලාගත්තු ෆස්ට් ඕනර් කාර් එකක්
හම්බවෙන්නේ හරිම කලාතුරකින්. නමුත් එහෙම සංවාදයක් පටන්ගත්තොත්, අසෝකරත්න මහත්මයාගේ ප්‍රේම කතාවට වඩා ඒ සංවාදයට අවධානය යයි කියලා මට බයයි.
මට කතාකරන්න අවශ්‍ය මිනිස්සු සහ වාහන අතර තියන බැඳීම් ගැන විතරයි. ඒක අපේ කාලයේ මනුස්සකම් වල අපූරු පැතිකඩක්.
මිනිහෙක් දශක හයක්
තිස්සේ, තාක්ෂණය පියාඹද්දී, සංස්කෘතිය පුපුරා යද්දී, ජීවන රටාවල් සංකීර්ණ වෙද්දී,
තමන්ගේ පෞද්ගලික ජීවිත ඔළුවෙන් හිටවෙද්දී පවා එක දෙයක් ළඟ තියාගෙන ආදරයෙන් රකිනවා
නම්, මුල්ලක නොදා තාමත් එදා වගේම හරියට පාවිච්චි කරනවා නම්, එතන තියෙන්නේ නිකම්ම
භාණ්ඩ හිමිකාරීත්වයක් නෙමෙයි. ඒක බැඳීමක්. මිනිස්සු සහ මනුස්ස නිර්මාණ අතර ඇතිවන
අපූරු බැඳීමක්.
අසෝකරත්න මහත්මයට පහුගිය
දශකයකදී අවශ්‍ය නම් ඕක විකුණලා තැපැල් නයින්ටියක් වගේ එකක් ගන්න තිබ්බා. නැත්නම් ටොයෝටා
කොරොල්ලා එකක් ගන්න තිබ්බා. නැත්නම් ඩෙලිකා වෑන් එකක් ගන්න තිබ්බා.
ඒත් එතුමා ජීවිතේ හැත්තෑ
වෙනි සැතපුම් කණුව පහුකරලා ඉද්දී පවා, දේශගුණ විපර්යාස මැද්දේ ක්‍රමයෙන් පෝරණුවක්
බවට හැරෙමින් තියන පානදුර පොළේ, කොහෙන් ආපු මොකෙක්ද කියලා දන්නේ නැති මිනිහෙක්
(හෙවත් මම) එක්ක, තමන් අවුරුදු පනස් අටකට කලින් ගත්තු වෙස්පා එක ගැන තමන්ගේ හිතේ
තියන ආදරය වචන වලට හරවනවා.
මගේ ලිවිල්ල උපදින්නේ මේ
මිනිස්සුන්ගේ හදවත් වලින්...
ඒ හදවත් වලට මම සදා
ණයගැතියි...!
තරිඳු ශ්‍රී ලොකුගමගේ