අවුරුදු මිලියන ගාණක් තිස්සේ සතෙක් එලාගෙන, හේනක් වවාගෙන, අහස බලාගෙන ගෙවිච්චි මනුස්ස සංස්කෘතිය ඔළුවෙන් හිටගත්තේ කාර්මික විප්ලවයත් එක්ක. කාර් පිස්සුවෙ අපට වැදගත් වෙන විදිහට කියනවා නම් මනුස්ස ශ්‍රමය වෙනුවට ආදේශ කරන්න පුළුවන් යන්ත්‍රසූත්‍ර බිහිවීමත් එක්ක.
19 වන වන සියවසේ සහ 20 වන සියවසේ මුල නිර්මාණය වුණු කාර්මික යන්ත්‍රසූත්‍ර වල හරි අපූරු පෞරුෂයක් තියනවා කියල මට හිතෙනවා. තාක්ෂණය නහයට උඩින් කිලෝමීටර් සීයක් විතර ඉහළට ගිහින් තියන අද වගේ කාලෙක කාර්මික යන්ත්‍රසූත්‍ර පවා නිකං රෝස මලේ හදවත වගේ මටසිළිටි වෙලා තියෙන්නේ. මීට සාපේක්ෂව බලනකොට අර අතීතයේ මුලින්ම බිහිවුණු යන්ත්‍රසූත්‍ර මනුස්ස චින්තනයේ සහ සංස්කෘතියේ හදිස්සි වෙනසක් ගැන අපූරු කතාවක් කියනවා..
මේක බොහොම පුළුල් මාතෘකාවක් නිසා මම ඒ ගැන පොදුවේ කතා නොකර ඩම්ප් ට්‍රක්ස් (Dump Trucks) ගැන විතරක් කතා කරන්නම්.
Mike Jorgensen- Pinterest |
කර්මාන්ත සාර්ථක වෙන්න නම් අමුද්‍රව්‍ය සැපයුම කාර්යක්ෂම සහ වාසිදායක වෙන්න ඕනේ. ඉස්සර ඊජිප්තුවේ පිරමීඩ හදන්න වහල්ලු ලක්ෂ ගාණක් දාලා අවුරුදු විස්සක් තිහක් උන්ව මැරෙව්වා වගේ කර්මාන්ත පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා එකපාරට අමුද්‍රව්‍ය ගොඩක් අරගෙන ඇවිල්ලා, ඒවා ඉක්මනට අන්ලෝඩ් කරන ක්‍රම අවශ්‍ය වුණා. ඒ වගේම කුණු අදිනවා වගේ වැඩ වලදී පටෝගත්තු කුණු ටික මැද්දට බැහැලා සවල් ගගහා ඉන්නවා වෙනුවට ඒවා එකපාර හලලා දාන්න ක්‍රමයක් අවශ්‍ය වුණා.
බොක්කට වැදෙන්න කියනවා නම්, ප්‍රථම ප්‍රේමය අහිමි වුණු අලුත දවස් යනවා වගේ හෙමින් නැතුව, රස්සාවල් කරන මිනිස්සුන්ගේ සෙනසුරාදා සහ ඉරිදා දවස් ගෙවෙනවා වගේ ඉක්මනට ලෝඩ් අන්ලෝඩ් කරන ක්‍රමයක් අවශ්‍ය වුණා.
මේකට විසඳුමක් හැටියට තමයි ලෝකෙට ඩම්ප් ට්‍රක් බිහිවුණේ.
ඒ දවස් වල ලෝකයේ ප්‍රධානතම ඉන්ධන වුණේ ගල් අඟුරු. ඉතින් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් විදිහට තමයි මුලින්ම මේ ඩම්ප් බොඩි නිර්මාණය වුණේ. මම ඩම්ප් බොඩි කියන යෙදුම පාවිච්චි කරන්නේ මේවා වෙනම වාහන වර්ගයකට වඩා වෙනම බොඩි වර්ගයක් විදිහට සලකන්න අවශ්‍ය නිසයි.
මුල් කාලයේ මේවා ඩම්ප් බොඩි හයිකරපු අශ්ව කරත්ත විදිහට ආපු බව ඔයාලා දැනටමත් අනුමාන කරලා ඇති. ඔවු, මේවා ඉස්සරාලම ආවේ එහෙම තමයි. හැබැයි මෙතැනදී මතුවන වැදගත්ම ප්‍රශ්නය තමයි ලෝඩ් එක ඩම්ප් කරන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියන එක. මොකද ඒ වෙනකොට මෝටර් හෝ Hydraulic තාක්ෂණ ලෝකයට බිහිවෙලා තිබුණේ නැහැ. ඉතින් මිනිස්සු තෝරාගත්තේ අපි කාගේත් නොදුටු මිතුරාගේ පිහිට තමයි.
ඒ මොකාද ඒ?
ඒ තමයි ගුරුත්වාකර්ෂණය...
මේ ඩම්ප් බොඩි නිර්මාණය කරලා තිබුණේ ලෝඩ් එක ගැහුවට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය (Center of gravity) පිටිපස්සේ ඇක්සල් එකට පොඩ්ඩක් පිටිපස්සෙන් පිහිටන විදිහට. ලොක් එකකින් තමයි බොඩි එක අල්ලාගෙන හිටියේ. අන්ලෝඩ් කරන්න අවශ්‍ය තැනට ගිහිල්ලා ලොක් එක පැන්නුවාම ගුරුත්වාකර්ෂණය නිසා ලෝඩ් එක ඉබේම හැලුණා. මෙහෙම ලෝඩ් එක බෑවට පස්සේ තට්ටුව ඉබේම ආපහු වැටෙනවලු. ඊට පස්සේ ඔපරේට් කරන හාදයා තට්ටුව ලොක් එක දාලා ඊළඟ ලෝඩ් එක ගන්න යනවා.
www.andrew.cmu.edu |
මේවා මුල් කාලේ රෝද දෙකේ සහ රෝද හතරේ වර්ෂන් ඇවිත් තියනවා. මුල් කාලේ අශ්වයෝ කරපු වැඩේ පස්සේ ස්ටීම් ට්‍රක් වලට භාර වුණා. නමුත් මේ ඩම්ප් ක්‍රමේ ටික කාලයක් පැවතුණා. මේකේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බර හැමතිස්සෙම පිටිපස්සේ ඇක්සල් එකෙන් පිටිපස්සට ඒම. මේ විදිහට බර අසමාන විදිහට බෙදී ගියාම වාහනේ හසුරුවන්න අමාරු වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ.
Kenny Shackleford |
Tom Woodruff- Pinterest |
මීට අමතරව තව බොටම් ඩම්ප් සිස්ටම් එකකුත් තිබුණා. එතනදී බක්කිය තියෙන්නේ ඇක්සල් දෙක අතරේ. බොඩිය තියෙන්නේ කොටස් දෙකකට. චේන් එකකින් මේ කොටස් දෙක එකතු කරලා ලෝක කරලා තිබුණාලු. අන්ලෝඩ් කරන තැනට ගියාම ඔපරේටර් පැඩ්ල් එකකින් මේ ලොක් එක අරිනවා. එතකොට චේන් එක රිලීස් වෙලා බොඩියේ කෑලි දෙක දෙපැත්තට ගිහින් ලෝඩ් එක කරත්තේ පාමුල වැටෙනවා.
දැන් සමහරුන්ගේ හිතේ මැවිලා ඇත්තේ මොකෙක් හරි සතෙක් මළපහ කරනවා වගේ දසුනක්. ඒ ගැන මට දොස් තියන්න එපා. Bottom Dump ක්‍රමේ තාමත් භාවිතා වෙනවා නේ.
blackwood-hodge.typepad.com |
1910 පන්නලා සියවසේ දෙවෙනි දශකයට එද්දී මෝටර් ට්‍රක් රථ පාවිච්චිය ජනප්‍රිය වෙමින් තිබුණේ. විශේෂ ට්‍රක් බොඩි හදන සමාගම් ඒ වෙනකොට දියුණු වෙලා තිබුණා. මෙයාලා ෆෝඩ් සහ මැක් වගේ චැසි වලට එක එක විදිහේ බොඩි නිර්මාණය කළා. මේ කාලේ ඩම්ප් බොඩි වර්ග කීපයක් දකින්න පුළුවන්. මේ අතරින් මෝටර් වලින් ක්‍රියාකරන වර්ග සහ Hydraulic පද්ධති වලින් ක්‍රියාකරන වර්ග ප්‍රධානයි.
www.classicrefusetrucks.com- මේක 1921 අවුරුද්දේ පළවුණු, කුණු ලොරි වලට අදාළ බොඩි සම්බන්ධ දැන්වීමක් |
ඇත්තටම Hydraulic පද්ධති නිර්මාණය වීම තමයි ඩම්ප් ට්‍රක් තාක්ෂණය ඇතුළුව අද දවසේ කාර්මික රථවාහන බොහොමයක් නිර්මාණය දියුණු වෙන්න පදනම හැදුවේ.
www.classicrefusetrucks.com |
අද වෙද්දී ඩම්ප් ට්‍රක් තාක්ෂණය කොයි තරම් දුරකට දියුණු වෙලා තිබුණත් අතීතයේ ඩම්ප් ට්‍රක් වල තිබුණු තාක්ෂණයේ මූලිකාංග සහ අද දවසේ ඩම්ප් ට්‍රක් වල ප්‍රධාන අංග සමානයි කියලා
www.hammertrucks.com වෙබ් අඩවිය පෙන්නලා දෙනවා. එතන පෙන්නලා දෙන මූලිකාංග මෙහෙමයි.
1. ට්‍රක් ෆ්‍රේම් එක: එදා වගේම තාමත් ඩම්ප් ට්‍රක් වල පාවිච්චි වෙන්නේ තවත් බොහොමයක් දේවල් වලට පාවිච්චි කරන පොදු ට්‍රක් ෆ්‍රේම් එකක්මයි. ලොකු ලෝඩ් දරන්න පුළුවන් විදිහට මේවායේ සවිශක්තිය වැඩි කරලා තමයි ඩම්ප් ට්‍රක් විදිහට පාවිච්චි කරන්න ඩම්ප් බොඩි සහ යාන්ත්‍රික කොටස් සෙට් කරන්නේ.
2. Hydraulic පද්ධති: ඇත්තටම කියනවා නම් ඩම්ප් ට්‍රක් වලට Hydraulic පද්ධති ඉස්සරලාම හඳුන්වලා දීපු දවස් වල ඉඳලා මේ දක්වා ඒවා භාවිතා වෙන විදිහ මහා ලොකුවට වෙනස් වෙලා නෑ ලු. අද වගේම එදත් සිද්ධ වුණේ Hydraulic පද්ධතියකින් බෙඩ් එක හෙමින් සීරුවේ ඉස්සිලා, ලෝඩ් එක බෑවට පස්සේ ආපසු හෙමින් සීරුවේ ආපහු පාත් වෙන එකයි. ඉස්සරම ට්‍රක් වල මේ පද්ධති වලට බල ලැබුණේ ස්ටීම් වලින්. පස්සේ මේවා ප්‍රධාන එන්ජිම හරහා PTO drive train එකකින් බලය ලබන ක්‍රම බවට පත්වුණා. එච්චරයි.
3. ඩම්ප් බෙඩ් එක: ඩම්ප් බෙඩ් එකෙත් කියන්න තරම් මහලොකු වෙනසක් වෙලා නැහැ. වාහන වර්ගයේ හැටියට වෙනස් වුණත් පොදුවේ තාමත් සිද්ධ වෙන්නේ තට්ටුව ඉස්සුවාම පිටිපස්සේ දූර ඇරිලා ලෝඩ් එක බිමට වැටෙන එක තමයි.
(වැඩි විස්තර කියවන්න කැමති අය www.hammertrucks.com වෙබ්සයිට් එකට යන්න).
මේ වෙනකොට ඩම්ප් ට්‍රක් වල තාක්ෂණය සෑහෙන්න දියුණු වෙලා තියනවා වගේම ට්‍රක් වර්ග රාශියකුත් නිර්මාණය වෙලා තියනවා. මේ ට්‍රක් වල ෆොටෝ දැක්කම මතක් වෙන්නේ Kardashian ලගේ ෆැමිලි ෆොටෝ එක වගේ දේවල්.
www.cherokeetruck.com/ |
ඩම්ප් ට්‍රක් ගැන පොඩි සටහනක් තියන්න හිතුණේ ඊයේ පෙරේදා Komatsu එකේ Haul Trucks වගයක් හම්බන්තොටින් ලංකාවට ගොඩ බැහැලා හෙමින් හෙමින් පුත්තලමේ යමින් ඉන්න බවට හතර අතින් ආරංචි ලැබෙන්න ගත්තු නිසයි. Komatsu එක මේවා නම්කරලා තියෙන්නේ Dump Trucks-Rigid විදිහට. මේ ට්‍රක්ස් විශේෂයෙන්ම පතල් වගේ දුෂ්කර තැන්වල දැවැන්ත බර කඳු අදින්නම හදාපුවා. මේ අතරින් මූලිකම මට්ටමේ ට්‍රක් එකේ payload capacity එක කිලෝග්‍රෑම් 36,500 ක්. රේන්ජ් එකේ ඉහළින්ම තියන ට්‍රක් එකේ payload capacity එක කිලෝග්‍රෑම් 326,585 ක්!
මේ ෆොටෝ එවුවේ ඉසුරු අමිල ජයලත්ගේ : www.facebook.com/CarPissuwa/posts/2236937902999362 |
එයාලගේ සයිට් එකට යන්න කම්මැලි අය වෙනුවෙන් ඒ චාට් එක මම මෙහෙම දානවා. මේවායේ සියලුම හිමිකම් එයාලා සතුයි.
Model
|
Engine Power (kW@rpm)
|
Weight (kg)
|
Payload Capacity (kg)
|
Travel Speed (kmph)
|
371@2000
|
31,600
|
36,500
|
70
|
|
371@2000
|
34,400
|
41,000
|
70
|
|
533@2000
|
43,100
|
55,000
|
70
|
|
533@2000
|
46,200
|
63,000
|
70
|
|
879@1900
|
72,000
|
91,000
|
65
|
|
1109@1900
|
249,478
|
144,100
|
58
|
|
1492@1900
|
328,401
|
181,436
|
64.5
|
|
1865@1900
|
385,848
|
221,648
|
64
|
|
2014@1900
|
454,363
|
254,000
|
64.5
|
|
2014@1900
|
501,974
|
291,790
|
64.5
|
|
2610@1900
|
505,755
|
291,790
|
64.5
|
|
2610@1900
|
576,072
|
326,585
|
64.5
|
|
2610@1900
|
576,072
|
326,585
|
64.5
|
|
2610@1900
|
625,277
|
326,585
|
61
|
මේක දැක්කම ඔයාලට වැඩේ පැහැදිලි ඇති.
මේ ෆොටෝ ටික ලැබුණේ අරුණ දිසානායකගෙන් |
මේ ට්‍රක් වලට ලැබුණු ප්‍රතිචාරයේ දිග පළල දැක්ක නිසා, මේ ගැන උනන්දු වෙන අයට වැඩිදුර අධ්‍යයනය කරන්න දෙන මූලික ප්‍රවේශයක් විදිහට තමයි මේක ලිව්වේ. ගිය පාර ඩුකාටි ස්කූටර් එක ගැන ලිව්වට පස්සේ මීට වඩා නිර්මාණාත්මක දෙයක් ලියන්න හිතාගෙන හිටියත්, මේ මොහොතේ ඒ වගේ දේකින් මනෝ ගහනවට වඩා factual දෙයක් ලියන එක හොඳයි කියලා හිතුණා.
මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊළඟ ලිපිය මොකක්ද කියන එය තීරණය වේවි...
තරිඳු ශ්‍රී ලොකුගමගේ
2018 මැයි 23
www.facebook.com/CarPissuwa
(උපුටා ගන්න අවශ්‍ය අය කරුණාකරලා එක්කෝ අහන්න. නැත්නම් අදාළ තැන්වල කාර් පිස්සුවෙ නම හෝ ලින්ක් එක දාන්න)
පසු සටහන්:
1. ඩම්ප් ට්‍රක් වල ඉතිහාසය සරලව දැනගන්න කැමති අයට වැදගත් වෙන විස්තරයක් www.depaula.com වෙබ් සයිට් එකේ තියනවා. කැමති අය ගිහින් බලන්න.
2. කොමට්සු එකේ ට්‍රක් ගැන දැනගන්න ආසා අය www.komatsu.com.au වෙබ් සයිට් එකට යන්න. ඒක තොරතුරු ගබඩාවක්!
3. මේවා ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවා නං මෙතන කොමෙන්ටුවක් දාලා සංවාදයක් පටන්ගන්න. ඒක වටිනවා.