පරෙවියෝ කිව්වම මට හැම වෙලාවෙම මතකයට එන අපූරු දසුනක් තියනවා.
2008 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසේ එක්තරා දවසක තායිලන්තයේ බැංකොක් නුවර චතුචක් පාක් එකේ මහා දවාලේ මම තට්ට තනියම ඔහේ ඇවිදිමින් හිටියා. බැංකොක් නුවර අධි නාගරික අංජබජල් ජංජාල පුංජය මැද්දේ හරියට අර රෝමන් කාරයන්ට යටත් නොවුණු පප්පලාගේ ගම වගේ තියන පොඩි බිම්කඩක් තමයි චතුචක් පාක් එක. බොහොම කාර්ය බහුල මාකට් එකකට කඩදාසි රොකට් එකක් යවන තරම් ළඟින් තියන පාක් එකක් නිසා මේක හැමතිස්සෙම ජනාකීර්ණ වුණත් ටිකක් ඇතුළට ගියාම නිවීසැනසිල්ලේ පරෙවියෙකුට දියබරියෙකුට සියම් කොකෙකුට ළංවෙන්න පුළුවන් තැනක් හොයාගන්න අපහසු නැහැ.
ඉතිං ඔය කියාපු දවසේ මම ඔහේ ඇවිදගෙන යමින් ඉන්දෙද්දී පාක් එකේ තියන ඇල අයිනේ ඉන්න තායි ජෝඩුවක් දැක්කා. ගෑනු ළමයා ගඟ දිහා බලාගෙන මොකක්දෝ හයිකුවක් ගැටගහන අතරේ එයාගේ පෙම්වතා බොහොම කඩිසරව වෙන වැඩක. එයාව වටකරගෙන හිටියේ රිදී පාට සුදු පාට තව නානාප්‍රකාර පාට පරවියෝ රෑනක්. කොල්ලා රැස් විහිදෙන සතුටකින් අර පරවියන්ට කෑම දෙනවා. මම ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා හිනාවක් පාපු ඒ හාදයා දිගටම පරවියන්ට කෑම දෙන එක කරගෙන ගියා. පරවියෝ අපූරු තාල වලට එහා මෙහා යමින් ඒ කෑම තලු මරාපු හැටි මට තාම ඊයේ බලපු චිත්‍රපටියක් වගේ මතකයි.
මේ තියෙන්නේ ඇත්තටම මම ඒ වෙලාවේ ගත්තු ෆොටෝ එක |
මේ සිද්ධිය අහම්බෙන් මතක් වුණේ සචින් රුමේෂ් ද සිල්වා කියලා කෙනෙක් ජපානේ නගෝයා වල තියන ටොයෝටා කෞතුකාගාරයේ ෆොටෝ වගයක් කාර් පිස්සුවට එවලා තියනවා දැක්කහමයි. ටොයෝටා කෞතුකාගාරයේ ටොයෝටා වාහන වලට අමතරව අනික් හැම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකටම වගේ අයිති වාහන තියනවා. කොටින්ම මස්ටෑං එකක්, බීට්ල් එකක්, ගොල්ෆ් එකක් සහ තවත් නම නොදන්නා සොඳුරු යකඩ මාලාවක් එතන තිබුණා.
වෙන එකක් තියා මෙයත් එතන ඉඳලා |
මේ අතරේ තිබුණු අපූරු දෙසක් රියකට මගේ ඇහැ ගියා. වාසනාවකට ඒ ඇබිත්තං වාහනේ ගැන විස්තර දාලා තිබුණු පුවරුව සචින්ගේ කැමරාවට අහුවෙලා තිබ්බා. ඒකෙ ගහලා තිබුණේ Mitsubishi Silver Pigeon කියලයි. කාර් පිස්සුවට සමීප හිතවත්තු අතර ස්කූටර් පිස්සෝ සෑහෙන්න හිටියත් Vespa, Lambretta, Chetak වගේ නම් ඇරෙන්න මම රිදී පරෙවියෙක් ගැන අහලා තිබ්බේ නැහැ. ඒ නිසා මගේ ඇහැ එකපාරට එතන නතර වුණා.
ඒ විතරක් නෙමෙයි. මේ පුංචි පරවියාගේ හුරුබුහුටි පෙනුම මගේ හිතට සෑහෙන්න වැදුණා. ඒක ඇත්තටම පුංචි කුරුල්ලෙක් සහ පරණ රේඩියෝ එකක එකමුතුවක් වගේ. ස්කූටර් එකේ නම නොකියා කෙනෙක් මේක පෙන්නුවොත් ඕනෑම කෙනෙකුට හිතේවි මේක රෝද තියන රේඩියෝ එකක් කියලා.
මේ කුකුස්-ඇතිකරන්නා කොයිතරම් මගේ හිත ඇවිස්සුවද කියනවා නං ඒ මොහොතේම මම රිදී පරෙයි පැටිකිරිය හොයන්න ගත්තා.
බලාගෙන යද්දී කතාව පටන් ගන්නේ 1946 අවුරුද්දෙන්...
www.jsae.or.jp |
මේ අවුරුද්ද වෙද්දී දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ලෝකේ රටවල් බොහොමයක් නන්නත්තාර වෙලා හිටියේ. ජපානේට මේක කොහොම බලපාන්න ඇතිද කියලා අමුතුවෙන් කියන අවශ්‍ය නැහැ නේ. මේ තත්ත්වය උඩ ජපානයට ප්‍රවාහන අවශ්‍යතා වලට හොඳ විසඳුම් වුවමනා වෙලා තිබ්බා. ඉතිං මිට්සුබිෂි සමාගමත් හිතුවා ඒ තරගෙට බහින්න.
ඒ වෙනකොට මිට්සුබිෂි සමාගම තිබුණේ Mitsubishi Heavy Industries Ltd. නමින්. ජපානයේ නගෝයා ප්‍රදේශයේ ඉස්සර බොහොම සරුසාරෙට බිස්නස් කරමින් හිටපු මිට්සුබිෂි සමගම මේ දවස් වල ආපහු ඔලුව උස්සන්න උත්සහ කරමිනුයි හිටියේ. මේ අතරේ එයාලා දැනගත්තා ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරපු Kojiro Maruyama මහත්මයා ආපහු ජපානෙට එද්දී ස්කූටරයක් අරගෙන ඇවිත් තියන බව.
ජපන්නු කියන්නේ ඇමරිකාවෙන් එන ඕනෑම ලූනු බිකක් පලු කරලා, ඒක ඇමරිකන් කාරයට වඩා හොඳට වැඩිදියුණු කරලා, පස්සේ කාලෙක ඇමරිකන් කාරයාටම ඒවා විකුණන්න හපන්නු.
ස්කූටරේ ආරංචිය කනට ගියාට පස්සේ තකහනියක් ටියුබ් ලයිට් එකක් දැකපු මෙරුවෝ වගේ Maruyama මහත්මයා හොයාගෙන ගිය මිට්සුබිෂි සමාගමේ කට්ටිය එතුමාට සමාගම එක්ක එකතු වෙන්න කියල ආරාධනා කළා. ඊට පස්සේ එතුමාගේ ස්කූටරේ ලද සැණින් එසැණින් මස් කළා.
ඊට පස්සේ කොපි කළා....
පරෙවියාගේ පළවෙනි Prototype එක ලෑස්ති වුණේ 1946 අවුරුද්දේ අගෝස්තු මාසේ. මේක නම්කරන්න මුලින්ම පාවිච්චි කරපු code එක තමයි C-10. සිල්වර් පිජන් වුණේ ඊට පස්සේ. 1947 දී මාකට් එකට ආපු මේ අපූරු හුරුබුහුට්ටා 1948 වෙද්දී වැඩිදියුණු වුණා (ෆේස්ලිෆ්ට් මොඩ්ල් එකේ කෝඩ් එක C-11). මෙයින් එක පරෙවියෙක් ජපානේ ඒ කාලේ ඔටුන්න හිමි කුමාරයාට පිරිනමන්නත් සමාගම කටයුතු කළා ලු.
1946 අවුරුද්දේ මුලින්ම තටු විහිදපු රිදී පරෙවියාගේ විස්තර සරලව මෙහෙම කියන්න පුළුවන්:
එන්ජිම : 112cc
බලය: 1.5 PS
දිග: මිලිමීටර 1550
පළල: මිලිමීටර් 560
උස: මිලිමීටර් 1010
ස්ටාර්ට් කරන විදිහ: තල්ලු ස්ටාර්ට්
ඊට පස්සේ පරෙවියා ලොකුමහත් වෙච්චි හැටි ගැන විස්තරයක් මෙන්න මේ විකිපීඩියා ලින්ක් එකේ තියනවා.
අවුරුදු 18 ක් තිස්සේ පරෙවියා මාකට් එකේ හිටියා. 1963 දී ප්‍රඩක්ෂන් එක නවතිද්දී රිදී පරෙවියෝ 463,000 ක් විතර ලෝකෙ පුරා පියාඹලා තිබුණා ලු.
ඇත්තටම රිදී පරෙවියා බොහොම සාර්ථක නිෂ්පාදනයක් වුණා. මිට්සුබිෂි සමාගමට දෙපයින් හිටගන්න මෙයාගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඒ වගේම 1950 දශකයේදී Motor Cyclist සඟරාව පිටපිට තුන් පාරක් 'Best in Styling' ස්කූටර් එක විදිහට මේක නම් කළා ලු.
1959 අවුරුද්දේ රිදී පරෙවියෙකුගේ හැඩ රටා. ඡායාරූප වල සියලු හිමිකම් www.brightonmotorsports.com |
රිදී පරෙවියා ඇමරිකාවටත් පියාඹලා ගිය බව මතක් කරන්න ඕනේ. මෙයාලව ඇමරිකාවට ගෙන්නුවේ Rockford Scooter Company කියලා සමාගමක් බවයි www.silverpigeons.com වෙබ් අඩවියේ තියෙන්නේ. මේ සමාගමේ සභාපති වුණු C. Lewis Emery මහත්මයා මේවා මිනිස්සුන්ට විකුණන්න කියලා ඒ කාලේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ retail chain එකක් වුණු Montgomery Ward ලට අලෙවි කළා කියලා ඒ වෙබ් අඩවියේ සියනවා.
මම මෝටර් සයිකල් හෝ ස්කූටර් පිස්සෙක් නොවන බව කාර් පිස්සුව නිතර කියවන අය දන්නවා. නමුත් මෙහෙම ආදරණීය පුංචි සත්තු දකිනකොට මගේ හිත ගැස්සෙනවා.
හරියට චතුචක් පාක් එකේ ප්‍රේමවන්තයෙකුගේ අතින් වැටෙන කෑම ඩිංගිත්තක් ඩැහැගන්න පියාඹන නොපියාඹන ගානට දුවන පුංචි පරෙවියෙක් වගේ....
තරිඳු ශ්‍රී ලොකුගමගේ
11.11.2017
www.facebook.com/CarPissuwa
(මූලික විස්තර ගත්තේ www.mitsubishi-motors.com, www.silverpigeons.com සහ විකිපීඩියා වෙබ් අඩවි වලින්)