9 ශ්‍රී 5333 එක්ක නිදහස් මාවත පැත්තෙන් ඇවිත් දකුණට දාලා රේස් කෝස් එක පැත්තට යන්න හරවද්දී මට මීට අවුරුදු 5 කට විතර කලින් ගංගාරාම පන්සල කිට්ටුවදී Fiat 127 2 door එකක් දැකපු දවස මතක් වුණා.
ඒ දවස් වල මම මගේ පළවෙනි බීට්ල් එක වුණු 3 ශ්‍රී එක අරගෙන ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්න හැටි ගැන ප්‍රායෝගිකව ඉගෙනගනිමින් හිටියේ. එතකොට කොහොම හරි බීට්ල් එකක් ගොඩදාගන්න ආසාව මිසක් පොදුවේ කාර් පිස්සුවක් කියන්න තරම් දෙයක් මගේ හිත ඇතුළේ තිබුණේ නැහැ. ඒ දවස් වල ඔෆිස් එකකට යන්න එන්න අවශ්‍ය වුණු රස්සාවක් කරපු නිසා මගේ නිර්මාණශීලී චින්තනය ගොරෝ ගොරෝ බුදියගෙන හිටියේ.
ඔය අතරේ දවසක් හවසක අලුත් පාර පානදුර බස් එකක නැගලා ගෙදර එන්න එද්දී තමයි මම ඔය Fiat 127 2 door එක දැක්කේ. ඒක දැක්ක ගමන් මගේ හිත ඉස්සරලාම ඔරිජිනල් තායි ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්ක දවසේ වගේ පෙරේත වෙලා ගියා. ඒකෙ පිටිපස්සේ ගහලා තිබුණේ 127 ඉලක්කම් තුන විතරයි. එදා මම ගෙදර ආවේ කොහොම හරි ෆියට් 127 දොර දෙකේ එකක් ගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා හිතාගෙනයි.
ඒ වුණාට ගෙදර ඇවිල්ලා ඉන්ටනෙට් එකේ වැට අයිනේ වැටමාර කෝට්ටකට ටුකුස් ගාලා නියපිටින් තට්ටු කරනකොටම මට තේරුණා Fiat 127 2 door කියන්නේ ඔය කාක්කෝ ගෙනත් දාන මාළු වරල් වගේ අහසින් වැටෙන ඒවා නෙමෙයි කියලා. අනික් අතට ලංකාවේ වැඩි අමාරුවක් නැතුව හොයාගන්න පුළුවන් දොර 4 127 ඒවා ටිකත් හීනමානනීය ෆයිබර් පොල්කටු එල්ලලා පුල් මොඩිපයි කියන මොඩිපයියලාගේ ආක්‍රමණයට ලක්වෙලා කියලා මට තේරුණා. ඒ නිසා කවදා හෝ දවසක ෆියට් 500 හෝ 600 එකක්ම ගන්නවා කියලා හිත හදාගෙන මම මගේ ඉතාලි කාර් ප්‍රාර්ථනා මැද්දට බුක් මාක් එකක් තියලා වහලා පැත්තකින් තිබ්බා.
එහෙම පැත්තකින් තියපු ඉතාලි හීන පොත ආපහු ටිකක් විතර පෙරලුණේ අලුත් කාර් බ්ලොග් එකේ ෆියට් ගැන ලියපු ලිපියට පස්සේ ඒ ගැන ගිෂංක ද සිල්වා දක්වපු ප්‍රතිචාරයත් එක්කයි. ගිෂංකට අලුත් ෆියට් 500 අබාත් එකක් තියනවා. බීට්ල් එකේ අලුත් එකටවත් ඒ හැටි මනාප නැති මම ෆියට් 500 එකේ අලුත් වර්ෂන් එකට හරිම ආසයි. අනික් අතට Abarth බැජ් එක ආවම අර මර්සිඩීස් වල AMG බැජ් එක වගේ හිත කිළිපොලා යන මෙව්වා එකක් එනවා නේ. ඉතිං ගිෂංක එක්ක කතාව පටන් ගත්තට පස්සේ මම ආපහු ඉඳහිටක ඉතාලි කාර් වල දුකසැප හෙවුවා බැලුවා. නමුත් ගොඩක් ඉතාලි කාර් ලෝලීන්ට වගේ Alfa Romeo එක්ක ප්‍රේමයෙන් බැඳෙන්න නම් මට කවදාවත් පුළුවන් වුණේ නැහැ.
ගිෂංක ගේ කාර් එක |
මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි මම දැනගත්තේ ලංකාවේ Italian Car Enthusiasts Club එක Auto Arte Italiana 2017 සංවිධානය කරලා තියන බව. මේකේ ප්‍රචාරණ කටයුතු ටික ගිෂංක මෙහෙයවන බව දැක්ක නිසා මම ගිෂංක එක්ක සංවාදයක් ඇදගෙන මේ ගැන කාර් පිස්සුවෙ කට්ටියත් දැනුවත් කළා. එහෙම කරලා තමයි පහුගිය ජූලි 30 ඉරිදා රේස් කෝස් එකේ හවස 2 ඉඳන් 6 වෙනකල් තිබුණු මේ ප්‍රදර්ශනේ බලන්න ගියේ.
මීට කලින් මම ගිය හැම කාර් ෂෝ එකකම මට අත්‍යන්ත ප්‍රේමයක් තිබුණු කාර් විසිපහක් තිහක් තිබුණා. හැබැයි මේ පාර මට යන්න කලින් ඉඳන් හිතේ එක්පෙති දෙපෙති මල්ටිපෙති දාපු ආල සෙනෙහස් මලක් පීදිලා තිබ්බේ නෑ. මේ පාර මම ගියේ හුදෙක් car enthusiast කෙනෙක් විදිහට මිසක් Italian car enthusiast කෙනෙක් විදිහට නෙමෙයි. ඒ නිසා ඇත්තටම මට ඒක විශේෂ අත්දැකීමක් වුණා. කොටින්ම රේස් කෝස් එකේ කාර් පාක් එකේ මගේ බීට්ල් එක නවත්තලා බැහැලා ප්‍රදර්ශනේ තියන ඉසව්වට යද්දී පවා මගේ ඔලුවේ තිබුණේ කාර් පිස්සුවෙ දාන්න ෆොටෝ ටිකක් ගන්න ඕනේ කියන එක සහ ගිෂංකගේ කාර් එක ළඟ ඉඳලා ෆොටෝ එකක් ගන්න ඕනේ කියන එක විතරයි. ඊට අමතරව කාර් පිස්සුව හරහා මාව අඳුරගත්තු කොල්ලෝ කෙල්ලෝ මගදී හමුවෙනවට මම ගොඩක් කැමති නිසා එහෙම කෙනෙක් දෙන්නෙක් හමුවුණොත් හොඳයි කියලා හිතහිතා තමයි මම ගියේ.
රේස් කෝස් එකේ කාර් පාක් එක |
ප්‍රදර්ශනේ බලන්න ආපු එකක් |
ප්‍රදර්ශන පරිශ්‍රයට ඇතුල් වෙනකොටම පෙනුණේ ලස්සන Lancia Fulvia Coupe එකක්. හරියටම කියනවා නං 1968 අවුරුද්දේ හදාපු Lancia Fulvia Coupe Rallye 1.3 එකක්. අපේ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙකුගේ ඇස් එතන නතර වෙලා තිබුණා කියලා අපට තේරුණා. ජර්මන් වාහන පත්තියන් වෙච්චි අපේ රස නහර වලට එහා ගිය සෞන්දර්ය රස ලාලිත්‍යයක් Lancia වගේ ඉතාලි කාර් වල තියනවා. අවාසනාවකට අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉතාලි කාර් කිව්වම තාම මතක් වෙන්නේ Fiat Uno වගේ ඒවා.
ඊළඟට අපේ ඇහැ ගිය එක තමයි Fiat Topolino දෙකතුනක් පිරිවරාගෙන රජෙක් වගේ උත්තුංග දේහයෙන් නැගී හිටපු Fiat 514 එක. කාර් ලෝකේ සුප්‍රකට චරිතයක් වන බ්‍රී පොන්නම්බලම් මහත්මයාට අයිති, U1618 අංකය දරාගෙන හිටපු ඒ කාර් එක සාමාන්‍යයෙන් ඉතාලි කාර් ගැන හිතේ ඇති නොවෙන ජාතියේ ගෞරවයක් මගේ හිතේ ඇති කෙරුවා.
ඊළඟට මගේ හිත ඇදුණේ මැල්කම් ෆනෑන්ඩස් මහත්මයාට අයිති Fiat 1100 එකට. මේක අර සාමාන්‍යයෙන් ගොඩක් අය හොයන 'ෆොග් ලෑම්ප් මොඩ්ල්' එක හෙවත් ග්‍රිල් එකේ මැද තනි ෆොග් ලෑම්ප් එකක් තියන මොඩ්ල් එක නොවුණට මට ගාණක් තිබ්බේ නැහැ. Fiat 1100 එක කවදත් මගේ ආදරය දිනපු කාර් එකක්. විශේෂයෙන් අළු පාටට හුරු නිල් පාට සහ සුදු පාට තවරාගෙන ඉන්න Fiat 1100 කාර් වලට තමයි මම ඉස්සර ඉඳන්ම වැඩියෙන් ආදරේ කළේ. මේකත් ඒ වගේ එකක්.
ඊට පස්සේ මම කෙළින්ම දිව්වේ සෑහෙන කාලයක් ආසාවෙන් හිටපු දේකට. ඒ තමයි ගිෂංකගේ Fiat 500 Abarth එකත් එක්ක ෆොටෝ එකක් ගන්න. මම හිතන්නේ ප්‍රදර්ශනේ ඇතුළේ මගේ කැමරාවෙන් වැඩිම ෆොටෝ ගාණකට අහුවුණු කාර් එක තමයි දඟම දඟකාර හදවතක් හංගගෙන අහිංසක ලීලාවෙන් පාර බලාගෙන නිසොල්මනේ හිටපු ඒ කාර් එක. ඒ ගෝනුස්සා මාක් අබාත් බැජ් එක මතක් වෙන වාරයක් ගානේ මගේ හිත කිතිකැවෙනවා!
ඇවිත් හිටපු අයගේ ආකර්ෂණය දිනාගත්තු තවත් කාර් එකක් තමයි මාලක හේරත් මහත්මයාගේ Fiat 1/9 එක. එතුමා ඒක සෑහෙන්න පාවිච්චි කරන නිසා සහ රේස් පවා පදින නිසා ඒකෙ ඉස්සරහ වීදුරුවත් බාගෙට බිඳිලා තියෙන්නේ. නමුත් ජෙනුයින් ස්පෝට්ස් කාර් එකක තියන අනිවාර්ය ගුණාංගයක් වන 'රස දන්නා අය ළඟට කැඳවා ගැනීමේ හැකියාව' ඒ කාර් එකේ තියනවා. කොටින්ම කිව්වොත් ප්‍රදර්ශනේ අංගයක් විදිහට කාර් ටිකේ එන්ජින් ටික එක වෙලාවට ස්ටාර්ට් කරපු අවස්ථාවේ පවා මම හිටියේ එතනට ඇවිත් (අවංකවම කියනවා නං මට ඕන වුණේ ගිෂංකගේ 500 එකේ හඬ අහන්න. නමුත් ගිෂංක ආපු නැති නිසා මම මාලක ගේ කාර් එකේ හඬ අහන්න සෙට්ල් වුණා. ඒ සද්දේ කොච්චර මිහිරි වුණාද කියනවා නං මම ඒක රෙකෝඩ් කළා).
ඔය අතරේ ලංකාවට ගෙන්නපු පළවෙනි ෆියට් 600 එක කියලා සැක කරන කාර් එකකුත් තිබ්බා. 1955 අවුරුද්දේ හදපු මේ කාර් එක දැන් අයිති ශ්‍රීජිත් ද සිල්වා ට.
ඔහොම එකින් එකට යයා ඉන්න අතරේ ගිෂංක අපිව දැකලා අපිත් එක්ක කතා කරන්න ආවා. ඇවිත් එයාගේ අලුත්ම කාර් එක වෙන Alfa Romeo Alfasud එක ගාවට එක්කගෙන ගියා. කාලයක් තිස්සේ restore කරපු මේ කාර් එක ප්‍රදර්ශනේ වෙනුවෙන්ම තමයි ඉස්සරලම එළියට අරගෙන තිබුණේ. මේක Series 3 එකක්. හදපු අවුරුද්ද 1982. එන්ජිම 1.5L (105bhp) එන්ජිමක්. ට්වින් වෙබර් කාබරේටර්. විශේෂම දේ තමයි මේ කාර් එක බ්‍රෑන්ඩ් නිව් ලියාපදිංචි වෙලා තියෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ගේ නමට. එතුමාගේ මුණුබුරා ඒක රේස් පදින්නත් පාවිච්චි කළාලු.
ඊට පස්සේ ප්‍රදර්ශනේ තිබුණු තවත් කාර් එකක් ගැන මගේ අවධානය යොමු කෙරෙව්වේ Torque&Throttle සඟරාවේ ප්‍රධාන කර්තෘ (සහ ඒ වෙබ් සයිට් එකේ රචක/සංස්කාරක) සජීව් වීරකෝන්. සජීව් මට පෙන්නුවේ Fiat Uno එකක්. Fiat Uno කියන්නේ මම අකමැතිම කාර් වර්ගයක් නිසා සජීව් ඒ ගැන මට නොකිව්වා නම් මම ෆොටෝ එකක් වත් නොගෙන යන්න ඉඩ තිබ්බා. මේ කාර් එක ගත්තු දවසේ ඉඳන් තිබිලා තියෙන්නේ එකම පවුලක. මුල් අයිතිකරුගේ මුණුබුරා (අමේන්ද්‍ර බණ්ඩාරනායක) තමයි මේ කාර් එක දැන් ආදරෙන් බලාගන්නේ. අමේන්ද්‍රගේ සීයා තාමත් ඉඳහිට මේ කාර් එක ඩ්‍රයිව් කරනවා ලු. 1989 ඉඳන් මේ කාර් එක දුවලා තියෙන්නේ කිලෝමීටර් 31,000 කට ආසන්න ගාණක් විතරයි! කාර් පිස්සන්ට දැන් තේරෙනවා ඇති මේක කොච්චර විශේෂද කියලා.
ලංකාවේ කාර් ඉවෙන්ට්ස් වල අනිවාර්යයෙන් දකින්න ලැබෙන JD-1234 ෆෙරාරි එක වගේම මසරාටි එකක්, ඩුකාටි බයික් දෙකක් වගේ දේවල් ප්‍රදර්ශනේ බලන්න ආපු පුංචිම දරුදැරියන්ව වසඟ කරගෙන හිටියා. ඒ වගේම හිපි සංස්කෘතියට/විකල්ප ජීවන රටාවකට ඔන්න ගියා මෙන්න ගියා මට්ටමේ ඉන්න අය කැරකුණේ Vespa සහ Lambretta ස්කූටර් නවත්තලා තිබුණු තැන්වල (මේක අපහාසයක් නෙමෙයි).
ඒ පැත්තෙන් දොරටුව දිහාට ගියාම පේන්න තිබුණු තව ලස්සන දසුනක් තමයි එක ළඟ පාක් කරලා තිබුණු Fiat 500 එක සහ Alfa Romeo GT 1600 Junior එක. රතට රතේ දිලිසි දිලිසි පාරට පේන්න උජාරුවෙන් හිටපු මේ දෙන්නා නිසා අඩුම තරමේ දහ පහළොස් දෙනෙක් වත් බස් එකෙන් බැහැලා රේස් කෝස් එකට එන්න ඇති.
මීට අමතරව තව Alfa Romeo Brera, 155 සහ156 වගේ භාණ්ඩ ටිකකුත් තිබුණා. ඇල්ෆා එකේ Twin Spark තාක්ෂණය එක්ක බැඳීමක් ඇතිකරගන්න මම ඉස්සර සෑහෙන උත්සහයක් දරලා තියනවා. නමුත් ඒ උත්සාහයන් සියල්ලම අකාලේ වැටුණු කොමාවක් සහ තවත් විරාම ලක්ෂණ කීපයක් එක්ක අමතක වෙලා ගියා. Brera එකේ ඇස් වලට මම ආසයි. ඒ වුණාට මම Brera ගන්න කියලය! (155 සහ Brera ගැන එකම ඡේදයක මේ තරම් කෙටියෙන් කතා කිරීම සහ 'Brera එකේ ඇස් වලට මම ආසයි' වගේ බොළඳ කතාවක් කීම ගැන ඉතාලි කාර් ප්‍රේමියෝ කමත්වා! මේ ටිකවත් ලිවුවේ පළවෙනි draft එක ලියලා එඩිට් කරද්දී).
Brera දෑස් |
පැය 3 කට ආසන්න කාලයක් ප්‍රදර්ශනේ ඇතුළේ ගතකරලා අපි 9 ශ්‍රී 5333 ත් එක්ක ගෙදර ආවේ බොහොම සන්තෝසෙන්. මගේ දැක්මේ හැටියට ඒ පුංචි ප්‍රදර්ශනේ අතිශයින් සාර්ථකයි. මම බලාපොරොත්තු නොවුණු තරම් පිරිසක් ඒකට ඇවිත් හිටියා. වැඩේ මේ තරම් සාර්ථක කරගන්න හැකිවීම සම්බන්ධයෙන් Italian Car Enthusiasts' Club එකට කාර් පිස්සුවෙන් උණුසුම් සුබපැතුම්! ඊළඟ අවුරුද්දේදීත් මේ ප්‍රදර්ශනය මීටත් වඩා සාර්ථක විදිහට කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
තරිඳු ශ්‍රී ලොකුගමගේ
02.08.2017
www.facebook.com/CarPissuwa