මිට්සුබිෂි සමාගම කාර් හදන්න පටන් අරං මේ අවුරුද්දට අවුරුදු සීයක් පිරෙනවා... ඒක සමරන්න එයාලා තමන්ගේ මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක වුණු Mitsubishi Model A එකේ ආකෘතියක් හදන්න යනවා කියලා වෙසක් දවසේ ආරංචියක් ආවා. මේක හදන්න යන්නේ Outlander PHEV platform එක බේස් කරගෙන Plug-in Hybrid එකක් විදිහට කියලයි කියන්නේ. වැඩේ කරන්නේ West Coast Customs එක ලු...
මේක අහපු ගමන් හිතෙන්නේ හතරේ පන්තියේ පොඩි එකා උගේ ගණන් පොතේ පිටිපස්සේ කොලේ ඉරලා කැන්ටිම ළඟ මඩ වලට දාන්න හදාපු කඩදාසි බෝට්ටුවට ඇමරිකාවේ ඉන්න පච්ච කොටෙක් ස්පීඩ්බෝට් එන්ජිමක් හයිකරන්න යනවා වගේ වැඩක් කියලා...
හැබැයි ඒත් එක්කම මට හිතුණේ අවුරුදු 100 ක් ඇතුළත මිට්සුබිෂි එක කොච්චර දුරක් ඇවිල්ලද කියන එකයි. එදා හදපු Model A එකයි අන්තිමට ආපු Evo X එකයි එක ළඟ තියලා බැලුවොත් බුරම්පියගේ උන වෙඩිල්ලයි ට්‍රම්ප් ගේ GBU-43 MOAB බෝම්බෙයි අතර වගේ වෙනසක් තියනවා. ඒ නිසා මට පොඩ්ඩක් මිට්සුබිෂි එකේ ඉතිහාස වාර්තා රාක්කෙට සයිලම්බරේකින් අනින්න හිතුණා...
ට්‍රම්ප් ලොක්කා ෆොටෝ එකක් දුන්නා. බුරම්පියා බෑ කිව්වා. |
ෆොටෝ එක ගත්තේ www.drivespark.com එකෙන් |
Evo X. |
ක්ලැසික් කාර් එක්ක සංසාරගත මෙවුවා එකක් තියාගෙන තාමත් මෙවුවා වෙන මං වගේ මෙවුවලාට මතක් වෙන්නේ ලාන්සර් බොක්ස්.
මම මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් එක්ක ලියුං කවරෙයි ගම් බෝතලෙයි වගේ පෙමින් බැඳුණේ මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක් නිසා. ඒක ගැන මම වෙනම ලිපියක් ලියලා තියනවා. මගේ නොසැලකිල්ල නිසා වුණු කිඹුලා බනිසක සීනි ඇටයක් තරම් පොඩි ගැටලුවක් දෙකක් ඇරෙන්න මගේ ළඟ තිබුණු අවුරුදු 6 ටම ඒ බොක්ස් එක කිසි වදයක් දුන්නේ නැහැ. 4-Forward එකක් වෙලත් ඇක්සලේටරේ පාගපු ගමන් රතිඤ්ඤා සද්දේ ඇහුණු කාක්කා වගේ තමයි කාර් එක ඉගිල්ලෙන්න ගන්නේ. මම ඒක වික්කේ මට බීට්ල් පිස්සුව ගහපු නිසා.
මගේ ලාන්සරේ- අවුරුදු 6 කට විතර කලින් |
මිට්සුබිෂි සමාගම පටන් ගත්තේ 1870 අවුරුද්දේදී. ඒ කියන්නේ අවුරුදු 147 කට විතර කලින්. කට වටේට රබර් බෙල්ට් එකක් දැම්මා වගේ අමුතු මරුමුස් පෙනුමක් තියන යටාරෝ ඉවසකි (Yataro Iwasaki) කියන මහත්තයා පරණ වාෂ්ප නැව් තුනක් කුලියට අරගෙන, නැව් කොම්පැනියක් හැටියට තමයි සමාගම පටන් ගත්තේ. ඒ මහත්තයා ජපානේ ෂිකොකු කියන දූපතේ කොචි කියන ප්‍රාන්තේ කෙනෙක් ලු.
යටාරෝ ඉවසකි |
මිට්සුබිෂි සමාගම බොහොම ඉක්මණින් දියුණු වෙන්න ගත්තා කියලා එයාලගේ වෙබ් සයිට් එකේ තියනවා. ඒ වගේම සැරින් සැරේ සමාගමේ නම වෙනස් වුණා. උදාහරණයක් හැටියට Mitsukawa Shokai, Mitsubishi Shokai, Mitsubishi Jokisen Kaisha (Mitsubishi Steamship Company), Yubin Kisen Mitsubishi Kaisha (Mitsubishi Mail Steamship Company) විදිහට නම් ගොඩක් වෙනස් වෙලා තියනවා. යටාරෝ නම් 1885 දී පිළිකාවක් හැදිලා මරණයට පත්වුණා ලු. ඊට පස්සේ එතුමාගේ සහෝදරයා යනොසුකේ සභාපති වුණා.
1893 අවුරුද්දේදී යටාරෝ ගේ පුතා හිසායා සමාගමේ සභාපති තනතුරට පත්වුණා. මේ වෙද්දී ජපානේ තරුණ පරපුරට බටහිර ලෝකය විවර වෙලයි තිබුණේ. හිසායා ත් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. මෙයා සමාගම තවදුරටත් පුළුල් කරලා දියුණු කළා.
ඊට පස්සේ 1916 අවුරුද්දේදී යනොසුකේ ගේ පුතා කොයාටා ඉවසකි (Koyata Iwasaki) සභාපති විදිහට පත්වුණා. මෙයා එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි ලබාපු කෙනෙක්. අවුරුදු 30 ක් විතර කාලයක් මේ තනතුර දරපු කොයාටා ගේ කාලේ තමයි මිට්සුබිෂි සමාගම යන්ත්‍රසූත්‍ර, විදුලි උපකරණ සහ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් පැත්තට ලොකු බරක් දුන්නේ. Mitsubishi Model A එක නිර්මාණය වුණෙත් මෙතුමා හිටපු කාලෙම තමයි.
පවුල් ගහ |
Fiat Tipo 3 එක |
Mitsubishi Model A එකේ Prototype එක හැදුවේ 1917 දී. 1919 වෙද්දී කාර් එක විකුණන්න පුළුවන් තත්ත්වයට ආවා. වාහෙනේ එන්ජිම හදලා තිබ්බේ Cast iron වලින්. බොඩිය හැදුවේ අශ්ව කරත්ත හදන සෙට් එකක්. එයාලා ඉන්ටීරියර් කළේ ලැකර් කරපු සුදු සයිප්‍රස් ලී පාවිච්චි කරලා.
කොටින්ම කිව්වොත් ඒක 'අස්සයා නැති අස්ස කරත්තයක්.'
වාහනේ විකුණන්න Ote Company කියලා වෙනම සමාගමක් හැදුවා. ඒක Mistubishi Shipbuliding සහ Mitsubishi Corporation සමාගම්වල එකතුවක්.
Mitsubishi Model A- ෆොටෝ ගත්තේ www.fitmycar.com එකෙන් |
වාහනේ විස්තර ටිකක් මේ විදිහට දක්වන්න පුළුවන්.
නම: Mitsubishi Model A
දොරවල් ගාන: 4
යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා ගාන: 7
එන්ජිම: 2.8L
බලය: 35hp
ගියර්: 4
වාහනේ බර: කිලෝග්‍රෑම් 1,315
1921 වෙද්දී Prototypes එක්ක කාර් 22 ක් හදලා තිබුණා. ඒ කාලේ හැටියට ඊට වඩා මහා පරිමාණයෙන් මේක නිෂ්පාදනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මිට්සුබිෂි සමාගම ඊට පස්සේ ආපහු නැව් හදන්න සහ ට්‍රක් වගේ දේවල් හදන්න පෙළඹුණා. ආයේ අවුරුදු 40 ක් විතර යනකල් මිට්සුබිෂි ලා කාර් හැදුවෙ නෑ.
මේ කාර් 22 න් එකක් වත් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ. අර සයිබීරියාවේ කුඹුරෙන් මතුවෙච්චි ටොයෝටා එක වගේ Mitsubishi Model A එකක් තාම කිසිම නරාවලකින් මතුවෙලා නැහැ. දැනට ජපානේ Okazaki වල Mitsubishi Auto Gallery එකේ තියලා තියන කාර් එක 1972 දී හදපු ආකෘතියක්.
දැන් මේ Model A එකේ අවුරුදු සීය සමරන්න හදන කාර් එක කොහොම වෙයිද කියන්න අපි තාම දන්නේ නෑ. මේ වැඩේ කරන්නේ Discovery Turbo එක හරහා එහෙම ලංකාවේ කාර් පිස්සොත් හොඳට අඳුරන Ryan Friedlinghaus ගේ West Coast Customs සමාගම.
කැමති නම් මෙතනින් එයාලගේ සයිට් එකට යන්න පුළුවන්: www.westcoastcustoms.com
West Coast Customs එක මේ වගේ තිරිකිස් වැඩ වලට ශූරයෝ කියලා ඔයාලා දන්නවා ඇති. හැබැයි අනික් අතට සේවකයන්ට හරියට පඩි ගෙවුවේ නැහැ කියලා Ryan Friedlinghaus ට 2014 ලෙඩකුත් වැටුණා (www.autoblog.com/2014/05/01/west-coast-customers-wage-trouble-underpaying/). ඒ කොහොම වුණත් අපට දැනට කරන්න පුළුවන් වෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. එයාලා කාර් එක හැදුවට පස්සේ ඒක කරපු විදිහ Velocity channel එකේ යන 'Inside West Coast Customs' වැඩසටහනේ episode එකක් විදිහට පෙන්නාවි. අවධානයෙන් ඉන්න...
Ryan Friedlinghaus |
ජපානේ කාර් බ්‍රෑන්ඩ් වලින් මම තාමත් වැඩියෙන්ම ආසා කරන්නේ මිට්සුබිෂි එකට. ඒක අර ලොකු වුණාට පස්සෙත් කඩේ සීනි බෝල බෝතල් දකිද්දී එන ආසාව වගේ එකක්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මිට්සුබිෂි එක සම්බන්ධ විශේෂ නිවුස් එකක් දකින වාරයක් ගානේ මාව ඒ පැත්තට ඇදිලා යනවා.
දැන් මිට්සුබිෂි එකේ බහුතර කොටස් ප්‍රමාණයක් (34%) අයිති නිසාන් එකට. නිසාන් එකේ සභාපති Carlos Ghosn ම තමයි මිට්සුබිෂි එකෙත් සභාපති. ඒ කියන්නේ මිට්සුබිෂි මෝටර්ස් එක දැන් තියෙන්නේ නිසාන් යටතේ.
නිසාන් එක්ක මගේ එච්චර ලොකු ඇයි හොඳයියක් නෑ. ඒ ඇයි කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ, මොකද මගේ කාර් ලෝකේ සමීප යාළුවෝ අතර තදබල නිසාන් ෆෑන්ස්ලා ඉන්න නිසා (මේ අතර සමහරු ඉන්නවා නිසාන් බැජ් එක බුලත් කොලේකින් පිහදලා ඔලිව් ඔයිල් දාපු චීනච්චට්ටි පහනක් පත්තු කරලා සාම්බ්‍රානි පාරක් අල්ලලා හෙන්දිරික්කා මලක් පූජා කරලා ජපන් ගාථාවකුත් කියන සයිස් එකේ බැතිමත්තු).
මොනවා වුණත් මේ මට්ටමට හරි මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එක තමන්ගේ අනන්‍යතාව එක්ක ඉස්සරහට යමින් ඉන්න එක ගැන මට සතුටුයි.
ඒක හරියට තමන්ගෙන් වෙන්වුණු, ඒත් තරහකුත් නැති පරණ පෙම්වතියක්, කියන්න තරම් අවුලක් නැති ජීවිතයක් ගතකරනවා දකිනකොට එන අර්ථ දක්වන්න බැරි, පසුතැවිල්ලයි සැනසිල්ලයි අතර දෝලනය වෙන සිතිවිල්ලක් වගේ එකක්...
තරිඳු ශ්‍රී ලොකුගමගේ
12.05.2017
www.facebook.com/CarPissuwa
වැඩි විස්තර බලන්න කැමති අය මේ ලින්ක් වලට යන්න:
www.forbes.com/2001/04/23/0423feat.html
www.mitsubishi-motors.com/en/innovation/history/year/1950/50_1.html
www.autoblog.com/2017/04/27/mitsubishi-100-year-old-car-phev-west-coast-customs/