අන්තිමට මාත් මිනියකට දපනේ වැටුණා...!
ඒක දිග කතාවක්... ඒක පස්සේ ලියන්නම්...
මිනි එකක් අරන් සති දෙක තුනක් යන්නත් කලින් Mighty Mini Club එකෙන් පොඩි ආරාධනාවක් ආවා, Mighty Mini Grand Prix එක ගැන නෝටිස් එකක් කාර් පිස්සුවේ ෆේස්බුක් පේජ් එකේ දාන්න කියලා සහ ඉවෙන්ට් එක බලන්න එන්න කියලා. කලින් දාගත්තු වැඩ කීපයක් තිබ්බත් මේ චාන්ස් එක මගඅරින්න හිතුණේ නැහැ.
බොහොමයක් මාරාන්තික කාර් පිස්සෝ වගේ මමත් වාහන ගන්නේ සහ පාවිච්චි කරන්නේ වාහන වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන නිසා නෙමෙයි, ඒවා පාවිච්චි කරලා ඒවායේ භෞතික සහ සංස්කෘතික අත්දැකීම් ලබන්න. කොච්චර සුපිරි කොලිටියේ වාහන වුණත් අපට වැඩක් නැහැ. මොකක් හරි කාර් එකක් සම්බන්ධයෙන් සම්ප්‍රදායක්, සංස්කෘතියක් ගොඩනැගිලා තියනවා නං අපි බලන්නේ එයින් එකක් පාවිච්චි කරලා ඒ සම්ප්‍රදායේ, සංස්කෘතියේ අත්දැකීම් ලබන්නයි.
මේක හැමෝටම තේරෙන්නේ නෑ. ඒ නිසා මිනි එක ගත්තට පස්සේ ගොඩක් දෙනෙක් ඇහුවේ ඕකේ එකසිය තිහේ පොල් ගෙනියන්න බෑ නේද, ඕකේ අමානෝ ෂීට් ගෙනියන්න බෑ නේද සහ ඕකේ හොර හරක් ගෙනියන්න බෑ නේද වගේ ප්‍රශ්න. කූඩැල්ලන්ව ලයන්කෝ එකට එක්කන් ගිහින් වැඩක් නැති නිසා මමත් මොකුත් කියන්න ගියේ නැහැ.
බීට්ල් එක කියන්නේ සුපිරි සංස්කෘතියක් කේන්ද්‍ර කරගත්තු වාහනයක් කියන එක කාර් පිස්සුව කියවන ගොඩක් දෙනෙක් දන්නවා. දැන් අවුරුදු හය හතක ඉඳන් මම ඒ සංස්කෘතියේ ලීග විසිදහසක් විතර ගිලිලා ඉන්නේ. එහෙම ගිලිලා ඉද්දී තමයි මම අහම්බෙන් දියවැලක ගහගෙන ගිහින් මිනි සාගරේට වැටුණේ. ඉතින් නිතර Beetle Owners' Club එකේ වැඩසටහන් වලට යන මට Mighty Mini Club එකේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණු මේ අවස්ථාව අත්විඳින්න වුවමනා වුණා.
උදේම යන්න හිටියත් වෙන වෙන වැඩ කීපයකට අවධානය යොමු කරන්න වීම නිසා පිටත් වෙන්න ප්‍රමාද වීම නම් දුකක්. ඒ නිසා තරග ඉසව් ගොඩක් අපට මගහැරුණා.
කටුකුරුන්දේ යන්න සැලසුම් කරද්දී, හැමදාම කොහෙහරි යනකොට මතුවෙන උභතෝකෝටිකය ආවා; දුර වුණාට හයිවේ එකේම යමුද කියන එක. හැබැයි තාමත් මගේ හිතවත් මිකැනික් මහත්මයාට මිනි එක පෙන්නගන්න අවස්ථාවක් ආවේ නැති නිසා අපි ගාලු පාර දිගේම යන්න තීරණය කළා.
මම රේසිං ෆෑන් කෙනෙක් නෙමෙයි. 80 ගණන් වල අගභාගයේ තහනම් වුණු Group B Rallying ඇරෙන්න මගේ හිත කවදාවත් වෙන කිසිම ධාවන තරගයකට සීරියස් විදිහට ඇදිලා නැහැ. ඒ නිසා මම කටුකුරුන්දට ආවේ පළවෙනි වතාවට. හැබැයි ගේට්ටුවෙන් ඇතුළු වෙලා ට්‍රැක් එකට කාර් එක දාලා කාර් පාක් එකට යන්න ස්පීඩ් කළා විතරයි හයිවේ එකකදී නොලබන විදිහේ අමුතු චූන් එක තුන්සිත වසාගෙන පැතිරුණා. වාසනාවකට කෞශි ඒ අවස්ථාව වාහනේ ඇතුළේ ඉඳන් වීඩියෝ කරපු නිසා මට සැරින් සැරේ ඒ අත්දැකීම අලුත් කරගන්න පුළුවන්. (මෙතනදී මම මිනි එකක් එළවීමේ අත්දැකීම ගැන කතා කරන්න ඕනේ කියලා මම දන්නවා. නමුත් ඉවෙන්ට් එකක් ගැන කරන පුංචි විස්තරයක් අස්සේ ඒක කතාකරන්න යන එක අපරාධයක් කියලයි මට හිතෙන්නේ. කම්මැලි කම සහ එපාවීම පොඩ්ඩක් අමතක කරලා ලියන්න පුළුවන් වෙන පළවෙනි වතාවෙම ඒ වෙනුවෙන් පෝස්ට් එකක් කැපකරන්නම්. Promise!).
මිනි කියන්නේ (ටියුන් කළාම) කොච්චර වේගෙන් යන්න පුළුවන් වාහනයක්ද කියන එක අන්තර්ජාලයට පින්සිද්ධ වෙන්න දැනගෙන හිටියට එහෙම යන මිනි පියවි ඇසින් දැකගන්න පුළුවන් වුණේ එදා කටුකුරුන්දේදී තමයි. බරපතළ රේස් පිස්සෝ පිරිසක් ඇරෙන්න මහා ලොකු සෙනගක් ඉවෙන්ට් එකට ඇවිත් හිටියේ නැහැ. හැබැයි අවුවෙන් බේරෙන්න ප්‍රමාණවත් තරම් ටෙන්ට්, රසවත් කෑම බීම තිබුණු ෆුඩ් ට්‍රක් එකක්, රෙඩ් බුල් එකෙන් නොමිලේ එනර්ජි ඩ්‍රින්ක්ස් බෙදීම වගේ ගොඩක් දේවල් තිබුණු නිසා අපට හිතුණේ සංවිධායක මණ්ඩලය වැඩේ සාර්ථක විදිහට කරලා තියනවා කියලයි.
අපි යනකොට ඉවෙන්ට් එක අවසාන හරියට ඇවිත් තිබුණේ. 'තාම පැදපු නැති අය ඉන්නවා නං එන්න. ආයේ කියන්නේ නෑ. පස්සේ කනුකුනු ගාන්න එපා. නොකිව්වයි කියන්න එපා' වගේ ප්‍රසිද්ධ නිවේදන යකඩ කටින් ඇහෙද්දී නම් අපට හිනා ගියා. ඒත් ඉතින් අපි නොදන්නා කොච්චර දේවල් මේවයේ ඇතිද කියන සැකය මත අපි හිනාව ලෝකෙට පෙන්නන්න ගියේ නැහැ. අනික් අතට අපට පුරුදු බීට්ල් ක්ලබ් එකේ සන්සුන් හුදෙකලාව මිසක් මේ වගේ තැන් වල විසේකාර වලිසුන්දරත්වය නොවෙන නිසා ඒක අපේ වරදක් වෙන්නත් පුළුවන්.
(එදා තමයි අර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි එක්දින තරගය තිබුණේ. ඉන්දියාව ලකුණු 29 කටද කොහෙද විකට් 7 ක් ගිහින් තිබුණා. Announce කරමින් හිටපු කෙනා අන්තිමට මිනි රේස් එක පැත්තක දාලා මැච් එක ගැන විස්තර විචාරයක් දෙන්න පටන් ගත්තා).
අපි දෙන්නම රේස් ෆෑන්ස් ලා නොවන නිසා අපේ කාලය වැඩියෙන් ගතවුණේ රේස් දුවලා විවේක ගනිමින් හිටපු, රේස් දුවන්න දත නියවාගෙන හිටපු සහ කාර් පාක් එකේ තමන්ගේ පාඩුවේ හිටපු මිනි සහ අනික් වාහන බලන්නයි. කොහොම වුණත් අපට බීට්ල් රැලි වලට ගිහින් බීට්ල් බලනවා තරම් ලෙංගතු හැඟීමක් මිනි රේසිං වලට ඇවිත් මිනි බලනකොට දැනුණේ නැහැ. සමහර විට තාමත් අපි මිනි එකත් එක්ක ඒ තරම් තදට කනෙක්ට් වෙලා නැති හින්දා වෙන්න ඇති. නැත්නම් අපි modify කලාවට වඩා original සම්ප්‍රදාය හොයන අසූව දශකයේ පරම්පරාවට අයිති නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔය හේතු දෙකම වෙන්න ඇති. මේක හරියටම දැනගන්න ලැබෙන්නේ මිනි එකේ කිලෝමීටර් පන් හයසීයක දුර ගමනක් ගියාට පස්සේ තමයි.
අවසාන තරග ඉසව්ව ඉවර වුණාට පස්සේ සුපුරුදු සිංහල සම්ප්‍රදාය අනුව වලියක් ගියා. අපට තේරුණු විදිහට pole position ලැබෙන්නේ ඕනේ කෙනෙකුට ඒක දුන්නේ නෑ වගේ මොකක් හරි සිද්ධියක්. අන්තිමට බොහෝ දෙනෙක් රේස් බලනවට වඩා උනන්දුවෙන් ඒක බැලුවා. අපිත් සම්මාන ප්‍රදානෝත්සවය බලන්න හිටියත් හිත පුරා වලිය බලලා ඊට පස්සේ එන්න ආවා.
මම දන්න තරමින් මිනි ක්ලබ් එක මෙහෙම Grand Prix ඉවෙන්ට් එකක් සංවිධානය කළේ පළවෙනි වතාවට. වලි, කෙළි සහ ගුලි මොනවා තිබ්බත් මේ වගේ වැඩක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාර් පිස්සෝ Mighty Mini Club එකට ස්තූතිවන්ත වෙන්න ඕනා. විශේෂයෙන්ම රේස් පැදිල්ල පුරුදු නැති, ක්ලබ් එකේ සාමාජිකත්වය අරං තියන අයට නවකයන්ගේ තරග ඉසව්වට සහභාගී වෙන්න වගේම එහෙම පදින අයට එතනදීම පුහුණුවක් දෙන්නත් ක්ලබ් එක කටයුතු යොදලා තිබුණා කියලයි විස්තර පත්‍රිකාවේ තිබුණේ. ඒක ඇත්තටම අගය කළ යුතුයි.
කටුකුරුන්ද ට්‍රැක් එකෙන් පිටත් වෙලා ආපහු එන්න එද්දී තමයි අපි දෙන්නාගේ හිත් ඇතුළේ තියන හයිවේ පිස්සුව කැලතුණේ. අන්තිමට වමට දාලා ගාලු පාරට එනවා වෙනුවට අපි දකුණට දාලා දොඩංගොඩ පිවිසුම සොයා ගියා.
බීට්ල් එකට ලැබෙන සිනාව වගේම සිනාවක් පිවිසුමේ ඉන්න නිලධාරීන්ගෙන් අපට ලැබුණා. ඊට පස්සේ හෙමින් හෙමින් මගේ මිනි පොඩ්ඩා එයාගේ පළවෙනි හයිවේ අත්දැකීම විඳින්න ලෑස්ති වුණා.
කලින් අයිතිකරු කියපු විදිහට එයා කවදාවත් මේ වාහනේ පැයට කිලෝමීටර් 60 පන්නලා තිබුණේ නැහැ. වාහනේ ඉතිහාසය බැලුවම දශක දෙකකට වත් 100 පැන්නුවා කියලා හිතන්න බැහැ. අනික් අතට මම තාමත් වාහනේ මගේ මිකැනික්ට පෙන්නලා තිබුණෙත් නැති නිසා මම ස්පීඩ් එක වැඩි කළේ බයෙන්.
දකුණට හරවන්න මොහොතකට කලින් නෑදෑයෙක් මුණගැහුණා |
නමුත් වේගමානය හිතනවාට වඩා වේගෙන් උඩට යද්දී, හයිවේ එක දෙපැත්තේ කුඹුරු යායවල් හිතනවාට වඩා ඉක්මනට පහුවෙන්න ගනිද්දී, ඉස්සරහින් ගිය වාහනයක් දෙකක් නොදැනීම වගේ පහුවෙද්දී, අවුරුදු ගාණක් තිස්සේ එන්ජිමේ හඬ පිටිපස්සෙන් අහලා පුරුදු අපට එන්ජිමේ හඬ ඉස්සරහින් ඇහෙද්දී, බීට්ල් එකේ සිරියමේසාරා විසිල් එක වෙනුවට අමරසිරි පීරිස් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ගයන ගීතයක් වගේ ගීතයක් ඒ.සී. එක බේරගන්න තදට වැහුණු වීදුරු අතරින් පෙරිලා එද්දී අපි දෙන්නට දැනුණු සතුට සිංහල යුනිකෝඩ් වලට හරවන්න බැහැ.
ඒත් මිනි එකක් ගන්න පෙළඹුණු විදිහ ගැන කවදාහරි බ්ලොග් පෝස්ට් එකක් ලිව්වොත් සහ මෙතනින් එහාට මිනි එකේ විශේෂ ගමනක් යන වාරයක් ගානේ අමරසිරි පීරිස් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ගයන ඒ අපූරු ගීතයේ පදවැල කාර් පිස්සුවෙ සටහන් කරන්න මම උත්සාහ කරනවා.
- තරිඳු ශ්‍රී ලොකුගමගේ
www.facebook.com/CarPissuwa
2017.12.23
(කොපිරයිට් ස්ටේට්මන්ට් එක: මේ සේරම ෆොටෝ ගත්තේ මමයි කෞශියි. මේ වගේ ඉවෙන්ට්ස් වලට යන්න, ෆොටෝ ගන්න, ලියන්න සහ එඩිට් කරන්න අපි කාලය කැප කරනවා. ඒ වගේම මේවයින් අපට සත පහක ආදායමක් හෝ වෙනත් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ; මේවා හිතු මනාපේ උස්සන්න එපා! මොනවා හරි දෙයක් උපුටා ගන්න ඕනේ නම් අහන්න. නැත්නම් ගත්තේ කාර් පිස්සුවෙන් කියලා කියන්න.)