Thursday, November 24, 2016

බසවක්කුලමේ වැව් බැම්ම සිහිකර ලියමි...




බසවක්කුලම ඉන්නේ දුකෙන්...

අනුරාධපුරේ ජන කෞතුකාගාරයෙන් එළියට ඇවිත් 9 ශ්‍රී 5333 ත් එක්ක හෙමින් හෙමින් බසවක්කුලම පැත්තට ඇදෙද්දී ඒ පුංචි වැව ගැන මගේ හිතේ ඇඳිලා තිබුණු චිත්ත රූප එක එක බිඳිලා යන්න පටන් ගත්තා.

අනුරාධපුර සංචාරය යන්නත් කලින් අපි හීන දැකපු දෙයක් තමයි බසවක්කුලමේ වැව් බැම්ම පාරේ බීට්ල් එක අරන් යන එක. මොකද බීට්ල් එකක් කියන්නේ සුන්දර පරිසරයක් මැදින් වැටුණු පාරක් තවත් සුන්දර කරන්න පුළුවන් අපූරු මිනිස් නිර්මාණයක් නිසා. සැහැල්ලුවෙන් අන්තර්ජාලය උඩින් පියාඹන වෙලාවක ගූගල් ඉමේජස් උඩ වහලා පියාපත් විහිදලා බලන්න, ඔයා ඕන තරම් දකීවී නෙත ඇලවෙන හද සෙලවෙන හිත නවතින ඉබි රූප... 






ෆොක්ස්වැගන් එයාර්-කූල්ඩ් එන්ජින් වලින් එන්නේ සාමාන්‍ය එන්ජින් වලින් එන, කාර්මික විප්ලය හමුවේ ඊට කලින් තිබ්බ සමාජ සංස්කෘතික ආර්ථික පදනම් කැඩිලා ගිය බව හඟවන යාන්ත්‍රික සද්දේ නෙමෙයි. ස්වාභාවික පරිසරයට මුසුවෙලා ඒ සුළං රැලි, කුරුලු කූජන, පොළවේ සුවඳ සහ තුරුලතා වල නැළවිල්ල එක්ක අනන්තාපරිමාණ විශ්වයේම කොටසක් බවට පත්වීමේ හැකියාව ෆොක්ස්වැගන් එන්ජිමට තියනවා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අර බීට් සයිලන්සර් කරපු කාර් දිහා 'තෝ අපාගත වෙය' බැල්මෙන් බලන වියපත් මිනිස්සු පවා ෆොක්ස්වැගන් එන්ජිමේ සද්දේ ඇහුණාම බලන්නේ අතීත මතක ඇවිස්සුණු නොස්ටැල්ජික සෙනෙහසකින්.

මේක මම එදා සහ පහුවෙනිදා ථූපාරාම පාරෙදි, ඉසුරුමුණිය ගාවදි වගේම පූජා භූමියේ අනික් හැම තැනදීම හොඳට දැක්කා. මට ඕන වුණේ මේ අපූරු අත්දැකීම බසවක්කුලම ගාවදිත් විඳින්න.

බසවක්කුලම කියන්නේ ශ්‍රී ලංකාවේ වාරි සංස්කෘතියේ ආරම්භය. ඒක හැදුවා කියන්නේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ. රජතුමාට මේකට නම තිබ්බේ අභය වාපී කියලා බව ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මම ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ 90 දශකයේ මේක පෙළපොත්වල තිබුණා. දැන් තියනවද කියන්න මම දන්නේ නැහැ.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ බසවක්කුලම ගැන ලස්සන විස්තරයක් තියනවා. (මටත් පුදුම හිතුණා. සාමාන්‍යයෙන් රජයේ ආයතන වල මේ වගේ දේවල් විධිමත් සිංහල භාෂාවකින් දක්වලා තියෙන්නේ හරිම කලාතුරකින්.  ඒ නිසා මේක ලියපු කෙනාට ගෞරවය යා යුතුයි). ඒ විස්තරයට අනුව අක්කර 265 ක වපසරියක් පුරා පැතිරුණු බසවක්කුලම වැවේ ජල ධාරිතාව අක්කර අඩි 1910 ක්. වැව් බැම්ම අඩි 3900 ක් දුරට විහිදෙනවා. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15.5 යි ලු. නමුත් මුළු වැවටම තියෙන්නේ එක සොරොවුවයි.

wikimapia.org


අවංකවම කිව්වොත් බසවක්කුලම කියන්නේ ශ්‍රී ලංකාවේ වැව් සංස්කෘතියේ අග්‍ර ඵලයක් නෙමෙයි. දැනට තියෙන ඓතිහාසික සාක්ෂි අනුව බැලුවොත් ඉතිං ඒක පළවෙනි වැව නේ. පළවෙනි වැව හොඳම වැව වෙන්න කොහොමටවත් විදිහක් නැහැ. නමුත් ආරම්භක ලක්ෂය විදිහට බසවක්කුලම ආදරයට ගෞරවයට ලක්විය යුතුයි කියලා මම හිතනවා. හරියට අපි අර ප්‍රඩක්ෂන් කාර් වල ප්‍රොටෝටයිප් වලට කෙළ හලනවා වගේ. ෆොක්ස්වැගන් එකේ ප්‍රොටෝටයිප් එකක් දැක්කම ෆොක්ස්වැගන් පිස්සෝ බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අමතක වෙනවා. ඒ ප්‍රොටෝටයිප් වල අඩු තරමින් පිටිපස්සේ වීදුරුවක් වත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ vents ටිකක් විතරයි. ඒත් ඒ vents වල අමුතු aggressive ගතියක් තියනවා. 



නමුත් අවාසනාවට ප්‍රඩක්ෂන් එකට යද්දී ඒ vents ටික වෙනුවට කඳුළු බින්දු දෙකක් වගේ වීදුරු දෙකක් දාන්න සිද්ධ වුණා. ඒ විදිහට තමයි අපි ගොඩක් දෙනෙක් කොන්දේසි විරහිතව පෙම් කරන, ඒත් අපි ගොඩක් දෙනෙකුට කිසිදාක ලබන්න බැරි ස්ප්ලිට් ටයිප් බීට්ල් එක බිහිවුණේ.



කොහොම වුණත් ප්‍රොටෝටයිප් වලට ස්ප්ලිට් ටයිප් වලට ලැබෙන ආදරේ බසවක්කුලමට ලැබෙන්නේ නැහැ. 

ලංකාවේ වැව් ගැන බොහොම ආවේගශීලී පොතක් ලියලා තියනවා උදුල බණ්ඩාර අවුසදහාමි කියලා කෙනෙක්. මෑත කාලීනව වැව් ගැන ලියැවුණු එකම පොත ඒක වෙන්න පුළුවන් (මම වැරදි නම් මාව නිවැරදි කරන්න. මම හිතන්නේ ජේ. බී. දිසානායක මහත්මයා මොකක් හරි ඉංග්‍රීසියෙන් ලිව්වා. එතුමා ඉතින් විශේෂ ව්‍යාපෘති වලට පොත් ලියන කෙනෙක් නිසා ඒ පොත් හුදී ජනයා අතට පත් වෙනවා අඩුයි නේ).

අවුසදහාමි මහත්මයා කරලා තියෙන්නේ ලොකු සේවයක්. නමුත් පොතෙන් පේන හැටියට එතුමාට තියන ලොකුම ගැටලුව තමයි වරින් වර තලමල් සයිස් එකට දෙකේ හතරේ මට්ටමට මල පැනීම. හැම පරිච්ඡේදෙකම වගේ එතුමා ඉස්සරලාම යටත් විජිත කාලේ විද්වතෙක් ලියපු දෙයක් උපුටලා දක්වනවා. ඊට පස්සේ වැවේ සැකැස්ම ගැන බොහොම සාරගර්භ විස්තරයක් කරනවා. වැඩේ පල දරාගෙන එනකොට 'යකෝ සුද්දෝ අපේ රට කෑවා යකෝ' කියල එතුමාට තනියම හිතලා මල පනිනවා. ඊට පස්සේ 'ආණ්ඩු මේකට මොකුත් කළේ නෑ යකෝ' කියලා තනියම හිතලා මල පනිනවා. අන්තිමට ශාස්ත්‍රීය දෙයක් ඉගෙන ගන්න කියලා පොත අතට ගන්න අපි එතුමාගේ කේන්තියෙ මඩ වතුරින් නැහැවිලා තෙමිච්ච සැවුලෝ වගේ පොත පැත්තකින් තියලා 'මොකද්ද බං ඒ වුණේ' කියලා තොන්තුවාවෙන් ඉන්නවා. කොහොම වුණත් ලංකාවේ වැව් සංස්කෘතිය ගැන වැදගත් දේවල් කීපයක් මම එතුමාගේ පොතෙන් ඉගෙනගත්තා. ඒකට එතුමාට ගෞරවය ලැබෙන්න ඕනේ.

මේ දැනුම් ඩිංගිත්ත තුරුල් කරගෙන මම 9 ශ්‍රී 5333 ත් අරන් බසවක්කුලම පැත්තට ගියේ කාර් එක වැව් බැම්ම පාරට දාලා ඒක දිගේ ඩ්‍රයිව් කරන එකේ ආනන්දය විඳින්න. වැව් තලාව ඉඹගෙන එන හීල් හුළඟ මුමුනන මිමිනිල්ලයි නාඳුනන කුරුළු සංධ්වනි වල අනන්ත ස්වර රටා පෙළයි බීට්ල් එකේ හදවතින්ම එන විසිල්මය ගීත නාදයි මුහුවෙන අපූරුව අහන්න.

අපි යනකොට වෑන් මහ ගොඩක් එතන පාක් කරලා තිබ්බා. කොහේ හරි වෑන් මහ ගොඩක් තියනවා කියන්නේ සාමාන්‍යයෙන් එතන කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඔහේ ඕන එකක් කියලා මම එහාට කපලා වැව් බැම්ම පාරට කාර් එක දාන්න තැනක් හෙවුවා.

වැව් බැම්ම වහලා කොන්ක්‍රීට් කනු දාලා...

වැව් බැම්ම පාර පටු කරලා ඒක ජොගින් ට්‍රැක් එකක් වගේ ගල් අතුරලා හදලා...

මම කුණුහබ්බ නොකිව්වේ පූජා භූමිය නිසා...

ඔන්න ඔහේ ආපු එකනේ කියලා කෞශියි මායි අපේ යාළුවයි තුන්දෙනා ඉඩක් ලැබුණු තැනක කාර් එක පාක් කරලා වැව් බැම්මේ ඇවිදින්න ගියා. සාමාන්‍යයෙන් කොල්ලෝ කුරුට්ටෝ ගැවසෙන තැන්වල කාර් එක පාක් කරන්න මම බයයි. ආසාවට බලන එවුන්ට අමතරව ලබාගන්න බැරි දේවල් වලට කෙළවිලාම පල කියලා හූරන එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා. ඒ වගේම අනුන්ට කෙළවීම තමන් සතු අයිතිවාසිකමක් කියලා ලාංකිකයෝ හිතන බව තේරුම් ගන්න සමාජ විද්‍යා පර්යේෂණ කරන්න ඕනේ නැහැ, ෆේස් බුක් එකට විනාඩියකට ගොඩවෙලා ආවා නම් ඇති. ඒ නිසා කාර් එක දිහා හැරිහැරී බලබලා මම වැව් බැම්ම දිගට ටික දුරක් ඇවිදන් ගියා. 




අපි ගියේ ටිකක් වැස්ස අඩු කාලෙක. ඒ නිසා වැව හිඳිලා. රළපනාවේ වතුර ගෑවෙන්නේ වත් නැති තරමට වතුර අඩුවෙලා. ඒ වුණාට නාන්න තරම් වතුර ඩිංගක් ඉතුරුවෙලා තිබ්බා. ඉතින් ඉතුරු ටික කියන්න අවශ්‍ය නැහැ නේ. අර වෑන් වලින් ආපු ගෑනු මිනිස්සු ළමයි කෑ ගගහා, හූ තියතියා නානවා. තව කට්ටියක් හිඳුණු වැව් පතුලේ ඉඳන් වතුර තියන වලකට බාල්දි ඔබලා වැල්ලේ ඉඳන් නානවා. පොඩි එවුන් යටි ගිරියෙන් මර හඬ දෙනවා. ඒවා බලබලා උන්ගේ අම්මලා අර 'මේවා බලබල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි' වගේ හෙන ආඩම්බරෙන් කැකිරි පලනවා. ඒ අතරේ තව පිරිමි ටිකක් වැව් බැම්මේ ලගින්න පුළුවන් අස්සකට රිංගලා ලැගගෙන ඒ කැකිරි පලන අම්මලා දිහා බලාගෙන හිතෙන මොනවද පලනවා... 

මට එතනින් එහාට ඉන්න හිත දුන්නේ නැහැ. කෞශි තව ටිකක් දුර ඇවිදලා එමුයි කියද්දීත් මම හැරිලා එන්න ආවා.  9 ශ්‍රී 5333 මගේ හිත හදන්න වගේ හීනියට විසිල් එකක් ගහලා අපිව රුවන්වැලි සෑයට එක්කන් ගියා. ඒ යන මීටර් සීයේ දෙසීයේදී තමයි මම කෙල්ලෙක් දඩ ටිපර් එකක් එළවනවා දැක්කේ. ඒ කෙල්ල මට යන්න නොදී පාර හරස් කරගෙන හිනාවෙවී බීට්ල් එක දිහා බලාගෙන හිටියා. පූජා භූමිය පැත්තට වැඩිය ක්ලැසික් කාර් එන්නේ නැති නිසා කෙල්ලට බීට්ල් එක මැජික්. කෙල්ලෝ කොළඹ පැත්තේ ටිපර් එළවන්නේ නැති නිසා කෙල්ලව මට මැජික්. අන්තිමට ඒ බැල්මේ සන්තෝසෙට මට එක මොහොතකට බසවක්කුලම අමතක වෙලා ගියා...

ඒ වුණාට මගේ හිතෙන් බසවක්කුලම යන්නේ නැහැ. ඔය අම්මලා තාත්තලාගේ සල්ලි වලින් පරාටා කකා සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් මරාගන්න ෆේස්බුක් එන කාටවත් රටේ වාරි සංස්කෘතිය ගැන තඹ දොයිතුවක ගානක් නෑ. අනික් අතට අතීතය එක්ක බොහොම ගානේ-මිම්මේ ඇයි-හොඳයියක් තියන මම ලංකාවේ පැරණි වාරි සංස්කෘතියට පුදුම විදිහට ආදරෙයි. මේ රටේ අපි දන්න ඓතිහාසික සංස්කෘතිය අවුරුදු දෙදාස් ගාණක් පැවතුණේ ඇල දොල වැව් ගංගා මහමූදු හින්දා. අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාර බිහිවෙච්ච වියළි කලාපයේ මිනිස්සුන්ට වැව් නොබැන්දා නම් ගොවිතැන් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වුණා නම් ශක්තිමත් ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. එහෙම ශක්තිමත් ආර්ථිකයක් නොතිබ්බා නම් ශක්තිමත් සංස්කෘතියක් හැදෙන්නේ නැහැ. එහෙම වුණා නං අද කට්ටියට බෙදිලා මරාගන්න ඉතිහාසයක් බිහිවෙන්නෙත් නැහැ. මං සමාජවාදියෙක් නෙමෙයි. මං අමු ධනවාදියෙක්. ඒ වුණාට ඔළුවක් තියෙන ඕනෑම හෝතඹුවෙකුට මේ ටික තේරෙන්න ඕනේ.

කොහොම වුණත් මම ඔය අනං මනං ගැන හිතනවට බීට්ල් එක කැමති නැහැ. ඒ නිසා එතනින් එහාට මම බසවක්කුලම ගැන හිතන වාරයක් ගානේ බීට්ල් එක මොකක් හරි ශිල්පයක් දක්වලා මගේ හිත ආපහු එයාගේ පැත්තට ඇදගත්තා. ඒ ගැන විස්තර සේරම අනුරාධපුර සංචාරය ගැන මම කලින් ලියපු ලිපියේ තියනවා. නමුත් බසවක්කුලම ගැන හිතේ ඇඳුණු සහේතුක හෝ අහේතුක වේදනාව එහෙම ලේසියෙන් මගේ හිතෙන් යන්නේ නැහැ. කවදාහරි දවසක කවුරු හරි කෙනෙක් රටේ වාරි සංස්කෘතිය ගැන අධ්‍යයනයක් කරලා, ඒවා රටේ මිනිස්සුන්ගේ භාවාතිශය හැඟීම් අවුස්සන දේශපාලන ව්‍යාපාරවලට ඉන්ධන විදිහට යූස් කරන්න දෙන්නේ නැතුව, මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් ජනගත කරලා රටේ ආර්ථික උරුමය ගැන කතිකාවක් ඇතිකරනවා නම් මට එච්චරයි.

එදාට මා ගාව බීට්ල් එකක් නොතිබ්බොත් බීට්ල් එකක් අලුතින් අරගෙන හරි මම ඔය වැව් ටික සේරම බලන්න යනවා. මොකද වැව් කියන්නේ රටේ සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වෙනවා වගේම බීට්ල් කියන්නේ මගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් නිසා... 


www.facebook.com/CarPissuwa 


Tuesday, November 15, 2016

වෑන් ඩෑම්



මම දැන් රේඩියෝ අහන්නෙම නැහැ. ඉස්සර උදේ හවා කොළඹ ආපු ගිය කාලේ නම් උදේට බස් එකේ රේඩියෝ එක ඇහුණා. හවසට මම හෑන්ඩ්ස්-ෆ්‍රී සෙට් එක කනේ ගහගෙන එනවා. 

දවසක දවාලක කොළඹ යන්න සෙට් වෙච්චි වෙලාවක බස් එකේ මොකක් හරි එෆ්. එම්. චැනල් එකක් දාලා තිබ්බා. සුපුරුදු විදිහට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොන් පාට් දදා කෝල් කර එවුන්ගෙන් අරවා මේවා අහනවා. 

එක මනුස්සයෙක් කතා කරපු වෙලාවක මුන් දෙන්නා ඇහුවා රස්සාව මොකක්ද කියලා. අර මනුස්සයා ඩ්‍රයිවර් කෙනෙක් ලු. කෙල්ල එක පාරටම ඇහුවා වැඩිය එළවන්න කැමති කාර්ද වෑන්ද කියලා. අර මනුස්සයා ගත් කටටම වෑන් කියලා කිවුවා. 

ඔය සංවාදේ මට හොඳට මතක හිටියා. මොකද කාර් එළවනවට වඩා මිනිස්සු වෑන් එළවන්න කැමති ඇයි කියන එක මට කවදාවත් තේරුණේ නැහැ. මේක වෑන් එළවන අයට හරි, වෑන් වලට කැමති අයට හරි කරන අපහාසයක් නෙමෙයි. සමහර විට මට මෙහෙම හිතෙන්නේ මම කවදාවත් වෑන් පාවිච්චි කරලා නැති නිසා වෙන්න ඇති. 

හැබැයි ටිකක් තාර්කිකව බැලුවොත් කාර් වලින් ගන්න පුළුවන් තෘප්තිය වෑන් වලින් ගන්න බැහැ කියන එක තමයි මගේ අදහස. වෑන් වල වේගෙන් යන එක භයානකයි. ලෝඩ් එකක් දාගෙන වේගෙන් යන එක තව ගොඩක් අයගේ ජීවිත අනතුරේ දැමීමක්. වෑන් වල වංගු ගන්න එක කාර් වල වගේ කරන්න බැහැ. වෑන් වල crumple zone මට සත පහකට ෂුවර් නැහැ. මම දන්න තරමින් 90 ගණන් වගේ කාලයක් එනකල් ආපු වෑන් සේෆ්ටි එක පැත්තෙත් හිතුවොත් බිංදුවයි. 


මම අවදානම් ගන්න කැමති නැති ඩ්‍රයිවර් කෙනෙක්. තමන්ගෙයි අනුන්ගෙයි ආරක්ෂාව තහවුරු වෙන සීමාව ඇතුළේ කාර් වලින් ෆන් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි මම හිතන විදිහට කාර් වල ෆන් එකේ සීමාව අපට ටිකක් දුරට ඇදගෙන යන්න පුළුවන්. වෑන් එහෙම බැහැ. අනික අපි වෑන් එකක් අරගෙන තනියම එළියට බහින්නේත් ගොඩක් කලාතුරකින්. මිනිස්සු කීපදෙනෙක්ගෙම ඉරණම තමන්ගේ අතේ තියෙනවා කියලා දැනගෙනත් මිනිස්සු ඉරි කපාගෙන ඉස්සර කරන්නේ කොහොමද කියන එක මට තේරුම් ගන්න බැහැ. 

මම ආයෙත් කියනවා. මම මේ උත්සාහ කරන්නේ වෑන් නරකයි කියන්න නෙමෙයි. මම මේ ට්‍රයි එක දෙන්නේ වෑන් වලින් මෙච්චර driving pleasure එකක් විඳින්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න. 

මගේ උද්දච්ච කම කොච්චරද කියනවා නම් මම ෆොක්ස්වැගන් එකේ T2 එකටවත් එච්චර ආසා නැහැ (ස්ප්ලිට් එකක් ලැබෙනවා නම් ගෙදර මිනිස්සුයි පූසෝ දෙන්නයි ඇර අනික් සේරම විකුණන්න ඉඩ තියන එක වෙනම කතාවක්). ෆොක්ස්වැගන් කොම්පැනිය Type 2 එක හැදුවේ බඩු ගෙනියන්න හොඳ ක්‍රමයක් හදන්න ඕනේ නිසයි. 

මේක නම් එවුවේ රුචිර අරවින්ද වෙන්න ඕනේ. මේ මාලදිවයිනේ.


ඔය අදහස ඉස්සරලාම පහළ වුණා කියන්නේ  නෙදර්ලන්තයට ෆොක්ස්වැගන් ආනයනය කරපු බෙන් පොන් (Ben Pon) කියන මනුස්සයට. එයා 1946 දී ෆොක්ස්වැගන් ෆැක්ටරියට ආපු වෙලාවේ ඒක ඇතුළේ බඩු එහාමෙහා ගෙනියන්න හදපු වාහන දැකලා, මේ වගේ එකක් හදලා විකුණන්න පුළුවන් නම් ඒක මිනිස්සු අතර ජනප්‍රිය වෙයි කියලා හිතුවාලු. මනුස්සයා 1947 අප්‍රේල් 23 වෙනිදා ඒ අදහස කටු සටහනක් බවට හැරෙව්වා කියලා කියනවා. 

බෙන් පොන් ඇඳපු කටු සටහන

ෆොක්ස්වැගන් පිස්සුව ගහපු අලුත මම ෆොක්ස්වැගන් වෑන් එකක් බලන්න ගියා. ලංකාදීපේ දාලා තිබුණා 'දිරුම් ස්වල්පයක් ඇත' කියලා. වැඩි දුරක නොවුණු නිසා මමයි කෞශියි තාත්තයි තුන් දෙනාම ඒක බලන්න ගියා. 

එදා තමයි මම දැනගත්තේ ස්වල්පය කියන්නේ අම්බානක/නැති නන්නත්තාර වෙන්න/ සොරි වෙන්න/ කෑලි හැලෙන්න වගේ යෙදුම් වලට සමාන පදයක් කියලා. 

වාහනේ නැචුරල් සන්රූෆ්. ඒ කියන්නේ දිරුම් අස්සෙන් අහස බලාගෙන කවි ලියන්නත් පුළුවන්. පෙට්‍රල් ටැංකිය තිබ්බේ නැහැ. බෝතලෙකින් පෙට්‍රල් එන්න සෙට් කරලා තිබ්බේ. වැඩි පරිස්සමට පෙට්‍රල් ටැංකිය ගලවලා තිබ්බා කියලා ඩීලර් කිව්වා. ඒක කෝ කියලා ඇහුවම වෙන ගෙදරක කිව්වා. ස්ටාට් කරන්න පුළුවන්ද ඇහුවම පුළුවන් කිව්වා. එහෙනම් ස්ටාට් කරමු කිව්වම මස්සිනා ස්ටාටර් මොටරේ ගලවන් ගියා කිව්වා. ඒ ඇයි කියලා ඇහුවම 'පොඩ්ඩක් ටියුන් කරන්න' කිවුවා. පොත්පත් නිරවුල් කිව්වා. බලන්න පුළුවන්ද ඇහුවම පොත්පත් ටික වෙන ගෙදරක කිව්වා. 

ඔය විදිහට වටිනා දේවල් ගොඩාක් අපි තුන්දෙනා එදා ඉගෙනගත්තා. 

මේ ඒ වෑන් එක නෙමෙයි


හැබැයි මොනවා වුණත් මම ඉස්සරලාම ඩ්‍රයිවින් පුරුදු වුණේ හයිඒස් වෑන් එකකින්. වර්ගේ, අවුරුද්ද මේ කිසිදෙයක් මට මතක නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඩ්‍රයිවින් සීට් එකට නැග්ග පළවෙනි වතාවෙම මට හිතුණා මේක හරියන කෙළියක් නෙමෙයි කියලා. අපේ අයියලා දෙන්නෙක් 'මල්ලි පාරට ගන්ඩෝ' කියා කියා මට ඩ්‍රයිවින් පුරුදු කරපු හැටි මම හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි!  කියන ලිපියේ කතා කරලා තියනවා. ඒ නිසා මම ඒක මෙතන ලියන්නේ නැහැ. 

දෙවෙනි පාර මම වෑන් එකක් එලෙව්වේ මගේ පළවෙනි බීට්ල් එක ගන්න ගිය දවසේ. එදා මම පෙරුම් පුරාගෙන අපේ ටින්කරින් බුවාවයි ගෙදර අයවයි ඇදගෙන කාර් එක ගන්න ගියා. ටින්කරින් බුවාට වෑන් එකක් තියන නිසා කට්ටියව එක්ක යන්න තමයි මිනිහාව ඇදගෙන ගියේ. අනික මිනිහා එක්ක ගිහින් තමයි මම ඉස්සරලාම වාහනේ බලලා ආවේ. ලියකියවිලි කටයුතු ටික ඉවර වෙනකල් මට ඉවසිල්ලක් නැහැ කාර් එක පදින්න. ඔක්කොම ඉවර වෙලා වාහනේ එළියට ගත්තට පස්සේ ටින්කරින් බුවා හෙන සීරියස් මූණක් දාගෙන මට මෙහෙම කිව්වා. 

"මල්ලි, ඔයාට මේක එළවන්න බැහැ. අඩු ගානේ සයිඩ් කන්නාඩි දෙක වත් නැහැ නේ. මම මේක අරගෙන එන්නම්. ඔයා වෑන් එක අරගෙන කට්ටියත් එක්ක යන්න." 

මට දැන් ඌරු ජුවල්. අහන්න එක එක දේවල් කටට එනවා. එහෙන් වෑන් එකක් එළවන්නේ කොහොමද කියන එකත් මගේ ඔළුවට ආවා. 'තෝම නේද මේ කාර් එක හොඳයි, ගන්න' කියල මට කිව්වේ කියලත් අහන්න හිතුණා. ඒ වුණාට ඒ අවස්ථාව කොච්චර සංකීර්ණද කියනවා නම් මට ඒ කිසි දෙයක් අහන්න ගටක් ආවේ නැහැ. ඒ වෙනුවට මම බොහොම අහිංසක විදිහට මෙහෙම ඇහුවා. 

"මට කොහොමටවත්ම බැරි වෙයිද?" 

ටින්කරින් අයියා හිනාවෙලා පොරගේ වෑන් එකේ යතුර මගේ අතට දීලා බීට්ල් එක පැත්තට ගියා. මම මූණත් එල්ලගෙන, ගෙදර කට්ටියවත් ඇදගෙන වෑන් එකට ගියා. 

මගේ පරණ බීට්ල් එක ගන්නකොට තිබුණු විදිහ. මේ ෆොටෝ එක මහේෂ් වීරසිංහ ගත්තු එකක්.


ඒ කාලේ පොරට තිබ්බේ මැස්ඩා බොන්ගෝ එකක්. පොර ඕක අරන් අමු කට්ටක් කෑවා මට මතකයි. ඉස්සරලාම මොකද්දෝ මගුලක් කරන්න යද්දී එන්ජින් නොම්මරේ පොතට වඩා වෙනස් කියලා මාට්ටු වුණා. ඊට පස්සේ බොඩියේ දිරුම් මතුවුණා. දෙතුන් පාරක් එහෙ මෙහෙ ගෑවුණා. ඊට පස්සේ එන්ජිමට කෙළවුණා. අන්තිමට කෙළියා තාප්පෙට කියලා මිනිහා දුර හයර් එකක් යද්දී නින්ද ගිහින් වාහනේ ගහක වැදුණා. පොර මාස තුන හතරක් බේත් ගත්තා. වාහනේට මූණක් තියන්න වුණා. ඊටත් පස්සේ පොර ස්කූල් සර්විස් එකක් පටන් අරන් නන්නත්තාර වුණා. අන්තිමට ළමයි ටික පිටින්ම වාහනේ විකුණලයි නැවතුණේ. 

ආපහු අර බීට්ල් එක ගත්තු දවස ගැන කතාකරමු. වෑන් එකට නැග්ග වෙලාවෙම මට දැනුණේ අර ඉස්සරලාම ඩ්‍රයිවින් පුරුදු වෙන්න වෑන් එකකට නැග්ග වෙලේ දැනුණු හැඟීමමයි. එදා නම් අයියලා දෙන්නා වත් ළඟින් හිටියා. මෙදා පාර හිටියේ කෞශියි තාත්තායි. ඒ කියන්නේ වාහනේ එළවන්න ඉන්නේ මම විතරයි. ගැළවෙන්න පොටක් නැහැ. මම හෙමින් හෙමින් වාහනේ පාරට අරගත්තා. 

අවුරුදු ගාණක් ලාන්සර් බොක්ස් එකක් එලවලා පුරුද්ද තිබුණු මට දැනුනේ නිකං බැරල් එකක් උඩ ඉඳගෙන ඉන්නකොට මොකෙක් හරි බැරල් එක වීල්බැරෝ එකක තියලා තල්ලු කරගෙන යනවා වගේ හැඟීමක්. 

සිග්නල් ආම් එකක් තිබ්බේ නැහැ. ස්විච් එක හොයාගන්න බැරිවුණා. අන්තිමට වමට සිග්නල් දාගෙන ගෙදරට එනකල්ම ආවේ. ගියර් පැටලෙනවා. පැඩ්ල් පොසිෂන් එක අපහසුයි. මූණ හේත්තු කරන්න පුළුවන් කියලා අමතක වෙන නිසා ඉස්සරහ වාහනෙයි වෑන් එකයි අතර හැම තිස්සෙම හෙන ගැප් එකක් හිටිනවා. ස්ටියරින් එක ලාන්සර් එකේ වගේ responsive නැහැ. හරියට පොඩි එකෙක් නෙට් එකක රෝදයක් උකුලේ තියාගෙන බ්රූම් බ්රූම් ගගා කරකවනවා වගේ මට හිතුණේ. වංගු ගන්නකොට කාර් එකේදී දැනෙන ජොලිය වෙනුවට මට දැනුණේ පාන් ගෙඩියක් පෝරණුවක් ඇතුළට විසික් කරනවා වගේ ෆීලින් එකක්. ඩීසල් එන්ජිමේ සද්දේ හරියට උගුර බැරැන්ඩි වෙච්චි ඕපදූප කාරයෙක්ගේ වගේ... 

ජීවිතේට අහලා නොතිබ්බ පරුෂ වචන මගේ හිතට නැගුණා... 

එළවන්න පුරුදු කෙනාට වෑන් එක එහෙම දැනෙන්නේ නැතුව ඇති. මගේ බීට්ල් එක මම වෙන කාටහරි එළවන්න දුන්නොත් (වරෙල්ලකෝ බලන්න ඉල්ලගෙන!) ඒ එළවන කෙනාත් මේ වගේ දේවල් කියාවි. ඒ නිසා වෑන් එක එක්ක මට ගැටලුවක් නැහැ. 

ඒත් වෑන් නම් එපාමයි කියලා හිතුණා. 

ටින්කරයාගේ ගෙදර ගාවට ගෙනත් වාහනේ අයීනටම කරලා පාක් කරලා මම වාහනෙන් බැස්සා. බීට්ල් එක එළවගෙන අර මනුස්සයා එනකල් ආයේ වෑන් එක දිහා බැලුවේවත් නැහැ. 

ඉස්සරලාම බීට්ල් එක අතට ගත්තු වෙලාවේ මට හිතුණා අර මනුස්සයා කියපු දේ ඇත්ත තමයි කියලා. ඒක 1959 අන්තිම හදපු බීට්ල් එකක්. හොඳට දිරලා තිබ්බේ. 1980 ලාන්සර් බොක්ස් එකක් එළවලා ඊට පස්සේ 1959 restore නොකරපු  බීට්ල් එකක් අතට ගන්නවා කියන්නේ පෞද්ගලික ආයතනයක ඉඳලා රජයේ ආයතනයකට ගියා වගේ වැඩක්. අපිට ඕන විදිහට නටන්න තියා හැරෙන්න වත් බැහැ. කාර් එක අපිව තඹේකට මායිම් කරන්නේ නැහැ. අඩු ගානේ පුරුදු වෙනකල් කාර් එකට ඕන විදිහට ඕනේ අපි නටන්න. 

හැබැයි එහෙම වෙලත් මට හිතුණේ නැහැ මීට හොඳයි වෑන් එකක් එලෙව්වා නම් කියලා. වාහනේ පේන්ට් එක කරලා ඉලෙක්ට්‍රිකල් ටික චෙක් කරගන්න කියලා ඉස්සරලාම පාරට ගත්තු පළවෙනි දවසෙත් මට හිතුණා වෑන් එකක් නොගත්තු එක කොච්චර හොඳද කියලා. 

ඊට පස්සේ දවසක් ඔය ටින්කරයා අසනීප වෙලා මම මිනිහගේ වෑන් එක එලෝගෙන මිනිහව දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගියා. එතකොට තිබුණේ අර වෑන් එක නෙමෙයි, මට මතක විදිහට නිසාන් එකක්. ඒකෙත් නම, වර්ගේ, පැටිකිරිය මොකුත් මට මතක නැහැ. වෑන් එක වෙනස් නිසා මේක වෙනස් අත්දැකීමක් වේවි කියල මට වාහනේට නගිනකොට හිතුණා. 

Nope...! 

එදා මම හිතාගත්තා ජීවිතේ කවදාවත් කිසිම හේතුවක් උඩ වෑන් එකක් ගන්නේ නැහැ කියලා. තාත්තා අසනීප වෙලා හිටපු දවස් වල නම් මට එයාව ඉස්පිරිතාලේ එක්ක යන්න වෑන් එකක් ගන්න හිතිලා තිබ්බා. නමුත් ඒක හරියන වැඩක් නෙමෙයි කියලා පස්සේ තේරුණා. 



ඒ නිසා කවදාවත් මම වෑන් එකක් ගන්න එකක් නැහැ. ඒ වෑන් එක්ක තියන තරහකට නම් නෙමෙයි. දැන් වෑන් හරි දියුණුයි කියලා මම දන්නවා. ඉඳලා හිටලා තායිලන්තේ බැංකොක්වල ඇවිදින්න යනකොට මම දකිනවා ඒ මිනිස්සු වෑන් ලස්සනට මොඩිෆයි කරලා තියන හැටි. ෆයිබර් පොල්කටු බොඩිකිට් නෙමෙයි, ගානට මිම්මට කරපු මොඩිෆිකේෂන්. එතකොට මම ඒ වෑන් දිහා හැරිලා බලන අවස්ථාවලුත් තියනවා. ඒත් ඕවා අර ඇසිල්ලකින් නැගී අතුරුදන් වී යන චූන් තමයි. 

ජපානේ වෑන් අයිතිකරයෙකුට පිස්සු තදවුණු අවස්ථාවක්

 

මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ වෑන්. මට බ්ලොග් ලෝකෙට පාර පෙන්නපු අමිල ලියනාරච්චි පදින්නේ වෑන් එකක්. මගේ හොඳ යාලුවෙක් වෙන රුචිර අරවින්ද ලංකාවේ ඉන්නකොට ගමන් බිමන් යන්නේ වෑන් එකක. මම හිතන්නේ සජිත් සමරවීරත් වෑන් එකක් ගන්න හිතන් ඉන්නවා. කාර් පිස්සුවට නිතර සපෝට් එක දෙන අපේ පොඩි මල්ලියා කලිඳු ඩිලංක නිදාගන්නෙත් වෑන් එක තුරුල් කරගෙන. මිනිහා හැම තිස්සෙම මගේ වෑන් විරෝධයට නක්කලේ දාන නිසා තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ... 

මම වෑන් වලට ආසා නැහැ. නමුත් වෑන් කියන්නේ හරි අපූරු නිර්මාණයක්. වෑන් වලින් ලැබෙන ප්‍රයෝජන වලින් සීයෙන් පංගුවක් කාර් වලින් ලැබෙන්නේ නැහැ කියලා මම පිළිගන්නවා. 

හැබැයි වාහන පිස්සුව කියන්නේ වාහන වලින් ප්‍රයෝජන ගන්න එකට නෙමෙයි.... 


www.facebook.com/CarPissuwa 


පසු සටහන: 

1. ලිපියේ කීප තැනකදීම කිව්වා වගේ මේක වෑන් වලට හරි වෑන් වලට ආසා කරන අයට හරි අපහාස කරන්න ලියපු එකක් නෙමෙයි. නමුත් දවස් දෙකතුනකට පාරක් කවුරුහරි මගෙන් අහනවා, මම වෑන් වලට කැමති නැද්ද කියලා. අදින් පස්සේ අන්තර්ජාලය හරහා මගෙන් ඔය ප්‍රශ්නේ අහන ඕනෑම කෙනෙකුට මම කරන්නේ මේ ලින්ක් එකක් යවන එකයි. 

2. මේ ෆොටෝ එක්කෝ කාර් පිස්සුවට ලැබුණු ඒවා. නැත්නම් මම ගත්තුවා. කට්ටිය එවපු ෆොටෝ සැලකිය යුතු කාලෙකට කලින් එවපු ඒවා නිසා ෆොටෝ එවපු අයගේ නම් මතක නැහැ. ඒ ගැන සමාවෙන්න. පුළුවන් නම් ෆොටෝ එවපු අය තමන් එවපු ෆොටෝ එක ගැන කියලා පොඩි කමෙන්ට් එකක් දාලා යන්න.

Tuesday, November 8, 2016

"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?"



ප්‍රොජෙක්ට් එකක ගොඩයාම සහ කෙලවීම එකිනෙක මුණගැහෙන භයංකාර තුංමං හන්දියක් තමයි ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කියන්නේ. ඔතනින් හරි පැත්තට වැටුණොත් ඉතිං සසරින් එතෙර වුණා වගේ තමයි.

වැරදි පැත්තට වැටුණොත් සාත්තර කාරයෝ පස්සේ දුවන්න වෙන්නත් ඉඩ තියනවා.

මේකට එක ප්‍රධාන හේතුවක් තමයි ඉලෙක්ට්‍රික් වැඩ කරන බාස්ලා කියන්නේ සාමාන්‍යයෙන් මහා අමුතු ජීවී විශේෂයක් වීම. ඩාවින් මේ කාලේ හිටියා නම් ඇවිල්ලා හපුටු සූට් එකකුත් ඇඳන් ඉලෙක්ට්‍රිකල් වැඩ කරන තැනක බංකුවකට වෙලා බවුත් එකකුත් කටේ ගහගෙන බලාගෙන ඉන්නවා.

හැමෝම මෙහෙම නැති එක ඇත්ත. සමහර අය ඇති හොඳට වැඩ කරන. ඒත් මගේ ජීවිතේ මට ඕන තරම් පරිණාමය නොවූ වානර බාෂ් ලා හම්බවෙලා තියනවා. දැන් මේ කියන්න යන්නේ එහෙම කතාවක්.

මගේ 9 ශ්‍රී බීට්ල් එක ගන්නකොට ඒකෙ සිග්නල් ආම් එකක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට ස්විච් එකක් ඩෑෂ් බෝඩ් එකට හයි කරලා තිබ්බේ. 3 ශ්‍රී බීට්ල් එකෙත් ඔය ප්‍රශ්නේ තිබ්බ නිසා මට ඒක එච්චරම ගැටලුවක් වුණේ නැහැ. නමුත් අර නපුරු කලට හැදෙන overhaul නුහුගුණේ වැළඳුණාට පස්සේ 9 ශ්‍රී එකේ එන්ජිම ෆුල් හදලා ඊට පස්සේ අහුකොන් තියාගන්න මගේ හිත යාදුන්නේ නැහැ.

ඉතිං මගේ ග්‍රහයා පීචං වෙලා මට බ්‍රෑන්ඩ් නිව් සිග්නල් ආම් එකක්  තියලා වයරින් එකත් ෆුල්ම හදාගන්න ආසාවක් ආවා.



මේ ටික කියවනකොට මේවා කාලා තියන එවුන්ට උගුරට තිත්ත දැනෙන්න ගන්නවා ඇති. 

ඉතිං ඔන්න දුක් විඳලා නිදි මරලා කොම්පියුටරේ කොටලා හම්බ කරන පිච්චියෙන් කොටහක් ඇන්න මම පංචිකාවත්ත කියන මහ ගන වනන්තරේ දුර ඈත කෙළවරේ හඩු හපුටු පජාති කපුටු රෑනක් අතරේ යන්තං ඔලු කට්ට බේරගෙන එහා මෙහා යන්න පටන්ගත්තා.

මේ ගන වනන්තරෙත් මනුස්සකං හම්බවෙන තැන් නැතුවා නෙවෙයි. ඉඳලා හිටලා දාර විසැති වග වලසුන් මැද්දේ හාවෙක් මුවෙක් මතුවෙලා 'ඔහේ ගියොත් කොටියා කාවි අයියා' කියන අවස්ථාවල් තියෙනවා. ඒත් අවාසනාවකට ඒ එක හාවෙක් මුවෙක් ගාවවත් සිග්නල් ආම් තිබ්බේ නැහැ.

සිග්නල් ආම් තිබ්බේ කොටියෙක් ගාව...

මුළු කැලේම හොයලා හොයාගන්න බැරි බඩු තමන් ගාව තියනවා නම් කොටියා ඒ බව හොඳට දන්නවා. එහෙම වෙලාවට කොටියා ගේම දෙන්නේ නරියා වන්නම නටලා.

මම හෙමින් හෙමින් කොටි ගාලට බඩගෑවා. කොටියා සහ මිත්‍රයෝ හිනාවෙලා මාව පිළිගත්තා. මට අවශ්‍ය දේ කිව්වාම කොටින්ට ලාවට හිනාවකුත් ගියා.

සිග්නල් ආම් එකේ ප්‍රයිස් එක කිව්වම මාව හබස් වුණේ නැහැ. මොකද මේ ගමන යන්න කලින් මම වෙන කොටියෙකුට කෝල් කරලා ගාන අහලා තිබ්බේ. කොටි දෙන්නගේ ගාන මැචින්.

ගාන අඩුකරන්න හැකියාවක් නැති බව කොටියා කිව්වේ නිකං එහෙම කළොත් උගේ සනුහරෙටම සහගහලා භද්‍ර කල්පය ගෙවෙන තාක් කල් නිරයේ වැටිලා ඇල්කොහොල් රහිත ලෝදිය බොන්න වේවි වගේ මූණක් හදාගෙන. ඉතිං එතනින් එහාට මම මොකුත් කියන්න ගියේ නැහැ. අනුන්ගේ අපා දුක් වලට මම කරගහන්නේ මොකටෙයි?

සිග්නල් ආම් එකත්  අරන් වනන්තරෙන් පිටවෙලා ගේ පොජ්ජට මංගැච්චුවාට පස්සේ ඉතිං මම මේක හයිකරන වැඩේ සහ ඉතුරු ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කාටද භාරදෙන්නේ කියලා දහ අතේ කල්පනා කළා. මට තිබුණු විසඳුම් ටික මෙන්න මෙහෙමයි.

1. මගේ ඉස්සර කාර් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කරපු ඉලෙක්ට්‍රීෂියන් යාළුවා- ඌ වයරින් ටික කරලා ගියාට පස්සේ සිග්නල් ලයිට් එකක් නිවෙන්න නැතුව පත්තු වෙලා තිබ්බා.  ඇතුලේ ලයිට් එක පත්තු වුණේම නැහැ. ඉස්සරහ ලයිට් දෙකෙන් එක ලයිට් එකයි පත්තු වුණේ. තව මොකක්දෝ මගුලක් නිවිනිවී පත්තු වුණා.

2. මගේ යාළුවා කාර් එක කෑවට පස්සේ ඒක හදලා දීපු එකා- ඌත් දැන් යාළුවෙක් තමයි. ඌ හදලා දුන්නට පස්සේ කාර් එකේ අවුලක් නම් වුණේ නැහැ. හැබැයි උගෙන් වෙලාවක් ගන්න නං නිකං අර ප්‍රසිද්ධ වෙද මහත්තුරු හම්බවෙන්න මහා රාත්තිරියේ ඉඳන් පෝලිමේ ඉන්න ඕනේ වගේ පෝලිමේ ඉන්න ඕනේ. කොහොම හරි වෙලාවක් ගත්තා කියමු. වැඩේ කළාට පස්සේ වැඩේට ගෙවන්න කාර් එක විකුණන්න ඕනේ.

3. ලාංසරේ ඉලෙක්ට්‍රිකල් ටික කරපු අයියා- 'මල්ලි මම ඔය පැත්තේ එනවා, එතකොට ඇවිත් බලන්නං කෝ' කියනවා. ඒත් මිනිහව හොයාගන්න තාම ඉන්ටර්පොල් එකටවත් බැරිවුණා...

4. ගරාජ් එකෙන් නොම්මරේ දීපු ඉලෙක්ට්‍රික් කාරයා අංක 1 - 'මං පොස්සගන් නං කරන්න දන්නේ නෑ අයියා... ඕන නං බලන්න පුළුවන්.  ඒත් මං දැන් මේ රිකිල්ලගස්කඩවල ඉන්නේ. අපේ වයිෆ්ගේ නංගිගේ මහත්තයගේ අක්කගේ දුවගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ගේ සීයගේ නංගි කෙනෙක් අසනීප වෙලා එහෙ ආවා..."

5. ගරාජ් එකෙන් නොම්මරේ දීපු ඉලෙක්ට්‍රික් කාරයා අංක 2 - "මට හතහමාරට විතර කෝල් එකක් දෙනවද? මම වාහනේක ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ..." (හතහමාරට ගත්තු කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ වෙනුවට පත බූට් එකක් කාපු එකෙක් සංසාරේ ගැන මොනවද කියෝ කියෝ දෙවැට පාරක බොරළු පස් කන සින්දුවක් අහගෙන ඉන්න වුණා මට...!)

6. අහවල් අයියා- "මේ පැත්තේ හැමෝම වැඩ ඉගෙනගෙන තියෙන්නේ පොරගෙන් ලු. හෙනම සීනියර් පොරක් ලු. දැන් පුත්තුත් වැඩේට බැහැල ලු ඉන්නේ. පරණ වාහන ගැන හොඳට දන්නවලු."

සෑහෙන වෙලාවක් මේ ගැටලුව කල්පනා කරලා, සංකල්පනා කරලා, පරිකල්පනා කරලා, මියුරු කල්පනා කරලා, කල්පනා ලොව මල් වනෙත් කරලා මම අන්තිමට අහවල් අයියා ගාවට යන්න තීරණය කළා.

ඉතින් දවස් දෙකකට විතර පස්සේ යාන්තං වෙලාවක් පාදගෙන මම ඉබ්බවත් පණ ගන්නගෙන අහවල් අයියා හොයන්න ගියා.

වාහනේ නවත්තලා වටපිට බලනකොට බඩි වෑන් එකක් යට ඉඳලා ලෝඩ් ඔෆ් ද රිංස් එකේ චරිතයක් වගේ පොරක් මතුවුණා.

"මොනවද මහත්තයා වෙන්න ඕනේ?"

"මේ බීට්ල් එකේ ඉලෙක්ට්‍රිකල් වැඩ වගයක් තියනවා..."

"මොනවද කරන්න තියෙන්නේ?"

මම වැඩේ සැකෙවින් විස්තර කළා. පොර දැන් තට්ට ගෙඩිය අල්ලගෙන නිකං රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට මැදිවුණා වගේ දත විකාගෙන අත නවාගෙන ගත දවාගෙන හිත මෙහෙයවනවා. පොරගේ සිතිවිලි එහා මෙහා යනවා තට්ට ගෙඩිය විනිවිද මට පේනවා වගේ.

"මං කියන්නං... මහත්තයා අනිද්දා උදේ එන්න. අපේ පුතත් ඉන්නවා. එතකොට වැඩේ කරන්න පුළුවන්. කෝල් එකක් දීලා එන්න..."

පොර මට නොම්මරේ දුන්නා. මම ඉබ්බත් කුදලන් ආපහු ආවා.

ඔන්න අනිද්දා උදේ ඉඳන් මම කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා, කෝල් කරනවා...

ම්හු...

බුදුගුණ ගීතයක් ෆෝන් එක අස්සෙන් ඇහෙනවා... සංසාරේ හෙන දුකයිලු... තණ්හාව අතඅරින්න ඕනෙ ලු...

අන්තිමට රස්සාව ගැන තියන තණ්හාව අතඇරලා වැඩ සේරම පැත්තක දාලා මම ආපහු ගියා පොරව හම්බවෙන්න. වර්ක්ෂොප් එක පාළුයි. අහවල් අයියා මොකක්දෝ හබරල ගාලක් අස්සෙන් මතුවුණා.

"බලන්නකෝ මහත්තයා... අපේ පුතා ඊයේ පාටියකට ගිහිං තාම බුදි නේ... දවල් වෙලා කෝල් එකක් ගන්නවද...?"

අර පුතා බීලා වැටිලා බව තේරිලා මම ගෙදර ගියා.



බීපු එකාගේ hangover එක යන්න මම හිතන්නේ සතියක් විතර යන්න ඇති. මොකද කෝල් එකට ආන්සර් කළේ සතියකට විතර පස්සේ. තව දවස් දෙකකින් කාර් එක ගේන්න කිව්වා. 

මම යනකොට පුතණ්ඩියා හයිබ්‍රිඩ් එකක් ගලෝගෙන වැඩ. මම විස්තරේ කිව්වම පොර ටිකක් අදිමදි මූණක් දැම්මා. 

"මම මේ ටිකක් අසනීප වෙලත් හිටියේ පහුගිය දවස්වල..."පොර කිව්වා. 

"මටත් පාටිවලට ගිහින් ආවම ඔය අසනීපෙ හැදෙනවා..." මම කිව්වා. 

දෙන්න උත්තරයක් නැතුව තප්පර දෙක තුනක් බලාගෙන හිටපු පොර මට කාර් එකේ වෙන්න ඕනේ දේවල් කියන්න කිව්වා. කාර් එකේ එතකොට චාජින් වල පොඩි ප්‍රශ්නෙකුත් ඇවිල්ලා තිබුණේ. ඒ පාර මිනිහා මට ගේන්න බඩු ලිස්ට් එකකුත් ලියලා දීලා, ඕල්ටනේටරේ ගලවලා බලන්නම් කිව්වා. 

අන්තිමට එදා දවසම ගියාට පස්සේ මිනිහා කිව්වා ඕල්ටනේටරේ අවුල්, හදලා දෙන්නම් කියලා. සිග්නල් ආම් එක හයි කරලා අනික් වැඩ ටිකත් බලලා තියන්න දවස් තුනක් විතර යයි කිව්වා. 

එදා ඉඳන් තුනේ ඒවා තුන්වරක් තුනක් විතර ගතවුණාට පස්සේ තමයි යන්තං සිග්නල් ආම් එක ෆික්ස් වුණේ. ඒ දවස් ටිකේ වර්ක්ෂොප් එකට ගිය වාරයක් ගානේ අහවල් අයියාගෙන් මට අහන්න ලැබුණු දේවල් නිකමට වගේ මෙතන ලියනවා. 

1. වාහනේ කලින් ඉලෙක්ට්‍රිකල් වැඩ කරලා තියන බාස් ලා කරලා තියන වැරදි 

2. අහවල් අයියා ඉස්සර ෆොක්ස්වැගන් සහ තවත් පරණ කාර්වල ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න මැජික් බලෙන් වගේ විසඳලා මහත්තුරුන්ව පුදුම කරපු හැටි

3. රට වටේ මිනිස්සු අහවල් අයියා නැතුව වෙන කාටවත් වාහනේ අල්ලන්න දෙන්නේ නැහැ කියලා ලක්ෂ ගණන් කෝටි ගණන් වටින වාහන දිරන්න දාලා තියන හැටි 

4. රට ගැන තියන කැක්කුම නිසා රට යන්න සෙට්වුණු චාන්ස් අතඇරලා දාපු හැටි 

5. දැන් ඉන්න මිකැනික්ලා/ටින්කරින් කාරයෝ/ පේන්ටර්ලා ගේ වැරදි 

6. තමන්ගේ ගෝලයෝ තාමත් තමන්ට දෙමව්පියන්ටත් වඩා ගරු කරන හැටි 

7. තමන්ගේ පුත්තු 'හයිබ්‍රිඩ් ගන්න තරමට වැඩකාරයෝ' වුණු හැටි 

8. 'මේ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපට' 

9. දැන් එන අමතර කොටස් වල ප්‍රමිතිය බාල නිසා තමන්ට නරක නාමේ එන හැටි 

10. "මං මට කරගත්තේ නෑ මහත්තයෝ, අනුන්ටම තමා කොළේ..." 

යාන්තං දවස් ගානකට පස්සේ බයිලා වෙන්දේසිය නතර වුණා. කාර් එක අරගෙන යන්න පුළුවන් කිව්වම මට දැනුණේ පුදුමාකාර මෙව්වා එකක්. අහවල් අයියා ගහන කැසට් පීස් මට තියා වාහනේටවත් අහං ඉන්න පුළුවන් ඒවා නෙමේ. ඉතිං මම ටක් ගාලා ගාන කීයද ඇහුවා. මම බලාපොරොත්තු වුණේ කොහොමත් ලොකු ගාණක් කියාවි කියලා. 

මිනිහා මම බලාපොරොත්තු වුණාට වඩා දෙදාහක් විතර අඩුවෙන් තමා ගාන කිව්වේ. 

මට දැන් හෙන හැපී. හිතපු තරං සල්ලි ගියෙත් නැහැ, වැඩෙත් 'එක්ස්පර්ට්' කෙනෙකුට කියලා කරගත්තා. සිග්නල් ආම් එකත් හරි. චාජ් වෙන ප්‍රශ්නෙත් හරි. ඔක්කොම හරි. 

දවස් ගාණක් වර්ක්ෂොප් එකේ තිබිලා වාහනේ දූවිලි කන්දයි. 'මහත්තයා, වතුර බාල්දියක් ගහමුද?' කියලා අහවල් අයියා ඇහුවා. තව මොහොතක් වත් පරක්කු කරන්න මට වුවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම එපා කියලා වාහනේ අතට ගත්තා. 

ඔන්න දැන් මම ගෙදර යන්න කියලා ඇරලා දාලා යනවා. මට ගෙදරට යන්න යූ ටර්න් දෙකක් ගහන්න තියනවා. පළවෙනි යූ ටර්න් එක ගහද්දී මට අමුත්තක් තේරුණා ස්ටියරින් වීල් එකේ. මම ටිකක් ස්ලෝ කළා. ඔන්න ඔහේ මගේ හිතට දැනෙන හැටි වෙන්න ඇති කියලා මම ආයේ ස්පීඩ් කළා. කෙළින් යනකොට කිසි අමුත්තක් නැහැ. ඔන්න දෙවෙනි යූ ටර්න් එක ආවා. එතකොට වීල් කාරයෙක් උගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ අස්සෙන් රිංගපු නිසා මට පොඩි සෙල්ලමක් දාන්න වුණා. ඒත් එක්කම මට තේරුණා 'මස්සිනා සම්තින් ඉස් නොට් රයිට්' කියලා... 

ස්ටියරින් වීල් එක ගැලවිලා අතට ආවා.... 

ඔවු යකෝ...! ස්ටියරින් වීල් එක ගැලවිලා අතට ආවා....!

දැන් මොන දෙයියන්ට කියන්නද? ආපහු අර අහවල් අයියා ළඟට ගිහින් මොන අහවල් ... ද කළේ කියලා අහන්න තමයි තියෙන්නේ. මෙහෙම තියෙද්දී යන්නත් බයයි. ඒත් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම වම් පැත්තට අයින් කරගෙන, බට්ටෙක්ගේ පිටිපස්සේ තියාගෙන හෙමින් හෙමින් ආපහු අර මනුස්සයා ගාවට ගියා. 



වාහනේ නැවැත්තුවාම අහවල් අයියා සෙසමි ස්ට්‍රීට් එකේ චරිතයක් වගේ මොකක්දෝ මුල්ලක් අස්සෙන් හොම්බ දැම්මා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි එතන සංවාදේ ගියේ. 

"බාසුන්නැහේ, ස්ටියරින් වීල් එක අතට ආවා...!" 

"මොනවා, වෙන්න බැහැ නේ...!" 

(මම වාහනේ ඇතුළට හොම්බ දාලා ස්ටියරින් වීල් එක අතට ගත්තා) 

"නැත්තං මෙහෙම ගලවන්න මං මැජික් කාරයෙක්ද?" 

(ඔන්න අහවල් අයියා කල්පනා කරනවා) 

"මොකද අප්පා ඒ?" 

"බාසුන්නැහේ නට් එක කොහෙද දැම්මේ?" 

(අහවල් අයියා කල්පනා කරනවා) 

"නට් එක නේද? (තවත් කල්පනා කරනවා) ආ... දැන් නේ මතක් වුණේ මහත්තයා... ඕකෙ නට් එකක් තිබ්බේ නෑ නේ...!" 

"නට් එකක් තිබ්බේ නැත්තං මෙච්චර කල් මම දිවුවේ කොහොමද?" 

(අහවල් අයියට ඒක ඇහෙන්නේ නෑ වගේ) 

"මම දන්නවා වෙච්ච වැඩේ. ෂුවර් එකටම පේන්ට් එක කරපු එවුන් නට් එක  නැතිකරන්න ඇති..." 

"දෙයි හාමුදුරුවනේ නට් එක නොතිබ්බ නං මෙච්චර දවස් මට නොදැනුණේ කොහොමද?" 

(අහවල් අයියට ඒකත් ඇහෙන්නේ නැහැ වගේ) 

"මම කිව්වේ මහත්තයට... දැන් ඉන්න ටින්කරින් බාස් ලා මහා වැඩකට නැති එවුවෝ..." 

අර මහත්තුරු මූ නැහැයි කියලා දිරන්න දාලා තියන වාහන ටික කොච්චර පින්වන්තද කියලා හිත හිතා මම ආපහු ආවා. ආපහු ඇවිත් ලේත් එකට ගිහින් නට් එකක් ලියවලා ටින්කරින් කරපු ගරාජ් එකට දීලා ඒක හයිකර ගත්තා. 

දවස් තුනක් යද්දී ආපහු ඇතුළේ ලයිට් එක වැඩකරන්නේ නැතුව ගියා. ඊට පස්සේ හෝන් එක නැතුව ගියා. ඊට පස්සේ එක ලයිට් එකක් පත්තු වෙන්නේ නැතුව ගියා. ඊටත් පස්සේ ආයේ වාහනේ චාජ් වෙන්නේ නැතුව ගියා. 

අන්තිමට ගෙවල් ළඟම ඉන්න, විවේක වෙලාවට ඉලෙක්ට්‍රිකල් වැඩ කරන කොල්ලෙක් මට අහම්බෙන් හම්බවුණා. වයස අවුරුදු 25 ක් විතර ඇති. ඌ දවස් දෙකෙන් ඔක්කොම ටික හදලා දුන්නා. අද වෙනකල් බල්බ් එකක් පිච්චෙනවා ඇරෙන්න වෙන කිසිම ගැටලුවක් වෙලා නැහැ. 

අදටත් අර අහවල් අයියා ගේ ප්ලේස් එක ඉස්සරහින් ඩ්‍රයිව් කරන් යනකොට මට පේනවා එතනට ක්ලැසික් කාර් ඇවිත් තියනවා. සමහර ඒවා සති ගණන්, මාස ගණන් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි ඔහේ තියනවා. ඒ වෙලාවට මට කාර් එක නතර කරලා අහවල් අයියා ළඟට ගිහිං එයාගේ දෙමව්පියන් වත් ආදරෙන් සිහිපත් කරලා මෙහෙම අහන්න හිතෙනවා. 

"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" 


www.facebook.com/CarPissuwa


පසු සටහන: එක ෆොටෝ එකක ඇර අනික් ඒවායේ තියෙන්නේ මගේ කාර් එක නෙමෙයි.අර කළුයි කහයි කාර් එක මගේ.