මම බූරුවෙක්. හැබැයි මම නිකම්ම නිකං බූරුවෙක් නෙමෙයි. හරි සොෆිස්ටිකේටඩ් බූරුවෙක්.
හැබැයි සාම්ප්‍රදායික බූරුවෙක් කියලා නම් හිතන්න එපා. සැරින් සැරේට මට හෙන ක්‍රියේටිව් අයිඩියාස් එනවා.
ඒ වගේම මට නිකං ඉන්නත් බෑ. අනුන්ගේ දේවල් වලට හොම්බ දාන්න මම හෙන ආසයි. ඒ නිසා මම අනිත් එවුන් කාර් ගන්න බලන්න යද්දී එල්ලිලා යනවා. ඊට පස්සේ කාර් එක බලලා එන්ජිම අමුතු සද්දෙයි, යට ටින්කරින් තියනවා වගේ කතා කියනවා. එතකොට අරුන් වාහනේ ගන්නේ නැහැ නේ. මට හෙනම හැපී...
මේ ඊයේ පෙරේදත් එකෙකුට වැඩේ දුන්නා. ටින්කරින් පොදක් නැති කාර් එකක් ගන්න ගිය එකෙකුට කිව්වා ඔය කාර් එක සම්පූර්ණයෙන්ම ගලවලා මිසක් ගොඩගන්න බැහැ කියලා. ඒ ඩීල් එක එතනින්ම සෙත්ත පෝච්චි.
එහෙම වුණාම මට දැනෙන ආතල් එක තේරෙන්නේ තව බූරුවෙකුටම විතරයි...
මම කතාව මුල ඉඳන් පටන්ගන්නම්. මම කැමති නෑ ඔය එකෙකුට වත් හරියනවට. මොකද මට එකපාරක් අම්බානක වැරදුණා.
මා ගාව තිබුණා කාලෙකට කලින් ගත්තු ෆොක්ස්වැගන් කාර් එකක්. මම බූරුවෙක් හින්දා මම ඒක ටික කාලයක් පැදලා අතට ගානක් ආපු ගමන් ලීස් එකක් දාලා ඉන්දියන් වාහනයක් ගත්තා. ෆොක්ස්වැගන් එක ගරාජ් එකේ දාලා තිබිලා දිරන්න ගත්තා.
සීනි ඇටයක් කෑම මෙසේ උඩ වැටුණාම කූඹින්ට මැසේජ් එක යනවා වගේ ගරාජ් එක ඇතුළේ පරණ වාහනයක් දිරනවා කිව්වම හතර අතින් එක එකා ඇවිත් අහනවා, බූරුවා අංකල්, මේක විකුණනවද? කියලා. මට ඒ හැටි වයසකුත් නැහැ. ඒත් පුත්තලමේ ඉන්න මගේ නෑදෑයෝ හත් දෙනෙකුගේ වයස එවුන් මට අංකල් කියනවා. මගේ හොම්බේ ඉඳන් වල්ගෙට යනකල් මල් යායක් පනිනවා.
'මේක මම ඉස්සල්ලම ගත්තු වාහනේ. දිරලා ගියත් දෙන්නේ නෑ..." මම එහෙම කියලා, පස්සා ගාත් දෙක උස්සලා ගහන්න වගේ පෙන්නලා අරුන්ව එළව ගන්නවා.
උන්ගෙන් එකෙක් හොරෙන් පොටෝ එකක් ගහලා ගිහින් ඕක කාර් පිස්සුවෙත් දාලා. ඒ මදිවට 'බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ' කියලා කැප්ෂන් එකකුත් දාලා.
යකෝ මම බල්ලෙක් නෙමෙයි, බූරුවෙක් නේ... ඉතිං අර පැනලා තිබුණු මල් තට්ටුවට උඩින් ඩබල් ඩෙකර් එක වගේ තවත් මල් තට්ටුවක් පැන්නා.
හැබැයි ඉතින් මෙහෙම මේ මල්යායේ මා හා එක්වීලා කියකියා හිටියට ගෙදර හාල් පොල් අඩුවෙනකොට මතක් වෙනවා, අර මගුල දීලා දැම්ම නම් ඉවරයි නේද කියලා. එහෙම මොනවද හිඟපාඩු තිබිලා බූරු මායියාගෙන් බැනුම් අහපු එක දවසක මම ගියා ළඟ තියන ගරාජ් එකකට. ගිහින් කිව්වා මගේ ගාව පොස්සගන් එකක් තියනවා, දෙකහමාරකට දෙනවා කියලා. ගරාජ් එකේ එවුණුත් ආරංචිය දෙන්නං කිව්වා. මම ආරංචිය කියද්දී එතන තුන් දෙනෙක් හිටියා. දැන් උන් උන් තුන්දෙනාගේ ඔලුවේ වැඩකරන්නේ කාටහරි කියනවා නම් කොච්චර වැඩිකරලා කියලා ගානක් කඩාගන්නවද කියන එක. ඒ නිසා 'එවන්නකො, මම සලකන්නම්' කියලා මම උන්ගේ චින්තනේ චූන් කරලා ආපහු ආවා.
මම බූරුවෙක් උණාට බූරුවෙක්ම නෙමෙයි ඉතිං... ඒකයි මම කල්තියාම කිව්වේ. මම නවීන බූරුවෙක්...
ඔය අතරේ කොල්ලෙක් ගරාජ් එකට ආපු වෙලාවක ගරාජ් එකේ එවුන් මගේ බූරු යානය ගැන කියලා. අරූ ෆොක්ස්වැගන් එකක් තියන එකෙක්. ඔය ෆොක්ස්වැගන් උඩ දාගෙන පාවිච්චි කරන එවුන්ට එකක් තිබ්බට මදි. රටේම තියන ඒවා අරන් ගිහින් ගෙදර දාගන්නයි හදන්නේ. ඒ වුණාට තියන එක නඩත්තු කරන්නෙත් උපතින් ලද දේවල් උගස් කරලා. මම නෙමෙයි, උන් තමයි බූරුවෝ. මේ මම වගේ ඉන්දියන් වාහනයක් ගත්තා නම් කිසි අවුලක් නැහැ නේ. මෙලෝ රහක් නැති එක ඇත්ත. ඒත් මෙලෝ රහේ නැගලා මාතර කතරගම හම්බන්තොට නුවරඑළිය යන්න පුළුවන් යැ...
(ඕකුන් ඔය පළාත්වල යනවලු ෆොක්ස්වැගන් වල. අර සජිත් සමරවීර කියලා එකෙක් මීමුරේ ගියා කියලත් තිබ්බේ. මට අහුවුණොත් පොරව මීමුරේ නෙමේ, යවනවා බළල් මුරේ...!)
ඉතිං අර කොල්ලා බූරුවා වගේ ආවා මාව හම්බවෙන්න. හැබැයි එතකොට මම දැනගෙන හිටියේ නැහැ මූ ආවේ ගරාජ් එකෙන් ආරංචිය දීලා කියලා. මූත් හැසිරුණේ වෙන කොහෙන්ද ආරංචිය ආවා වගේ. මූ වාහනේ ළඟට ගිහින් මූණ පුළුටු කරගෙන ඉන්ස්පෙක්ෂන් පාර දානවා. උගේ අදහස් ප්‍රකාශ කරන්න කලින් මම මගේ බූරු කතා ටික කියලා දැම්මා.
"මේක සුපර් රනින්. මගේ පළවෙනි කාර් එක. එක්කෙනෙක් ලක්ෂ නමයකට ඉල්ලුවා. මම දෙන්නේ නැහැ කිව්වා. මම නුවරත් ගියා මේ ළඟදී. ඔය ටයර් ටිකෙන් කිලෝමීටර් 500 ක් දුවලා නෑ. නුවර ගමනටමයි දැම්මේ. බෆර් දෙකත් අලුතින්ම ගෙනත් දැම්මා. විසිදාහක් විතර වුණා. මේ ලයිට් එහෙම සේරම අලුත්."
අරූ නක්කලේට වගේ මගේ දිහා බලලා මෙහෙම කියාපි.
"මේක මොන රනින් ද? මේ එන්ජිමේ මලකඩ තියන විදිහට ෂුවර් එකටම මේක රාජසිංහ රජ්ජුරුවන්ගේ සෙකන්ඩ් බිසවගේ තාත්තාගෙ පළවෙනි කාර් එක. සීට් හයිකරලා නැහැ, නිකං තියෙන්නේ. ඔයා කොහොමද නුවර යන්නේ? ටයර් ටිකේ කම්බි පේනවා හරියට විදුලිබල මණ්ඩලේ අබලි ද්‍රව්‍ය ගබඩාව වගේ. බෆර් දෙකේ වැහුවම මැස්සන්ට පිටගැස්ම හැදෙනවා. අනේ යන්ඩ බූරුවෝ යන්ඩ..."
මේ සේරම සහතික ඇත්ත. හැබැයි ඌට සෙකන්ඩ් වෙන්න මම? ඒවා කොහෙද! මට බූරු ගෞරවේ කියලා එකක් තියනවා.
"ගත්තේ නැතුවට කමක් නැහැ, වාහන කන්ඩෙම් කරන්න එපා..." මම බූරු නාද පැවැත්වුවා.
"මේක අමුතුවෙන් කන්ඩෙම් කරන්න දෙයක් නැහැ. ලෝකේ කන්ඩෙම් මියුසියම් එකක් හැදුවොත් ඒකෙ කට්ටිය මුලින්ම එන්නේ ඔයාගේ ගෙදරට. හරි ඒක නෙමෙයි. මේකට කීයක්ද කියන්නේ?" අරූ ඇහුවා.
"මම ඔයාට මේක විකුනන්න කැමති නැහැ. ඒ වුණාට කමක් නැහැ, හොයාගෙනම ආපු එක නේ. මට තුනහමාරක් තිබුණා නම් හොඳටම ඇති..." මම කිවුවා.
අරූගේ ඇස් දෙකේ පත කුණුහරපයක් ලියවුණා.
"එහෙනම් ඔයා ගරාජ් එකට කියලා තිබුණේ දෙකයි හැත්තෑ පහයි කියලා? ඒ කියන්නේ ඔයා අඩුගානේ දෙකහමාරක් වගේ නේ උන්ට කියන්න ඇත්තේ? අනික ඉතින් මේක දෙකයි හැත්තෑ පහකට ගන්න නම් මම ඔයාට වඩා බූරුවෙක් වෙන්න ඕනා..." මූ කියාපි. මගේ වලිගෙ දිගට තුන්වෙනි මල් තට්ටුවත් පිපුණා. ඒත් මොනවා කරන්නද? මම කට වහන් හිටියා. අරූ යන්න ගියා.
අරූ ගම කාලද කොහෙද ඊට පස්සේ සීරියස් පිට වාහනේ බලන්න එකෙක් වත් ආවේ නැහැ. එක එක එවුන් සැරින් සැරේ තාප්පෙන් ඔලුව දාලා අහනවා, බූරුවා අංකල්, විකුණනවද? කියලා. ඔය ඔක්කොම එවුන් අර නිදාගෙන ඉන්න එවුන්ව ඇහැරවලා 'ආ, නිදාගෙනද හිටියේ? එහෙනම් කමක් නෑ, නිදාගන්න' කියලා යන ජාතියේ එවුන්. අනික ඔහොම තාප්පෙන් ඔළුව උඩට දාන එවුන් දැක්කම දැන් මට අරූ ඉස්සරහ චාටර් වුණු එක මතක් වෙනවා. එතකොට මම මගේ හොම්බ සහ තදාසන්න ප්‍රදේශය ටිකක් පුම්බලා 'ඕක දිරලා ගියත් දෙන්නේ නෑ' කියනවා. උන් හොරෙන් පොටෝ ගහන් ගිහින් ෆේස්බුක් දානවා. මගේ මොකෝ? බූරුවන්ට මොන ෆේස්බුක්ද?
ඒ වගේද 'දිරල ගියත් දෙන්නේ නෑ' කියලා බූරු නාද කරනකොට තියන ආතල් එක?
ඔය මල නිසාම මම දැන් යාලුවෙකුට වත් හොඳ තත්ත්වයේ තියන කාර් එකක් ගන්න දෙන්නේ නැහැ.
මේ ඊයේ පෙරේදා එකෙක් ඇවිල්ල කිවුවා, යාලුවෙක්ගේ කාර් එකක් තියනවා, බලන්න යමුද කියලා. බූරුවා අයියා පරණ කාර් ගැන දන්නවනේ ඉතින් කියලා ඌ අපේ දේ කියලා විකුණන තෙල් බේරෙන ජරහන්ත ලෝකල් බටර් වගේ බටර් පාරකුත් ගෑවා. මට හෙන හැපී.
දෙන්නං බැටේ උඹට...!
පහුවෙනිදා ඇවිත් මූ මට කතා කළා යන්න. මමත් ඉතිං අර නපුරු රාස්සිගේ හික් හික් හී හිනාව හිතින් දාලා වාහනේට නැග්ගා.
අපි බලන්න ගිය කාර් එක නිතර දුවන කාර් එකක්. ඉතිං දූවිලි එහෙම හොඳට බැඳිලා තිබ්බා. එතකොට මගේ බූරු හිතට තේරුණා යාළුවාව බයකරන්න පුළුවන් කියලා. මම ඉතිං ඌට පේන්න යට රිංගුවා, එන්ජිම ඇද්දා, බොඩියට තට්ටු කරකර කාර් එක වටේ ගියා, බොනට් එක අස්සට නැග්ගා, ඇතුළට ඔලුව දැම්මා, අදින්න පුළුවන් ස්විච් ටික ඇද්දා, කාපට් ඇදලා පොළොව බැලුවා. ඊට පස්සේ 'වැඩේ හරියන්නේ නෑ' වගේ මූණක් හදාගෙන හිටියා.
ආපහු එන්න වාහනේට නැග්ග ගමන් අරූ මගේ ඔඩොක්කුවට ඇවිත් ඇහුවා. බූරුවා අයියේ, බූරුවා අයියේ, වාහනේ කොහොමෙයි? කියලා.
මම නිකං දොස්තර හොඳ හිත වගේ එහෙටත් නැති මෙහෙටත් නැති මූණක් දාලා ඌ දිහා බැලුවා.
"ටින්කරින් තියනවා මල්ලි, බොඩියත් තැන්තැන්වල බොහ් බොහ් ගෑවා. පේන්නැද්ද, ෆ්ලෝ බෝඩ් එක හතරැස්, ස්ටියරින් වීල් එක රවුම්, ඒ මදිවට ලයිටුත් රවුම්. ගන්ඩෙපා මල්ලි, මුල ඉඳන් හදන්න වෙයි." මම ඌට කිවුවා.
අරූ අඬන්න වගේ. මයේ මොකෝ...!
ඌ ගිය ගමන් කෝල් කරලා කිවුවලු වාහනේ ටින්කරින් තියනවා, ගන්න බෑ කියලා. ඒ වාහනේ ටින්කරින් පොදක් තිබ්බේ නෑ.
ඒ වුණාට මගේ වාහනේ දෙන්න මට බැරිනං, අනික් එවුන්ගේ වාහන දෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක යකාගේ නීතියක් නේ. ලෝ දහම හැම බූරුවාටම සමාන වෙන්න ඕනේ...
දැන් උඹලා කියයි මම බූරුවෙක් නෙමේ, කුහකයෙක් කියලා. අර විකල්ප සාහිත්‍ය කාරයෝ කියනවා වගේ ඒක උඹලගේ රීඩින් එක, මේක මගේ රීඩින් එක...
අනික් අතට ඔය මිකැනික් ලා කියලා වාහන බලන්න එක්කන් එන එවුන් කරන්නෙත් ඕකම නේ. ඔය එන එවුන්ගෙන් බහුතරයකයට වාහනේ හොඳ නරක බලන්න තියා කන්නාඩියෙන් මූණ බලලා රැවුල කපන්න වත් බෑ. ඒ වුණාට ඔය යක්කු වාහන ළඟට ආවම හැසිරෙන හැටි කොහොමද? එන්ජිම අස්සට අත දාලා ඕක පොඩ්ඩක් රේස් කොරෝන එකයි, මම කළා වගේම බොඩියට ඇන ඇන වටේ යන එකයි, යටට ඩිංගක් ඔලුව දාලා ඔය අස්සක තියන මලකඩ පතුරක් ඇදලා අරන් 'ටින්කරින් තියනවා නේද' කියලා හෙන සීරියස් විදිහට අහන එකයි ඇරෙන්න වෙන මොනවාද ඔය යක්කු කරන්නේ? ඇහුවොත් කියයි වැඩ පුරුදු වෙන කාලේ ඔය වර්ගයේ වාහනයක් මුල ඉඳන් ගලෝලා හැදුවා කියලා. බලන වාහනෙන් වාහනේට ඒ කියන විදිහට වෙන්න නම් මේ යක්කු යුරෝපයේ කාර් කර්මාන්තේ පටන් ගත්තු කාලේ ඉපදිලා තියෙන්න ඕනා.
ඒත් තාමත් බූරුවෝ මෙයාලට අහුවෙනවා...
දැන් අනික් බූරුවෝ ගැන කතා කළා ඇති. ආපහු මං බූරුවා ගැන කතාකරමු.
මගේ දිරච්චි කාර් එක ගරාජ් එක ඇතුළේ දාගෙන ඉන්නවට වඩා සාධාරණ ගානකට විකුණලා කීයක් හරි ගන්න එක හොඳයි කියලා දන්නවා වුණාට මට එහෙම කරන්න හිතෙන්නේ නෑ. යාළුවෝ බලන්න යන වාහන හොඳ වුණාට සහ ඒවා විකිණෙන තරමට මගේ කාර් එකටත් මාකට් එකක් හැදෙනවා වුණාට මට ඒවට උදවු කරන්න හිතෙන්නේ නෑ. කාට හරි හරියනවා නම් හොඳයි කියලා ඔය එක එකා කිවුවට එකෙකුට හරිගියා කියලා අනික් එකාට ලැබෙන වාසියක් මට පේන්නේ නෑ. පොඩි ලීස් එකක් ගෙවලා අලුත් වාහනයක් ගන්න පුළුවන් කම තියෙද්දී සමහර බූරුවෝ පරණ වාහන පස්සේ දුවන්නේ ඇයි කියන එක මට කවදාවත් තේරෙන එකෙකුත් නෑ...
ඒ නිසා මං බූරුවෙක් තමයි. එහෙම වුණා කියලා මේ සමාජේ මාව ප්‍රතික්ෂේප කරාවිද?
හපොයි නෑ...!
හෙටත් මොකෙක් හරි බූරුවෙක් ඇවිත් අහයි මගේ කාර් එක දෙනවද කියලා. නැත්තං කාර් එකක් බලන්න යමුද කියලා.
මම හෙටත් කරන්නේ මෙතෙක් කරපු ටිකම තමා.
ඇයි අවුල්ද?
සැ.යු.: සිදුවීම් බොහොමයක් මූලික වශයෙන් ඇත්ත වුණත් බූරුවා මනඃකල්පිතයි. බූරුවා නම පාවිච්චි කිරීම නිසා කිසියම් බූරුවෙකුට අපහාසයක් සිදුවුණා නම් මගේ බලවත් කනගාටුව.
www.facebook.com/CarPissuwa