Saturday, July 23, 2016

දෙකේ ආතල්


ගෙදර කාර් දෙකක් තියාගන්නේ මොන මගුලටද කියලා දවසක් එකෙක් මගෙන් ඇහුවා. මම ඌට දුන්නේ මම හැමෝටම දෙන උත්තරේමයි.

"ගමනක් යන්න ලෑස්ති වෙලා,  අද ෆොක්ස්වැගන් එකේ යමුද, නැත්තං මොරිස් එකේ යමුද කියලා වයිෆ්ගෙන් අහන එකේ ආතල් එක උඹ දන්නවද?"

පොරගේ කට ඉමැජිනරි ලයිට් කණුවක හැපිලා නැවතුණා. ඌට මේක තේරුම් ගන්නත් බෑ. හැබැයි මේවා සාමාන්‍ය ක්ලැසික් කාර් මිසක් පළාතේ නම අංක තහඩුවේ තියන පශ්චාත් නූතනවාදී දෙම්හුම් පපඩම් හෝ ඒ කොනේ ඉඳන් මේ කොනට යන්න බස් එකේ යන්න ඕන සයිස් හෙන රෙයා ක්ලැසික් කාර් නොවන නිසා මේකට සෝබනේ කියලා කියන්නත් බෑ.

දෙකේ ආතල් දන්නේ දෙකක් තියන එවුන් විතරයි...

සීයක් හමාරක් ක්ලැසික් කාර් අක්කර සීයක හමාරක වතු යායවල් වල දාගෙන අපිට නොදී දිරන්න ඇරලා තියාගෙන ඉන්න පෙර භවයේ පින් කළ අංකල්වරු ඕනෑතරම් ඉන්නවා. එයාලගේ වාසනාවට අපි ඊස්සියා කොරාන්න නාකයි.

අපිට පුළුවන් දෙකයි...

අපේ දෙක අපට හොඳයි...

මගේ දෙකේ ආතල් එකේ පීක් එක

මම ලාන්සර් බොක්ස් එක පාවිච්චි කරන කාලේ ඒකට ඔය අද තියන ක්ලැසික් ස්ටේටස් තිබ්බේ නැහැ මම හිතන්නේ. ඒක ඉතිං සැලකුණේ අර සීකේ වන්, සීකේ ටූ, සී එස් වන් අනන් මනන් ගන්න බැරි එවුන් පාවිච්චි කරපු එකක් විදිහට. හැබැයි මම මගේ ජීවිතේ බොක්කෙන්ම ආදරේ කරපු භෞතික දේවල් කියන්න කියලා කවුරුහරි කිව්වොත්, ඒ ටොප් ටෙන් ලිස්ට් එකේ උඩ හරියේ තැනක 13 ශ්‍රී 7133 ඉන්නවා.

කොහොම වුණත් ඒ දවස්වල පංචිකාවත්ත කියන භයානක දූපත ගැන පෝර නොදාපු සීනි කෙහෙල් ගෙඩියක තරම්වත් දැනුමක් මට තිබ්බේ නැහැ. ඒ නිසා 3 ශ්‍රී 5661 බීට්ල් එක ගත්තට පස්සේ පාට්ස් හොයන්න දහ අතේ දඟලන්න වුණොත් ලාංසරේ නිකන් දිරාවී කියලා මට බය හිතුණා. ඒ නිසා මට ලාංසරේ දෙන්න වුණා.

දෙකේ ආතල් එක මිස් උණා...

ඊට පස්සේ 3 ශ්‍රී 5661 එක්ක ඔට්ටු වෙලා වෙට්ටු වෙලා මට්ටු වෙලා කඹ දාලා අලි මන්තර කියලා යන්තං පොරව හීලෑ කරගත්තට පස්සේ පංචිකාවත්ත කියන දූපතේ තියන එක එක ප්‍රාන්ත ආණ්ඩු ගැන මට අවබෝධයක් ආවා. එතකොට තමයි මට දෙකේ ආතල් එකක් ගැන ලාවට වගේ අදහසක් ආවේ.

ඉතිං මම කෝටිනා හෙවුවා. එස්කෝට් හෙවුවා. කොරෝනා හෙවුවා. ස්කෝඩා හෙවුවා. ලාඩා හෙවුවා, ෆියට් හෙවුවා. උපාලි ෆියට් හෙවුවා. අත්තනායක වැගන් හෙවුවා. ඕපල් හෙවුවා. හිල්මන් හෙවුවා. මිනි හෙවුවා. පද්මිණි හෙවුවා.

අන්තිමට ඔය ඔක්කොම සඳමිනී ලා හොයලා තවත් බීට්ල් එකක් ගෙදර ගෙනාවා.


3 ශ්‍රී 5661 සහ 9 ශ්‍රී 5333

එදා ඉඳන් මම සැලකිය යුතු කාලයක් 'හෝ දහය විස්ස' කරලා දෙකෙන් එකක් තෝරගෙන තමයි වැඩට හරි වෙන ගමනක් හරි ගියේ. හැබැයි ඒත් මට දෙකේ ආතල් එක හරියට දැනුණේ නැහැ.

මට ඕන වුණේ එකකට එකක් වෙනස් දෙකක්. දෙකේ ආතල් එක විඳින්න නම් එකකට එකක් වෙනස් දෙකක් තියෙන්න ඕනා...

මෙන්න මේ කාලේ තමයි මගේ හිතේ මොරිස් මයිනර් ගැන පෙම් කැකුළක් මෝදු වුණේ. සමහර රටවල්වල මයිනර් පිස්සෝ බීට්ල් එකත් එක්ක මාර තරහයි. උන් අහන්නේ බීට්ල් එකට වඩා ඇස්පෙක්ට්ස් ගොඩකින් යහපත් කාර් එකක් වන මොරිස් මයිනර් එක මිලියන දෙකක් විතර විකිණෙද්දී කොහොමද බීට්ල් එක මිලියන 22 ක් විතර විකුණුනේ කියන එක. ඉතින් මම මේ ගැන උනන්දු වෙන්න ගත්තා. කොහොමත් පුංචි කාලේ ඉඳන් මගේ ජීවිතේ මොකක්දෝ වේදනාවක් කැටිවෙච්ච මතකයක් අස්සේ හිරවෙච්ච මොරිස් මයිනරයක් තිබුණා. ඒ මයිනරේ කතාව තමයි 'දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ' ලිපියේ තියෙන්නේ.


නෙට් එකෙන් උස්සපුවා නෙමෙයි. මගේ මයිනර් එකේ බැජ් එක.
මයිනරේ ගැන මගේ හිතේ ශෘංගාර ආසාවක් මතුවෙන්න තවත් එක හේතුවක් තමයි ඉස්සර බස් එකේ යන්න ඉන්නකොට නිතර දැකපු මයිනර් එකක් ආපහු මතක් වීම. ඒක පානදුර පැත්තේ ඉඳලා මොරටුව පැත්තට යනවා මම නිතර දැක්කා. මම හිතන්නේ 9 හෝ 10 ශ්‍රී. වයසක අංකල් කෙනෙක් තමයි එළවන් ගියේ. හැමදාම ඕක ටිකක් ළඟට බලාගන්න ආසාවෙන් හිටියත් අංකල් යන්නේ නිකං මාළුවා දැක්ක පිළිහුඩුවා වගේ. මොරිස් කියන්න මොයන්නට කට හදනකොට අංකල් මිසිං. ඉතිං මම කරපු වැඩේ දවසක් අංකල් යන වෙලාවටම ආපු තංගල්ල බස් එකක නැග්ගා. ප්‍රතිපත්තියක් හැටියට මට දුර බස්වලට වෛර කරනවා. උන් හිතාගෙන ඉන්නේ පාරේ යන වාහන වලට ඉඩ ලැබෙන්න ඕනේ වාහනේ දිග පළල, ඩ්‍රයිවර්ගේ නැහැදිච්චි කම සහ යන දුර අනුව කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් මම තංගල්ලේ යන්නේ නැහැ. ඒත් මේ මිස්ටරිය සොල්ව් කරගන්න ඕන නිසා මම තංගල්ලේ නැගලා කොන්දගේ කරච්චලේ දකුණු කනෙන් අහලා වම් කණෙන් මූද පැත්තට දාලා වීදුරුවෙන් ඉස්සරහ බලාගෙන හිටියා.

ඩ්‍රයිවර් නිකං රාමාට ගේම දීලා රා කලයක් ගහපු රාවණා කඩුව වනවනා හනුමා පස්සේ එළවන් යනවා වගේ ගියර් පොල්ල වනවනා පාර පුරා යනවා. අංකල් දුර ඈත ලේන් ඩිසිප්ලීන් සහිතව, සංයමයෙන් යුතුව, පාරේ කෙළින් යනවා.

එගොඩඋයන හන්දිය පහුකරද්දී අංකල් පේන තෙක් මානෙක නැතිවෙන්න යන්න ගිහිං. අන්තිමට මම බූරුවා වගේ තංගල්ලක එල්ලුණා විතරයි.

දැන් කල්පනා කරද්දී තමයි මට හිතෙන්නේ ඒක 1000 එකක් නෙමෙයි 1100 එකක් වෙන්නැති කියලා. හැබැයි මලපැන්න ෂොයිබ් අක්තාර් වගේ විදගෙන යන තවුසන්ඩ් ඒවා මම දැකලා තියනවා. ඒ නිසා හරියටම කියන්න බැහැ.

පස්සේ කාලෙක මොරිස් මයිනර් එක ගැන සීරියස් වුණාට පස්සේ 9 ශ්‍රී 10 ශ්‍රී හොයා හොයා ලුහුඬු දැන්වීම්වල ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වුණු මං අන්තිමට හොරණින් EN 3457 ගෙනාවා.

අන්න ඊට පස්සේ තමයි මට දෙකේ ආතල් එකේ රහ දැනුණේ.

මයිනරේ ඉස්සරලාම ගෙදරට ආපු දවසට පහුවෙනිදා

EN එකේ ප්‍රොජෙක්ට් එක ගැන මම එහෙන් මෙහෙන් ටිකක් ලියලා තියනවා. නමුත් ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලියන්න ඕනේ. දැන් දැන් කට්ටිය මයිනර් ගැන ගොඩක් උනන්දුයි. ඒ නිසා මං කාපු කටු මොනවාද සහ ගත්තු ආතල් මොනවාද කියන එක මම උන්ට කියන්නම ඕනේ.

ඉස්සරලම ඕක ගෙදරට ගෙනාපු දවසේ මම අඩුගානේ ඕක ස්ටාට් කරන්නේ යතුරෙන් විතරක් නෙවෙයි යතුර කරකෝලා නොබ් එකක් ඇදලා කියලවත් දැනගෙන හිටියේ නෑ. ඉතිං ෆ්ලැට් බෙඩ් එකේ ආපු කොල්ලෝ දෙන්නා මට කාර් එක වත්ත ඇතුළට තල්ලු කරලා දුන්නා. මහා රෑ වුණත් මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න වටින් පිටින් දන්නා කියන එවුන් හොම්බ දානකොට සිඟිති ආතල් එකක් හිතට නොනැග්ගාම නෙවෙයි. ඒත් පඩත්තර ආඩම්බරේ නිහතමානී හිනාවක හංගගෙන මම මගේ වෙන්ඩ ආතල් එක ටිකෙන් ටික වත්තට රිංගන හැටි නෙත් සිත් පුරා විඳගත්තා.

ඒ මොහොතේ දැනුණු සතුට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. වයසට යනකල් ජීවත් වුණොත්, කවදාහරි කෙනෙක් මගේ ජීවිත කතාව ඇහුවොත් මම මේ විනාඩි පහළවක විතර අත්දැකීම මෝනෝසෝඩියම් ග්ලුටමේට් දාලා පිරිසිදු පොත් තෙල් වලින් තෙම්පරාදු කරලා සලාද කොළ වලින් සරසලා ගම්මිරිස් කුඩු ටිකකුත් උඩින් ඉහලා කියාවි.

මගේ දෙකේ ආතල් එකේ සැබෑ ඇරඹුම

එන්ජින් සම්බන්ධයෙන් ගත්තොත් ෆොක්ස්වැගන් වලට වඩා ලේසියෙන් මොරිස් ගොඩදාන්න පුළුවන්. පාට්ස් සම්බන්ධයෙන් ගත්තොත් මොරිස් වලට වඩා ෆොක්ස්වැගන් වලට බඩු හොයාගන්න ලේසියි (මේක මගේ අත්දැකීම සහ මම දන්නා අයගේ අත්දැකීම. ඔයාට එන්ජින් හදන්න පුළුවන් නම්, පාට්ස් සප්ලයි එකක් තියනවා නම්, මේ කතාව දැක්කම 'එහෙම කියන්නේ කොහොමද?' කියලා සල් මලක්/වද මලක්/තල මලක් පනිනවා නම් ෂෝයි. ඒක අපටත් කියන්න. අපිත් එන්නම් වාහන හදාගන්න). ෆොක්ස්වැගන් එකේ එන්ජිමේ විසිල් සද්දේ ඇහුණාම මට මතක් වෙන්නේ ජෝතිපාලගේ සින්දුවක් (ගැඹුරක්, විනෝදයක් එක්ක පොඩි ඩෝප් බවක් මුසුවෙච්චි සිරියමේසාරා හඬක්). මොරිස් එකේ එන්ජිමේ හඬ ඇහුණාම මට මිල්ටන් පෙරේරා මතක් වෙනවා ('දෙව්දුව පලාගියාදෝ' කියලා හිත නොස්ටැල්ජික් කරන, හැබැයි ඊළඟ තප්පරේදී 'මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ' කියල අපිව ප්ලාස්ටික් පුටු මේස සහ කඩල ඇට දෙක තුන ඉතුරු වෙච්චි බයිට් දීසි පෙරළෙන්න නටවන්න වුණත් පුළුවන් හඬක්). දවසේ මූඩ් එක අනුව මේ දෙකෙන් මොකක්ද අහඅහා යන්නේ කියන එක මම තීරණය කරනවා.

ආනන්ද ලොක්කගේ ගරාජ් එකේදී

ෆොක්ස්වැගන් එක මාළු කඩයක් ගාව නැවැත්තුවත් පොරවල් මාළු විකුණන එක නවත්තලා ළඟට ඇවිත් විස්තර අහනවා. මොරිස් එකට එච්චර ප්‍රතිචාර එන්නේ නැහැ. හැබැයි මොරිස් එක ගැන කතාකරන්න ළඟට එන්නේ ගොඩක් වෙලාවට ජීවිතේ හැතැම්ම ගාණක් ගෙවාගෙන, දුක සතුට සම සේ දරාගෙන, කතා කන්දක් ළයේ හොවාගෙන, සැඳෑ සමයට පියනගාපු ආදරණීය, පැසුණු කෙසැති මිනිස්සු. බීට්ල් එක ගැන අහන අයගෙන් සියයට පනහකට විතර තියන ප්‍රශ්නේ බීට්ල් එකක්/සුපර් බීට්ල් එකක් කීයක් වෙයිද කියන එක විතරයි. මේ දේවල් අහන්න දකින්න විඳින්න වැඩි දුරක යන්න ඕනේ නැහැ. මම කෑම එකක් ගන්න දවල් දොළහමාරට කිලෝමීටරයක් විතර පැද්දත් ආපහු ගෙදර එන්නේ කෑම දෙකක් හෝ තුනක් එක්ක කතා තුනක් හෝ හතරක් අරගෙන...

ඒ විතරක් නෙමෙයි... දැන් මට ගමනක් යන්න තීරණය කළාට පස්සේ අහන්න පුළුවන්, අද ෆොක්ස්වැගන් එකේ යමුද, නැත්තං මොරිස් එකේ යමුද කියලා...

අන්න ඒකට තමයි දෙකේ ආතල් කියන්නේ...

අපිට පුළුවන් දෙකයි...

අපේ දෙක අපට හොඳයි...


www.facebook.com/CarPissuwa



Tuesday, July 19, 2016

කෝටිනා, කොරෝනා සහ කෝක් තමා ඕනා



මට මතක හැටියට පහුගිය උඳුවප් මහේ... නැතිනම් ඊට කලින් පොසොන් මහේ... මට හරියටම මතක නැහැ... අනික් අතට මාසේ මොකක්ද කියන එකෙන් කාටවත් ඇති වැඩකුත් නැහැ... 

මොකක් හරි නමක් තියන මාසෙක ගාලු මුවදොර පිට්ටනියේ කරදිය හුළඟ වැදෙන මානෙක මගේ බීට්ල් එකේ විසිල් එක අහමින් සහ තවත් බීට්ල් ගොඩක ලස්සන දෑහින් රහ බලමින් යන අතරවාරෙක තමයි මගේ ආතල් කුඩුකරමින් පාරේ වම් පැත්තෙන් ෆෝඩ් මස්ටෑං එකක් මතුවුණේ.... මම ඒක හීනයක් නෙමෙයි කියලා මගේ හදවතත් එක්කම ඩබල් චෙක් කරගන්නත් කලින් කෞශි මගේ දිහාවට හැරුණා. 

"මොකක්ද ඒ?????" 

මසල් කාර් වලට සහ ඇමරිකානු භූමි නෞකා හෙවත් Land yachts වර්ගයේ දැවැන්ත ගෑස් ගස්ලර්ස් වලට කවදත් කොන්දේසි විරහිත ආදරයක් දක්වන කෞශි ඒ තරම් ඉක්මනට ඒකට රියැක්ට් කිරීම පුදුමයක් නෙමෙයි. මම හැතැම්ම තිස් දෙකයි දශම තුනක් විතර සුසුමක් පිටකරලා උත්තර දුන්නා. 

"මස්ටෑං එකක්..."

මම දන්නා තරමින් මස්ටෑං එක රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් ආවේ නැහැ. ඒ වෙනුවට තමයි යුරෝපා රටවලට කැප්රි ආවේ. ඒ වගේම ඉතිං ලේෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කාර් එකක් දැක්කම අර 'ඔබ මට හිමි නැති බැව්, හිත නෑ අදහන්නේ' මූමන්ට් එක තුන්සිත වසාගෙන පැතිරෙනවා. මේක මාත් ඇතුළුව අපේ රටේ කාර් පිස්සන් බොහෝ දෙනෙකුට තියන මනෝ කචල් එකක්. ෆොක්ස්වැගන් රැළියක වුණත් LHD බීට්ල් එකක්, කාමන් ගියා එකක් හෝ සිරොක්කෝ එකක් දැක්කම අපි හැසිරෙන්නේ නිකං සනී ලියෝන්ව දැක්කා වගේ... 

මේ මස්ටෑං එක දකිද්දී අපි හිටියේ බීට්ල් රැළියක, තවත් කාර් ගොඩක් මැද්දේ. කෞශියි මායි එක මොහොතක් දෑහින් දෑහැ බලා උන්නා. ඒ මොහොතේදී අපි ටෙලිපති මෝඩ් එකෙන් කොමියුනිකේට් කළේ 'රැළිය පැත්තක දාලා ඒක පස්සෙන් යමුද' කියලා කටින් අහන එක නිකං අපේ බීට්ල් ධර්මයේ ශුද්ධ වූ පනතක් බිඳිනවා වගේ වැඩක් කියලා හිතුණු නිසයි. 

"ඔන්න ඕක දැක්කේ නෑ වගේ අපි යමු යන්න..." අන්තිමට මම එහෙම කිව්වේ බීට්ල් එකක් එළවගෙන මස්ටෑං එකක් පස්සෙන් යන එක මොන වඳුරු විකාරයක්ද කියලා මටම හිතුණු නිසා. මම හිතන්නේ මස්ටෑං එක කොම්පඤ්ඤවීදිය පැත්තට හරවන්න ඇති. ඒත් ඒක අපේ හිත ඇතුළේ තාමත් පුටුපුටු ගගා අයිඩ්ල් වෙලා තියනවා. 



මේ ඒක නෙවෙයි. මේක දැක්කේ මෝටර් ෂෝ එකකදී.

මස්ටෑං එක පොඩ්ඩකට අමතක කරලා අපි දැන් පියවි ලෝකෙට එමු. අපේ ගෙදර සාමාන්‍යයෙන් ඉස්සර ඉරිදට ලංකාදීපේ ආවම වෙන වැඩක් තමයි මම ටකස් ගාලා ලහිපිට උස්සලා, ෆොක්ස්වැගන් කෑල්ල බලලා ඊට පස්සේ කෙළින්ම ෆෝඩ් කෑල්ලට මාරු වෙන එක. මම කවදාවත් ෆෝඩ් බ්‍රෑන්ඩ් එකත් එක්ක බැඳීමක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒ වුණාට කෝටිනා එකක් ගන්න ඕනේ කියලා හැඟීමක් හිතේ කාලෙක ඉඳන් පහළවෙලා තිබුණා. මේ අපේ රටේ කෝටිනා පිස්සුව මෙච්චර තදට පැතිරෙන්න කලින් මම හිතන්නේ. ඉස්සර ඉරිදා දවල් වෙනකොට මගේ කන්කරච්චලේ ඇහෙන්නේ නැත්නම් කෞශි සිරිතක් හැටියට මගෙන් අහනවා 'අද කෝටිනා නැද්ද?' කියලා.

අන්තිමට මම හැමදාම ලහිපිට බලලා, තවත් එක ෆොක්ස්වැගන් එකක් උස්සගෙන ගෙදර ගෙනාවා. මගේ යාලුවෝ මටත් නොදැනීම කෝටිනා ගත්තා. අද මට ගියර් දෙකක් මාරු කරන දුරින් පැණියාගේ ගෙදර කෝටිනා එකක් තියනවා. කාලෙන් කාලෙට 'ඕක බලන්න එන්නද?' කියලා උගෙන් අහන්න මට හිතෙනවා. ඊට පස්සේ ආයෙත් කෝටිනා හොයහොයා දඩාවතේ ගිහින් තවත් ලක්ෂ ගාණකට බයිබායි සුන්දරා කියන්න චන්දු පයිත්තියන් වැඩක් සෙට් වෙන බව දන්න නිසා මම තනියෙන් දුක තද කරන් හිත හදා ගන්නවා. 

මේ තනියෙන් තදකරගැනිල්ල හැමදාම කොරන්න බැරි නිසා මම කෝටිනා පිස්සුව නතර කරගන්න හේතුවක් හෙව්වා. රට වටේ ගිහින් ගෙට එනවා වගේ ඒකට මට ලැබුණේ ලංකාවේ මිනිස්සුන්ට කාර් එපා කරවන්නම නිර්මාණය වෙලා තියන කෝකටත් තෛලංච හේතුවම තමා. මේකට අදාළ සංවාදය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්.

මගේ යාළු මාළුවා - "පාට්ස් නෑ බං..." 

මං මාළුවා - "ෆෝඩ් වලට?" 

යාළු මාළුවා - "ඔවු බං.." 

මං මාළුවා -"ජයවර්ධන එකෙත්?" 

යාළු මාළුවා - "නෑ බං..." 

මං මාළුවා - "හුටා දිල්වාලේ!"

මම කෝටිනා එක මගඅරින්න තව එක හේතුවක් වුණේ අපේ ගෙදර පාකින් ඉඩකඩ සීමිත වීම. යන්තම් ෆොක්ස්වැගන් එකයි මොරිස් මයිනර් එකයි දාගන්න පුළුවන්. සමහර විට තාප්පේ රැස්සොත් මිනියකුත් දාගන්න පුළුවන් වෙයි. හැබැයි කෝටිනා එකක් දැම්මොත් වෙන කාර් එකක් දාන්න මට රිවස් කරන්න වෙනවා. 

ලැජ්ජාවට ඉංග්‍රීසියෙන් කියනවා නම් I suck at reversing... 

ඉතින් බලහත්කාරෙන් හේතු හොයලා සෙන්සිබල් විදිහට ෆියට් 127 වගේ එකකට මාරු වෙනවා වෙනුවට ඒ පාර මගේ හිත කොරෝනා මාක් 2 එකේ ඇලුණා. සතියකට සැරයක් ඉන්ටනෙට් එකේ කොරෝනා එකක් හරි, කොරෝනා පාට්ස් හරි දාන, ජපන් අකුරුවලින් නම් දාගෙන ඉන්න සෙට් එකක් ෆේස්බුක් එකේ ඉන්නවා (මේ කියන්නේ උඹලා ගැන නම් කමෙන්ට් එකක් දාලා පලයල්ලා, ලෝබ නොවී). ඉඳලා හිටලා උන්ගෙන් එකෙක් හරි, නැත්නම් උන් වගේම, ඒත් සිංහල අකුරු ලියන්න පුළුවන් එකෙක් හරි මාතර ආච්චි හදන කැවිලි වගේ පැණි බේරෙන්න හදපු කොරෝනා එකක් බුකියේ දානවා. එතකොට අර මම තදකරන් හිටපු හිත බලාගාර පැත්තට වැස්සා වගේ දොරටු සියල්ලෙන්ම වාන් දානවා. 

බාගෙට ඇඳපු කොරෝනා අක්කියෙක්

ඔය අතරේ දවසක් හිතේ සියලු ආසාවල් සහ දුකවල් එහාමෙහා වෙලා සියල්ල නිසසල වූ එක සන්සුන්, දුර්ලභ මොහොතක, අපි මෙච්චර මස්ටෑං, කෝටිනා, කැප්රි සහ කොරෝනා වලට ආසා ඇයි කියලා මම ඇත්තටම හිතුවා. 

මේ සියලුම කාර් වල තියෙන්නේ එකම ඩිසයින් ලැංග්වේජ් එක. එකම ස්ටයිලින් ට්‍රෙන්ඩ් එක. ඒකට කියන්නේ කෝක් බෝතල් ස්ටයිල් එක හෙවත් 'Coke Bottle Styling' කියලා. මේක 1950 ගණන්වල ආපු, කොකා කෝලා බෝතලයේ ස්ටයිල් එකට සමාන ඩිසයින් එකක්. ඉතාමත් සරලව කිව්වොත් මේවා මැදින් සිහින්, දෙකෙළවරින් ඊට වඩා මහත විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. කොකා කෝලා කියන්නේ ධනවාදයේ ගෝලීය ජයග්‍රහණය ඉතා හොඳට නිරූපණය කරන සංකේතයක් කියන එක අපේ මාක්ස්වාදී සහෝදරවරු නිතර කියන දෙයක්. කර්නල් ජෝන් පෙම්බර්ටන් ගේ මෝෆීන් ඇබ්බැහියට ප්‍රතිකාරයක් විදිහට, ඖෂධීය පානයක් කියලා බොරු කියලා 1886 දී මාකට් එකට දාපු දෙයක් මල්ටි මිලියන් ඩොලර් බිස්නස් එකක් වෙලා අන්තිමට ඒකෙ බෝතලේ ස්ටයිල් එක ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රියටත් නාමිකව හරි ඇතුළු වුණු හැටි බලනකොට, සමහර විට ඒක ඇත්ත වෙන්න පුළුවන්. 


කෝක් බෝතලේ විකාශනය

මේ විදිහට කෝක් බෝතල් ස්ටයිල් එකට ඩිසයින් වෙච්ච කාර් මොනවාද කියලා බැලුවොත් අපට පේනවා මස්ටෑං එකට අමතරව ශෙව්රලේ කමාරෝ, ෂෙවෙල්, කෝවෙයාර්, ඩොජ් චාජර්, චැලෙන්ජර් වගේ කාර් ලෝකේ චොප්පේ අයියලා ටික මෙතන ඉන්න බව. අන්න එතකොට තමයි කොස් ගෙඩියක් ඔළුවට වැටුණා වගේ යථාර්ථය ඔළු කට්ට කුඩු කරගෙන පතබෑවෙන්නේ. 

ලංකාවේ මස්ල් කාර් අඩුයි. තියන ටික තියෙන්නේ ලොකූඌඌඌඌඌඌඌඌඌඌඌ සාක්කු තියන අය ගාව. මස්ටෑං නැති ගෙදර කනයා පණ්ඩිතයා විදිහට ආපු කැප්රි එකේ පොළොවට පාත්වෙච්ච දිරච්ච ලඩියකට පවා අද පොරවල් බඩ පපුව දාලා යන ගණන් ඉල්ලනවා. ප්‍රියංකා චොප්රා නැතිවුණාම අපි කරන්නේ ප්‍රියංකා සිල්වාගේ පස්සෙන් යන එක. අපිට මස්ල් කාර් නැතුව මස්ල් කාර් ෆීලින් එක ගන්න අද ඉතුරුවෙලා තියෙන්නේ කෝටිනා මාක් 3 එකයි, කොරෝනා මාක් 2 එකයි විතරයි (නිකං ඒවා නෙමෙයි, GT කියලා ඔයාලා කියාවි. මම ඒක දන්නවා බ්‍රදර්).


කෝටිනා පිස්සන්ට දෙමවුපියොත් අමතක කරවන බැජ් එකක්

දැන් මෙහෙම කිව්වයි කියලා මාත් එක්ක තරහ වෙන්න එපා. මමත් ප්‍රියංකා සිල්වා පස්සෙන් යන එකෙක්. දයානන්ද අයියගේ ගරාජ් එකට එකපාරක් Vinyl roof එකක් තිබුණු කෝටිනා 2000 E එකක් ආවා. මම කෝල් එකක් දීලා කෞශිට කිව්වා පුළුවන් නම් කලින් එන්න කියලා. ඊට පස්සේ ආනන්ද අයියගේ ගරාජ් එකට කොරෝනා එකක් ආවා. ඒකෙ ෆොටෝස් වැඩ දාලා එඩිට් කරන්න ගිහින් මම රාජකාරිත් අතපසු කරන්නැති. ඊටත් පස්සේ ලේත් එකට තව නිකං කෝටිනා එකක් ආවා. ඒකෙ විස්තර අහන්න මම ලේත් එකේ මනුස්සයාගේ කාලේ කෑවා. අර කාබාසිනියා ඉලෙක්ට්‍රීෂියන් ගාවට සුදු කෝටිනා එකක් ඇවිත් තිබුණා. මම බීට්ල් එක ස්ලෝ කරලා, අයිතිකාරයට අතවනලා, රැඟුමක් රඟලා ගියේ. හෙට ඔය දෙකෙන් එකක් මට දරන්න පුළුවන් ගානට, යන්න පුළුවන් තැනක, ගන්න පුළුවන් දවසක සෙට් වුණොත්, මගේ ගිණුමට අබ සරණයි! 

නොම්මරේ මැකීම ගැන සමාවෙන්න.

අනිත් අය එක්ක කතාකරන වෙලාවට අපි සාන්තුවරු වගේ හැසිරුණාට, පාරට බැස්සම තමයි අපේ ප්‍රයිමෝඩියල් යක්කු පොලු මුගුරු අරගෙන අඟුරු ගාගෙන 'අම්මට...' කියාගෙන එළියට බහින්නේ. ඉතින් යක්කු එළියට එන වෙලාවට මරුටියක හරි ඇල්ටෝ එකක හරි හිටියොත් යකා ගහන්න කලින් අපි මැරෙන්නේ ලැජ්ජාවට. 

ඒ නිසා මස්ටෑං එක හරි ඩොජ් චාජරේ හරි මතක් වෙනවනම් හැත්තෑ ගණන්වල අඩුවට ආපු, පාට්ස් අඩු, කොළඹ ට්‍රැෆික් අස්සේ හසුරුවන්න අමාරු, මහ ලොකු කැරැට්ටුවක් නොතිබිච්ච කාර් එකක් හරි කමක් නෑ. අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ ලද පමණින් සතුටු වෙයල්ලා කියලා. 

දඩ වීල් සෙට් එකක් දාලා, ගියර් නොබ් එකේ ප්ලාස්ටික් මිනී ඔලුවක් ගහලා, ඩුප්ලිකේට් රෙකාරෝ සීට් ඔබලා, ඩුප්ලිකේට් මොමෝ ස්ටියරින් වීල් එකක් ඇනලා, බොනට් එකේ රේසිං ඉරි ගහලා, හත්පොලයගෙ හොඬේ වගේ සයිලන්සරයක් පූට්ටු කරපු කෝටිනා එකකින් ඔලුව එළියට දාලා, 'කවුද ... ඩ්‍රයිවින් ඉගැන්නුවේ?' කියලා අහනකොට එන ගැම්ම කටුකුරුන්දේ ලේසර් පැදලා ගන්න බෑ මහත්තයෝ... 


www.facebook.com/CarPissuwa


පසු සටහන්: 

1. මස්ටෑං එක පස්සෙන් ගිය සීන් එක මතක් වුණේ ඩූඩ් අයියත් එක්ක දාපු කතාවකට පස්සේ. ඒ නිසා උන්දැටත් තෑන්ක් යූ පාරක් යා යුතුයි. 

2. කෝක් බෝතලේ විකාශනය හැරෙන්න අනික් ඔක්කොම ෆොටෝ මම ගත්තුවා. 

3. කොරෝනා හෝ කෝටිනා පාවිච්චි කරන අයට කිසිදු අවමානයක් කිරීමේ අදහසක් මේ ලිපියේ නැහැ. ඒ නිසා ලිපිය උඩින් පල්ලෙන් කියවලා විකාර කතා නම් කියන්න එපා.

Monday, July 11, 2016

මීයො කාපු සිවික් සහ ඩබල් ට්‍රාන්සර් ලාන්සර්



වීල් එකේ ආපහු එනගමන් මම කල්පනා කළේ මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...

වීල් එක එලෝන එකා තොරතෝංචියක් නැතුව කියවනවා. කාර් ගැන කියනවා, ත්‍රීවීල් ගැන කියනවා, ටෙලිෆෝන් ගැන කියනවා, නාගස් හන්දිය ගැන කියනවා, ආණ්ඩුව ගැන කියනවා, ලෝකේ නරක කියනවා. උගේ හොඳ කියනවා.

මම ගොනා සේ අහං ඉන්නවා. ඊට පස්සේ බස්සා සේ හූම් හූම් ගානවා.

කළුතර පැත්තේ හොන්ඩා සිවික් එකක් විකුණන්න තියනවා කියලා පත්තරේ දාලා තිබුණා ඊට කලින් ඉරිදා. මතක හැටියට අසූ තුනේ හෝ හතරේ කාර් එකක්. ඒ කාලේ යන්තන් ලක්ෂ දෙකක දෙකහමාරක විතර කාර් එකක් ගන්න තරම් තාත්තාගේ අතේ සල්ලි එකතුවෙලා තිබුණා. මම එතකොට ඉගෙනගන්න ගමන් පොත් කන්තෝරුවක වැඩකරපු පාට් ටයිම් ඇසිස්ටන්ට් කෙනෙක්. මගේ අතේ ඒ දවස්වල මොණරෙක් වහන්නේ මාසෙකට එකපාරයි. ඒත් උපරිම මොණරු දෙන්නයි. උන් දෙන්නත් සති දෙකක් යද්දී අතට කොටලා පියාඹලා යනවා. 

මට සිවික් ගන්න ඕනකමක් තිබුණේ නෑ. මට ඕන වුණේ ෆොක්ස්වැගන් එකක් ගන්න. ඒක අද මම ෆොක්ස්වැගන් එක්ක තියෙන බැඳීම වගේ එකක් නෙමෙයි. ඒ කාලේ ඒක කොහෙන්දෝ මම නොදන්නා උල්පතකින් මතුවෙච්ච ආසාවක්. මම පොඩිකාලේ හිටපු ගෙදරක ෆොක්ස්වැගන් එකක් තිබිලා තියෙනවා. ඒක හරි ලස්සන, හොඳ කන්ඩිෂන් එකේ තිබුණ එකක් කියලා තාත්තයි අම්මයි කිව්වා. මගේ ආසාව එන්න ඇත්තේ එතනින් වෙන්න ඇති.

ඒ වුණාට මනුස්සයෙක් මොකක් හරි කරන්න හදනකොට උපදෙස් දෙන එවුන් වටෙන් පිටෙන් ගස් ගල් අස්සෙන් මතුවෙනවා හරියට වැව් පොජ්ජෙන් ගැටමන්දා මතුවෙනවා වගේ. එහෙම එවුන් දෙතුන් දෙනෙක් තාත්තට කිව්වා ෆොක්ස්වැගන් ගන්න එපා පාට්ස් නෑ, යට වදිනවා, වටිනාකමක් නෑ, ගතියක් නෑ වගේ දේවල්. ඉතිං මම ලංකාදීපෙන් ෆොක්ස්වැගන් පෙන්නනකොට තාත්තා ෂට් ඩවුන් වෙනවා. කොහොම හරි එක පාරක් එයාව ෆොක්ස්වැගන් වගයක් බලන්න එක්කගෙන යන්න මට පුළුවන් වුණා. ඉස්සර මොරටුවේ බස් ස්ටෑන්ඩ් එකට කිට්ටුව ගොඩ පැත්තේ ෆොක්ස්වැගන්ම විකුණන තැනක් තිබ්බා. අපි ඔතනට යද්දී එතන ෆොක්ස්වැගන් තුනක් තිබුණා. එකක් දිරලා. එකක් ස්ටාට් වෙන්නේ නැහැ. අනික නම් ස්ටාට් කරලා පෙන්නන්නම් කිව්වා. මට හෙන හැපී. ඔන්න මමයි තාත්තයි එන්ජිම පැත්තට ගියා ස්ටාර්ට් වෙනවා බලන්න. සේල් පොලේ බුවා ඔලුව ඇතුළට රිංගවලා පස්ස එළියේ තියාගෙන මාර ගහක් කපලා පොළොවට අදිනවා වගේ ගියර් එක ඇදලා නියුට්‍රල් කරලා වාහනේ ස්ටාට් කළා.

ව්රෑං ගාගෙන එන්ජිම ස්ටාට් වුණා...

පොළොව පුරා තෙල් ගංගාවක් විසිරී පැතිරී මගේ සිහින කන්ද ගිල්වාගෙන අනන්තය තෙක් විහිදී ගියා...

මගේ ඇස්දෙකට කඳුළු ආවා... ෆොක්ස්වැගන් හීනේ ෆොක්ස්වැගන් සෙන්ටර් එකේම හලලා මට තාත්තත් එක්ක හිස් අතින් ගෙදර එන්න වුණා.

සිවික් එක සෙට් වුණේ ඊට සති ගාණකට පස්සේ. මම එතකොට desperate වෙලා හිටියේ. අපිට ඇමරිකාවේ කොල්ලන්ට කෙල්ලන්ට වගේ කාර් එක කියන්නේ නිදහස කරා ඉගිලෙන්න ලැබෙන ටිකට් එකක් නොවෙන බව ඇත්ත. නමුත් අපිට කාර් එකක් කියන්නේ, කොයි ජාතියේ එකක් වුණත්, status symbol එකක්. ටික කාලෙකට ඉස්සර මට ජීප් එකක් ගන්න වුවමනාවක් ඇවිත් තිබ්බා. එතකොට මම ගිය එක්තරා පන්තියක හිටපු ගෑනු ළමයෙක් ගැන මගේ හිතේ වසන්ත මල් යායක් ඇහැරිලා තිබුණේ (මේ කතාව මම වෙන දවසක මී පැණි ගාලා ලියනවා!). ඉතිං පන්ති යන්න ජීප් එකක් ගන්න ලොකු වුවමනාවක් මට තිබ්බට ඩූඩ් අයියගේ බාසාවෙන් කියනවා නම් එතකොට සල්ලි ගහ පීදිලා තිබ්බේ නෑ.

ගහ යන්තං සන්තං පීදිච්ච ගමන් ඉතින් කාර් එකක් ගන්නකල් මට නින්ද ගියේ නෑ. සිවික් එක ප්‍රාදූර්භූත වෙනකොට මගේ නින්ද නොයාම මට මළ හිසරදයක් වෙලා තිබුණා. මගේ හිසරදේ තාත්තාටත් හිසරදයක් වෙලා තිබුණ නිසා සහ තාත්තාගේ ඔළුව කාපු ගැටමන්දෝ ටික ජපන් වාහනයක් ගන්න කියලා කියලා තිබුණු නිසා තාත්තා මට ඔන්න ඔහේ ගිහින් බලන්න කිව්වා.

ඉතිං මම දැන්වීමේ තිබුණු අංකෙට කෝල් කළා.

සුපිරි තත්ත්වේ තියනවා කිව්වා. ඉතිං කෝඩුකාර මං පැනලා බලන්න එන්නං කිව්වා.

මට මතක හැටියට යන්න තිබුණේ නාගස් හන්දියෙන් බැහැලා ඇතුළට. යන්න ඕන තැන කියලා කඩේකින් ඇහුවම කඩේ මනුස්සයා හිනා වුණා වගේ මට මතකයි. අන්තිමට ත්‍රීවීල් එකක යනවා ඇරෙන්න වෙන සරණක් මට තිබුණේ නැහැ. ඉතිං මම ත්‍රීවීල් එකක් ගත්තා. මගක් දුර යද්දී ත්‍රීවීල් බුවා මගෙන් ඇහුවා යාලුවෙක් හම්බෙන්නද යන්නේ කියලා. මම කිව්වා සිවික් එකක් විකුණන්න දාලා තිබ්බා කියලා.

ත්‍රීවීල් බුවා සීට් එකේ අංශක එකසිය අසූවක් කැරකිලා මගේ පැත්ත බැලුවා. ත්‍රීවීල් එක රිලයන්ට් රොබින් එකක් වගේ ඇලවුණා.

යන්න ඕන තැනට ගිහිං බැහැලා බලපුවාම ඒ ගෙදර පූසෙක් වත් නෑ. කෝල් කළාම ෆෝන් ඕෆ්. මට දෙලෝ රත්වුණා.

"මම දන්නවා මෙතන. කාර් එක තියෙන්නේ පිටිපස්සේ. අපි යමු. ගිහින් බලමු." ත්‍රීවීල් බුවා කිව්වා. මමත් හා කිව්වා.

ගරුතර සංඝරත්නයෙන් අවසරයි! කාර් පිස්සනි, කාර් පිස්සුව නැති වුවත් මට සප් එක දෙන්න මේක කියවන නෝනාවරුනි මහත්වරුනි, ආදරණීය දරුවනි. කාර් එකක් මීයෝ කාලා තිබෙනවා ඔබ දැක තිබේද?

බොනට් එක උඩ තිබුණා හරියට උල්කාපාතයක් වැදිලා වගේ ආවාට මාක් එකක්. පේන්ට් එක හැමතැනම මීයෝ කාලා වගේ පතුරු ගිහින්. ඉන්ටීරියර් වැරහැලි වෙලා. ටයර් එකක හුළං ගිහින්. සයිලන්සරේ දිරලා. සයිඩ් කන්නාඩියක් මිසිං. තව ඕන්නං තව කියඤ්ඤං... මේකට තමා ඌ සුපිරි තත්ත්වේ කිව්වේ. මේකට තමා ඌ මගෙන් ලක්ෂ දෙකහමාරක් ඉල්ලුවේ.

බුකි බාසාවෙන් කියනවා නං ..ටහිකෙයි තමා...

ආපහු නාගස් හන්දියට එනකල්ම වීල් බුවා මට උපදෙස් දිදී ආවා, කාර් ගන්න කලින් මොනවගේ විධිවිධානද අනුගමනය කරන්න ඕනේ කියලා. වීල් එකෙන් බැහැපු ගමන් මම ගෙදරට කෝල් එකක් දුන්නා. ලංකාදීපේ තිබිලා මම නෝට් කරන් හිටපු වෙන කාර් එකක නොම්මරයක් අම්මගෙන් ඉල්ල ගත්තා.

බස් එකක නැග්ගා. බම්බලපිටියෙන් බැස්සා. කාර් එක බලන්න ගියා. ක්‍රීම් පාට ලාන්සර් බොක්ස් එකක්.

වාහනේ ගරාජ් එකක්වත් නැතුව එළියේ දාලා තිබුණේ. මම ගණන් ගත්තේ නෑ.

පේන්ට් එක ලෝකල්. මම ඒක දැනන් හිටියේ නැහැ.

ඩබල් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න තියෙන්නේ කිව්වා. මට ඒක තේරුණේ නෑ.

ඒසී තියනවා කිව්වා. මම ඒක චෙක් කළේ නෑ.

දෙකහමාරට දෙන්නං කිව්වා. මම හෙට්ටු කළේ නෑ.

අන්තිමට දවස් දෙකකට පස්සේ ඩ්‍රයිවින් පුළුවන් අයියා කෙනෙකුත් ඇදගෙන මම කාර් එක ගන්න ගියා. අයියා කාර් එක පැදලා බලලා ඒසී නෑ කියලා යන්තං මට පන්දාහක් අඩුකරලා දුන්නා. කාර් එක ගේනකල් මගදිගටම ඌ මට බැන්නා, කාර් ගන්නකොට වචනේ දෙන්න කලින් දන්න එකෙක් එක්ක පලයන් කියලා. කාර් එක දකුණේ ලේන් එකට ගන්න ගිහින් ඌ බස් එකක බඳේ ගෑව්වා. සයිඩ් කන්නාඩිය කඩලා ගියා.

බස් එක අපි ගැන නොහිතා යන්න ගියා. අපි පාඩුව ගැන හිතහිතා ගෙදර ගියා...

මොරටුවෙන් පස්සේ අලුත් පාරේදී අයියා මට වාහනේ පදින්න දුන්නා. එතකොට මට ලයිසන් නැහැ. ඩ්‍රයිවිනුත් හරියට බැහැ. මම අලුත් පාර දිගේ අවුලක් නැතුව ගෙනල්ලා, ගෙවල් ළඟ පාරෙත් හරියට ගෙනල්ලා, ගෙදරට හැරෙන වංගුවෙනුත් හරියට හරවලා අල්ලපු ගෙදර තාප්පේ ඇනලා වාහනේ නතර කළා...

එදා ඉඳන් අවුරුදු 6 ක් යනකල් මගේ දුකට සැපට කරගැහුවේ ඒ ලාන්සරේ. මම බැඳලා ආවෙත් ඒ ලාන්සරේම තමයි. අදටත් මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් එක්ක මගේ තියන අභූත සම්බන්ධෙට මුල ඒකයි. ඒක තමයි මගේ පළවෙනි කාර් එක. ඒක තමයි මාව වෙනස් ලෝකෙකට අරං ගියේ. අද මං මෙහෙම බ්ලොග් ලියන්නේ 3 ශ්‍රී 5661 හින්දා නෙමෙයි. 13 ශ්‍රී 7133 හින්දා. මං ඒ කෙල්ලට තාම ආදරෙයි...

ෆුට්බෝල් කාලෙට හැදෙන මානසික රෝග (කාර් එක කොලපාට කළාට පස්සේ. මං ඒසී එකත් හැදුවා)

ෆුල් ප්‍රොජෙක්ට් එකේ වෙල්ඩර් බුවා.

කහපාට වේගෙන ඒම

අපේ ඇනිවර්සරි එකක් දවසක

අපේ ගෙදර

දවසක මගේ සල්ලි ගහේ තඩි අස්වැන්නක් පීදුනොත් දෙයියම්පා උඹව හොයලා ආපහු උස්සන් එනවා. ගෙනල්ලා අල්ලපු ගෙදර තාප්පේ ගහලා මතක අවුස්ස ගන්නවා. ඊට පස්සේ ජපානෙන් ආපු දවස වගේ වෙන්න උඹව මුල ඉඳන් අගට සරසනවා.

අන්තිමට මට මීයෝ කාපු සිවික් එකක් නිසා ඩබල් ට්‍රාන්සර් ලාන්සර්  එකක් හම්බවුණා...



පසු සටහන්:

1. මේ පාර එකෙක් හරි කිව්වොත් ඕක ෆොක්ස්වැගන් නෙවෙයි වොක්ස්වැගන් කියලා, ඌට වයන්නක් ගෙනල්ලා කවනවා!

2. මේ පෝස්ට් එකේ තියෙන පින්තූර බොහොමයක් තව පොඩ්ඩෙන් මට නැතිවෙනවා, කැමරාවට රිංගපු වයිරස් එකක් නිසා. ඒ ටික ගොඩදාලා දුන්නේ මගේ මිත්‍ර ජනක ලසන්ත. ඒක මතක් කරන්නම ඕනේ.




Monday, July 4, 2016

ජර්මනියට පෙම් කරලා කහ කිරිල්ලිව කරකාර බැන්ද ප්‍රේමතිලක මහත්තයා


මේක ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන චරිතාපදානයක් වත් උපහාර ලිපියක් වත් නෙමෙයි. කොටින්ම මේක ප්‍රේමතිලක බාසුන්නැහේගේ කතාව නෙමෙයි. මේක ප්‍රේමතිලක බාසුන්නැහේ ගැන මගේ කතාව. 

මම ප්‍රේමතිලක බාසුන්නැහේට එදා ඉඳන්ම කතාකරන්නේ ප්‍රේමතිලක මහත්තයා කියලා. උන්නැහේට මාව එච්චර මීටර් කියලා මම හිතන්නේ නෑ. එයාගේ දැවැන්ත ෆොක්ස්වැගන් විශ්වයට කඩා පාත්වෙන උල්කාපාත කෑලි අතරේ මාත් තවත් එක නොදැවුණු පාෂාණයක් විතරයි. 

හැබැයි මොකක් හරි හේතුවක් නිසා මම සැරින් සැරේ මනුස්සයාගේ ලෝකෙට කඩාපාත් වෙනවා. 

මට ප්‍රේමතිලක මහත්තයව මුලින්ම හම්බවුණේ මංමුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේදී. 3 ශ්‍රී 5661 අරගෙන මම මටත් වඩා මංමුලාවූ සමනල්ලු දෙතුන් දෙනෙක්ගේ අහෝමඤ්ඤං කතාවලට රැවටිලා එන්ජිම පලුකළා. එතකොට මම වාහන ගැන මෙලෝ සීනිබෝලයක් දන්නේ නැහැ. මම හිතුවේ එන්ජිමක් පලුකරලා හැදුවාම අලුත් එන්ජිමක් වගේ හදාගන්න පුළුවන් කියලා. 

අන්තිමට මට තව පොඩ්ඩෙන් තියන කැකිරි කෙඩියත් නැතිවෙනවා! (මෙන්න කාර් පිස්සුව ටොප් ටිප් එකක්- කැඩිලා නැත්තන් හදන්න යන්න එපා. If it ain't broke, don't fix it.) 



එන්ජිම ගලවන්න මම ගියේ මගේ හිතවත් මිකැනික් කෙනෙක් ගාවට. එයා සාමාන්‍යයෙන් ජපන් වාහන හදන කෙනෙක්. එයාගේ ගරාජ් එක තියෙන්නේ මට බොහොම ළඟින් නිසා මම එයාට කිව්වා මේක කෑලි කරලා හදලා දෙන්න කියලා. එතකොට වුණේ මෙහෙම දෙයක්. 

එයා ඉඳන් නෝ නෝ කියනවා... 

මම ඉඳගෙන කම් කම් කියනවා.. 

එයා අමුවෙන් කරවිල කනවා වගේ මූණක් දාලා අන්තිමට මම පවු කියලා වැඩේ භාරගත්තා. ඊට පස්සේ ගැලෙව්වාම මිනිහා හොඳටම බයවුණා. බයවෙලා මට ලිස්ට් එකක් ලියලා දුන්නා මෙන්න මේ බඩු ටික හොයාගෙන එන්න කියලා. එතකොට මම පංචිකාවත්තට පය නොගහපු නොඉඳුල් කොල්ලෙක් (ලාන්සර් බොක්ස් එකක් පැද්දා අවුරුදු 5 කට වැඩිය. එක දවසක් පංචිකාවත්තේ යන්න වෙලා නෑ මට!). ඉතිං මම හොඳටම බයවෙලා, අර එන්ජිමේ කෑලි ටිකත් පෝර උරේක දාගෙන ගෙදරට ගිහින් දාලා, මංමුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන්න පටන් ගත්තා. රත්මලානේදී මට එකෙක් කිව්වා අන්න අහවල් තැන කාර් මාර්ට් එකේ වැඩකරපු අන්කල් කෙනෙක් ඉන්නවා, ගිහින් බලන්න කියලා. 

මම යනකොට මනුස්සයා ඉබ්බෙක් ළඟ දණ ඇනගෙන බරටම වැඩ. අහල පහල කාමන් ගියා එකකුයි, බගියකුයි, ඕවල් ඉබ්බෙකුයි, වැටවල් දෙක තුනකුයි, කනේ මයිල් පිරිච්ච ඉබ්බෝ කීප දෙනෙකුයි හිටියා. මට ඉතිං දෙයියෝ දැක්කා වගේ. 

'එන්ජිමක් තියනවද ගන්න?" මම ඇහුවා. 

"එන්ජින් කොහෙද මෙහෙ?" ප්‍රේමතිලක මහත්තයා ඇහුවා. 

දීපන්කො උත්තර! 

ඊට පස්සේ මම ෆුල් ස්ටොරිය කිව්වා. 

"එන්ජින් නැහැ මෙහෙ. පංචිකාවත්තේ ගිහින් බලන්න. හැබැයි තියන එන්ජිම ගෙනත් දුන්නොත් හදලා දෙන්නම්." ප්‍රේමතිලක මහත්තයා බොහොම ඩෝන්ට් කෙයාර් එකේ කිව්වා (එතුමාගේ ඩෝන්ට් කෙයාර් ටෝන් එක භාෂාවට අහුවෙන්නේ නැහැ. එතුමා ඉස්සරහා භාෂාව ෆේල් වෙලා කතිකාව විසංයෝජනය වෙනවා!).

ඒත් මම 3 ශ්‍රී 5661 එකේ එන්ජිම අරන් එතනට ගියේ නැහැ. ඒ වෙනුවට මම ළඟ අහල පහල 'පොස්සගන් එස්පර්ට්' කියාගත්තු පොරක් හොයාගෙන මිනිහට පෝර උරේ ගිහින් දුන්නා. ඒ ගැන මම සසර වසන තුරු නිවන් දකින තුරු පසුතැවෙනවා. මොකද මිනිහා එන්ජිම හදලා දුවන්න ලැබුණේ එක දවසයි. එන්ජිම නතර වුණා අවුරුද්දක් විතර යනකල්. 

අන්තිමට ටින්කරින් කරපු වලවෙට්ටුවා අවුරුද්දකට විතර පස්සේ බොඩිය හදලා ඉවර කළාම එන්ජිම හදලා දුන්නේ අර මුලින් බයවෙච්චි ජපන් කාර් මිකැනික් හාදයාම තමයි. 'පොස්සගන් එස්පර්ට්' ට බැරිවෙච්ච දේ මේ 'භයෙන් තජ්ජිත වූ මනුෂ්‍යයා' කළා. එතනින් පස්සේ මම සෑහෙන කාලයක් කිසි අවුලක් නැතුව 3 ශ්‍රී 5661 පැද්දා (ඉල්ලං කාපු වතාවල් තිබුණා. හැම පාරම ආපහු අර ජීවිතේ වරද්දාගෙන මහ ගෙදරට එන බාලයා වගේ මම අර ජපන් කාර් මිකැනික් ගාවට ආවා. හැම පාරම ඒ මනුස්සයා වචනයක් වත් නොකියා මට වැඩේ ගොඩදාලා දුන්නා. එයා ගැනත් දවසක මම පෝස්ට් එකක් දානවා!).



මීට කාලෙකට පස්සේ මම 9 ශ්‍රී 5661 ගත්තහම මට ඒක 'ප්‍රවීණයෙකුට' කෙනෙකුට දීලා ටියුන් කරගන්න ආසාවක් ආවා. එතකොට මම ගියා ආයෙත් පාරක් ප්‍රේමතිලක මහත්තයා හොයන්න. 

මම යනකොට මනුස්සයා ඉබ්බෙක් ළඟ දණ ඇනගෙන බරටම වැඩ. අහල පහල කාමන් ගියා එකකුයි, බගියකුයි, ඕවල් ඉබ්බෙකුයි, වැටවල් දෙක තුනකුයි, කනේ මයිල් පිරිච්ච ඉබ්බෝ කීප දෙනෙකුයි හිටියා. මට ඉතිං දෙයියෝ දැක්කා වගේ. (කම්මැලි කමට කොපි-පේස්ට් කළා නෙමෙයි. පසුතලය මේකමයි. 'යාලුවො අද නැත වෙන අය එහි ඇත.' ප්ලේස් එක එකයි. කාර් වෙනස්. චින්තනය එකයි. ආදරය එකයි.).

"මට කාර් එකේ එන්ජිම පොඩ්ඩක් ඔබතුමාට කියලා බලාගන්න ඕනේ. ඉරිදට වැඩද?" මම ඇහුවා. 

"මැරෙනකල් වැඩ තමා ඉතිං..." ප්‍රේමතිලක මහත්තයා කිව්වා. (ආයෙමත් එතුමා ඉස්සරහා භාෂාව ෆේල් වුණා). ඒ ඩෝන්ට් කෙයාර් එක නිහඬව දරාගෙන හැරෙනකොට තමයි මම එතුමාගේ ගෙදර කියලා හිතන්න පුළුවන් තැන ඇතුළේ තිබුණු කහපාට කාර් එක දැක්කේ. දැක්ක ගමන් මට ආසා හිතුණා. ඒ නිසා ආත්ම ගෞරවය ආත්මයෙන් ගලවලා අරන් හීනියට දෙකට තුනට නමලා සාක්කුවේ දාගෙන මෙම ප්‍රේමතිලක මහත්තයාගෙන් මෙහෙම ඇහුවා. 

"අර කාර් එක ඔබතුමාගෙද?" 

පළවෙනි වතාවට එතුමාගේ මූණේ හිනාවක් ඇඳුණා. 

"ඔය ඉන්නේ කහ කිරිල්ලි වගේ..."

මම යන්න ගියේ කහ කිරිල්ලිව හොරෙන් ෆොටෝ අරගෙන.හොඳට බලන කෙනෙකුට පේනවා ජනේලේ ග්‍රිල් ටික පවා තියෙනේ VW හැඩේට කියලා.



හැබැයි මේ පාරත් මම වාහනේ අරගෙන ගියේ නැහැ. දවසේ කරදර කර උඩ ගෙට ඇවිදින් ගෙයි පිල උඩ ඉඳගෙන කකුලෙන් අදින නිසා මට හිතේ ඇඳෙන සිහින රේඛා සැබෑ ලොවේ අඳින්න ලැබෙන්නේ ඉඳල හිටලා.

ඊට පස්සේ ෆාස්ට් ෆෝවඩ් කරමු 2016 අප්‍රේල් 10 වෙනිදට. එදා තමයි ෆොක්ස්වැගන් බීට්ල් හිමිකරුවන්ගේ සංගමයේ 2016 Pride of Ownership drive එක තිබ්බේ. මේකට යන්න මම පෙරුම් පුරාගෙන හිටියේ. මේකට මම නොහිතපු අමුත්තෝ දෙන්නෙක් ඇවිත් හිටියා. 

ප්‍රේමතිලක මහත්තයයි, කහ කිරිල්ලියි! 




රැළිය බේරුවලට ගියාට පස්සේ තමයි මම දැනගත්තේ එදා එතුමාගේ උපන්දිනේ කියලා. සංගමේ කට්ටිය එතුමාට විශේෂ උපහාරයක් තියලා තෑග්ගකුත් දුන්නා. මට මතක හැටියට එතුමා කොළඹ ඇවිත් ෆොක්ස්වැගන් හදන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු 18 දී. එදා ඉඳන් පුරා අවුරුදු 50 ක් එතුමා ඉබ්බෝ ජීවත් කරවනවා. 

එදා මම දෙපාරක් විතර එතුමා ළඟට ගිහින් කතා කළා. උපන්දිනේට සුභ පැතුවා. වැඩි උද්යෝගයක් නැතුව එතුමා ඒවා අසා සිටියා. 

හැබැයි යන්න වෙලාව ආවම එතුමා මගේ ළඟට ඇවිත් 'අපි ගිහින් එන්නම්' කියලා යන්න ගියා.

ඊට පස්සේ මට ආපහු එතුමාව හම්බවුණේ පහුගිය 26 වෙනිදා World Volkswagen Day celebration එක දවසේ. ගෝල්ෆේස් හෝටලේදී මම එතුමා ළඟට ගිහින් වචනයක් දෙකක් කතා කළා. ඊට පස්සේ ගල්කිස්ස හෝටලේ තිබුණු වැඩ ටික අහවර වෙලා මම පල්ලෙහාට බහිද්දී තරප්පු පේළියේ අත්වැට අල්ලාගෙන එතුමා උඩ බලාගෙන ඉන්නවා. 

"ඔබතුමා මොකද මෙතෙන්ට වෙලා කරන්නේ?" මම ඇහුවා. 

"මුණුපුරාලා ටික සේරම උඩ නේ. මම මේ එනකල් බලන් ඉන්නවා.." එතුමා මූණ පුරා පැතිරුණු හිනාවකින් කිව්වා... 



කාර් ලෝකේ ඇතුළේ ඕන තරම් ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන කතාවෙලා ඇති. ඔය ෆොක්ස්වැගන් ලෝකේ සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්ලැසික් කාර් විශ්වයේ සැරිසරන මැමත්ලා, ඩයිනසෝරයෝ සහ වෙනත් ප්‍රාග් ඓතිහාසික දැවැන්තයෝ හැමදෙනාම ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන දන්නවා. හැබැයි එයාලා 'ප්‍රේමතිලක මහත්තයා' ගැන දන්නවද කියන්න මම දන්නේ නැහැ.

මම ප්‍රේමතිලක මහත්තයා ගැන මගේ ඇබිත්තන් කතාව ලියන්න හිතුවේ ඒ නිසයි. මේකේ මහා ජීවන කතාන්දරයක් නැති එක ඇත්ත. නමුත් අද අපි මෙහෙම කාර් පිස්සෝ කියලා ආඩම්බරයෙන් කියන්නේ, බ්ලොග් ලියන්නේ, බුකියේ සරන්නේ, බල්ටි ගහන්නේ, එතුමා වගේ මිනිස්සු දශක ගාණක් තිස්සේ තමන්ගේ සේවාව බුම්මගෙන හරි නිහඬව කරපු හින්දා නේද කියන එක මට එතුමාව දකින හැම වාරයක් ගානෙම මතක් වෙනවා. එතකොට අර හිතේ තියෙන පොරත්වයේ බවුන්ඩ්‍රි බිඳගෙන කඳුළු බින්දුවක් ඉමැජිනරි බීට්ල් එකක නැගලා ඇහැට ඩ්‍රයිව් කරනවා...

ප්‍රේමතිලක මහත්තයයි කහ කිරිල්ලියි... Still a better love story than twilight...!


www.facebook.com/CarPissuwa


පසු සටහන්: 

1. උදවුවක් හැටියට මගෙන් එතුමා ඉන්න තැන අහන්න එපා. මම දන්නා තරමින් එතුමා වැඩි ප්‍රසිද්ධියට කැමති නැහැ. මේක ලිව්වෙත් අවසර අරන් නෙවී. මට තවත් ලෙඩක් නම් දාගන්න බැහැ. ටිකක් කල් ෆොක්ස්වැගන් ලෝකේ හෝල්ඩින් පැටර්න් එකක පාවෙවී ඉන්න. එතකොට ලෑන්ඩ් කරන්න පර්මිෂන් හම්බවෙයි. 

2. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රේමතිලක මහත්තයා ලොකු ඔළුවෙන් ඉන්නවා කියලා. හොඳ මිනිස්සු වැඩිය කට කියවන්න යන්නේ නැහැ. මම මේ බ්ලොග් කට්ටකින් කරනවා වගේ මිලියන ගුණයක සේවයක් ඒ මනුස්සයා රටේ කාර් සංස්කෘතියට කරලා ඇති අඩ සියවසක් තිස්සේ. මම ඒක දන්නවා. ඒ නිසා කවුරුවත් මේකට offend වෙන්න එපා.