Thursday, August 11, 2016

මින්ක්ස් එක රනිං වුණාට මීයා මළේ අනූපහේ




හිල්මන් ගැන ආපහු මතක් වුණේ අපේ ඉන්දික සිරිමාන්න හෙවත් මරිසිපාලයා නිසා...

ඉන්දික කියන්නේ කාර් පිස්සුව බ්ලොග් එක පටන්ගන්න කලින් විතරක් නෙමෙයි, මට කාර් පිස්සුව තදට හැදෙන්නත් කලින් ඉඳන් මට උදවු පදවු කරපු හොඳ යාළුවෙක්. මට මතක හැටියට කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක මුලින්ම ලයික් කරපු හතර පස් දෙනාගෙන් එකෙක් තමා ඌ. දවසක් උදේ ඌ මට කාර් එකක ෆොටෝ එකක් ඉන්බොක්ස් කරලා ඒක මොකක්ද කියලා ඇහුවා. මගේ ඇස් දෙක ගිහිං ස්ක්‍රීන් එකේ ඇලුණා.

"හිල්මන් ඇවෙන්ජර් එකක් *&%##" (අන්තිම වචනේ ලාංකිකයෝ 'අම්මෝ' සහ 'ඌයි' කියන තරමට පාවිච්චි කරන වචනයක්. ඒ වුණාට ඒක මෙතන ලියන්න විදිහක් නැහැ).



හිල්මන් ඇවෙන්ජර් එකටවත් හිල්මන් හන්ටර් එකටවත් ලංකාව ඇතුළේ එහෙමට ලොකු මාකට් එකක් නැති බව රහසක් නෙමෙයි. කවුරුත් 'ටහිකේ හිල්මන් ඇවෙන්ජර් එකක් නේද?' කියලා ක්ලැසික් කාර් සර්ච් පේජ් එක ඇතුළේ හෝ කාර් පිස්සුව පේජ් එක ඇතුළේ කමෙන්ට් එකක් දාන්නේ නැහැ. ඒවා ඇතුළේ පළවෙන හිල්මන් හන්ටර්/ඇවෙන්ජර් පින්තූර යන්තම් ලයික් තිහක් තිස්පහක් ඇවිල්ලා ෆේස්බුක් එකේ සර්වර් ඇතුළේ තියන කළු කුහරයකට ඇදිලා ගිහින් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියන චක්‍රාවාටයකට විසිවෙලා ගිහින් අතුරුදන් වෙනවා.

හැබැයි හිල්මන් මින්ක්ස් එක එහෙමම නෙමෙයි.

මම අනිත් අය මේකට කැමතිද, නැද්ද, මේකට පාට්ස් තියනවද නැද්ද වගේ දේවල් කතා නොකර ඉන්නං. මොකද දවස පුරා කට්ටිය මේවා ගැන කතාවෙනවා මම දකිනවා. මේකට ලැබෙන සරල ප්‍රතිචාර තමයි 'මින්ක්ස් එකට පාට්ස් නෑ සහෝ', 'ඔයින් එකක් තිබුණා අපේ එහා ගෙදර, හැමදාම තල්ලු කරනවා', 'අපේ බාප්පාගේ පුතාට එකක් තියනවා, තෙල් වැඩකරන්නේ හතරයි' වගේ දේවල්. මට ඕවා ඇහෙනකොට කොමෙන්ටුවක් මුවහත් තියාගෙන ගිහින් පෝස්ට් එක පාමුලට පැනලා අඩෝ කියලා වනන්න හිතෙනවා. ඒත් ඊට පස්සේ අනුන්ගේ කජුවල පුහුලන් හයිකරන්න යන්නේ මක්කටෙයි කියලා අමාරුවෙන් වේරලියද්ද වගේ දුක තද කරන් මහමෙර තරම් වෝල් එකේ පහළට රූටනවා.

හිල්මන් මින්ක්ස් එකත් එක්ක මගේ තියන on again off again ලවු එක ෆ්‍රෙන්ඩ්ස් එකේ රොස් ගෙයි රේචල් ගෙයි ලවු එකට හපන්.

හැබැයි තාමත් මින්ක්ස් එක ප්ලේන් එකෙන් බැස්සේ නෑ (මේ කොටස ෆ්‍රෙන්ඩ්ස් ලෝලීන්ට විතරයි තේරෙන්නේ. අනික් අයට තේරෙන බාසාවෙන් කියනවා නම් මට තාම හිල්මන් මින්ක්ස් එකක් ගන්න හේතු වාසනා පොජ්ජක් මන්දෝ වුණේ නෑ).



කාලෙකට කලින් මට ආරංචියක් ආවා ගාලු පාර අසබඩ ගාල්ල මාතර තංගල්ල බස්වල අජිත් මුතුකුමාරණගේ බෙලෙක් කටහඬ ඇහෙන මානේ මින්ක්ස් එකක් ඔහේ නිදිකුම්බා යායක් මැද්දෑවේ අකලට මහලු වෙමින් තියනවා කියලා. ඉතිං මං තකහනියක් ගියා බලන්න.

බැලින්නං ඒක ෆෝඩ් කොන්සල් එකක්.

කාර් එක පුරාම නෑනාගේ කරේ ගෝමර ඉහිලා වගේ පෙතිපෙති රටාවට මලකඩ. ස්ටියරින් වීල් එකේ මකුළුවෝ ආර්ට් එක්සිබිෂන් තියලා. ගියර් නොබ් එක මොකෙක් හරි එකෙක් මොකක් හරි එකකට ගලවන් ගිහිං. ෆ්ලෝබෝඩ් එක ගාවට ඔලුව නමලා හයියෙන් 'ෆ්ලෝබෝඩ්' කිව්වා නං ෆ්ලෝබෝඩ් එක ක්‍රැක් සිරිසිරි ගාලා බිමට වැටෙනවා. වහලෙට සුලැඟිල්ලෙන් ඇන්නා නම් හාඩ් ටොප් කාර් එක කන්වර්ටිබල් වෙනවා. දොරවල් හතර මූ හවසට ගලෝලා රෑ එළිවෙනකල් මූදේ දාලා තියලා උදේට හයිකරනවද කොහෙද. කැළණි ටයර් හතර කැලණියටත් වඩා පරණ පාටයි. ඉස්සරහ ග්‍රිල් එක අස්සෙන් බැලුවම එන්ජින් බේ එක පෙනුණේ විශේෂ ජෛව විවිධත්ව කලාපයක් වගේ. 



ඒ දවස්වල අපේ ටින්කරින් බුවාට වැඩ අඩුයි. ඉතිං ඌ මගේ ඔළුවට දාලා තිබුණේ ඕන මලකඩ ගොඩක් ඊයේ නැවෙන් බෑවා වගේ හදන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මළගෙවල් අරන් විකුණන බිරන්තට්ටුවාගේ ගෙදර මිදුලට ගිහින් බෙල් ගහලා, කෑ ගහලා, ටක ගහලා, අලිවෙඩි ගහලා, හූත් කියලා කොහොම හරි ඌව ගෙයින් එළියට ගත්තා (මම දන්නේ නෑ උඹ මොනවා කරකර හිටියද කියන්න. මොනවා හරි මැදින් නවත්තලා එන්න වුණා නං සමාවෙයන්). මම උගෙන් කොන්සල් එක ගැන ඇහුවා.

ඌ කියපු ගානට මට කොන්සල් එකක් නෙමෙයි කොන්සල් කෙනෙක් සල්ලිවලට ගන්න තිබ්බා.

මම ඉතිං ඌට කොන්සල් එකත් අරං කාමරේට පලයන් කියලා හිතින් කියලා බස් එකක එල්ලිලා ආපහු ආවා.

ඒත් මින්ක්ස් ගැන තිබුණු මෙව්වා එක මගේ හිතෙන් ගියේ නැහැ. එකපාරක් මෝටර් මැගසින් එකක මොකක් හරි ට්‍රැක් ඩේ එකක් ගැන හරි මෝටර් ස්පෝට් ඉවෙන්ට් එකක් ගැන හරි පොඩි ලිපියක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම ක්ලැසික් කාර් ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ. තව ක්ලැසික් කාර් කීපයක් එක්ක ඒකෙ මින්ක්ස් එකක ෆොටෝ එකකුත් දාලා තිබුණා. අනික් කාර් ගැන හොට් කැප්ෂන්ස් දාලා තිබුණට මට මතක හැටියට මින්ක්ස් එකට දාලා තිබුණේ නිකං 'මේන් මේකත් තිබ්බලු' කියලා වහෙන් ඔරෝ කියනවා වගේ කැප්ෂන් එකක්. අනික් ඒවා එක්ක සංසන්දනය කරනකොට ඒක මහලොකු වටිනාකමක් තියන කාර් එකක් නෙමෙයි කියලා කියන්න බැරි කමට ඔහොම දෙලොවක් අතර කැප්ෂන් කට්ටක් දැම්මා කියලා තමයි මට හිතුණේ. හැබැයි ඒකෙන් වුණේ මින්ක්ස් එක ගැන මගේ හිතේ තිබුණු අර 'කෙදිනද කූඩු හදන්නට එන්නේ' ලවු එක ආපහු ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් වෙනවා වගේ කැරකිලා ස්ටාට් වෙච්චි එක විතරයි.


ඔහොම සැලකිය යුතු කාලෙකට පස්සේ මට ළඟ ගමන් බිමන් වලට ත්‍රීවීල් එකක් තියන හාදයෙක් සෙට් වුණා. මිනිහා මම උපන් දා ඉඳන් මේ දක්වා අඳුරන මිනිස්සු අතරින් හොඳම හදවතක් තියන මිනිහෙක්. පොරගේ නම කපිල. මම මෙහෙම 'මින්ක්සියාව' කියලා රෝගෙකින් වරින්වර පෙළෙනවා කියලා දැනගත්තම මිනිහා ටිකක් වටපිට රටතොට කොටකොට මින්ක්ස් හොයන්න පටන් ගත්තා.

දවසක් පොර මට කෝල් එකක් දීලා කිවුවා අපේ ගෙදර ඉඳන් වීල් එකේ වෙට්ටු දෙකක් දාන දුරකින් මින්ක්ස් එකක් විකුණන්න දාලා තියනවා කියලා.

ඉඩක් පෑදුණු ගමන් මම කපිලට එන්න කියලා මින්ක්ස් එක බලන්න ගියා. ඒක ටිකක් පරණ ගෙයක්. ඇන්ටික් බඩු බිස්නස් එක තමයි එයාලා කරන්නේ. වටේ තිබුණු පරණ උළුවහු මිරිස්ගල් පඩික්කම් කරත්ත රෝද සේසත් නිලමේ හැට්ට සබුක්කු පඤ්ඤං ටික දැක්ක ගමන් මට තේරුණා මින්ක්ස් එකට මුන් රාජසිංහ රජ්ජුරුවන්ගේ රොලෙක්ස් ඔරලෝසුව තරං ගාණක් ඉල්ලයි කියලා.


සේල් එකේ අයිතිකාරයා ඒ වෙලාවේ හිටියේ නැහැ. ඒ වෙනුවට හොඳ සීසන් කරුපයියලා දෙන්නෙක් හිටියා. හැබැයි උන් අපට නිදහසේ කාර් එක බලන්න දුන්නා. අර කොන්සල් එක වගේ නළලේ කුරුසයක් ඇඳගෙන බිම බලාගෙන ආපහු හැරෙන්න ඕන මට්ටමට නං කාර් එක දිරලා තිබ්බේ නැහැ. හැබැයි ඒක කතා දෙකක් නැතුව අවුරුද්දක හමාරක ප්‍රොජෙක්ට් එකක් දාන්න සිද්ධ වෙන බව බැලු බැල්මට මට තේරුණා. ඉස්සරලා නිකමට වාහනේ ඇතුළේ ඉඳගෙන බලන්න හිතුවත් සීට් එක අතගාල බැලුවම අර ක්‍රිස්තු වර්ෂ හැත්තෑ නමයේ පොම්පෙයි ගිනි කන්ද පුපුරපු දවසේ ඇවිල්ලා තැම්පත් වුණු අළු දූවිලි කිලෝ එකයි ග්‍රෑම් හත්සිය පනහක් විතර මගේ අතේ ගෑවුණා. ඒ නිසා මම වාහනේට නගින්නේ නැතුව ගිහිං විස්තර අහන්න පටන්ගත්තා.

"ස්ටාට් කරාන්න නං මාතියා එනකල් ඉන්ඩ ඕනා. යතුර අපි ගාව නේ.." (නේ කිවුවේ නෑ කියන එක). එකෙක් කිව්වා.

මගේ මූණ අඳුරු වුණු බව අනික් එකාට තේරුණා. ඌ වහාම රැජිනි කාන්ත් වගේ කතාව මැද්දට පැන්නා.

"ඒ වුණාට සුපර් රනින්. මාතියා ඊයෙත් රවුමක් දුවලා තමා ආවේ..." පොර කිව්වා.

ඒක ඇහුවම මට බොනට් එක ඇරලා බලන්න හිතුණා. කපිලටත් එහෙම හිතෙන්න ඇති. පොර ගිහින් බොනට් එක යට අතගාලා බැලුවා.බොකොස් ගාගෙන බොනට් එක අරුණා. කූර තියලා බොනට් එක හිටෙව්වට පස්සේ අපිට පෙනුණා එයාර් ෆිල්ටර් එක උඩ සහ තවත් ඒ ආසන්නයේ තැනක දෙකක සුදුපාට මොනවද දෙයක් තියන බව. මම අල්ලන්න එපා කියද්දී කපිල එයින් කෑල්ලක් අතට ගත්තා. අරගෙන හිනාවෙලා එක කරුපයියෙක් දිහාට හැරුණා.

"මින්ක්ස් එක රනිං වුණාට මල්ලි මීයා මැරිලා තියෙන්නේ අනූපහේ විතර..."

බැලින්නං ඒ තිබිලා තියෙන්නේ මීයෙකුගේ ඇටසැකිල්ලක කෑලි. ඒවා  තිබුණු හැටියට වාහනේ දුවද්දීත් ඒවා එහෙමම තියෙන්න නම් කවුරුහරි සුපර්ග්ලූ දාලා අලවලා තියෙන්න ඕනා. නැත්නම් මීයගේ හොල්මන වාහනේ එලෝන එකාට මී හොල්මන් බාසාවෙන් බැනබැන ඕක අල්ලගෙන ඉන්න ඕනා. එහෙමත් නැත්තං කරුපයියලාට හොරෙන් එදා වවුලොත් නිදන හිමිදිරියේ කවුරු හරි සුප්පයියෙක් තාප්පෙන් පැනලා ඇවිත් ඒවා බොනට් එක ඇතුළට දාලා යන්න ඕනා...

කපිලයි මායි ආපහු එන ගමන් සංසාරය, අනිත්‍යය සහ කරුපයියලාගේ දෙමව්පියෝ මෙනෙහි කරකර ආවා.

ඔය සිද්ධිය වෙලා දැන් අවුරුද්දක් විතර ඇති...

ඊට පස්සේ මට යන්න පුළුවන් දුරකින් තියන මින්ක්ස් එකක් ගැන ආරංචියක් ආවේ නැහැ. මයිනර් එක ගත්තු නිසා මම ඒ ගැන එච්චර උනන්දු වුණෙත් නෑ. හැබැයි තව ටික දවසකින් සමහර විට ආයෙත් මං මින්ක්ස් හොයන්න යාවි. එදාට මට අර අතුරුදන් වෙච්චි MH370 මැලේසියන් ප්ලේන් එක බොනට් එක යට තිබිලා හම්බවුණොත් මම පුදුම වෙන්නේ නෑ...


www.facebook.com/CarPissuwa



44 comments:

  1. මාතියත් හිටියනම් ඔය මතියට රොම්බ සුප්පර් කතාවක් තමා අහගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඔයා ගැනද මන්දා ලියලා තියෙන්නේ :) ස්තූතියි ඩෙවින්...

      Delete
    2. අඩේ එහෙම ලයින් එකක් පේනවද?

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි මිතිල...

      Delete
  3. Hillman Avenger එකේ ෆොටෝ එක දැක්කම මීටර් වුනේ.. ගල්කිස්සෙ ටෙම්ප්ලර්ස් පාර පැත්තෙ ගෙදරක තියනවා ඔය ජාතියේ කාර් එකක් හැමදාම එක තැන වගේ..

    ReplyDelete
  4. මින්ක්ස් හොයන්නඔච්චර අමාරුද? මගෙ යාලුවෙක්, උගෙ නම් ස්ටැන්ලි, ගාවා තිබ්බා එකක් අරන් හදලා. දැන් තියෙනවද දැක්කෙ නෑ. අවුරුදු කීපයකට කලින් මම දැක්කා එක පේන්ට් බාස් කෙනෙක් ගාවා තිබ්බා කොළපාට ක්‍රීම්පාට එකක් කිරි ටොයියා වගේ හදලා. ඒකෙ ෆෝටෝස් කීපයකුත් අරගෙන තිබ්බා මම හොයලා බැලුවෑකි.

    අපේ ගෙවල් පැත්තෙ තියෙනවා ස්වීප් ගෙදර කියලා ගෙදරක්. ඒකට හේතුව හැට හෝ හැත්තෑව දශකයෙ ලොත‍රැයි මණ්ඩලේ ලොත‍රැයියකට ඒ ගෙදර කෙනාට හිල්මන් හන්ටර් එකක් ඇදිලා තිබීමයි. අලුපාට කාර් එක නවත්තලා තියෙනවා පාරට පේනවා ගරාජ් එකේ. තවම රවුම් හැඩේ හිල්මන් මින්ක්ස් පාරෙ යන කාලෙ මේක නිකං නිසාන් ලීෆ් එකක් වගේ පෙනුනෙ. ඒ ගෙදර කොල්ලෝ දෙන්නම මගෙ යාලුවෝ

    ReplyDelete
    Replies
    1. මින්ක්ස් හොයන්න අමාරු නැහැ ඩූඩ්. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රොජෙක්ට් එකකට අතගහලා ගොඩදාන්න පුළුවන් තත්වෙන් පවතින ඒවා අඩු එකයි. කට්ටිය ඒවා ගොඩක් දුරට විනාස කරලා තියෙන්නේ. පාට්ස් හොයන්න පුළුවන් එකේ සීමාවල් තියනවා. මේ කාර් වල කර්ව්ස් ගොඩක් තියන නිසා ගොඩක් දිරලා තිබ්බොත් ටින්කර් ලා වැඩේ කනවා...

      Delete
  5. නියමයි..! තරිඳු..! ඔය 4 වන ෆොටෝ එකේ තියෙන " ෆෝර්ඩ් කොන්සල් " එකේ බොඩි ශේප් එකට සමාන තව ෆෝර්ඩ් කාරයක් තිබෙනවා Ford Zephyr කියලා.ඔබ ද දන්නවා ඇති. සෙල් එක මැද ඉස්සිලා තිබුනේ. පොඩිකාලේ හිතුවේ " ෆෝර්ඩ් ප්රිෆෙක්ට්"100 E එකේ ලොකු අයියා කියලා .ලංකා වේ තිබුනා කිහිපයක්ම .මගේ මාමා කෙනෙක් ළඟ තිබුන 1970 ගණන් වල මුලහරියේ . EL *** Ford Zephyr එකක්.යකා වගේ දුවනවා.

    ReplyDelete
    Replies
    1. මගේ ඉතාම හොඳ යාලුවෙක් Ford Zephyr එකක් අරගත්තා ළඟදී. එයාගේ තාත්තාත් හොඳ කාර් ලෝලියෙක්. එයා ඕක ගත්තා කියල මට කෝල් කරලා කියපු දවසේ මට ආවේ පුදුම සතුටක්, මොකද එයාලා හරියට වැඩේ කරන මිනිස්සු නිසා. එයාලා ඒක කවදාහරි restore කරනවා කිව්වා. මම මේ ආසාවෙන් බලන් ඉන්නේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකල්... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි...

      Delete
  6. අනේ රත්තරං දෙකම එකක ලියහං

    ReplyDelete
  7. අනේ රත්තරං දෙකම එකක ලියහං

    ReplyDelete
    Replies
    1. හිටපං මේ සීන් එක පුද්ගලික මට්ටමින් අහලා බලන්න...

      Delete
    2. මටනම් මේ බ්ලොග් දෙකම එකක් කියලා තමා දැන් හිතෙන්නෙ....

      Delete
    3. කොමෙන්ට් දෙකම එකට ලියහං. හැක්..

      Delete
    4. ප්‍රසා, ඔය අයිඩියාස් උඹට විතරක් එන්නෙ කොහොමද ?!! :D

      Delete
  8. මේව ගැනනං අඳෝසංසාරයක් දන්නෙ නෑ..උඹ ලියහං අපි කියවන්නං.

    ReplyDelete
    Replies
    1. අප ලිවියැ යුත්තේ නොදන්නා දේ ගැන මැ නු? :D

      Delete
  9. මට්නම් තේරුම් ගන්නම බෑ මේ කබල් කාර් වලට උඹ මොකද ඔය තරම් නැහෙන්නෙ කියලා.. බලහන්කෝ ඒව්යෙ හැටි... කැතේ බෑ මටනම්...ඔවා අඩුම ගානේ පනහට එන්නවත් පාගලා යන්න පුලුවන්ද ? මටනම් හිතෙන්නේම් බෑ කියලා...

    ReplyDelete
    Replies
    1. පනහ නෙමෙයි, එන්ජිම හොඳ නම් ඔය ගොඩක් ඒවයේ ගේමක් නැතුව අසූව පන්නන්න පුළුවන්. 60 ගණන් වල ආපුවයේ 100 පන්නන එක මාරු නැහැ හරියට තියනවා නම්. ලංකාවේ ඊට වඩා වේගෙන් ගියොත් අනිවා පොලීසියෙන් අල්ලනවා, නැත්නම් මැරෙනවා... ක්ලැසික් කාර් ඇවිල්ලා අර දූරියන් වගේ තමා. කන එකා පෙරාගෙන කනවා. අනිත් එකාට අපුලයි. :)

      Delete
    2. කාර් පැත්තකින් තිබ්බත්, උඹේ ලිවිල්ලනම් සුපිරියි ආ... කොහෙන් එනවද මංදා මේ උපමාවල්... මට මේ සබ්ජෙක්ට් එක එච්චර සමීප නැති වුනත් උඹේ ලිවිල්ල හින්දා ආසවෙන් කියවනවා... දිගටම ඔහොම යන්.. ජය !

      Delete
    3. බොහොම ස්තූතියි සෙන්නා!

      Delete
  10. එෆ් බී පේජ් එක හරහා මේ ඉසව්වට ආවේ.. බ්ලොග් මගෙ ජීවිතේ.. එෆ් බී වගේ නෙවෙ. උඹේ ලිවිල්ලනම් ඉස්තරම්..මල් මසුරං.වල්ල පට්ටෙත් හොඳම එක.. කාර් ගැන මගේ පිස්සුවත් ඉස්තරම්! හැබැයි පරණ කාර් ගැන තාම ඉගෙන ගන්නවා උඹල වගේ උන්ගෙන්..

    masandumal.blogspot.com

    ගී සංවේදනා වලට එහෙම මනාපයිනම් ගොඩවදින්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්. මම ගොඩවෙලා බලන්නම්. ප්‍රතිචාරය ගොඩක් වටිනවා...

      Delete
  11. හැක්.. නියමයි. අපේ වෑන් එකේ එයා ක්ලීනර් එක අස්සෙත් මීයෙක් රිංගල ඇංජිම මිස් කරන්න අරං මල ජරමරයක් උනා. බාසට අත්දැකීම් තියෙන හන්දද කොහෙද ඇන්ජිම ගලවන්නැතුව බේරගන්න පුලුවන් උනා.

    ReplyDelete
    Replies
    1. දැන් තමයි හැමෝගෙම මීයෝ එළියට එන්නේ... හැක් හැක්... :D

      Delete
  12. අනේ මන්ද... අපි වතුර යට තියන් ඉන්න රබර් බෝල එක එක උඩට මතුවෙනවා... මේ බ්ලොග් එක නිසා පරණ කර වලට් ආස කරන අපි කශේරුකාව කෙලින් කරන ඉන්නවා... ජය... !

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. මම හැමදාම කියන්නේ, මේ බ්ලොග් එක නිසා එකෙකුට දෙන්නෙකුට පිස්සුව බෝ වෙනවා නම්, පරණ කාර් තුන හතරක් ගොඩ එනවා නම්, මට එච්චරයි...

      Delete
  13. කාර් පිස්සුව දැන්ම හදාගන්න හොඳ නෑ , අපේ පත්තර විකුණන මල්ලි කෙනෙක්ව කන්සල්ට් කරගෙන බයික් එකක් හොයන ගමන් මේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කාරියට ඕන් අපිත් අතගහලා ඇති...

      Delete
  14. කතාවත් ලස්සනයි. comments ටිකත් ලස්සනයි .

    ReplyDelete
  15. Replies
    1. ඔයාගේ කමෙන්ට් එකක් ආවේ දැනුයි!!!!

      Delete
  16. minx ekath austin a55 eka wage neda tharindu aiye?

    ReplyDelete
    Replies
    1. ඔවු. ඒ වුණාට මගේ ඇහැට මින්ක්ස් එකේ නිකල් වැඩකෑලි ටික ලස්සනයි...

      Delete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. 404 ඵක ගැන දැනගන්න ආසයි පවුලේ පාවිච්චියට හොදයි ද

    ReplyDelete
    Replies
    1. ගැටලුවක් නැහැ. අපේ යාලුවෙක් ඉන්නවා සැලකිය යුතු කාලෙක ඉඳන් පාවිචිචි කරන. ඔයාට එයාගෙන්ම වැඩි විස්තර අහගන්න පුළුවන් අපේ Facebook පේජ් එකට ආවොත්. ලින්ක් එක තියනවා ලිපියේ අවසානයේ.

      Delete
  19. My First car was Hilman Avenger got it from Digana Kandy

    ReplyDelete