Saturday, May 6, 2017

ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක: හදපු හැටි, නැතිවුණු හැටි සහ හොයාගත්තු හැටි


ලංකාව ජනාවාස වීමේ ඉතිහාස කතන්දරේ කපු කැටිල්ලකින් පටන් ගන්නවා වගේ ටොයෝටා සමාගමේ කාර් හැදිල්ලේ කතාව පටන් ගන්නේ රෙදි විවිල්ලකින්.

1889 විතර එක්තරා දවසක සකීචි ටොයෝඩා කියලා කොලු  ගැටයෙකුට තමන්ගේ අම්මා රෙදි වියන්න මහන්සි වෙන එක ගැන දුක හිතෙන්න ගන්නවා. ඒ කාලේ රෙදි වියනවා කියන එක තනියම ටේබල් ටෙනිස් ගහනවා වගේ වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඒක තෙහෙට්ටු වෙන, වෙලා යන, ශ්‍රමය අපතේ යන වැඩක්.

ටොයෝඩා පවුලේ කොල්ලන්ට ඔය 'අපතේ යනවා' කියන වචන දෙක ඇහුණත් නිකං සීටීබී බස් එකක් දැක්ක ප්‍රයිවට් බස් කාරයෙකුට වගේ තද වෙනවා...

ඉතිං සකීචි ටොයෝඩා 1890 දී පළවෙනි වතාවට ලී වලින් අර්ධ ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හැදුවා. එතකොට රෙදි විවිල්ල තනියම කැරම් ගහනවා වගේ ලේසි වැඩක් වුණා.



ඒ වුණාට සකීචි මල්ලි එතනින් වැඩේ නවත්තලා හන්දි ගානේ ලෑටි ගාන්න ගියේ නෑ. ආණ්ඩුව උදවු කරන්නේ නෑ කියකිය අඬ අඬා සකුරා මල් ගහන්න ගියේ නෑ. මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෑ කියකිය පත්තරවල ෆොටෝ දාගත්තේ නෑ. මොකද එයා ජපන් නේ, ශ්‍රී ලංකන් නෙමෙයි නේ. ඒ නිසා එයා මාන්නෙයි කම්මැලිකමයි පැත්තක දාලා  මහන්සි වෙලා මේ යන්තරේ තව තව දියුණු කළා. 1896 වෙද්දී ජපානේ පළවෙති වතාවට ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හදන්න සකීචි ට පුළුවන් වුණා.

එක්දාස් නමසිය ගණන් වල මුල් කාලේ වෙනකොට සකීචි ගේ පුතා කීචිරෝ ටොයෝඩා ත් මේ වැඩේට එන්ටර් වෙලා හිටියේ. 1924 වෙද්දී දෙන්නා එකතු වෙලා පළවෙනි වතාවට අධිවේගී රෙදි වියන මැෂිමක් හැදුවා.


සකීචි ටොයෝඩා

මේ මැෂිම නිසා එක මැෂිමකට එක ඔපරේටර් කෙනෙක් ගානේ දාන්න වෙන අවශ්‍යතාව නැතුව ගියා (වෙන වචන වලින් කියනවා නම් සෑහෙන පිරිසකගේ බඩ ගෝස්තරේට කෙළ වුණා). එක ඔපරේටර් කෙනෙකුට මැෂින් 30 ක් විතර බොහොම පහසුවෙන් සුපර්වයිස් කරන්න පුළුවන් වුණා. මේක තමයි Model G මැෂිම කියලා හඳුන්වපු එක. මේ මැෂින් ඉතාම නිවැරදිව රෙදි වියනවා වගේම වැරදීමකින් හරි මොකක් හරි ගැටලුවක් ආවොත් වහාම නවතිනවා. ඒ නිසා අපතේ යාම බින්දුවට බැස්සා....

Toyoda Model G3


ඔය කාලේ වෙද්දී සකීචි ගේ පුතා කීචිරෝ තීරණය කළා Model G මැෂින් එකලස් කරන්න ඇමරිකාවේ වගේ මහාපරිමාණ එකලස් කිරීමේ ක්‍රමයක් ඇතිකරන්න. තාත්තයි පුතයි එකතු වෙලා, බටහිර රටවල ක්‍රම ගැනත් හොඳට හොයලා බලලා විධිමත් එකලස් කිරීමේ ක්‍රමයක් තියන ෆැක්ටරියක් දැම්මා. 1926 දී තමයි ඒ විදිහට Toyoda Automatic Loom Works පටන් ගත්තේ.

කීචිරෝ ටොයෝඩා

ඔය අතරේ 1929 දී කීචිරෝ ටොයෝඩා යුරෝපයේ සහ ඇමරිකාවේ සංචාරයකට නැව් නැග්ගා. එයා ගියේ තමන්ගේ ෆැක්ටරියේ භාවිතා වුණු තාක්ෂණයට අදාළ බලපත්‍ර වල වැඩකටයුතු කීපයකට.

ඒත් කේස් එක වුණේ මේකයි. මේ කාලේ වෙද්දී ෆෝඩ් Model T එකේ කාර් මිලියන 15 ක් විතර බිහිවෙලා ප්‍රඩක්ෂන් එක ඉවර වෙලත් තිබ්බේ.  ඒ කියන්නේ ඇමරිකාවේ පඳුරකට පයින් ගැහුවම කාර් දහයක් විතර විසිවෙන තත්ත්වයක් උදාවෙලා තිබ්බා. ජපානේ ඉතිං එහෙම දෙයක් පේන අහලක තිබ්බේ නෑ නේ. ඒ කාලේ ජපන් පඳුරු වලට පයින් ගැහුවම විසිවුණේ අමු මාළු, හයිකු කවි සහ කිමෝනෝ වගේ දේවල් විතරයි.

ඉතිං කීචිරෝ ට මේවා දැකලා කීචි කැවුණා.


ඒ කලේ ඇමරිකාවේ පාරක්

ජපානෙට ආපු ගමන් කීචිරෝ කළේ අර Model G මැෂින් එකලස් කරන වැඩ යන අතරේම වාහන එන්ජින් හදන්න ප්ලෑන් කරන එකයි. කොහොම කොහොම හරි නියපොතු නැති අතින් රඹුටන් ලෙලි ගහනවා වගේ එයා කටු කාලා කටු කාලා වාහනේ පළවෙනි Prototype එක 1935 දී හදාගත්තා. ඊට පස්සේ ඒක ටෙස්ට් කරලා ඊළඟ අවුරුද්ද වෙද්දී පළවෙනි ප්‍රඩක්ෂන් කාර් එක එළියට දැම්මා.

ඒ තමයි අද අපි Toyota Model AA කියලා දන්න කාර් එක.

Toyota Model AA 



ඒ කාලේ ඇඩ් එකක්
Assembly line එකේ ෆොටෝ එකක්

ටිකක් කරුණාවන්ත විදිහට කියනවා නම්, මේ කාර් එක ඒ කාලේ ඇමරිකාවේ ප්‍රචලිත වෙලා තිබුණු කාර් වලින් ආභාසය ලබලා හදපු කාර් එකක්. මාලේ කඩන්න ආපු එකාට හෑන්ඩ් බෑග් එකෙන් ගහනවා වගේ කියනවා නම් ඒ කාර් එක Chrysler (නැත්තං DeSoto) Airflow එකේ අමු කොපියක්. ඔය දෙකෙන් මොන description එකද තෝරගන්නේ කියන එක තීරණය වෙන්නේ කියවන කෙනා ටොයෝටා බ්‍රෑන්ඩ් එකට ලවු කරන ප්‍රමාණය අනුව...


Restore කරපු නැති DeSoto Airflow එකක්


Automobile Catalogue වෙබ්සයිට් එකට අනුව කාර් එකේ මූලික ලක්ෂණ මෙහෙමයි.

බොඩිය- සෙඩාන්, දොර 4
එන්ජිම- 3389 cm3 (3.4L කියලා කියන්නකෝ. ඒක ලේසියි)
ගියර්- 3 speed Manual
පවර් එක- 62hp
දිග- මිලිමීටර් 4780
වීල්බේස් එක- මිලිමීටර් 2850
ටොප් ස්පීඩ් එක- ෆැක්ටරියෙන් කියලා තිබුණු හැටියට 100kmph (එව්වා නම් මන්දා!)

මාව ෂුවර් නැත්නම් විස්තර බලන්න: www.automobile-catalog.com/make/toyota/aa/aa/1936.html

කාර් එක පොඩ්ඩ පොඩ්ඩ විකිණෙන කොට 1937 දී සමාගමට අලුත් නමක් දාන්න තරගයක් තිබ්බා. ඒකෙන් තෝරගත්තු නම තමයි Toyota Motor Co., Ltd. කියන එක. මේක ජපන් භාෂාවෙන් ලියනකොට වාසනාවන්ත විදිහට ඉරි අටකින් ලියන්න පුළුවන් නිසා මේක තෝරගත්තා කියලයි www.toyota-europe.com වෙබ් සයිට් එකේ තියෙන්නේ.  



Toyota Model AA එකේ ප්‍රඩක්ෂන් එක ඉවර වුණේ 1942 දී. ඒ වෙද්දී සමාගම මේ මොඩ්ල් එකේ කාර් 1,404 ක් හදලා තිබ්බා.

පස්සේ ඉතින් ටොයෝටා එක වෙන වෙන වාහන හදලා දියුණු වුණා. ජපානේ මුළු ලෝකෙටම දෙන්න සුපිරි වාහන හදන රටක් බවට පත්වුණා. නමුත් මේ මුල්ම Toyota Model AA කාර් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ. අවුරුදු ගාණක් රට ඉඳලා ආපු එකෙකුට ඉස්සරලාම හම්බවෙච්ච චිකන් කොත්තුව වගේ කටුවක් වත් ඉතුරු නොවෙන්න කාර් ටික වැනිෂ් වෙලා ගිහිං කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. ඉතින් පස්සේ පරම්පරා වලට බලන්න මේකෙ ආකෘති හදන්න ජපානේ කෞතුකාගාර වලට පවා සිද්ධ වුණා.

ආකෘතියක්


මේ අතරේ හරි අපූරු වැඩක් වුණා. 2008 අවුරුද්දේ ආරංචියක් ආවා රුසියාවේ Vladivostok කියන නගරේ මෙයින් ඔරිජිනල් කාර් එකක් තියනවා කියලා. රුසියාවේ පත්තරේක ඇඩ් එක ගිහින් තිබුණේ Chrysler Airflow එකක් විකුණන්න තියනවා කියල ලු. කාර් එකේ ලියාපදිංචි සහතික වල තිබිලා තියෙන්නෙත් එහෙමයි. 

නමුත් එහෙ අවුරුදු 25 ක කොල්ලෙක්ට භාණ්ඩේ ඇත්තටම මොකක්ද කියලා මීටර් වෙලා තිබ්බා. ඒ වුණාට සාමාන්‍යයෙන් ලංකාවේ වගේ ඕන පූසෙක්ගෙ කනෙන් රිංගන පූස් මැක්කෝ ලෝකේ කොහෙත් ඉන්න නිසා කවුරුවත් මේ කතාව එච්චරම ෂුවර් කළේ නැහැ. නමුත් මේක දැනගත්ත ගමන් නෙදර්ලන්තේ Louwman කෞතුකාගාරයේ කළමනාකාර අධ්‍යක්ෂ Ronald Kooyman අර කොල්ලට කියලා කාර් එකේ ෆොටෝස් එහෙම ගෙන්නගෙන බැලුවා. එතකොට තහවුරු වුණා මේක ඇත්තටම ජෙනුයින් Toyota Model AA එකක් බව...



මේක තිබිලා තියෙන්නේ සයිබීරියානු ගොවියෙක් ගාව. ලෝක යුද්ධ කාලේ ඉඳන්, අවුරුදු හැට ගාණක් තිස්සේ එයාගේ පවුලේ තමයි මේක තිබිලා තියෙන්නේ. හැබැයි මෙයා මේක පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් පළවෙනි ඇනිවර්සරි එකට දීපු මැටි පූසා වගේ පරිස්සමට තියාගෙන ඉඳලා තිබ්බේ නැහැ. ඇත්තටම කිව්වොත් මේක ට්‍රැක්ටරයක් හෝ ලොරියක් වගේ මඩ නාලා, බර ඇදලා තිබ්බා. ඒ වගේම යම් යම් වෙනස්කම් මේකේ කරලා තිබ්බා (ඒ මනුස්සයා කොහෙන් කියලා ස්පෙයා පාට්ස් හොයන්නද! ඇටවිල්ලං සරණං තමා!). 

පස්සේ කාලෙක මේක සයිබීරියාවෙන් රුසියාවේ Vladivostok නගරයට ගෙනල්ලා. ඒ නගරේ තමයි අර ගොවි මහත්තයාගේ මුණුබුරා ජීවත් වුණේ. හැබැයි කාර් එක කොයි කාලේ ආවද කියන්න එයාට වත් නිච්චියක් තිබ්බේ නැහැ (මරු මුණුබුරා!).





කොහොමෙන් කොහොම හරි කාර් එක Louwman කෞතුකාගාරයට අරගෙන යන්න අවශ්‍ය කටයුතු ටික කරගන්න රුසියානු සංස්කෘතික අමාත්‍යංශයෙන් අවසර ලැබුණා. මේ වැඩ ටිකට මාස 7 ක් විතර ගතවුණා කියලා ටොයෝටා වෙබ්සයිට් එකේ තියනවා. අන්තිමට කෝච්චි වල සහ කන්ටේනර් වල නැගලා Toyota Model AA එකේ ඉතුරු එකම එක ඔරිජිනල් කාර් එක නෙදර්ලන්තයට ආවා. මේක 1936 දී හදපු මුල්ම කාර් සීයෙන් එකක් කියනවා.

කාර් එක පටවගත්තු හැටි

මේ අපූරු කතාව ඔයාලට මෙන්න මේ ලින්ක් එකට ගිහින් කෞතුකාගාරේ වෙබ්සයිට් එකෙන්ම කියවන්න පුළුවන්: www.louwmanmuseum.nl/Ontdekken/Ontdek-de-collectie/toyoda-aa

මම ටොයෝටා ෆෑන් කෙනෙක් නෙමෙයි. ටොයෝටා වාහන එක්ක කවදාවත් මගේ ලොකු බැඳීමක් තිබ්බේ නැහැ. නමුත් ටොයෝටා කියන්නේ කිසිම කාර් පිස්සෙකුට මගහැරලා යන්න බැරි අතිදැවැන්ත බ්‍රෑන්ඩ් එකක්. කාර් ක්ෂේත්‍රයේ ටොයෝටා කියන්නේ නිකං හෝටල් ක්ෂේත්‍රයේ පරිප්පු වගේ තමා. මහ ලොකු රහකුත් නැහැ, ඒ වුණත් නැතුවත් බැහැ.

මේ කතාව ඇහුව දවසට වඩා ලිව්ව දවසේ මගේ හිතේ ටොයෝටා ප්‍රේමයක් මෝදු වුණාද මන්දා...! 


තරිඳු ශ්‍රී ලොකුගමගේ 
05.05.2017 
www.facebook.com/CarPissuwa

පසු සටහන: පරිප්පු කතාව ලිව්වේ ටොයෝටා ෆෑන්ස්ලගේ හිත් රිද්දන්න නෙමෙයි. ඒ නිසා 2000GT කියලා කෑගහන්න එපා.

82 comments:

  1. Wenada wagema supiri, me wage godak famous brands patan gatte kohomada kiyala danuwath karanna puluwan nan hamotama watinawa

    ReplyDelete
    Replies
    1. එකඟයි. හැම බ්‍රෑන්ඩ් එකක් ගැනම රස කතා ගොඩක් තියන නිසා ලියන්න දේවල් බොහොමයි. ඉස්සරහට තව ලියන්නං...

      ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි...

      Delete
  2. නමුත් මම විශ්වාස කරන විදිහට ටොයොටා සමාගම විසින් ලෝකයට දුන්න ලොකුම දේ වාහන නෙමෙයි !

    ඒ අය ගෙනාපු නිශ්පාදන ක්‍රියාවලි (JIT / Just In Time Manufacturing) සහ තත්ව පරීක්ෂණ ( Quality Assurance Process ) .

    ඒ නිසා තමයි ඉන්ධන පරිභෝජනය අඩු, හරියට නඩත්තු කළොත් කරදරයක් නැතිව කිලෝමීටර් මිලියනයක් උනත් දුවන්න පුළුවන්, සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න පුළුවන් මුදලට ඉතා කාර්යක්ෂම වාහන බිහිවුණේ.

    එහෙම නොවුනානම් අපි අදටත් අකාර්යක්ෂම සහ විශ්වාසය තැබිය නොහැකි බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු වාහන පාවිච්චි කරාවි !

    ReplyDelete
    Replies
    1. නැහැ. ඒ සංකල්පය ලෝකෙට දුන්නේ ෆොක්ස්වැගන් එක. ජපානේ කළේ යුරෝපය සහ ඇමරිකාව stuck වෙච්චි වෙලාවක බැටන් එක උදුරාගෙන ඉස්සරහට ගිය එකයි.

      Delete
    2. සංකල්ප විදිහට ගත්තහම ෆෝඩ් සහ VW මේව හඳුන්වා දුන්න වෙන්න පුළුවන් නමුත් යුරෝපීය සහ ඇමරිකානුවන් මේව යොදා ගත් විදිහ සහ ජපන්නු යොදා ගත්තු විදිහ බොහොම වෙනස්.

      ඔවුන්ට එය බොහොම පෞද්ගලික කාරණයක් උදාහරණයක් විදිහට එක ඇමරිකානු කාර් කොම්පැනියක කළමණාකරුවෙක් අසාර්ථක වුනොත් තව කාර් කොම්පැනියකට යාවි. නමුත් ජනනෙක් නම් ගෙදර ගිහින් දිවිනසා ගත්තු අවස්ථා මම කොහෙදි හරි කියවල තිබ්බ.

      ඒ තරම් අවධාරණයක් මේ සම්බන්ධයෙන් යුරෝපීය සහ ඇමරිකානුවන් දුන්න කියල මම හිතන්නෙ නැහැ.

      ජපනුන්ට මේව නිකම්ම ස්ලෝගන් එකක් නෙමෙයි එයට බොහොම එහා ගිය දෙයක්.

      Delete
    3. ඔයා කියන්න හදන දේ මට තේරෙනවා. ජපනුන්ගේ සංස්කෘතිය එක්ක මේවා බද්ධ වීම සීරියස් කියන එකට මම එකඟයි. නමුත් ජපන්නු ඔය සේරම දේවල් කළේ ඇමරිකාව හෝ යුරෝපය දිහා බලලා. මම මේ කතා කරන්නේ 'පුරෝගාමීත්වය' ගැන. ෆොක්ස්වැගන් ෆැක්ටරිය තත්ත්වය ගැන දක්වපු උනන්දුව ගැන දන්නවා නම් ඔයා පුදුම වෙනවා. ජපන්නු මේවා භාවිතා කරපු විදිහ වෙනස් කියන එක බරපතළ මාකටිං වැඩක් කියලා මම බොහොම තදට විශ්වාස කරනවා. මොකද ජර්මන් කාරයා engineering perfection ගැන ඔයිට වඩා උනන්දුයි. නමුත් ඒක දැන් Top Gear ජෝක් එකක්. ජපන්නු ඒක ආසියාවේ ගුප්ත බවකට ඌනනය කරගත්තා කියලයි මම හිතන්නේ. මේවා බොහොම සචේතනික තීරණ.

      Delete
    4. හරි නම වොක්ස් වැගන් නේද? VW

      Delete
  3. කතාව ඇහුවේ අදයි... ස්තූතියි ... ලංකාවේ ජනාවාස තිබිලා තියෙනවා කපු කැටිල්ලට කලියෙන්... හැබැයි එව්වා ලියවිලා තියෙන සාක්ෂි තාම නැති එකයි ප්‍රශ්නෙ...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. ඒකයි මම දැනුවත්ව 'කතන්දරේ' කියන වචනේ පාවිච්චි කළේ. උදාහරණයක් විදිහට අනුරාධපුරේ ඇතුල් නුවර කැණීම් ගැන මම හරිම උනන්දුයි. මම රාවණා බයිලා නම් විශ්වාස කරන්නේ නැහැ. නමුත් විජය කතන්දරේට අදාළ කාලසීමාවට කලින් ලංකාවේ කිසියම් කාර්මික සංස්කෘතියක් තිබුණා කියන එක පැහැදිලියි.

      ප්‍රතිචාරයට ස්තූතියි මල්ලි.

      Delete
    2. "ලංකාවේ කිසියම් කාර්මික සංස්කෘතියක් තිබුණා කියන එක පැහැදිලියි. "

      නැතුව ඉතින් කපු කටින මැෂින් අහසෙන් පාත්වෙන්නෑනෙ බන්..ලංකාවේ ඉතිහාසය කියලා අපිට උගන්වන්නේ තනිකරම විකෘත්තියක් කියලා තමා මගේ විශ්වාසය..

      Delete
    3. කපු කැටිල්ලයි කාර්මික් සංස්කෘතියයි කියන්නේ දෙකක් නෙව බං... කපු කැටිල්ල කියන්නේ සංස්කෘතික ජීවිතය ඇතුළේ මූලික මිනිස් අවශ්‍යතාවක් වෙන ඇඳුම් හදාගන්න හොයාගත්තු ප්‍රාථමික තාක්ෂණයක්. කාර්මික සංස්කෘතියක් කියන්නේ විධිමත් ව මහා පරිමාණයෙන් කාර්මික නිෂ්පාදන නිපදවීමක්. ලංකාවේ සමහර තැන්වල කැණීම් වලින් යකඩ උණුකරන උදුන් පද්ධති වගේ ඒවා හොයාගෙන තිබ්බා. නමුත් මේවා ලෝකේ අනික් පුරෝගාමී සංස්කෘති තරම් දියුණු නැහැ. උදාහරණයක් විදිහට මොහෙන්ජොදාරෝ සහ හරප්පා සංස්කෘති තියෙන්නේ මීට වඩා ගවු මිලියන ගාණක් ඉදිරියෙන්...

      Delete
    4. මම අදහස් කළේ කපු කටින මැෂින් කාර්මික සංස්කෘතියක අතුරු ඵල කියන එක...

      Delete
    5. සිරා සාකච්ඡාවකට මාතෘකාවක් මේක :)

      Delete
    6. රාවනා එකනන් මමත් විශ්වාස කරන්නේ නෑ... මොකද විශ්වාස කරන්න පුලුවන් විදිහෙ දෙයක් තාම මට දකින්න කියවන්න ලැබුනෙ නෑ... ඔක්කොම වගේ ලස්සන කතන්දර තමා අහන්න ලැබුනේ... යකඩ නිශ්පාදනය කරලා තියෙනවා සමනල වැව ප්‍රදේශයේ... මේ තියෙන්නේ ඒ ගැන පොඩියට ලිව්ව එකක්... https://wasithaya.blogspot.com/2017/02/blog-post_9.html?m=1

      @සෙන්නා ලංකා ඉතිහාසෙ කියලා ඉස්කෝලවල්වල විශේෂයෙන් සා.පෙ. උගන්නන සමහර දේවල් බොරුයි කියලා උසස් පෙළදි උගන්නනවා... ලංකාවෙ අධ්‍යාපනේ තරම පේනවනෙ ඉතින්... ඔය වගේ සිද්ධියක් ගැන ලඟකදි ලිව්ව එකක්... https://wasithaya.blogspot.com/2017/04/blog-post_30.html?m=1

      Delete
    7. Links වලට බොහොම ස්තූතියි මිතිල... අනේ තව පොඩ්ඩක් දිගට ලියමුකො :) සෑහෙන වටිනවා...

      Delete
    8. මිථිල, ඔයාගෙ බ්ලොග් එක කියවන්න අමාරුයි.. බැරිද බැක් ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න...

      Delete
    9. මිතිල එක පාරක් බ්ලොග් එක ලස්සනට හැදුවා, ඒ වුණාට ඒ ටෙම්ප්ලේට් එකේ ප්‍රශ්නයක් ආව නේ නේද?

      Delete
  4. දැන් ටොයෝඩා නියොපොතු නැති අතින් රඹුටන් ලෙලි ගගහා ටොයෝටා ඇන්ජිම හැඳුවේ තනියම ද ? ඒකියන්නේ කිසිම තාක්ෂණයක් යුරෝපයෙන් හෝ ඇමරිකාවෙන් නොගෙන තනිකරම මිනිහගේ උත්සහයෙන් ද ?

    මුන් සෙඩාන් කියලා හැච් බැක් නේද දීලා තියෙන්නේ ඒ කාලේ...!

    මරු කතාව බන්.. මම හරි ආසයි මිනිස්සු උත්සහයෙන් දියුණු වුනු මේ ජාතියෙ කතා කියවන්න.. හොන්ඩා පිටිපස්සෙත් තියනවා මරු කතාවක්. විදුසර පත්තරේ ගියා වගේ මතකයක් තියනවා.. දන්නවන ලියහන් ඒ කතාවත්...

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය ලෝකේ කොහේ බිහිවෙලා තිබ්බත් ඒක අලුත් රටකට adapt කරගන්න එක තමයි අමාරුම වැඩේ. ඒක තමයි රඹුටන් ලෙලි ගැහිල්ල.

      ඇත්ත. හොන්ඩා එකත් කතා සාගරයක්. ඒ ගැනත් ලියන්නං වෙලාවක. ස්තූතියි සෙන්නා.

      Delete
  5. නියමයි ලොක්ක නියමයි...කාර් පිස්සුව වගේම බ්ාලාග් එකත් අලුත් පැත්තකට හැරුනා වගේ දැනුන... අර පරිප්පු කතාවට කටට ආපු දේ ලියන්න හදනකොටම ප.ලි. දැක්ක.නැට්ටන්... නියම විස්තරයක් මේ ලුවර් කටුගෙදර කතාව අහපු පලවෙනි දවසෙම මට ඔලුවට ආවේ ඇයි ටොයෝටා ⁣කම්පැනිය මේක තමුන් ගාවට ගන්න ට්‍රයක් ාදන්නෙ නැත්තෙ කියල..

    ReplyDelete
    Replies
    1. කෞතුකාගාර අතර තියනවා මාර territorial කේස්. ඒ හින්දා ඕක කවදාවත් ජපානෙට ගන්න වෙන්නේ නැහැ. මේක කතාකරන්න ගියොත් ලංකාවේ පුරාවස්තු එංගලන්තේ කෞතුකාගාර වල තියන කතාවත් ඇදිලා ඒවි. ;)

      ප්‍රතිචාරයට ස්තූතියි මචං.

      Delete
  6. Option No 1... "ටිකක් කරුණාවන්ත විදිහට කියනවා නම්, මේ කාර් එක ඒ කාලේ ඇමරිකාවේ ප්‍රචලිත වෙලා තිබුණු කාර් වලින් ආභාසය ලබලා හදපු කාර් එකක්"

    මොන හේතුවක් හින්දද මන්ද Toyota බ්‍රෑන්ඩ් 1ට මාර ලව්... සුපිරියට කතාව ලියල තියෙනවා...බැනල හරි කමක් නෑ Toyota part 2 ලිපියක් එනවනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. සමහර විට කවදාහරි ග්ලැන්සා එකක් වගේ එකක් පාවිච්චි කළොත් මමත් ටොයෝටා ෆෑන් කෙනෙක් වේවි. ;)

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි තුසිත...

      Delete
  7. මම ඒත් බැලුව අද වහින්නෙ මොකෝ කියල

    ReplyDelete
    Replies
    1. ලවු එක ආවේ ඔය සෙලිකා වගේ ඒවට... නැතුව ඇක්වා වලට නෙමෙයි... ;)

      (අපි බැන්නට ඇක්වා එක හොඳ වාහනයක්. Boring එක විතරයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඇක්වා අත්දැකීම වෙලාවක උඹේ වචන වලින් අහන්න ආසයි)

      Delete
    2. Liyamu ne ban dawasaka. Idapanko.. Blog eke malakadath athi ban dan..

      Delete
    3. අනිවා ලියපන්. ලියලා ලින්ක් එක දාපන්...

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි තිළිණ...

      Delete
  9. Very good right-up.... මාලේ කඩන්න ආපු එකාට හෑන්ඩ් බෑග් එකෙන් ගහනවා වගේ කියනවා නම් 😂😂😂

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සිංහල භාෂාව කියන්නේ හොඳට සෙල්ලං දාන්න පුළුවන් භාෂාවක්... කාර් ගැන ලියන්න වගේම ඒක පෙන්නලා දෙන්නත් මම ආසයි :)

      Delete
    2. "සිංහල භාෂාව කියන්නේ හොඳට සෙල්ලං දාන්න පුළුවන් භාෂාවක්... "

      අන්න ඒකයි උඹේ වටිනාකම.. නැත්නම් මේ මලකඩ කාපු යකඩ ගොඩවල් ගැන මෙලෝ යකෙකුට් කියවන්න හිතෙනවද බන්.. :D

      Delete
    3. ස්තූතියි සෙන්නා :)

      Delete
  10. උඹ අපූරු යකඩ සාහිත්‍යයක් බිහි කරනවා... ජයවේවා මගේ මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩිල්ශාන්...!

      Delete
  11. ලිපියේ කරුණු වගේම ලියලා තියෙන ආකාරය හරි රසවත්. අලුත්! කාලෙකට පස්සේ කැමති මාතෘකාවක් ගැන රසවත් ලිපියක් කියෙව්වා. Honda ගැනත් ඔහොම කතාවක් තියෙනවා නේද? වෙලාවක් ලැබුනම ලියන්න. දැනටම ලියලද කියලා web version එකට දාලා බලන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. හොන්ඩා ගැන තාම ලිව්වේ නැහැ. එයාලා ගැනත් කතා මහ ගොඩක් තියනවා. හොන්ඩා ගැන මගේ තියෙනවා 'ඔයාව ඕනේ/ඔයාව එපා' වර්ගයේ මෙව්වා එකක්. ඒ නිසා ලියන්න බයයි, ඊට පස්සේ ගිහින් අසූ ගණන් වල හදාපු එකක් කරගහගෙන එයිද දන්නේ නෑ :)

      Delete
    2. මම එහෙම එකක් කරගහගෙන ආවා... දැන් හිටු කියලා නානවා.

      Delete
    3. ෆොටෝ ටිකක් එවැන්න බැරිද ෆේස්බුක් පේජ් එකට? බලන්න ආසයි...

      Delete
  12. ජර්මන් ඇඹුල්තියල් එක්ක හැරෙන්නවත් බෑ තමයි...ඒත් ජපන් පරිප්පු එපා වෙන්නෙ නෑ කොච්චර කෑවත් හරිය.....
    .
    .
    ටොයෝටා ප්‍රේමවන්තයෙක්

    ReplyDelete
    Replies
    1. එකඟයි. එදිනෙදා කන්නේ මොනවාද කියලා වදවෙන්න කැමති නැති කෙනෙකුට පරිප්පු කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබුණු තෑග්ගක්. එදිනෙදා කරදරයක් නැතුව වාහන පදින්න කැමති කෙනෙකුට ටොයෝටා කියන්නේ ජපානෙන් ලැබුණු තෑග්ගක්. :)

      Delete
  13. හොදින් කරුණු හොයල මහන්සිවෙලා ලියන තියෙන කතාවක්, මම නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. එපමණක් නොව ඕනෑම දෙයක් හරිම අපුරුවට සිංහලෙන් ලියන්න පුළුවන් කියලත් ඔප්පු කරලා තිවෙනවා. මම වොක්ස්වැගන් ලෝලියෙකු උවත් දැන් තියෙන්නෙ ටොයෝටා එකක් නිසා මට නම් මේක හරිම රසවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි...

      Delete
  14. මල් නම් ජයරත්න කියනව වගේ ටොයොටා ගැන නැතුව වාහන ගැන කතාකරන්න බෑ. ඒ තරමට ටොයොටා කියන නම වාහන එක්ක බැඳිල තියෙනව.
    මොනව උනත් මේ කතාව නියමයි. ලංකාවෙ ‍එකෙක්නං අර සෙමි ඔටෝමැටික් රෙදිමෝලට එහා හිතන එකක් නෑ.

    අර කාර් එකේ පිටිපස්සෙ වාඩි උනාට පස්සෙ ලෙග්ස්පේස් එකට හරක් දෙන්නෙක් විතර ගැටගහල දාගෙන යන්න තරං ඉඩ තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. //මල් නම් ජයරත්න කියනව වගේ ටොයොටා ගැන නැතුව වාහන ගැන කතාකරන්න බෑ// සහතික ඇත්ත...

      ඒ දවස් වල ට්‍රැෆික් හෝ පාකින් ප්‍රශ්න වගේම ඉන්ධන කාර්යක්ෂමතාව ගැන හිතන්න අවශ්‍ය නොවුණු නිසා හිතේ හැටියට ලොකුවට, මහතට, බරට කාර් හදන්න පුළුවන් වුණා. ඒකයි ඔය කාලේ වාහන වල හොඳට ඉඩ තියෙන්නේ.

      ප්‍රතිචාරයට ස්තූතියි ප්‍රසන්න අයියා. ඔයාගේ කමෙන්ට් එකක් නැති බ්ලොග් පෝස්ටුත් හරියට පරිප්පු නැති හෝටලේ වගේ තමා...

      Delete
  15. Wow oba thuma kiyala obata gaurawayen aamanthranaya karanna hithune. Oba athi alankaarawa mea waahana gana liayala thibena vinyasayata saha ehi gala ganeemata. Mama toyota car ekata sahenna aasa mokada ehi ithihaasaya saha owunge aprathihata dairya obe dannawa athi oya toyota companiya naththatama nathi wela aaye goda aawa companyak bawa. A nisai mama kamathi. Wisheshayenma obe danum sambaaraya comment kiyaweemen pahadunemi. Thawath arthawath lesa saha motivational paththata liyana men oben aadarayen illa sitimi
    Hashan

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි. මේ වගේ සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් ලියන්න අමාරුයි කියලා කට්ටිය හිතන විෂයක් සිංහලෙන් ලියලා ඒකට මෙහෙම උණුසුම් ප්‍රතිචාර ලැබෙන එක තරම් සතුටක් මට තවත් නැහැ.

      Delete
    2. Thuttu deke fb post walata vada Amila uthsahayak.Ape aya guda vaathayak giyath aketh puluwannam photo ekak hari vedio karala damana kaalayaka one uthsahaya ithamath agaya karanawa.

      Delete
    3. බොහෝම ස්තූතියි සුනෙත්...

      Delete
  16. ොයාගත්තු කතාය අහල තිබ්බ. Companඑක ගැන දැන ගත්කෙ අද

    ReplyDelete
    Replies
    1. වෙලාවක කොම්පැනිය ගැන දිගට ලියන්න ඕනේ...

      Delete
  17. කාර් ක්ෂේත්‍රයේ ටොයෝටා කියන්නේ නිකං හෝටල් ක්ෂේත්‍රයේ පරිප්පු වගේ තමා. මහ ලොකු රහකුත් නැහැ, ඒ වුණත් නැතුවත් බැහැ.

    එක පිළිගන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවා. මෙලෝ පෝෂණයක් නැහැ. ඒ වුණාට පරිප්පු නැති ලෝකයක් ගැන හිතාගන්නත් බෑ :)

      Delete
  18. මගෙ ලඟත් වොක්ස්වාගන් එකයි, ටොයොටා KE72 එකයි තියෙන්නේ මම දෙකටම ආදරෙයි. පලමු ආදරය හා වැඩි ආදරය VW එකට ඔයාගෙ ලිවීමේ ශෛලිය මාරයි ආ............

    ReplyDelete
    Replies
    1. ටොයොටා KE72 කියන්නේ සුපිරි වාහනයක්! ප්‍රතිචාරයට ස්තූතියි... :)

      Delete
  19. පලවෙනි කාර් එකේම 100 ට යනවා....සුපිරිනේ....කතාව නම් මරු...හිතල තේරුම් ගන්න දෙයක් නෑ.ඉබේම තේරුම් යනවා...එච්චරටම රසවත්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොෂේන්...

      Delete
  20. නියම විස්තරයක්. ටොයෝටා සමාගම මුලින්ම හැදුවෙ කොපියක් කියන එක දැනගත්තෙ අද. එතකොට අද චීන වාහන සමාගම් යන්නෙත් ඒ පාරෙ නේද? මේ සාකච්ඡාවට ලලිත් කරුණාරත්න මහත්තයවත් ඇදලා ගත්තා නං තවත් විස්තර එලියට එයි.

    ReplyDelete
    Replies
    1. මම මේ එතුමාගේ බුකි ප්‍රොෆයිල් එකට පොඩ්ඩක් ගොඩවෙලා ආවේ... අනේ මන්දා...

      චීන සමාගම් තාම යන්නේ ඒ පාරේ තමයි. මම හිතන්නේ ඒක තාක්ෂණික ගැටලුවකට වඩා මානසික ගැටලුවක්. කොහොම වුණත් ක්‍රියාකාරීත්වය අතින් ගත්තම චීන වාහන තාමත් ජපන් හෝ යුරෝපීය මට්ටමට නෑ කියන එක තමයි පොදු අදහස. හැබැයි මම තාම චීන වාහනයක් පැදලා නැති නිසා අත්දැකීමෙන් කියන්න බෑ.

      Delete
  21. කොච්චර ජර්මන් ඇමරිකන් යකඩ අස්පයොන්ට ආලේ කලත් ළඟ තියෙන ටොයෝටා එකේ මුත්තා ගැන කියෙව්වේ අද!

    ReplyDelete
    Replies
    1. ජපන් මුත්තලා ගැන තව තව දේවල් ලියවේවි. නිතර මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

      Delete
  22. පුලුවන් නම් වෙනසකටත් එක්ක, subaru/toyota එකතුවෙලා හදපු toyota GT86/Subaru BRZ ගැන හරි, ජපානෙ Drifting පටන්ගත්ත හැටි ගැන ලියන්න.

    ටොයොටා කියන්නෙ 2000GT, Celica, KE25/TE27, AE86, Supra, MR2, Lexus LFA, GT86 වගේ අමුතුම ලස්සන කාර් හදපු කොම්පැනියක්.

    ReplyDelete
    Replies
    1. මම අලුත් කාර් ගැන බ්ලොග් එකක් කරගෙන ගියා. නමුත් ඒකට වැඩිය මේකට ප්‍රතිචාර තියනවා. මේ බ්ලොග් එකේ උඩ දකුණු පැත්තේ ලින්ක් එක ඇති.

      මම පසු සටහන ලිව්වේ 2000GT කතාව මතුවෙන බව දන්න නිසා. ටොයෝටා බෝරින් කිව්වම හැම ටොයෝටා ෆෑන් කෙනෙක්ම විරුද්ධත්වයේ කතාව පටන්ගන්නේ ඒකෙන්. :)

      ප්‍රතිචාරයට ස්තූතියි ඉසුරු...

      Delete
  23. බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉදිරියටත් ලියන්න. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ධනුෂ්ක...

      Delete
  24. අද තමයි කාර් පිස්සුව බ්ලොග් එක හරියටම මීටර් උනේ
    මරු ඈ.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. බ්ලොග් ලෝකේ කට්ටිය ටිකින් ටික මේ පැත්තට එනවා දකින එක ලොකු සතුටක්...

      Delete
  25. සුපිරි !!!

    - මීට රහ නැති උනත් පරිප්පුම කන එකෙක්.. :)))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      පරිප්පු අපි කාටවත් මගඇරලා යන්න බෑ. මටත් සමහර විට දවසක පරිප්පු කන්න වේවි... :)

      Delete
  26. Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි කුමාර...

      Delete
  27. හැමදාම වගේ පෝස්ට් එක ෆස්ට් ඕනර්, ටින් බොඩි, අනර්ගයි..

    අවුරුදු විස්සක් තිස්සේ පාවිච්චි කරපු වාහන ගාන සෑහෙන ප්‍රමාණයක්. ජපන් වාහන ගැන විතරක් ගත්තාම දැනටත් ටොයෝටා එකකුයි නිසාන් දෙකකුයි හුන්ඩායි එකකුයි තියෙනවා විව්ධාකාරයේ ගමන් සඳහා.. ඒත් වැඩිපුරම ඩ්‍රයිවින් ප්ලේෂර් එකක් තියෙන්නේ නිසාන් වාහනේ මටනම්. ටොයෝටා වාහනේ කල්පැවැත්ම, වටිනාකම වගේ තැන්වලදී ඉදිරියෙන් හිටියට නිසාන් එක පදවද්දී දැනෙන වින්දනය වැඩියි.. කොරියන්ම එව්වනම්ම ඉතින් එළියේ තියන ලස්සන නැහැ රෙපෙයාර් එකකට ගැලෙව්ව්වම..

    යුරෝපියන් නිෂ්පාදනයක අයිතිකරු වෙන්න හීනයක් තිබුනත් පරණ අයිතිකාරයෝ කියන නඩත්තු වියදම් ගැන ඇහුවාම ඇඟේ රෝම කෙලින් වෙනවා කියමුකෝ.. ඒ නිසා ඒ හීනේ එළිකරන්න බයයි බයයි වගේ....

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි. කතාව ඇත්ත. හැබැයි ඒක යුරෝපියන් වාහන වල ප්‍රශ්නයක් නෙමෙයි. යුරෝපියන් වාහන ගන්නේ සල්ලිකාරයෝ කියන අදහස එක්ක යුරෝපියන් වාහන නඩත්තු කිරීම සහ අමතර කොටස් වෙළඳාම එක්තරා සුළු පිරිසකට සීමා වෙලා තියනවා. මේ සුළු පිරිස අතරින් බහුතරයක් අවාරේ අඹ වලට ගණන් කියනවා වගේ තමයි වැඩ වලට සහ පාට්ස් වලට ගණන් කියන්නේ. මේ අතරින් සමහරු කතා කළත් ගහගන්න එනවා. මේකත් යුරෝපියන් වාහන අපෙන් දුරස් වෙන්න හේතුවක්.

      Delete
  28. මොනවද ඉතින් වෙනදා වගේම එල ද බ්‍රා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩෝ...

      Delete
  29. මචං මට කොම්පැනියෙන් පොට්ට චාන්ස් එකක් ලැබුනා ජපානෙ ඔකාසාකි වලට දවස් 10 කට යන්න. ගියාම මම ගියා මිට්සුබිෂි , ටොයෝටා මියුසියම් දෙකක් බලන්න. ටොයෝටා මියුසියම් එකේ ඔය කියපු කාර් එකේ පින්තූරයක් විතරයි තියෙන්නේ. මම ඒක මේකෙ එල්ලානවා. මිට්සුබිෂිලගෙත් පින්තූර ටිකක් දානවා. වැද්ගත් නම් තියන්න. (මම නම් ටික වෙන්න ටොයෝටා ලවර් - මේ ගැන උඹගේ " දයාරත්න අංකල් ගේ මයිනර් කතන්දරේට

    ReplyDelete
  30. සොරි වෙන්න ඕනෙ. කොමෙන්ටුව් දැම්මට පස්සේ බැලුවේ ට්‍රයි එකක් දීලා. පිතූර ටික එල්ලන්න බැරිඋනා. තට්ටයා

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට ස්තූතියි... අපරාදේ ෆොටෝ ටික...

      Delete
  31. හොඳ විස්තරයක් තරිඳු. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියා...

      Delete