Monday, March 5, 2018

කතරගම Mini ගමන - සම්පූර්ණ, අවංක, ඇත්ත කතාව


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපැත්තේ නිල්ල නිලන කුඹුරු යායවල් වලට දවසේ පළවෙනි අවුරැල්ල ලාවට වැටෙනකොට හරියට අතීතයෙන් එනවා වගේ මඩ සුවඳ සහ ගව සම්පතේ සුවඳ මිශ්‍ර වුණු හීතල හුළං රැල්ලක් වාහනේ ඇතුළට ඇවිත් 'පරිස්සමෙන් ගිහින් එන්න' කියලා ආපහු යනවා.

සෑහෙන කාලයක් මම මේ සුන්දර සුබපැතුම වින්දේ බීට්ල් එකේ ක්වාටර් ග්ලාස් වලින්. ඒත් අපි මේ පාර යමින් හිටියේ මිනි එකේ. ඒ.සී. තිබුණත් උදේ පාන්දර තිබුණු සීතල නිසා ඒ.සී. දාලා තිබුණේ නැහැ. වීදුරු උස්සල තිබුණු නිසා අර මඩබර ප්‍රාර්ථනාව විඳින්න ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. නමුත් (අපේ හිතද මන්දා!) කිසිම වෙනසක් නැතුව, ඉරේ පළවෙනි රත්තරං කෙන්ද කුඹුරේ පළවෙනි ගොයම් ගහ වටේ එතෙන පරක්කුවට අපට ඒ සුවඳ දැනුණා.

කාර් පිස්සුව කොච්චර දුරකට අපේ ජීවිත ඔළුවෙන් හිටවලාද කියන එක දැනුණේ එතකොටයි!


බීට්ල් එකේ කතරගම ගිය ගමනේ ෆොටෝ එකක්

වරකාගොඩ පන්සල ගැන ලියපු පෝස්ට් එකේ ලියපු දේ කියලාම මම මේ සංචාරය ගැන කතාව පටන් ගන්නවා. කතරගම මිනි සංචාරයේදී අපි බලපු තැන් ගැන කියවන්න කැමති අය මේ පෝස්ට් එකේ මැද කොටස කියවන්න. මිනි එකත් එක්ක කිලෝමීටර් 600 ක් විතර ගිහින් අපි ලබාපු අත්දැකීම් ගැන විතරක් කියවන්න කැමති අය කෙළින්ම පෝස්ට් එකේ අග කොටසට යන්න.

හැබැයි මම කැමතියි කට්ටිය සම්පූර්ණ පෝස්ට් එක කියවනවා නම්! මොකද ගල්ගනේ පන්සල, බට අත කෘෂි තාක්ෂණ උද්‍යානය සහ සඳගිරිය ආරාම සංකීරණය වගේ තැන් ගැන කියවන්න ලැබෙන්නේ මෙහෙම පෝස්ට් එකකින් විතරයි. වෑන් වල පොල්මල් ගහගෙන ඉරි කපාගෙන දකින දකින ගඟේ බැහැගෙන තමන් බෝතල් ගණන් කෑන් ගණන් බැරල් ගණන් ටැංකි ගණන් බීපු/බොන හැටි ගැන පම්පෝරි ගහගෙන ට්‍රිප් යන කට්ටිය මේවට යන්නේ නැහැ. බොරු නම් තිස්සමහාරාම චෛත්‍යය පැත්තට සහ එතනින් හැරිලා සඳගිරියට යන පාර දෙපැත්ත හොඳට බලාගෙන යන්න (මේ කතාව ඉස්සරහට පැහැදිලි කරන්නම්).




අපේ කතරගම මිනි සංචාරයේ පළවෙනි ඉලක්කය වුණේ දෙවිනුවර උපුල්වන් දේවාලය. උපුල්වන් දේවාලය දැකගැනීමේ වුවමනාව මට තිබුණේ මම හිතන්නේ 2000 අවුරුද්දේ විතර ඉඳන්. සාමාන්‍ය පෙළ කරලා පුදුම සැහැල්ලුවකින් ගෙදර ඇවිත් මම ඉස්සරලාම අතට ගත්තේ මයුර සංදේශය. හොඳට සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනගෙන සිංහල ජාතිකවාදී දේශපාලනයේ තරුවක් වෙන ආසාවක් ඉස්සර මට තිබුණා. ඒ දවස් වල ඒ ගැන ලජ්ජා වෙන්න අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ, මොකද සිංහල බෞද්ධ දේශපාලනයේ නියෝජනයක් විදිහට තිබ්බේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග සහ මහාචාර්ය අභය ආර්යසිංහගේ මෙහෙයවීම යටතේ තිබුණු සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය විතරයි. ඒ මිනිස්සු බොහොම ශාස්ත්‍රීය මට්ටමින් ඒ වැඩේ කරගෙන ගිය නිසා අද ෆේස්බුක් එකේ කුණුහබ්බ කියන්න එන ජාතියේ අම්බරුවෝ ඒකට බැහැලා හිටියේ නැහැ. අම්බරුවෝ කුලප්පු කරන ට්‍රෙන්ඩ් එක ආවේ පස්සේ.

මාතර හම්බන්තොට පාර දිගේ මාතර ටවුමේ ඉඳන් හම්බන්තොට පැත්තට ගියර් කීපයක් මාරු කරනකොට දෙවිනුවර හම්බවෙනවා. උපුල්වන් දේවාලය සහ දෙවිනුවර පන්සල තියන භූමිය තියෙන්නේ පාර අයිනෙමයි. ඒ නිසා හොයාගන්න අපහසු නැහැ. තාප්පේ අයිනෙන් ඇතුළට දුවන පාරට හැරෙව්වම පහසු තැනක පාක් කරගන්න පුළුවන්. එතන පූජා වට්ටි සහ මල් බිස්නස් එක අර නවගමුව දේවාලය හෝ කන්දේ විහාරය වගේ තැන්වල වගේ 'අඩෝ අපෙන් ගනින් *&%^, ඇයි අපෙන් ගත්තම දෙයියෝ බලන්නැද්ද %^&*?' කියන මට්ටමට aggressive නැහැ. ඒ නිසා හිත කිළුටු කරගන්නේ නැතුව ඇතුළට යන්න පුළුවන්.




අපි ඇතුල් වුණු දොරටුව ගාවම තිබුණේ ඔත්පිළිම විහාරය. ඒත් ඉස්සරලම දේවාලය බලන ආසාව තිබුණු නිසා අපි කෙළින්ම ඇතුළට ගියා. ඉස්සරලා බුදුන් වැඳලා දේවාලයට යන්න කැමති අයට වඳින්න පුළුවන් තැන් ගොඩක් ඒ භූමිය පුරා විසිරිලා තියනවා. මේවයින් ඓතිහාසික තැන් සහ ඓතිහාසික නොවන තැන් වෙන්කරගන්න ටිකක් අමාරුයි. උදාහරණයක් විදිහට ධම්මපද විහාරය කියලා එකක් හදලා තියනවා, ධම්මපදයේ ගාථා නිරූපණය වෙන්න බිත්ති වැහෙන්න චිත්‍ර ඇඳලා. අපිත් ඉතිං ඒක ඇතුළේ රවුමක් ගහලා එළියට ආවා.



ධම්මපද විහාරය 

ධම්මපද විහාරයට පිවිසෙන තැන 

උපුල්වන් දේවාලය හරිම වෙනස් තැනක්. ඒකෙ වර්ණය, ගොඩනැගිලි සැලසුම, වටපිටාව වගේ ගොඩක් දේවල් ලංකාවේ සාම්ප්‍රදායික දේවාල වලට වඩා වෙනස්. දැනට තියන ඓතිහාසික තොරතුරු වලට අනුව ක්‍රි.ව. 660 කාලය ආසන්නයේ රජකරපු දප්පුල රජතුමා තමයි මෙතන මුලින්ම දේවාලය කරවලා තියෙන්නේ. පස්සේ පෘතුගීසීන් මේ ඓතිහාසික දේවාලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා. ඒ විනාශයෙන් ඉතිරි වුණු ගල්කණු මැද තමයි දැන් තියන දේවාලය ඉදිකරලා තියෙන්නේ. 

මේ ගැන සාමාන්‍ය මට්ටමේ විස්තරයක් දෙවිනුවර සිරිසුනන්ද හාමුදුරුවෝ ලියපු 'ඓතිහාසික දෙවිනුවර මහා පුදබිම' කියන පොතේ තියනවා. කැමති අයට මේ පොත ඔත්පිළිම විහාරයේ ආධාර එකතු කරන තැනින් ගන්න පුළුවන්. 






විහාර භූමියේ තියන අඩි 63 ක් උස බුදු පිළිමය තනවන්නත් සිරිසුනන්ද හාමුදුරුවෝ මූලික වුණා ලු. මේක හදවන්න (හදපු අවුරුද්ද සඳහන් කරලා නැහැ) ඒ කාලේ ලක්ෂ 45 ක් ගියා කියලා හාමුදුරුවෝ කියනවා. මේක 'කාර් පිස්සුව' නිසා මම ඒ ගැන මුකුත් කියන්න යන්නේ නැහැ.

එතනින් පිටත් වෙලා අපි ගියේ ගල්ගනේ ශෛලමය ගොඩනැගිල්ල බලන්න. මේක ගැනත් විස්තර සිරිසුනන්ද හාමුදුරුවන්ගේ පොතේ තියනවා. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ගූඪ තැන් වලට ආසා කරන අය මේ ගොඩනැගිල්ල සම්බන්ධ කරන්නේ රාම රාවණා පුරාවෘත්තයට. නමුත් රාම රාවණා යුද්ධයක් වුණා කියලා මෙලෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැති නිසා සහ කවියෙක්ගේ (වාල්මිකී) ඔළුවේ මැවෙන කතා ඇත්ත කියලා සලකන්න තරම් පිස්සුවක් මට නැති නිසා මම මේක ශිව දේවාලයක් කියලම හඳුන්වන්නම්. ෂුවර් එකටම මේක පොළොන්නරුව කාලයේ හැදුණු ශිව දේවාලයක් වෙන්න ඇති.




මේ භූමිය හරියට නඩත්තු වෙන්නේ නැහැ කියලා මාස කීපයකට කලින් ගම්වාසීන් පැමිණිලි කරපු ප්‍රාදේශීය පුවත් වාර්තාවක් දැනටත් YouTube එකේ තියනවා. හැබැයි අපි යනකොට නම් එතන ලංකාවේ අනික් ප්‍රධාන පෙළේ පුරාවිද්‍යා ස්ථාන තරමට හෝ ඊටත් වඩා හොඳට නඩත්තු වෙලා තිබුණේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එතන බලාගන්න තුන්දෙනා අතරින් කෙනෙක් වෙන දයානන්ද මහත්මයා බොහොම හොඳට අපට ඒ ස්ථානය ගැන විස්තර කරලා දුන්නා. ඒ විස්තර වෙනුවෙන් වගේම එතන හොඳට නඩත්තු කිරීම වෙනුවෙන් එතුමාට සහ එතුමා එක්ක ඉන්න අනික් පිරිසට අපේ ආචාරය...







මේ ගොඩනැගිල්ලේ ඉතිහාසය ගැන වැදගත් ලිපියක් Amazing Lanka වෙබ් අඩවියේ තියනවා (amazinglanka.com/wp/galgane). ඒකෙ ක්‍රෙඩිට් දාලා තියෙන්නේ කිශානි එස්. ප්‍රනාන්දු - ඩේලි මිරර් කියලා. වැඩිදුර විස්තර දැනගන්න කැමති අය මේ ලිපිය කියවලා බලන්න.

අපි මිනි එක පාක් කළේ ගල්ගනේ පුරාණ රජමහා විහාර භූමිය එහාපැත්තෙ. මුළු පන්සලටම හිටියේ අපි විතරයි. පන්සලේ ඓතිහාසික වටිනාකම සහ ඒකට අලුතින් එක්කරලා තියන දේවල් ගැන පුංචි විස්තරයක් අහගන්න වත් කවුරුවත්ම පන්සලේ හිටියේ නැහැ. ඒ නිසා ඉදිරියේදී කතරගම පැත්තේ යන අය විවේකයක් තිබුණොත් මේ පන්සලටත් ගොඩවෙලා යන්න කියලා ඉල්ලනවා. 








එතනින් පිටත් වෙලා එළියට ආවට පස්සේ අපේ ඊළඟ ඉලක්කය වුණේ බඩගිනි වෙනකල් මිනි ගමන ආස්වාදනය කරන එක තමයි. මේ ගමනේ කාර් එකේ වැඩකිඩ ටිකක් හොඳට පරීක්ෂා කරන්න පුළුවන් ටික තමයි මාතර ඉඳන් චිත්‍රාගල හන්දිය ඉස්සරහින් වීරවිල පැත්තට හරවනකල් තියන කොටස. හයිවේ එක දිගේ කතරගම යන ගමනකදී මුණගැහෙන ට්‍රැෆික් බාධා, වංගු, වළවල්, පදිකයන් සහ කන්ටේනර් / ටිපර් සහිත කොටස තමයි මේ. මේ ගැන විස්තර මම මීට කලින් ලියපු '9 ශ්‍රී 5333 කතරගම ගමන' ලිපි මාලාවේ කතා කරලා තියනවා.

බටඅත පැත්තට කිට්ටු වෙද්දී තමයි බඩගින්න ලාවට දැනුණේ. අපි සාමාන්‍යයෙන් කෑම වර්ග සහ කෑම කඩ ටෙස්ට් කරලා බලන්නත් ආසා නිසා ඉඩක් ලැබුණු ගමන් වෙනස් විදිහේ තැනකින් කෑම කාලා බලන්න උත්සහ කරනවා. එහෙම තැනක් හොයහොයා යද්දී තමයි බටඅත කෘෂි තාක්ෂණ උද්‍යාන පරිශ්‍රයේම තියන 'කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළ බොජුන් හල' දැක්කේ.




මේ කෘෂි තාක්ෂණ උද්‍යානය ගැන අපි දැනගෙන හිටියේ නැහැ. ඒ වුණාට ආපනශාලාව දැක්ක ගමන් අපට හිතුණා මෙතන නම් ටෙස්ට් කරලා බලන්න අවශ්‍යයි කියන එක. එතන බෝඩ් එකේ ගහලා තිබුණු හැටියට ඒක කරගෙන යන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහනකින්. එතන එකම වහලක් යට කෑම කඩ කීපයක් තියනවා. බත් නම් නැහැ, ඒ වෙනුවට වෙනත් ආහාරපාන බොහොමයක් තිබුණා. සියලුම දේවල් කෙරෙන්නේ කාන්තාවන් අතින්. අපි යන වෙලාවෙත් උපදේශිකාවක් එතන කාන්තාවන්ට විවිධ කෑම වර්ග හදන හැටි ගැන කියලා දෙනවා.

කැවුම්, කොකිස්, ආස්මි, පැණි වළලු වගේ දේවල් එක්ක ඉඳිආප්ප, වඩේ, කට්ලට් වගේ කෑම වර්ගත් නැවුම් පලතුරු බීම වර්ග සහ බෙලිමල් වගේ පාන වර්ගත් එතන තිබුණා. අපි ගත්තේ හාල්පිටි ඉඳිආප්ප, පොළොස් කට්ලට්, උඳු වඩේ සහ මිශ්‍ර ධාන්‍ය වඩේ එක්ක බෙලිමල් සහ දිවුල් බීම. උද්‍යානය බලලා එනගමන් තව ලෙමන් වීදුරුවක් සහ පැෂන් ෆෘට් වීදුරුවක් බිවුවා.




ඉතාම අවංකව කියනවා නං ලංකාවේ ගිය ගමනකදී කෑම ගත්තු හොඳම තැන් වලින් එකක්. කෑම හරිම ප්‍රණීතයි. කෑම හදන විදිහ පිරිසිදුයි. වැඩ කරන අය සුහදයි. ඉඳගන්න හොඳට ඉඩකඩ තියනවා. ටිකක් එහාට වෙන්න පිරිසිදු වැසිකිළි පහසුකම් තියනවා. ඒ නිසා යන වෙලාවක මෙතන නැවතිලා කෑම ටිකක් කාලා මොනවා හරි බීලා යන්න කියලා මේ පාරෙන් කතරගම යන අයට කෞශිත් මාත් ආරාධනා කරනවා.

කෘෂි තාක්ෂණ උද්‍යානය ගැන දැනගෙන හිටියේ නැති නිසා ඒක බලලම යනවද නැද්ද කියන එක ගැන අපට දෙගිඩියාවක් තිබ්බා. නමුත් මේ ආපනශාලාව මෙච්චර හොඳ නම් උද්‍යානයත් විශේෂ ඇති කියලා හිතෙන නිසා බලලාම යන්න ඕනේ කියලා අපි තීරණය කළා.

සංචාරයකදී ගත්තු හොඳම තීරණයක් තමයි ඒක.







උද්‍යානය හරිම විශාලයි. හරිම විධිමත්. හරිම පිරිසිදුයි. අක්කර ගාණක් පුරාවට එක එක පලතුරු, එළවලු, පලා වර්ග,  අල වර්ග, බෙහෙත් වර්ග ඇතුළු ගොඩක් දේවල් වගා කරලා. හැම තැනම වගේ අදාළ ශාක වර්ග ගැන විස්තර තියන පුවරු හිටවලා තියනවා. උද්‍යානය කලාප වලට වෙන්කරලා තියෙන්නේ. කොම්පෝස්ට් හැදීම වගේ දේවල් ගැන උපදෙස් දෙන පුවරුත් තියනවා. ඊට අමතරව ඇතුළේ කෘෂි උපකරණ කෞතුකාගාරයකුත් තියනවා. ලොකු කෞතුකාගාරයක් නම් නෙමෙයි. නමුත් දැනගත යුතු වැදගත් දේවල් කීපයක් එතනත් තියනවා.

රටේ කෘෂිකර්මය ගැන ඇත්තටම උනන්දු අය, ඒ ගැන උනන්දු වෙන හෝ ඉගෙන ගන්න දරුවෝ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වගේම රටේ කෘෂිකර්මාන්තය විනාශ වීම ගැන යටිගිරියෙන් කෑ ගගහා ගෙදරට වෙලා ඉන්න නිකම්මු වගේ සියලු දෙනාම මේක බැලිය යුතුමයි.
















උද්‍යානයට ඇතුළු වෙන ටිකට් එක රුපියල් 20 යි. කාර් පාක් එකේ වාහනේ පාක් කරනවට වෙනම රුපියල් 50 ක් ගන්නවා. මේ නිසා සෑහෙන පිරිසක් වාහන පාරේ පාක් කරලා ඇවිත් කෑම කනවා අපි දැක්කා. කොටින්ම ඉතාම අලුත් වාහනේක ඇවිත් වාහනේ පාරේ පාක් කරලා, තමන්ගේ දරුවට පාක් එකේ වැටට චූ කරන්න පහසුකම් සලසා දුන්නු පීතෘ රත්නයකුත් අපි දැක්කා. හදිස්සියක් වෙලා එහෙම නෙමෙයි. පියවරු සහ පුත්තු ඒක බොහොම විවේක පාඩුවෙන් තමා කළේ. ඒ වගේ තුප්පහි වැඩ කරන්න එපා කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා. මොකද ඒ මිනිස්සු ඒක පවත්වාගෙන්න යන්නේ සෑහෙන කාර්ය මණ්ඩලයකට පඩිනඩි ගෙවාගෙන.

පාක් එක බලන්න අපට පැය ගාණක් ගියා. ඇත්තම කියනවා නං ආපහු කාර් එක තියන තැනට එද්දී අපි දෙන්නගේ සෙරෙප්පු පවා කැඩුණා. පාක් එක ඇතුළේ ඒ තරම් දුරක් ඇවිදින්න වගේම ඒ තරම් දේවල් බලන්න තියනවා. මේ විදිහට අනපේක්ෂිත තරම් වෙලාව ගතවුණු නිසා අපි කෙළින්ම කතරගම පුරවරයට යන්න තීරණය කළා.


උද්‍යානයේ පාක් එක


යන අතරමග නිකමට වගේ තිස්ස වැව ගාව නතර කළ යුතුයි කියලා හිතුණේ විශේෂ දේකට නම් නෙමෙයි. ට්‍රිප් වලදී ගංගා වල බැහීම, ගං ඉවුරේ ඉඳන් කෑ ගැහීම, බෝට්ටු සවාරි යෑම සහ බැදපු මාළු කෑම වගේ දේවල් වලට අපේ එච්චර මනාපයක් නැහැ. නමුත් මේ පාර වැව් ඉවුරේ පොඩ්ඩක් නතර වෙලා ඉස්පාසුවේ වැව් හුළඟ රසවිඳලා ගියොත් හොඳයි කියන එක යෝජනා කළේ කෞශි.

මම හිතන්නේ එතනදී තමයි අපි දෙන්නා ට්‍රිප් එකේ iconic ම ෆොටෝ එක ගත්තේ.

කාර් පිස්සුව ඇතුළේ අපි දෙන්නගේ මූණු ප්‍රමෝට් කරන්නේ නැති හින්දා මම ඒ ෆොටෝ එක දාන්නේ නැහැ. ඒ වෙනුවට එතනදී ගත්තු, මිනි එකේ ෆොටෝ දෙකක් විතරක් මෙහෙම දානවා.





සාම්ප්‍රදායික ලෝකය මැද්දේ වුණත් අපට වුවමනා හැටියට ජීවිතය විඳින්න අපට පුළුවන් කියලා අපට එතනදී හිතුණා.

එතනින් පිටත් වෙලා අපි කෙළින්ම ආවේ කතරගම පුරවරයේ අපි නතරවුණු, ලංකා බැංකුවේ සුභසාධක සංගමයෙන් කරගෙන යන Ceybank Rest එකට. ඒක සුපිරි හෝටලයක් නෙමෙයි. ඒ වුණාට සාධාරණ මිලකට සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ නවාතැන් පහසුකම් තියන, බුෆේ ක්‍රමයට රසවත්, vegetarian කෑම ගන්න පුළුවන් ආපනශාලාවකුත් තියන හොඳ නවාතැනක්. කතරගම ගමනකදී මධ්‍යම මිල මට්ටමේ නවාතැන් හොයන අය මෙතන ගැන උනන්දු වුණාට වරදක් නැහැ.


කතරගම Ceybank Rest house එක 

උදේ කෑම 

කාර් පාක් එක 



එදා හවස කතරගම දේවාලයේ සහ කිරිවෙහෙරේ දැවැන්ත පූජාවක් තිබුණු නිසා කිරිවෙහෙරට ගොඩවෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පහුවදා උදේ තමයි අපි කිරිවෙහෙරේ ගිහින් කතරගම දේවාලයටත් ගියේ. සෙනසුරාදා උදේ පාන්දර පූජාව නැහැ. 9.30 ට තමයි පූජාව පටන්ගන්නේ. ඒ වෙලාවට පූජාවට ඉඳලා ආපහු නවාතැනට ඇවිත් අපි  එන්න පිටත් වුණා.







එන ගමනේදී අපේ ඉලක්කය වුණේ එකම එක තැනයි. ඒ තමයි සඳගිරි ආරාම සංකීර්ණය.

ක්‍රි.පූ. 2-3 සියවස්වලදී රුහුණේ ප්‍රථම පාලකයා වුණු මහානාග මේ ආරම සංකීර්ණය කෙරෙව්වා කියලා තමයි සමහර  ඓතිහාසික වාර්තා වල තියෙන්නේ. මෙතන තියන විශාල දාගැබ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්  අවුරුදු 15 ක විතර කාලයක් ප්‍රතිසංස්කරණය කරලා 2016 අවුරුද්දේ විවෘත කළා කියලා ada.lk වෙබ් අඩවියේ පළවුණු ලිපියක තියනවා (www.ada.lk/article/141707/ඓතිහාසික-සඳගිරි-සෑයට-නව-පෙනුමක්).




ඒ වගේම මේ ගැන කෙටි, ඒත් වැදගත් විස්තරයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තියනවා. එතන සඳහන් වෙන්නේ මෙහෙමයි.

"සඳගිරිය ස්තූපය ‍රෝහණ‍යේ මහානාග රජු‍ගේ නිර්මාණයක් ‍හෝ කාවන්තිස්ස රාජ්‍යය සමයේ දී කළ බවට පිළිගැ‍නේ. වංශකථා සාධක අනුව I වන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 – 1110) සඳගිරි විහාරය ‍හෙවත් චන්දන විහාර ස්තූපය ප්‍රතිසංස්කරණය කර වූ බව පැහැදිළි ය. ක්‍රි.ව. 2 වන සියව‍සේ ශ්‍රී මහා ‍‍‍බෝධි ‍රෝපණ උත්සව‍යේ දී ලද අෂ්ටඵල බෝධීන්ගෙන් එක් ශාඛාවක් චන්දන ග්‍රාම‍යේ ‍රෝපණය කළ බව කියැ‍වේ. මෑතක දී කරන ලද සඳගිරිය කැණීම්වලදී විශාල ‍බෝධිඝරයක් හඳුනා‍ගෙන ඇති අතර ‍පෙර කී ‍බෝධි වෘක්ෂය රෝපණය කළ ‍බෝධිඝර ‍මෙය විය හැකි බවට ද මත ඉදිරිපත් වී  ඇත. ‍මෙම බෝධිඝරයට සමීපව පිළිම‍ගෙයක සාධක ද නිශ්චිතව ම හඳුනා ගැනීමට අසීරු නටඹුන් ගොඩැලි කිහිපයක සාධක ද‍ වේ. ‍මෙකී විහාරයට ආසන්න ව අටපට්ටම් ශිලා ස්ථම්භයක භතිකාභය රජු‍ගේ පුතෙකු‍ගේ හා වසභ රජුට අයත් ‍ලේඛන වේ. එම ‍ලේඛන අනුව, දුරතිසා වැ‍වේ අය බදු ද අබගමක වැව ද පතිගම කුඹුරු ද විහාර පූ‍ජෝත්සවයට පූජා කළ බව සඳහන් වේ." (www.archaeology.gov.lk)

මේ ලිපි දෙකේ සියලු හිමිකම් ඒ රචකයන් සහ ආයතන සතුයි.




කතරගම ඉඳන් ආපහු හම්බන්තොට පැත්තට එද්දී තිස්ස වැවේ පාලම පේන මානෙන් තිස්සමහාරාමේ චෛත්‍යය තියන පැත්තට හැරෙන්න තියන පුංචි පාරට හරවලා ටික දුරක් ගියාම ඒ චෛත්‍යය පේන්න ගන්නවා. එතන බෝඩ් එකක් ගහලා තියනවා, සඳගිරි ආරාම සංකීර්ණයට යන පාර පෙන්නලා. ඒ ළඟම තිස්ස වැවේ දිය පාරක් ගලන නිසා පිස්සුවෙන් වගේ දිය නාන බැතිමත්තු ඒ දෙපැත්තේ පිරිලා. ඒ නිසා පාරේ යන්න ඕනේ හරිම පරිස්සමෙන්. ඒ වෙලාවට එයාලා පාර පනින්නේත් පීනනවා කියලා හිතාගෙන. 

වෙල් යායක් මැදින් වැටුණු පුංචි පටු පාරක් මැදින් තමයි සඳගිරියට යන්න තියෙන්නේ. ගම්වාසීන් ඇර කවුරුවත් ඒ පැත්තට යන බවක් පේන්න තිබ්බේ නැහැ. ඒ කිට්ටුවට යනකොට සඳගිරියේ චෛත්‍යය සාඩම්බර ලීලාවෙන් දිස්වෙන්න ගන්නවා.



ෆොටෝ එක ගත්තේ සඳගිරිය පැත්තේ ඉඳලා. අර පේන්නේ තිස්ස චෛත්‍යය.  

කාර් පාක් එකේ බලුබල්ලෙක් නොහිටිය නිසා අපි වාහනේ දැම්මේ සැකයෙන්. තණකොළ වැවිලා තියන හැටියට වාහන එන බවක් පෙනුණේ නැති නිසා අපි හිතුවා ඒකත් පුරාවිද්‍යා භූමියක් වත්ද කියලා. බෝඩ් එක දැක්කේ පස්සේ.

සඳගිරිය භූමිය ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් යුක්තයි. ඒ තමයි දාගැබ, බෝධිඝරය, ජන්ථාඝරය, උපෝසථඝරය සහ පිළිමගෙය. මේක විශාල භූමියක්. ඒ අතර මැද්දේ මිනිස්සු ගෙවල් හදාගෙන ගම්බිම් බිහිවෙලා නිසා ආරාම සංකීර්ණය කෑලි වලට කැඩිලා තියෙන්නේ. ඒ අතරේ කැණීම් නොකළ තැන් අනන්ත ඇති. අලුතින් කැණීම් කරපු තැන්වලට යනකොට ඒ තැන්වල සතා සරුපයා ඇතියි කියලා හිතෙනවා. ඒ වගේම මිනිස්සු එන එක කොච්චර අඩුද කියනවා නං එතන ඉන්න බල්ලන්ට මිනිස්සු හුරු නැති නිසා දැක්කම බුරනවා.




කොහොම වුණත් මධ්‍යම සංස්කෘතික අරමුදල කරලා තියන මෙහෙවර ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම දාගැබ ප්‍රතිසංස්කරණය කරලා, අඩියෙන් අඩියට විස්තර පුවරු හයි කරලා, දාගැබේ අනුරුවකුත් හදලා විස්තර කරලා තියන හැටි දැක්කම අපේ හිතේ ඇතිවුණේ පුදුමාකාර ගෞරවයක්. පුරාවිද්‍යාව ගැන උනන්දු වෙන කෙනෙකුට මෙතනින් ඉගෙනගන්න තියන දේවල් අනන්තයි.

ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලන්නේ. කතරගම ආපු වෙලාවක මෙතනට ඇවිත් යන්න. හැබැයි වනසන්න එපා. වඳින්න එන අය වඳින්න, ඉගෙනගන්න එන අය ඉගෙනගන්න. විනෝදෙට එන අය ඇවිත් බලලා යන්න. හැබැයි මේ උරුමය හෙටට ඉතුරු කරලා යන්න.















හරි... දැන් අපි කතාකරමු මිනි එක ගැන. 

මිනි එකේ driving experience එක ගැන මම මීට කලින් ලියපු, වරකාගොඩ ගල්ලෙන විහාරයට ගිය සංචාරය ගැන ලිපියේ කතාකරලා තියනවා. මම කතරගම ගමනේදී මූලික අවධානය යොමුකළේ බීට්ල් එකයි මිනි එකයි අතර සංසන්දනයක් කරන්න. මොකද මේක තමයි මම මිනි එකත් එක්ක ගිය පළවෙනි දීර්ඝ ගමන. (ඒ වගේම මම මිනි එකේ පාට වෙනස් කළා. දැන් තියෙන්නේ රතු පාට සහ සුදු පාට. ඒකත් හොඳ කතාවක්. වෙලාවක් ආවොත් ලියන්නම්).

කොච්චර හිත හදාගන්න උත්සහ කළත් මට මේ වාහන දෙක සංසන්දය කරන ලිපියක් ලියන්න අමාරුයි. මොකද මිනි එකේ විසේකාර බවට මගේ හිත බොහොම තදට ඇදිලා තියෙන්නේ. අනික් අතට බීට්ල් එකේ තියන ළෙන්ගතු බව මට මිනි එකෙන් දැනෙන්න නැහැ. ඒ නිසා මම සෘජුවම සංසන්දනයක් කරනවා වෙනුවට, සංක්ෂිප්තව, මිනි එකත් එක්ක කිලෝමීටර් 600 ක් විතර යාමේ ආනන්දය විස්තර කරන්න උත්සහ කරන්නම්. සංසන්දනය කරන්න කැමති අය මේකත් එක්කම මම බීට්ල් එකේ කතරගම ගිය ගමන ගැන ලියපු ලිපි තුන කියවන්න.




පහසුව:
ගොඩක් දෙනෙක් මිනි එක ගත්තු දවසේ ඉඳන් මගෙන් ඇහුවේ ඕකේ අතපය දිගඇරලා යන්නේ කොහොමද කියන එක. අඩු තරමින් තුන් දෙනෙකුට හොඳට අතපය දිගඇරලා, පෞද්ගලික බඩුභාණ්ඩ ටිකකුත් අරගෙන දුර ගමනක් යන්න මිනි එක ඉහටත් උඩින් ප්‍රමාණවත් බව මම කොච්චර කිව්වත් එයාලා පිළිගන්නේ නැහැ. අපි දෙන්නගේ ගමන් මල්ල වගේම වාහනේ නඩත්තුවක් අවොත් අවශ්‍ය වෙන ආවුද ටික, අමතර එන්ජින් ඔයිල්, බ්රේක් ඔයිල් සහ කූලන්ට් වගේ දේවල්, තව පොඩි පොඩි අඩුමකුඩුම වගේ සේරම අපි ගෙනිච්චා.

කොහොම වුණත් බීට්ල් එක එක්ක සංසන්දය කරනකොට පහසුව හෝ අපහසුව කියලා විශේෂ වෙනසක් මට දැනුණේ නැහැ. හැබැයි අලුත් ජපන් ඇල්ටෝ එකක කතරගම ගිහින් ආපු ගමන මේ දෙකටම වඩා වෙහෙසකර වුණා මට මතකයි. මොකද අලුතින් එන ඔය වගේ මූලික මට්ටමේ වාහන බොහොමයක ඇතුළත හරියට හන්දියේ ටියුෂන් පන්තිය වගේ රළුයි.

සස්පෙන්ෂන් පද්ධතියක් කියලා තියෙන්නේ රබර් කෝන් 4 ක් කියන එක ටිකක් හරි දැනුණේ වීරවිල හන්දියෙන් හරවලා ඇතුළට ගිය පොඩ්ඩේදී විතරයි. කවදාහරි දවසක ඈත දුෂ්කර පාරවල් වල යද්දී නම් පොඩ්ඩක් අපහසුවක් දැනේවි කියලා ඒ ටිකේදී හිතුණා. නමුත් අලුතින් එන සමහර ඉන්දියන් ඩබල් කැබ් වගේ දේවල් එක්ක සංසන්දය කරද්දී මිනි එකේ ගමන පරෙයි පිහාට්ටක් උඩ පාවෙන වරාමලක් වගේ.




වේගය:
ගැලනිගමින් ඇතුළට දාලා මාතර පැත්තට යද්දී මම 80 ත් 90 ත් අතරේ තමයි ගියේ. මොකද මිනි එකත් එක්ක ලොකු දුරක් ගිහිල්ලා තිබුණේ නැති නිසා එකපාරටම වාහනේට ලොකු බරක් දෙන්න මගේ හිත නැමුණේ නැහැ. නමුත් එද්දී මම මාතර ඉඳන් වැලිපැන්නටත්, ඊට පස්සේ වැලිපැන්නේ ඉඳන් ගැලනිගමටත් 100 ට ආවා. සයිලන්සරේ පොඩ්ඩක් sporty එකක් නිසා ඒකෙන් එන අතිරේක ශබ්දය ඇරෙන්න වාහනේ කිසිම අපහසුවක් හෝ අසාමාන්‍යතාවක් දැනුණේ නැහැ. මම ඉස්සර හිතන් හිටියේ 100 ට එනකොට කාර් එක ගොඩක් unstable වේවි කියලයි. සීයේ වේගෙන් පළවෙනි කිලෝමීටර් දහය පහළව යද්දී කාර් එකේ stability එක ගැන මටත් පුදුම හිතුණා. එතනින් තමයි මට දිගටම 100 යන්න ආත්ම විශ්වාසය ආවේ. එතනින් එහාට මම උත්සහ කළේ 100 පනින එක නවත්තන්න විතරයි.

රේස් පදින්න පුළුවන් විදිහට මොඩිෆයි කරපු මිනි 100 පන්නලා යන එක සාමාන්‍ය දෙයක් (එහෙම මිනි කීපයක පින්තූර මම කටුකුරුන්ද ගමන ගැන ලියපු පෝස්ට් එකේ ඇති). නමුත් මගේ මිනි එක එහෙම මොඩිෆයි කරලා නැහැ. ඒ නිසා සාමාන්‍ය මිනි එකක හැකියාවන් ගැන මට ඇත්තම පුදුම හිතුණා.

(වගකීම්සහගත රියදුරන් විදිහට අපි වේග සීමාව ඉක්මවන එක නොකළ යුතුයි. ඔය වීරයෝ විදිහට 'අපි එකසිය හැටට ගියා' කියන අම්බරුවෝ හින්දා තමයි අහිංසක ජීවිත අකාලේ නැතිවෙන්නේ. ඒ නිසා ප්ලීස්, වීරයෙක් වෙන්න ඕනේ නම් ගිහින් අසරණ මිනිස්සුන්ට උදවු කරන්න. මරාගෙන මැරෙන්න හදන්න එපා).




Handling:
මෙන්න මෙතන තමයි මම මිනි එක ගැන පිස්සු වැටුණු තැන. ඒ වගේම මෙතන තමයි මම හිතන්නේ බීට්ල් එකට වඩා මිනි එක ටික ඉස්සරහින් ඉන්න තැන. රියදුරා හැටියට මම දෙන inputs වලට බීට්ල් එක ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඒකට ගතවන කාලයත්, මිනි එක ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඒකට ගතවන කාලයත් සපුරාම වෙනස්. මිනි එක හරිම ක්ෂණිකයි. උදාහරණයක් විදිහට මට වංගුවක් ගන්න ඕන වුණාම ඒ වංගුව දැකලා මගේ මොළය එතනදී කළයුතු දේවල් මොනවාද කියන එක තීරණය කරලා ඒකට අනුව මම වාහනේට දෙන විධාන තීරණය කිරීම සහ වාහනය ඒකට ප්‍රතිචාර දැක්වීම අතර සැලකිය යුතු පරතරයක් නැති තරම්. ඒ නිසා සාමාන්‍ය වේගයක් පවත්වාගන්න අතරම ආත්ම විශ්වාසය ඇතුව corner කරන්න පුළුවන් වෙනවා.

බීට්ල් එක මීට වඩා leisurely කටයුතු කරන වාහනයක් කිව්වොත් මම වැරදි නැහැ. අනික් අතට වංගු වලදී එහෙම වේගෙන් යන අවස්ථාවකදී බීට්ල් එකේ හැසිරීම ගැන අපි ටිකක් අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. මේක rear engined වාහන වලට ආවේණික දෙයක් වෙන්න ඇති. මේ නිසා අපට ඒ තත්ත්වයට ගැළපෙන්න වේගය අඩු කරන වෙනවා වගේම, අපේ විධාන සහ ඒකට කාර් එක දක්වන ප්‍රතිචාර අතර තියන සියුම් gap එකට ලෑස්ති වෙලා ඉන්නත් වෙනවා. එතකොට අපේ cornering speed එක අඩුවීම සාමාන්‍යයි. මම හිතන්නේ මේක oversteer සීමාවට එහා ගිය දෙයක් විදිහටයි. Rear wheel drive කාර් වල oversteer ගතිය සාමාන්‍ය දෙයක් වුණත් මේකට rear engined සාධකයත් ආවම මේකේ pendulum affect එක එනවා (කාර් එකේ පස්ස pendulum එකක් වගේ පැද්දීම). බීට්ල් එක වගේ සාමාන්‍ය passenger car එකක  මේක මහා දෙයක් නොවුණත් මේක අපේ ආත්ම විශ්වාසයට කිසියම් බලපෑමක් කරනවා. සාමාන්‍ය බීට්ල් එකක් එදිනෙදා තත්ත්වයන් යටතේ එළවද්දී oversteer ගැන වදවෙන්න අවශ්‍ය නැතත් බරපතළ වංගු වලදී කාර් එක Mini එක තරමටම stable නැහැ.  මේක සීයට සීයක් සාධාරණ සංසන්දනයක් නොවුණත් අවංකව කිව්වොත් මේකෙන් driving pleasure එකේ පොඩි එහාමෙහාවක් වෙනවා කියලයි මට හිතෙන්නේ (මේකට අපි drive කරන විදිහ සෘජුව බලපානවා කියන එක අපි අමතක කළ යුතු නැහැ).

හැබැයි මිනි එක ගන්නකල්ම මට මෙහෙම දෙයක් දැනුණේ නැහැ. කොටින්ම මීට කලින් එළවපු වාහන බොහොමයකට වඩා හොඳට බීට්ල් එක handle කරනවා. සමහර විට මට මෙහෙම දැනෙන්නේ මිනි එකේ front engined සාධකය නිසා වෙන්න ඇති. අනික ඉස්සර ඉඳන්ම මිනි එක handling සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. ඒ අතින් ගත්තම මම මේ දෙක මෙහෙම හරි සංසන්දනය කරන එක බීට්ල් එකට කරන අසාධාරණයක්.




ප්‍රතිරූප සහ ප්‍රතිචාර:
ඉතාම සරලව කියනවා නම් මේ දෙක ලෝක දෙකක්. මේ දෙකම මගේ මූණට හැමතිස්සෙම හිනා රැල්ලක් ගේනවා. ඒ වගේම විශේෂ ස්ථාන වලට ගිහින් ඒවා එක්ක ෆොටෝ දාන එක කාර් පිස්සුවට අනන්‍ය ලක්ෂණයක් නිසා මම ඒ පැත්තත් කල්පනා කළ යුතුයි.

අවංකව කිව්වොත් ෆොටෝ වලට ලස්සන බීට්ල් එක මිසක් මිනි එක නෙමෙයි. මම හැමදාම කියන්නේ අවට පරිසරය එක්ක මුසු වීමේ අපූරු හැකියාවක් බීට්ල් වලට තියනවා කියන එකයි. බීට්ල් එක හරියට මල් ගොමුවක වහන සමනලයෙක් වගේ. මිනි එක හරියට සීනි ගෝනියකට වැටුණු ලොලිපොප් එකක් වගේ.

හැබැයි මිනිස්සුන්ගේ ප්‍රතිචාර ගත්තොත් මිනි එකට තියන ප්‍රතිචාර වැඩියි. ඒ වුණාට ඒ ප්‍රතිචාර බීට්ල් එකට ලැබෙන ප්‍රතිචාර වගේ අහිංසක නැහැ. හැමෝටම වුවමනා කරන්නේ අඩුවට එකක් ගන්න හැටි දැනගන්න මිසක් කාර් එකේ driving pleasure එක ගැන දැනගන්න නෙමෙයි. මිනි එක දැන් status symbol එකක් වෙලා. අනික් අතට බීට්ල් එක ගැන උනන්දු වෙන අය බොහොමයක් එන්නේ තමන්ගේ හෝ තමන්ගේ පවුලේ කෙනෙක්ගේ බීට්ල් එකක් ගැන ආදරණීය කතාවක්, මතකයක් හෝ හීනයක් එක්ක.

කාර් මොඩ්ල් එකෙන් මොඩ්ල් එකට මේ කතා වෙනස් වෙන හැටි ඇත්තටම පුදුමයි. මට මතක් වෙනවා මම මයිනර් එකයි බීට්ල් එකයි එකට පාවිච්චි කරන කාලේ මේ කතා සංසන්දය කරපු හැටි.




සාරාංශය:
මිනි වල දුර ගමන් යන එක ජීවිතේ අනිවාර්යෙන්ම එකපාරක් හෝ විඳින්න ඕන අත්දැකීමක් බව කෞශියි මායි ඔන්න ඔප්පු කළා. ඒ වගේම මිනි එක කොච්චර addictive ද කියන එකත්, කාර් පිස්සුව එක්ක ළඟින් ඉන්න අයට තේරෙනවා ඇති. 

බීට්ල් එකට වගේම මිනි එකටත් ආවේණික වාසි සහ අවාසි තියනවා. නමුත් මේ දෙක සෘජුව සංසන්දය කිරීම වැරදියි. මේ දෙකම ඕන තැනක යන්න පුළුවන් වාහන, හැබැයි දුෂ්කර මාවත් වලදී බීට්ල් එකට කරන්න පුළුවන් දේවල් මිනි එකට කරන්න බැහැ. ඒ නිසා දුර ගමනක් යද්දී මිනි එකේ යනවා නං පාර ගැන කල්තියා හොඳට හොයන්න ඕනේ (වචන දෙකයි- Ground clearance). බීට්ල් එකේ එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඒක ඇත්තටම ලංකාව වගේ රටක සැලකිය යුතු සාධකයක්.




අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි.

මේ ගමන ගියා කියලා බීට්ල් එකට මගේ තියන ආදරය බින්දුවක් අඩු වුණේ නැහැ.

හැබැයි මිනි එකට තියන ආදරේ සෑහෙන්න වැඩි වුණා...  

තරිඳු ශ්‍රී ලොකුගමගේ
05.03.2018
www.facebook.com/CarPissuwa

පසු සටහන: උදව්වක් හැටියට 'පවු බං ඉබ්බා', 'ඉබ්බාට කුඩම්මාගේ සැලකිලි', 'ඉබ්බා හාමතේ', 'ඉබ්බා ලොක් වෙලා' වගේ කතා කියන්න එපා. හෙමින් සීරුවේ මම කියන දේ තේරුම් ගන්න බලන්න. බීට්ල් එකයි මිනි එකයි දෙකම ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්ලැසික් කාර් නිසා මේක හොඳ සංවාදයක ආරම්භයක් වෙන්න පුළුවන්. 

කොපිරයිට් ස්ටේට්මන්ට් එක: මේ ඡායාරූප සහ විස්තර ඇතුළු සියල්ල මගේ සහ කෞශිගේ. උපුටා ගන්න අවශ්‍ය නම් කියලා ගන්න. 'යාළුවෙකුගේ වෝල් එකෙන් ගත්තේ, මම හිතුවේ එයා ලිවුවා කියලා' වගේ ටොන් පහේ බොරු කියන්න එපා.


74 comments:

  1. කියවලා එන්නමි...

    ReplyDelete
  2. Replies
    1. ස්තූතියි පැතුම් :)

      Delete
  3. Replies
    1. ස්තූතියි මෙන්ඩෝ!

      Delete
  4. කොහෙද කටිටිය හයි වෙි එකෙන් නේ ගිහින් තියෙන්නේ නැත්තන් අපිටත් චුටි කාර් එක බලාගන්න තිබුනා..

    සුපිරි ගමනක සුපිරි විස්තරයක්..
    ගමනක් යනවනමි ⁣ඔහෙම යන එක තමා සුපිරි ම අයියේ..
    බෝතල් ඉස්සර කර ගෙන යන එක නමි මොලො වැඩක් නැ.අපේ කටිටියට තේරැමි ගන්නත් බැරි ඔිකම තමා..

    අනෙත් එක අයියේ අපේ එවුන් ගිය තැනක් විනාසයි.එතන කලා එන්නේ හැත්ත.

    අපිටත් කරදරයක් නැතිව යන තැනත් අරක්ෂා කරලා ඒ ගමන ගිහින් එනව නමි කොචිචර හොදද?


    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ..(මෙය කාර් පිස්සාගේ ප්‍රකාශයකි..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. සමහර තැන්වලට ගියාම ඒ තැන බලන්න ආපු මිනිස්සු කරලා තියන වැඩ දැක්කම සංසාරේ කලකිරෙනවා. ඒකයි ඔහොම දේවල් ලියවෙන්නේ.

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. ගොඩක් වටිනවා!

      Delete
  5. සෑහෙන්න ආසාවෙන් කියෙව්ව, ඊළග පාර ලංකාවට ආපුවම යමු සවාරියක් !

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කණ්ඩාව දැක්කේ. වෙන වෙන දේවල් එක්ක කාර්යබහුල වෙලා හිටියා නේද?

      අනිවා යමු. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි!

      Delete
  6. හොදයි. ඉලග පාර රිදියගම සෆාරි පාර්ක් එකටත් ගිහින් බලන්න.. උනුදිය උල්පත් තියෙන්නෙත් ඒ ලගම තමයි. අම්බලන්තොටින් යනවා නම් ඉබ්බා අරන් යන එක තමයි හොද. අහ් වෙහෙරහේන බලන්න ගිහිල්ලත් නැනේ... හුම්මානේ බලන්නත් තිබ්බා... ඉලග පාර ඒ ටිකත් බලන්න...

    ඉබ්බව නුවර එලියේ අරන් යන්න අදහසක් නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. රිදියගම පාක් එකට යන්න ඕනේ. උණුදිය උල්පත්, හුම්මානය වගේ දේවල් ගැන උනන්දුවක් නැහැ. ඒවා නිකං කාලය කන tourist traps වගේ මට දැනෙන්නේ. වෙහෙරහේනේ ගිහිල්ලා තියනවා. මේක කාලය සහ ඓතිහාසික වැදගත්කම වගේ සාධක ගොඩක් සලකලා බලලා සීරුවට කරන වැඩක් නේ.

      නුවරඑළිය පැත්තට ප්ලෑන් එකක් තියනවා. ඒක සීරියස්ලි එපික් වැඩක් විය යුතුයි. ඒ නිසා හෙමින් සීරුවේ සිද්ධ වේවි. ;) යෝජනාවට ස්තූතියි...

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි ලොකු පුතේ :)

      Delete
    2. ලොකු....
      උබලා ලියන්නෙ නැත්තෙ අපෙ කරුමෙට...උබ ලියපු පොස්ට් සමහර තැන් මට තවමත් මට මතකයි...
      උබ එක්ක රා බොන්න ගියපු වෙලාවෙ පරිසරය ගැන කියලා දුන්න දෙවල්...අපෙ ගෙදර ආපු වෙලාවෙ සර්පයො ගැන කියපු දෙවල් එක්ක උබ ලියන්නෙ නැහැ කියලා මතක් වෙනකොට දැනෙනෙ වෙදනවක්..

      Delete
  8. ඔය තිස්ස වැවු කන්ඩිය දිගේ පාරෙ නිවාඩු දවසක එන්න ගියොත් මොලේ කොලොප්පං වෙනව. දියකාමීන් පුරෝපු ලේලන්ත බස් තඩි පාර අයිනෙ හොස්ස පොවාගන්න තැනක් හොය හොයා ගාටනව. අන්තිමට වාහන පෝලිම කතරගමටම දිග වෙනව. මට හිතාගන්න බැරි අපේ මිනිස්සු දිය කෙලින්න ඕන තරං තැන් තියෙද්දි ඇච්චො බැච්චො සේරම ඇරන් වැව් වලම පනින්නෙ ඇයි කියන එකයි, කනවනං කුණු නොවිච්ච වැව් මාලු බැදපුවා හෝටලේකින් අරං කන්න ඇහැකිකම තියෙද්දි තෙලේ බැදිල විස්කෝතු කුඩු නාගෙන වෙලෙන්දගෙ බේසමේ නැගලා දවස් ගානක් ඔය වැව වටේ වට හැට ගහපු මාලු කන්නෙ මොකද කියන එකයි, බොන්න ගේ අවට මේ තරං නිස්කලංක තැන් තියෙද්දි අරක්කු බෝතල් දෙක තුනක් බීලා අපහසුවෙන් දාඩිය මුගුරු දාගෙන පැක්වෙලා ආපහු ගෙදර එන්න එක වෑන් එකේ දාහත් දෙනා පැක් වෙලා ඔය සිද්ධස්ථාන කිට්ටුවට යන්නෙ ඇයි කියන එකයි විතරයි (තව ඇතොත් කියන්නං පස්සෙ). මම නං බොහෝවිට ගමනක් යන්නෙ ලෝකෙට ඩිංගක් හරි මුහුවෙන්න. ඒ වගේ ගමනක් යද්දි පාර අයිනෙ තියෙන කඩේකින් ආප්පෙයක් කද්දි එතන ඉන්න මිනිස්සුංගෙ ජීවිතවලටත් පොඩ්ඩක් ඇහුංකන් දෙන්නෙ ටයර් හතර ගෑවෙන පොලවෙ යථාර්තය දැනගන්න. කොටිම්ම සංචාරය කරද්දි අපේ අපේක්ෂිත destination එකට යන අතරමග තියෙන හැම දේම විඳින්න පුළුවන්. හැබැයි මේ කියන කාරනේ පිස්සුවක් වගේ කියමනක් වෙන්නත් පුළුවන්. ඒ හංද අපි දෙන්නත් සංචාරය කරද්දි වෙන කවුරුවත් එක්කගෙන යන්නෙ නෑ. ඒ අපේ ක්‍රමය ඒ අයට නොගැලපෙන හන්දයි.
    හැබැයි උඹේ මේ සංචාර මේ ආකාරයෙන් රසවත් වෙන්නෙ වම්පැත්තෙ සීට් එකේ ඉඳගෙන, ඕන එකකට හිනාවෙවී ඉන්න ඔය කෙල්ලට ඉස්තූතිවන්ත වෙන්න කියන කියන එක මේ වෙලාවෙ විසේසයෙන් කියන්න ඕන. ඔහොම සහකාරියො විරලයි. යන යන තැනින් ඉටි පොකුරු, බෑග්, තොරොම්බල් අහුලන, අඹහලුවො වගේ කඩචෝරු ඇඟේ පෙරාගන්න, ඒ යන ගමනුත් අරක මේක ගැන කියෝ කියෝ මූන පුප්පගන්න වදක බාරියොත් එක්ක සංචාර යන මූණ විරවිච්ච පිරිමි දැක්කම බොටත් තමුන් මොන තරං වාසනාවන්තද කියන එක දැනෙනව ඇති. ඒ හන්දා ඒ නිහඬ සංචාරක කෞෂි නගාට මගේ ආචාරය පිළිගන්වාපං.

    කෑම ගැන කිව්වොත් ඔය හෙල බොජුන් හල් කොයිකත් විශ්වාසවන්තව ගොඩවෙන්න ඇහැකි තැන්. හූරං කන්නෑ කියල ෂුවර්. නුවර බදුල්ල පාරෙ කුණ්ඩසාලෙ කෘෂිකර්ම පීඨය ලඟත් එහෙම එකක් තියෙනව. අපි නුවර ගිිහිං එත්දි කන්නෙ, බොන්නෙ එතනින්. වතුර නං ලීටර් විස්සක් විතර අරගෙන යන්න ඕන. ඔය වගේ පොඩි වාහනේක නැගල තමුන්ගෙ අඩුම කුඩුම සේරමත් පටෝගෙන ගමනක් යත්දි මට දැනෙන්නෙ ඒ විදිහට මුලු ජීවිතේම ඇවිද ඇවිද ගතකරන්න පුළුවන්නං කොයි තරං ෂෝක්ද කියන එක. ඒ වෙලාවට හිතට කේන්තියක්, දුකක් තරහක් එනවත් බොහොම අඩුයි. සංචාරයෙ යෙදෙන අතරෙදි ජීවිතේ වැදගත් තීරණ ගන්න සුදුසුයි කියල මම කියන්නෙ ඒක හිංදයි.

    කොහොම නමුත් ජීවිතයේ තවත් සුන්දර ගමන් යන්න ඔබ දෙදෙනාට ශක්තිය වාසනාව සහ පෙට්‍රල් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම කාඒ ඔල ගිහින් මුසු වෙන්න බෑ බං.
      කඩේ ගාව ඉන්න අයියල එතකොට අයිස් පැකට් අරන්දෙන්නෑ.....
      පාර අයිනෙ නවත්තන් ඉද්දි කතා කරල විස්තර අහන්නෙත් නෑ.
      ආ..... ලේලන්ඩ් බස් වලින් ගේම ඉල්ලන්ටත් බෑ නොවැ.
      රෝද දෙක්ක වරෙන් යන්ට දවසක.
      ඒක වෙනමම ආතල් එකක්.
      (කාර් පිස්සුව මට බනීද?)

      Delete
    2. අපොයි නෑ. රෝද දෙකේ කලාව වෙනම කලාවක් තමා. ප්‍රශ්නේ තියන්නේ බජාජ් බයික් එක අරන් ඩුකාටි කියල හිතාගෙන පදින මී හරක් ලංකාවේ ඉන්න ඒකයි. ඒ නිසයි මට බයික් කලාව එපා වෙලා තියෙන්නේ :)

      Delete
    3. @ සුරංග- සුපිරි කමෙන්ටුව මචං. //කොටිම්ම සංචාරය කරද්දි අපේ අපේක්ෂිත destination එකට යන අතරමග තියෙන හැම දේම විඳින්න පුළුවන්// ඔන්න ඔතන තමයි මේ සියල්ලේම හරය සහ අපි ඔක්කොටම පොදු common ground එක තියෙන්නේ...

      Delete
    4. කෝ මද්දා ගේ අනික් කොමෙන්ටුව? මට හොයාගන්න බෑ නෙව?

      Delete
    5. \\බජාජ් බයික් එක අරන් ඩුකාටි කියල හිතාගෙන පදින මී හරක් \\ හැක හැක එහමෙ උන්ට මද්දව දිරවනනෑ (ස්පීඩ් ලිමිට් අරව ෙම්ව නීති ගොඩක් දැම්මම උන් නිකම්ම කැපනෙව.)
      එහමෙ උන් එක්ක ගියාම අයිස් කසෙේ වෙතත් පැකට්නම් සැට් වෙයි ලෙසටම.

      මාගේ කොමනේටුව කොහි ගියේද? ස්පෑම් චැක් කොරානම්.

      Delete
    6. සුරා...
      කෙමෙන්‍ටුව එල ද බ්‍රා...

      මද්දා...
      කෙමෙන්‍ටුව එල ද බ්‍රා...
      පොඩි මෙන්ඩාගෙ ආසම වාහනය ඩුකාටි

      Delete
    7. සුරංචියගෙ කොමෙන්ටුවනං පට්ටයැ.

      Delete
    8. Part about the passenger !!! True... Yanne trip ekak enne thiyene okkoma magul purawagena😂

      Delete
    9. "ඔන්න ඔතන තමයි මේ සියල්ලේම හරය සහ අපි ඔක්කොටම පොදු common ground එක තියෙන්නේ..." - the fact

      Delete
  9. ගං ඉවුරේ ඉඳන් කෑ ගැහීම...(වට් කයින්ඩ් ඔෆ් අාතල් ඊස් දිස්? 😂🔫.)
    බොහොම ලස්සනට ලියලා තියෙනවා බ්‍රෝ... ෆොටෝ ටිකයි විස්තරෙයි එක්ක වර්චුවල් ට්‍රිප් එකක් ගියා..
    ගොඩක් පිං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුසිත!

      Delete
  10. මිනි එකකයි බිට්ල් එකකයි power to weight ratio එක ලොකු වෙනසක් තියෙනවා...විශේෂයෙන්ම 1300 ආව මිනි එකක් එක්ක බැලුවම..බිට්ල් එකේ pendulum කේස් එක නම් මමත් අත්විඳලා තියෙනවා..over-steer වීම නම් ටිකක් මුනට හිනාවක් එන වැඩක් වුනාට pendulum වීම නම් ඇගේ හිරිගඩු පිපෙන සීන් එකක්. වංගුවක් එක්ක බ්රේක් එකට කකුල තියනවට වඩා rear wheel drive වාහනේක ඇක්සලරේටරයට පොඩි බරක් දීලා grip එක වැඩිකරගන්න පුළුවන්..ඒකෙත් සීමාව දන්නවනම් විතරක්.(දෙය්යන්ගේ නාමෙන් හරියට නොදැන මේක නම් කරන්න යන්න එපා...පාරවල් වල තව මිනිස්සු යනවා..තාප්ප,ලයිට් කණු එහෙමත් තියෙනවා..)
    හැමදාකම වගේ රසවත් ලිපියක්.අපිවත් ගමන එක්කරන් යන්න අයියගේ ලිවීමේ ක්‍රමයට පුළුවන්.බටඅත වැට අයිනේ පාරේ ගහක හෙවන යට පාක් කරන්න සල්ලි යන්නේ නෑ...ඒ වගේම ඒ තැන පිරිසිදුකම,පිළිවෙල වගේ දේවල් ඇත්තටම අගය කරන්න ඕනේ..බත් කනවනම් එතනම ඉස්සරහ කඩ තියෙනවා..හෙළ බොජුන් හලත් එක්ක තරග කරන හන්දාමද කියන්න දන්නේ නෑ..ඒවායේ කෑමත් වරදක් නෑ..බෝතලය ඉස්සරහින් තියාගෙන ගමන් යන මිනිස්සු හන්දයි ගොඩක් වෙලාවට සොබාදහමේ ලස්සන තැන් නාස්ති වෙන්නේ..අනික ළමයි අරගෙන යන්න පුළුවන් වාතාවරණයත් ඒ තිරිසන්නු හන්දා නැතිවෙනවා මම හොඳටම දැකල තියෙනවා..
    මේ තරම් විවේකයක් නොගෙනම ඊලඟ ලිපිය ඒවි කියල හිතනවා..එහෙනම් තව තවත් මේ වගේ සංචාර කරන්න ඉඩ ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා අයියටයි අක්කටයි දෙන්නටම... බුදුසරණයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. වටින අදහස් ටිකක්...

      ආපහු එනගමන් බලන්නත් එක්ක කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානේ ඉස්සරහ තිබුණු බත්කඩේකින් කෑම කෑවා. කෑම ටික නම් සුපිරි, ඒ වුණාට කඩේ පෝරණුව වගේ. අන්තිමට ඔළුව කැක්කුමකුත් හැදිලා නතර වුණේ.

      Delete
  11. මම නං හිතන්නෙ දැං ඔය කම්පැරිසන් කරල හිත රවට්ටන්නෙ නැතිව කෙලන්ම ලිව්ව නං හරි. සඳගිරිය යන්න ඕන. අර ගොවිපල බැසිල් තුමාගෙ අප්‍රතිහත ධෛර්යයලු

    ReplyDelete
    Replies
    1. බීට්ල් එකේ වෙනස්කම් කීපයක් වෙන්න නියමිතයි. එතකොට වැඩේ තව සංකීර්ණ වෙන්න පුළුවන්.

      ගොවිපළේ නම තියෙන්නේ නං අනික් මල් තුමාගේ. නම සැලකිය යුතු දෙයක් කියලා මම හිතන්නේ නැහැ.

      Delete
  12. පවු බං ඉබ්බා

    ඉබ්බාට කුඩම්මාගේ සැලකිලි

    ඉබ්බා හාමතේ

    ඉබ්බා ලොක් වෙලා

    ReplyDelete
    Replies
    1. නිකම්ම කොපි පේස්ට් නොකර උධෘත කොමා මකා එක යට එක දැමීම පිළිබඳව ඔබතුමාට මගේ නොසැලෙන ආචාරය ;)

      Delete
    2. එහෙනම් ඔන්න ඩබල් නොසැලෙන ආචාරය :)

      Delete
  13. උබව මුරුනගා අත්තෙ තියනවා නෙමයි...මම බොක්කෙන් උබගෙ බ්ලොග් එකට කැමති..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මෙන්ඩෝ. අලුත් කාර් ගැන පොරොන්දුව තාම ඉෂ්ට කරගන්න බැරි වීම තමයි මගේ හිතට දුක... වෙලාව නෙව ප්‍රශ්නේ...

      Delete
  14. Classic, international quality travel writing.

    Paul Theroux මතක් වුනා. ඊටත් වඩා හොඳයි වාහන ගැනත් තියන නිසා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. අවංකවම කෞශියි මායි උත්සාහ කරනවා පවතින දෙයක් සයිබර් අවකාශයට එකතු කරන්න. මෙහෙම ප්‍රතිචාර නිසා තමයි වැඩ රාජකාරි මැද පවා මේක අත නොඇර කරගෙන යන්නේ...

      Delete
  15. Replies
    1. මක් කරන්නෙද හික් කඩුවේ?

      Delete
  16. අඩේ.... කතරගම ගියාට මේ තැන් බලන්න යැවෙන්නේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. බීට්ල් සංචාරෙයි මිනි සංචාරෙයි ලියපු තැන් ටික මතක තියාගෙන ඊළඟ පාර ගිය වෙලාවක පොඩ්ඩක් ගිහින් බලන්න. මම කියනවට නෙවි. අවංක වුවමනාව තියන මිනිස්සුන්ට ඒවා මගඇරෙන එක අපරාදේ...

      Delete
  17. ගියපාර කතරගම බිටල් සංචාරයේදි මගඇරැන අපි මතක්කරන්න⁣ට යෙදුන සඳගිරි සෑය මෙවර අමතක නොකර ගොස් විස්තර සැපයුවාට කොළොම්පුරේ හද පිරි මෙව්වා එක.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඒ තරම් විශාල ඓතිහාසික ස්ථානයක් තට්ට තනියම පළමු පළවෙනි වතාව තමයි ඒ... :)

      Delete
  18. මම මළාට පෝය දවස්වල හෝ ඊට පසු දවසේ ගමන් යන් නැති උනාට මාතර යන්න සෙට් උනේ පෝය දවසක. අපරාදෙ කියන්න බෑ ඔය උපුල්වන් දේවාලෙ පැත්ත පළාතක කිට්ටු වෙන්න බෑ වගේම හතර පස් පාරක් වටේ කැරකෙවුවත් වාහනේ පාක් කරගන්න පුලුවන් තැනක් හම්බඋන් නෑ. ඉතිං ඒ ආසාව අතෑරල දාන්න සිද්ද උනා.

    කවුරු කළා උනත් අර බටඅත ෆාම් එකනං බොහොම හොඳ වැඩක් වගේ මටනම් පේ‍න්නෙ. අයාලෙ යන්නැතුව දිගටම ඔය තත්වෙන් පවත්වගෙන ගියොත් බොහෝ දෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඊගාව පාර කතරගම යනකොට අනිවාර්යෙන් ඔතනට ගොඩ වෙන්න හිතාගත්ත.

    උඹල දෙන්න මේ ගමන දෙසටම විඳල තියෙනව වගෙයි මල්ලි. ඒ වගේම මේක කියෙවුවම අපිත් උඹලත් එක්ක ගමන ගියා වගේ ෆීලින් එකක් එන්න ලෙසටම ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...

      දැනට උද්‍යානය නඩත්තු වෙන හැටියට ඒක ලේසියෙන් අතඇරලා දාවි කියලා හිතෙන්නේ නැහැ. යන දවසක අනිවාර්යයෙන් ඔතන නවත්තලා පොළොස් කට්ලට් එක කාලා බලන්න. පලතුරු බීම එකක් බොන්න. ආස්මි පැකට් එකකුත් ගන්න. :)

      Delete
  19. Mmmmmmm..miniyata nam hitha giye neh...aththama kiwwa onna...ara kola paata lassana beetale thama thaama hithe pelapadiyam wela tiyenne... kathawa nam top.... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. ඊළඟ ගමන බොහෝ දුරට බීට්ල් එකත් එක්ක යැවේවි...

      Delete
  20. කියන්න වචන නෑ සුපිරි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ආචාර්යතුමනි!

      Delete
  21. හොඳ අධ්‍යාපනික ලිපියක්. ඇත්තටම දකුණු පළාතේ ඔය වගේ තැන් තියෙනවා කියල මම දැනන් උන්නේ නෑ . එක ලජ්ජාවට කාරණයක්.

    Mini එක ගෙන කියද්දී,ඔයාගේ FB profile එකේ එක pic එකකට මම comment එකක් දැම්මා "හාවාගේ පිටේ අලියා යනවා වගේ දැනේනේ නෙද්ද කියලා ". ඒ කාලේ මම මිනි එකක් Drive කරලා තිබ්බේ නෑ . ඇත්තටම නැගලවත් තිබ්බේ නෑ . මීට සති 2 කට කලින් යාලුවෙක් ගේ එකක් drive keranna ලැබුන.ඇත්තටම හොඳට ඉඩ තියෙනවා. මම ටිකක් උස කෙනෙක්.එත් මටත් හොඳට leg space තිබ්බ driving seat එකේ. Handling උනත් හොඳට තියෙනවා.

    එකම ප්‍රශ්නය බිම ලෑල්ලක් තියාගෙන යනවා වගේ feeling එකක් එනවා car එක මිටි නිසා. අනික layland bus එහෙම ලඟින් යනකොට පොඩ්ඩක් බය හිතෙනවා.හැබැඊ ඊ ඔක්කොටම වඩා මාර ආසා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ පොයින්ට්ස් දෙකතුනක්. ඇත්තටම legroom ගැන පුදුම හිතෙනවා. ගොඩක් අය මේක පිළිගන්න සූදානම් නැහැ, නමුත් අලුත් kei cars වලට වඩා legroom තියනවා මිනි එකේ.

      කාර් එක පොළොවට ළඟයි කියන එක දැනෙන්නේ ඕක පුරුදු වෙනකල් විතරයි. ලේලන්ඩ් බස් සීන් එකට මාත් එකඟයි. නමුත් දැන් මට ඒකත් පුරුදු වෙලා.

      ස්තූතියි අදහසට. ප්‍රායෝගිකව වෙනස අත්විඳපු කෙනෙක් විදිහට ඒ අත්දැකීම සටහන් කිරීම වටිනවා!

      Delete
  22. දෙදාස් දොළහේ වගේ මට මතක මම ගියා බටඅත.. ගියා කියන්නේ ඔය වගේම වෙන ගමනක් යන ගමන් කන්න නැවැත්තුව.. ඒ කාලේ ඔය කියන කිසිම පහසුකමක් තිබ්බේ නෑ.. ගල් උඩ වාඩිවෙලා අපි ගෙනියපු කෑම ටික කාල ආව.. ගොවිපොළත් මළානික වෙලා තිබ්බේ.. ඒ කියන්නේ දැන් ඒ තැන ගැන උනන්දුවක් දක්වල තියෙනවා.

    උඹල දෙන්නගේ ට්‍රිප් වල මට පේන්නේ වෙනම ක්ලැසික් ආතල් එකක්.. අවංකව කියුවොත් මම නම් 'ට්‍රිප්' එකක් විදියට යනකොට එච්චරම ක්ලැසික් වෙන්න හිතන්නේ නෑ.. යන්නං වාලේම නොවුනත් ලස්සන නිදහස් තැනක් සෙට් උනොත් නාන්න, අඩියක් ගහන්න, සිංදුවක් කියාගෙන යන්න කැමතියි.. ඒත් ඒ මට සෙට් වෙන සීමිත පිරිසක් එක්ක විතරයි.. එහෙම ඒවා සෙට් වෙන්නේ ඉතාම කලාතුරකින් නිසා මම 'ට්‍රිප්' යන අවස්ථා බොහොම විරළයි. ඒ ඇරුනම තියෙන්නේ A to B ට්‍රැවලින් තමයි.. ඒවායේදී මගේ එකම ඉලක්කය උදේම පටන්ගෙන ට්‍රැපික් මග හැරලා ගිහිං ඉක්මණට ගමන ඉවර කරන එක විතරයි. ඒ නිසාම අඩුම මාස තුනකට දෙවතාවක් එහා මෙහා යන පාරේ තියෙන දෙවිනුවර උපුල්වන් දේවාලෙට ගොඩ වෙලාවත් නැති එක, ගල්ගනේ ගල් ගේ, සඳගිරි ආරාම සංකීර්ණය වගේ ඒවා අහලවත් නැති එක ගැන මම පුදුම වෙන්නේ නෑ.. ඒ උනාට මේවා දැක්කම හැමදාම හිතනවා ඊළඟ පාර නම් අනිවා බලන්න යනවා කියල.. ඔය විදියටම තමයි ක්ලැසික් කාර් ගැන හිතන්නෙත්.. :)

    ReplyDelete
    Replies
    1. බටඅත මුලින් තිබුණු තත්වේ ගැන මම මේ ඇහුවේ පළවෙනි වතාවට.... ස්තූතියි ඒ ගැන...

      හොඳ මිනිස්සු ගල්ගනේ, සඳගිරිය වගේම යටාල, ගල්කණුමණ්ඩිය වගේ තැන් ගැන උනන්දු වෙනවා දැකීම පුදුම සතුටක්. අපි දෙන්නට අවශ්‍යත් ඒක. ඒ කියන්නේ අපි දෙන්නගේ අරමුණ සාර්ථකයි!

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර තුමා. ඔයාලා නිතරම කාර් පිස්සුවට දක්වන සහයෝගය ගොඩක් වටිනවා!

      Delete
  23. නියමයි යාලු....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුප්!

      Delete
  24. හැමදාම වගේ සුපිරි ලියවිල්ල. ඔක්කොම එකතු කරල පොතක් කරන්න කාලෙ හරි. ✌ ජය...

    ReplyDelete
  25. මාත් ඔය පාරෙම ගියා ඊයෙ පෙරේදා මගේ 13 ශ්‍රී ලාන්සර් වැගන් එකේ. බද්දේගම ඉඳලා මාතරට යනකම්ම හයිවේ එකේ ස්පීඩ් එක සීයයි. ඉඳලා හිටලා බෙල් එකත් වැදුණා. මම ගියේ තනියම. බටඅත කෘෂිකර්ම රෙස්ටුරන්ට් එකෙන් කුරක්කන් කැඳ එකකුත් බීලා කව්පි වඩේත් කාලා තමයි ගියේ. සඳගිරියට කලින් ගිහිං තියෙනවා. මේ පාර ගියේ අම්බලන්තොට හොස්පිටල් එකේ පුස්තකාලයක් හදන වැඩේට. ඒ ගමං හවස කළමැටියේ රවුමකුත් ගැහුවා. මේන්න විස්තර http://sobaroo.blogspot.com/2018/03/kalametiya-birds-sanctuary-expedition.html

    ReplyDelete
  26. Machan danna thenaka nedda ford prefect ekak ehema.panividayak awoth kiyanawada

    ReplyDelete
  27. sama wenna me post eke mn meka ahanawata.... honda civic wala ara pitipasse diga light line ekaka civic kiyala gahala awe civic eke koi model ekada?

    ReplyDelete
  28. එල මචං ....
    හරියට අපි ගියා වගේ ලියල තියනවා ...
    ඒත් අර පොටෝ කතාවටනං මම විරුද්දයි ...
    මට මිනි එක පේන්නෙ ... සමන්මල් වට්ටියක් මැද්දෙ තියන රෝස මලක් වගේ ...

    ReplyDelete
  29. "හොඳට සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනගෙන සිංහල ජාතිකවාදී දේශපාලනයේ තරුවක් වෙන ආසාවක් ඉස්සර මට තිබුණා" that's the Lokka I knew

    ReplyDelete
  30. දෙවිනුවර දේවාලෙ මට පෙන්නෙ කතොලික දෙවස්ථාන ගොඩනැගිල්ලක් වගේ. ඔතන තිබුණ පරණ දේවාලෙ කඩපු පරංගි, පස්සෙ ඒතන පල්ලියක් හැදුවද දන්නෑ?

    ReplyDelete
  31. ලාන්සර් බොක්ස් එකත් එක්ක Handling, Driving pleasure සංසන්දනය කළොත් ? ඒ ගැනත් යමක් කියමු නේ :)

    ReplyDelete