Saturday, June 24, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන- දෙවෙනි කොටස (ගල්කණුමණ්ඩිය සහ යටාල)




මේ ලිපි මාලාවේ කලින් කොටසේ කිව්වා වගේ උස්සන්ගොඩින් පිටත් වුණාට පස්සේ අපේ ඊළඟ අරමුණ වුණේ ගල්කණුමණ්ඩිය. ගොඩවායේ යන්න හිතන් හිටියත් උස්සන්ගොඩ හිතුවට වඩා කාලයක් ගතවුණා. ඊට පස්සේ කෑම කන්නත් වෙලාව ගියාට පස්සේ ඉරට අසූහාරදාහට මල පැනලා තිබුණේ. ඒ ගිනි ගහන අවුවේ ගොඩවායේ ගියොත් අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියන් රෝස් වෙන්න ඉඩ තිබුණු නිසා අපි එතන ප්ලෑන් එකෙන් කපාහැරලා 9 ශ්‍රී 5333 එක්ක ගල්කණු මණ්ඩිය පැත්තට ගියා.

හම්බන්තොට පාරෙන් තිස්සමහාරාම පාරට හරවලා වීරවිල හන්දියෙන් හැරිලා දෙබරවැව පහුකරගෙන ගිහින් දෙබරවැව හන්දියෙන් දකුණට දාලා කතරගම පාරේ ගියර් දෙකතුනක් මාරු කරනකොට ගල්කණුමණ්ඩිය හම්බවෙනවා. මෙතන තියෙන්නේ ගල්කණු ගොඩක් විතරයි. එහා පැත්තේ සෙල් ලිපියක් තියනවා. එච්චරයි. කතරගමට ළඟාවීමේ සැහැල්ලුවෙන් යන නඩ වලට මෙතන මීටර් වෙන්නේ කලාතුරකින්. යටාලේ නතර වුණත් කෙනෙක් මෙතන ලේසියකින් නතර වෙන්නේ නැහැ. යටාලේ නම් අඩු තරමින් චෛත්‍යය පාරට පේනවා. ගල්කණුමණ්ඩිය ගාව හිටවපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් එක දකින්නත් සංසාරේ පුරා බෝඩ් පාරමී පුරාගෙන එන්න ඕනා. ගූගල් මැප්ස් වලට පින්සිද්ධ වෙන්න අවට පරිසරය හුරුවෙලා තිබ්බා නිසා තමයි තැන ඉක්මනට හොයාගත්තේ.



ගල්කණුමණ්ඩිය හරි අපූරු තැනක්. මෙතන තියන සෙල් ලිපියට අනුව මේක පළවෙනි හෝ දෙවෙනි සියවසට විතර අයිති ගොඩනැගිල්ලක් විදිහට හඳුනාගෙන තියනවා. නමුත් මේක මොන අරමුණකට භාවිතා කළාද කියන එක තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි මේක අඩුම තරමින් තට්ටු දෙකට තිබිලා තියන බව. උඩ තට්ටුව සවිමත් කරන ලී රඳවන්න පුළුවන් වෙන්න කල් කණු වල උඩ කට්ට කපලා තියනවා. මේ කාලසීමාවට අයිති මේ වගේ ඓතිහාසික සිහිවටන ශ්‍රී ලංකාව ඇතුළේ හම්බවෙන්නේ බොහෝ දුරට අනුරාධපුර වගේ පළාත්වලින් නිසා මේක සුවිශේෂයි.



මෙතන වැදගත්ම සොයාගැනීමක් වන සෙල්ලිපිය තියෙන්නේ ගල් කණු වලට එහා පැත්තෙන්. එතන අගල් හැදිලා සහ කැලෑව වැවිලා තියන විදිහට ගල් කණු වලින් එහා පැත්තට පනිනවා නම් දූ දරුවන්ට දේපළ ලියල දීලා පනින්න ඕනා. කොටින්ම අප්‍රිකානු වනාන්තර වල වත් නැති හොම්බ හතරැස් වලිග රවුම් හොට අටපට්ටම් සත්තු ඒ ගාලවල් අස්සේ ඇතියි කියලා මට හිතුණා.


සෙල් ලිපිය බලන්න යන පාර ඇහුවම එතන පාර අයිනේ කඩේකින් කිව්වා 'එහා පැත්තේ පාර තියනවා, හැබැයි බලාගෙන යන්න, කටු තියනවා' කියලා. වාහනේ එතන ළඟට අරගෙන යන්න පුංචි පාරක් තියනවා දැක්කත් දෙපැත්තේ තිබුණු පොල් ගස් වල උසේ හැටියට කුරුම්බැට්ටියක් වැටුණත් මිචෙල් ස්ටාක් බෝලයක් දැම්මා වගේ සැර වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගොන් වැඩේ නම් කළේ නැහැ.

මෙතන තියන සෙල් ලිපියට කියන්නේ ඇතාබැඳිගල ටැම් ලිපිය කියලා. මේ ලිපියට අනුව දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ගේ මුණුබුරා වුණු ගාමිණී අභයගේ පුතා රොහිණික ගාමිණී අභය බදු වර්ග දෙකක් මේ විහාරයට පූජා කරලා තියනවා. ටැම් ලිපිය ආවරණය කරන්න හදලා තියන වියන නම් ලස්සනයි. නමුත් වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා කැලෑව වැවිලා තියෙන හැටි දැක්කම දුක හිතෙනවා. මෙතන ඉඳන් අවට බලනකොට තේරෙනවා මේ පුරාවිද්‍යා භූමිය මහා විසාල එකක් වෙන්න ඕනේ කියලා. ඒත් එතන වැඩි කැණීමක් සිද්ධ වෙලා තියන බවක් පේන්නේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහෙමට කියලා මුදල් සැපයුමක් නැති බව මම දන්නවා. අනික මේ වටේ ඉඩම් වල අයිතිකාරයොත් බයේ ඇත්තේ...





එතන පාර අයිනේ තියන කඩේකින් බඩ ඉරිඟු කරල් දෙකතුනකුත් අරගෙන අපි යටාලට යන්න පිටත් වුණා. ගූගල් මැප් එකේ බලද්දී ටිකක් හරි දුරයි වගේ පෙනුණට බීට්ල් එකේ විසිල් එක හරියට ඇහෙන්නත් කලින් මෙන්න අපි යටාලේ කාර් පාක් එකට ඇවිත්...

මම ඉස්සරලාම යටාලට ආවේ 2008 දී. එතකොට මම වැඩ කරපු කොම්පැනියේ ලොක්කා, එතන Art Director වුණු මහේෂ් සහ මගේ විශ්ව විද්‍යාල සගයෙක් වුණු, ඒ වෙනකොට පුරාවිද්‍යා විශේෂ උපාධිය කරමින් හිටපු ජීවනත් එක්ක කතරගම පෙරහැරේ වැඩ වගේකට ගිහින් එනගමන් තමයි අපි අහම්බෙන් මෙතනට ගොඩවුණේ. අර නෙළුම් මල් පිපුණු දිය අගල තරණය කරන්න පළවෙනි අඩිය තියාපු ගමන් මගේ හිත යටාල ගැන භක්තියකින් පිරුණා. බලන බලන තැන පුරා වස්තු පිරුණු, බලු බල්ලෙක් නැති ඒ පින්වන්ත භූමියේ මොකක්දෝ සන්සුන් ථෙරවාදී බවක් මට දැනෙනවා. ථෙරවාදී බුද්ධාගම කියන්නේ 'වවුලෙක් වගේ ඕවයේ එල්ලිලා ඉන්නේ නැතුව ඔය ගංගාව තරණය කරලා මේ පැත්තට වරෙව්' කියන ආගමක්. යටාල වෙහෙරයි ප්‍රධාන පාරයි වෙන් කරන දිය අගල හරියට සංසාරයයි නිර්වාණයයි අතර තියන පරතරය වගේ...



ජනක වෙත්තසිංහ ලියපු, 2014 පෙබරවාරි 18 වෙනිදා බුදුසරණ පත්තරේ පළවුණු ලිපියකට අනුව යටාල චෛත්‍යය තමයි රුහුණේ පළවෙනි චෛත්‍යය විදිහට සැලකෙන්නේ. මහානාග යුවරජතුමාගේ බිසවට මේ ස්ථානයේදී පුතෙක් ලැබුණා ලු. ඒ පුත්තරයට නම තියලා තියෙන්නේ යටාල තිස්ස කියලා. මේ සිද්ධිය සිහිවෙන්න යුව රජතුමා එතන ස්තූපයක් කරවපු බවත්, ඒ ස්තූපයට යටාල කියල නම තියපු බවත් ඒ ලිපියේ දැක්වෙනවා. ඒ වගේම ඇතැම් සෙල්ලිපි වල මේ චෛත්‍යය 'දළදා දාගැබ' විදිහට හඳුන්වනවා ලු. සතුරු ආක්‍රමණ වලදී දන්ත ධාතුව මේ චෛත්‍යයේ නිදන් කරලා තියෙන්න ඇති කියලා හිතනවා.





මළුව වටේ බලන බලන අත පේන්නේ හරිහමන් අවසානයක් නැතුව මිහිපිටින් මැකිලා ගිය ඉතිහාසයක කතන්දර ගොඩක්. අපි යනකොට මළුව වටේ තියන අපූරු පිළිම ටික අවුවෙන් වැස්සෙන් බේරගන්න වහළවල් ගහන්න කොන්ක්‍රීට් කණු දාන්න ලෑස්ති කරමින් තිබ්බේ. ඊට අමතරව අලුත් පන්නයේ සෙවිලි තහඩු වර්ග පාවිච්චි කරලා සමහර පිළිම උඩින් වහලවල් ගහමින් තිබුණා.  පැරණි ස්මාරක දෙපැත්තෙන් කොන්ක්‍රීට් කණු ඔබලා වහලවල් ගැහුවම මට ඒවා පෙන්නේ කොකිසක් අයිසින් කරපු තරම් කැතට. ඒ වුණාට සිද්ධවෙන කාලගුණ විපර්යාස වල හැටියට මේවා බේරගන්න වෙන ක්‍රමයක් නෑ කියලත් මම දන්නවා. 





යටාලේ අපූරු කෞතුකාගාරයක් තියෙනවා කියල මට මීටර් වුණේ මේ පාර. 2008 දී අපිට ඒ කෞතුකාගාරේට යන්න බැරි වුණා (ඒ කාලේ ඒක තිබ්බේ නැද්ද දන්නෙත් නෑ). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකට අනුව මේක B කාණ්ඩයේ කෞතුකාගාරයක්. ඡායාරූප ගන්න අවසර නැති නිසා අවාසනාවකට මට ඒක කොච්චර අපූරු තැනක්ද කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. ඒක ඉතා පුංචි කෞතුකාගාරයක්; හැබැයි තොරතුරු ගබඩාවක්. ඉන්නේ කොහෙද කියලා අමතක වෙලා අම්මට උඩු කියවෙන ජාතියේ නිර්මාණ ගොඩක් ඒක ඇතුළේ ගොඩගහලා තියනවා. එළියේ කැසිකිළි ගලක් තියනවා සුපිරි ඉන්දියන් සාරියක් තරමට මෝස්‌තර දාපු. කැණීම් වලින් ගොඩගත්තු ගල්කණු කෑලි කෞතුකාගාරය ඉස්සරහ මිදුලේ පේළියට ගොඩගහලා තියෙන්නේ මොරටුව අලුත් පාරේ ක්‍රිකට් බැට් හදන අය ඒවා වේළෙන්න රේල් පාර අයිනේ දිගට දාලා තියනවා වගේ...

එතන හිටපු පුරා විද්‍යා නිලධාරියා එක්ක කතාවක් ඇදගත්තු ඉන්දික පාරෙන් අනික් පැත්තේ සංඝාවාස පරිශ්‍රයේ සිද්ධවෙන කැණීමක් බලන්න යන්නත් අවසර ඉල්ලගත්තා. එතනත් ඡායාරූප ගන්න තහනම්. මේ කැණීම් භූමියෙන් අතිවිශාල මල් ආසනයක් මතුවෙලා තියෙනවා. ඒ ගොඩනැගිල්ල මොකද්ද කියන එක නම් තාම තහවුරු කරගෙන නැහැ මම හිතන්නේ. ගල්කණුමණ්ඩිය පරිශ්‍රයත් ඇත්තටම අයිති යටාල විහාර පරිශ්‍රයටමයි කියලා අර නිලධාරියා කිව්වා. බලාගෙන ගියාම පාරවල් හැදිලා, ගෙවල් හැදිලා, සංඝාවාස හැදිලා තියෙන්නේ ඇසට අසුවන මායිමටත් එහා විහිදුණු ඓතිහාසික පූජාභූමියක් උඩ... මේ ඉතිහාසය කවදාවත් අපට හරියට පාදාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතිහාසයේ ජනප්‍රියවාදී අමූලික බොරු ප්‍රවාද අල්ලාගෙන සති අන්ත පත්තරවල පිටු ගණන් නරිබෙටි වගේ ප්‍රලාප ඇතිරෙද්දී රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පුරාවිද්‍යා උපාධි අරගෙන එළියට එන උපාධිධාරියෝ ගුරුවරු හැටියට සහ සංවර්ධන නිලධාරීන් හැටියට රස්සාවල් වලට ගිහින් කසාද බැඳගෙන, දරුවෝ හදාගෙන, නිවාස ණයක් අරගෙන, ඇල්ටෝ ලීස් එකක් අරගෙන අයිස් යුගයක් වගේ මනසින් ගල්වෙලා වයසට යනවා... 



යටාලේ ඉතිහාසය වගේම සමස්තයක් විදිහට දකුණේ ඉතිහාසය ගැන චංචල වුණු හිත නිසා මට වෙනදා තරම් බීට්ල් එකේ ෆොටෝ ගන්න අමතක වුණා. නමුත් යටාලෙන් පිටත් වෙන්න හදද්දී බීට්ල් එක ටිකක් ඉස්සරහට අරගෙන චෛත්‍යය පේන විදිහට ෆොටෝ එකක් ගන්න මම අමතක කළේ නැහැ. එහෙම ෆොටෝ දෙකතුනක් ගන්න ගමන් මම කල්පනා කළේ අලුත් කොරොල්ලා එකක හරි, අඩු තරමින් ඇල්ටෝ එකක හරි ආවනම් මේ ගමන මීට වඩා කොච්චර වෙනස් වේවිද කියලයි (මේක ඇල්ටෝ හෝ කොරොල්ලා අයිතිකාරයන්ට කරන අපහාසයක් නෙමෙයි).



බීට්ල් එක මග දිගටම මිනිස්සුන්ගේ අවධානය දිනාගන්නවා. බොහෝ දෙනෙක් කාර් එක දිහා බලන්නේ සතුටක්, පුදුමයක්, කුතුහලයක්, විශ්වාසයක් සහ හිතේසිවන්තභාවයක් වගේ හැඟීම් මාලාවක් පන් පැදුරක් වගේ එකින් එක වෙළුණු මූණු වලින්. ඒක යකඩ සහ මනුස්සකම් අතර තියන පරතරය අතික්‍රමණය වෙන මොහොතක්. වෑන් වල නැගලා සින්දු කියකියා යන නඩ දිහා අමු සියඹලා කාපු ඇඹුලින් බලන පැසුණු කෙසැති පියවරු පවා බීට්ල් එකේ විසිල් එක කනින් අල්ලගෙන හිතින් අතීතෙට දුවන්න වෑයම් කරනවා දකිද්දී හිතට එන හැඟීම කවියකින් වත් කියන්න අමාරුයි.


මේක මට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. මිනිස්සු බීට්ල් වල ගිය සුන්දර සංචාර ගැන තියන වාර්තා වැඩසටහන් අද ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයාගෙන බලන්න පුළුවන් (දවසක මේ කතා අතරින් මගේ හිත තදටම වශී කරපු කතාවක් සිංහල පාඨකයන් වෙනුවෙන් විස්තර කරන්න මට ලොකු ආසාවක් තියනවා). මේ හැම එකකම වගේ බීට්ල් එක එළවපු කෙනා දිලිසෙන ඇස් දෙකකින් යුතුව මතක අවුස්ස අවුස්සා කියන දෙයක් තමයි කාර් එක දැකපු මිනිස්සු ඒකට දක්වපු ප්‍රතිචාර වල මිහිරියාව. මේ හැම මතකයක්ම එයාලගේ මූණට අහිංසක ආඩම්බරයක් මුහුවුණු අසමාන තෘප්තියක සිනා රැල්ලක් අරගෙන එනවා. මේ ලියන මොහොතේ මගේ මූණෙත් ඒ හිනා රැල්ල එහෙමම ඇති. ඒක ඒ තරම් විශ්වීය හැඟීමක්...

ඒක දැනෙන්නේ බීට්ල් එකක් එළවලා තියන කෙනෙකුට විතරයි...

(පළවෙනි කොටස කියවන්න කැමති අය මෙන්න මේ ලින්ක් එකට  යන්න. ඊළඟ කොටසින් කතරගම දේවාලය සහ රන්මිණිතැන්න ගැන කතාකරමු)

තරිඳු ශ්‍රී ලොකුගමගේ
22.06.2017
www.facebook.com/CarPissuwa

(ෆොටෝ ගත්තේ මම, කෞශි සහ ඉන්දික)

Saturday, June 17, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන - පළවෙනි කොටස (උස්සන්ගොඩ)


උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියලා ගහල තියන බෝඩ් එක තියන පාරේ දිගට ගියාම හම්බෙන්නේ හෝටලයක් මිසක් උස්සන්ගොඩ ජාතික උද්‍යානය නෙමෙයි. උද්‍යානයට යන්න නම් හෝටලය පේන මානෙන් දකුණට හරවන්න ඕනේ.

එහෙම දකුණට හැරෙව්වට පස්සේ යන්න තියන පාර දැක්කම මට මතක් වුණේ කුරුලෑ ප්‍රහාරයකට අහුවෙලා කන්නාඩිය ඉස්සරහා ජීවිතේ ඇඹුලට විඳින නාඹර ගෑනු ළමයෙකුගේ මූණක්...

ඒ තරමට වළවල්...

9 ශ්‍රී 5333 එක්ක කතරගම යන්න තීරණය කරගත්තු ගමන් අපේ පළවෙනි ඉලක්කය වුණේ උස්සන්ගොඩ. මම උස්සන්ගොඩ ගැන ඉස්සරලාම ටිකක් ගැඹුරට විස්තර දැනගත්තේ 2008 අවුරුද්දේදී. ඒ කාලේ කතරගම පෙරහැරේ සංවිධාන කටයුතු කරපු එක්තරා පෞද්ගලික සමාගම බොහොම කනිෂ්ට තනතුරක් මට ලැබිලා තිබුණා. ඒ කාලේ හැටියට ඒක මට dream job එකක් වෙලා තිබ්බේ.

ඒ දවස් වල ඉඳන්ම උස්සන්ගොඩ දැකබලාගන්න යන්න ඕනෑකම තිබ්බත් කාර් පිස්සුව හැදෙනකල්ම මට ට්‍රිප් යනවා කියන එක කම්මැලි අත්දැකීමක් වෙලයි තිබුණේ. වෑන් එකක දණිස් හිරකරගෙන ගිහින් හැමෝම යන පන්සල් ටිකයි බීච් ටිකයි කෑම කඩ ටිකයි බලාගෙන එන එකේ ආතල් එක මොකක්ද කියන එක මට තේරුණේම නෑ. ඒ නිසා එහෙම ට්‍රිප් මතක් වෙනකොට මට දැනුණේ පැනඩෝල් පෙත්තක් ඔබපු කරවිල ගෙඩියක් චාර්වක දත්වලින් හපලා චොලචොල ගගා තලු ගගහා කනවා වගේ හැඟීමක්. 



9 ශ්‍රී 5333 ඉස්සරලම හයිවේ දැම්ම දවසට පස්සේ මේ ඔක්කොම දේවල් වෙනස් වුණේ ගෙම්බෙක් මැස්සෙක් ගිලින වේගෙන්. ටොල් බූත් එකෙන් නික්මිලා අර කුඩමිට වගේ විහිදෙන බෙන්ඩ් එක දිගේ ගිහින් හයිවේ එකේ පිඹගෙන දුවන අනූව දශකේ සහ සහශ්‍රකේ වාහන කන්දරාව අතරට එකතු වෙනකොට බීට්ල් එක එන්ජිමෙන් හිනාවෙන්න ගන්නවා. විසිල් එකට පෙමින් බැඳුණු එයා-කූල්ඩ් පිස්සන්ට ජීවිතේ අමධාරා වෙන්න ගන්නේ මෙතන ඉඳන් තමයි. මේ අමධාරා උල්පතේ රස උතුරා කන සාක්කුවේ වැටෙන්න ඩෝප් වුණාට පස්සේ මම පාන් ගන්නත් හයිවේ දාන තත්ත්වයක් උදා වුණා. අදටත් මම කොහෙහරි යන්න වුවමනා වුණාම ගූගල් මැප් එකට බල්ටියක් ගහලා 'පිස්සෙක් වගේ පිස්සෙක් වගේ' බලන්නේ හයිවේ එකට දාලා එහෙට යන්න පුළුවන්ද කියන එකයි.


සුපුරුදු විදිහටම ගමන පිටත් වෙන්න කලින් මම 9 ශ්‍රී 5333 ලෝකේ හොඳම මිනිස්සුන්ගෙන් කෙනෙක් වන මගේ හිතමිත්‍ර මිකැනික් දයානන්ද අයියා ගාවට සෞඛ්‍ය පරීක්ෂණයකට එක්කන් ගියා. පොඩි පොඩි තෙල් සාත්තු සහ නස්න දෙක තුනකට පස්සේ මට ගමනට ඕකේ එක ලැබුණා. ඊට පස්සේ ටයර් ටික චෙක් කරවලා, රවුමක් දෙකක් දුවලා බලලා, ෆුල් වොෂ් එකක් එහෙම දීලා අපි පහුවදා උදේ ගමන පිටත් වුණා. පානදුර ඉඳන් මහරගම ගිහින් අපේ ගමන් සගයා වුණු ඉන්දික සිරිමාන්නවත් දාගෙන තමයි අපි කොට්ටාවෙන් හයිවේ එකට දැම්මේ.

මීට කලින් මට 9 ශ්‍රී 5333 එක්ක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ ඉඳන් මාතරටම යන්න ලැබිලා තිබ්බේ නැහැ. ගැලනිගමින් දාලා පිටත වටරවුම් මාර්ගයේ කඩවතින් එළියට එන එක සහ ඒ ගමනේ අනෙක් පැත්ත වගේම කටුනායක අධිවේගී මාර්ගයේ මුළු දුරම වගේ ගොඩක් ක්‍රම වලට අධිවේගී මාර්ග ආවරණය කරලා තිබ්බට මට කොට්ටාවේ ඉඳන් මාතරට යන්න ලොකු වුවමනාවක් තිබ්බා. ඔය දුර එක දිගට නොනැවතී දුවන්න ඕනෑකම තිබ්බත් ඉතින් බඩපණුවෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ බඩ ගැන හිතහිතා දඟලන්න ගත්තු නිසා වැලිපැන්නේ නවත්තලා ඒකෙ තියන මෙලෝ රහක් නැති කෑම කාලා තමයි යන්න වුණේ. 




මාතර නිල්වලා පිවිසුමෙන් එළියට ඇවිත් මාතර ටවුමට ආවට පස්සේ එතන ඉඳන් අම්බලන්තොට පහුකරලා වරාය පිවිසුම පේන මානෙන් මිරිජ්ජවිල පැත්තට යන්න වමට හරවනකල් පාර සෑහෙන්න පටුයි. ඒක බස් රේස් යන, ටිපර් කොටන, ඩීසල් ත්‍රීවීලර් නැළවෙන පාරක්. ඒ නිසා ඒ ටික පහුවෙන්නේ කොයි වෙලේද කියලා හිතහිතා තමයි මම කොයි වෙලේ ගියත් යන්නේ.

මිරිජ්ජවිල උද්‍යානෙ පැත්තට හරවන්න කලින්, හුංගම හරිය පහු කරගෙන ලුනම පැත්තට කිට්ටු කරනකොට තමයි උස්සන්ගොඩ හම්බවෙන්නේ. ගූගල් මැප් එකේ හරවන්න කියලා දෙන තැනින් හරවන්න බැහැ. ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඔය නෝනාගම වැව කියලා මාක් වෙන හරියේ උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියලා බෝඩ් එක ගහලා තියනවා. එතනින් හරෝලා ටික දුරක් ගිහින් දකුණට හැරෙව්වම තමයි අර නාඹර ගෑනු ළමයාගේ මූණ වගේ පාර හම්බවෙන්නේ.

කුණාටුවකට අහුවුණු බිල්බෝඩ් වගේ අනාථමාරුත පෙනුමක් තියන පුංචි කඩපේළියක් ඉස්සරහ තියන ගස් නොවැවුණු පුංචි ඉඩකට තමයි උස්සන්ගොඩ කාර් පාක් එක කියලා කියන්නේ. එතනින් එහාට වාහන දාන්න බැරිවෙන්නේ තඩි ගලක් දාලා තියනවා. ඒ තඩි ගල උඩින් පැනලා ඉස්සරහට ගියාම පේන්නේ රතුපාට සහ කොළපාට පිරුණු ස්වභාවධර්මයේ මාස්ටර්පීස් එකක්...


උස්සන්ගොඩ කියන්නේ රාවණාගේ දඬු මොණරේ බාපු තැන කියලා හිතන්න තරමට මොළේ අමාරුවක් මට නැති නිසා ගොඩක් අය වගේ මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ මෙතනට උල්කාෂ්මයක් වැටිලා කියලයි. නමුත් මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මෙත්තිකා විතානගේ සහ අනුෂ්කා උපමාලි රාජපක්ෂ ලියපු 'උස්සන්ගොඩ වටා ගෙතුණු මතවාද සහ එහි ඓතිහාසික පසුබිම' කියන ලිපියේ බොහොම පැහැදිලිව කියලා තියනවා මේක වෙනත් ස්වාභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව. ඒ ලිපියට අනුව මෙතන ඉස්සර භූ තල මායිමක් තිබිලා තියනවා. ඒ භූතල මායිමේ මැග්මා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවුණු 'සර්පන්ටිනයිට්' කියන පාෂාණයක් තමයි මෙතන තියෙන්නේ. මේ ගැන විස්තර මෙන්න මේ ලින්ක් එක ක්ලික් කළොත් බලාගන්න පුළුවන්.




උස්සන්ගොඩ පිහිටීම අමුතුයි. ශාක වැවීම අමුතුයි. හාත්පස දර්ශනය අමුතුයි. මේ නිසා හුළග පවා දැනෙන්නේ අමුතුවට. ඒක හරියට අලුත් ආදරේක කුළුඳුල් නෝක්කාඩුවයි ආයේ හාද වීමයි අතර තියන අමුතු සිතිවිලි මල්මාලාව වගේ හැඟීමක්. හැමදාමත් ට්‍රිප් කියලා බීච් අස්සෙයි දියඇලි අස්සෙයි බිස්නස් සෙන්ටර් බවට පත්වුණු පන්සල් අස්සෙයි රිංගන අපට ඒක එදා උස්සන්ගොඩ කාර් පාක් එක ඉස්සරහ කඩේකින් බීපු ගම්මිරිස් මිශ්‍ර දොඩම් වීදුරුව වගේම refreshing අත්දැකීමක්  වුණා.

උස්සන්ගොඩ භූමියේ කැලේ වගේ වැවිලා තියෙන්නේ තැන් කීපයක විතරයි. අනික් හැම තැනම තියන තුනී කොළපාට පාපිස්සක් වගේ වැවුණු පැළෑටි ආවරණයක් විතරයි. මේ ආවරණය මැද්දෙන් දෙතුන් පැත්තකට අඩි පාරවල් පෑදිලා තියනවා. මේ දර්ශනය හරියට පුංචි දරුවෙකුගේ උපන්දිනේකට හදාපු කොළපාට අයිසින් ගාපු රතුපාට කේක් එකක් වගේ. පොඩි එකා කේක් එක එහෙන් මෙහෙන් උලාකාලා වගේ තමයි කොළ පාටයි රතු පාටයි මාරුවෙන් මාරුවට දර්ශනය වෙන්නේ.



කැලෑව වැවිලා තියන තැන් මැද්දෙන් පෑදිලා තියන පුංචි පාරවල් දිගේ පතොක් කටුයි ගස්වල අතුයි බේරගෙන මූදු වෙරළ පැත්තට ඇවිදන් යනකොට දැනෙන්නේ අපි නොදන්නා දේශයක ඝන වනාන්තරයක් මැද්දෙන් ඇවිදන් යනවා වගේ. කවදාවත් ගිහිල්ලා නැතිවුණාට මට ඇමරිකාවේ නිව් ජර්සි වල කැලෑවල් සහ ජර්සි යකා මතක් වුණා. ජර්සි යකා වෙනුවට උස්සන්ගොඩදී පරිස්සන් වෙන්න ඕන පතොක් කටු සහ බෝතල් කටු වලින්. පතොක් කටු නම් ඉවසන්න පුළුවනි, ඒත් බෝතල් කටු දැක්කම උස්සන්ගොඩ රක්ෂිතය තරම් විශාල මලක් පනිනවා. මේ පඳුරු යායවල් අස්සේ මීට වඩා දේවල් තියන/කෙරෙන/වෙන බව ඉන්දික අපට කිව්වා. කොටින්ම ඉරිච්ච ඇඳුම් කෑලි පවා කටු අතු අස්සේ එල්ලි එල්ලි තියනවා.  


මේ හැම දේකින්ම අපට පේන්නේ හරිහමන් විනෝද සංස්කෘතියක් හෝ ලිංගික සංස්කෘතියක් නැති, සදාචාරේ කියන ට්‍රාන්ස්පේරන්ට් ජංගිය ඇඳගෙන පොරටෝක් දිදී පරිසරයත් විනාස කරගෙන තමනුත් විනාස වෙන අසංස්කෘතික ජාතියක බලි රූප තමා... රිදුණා නම් සිද්ධාලේප මිලිග්‍රෑම් පහක් ඇඟිල්ලට අරන් එන්ජින් ඔයිල් පොඩ්ඩක් කලවං කරලා කැමති ඕනෑම තැනක ගාගන්ඩ...

කැලෑව පහුකරගෙන ගිහින් බීච් එකට ගියාම පේන්නේ රළ පාරේ නිරන්තර වූෂු පාරවල් වලින් යටිබඩ නිල්වෙන්න බැට කමින් ඉන්න බොහොම vulnerable උස් භූමියක්. බීච් එකට බහින තැනක් හොයාගන්න එක කම්මැලි නැති ගරාජ් බාස් කෙනෙක් හොයාගන්නවා වගේ අමාරුයි. වෙරළට බැස්සම තේරෙනවා වැල්ල සෑහෙන්න එරෙනවා කියලා. ඒ වගේම සමහර තැන්වලින් හිතන්න බැරි තරම් දුරකට රැල්ල ඇතුළට ගහනවා. ඒ නිසා රැල්ල පාගන්න වගේ දේවල් වලට නොයා ඉන්න තරමට හොඳයි. මොකද අපි ගිය දවසේ රැල්ල ඒ තරම් සැරට තිබුණා. මූදු රැල්ලක් දැක්ක ගමන් කුරුම්බැට්ටිය පොල් ගස් පල්ලට වැටෙන වේගෙන් ඒ පැත්තට දුවන කෞශිව නවත්ත ගන්න මට සෑහෙන ගේමක් දෙන්න වුණා.





අනික් අතට බීච් එකත් බෝතල් කටු, ප්ලාස්ටික්, පොලිතින් වලින් පිරිලා. ඊට වඩා අප්පිරියා හිතෙන දේවල් වුණත් බොහොම ලේසියෙන් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ජනාකීර්ණ තැනක් නොවෙන උස්සන්ගොඩට මෙහෙම වෙනවා නම් අනික් තැන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බිඳිච්ච අරක්කු බෝතල් සහ පාවිච්චි කරපු ආරක්ෂක උපාංගවලට බයේ අඩිය තියන්න වෙනකොට හිතෙන්නේ මීට හොඳයි 4DR5 එකක් අරගෙන ආවා නම් කියලයි.





කොහොම වුණත් පොඩි උත්සහයක් ගත්තම මේ තුප්පහි වැඩ පොඩ්ඩක් අමතක කරලා උස්සන්ගොඩ පරිසරය ඇහැ පුරා, නහය පුරා, ඇඟ පුරා, හිත පුරා විඳගන්න පුළුවනි. මට තැනකට ආයේ ආයේ යන්න හිතෙන්නේ බොහොම කලාතුරකින්. බැංකොක් ඇරෙන්න වෙන කිසිම තැනකට මට නැවත නැවත රිංගන්න හිතෙන්නේ නැහැ. නමුත් ආයේ දවසක චාන්ස් එකක් ආවොත් උස්සන්ගොඩට එන්න ඕනේ කියලා මම හිතාගත්තා.

පැයක් දෙකක් උස්සන්ගොඩ භූමියෙයි මූදු වෙරළෙයි ගැවසිලා අපි ආපහු කාර් පාක් එක පැත්තට ආවා. සාමාන්‍යයෙන් පුංචි කඩ කෑලිවලින් දොඩම් හෝ බෙලිමල් වගේ දේවල් බොන එක ට්‍රිප් එකක අනිවාර්ය අංගයක් නිසා අපි කඩේකටත් ගොඩවුණා. එතනින් ලැබුණු ගම්මිරිස් මිශ්‍ර කරපු දොඩම් වීදුරුවේ රස නම් කියලා වැඩක් නැහැ. මීට කලින් ඒ සුසංයෝගයේ රහ දිවට දැනිලා නොතිබුණු අපි පළවෙනි උගුරෙන් පස්සේ ඒ දොඩම් වීදුරුව තලු මැරුවේ හරියට දවස් දෙකක් රවුම් ගහල ආපු පූසෙක් කිරි පීරිසියක් බීගෙන බීගෙන යන තරමේ පෙරේතකමකින්. එතන තව පොල් රොටි වගේ දේවල් තිබුණත් දවල්ට කන වෙලාව ඇවිත් තිබුණු නිසාත්, ඉක්මනට ගල්කණුමණ්ඩිය පැත්තට යන්න ඕන වෙලා තිබුණු නිසාත් අපි එතනින් පිටත් වෙලා ආපහු අර නාඹර ගෑනු ළමයාගේ මූණ දිගේ ගිහින්, කෙසෙල් වගාවල් සහ මීහරක් රංචු යායක් මැද්දෙන් ඇවිත් තංගල්ල පාරෙන් දකුණු පැත්තට දාලා ඇක්සලරේටරේ නිසි පමණට පාගලා බීට්ල් එකේ විසිල් එකෙන් පාර දෙවනත් කළා.

කන්න තැනක් හොයහොය යන ගමනුත් අපි කතා කළේ මීට වඩා ප්‍රයෝජනවත් විදිහට උස්සන්ගොඩ සම්පත පාවිච්චි කරන්න ලංකාව අසමත් වුණේ ඇයි කියන එකයි. මේක සංචාරකයෝ අදින්න පුළුවන් කාන්දමක්. හැබැයි ලංකාවේ එවුන්ගේ ගෝත්‍රික මානසිකත්වේ නිසා ඔය වගේ යෝජනාවක් ආපු ගමන් එක සෙට් එකක් පාර හරස් කරලා යටිගිරියෙන් කෑගහන්න ගන්නවා. තව කට්ටියක් සුද්දෝ ආවම සල්ලි කඩාගන්නයි සුද්දියෝ ආවම ලිංගික යෝජනා කරන්නයි ප්ලෑන් ගහනවා. ශිෂ්ට සම්පන්න  රටක මෙහෙම තැනක් තිබ්බා නම් මේක මීට වඩා කොච්චර විධිමත් විදිහට පාලනය වේවිද කියලා හිතෙනකොට දුකයි.



මොනවා වුණත් අපට ඉල්ලන්න පුළුවන් දේ මෙච්චරයි. උස්සන්ගොඩ බලන්න යන්න. ඔය හැමදාම දකින සීමාසහිත පන්සල පුද්ගලික සමාගම් වලට වඩා සහ බේබද්දෝ දවස් හතරේ නිවාඩුවට බොන්න රිංගන දියඇලි වලට වඩා මේ වගේ තැනක් බලන එක වටිනවා. හැබැයි බොන්න ඕන නම් බාර් එකකට යන්න. ලිංගිකව හැසිරෙන්න ඕන නම් හෝටලේකට යන්න. මූදේ නාන්න ඕන නම් උණවටුනේ යන්න. කෑගහන්න ඕනේ නම් මැච් එකක් බලන්න යන්න.

ලංකාවේ ස්වභාව සෞන්දර්යයේ පිස්සු බම්ප් වෙන නිර්මාණයක් සංවරව බලන්න කැමති නම් උස්සන්ගොඩ එන්න...

(ඊළඟ කොටසින් 9 ශ්‍රී 5333 ගල්කණුමණ්ඩිය සහ යටාල බලන්න ගිය හැටි ගැන කතාකරමු)

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
17.06.2017 
www.facebook.com/CarPissuwa

(බීට්ල් එක හයිවේ එකේ දුවන ෆොටෝ තුන ගත්තේ ඉන්දික සිරිමාන්න. ඉතුරු ෆොටෝ ගත්තේ මම).



Saturday, May 13, 2017

අවුරුදු 100 කට කලින් කාර් හදපු මිට්සුබිෂි


මිට්සුබිෂි සමාගම කාර් හදන්න පටන් අරං මේ අවුරුද්දට අවුරුදු සීයක් පිරෙනවා... ඒක සමරන්න එයාලා තමන්ගේ මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක වුණු Mitsubishi Model A එකේ ආකෘතියක් හදන්න යනවා කියලා වෙසක් දවසේ ආරංචියක් ආවා. මේක හදන්න යන්නේ Outlander PHEV platform එක බේස් කරගෙන Plug-in Hybrid එකක් විදිහට කියලයි කියන්නේ. වැඩේ කරන්නේ West Coast Customs එක ලු...

මේක අහපු ගමන් හිතෙන්නේ හතරේ පන්තියේ පොඩි එකා උගේ ගණන් පොතේ පිටිපස්සේ කොලේ ඉරලා කැන්ටිම ළඟ මඩ වලට දාන්න හදාපු කඩදාසි බෝට්ටුවට  ඇමරිකාවේ ඉන්න පච්ච කොටෙක් ස්පීඩ්බෝට් එන්ජිමක් හයිකරන්න යනවා වගේ වැඩක් කියලා...

හැබැයි ඒත් එක්කම මට හිතුණේ අවුරුදු 100 ක් ඇතුළත මිට්සුබිෂි එක කොච්චර දුරක් ඇවිල්ලද කියන එකයි. එදා හදපු Model A එකයි අන්තිමට ආපු Evo X එකයි එක ළඟ තියලා බැලුවොත් බුරම්පියගේ උන වෙඩිල්ලයි ට්‍රම්ප් ගේ GBU-43 MOAB බෝම්බෙයි අතර වගේ වෙනසක් තියනවා. ඒ නිසා මට පොඩ්ඩක් මිට්සුබිෂි එකේ ඉතිහාස වාර්තා රාක්කෙට සයිලම්බරේකින් අනින්න හිතුණා... 


ට්‍රම්ප් ලොක්කා ෆොටෝ එකක් දුන්නා. බුරම්පියා බෑ කිව්වා.


ෆොටෝ එක ගත්තේ www.drivespark.com එකෙන්
මිට්සුබිෂි නම ඇහුණු ගමන් එක එක අයට එක එක දේවල් මතක් වෙනවා. කාර් ගැන හීන දකිමින් ඉන්න අයට සහ පරම්පරාවේ සල්ලි තිබිච්චි අයට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ Evo, FTO හෝ Eclipse වගේ නම්. ජීවිතේ තාමත් ලෝඩ් කරන අන්ලෝඩ් කරන අයට ඩෙලිකා, ෆූසෝ හෝ කැන්ටර් වගේ නම් මතක් වෙනවා. එකෙක් ව පදිරි කරලා අරගෙන තව එකෙක්ව අන්දලා දෙන ජාතියේ බිස්නස් කරන එවුන්ට කියවෙන්නේ CB8, CK1, CK2 වගේ නම්.

Evo X.


ක්ලැසික් කාර් එක්ක සංසාරගත මෙවුවා එකක් තියාගෙන තාමත් මෙවුවා වෙන මං වගේ මෙවුවලාට මතක් වෙන්නේ ලාන්සර් බොක්ස්.

මම මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් එක්ක ලියුං කවරෙයි ගම් බෝතලෙයි වගේ පෙමින් බැඳුණේ මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක් නිසා. ඒක ගැන මම වෙනම ලිපියක් ලියලා තියනවා. මගේ නොසැලකිල්ල නිසා වුණු කිඹුලා බනිසක සීනි ඇටයක් තරම් පොඩි ගැටලුවක් දෙකක් ඇරෙන්න මගේ ළඟ තිබුණු අවුරුදු 6 ටම ඒ බොක්ස් එක කිසි වදයක් දුන්නේ නැහැ. 4-Forward එකක් වෙලත් ඇක්සලේටරේ පාගපු ගමන් රතිඤ්ඤා සද්දේ ඇහුණු කාක්කා වගේ තමයි කාර් එක ඉගිල්ලෙන්න ගන්නේ. මම ඒක වික්කේ මට බීට්ල් පිස්සුව ගහපු නිසා.

මගේ ලාන්සරේ- අවුරුදු 6 කට විතර කලින්

මිට්සුබිෂි සමාගම පටන් ගත්තේ 1870 අවුරුද්දේදී. ඒ කියන්නේ අවුරුදු 147 කට විතර කලින්. කට වටේට රබර් බෙල්ට් එකක් දැම්මා වගේ අමුතු මරුමුස් පෙනුමක් තියන යටාරෝ ඉවසකි (Yataro Iwasaki) කියන මහත්තයා පරණ වාෂ්ප නැව් තුනක් කුලියට අරගෙන, නැව් කොම්පැනියක් හැටියට තමයි සමාගම පටන් ගත්තේ. ඒ මහත්තයා ජපානේ ෂිකොකු කියන දූපතේ කොචි කියන ප්‍රාන්තේ කෙනෙක් ලු.


යටාරෝ ඉවසකි

මිට්සුබිෂි සමාගම බොහොම ඉක්මණින් දියුණු වෙන්න ගත්තා කියලා එයාලගේ වෙබ් සයිට් එකේ තියනවා. ඒ වගේම සැරින් සැරේ සමාගමේ නම වෙනස් වුණා. උදාහරණයක් හැටියට  Mitsukawa Shokai, Mitsubishi Shokai, Mitsubishi Jokisen Kaisha (Mitsubishi Steamship Company), Yubin Kisen Mitsubishi Kaisha (Mitsubishi Mail Steamship Company) විදිහට නම් ගොඩක් වෙනස් වෙලා තියනවා. යටාරෝ නම් 1885 දී පිළිකාවක් හැදිලා මරණයට පත්වුණා ලු. ඊට පස්සේ එතුමාගේ සහෝදරයා යනොසුකේ සභාපති වුණා.

1893 අවුරුද්දේදී යටාරෝ ගේ පුතා හිසායා සමාගමේ සභාපති තනතුරට පත්වුණා. මේ වෙද්දී ජපානේ තරුණ පරපුරට බටහිර ලෝකය විවර වෙලයි තිබුණේ. හිසායා ත් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. මෙයා සමාගම තවදුරටත් පුළුල් කරලා දියුණු කළා.

ඊට පස්සේ 1916 අවුරුද්දේදී යනොසුකේ ගේ පුතා කොයාටා ඉවසකි (Koyata Iwasaki) සභාපති විදිහට පත්වුණා. මෙයා එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි ලබාපු කෙනෙක්. අවුරුදු 30 ක් විතර කාලයක් මේ තනතුර දරපු කොයාටා ගේ කාලේ තමයි මිට්සුබිෂි සමාගම යන්ත්‍රසූත්‍ර,  විදුලි උපකරණ සහ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් පැත්තට ලොකු බරක් දුන්නේ. Mitsubishi Model A එක නිර්මාණය වුණෙත් මෙතුමා හිටපු කාලෙම තමයි. 

පවුල් ගහ
මේ කාලේ වෙද්දී කාර් එකක් හදලා දෙන්න කියලා ජපානේ හමුදාවෙන් ඉල්ලීම් එන්න ගත්තා. ඒ වෙනකල් ජපානේ සමූහ වශයෙන් කාර් නිෂ්පාදනය වෙලා තිබුණේ නැහැ. හැබැයි ජපන්නු කියන්නේ අලුත් නිර්මාණ කරන්න වගේම කොපි කරන්නත් නොදන්න ජාතියක් නෙමෙයි. ඒ නිසා Mitsubishi Shipbuilding Co., Ltd. එක වැඩේ භාරගත්තා. මෙයාලා කළේ ඉතාලියේ හදපු Fiat Tipo 3 එකක් උස්සන් ඇවිත් මස් කරලා, ඒක හදලා තිබුණු විදිහ අනුව ප්ලෑන් ගහගෙන කාර් එකක් හදපු එකයි. මේකට නම තිබ්බේ Mitsubishi Model A කියලා.

Fiat Tipo 3 එක


Mitsubishi Model A එකේ Prototype එක හැදුවේ 1917 දී. 1919 වෙද්දී කාර් එක විකුණන්න පුළුවන් තත්ත්වයට ආවා. වාහෙනේ එන්ජිම හදලා තිබ්බේ Cast iron වලින්. බොඩිය හැදුවේ අශ්ව කරත්ත හදන සෙට් එකක්. එයාලා ඉන්ටීරියර් කළේ ලැකර් කරපු සුදු සයිප්‍රස් ලී පාවිච්චි කරලා. 

කොටින්ම කිව්වොත් ඒක 'අස්සයා නැති අස්ස කරත්තයක්.'

වාහනේ විකුණන්න Ote Company කියලා වෙනම සමාගමක් හැදුවා. ඒක Mistubishi Shipbuliding සහ Mitsubishi Corporation සමාගම්වල එකතුවක්. 





Mitsubishi Model A- ෆොටෝ ගත්තේ www.fitmycar.com එකෙන්


වාහනේ විස්තර ටිකක් මේ විදිහට දක්වන්න පුළුවන්. 

නම: Mitsubishi Model A

දොරවල් ගාන: 4 

යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා ගාන: 7 

එන්ජිම: 2.8L 

බලය: 35hp 

ගියර්: 4 

වාහනේ බර: කිලෝග්‍රෑම් 1,315 


1921 වෙද්දී Prototypes එක්ක කාර් 22 ක් හදලා තිබුණා. ඒ කාලේ හැටියට ඊට වඩා මහා පරිමාණයෙන් මේක නිෂ්පාදනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මිට්සුබිෂි සමාගම ඊට පස්සේ ආපහු නැව් හදන්න සහ ට්‍රක් වගේ දේවල් හදන්න පෙළඹුණා. ආයේ අවුරුදු 40 ක් විතර යනකල් මිට්සුබිෂි ලා කාර් හැදුවෙ නෑ.

මේ කාර් 22 න් එකක් වත් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ. අර සයිබීරියාවේ කුඹුරෙන් මතුවෙච්චි ටොයෝටා එක වගේ Mitsubishi Model A එකක් තාම කිසිම නරාවලකින් මතුවෙලා නැහැ. දැනට ජපානේ Okazaki වල Mitsubishi Auto Gallery එකේ තියලා තියන කාර් එක 1972 දී හදපු ආකෘතියක්. 



දැන් මේ Model A එකේ අවුරුදු සීය සමරන්න හදන කාර් එක කොහොම වෙයිද කියන්න අපි තාම දන්නේ නෑ. මේ වැඩේ කරන්නේ Discovery Turbo එක හරහා එහෙම ලංකාවේ කාර් පිස්සොත් හොඳට අඳුරන Ryan Friedlinghaus ගේ West Coast Customs සමාගම. 

කැමති නම් මෙතනින් එයාලගේ සයිට් එකට යන්න පුළුවන්: www.westcoastcustoms.com

West Coast Customs එක මේ වගේ තිරිකිස් වැඩ වලට ශූරයෝ කියලා ඔයාලා දන්නවා ඇති. හැබැයි අනික් අතට සේවකයන්ට හරියට පඩි ගෙවුවේ නැහැ කියලා Ryan Friedlinghaus ට 2014 ලෙඩකුත් වැටුණා (www.autoblog.com/2014/05/01/west-coast-customers-wage-trouble-underpaying/). ඒ කොහොම වුණත් අපට දැනට කරන්න පුළුවන් වෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. එයාලා කාර් එක හැදුවට පස්සේ ඒක කරපු විදිහ Velocity channel එකේ යන 'Inside West Coast Customs' වැඩසටහනේ episode එකක් විදිහට පෙන්නාවි. අවධානයෙන් ඉන්න...

Ryan Friedlinghaus

ජපානේ කාර් බ්‍රෑන්ඩ් වලින් මම තාමත් වැඩියෙන්ම ආසා කරන්නේ මිට්සුබිෂි එකට. ඒක අර ලොකු වුණාට පස්සෙත් කඩේ සීනි බෝල බෝතල් දකිද්දී එන ආසාව වගේ එකක්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මිට්සුබිෂි එක සම්බන්ධ විශේෂ නිවුස් එකක් දකින වාරයක් ගානේ මාව ඒ පැත්තට ඇදිලා යනවා. 



දැන් මිට්සුබිෂි එකේ බහුතර කොටස් ප්‍රමාණයක් (34%) අයිති නිසාන් එකට. නිසාන් එකේ සභාපති Carlos Ghosn ම තමයි මිට්සුබිෂි එකෙත් සභාපති. ඒ කියන්නේ මිට්සුබිෂි මෝටර්ස් එක දැන් තියෙන්නේ නිසාන් යටතේ. 

නිසාන් එක්ක මගේ එච්චර ලොකු ඇයි හොඳයියක් නෑ. ඒ ඇයි කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ, මොකද මගේ කාර් ලෝකේ සමීප යාළුවෝ අතර තදබල නිසාන් ෆෑන්ස්ලා ඉන්න නිසා (මේ අතර සමහරු ඉන්නවා නිසාන් බැජ් එක බුලත් කොලේකින් පිහදලා ඔලිව් ඔයිල් දාපු චීනච්චට්ටි පහනක් පත්තු කරලා සාම්බ්‍රානි පාරක් අල්ලලා හෙන්දිරික්කා මලක් පූජා කරලා ජපන් ගාථාවකුත් කියන සයිස් එකේ බැතිමත්තු).  

මොනවා වුණත් මේ මට්ටමට හරි මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එක තමන්ගේ අනන්‍යතාව එක්ක ඉස්සරහට යමින් ඉන්න එක ගැන මට සතුටුයි. 

ඒක හරියට තමන්ගෙන් වෙන්වුණු, ඒත් තරහකුත් නැති පරණ පෙම්වතියක්, කියන්න තරම් අවුලක් නැති ජීවිතයක් ගතකරනවා දකිනකොට එන අර්ථ දක්වන්න බැරි, පසුතැවිල්ලයි සැනසිල්ලයි අතර දෝලනය වෙන සිතිවිල්ලක් වගේ එකක්... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
12.05.2017 
www.facebook.com/CarPissuwa

වැඩි විස්තර බලන්න කැමති අය මේ ලින්ක් වලට යන්න:
www.forbes.com/2001/04/23/0423feat.html
www.mitsubishi-motors.com/en/innovation/history/year/1950/50_1.html
www.autoblog.com/2017/04/27/mitsubishi-100-year-old-car-phev-west-coast-customs/