Saturday, May 13, 2017

අවුරුදු 100 කට කලින් කාර් හදපු මිට්සුබිෂි


මිට්සුබිෂි සමාගම කාර් හදන්න පටන් අරං මේ අවුරුද්දට අවුරුදු සීයක් පිරෙනවා... ඒක සමරන්න එයාලා තමන්ගේ මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක වුණු Mitsubishi Model A එකේ ආකෘතියක් හදන්න යනවා කියලා වෙසක් දවසේ ආරංචියක් ආවා. මේක හදන්න යන්නේ Outlander PHEV platform එක බේස් කරගෙන Plug-in Hybrid එකක් විදිහට කියලයි කියන්නේ. වැඩේ කරන්නේ West Coast Customs එක ලු...

මේක අහපු ගමන් හිතෙන්නේ හතරේ පන්තියේ පොඩි එකා උගේ ගණන් පොතේ පිටිපස්සේ කොලේ ඉරලා කැන්ටිම ළඟ මඩ වලට දාන්න හදාපු කඩදාසි බෝට්ටුවට  ඇමරිකාවේ ඉන්න පච්ච කොටෙක් ස්පීඩ්බෝට් එන්ජිමක් හයිකරන්න යනවා වගේ වැඩක් කියලා...

හැබැයි ඒත් එක්කම මට හිතුණේ අවුරුදු 100 ක් ඇතුළත මිට්සුබිෂි එක කොච්චර දුරක් ඇවිල්ලද කියන එකයි. එදා හදපු Model A එකයි අන්තිමට ආපු Evo X එකයි එක ළඟ තියලා බැලුවොත් බුරම්පියගේ උන වෙඩිල්ලයි ට්‍රම්ප් ගේ GBU-43 MOAB බෝම්බෙයි අතර වගේ වෙනසක් තියනවා. ඒ නිසා මට පොඩ්ඩක් මිට්සුබිෂි එකේ ඉතිහාස වාර්තා රාක්කෙට සයිලම්බරේකින් අනින්න හිතුණා... 


ට්‍රම්ප් ලොක්කා ෆොටෝ එකක් දුන්නා. බුරම්පියා බෑ කිව්වා.


ෆොටෝ එක ගත්තේ www.drivespark.com එකෙන්
මිට්සුබිෂි නම ඇහුණු ගමන් එක එක අයට එක එක දේවල් මතක් වෙනවා. කාර් ගැන හීන දකිමින් ඉන්න අයට සහ පරම්පරාවේ සල්ලි තිබිච්චි අයට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ Evo, FTO හෝ Eclipse වගේ නම්. ජීවිතේ තාමත් ලෝඩ් කරන අන්ලෝඩ් කරන අයට ඩෙලිකා, ෆූසෝ හෝ කැන්ටර් වගේ නම් මතක් වෙනවා. එකෙක් ව පදිරි කරලා අරගෙන තව එකෙක්ව අන්දලා දෙන ජාතියේ බිස්නස් කරන එවුන්ට කියවෙන්නේ CB8, CK1, CK2 වගේ නම්.

Evo X.


ක්ලැසික් කාර් එක්ක සංසාරගත මෙවුවා එකක් තියාගෙන තාමත් මෙවුවා වෙන මං වගේ මෙවුවලාට මතක් වෙන්නේ ලාන්සර් බොක්ස්.

මම මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් එක්ක ලියුං කවරෙයි ගම් බෝතලෙයි වගේ පෙමින් බැඳුණේ මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක් නිසා. ඒක ගැන මම වෙනම ලිපියක් ලියලා තියනවා. මගේ නොසැලකිල්ල නිසා වුණු කිඹුලා බනිසක සීනි ඇටයක් තරම් පොඩි ගැටලුවක් දෙකක් ඇරෙන්න මගේ ළඟ තිබුණු අවුරුදු 6 ටම ඒ බොක්ස් එක කිසි වදයක් දුන්නේ නැහැ. 4-Forward එකක් වෙලත් ඇක්සලේටරේ පාගපු ගමන් රතිඤ්ඤා සද්දේ ඇහුණු කාක්කා වගේ තමයි කාර් එක ඉගිල්ලෙන්න ගන්නේ. මම ඒක වික්කේ මට බීට්ල් පිස්සුව ගහපු නිසා.

මගේ ලාන්සරේ- අවුරුදු 6 කට විතර කලින්

මිට්සුබිෂි සමාගම පටන් ගත්තේ 1870 අවුරුද්දේදී. ඒ කියන්නේ අවුරුදු 147 කට විතර කලින්. කට වටේට රබර් බෙල්ට් එකක් දැම්මා වගේ අමුතු මරුමුස් පෙනුමක් තියන යටාරෝ ඉවසකි (Yataro Iwasaki) කියන මහත්තයා පරණ වාෂ්ප නැව් තුනක් කුලියට අරගෙන, නැව් කොම්පැනියක් හැටියට තමයි සමාගම පටන් ගත්තේ. ඒ මහත්තයා ජපානේ ෂිකොකු කියන දූපතේ කොචි කියන ප්‍රාන්තේ කෙනෙක් ලු.


යටාරෝ ඉවසකි

මිට්සුබිෂි සමාගම බොහොම ඉක්මණින් දියුණු වෙන්න ගත්තා කියලා එයාලගේ වෙබ් සයිට් එකේ තියනවා. ඒ වගේම සැරින් සැරේ සමාගමේ නම වෙනස් වුණා. උදාහරණයක් හැටියට  Mitsukawa Shokai, Mitsubishi Shokai, Mitsubishi Jokisen Kaisha (Mitsubishi Steamship Company), Yubin Kisen Mitsubishi Kaisha (Mitsubishi Mail Steamship Company) විදිහට නම් ගොඩක් වෙනස් වෙලා තියනවා. යටාරෝ නම් 1885 දී පිළිකාවක් හැදිලා මරණයට පත්වුණා ලු. ඊට පස්සේ එතුමාගේ සහෝදරයා යනොසුකේ සභාපති වුණා.

1893 අවුරුද්දේදී යටාරෝ ගේ පුතා හිසායා සමාගමේ සභාපති තනතුරට පත්වුණා. මේ වෙද්දී ජපානේ තරුණ පරපුරට බටහිර ලෝකය විවර වෙලයි තිබුණේ. හිසායා ත් ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. මෙයා සමාගම තවදුරටත් පුළුල් කරලා දියුණු කළා.

ඊට පස්සේ 1916 අවුරුද්දේදී යනොසුකේ ගේ පුතා කොයාටා ඉවසකි (Koyata Iwasaki) සභාපති විදිහට පත්වුණා. මෙයා එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි ලබාපු කෙනෙක්. අවුරුදු 30 ක් විතර කාලයක් මේ තනතුර දරපු කොයාටා ගේ කාලේ තමයි මිට්සුබිෂි සමාගම යන්ත්‍රසූත්‍ර,  විදුලි උපකරණ සහ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් පැත්තට ලොකු බරක් දුන්නේ. Mitsubishi Model A එක නිර්මාණය වුණෙත් මෙතුමා හිටපු කාලෙම තමයි. 

පවුල් ගහ
මේ කාලේ වෙද්දී කාර් එකක් හදලා දෙන්න කියලා ජපානේ හමුදාවෙන් ඉල්ලීම් එන්න ගත්තා. ඒ වෙනකල් ජපානේ සමූහ වශයෙන් කාර් නිෂ්පාදනය වෙලා තිබුණේ නැහැ. හැබැයි ජපන්නු කියන්නේ අලුත් නිර්මාණ කරන්න වගේම කොපි කරන්නත් නොදන්න ජාතියක් නෙමෙයි. ඒ නිසා Mitsubishi Shipbuilding Co., Ltd. එක වැඩේ භාරගත්තා. මෙයාලා කළේ ඉතාලියේ හදපු Fiat Tipo 3 එකක් උස්සන් ඇවිත් මස් කරලා, ඒක හදලා තිබුණු විදිහ අනුව ප්ලෑන් ගහගෙන කාර් එකක් හදපු එකයි. මේකට නම තිබ්බේ Mitsubishi Model A කියලා.

Fiat Tipo 3 එක


Mitsubishi Model A එකේ Prototype එක හැදුවේ 1917 දී. 1919 වෙද්දී කාර් එක විකුණන්න පුළුවන් තත්ත්වයට ආවා. වාහෙනේ එන්ජිම හදලා තිබ්බේ Cast iron වලින්. බොඩිය හැදුවේ අශ්ව කරත්ත හදන සෙට් එකක්. එයාලා ඉන්ටීරියර් කළේ ලැකර් කරපු සුදු සයිප්‍රස් ලී පාවිච්චි කරලා. 

කොටින්ම කිව්වොත් ඒක 'අස්සයා නැති අස්ස කරත්තයක්.'

වාහනේ විකුණන්න Ote Company කියලා වෙනම සමාගමක් හැදුවා. ඒක Mistubishi Shipbuliding සහ Mitsubishi Corporation සමාගම්වල එකතුවක්. 





Mitsubishi Model A- ෆොටෝ ගත්තේ www.fitmycar.com එකෙන්


වාහනේ විස්තර ටිකක් මේ විදිහට දක්වන්න පුළුවන්. 

නම: Mitsubishi Model A

දොරවල් ගාන: 4 

යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා ගාන: 7 

එන්ජිම: 2.8L 

බලය: 35hp 

ගියර්: 4 

වාහනේ බර: කිලෝග්‍රෑම් 1,315 


1921 වෙද්දී Prototypes එක්ක කාර් 22 ක් හදලා තිබුණා. ඒ කාලේ හැටියට ඊට වඩා මහා පරිමාණයෙන් මේක නිෂ්පාදනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මිට්සුබිෂි සමාගම ඊට පස්සේ ආපහු නැව් හදන්න සහ ට්‍රක් වගේ දේවල් හදන්න පෙළඹුණා. ආයේ අවුරුදු 40 ක් විතර යනකල් මිට්සුබිෂි ලා කාර් හැදුවෙ නෑ.

මේ කාර් 22 න් එකක් වත් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ. අර සයිබීරියාවේ කුඹුරෙන් මතුවෙච්චි ටොයෝටා එක වගේ Mitsubishi Model A එකක් තාම කිසිම නරාවලකින් මතුවෙලා නැහැ. දැනට ජපානේ Okazaki වල Mitsubishi Auto Gallery එකේ තියලා තියන කාර් එක 1972 දී හදපු ආකෘතියක්. 



දැන් මේ Model A එකේ අවුරුදු සීය සමරන්න හදන කාර් එක කොහොම වෙයිද කියන්න අපි තාම දන්නේ නෑ. මේ වැඩේ කරන්නේ Discovery Turbo එක හරහා එහෙම ලංකාවේ කාර් පිස්සොත් හොඳට අඳුරන Ryan Friedlinghaus ගේ West Coast Customs සමාගම. 

කැමති නම් මෙතනින් එයාලගේ සයිට් එකට යන්න පුළුවන්: www.westcoastcustoms.com

West Coast Customs එක මේ වගේ තිරිකිස් වැඩ වලට ශූරයෝ කියලා ඔයාලා දන්නවා ඇති. හැබැයි අනික් අතට සේවකයන්ට හරියට පඩි ගෙවුවේ නැහැ කියලා Ryan Friedlinghaus ට 2014 ලෙඩකුත් වැටුණා (www.autoblog.com/2014/05/01/west-coast-customers-wage-trouble-underpaying/). ඒ කොහොම වුණත් අපට දැනට කරන්න පුළුවන් වෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. එයාලා කාර් එක හැදුවට පස්සේ ඒක කරපු විදිහ Velocity channel එකේ යන 'Inside West Coast Customs' වැඩසටහනේ episode එකක් විදිහට පෙන්නාවි. අවධානයෙන් ඉන්න...

Ryan Friedlinghaus

ජපානේ කාර් බ්‍රෑන්ඩ් වලින් මම තාමත් වැඩියෙන්ම ආසා කරන්නේ මිට්සුබිෂි එකට. ඒක අර ලොකු වුණාට පස්සෙත් කඩේ සීනි බෝල බෝතල් දකිද්දී එන ආසාව වගේ එකක්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මිට්සුබිෂි එක සම්බන්ධ විශේෂ නිවුස් එකක් දකින වාරයක් ගානේ මාව ඒ පැත්තට ඇදිලා යනවා. 



දැන් මිට්සුබිෂි එකේ බහුතර කොටස් ප්‍රමාණයක් (34%) අයිති නිසාන් එකට. නිසාන් එකේ සභාපති Carlos Ghosn ම තමයි මිට්සුබිෂි එකෙත් සභාපති. ඒ කියන්නේ මිට්සුබිෂි මෝටර්ස් එක දැන් තියෙන්නේ නිසාන් යටතේ. 

නිසාන් එක්ක මගේ එච්චර ලොකු ඇයි හොඳයියක් නෑ. ඒ ඇයි කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ, මොකද මගේ කාර් ලෝකේ සමීප යාළුවෝ අතර තදබල නිසාන් ෆෑන්ස්ලා ඉන්න නිසා (මේ අතර සමහරු ඉන්නවා නිසාන් බැජ් එක බුලත් කොලේකින් පිහදලා ඔලිව් ඔයිල් දාපු චීනච්චට්ටි පහනක් පත්තු කරලා සාම්බ්‍රානි පාරක් අල්ලලා හෙන්දිරික්කා මලක් පූජා කරලා ජපන් ගාථාවකුත් කියන සයිස් එකේ බැතිමත්තු).  

මොනවා වුණත් මේ මට්ටමට හරි මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එක තමන්ගේ අනන්‍යතාව එක්ක ඉස්සරහට යමින් ඉන්න එක ගැන මට සතුටුයි. 

ඒක හරියට තමන්ගෙන් වෙන්වුණු, ඒත් තරහකුත් නැති පරණ පෙම්වතියක්, කියන්න තරම් අවුලක් නැති ජීවිතයක් ගතකරනවා දකිනකොට එන අර්ථ දක්වන්න බැරි, පසුතැවිල්ලයි සැනසිල්ලයි අතර දෝලනය වෙන සිතිවිල්ලක් වගේ එකක්... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
12.05.2017 
www.facebook.com/CarPissuwa

වැඩි විස්තර බලන්න කැමති අය මේ ලින්ක් වලට යන්න:
www.forbes.com/2001/04/23/0423feat.html
www.mitsubishi-motors.com/en/innovation/history/year/1950/50_1.html
www.autoblog.com/2017/04/27/mitsubishi-100-year-old-car-phev-west-coast-customs/

65 comments:

  1. ඇයි ඉතින් ඕක වෙන සමාගමකින් කරන්න යන්නෙ? මිට්සුබීෂීලටම පුළුවන්නෙ.. අර අස්සයා නැති කරත්තෙට ෆ්ලගින් හයිබ්‍රිඩ් දැම්මම කොහොමට හිටියිද කියලා මම කප්පනා කළේ..

    මම මේකෙ දැකපු දෙයක් තමා මිට්සුබිෂී ලෝගෝ එක පරිණාමයට අහුවෙලා නැති එක. අනිත් හැම ලෝගෝ එකක්ම වගේ කාලයත් එක්ක වෙනස් වෙලා..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් one-off එකක් කරනකොට custom කරන සමාගමකට වැඩේ භාරදෙන එක ලේසියි... West Coast Customs එක ඕකට කියාපු තැන...

      ලෝගෝ එක ගැන මටත් එච්චර අවධානයකට යොමුවෙලා තිබ්බේ නෑ. ස්තූතියි සෙන්නා...

      Delete
  2. උණ වෙඩි බුරම්පියගෙන් ඉල්ලලා වැඩක් නෑ. ඉල්ලන්න ඕනා බ්ලොග් කාරයන්ගෙන්. කාර්වලට සිංහලෙන් ආදරය කරණ පරපුර සිංහලෙන් සර්ච් කරන්නෑ වගේ.. !

    http://padanguwa.blogspot.com/2015/04/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...

      කාර් වලට සිංහලෙන් ආදරේ කළාට බඩගෝස්තරේ හැටියට සර්ච් කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්...

      Delete
    2. ඒ මොකද ? සිංහල තහනම් ද ?

      Delete
  3. අදත් ගොඩක් දේවල් ඉගෙනගත්තා... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිතිල...

      Delete
  4. ලාන්සර් බොක්ස් එක වගේම මගේ හිතට අල්ලපු එකක් තමයි නිසාන් සනී 1981 සහ 1987

    ReplyDelete
    Replies
    1. වෙලාවක ඩොක්ටර් සනියක් හොඳට පැදලා බලන්න ඕනේ...

      Delete
  5. කවදාවත් මේ අලුව කෑලි තුන බ්‍රෑන්ඩ් එකේ වාහනයක් පාවිච්චි කරල නෑ. ඒත් අපේ ම අනන්‍යතාවයක් වෙච්ච "පලාත් සබා මොඩෙල්" එකක්, පරණ ගැලන්ට් එකක්, ලාන්සර් එකක් දැක්කොත් පොඩි මෙව්ව එකක් ඇතිවෙයි...දැන්..පෝස්ට් එක ආකර්ශණීයයි....එච්චරටම......

    ReplyDelete
    Replies
    1. //අලුව කෑලි තුන බ්‍රෑන්ඩ් එකේ// හැක්...

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි... ලාන්සර් බොක්ස් එක හරිම අපූරු වාහනයක්...

      Delete
  6. මම තාම කල්පනා කරන්නෙ Jeep (J44) එකයි පැජරෝ එකයි ලිස්ට් එකෙන් හැලුනෙ කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. මම ඒවත් එක්ක ළඟ සම්බන්ධයක් තාම නැති නිසා ;)

      Delete
  7. කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුනා. මරු ලිපිය. කර පින්තුර ටිකකත් එළ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියා... ටොයෝටා ලිපියත් කියවන්න...

      Delete
  8. ඇයි යකෝ මෙච්චර කාලයකට මේකේ ලෝගෝ එක වෙනස් වුනේ නැති එක.අනික කාර් එක්ක නියම හැදෙ තියෙන්නේ ලාන්සර් බොක්ස් වල කියලා තමයි මටනම් හිතෙන්නෙම.මොකද ඩිකිය නියම ගානට බොනට් එකත් නියමෙට ..

    අපි බලන් ඉදලා පයින් යමු පුතී අශ්ව කරත්තේ එනකන්

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ 80 දශකයේ සාමාන්‍ය ජපන් වාහන අතර perfect ම වාහනේ ලාන්සර් බොක්ස් එක කියලයි...

      Delete
    2. හරියටම හරි...ලාන්සර් බොක්ස් කියන්නෙ 80 දශකයෙ ජපන් වාහන අතර ඉදිරියෙන්ම තියන වාහනයක්...කොහොමත් ඒ කාලෙ ආපු ලාන්සර් හැම එකක්ම සුපිරිම වාහන...අද තියන අලුත් වාහනවලටත් තාම ඒවට කිට්ටු වෙන්නවත් බෑ...

      Delete
    3. අලුත් වාහන තේරුමක් නැති මට්ටමට සංකීර්ණයි... ඔතනයි අවුල තියෙන්නේ...

      Delete
  9. මගෙත් පළමුවෙනි වාහනය මිට්සුබිෂී එකක් හන්ද මටත් මේ ගැන පොඩි සොෆ්ට් ස්පොට් එකක් නැතිව නෙමෙයි, අවුරුදු පහක් තිස්සෙ අපිව ඔටු දේසෙ බොහෝ තැන්වල අරගෙන ගියා.

    මම ඒ ගැන ලියපු එක ලොක්ක FB පේජ් එකේත් දැම්ම මම හිතන්නෙ ඔය පහළ තියෙන්නෙ ඒ ලින්ක් එක

    සිවික්ද ? ගැලන්ට්ද ?

    UAE වල ඉන්න මිට්සුබිෂි ඒජන්ට් "Evo" වගේම මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් කෑව, ප්‍රමෝෂන්, මෙන්ටෙනන්ස් අන්තිම සවුත්තුයි.

    අනිත් එක මිල ගණන්, "Evo" එකක් මිල "Dodge Challenger - SRT" (6.4 l V8) එකක මිලට වඩා 20% ක් වැඩි උණහම මිනිස්සු "Evo" අර ගනීවි කියල හිතන්න අමාරුයි :-D

    ReplyDelete
    Replies
    1. //UAE වල ඉන්න මිට්සුබිෂි ඒජන්ට් "Evo" වගේම මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් කෑව, ප්‍රමෝෂන්, මෙන්ටෙනන්ස් අන්තිම සවුත්තුයි// මම ඔය සීන් එක දැනගෙන හිටියේ නෑ. පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් නියමයි...

      Delete
    2. මෙන්ටෙනන්ස් පැත්තෙන් මිල අධිකයි වගේම ලබාදෙන සේවාවේ ගුණාත්මක බව වගේම වෘත්තීය මට්ටමෙනුත් අඩුයි කියල තමයි අපි ඒජන්ට් යටතේ වාහනය සර්විස් කරපු පළමුවෙනි තුන් අවුරුද්ද ඇතුළත අපිට තේරුණේ.

      මේක සර්විස් එකක් බුක් කරන තැන ඉඳල ඒක ඉවර වෙලා වාහනය ආපහු ගෙන වෙලාව වෙනකම් දැකපු දෙයක්. මේකේ සර්විස් සෙන්ටර් මැනේජ් කරන්නේ හරියට පෙට්ටි කඩ ලෙවල් එකට අනිත් වාහන ඒජන්ට්ලා එක්ක සංසන්දනය කරහම.

      සර්විස් එකට ගිය දවසට සර්විස් කවුන්ටරේට ගියාම එතන පිටකොටුවේ වර්ල්ඩ් මාකට් එකට ගියා වගේ, පාරිභෝගිකයාට අවශ්‍ය සහ අනවශ්‍ය හැම රෙද්දක්ම බලෙන්ම ඇඟේ ගහන්න හදනව.

      එක පාරක් මගේ ගැලන්ට් එකේ පිටිපස්සේ දොරේ වයින්ඩින් මෝටරේ රීප්ලේස් කරන්න මාස තුනකට වඩා ගත්ත. මුලින් රිපෝට් කරල මාස එහැමාර්ක් විතර ගියා පාට්ස් ඔඩර් කරන්න එකත් අපි ෆලෝ අප කෝල් එකක් දුන්නට පස්සේ.

      ඌආඒවල ජපප්රියම වාහන දෙකක් වෙච්චි ලාන්සර් සහ පැජරෝ දෙකම විකිණෙන්නෙ වාහන වල හොඳ කමට මිසක් ඒජන්ට් හොඳ නිසා නෙමෙයි.

      මම අන්තිමට "Dodge Challenger - SRT" එකක ගණන් බලපුවහම රාමදාන් ඔෆර් එකක් තිබුන AED 175k වලට Evo එක තිබුණ AED 200+k "අබුදස්ස කාලෙන කජ්ජෙන පුහුලන්"

      Delete
    3. බොහොම වටින විස්තරයක්... ස්තූතියි මචං...

      Delete
  10. මිට්සුබිෂි අපේ පලාතෙ ප්‍රසිද්ධ උනේ ලාන්සර් හිංදා. මැණික්කාරයින්ගෙ නිල වාහනේ ලාන්සර් තමයි. ආයි සෙනග ඇදපු රෝසා බස්. ඊළඟට දළු අදින කැන්ටර්. ආයි ඇලුමිනියම් බොඩිය ගහපු ඩිලිවරි යන ෆූසෝ ලොරි. දැං බදුල්ලෙ බැලුවහම කිචි කිචි ඩෙලිකා එක. අපේ දෙපාර්තමේන්තුවෙ පරණ වාහන වර්ගෙ වෙච්චි 4DR5 ජීප්. මේක එහෙම පිටිම්ම මිට්සුබිෂි සක්වලක්. නරකද අපිත් මොකක් හරි කොපි කරලා TAHIKE වගේ වාහන වර්ගයක් හැදුවොත්.

    ReplyDelete
    Replies
    1. කාර්මික සංස්කෘතියක් නැති අපි ඕවා හැදුවොත් ඉතිං Tahike තමා...

      මැණික්කාරයින්ගෙ නිල වාහනේ ලාන්සර් කියන එක ලංකාවේ පුදුමාකාර විදිහට ප්‍රසිද්ධ අදහසක්... ඉස්සර මග තොටකදී වුණත් ලාංසරේ ගැන කතාවක් ඇදුණොත් කතාව ඇදගත්තු කෙනා කතාව පටන් ගත්තෙම ඕකෙන්...

      Delete
  11. "මිට්සුබිසි" කියන්නේ "දියමන්ති තුනක්" කියන තේරුම කියලා මම කාලයකට කලින් අහල තිබුණ. මේ සුපිරි ලිපිය කියවලා ඉවරවුන විගස මම; මගේ පරණ මතකය ගැන ටිකක් සොයල බැලුවා.... ජාලය පැත්තට පොඩ්ඩක් එබිලා..... පහල තියෙන්නේ ජාලයේ දකින්නට තිබුන දේ ඒ ගැන.

    The name Mitsubishi (三菱) consists of two parts: "mitsu" meaning "three" and "hishi" (which becomes "bishi" under rendaku) meaning "water caltrop" (also called "water chestnut"), and hence "rhombus", which is reflected in the company's logo. It is also translated as "three diamonds".

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට සහ විස්තර වලට බොහොම ස්තූතියි...

      Delete
  12. මිටුසුබිශි 2002 පමණ ආපු මොන්ටෙරෝ එක නියමයි. ඒක තාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා. එලවන්න හරිම ලේසියි. 2010 විතර ඊලඟ පෙනුම තියෙන මොඩල් එක එනකොට අර 2002 මොඩල් එකේ තියෙන ගතිය ගිහිල්ලා.

    ReplyDelete
    Replies
    1. තාම මොන්ටෙරෝ එකක් එළවන්න ලැබිලා නැති එකයි දුක...

      Delete
  13. මිට්සුබිෂි වාහන වල තියෙන්නේ වෙනමම බීට් එකක්. එන්ජින් සද්දේ පිකප් එක පංකාදු පහයි

    ReplyDelete
    Replies
    1. මිට්සුබිෂි වාහන පිකප් වෙන කොට එන බීට් එකට මාර ගැම්මක් එනවා...ඒක නං සහතික ඇත්ත...

      Delete
    2. සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
  14. "ඒක හරියට තමන්ගෙන් වෙන්වුණු, ඒත් තරහකුත් නැති පරණ පෙම්වතියක්, කියන්න තරම් අවුලක් නැති ජීවිතයක් ගතකරනවා දකිනකොට එන අර්ථ දක්වන්න බැරි, පසුතැවිල්ලයි සැනසිල්ලයි අතර දෝලනය වෙන සිතිවිල්ලක් වගේ එකක්..."

    මොනවා නැතත් මේකනම් වැදුනා බොක්කටම...

    ReplyDelete
    Replies
    1. ආදරේ සංකීර්ණ වෙන්නේ ආදරේ දිනුවාම නෙමෙයි පැරදුණාම...

      Delete
    2. මේ දවස්වල ඔය වගේ සින් එකක ඉන්නේ..එකයි වදින්න ඇත්තේ බොක්කටම. :D

      Delete
    3. මට හිතුණා... ඕවා කවදාවත් ජීවිතෙන් ගැලවිලා යන්නේ නැති දේවල්...

      Delete
    4. එකෙන්ම...ලංකාවට ආව ගමන්ම යකඩ ගොඩක් බදාගන්න ඕනේ.. සේරම අමතක වෙන්නත් එක්ක..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මාර කියමනක්නේ.... මේකනම් ලිපියේ ප්‍රධාන මාතෘකාවට වඩා බොක්කට වැදුනා

      Delete
  15. මචං ඔය මිට්සුබිෂිලගෙ නොහදන මගුලක් නැහැ. මටමතක විදියට අලුත් බොයිං යානා වගේ ඒවට එන්ජින් පවා මුන් හදනවා. නැව්ද අරවද මේවද නොහදන දෙයක් නැහැ. කොටින්ම පෙන්ටැක්ස් කැමරා එක පවා හැදුවේ මුන් ම තමයි. ඒ නිසාම උන්ට උවමනා උන්ගේ මර්කට් ශෙයර් එක තියාගෙන යන්න විතරයි. ඒ හින්දයි අලුත් මොඩල් එන්න පරක්කු වෙන්නේ. ලංකාවේ ශබ්ධකෝෂයට ජීප් එක, පැජේරෝව ,කැන්ටර් එක ඇතුළු කලේ මිට්සුබිෂිල. කොටින්ම ජපනා කොළඹට බොම්බ දාන ඇවිත් තියෙන්නෙත් මිට්සුබිෂි ප්ලේන් එකක ! හැබැයි ඔය මිට්සුබිෂි ලගෙ ලෝගො එක වෙනස් වෙන්නේ නැත්තේ වාහන වල විතරයි නේද?
    තව අවුරුදු 50ක් ගියත් 4ඩීඅර්5 ජීප් එක , ලන්සර් වැගන් එක , බොක්ස් එක ,පජේරෝ එක තියේවි. ලංකාවේ ඒජන්ට් නිදහස් ලංකාවටත් වඩා පරණයි.ලංකාවට නිදහස ලැබෙන්නත් කලින් තමයි ඔය කොම්පැනිය දාලා තියෙන්නේ. ඒ කාලෙ අයිතිය තිබිලා තියෙන්නේ කුශලා අබේවර්ධන නෝනලාට. කාලෙකට පස්සේ ඒ කියන්නෙ 1972 විතර ඔය ආයතනය රජයට පවරාගෙන.එතකොට ලංකාවේ පලවෙනියෙම්ම පෞද්ගලික කරණය කල ආයතනය - ඒ 1989 දී. මීට කලකට පෙර ඔය කන්තොරු ගතිය තිබුනා . දැන් නම් සෑහෙන්න වෙනස් වෙලා! - තට්ටයා

    ReplyDelete
    Replies
    1. වටින විස්තරයක්... බොහෝම ස්තූතියි...

      Delete
  16. සුපිරි! මට අපේ මාමණ්ඩි මතක් උනා.. "ලාන්සර් බොක්ස් එක තමයි තාමත් පර්ෆෙක්ට් ෆැමිලි වෙහිකල් එක" එයා මැරෙනකම්ම කියුවේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ලාන්සර් බොක්ස් එකක් බොක්කට වැදුණු කෙනෙකුට ඒ වැදිල්ල අමතක කරන්න හරි අමාරුයි... අදටත් මට අනන්ත හිතෙනවා ආපහු බොක්ස් එකක් උස්සන් එන්න...

      Delete
    2. ඒක ඇත්ත. අපේ තාත්තත් බොක්ස් දිහා බලන්නේ ටිකක් කැදර විදියට.

      Delete
  17. West cost custom ගැනත් ටිකක් ලියන්න.


    කව්රැහරි ඉන්නවද මේ program එකේ epsode ඔක්කොම ටික තියෙන තැනක් දන්න

    ReplyDelete
    Replies
    1. හොයාගන්න බැරි වෙන එකක් නැහැ... බලමු :)

      Delete
  18. එල ද බ්‍රා
    මේවා ඉතින් උබෙන්ම දැනගත්ත කරුණු

    ReplyDelete
  19. මචං , ඔයාට තව මීටර් වෙන්න ඕන වාහනයක් තියෙනවා - ඒක තමයි බොග්වාර්ඩ් එක.මචං මම දන්න එළම බුවෙක් ඉන්නවා ඔය කාර් එක ගැන එලට දන්න. ඌ බොග්වාර්ඩ් ලවර් + කලෙක්ටර්. පොර ගාවත් මංහිතෙන්නේ වාහන 7-8 ක් තියෙනවා. බොග්වර්ඩ් ඉතිහාසය හරිම සෝචනීය එකක්. ඒ කොම්පැනියට බී එම් ඩබ්ලිව් ලා කෙලෙව්වා කියලා තමයි කියන්නේ. ඔය සීන් එක අරූ එලටම දන්නවා. ලඟදි ජර්මනියේ උන් නැවත ප්‍රඩක්ශන් පටන් පටන් ගන්න ගියා. ඒ වෙලාවෙ මම් කියපු ලවර් ට ඉන්විටේෂන් එකක් ලැබී තිබුනා. මචං උගේ විස්තරේ මම දෙන්නම්. මට මේල් එකක් දාන්න.- තට්ටයා
    manjulaperera79@gmail.com

    ReplyDelete
    Replies
    1. ඉසබෙලා කියන්නේ ලොක්කගේ ලව් ලෙටර් දීලා ආන්සර් එකක් එනකන් ඉන්න ගැල්ලමයෙක්

      Delete
    2. Borgward Isabella එකත් එක්ක මගේ තියන 'ඔබ මට හිමි නැති බැව් හිත නෑ අදහන්නේ' ජාතියේ ලවු එක ගැන කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකේ ඉන්න කට්ටිය දන්නවා. වතාවක් මයිනර් එක ටියුන් කරන්න ගරාජ් එකට ගිහින් එතන ඉසබෙලා ඉඳලා මට මයිනරේ අමතක වුණා. Borgward ලා ගැන ලියනවා නං උපරිම හොඳට ලියන්න ඕනේ, ඒකයි මම තාම දිගට ඒ ගැන ලිව්වේ නැත්තේ. ස්තූතියි මංජුල... මම මේල් එකක් දාන්නම්.

      Delete
  20. මිට්සුබිෂි කියන්නේ මඩ කාගෙන වැටෙන්න පුලුවන් නරා වලවල් හැම එකකටම වැටුනු කම්පැනියක්. මටත් ලාන්සර් ප්ලැට් එකක් තිබ්බත් ගොඩක් පදින්න ලැබුනෙ සිකේ 2 මොඩ්ල් එක.ඒවගේ ම සහෝදරයෙක් වගේ මන් ලැල්ලටම වැටුනු වෙලාවට උදව් කරපු 62-75* ත් මිට්සුබිෂිපැජරෝවක්. ටොයෝට වගේ නොවුනත් නිසාන් වගේ මන් අකමැති බ්‍රැන්ඩ් එකක් නම් නෙමේ.ස්තුතියි ලොක්ක

    ReplyDelete
    Replies
    1. මිට්සුබිෂි එක්ක ඔයාගේ සමීප යාළුකමක් තියනවා කියලා මට මතක් වුණේ පස්සේ...

      Delete
  21. Attrage එකේ එන්ජින් සද්දෙනම් වැඩියි. සිලින්ඩර් තුන නිසාද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්... එන්ජිමේ විස්තර කියවනකොට කම්මැලි හිතෙනවා...
      //1.2L DOHC 3-cylinder in line 12-valve MIVEC engine, Power -78Ps Torque -100Nm//

      Delete
  22. මේ මගුල් ටැක්ස් එක නැත්නම් අපිටත් අඩුවට් එකක් ගන්න තිබුනා ..
    ජීප් ගැන ලියන්හ්කෝ

    ReplyDelete
    Replies
    1. මම නිසාන් පැට්‍රල් එක ගැනයි ලෑන්ඩ් රෝවර් ගැනයි ලියලා තියනවා අලුත් කාර් බ්ලොග් එකේ...

      Delete
    2. මම ඒකට කෙමෙන්ට් එකකුත් දාලා ..
      අලුත් ඒවා ගැන ලියපන්කො

      Delete
  23. මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක්. මම හැමදාම කියනවා වගේ ඒක අම්මෙක් අප්පෙක් වගේ විස්වාසය තියන්න පුළුවන් කාර් එකක්. හැබැයි මම ඒක ක්ලැසික් කාර් එකක් විදිහට සලකන්නේ නැහැ. මේක කියන්නේ හොඳක් විදිහට. මොකද මට ලාන්සර් බොක්ස් එක දැනෙන්නේ ඉතාම නවීන කාර් එකක් විදිහට. කොටින්ම අද එන ඉකොනොමි කාර් වලට වඩා ලාන්සර් බොක්ස් එක හැම අතින්ම දියුණුයි කියලයි මම හිතන්නේ.ඒ-විස්තර-මානවඩ-????e-vistara-monavada-???-vessa-velawaka-yanakota-windscreen-apehedili-venawa-mage-box-eke-ac-demmath-eka-samanya-deyakda-nethnam-ledakda-me-davas-vala-hari-aula-menisa-vahinawa-mehe

    ReplyDelete
    Replies
    1. වාහන පරණ වෙනකොට ඔය වගේ ප්‍රශ්න නම් එනවා. මගේ බොක්ස් එකෙත් ඔය ප්‍රශ්නේ තිබ්බා, සාර්ථක විසඳුමක් නම් ලැබුණේ නැහැ. වීදුරුව මාරු කරන එක තමයි මම හිතන්නේ සුදුසුම දේ...

      Delete
  24. තැන්කිව් වේවා ආර්ටිකල් එකට...හදවතින්ම මිට්සුබිෂි තමයි..යක්කුත් මිට්සුබිෂි , කුමාරිකවොත් මිට්සුබිෂි..මොකද ඒ දෙකම අපේ වාහනේ බලපුවම කැපිල පේනවා..කැම්ප් එකකට ගිහින් හිටියේ..ඇවිල්ල බ්ලොග් එක ඕපන් කරපු ගමන් මේ ආර්ටිකල් එක දාල තිබ්බ එක ගැන හදවතින්ම මෙව්වා එක පුදකරනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොෂේන්...

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. meka thama sirama kella මේ අතර සමහරු ඉන්නවා නිසාන් බැජ් එක බුලත් කොලේකින් පිහදලා ඔලිව් ඔයිල් දාපු චීනච්චට්ටි පහනක් පත්තු කරලා සාම්බ්‍රානි පාරක් අල්ලලා හෙන්දිරික්කා මලක් පූජා කරලා ජපන් ගාථාවකුත් කියන සයිස් එකේ බැතිමත්තු). ""

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තටම ටාගට් කළේ මගේ හොඳ හිතමිත්‍රයෙක් වන කලිඳු කිෂාන්ට. මිනිහගෙත් හිතට වැදුණේ ඕකම තමයි :)

      Delete