Monday, August 27, 2018

කාර් පිස්සුව Soi 11 වුණු හැටි සහ පොත් හතරේ කතාව


පොත් ටික ගෙදරට ගෙනත් දීපු ලේක්හවුස් එකේ ලොරිය පිටත් වෙලා ගියාට පස්සේ පළවෙනි පොත් පැකට් එක කඩලා පොතක් අතට ගන්නකම් සිහියක් තිබ්බේ නැහැ. අතට අහුවුණේ අයිස් කැට වැටෙන කාලය. ඒකෙ පිටකවරයේ ලස්සන දැක්ක ගමන් අලුතින් හිටෝපු මල් පැළ පාත්තියක පළවෙනි මල දැක්කා වගේ සතුටක් හිතට ආවා. 

පොත දැකපු ගමන් අම්මා කිව්වේ "තාත්තත් හිටියා නම්..." කියලා... 

Soi 11 සමාගම ලියාපදිංචි කරලා, ඊට පස්සේ ගෙදර ඉස්සරහා කාමරේ ඔෆිස් එකක් විදිහට හැදුවට පස්සේ මම පොත්පත් ටික පිළිවෙලට තියාගන්න අලුත් කබඩ් වගයක් ගත්තා. ඒ අලුත් කබඩ් වල පොත් ටික අහුරද්දී මට මතක් වුණේ මේ ගෘහ පුස්තකාලය හදද්දී තාත්තාගේ සල්ලි කොච්චර නම් වියදම් වෙන්න ඇතිද කියලයි. අමාරුවෙන් හම්බකරලා වියදම් කරන අද දවසේ මට තාත්තා ඒ දවස් වල මගේ දඩ සයිස් පොත් වලට වියදම් කරන්න ඇත්තේ කොච්චර අමාරුවකින් වෙන්න ඇතිද කියලා හිතෙනවා. 

සතුටුදායක දෙයක් දුක හිතෙන පැත්තකින් ආරම්භ කිරීම ගැන සමාවෙන්න. තාත්තා ගැන කතා නොකර මේ කතාව පටන්ගන්න බැහැ. 




මම කවදාවත් ව්‍යවසායකයෙක් වෙන්න කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් කාර් පිස්සුව ජනප්‍රිය වෙලා ඉස්සරහට යද්දී සහ කාර් ගැන සිංහලෙන් කතා කිරීමේ සම්ප්‍රදාය විධිමත් විදිහට ඉස්සරහට යද්දී මට මේක අන්තර්ජාල අවකාශයෙන් එහාට ගෙනයාමේ අවශ්‍යතාව තදට දැනුණා. මොකද අන්තර්ජාල අවකාශය තුළ තාමත් බොහෝ දෙනෙක් 'ක්ෂණික කික් එකකින්' සෑහීමකට පත්වෙනවා. ඒ කියන්නේ ඉන්ටනෙට් එකෙන් ගත්තු ජෝක් එකක් හරි quote එකක් හරි අමුවෙන් සිංහලට දාලා, අන්තිමට 'සහෝ' හරි 'බ්‍රෝ' හරි කියලා ලියලා දාලා, ඕක බූස්ට් කරලා හෝ නොකර ෂෙයාර් කරලා, ඊට පස්සේ ලයික් සහ ෂෙයාර්ස් ගාන දිහා බුකෝගෙන බලන් ඉන්න සීමාවෙන් එහාට මේක ගෙනියන එක මගේ වගකීමක් කියලා මට හිතුණා. මොකද කික් වලින් අපේ හෙට දවසට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඕක හරියට බඩගින්නට එනර්ජි ඩ්‍රින්ක්ස් බොනවා වගේ වැඩක්. පස්සේ හෝස් ගාලා බඩෙන් ගෑස් එන්න ගත්තම අනා ප්ලීස් කියවෙනවා. 

අනික් අතට, අලුත් දෙයක් හොයාගත්තම 'අත දෙන්න කවුරුත් නෑ' කියකියා තියන ආණ්ඩුවටයි ගිය ආණ්ඩුවටයි එන්න ඉන්න ආණ්ඩුවටයි බැන බැන දහ අතේ යනවා වෙනුවට ණයක් හරි අරගෙන තමන්ගේ වැඩේ සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට දියුණු කළ යුතුයි කියලා මම බොහොම තදට විශ්වාස කරනවා. මොකද හැම කෙනාටම අත දිදී ඉන්න පුළුවන් කමක් ලෝකේ කිසිම ආණ්ඩුවකට නැහැ. කාර් පිස්සුව සම්ප්‍රදාය අලුත් සම්ප්‍රදායක්. ඒක වඩාත් පුළුල් මට්ටමකට ගෙනයනවා නම් වාණිජ පැත්තක් තියන එක වළක්වන්න බැහැ. ඉතින් කාගෙන්වත් අත ඉල්ලන්නේ නැතුව කෞශියි මායි එකතු වෙලා අපේ ඉතුරුම් මේ වැඩේට ආයෝජනය කළා. 

අපි දෙන්නම කාර්ය බහුල රාජකාරි කරන දෙන්නෙක් නිසා මේ වැඩේ කොච්චර දුරකට ගෙනියන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ නිසා මුලින්ම තීරණය කළා වැඩේ සම්පූර්ණ වෙනකල් කාටවත් නොකියන්න. 

අමාරුම දේ වුණේ ව්‍යාපාර ලියාපදිංචියේදී රාජ්‍ය ආයතන වලට පොත් ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක කියලා දීම. මොකද ගොඩක් අය එකපාරටම අහන්නේ ප්‍රෙස් එකක්ද කියන එක, මුද්‍රණාලයක් කරගෙන යන්න විශේෂ බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රෙස් එකක් නෙමෙයි පබ්ලිෂින් එකක් කියන එක පැහැදිලි කරන්න විශේෂ වෙහෙසක් ගන්න වුණා. මේක නිලධාරීන්ගේ වරදක් නෙමෙයි. මේවා හැමදාම ලියාපදිංචියට ඉදිරිපත් වෙන ව්‍යාපාර නෙමෙයි නේ. මොනවා වුණත් දැන් ඒ කටයුතු ඉස්සරට වඩා ටිකක් පහසුවට කෙරෙනවා මම හිතන්නේ. අඩු ගානේ නිලධාරීන් දැන් හිනාවෙලා කතාකරනවා. ඒත් මදැයි. කොහොම හරි වැඩි ගැටලුවක් නැතිව අවශ්‍ය කටයුතු ටික කරගත්තා. ඒකට උදවු වුණු හැමදෙනාටම මගේ ස්තූතිය. 




දැන් වැදගත්ම කතාවට එමු. ඒ කියන්නේ පොත් හතර සහ ඒවාට පසුබිම් වුණු විෂයන්. 

පළවෙනිම එක තමයි 'ෆොක්ස්වැගන් ප්‍රශ්න සහ උත්තර - ෆොක්ස්වැගන් ගන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් ලියැවුණු අත්දැකීම් එකතුවක්' කියන පොත. මේකට තමයි මම මුලින්ම ISBN අංක සහ CIP දත්ත ඉල්ලුම් කළෙත්. 

කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක පටන් ගත්තු දවසේ ඉඳන්ම කට්ටිය නිතරම මගෙන් අහලා එවනවා ෆොක්ස්වැගන් ගැන විවිධ ප්‍රශ්න. මට ෆොක්ස්වැගන් එකක් තිබීම, මීට කලිනුත් ෆොක්ස්වැගන් ප්‍රොජෙක්ට් එකකින් නාගෙන තිබීම, 9 ශ්‍රී 5333 මේ වෙනකොට ටිකක් ජනප්‍රිය කාර් එකක් වීම සහ 5333 මාත් එක්ක රට වටේ යාම වැනි දේවල් නිසා මගෙන් වැඩියෙන්ම කට්ටිය අහන්නේ ෆොක්ස්වැගන් ගැන ප්‍රශ්න තමයි. සමහර වෙලාවට අධික වැඩ නිසා මට දිගට උත්තර ලියන්න අමාරු වෙන වෙලාවල් එනවා. ඉතින් පොදුවේ කාටත් සුළු මුදලකට මේ මූලික ප්‍රශ්න වලට උත්තර ලැබෙන පොතක් ලියන්න මට වුවමනා වුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පොත පළවුණේ.




දෙවෙනි පොත තමයි 'ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව'. මට ඉස්සර ඉඳන්ම, ලංකාවේ කාර් පිස්සුව තියන තවත් ගොඩක් අයට වගේම, ෆෝඩ් කෝටිනා මාක් 3 එක ගැන පොඩි මෙවුවා එකක් තිබ්බා. ඒක හරියට තක්කාලි ඇලජික් වෙන එකෙක් පීසා එකක් ගැන හිතනවා වගේ දුක්බර මෙවුවා එකක්, මොකද ඉඩකඩ සීමිත නිසා මගේ ගෙදර ෆොක්ස්වැගන් එකත් එක්ක කෝටිනා එකක් තියාගන්න ටිකක් අමාරු වෙන්න ඉඩ තියනවා. කෝටිනා එක ගැන මම ඉස්සර ලියපු 'කෝටිනා කොරෝනා සහ කෝක් තමා ඕනා' කියන ලිපියේ විස්තර තියනවා ඔයාලට මතක ඇති (මේ ලිපිය දැන් 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' පොතේ තියනවා). කොහොම වුණත් මේ පොත් ලිවිල්ලත් එක්ක කෝටිනා ගැන හොයන්න පෙළඹුණාම මට තේරුණා කෝටිනා එකට හරිම අලංකාර ඉතිහාස කතා දෙකක් තියන බව. මේ රස කතා දැනගෙනත් ඒවා නොලියා ඉන්නවා කියන එක අපරාධයක් කියලා හිතුණු නිසා මම තීරණය කළා දෙවෙනි පොත ඒ ගැන ලියන්න. 




තුන්වෙනි එක තමයි 'කාර් පිස්සුව සිතිවිලි එකතුව.' මේක කාර් පිස්සුව බ්ලොග් එකේ 2016 සහ 2017 අවුරුදු වල පළවුණු බ්ලොග් පෝස්ට් එකතුවක්. මේ සමහර පෝස්ට් මම මුද්‍රිත පොතකට හරියන විදිහට සංස්කරණය කළා. ඉස්සර ඉඳන්ම අපේ ආසිරි ඇල්ලගේ ඇතුළු ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා බ්ලොග් ලිපි එකතු කරලා පොතක් ලියන්න කියන එක. කාර්ය බහුලත්වය නිසා ඒ කාලේ මේක කරන්න වුණේ නැහැ. නමුත් පහුපහු වෙද්දී ගොඩක් දෙනෙක් කියන්න ගත්තා විශේෂයෙන්ම ෆෝන් එකෙන් බලද්දී පරණ පෝස්ට් හොයන්න අමාරු බව. ඉතින් ඒ නිසා, මම කැමතිම සහ කට්ටියට වැඩියෙන්ම වැදගත් වෙයි කියලා හිතුණු බ්ලොග් පෝස්ට් 26 ක් එකතු කරලා මම මේ පොතත් මුද්‍රණය කළා. 




අන්තිම සහ විශේෂම එක තමයි අයිස් කැට වැටෙන කාලය. මේක පළකරන්න මට කිසිම් අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. මේකේ තියෙන්නේ 2009 ට කලින් මම ලියපු කෙටිකතා කිහිපයක් සහ 2018 දී මම ලියපු එක කෙටිකතාවක්. මම ඉස්සර ඉඳන්ම කෙටිකතා කලාවට ආසයි. 2003 දී මම ලියපු 'නතාෂා මර්යුට්කා පිළිබඳ මතකය' කියන කෙටිකතාව ඒ අවුරුද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ විවෘත අංශයේ සම්මානය දිනුවා. කෞශි අදටත් ඒ කතාවට හරිම ආදරෙයි. නමුත් මම අද ඒ කතාව ගැන තෘප්තිමත් නැති නිසා මේ කතා එකතුවට ඒ කතාව එකතු කළේ නැහැ. මේ කතා කාර් ගැන කතා නෙමෙයි. එක කතාවක ප්‍රධාන කාර්යභාරයක් Citroen 2CV එකකට පැවරිලා තියනවා. ඒ කතාව තමයි මේ කතා අතරින් මගේ ප්‍රියතම කතාව. කොහොම වුණත් තවත් කාර් පොතක් කියලා හිතලා මේ පොත සීරියස් සංවාදයකට එකතු නොවී යටයාවි කියන බය මට තියනවා. ඒ නිසා සීරියස් සාහිත්‍යයට කැමති නම් සහ මගේ රචනා ශෛලියට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පොත අරගෙන කියවන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. 




මීට අවුරුදු 12 කට විස්තර ඉස්සර මට ඉස්සරලම රැකියාවක් දීලා මට ඔළුව උස්සන්න අතදීපු සදීපා ප්‍රකාශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර වන්නිඅච්චි මහත්මයට පොතක් දීලා තමයි මම මගේ පොතේ අලෙවි කටයුතු පටන්ගත්තේ. කැම්පස් එකේ කලා උපාධිය කරන්න පටන් ගනිද්දීම මට තේරුණා උපාධිය විතරක් කළොත් මගේ ජීවිතේ අවුරුදු කීපයක් වෘත්තීය සුදුසුකම් නැතුව අපතේ යන බව. ඒ නිසා සුළු රැකියාවකින් වෘත්තීය ජීවිතේ පටන්ගන්න මට අවශ්‍ය වුණා. ඒ වෙලාවේ මගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් නොවෙන ආකාරයට රැකියාවක් කරන්න මට අවස්ථාව දුන්නේ සදීපා එක. ඒ වෙනුවෙන් මගේ හදවතේ තියන කෘතඥතාව කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ.  




දැන් මේ පොත් ටික සදීපා, සරසවි සහ ලුමිනෙක්ස් පොත්හල් වල තියනවා. ඉදිරියේදී තවත් පොත්හල් වලට මේවා භාරදෙන්න බලාපොරොත්තු වෙනවා. 

ඊට අමතරව grantha.lk එකෙන් මේ පොත් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 




පුළුවන් කමක් තියනවා නම් අරගෙන කියවලා ප්‍රතිචාර එවන්න. ග්‍රන්ථ එකට ඉස්සරලා දාපු පොත් සෙට් එක දවසින් ඉවර වුණා. ඒ නිසා පහුවදා අලුත් පොත් ගිහින් දෙන්න වුණා. ඊට අමතරව සදීපා එක පැත්තෙන් විකිණෙන පොත් සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබෙන්නේ සදීපා එකේ කාර්ය මණ්ඩලය කොච්චර ඉක්මනට සහ හොඳට මේ පොත් ටික දෙනවාද කියන එකත් එක්කමයි. ඒ සම්බන්ධයෙන් එයාලට මගේ විශේෂ ස්තූතිය. 

මේ පොත් අරගෙන ගිය අය ඒ පොත්වල ෆොටෝ ගහලා පොත් අගය කරලා එවනකොට ඇතිවෙන හැඟීම මට වචන වලට පෙරළන්න බැහැ. ඒක හරියට මලකඩ හැලෙද්දී පටවාගෙන ආපු කාර් එකක සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා ඉස්සරලා පාරට දැම්ම ඇතිවෙන හැඟීම වගේ දෙයක්. 

කාර් පිස්සුව Soi 11 විදිහට මහපොළොවේ දෙයක් බවට පත්කරන්න  දායක වුණු ඔයාලා හැමෝටම ස්තූතියි. Soi 11 - by Tharindu Sri පේජ් එකටත් ගොඩවෙලා යන්න අමතක කරන්න එපා. 

  පොත්වල පිටු සැකසුම කළේ හරේන්ද්‍ර ගමමැදගේ 

  ලස්සනට කවර හැදුවේ ශේන් රත්නායක 


  සුපිරියට මුද්‍රණය කළේ ලේක්හවුස් වාණිජ මුද්‍රණ අංශය. සම්බන්ධීකරණය කරලා ගොඩක් උදවු කළේ සුමිත්. 



තරිඳු ශ්‍රී ලොකුගමගේ 
27.08.2018 
www.facebook.com/CarPissuwa
www.facebook.com/Soi11byTharinduSri