Sunday, August 25, 2019

අන්තිම කලර් ලයිට් එක හෙවත් ලංකාවේ කාර් සංස්කෘතිය මගහැර යා නොහැකි මොහොත




අන්තිම කලර් ලයිට් එක...

සමුගන්න කලින් දකින අන්තිම හැන්දෑව, අන්තිම තරුව, අන්තිම බස් හෝල්ට් එක සහ තවත් අන්තිම ගොඩක් දේවල් ගැන ගොඩක් කවි ගීත ලියවිලා ඇති. නමුත් අන්තිම කලර් ලයිට් එක ගැන කවුරුවත් තාමත් ලියලා නැහැ.

අහිමි වෙන්න නියමිත ආදරයක අවසාන දවසේ, සමුගන්න නියමිත මොහොත එන්න මොහොතකට කලින් අන්තිම කලර් ලයිට් එක ගාවදී ක්ලච් බැලන්ස් එක ගන්නකොට ඇඟිලි තුඩු වලින් පටන් අරන් කකුල දිගේ ඇඟට ඇතුළු වෙලා හදවත පාරගෙන පාරගෙන යන වේදනාව දන්නේ ආදරයෙන් පැරදිච්ච කාර් පිස්සෝ විතරයි.

ඒ කලර් ලයිට් එකෙන් සංකේතවත් වෙන්නේ බදාගෙන අල්ලගන්න දඟලන, ඒ වුණාට අත්හැරිලා සදාකාලිකව මතක ගොන්නක් අස්සට වැදිලා නොපෙනී ගිහින්, හීනෙන් වත් නොහිතන වෙලාවල ආපහු ඔළුව උස්සලා ජීවිතය හීනෙන් වත් නොහිතන අගාධ වලට තල්ලු කරන නිමේශයක් එන්න කලින් එන තාවකාලික ඇබිත්තන් ප්‍රමාදයක්!

හිත්පිත් නැති වැස්ස සහ ලුණුම ලුණු රස හුළඟ එක්ක අඩෝව් ගාගෙන කඩාවදින මහා මෝසමකට කලින් පිපිච්ච අන්තිම කහමල් කිනිත්ත වගේ...

අහසේ ඉර එළිය මුවා කරන තරමට රෑන් රෑන් පියාඹලා ඇවිත් අස්වැන්න වහගන්න කෘමි සත්තු වසංගතේකට කලින් හුළඟට ප්‍රතිචාර දක්වන නොදක්වන ගාණට පීදුණු එකම එක ලා රන්වන් කරලක් වගේ...

ජීවිත කාලයක් තිස්සේ කොහොම කොහොම හරි ආරක්ෂා කරගත්තු ආත්ම ගරුත්වය එක මිලිතප්පරේකින් හෝදලා යවන මහා කඳුළු වැස්සක් හංගගන්න මූණේ මවාගන්න දඟලන අසාර්ථක හීනි හිනා රැල්ලක් වගේ...



දැන් මෙහෙම ලියනකොට කෙනෙක් කියාවි, ඕක ලංකාවට අදාළ දෙයක් නෙමෙයි, ඕක ඇමරිකාව වගේ රටවලට අදාළ දෙයක් කියල. එයාලගේ තර්කය තමයි ලංකාවේ තරුණ පරපුර ඇමරිකාවේ තරුණ පරපුර තරමට මහා පරිමාණයෙන්  වාහන එක්ක ගනුදෙනුවක්  නැහැ කියන එක. අපි බොහෝ දෙනෙක් තාමත් ලංකාවේ තරුණ පරපුර, ආදරය, විරහව වගේ දේවල් කතා කරදී ඔළුවෙන් මවාගන්නේ පොදු ප්‍රවාහන සේවාවල්, මුහුදු වෙරළවල්, පරණ ඩෙනිම්, කඩල කරත්ත සහ සරුවත් වගේ දේවල්.

ඒත් ඇත්තටම, අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත්, තත්ත්වය වෙනස් වීගෙන එන්නේ. ඇමරිකාවේ තරුණ තරුණියෝ මීට සියවසකට විතර කලින් ඉඳන් තමන්ගේ නිදහස, ස්වාධීනත්වය වගේ දේවල් එක්ක මෝටර් රථය කියන එක අනන්‍ය කරගත්තා වගේම, ලංකාවේ තරුණ පරපුර වේගයෙන් තමන්ගේ ස්වාධීනත්වය එක්ක මෝටර් රථ අනන්‍ය කරගනිමින් ඉන්නවා. මේවා දියුණු රටවල වගේ බ්‍රෑන්ඩ් නිව් කාර් නොවෙන්න පුළුවන්. අනික් අතට අපට දියුණු රටවල වගේ යම් යම් සීමාවන් වලට යටත්ව හෝ අපේ රසිකත්වයට අනුව වාහන වෙනස් කරගන්න අයිතිය නැතුවා වෙන්න පුළුවන්. නමුත් අපි කාර් එක්ක ඇතිකරගෙන යන මේ සුන්දර බැඳීම අපේ සීමාවන් ඇතුළේ අපි අර්ථ දක්වමින් ඉන්නවා.



අද නිකමට සෝෂල් මීඩියා වල එහාමෙහා ගිහින් බලන්න. කාර් ක්ලබ්ස් වැහි වැහැලා. වාහන ගැන කතාකරන ෆේස්බුක් පිටු වැහි වැහැලා. බ්ලොග් ලියවෙනවා. වෙබ් සයිට් එක දෙක හැදෙනවා. වාහන සම්බන්ධ උත්සව දැන් දැන් ඉස්සරට වඩා විශාල පිරිසකට විවෘත වෙලා. මේ සියල්ල අස්සේ මතවාද, මතභේද නැතුවා නෙමෙයි. නමුත් අපි වේගයෙන් කාර් සංස්කෘතියක් වැළඳ ගනිමින් ඉන්නවා. අනික් අතට මෝටර් සයිකල් සම්බන්ධයෙන් ඒ වගේම විශාල රසික පිරිසක් බිහිවෙලා ඉන්නවා. මම 'කාර් සංස්කෘතිය' කියන යෙදුම පාවිච්චි කරන්නේ ඒ හැමෝටම පොදු දෙයක් විදිහට.

අද අපේ මිතුරු මිතුරියෝ තමන් ආදරය කරන අය එක්ක කාර් වල, බයික් වල නැගලා සංචාර වල යනවා. ක්ලබ් වල අය එකතු වෙලා කරන ඉවෙන්ට්ස් වලට යනවා. මේ අතරේ ආදරයන් උපදිනවා, මියයනවා, ආයේ අලුතින් උපදිනවා.

පළවෙනි කලර් ලයිට් එක සහ අන්තිම කලර් ලයිට් එක මතකයක් වෙන්න පටන් ගන්නේ මෙතනින්.



අපි තාමත් ඒ ගැන කතාකරන්න පටන් අරගෙන නැහැ. සමහරු හිතනවා ආදරය අස්සට කාර් ගැන මතක ගේන එක අභව්‍යයි කියලා. සමහරු හිතනවා එහෙම කිව්වම අර තමන්ට දරාගන්න බැරි දේවල් වලට දමලා ගහන්න පාවිච්චි කරන 'පොෂ්' කියන පදයෙන් දමලා ගහාවී කියල.

නැහැ.

දැන් අපට තරුණ පරපුර ගැන, ආදරය ගැන, අහිමිවීම ගැන කතා කරද්දී කාර් ගැනත් කතා කරන්න වෙන කාලය ඇවිත් තියෙන්නේ. කාර් දැන් අපේ සංස්කෘතියේ කොටසක්. ඒක තාක්ෂණයක් නෙවෙයි කලාවක්. සජීවී කලාවක්.

සජීවී කලාවක් ඇතුළේ තමයි නියම ආදරේ හැමතිස්සෙම හමුවෙන්නේ.


- තරිඳු ශ්‍රී ලොකුගමගේ

Soi 11 පොත්:
වයර් පොටක සෞන්දර්ය
සැප්තැම්බර් වන්නට පෙර එළිදකී 



















ප්‍රධාන පෙළේ පොත්හල් වලින් සහ අන්තර්ජාල පොත්හල් වලින්